Saturday, January 6, 2024

දික්කසාදයෙන් පසු....

  

අපට කොහෙ හරි වැරදෙන්න ඇති  

සොඳුර ඒ ගැන හිතා පල නැති 

වසර විස්සක ගෙවුණු තත්පර 

හිත රිදුන තැන් දන්නවා ඇති... 


කෝපි උගුරක අතරමං වෙන    

හවස් වරු මට මග ඇරෙන්නැති 

වයින් උගුරක රහ බලන්නට 

ඉඳ හිටක ඔබටත් හිතෙන්නැති...


ප්‍රේමයක් නැති ගැඹුරු හිස්තැන් 

ටිකෙන් ටික ආගාධ වෙන්නැති 

කිමිදෙන්න බැරි අඳුරු තැන් වල 

හුස්ම ටික ටික හිරවෙන්න ඇති... 


කාලයක් උණුවෙලා නොදැනිම 

කඳුළු ලෝදිය වී ගලන්නැති 

තදින් මා ඇලවූ පැලැස්තර   

පෑරුවේ ඔබ නොදැන වෙන්නැති...


තේරුමක් හෝ තාලමක් නැති 

කවියකත් ඉඳහිටක රස ඇති  

කසාදය ඒ වගේ කවියකි 

සොඳුර ඔබ එය දන්නැතුව ඇති... 


අපට කොහෙ හරි වරදින්න ඇති 

එකට ආ මග දැන් ඉවර ඇති 

වෙන් වෙන්ව අප යන ගමන් ගැන 

දැන් ඉතින් අප සොයා පල නැති...


.......................................................................................................................................................................................................................................................................................................................


දියණියද දේපොළද වස්තුව 

දැන් ඉතින් අප බෙදා ගත යුතු 

ටයිම් ට්‍රැවලින් කරන මැෂිමක්  

කොහෙන් හෝ මා සොයා ගත යුතු... 


ඔබ විසින් ටෝටල්(ඩ්) කර දැමූ 

හදවත ජන්ක් යාඩ් දැමිය යුතු...

ත්‍රී ඩී හිතක් සවි කරනු හැකි

සර්ජන් කෙනෙකුන්ද සෙවිය යුතු...


හයිකින්, පිෂින් සහ කෑම්පින් 

නොගියාට අමනාප නොවිය යුතු...

මට මගෙම වෙන ප්‍රේමයක් 

කවදාක හෝ මට ලැබිය යුතු...


ඔබ අපුල යැයි කියූ දෙකොපුලට 

හාදුවක උණුසුමක් දැනිය යුතු...

දැඩි පිරිමි බාහුවක තෙරපෙනා 

සියුම් කෙඳිරිල්ලක්ද ඇසිය යුතු...


සංසාරෙ පැටළුන මාල හත 

මා එය තනියෙන්ම ලිහිය යුතු...

බුදු නොවන බැවින් ඔබ කිසිදාක 

මා යසෝධරාවක් නොවිය යුතු... 


 

28 comments:

  1. පොඩි කාලේ මං ගිය බස් එකක වැකියක් ලියලා තිබ්බා....සතුට ඇත්තේ ගමනේ කෙලවර නොව අතරමැද හමුවෙන සුන්දර සිහිවටන මත කියලා....මේ කවිය කියෙව්වම මට ඒ වැකිය මතක් උනේ ඇයි කියලා එකපාරට කියන්න අමාරුයි..එත් මෙ වැකිය කියන එකත් සමහර විට කරන්න ලේසී නෑ....ටාගට් එකකට යනකොට අතරමැද දේවල් මිස් වෙනවා... හරියට

    //කෝපි උගුරක අතරමං වෙන

    හවස් වරු මට මග ඇරෙන්නැති

    වයින් උගුරක රහ බලන්නට

    ඉඳ හිටක ඔබටත් හිතෙන්නැති...

    //

    Mayya

    ReplyDelete
    Replies
    1. ඔව්, එකඟයි, ජීවිතයේ නොයෙකුත් හලැහැප්පීම් මැද මිනිස්සුන්ට මතක එකතු කරන්න අමතක වෙනවා. අන්තිමට ආපස්සට හැරිලා බලද්දී තමයි තේරෙන්නේ කොයි තරම් සියුම් තැන් අත් ඇරිලද කියල. (පොකුරුවැහි)

      Delete
  2. ඉරි දෙකින් පස්සේ කොටසට ඉංග්‍රීසි වදන් යෙදීමෙන් ඇති කළ කෘතිම බව කථකයා පිළිබඳ කියවීමක් නම් ටිකක් ඒකපාක්ෂිකයි වගේ.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගේ කථාවක් අහන් ඉඳල ඇති වුනු කම්පනයෙන් තමයි ඔබ ඔය කියන කොටස ලියවුනේ. ඔව්, ඒක පාර්ශ්වික වෙන්න පුළුවන්. නමුත් මේ තමයි මේ සිද්ධියට මුහුණ දුන් ගැහැණියට මුලින්ම පහල වෙන්නට ඇතැයි කියා මට සිතුන සිතිවිලි. කලින් ලියවුනු කවි පෙලෙන් කියවෙන සිතිවිලි පහල වෙන්නෙත් එම ගැහැණියටමයි. මොකද මේක බොහොම සංකීර්ණ, එකිනෙකට නොගැලපෙන හිතිවිලි දාස් ගානක් ඇවිත් යන අවස්ථාවක්. ඉංග්‍රීසි යෙදුම් කෘතීම බවක් ඇති කරන්න හිතාගෙන පාවිච්චි කළා නෙවේ. මට ඉබේ ලියවුන දේ ලියවෙන්න ඉඩ ඇරිය (පොකුරුවැහි).

      Delete
    2. මේ පැත්තට ගොඩ වැදුනට බොහොමත්ම ස්තුතියි (පොකුරුවැහි)

      Delete
  3. අපූරුයි පොකුරු වැහි ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී.(Pokuruwahi)

      Delete
  4. පොකුරුට මෙහෙම අත්දැකීමක් නැහැනෙ? ඒ වුනාට මේ කවි පෙල හරි සංවේදීයී. මේ මාතෘකාව ගැනම මම ගීතයක් ලිව්වා කාලෙකට පෙර. පුළුවන් නම් https://www.youtube.com/watch?v=wKaa7d4N-c4 මෙතනින් ඒක අහන්න

    ReplyDelete
    Replies
    1. herf codeදාන්න බැහැ මේ බ්ලොග් එකේ. ඒ ඇයි?

      Delete
    2. ඔබේ ගීතය හරිම අර්ථවත්, හිතට බොහොමත් දැනෙනවා. ඔව්, ඇත්ත මට එහෙම අත්දැකීම් නැහැ. ජීවිතේ පළමු වතාවට එහෙම අත්දැකීමකට මුහුණ දුන් හිතවතියකගේ කතා අහන් ඉන්න උනා. මම කම්පනයෙන් කවි ලියන කෙනෙක් නෙවේ. ගොඩක් වෙලාවට ලියන්නේ මගේ ඔළුව ඇතුලේ තියන විෂුවල් එකට. නමුත් මේ සිද්ධිය මට දරාගන්න අමාරු උනා. ඒක වෙන්නැති. බොහොම ස්තුතියි ඉයන්.

      Delete
  5. මම බලන්නම්. ආපහු ලියන්න ගත්තට බ්ලොග් එකේ සෙටින්ග්ස් චෙක් කලේ නෑ.

    ReplyDelete
  6. හරිම සංවෙදි..මං කැමති මුල් ටිකට.ඒක දැනෙනවා මාරම විදියට.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි නංගි ( පොකුරුවැහි)

      Delete
  7. කලින් ඇවිත් මේක බලල හිමීට ලිස්සලා ගියේ කියන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරි නිසයි. කවි ටිකයි කමෙන්ට් ටිකයි කීප පාරක්ම කියෙව්වා. කමෙන්ට් වලින් තමයි දැන ගත්තෙ, මේක ඇත්ත කතාවක් කියලා.

    හ්ම්.....කියෙව්වම හඳුන්පොත කීං ගෑවා.💔

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බසූ. ඔව් ඉතින් ටිකක් පැටලෙන ටොපික් එකක්නේ එක පාරටම කියෙව්වම (පොකුරු වැහි).

      Delete
  8. හිතට වැදුන කවියක්, මේකේ පටන් ගැන්ම හා අවසානය අතර පොඩි පැටලීමක් පෙනුනා, මේක ලියන්නේ ගැනු කෙනාද? ඒ ප්‍රශනය වැදගත්ද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට..ඒ පටලැවිල්ල හිතා මතා කල දෙයක්. මේ පටලැවිල්ල මේ සිද්ධියට මුහුණ දුන්න කෙනා ඇතුලේ මං දැක්කා. එක වෙලාවකට දුක, ඊළඟ මොහොතේ වේදනාව, ඉන් පස්සේ හිත ශක්තිමත් කරගන්නවා. පිටින් බලන් ඉන්න කෙනෙක්ට ඒක හොඳට පේනවා…දෙවෙනි කොටස අනුව ගැහැණු කෙනෙක්…නමුත් පළමු කොටස දෙගොල්ලොටම පොදු හිතිවිලි වෙන්න පුළුවන්…(පොකුරු වැහි).

      Delete
  9. ඔබ විසින් ටෝටල්(ඩ්) කර දැමූ
    හදවත ජන්ක් යාඩ් දැමිය යුතු...
    ත්‍රී ඩී හිතක් සවි කරනු හැකි
    සර්ජන් කෙනෙකුන්ද සෙවිය යුතු... - මේක
    කවි පෙළ හිතට දැනුන , මෙහෙම වුන පවුලේ යෙහෙළියෝ දෙතුන් දෙනෙක් නිසා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්. ඔව් ඒක ඇත්ත මං හිතන්නේ දෙපාර්ශ්වයම මානසික වශයෙන් හානියට සහ වෙහෙසට පත් වෙනවා.

      Delete
  10. බොහෝ විට ලංකාවේ කපල් එකක් දික්කසාද වෙනකොට මරා ගන්න සයිස් එකට යන්නනේ ඇයි කියල මට හිතා ගන්න බැහැ .

    ReplyDelete
  11. ඒක ලංකාවට විතරක්ම කියන්න බැහැ නේද? මට හිතෙන්නේ ඒක සිද්ධ වෙන්නේ එක එක පුද්ගලයාගේ සමාජ වටපිටාව, ආකල්ප, දරා ගැනීමේ ශක්තිය අනුව, තව නොයෙකුත් හේතු කාරණා අනුව වෙන්න ඕනෙ. ගොඩක් අය වෙන් වෙලා දේපළ වලට, විශේෂයෙන් දරුවන් වෙනුවෙන් අයිතිවාසිකම් ඉල්ලනවා. ඔක්කොම දීල ගැලවිලා යන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා. මං දන්නා සිද්ධියක් තියනවා පිරිමියා අපාර්ට්මන්ට් එකත් අරන් දීලා, රෙන්ට් එකත් මාස 6 ක් ගෙවලා, වාහනෙත් දීල එක්ස් වයිෆ්ට එයාගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ලඟට ගිය. මනුස්ස හැඟීම් විවිධාකාරයි (පොකුරු වැහි).

    ReplyDelete
  12. This is heart touching.

    "තදින් මා ඇලවූ පැලැස්තර- පෑරුවේ ඔබ නොදැන වෙන්නැති..." අය්යෝ.. Don't we tend to do this on a daily basis.

    ReplyDelete
    Replies
    1. Thank you.

      Did you mean that we put on a band-aid daily on our wounds or we always tend to open the old wounds unintentionally? I guess either way, an open line of communication is a must for any relationship. I personally like to talk and deal with the issue right away rather than contemplating and holding onto resentment 😉 That is exhausting (pokuruwahi)

      Delete
  13. කියෙව්වම හඳුන්පොත කීං ගෑවා.//

    ReplyDelete
    Replies
    1. රස වින්දාට බොහොම ස්තුතියි ලලිත් (පොකුරු වැහි).

      Delete
  14. කාලෙකට පස්සේ අපූරු කවි ටිකක්

    ReplyDelete