Monday, February 20, 2017

සොඳුරු හිතුවක්කාරයා 1

Mr Walter White, a fictional character from Breaking Bad TV series


ඇය රෝහලේ කොරිඩෝරය දෙස බලා සිටියේ අරමුණක් නොමැති දෑසිනි...

පෙරදා රාත්‍රිය ඇයගේ ජීවිතයට එක්කාසු කලේ අලුත්ම අත්දැකීමකි...ජීවිතේ පළමු වතාවට රෝහලක රැය පහන් කලා මදිවාට, ඇයට නිදාගන්නට සිදු වූයේ සීතල සිමෙන්ති පොළොව මතය...

විවිධාකාර හෘද රෝග වලින් පෙළුණු, නා නා ප්‍රකාර ගැහැණුන්ගේ ජීවිත වල තුබූ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් අසා හුන් ඇය, තමාට විඳවන්නට කිසිත් සිදුවී නැතැයි පසක් කරගත්තාය...

එහෙයින් සිමෙන්ති පොළොව මත, අලුත් මිතුරියන් විසින් ලබා දුන් රළු ඇතිරිල්ලක් එලා, ඒ මත ඇය රැය ගෙවා දැමුවාය...

ඔහු ඉකුත් දා රැයේ ආපසු නිවස කරා ගිය බව ඇයගේ දුරකතන තිරය මත, කෙටි පණිවුඩයක සටහන් වී තිබිණි...

ඇය තවමත් හැඳ සිටින්නේ, පෙරදා ඔහු තකහනියක් මිලදී ගෙනදුන් තරමක් විශාල මල් වැටුන බ්ලවුසයත්, ත්‍රී ක්වාටර් කලිසමත්ය...

රෝහල් ගත වීම සඳහා සූදානම්ව පැමිණියද, ඇය ගෙනැවිත් තුබූ බ්ලවුසය, ඇයට සවි කල යුතු කුඩා හතරැස් යන්ත්‍රය සමඟ පෑහුණේ නැත...ඇය කලේ ඔහු දෙස අසරණව බලා හිඳීම පමණි...එසැණින් පිටව ගිය ඔහු ආවේ, ඔහුගේ ආදරණීයම වූ ඒ සිනහවත් සමගය...ඔහු අත රැඳුනු ෂොපින් මල්ලෙන්, නෙක වර්ණ සපිරුණ, මල් වැටුන බ්ලවුසය ඇය අතට පත් විණි...

ඇයට මන්දස්මිතයක් නැගුනේ ඉබේටමය...මතක ඇති කලෙක පටන් ඉතා ලා පැහැති වර්ණ පමණක් ප්‍රිය වූ ඇය, වෛවර්ණ ඇඳුමක් ඇඟලු පළමු වතාව එය විය...ඒ ඔහුගේ පළමු තෑග්ගද විය...

අවර්ණ පැහැ වූ ඇගේ ජීවිතයට, ඔහු වර්ණ අතුරන්නට ගත්තේ එතැන් පටන්ය...

ඔහු පාන්දරින්ම රෝහල් කොරිඩෝරයෙන් මතු වූයේ, ඇයව විස්මයට පත් කරවිමිනි...පෙරදා හැඳ සිටි පොඩි වූ කමිසය...විඩාබර දෑස...

"ඔයා ගෙදර ගියේ කීයටද"

"මං ගෙදර ගියේ නැහැ"

"එහෙනම්..."

"මං උන්නේ මරදානේ ස්ටේෂන් එකේ...බංකුවක් උඩ...මට ගෙදර යන්න හිතුනේ නැහැ..."

ඇය ඉන් එහාට කිසිවක්ම ඇසුවේ නැත...

ඒ හිතුවක්කාර, ආදරණීය, මිනිසාට ඇය වෙනුවෙන් කල නොහැක්කක් නොමැති බව ඇය එදා පසක් කොට ගත්තාය...

ගත වුන කාලය තිස්සේම, ඔහු නැවත නැවතත් එය, ඇය ඉදිරියේ ඔප්පු කොට පෙන්වීය...

ඇයට මවද, පියාද, ඉසිවරයාද, විවේචකයාද, මග පෙන්වන්නාද ඔහුම විය...

ඇය විටෙක ඔහු ගැන මෙසේ ලියූවාය....


ප්‍රේමයට කොයි තරම්
කවි ලියා ඇති තරම්
උඹ ඒ කවි අස්සෙ
උන්නේම නැති තරම්
උපමාවක් නැතුව
හිතේ හංගාන උන්
මේ කවිය උඹ නමින්
අමුවෙන්ම ලියමි මං

අත් වැටක් නැති කන්ද
නොවැටීම නගින හැටි
උඹ කියා දුන්නේම
නැගිටිමින් වැටි වැටි
ඇස රුදා දෙනකල්ම
මං කොතැන, සෙවූ හැටි
අම්මෙකුට, අප්පෙකුට
කැක්කුමට දෙවැනි නැති..

මහා පිලොසොෆි වලින්
කතා ලිය ලියා මං
සෝදුපත් බැලුවෙ නම්
උඹ උගත් ජීවිතෙන්
ඉලක්කම් වලින් නම්
හතළිහක්‌ උඹට දැන්
හාදු නම් රත්තරන්
පෙර වගෙයි ඉස්තරන්...

අපි දෙන්න ජීවිතේ
පාට එක් කල හැටිය
ඇහුවොතින් කියා දෙයි
උඹේ සුදු කෙස් කැටිය
රත්තරනෙ එක වාගෙ
නොවෙනස්ව ඇති සැටිය
එක දේකි ඇත්තේම
ඒ උඹේ ඇස් වැටිය...

උඹට විතරයි ඇහැකි
මගේ හිත කියවන්ට
ඉතින් ඉර හඳට මට
බෑ උඹව සසඳන්ට
බුදු බණෙහි තිබුනාට

බැඳුම් අතහැර යන්ට
රත්තරනෙ තනියෙන්ම
බෑ නිවනට යන්ට....

එවන් කවක් දෙස බලන ඔහුගේ ඇසිපිය වේගයෙන් සැලෙන හැටි, ඇය ඇස් කොනකින් බලා සිටින්නීය...

ඊලඟට මතු වන්නේ, ලොව හිඳින හිතුවක්කාරම පිරිමියාගේ, අවිහිංසකම සිනහවයි...හෙට දවසේ ඇයට අවැසි ජීවිතය දෙන, ඇය පමණක්ම දකින සිනහවයි....
---------------------------------------------------------------------------------------------------------------------

මෙවන් ප්‍රේම කථා අටෝ රාසියක්, මේ මිහි තලය නිහඩවම සඟවා ගෙන හිඳී...ඒවායේ රස ඇත්තේ, ඒවා සඟවා තබන තරමටමය...

..........................................................................................................................................................


වත්සලා විජයලත්
පෙබරවාරි 20, 2017

Tuesday, February 14, 2017

ඇය එහි මෙසේද ලියා තිබිණ...

                                    දම්වැලකින් ගැට ගැසූ දෙඅත්

මම ඇයව මඩ ගොහොරුවක එබීමි...

ඇයට හුස්ම ගන්නට හැකි වන සේ කුඩා සිදුරු කිහිපයක් පමණක් ඉතිරි කලෙමි...

එහෙත් ඇය සිය ජීවිත සටන අත් නොහලාය...

ගිනි කාෂ්ටක අව්වත් , දෙගොඩ තලා යන වතුරත්, තඹයකට නොතකා, මා වෙනුවෙන්ම ප්‍රේමයේ බිජුවට වපුලාය....

මම විටක හරකුන්ට තරවටු කරමින් කෙවිටින් පහර දුන්නෙමි...

එවිට ඔවුන් මඩෙහි සිර කර හුන් ඇය හට, කුර වලින් වලින් අනිමින් ඇයගේ හදවතෙහි විශාල ආවාටයන් මතු කල හැටි මා බලා උන්නේ හැඟීමකින් තොරවය.... 

ඉතා අන්ධකාර, සීතල රාත්‍රීන් වල, ඇය ඉතා තදින් හුස්ම අල්ලාගෙන, හැකි තරම් පහත් ස්වරයෙන් ඉකි බිඳින්නීය...

හැඬුම්, ඉකි බිඳුම් ඇයගේ දින චරියාවේ කොටසක් වූයේ, ඇය මේ මඩ ගොහොරුව තුල ජීවත් වන්නට හුරු වූ දා පටන් බව මම දනිමි...

එහෙත්, බොහෝ කලකට පෙර මා මුණ ගැසුන අලුත, උන් හිටි ගමන් ළදැරියක සේ මහ හඬින් හිනැහුන , ඇයගේ ඒ සිනහව ඉල්ලමින් අදත් මම වෙහෙසෙමි...

එවිට ඇය ආයාසයෙන් සිනාසෙන්නීය...එහෙත් ඒ මුහුණේ ඇත්තේ දිය සිඳී ගිය ළිං පතුලක ඇති, බොහෝ නිසල අඳුරු සෙය්යාවක් පමණය...

ඉවසා ගැනීමට නොහැකි තැනකදී මම ඇයට වැරෙන් පහරක් ගසමි....මා තව තවත් ප්‍රේමය වුවමනා යැයි ඇයට තර්ජනය කරමි....

එකල මා සිතාරය වයද්දී, ඇය කොළ පුරා කුරුටු ගී ලීවාය...මා ඒ පද වලට තනු යොදා, නැළවිලි ස්වරයෙන් ඒ ගී ඇය වෙනුවෙන්ම ගැයුවෙමි...

ඇයට වුවමනා වූයේ පුතෙකි....මා වැනි පුතෙකි....ඇය විටෙක ඒ නූපන් පුතුට නොයෙකුත් නම් මුමුණමින් මා පසු පස දැවටුනාය....

ජීවිත කාලය පුරාම ඇයගේ ප්‍රේමය මටම පමණක් විඳිනු රිසියෙන් මම උපායක් කල්පනා කලෙමි ....

ඇය මා මේ මඩ ගොහොරුවේ සිර කලේ, ඇය කෙරේ තිබූ උහුලාගත නොහැකි අප්‍රමාණ ප්‍රේමය නිසාම වග පමණක් බව දන්නේ මා පමණෙකි...

ඇය දැන් බොහෝ රෝගී වී වැහැරී ගොසිනි...එකල මෙන් ඈ අතින් සුපසන් පෙම් කවි නොලියවෙයි...

මම නැවත, නැවතත් ඒ ඉපැරණි ප්‍රේමය සොයා ඇයව හැකි තාක් වෙහෙසවමි....එහෙත් ඇය කිසි දිනෙක ප්‍රේමය ඉල්ලා මා ඉදිරියේ හඬා වැලපී නැත...

මම ඇයව සියල්ලන්ගෙන්ම වෙන් කලෙමි...ඒ ඇයගේ ප්‍රේමය මට අහිමි වේ යයි ඇතිවූ අහේතුක බියෙනි...

එහෙත් වී ඇත්තේ අනෙකකි...

ඇයට ඇයවද, මට මාවද අහිමි වී ඇත...

ඇය ආයාසයෙන් සුසුම් හෙලන බව, මඩ අතරින් පිටවන බුබුළු තුලින් මම දකිමි...

ඇය ජීවත් වන්නට නිමිත්තක් සොයනවා විය යුතුය...

තැලී ඉදිමී, ඉහඳ තැබු හදවත, යන්තමින් හෝ තවාගන්නට එක සුසුමක් හෝ ඉතිරිව ඇත්දැයි සිතනවා විය යුතුය...

රාත්‍රීන් කිහිපයක්ම එක දිගට නිදි වැරූ ඇයට, කුසගින්නේම නින්ද ගොස් ඇත....

තදින් මිට මොලවා සිටි, පොඩි වූ කොල කැබලි වල ඇය කවි කුරුටු ගා තිබුණි....

 
එහි මෙසේද ලියා තිබිණ,

එදා මම ඔබට මුළු හදවතින්ම ප්‍රේම කලෙමි...එහෙත් අද මගේ හදවත තිබු තැන ඇත්තේ ඉතා විශාල හිස් කුහරයකි...ශිරා සහ ධමනි පමණක් එහි අපහසුවෙන් එල්ලී, සියලු රිදුම් ඉවසාගෙන හිඳියි....
 
ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය....

ඔබ දැන ගත යුතු දෙයක් ඇත...

ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය....

.........................................................................................................

හඳ දිහා මං බැලුව...හඳත්‍ ඇස් වහගත්ත 
තරු දිහා මං බැලුව...තරුත්‍ වැට බැඳ ගත්ත 
ඉර දිහා මං බැලුව...ඉරත් අද ගිනි ගත්ත 
ආයෙමත් නාරින්න...මමත් ඇස් වහ ගත්ත

..........................................................................................................

මහද මිහිදන් කෙරූ ඔබෙ සුසානය වසා 
රතු සෛල කැටියක් ඝණකමට මිදී ඇත 
මිනී මලකට පවා දැන් එතන තෙතක් නැත 
ගන්ධබ්බ ඔබ ඉතින් එහි පැමිණ පලක් නැත...

එම්බාම් දියර ඉස රකින මල හදවතක 
ප්‍රේමය ඉවත් කල යුතුමය සුපෙම්වත 
නිරන්තර රිදුම් දෙන ඔබ නිදන සොහොන් කොත 
උණුහුම් කරනු බැරි හීතලෙන් මිදී ඇත...

....................................................................................................