Saturday, January 6, 2024

දික්කසාදයෙන් පසු....

  

අපට කොහෙ හරි වැරදෙන්න ඇති  

සොඳුර ඒ ගැන හිතා පල නැති 

වසර විස්සක ගෙවුණු තත්පර 

හිත රිදුන තැන් දන්නවා ඇති... 


කෝපි උගුරක අතරමං වෙන    

හවස් වරු මට මග ඇරෙන්නැති 

වයින් උගුරක රහ බලන්නට 

ඉඳ හිටක ඔබටත් හිතෙන්නැති...


ප්‍රේමයක් නැති ගැඹුරු හිස්තැන් 

ටිකෙන් ටික ආගාධ වෙන්නැති 

කිමිදෙන්න බැරි අඳුරු තැන් වල 

හුස්ම ටික ටික හිරවෙන්න ඇති... 


කාලයක් උණුවෙලා නොදැනිම 

කඳුළු ලෝදිය වී ගලන්නැති 

තදින් මා ඇලවූ පැලැස්තර   

පෑරුවේ ඔබ නොදැන වෙන්නැති...


තේරුමක් හෝ තාලමක් නැති 

කවියකත් ඉඳහිටක රස ඇති  

කසාදය ඒ වගේ කවියකි 

සොඳුර ඔබ එය දන්නැතුව ඇති... 


අපට කොහෙ හරි වරදින්න ඇති 

එකට ආ මග දැන් ඉවර ඇති 

වෙන් වෙන්ව අප යන ගමන් ගැන 

දැන් ඉතින් අප සොයා පල නැති...


.......................................................................................................................................................................................................................................................................................................................


දියණියද දේපොළද වස්තුව 

දැන් ඉතින් අප බෙදා ගත යුතු 

ටයිම් ට්‍රැවලින් කරන මැෂිමක්  

කොහෙන් හෝ මා සොයා ගත යුතු... 


ඔබ විසින් ටෝටල්(ඩ්) කර දැමූ 

හදවත ජන්ක් යාඩ් දැමිය යුතු...

ත්‍රී ඩී හිතක් සවි කරනු හැකි

සර්ජන් කෙනෙකුන්ද සෙවිය යුතු...


හයිකින්, පිෂින් සහ කෑම්පින් 

නොගියාට අමනාප නොවිය යුතු...

මට මගෙම වෙන ප්‍රේමයක් 

කවදාක හෝ මට ලැබිය යුතු...


ඔබ අපුල යැයි කියූ දෙකොපුලට 

හාදුවක උණුසුමක් දැනිය යුතු...

දැඩි පිරිමි බාහුවක තෙරපෙනා 

සියුම් කෙඳිරිල්ලක්ද ඇසිය යුතු...


සංසාරෙ පැටළුන මාල හත 

මා එය තනියෙන්ම ලිහිය යුතු...

බුදු නොවන බැවින් ඔබ කිසිදාක 

මා යසෝධරාවක් නොවිය යුතු...