Sunday, September 30, 2018

බුදු වෙන්න බෑ පුතේ...පිරිමි උනු පලියට...



Image courtesy- internet 



වුද්ධිකාරෝ කියා වඳිනකොට ආ සුවඳ 
එදා රෑ හිස පලා, ගලාගෙන ගිය අපුල 
ඇනි ඇනී නයිටියේ, තාත්තගෙ කොට රැවුල
ඉදිමිලා උප්පැන්නෙ, ඉහිරුනා ලේ පාට....

අම්මා නිහඬවම බුදු වෙන්න පැතුවාද
දොර පියන්  හැර තියා ජූජක බමුණාට
කඳුලක් වැලලුවට කනේරු ගහක් යට  
අන්නාසි ගැට පුතේ අමතක වුනා මට...  

සිංහයා මැරුණාට, සීවලී නැති දුකට
සිංහබා දැන් අයිති ඉතිහාස කතාවට
තාත්තා බුදු වෙයන්, පුරුද්දට කිව්වාට
බුදු වෙන්න බෑ පුතේ...පිරිමි උනු පලියටම...

-ww

පසු සටහන:

පසුගිය දවසක ජාන පරීක්ෂණයකින් ඔප්පු වෙනවා, තමන්ගෙ තරුණ දියණියගේ දරුවා, එම දියණියගේම පියාගේ වග. ඒ වගේම ඒ දියණිය දීර්ඝ කාලීන ලෙස පියාගෙන් අපයෝජනය වෙද්දී, මවත් මේ සියල්ල සඟවා ජීවත් වී ඇති වග. මේක ලංකාවේ දකුණු පළාතෙන් වාර්තා වුන සිද්ධියක්. මේ තිරිසන් කම සම්භාව්‍ය වචන හරහා ඉදිරිපත් කරන්න මට සෑහෙන්න අසීරු වුනා. ඒ දියණියගේ හැඟීම් වලට මේ වචන වලින් කවදාවත් සාධාරණයක් වෙන්නත් නෑ කියල මං දන්නවා. ඒ වුනත් අපි ඇස් දෙකේ තියාගෙන හදන දරු පැටව්, අඩිය තියල යන සමාජයේ මේ වගේ මිනිස්සුත් ඉන්න වගට ඔවුන්ව දැනුවත් කරන එක දෙමාපියන් වශයෙන් ඔබේ වගකීමක්.

Thursday, August 30, 2018

එයා...(ජීවිතය ලියා තබමි-3)

රුව අන්තර්ජාලයෙනි 


අවුරුදු දාසයක් තිස්සෙම මට එයාව හීනෙන් පේනවා...ඔව් මාස දෙක තුනකට වතාවක්...එයාව මං නිතර දැක්ක විදියට, සමහර දාට හරිම ලස්සනට...

අපි වෙන් වෙච්චි අලුත, මට නින්දක් නිදා ගන්න ලැබුනෙම නෑ...හැමදාම වගේ එයාව හීනෙන් පෙනුනා...එයා ඇවිත් මොනවදෝ මට කියල යනවා...මහා ආගාධයක් ඇතුලේ හුඟාක් වෙලා හුස්ම හිර කරගෙන ඉඳල එළියට ආවම දැනෙන හැඟීම කොයි වගේද...ඒ හීනෙන් පස්සේ එළඹෙන උදේට මට දැනෙන හැඟීමත් ඒ වගෙයි...ඒක මහ තෝන්තු වෙච්චි හිතුවිල්ලක්...පුදුමාකාර වෙහෙසක්...හොඳට වැඩුණු ගහක් උගුල්ලලා අලුතින් හිටවල වගේ...

මුලදී වගේ නෙවේ, කාලයක් ගත වෙද්දී මට එයාව හීනෙන් පේන්නේ,  මොනවම හරි දෙයක් ගැන ඉඟියක් දෙන්න...ඒක මගෙ හිතලුවක් නෙවේ...ඒක ඇත්තටම එහෙමයි...ගොඩක් වෙලාවට ජීවිතේ ගැටළුවක් ගැන ඉඟියක්...

අපි දෙන්න එකට උන්න කාලේ, ජීවිතේ ගැන මහා දාර්ශනික සාකච්චා කරන තරමට අපි ලං වෙලා උන්නෙ නෑ...මං එයාට ඉස්සර ගොඩක් බයයි...ගොඩක් දේවල් මං කලේ එයාගේ නීති වලට බයට...එයාගේ තිබුන හිතුවක්කාර මුරණ්ඩු ගතිම තමයි මටත් තිබුනේ...එයාට  හිතුනොත්, ඒ දේ අනිවාර්යෙන් කරනවා...එයාට තිබුන පුදුමාකාර ආත්ම විශ්වාසයක්...ඒ වගේම කරන වැඩ හරි පිළිවෙලයි...එයා ඒ වගේම හරිම අවංකයි, නිර්භීතයි...කිසිම මිනිහෙක් ඉස්සරහ එයාගේ ඔලුව නැවෙන්නේ නෑ, මනුස්සකමට ඇරුනම...

අවාසනාව කියන්නේ මං එයා ගැන මේ විදියට විශ්ලේෂණය කරන්න ගත්තේ එයා මාව දාල ගිහිනුත් හුඟාක් කාලයක් ගියාට පස්සේ...මං ඇතුලේ අද වෙද්දී පැල වෙලා තියෙන්නේ, එයා වපුරාපු දේවල්...කොටින්ම කියනවා නම් මං එයාම තමයි...ඒක මට දැන් දවස ගානෙම දැනෙනවා...ඒ ගතිගුණ දැන් මටම වදයක් වෙලා...හැමතිස්සෙම එයාගේ ඒ ගතිගුණ ප්‍රගුණ කරන්න අමාරුයි...ඒ හින්ද පහුගිය දවස් ටිකේ මටත් සිද්ධ වුනා, මගෙ වටේ වෙන දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න...ඒ අස්සෙ, ඊයේ මගෙ හිත මට තර්ජනය කළා, මොළේට දැනුම් දෙනවය කියල තවත් කට පියාන ඉන්න එපාය කියල...ඔහොම මහා පීඩනයක් ඔලුවේ තියාගෙන මං ඊයේ රෑ නිදාගත්තෙ...ඉන් පස්සේ මුළු රෑ තිස්සෙම මට එයාව හීනෙන් පෙනුන...ඒක විකාර සිද්ධි දාමයක්...ඒ හීනෙන් පස්සේ මං ඇහැරුනේ බූවල්ලෙක් උගේ දඩු වලින් මගෙ මොළේ වෙලාගෙන ඉන්නවා වගේ හැඟීමක් එක්ක...ඒ එක්කම මට දැනුන, මං අර නිදාගනිද්දී කල්පනා  කරපු ගැටළුව එක්ක ගණුදෙනු කරද්දී බොහොම ඉවසිලිවන්ත වෙන්න වෙන්න ඕනෑ වගේ හැඟීමක්...එයා අර හීනෙන් ඇවිත් මට කිව්වෙ එහෙම දෙයක් කියල හිතුන...

හිතන්න, දැන් අවුරුදු දාසයක් තිස්සේ, මං මාසෙකට දෙකකට වතාවක් එයා මං ළඟ උන්න කියල හිතන් රැවටිලා හීනෙන් ඇහැරෙනවා...ඒ වේදනාව...සමහර විට වතුරේ ගිලිලා හුස්ම හිරවෙලා මැරෙද්දි දැනේනේ එහෙම වේදනාවක් වෙන්නැති...ඒක මට මෙහෙම විස්තර කරන්න බෑ...

එයා මාව දාල යද්දි මං ඇඩුවේ නෑ...මට හුඟාක් වැඩ තිබුන කරන්න එයා මාව දාල ගියාට පස්සෙ...මට මගෙ ජීවිතේ ගැන, එයා ගැන අවලෝකනය කරන්න වෙලාවක් තිබුනෙ නෑ...ඒ වුනාට, හැම මිනිහෙකුටම එනවා මට වගේ කාලයක්...ජීවිතේ ආපස්සට යන්න...එයා තමයි මගෙ ජීවිතේ, මගෙ හදවතේ ඇති වුන අතිශය ගැඹුරුම ප්‍රේමය...ඒ වුනාට මේ  ජීවිතේ රේස් දිවිල්ල හින්ද, එයා ළඟින් තුරුළු වෙලා ඉඳන් එයාට මට ආදරේ කරන්නවත්, මට එයාට ආදරේ කියන්නවත් ඉඩක් ලැබුනේ නෑ...ඒ ලංකාවේ හැටි... 

එක අවුරුදු දවසක එයා ඇඩුව...ඒ තමයි මං එයාගේ ඇස් වල කඳුළු දැක්ක එකම එක දවස...එතකොට එයා අසනීප වෙලා බොහොම කාලයක්...එයා ඒ වෙද්දී බොහොම දුප්පත් මනුස්සයෙක්...එයා දස මහා යෝධයෙක් වගේ ඉස්සරම මං දැක්කේ...ඒ වුනාට අන්තිමට එයා පුංචි දරුවෙක් වගේ වුනා...එයා මුලින්ම අසනීප වෙච්චි දවසේ, මට මතකයි "චුටි මැණිකේ" කියල  මට කෑ ගැහුවා...අනිත් ඈයෝ "චූටි" කියද්දී, එයා විතරයි මට චූටී මැණිකේ කිව්වේ, එයා මාව දාලා ගියාට පස්සේ එහෙම කියන්නේ කවුරුත් මට උන්නේ නෑ...

එයා මාසයක් තිස්සේ හොස්පිට්ල් ඉද්දී, මං හැමදාම ගියා එයාව බලන්න...ඒ කාලේ මං කැම්පස්...දෙතුන් වතාවක්ම එයා අසනීප වුනේ, කැම්පස් එකේ එක්සෑම් අතරෙදි...ඉතින් මං ඒවට හුරු වෙලා තිබ්බෙ, හොස්පිට්ල් සහ කැම්පස් අතර ගමනට...දවල්ට ගිහින් එයාට බත් කන්න දීල කැම්පස් ඇවිත් එක්සෑම් ලියන්න...එක්සෑම් එකක් ලියල  යන හැම වතාවකම, එයා මගෙන් ඇහුවේ එක දෙයයි...හොදට ලකුණු තියෙයි නේද කියල...එයාගේ ඒ ආඩම්බර කාර හිනාවට මං හරි ආදරෙයි...

ඒත්, එක දවසක් රෑ එයාට ගොඩක් අමාරු වුනා...එයා හුඟාක් හය්යෙන් හුස්ම ගත්ත, හුඟක් අමාරුවෙන්...මං හිතුවේ එදත් වෙනද වගේ කියල...මොකද ඔහොම අමාරු වෙලා එයාට අඩු වෙනවා...එදායින් දවසකට පස්සේ මගේ කැම්පස් එකේ අවසන් වසරේ, අවසන් වාරයේ, අවසන් විභාගය...මං පාඩම් කරන්නේ අන්තිම දවස් දෙක තුනේ...ඒ නිසා එදත් මං පාන්දර වෙනකල් පාඩම් කළා...මං පාන්දර එයා ලඟට යද්දී එයා මහන්සියෙන් හුස්ම ගන්නවා, මං එයාට තේ එකක් හදල දීල, එයාට නින්ද යනකල් පිරිත් කිව්වා...එයාට නින්ද ගියේ නෑ...එයා ඇඳ උඩ වාඩි වෙලා බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ගමන්, පිරිත් අහගෙන උන්නා...එදා එයා කතා කලේ ගොඩක් අඩුවෙන්...එයාට අමාරුයි කියල කොයිම වෙලාවකවත් කිව්වේ නෑ...විභාගේ සිහියෙන් හිටපු මට එයා ගැන ඒ තරම් දැනුනෙත් නෑ...ඒ මගේ හැටි...අනිත් එක එයාගේ අසනීපෙට මං හුරු වෙලා උන්නේ...

පහුවදාට එළි වුනා...එයාට අඩුවක් තිබ්බේ නෑ...ඒ දේට මං හුරු වෙලා හිටපු තරමට, මට දැනුනේ නෑ එයා ඉන්නේ හුඟක් අමාරුවෙන් කියල...ඒත් දවල් වෙද්දී එයාට හුස්ම ගන්න බැරි තරම් අමාරු වුනා...එයාගේ බඩ ඉදිමිලා තිබුනෙ...එයාව අපි එක්කරගෙන ගියේ ලඟම තිබුන නර්සින්ග් හෝම් එකට..ත්‍රී වීලර් එකක...එයා මැද වාඩි, මගෙ උරේට වාරු වෙලා...එයා එකම එක දෙයයි මගදී ඇහුවේ..."අපි මේ කොහෙටද යන්නේ"....අන්න එතකොටයි මං මගේ හීනෙන් ඇහැරුනේ...එයා ආයිමත් එක වචනයක්වත් කතා කලේ නෑ...ඒ තමයි එයාගේ අන්තිම වචන ටික...නර්සින්ග් හෝම් එකෙන් එයාට බෙහෙතක් දුන්නා...එයා වෙනද වගේම ඒවා උගුරට දෙකට ගිල්ලා...ඒත් එයාව එතනින් බාර ගත්තේ නෑ...ඒ කාලේ ඒ නර්සින්ග් හෝම් එකේ ඉඳන් හොස්පිටල් එකට යන්න පොඩි පාරක් තිබුනේ...ත්‍රී වීලර් එක හුඟාක් ගැස්සුනා...මං එයාව හය්යෙන් අල්ලගෙන උන්නේ...එක පාරටම එයාගේ ඔලුව මගේ උරහිසට කඩාගෙන වැටුන...මිනිහෙක් මැරෙන හැටි ඊට කලින් මං දැකල තිබ්බෙ නෑ...ඒ හින්දම මං පුදුම තරම් වෙර දාල එයාව හෙල්ලුවා...කෑ ගැහුවා...එයා ඇස් ලොකු කරලා මගේ දිහාවේ බැලුව...ඒ බැල්ම...ඒ බැල්ම මට කවරදාකවත් අමතක වෙන්නේ නෑ...ඉන් පස්සෙ එයාගෙ ඔලුව ආයිමත් මගෙ උරහිසට කඩාගෙන වැටුන...

එයා ආයිමත් හොස්පිටල් එකේදී අපි හැමෝම දිහා ඇස් ඇරල බැලුව....ඉන් පස්සේ ඉතිරි උනේ අපි තුන්දෙනයි. මගේ අම්මයි, මමයි, එයයි...එතන හිටපු අනිත් අය ගියා...අපි දෙන්න ඩිංගක් අහක බලාගත්තු ටිකට එයා අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙ නැවතුනා...මං මේ ජීවිතේ කිසිම දවසක ඒ තරම් මෝඩ හිතිවිල්ලක් හිතල නෑ...මං හිතුව එයාට සනීපයි කියල...අම්මටත් මං ඒක කිව්වා...අපි දෙන්නම එයාට ලං වෙලා බැලුව...එයාගේ මූනෙ තිබුනෙ පුදුමාකාර සැහැල්ලුවක්...ඒ සැහැල්ලුව එයාගේ මූනෙ මං කවදාවත් දැකල තිබ්බේ නෑ...

එයා ඒ මහ වැස්සේ යන්නම ගියා...ඒ ධාරනිපාත වැස්සේ අපිට අතරමං වෙන්න ඇරලා එයා යන්න ගියා...එයා එයාගේ අමාරුව මට කිව්වේ නෑ...එයා තීරණය කරන්නැති, අනිත් එක්සෑම් වලදී වගේ ආයිමත් මට කරදර නොකර ඉන්න...එයා හුඟක් මහන්සි වුනා, එයාගේ හුස්ම ටික රැක ගන්න...ඒත් එයා පැරදුනා...ඇත්තටම අපි සේරෝම පැරදුනා...මං අදටත් ජීවිතේ පැරදිලා...ලෝකයක් දිනුවත්, ඒව බලන්න එයා මං ළඟ නෑ...මාව ලෝකෙම දිනවන කෙනෙක් කරන්න, වුවමනාව තිබ්බෙ එයාට...ඒ නිසා මං ඒක කළා..එයත්, මගෙ අම්මත් වෙනුවෙන් මං ඒක කළා...

මං විභාගෙට ගියා පහුවදා එයාට වැඳලා...ගෙදර එද්දී විභාගේ කොහොමද කියල අහන්න එයාට පුළුවන් කමක් තිබ්බේ නෑ...එයා උන්නෙ බොහොම සුවබර දිගම දිග නින්දක...රසායන විද්‍යාව පේපර් එක ලිව්වේ කොහොමද කියල මට මතක නෑ...හැබැයි මං අඩුවේ නෑ...කලින් දා රැයක් තෝන්තු වෙලා මං ඇස් අරං උන්නෙත් අමාරුවෙන්...කවුරු හරි මට උත්තර මතක් කරලා දෙනවා වගේ දැනුන...ඒ නිසා මං ලිව්වා...මට ආදරේ කරපු සුළුතරයක් දෙනා එදා මං ලඟින් උන්නා, ඒ ඇර වෙන කිසිම කෙනෙක් විශ්වාස කලේ නෑ, මට ඒ විභාගෙන් පාස් වෙයි කියල...මං දන්නවා හුඟ දෙනෙක් හිතුවේ මං අමන කෙල්ලෙක් කියල...හිතක් පපුවක් නැති...නෑ, මං එහෙම නෙවේ, මං කියන්නේ, එයා උස් මහත් කරපු  බොහොම ශක්තිමක් ගහක්...ඒ හින්ද මං වැටුනෙ නෑ, මට ඒ විභාගෙට "ඒ " සාමාර්ථයක් තිබ්බා...මං දිනපු එක විභාගයක් ඇර, වෙන කිසිම දිනුමක් බලන්න ඉන් පස්සේ එයා මං ළඟ උන්නේ නෑ...මට මතකයි එදා රෑ දෙගොඩහරි ජාමෙ, කවුරුත් නැති වෙලාවක, මං එයා ලඟට වෙලා ගොඩාක් වෙලා ඔහේ වාඩි වෙලා හිටියා...හැබැයි මං ඇඩුවේ නෑ...මට අඩන්න තරම් නිදහසක් තිබුනෙත් නෑ...

එයාගේ සීතල අත් දෙක අල්ලලා මං හිතෙන් පොරොන්දුවක් වුනා...ඒ එයා ආදරේ කරපු හැමෝටම මැරෙනකල් එක සීරුවට ආදරේ කරන්න...එයාලව ආදරෙන් බලා ගන්න...මං ඒක අදටත් රකිනවා...

මං දැනන් උන්නේ නැති මගෙ අනාගතේ එයා හැමදාමත් දැක්කා...ඒ හින්ද වෙන්නැති අදත් මගේ ලඟට ඇවිල්ල එයා මට ජීවිතේ ගැන ඉඟි දීල යන්නේ...එයා එක්ක කතා කරන්න දේවල්, ඇවිදින්න තියන තැන් නම් නිමක් නෑ...දවස ගානේ ඒවා වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නෙත් නෑ...ජීවිතේ එහෙම තමයි, මිනිස්සුන්ට වැඩිපුර මතක් වෙන්නෙ තමන් ළඟ නැති දේවල්...

ඒ ආදරේ ගැඹුර දැනෙන්න ටිකක් වයසින් මෝරන්න ඕනේ...එයා තමයි මගෙ ජීවිතේ මෙතුවක් කාලෙකට ඇතිවුන ගැඹුරුම ආදරේ...එයා තමයි මගේ ආදරණීය තාත්තා...මාසෙකට දෙකකට වතාවක් හීනෙන් ඇවිත්, මං හොඳින් ඉන්නවද කියල මගෙන් අහල යන මගෙ තාත්තා...

--ww--
අගෝස්තු 30, 2018

Sunday, August 5, 2018

අන්තර්ජාලය සහ ළිං මැඩියෝ (සහ මරිජුවානා රිසර්ච්)



රුව අන්තර්ජාලයෙනි 


එතුමා නයිජීරියාවේ සිට කංසා පිලිබඳ පර්යේෂණ කල අන්දම රස කරමින් පවසන අයුරු මම බලා උන්නෙමි. ඔහුගේ පර්යේෂණ සහයිකාවද වරින් වර ඔහුගේ කතාන්දරයට අටුවා ටීකා සැපයූවාය. ඔහු ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකි. ඔහු කියනා අන්දමට කංසා ශාකය නොමැති නම්, මේ ලෝකයට නූල් පටක දෙයක් නොලැබේ. එයට හේතුව නූලේ පටන්, අමන්දානන්දය දක්වා සියලුම දේවල් මෙම ශාකය විසින් ලබා දෙන හෙයිනි. මේ රසබර කතාව මා මුල සිට අගටම අසා සිටියේ හේතු කිහිපයකටය.  එකක් ඔහුගේ පර්යේෂණ පිළිබඳව තව දුරටත් කියවා බැලීමට මා තුල වැඩුන කුකුසය. දෙවෙනි කාරණය, මා කුඩා කාලයේ පටන් කංසා ගැන අසා තිබෙන නිසාය.  තුන් වන කාරණය, ගංජා ඇබ්බැහියෙන් අතරමං වූ මානසික ව්‍යාධියෙන් පෙලෙන කාලය කා දමන්නන් මා දන්නා නිසාය.

ඇත්තම කතාව නම්, මහාචාර්ය තුමා කංසා වල අමෘත ගුණය ගැන මහා පුස්තකයක් ලියා පල කොට ඇත. මා මේ දකින්නේ ඒ පුස්තකයට ප්‍රසිද්ධිය ලබා  දීමේ වැඩසටහනකි. ඉතාම සුන්දර කාරණාව නම්, ඔහු ඒ පුස්තකය එළිදක්වන වැඩසටහනේදී එය මුලින්ම පිළිගන්වා ඇත්තේ අතිගරු මහා සංඝරත්නයට වීමයි. ආචාර්ය, මහාචාර්ය වරු සංගීතඥයින් පිරිවරාගත් මේ පුස්තකය එළි දැක්වීම මහා ඉහලින් සිදු කර තිබුණි. ඔහුගේ පුස්තකයේ අඩංගු කරුණු ලෙස, ඔහු පුන පුනා පැවසුවේ, ඔහු ඒ සඳහා පරීක්ෂණ කල වගත්, අන් අයගේ පරීක්ෂණ වල දත්ත එම පොතේ සඳහන් බවත්ය.

බොහෝ මිනිසුන්ට අන්තර්ජාලය ඇත්තේ  වීඩියෝ බලන්නටත්, මුහුණු පොතේ ඕපා දූප සොයන්නටත්ය. එසේත් නැතිනම් චැට් කරන්නටය. එසේත් නැතිනම් ඔහේ කාලය කා දමන්නටය. එහෙත් ඔබට කුමක් හෝ කරුණක් පිළිබඳව ගැඹුරෙන් අධ්‍යනය කරන්නට අවශ්‍ය බොහෝ දත්ත, මේ වන විට අන්තර්ජාලයේ ඇති බව ඔබ දත යුතුය. අවශ්‍ය වන්නේ, ඒ සඳහා ඔබේ මොළය පුරුදු, පුහුණු කිරීම සහ ඉංග්‍රීසි භාෂාව පිලිබඳ යම් මට්ටමක දැනුමක් පමණය. 

ඉහත කී මහාචාර්යාට අනුව ඔහු කංසා පිළබඳ බොහෝ පර්යේෂණ සිදු කොට ඇත්තෙකි. ඔහුගේ සහකාර දැරිවියද, ඇයට එය යම් අභියෝගයක් බව කීවේ සිනා මුසු මුහුණින්ය. 

ඔබ පර්යේෂකයෙක් නම්, ඔබේ පර්යේෂණ දත්ත, පර්යේෂණ පත්‍රිකා වලට ඇතුලත් කර ප්‍රසිද්ධ කල යුතුය. මේ පර්යේෂණ පත්‍රිකා පල කිරීමට විවිධාකාර සඟරා වලට අයදුම් කල හැකිය. මෙම පත්‍රිකා වල අඩංගු වන කරුණු වල තත්වය, නිරවද්‍යතාවය, නව්‍යතාවය, ක්‍රමවේදයන්, නව සොයා ගැනීම් යනාදී බොහෝ කරුණු මත පදනම්ව, මේ සඟරා වලට අගයක් ලබා දී ඇත. අගයෙන් ඉහල සඟරා වල පළවෙන පත්‍රිකා වල අන්තර්ගතයෙහි ඇති ගුණාත්මක භාවය වැඩි බවට අපි විශ්වාස කරමු. උදාහරණයක් ලෙස, ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයෙහි, ජාතික වෛද්‍ය පුස්තකාලය මගින් පවත්වාගෙන යන, PubMed central යන ලේඛනාගාර සේවාව හරහා ඔබට බොහොමයක් විද්‍යාත්මක පර්යේෂණ ලිපි කියවා බැලිය හැකිය. නමුත් මේ යටතේ ගොනු කර ඇති සියලුම පත්‍රිකා ඇතුලත් වන්නේ, ලැයිස්තුගත සඟරාමය වර්ගයටය. එසේත් නැතහොත් ගුණාත්මක බවෙන් උසස් වර්ගයටය. 

පබ්මෙඩ් සෙන්ට්‍රල්හි, කිසියම් විද්‍යාඥයෙකුගේ හෝ පර්යේෂකයෙකුගේ වාසගම සමඟ මුලකුරු සඳහන් කර විපරම් කල විට ඔහුගේ පර්යේෂණ පත්‍රිකා වල ලැයිස්තුවක් ඔබට දැක ගත හැකිය. අපගේ මහාචාර්යතුමාගේ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් මේ යටතේ මා හට දකින්නට නොලැබුණි. එය ඔහුට පමණක් නොව බොහෝ ශ්‍රී ලාංකික ආචාර්ය මහාචාර්ය වරුන්ට පොදු ගැටළුවකි. ඔවුන් තමාගේ පැවැත්ම සඳහා කුමක් හෝ අඩු තත්වයේ පර්යේෂණයක් සිදු කොට, කුමන හෝ සඟරාවක ප්‍රසිද්ධ කොට ඉතා ඉහලින් වැජඹෙති. නමුත්, ලෝකයට සේවයක් කල, ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුතු පර්යේෂණ කරන අතලොස්සක් ලංකාවේ නැතුවාමත් නොවේ.

මා ඉහත කී ඉන්ඩෙක්ස්ඩ් ජර්නල් ලයිස්තුවේ නොමැති වෙනත් සඟරා ඇති හෙයින් ඔබට ඇති සරලම විසඳුම Google Scholar හරහා ලබා ගත හැකිය. පර්යේෂණ ලිපි කියවීමට කැමති, උසස් අධ්‍යාපන හදාරන දරු දැරියන්ට මේ මගින් ඉතා විශාල සේවාවක් ලබා දෙනු ලබයි. ඒ කෙසේ වෙතත් අපගේ මහාචාර්ය තුමාගේ, ගූගල් ස්කොලර් පිටුවට අනුව නම්, ඔහු කංසා පිළිබඳව පල කල එකදු හෝ පර්යේෂණ පත්‍රිකාවක් එම ලයිස්තුවේ නැත. මා  හට එය මග හැරී ඇත්නම් මම එතුමාගෙන් සමාව ඉල්ලා සිටිමි. ඔහුගේ පර්යේෂණ සියල්ලෙහිම අඩංගු වන්නේ මත්ස්‍යන් සහ ගංගා ආශ්‍රිතව කල පරීක්ෂණ වේ. 

කංසා ගැන මාතෘකා වූ හෙයින්, මම  ඒ අදාල වූ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් කියවා බැලූවෙමි. කංසා යනු එහි අඩංගු අමුද්‍රව්‍ය වල  පවතින ප්‍රමාණය සහ තමන් ශරීරයට ඇතුළු කරගන්නා මාර්ගය අනුව විවිධාකාර වූ ප්‍රථිපල ලබා දෙන්නකි. බොහෝ ආයුර්වේද වට්ටෝරු සඳහා කංසා යොදාගන්නා බවද නොරහසකි. එහෙත් ඔබ Cannabis යන වචනය යොදා පබ්මෙඩ් වැනි සංචිතයක් පරීක්ෂා කර බැලුවහොත්, කංසා වල ඇති ඖෂධීය වටිනාකම යන්න තවමත් ඇත්තේ පරීක්ෂණ මට්ටමේ බව ඔබට වැටහෙනු ඇත. ඇමෙරිකාවේ පවා බොහෝ ජනපද වල ඖෂධීය කංසා භාවිතය නීති ගත කොට ඇති බව සත්‍යකි. එහෙත්, කැනබිස්, මරිජුවානා හෙවත් කංසා යනු, සම්මත පනතකට යටත්ව, ඇමෙරිකානු ඖෂධ බලාත්මක පාලක මණ්ඩලය මගින්,  උපලේඛණ අංක 1 යටතේ ලැයිස්තු ගත කර ඇති ද්‍රව්‍යකි. මෙම අංක 1 ට ඇතුලත් ද්‍රව්‍ය යනු, අයතා භාවිතය සඳහා විශාල නැඹුරුවක් ඇති,  රෝග නිවාරණ පරිහරණය සඳහා ස්ථාපිත කර නොමැති  සහ වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය යටතේ හෝ පාවිච්චියට ආරක්ෂාකාරී නොමැති ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. කංසා සමඟ මෙම අංක 1 වර්ගයට ඇතුලත් වන්නේ හෙරොයින් සහ අනිකුත් මානසික මුළාවට පත්කරවන  (Hallucinogens)  මත්ද්‍රව්‍ය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි. 

Tetrahydrocannabinol (THC) යනු කංසා වල මනසට බලපෑම් කරන (Phsycoactive) ක්‍රියාකාරී මුලද්‍රව්‍යයයි. අමන්දානන්දයට පත් වීම (ඉහල ආවේගය සහ සතුට මුසු හැඟීමක් - euphoria), යමක් අවබෝධයෙන් ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව, කෑම රුචියේ සහ මතකයේ ඇති වෙනස්කම්, යන සියල්ලම කංසා මගින් ඇති කරන මානසික සංකුලතා වලට ඇතුලත්ය. පර්යේෂණ වලට අනුව මෙම THC යන සංඝටකය ක්‍රියාත්මක වන්නේ අප ශරීරයේ එන්ඩෝකැනබිනොයිඩ් යන  සංඥා පද්ධතියේ ඇති ග්‍රාහක හරහාය. මෙම සංඥා පද්ධතිය විසින්, හදවතේ  බිත්ති වල සහ රුධිර නාල වල ඇතුළතින්ම පවතින තුනී සෛල ස්ථරයෙහි ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ආහාර ජීර්ණය, සහ  ප්‍රදාහය  ඇතුළු බොහෝ ක්‍රියාවලීන් පාලනය කරනු ලබයි. දැනට සොයාගෙන ඇති දත්ත අනුව, THC සංඝටකයෙහි මූලිකම ඉලක්කය වන්නේ ස්නායු පද්ධතියයි. මොළයේ සහ සුෂුම්නාවේ ස්නායු,  සුෂුම්නාවේ සිට අත් පා දක්වා විහිදෙන ස්නායු, සහ පෙනහළු, හදවත, උදර කුහරය,  ආහාර මාර්ගය, මුත්‍රාශය සහ ලිංගික අවයව දක්වා විහිදෙන ස්නායු යන මෙම සියලු ස්නායු පද්ධති මෙයට ඇතුලත්ය. කංසා භාවිතා කරන පළමු පැය ඇතුළත හදවත ගැහෙනා වේගය ඉහල යන බව පරීක්ෂණ වලින් ඔප්පු කර ඇත. කංසා භාවිතා කරන්නන්ට සිද්ධියක ඇති දත්ත විශ්ලේෂණය සහ සියුම් දත්ත මතක තබා ගැනීමේ හැකියාව අඩුය. එමෙන්ම ඔවුහු තමාගේ මතකයේ ව්‍යාජ දත්ත ගබඩා කරගැනීමට සමත්ය. නමුත් ඔවුන්ගේ, යමක් හඳුනා ගැනීමේ හැකියාවට කංසා මගින් බලපෑමක් නොකරයි. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ, යම් අපරාධයක සාක්ෂි කරුවෙක් ලෙස, කංසා භාවිතා කර සිටි පුද්ගලයෙකුගේ සාක්ෂියෙහි ඇති නිරවද්‍ය භාවය පිලිබදව අවබෝධයක් ලබා ගැනීමටය.  


කංසා ඇබ්බැහිය නිසා අරමුණක් නොමැතිව ඔහේ පාවෙන ජීවිත බොහෝ සේ මා  දැක ඇත්තෙමි. ඔවුන් බොහෝ කුසීතය. ජීවිත වලට අරමුණක් නොමැත. මනෝ ව්‍යාධියෙන් පෙලෙන්නෝ වෙති. එහෙයින් ආනන්දයෙන් ප්‍රඥාව ලබා ගැනීමේදී ඇති වන ඇබ්බැහි වීමේ භයානක කම අපේ මහාචාර්ය තුමා නොදන්නවා විය හැකිය. 

මේ ලිපියේ අරමුණ කංසා ගැන විශ්ලේෂණය කිරීම නොවේ. ඔබ මුහුණු පොතේ ඔහේ අලවා තබන, කොහේ හෝ ඇහැ ගැටෙන කරුණු, අන් අයගේ සොයා ගැනීම්, එසේත් නැති නම් වෛද්‍යවරයෙක් තමාට දෙන බෙහෙත් වට්ටෝරුවක ඇති බෙහෙත් මොනවාද යන්න සොයා බැලීමට, අන්තර්ජාලය භාවිතා කිරීමට ඔබව පෙළඹවීමයි. 

මේ අපේ ලංකාවේ හැටිය. ඉතා වටිනා ජීප් රථයකින් බැස එන යුරෝපීය ඇඳුමින් සැරසුණු නෝනා, මහත්තුරුන්, ආචාර්ය, මහාචාර්ය, දොස්තර, ඉංජිනේරු යන ඕනෙම සුදු කොලර වර්ගයක අයෙක් පවසන්නේ පරම සත්‍ය බවක් පිළිගන්නට අපේ රට වැසියෝ කිසි සේත් පසු බට වන්නේ නැත. ඒ සුද්දා දායද කර ගිය වැඩවසම් සමාජ ක්‍රමයේ උරුමයයි. 

මාගේ උගත් මිතුරු මිතුරියන් පවා බොහෝ විට කිසිදු සොයා බැලීමකින් තොරව, කොහෙන් හෝ අහුලා ගන්නා යමක් තමාගේ මුහුණු පොත් ගිණුමේ අලවා තබන අයුරු මා බොහෝ විට දැක ඇත්තෙමි. අප කුඩා කාලයේ මෙන් නොව, අද වෙද්දී මේ ලෝකය බොහෝ කුඩා බව ඔබ දන්නා බව මම දනිමි. එහෙත් ඔබට ඇත්තේ වගකීමක් නොමැති කම පිළබඳ ගැටලුවකි. යම් සිද්ධියක සියුම් දත්ත විශ්ලේෂණය කිරීමට මොළය වෙහෙසීමේ ගැටළුවකි. එසේත් නැතහොත්, කුඩා කල සිටම අසන, දකින දේ සියල්ල එලෙසම පිළිගැනීමට ඇති වූ හුරුවේ ගැටළුවකි. ඔබ නොදන්නා සේ සිටියාට, ඔබ ජීවත් වන සමාජය තුල මිත්‍යාව වැපිරීමට ඉඩ නොදීමට ඔබට ඉතා විශාල වගකීමක් ඇත. අරලියගහ මන්දිරය සහ දියවන්නාව කේන්ද්‍ර කර ලංකාව පුරාම, ඔවුනට මිත්‍යාව වපුරන්නට ඉඩ දී බලා සිටීමේ පල විපාක මේ වෙද්දී ඔබ අප සියලු දෙනාම එක සේ විඳින්නෙමු. ඔබ ඉතා උගත් සහ උසස් යැයි සිතා සිටින සියලුම මිනිසුන්, ඔබ මෙන්ම සාමාන්‍ය ශරීර අවයව සහ පද්ධති වලින් යුතු මිනිසුන්ය. ඔවුන්ගෙන් බොහොමයක් අපගේ ගිරා අධ්‍යාපනයේ ප්‍රථිපල හෙයින්, විටෙක ඔවුන්ට ඔබට තරම්වත් සාමාන්‍ය බුද්ධියක් නොමැත. එසේත් නොමැති ඔවුන් ඇත්තේ මානයෙන් උමතු වී, රුපියල් සත මත තනාගත් ලොවකය. ඔබ ඔවුන් පවසන දෙයකට සවන් දෙන්නෙක් නම්, ඔබේ ඇස සහ කණ හොදින් විවර කරන්න. වෛද්‍යවරයාගේ පටන් ඔබ ගන්නා උපදෙස්, බෙහෙත්, සහ අනෙකුත් කළමනා නැවත විශ්ලේෂණය කරන්නට හුරු වන්න. ඔවුන්ගෙන් පෙරලා ප්‍රශ්න කරන්නට හුරු වන්න. මුහුණු පොතේ හෝ ඔබ පරිහරණය කරන අනෙකුත් සමාජ ජාලයක යමක් අලවා තබන්නට පෙර ඔබ එහි සත්‍ය තාවය පිළබඳ යම් නිගමනයකට එළඹෙන්න. වගකීමක් නොමැති තොරතුරු ප්‍රචාරණයෙන්, ඔබ නිසා තව අයෙකුගේ ජීවිතයට පවා හානියක් සිදු විය හැකිය. යමක් පිලිබඳව නව තොරතුරු සොයා ගැනීමට අන්තර්ජාලය යනු ඉතා හොඳ තෝතැන්නකි. එහෙත් එහි ඇති ව්‍යාජ සහ සත්‍ය තොරතුරු වෙන් වෙන්ව සොයා බැලීමට ඔබට යම් කාලයක් වැය කල යුතු වේ. එමෙන්ම, අන්තර්ජාලය හරහා සිදු වන ව්‍යාජ මුදල් ගණුදෙනු, ලිංගික ගණුදෙනු සහ අනෙකුත් ජාවාරම් වල බිල්ලක් නොවීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය.

ඔබට හමු වන සියල්ලම  විචාරශීලි බුද්ධියකින් විමසීම ඔබ හුරු විය යුතුය. ඔබේ දරු පැටවුනුත් හුරු කල යුතුය. කුසීත මනසකට කිසිදා වෙනසක් ඇති කල නොහැකිය.

මිනිසුන් ඉතා විශ්වාසදායී ලෙස මිත්‍යාව පතුරුවන්නට දක්ෂයෝ වෙති. එහෙයින් අපි ඊළඟ මැතිවරණයේදීත්, වෙනත් වේශයකින් පැමිණෙන, ඉතා පැරණි මිත්‍යාවට නැවතත් රැවටෙමු. ලෝකයම එකම ගම්මානයක් වී තිබියදී, ළිං මැඩියන් සේ ලිඳ තුලම මියැදෙන්නෝ වෙමු. 


Written by,

Wathsala Wijayalath, PhD

Saturday, June 30, 2018

ෆිල්-ටී ගේ ෆිල්ති වීඩියෝව සහ ලාංකීය ලිංගික අසහනය


අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි. සම්පුර්ණ අයිතිය හිමිකරු සතුය


අහම්බෙන් කියැවූ බ්ලොග් ලිපි දෙකක් නිසාවෙන් එය ඔස්සේ වැඩි යමක් ලියා තබන්නට සිතුනි. මගේ මලයාගේ කෙළි පැටවුන්ගේ වයසේ පටන් තාරුණ්‍යට එළඹෙන සියලුම අනාගත පරම්පරාවට එහි වැදගත්කමක් තිබෙන්නට පුළුවන. තවද, එවන් වයස් වල දරුවන් සිටින අපේ පරම්පරාවේ දෙමාපියන්ටද, අනාගතයේ දෙමාපියන් වන්නට සිටින තරුණ පරම්පරාවටද මේ සටහනෙන් යම් ප්‍රයෝජනයක් වනු ඇත.

ඉහත සඳහන් කල පරිදි, මේ ලිපියට ප්‍රස්තුතය වූයේ එරන්දිගේ සහ රස්තියාදුකාරයාගේ බ්ලොගයන් වල පල වූ ලිපි දෙකකි. එරන්දි නගාගේ ලිපිය තුල නෙගටිව් මාකටින් පිළිබඳව සටහන්ව තිබුනත්, එහි ප්‍රස්තුතය පැහැදිලිව අවබෝධ වූයේ රස්තිගේ සටහන කියවීමෙන් පසුවය. ඒ මා හට මේ දිනවල සමාජ ජාලා සමඟ ගනුදෙණු කිරීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බැවිනි.

මේ සියලුම කතන්දර වලට හේතු වූයේ රැප් කලාව මුල් කරගෙන නිපදවූ සංගීතමය වීඩියෝවකි. පැහැදිලි ලෙසම එරන්දිගේ සටහනෙහි ඇති සියලු කරුණු මා එකඟ වන නමුත්, රස්තිගේ සටහනේ ඇති එක් කරුණක් හැර අනික් කිසිදු කරුණක් සමඟ මා කිසි සේත්ම එකඟ නොවෙමි. 

රැප් සංගීතය හෝ ෆිල්-ටී (Fill-T) පිළිබඳව මා දන්නා මෙලෝ හසරක් නැත. නමුත් අසා දැනගත් පරිදි සහ කණට වැටහුනු පරිදි එම මියුසික් වීඩියෝ පටයෙන් දක්වා ඇති ඔහුගේ සංගීත පෙළහර පිළිබඳව මා හට කිසිදු විවාදයක් නොමැත. ඒ සංගීත ශෛලය ලාංකික රැප් ප්‍රිය කරන්නන්  හට රසවත් වනු ඇත. එහෙයින් රස්ති පවසන ලෙසින් ඔහු දක්ෂ රැප් සංගීතවේදියකු විය යුතුය. එහෙත්, කුමන ශෛලයක හෝ වේවා ගීතයක් යනු සංගීතය පමණක් නොවන බව ඔබ මා සියලු දෙනා එකඟ වන කරුණකි. 

මානවයා හෙවත් මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහු තුල පවතින ස්වයං විනය නිසාවෙන්ය. තමන් කවර සංස්කෘතියක, කවර ආගමක් අදහන්නෙකු හෝ නිරාගමියෙකු වූවද ඒ මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහුගේ ස්වයං විනයෙහි මට්ටම අනුවය. අද ඉපදුන ගැහැණු දරුවන් රමණයට සුදුසු යැයි සිතන, හොදින් වැඩුන පුරුෂයෙකුට ඇත්තේ තිරිසන් භාවයෙන් පවා ඔබ්බට ගිය, පාලනයෙන් තොර මනසකි. උසස් හැදියාවක් ඇතැයි විශ්වාස කරන, ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහෝ දෙනා තම ජීවිත වල විවිධාකාර පැතිකඩයන් වලදී තම ස්වයං විනයෙන් මිදී, තිරිසන් භාවය අභිබවා යන්නෝ වෙති. ලිංගිකත්වය යනු නිරන්තරයෙන්ම එහි පළමු පෙළ ගන්නා අංගයකි.  ෆිල්-ටී ගේ මේ වීඩියෝවෙන් නැවතත් පසක් කර දෙන්නේ ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය සහ ලිංගික අසහනයයි. 

අප කුඩා කාලයේදී පණ ඇති සහ පණ නැති වශයෙන්, සතුන් සහ ගස් කොළන් වර්ගීකරණය කරන්නට උගත්තෙමු. එසේ උගත්තාවූ පණ ඇති කොටසට අයත් සියලුම සත්වයින් තම වර්ගයා බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතු කරුණකි. මානව ලිංගික ලක්ෂණ යටතේ අප සියලු දෙනාගේම ශරීර තුල ප්‍රජනන පද්ධතියක්ද, එයට අනුයුක්ත වූ ලිංගික අවයවද පිහිටා ඇති බවද ඔබ ඉගන ගන්නට ඇත. එයට අමතරව ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව, ඔබ සියල්ලෝම මව් කිරි බී ඇති හෙයින් කුඩා කල සිටම දැන සිටින්නට ඇත. එහෙත් ෆිල්-ටී ලාටත් ඒවායෙන් ඔද වැඩෙන යුවතියන්ටත් එය හුදෙක් ලිංගික ආකර්ශණය සඳහා අලවි කල හැකි භාණ්ඩයකි. 

මිනිසාට ලිංගික ආශාවන් ඇති වන්නේ මිනිස් ශරීරයේ ඇති විවිධාකාර හෝමෝන  වල බලපෑම අනුවය. එහෙත්, මිනිසා තම ලිංගික කාර්යය අතිශය පුද්ගලිකව කිරීමට පෙළඹෙන්නේ මානව ලක්ෂණ දියුණු වීමත් සමඟ, ඔහු තමාගේ මනස පාලනය කරගැනීමට එසේත් නොමැති නම් ස්වයං විනයක් ඇති කරගැනීමට උගන්නා නිසාය.

ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. මා එසේ කියන්නේ මේ තාක් මට හමුවූ ලොව විවිධ ජාතීන් වල මිනිසුන්ට ලිංගිකත්වය යනු ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් නිසාවෙනි. ඇමෙරිකානුවන් තම සහකරුවා සමඟ එකතු වීම අදහස් කරන්නේ "මේකින් ලව්" වචනය භාවිතා කරමිනි. වසර දොළහකට පමණ පෙර මා ඉතා තරුණ අවධියේ කෙන්යාවේ නයිරෝබි නගරයේ වැසිකිළියකට ගිය විට "කොන්ඩම් භාවිතා කරන්නැයි" නිවේදනයක්ද සමඟ එහි උපත් පාලන කොපු තබා තිබුණි. ලෝකයේ බොහෝ රටවල ලිංගික අවශ්‍යතා සහ ලිංගිකත්වය තේමාවන් මූලික කරගත් රතු දිස්ත්‍රික්ක ඇත. තමාගේ කැමැත්ත පරිදි මිනිසුන්ට ඒ කලාපයන්ට ඇතුල් විය හැක. එම රටෙහි හෝ ජනපදයෙහි නීති රීති වලට එකඟව මිනිසුන්ට එහි යාමේ තහනමක් නැත. සියල්ලමට මුල් වන්නේ සිතය. සියල්ලෙන්ම මා අදහස් කරන්නේ ලෝකයේ බහුතරයක් මිනිසුන් අනිකාගේ ලිංගික නිදහසට ගරු කරන බවත් එය ජුගුප්සාජනක අමුතු පන්නයේ දෙයක් ලෙස නොසලකන බවත්ය. 

බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය. ඇමෙරිකාවේ බහුතරයක් දෙමාපියන්, තමා කුඩා දරුවන් ලිංගික අපයෝජන වලින් ගලවාගැනීම පිණිස, කුඩා කල සිටම හැඩ ගස්වති. ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ හෝ ගැහැණු දරුවන්ගේ පියයුරු, තමන්ගේ පෞද්ගලික ප්‍රදේශ බවත් (ප්‍රයිවෙට් පාර්ට්ස්), තමන් හැර පිටස්තර කිසිවෙක්ට ඒවා ඇල්වීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන්ට වටහා දෙති. මේ දරුවන් යොවුන් වියට පා තබන විට දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් විවෘත සාකච්චා හරහා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට නිසි පියවර ගනිති. එමෙන්ම පොදු මානව පෙළඹීම අනුව වැඩිවිය පත්වන දරුවන් තම සමකාලීනයන් හරහා සහ අත්දැකීම් හරහා ඔවුන්ගේ ලිංගික දැනුම වර්ධනය කරගනිති. එහෙයින් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය පිලිබඳ කුකුසක් ඔවුන් තුල ඇත්තේ නැත. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බව, යම්තම වැඩිවිය එළඹෙන ඔවුන් වටහාගන හමාරය. එහෙයින් තම දෙමාපියන් තමා ඉදිරියේ කරන්නා වූ සිප වැළඳගැනීම් ඔවුන්ගේ පවුලේ ස්ථායී භාවයේ සංකේතයක් ලෙසට ඔවුහු අවබෝධ කරගනිති. 

මිනිසුන්ට තමාට රිසි පරිදි ලිංගික කාර්යයේ යෙදිය හැකිය. ලාංකිකයින් වන අපට අපේ ජීවිත කාලයේ කොතනකදී හෝ මේ පිළබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. එහෙයින් හැට විය ඉක්මවූ විවාහක ගැහැණියක් පවා තරුණ පිරිමියෙකුගේ දෙපිට කැපෙන වචනයකින් "හිකිස්" ගා හිනා ගැස්විය හැක. ලාංකීය මිනිසාට ලිංගිකත්වය යනු ඒ සා අමුතු අත්දැකීමකි. ෆිල්-ටී පුන පුනා අපට හඟවන්නේ ඒ කරුණය. ඔහු ලාංකීය සංගීතයේ ලකුණක් වන්නේද එබැවිනි. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ, "මුව මුක්තාලතා" ගීතයේත්, කේමදාස මාස්ටර්ගේ "හෙමින් සැරේ පියා විදා" ගීතයේත්, අමරදේව මාස්ටර්ගේ "කුමරියක පා සලඹ සැලුනා" ගීතයේත්, වික්ටර් රත්නායකයන්ගේ බොහෝ ගීතවලත් රාගය සහ ලිංගිකත්වය, අතිශය සුන්දර ලෙස වර්ණනා කර තිබුනි. එහෙත් ඒ කිසිදු ගීයක ලිංගික අසහනයේ හෝ ජුගුප්සාවේ ලකුණක් හෝ නොතිබිණි. එහෙයින් ඔවුන්ට ෆිල්-ටී හට සමවන්නට නොහැකි බව මම කණගාටුවෙන් කියමි. 

ලිංගිකත්වය අරුම පුදුම දෙයක් වන ලාංකික ජන සමාජයට, මා කියූ ස්වයං විනයක් නැත. මුහුණු පොතේ ඇති ගැහැණියකගේ පින්තූරයක් දුටු පමණින් සමහරක් තරුණ පිරිස් වලට ඇත්තේ ලිංගික කුතුහලයක් සහ අසහනයක් පමණි. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිංගික ජීවිතය පිළිබඳව කල් තබා නිගමන වලට එළඹෙයි. එතැන් පටන් ඔවුහු පිඹුරුපත් සකසන්නේ ඇයව තමාගේ ලිංගික අසහනයේ ගොදුරක් කරගැනීමටය. සමහරවිටක, පින්තූරද වුවමනා නැත. ගැහැණියක ලියන්නාවූ දෙයක් පවා ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත්ය. ඒ සියල්ලෝම ලිංගිකත්වය යනු අසාමාන්‍ය දෙයක් සේ දකින ඇත්තන්ය. තරුණියක කොට සායක් හෝ කලිසමක් හැඳ, උඩුකය යම් තරමින් නිරාවණය සේ හැඳීම ලාංකික තරුණයින්ට මාස ගණනාවක් ලිංගිකව උද්දාමයට පත්විය හැකි කාරණාවකි. 

එහෙත් සියල්ලෝටම ලිංගික අවයව ඇති බවත්, ඔවුන් සියල්ලෝම රිසි පරිදි ලිංගික කාර්යක නිරතවන බවත් ඇමරිකාවේ හෝ යුරෝපයේ තරුණ, තරුණියන්ට අමුත්තක් නොවේය. උන් තමාට රිසි තරුණයෙකු හෝ තරුණියක සමඟ රැයක් ගෙවා දමති. ඔවුන් එම ලිංගික කාර්යයෙන් සෑහීමකට පත් නොවුවහොත් ඒ සම්බන්ධය ඒ රැයට, හෝ පැයට පමණක් සීමා වේ. අනියම් සම්බන්ධතා ඔවුහු හෙලා දකිති. සොඳුරු පවුල් ජීවිත ගත කරනවුන්ට ඔවුහු ගරු කරති. තමා අතින් නොතේරුම් කමට සිදු වන යම් වැරදි ඇත්නම් ඔවුහු ඒ ගැන පසු තැවෙති. ඔබ සිතා ඉන්නාක් මෙන් දියුණු රටවල බහුරතරයක් තරුණ පිරිස් වගකීමකින් තොරව ලිංගිකව හැසිරෙන්නවුන් නොවේ. ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස,  ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ.  ඔවුන් වැඩි විය පත් වූ දා පටන්, යම් මුදලක් ඉපයීමේ වගකීම දෙමාපියන් ඔවුන් වෙත පවරන හෙයින් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව උගන්නා අතරම රැකියාවක නිරත වීමයි. ඔවුන්ට ලාංකික දරුවන්ට මෙන් නිදහස් අධ්‍යාපනය නොමැති හෙයින් ඔවුහු ජීවත් වන්නේ, විශාල ණය බරක වගකීමක් දරාගෙනය. මේ බහුතරයක් තරුණ දරුවන් හට ජීවිතය, ලෝකය සහ සමාජය පිළබඳව ඔබව විශ්මයට පත් කරවන පුළුල් දැක්මක් ඇත. ඔවුන් තමාගේ වගකීම් බෙදා ගනිමින්, විවාහයට පෙර බොහෝ කාලයක් තමාගේ සහකරුවන් සමඟ එකට ජීවත් වෙති. එහිදී ඔවුන් තමන්ගේ ලිංගික චර්යාවන් සහ පෞර්ෂ ලක්ෂණ අනිකා සමඟ ගැලපේද යන්න හදාරති.  එය හුදෙක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට එහා ගිය විවාහය ගැන සිදු කරන්නාවූ පර්යේෂණයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එහෙත් දෙමාපියන් විසින් පෝෂණය කරනාවූ, රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය හදාරන්නාවූ, බොහෝ ලාංකීය තරුණ පිරිස් වලට ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ලිංගික අසහනය හෝ දේශපාලනයයි. ඔවුන් වැඩිහිටියන් වී සමාජගත වූ විට ෆිල්-ටී ලාත්, සමාජ ජාලා වල ගොදුරු සොයන්නවුනුත් බිහි වීම වැළැක්විය නොහැක. ෆිල්-ටී ලා මේ උඩ ගෙඩි දෙන්නේ එම ලිංගික අසහනයටම බව මම තරයේ කියමි.  

මම මෙසේ කියමි. ෆිල්-ටී ගේ රැපෙහිත්, පියුමි හංසමාලි ගේ පියයුරු වලත් ඇත්තේ සංස්කෘතික ගැටළුවක් නොවේය. ලිංගික කුකුසෙන්, ජුගුප්සාවෙන් සහ පිපාසාවෙන් පෙලෙන  සියලුම ලාංකීය මිනිසුන්ට මේ රැපත්, ගැහැණියකගේ පියයුරු සහ කලවාත්, හෝ සම්පූර්ණ හෙළුවත් ඉතාමත් අමන්දානන්දයට පත් විය හැකි කාරණාය. උන් සියල්ලෝම නොදන්නා කාරණය වන්නේ, උන්ගේ බිරියනට, ස්වාමි පුරුෂයනට, පෙම්වතියනට, පෙම්වතුනට, නැගණියට, මලන්ඩියට හෝ උන්ගේ නෑ සනුහරේටමද ඇත්තේ, ගැහැණුන්ට සහ පිරිමින්ට අනන්‍ය වූ ලිංගික අවයව, පියයුරු සහ ප්‍රජනන පද්ධතියන් බවය. උන් නොදන්නේ, සමස්ථ මානව සංහතියම තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ ලිංගික කාර්යයේ නිරත වන බවය. එයින් තෘප්තිමත් නොවන කල පිටස්තර පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීමට මාන බලන බවය. මේ කිසිවකින් සෑහීමට පත් නොවන්නවුන් තමන්ගේම දරුවන් හෝ සහෝදරයන් හෝ ලිංගේන්ද්රියක් ඇති ඕනෙම සත්වයෙකු සමඟ රමණයේ යෙදීමට සිතන බවය. ෆිල්-ටී ලා  සිදු කරන්නේ ස්වයං විනයෙන් තොර, අසහනකාරී මිනිසුන් උද්දාමයට පත් කිරීමය. ලිංගිකත්වය ඉතා පහත් ලෙස අලවි කර තමනුත්, තමා වටා ඉන්නා අනිකුත් සියල්ලෝමත් ජනප්‍රිය තරු කරවීමය. තමන්ගේ මතය කෙසේ හෝ ජනගත කිරීමය.

දෙමාපියනි, ඔබේ තරුණ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔබ සතු වගකීමකි. එලෙසින්ම මනා ලිංගික සෞඛයකින් යුතු, ලිංගික කුකුසකින් තොර ලිංගිකත්වයට ගරු කරන තරුණ දරුවෙකු සමාජයට බිහි කිරීම ඔබ සතු යුතු කමකි.  ලිංගිකත්වය උලුප්පන වීඩියෝවකින් උද්දාමයට පත් නොවන්නටත්, කලවා පෙනෙන සේ ඇඳුමක් අදින්නාව වූ ගැහැණු දරුවා හෝ ගැහැණියකගේ පියයුරු ලිංගික භාන්ඩයක් කර නොගන්නටත් තරම් විවෘත මනසක් ගොඩ නැංවීමට තරම් ඔබ බුද්ධිමත් වන්න. ලිංගිකත්වය යනු බොහෝ සුන්දර දෙයක් මිසක් ජුගුප්සාජනක දෙයක් නොවන බව ඔබේ දරුවාට වටහා දෙන්න. 


මිනිසුන්ගේ රස වින්දනය එකිනෙකාට වෙනස්ය. එය මම පිළිගනිමි. එහෙත් ෆිල්-ටී ලා, ඉරාජ් ලා උලුප්පන්නේ මිනිසුන්ගේ ලිංගික අහසහනයයි. පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය.  ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.  

අනාගත යෞවනයට විමර්ශනශීලි බුද්ධියක් ගොඩ නගාලීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් වන ඔබ අතය. ඔවුන්ගේ මොළ හාරා, ඔවුන් අසන්නා වූ, දකින්නා වූ  සියලු දෑ පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, විවෘතව සාකච්ඡා කිරීමටත්, ඔබ ඔවුනට අනුබල දිය යුතුය. ඔබට ෆිල්-ටී ලා, ඉරාජ් ලා, අජිත් මුතුකුමාරණ ලා හෝ කේමදාසලා හෝ ඔවුන්ගේ අනුගාමිකයන් බිහි වීම වැළක්විය නොහැක. එහෙත්, ඔවුනගේ හොඳ සහ නරක විචාරශීලි බුද්ධියකින් විනිශ්චය කල හැකි අනාගත පරම්පරාවක් ගොඩ නැගීම ඔබට ඉතා පහසුවෙන් කල හැකිය. 

මේ නවීන සමාජයේ ගෝත්‍රික අදහස් මේවා යැයි කියා සිතන්නාවූ ඔබට මම යමක් කියමි. ගල් යුගයේ මිනිසුන්, වැද්දන් සහ සීගිරි ලලනාවන් පවා විලි වසාගත්තේ යන්තමිනි. සංදේශ කාව්‍ය පුරා ස්ත්‍රී වර්ණනාවන් එමටය. මේ යුගයන් වල ජීවත් වූ මිනිසුන් අදට වඩා ලිංගිකත්වය ගැන අවබෝධයක් සහිතව, එයට ගරු කරමින්, ස්වයං විනයකින් ජීවත් වූ බවට මම විශ්වාස කරමි.  ලිංගික අවයව හැමෝටම පිහිටා ඇති බවත්, ලිංගිකත්වය යනු මානව සංහතියේ අවශ්‍යතාවයක් බව ඔවුන් දැන සිටින්නට ඇත. එසේ නොමැති වූවා නම් ඔවුහු අද මෙන් සම්පූර්ණයෙන්  විලි වසා ගන්නට පෙළඹෙනු ඇත. ඒ දියුණු වූ මානව ලක්ෂණ හරහා, මිනිසාගේ චින්තනය පිරිහීම කිනම් අභාග්‍යක්ද???

දියුණු රටවල ආයතන තුල වචනයෙන් හෝ හැසිරීමෙන් තමාට සිදු වන ලිංගික අපහසුතා වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගත හැකිය. ඒ වෙනුවෙන් බොහෝ ආයතන වලින් අනිවාර්ය වාර්ෂික පුහුණු නිර්දේශ කරනු ලබන්නේය. "උන් නටන්නේ හෙළුවෙන් යැයි" බටහිර සමාජය දෙස බොහෝ අවතක්සේරුවකින් බලන ඔබ, එහි ජීවත් වන ගැහැණු හා මිනිසුන් මෙවන් ස්වයං විනයකට යටත් බව නොදන්නවා වෙන්නට පුළුවන.  තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා පවා ඔවුන්ගේ කැමැත්තකින් තොරව ස්පර්ශ කිරීම පවා මෙම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.  මිනිසුන් යනු පොදු මිනිස් ගති ලක්ෂණ ඇත්තවුන් හෙයින්, ලෝකයේ කොතැනත් හොඳ හෝ නරක දෙවර්ගයේම මිනිසුන් ඇත්තේය. එහෙයින් රටවල් වශයෙන් මිනිසුන් වෙනස් කුලක වලට බෙදිය නොහැක. ඔබ නොදන්නා මහා වෙනස ඇත්තේ එම මිනිසුන් තුල, රටක නීති පද්ධතිය හරහා, කුඩා කල සිටම ගොඩ නැගෙන ස්වයං විනය තුලය.

............................................................................................................
ඔබ සමාජගත කරන්නාවූ අදහසක් ගානේම, ඔබ ඔබේ ඉදිරි පරම්පරාවේ එක් අයෙකුගේ හෝ අනාගතය තීරණය කිරීමට දායක වන්නේය.  

............................................................................................................
ඔවුන්ගේ එකිනෙකට වෙනස් අදහස් හරහා මෙවන් සටහනකට මග පෑදූ "මං එරන්දි" බ්ලොගයටත්, "රස්තියාදුකාරයා" බ්ලොගයටත් මාගේ ස්තුතිය පුද කරමි.



Article by,

Dr Wathsala Wijayalath (PhD)
Staff Scientist/NMRC
U.S.A
(පොකුරුවැහි)

Sunday, March 25, 2018

ප්‍රේමයෙන් බැඳීම යනු...(Falling in love is)...



හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
බොහෝ ඝණ අන්ධකාර වූ මීදුමක
අතිශය දීප්තිමත් ආලෝකයට කෑදරකමින්
සෑම අවිනිශ්චිත වූ මොහොතක් පාසාම
අරමුණකින් තොරව ඇවිද යාමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ජනාකීර්ණ මං මාවත් වල
බොහෝ ජනී ජනයා වටකොට සිටිද්දී පවා
මෘදු කෙඳිරුමක් සහිත අවතාරයක්
ඔබ අසල ගැවසීමය...ඔබව ලුහු බැඳීමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
මහා කුණාටුවකට හසුවී කරකැවීම
මිලිතත්පර වලින් හඟිමින්
මයික්‍රොතත්පර වලින් ආවර්ජනය කිරීමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ආලෝකමත් විචිත්‍ර දවාලක පවා
සිහින බැලීමට ඇබ්බැහි වීමය...
නිසැකවම,
ඔබට ඒ සඳහා පෙනීම අවැසි නැත...

හිතවත,
මා විශ්වාස කරන්න...

ප්‍රේමය පූර්ණ ලෙස අන්ධය...

එහෙයින්,
ප්‍රේමයෙන් බැඳීමට,
පෙනීමක් හෝ දසුනක් අවැසි නැත...



Falling in love is,
Wandering in thick mist
Craving for the dazzling light
In every moment of uncertainty...

Falling in Love is,
Haunted and stalked
By a shadow mingled with a soft voice
In busy streets...among the crowds...

Falling in Love is,
Rolling in a cyclone
Feeling in milliseconds
& rewinding in microseconds...

Falling in love is,
An addiction to dreaming
In brighter daylight
& obviously
No sight is needed...

Trust me,

Love is totally blind
& no sight is needed....



Written by


*Wathsala Wijayalath*
(WW)

Sunday, March 18, 2018

අරිෂ්ට සහ අයිස්ක්‍රීම් 2- ස්ට්‍රේට් ටෝක් නොහොත් කෙලින් කථාව


Image courtesy : https://image.flaticon.com/icons/svg/268/268125.svg


අරිෂ්ට සහ අයිස් ක්‍රීම් 1


හියර් ඉස් ද ස්ට්‍රේට් ටෝක්..


කෙලින් කතාව නොහොත් ස්ට්‍රේට් ටෝක්, මා ඉගන ගත්තේ මගේ අප්පච්චීගෙනි...

ඔහු දේශපාලනික සත්වයකු වූවද, ඔහුගේ කිසිදාක රහසිගත හෝ පුද්ගලික න්‍යාය පත්‍ර නොතිබුනේය... එහෙයින් ඕනෑම ලොක්කෙකු ඉදිරියේ, ඔහුගේ අදහස් බොහෝ පැහැදිලිව, සෘජුව කියා පෑමට කිසිවිටක පසුබට නොවූවේය...සමහර විටක ඒ අදහස් බොහෝ තිත්ත වුයේ, ඒවා මත කිසිදු මිහිරි රසයක් තවරා නොතිබුන   හෙයිනි....

අපේ ආසියාතික ජනසමාජය තුල මේ ස්ට්‍රේට් ටෝක් යනු උදහසට ලක් වීමට කාරණාවකි...

යම් අදහසක් ප්‍රකාශ කිරීමේදී, එය බොහෝ ව්‍යංගයෙන්, කණ වටේ අත දමා පැවසීමට මිනිසුන්ව හුරු කරන්නේ ළදරු අවධියේ සිටමය...ඒ කාගේවත් හිත නොරිදෙනු පිණිසය, යන්නෙන් සාධාරණිකරණය කර ගැනීමට අප සියල්ලෝම හුරු වී සිටිමු...

එහෙත් බොහෝ ව්‍යංගාර්ථ වලින් සාකච්චා කර ලබනු සියලු දෑ එක කණකින් ඇතුල්වන වේගයෙන්ම, නියුරෝන වල ඇති කිසිම වේග සීමාවක් නොතකා, අනෙක් කණෙන් පිටව යන බවත් අප සියලු දෙනා පිළිගත යුතු කරුණකි....ඒවායේ හිතට ඇනෙන්නට, හිත පහුරු ගා දමන්නට, සියුම් ඊතල වැනි වචන නැත...

එහෙත් මිනිස් ගති ලක්ෂණ සහ සමාජයීය ගැටළු විවරණය කිරීමේදී, ඉතා සෘජු සහ පැහැදිලි වචන භාවිතයක් අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරමි....ඒ අදහස් ප්‍රකාශ කරන්නාත්, එය අසා සිටින්නාත් යන දෙපාර්ශයවම, ඉතා විවෘත මනසකින් යුක්ත වීමද මේ ස්ට්‍රේට් ටෝක් වල අත්‍යවශ්‍ය අංගයකි...මා ඔබට ඉතා සෘජුව සහ තිත්ත ලෙස යම් දෙයක් අවධාරණය කරන විට, හැඟීම්බර නොවී එය විශ්ලේෂණය කිරීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය...

මේ හුරුව ඇරඹිය යුත්තේ, මිනිසා ළදරු අවධියේ පටන්මය...අප කුඩා කාලයේදී අපට උගන්වන්නේ වැඩිහිටියන් සමග එකට එක නොකීමටයි...කෙන්යාවේ පාසල් වල ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට ළමයින්ට අයිතියක් නැත...පොදු ශ්‍රී ලාංකීය පවුල් ඒකකය තුල, දෙමාපියන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ වැඩිහිටියන්ගේ ගැටළු සාකච්චා කිරීමට දරුවන්ට අවසර නැත...මවට චාටු  බස් කියා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමද, එසේ නැතහොත් මව හරහා පියාට තමාගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමද ලංකාවේ, ඉතා උසස් සංස්කෘතියේ ඇති පොදු ලක්ෂණයකි...එය වැඩිහිටියන්ට ගෞරව කිරීම ලෙස අපි අර්ථකතනය කරමු...

එහෙත් සෘජුව තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නැති මේ දරුවෝ දෙමාපියන්ට රහසින් තමාගේ වපසරිය තුල සියලු නාඩගම් රඟ දක්වති...නිවස තුල  ඉතා යටහත් පහත්ව ගෞරවය යයි සිතාගෙන මුනිවත රකින මේ දරුවෝ, නිවසෙන් සහ පාසලින් පිට, කිසිදු සීමාවක් නොතකන්නෝ වෙති...සියලු වැඩිහිටියන්ගේ ගෞරවය කුඩා කැබලි කිරීමට පසු බට නොවෙති...

අයිස්ක්‍රීම් සහ චොකලට් තවරා අවවාද ලබන දරුවාට ජිවිතයේ තිත්ත වූ යථාර්තය ගැන අවබෝධයක් නැත...ඔහුගේ හැඟීම් සමඟ ගනු සහ දෙනු කිරීමට කිසිවෙකු නොමැත...ඇත්තේ, අවවාද සහ දඩුවම් පමණි...අද යොවුන් වියේ සිටින බොහෝ දරුවන්, ඉතා කුඩා හේතුවකට පවා සිය දිවි නසා ගැනීමට හේතුව, බුද්ධිමත් ලෙස ස්ට්‍රේට් ටෝක් ගණුදෙනුවක් සිදු කර නොමැති කමය...

තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට දරුවන්ට කුඩා කල සිටම ඉඩක් තිබිය යුතුය...ඔවුන් විශ්වාස කරන වැඩිහිටියෙකුට ඒවා ඉවසීමෙන් සහ බුද්ධියෙන් අසා සිටීමට හැකි විය යුතුය...ඉන් පසුව හැඟීම් වලට වහල් නොවූ බුද්ධිමය සාකච්චාවකින් සහ විවෘත මනසකින් එකිනෙකාගේ අදහස් වල අඩුපාඩු අවබෝධ කරගැනීමට දෙපාර්ශවයටම හැකි විය යුතුය...

මගේ කෙලි පැටව් දෙන්නා (දෙන්නෙක් උනත්, උන් එකෙක්වත් මගේ නෙවේය, ඒත් මගේ වගේය) විටෙක තරඟයට හඩා වැටෙමින් ජංගම දුරකථන තිරයට උන්ගේ නඩු ඉදිරිපත් කරන වාර අනන්තය...පොඩි කෙලි පැටියා තවම බහ තෝරන වයසේ හෙයින්, උන්ගේ ආච්චීගේ පරිවර්තන සහාය පවා ලබා ගැනීමට මට සිදුවේ...එහෙත් මා කොතැන සිටියත් මම ඒ නඩුව පිළිවෙලට අසමි...එහිදී අඩන්නට ඇති වූ හේතුවත්, ඒ හේතුවට ඇති වුන හේතුවත්, උන්ගේ හිතට ඒ මොහොතේ දැනෙනා සිතිවිලිත් මම උන් දෙන්නාගෙන් අසා දැනගනිමි...ඒ සිතිවිලි විචාරා බලන විට ඒ තුල ඇත්තේ කේන්තිය පාලනය කර නොගැනීම, අනිකා කෙරේ සංවේදි නොවීම, බෙදා ගැනීමේ නොහැකියාව, නැතහොත් තම වරද පිළිගැනීමට ඇති අකමැත්ත යනාදී වැඩිහිටි සිත් වල මෝරන අයහපත් චරිත ලක්ෂණ වල අක්මුල්ය...එවන් විටක මම ඔවුන් දෙදෙනාට බොහෝ සරලව එවන් සිතිවිලි අයහපත් බව පැහැදිලි කරදෙමි...ඒ සාකච්චාව අතර තුර සියලු හැඩුම් නැවතෙන අතර, ඔවුන්ගේ අදහස් සෘජුව ප්‍රකාශ කරන්නට මම ඔවුන්ට අවස්ථාවක් දෙන්නෙමි....


මෙවන් අභ්‍යාසයකින් තොරව වැඩිහිටියෙක් වන දරුවා, ඉන් පසු කිසි විටක සෘජුව කථා කිරීමට හෝ එවන් සෘජු අදහසක්  පිළි ගැනීමට මැලි වේ...ලොක්කන්ට ගොට්ට අල්ලන සොක්කෝද, ගෝඩ් ෆාදර් ලා වැනි පොඩ්ඩන්ව අල්ලේ නටවන ලොක්කෝද බිහිවන්නේ එලෙසය...

මැටි මෝල් මොළ පිරුණු, ස්ත්‍රී දූෂකයින්, සොර දෙටුවන්, ජාවාරම් කරුවන් තමන්ගේ අදහස් මත අයිස්ක්‍රීම් තවරන්නේත්, ඒ මතු පිට තට්ටුව රස කර ගිල, ඔවුන් පාර්ලිමේන්තුවට යවන චන්දදායකින් බිහි වෙන්නේත් මේ ක්‍රමයටමය...කිසිවෙකු ඇත්ත ඇති සැටියෙන් කීමටත්, ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමටත් මැලි වන ආකල්ප වලින් පිරුණු සමාජ ක්‍රමයක් තුල අපි පීඩිතයා සහ අසාධාරණය ගැන මහා ලොකු කථා කියන්නෝ වෙමු...එහෙත් මේ පීඩනය ඇරඹෙන්නේ අප කුඩා අවධියේ පටන්ම බව අපි කිසිවිටක නොසිතමු...


සෘජුව කථා කිරීම යනු කිසිවෙකුගේ හිත් රිදවීමක් නොවන බව අවධාරණයෙන් කිව යුතුමය...නමුත් අප සෘජුව අදහස් එල්ල කරන පාර්ශවය, එය විචාරා බැලීමට අකමැති, හැඟීම් වලින් තීරණ ගන්නා අයෙකු නම්, ඒ සෘජු අදහස් වලින් ඔවුනගේ සිත් රිදවීම වැලැක්විය නොහැකිය... එහෙයින් ලාංකික ජන සමාජය තුල බොහෝ විට ස්ට්‍රේට් ටෝක් වලින් පලක් වන්නේ නැත...

මා ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරන සමයේ, ඉතා අවශ්‍ය මොහොතක හැර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින්නියක් වූයෙමි...ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය තුල ආචාර්‍ය, මහාචාර්ය වරු දෙවි වරුන් ගනයේ ලා සැලකිය යුතුයැයි ව්‍යංගයෙන් සම්මත වූ නීතියක් ඇත...එහෙයින්, මිනිසත් කමට හැර කිසිම හජ්ජියාර් කෙනෙකුට හිස නොනමන මා බොහෝ විට නිහඩව සිටියේ, මාගේ ස්ට්‍රේට් ටෝක් වලින් දෙවියන් උදහස් කර පලක් නොවන නිසාවෙනි...එහෙත් මාගේ  ගුරුවරුන් වූ ආචාර්ය වරුන් සියලු දෙනා බොහෝ උතුම් මිනිසුන් වගත්, ඔවුන් සමග මා නිතර සෘජුව අදහස් ප්‍රකාශ කල වගත්, ඔවුන්  මගේ පරිකල්පන හැකියාවට බොහෝ සේ ඉඩ කඩ ලබා දුන් බවත් ගෞරවයෙන් ලියා තැබිය යුතුය...

එකල යොවුන් වියේදී හරි හැටි දමනය කල නොතුබු මගේ කේන්තිය නිසාවෙන් විටක මේ සෘජු අදහස්, ආවේගශීලි හැඟීම් සමඟ මුසු කිරීමේ දුර්වලතාවය මට තිබුන වගත් මා පිළිගත යුතුය...

මා ඇමෙරිකාවට සංක්‍රමනයත් සමඟ ජීවිතය ඉතා වෙනස් විය...සමහරවිටක හිස දෙපසට සොලවා "නැතැයි" කීමට හුරුවී සිටි මට ඇමෙරිකානුවන් ඉදිරියේ පැහැදිලි ලෙස "නැහැ" හෝ "බැහැ" යයි කීමට අතිශය නිදහසක් ලැබිණි...අවුරුදු තිහකටත් වඩා කාලයක් මා තුල සඟවා ගෙන සිටි, අප්පචිගෙන් උරුම වූ පෞරෂය මතු කරගැනීමට මේ භූමිය මට මහා නිදහසක් විය..ඒ නිසා මා මේ බහුතරයක් මිනිසුන්ට ආදරය කරමි...

පසු කාලීනව ඉතා දරදඬු විද්‍යාඥවරියක සමඟ ගත කල අවුරුදු පහක කාලය තුල, ඉතා ඉහල ඉවසීමක් සහ ආත්ම විශ්වාසයක් සහිතව මගේ අදහස් ප්‍රකාශ කිරීමට මම උගත්තෙමි...අදහසක් ප්‍රකාශ කිරීමේදී, එය අනිකාගේ පරිකල්පනය තුලට එබ්බ වීමට නම්, ඒ ප්‍රකාශය කිරීමේ ඇති සියුම් චලන හෝ ඉරියව් වලින් පිළිබිඹු වන විශ්වාසනීය හැඟීම් ඉතා වැදගත් බව ඇය සමඟ මා කල සාකච්චා, තර්ක විතර්ක වලදී මට වැටහිණි...අවසානයේදී, ඇයට යමක් ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇත්තේ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති සියුම් හැසිරවීම් හරහා බව මට අවබෝධ වී තිබිණි...

එමෙන්ම මා ඇසුරු කරන ජීවත් වන පරිසරය තුල නොනැසී පැවතීමට නම් සෘජුව අදහස් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය කරුණකි...ඒ බොහෝ ඇමෙරිකානුවන් සමඟ ස්ට්‍රේට් ටෝක් ගනුදෙනුව ඉතා පහසුය...ඉතා සංවේදී කාරණා පිළිබඳව පවා පරස්පර විරෝධී අදහස් මතුකරමින්, ඒවා විවේචනය කරමින් කරගෙන යන බුද්ධිමය සංවාද, මට ඉතාමත් ආස්වාදජනකය...මොළයට පෝෂණය ලැබෙන්නේ ඉතා අමිහිරි දෑ පවා මිහිරි ලෙස විශ්ලේෂණය කරනා සාකච්චා වලදීය...එයින් කිසිදු පාර්ශවයක් සිත් රිදවා නොගන්නා අතර, අප කිසිදා නොසිතූ මානයන් ගැන පවා සිතා බලන්නට ලැබෙන බව මම අත්දැකීමෙන් දනිමි...

ඔබේ දරුවාට අයිස් ක්‍රීම් සහ චොකලට් තට්ටු පිටින් තවරා අදහස් ප්‍රකාශ කරමින්, ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමට අකමැති, තවත් ඔබ වන් වැඩිහිටියෙකු බිහි කරනවාද යන්න ඔබ තීරණය කලයුතු කරුණකි...

එවන් සියල්ලෝම වැඩිහියන් වී තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කරගත නොහැකිව, පවතිනා සමාජ ක්‍රමයට දෙස් දෙවොල් තියන්නෝ බවට පත් වෙති...

තමන්ගේ ලිංගික හැඟීම් පිළිබඳව තම සහකරුවා සමඟ ප්‍රකාශ කරගනු බැරිව සමාජ ජාලා තුල අසහනය වපුරන්නෝ වෙති...

තමන්ගේ ප්‍රධානියා සමඟ තම රැකියාවේ අඩු පාඩු, උසස් වීම් හෝ වැටුප් වර්ධක පිළිබඳව සෘජුව කතා කර නොහැකිව රැකියාවට වෛර කරන්නෝ වෙති...සේවකයින් දෙස විවෘත මනසකින් බලන්නට උගෙන නැති, අයිස්ක්‍රීම් තට්ටුව පමණක් රස විඳින්නට උගත් ලොක්කෝද, තිත්ත ඇත්ත අසා පිළිගත නොහැකි මාන්නයෙන් වැජඹෙති...


ප්‍රේම සම්බන්ධයක් අතට අසු වූ පසු යොවුන් දරුවෙකු, සියදිවි නසා ගන්නා මානසික තත්වයක් ඇති කිරීමට මෙවන් ගුරුවරුද දෙමාපියන්ද නිශ්චිතවම වග කිව යුත්තෝ  වෙති...

ස්ට්‍රේට් ටෝක් ඇති ජීවිත ඉතා පහසුය...මමත්වය අඩු මෙවන් ජීවිත තුල ඔබ කියනා ස්ට්‍රෙස් බොහෝ සේ අවමය...

කෙසේ වෙතත් ස්ට්‍රේට් ටෝක් නිරන්තරයෙන්ම කල නොහැකිය...එවන් පොලිටිකල් අවස්ථාවලදී, ව්‍යාජ එකඟතාවයකට වඩා මුනිවත රැකීම නුවණට හුරු බවද ලියා තැබිය යුතුමය...

.......................................................................................................................

වරදවා වටහා නොගන්න....මේ ස්ට්‍රේට් ටෝක්, කූඹියෝ නාටකය පුරාම දිග හැරුනාක්‌ වැනි "ගේම් කාරයින්" සමඟ ගණුදෙනු කිරීමේදී කිසිසේත්ම අදාළ නොවේ...එවන් "ගේම් කාරයින්" මේ සමාජයේ ඕනෑ තරම්ය...කාර් කාරයින්, බයිසිකල් කාරයින්, පොලිස් කාරයින්, කුඩු කාරයින්, දියවන්නාවේ නයි කාරයින් වාගේම කවි කාරයින් හා බ්ලොග් කාරයින් අතරත් එවැනි ගේම් කාරයින් ඇත්තේය...උන්ට ඒ ඒ ඇජෙන්ඩා ක්‍රියාත්මක කල යුතු අතර, ස්ට්‍රේට් ටෝක් කලහොත් ඔබ සියතින් ගෙල සිදගත්තා වන්නේය... 


w.w. 
**Wathsala Wijayalath**
18 March 2018


Sunday, March 11, 2018

ප්‍රේමයක නැත හිමි අහිමි කම්....

https://www.threadless.com/product/1811/let_go


සයුර මත්තේ හැපී වැලපී  
ගඟක් සිය දිවි නසාගත් හැටි  
බලාගත් අත බලාගෙන සඳ 
මතක බණ පද අහනවා ඇති... 

අදත් මහ රෑ නිදිවරාගෙන 
හූල්ලන උලමියේ  දැන් ඇති
ප්‍රේමයට දොස් කියා පල නැති 
හිතට හිමිකම් ඔප්පුවක් නැති...

මල්සරා විස පෙවූ හීයක 
පැසව පැසවා ආ රසෝඝය
ඇසෙන් බට දේවතා එළියක 
පැටලි පැටලී ආ විරාගය...

හී උගුල්ලා පලා ගිය දා 
කලත් හිත කඩවරට යාගය 
මාත්‍රා වස් නොමැති කවියක 
ලියා තැබුවෙමි මම වියෝගය...

රනින් කල රන් දමක මුදුවක 
මැණික ඇති නම් වී පරිස්සම් 
සින්නකරගනු බැරිව නොතැවෙමි 
ඉඳහිටක දැනුනත් කෙනිත්තුම්...

අයිතියක් ඉල්ලමින් නාඬමි 
බින්න ගිය ප්‍රේමයක වත්කම් 
නොදුටුවා සේ මගැර යමු අපි  
අපේ හිත් වල කැළැලි හිස් තැන්...

...............................................................

ww 
03MAR 2018


Sunday, January 28, 2018

අරිෂ්ට සහ අයිස් ක්‍රීම් 1



http://www.zocalopublicsquare.org/wp-content/uploads/2010/05/mist.jpg



සටහනක් නිර්මාණාත්මකව ලිවිය යුතුද නැද්ද ? කියන්න තියන දෙයක් පොල්ලෙන් ගහන්නැහෙ කියල දානවා මිසක, ඒවට ෆැශන් ඩිසයින් කරන්න මොකට කාලේ නාස්ති කරනවද...මෙහෙම තමයි දැන් කාලයක් තිස්සේ මට හිතෙන්නේ...

මොකද මං මොනවා ලිව්වත් මේවා කියෝන ඈයෝ හිතාගන්නේ එයාල කැමති දේවල්...ඒ තමයි මනුස්ස මොළේ  වැඩ කරන විදිය...  

නිතර මොළේ රැදෙන්නේ තමන් අහන්න කැමති හිතන්න කැමති  දේවල් විතරයි...මං තිත්ත කසාය වට්ටෝරුවක් එක්ක, අරිෂ්ටයක් හදල ඒක බොන්න කිව්වට, ඔහෙලා කැමති කොයි තරම් අසනීපෙන් උන්නත් හිම කිරමක් කාල, මුදූ වෙරළට යන්න...රෑට ගෙදර ආවම සහලෝල උණ හැදෙනව කියල පැහැදිලිවම හිත දන්නවා උනත්, ඇත්ත පිළිගන්න අපේ මොළේ හරිම අකමැතියි...

මේක පොදු මිනිස් මොළේ තියෙන ලක්ෂණයක්...තිත්ත ඇත්ත පිළිගන්න අකමැති කම...අපේ හිතට වේදනාවක් දෙන, හුගක් කරදර දෙන ගැටළු ලිහා ගන්න කාලය වෙන් කරන්න අපි හරි අකමැතියි...ඒවාට මහන්සි වෙන්න ඕනේ...මොළේ වෙහෙසන්න, කල්පනා කරන්න ඕනේ...ඒ මුළු ක්‍රියාවලියම බොහොම වෙහෙසකර දෙයක්...ඊට වඩා කොයි තරම් ලේසිද ඔන්නොහෙ රස්සාවට ගිහින් ඇවිත්, තියන දෙයක් කාල, නාට්ටියක් බලලා නිදාගන්නෙක...හෙට බැරිය ප්‍රශ්න ගැන හිතන්න...අපි අන්න එහෙම හිතලයි ප්‍රශ්න, නීරස දේවල් හරි ලේසියන් මගාරින්නේ...

අපි විසින් අපේ මොළය ආවරණය කරලා, ඇත්ත තත්වේ හීන් සීරුවේ අපේ හිතෙන්ම වසං කරගෙන...අසනීපයක් තියනව කියල දැනුනට, රෝහලකට යන්න බයයි...හදිස්සියේ බොහොම බරපතල රෝගයක් හැදිලා නම්....ඒ හින්ද පෙනඩෝල් එකක් බීල මෙහෙම ඉන්නෙක හොදයි...ඔන්නොහොමයි අපි ඇත්තෙන් පැනල ගිහින්, තාවකාලිකව හිත හදාගන්නේ...ඒ වගේ තාවකාලික පැලැස්තර වලට හේතු ඒත්තු ගන්නන්න අපේ හිත හරිම දක්ෂයි...

මේ සේරෝම දේවල් පර්යේෂණ වලින් ඔප්පු කරපු දේවල්...අපි එදිනෙදා හැසිරෙන විදිය බොහොම පරිස්සමට ලං වෙලා විශ්ලේෂණය කරලා බැලුවොත් අපි නිතර මේ දේවල් කරනවා...

අපි අපේ සුවපහසු සීමාවෙන් එළියට එන්න හරිම අකමැතියි...මොන කරදර තිබුනත් ඒවාට චෝදනා කරන එක ලේසියි, ඒවයින් ගැලවෙන විදිය හිතනවට වැඩිය...ඒ වගේම තමන් අනුගත වෙච්ච චර්යාවෙන් මිදිලා, අලුත් අභියෝග බාරගන්නෙක...මිනිස්සු හරිම කැමතියි තමන් පුරුදු වුනු ජීවන රටාවේ පවතින්න...බඩට නොකෑවත් තමන්ගේ දරු පවුල එක්ක වැටිලා ඉන්න...ඉතිං මං අහන්නේ උන් දුක් වින්දාවේ, ඔක්කොම එකට ඉන්න එකයි වටින්නේ...එහෙමද වෙන්න ඕනේ...පිටින් බලන් ඉන්න කෙනෙකුට, අන්ත දුගී ලෙස ගෙවන ජීවිත වගේ පෙනුනට, ඒ, ඒවා ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය රටාව...

මිනිස්සු ජීවිතේ බොහොම වෙලාවට අසාර්ථක වෙන්නේ තමන්ගේ ඉස්සරහා තියන මේ  ඇත්ත දිහා ඇස් ඇරලා නොබලන නිසා...තමන්ගේ රැකියාව තුල තමන්ට දියුණුවක් හෝ පැවැත්මක් නැත්නම්, එතන වෙන කොයියම් පහසුකමක් තිබුනත්, එතැනින් හිත ගලවා නොගත්තොත් ඒ පුද්ගලයා නොදැනුවත්ම අසාර්ථක වී හමාරයි...


අපිට ඇහෙන අවලාද, චෝදනා පිටිපස්සේ ඉන්න තරමක් ඉන්නේ ඒ වගේ කෙටි කාලීන සැපයට ලොල් වෙච්චි මිනිස්සු...අභියෝග වලට මුහුණ දෙන්න බය වුනු මිනිස්සු...දෛනික ක්‍රියාවලියකට ඇබ්බැහි වෙච්චි මිනිස්සු...තමන්ගේ කම්ෆට් සෝන් එකෙන් එළියට නාපු මිනිස්සු...එක මොහොතකට නැවතිලා, හිතට ඩිංගක් වද දීල තමන් ගැන හරි හැටි, තමන්ගෙන්ම හගිස්සල බලපු නැති මිනිස්සු...
ඔය පැරදිච්ච, වැරදිච්ච, නන්නත්තාර වෙච්චි මිනිස්සු බොහොමයක්, බොහොම වෙහෙස වෙලා වැඩ කරපු අය...හැබැයි අර මොළේ දුන්න සිග්නල් එක හරියට විශ්ලේෂණය නොකරපු, ඒ ගැන කල්පනා කරන්න බය වුනු අය...ඇත්ත පැත්තකින් තියාපු අය...ඒ සමහරු බොහොම උගත්තු...හැබයි බුද්ධිමත්තු නම් නෙවෙයි...

හොදම වැඩේ කියන්නේ, ජීවිතේ ඇත්ත හෙවත් යථාර්තය හැමදාමත් අපේ ඉස්සරහට එනවා...ඒ නිසා කොයි තරම් පැනල ගියත්, කවදා හරි පසු තැවෙන්න වෙනවා...හැබැයි ඉතින් අර කියන්නා වගේ අපි "පට්ට" මෝඩ විදියට ඇත්ත තත්වය නොසලකා හැරියොත්, කවදාවත් තමන්ගේ හැකියාවේ පරිමාව හෝ තමාගේ හිතේ ශක්තිය ගැන, අංශු මාත්‍රයක හෝ හැගීමක් නැතිව, තවත් එක සාමාන්‍ය මිනිහෙක් ලෙස හෙට දවසේ අවලාද නගමින්ම මිය යනවා නියතයි...ඔය අවලාද නගන ඈයෝ දිහා හොදට කිට්ටු කරලා බැලුවොත්, ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ සිස්ටම් එක වෙනස් කරන්න කිසිම උත්සාහයක් නොගත් අය වගත් වැටහේවි...


පසු සටහන:

මා  කුමනාකාරයක හරුපයක් ලියා තැබුවත් ඔබ වටහා ගන්නේ ඔබට වුවමනා දෙය සහ ඔබ කැමති දේ පමණයි...මිනිසුන් තමන් ගැන වටහා ගැනීම පසෙක ලා අනුන් ගැන නිර්ණය කිරීමේ ඇති මනා හැකියාව නිසා නිතර නොමග යන්නෝද වෙති...