Thursday, August 30, 2018

එයා...(ජීවිතය ලියා තබමි-3)

රුව අන්තර්ජාලයෙනි 


අවුරුදු දාසයක් තිස්සෙම මට එයාව හීනෙන් පේනවා...ඔව් මාස දෙක තුනකට වතාවක්...එයාව මං නිතර දැක්ක විදියට, සමහර දාට හරිම ලස්සනට...

අපි වෙන් වෙච්චි අලුත, මට නින්දක් නිදා ගන්න ලැබුනෙම නෑ...හැමදාම වගේ එයාව හීනෙන් පෙනුනා...එයා ඇවිත් මොනවදෝ මට කියල යනවා...මහා ආගාධයක් ඇතුලේ හුඟාක් වෙලා හුස්ම හිර කරගෙන ඉඳල එළියට ආවම දැනෙන හැඟීම කොයි වගේද...ඒ හීනෙන් පස්සේ එළඹෙන උදේට මට දැනෙන හැඟීමත් ඒ වගෙයි...ඒක මහ තෝන්තු වෙච්චි හිතුවිල්ලක්...පුදුමාකාර වෙහෙසක්...හොඳට වැඩුණු ගහක් උගුල්ලලා අලුතින් හිටවල වගේ...

මුලදී වගේ නෙවේ, කාලයක් ගත වෙද්දී මට එයාව හීනෙන් පේන්නේ,  මොනවම හරි දෙයක් ගැන ඉඟියක් දෙන්න...ඒක මගෙ හිතලුවක් නෙවේ...ඒක ඇත්තටම එහෙමයි...ගොඩක් වෙලාවට ජීවිතේ ගැටළුවක් ගැන ඉඟියක්...

අපි දෙන්න එකට උන්න කාලේ, ජීවිතේ ගැන මහා දාර්ශනික සාකච්චා කරන තරමට අපි ලං වෙලා උන්නෙ නෑ...මං එයාට ඉස්සර ගොඩක් බයයි...ගොඩක් දේවල් මං කලේ එයාගේ නීති වලට බයට...එයාගේ තිබුන හිතුවක්කාර මුරණ්ඩු ගතිම තමයි මටත් තිබුනේ...එයාට  හිතුනොත්, ඒ දේ අනිවාර්යෙන් කරනවා...එයාට තිබුන පුදුමාකාර ආත්ම විශ්වාසයක්...ඒ වගේම කරන වැඩ හරි පිළිවෙලයි...එයා ඒ වගේම හරිම අවංකයි, නිර්භීතයි...කිසිම මිනිහෙක් ඉස්සරහ එයාගේ ඔලුව නැවෙන්නේ නෑ, මනුස්සකමට ඇරුනම...

අවාසනාව කියන්නේ මං එයා ගැන මේ විදියට විශ්ලේෂණය කරන්න ගත්තේ එයා මාව දාල ගිහිනුත් හුඟාක් කාලයක් ගියාට පස්සේ...මං ඇතුලේ අද වෙද්දී පැල වෙලා තියෙන්නේ, එයා වපුරාපු දේවල්...කොටින්ම කියනවා නම් මං එයාම තමයි...ඒක මට දැන් දවස ගානෙම දැනෙනවා...ඒ ගතිගුණ දැන් මටම වදයක් වෙලා...හැමතිස්සෙම එයාගේ ඒ ගතිගුණ ප්‍රගුණ කරන්න අමාරුයි...ඒ හින්ද පහුගිය දවස් ටිකේ මටත් සිද්ධ වුනා, මගෙ වටේ වෙන දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න...ඒ අස්සෙ, ඊයේ මගෙ හිත මට තර්ජනය කළා, මොළේට දැනුම් දෙනවය කියල තවත් කට පියාන ඉන්න එපාය කියල...ඔහොම මහා පීඩනයක් ඔලුවේ තියාගෙන මං ඊයේ රෑ නිදාගත්තෙ...ඉන් පස්සේ මුළු රෑ තිස්සෙම මට එයාව හීනෙන් පෙනුන...ඒක විකාර සිද්ධි දාමයක්...ඒ හීනෙන් පස්සේ මං ඇහැරුනේ බූවල්ලෙක් උගේ දඩු වලින් මගෙ මොළේ වෙලාගෙන ඉන්නවා වගේ හැඟීමක් එක්ක...ඒ එක්කම මට දැනුන, මං අර නිදාගනිද්දී කල්පනා  කරපු ගැටළුව එක්ක ගණුදෙනු කරද්දී බොහොම ඉවසිලිවන්ත වෙන්න වෙන්න ඕනෑ වගේ හැඟීමක්...එයා අර හීනෙන් ඇවිත් මට කිව්වෙ එහෙම දෙයක් කියල හිතුන...

හිතන්න, දැන් අවුරුදු දාසයක් තිස්සේ, මං මාසෙකට දෙකකට වතාවක් එයා මං ළඟ උන්න කියල හිතන් රැවටිලා හීනෙන් ඇහැරෙනවා...ඒ වේදනාව...සමහර විට වතුරේ ගිලිලා හුස්ම හිරවෙලා මැරෙද්දි දැනේනේ එහෙම වේදනාවක් වෙන්නැති...ඒක මට මෙහෙම විස්තර කරන්න බෑ...

එයා මාව දාල යද්දි මං ඇඩුවේ නෑ...මට හුඟාක් වැඩ තිබුන කරන්න එයා මාව දාල ගියාට පස්සෙ...මට මගෙ ජීවිතේ ගැන, එයා ගැන අවලෝකනය කරන්න වෙලාවක් තිබුනෙ නෑ...ඒ වුනාට, හැම මිනිහෙකුටම එනවා මට වගේ කාලයක්...ජීවිතේ ආපස්සට යන්න...එයා තමයි මගෙ ජීවිතේ, මගෙ හදවතේ ඇති වුන අතිශය ගැඹුරුම ප්‍රේමය...ඒ වුනාට මේ  ජීවිතේ රේස් දිවිල්ල හින්ද, එයා ළඟින් තුරුළු වෙලා ඉඳන් එයාට මට ආදරේ කරන්නවත්, මට එයාට ආදරේ කියන්නවත් ඉඩක් ලැබුනේ නෑ...ඒ ලංකාවේ හැටි... 

එක අවුරුදු දවසක එයා ඇඩුව...ඒ තමයි මං එයාගේ ඇස් වල කඳුළු දැක්ක එකම එක දවස...එතකොට එයා අසනීප වෙලා බොහොම කාලයක්...එයා ඒ වෙද්දී බොහොම දුප්පත් මනුස්සයෙක්...එයා දස මහා යෝධයෙක් වගේ ඉස්සරම මං දැක්කේ...ඒ වුනාට අන්තිමට එයා පුංචි දරුවෙක් වගේ වුනා...එයා මුලින්ම අසනීප වෙච්චි දවසේ, මට මතකයි "චුටි මැණිකේ" කියල  මට කෑ ගැහුවා...අනිත් ඈයෝ "චූටි" කියද්දී, එයා විතරයි මට චූටී මැණිකේ කිව්වේ, එයා මාව දාලා ගියාට පස්සේ එහෙම කියන්නේ කවුරුත් මට උන්නේ නෑ...

එයා මාසයක් තිස්සේ හොස්පිට්ල් ඉද්දී, මං හැමදාම ගියා එයාව බලන්න...ඒ කාලේ මං කැම්පස්...දෙතුන් වතාවක්ම එයා අසනීප වුනේ, කැම්පස් එකේ එක්සෑම් අතරෙදි...ඉතින් මං ඒවට හුරු වෙලා තිබ්බෙ, හොස්පිට්ල් සහ කැම්පස් අතර ගමනට...දවල්ට ගිහින් එයාට බත් කන්න දීල කැම්පස් ඇවිත් එක්සෑම් ලියන්න...එක්සෑම් එකක් ලියල  යන හැම වතාවකම, එයා මගෙන් ඇහුවේ එක දෙයයි...හොදට ලකුණු තියෙයි නේද කියල...එයාගේ ඒ ආඩම්බර කාර හිනාවට මං හරි ආදරෙයි...

ඒත්, එක දවසක් රෑ එයාට ගොඩක් අමාරු වුනා...එයා හුඟාක් හය්යෙන් හුස්ම ගත්ත, හුඟක් අමාරුවෙන්...මං හිතුවේ එදත් වෙනද වගේ කියල...මොකද ඔහොම අමාරු වෙලා එයාට අඩු වෙනවා...එදායින් දවසකට පස්සේ මගේ කැම්පස් එකේ අවසන් වසරේ, අවසන් වාරයේ, අවසන් විභාගය...මං පාඩම් කරන්නේ අන්තිම දවස් දෙක තුනේ...ඒ නිසා එදත් මං පාන්දර වෙනකල් පාඩම් කළා...මං පාන්දර එයා ලඟට යද්දී එයා මහන්සියෙන් හුස්ම ගන්නවා, මං එයාට තේ එකක් හදල දීල, එයාට නින්ද යනකල් පිරිත් කිව්වා...එයාට නින්ද ගියේ නෑ...එයා ඇඳ උඩ වාඩි වෙලා බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ගමන්, පිරිත් අහගෙන උන්නා...එදා එයා කතා කලේ ගොඩක් අඩුවෙන්...එයාට අමාරුයි කියල කොයිම වෙලාවකවත් කිව්වේ නෑ...විභාගේ සිහියෙන් හිටපු මට එයා ගැන ඒ තරම් දැනුනෙත් නෑ...ඒ මගේ හැටි...අනිත් එක එයාගේ අසනීපෙට මං හුරු වෙලා උන්නේ...

පහුවදාට එළි වුනා...එයාට අඩුවක් තිබ්බේ නෑ...ඒ දේට මං හුරු වෙලා හිටපු තරමට, මට දැනුනේ නෑ එයා ඉන්නේ හුඟක් අමාරුවෙන් කියල...ඒත් දවල් වෙද්දී එයාට හුස්ම ගන්න බැරි තරම් අමාරු වුනා...එයාගේ බඩ ඉදිමිලා තිබුනෙ...එයාව අපි එක්කරගෙන ගියේ ලඟම තිබුන නර්සින්ග් හෝම් එකට..ත්‍රී වීලර් එකක...එයා මැද වාඩි, මගෙ උරේට වාරු වෙලා...එයා එකම එක දෙයයි මගදී ඇහුවේ..."අපි මේ කොහෙටද යන්නේ"....අන්න එතකොටයි මං මගේ හීනෙන් ඇහැරුනේ...එයා ආයිමත් එක වචනයක්වත් කතා කලේ නෑ...ඒ තමයි එයාගේ අන්තිම වචන ටික...නර්සින්ග් හෝම් එකෙන් එයාට බෙහෙතක් දුන්නා...එයා වෙනද වගේම ඒවා උගුරට දෙකට ගිල්ලා...ඒත් එයාව එතනින් බාර ගත්තේ නෑ...ඒ කාලේ ඒ නර්සින්ග් හෝම් එකේ ඉඳන් හොස්පිටල් එකට යන්න පොඩි පාරක් තිබුනේ...ත්‍රී වීලර් එක හුඟාක් ගැස්සුනා...මං එයාව හය්යෙන් අල්ලගෙන උන්නේ...එක පාරටම එයාගේ ඔලුව මගේ උරහිසට කඩාගෙන වැටුන...මිනිහෙක් මැරෙන හැටි ඊට කලින් මං දැකල තිබ්බෙ නෑ...ඒ හින්දම මං පුදුම තරම් වෙර දාල එයාව හෙල්ලුවා...කෑ ගැහුවා...එයා ඇස් ලොකු කරලා මගේ දිහාවේ බැලුව...ඒ බැල්ම...ඒ බැල්ම මට කවරදාකවත් අමතක වෙන්නේ නෑ...ඉන් පස්සෙ එයාගෙ ඔලුව ආයිමත් මගෙ උරහිසට කඩාගෙන වැටුන...

එයා ආයිමත් හොස්පිටල් එකේදී අපි හැමෝම දිහා ඇස් ඇරල බැලුව....ඉන් පස්සේ ඉතිරි උනේ අපි තුන්දෙනයි. මගේ අම්මයි, මමයි, එයයි...එතන හිටපු අනිත් අය ගියා...අපි දෙන්න ඩිංගක් අහක බලාගත්තු ටිකට එයා අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙ නැවතුනා...මං මේ ජීවිතේ කිසිම දවසක ඒ තරම් මෝඩ හිතිවිල්ලක් හිතල නෑ...මං හිතුව එයාට සනීපයි කියල...අම්මටත් මං ඒක කිව්වා...අපි දෙන්නම එයාට ලං වෙලා බැලුව...එයාගේ මූනෙ තිබුනෙ පුදුමාකාර සැහැල්ලුවක්...ඒ සැහැල්ලුව එයාගේ මූනෙ මං කවදාවත් දැකල තිබ්බේ නෑ...

එයා ඒ මහ වැස්සේ යන්නම ගියා...ඒ ධාරනිපාත වැස්සේ අපිට අතරමං වෙන්න ඇරලා එයා යන්න ගියා...එයා එයාගේ අමාරුව මට කිව්වේ නෑ...එයා තීරණය කරන්නැති, අනිත් එක්සෑම් වලදී වගේ ආයිමත් මට කරදර නොකර ඉන්න...එයා හුඟක් මහන්සි වුනා, එයාගේ හුස්ම ටික රැක ගන්න...ඒත් එයා පැරදුනා...ඇත්තටම අපි සේරෝම පැරදුනා...මං අදටත් ජීවිතේ පැරදිලා...ලෝකයක් දිනුවත්, ඒව බලන්න එයා මං ළඟ නෑ...මාව ලෝකෙම දිනවන කෙනෙක් කරන්න, වුවමනාව තිබ්බෙ එයාට...ඒ නිසා මං ඒක කළා..එයත්, මගෙ අම්මත් වෙනුවෙන් මං ඒක කළා...

මං විභාගෙට ගියා පහුවදා එයාට වැඳලා...ගෙදර එද්දී විභාගේ කොහොමද කියල අහන්න එයාට පුළුවන් කමක් තිබ්බේ නෑ...එයා උන්නෙ බොහොම සුවබර දිගම දිග නින්දක...රසායන විද්‍යාව පේපර් එක ලිව්වේ කොහොමද කියල මට මතක නෑ...හැබැයි මං අඩුවේ නෑ...කලින් දා රැයක් තෝන්තු වෙලා මං ඇස් අරං උන්නෙත් අමාරුවෙන්...කවුරු හරි මට උත්තර මතක් කරලා දෙනවා වගේ දැනුන...ඒ නිසා මං ලිව්වා...මට ආදරේ කරපු සුළුතරයක් දෙනා එදා මං ලඟින් උන්නා, ඒ ඇර වෙන කිසිම කෙනෙක් විශ්වාස කලේ නෑ, මට ඒ විභාගෙන් පාස් වෙයි කියල...මං දන්නවා හුඟ දෙනෙක් හිතුවේ මං අමන කෙල්ලෙක් කියල...හිතක් පපුවක් නැති...නෑ, මං එහෙම නෙවේ, මං කියන්නේ, එයා උස් මහත් කරපු  බොහොම ශක්තිමක් ගහක්...ඒ හින්ද මං වැටුනෙ නෑ, මට ඒ විභාගෙට "ඒ " සාමාර්ථයක් තිබ්බා...මං දිනපු එක විභාගයක් ඇර, වෙන කිසිම දිනුමක් බලන්න ඉන් පස්සේ එයා මං ළඟ උන්නේ නෑ...මට මතකයි එදා රෑ දෙගොඩහරි ජාමෙ, කවුරුත් නැති වෙලාවක, මං එයා ලඟට වෙලා ගොඩාක් වෙලා ඔහේ වාඩි වෙලා හිටියා...හැබැයි මං ඇඩුවේ නෑ...මට අඩන්න තරම් නිදහසක් තිබුනෙත් නෑ...

එයාගේ සීතල අත් දෙක අල්ලලා මං හිතෙන් පොරොන්දුවක් වුනා...ඒ එයා ආදරේ කරපු හැමෝටම මැරෙනකල් එක සීරුවට ආදරේ කරන්න...එයාලව ආදරෙන් බලා ගන්න...මං ඒක අදටත් රකිනවා...

මං දැනන් උන්නේ නැති මගෙ අනාගතේ එයා හැමදාමත් දැක්කා...ඒ හින්ද වෙන්නැති අදත් මගේ ලඟට ඇවිල්ල එයා මට ජීවිතේ ගැන ඉඟි දීල යන්නේ...එයා එක්ක කතා කරන්න දේවල්, ඇවිදින්න තියන තැන් නම් නිමක් නෑ...දවස ගානේ ඒවා වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නෙත් නෑ...ජීවිතේ එහෙම තමයි, මිනිස්සුන්ට වැඩිපුර මතක් වෙන්නෙ තමන් ළඟ නැති දේවල්...

ඒ ආදරේ ගැඹුර දැනෙන්න ටිකක් වයසින් මෝරන්න ඕනේ...එයා තමයි මගෙ ජීවිතේ මෙතුවක් කාලෙකට ඇතිවුන ගැඹුරුම ආදරේ...එයා තමයි මගේ ආදරණීය තාත්තා...මාසෙකට දෙකකට වතාවක් හීනෙන් ඇවිත්, මං හොඳින් ඉන්නවද කියල මගෙන් අහල යන මගෙ තාත්තා...

--ww--
අගෝස්තු 30, 2018

20 comments:

  1. හරිම සංවේදි සටහනක් පොකුරු

    තාත්තා ඔයා ළඟ නැතත් ඔයාට සතුටු වෙන්න පුළුවන් ඔයා එයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ කරපු දුවෙක් නිසා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳා...

      Delete
  2. හරිම ලස්සණයි .... අරුත්බරයි .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලණ..

      Delete
  3. I don't know why do I feel same about my father. Its so hard to forget his last day though it happened 2 years ago. So beautiful ,,,

    ReplyDelete
    Replies
    1. Thank you, I think it is normal to be felt like that...

      Delete
  4. අර්ථවත් , ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු...

      Delete
  5. බොහොම තදින් හිතට දැනුනෙ මේ මගේ කතාවම හින්දා වෙන්න ඇති... වෙනසකට තියෙන්නෙ මේක වෙනකොට මම ලියමින් හිටියෙ සාමාන්‍ය පෙළ. හය වෙනි විෂය ලියල ගෙදර එනකොට ඉස්පිරිතාලෙ හිටපු එයාගෙ මිනිය පෙට්ටියක දාල ගෙදර ගෙනැල්ල තිබ්බ...

    මෙතන මම ලියල තියෙන්නෙ එයා ගැන...
    https://sakkhayaditthi.blogspot.com/2017/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මා ඔබේ සටහන කලින් කියවලත් තියනව කමෙන්ටුවක් නොදැම්මට...

      ඒ අත්දැකීම් විඳපු කෙනෙක් තමයි ඒ හැඟීම් වලට දිග පළල හරියටම දන්නේ..

      Delete
  6. මේක ලියවිල්ල මාව කම්පනය කල තරම්....ඇත්තමයි මම අන්තිම වෙනකන් කියෙව්වෙ නෑ... ඒත් ඒ එයා කවුද කියල මට දැනෙනවා....මමත් එයාව පෙරේදාත් හීනෙන් දැක්කා...

    ReplyDelete
    Replies
    1. අපේ හිත් වල ගැඹුරුම තැන ඉන්න පිරිමියා, කතා දෙකක් නැහැ ඒ එයාම තමයි...

      Delete
  7. මේකේ දෙවෙනි කොටස කියවල අවුරුදු දෙකකට වැඩියි කියල මොහොතකටවත් හිතුනේ නෑ.. එදා දැනිච්චි කම්පනයෙන්ම අදත් කියෙව්වා.. :'(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමි..මං ඇත්තටම කතාවේ ගොඩාක් කොටස් අත ඇරලා තමයි මේක ලිව්වේ...

      Delete
  8. එයත් මාව දාලා ගියා. තාම අවුරුදු හතයි. ඒත් ඒ වෙලාවේ මට ලග ඉන්න බැරි වුණා.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එකම නිමිත්තෙන් එක එක විදියේ අත්දැකීම් තියනවා..නමුත් ඒ අත්දැකීම් වලින් දැනෙන කම්පනය එක හා සමානයි.

      Delete