Tuesday, February 14, 2017

ඇය එහි මෙසේද ලියා තිබිණ...

                                    දම්වැලකින් ගැට ගැසූ දෙඅත්

මම ඇයව මඩ ගොහොරුවක එබීමි...

ඇයට හුස්ම ගන්නට හැකි වන සේ කුඩා සිදුරු කිහිපයක් පමණක් ඉතිරි කලෙමි...

එහෙත් ඇය සිය ජීවිත සටන අත් නොහලාය...

ගිනි කාෂ්ටක අව්වත් , දෙගොඩ තලා යන වතුරත්, තඹයකට නොතකා, මා වෙනුවෙන්ම ප්‍රේමයේ බිජුවට වපුලාය....

මම විටක හරකුන්ට තරවටු කරමින් කෙවිටින් පහර දුන්නෙමි...

එවිට ඔවුන් මඩෙහි සිර කර හුන් ඇය හට, කුර වලින් වලින් අනිමින් ඇයගේ හදවතෙහි විශාල ආවාටයන් මතු කල හැටි මා බලා උන්නේ හැඟීමකින් තොරවය.... 

ඉතා අන්ධකාර, සීතල රාත්‍රීන් වල, ඇය ඉතා තදින් හුස්ම අල්ලාගෙන, හැකි තරම් පහත් ස්වරයෙන් ඉකි බිඳින්නීය...

හැඬුම්, ඉකි බිඳුම් ඇයගේ දින චරියාවේ කොටසක් වූයේ, ඇය මේ මඩ ගොහොරුව තුල ජීවත් වන්නට හුරු වූ දා පටන් බව මම දනිමි...

එහෙත්, බොහෝ කලකට පෙර මා මුණ ගැසුන අලුත, උන් හිටි ගමන් ළදැරියක සේ මහ හඬින් හිනැහුන , ඇයගේ ඒ සිනහව ඉල්ලමින් අදත් මම වෙහෙසෙමි...

එවිට ඇය ආයාසයෙන් සිනාසෙන්නීය...එහෙත් ඒ මුහුණේ ඇත්තේ දිය සිඳී ගිය ළිං පතුලක ඇති, බොහෝ නිසල අඳුරු සෙය්යාවක් පමණය...

ඉවසා ගැනීමට නොහැකි තැනකදී මම ඇයට වැරෙන් පහරක් ගසමි....මා තව තවත් ප්‍රේමය වුවමනා යැයි ඇයට තර්ජනය කරමි....

එකල මා සිතාරය වයද්දී, ඇය කොළ පුරා කුරුටු ගී ලීවාය...මා ඒ පද වලට තනු යොදා, නැළවිලි ස්වරයෙන් ඒ ගී ඇය වෙනුවෙන්ම ගැයුවෙමි...

ඇයට වුවමනා වූයේ පුතෙකි....මා වැනි පුතෙකි....ඇය විටෙක ඒ නූපන් පුතුට නොයෙකුත් නම් මුමුණමින් මා පසු පස දැවටුනාය....

ජීවිත කාලය පුරාම ඇයගේ ප්‍රේමය මටම පමණක් විඳිනු රිසියෙන් මම උපායක් කල්පනා කලෙමි ....

ඇය මා මේ මඩ ගොහොරුවේ සිර කලේ, ඇය කෙරේ තිබූ උහුලාගත නොහැකි අප්‍රමාණ ප්‍රේමය නිසාම වග පමණක් බව දන්නේ මා පමණෙකි...

ඇය දැන් බොහෝ රෝගී වී වැහැරී ගොසිනි...එකල මෙන් ඈ අතින් සුපසන් පෙම් කවි නොලියවෙයි...

මම නැවත, නැවතත් ඒ ඉපැරණි ප්‍රේමය සොයා ඇයව හැකි තාක් වෙහෙසවමි....එහෙත් ඇය කිසි දිනෙක ප්‍රේමය ඉල්ලා මා ඉදිරියේ හඬා වැලපී නැත...

මම ඇයව සියල්ලන්ගෙන්ම වෙන් කලෙමි...ඒ ඇයගේ ප්‍රේමය මට අහිමි වේ යයි ඇතිවූ අහේතුක බියෙනි...

එහෙත් වී ඇත්තේ අනෙකකි...

ඇයට ඇයවද, මට මාවද අහිමි වී ඇත...

ඇය ආයාසයෙන් සුසුම් හෙලන බව, මඩ අතරින් පිටවන බුබුළු තුලින් මම දකිමි...

ඇය ජීවත් වන්නට නිමිත්තක් සොයනවා විය යුතුය...

තැලී ඉදිමී, ඉහඳ තැබු හදවත, යන්තමින් හෝ තවාගන්නට එක සුසුමක් හෝ ඉතිරිව ඇත්දැයි සිතනවා විය යුතුය...

රාත්‍රීන් කිහිපයක්ම එක දිගට නිදි වැරූ ඇයට, කුසගින්නේම නින්ද ගොස් ඇත....

තදින් මිට මොලවා සිටි, පොඩි වූ කොල කැබලි වල ඇය කවි කුරුටු ගා තිබුණි....

 
එහි මෙසේද ලියා තිබිණ,

එදා මම ඔබට මුළු හදවතින්ම ප්‍රේම කලෙමි...එහෙත් අද මගේ හදවත තිබු තැන ඇත්තේ ඉතා විශාල හිස් කුහරයකි...ශිරා සහ ධමනි පමණක් එහි අපහසුවෙන් එල්ලී, සියලු රිදුම් ඉවසාගෙන හිඳියි....
 
ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය....

ඔබ දැන ගත යුතු දෙයක් ඇත...

ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය....

.........................................................................................................

හඳ දිහා මං බැලුව...හඳත්‍ ඇස් වහගත්ත 
තරු දිහා මං බැලුව...තරුත්‍ වැට බැඳ ගත්ත 
ඉර දිහා මං බැලුව...ඉරත් අද ගිනි ගත්ත 
ආයෙමත් නාරින්න...මමත් ඇස් වහ ගත්ත

..........................................................................................................

මහද මිහිදන් කෙරූ ඔබෙ සුසානය වසා 
රතු සෛල කැටියක් ඝණකමට මිදී ඇත 
මිනී මලකට පවා දැන් එතන තෙතක් නැත 
ගන්ධබ්බ ඔබ ඉතින් එහි පැමිණ පලක් නැත...

එම්බාම් දියර ඉස රකින මල හදවතක 
ප්‍රේමය ඉවත් කල යුතුමය සුපෙම්වත 
නිරන්තර රිදුම් දෙන ඔබ නිදන සොහොන් කොත 
උණුහුම් කරනු බැරි හීතලෙන් මිදී ඇත...

....................................................................................................





Tuesday, January 31, 2017

සුදු පුතේ...





නැන්දා කී කවිය
.....................................................

සුදු පුතේ ලේ රැහැනක
උඹව එල්ලගෙන නාවට
සංසාරයෙ අපේ බන්ධන
සැතකින් කපනු හැකි වෙද...


සුර විමානෙන් බැහැගෙන
උඹ ආ දවසෙ හරි හෙමිහිට
සලු දුන් පත්තිනි විතරමයි
උන්නෙ හිත දන්න කෙනෙකුට...

ජිවිතේ කළුවරම කාලෙක
උඹ ආවෙ නෙක පාට ගාගෙන 
සක්වලේ තරු සේරම
ඔය ඇස් දෙකට අරගෙන..

අම්මයි, මායි අපි දෙන්නම
රෑනක ඇතින්නියො වාගෙම
පුතේ එක වෙනසයි ඇත්තෙ නම්
මයෙ ගාව කිරි සුවඳ නැති කම...

සුදු පුතේ උඹ මැණිකකි
සක්විති කිරුළක්ය පැතිය යුතු
කළල මඩ වැහි මත්තේද
ගැටි ගැටී තව ඔප වැටිය යුතු...

තුන්සිය හැටපහට වැඩියෙන්
තව දවසක්ද ඉවසිය යුතු
පුතේ අම්මෙකුට වැඩියෙන්
දුකක් මං ඉවසියම යුතු...

සුදු පුතේ හැම පෝය දාටම
හඳ දිහාවෙමු අපි බලං ඉමු
ආයෙමත් මං ගෙදර එනකල්
ආදරේ අපි හඳේ තවරමු....

.......................................................................

වත්සලා විජයලත්
ජනවාරි 28, 2017







Tuesday, January 24, 2017

එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට...



විදුලි ගිණි බෝලයක් පොළොවේ ඇනෙන තැන
ඇවිලෙනා තරමටම උඹ ගැනය කැක්කුම
නළලේ තිලකයේ කැපුවොතින් හරස්කඩ
එකම අඩ හඳ නොවෙද, පෙනෙන්නේ උඹට මට...

දෑත දන් දුන්න දා තල් වැටේ ඉන්නකට
පිච්ච මල් සුවඳ මට දැනුනෙ ඇස් අරිනකොට
මායිමට බර තියා උතුරටම ඇදෙනකොට
දෙපැත්තෙම වෙඩි සද්දෙ ඇහුන මට බරටම...

උඹේ උන්, මගේ උන් අදත් මූනිච්චාවට
හිනැහුනත් මායිමක් තිබුන තැන් නැති ලෙසට
එක්කාගෙන කොහොම යන්නෙ උඹ දකුණට
පා සලඹේ හඬට ගෙදර දොර වැහෙනකොට....

ආදරේ හිරවෙලා කවන හැම බත් පිඩක
දැවිල්ලක් දැනෙනවා පපුවේ කෙළවරක
මිනී මල් හිටවලා තල් වැට ගැලෙව්වට
දෑත් පටලනු කොහොම දෑතම අහිමි කොට...







-වත්සලා විජයලත්-

Wednesday, January 18, 2017

ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...

An Image showing  the text "The End"

හදවතෙහි ඇත්තේ විග්‍රහ කල නොහැකි බරකි...ඔහු නික්ම යාමට සැරසෙන බව මා කල් තියාම දැන හුනිමි... එහෙත් මරණ මංචකයේ සිටි ඔහුගේ සුව දුක් බැලීමට මා නොගියෙමි...සියලු වැදගත් ශරීර අවයවන් ඔහුව ප්‍රතික්ෂේප කරන විට, ඔහුටද ජීවත් වීමේ ආශාවක් නොතිබෙන්නට ඇත...ඒ නැතත්, ඔහුට කිසිදාක ජීවිත ආසාවක් තිබුන බවක්, ඔහුගේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් මට හැඟී නැත...

"නංගි, ඔයාට එයාව මතකේ තියන විදියටම හිතේ තියා ගන්න...දැන් ඉන්න විදියට දැක්කොත් හිතට අමාරු වෙයි"

මම ඒ අවවාදයට හිස නමා එකඟ වීමි...අඩි දහයක් දුරින් ඇති ජාතික රෝහලේ දැඩි සත්කාරයේ සිටි ඔහුව නොබලා ආපසු හැරී ආවෙමි...එහෙත් අද ඒ ගැන මා පසු තැවෙමි...ඔහු ගැන මතකයන් පීරමින් අවුරුදු දහ තුනක් ආපස්සට මම ඇවිද යමි...

ඒ දෙදහස් තුන වර්ෂයේ මැද භාගයයි...මා කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන විද්‍යාගාරයේ ඒ මේ අත ඇවිද ගිය කාලයයි...එකල මට ඔහු බොහෝ අද්භූත පුද්ගලයෙකු විය...

ඔහුට තිබුනේ බුරුසු රැවුලකි...ඉතා සිහින් මුදු සහිත කැරළි කොණ්ඩයකි...

"අඩුවෙන් කතා කරන්න...වැඩියෙන් අහන් ඉන්න...ඉහලම සේවකයාගේ ඉඳන් කම්කරුවා වෙනකල්ම එක වගේම මිනිස්සුන්ට ගරු කරන්න...පර්යේෂණ කරද්දී ඒක බොහොම වැදගත්...කෙනෙක්ගේ දෙයක් තව කෙනෙක් එක්ක කියන්නෙපා කවදාවත්ම"

තුන්කාලයටම වටිනා මේ උපදේශය මා එදවස ඉහලින්ම පිළිපැදීමි...විවිධාකාර වූ අමනුෂ්‍ය ගති පැවතුම් ඇති මිනිස් වර්ගයා සමඟ, දේශ දේශාන්තර වල ඔළුව බේරාගෙන ජීවත් වීමට මට අදටද මහෝපකාරී වෙන්නේ මේ ක්‍රමයයි...

මා ඔහුටද අනුගමනය කලේ ඒ පිළිවෙතමය...

අඩුවෙන් කතා කරන ඔහු, අසික්කිත වූද, එහෙත් පියකරු වූද ඒ සිනහව සමඟ බොහෝ විට දොඩමළු වන්නේ කට කැඩුණු කතාවකට පමණය...එසේ නැතහොත් වාමාංශික දේශපාලන කතිකාවකටය...අති බහුශ්‍රුත සාකච්ඡාවක් අවසානයේ, ඔහු සියල්ලෝම ඉච්චා භංගත්වයට පත් වන වචන කිහිපයක් මුමුණා මහ හඬින් සිනා වෙයි...

එකල විසි හතර වියැති මට, ඔහුව පෙනුනේ කිසි දෙයක් මායිම් නොකරන පුද්ගලයෙකු ලෙසය...හැඟීම් විරහිත මිනිසෙකු ලෙසය...එහෙයින්ම, එහි ගත කල පළමු වසර පුරාම මට ඔහු ප්‍රිය ජනක පුද්ගලයෙක් නොවුනි යැයි කිවහොත් වඩා නිවැරදිය...

එහෙත්, එහිදී ආචාර්ය උපාධියකට සම කල නොහැකි ජීවිත හැදෑරීමකට මට ඉඩ හසර ලැබිණි...මා වැඩිහිටියෙකු වූයේ, එකල මැදි විය ආසන්නයේ සිටි, විවිධාකාර ගති පැවතුම් ඇති, ඔවුහු ඇසුරේ කීම වඩාත් නිවැරදිය...කල් ගත වෙත්ම, ඔහු ඇතුළු සියල්ලන්ම වෙන් වෙන්ව කියවීමට මම හුරු වූයෙමි...

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල හයරාකියේ අඩුවක් නැත...රටේ සංස්කෘතික රාමුව නිමවී ඇත්තේ ඇස් බැල්මෙන් පවා ලිංගික උත්තේජනය ලබන මිනිසුන් සමූහයකිනි...එවන් වටපිටාවක, තරුණ යුවතියක්, වැඩිහිටි පිරිමි කාර්ය මණ්ඩලයක් සමඟ, රැයක් දවාලක් නොසලකා විද්‍යාත්මක පර්යේෂණ කිරීම යනු අතුරේ යෑමකි...මා අනුමාන කරන අන්දමට එවන් ගැටළු දියුණු රටවල පවා ඇත්තේය...

පසුගිය දිනක විශ්ව විද්‍යාල අචාර්ය වරයෙකු විසින්ම රචනා කර තිබූ ගීතයේ හරය එයට හොඳම නිදසුනකි...නොකී කතා බ්ලොගයේ ඒ ගැන අපූරු සටහනක්ද තබා තිබිණ...


පර්යේෂණ ආරම්භ කල පසු නිබන්ධනය ලියා අවසාන කිරීම හැර අනිකුත් විකල්පයක් නැත්තේමය...තාරුණ්‍යයේ අගනාම කාලය විද්‍යාගාරයකට සිර කර තබන්නේ, ජීවිතයේ ඉදිරි සැලසුම් සියල්ලේම පදනම එය මත තැබූවන්ය...නේක වර්ගයේ අඩම්, තේට්ටම්, හිත් රිදවීම්, මානසික පීඩා සියල්ල විඳ දරාගෙන මහා පරිමාණ කට්ටක් කා, ඒ සෙනසුරු ඒරාෂ්ටකය ගෙවා දැමිය යුතු බව, එහි වග තුග දන්නෝ, දනිති...   

එහෙත් අපෙන් නික්ම ගිය ඔහු ඇතුලු, ඒ සියල්ලෝම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්වරු වූහ...එය මෙහි ලියා තබන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල, තවමත් එවැනි මහත්වරුන් සහ වන්දනීය වූ ආචාර්ය වරුන් සිටින බව ඔබ සැමගේම දැනගැනීම පිණිසය...

අනේක වූ පෘතග්ජන සිතුවිලි ඇත්තෙකු වූවද, ස්ත්‍රියකට ගරු කරන සම්ප්‍රදාය දන්නා මහත්මයකු වූ හෙයින් කල් ගත වත්ම මම ඔහුටද එලෙසින්ම ගරු කරන්නට පුරුදු වුනෙමි...මා අප්‍රිය යැයි සිතන ඔහුගේ සිතිවිලි පසෙක ලා, ඔහුගේ ඇති ගුණ කියවන්නට මම හුරු වීමි...

එහි ගත කල වසර හත පුරාවටම, මගේ පර්යේෂණ සඳහා දායක වීමට, කිසිදාක ඔහු අදිමදි කල වගක් මට සිහියට නගා ගත නොහැක...මදුරුවාගේ සිට වානරයා තෙක්ම සත්වයින් සමඟ හරඹ කල එම පර්යේෂණ වලදී, ඔහුගෙන් මම බොහෝ සියුම් දෑ උගත්තෙමි...

දුෂ්කර වූ පර්යේෂණ කටයුත්තක කොටසක් සඳහා කොළඹින් පිට යමුදැයි ඇසූ විට ඔහු මට බැහැයි කීවේ නැත...මම අදද ඒ වෙනුවෙන් ඔහුට ගෞරව කරමි...එතෙක් කලක් අප වෙනුවෙන් ඒ රාජකාරිය කල උදව් කරුවන්, එදා නොමැති වූ හේතුව මට අද පැහැදිලිව මතකයේ නොමැත...එහෙත් මා එදා හිතින් බොහෝ අසරණ වූ බවක් පමණක් මට මතක ඇත...

මා ආචාර්ය උපාධිය ලබා ගත්තද, ඔහුට ඒ වෙනුවට ලැබුනේ දීමනාවක් පමණි...එවන් දුෂ්කර කාර්යයන් ඔහුගේ රාජකාරි ලයිස්තුවේ නොතිබුන බවද මා හොඳින්ම දනිමි...එහෙත් ඔහු ඇතුළු කිසිදු සගයෙකු මා හට ආඩපාලි නොකීහ...කිසිදු අල්ලසක් නොඉල්ලූහ...කොරහේත් කිඹුල්ලු දකිනා, ගෞරවනීය රජයේ සේවකයින් වූ ඒ තාක්ෂණික නිලධාරි මහත්වරුන් සහ අනෙකුත් සේවකයින් සියලු දෙනාම මට එදා වචනයකින් හෝ හිත නොරිදවීම සම්බන්ධයෙන් අදටද මා ඔවුනට ණය ගැතිය...


ඒ අවසන් පර්යේෂණයේ ඉතාම තීරණාත්මක දවසක් විය...එදා මගේ සීයාගේ මෘත දේහය නිවසේ තැන්පත් කර තිබුණි...මා කතා කරගැනීමට පවා නොහැකිව අසනීප වී තිබුණි...ඒ සියල්ලම අතරේ මා විද්‍යාගාරයේ සිටිය යුතු විය...එදා රාත්‍රිය වෙන තෙක්ම ඔහු, ඔහුගේ රාජකාරිය කළේය...අසනීපයෙන් සිටි මා කලේ, ඔහු දුන් දත්ත සටහන් කර ගැනීම පමණි...එදා අනෙකුත් සගයෝද මගේ සහායට සිටි බව කිව යුතුමය...

මගේ ස්තුතිය වෙනදා මෙන්ම ඔහු නිහඬ සිනාවකින් මග හැරියේය...ඒ අප එකට කල අවසන් පර්යේෂණයයි...

පර්යේෂණ වලට ලැබුන සම්මාන සහතික වල පිටපත් ඔහුට ලබා දෙන විට ඔහු සමච්චලයෙන් සිනාසුනේය...ඔහුගේ හැටි එහෙමය...සම්මාන ගැන හෝ පර්යේෂණ ගැන ඔහුට වගක් නොවීය...සම හරක් ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ පර්යේෂණ වල ඇති පුස්ස, එකල මටත් වඩා හොඳින් දැන සිටි ඔහු, එසේ සිතීම අරුමයක් නොවේය...

ඔහු මැදි වයස පසු කරමින් සිටියදී, උන් හිටි ගමන් මධ්‍යම කඳුකරයෙන් බිරිඳක කැන්දාන ආවේය...ඇය සමාජය හා ගැටී නැති කුටුම්බ්ගත ස්ත්‍රියකි...නාගරික සමාජය තුල ඇගේ ක්‍රියාකාරිත්වය බොහෝ සීමා සහිත විය...වසර ගණනාවක් අවෑමෙන් වුව, එය අදද එසේම බව ඔහුගේ සගයෝ පවසති...

ඔහුගේ හුරතල් පුතු ඉපදුන දා අප සියල්ලෝම දරුවා බලන්නට ගියා මට මතකය...එහෙත් අප මිත්‍රයාගේ මුහුණේ නිරන්තරයෙන් ඇඳෙන සමච්චල් හිනාවට වඩා යමක් මට එදාද පෙනුනේ නැත...

මා නිබන්ධනය ලියන කාලයේදී ඔහු රෝගී වීම ඇරඹිණි...එක් වකුගඩුවක් අක්‍රියව තිබියදීද, ඔහුගේ සමච්චල් සිනහවේ කිසිදු අඩුවක් නොතිබිණි...හිතේ අමාරුව තිබුනේ රෝහලේ සිටි ඔහුට නොව, ලෙඩා බලන්නට ගිය අපටය...

කාලාන්තරයක් තිස්සේ වියළි කලාපයේ සේවය කොට එහිදී හටගත් මුත්‍රා ගල් වලට, ඔහු ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කර ඇත්තේ හිතු මනාපේටය...නියම කාලසටහනකින් තොරව ප්‍රතිජීවක පාවිච්චි කරන විට විෂබීජ ඒවාට එදිරි වෙයි...ඒ නැතහොත් ප්‍රතිරෝධී වීම ඇරඹේ...අප මිත්‍රයාගේ වකුගඩුව ආසාදනය වී තිබුනේ සියලුම ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය දක්වමිනි...එහෙයින් අවසානයේ ඒ වකුගඩුව ඉවත් කිරීමට තීරණය විය...

මා උපාධිය නිම කර, ලංකාව හැර ආවේ ඒ කතන්දරයේ මැද භාගයේදීය...

එහෙත් කිසිවක් මායිම් නොකරන ඔහු, අක්‍රිය වූ වකුගඩුව ඉවත් කර නොතිබිණි...

ඔහුව මට අවසන් වතාවට හමුවූයේ දෙදහස් පහළොව වර්ෂයේ මැද මා නිවාඩුවට ලංකාවට ගිය වතාවේදීය...කේක් කැබැල්ලක් කමින් ඔහු මට කිවූ කට කැඩිච්ච වචන දෙක තුන මට අද මතක නැත...එහෙත් එහි තිබුනේ සමච්චලය පමණක්ම බව මට ඉඳුරාම කිව හැක...

මෙදා පාර වට මේසයේ කේක් කන්නට ඔහු සිටියේ නැත...ඔහු අප අංශයෙන් වෙනත් අංශයකට මාරු වී ගොස්, එතැනින් නොනැවතී අවසන් ගමනට සැරසෙන බව පමණක් මට අසන්නට ලැබුනි...

"කොම්ප්ලිකෙෂන්ෂ් ගොඩයි...බ්‍රේන් ක්ලොට් එකක්...හිමොග්ලොබින් වැඩියි...හාර්ට් එකේ ඉජෙක්ෂන් ෆැක්ටර් එක 30% වගේ..."

අප කිසිදා නොදැන සිටි තරම් ඔහු සිගරට් පානය කල බවක්ද, අඩුවක් නොමැතිව මත්පැනින් සප්පායම් වූ බවක්ද ඔහුගේ සගයෙක් මට කියා සිටියේය...

"මට ඌව තේරුම් ගන්න බෑ...ඉස්සර සයිට් එකේ ඉන්න කාලේ අහල පහල ගෙවල් වල ළමයින්ට උන්නු හිටි ගමන් ටොෆි, චොකලට් ගිහින් දෙනවා"

එසේ කල ඔහුගේ දරු පැටව් දෙදෙනාගේ අනාගතය ගැන, ඔහුට නොහිතුනේ ඇයි?

"අපිට පුළුවන් දෙයක් කරමු...දැන් එයාට සිහි කල්පනාව මදි...හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කගෙන ගියා...අයි ඩී එක කරෙන් ගලවල දෙන්න වගේ හදනවා...සාක්කුවට අතදාල මොනවද ගන්න වගේ හදනවා, මාව දැක්කම..."

ඒ මා පසුගිය නත්තලේ, ලංකාවෙන් පිටව ඒමට පෙර ඔහුගේ තත්වයයි...එදා මට වේදනාවක් දැනුනේ ඔහු පිළිබඳව නොව, වගකීමකින් තොරව ඔහු මෙලොව අතරමං කර යන්නට තතනන දරු දෙදෙනා ගැනයි...

එකෙක් දෙන්නෙක් හැරුනකොට බොහෝ දෙනෙකුට ඔහු ගැන දුකක් නොතිබිණ...ජීවිතය ගැන වගකීමකින් ක්‍රියා නොකරන බහුතරයක් මිනිසුන් ගැන කිසිවෙක් දුක් වෙන්නේ නැත...

දෙදහස් දහසය අවුරුද්දේ, අවසාන දවසේ ඔහු නික්ම ගොස් තිබිණි...

අවුරුදු පනස් හතකින් ඔහු ජීවිතය විඳ අවසන් කළේය...අවුරුදු දහයක් වන් තම වැඩිමහල් පුතණුවන්ට ජීවිතය විඳවන්නට ඉතිරි කර ගියේය...හයක් හතරක් නොදන්නා පොඩි පුතණුවන්ට හුස්මක් ගන්නටවත් ඉතිරි නොකරම ඔහු යන්නට ගියේය...විශ්‍රාම වැටුප් නොමැතිව, අරමුදල් සියල්ලම ණය වලට හිලව් කර ඔහු බොහෝ සැනසිල්ලේ යන්නට ගියේය...

අවසානයට පහල වන චිත්තක්ෂණ කෝටියක් මැද ඔහුට සුපුරුදු සමච්චල් සිනහව ඔහුට කිසිසේත්ම අමතක නොවන්නට ඇත...

උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට බිහි කල යුතු නැත...අප යැපෙන්නන් බිහි කල පසු, අප කන බොන දෑ ගැන පවා වගකීමක් අපට ඇත...ඒ සඳහා මෙය කියවන ඔබ එකඟ වෙනවාදැයි නොදනිමි...එහෙත් හයක් හතරක් නොදන්නා දරු පැටවුන්ගේ භාරකාරීත්වය, වාසනාවට හෝ කාලයට පවරා අපට හිතුමතේ කා බී විනෝදෙන් සිටිය නොහැක...එසේ කල හැක්කේ ඔබ ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්නම් පමණි...

.........................................................................................................................................

මගේ ආදරණීය මිත්‍රයා...

මගේ වෘත්තිමය ගමන්මග තුල, ඔබ ඉටු කල රාජකාරිය, ඔබට බොහෝ සුළු වෙන්නට ඇත...විටක ඔබට මා පිස්සෙකු ලෙස පෙනෙන්නටද ඇත...

එහෙත් ඔබේ ශ්‍රම දායකත්වය නිසා මා අද සුවසේ වෙසෙමි...එදා විද්‍යාගාරයේ මෙලෝ හසරක් නොදැන, එහෙ මෙහේ ගිය කෙසඟ යුවතියට ජීවිතය ජය ගැනීමට, ඔබ දුන් දායකත්වය මිල කල නොහැක...එතැනින් පිටවූ මා වැනි බොහෝ දෙනෙකුට ඔබ එසේ කරන්නට ඇත...

ඔබ සතුව එදා තිබුණ විශේෂ ප්‍රාගුන්‍ය ගැන ඔබට හැඟීමක් නොතිබෙන්නට ඇත...කිසිවෙක් ඔබේ සේවය ඇගයීමට ලක් කලේද නැත...එහෙත් විදේශයකදී, ඒ විශේෂ ප්‍රාගුන්‍ය පැය දෙක තුනකදී ඩොලර් පන්සියකට අලවි වන බව ඔබ දැනගත්තා නම්, ඔබට තමන් ගැන යන්තමින් හෝ අගයක් දැනෙනු ඇත... 

නැවත අප හමු නොවෙනු ඇත...එහෙත් ඔබ සුවිශේෂ මිනිසෙකු ලෙස මා හදවතේ රැඳෙනු ඇත...

ඔබට සුබ ගමන්...එහෙත්, ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...

........................................................................................................................................




Saturday, January 14, 2017

ඉංජිනේරු අක්කාගෙන් වේටර් මල්ලීට...


ඉඳුල් වතුර වලට ඇහැකි 
පතොක් ගහක මල් අනින්න 
අට්ටි ගහන පිඟන් මැදින් 
හීන උඹේ ගොඩ ගහන්න 
අප්පච්චී උඩින් ඉඳන් 
කිව්වෙම උඹ බලාගන්න 
ඒත් උඹට ඕනෙ උනේ 
මලක් වගේ මං රකින්න...

උඹේ හිනා වෙන ඇස් වල 
මගේ හීන පැල කරන්න 
උඹේ හීන සේරම ටික 
කාසි වලට දිය කරන්න 
දැන් ඒ ඇති මට ඕනෙම 
හඳ ලඟින්ම උඹ තියන්න 
අපි දෙන්නා දෙතැන තියා 
ලෝකෙට බෑ කරකැවෙන්න...

වැලි කැටේට පුළුවනි නම් 
බෙල්ලෙකුගෙන් මුතු හදන්න 
උඹේ හිතට පුළුවන් වෙයි 
ඉඳුලෙන් මසවුළු හදන්න 
බලා උන්නෙ හුඟක් කලක් 
කවියක් උඹ ගැන ලියන්න 
මං තියාපු ලකුණු උඩින් 
මල්ලියෙ අඩි තියල එන්න... 


Saturday, December 31, 2016

ජීවිතය කලබල විය යුතුය....Happy New Year...2017

මල් පොකුරක් දරා සිටින ළදැරියක්‌ 

ජීවිතය කලබල විය යුතුය 
මිනිත්තු පහක පොරොත්තු කාල සීමාව තුල පවා නිමා කිරීමට 
තව රාජකාරියක් තිබිය යුතුමය ....
එසේ නොවුන විට කල්ප ගානක අතීතය යන්තමින්ද,
මෑත අතීතයේදී සිදුවූ දෑ තත්පරයෙන් අශුවෙන් පංගුව තෙක්මද,
මෙනෙහි කිරීමට හැකි අතීතස්මරණ ඥානය පහල වේ....
එවිට හදවතේ කපාට බිත්ති ඝනකම් වී 
"හෝල් ඉන් ද හාර්ට්'' තත්වය තෙක්ම වර්ධනය විය හැක....
ජීවිතය එසේය...හදවතේ හිලක් ඇති වන එකත් එක අතකට හොඳය...
එවිට කිසිම බරක් උහුලාගෙන සිටිය යුතු නැත....
එවන් කල්පාන්තර මතක ස්මරණ අතරින් 
"නැන්නා බබා ?"
සිඟිති පා ගැටෙන හඬත්, මුදු මොලොක් හුරතල් හඬත් 
විටක ඇසී නෑසී යයි....
මා දෑස් හැරියොත් ඈ කෑ ගසා දිව විත් මගේ ලැමඳ මත ගුලි  වෙන්නීය....
ඉන් පසුව ඇත්තේ දිගු නිහඬතාවයකි....
දෑ අවුරුදු දැරියකට තරම් නොවෙන නිහඬතාවයකි....
ඈ දෑස් පියාගෙන මට තුරුළු වී හිඳින්නීය...
''රත්තෙ පතා'"   
ඈ මුමුන්නීය....
''ඔව් මැණික....ඔයා මගේ රත්තරන් පුතා''
මම කියමි..
ඇගේ සිඟිති අතැඟිලි මගේ දෙකොපුල් පුරා යන්නේ ඉතා සෙමිනි....
ඒ අත්ලාන්තික් සාගරයෙන් එහා පැත්තේය...
එය බොහෝ දුරකි...
ස්මරණයට පවා වෙහෙසකර දුරකි...
ඒ දුරින් දුරස් කර තබන දෑ බොහෝය...
තුන්තිස් පැයේම ළඟ රැදෙන්නට බල කරන දෑ බොහෝය...
මේ අත්ලාන්තික් සාගරය මගෙන් ඈත් කල දෑ බොහෝය...
ජීවිතය කලබල විය යුත්තේ එබැවිනි... 
එවිට එළඹී සිහියෙන් සිටිය යුතුමය...
අද මේ මොහොතේ ජීවත් විය යුතුමය...
අතීතස්මරණය භාවනාවකි..
හදවතේ බොහෝ සීතල තැන් උණුසුම් කර 
හදවතක් ඇති බව සියුම් ස්නායු හරහා දෑසට මතක් කර දෙන්නකි...
ඊයේ දවාලේ මට අද  31 බව මතක තිබුණි...
එහෙත්, 
මේ ගෙවී යන්නේ 31 වෙනිදා රාත්‍රිය වග 
නැවත මතක් වූයේ දැන් ටිකකට කලියෙනි....
ප්‍රේමය සහ කැස්ස සැඟවීමට බැරි බව සමහරු කියති...
එහෙත් මේ එළඹෙන වසරේවත් ප්‍රේමය කෙසේ වෙතත් 
කැස්ස නම් කෙසේ හෝ සඟවා ගත යුතුය...
සති හයකට පමණ කලින් උණෙන්, සෙම්ප්‍රතිශ්‍යාවෙන් පටන් ගත් කැස්ස,
හිම මිදෙන හීතලේ පපුව පුරවාලන්නේ, 
හදවතේ ඇති බර නොදන්නා නිසා වෙන්නට පුළුවන...
ඊයේ දවාලේ මේ සිසිරයේ පළමු හිම වැස්ස දුටිමි...
වැස්සක් කිව්වාට ඒ වැටුනේ මල් තුහින පමණකි...
මට නම් ඒ හොඳටෝම මදිය...
සීතලෙන් මිදී යන්නට හිම කුණාටුවක් අවැසිය...
පෙනහළු පිරවූ කැස්ස සමඟ සෘණ අගයක් ගන්නා හීතලේ යන විට දැනෙන අමන්දානන්දය 
ඔබ දන්නවාදැයි නොදනිමි...
බෙහෙත් කෙසේ වෙතත් කෝපි වලින්ම දවස ගත වෙන්නේ 
ඒ නිසාවෙන් වෙන්නට පුළුවන...

මේ සියලු වැල් වටාරම් ලිව්වේ ඔබ සියලු දෙනාට සුබ නව වසරක් පතන්නටය...
අතීතස්මරණය අස්සේ එක් වරම මතක් වූයේ  මේ වන විට 
 ලංකාවාසී ඔබ සැමට 2017 එළඹී ඇති වගය...

ඉඳින් ලංකාවාසී, ලෝකවාසි බ්ලොග් සොයුරු සොයුරියන් හැමදෙනාටත්, බ්ලොග් කියවන, නමක් ඇති, නමක් නැති කමෙන්ටු දමන ඔබ සියලු දෙනාටත්, සියලු ලෝ වැසියන්ටත් සාමය, සතුට, සෞභාග්‍ය පිරි ආදරණීය නව වසරක් වේවා...

ජීවිතය කලබල විය යුතුය...එමෙන්ම ඔබේ ආදරණීයයන් සමඟ නිරන්තරයෙන් රැඳිය යුතුය...
ආදරය බෙදා ගත යුතුය...
මන්ද, හෙට උදෑසන හිරු එළිය දැකීම 
බොහෝ අවිනිශ්චිත බැවිනි....




Thursday, December 1, 2016

ගැහැණු හිත්....

ගැහැණු හිතකට ඇහැකි විලක් සේ ඉන්නට
එපා ඔබ එන්නට එය කලම්ඹන්නට 
කරණම් ගසුවොතින් කිමිදී බලන්නට 
සසල වුන රැළිති ඇත...ගසාගෙන යන්නට...

නැතිනම් හැකිවේය...කරවට ගිලෙන්නට....


ඉඩෝරය ඇවිත් යන හීන්වට කොනිත්තන 
වැහි බින්දු ඇනුනාට ලප කැළලි මතු නොවන 
නාටු නටුවක පවා සුවඳ සියපත් පිපෙන
විලක දිය බිඳිති ඇත බොහොම ගණකම පිරුන....

සකි තෙරට පෙනුනේ සියුමැලිකම පමණ....

පතුලේ වහං වුන කැට කැබලිති බොහොම
අඳුරින් පීරී ගිය මතක අහුමුලු අරුම 
මුතු බෙල්ලෙකුද ඇත හංගාගෙන රකින 
උල්පතකි විඳින්නේ එහි සොඳුරුම ගැඹුර....

මං පහරන්නෙකුට සකි නැත එහි උරුම....


වත්සලා විජයලත්.