Tuesday, November 22, 2016

මහරගමදී...

ගිලන් සයනයක ඉන්නා යුවතියකගේ අත අල්ලා හිඳින දසුනක් 

පාන්දර මං ඇවිත් යද්දිත්
නුඹ උන්නේ ඇස් දෙක පියාගෙන 
වෙහෙස වුනු ඉරි කැබලි වැනි වැනි 
සුසුම් ගැන්නා ඇඳේ ඉහපත 
ඉස්සරක මං කළා වාගෙම...

තුන් හුලස් ඉරි ටික කපාගෙන 
තනි ඉරක් ඇඳෙනවා දුටුවෙමි 
ඊයේ රෑ ඇහැ පියවිච්ච ඩිංගට 
මතක නැත ආ හැටි පාන්දර 
දුක දන්නෙ ඉස්ටේෂමේ බංකුව...

වැටෙන නැගිටින තැනක නවතින 
තුන් හුලස් ඉරි දෙස බලාගෙන 
අදත් හිස පිරිමදින විට මම 
නොනැවතී ගිය රටාවක් විය 
රහස දන්නේ නුඹම පමණය...

ඉරට ඉස්සර උනත් කොච්චර 
නුඹ හොයා ගේ පුරා මුර දෙන
මුල්ලකට වී කඳුළු ඇහිදින 
පොඩි උන්ට මං තාම පරදින 
පුරවන්ට බැරි අඩු බොහෝමය...

නිල් පැහැති කටු ගැසූ තැන් වල
ඇනී හිත ඉඳිමුනත් සොඳුරිය 
නුඹේ ඔසු පැන් ගොටුව පුරවමි 
පෙරා වත්කර අපේ ප්‍රේමය 
තියා යමි ගැට ගැසූ බාරය...

ඉතින් සොඳුරිය හෙටත් මම එමි 
ඇහැකි නම් නෙතු විවර කල මැන 
නුඹේ කෙහෙරැලි වලින් ගිලිහුන 
සිළුමිණක් ඇත හිත තනාගෙන 
යලි ඇවිත් කොත පලන්දනු මැන...


වත්සලා විජයලත්
02/28/16