Wednesday, August 31, 2016

නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...





නුබෙ නම කවියක්ය මා දෙතොලඟ ගැයුනූ
නුබෙ ඇස කවියක්ය මගෙ ඇස ළඟ රැඳුනූ
නුබෙ හිත කවියක්ය මං තාලම වැයූනූ
නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ

හීන හතම නුඹමය නුබෙ සුවඳමය 
පාට උලනකොට හීනේ අහවරය 
පේන නොකිව්වෙමි සකිසඳ සත්තමය 
බාර උනත් අහස, පොළොව හුඟ දුරය 

රූප අඹා නුඹ ගෙතු දිග කථාවෙන්
දීග නොයා හැර ආවට සමාවෙන් 
මුල මැද එකට උන්නත් අපි හිනාවෙන් 
අවසන ගෙවන්නේ කොහොමද මං තනියෙන්

තාලම වෙවී හැම කවියක උන්නු සකී
විළිබර හඬින් ඒ වෙණපද ගැයූ සකී 
හිත් ලං වුනත්, ලං ලං වී ඉන්න සකී 
නුඹටද මටද කල පිං මදි වුනේ සකී 

නිරුවත් පෙමින් නෙත් දෙපියන් උනාලූ
තවමත් හීනයෙන් නුඹ අත වනාලූ
අමතක කරන්නෙමි මතකය කියාලූ 
මතකය දිගේ නෑවිත් ඉඳපන් යාලූ


වත්සලා විජයලත්
(1999)

Saturday, August 27, 2016

විජේ අය්යාගේ දීගය...


"එදා උදේ ගෙදරින් ගිය ගෑණි...වැඩට යනව කියල...කවුද හිතුවෙ..."

ඔහු දිගු සුසුමක් හෙලයි...

මට පෙනෙන්නේ රියදුරු අසුනේ සිටිනා ඔහුගේ මුහුණේ අඩක් පමණි...මා සියලු නිගමනයන් වලට එළඹිය යුත්තේ එදෙස බලාගෙනය...මුහුණේ අනික් අඩෙහි සටහන් වන ඉරියව් කිසිවක් මට නොපෙනෙන බැවින්, මගේ නිගමන පක්ෂපාතී විය හැකි බව මගේ සිත මට තරයේම කියා සිටියි...

එහෙත් මා ඒ කථාව අසා සිටිමි...

"දවස් දෙක තුනකින් ඩිවෝස් පේපර්ස් එව්වනේ"...

ඔහුගේ හඬ හැඟුම්බරය...

"මං විජේව එදා හරියටම දැක්කේ එයාර්පොර්ට් එකේදී...ඒත් මං කොහොමද, මාව මෙහෙට ගෙන්න ගත්ත මනුස්සයට එහෙම දෙයක් කරන්නේ..."

ඒ ඔහු ගැන, ඇය මා ඉදිරිපිටදීම මින් වසර තුනකට පමණ පෙර කියූ කථාවකි...

විජේ අය්යාගේ හැඟුම්බර හඬට, ප්‍රියානි අක්කා ඒ කියූ කථාව අද වන විට සහසුද්දෙන්ම ගැලපී ඇති බව මට වැටහෙන්නේ දැන්ය...එහෙයින් ඔහුගේ මුහුණේ අඩකින් පමණක් මට පෙනෙන මේ කතාන්දරයේ වැඩි වාසිය ඇත්තේ විජේ අය්යාටය...

"ප්‍රියානි දැන් දෙමළ කෙනෙක්වලු බැඳලා තියෙන්නේ...එයත් කලින් බැඳලා උන්න කෙනෙක්ලු...ෆේස් බුක් එකෙන්ලු හම්බවෙලා තියෙන්නේ..."

විජේ අය්යා කියාගෙන යයි...

ඒ අතරතුර ඔහුගේ අවධානයද ගිලිහී යයි...

"ෂාහ්, අපි මෙතැනින් හැරෙන්න ඕනේ...එහෙනම් ඉස්සරහට ගිහින් හරවමු..."

ඒ අතපසු වීම මට මහා පුදුමයක් නොවේය...අතුරු මාවත් පමණක් නොව, ප්‍රධාන පාර පවා විජේ අය්යාට පටලැවී හමාරය... 

"මට පිස්සු නොහැදුන ටික විතරයි...මගේ හිත හදාගන්න උදව් වුනේ වික්ටර් පියතුමා...ඒ නිසයි මං බුද්ධාගම අත් හැරලා, ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් කැප වුනේ...එයාට මං හුඟක් ආදරේ කලා....එයත් එහෙමයි..."

හුස්මක් නොගෙන ප්‍රියානි අක්කා කියාගෙන ගිය අයුරු මගේ මතකයට නැගේ....

මා ඇතුලාන්තයෙන් බොහෝ සේ විස්මයට පත් වී, කිසිවක් නොවුනා සේ සිටි, දවස් අතළොස්සකින් එක් දවසක් ඇත්නම්, ඒ එදා මා අවසාන වතාවට ප්‍රියානි අක්කාව හමුවූ දිනයයි...

ඒ මුලින් මා සඳහන් කල ලෙස, මින් වසර තුනකට පමණ පෙර, ඔවුන්ගේ නිවසේ පැවති විජේ අය්යාගේ උපන් දින සාදයේදීය...

"මේ ගෑණි තමන්ගේ මිනිහව අඩි දහයක් දුරින් තියාගෙන කියන කථාවක්ද මේ...ඒ මදිවට ආගමත් වෙනස් කරලා..."

"නෑ...ආගම වෙනස් කරන්න, ඕනේ කෙනෙකුට අයිතියක් තියනවා...ඒත් අවුරුදු දහයක් තිස්සේ දීග කාපු ගෑණියෙක්, තමන්ගේ පරණ ප්‍රේමවන්තයා  ගැන එහෙම කියන එක හරිද..."

"ඒත්...............ඔව්...සමහර විට මැරෙන තුරාවට අමතක කරන්න බැරි දේවලුත් මිනිස්සුන්ට තියෙන්න පුළුවන්නේ...හැමදේම දෙපැත්තක් තියනවනේ....ඒත්..ඒත්...ප්‍රියානි අක්කා විජේ අය්යට ආදරයක් ඇත්තෙම නැද්ද..."

මේ සියලුම තර්ක, හිතින් ගොඩ නගමින්, ඒ කතාන්දරය අසා සිටි පිරිසේ සිටි වයසින් බාලයා මා විය...අනික් සියල්ලෝම මැදිවිය ඉක්මවූ ගැහැණු විය...ඒ සියල්ලෝම ඉදිරියේ, ප්‍රියානි අක්කා තමන්ගේ පැරණි පෙම් පුරාවත දිග හැරියේ, විජේ අය්යා යට තට්ටුවේ තම උපන් දිනය සමරමින් හිඳිනා වග මොහොතකට අමතක කරමින්ය...

ඉන් වසර තුනකට පසු, ඒ කතාවේ ඉතිරි අඩ අසන්නට අද මට අවස්ථාවක් උදා වී ඇත...

"ඔය ප්‍රියානිගේ, පුංචි අම්මගේ දුවලා දෙන්නා, ඒ දවස් වල වැඩ ඉවර වෙලා එන්න රෑ එකොළහ විතර වෙනවා, ඉතින් පුංචි මට කෝල් එකක් දීල කියනවා, ගිහින් එයාලව එක්ක එන්න කියල...මං ඉතින් ගිහින් එක්කන් එනවා..."

විජේ අය්යා සීරුවට කියාගෙන යයි...

"ඉතින්, ඔයාව ඒ දෙන්නට පට බැඳලා ප්‍රියානි අක්කා දොස් කිව්වද..."

මට එසේ ඇසුනේ, ඔහුගේ පසුබිම් කථාව එවැනි සිතිවිල්ලකට ඉඩ හසර සැලසූ බැවිනි...

"එහෙම කරලා නිකම් උන්න නම් මදැයි..."

"එක දවසක්, මගේ ෆෝන් එක කුඩු කළා ප්‍රියානි අක්කා...එයාට කේන්ති ගියාම එහෙම තමයි...බඩු පොළොවේ ගහනවා...හැඳි දෙකට නවනවා..."

"මං කා එක්කවත් ඕව කියල නෑ...එහෙම කිව්වයි කියල වැඩක් නැහැනේ..."

මේ විජේ අය්යා මා ඉදිරියේ තබන්නේ, අප කිසිවෙක් නොදැන හුන් ඔවුන් දෙදෙනාගේ ජීවිත කථාවයි...

"දැන් ගෙදරට මොකද කරගත්තේ අය්යේ..."

මා විමසුවේ, නුදුරු දිනයකදීම ණය ගෙවා ගත නොහැකිව ඇමෙරිකානු බැංකුවකට සින්න වීමට යන ඔහුගේ නිවස පිළිබඳවයි...

"මං ඉල්ලීමක් කරලා තියෙන්නේ...කාල සීමාව දික් කරලා දෙන්න කියල...තාම බැංකුවෙන් මොකුත් කිව්වේ නැහැ..."

"මේ ඊයේ පෙරේද දවසක රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් එවලා බැංකුවෙන්...ඕක අත්සන් කරලා ගන්න මං රස්සාවකට නොයා ගෙදර ඉන්නද ඉතින්..."

"බැංකුවෙන් බලන්නෙම මං මෙහේ පදිංචි නැහැයි කියල ඔප්පු කරන්න...එහෙම වුනාම ගේ බැංකුවට ගන්න පුළුවන්නේ...මං පහුවදා තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම ගත්තා..."

මා දන්නා පරිදි ඔහුට බැංකුවෙන් සහනයක් ලැබිය යුතුය...නමුත් බරපතල කරුණ නම්, මේ මෙවැනි දෙයක් සිදුවන දෙවැනි වතාව වීමයි...ප්‍රියානි අක්කාගෙන් වෙන් වූ අලුත, එක් වතාවක් ගෙය සින්න වීමට ගොස්, ලංකාවේ මිතුරන් එකතු වී මුදල් සොයා කිසියම් උදව්වක් කල බවක් මා කලින් අසා ඇත..මා අද වනතුරුම සිතා උන්නේ, විජේ අය්යා ඒ ලැබුන කිසිදු අවස්ථාවකින් නැවත නැගී සිටීම සඳහා කිසිදු උත්සාහයක් නොකළ බවයි...

"ඔයාට පුළුවන් නේද ගේ කුලියට දෙන්න..එතකොට, ඒ එන මුදලින් පුළුවන්නේ, ඔයාගේ ණය වාරිකයට මුදලක් එකතු කරගන්න..."

මා පැවසුවේ,  ඒ පිළිබඳව ඇති ඔහුගේ අදහස දැනගැනීමටය...

"ගෑස් බිල ඩොලර් දෙදාහක් විතර දැන්...ඒක ගෙවාගන්න විදියක් නැහැනේ...නැත්නම් එක මනුස්සයෙක් ගෙදර එක කාමරයක නවතින්නත් ආවා...එයා බිල ටිකෙන් ටික ගෙවලා, කුලියෙන් අඩු කරන්නම් කිව්වා..."

"ඒත් බිල ගෙවන්න ගියාම, ඒකෙ ගෙවන මුදල තිබුනේ සීරෝ කියල...අන්තිමේ, හුඟක් කල් ගියා ඒ ප්‍රශ්නය විසඳගන්න..."

"අර මනුස්සය, මාස දෙක තුනක් ඉඳලා සීතල වතුරෙන් නාන්න බැහැයි, ගෑස් නැතුව අමාරුයි කියල ගියා...දැනුත් එයා එන්න කැමැතියි...ඒත් දැන් එයාගේ අතෙත් මුදල් මදිලු සමර් එක නිසා නිවාඩුවට වියදම් කරලා..."

මිනිසුන්ට ප්‍රශ්න එන්නේ එකපිටය...ජීවිතය විටෙක එක කොනක් ලිහාගෙන එනවිට අනික් කොනෙන් පැටලවෙන හරස් පද ප්‍රහේළිකාවකි....

"අපි දෙන්න වෙන් වෙන්න කිට්ටුව, වෙනම ජීවිතේ ගත කරන කාලේ, ගෑස් බිල ඩොලර් දාහක් තිබුනා...මං ප්‍රියානිගෙන් සල්ලි ටිකක් ඉල්ලුවා ඒක ගෙවාගන්න..."

ඒ ඉල්ලීමට ප්‍රියානි අක්කා ලබා දී තිබූ පිළිතුර, මනුස්සකමට නොවටිනා තරම්ය...

"විජේ, ඔයා දන්නවනේ මං දැන් බඳින්න කෙනෙක් හොයාගෙන තියෙන්නේ කියල...එයා මගේ එකවුන්ට් ඔක්කොම බලනවා...ඉතින් මට මට ඔයාට සල්ලි දෙන්න විදියක් නැහැ..."

විජේ අය්යා, ඇයට සීමා මායිම් පනවා නොතිබුනේය...

"මං කවදාවත් එයාගේ එකවුන්ට් බැලුවේ නැහැ නංගි...එයා කීයක් හම්බ කලාද කියලවත් මං දන්නේ නැහැ..."

ගැහැණියක් තුල දේවතාවියක් මෙන්ම යක්ෂණියක්ද ජීවත් විය හැකි බව මා දැන වුන් කරුණකි...ප්‍රියානි අක්කා ඒ චරිත දෙකටම සමසේ පණ පොවා ඇති බවත්, අවසානයේ දේවතාවිය පැරදී ඇති බවත්, මා පසක් කරගත්තේ දැන්ය...

"පුංචි අම්ම මාව මෙහේ ගේන්න විජේව පාවිච්චි කළා..."

පුංචි අම්මයි, මමයි, දෙන්නම ඒක දැනන් උන්නා...ඒත් මං කොහොමද ඒ අහිංසක මනුස්සයගේ මූණ බලාගෙන එහෙම කරන්නේ..."

"ඒ නිසයි මං එයාපෝර්ට් එකේදිම තීරණය කලේ, විජේ අය්ය එක්ක මුළු ජීවිතේම ගෙවනවා කියල..."

එදා ප්‍රියානි අක්කා අපට කීවේ එහෙම කථාවකි...  

"මං දරුවෙකුට හරි ආසයි...අපි උත්සාහ කළා ඒත් දරුවෙක් හදන්න නම් බැරි උනා.."

අම්මා කෙනෙකු වීමට නොපතන ගැහැණියක් ඇත්නම් ඒ කලාතුරකිනි....ප්‍රියානි අක්කා අම්මා කෙනෙකු වූවානම්, ඇය විජේ අය්යාගෙන් වෙන් නොවේයැයි යන්නට සහතිකයක්ද නොමැත...

"එයා වෙන කෙනෙක්ව කසාඳ බැන්දා...ඉන් පස්සේ දවසක මට ඒ දෙන්නවම මුහුදු වෙරළේදී හමු වුනා...එදා එයා  මට එයාගේ නෝනා ඉස්සරහම කිව්වා, මෙයා තමයි මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ගෑණි කියල..."

ඇයගේ පැරණි පෙම්වතා ගැන කියද්දී, ප්‍රියානි අක්කාගේ දෑස් දිලිසුන හැටි මට තවම මතකය...

ඇය කිසිදිනෙක විජේ අය්යාට ප්‍රේම කළාදැයි මා නොදනිමි...

විජේ අය්යා කුඩා සිරුරකින් හෙබි මිනිසෙකි...ප්‍රියානි අක්කා මනා පිරිපුන් දේහයකින් යුක්ත උස මහත ගැහැණියකි...

ඇය ඔහු කෙරේ හුදු අනුකම්පාවක්ම මිසක, යම් තරමක ආකර්ෂණයක් හෝ තිබුණාදැයි සැක සහිතය...

දීගය යනු අනුකම්පාවෙන් වින්දනය කල හැකි දෙයක් නොවන වග, ඇය නොදැන සිටියා වෙන්නට පුළුවන...

"මං මේ තරම් අමාරුවේ වැටෙන්නේ නෑ, එයා ඩිවෝස් වුනයින් පස්සේ ලංකාවට ගිහින් එන්න නොගිය නම්...ගෙයි ණය වාරිකේ පටලැවුනේ ඒ නිසා..."

විජේ අය්යා නැවතත් ඔහුගේ හඬ අවදි කළේය...

"ප්‍රියානි වැඩ කරන තැන ගෙදර අයත් එක්ක ඒ කාලේ ගොඩක් ඇවිදින්න ගියා...එහෙම ගියාම, ඒ මිනිස්සු එයාට මුදල් දෙනවා...ඒවා දෙන්නේ චෙක් වලින් නෙවේ..."

"එක අවුරුද්දක අපි දෙන්නම ටැක්ස් ෆයිල් කළා එකට...එතකොට දෙන්නගෙම ආදායම වාර්තා කරන්න ඕනෙනේ...එයාට මුදල් වලින් විතරක් ලැබුන ඒවා අපි වාර්තා කලේ නැහැ...ඒත් එයාගේ එම්ප්ලෝයර් ඒවා වාර්තා කරලා අදායම් බදු දෙපාර්තමේන්තුවට..."

"පස්සේ අපි දෙන්න ඩිවෝස් වුනයින් පස්සේ, ඒවා මගෙන් අය කරගෙන...මං ලංකාවට නිවාඩුවට යද්දී, ටැක්ස් රිෆන්ඩ් එක හරවල ගියේ බැංකු ණය වාරිකය ගෙවෙන විදියට...නමුත් මගේ ටැක්ස් රිෆන්ඩ් එක සම්පූර්නයෙන්ම ආපසු නොලැබුන නිසා, ණය මුදල වැඩි වුනා..."

ආදායම් බදු දෙපාර්තමෙන්තුවද කර ඇත්තේ හිඟන්නාගේ බත් පත උදුරා ගැනීමට සෙනසුරා එවීමය...වසර පහකට පමණ කලින් කල වැරැද්ද ඔවුන්ට හසුවී ඇත්තේ, විජේ අය්යාගේම නරක වේලාවටය...

එය කැකිල්ලේ තීන්දුවකි...දෙදෙනා විසින් කල වරදට ඔවුන් අය කරගෙන ඇත්තේ විජේ අය්යාගෙන් පමණය... 

"මං ප්‍රියානිට සේරම ෆොටෝ කොපි කරලා යැව්වා නංගියේ...වැඳ වැටුනා...මට කීයක් හරි දෙන්න කියල ඒ වෙනුවෙන්...මං ඒ තරම් අසරණ වෙලා උන්නේ...එයා කිව්වේ මටත් සේරම ලියුම් ආවා, ඒත් මට කරන්න දෙයක් නෑ කියල විතරයි..."

මා හෙලූ ගැඹුරු හුස්මෙන් පසු හෝ ඒ කතාවෙන් ඇතිවූ කම්පනය දරා ගැනීමට මට නොහැක...ප්‍රියානි අක්කා පසු කාලීනව ක්‍රියා කල ඇත්තේ අප කිසි කෙනෙකුට තේරුම් ගත නොහැකි අන්දමින්ය...

"ප්‍රියානිගේ නංගිගේ දුවල දෙන්න මට කියන්නේ ලොකු තාත්ත කියල...ප්‍රියානි මගෙන් ඩිවෝස් වෙලා ලංකාවට ගිය පළමු වතාවේ, එයාගේ ෆේස් බුක් පෙම්වතාට තෑගී ගොඩක් අරන් ගිහින් තියනවා..."

"ගියාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ, ඒ කොල්ල මෙයාට වඩා බාලයි කියල.."

"ඉන් පස්සේ ප්‍රියානි එයාව, නංගිගේ දුවෙකුට ප්‍රපෝස් කරලා...ඒ ළමය ඇත්ත කතන්දරේ දැනගෙන, අනේ ලොකු තාත්තේ, ලොකු අම්ම මට මෙහෙම කලේ කොහොමද කිය කියා ඇඬුවා..."

මට දැනෙන්නේ මහා පිළිකුලකි...ප්‍රියානි අක්කා තමන්ට නොලැබුන සතුටක් සොයා ගොස් සිහි විකල්ලෙන් කටයුතු කර ඇති බව මට සිතේ...

"ප්‍රියානිගේ අම්මගේ කකුලේ අමාරුවක් තිබුනා...එයාලගේ ලංකාවේ ගෙදරට ගිය වෙලේ, ඒ නිසා උඩ තට්ටුවේත් කුස්සිය හදන්න මං කරපු යෝජනාව නැවතුනේ, අන්තිමට ඒ ගෙයි තට්ටු හතරක් වෙලා..."

"ප්‍රියානි ඒ ලඟින් තව ඉඩමක් ගත්තා...කඩයක් ගත්ත...ඒ පැත්තේ නෑ ඒ වගේ ගෙයක්..."

විජේ අය්යාගේ මුහුණේ කිසිදු කණගාටුවක සේයාවක් නැත...ඔහු අතිශයින්ම හිත හොඳ මිනිසෙකු බැවින්, ඒ කල දේ ගැන නන් දොඩවන්නේ නැත...

"දැන් විජේ අය්ය කරන රැකියාවට අමතරව, ස්ථිර රැකියාවක් හොයාගන්න බලන්න..."

මා එසේ කීවේ, විජේ අය්යාගේ  අතීතය ගැන අසා සිටීමෙන්, ඔහුට ඇති ප්‍රශ්න කිසිවකට විසඳුමක් නොලැබෙන බැවිනි...

"ඔව් මං ළඟදීම සිටිසන් එක්සෑම් එක කරනවා, ඉන් පස්සේ මට ගවර්මන්ට් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවනි..."

ඔහු ඒ සඳහා අවැසි මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා ඇසුවේ නැත..එහෙත් මා දන්නා දා පටන්ම අන් අය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කල මේ මිනිසා තමන් ගැන සිතීම ගැන මට දැනුනේ සන්තෝෂයකි...

"ප්‍රියානි කොහේ හරි සන්තෝෂෙන් ඉන්නවා නම් මට ඒ ඇති...දැන් ඔය හැමදාම අලුත් මහත්තයට උයල දෙනවා කියන්නේ...මං සතියක් තිස්සේ එකම දේ කෑවනේ සමහර වෙලාවට...එකම කෑම කන්න බැරිව කුණු කුඩෙටත් දැම්මා..."


ගෑණු කියන්නේ කාටවත් තේරුම් ගන්න බැරි ජාතියක්...මට සිතුනේ එහෙමය...

"මට දුක අවුරුදු දහයක්ම ප්‍රියානි මගේ ජීවිතේ නාස්ති කල එක ගැන...එයාට මුලින්ම මට ඒ ගැන කියල අයින් වෙන්න තිබුනා..."

...................................................................................................................................................


"කාටවත් කර්මයෙන් ගැලවෙන්න බෑ විජේ අය්යේ...."

......................................................................................................................................................

මා මගේ ගමනාන්තයට ආ පසු ඔහුගේ නියමිත මුදල් ගෙවා විජේ අය්යාගේ  ටැක්සියෙන් බැස ගතිමි....

ගමනාන්තය දන්නා කෙනෙකු සොයා ගෙන, ගමනාන්තය කොහේදැයි නොදන්නා විජේ අය්යාගේ ටැක්සිය කලබල මාවතේ නොපෙනී ගියේය....

.......................................................................................................................................................

ඇත්ත තිත්ත වූවත්, අනුකම්පාව වෙනුවෙන් තිත්ත වහන්නට උත්සාහ දැරූ විට සිදු වන්නේ, ප්‍රියානි අක්කාට සහ විජේ අය්යාට සිදු වූ දෙය විය හැක...

අනුකම්පාව නම් ප්‍රේමය යැයිද, ප්‍රේමය නම් ලිංගික ආකර්ෂණය යැයිද, කැපවීම නම් දීගය යැයිද වරදවා වටහා ගන්නා ප්‍රියානි අක්කලා මේ සමාජයේ බහුලය...

එලෙසින්ම, තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම සඳහා අනෙකා පාවිච්චි කරවිත් මෙවන් රටවල "දීගකනවා මෙන්" සිටින අයද බොහෝය...ඒ දීග කොතරම් කල් පවතීදැයි මා නොදන්නෙමි....

අවැසි නම් දීගය  ගණුදෙනුවක් කරගැනීම අනොන්‍ය කැමැත්ත මත සිදු විය යුතු දෙයකි...එය දියුණු රටවලට සංක්‍රමණය වන්නට භාවිතා කරන නිත්‍යානුකුල නොවන ප්‍රචලිත ක්‍රමයකි...

ප්‍රියානි අක්කාටත් මා එදා අසා සිටියාට අමතරව ඇයගේ පාර්ශවයෙන් කථාවක් තිබිය හැකිය... 

එහෙත් විජේ අය්යා මෙන් මිනිසුන් අසරණ කර, ඔවුනගේ අහිංසක ජීවිත කණපිට පෙරලා දැමීම කෙතරම් සාධාරණදැයි සිතීම ඔබට බාර කරමි...

.......................................................................................................................................






Saturday, August 20, 2016

නුඹට පුතේ හෙටක් ඇතේ...




"මා හිතනවා මෙතැන් පටන්, මා නිසා ඔබට යම් කිසි පහසුවක් වේ යැයි කියා"

එහෙම කියන්නේ ඔලී...ඒ අලුතින්ම අපේ කණ්ඩායමට එකතු වූ තරුණ සහායකයා...

"ඔව් ඔබ හරිම දක්ෂයෙක්...මා ඔබ වැඩ කරන විදියට බොහෝ කැමතියි... මට ඔබ වගේ කෙනෙක් මින් පෙර මුණ ගැහී නැහැ..."

මා පැවසුවේ අව්‍යාජව...පැසසීම එක්තරා අයුරකින් දිරි ගැන්වීමක්...එයින් ඔහු අභිමානයකට පත් නොවන බව මට පසුගිය දින කිහිපය තුල වැටහී තිබුනා...එසේ වන්නේ තමන් තුල ඉතා උසස් ආත්ම විශ්වාසයක් ඇති විට...

"ඔබ එයට ස්තුති කල යුත්තේ මගේ පෙන්සිල්වේනියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තුමාට සහ මගේ මින් පෙර කල රැකියාවේ සිටි මගේ ගුරුවරයාට"

ඔහු පැවසුවේ බොහෝ සතුටින්...

"ඔවුන් තමයි පර්යේෂණ අංශය සඳහා ඇතිවූ මගේ කැපවීමට සහ මා ලද දැනුමට මූලික වූ ප්‍රධාන හේතු..."

මට දැනුනේ සියුම් සන්තෝෂයක්...ඔහුට නිසි කලදී ලැබුන නිවැරදි මග පෙන්වීම පිළිබඳව...

"ඔබ වාසනාවන්තයි...ඔබට හොඳ ගුරුවරුන් මුණ ගැහී තිබෙනවා..."

ඔහුගේ මුහුණේ මා දුටුවේ මදහසක සැඟවුන දුක්ඛිත කතාන්දරයක්...

"ඔව් ඒක ඇත්ත...ඒත් ඒ නිසාම මගේ හිස මත බොහෝ විශාල ණය බරක් පැටවුනා..."

ලංකාවේ ඇති නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙන් නොව, ඇමෙරිකාව තුල ප්‍රථම උපාධියේ පටන්ම හැදෑරිය යුත්තේ මුදලට...

"කොයි තරම් ණයද.."

මට ඇසුනේ ඉබේටම...මගේ අනුමානයේ තිබුනේ ඩොලර් විසි දහසක පමණ අගයක්...

"ඔබට දැන ගන්නම ඕනෙද"...

ඔහු අහන්නේ දෑස් වල ප්‍රශ්නාර්ථයක් රඳවාගෙන....

"ඔව්"

මා පැවසුවේ ස්ථිරසාර හඬකින්...

"ඔබට හොඳටම විශ්වාසයිද, ඔබට එය දැන ගන්න උවමනා බව"....

මේ විසිහතර වියැති තරුණයා මගෙන් නැවතත් විමසා සිටින්නේ බොහෝ බැරෑරුම්ව...ඔහුට වඩා වසර දාහතරක ජීවන අත්දැකීම් ඇතද, ඔහුගේ පිළිතුර දරා ගැනීමට මට හැකියාවක් ඇත්ද යන්න ගැන ඔහුට ඇත්තේ සැකයක්...

"ඔව්, ඇත්තෙන්ම ඔව්, මා මේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන හරි හැටි නොදන්නා නිසා...ඔව්..."

මා ඉන්නේ එය දැනගැනීමේ දැඩි ස්ථාවරයක...

"ඩොලර්  හැත්තෑපන් දහසක්"....

මා ඇතුලාන්තයෙන් බොහෝ සැලීමකට ලක් වූවද, එය ඔලීට පෙන්වූයේ නැහැ...

"ගිම්හාන මාස වල නිවාඩු නොගෙන පරීක්ෂණාගාරයේ කටයුතු වලට සහභාගී වුන නිසා, මගේ වියදම ඉබේටම වැඩි වුනා...මේ ණය මුදල ඉතිරි වූයේ මට ලැබුන ශිෂ්‍යත්ව වලින් මුදලක් පිය වීමෙනුත් පසුවයි..."

මට මතක් වූයේ නිදහස් අධ්‍යාපනයෙන් පිහිටෙන් විශ්ව විද්‍යාල වලට ඇතුළු වී මහපාරේ යන පෙළපාලි අපේ දරුවන්...නවකයින් හඳුනා ගැනීමට යැයි කියාගෙන, දෙමාපියන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මුදල් පාවිච්චි කරමින්  "නවක වදයෙන්" සන්තෝෂ වන අපේ දරුවන්...

මින් පෙර අප කණ්ඩායමේ හිඳි හීන්දෑරි යුවතියක වූ බෙකීට තිබුනේත් මේ හා සමානම කථාවක්...ඒ වෙද්දී ඇය සාමාන්‍ය උපාධිය නිම කර වසර හයකට වඩා ගත කර තිබූ බව මට විශ්වාසයි...

"මා තව නොබෝ දිනකින් මගේ ශිෂ්‍ය ණය අහවර කරනවා...ඉන් පස්සේ මට නිවසක් මිලදී ගන්නට ඉතිරි කරන්නට හැකි වේවි..."

ඇය දැල්වෙන දෑසින් මට දිනෙක පැවසූවේ, ඔවුන්ගේ සිහින අහුරා හිඳින මේ ණය බර කොපමණදැයි සිතා ගන්නට මට ඉඩක් තබමින්...

අවුරුදු දහසයෙන් පමණ පසු දෙමාපියන්ගෙන් සරණක් නොපතන මේ දරුවන් බොහොමයක්, තමාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කුඩා රැකියා කිරීම සාමාන්‍ය දෙයක්...

"ඔබ දන්නවාද ඇමෙරිකානු බැංකු වලට වර්තමානයේ ඇති විශාලම ගැටළුව" 

සිතිවිලි අතර අතරමං වී ඉන්නා මගෙන් එසේ අසන්නේ ඔලී...

"ශිෂ්‍ය ණය සහ රෝහල් බිල්...දැනට සෙනේට් එක තුල සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ ශිෂ්‍ය ණය..."

ඔහු කියාගෙන යන්නේ ආර්ථික විශේෂඥයෙකු ලෙසින්...

"මේ රැකියාව ලැබෙන්න කලින්, මා රැකියාවන් එකසිය පණහකට පමණ අයදුම් කළා...බොහෝ රැකියාවන්හි දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා පමණයි මා සුදුසුකම් ලැබූවේ..."

"ඔබට දැන් හිතා ගන්න පුළුවන්ද මේ තරම් හොඳ ජීවදත්ත පත්‍රයක් ඇති මගේ තත්වය මෙහෙම නම් රැකියා ගැටළුව මොන තරම් දරුණුද කියා..."

ඔහු දිගටම කියාගෙන යනවා...

"මා රහසින් පතන්නේ එකම දෙයයි...ඒ රජයෙන් ශිෂ්‍ය ණය අහෝසි කිරීම...ඔබ දන්නවාද මා මසකට ඩොලර් නවසියයක් ගෙවුවොත් ඒ ණය වසර දහයකින් අවසන් කල හැකියි...එහෙත් තවමත් මා එය අරඹා නැහැ"

මට ඔහු ගැන දැනුනේ විශාල කණගාටුවක්...

"මට අවශ්‍ය එමොරි විශ්ව විද්‍යාලයේ අචාර්ය උපාධිය හදාරන්න...තව අවුරුදු දෙකකින්"

ඔලී එසේ පැවසුවේ ඔහු අප කණ්ඩායමට එකතු වූ දෙවැනි හෝ තුන්වැනි දිනයෙහි, ඔහුගේ අරමුණු පිළිබඳව මා නැගු පැණයකට පිළිතුරු දෙමින්...

"ඉතින් ඇයි දැන්ම පටන් නොගන්නේ...ඔබ දක්ෂ දරුවෙක්..ඔබ දැන්ම එය ඇරඹුවොතින්, මගේ වසයේදී ඔබට උසස් මට්ටමට ලඟා වීමට හැකියි"

මා එසේ ඇසුවේ, හුදෙක් ඔහුගේ දක්ෂතාවය පමණක්ම සැලකිල්ලට ගනිමින්...

"මගේ පෙම්වතිය දැනට මාස්ටර් උපාධිය හදාරනවා...ආචාර්ය උපාධිය හැදෑරීමේදී කරන ගෙවීම බොහෝ අවමයි...ඒ නිසා අප දෙදෙනාම ඉගන ගන්නට ගියොත් ආර්ථිකයට අමාරුයි..."

එදා ඔලී මට දුන්නේ එහෙම පිළිතුරක්...

ඔහු වොෂින්ටනයට පැමිණෙන්නේ ඔහුගේ පෙම්වතිය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට එකතු වූ බැවින්...ඔවුන් දෙදෙනා දිවි ගෙවාලන්නේ එකම කාමරයක, ජීවන වියදම බෙදාගෙන...එය මේ රටට අලුත් දෙයක් නෙවේ...

"ඉතින් බැරිද ඔබේ දෙමාපියන්ගෙන් සහයක් ගන්න..."

මට වුවමනා වූයේ ඔහුගේ ආචාර්ය උපාධිය ඉක්මන් කිරීමේ අරමුණට ඔහුව මෙහෙයවාලන්න...

"බැහැ...එයාලට ශක්තියක් නැහැ මට උදව් කරන්න..."

ඔහු එදා පැවසුවේ, මගේ නොදැනුවත්කමට හිත යටින් සිනාසෙමින් වෙන්නට ඇති...

එහෙත් එදා මා ඇසූයේ කුමන අයුරක තකතීරු ප්‍රශ්නයක්දැයි මට වැටහෙන්නේ දැන්...

"මගේ පියා බිම්මල් කපන්නෙක්...මගේ මව මැක්ඩොනල්ඩ් අවන්හලක දිවා ආහාරය සකසන්නියක්..."

ඔහු පවසන්නේ ලා රත් පැහැයට හැරෙන දෑස පාලනය කරගනිමින්...

"මා ඇමෙරිකාවට ආවේ මට වයස අවුරුදු අටේදී, මව පියා සොහොයුරන් සමඟ...මට වුවමනා මගේ දෙමාපියන්ගේ අවසාන කාලය මුදල් ගැන වද නොවී ජීවත් වීමට ඉඩ සලසන්න..."

"ඔවුන්ට අදටත් ජීවිත රක්ෂණයක් සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාවක් නෑ...වාසනාවට ඔවුන්ට ලෙඩ දුක් නෑ..."

ඔහුු කියාගෙන යන්නේ ඔබාමා, හිලරි සහ බර්නි සැන්ඩර්ස් ගැන පුළුල් දේශපාලන විග්‍රහයක් මා ඉදිරියේ තබන අතරතුර...

"ඔබේ දෙමාපියන් ඇමෙරිකානු පුරවැසියන් නේද..."

ඒ මගේ ඊළඟ තකතීරු ප්‍රශ්නය...

"නැහැ...ඔවුන්ට ඩොලර් හත්සියයක් වෙන් කරන්න නැහැ, ඒ අයදුම්පත වෙනුවෙන්..."

එවිට මා ඉදිරියේ මැවී පෙනුනේ, මීට මසකට පමණ පෙර රූපවාහිනීයෙන් නැරඹු පුරවැසි දිවුරුම් දීමේ උත්සවයක්...එහිදී අසූ වියැති ආච්චි අම්මා කෙනෙකු  කඳුළු සලමින් පැවසූවේ, අවශ්‍ය මුදල් නොමැතිව ඇයට පුරවැසියෙකු වීමට මෙතුවක් කලක් බලා හිඳින්නට වූ බවයි....

"ඇමෙරිකාවේ ඇති නැති පරතරය ඉතා ඉහලයි...එය ඔබ නොදන්නා පැතිකඩක්....ඒ කොහොම මගේ පෙම්වතියගේ අනාගත රැකියාව අනුව ඇයට උසස් වේතනයක් සඳහා ඉක්මනින් ලඟා වීමේ හැකියාවක් පවතිනවා..."

ඔහු පවසන්නේ සිනහසෙමින්....

ඔහුගේ පෙම්වතිය මෙහි "වයිට් ඇමෙරිකන්" යන විශේෂණ පදයෙන් හඳුන්වන, ඇමෙරිකානු ජාතික යුවතියක්...ඇය මේ වෙද්දී මාස්ටර් උපාධිය හදාරන ගමන් අර්ධ කාලීන රැකියා දෙකක නිරත වෙනවා, ඔහුට සහයක් වෙන්න...ඇයත් ඔහු වගේම ණය බරක හිමි කාරියක්...

ඔහුට ඇය මුණ ගැසෙන්නේ, ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පළමු දවසේ ශ්‍රවණාගාරයේදී...එය ඇසූ මා සිනාසෙමින් පැවසූවේ ඔවුන් දෙදෙනා ආත්මීය සහකරුවන් බව...

"ඔබ දන්නවාද මා මේ ලොව වෛර කරන්නේ එක් අයෙකුට පමණයි...ඒ ඇස් වල තිබූ බැල්ම...හා...මා දන්නවා ඔහුත් මට වෛර කරන බව..."

ඔලී පවසන්නේ දෙඇස් හකුලවමින්...

"ඒ කවුද"

ඒ පැනය මගෙන්...

"මගේ මාමණ්ඩි...පෙම්වතියගේ පියා..."

මට අනුමානයට වටහා ගත හැකි හේතුවක් එතැන තිබුනත්, මට වුවමනා වූයේ එය තහවුරු කරගැනීමට...

ඔහු එම පැනයට පිළිතුරු දුන්නේ, අභිනයෙන් ඔහුගේ මුහුණ වටා දෑත යවමින්...

"මගේ ජාතිය..."

මගේ අනුමානය නිවැරදියි...

"ඔබ මෙක්සිකානුවෙක් වීම...එහෙම නේද... "

මා පැවසුවේ මදහසක් රඳවාගෙන... 

"ම්හු...ඔව්...ජාතිවාදියෙක්...මට හිතා ගන්න බැරි ඇය වැනි දරුවෙක් ඔවුනට දාව ඉපදුනේ කොහොමද කියල"

ඔහු පවසන්නේ මාමණ්ඩිය පිළිබඳව ඇති අපුල හැඟීමෙන්...

"ඔබ දක්ෂ දරුවෙක්...තව වසර දහයකින් ඔහු විසින් ඔබව අගයනු ලබන තත්වයකට ඔබ ලඟා වනු නියතයි..."

මා එසේ පැවසූවද, මිනිසුන් විටක තම මාන්නය අත් නොහරින බව මා හොඳින් දන්නා කරුණක්...

ගම්පෙරළියේ මාතර හාමිනේ මෙන්, ඔලීගේ මාමණ්ඩියද සිතුවහොත්, ඔලී ඇමෙරිකානු ජනපති වූවද, ඔහු මෙක්සිකානුවෙක් පමණයි...

ඔලී පැමිණි මුල් දිනවල ඔහු කලේ දිවා ආහාරය මග හැරීම... එයට හේතු අසන විට, පසුගිය වසර ගණනාව තිස්සේම එය ඔහුගේ පුරුද්දක් බව නිරතුරුවම ඔහු පවසන්නේ මදහසකින්...

අද වන විට තත්වය වෙනස්...ඔහු කරන්නේ දිවා ආහාරයට යන බව පවසා අපව මග හැරීම...

ඔහුගේ කතන්දරයට සවන් දුන් මට, දිවා ආහාරය මග හැරීමට හේතුවත් දැන් අනුමානයෙන් හිතා ගන්න පුළුවනි...

ඒ සියලු දේ එසේ වෙද්දී, ඔලීගේ සොහොයුරියගේ සහ සොහොයුරාගේ, දියණිවරුන්ට සහ පුතුන්ටත්, උපන්දින වලට නොයෙකුත් තෑගි අරන් දීම කරන්නේ මහත් සෙනෙහසින්....

ඒ ඔලීම, තමන් සහ පෙම්වතිය ජීවත් වන කුඩා අපාර්ට්මන්ට් එකට, සෝපාවක් සහ ඇඳුම් කබඩයක් නොමිලේ සොයා ගත්තේ පාවිච්චි කර ඉවත් කරන බඩු භාණ්ඩ දැන්වීම් පිරීමෙන් පසුව...

මේ හා සමානම තවත් කතන්දරයක් මා අසන්නේ, ආචාර්ය උපාධිය හදාරන මෙක්සිකානු යුවතියකගෙන්...

ඇය නිතර අඳින, බොහෝ පැරණි පෙනුමැති ටී ෂර්ටයේ මතු වී ඇති කුඩා හිල් මා දවසක් දුටුවේ අහම්බයෙන්...පර්යේෂණාගාරයට අඳින පළඳින ඇඳුම් වලට විශේෂිත සැලකිල්ලක් නොදැක්වීම, ඒ වයසට සුලබ සිදුවීමක් හෙයින් මට එහි හිතන්නට දෙයක් තිබුනේ නැහැ...

එහෙත් පසු කලක මට ඇයගෙන් අසන්නට වූයේ හද පාරවන කතන්දරයක්...

"මට ඔබ වගේ වෙන්න ඕනේ"

ඒ මේරියම්...

"ඔබට පුළුවනි මට වඩා උසස් තැනකට යන්න...අනිවාර්යෙන්ම..."

ඒ මම...

"මගේ පියා මෙක්සිකෝවේ ඉඳන් ඇමෙරිකාවට ආවේ මට අවුරුදු දෙකේදී...අප පසුව දැනගත්තා ඔහු ඇමෙරිකාවේදී නැවත විවාහ වී ඇති බව"

මා අසා සිටින්නේ ඇගේ දිගු කතාව බොහෝ කෙටියෙන්...ඇය ගූගල් සිතියම් හරහා, මෙක්සිකෝවේ ඇගේ පිය සටහන් ඇති දුෂ්කර පළාත් දෙස බලාගෙන...

"එදා ඉඳන් මගේ අම්ම, මාව හදාගත්තේ තනියම...අදටත් ඇය තනිකඩයි...මට පෙම්වතෙක් සොයා ගැනීම විටක සිහිනයක්...ඈ ඒ තරමටම පිරිමි ගැන සැකයි..."

ඒ මවගේ සැකය සාධාරණයි...මට හිතුනේ එහෙම...

"කුඩා කාලේදී මා වැසිකිළි ගියේ ඌරන් ඇති කරන ගාල් තුලට...උන් ඒ අසූචි පසුව කා දමනවා..."

ඇය ගත කල දුෂ්කර ජීවිතය ගැන අවබෝධයක් ලබා ගැනීමට මට ඒ වාක්‍ය ප්‍රමාණවත්...

"මේ තියෙන්නේ මා සහ මගේ මව නිදාගත් කාමරය"...

ඇය මට පවසන්නේ ගූගල් හරහා මට ඇගේ නිවස පෙන්වමින්...එය මට සිහිගන්වන්නේ ගඩොල් පමණක් ඉතිරි වී ඇති, තැනින් තැන  තීන්ත බොඳවී ගීය ඇති, යුද්ධයෙන් අවතැන් වූ ඇෆ්ගනිස්තානයේ ඇති නිවාසයක්...ඔලී මට පෙන්වූ ඔහුගේ නිවාසයත් මේ හා සමානයි...

"ඉන් පසුව, මට වයස දහයක් පමණ වෙද්දී පියා මාව ඇමෙරිකාවට ගෙන්වා ගත්තා...මා ඉගන ගන්නා ගමන්, මගේ කුඩම්මාගේ දරුවන් හෙවත්, මගේ අලුත් නංගිලා මල්ලිලා බලා ගත්තා...ඇය මාව පාවිච්චි කළා...පියා එය දැන හුන්නේ නැහැ..."

ඇය දිරිය දියණියක්...කිසිවෙක් කෙරෙහි වෛරයක් නැත්තියක්...ඇයට හමුවන ඕනෑම අයෙකුගේ හොඳ පමණක් දැකීම, යම් තරමකින් අවාසි සහගත, ඇගේ ඇති කරුණාවන්ත පුරුද්දක්...

ඇය පසුකාලීනව ඇයගේ මවට ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන, මෙහි ගෙන්වා ගන්නවා...දැන් ඇය දිවි ගෙවන්නේ ඇයගේ මව සමඟින්...

"ඔබ දන්නවද...මට මේරියම් ගැන පුදුමත් හිතෙනවා..."

මෑත දිනකදී එසේ පවසා සිටියේ, ඔලීගේ වයසේම පසුවන, ඉන්දියාවේ සිට තම දෙමාපිය ධනයෙන් මාස්ටර් උපාධිය හැදෑරීමට ඇමෙරිකාවට ආ ශෂී...පවුලේ  එකම දරුවා වූ ඇයගේ ජීවිතය මල් යහනාවක්...ඇයට මෑතක් වන තුරුම අනාගතයේ කල යුත්තේ කුමක්දැයි හරි වැටහීමක් නොතිබූ යුවතියක්...දැනටත් ඒ ගැන පැහැදිලි අවබෝධයක් ඇත්දැයි මට වැටහීමක් නැහැ...

"ඇයි...ඔබ එහෙම කියන්නේ..."

මා ඇසුවේ ප්‍රශ්නාර්ථයකින්...

"මේරියම්ගේ, පසුම්බිය හොඳටම ඉරී ගිහින්...එය දුටු මා පැවසුවේ, අලුත් පසුම්බියක් මිලදී ගත්තොත් හොඳයි නේද කියා..."

මට මතක් වූයේ, ඇයගේ ටී ෂර්ටයේ දුටු කුඩා හිල්...

"මට එයට මුදල් වෙන් කරන්න අපහසුයි...ඒ තමයි මේරියම් මට දුන් පිළිතුර...ඒත් ඔබ දන්නවද, ඇය මෙක්සිකෝවේ සිටින ඇගේ සියලුම ලේලි වරුන්ට  සහ බෑණා වරුන්ට, තෑගි මිලදී ගන්නට දවස්  ගණනාවක් වැය කළා නිවාඩුවට මෙක්සිකෝවට යන්නට පෙර..." 

පසුම්බිය කුඩා මිනිසුන්ගේ හිත බොහෝ විශාලයි...මට හිතුනේ එහෙම...

......................................................................................................................................

ඔලී සහ මේරියම් නියෝජනය කරන්නේ මේ ඇමෙරිකානු තරුණ සමාජයේ එක් පැතිකඩකි...වසර තිහක් ගත උනද බත් එක බෙදා කවන අම්මලා උන්ට නැත...උපාධිය අවසාන වන තෙක් කුලී වැඩක් හෝ කර කැම්පස් ඉන්නා දුවට හෝ පුතාට යවන අම්මලා, තාත්තලා උන්ට නැත...උන් අරගල කරන්නේ ජීවිතය දිනන්නට මිස, රටේ දේශපාලකයින්ට පාඩම් උගන්වන්නට නොවේය...කොටින්ම කියතොත් පාසැලෙන් ඉවත් වන විටම උන්ට ජීවිතයේ සැලසුම් ඇත...හීන ඇත...ඒවා සැබෑ කරගන්නට කාලාන්තරයක් බලා සිටීම, උන්ට ගැටලුවක්ද නොවේය...උන්ට දෙමාපිය උරුමයෙන් ලැබෙන දේපළ ඉඩම් නැත...ඉහට වහලේ සිට, බෙහෙත් පෙත්ත දක්වා ඇති සියල්ලම ඩොලර් වලට අවනතය...එහෙත්, යථාර්තය නම් උන් කිසිවෙකුට හෙන නොඉල්ලා, ජීවිතය සොයා ගැනීමයි...

අපේ රටේ ජීවත් වන, ඉතාම අඩු ආදයම් ලාභී දුවා දරුවන්ටත් වඩා උන් විටක දුක් උසුලති...

එහෙත් උන්ගේ ආකල්ප බොහෝ පොහොසත්ය...අවැසි වන්නේ එපමණය...

.................................................................................................................................

දුවේ, පුතේ, නංගියේ, මල්ලියේ, ශ්‍රී ලාංකික ඔබට ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජනය ගන්නවාදැයි මදකට නැවතී සිතා බලන්න...ඔබ වැනි බොහෝ දෙනෙකුට කිසිදු බරක් නැත...බරක් ඇතොත් ඒ උසුලන්නේ ඔබේ දෙමාපියන් විසිනි...රෝහල් පහසුකම් බොහෝ විට නොමිලේය...ඔබට කවා, පොවා උගන්වා, විවාහ වන තෙක්ම ඔබව රැක බලා ගලාගන්නා ආදරණීය දෙමාපියන්ගේ කැප කිරීම් වල සහ ඔබට ලැබී ඇති නිදහස් අධ්‍යාපනයේ අස්වනු ඔබ නෙලාගෙන තිබේද...

ඔබට චෝදනා කරන්නට කිසිවක් ඉතිරිව නැත...පැලක් ලෙස හෝ ඔබට හිසට වහලක් ඇතුවා වෙන්නට පුළුවන...සම්බෝලයක් සමඟ හෝ බත් ඇටයක් ගිල දමන්නට ඔබට ඉඩක් ඇතුවා වන්නට පුළුවන...එහෙත් ඔබ තවමත් දෑස් හැර ලෝකය දෙස නොබලා, විඳින දුක් ගැනම පමණක්ම පසු තැවෙන්නෙක් නම් මේ පණිවුඩය ඔබටයි...

මේ ලියා ඇත්තේ සියලු සැප වලින් සැදී සුර පුරයක් යැයි ඔබ සිතා ඉන්නා ලෝක බලවතාගේ සමාජයේ එක් පැතිකඩකි...ඔබ තේරුම් ගත යුත්තේ එක් දෙයක් පමණි..ශ්‍රී ලාංකික ඔබ බොහෝ වාසනාවන්ත දරු දැරියන් පිරිසක් බවයි....



Tuesday, August 16, 2016

ප්‍රේමය, විරහව, තනිකම මැවූ ගී සොළොස....

ඉයන්ගේ අඩවියෙන් ඇරඹුන සුන්දර ගීත රැල්ලට හසු නොවුනා නම් ඒක ලොකු අඩුවක් හිතට...

ජීවිතේට බැඳුනු ගීත බොහොමයක්, මං මගේ කරගෙන විඳින ගීත...බොහෝ විට ඒවායේ පද මාලාවට තමයි මුලින්ම මගේ හිත බැඳෙන්නේ...නමුත් බොහෝ විට පද මාලාව රහ වූ පමණින්, ගීතයට වහ වැටෙන්නේ නැහැ...අපිට නොදැනුනාට, ඒ බොහෝ ගීත වල රස රඳා පවතින්නේ, එක්කෝ සංගීතය, නැතිනම් තනුව...සමහර වෙලාවට හුදෙක් ගායකයාගේ ඇති සංවේදී හඬ පෞරෂය පමණක්ම වෙන්නත් පුළුවන්...සමහර වෙලාවට කිසිම රහක් නැති පද පෙළකට, සුන්දර තනුවක් ලැබිලා වෙන්නත් පුළුවන්...

මං බොහෝ ප්‍රිය කරන ගීත එක්කාසුවෙන්, මගේ හිත එකිනෙකට වෙනස් විදියට අවුලන ගීත දහසයක් තෝරා ගත්තා...ඒවා මට බැඳුනේ මෙහෙමයි කියල පැහැදිළිව කියන්න තරම් නිමිති ඒ එකටවත් නැහැ...

මට හිතුනම දුක් වෙන්නත්, හිතුනම සතුටු වෙන්නත්, ඔය දෙකෙන් එක හැඟීමක් වත් නැතුව, ඔහේ සිවිලිම දිහාවේ බලාගෙන ඉන්නත් පුළුවන් කෙනෙක්...("මනෝ ගහනවා" කිව්වේ ඒකට නේද)...ඒ හන්ද මේ එකතුවේ ඇති ඕනෙම ගීතයක්, මගේ කරගෙන සුසුම් හෙලන්නත්, හිනාවෙන්නත් මට පුළුවනි...ඒ හන්දම තමයි කවදාවත් විඳපු නැති අත්දැකීම් මගේ කරගෙන මං නිර්මාණ කරන්නෙත්...

අපේ අටම් මල්ලි මේ දහසයට ඇතුලත්ව තිබිය යුතු  මේ භවයේදී මුළු දියදායේ ගීය සහ ඇස රැඳුන රැඳුන තැන් වල ගීය ඔහුගේ බ්ලොගයේ අමුණලා තිබුනා...ඒ වගේම, හංසි නගා ත්, මගේ ප්‍රියතම ගීයක් වන ඔබ මා හමු වුන ඉර හඳ යට ගීතය ඇයගේ ගීත එකතුවට ඇතුලත් කර තිබුනා...



මේ තමයි ඉන් පස්සේ මා තේරූ ගීත එක්කාසුව...



හදවත නැති මිනිසා ඔබ...නෙත කඳුළැලි ගෙනාව...



මා සඳට කැමති බව දැනගෙන 
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන 
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ‍රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න





ලෝබ නෑ හිත අහිමි දා අද...මමත් දැන් මට හිමි නැති...






කොහේ හෝ නුඹ නතර වී,
කාට හෝ ජීවිතය දී..
තුටින් නම් මට ඒ ඇති..
මගේ නොවුනට කම් නැති,
නුඹ, මගේ නොවුනට කම් නැති...

උන්න දා අපි අපේ වී නුඹ,
දුන්නු සෙනෙහස අරුමැති..
ලෝබ නෑ හිත අහිමි දා අද,
මමත් දැන් මට හිමි නැති...

නුඹ ළගත් මතකය ඇති..
නමුදු අපි වෙන්වී ඇති..
එපා රිදවුම් ගන්න දිවියට,
අපිට හිමි ජීවිත ඇති...

සංගීතය : දර්ශන වික්‍රමතුංග 
පද රචනය : ශාමිලා හුසේන්



ඔබ වරකි හද පෙලන්නේ...මා දහස් වර තැවෙන්නේ 




ඔබ තරමට මා හැඬවූ.. 
ඔබ තරමට මා නැලවූ.. 
වෙන කෙනෙකු නොමැත දියතේ 
රස හැඟුම් පෙලට පණදී 
ජීවන නාලිය පරිදී 
පෙර වෙලී සිටියෙ සුරතේ....

කරුවල කුටියක තනිවී 
කල්පනා ලොවක මැදිවී 
කිම දෙනෙත් පියා ඉන්නේ..... 
ඔබ වරකි හද පෙලන්නේ 
මා දහස් වර තැවෙන්නේ 
සියොලඟම සලිත වන්නේ.....

අප මතක යට ගියාවේ 
සුව සමය තවම සිහිවේ 
අමතක කරන්න හැකිදෝ.... 
අප ආ මඟ ඇති මනරම් 
සිහිවටන මැකිය හැකි නම් 
එය මට කියන්න බැරිදෝ....

ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා 




මගේ තනියට මා පමණයි....කඳුළු දෙන්න මට හඬන්න...



කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසළ වන්න...

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න


ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ



යළි කවදාවත් හමු නොවනා බව...මඳ පවනක් හිස අතගා කීවද...අදහා ගන්නට නොහැකිය කිසිදින...



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසා

පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගායනය - අමරසිරි පීරිස්



අප හමුවූයේ මන්දැයි නොදනිමි...පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...


මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනළියක​ගෙනි
පාර අසා තිබුණේ...

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයෙ අඩ මානය...
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය 

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි...
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි


සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න 






ඔබත් මුලාවිය මමත් මුලාවුනි...ඉමක් කොනක් නැති මාවතේ



ගමන් මගක් තිබුනාද මේ
ප්‍රේම චාරිකාවේ
ගිමන්හලක් හමුවීද මේ
ප්‍රේම චාරිකාවේ

නෙතින් ගැලූ කඳුලින් මිදෙන්නට
හිතේ සුසුම් ගිණිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත්මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුනි
ඉමක් කොනක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ

ගායනය : රෝහණ වීරසිංහ




වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්...කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ...


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යන තුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලඹින් දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...

ගායනය : අමරසිරි පීරිස් / මැණික් ජයසේකර
පද රචනය : හේමසිරි ගුණතුංග
සංගීතය : රෝහණ වීරසිංහ




බලා අවසර සොයා කල් දැන..වෙළා හස රැහැනින්...පෙළයි මා මුදා සුව දැහැනින්....


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්

පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
ගායනය - සුනිල් එදිරිසිංහ



උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා...මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා....



ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා...

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කඳුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා....

ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : දර්ශන රුවන් දිසානායක 
පද රචනය : අමිල තේනුවර 



11. දකින්න ආසයි හිමිදිරිය වගේ...

එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි...





දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
බලන්න ආසයි හඳ එළිය වගේ
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ

ඇස් දෙක කරනා පෙම් කතා
දැක අහල පහල අය ලැජ්ජ වෙලා
මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා

වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි
බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්




මේ නිරතුරුවම මා වශී කරවන ගීතයක්...


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා 
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත් 
ඔබ ළඟ නැවතිලා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - අමරසේන කංකානම්ගේ



පීඩිත වී සිටිනා සඳ අඳුරේ...ඔබ පමණයි ගෙන ආවේ හසරැල්...



දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්...

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලුන්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

පවසට පල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්


ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - එච්.එම්. ජයවර්ධන




ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි...කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි....



සිනහව අතරින් කඳුලක් උපන්නා
ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
සිනහව අතරින්......

හිම කැට වැටෙනා සීතල උදයක
ඇය හමු වූවා කඳුකර පෙදෙසක
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

ගායනය : මිල්ටන් මල්ලවාරච්චි 




කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී...දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී...

ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ...ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ...


සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ...

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

ගායනය - නන්දා මාලිනී
සංගීතය - රෝහණ වීරසිංහ
පද - සුනිල් ආරියරත්න





සඳ නිළියේ ඔබ නම්...සැණකෙළියයි මගෙ නම්...කවියන් ගේ දෑසේ රස සීමා පණිනා...

එකෝමත් එක කාලෙක මෙහෙම කියපු කවියොත් උන්නලු...

පොඩි පරහකට හිටියේ සැණකෙළියක් වුන එක තමයි...

සැණකෙළියට එන්නේ විනෝද වෙලා ආපහු යන්න මිසක, නවතින්න නෙවේනේ...



සුහදිනියේ සඟවන් 
ඍජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා...

සඳ නිළියේ ඔබ නම්
සැණකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා...

සිහිනෙන් රෑ අවුදින් 
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා...


වාත්තු කර ඇති දේහ තලාවට 
හේත්තු වෙන්න ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට 
සාන්තුවර සිත හීදැල්වෙයි
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා 
වල්මත් කළ අරුමැසියයි මෙලොවේ...


වීණා බද වට කැරකෙන වරලස 
අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ 
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ 
හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගෙ හිත 
අවතැන් කළ එකම ළඳයි මෙලොවේ...

සුහදිනියේ සඟවන්
ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සිහිනෙන් රෑ අවුදින් 
සුවඳක් සේ ළඟ හුන්
සංවරියේ රන් තිත කෝ මා පිනනා...


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - කැළුම් ශ්‍රීමාල්
තනුව - සංගීත් වික්‍රමසිංහ


හිතුවට වඩා වෙලාවක් ගත වුනා වැඩේට...අටම් මල්ලි ලියූ ගීත දැක්කමයි මතක් වුනේ, මාත් දැනට අවුරුදු දහයකට විතර කලින් එහෙම එකක් කළා නේද කියල...කලින් පෝස්ට් එකේදී ගීතයක් ලිවීම ගැන යෝජනා ආවත්, මට එහෙම දෙයක් කළා කියල කල්පනාවට ආවේ නැහැ... ඒ හන්ද ඒක මතක් කලාට අටම් මලයට ස්තුතියි...

මේ ගීතය නැවත පටිගත කිරීමක් කරන්නයි ගායකයාගේ අදහස වුනේ...ඒත් එහෙම දෙයක් තවම වුනේ නැහැ...(එයාට බාලගිරි දෝෂය තියනවා කියන දේ හැමෝම පිළිගන්න කාරණාවක්)..ඒ නිසා මෙහි ඇති අඩුපාඩු ගැන සමාව ඉල්ලා සිටිනවා...


මේ වීඩියෝව මාගේ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සලකන්න...



සමනළියේ නුඹ ගැන මම කියපු කවී
නෑසුන ලෙසට නුඹ සුවසේ උන්නු හැටී 
උඩු සුළඟටත් දැනිලා නුබෙ නපුරු ගතී
වැහි බිඳුවක් හැඬුවා මහ පොළොවෙ හැපී...

සමනළියේ මගේ සමනළියේ...

අඳුර ඇවිත් තනිකම උහුලන්න බැරී
පාන නිවී අවුලන්නට සඳුන් නැතී
නුඹ නිදි ඇති මට තාමත් නින්ද නැතී
හාදු එපා සෙනෙහස හොඳටෝම ඇතී...

දඟකාරියේ නුඹ සිරකර නෙතු යටට 
සෙනෙහෙන් සරසුවෙමි ඔය අවනඩු මොටද 
මගෙ නොවුනේ මා කල පිං මදි කමද 
රැඳෙමි දකිමි නුබෙ අවසරයක් මොටද...


අසා සිටි ඔබ සැමට ස්තුතියි...