Saturday, July 30, 2016

මං එනව ඉවසපන් රන්කඳ...





අරාබියේ සිට ලියමි...


අඬන "රාහුල" සනසවාගෙන 
තොල් විකා ඉන්නවද හිමිසඳ 
වරිගයේ උන් ඇස් ලිහාගෙන 
ඉන්නෙ මං පානකල් පෙළහර...

ළඟ පාත උඹ නැතුව රන්කඳ 
තදින් දැනෙනව විටක රස්නය 
අපේ ගඟ නේරංජනා වගෙ නෑ
නිතර හීතල කඳුළු විතරය...

"සුරා බී ප්‍රීතියෙනි හිමිසඳ" 
තිගැස්සෙමි දැක සඳැස් පණිවුඩ 
"ඉක්මනින් එනවාද අම්මේ"
යදියි උරුමය සොයන "රාහුල"...

සය වසක් දුක දරා මෙහෙවර 
කලත් "බුදු බව" ලැබෙන ඉඟි නැත
මරඟනන් පරදවාලන්නට 
පාරමී මදි වගෙයි හිමිසඳ...

මාළිඟාවේ අත්තිවාරම 
වල් වැදෙන්නට අරිමු...කම් නැත...
නොකෑවත් අපි එකට ඉන්නට 
මං එනව ඉවසපන් රන්කඳ...

මීට උඹේ ආදර යශෝධරා...



WW


Sunday, July 24, 2016

විල් යූ මැරී මී....




වෙනදා හිස් දෑතින්ම එන ඔහු අත, අද තිබුනේ සුදු පැහැ ලිලී මල් පොකුරක්...ඇය වඩාත්ම ප්‍රිය කලේ සුදු පැහැයට...එහෙයින් අද ඇයට, ඔහුගේ දෙඇස්, පැහැදිළිව කියවන්නට හිතුනේ ඉබේටම...ගණකම් අහිබැමට යටින් නිමැවුන සිහින් දිගැටි ඔහුගේ දෙඇසේ ඒ මොහොතේ ඇඳුනේ විස්මයක්...ඒ ඇය ඔහු දෙස බැලූ පළමු වතාව...

ඒ තමයි ඔහුගේ "අහා" මොහොත... 

පසුගිය තෙමස පුරාම සවස් කාලය තුල, එකදු ශනිදාවක් නෑර, ඔහුගේ අතුරුදන් වීම, ඔහුගේ මිතුරන්ටත් විශ්මය දැනවූ කරුණක්...

කවුරුන් හෝ ඒ ගැන විමසූ විට, පුස්තකාලය, හෝ උද්‍යානය පාවා දී, ඔහු කලේ ඔවුනගෙන් ගැලවීම...ඔහු රාත්‍රී සාද වල සහ සමාජ ශාලා වල නිත්‍ය සාමාජිකයෙක්...එවැන්නෙක් හදිසියේම පොත් ගුල්ලෙකු හෝ පරිසරවේදියෙකු වීම පිළිබඳව ඔහුගේ මිතුරන්ට මතුකලේ විස්මයක්...

සෑම සවසකම ඔහු සිටියේ, නැගෙනහිර නදිය අසබඩ...විටක ඈතින් යන මගී නෞකාවක් දෙසත්, තවත් විටක පිටු බොහොමයක් ඇති පොතක ගිලී ඉන්නා ඇය දෙසත්, ඉවසිල්ලෙන් බලා හිඳිමින්...ඇයගේ කෙහෙරැළි අතරින්, ඒ මුහුණේ ඉරියව් වින්දනය කිරීම ලේසි පාසු කටයුත්තක් නෙවෙයි...දුරදක්නයක් නොමැතිව...

ඇය අසල දණබිම ඔබා, සීරුවට ඇගේ කෙහෙරැළි මෑත් කර, ඇයව ලංව විඳින්නට ඇති කැමැත්ත ඔහු විටක පාලනය කරගත්තේ බොහොම අසීරුවෙන්...

මැන්හැට්න් වල ඇති කලබලයෙන් මිදෙන්නට ඇති ඉස්තරම් තැනක් තමයි, නැගෙනහිර නදිය දිගට වැටී ඇති මං තීරුව...ඔහු මින් තෙමසකට පෙර එතැනට පැමිණීම අහම්බයක්...

රඛිතා සහ ඔහු ගොඩ නැගූ අතීතය සමතලා කරන්නට, කොටු රූල් පොතක් වැනි මැන්හැට්න් මාවත් වල කොතෙක් ඇවිද්දත්, ඉඩක් නොලැබීම ගැන ඔහු පසුවුනේ තදබල වේදනාවකින්...ඒ වේදනාව විසින් මෙහෙයවූ අසරණකමින් සහ රතු වයින් වල මතෙන්, ඔහුව එදා මෙහෙයවූයේ, නැගෙනහිර නදිය දෙසට...

ඇය එදා සිටියේත්, අද සේම සුදු පැහැ කෙටි ගවොමකින් සැරසීගෙන....ඔහුට වුවමනා වුනා ඉන්පසු එළඹි ශනිදාවේත් ඇයව දැකගන්න...එය සතිය දෙක ඉක්මවා, තෙමස් විය පසුකල වුමනාවක් වන තුරුම, ඔහුගේ හදවත විසින් ඇටමිදුළු පුරා අණ නිකුත් කර තිබුනා...

ඒ සෑම දිනකම ඇය සැරසී උන්නේ සුදු පැහැය හෝ එය යන්තමින් හෝ තැවරුණු ගවොමකින්...

ඔහු හැඩකාරයෙක්...ඇයට හිතුනේ එහෙමයි...දිගු හීන් ඇස්...ඒ තරම් ප්‍රේමයක්...නිව්යෝක් නගරයට කොහෙන්ද ඒ තරම් ප්‍රේමයක්...ඇය තනිවම සිතමින් වාඩිවූයේ සුපුරුදු බංකුවේ කොනකින්...

ඒ සුදු ලිලී මල්...කා වෙනුවෙන් වෙන්න පුළුවන්ද...

"උඹ මොකට කරදර වෙනවද ඒ ගැන ඉලියේනා, මතකයිද උඹේ වගකීම...ඒක අමතක කලොත් සාතන් ඒවි උඹව හොයාගෙන"

බොහොම ස්ථිරසාර හඬකින් එහෙම කියුවේ ඇගේ හදවත...

ඉලියේනාට දැනුනේ දෙවියන් වහන්සේ තමන්ව පරීක්ෂාවට ලක් කරන වගක්...ගෙවුනු වසර දහය මුළුල්ලේම ඇය ප්‍රේමය සිර කල හදවත් කුටීරය, එක් තත්පරයකට අගුළු හැර බලන්නට ඇත්නම්...ඒ ඇයට මින්පෙර නොදැනුන හිතුවක්කාර සිතිවිල්ලක්...

"ඔහු දෙවියන් විසින් එවූ මායා කරුවෙක්...උඹට පෙනෙන්නේ නැතිද ඒ දෙනෙත් වල ඇති මායාව...පොත කියවාපන් ඉලියේනා...නැත්නම් වහාම ඔතැනින් පලයන්" 

එවර ඇයගේ හදවත අණකලේ කටෝර හඬකින්...

"සමාවෙන්න, මට ඔබත් එක්ක කථා කරන්න අවසරද"

අසරණ ඉලියේනා...ඒ තිගැස්මට දුර්වල වී ඉරිතැළුනේ ඇගේ හදවත් කුටීරයේ ප්‍රේමය සිර කල අගුල...

"ඔව්...ඔබට වුවමනා නම් මා හා මේ බංකුව බෙදා ගැනීමට හැකියි"

ඇය වචන පිට කලේ බොහොම සීරුවෙන්...අර ඉරි තැළුනු අගුළ පිරියම් කිරීමට උත්සාහ දරන ගමන්...

"හදවත පැවසූ දේ නිවැරදියි...මේ නම් මායා කරුවෙක්..."

එදා මෙදා තුර කාලය තුල කොතෙකුන් පිරිමි මිතුරන් ඇසුරු කර ඇතත්, ඇගේ ප්‍රේමයේ අගුල බිඳීමට ලක් වුන ප්‍රථම වතාව අද...

"මම කීත්, ඔබ"

ඔහු පැවසූයේ, සුහද පිලිසඳරකට මුල පුරන බව හඟවමින්...

"මම ඉලියේනා"

ඇය පැවසූවේ, ඔහු අත වූ මල් පොකුරට ලෝබ කමින්...

"ඔබ ලිලී මල් වලට කැමැතියිද, සුදු පැහැයට නම් බොහොම කැමතියි වගේ, මේ ඔබට"

කීත්ට වුවමනා වූයේ ඒ මොහොතේම ඔහුගේ ප්‍රේමය පැවසීමට...

ප්‍රේමයක් ඇති වන්නට යන්නේ තත්පරයයි...එය සදාකාලික වීම හෝ ඒ තත්පරයටම සීමා වීම, යන්න රඳා පවතින්නේ, එම ප්‍රේමයේ ස්වභාවය මත...

ඔහු තෙමසක් තිස්සේ ඉවසා හිඳින මේ ප්‍රේමය ගැන ඔහුට ඇත්තේ තදබල ආත්ම විශ්වාසයක්...රඛිතාට ඔහුගෙන් සිදුවූ පීඩාව විසින් හදවතේ ඇති කල කලකිරීම මකන්නට, කීත්ට කිසිදු වුවමනාවක් තිබුනේ නැහැ...රැකියාවෙන් පසු සමාජ ශාලාවක හෝ සාදයක කාලය ගෙවා දැමීමට ඇබ්බැහි වූයේ ඒ හේතුවෙන්... 

"ස්තුතියි...ඔව් මගේ ප්‍රියතම පැහැය සුදු"

එය දන්නේ කෙසේදැයි අසන්නට ඇයට වුමනාවක් තිබුනේ නැහැ...මේ කඩවසම් තරුණයා තමාව බොහෝ කලක් තිස්සේ නිරීක්ෂණය කර ඇති වග ඒ තත්පරයේදී ඇයට වැටහී තිබුනා...

ලිලී මල් පොකුරෙහි ඇති වූ සියුම් සෙලවීමෙන්, ඔහුට දැනුනේ ඇයගේ අතැඟිලි වෙව්ලන  බව...ඇයගේ ඇසිපිය ගැහුනේ ඉතා වේගයෙන්...ඔහුට වුවමනා වූයේ ඒ ගැහෙන ඇසිපිය යටින් හාදුවක් තවරා, ඒවාට ඉස්පාසුවක් දෙන්න...

ඇය ඒ වන විටත් සිටියේ ප්‍රේමයේ අගුල පිරියම් කරන්නට මගක් සොයමින්...ප්‍රේමය සිටියේ කොහෝ හෝ ඇති ඉඩකින් පැන යන්නට මගක් සොයමින්...

"ශනිදාව ඔබට නිදහස් දිනයක් වගෙයි, ඒකනේ හැම ශනිදාවකම නොවැරදීම මෙතැනට එන්නේ"

ඔහුගේ ඒ ප්‍රශ්නයට, ඇය පිළිතුරු දුන්නේ ඉතා දිගු කථාවක් සඟවා ගත් සිනාවකින්...

"මා ඉන්නේ බෙකීගේ ජිම්නාස්ටික් පුහුණුව අවසන් වන තුරු...ඇය මේ දිනවල පස්වන පන්තියේ දරුවන් සඳහා පවත්වන, අන්තර්ප්‍රාන්ත තරඟාවලියට පුහුණු වෙනවා"

"ඔහෝ, මේ ඔබගේ අමතර රැකියාව, කුඩා දරුවන් බලා ගැනීම"

කීත් පැවසුවේ විශ්මය සඟවාගෙන...ඇය දෙස පුළුල් බැල්මක් හෙලමින්...

"නැහැ, බෙකී මගේ දුව"

ඉලියේනාට, එයට වඩා යමක් මේ නාඳුනන අමුත්තාට පැවසීමට වුමනාවක් තිබුනේ නැහැ...

කීත්ට දැනුනේ හැකිළුන බැලුමකට දැනෙන්නා වූ ශෝකීජනක හැඟීමක්...

තෙමසක් පුරා උස් මහත් කල ප්‍රේමය, ඇයගේ  සස්වාමික බව කෙලෙස වටහා ගනීවිද...

ඉලියේනා එවර ඔහුගේ දෑසට එබී බලන්නට දෙපාරක් සිතුවේ නැහැ...ඔහු තිගැස්සුනේ එහි තිබුන දීප්තිමත් එළියට...

ඒ එළිය, රඛිතා අරා වුන් සියලුම සෛල විනිවිදින වගක් පමණයි ඒ මොහොතේ කීත්ට දැනුනේ... 

ඇයගේ ප්‍රකාශයෙන්, ඔහුගේ හදවතේ ඇතිවූ කැළඹීම වටහාගන්නට ඉලියේනාට ඒ හැටිම අපහසුවක් වූයේ නැහැ...

"ඔබේ සැමියා...ඔහු කාර්යබහුල පුද්ගලයෙක් වෙන්නැති..." 

කීත් ඇසුවේ ඉතා අපහසුවෙන් හදවත එකලස් කරගෙන...

"බෙකී ඉපදෙන්නට දින කිහිපයකට පෙර ඔහු රිය අනතුරකින් මිය ගියා"

ඒ ඉලියේනාගෙන් හැමෝටම ලැබෙන පොදු පිළිතුර...

"ඔහෝ...මට හරිම කණගාටුයි, සමාවෙන්න ඔබේ හිත රිදුනා නම්"

ඔහුට පෙනුනේ හාත්පස වසාගෙන පැතිරී යමින් තිබුන අඳුර මැදින් දැල්වුන විදුලි පහන් කණුවක රිදී එළියක්...

මීට මොහොතකට පෙර මිදෙන්නට ආසන්න වූ ඔහුගේ රුධිර නාල, යලිත් පිම්බීමෙන් ඇති වූ රුධිරය කාන්දු වූයේ ඔහුගේ දෙකම්මුල් වලට...

ඇගේ මුහුණෙන් ශෝකයක ලකුණක් සොයාගන්නට, කොතෙකුත් උත්සාහ කලත් ඔහුට හැකිවූයේ නැහැ...

ඉලියේනා සිටියේ ගැඹුරු කල්පනාවක...

"ඔහුගේ මුහුණ රත් පැහැයට හැරුණා...සමහර විට ඔහුගේ සියළුම බලාපොරොත්තු බිඳෙන්න ඇති...ආත්මාර්ථකාමී මිනිස්සු..."

"නිව්යෝක් නගරයේ කොහෙද ප්‍රේමය...සියල්ලට ඇත්තේ කලින් තීරණය කල මිලක්...ගැඹුරු ආත්මීය සංවාද වලට ඇහුන්කන් දෙන්න තරම් නැගෙනහිර නදියට කාලයක් නැහැ...මේ පරෙවියන්ට වෙලාවකුත් නැහැ..."

ඇය නොනැවතීම හිතුවා...

"බෙකීගේ පුහුණුව නිමා වෙන්නට ආසන්නයි...ඉතින්, ලිලී මල් වලට නැවතත් ස්තුතියි...ඔබව හමුවීම සතුටක්...ඔබට සුබ සැන්දෑවක්"

ඉලියේනා බංකුවෙන් නැගී සිටියේ එසේ කියාගෙන...ඔහුගේ දිගැටි දෙනෙතට නැවත වරක් එබිකම් කිරීමේ කැමැත්ත සඟවාගෙන...

"සුබ සැන්දෑවක්...අපි නැවත හමුවෙමු"

කීත් මුවින් පිට කලේ සැබෑවටම ඔහුගේ සිතේවූ ප්‍රාර්ථනාව...

එදා, ඉඳන් සෑම ශනිදාවකම ඒ බංකුව වෙන්වූයේ ඔවුන් දෙදෙනා වෙනුවෙන්...

බොහෝ විට කීත් පැමිණෙන්නේ, චොකොලට් දැමූ උණු කෝපි ඇසුරුම් දෙකක් රැගෙන...එහෙමත් නැතිනම් කිරි සමඟ ක්‍රීම් දැමූ කෝපි...

ඔහු ඇගේ ප්‍රියතම කෝපි වර්ග සොයා ගත්තේ කෙසේදැයි, ඉලියේනා කිසිදිනෙක කීත් ගෙන් ඇසුවේ නැහැ...

ජීවිතයට අහම්බෙන් පැමිණෙන මිනිසුන්, එකිනෙකාගේ ආත්මයන් අවබෝධ කොට ගන්නේ, වසර ගණන් එකට සිටි හිත මිතුරන්ට වඩා වේගයෙන්...

දෙදෙනාගේම අතීතය හැරුණු කොට, ජීවිතය ගැන බොහෝ දෑ ඔවුන් හුවමාරු කරගත්තේ පදනම් විරහිතව...

එහෙත් ඔහුගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි...ඉලියේනා තවමත් උත්සාහ කරන්නේ ප්‍රේමයේ අගුල බිඳී යන්නට නොදී රැකගැනීමට...

එය සමහර විටක, සිදුරු වලින් කාන්දු වී ඇගේ දෙනෙතට ගලන බව, කීත්ට රහසක් වූයේ නැහැ...

එදා, ඔහු එන විට ඇය පෙරලාගෙන උන්නේ ඉපැරණි ඇල්බමයක්...

"ඕ..ඉලියේනා කාගේ පින්තූරද එහි තිබෙන්නේ"

"මේ බෙකී ළදරු අවධියේ සිටම මා රැස් කල පින්තූර...ඇය එය රැගෙන ආවේ ඇගේ මිතුරියන්ට පෙන්වන්න...එය අමතක වී දමා ගොහින්"

ඇගේ දෙතොලෙහි රැදුන මන්දස්මිතයෙන් ඔහුට දැනුනේ ඇයගේ හිත පිරුණ මාතෘ ප්‍රේමය...

"මේ තියෙන්නේ, ඇය උපන් දා ගත් පින්තූරයක්"

ඉලියේනා, ඔහුට පෙන්වූයේ හුරුබුහුටි බිලිඳියක්...ඇයගේ නිකටේ වම් පැත්තේ පහලින් තිබුනේ තද කළු පැහැති උපන් ලපයක්...

"කෝ බලමු"...කුඩා දරුවෙක් දකින සෑම වතාවකම ඇතිවෙන වේදනාව දරාගෙන කීත් එබුනේ ඇගේ ඇල්බමයට...

"මගෙ දෙවියනේ...මේක නම් වෙන්න බෑ...මට ඇත්ත කියන්න ඉලියේනා"

කීත් කෑ ගැසුවේ සිහි එළවා ගත නොහැකිව...

කොතැන හෝ යමක් පටලැවී ඇති බැව් වටහා ගත් ඉලියේනා, ඔහුගේ අතින් ඇල්බමය උදුරා ගන්නට මොහොතක් වත් පමා වූයේ නැහැ...

ඔහු තදින් හුස්ම ගන්නා අයුරුත්, කඳුළු පාලනය කරගන්නට අසීරු උත්සාහයක යෙදෙන අයුරුත් ඉලියේනා බලා සිටියේ කිසිවක් වටහා ගත නොහැකි ලෙසින්...

"අනේ දෙවියනේ..."...ඊළඟ මොහොතේදී ඇයට කෑ ගැසුනේ යමක් අවබෝධ වූ ලෙසින්...

"ඉලියේනා ඇත්ත කියන්න...බෙකී ඔබේ දරුවෙක් නෙවේ නේද...ඇත්ත කියන්න මගෙ ඉලියේනා..."

ඇගේ ශ්වේත වර්ණ දෙකොපුල් පීච් පැහැයට හැරුනේත්, ඇගේ ඇසින් චෙරි ගෙඩි තරම් විශාල කඳුළු කැට කඩා හැලුනේත් එක වරම...

"මා දැනන් හිටියා...ඔබේ යටි අරමුණක් තිබූ බව...ඔබ මා පසු පසින් පැමිණියේ කුමක් හෝ බලාපොරොත්තුවෙන් බව...මා හිතුවේ එය ප්‍රේමය නැති නම් කාමය බව...දැන් තමයි වැටහුනේ ඔබේ බලාපොරොත්තුව රහස් පරීක්ෂක කටයුත්තක් බව..."

ඉලියේනා කෑ ගැසුවේ උමතුවෙන්...කීත්ට පෙනුනේ මුළු නැගෙනහිර නදියම ඔවුන් දෙදෙනාට උකුසු ඇස් යොමු කරන විලාසයක්...

"සන්සුන් වෙන්න ඉලී...මගෙ වස්තුව...මා ඔබට ආදරෙයි...මට සමාවෙන්න...ඒ දේ පවසන්න සුදුසු රොමෑන්තික වේලාව මෙය නොවෙයි...ඒත් පිළිගන්න වෙනත් කිසිදු යටි අරමුණක් මගේ සිතේ තිබුනේ නැහැ...සන්සුන් වෙන්න"

"කෝ...දැන් ගන්න ගැඹුරු හුස්මක්"

යක්දෙස්සියක සේ ආවේශයෙන් වුන් ඉලියේනා කෙමෙන් සන්සුන් වූයේ ඔහුගේ මේ වදන් ඇසීමෙන්...ඇය ගැහෙමින්, ඔහුගේ උරහිසේ හිස හොවාගත්තේ අන්ත අසරණ කමින්...

"අම්ම කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද...අවුරුදු දහයක් තිස්සේ උස් මහත් කල ඇය මගේ ප්‍රාණය හා සමානයි...ඔබ වුවමනා නම් මගෙ ප්‍රාණය ගෙන යන්න, ඇයව නම් ඉල්ලන්නට එපා..."

ඇය පැවසුවේ ඉකි ගසමින්...

"කෝ ඉතින් ඔය කඳුළු පිහදාගන්න වස්තුව...මට බෙකී වුවමනා නැහැ...ඒත් මට ඕනේ ඒ ඇත්ත දැනගන්න"

කීත් පැවසුවේ, ඔහුගේ හදවත තුලින් පැන නගින ගැඹුරු රිදුම් සියල්ලම ඉවසා ගනිමින්...

"එදා ඉරිදාවක්...මගෙ විසිවැනි උපන්දිනයට පසුවදා...මා පල්ලියට ගියේ ගම්මානයේ හැමෝටම පෙරාතුව..."

"ඉතින්"...කීත් උන්නේ බොහොම නොඉවසිල්ලෙන්...

"පල්ලියේ අල්තාරය ළඟ තබා තිබූ කුඩා කූඩයේ තිබූ දෙයින් මා විස්මයට පත් වුනා"

"අනේ මගෙ දෙවියනේ...ඒ උන්නේ රෝස පැහැ බිලිඳියක්...ඉපදිලා දිනක් ගෙවී ගොස් තිබෙන්නට නැතිව ඇති..."

කීත්ගේ සුසුම් වල සැර එවෙලේ නම් ඉලියේනාට හොඳින්ම දැනුනා... කතාන්දරයේ ඇති ශෝක රසය නිසාම, ඔහුට ඉබේටම සුසුමක් පිට වෙන්ට ඇති...එවෙලේ ඇයට හිතුනේ එහෙම...

කීත්ට දැනුනේ සිරුර පුරාම සියුම් ඉඳිකටු තුඩු අනින තරමෙ වේදනාවක්...

"මගේ දෙමාපියෝ මිය ගියේ මා කුඩා කාලයේ...ඒ වෙද්දී මා උන්නේ, මාමගේ ගොවි පොළක...මට ඇය දුටු වහාම දැනුනේ දෙවියන් වහන්සේ විසින් මට බාර දුන් වගකීමක් බව..."

"සියල්ලෝම මට එදිරි වෙද්දී...පියතුමා පමණයි මට ආශීර්වාද කලේ...එදා රාත්‍රියේම මා බෙකීවත් රැගෙන ගමෙන් පිට වෙලා නිව්යෝක් ආපු ගමන තමයි මේ"

කීත්ගේ හීන් දිගැටි ඇස් වලට එකතු වුනු දියාරුව, ඉලියේනාට වැටහුනේ ඔහුගේ අනුකම්පාව ලෙසට...

"එදා ඉඳන් මා බොහෝ කුඩා රැකියා කළා බෙකීව රැක බලා ගන්න...වැසිකිළි පිරිසිදු කිරීමේ පටන් ආපන ශාලා සේවය තෙක්ම මා නොයෙකුත් රැකියා කළා...මෙහිදී මුණ ගැසුන මගේ මිතුරියක් මාර්ගයෙන් මට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකියාවක් ලැබුනා...ඇයගේ උදව්වෙන් මා අවශ්‍ය පාටමාලා සම්පුර්ණ කරගෙන තමයි, අද මගේ තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කලේ..."

කීත් ඔහුගේ පසුම්බියෙන් ගත් ඉපැරණි පින්තූරයක්, ඉලියේනාගේ දෝතෙහි තැබුවේ කිසිවක් නොපවසාම...

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ...බෙකී...මේ ඉන්නේ බෙකී...මට මෙය අදහගන්න බෑ...කොහොමද මෙය ඔබට ලැබුනේ"

ඉලියේනාට දැනුනේ ඇයව වංකගිරියක අත්හැර දැමුවාක් වැනි හැඟීමක්...

කීත් උන්නේ දණහිස් වලට බර දුන් දෑත් මත හිස රුවාගෙන...ඔහුගේ හිස සම්පුර්ණයෙන්ම බිමට නැඹුරු වී තිබූ හෙයින් ඇයට ඔහුගේ මුහුණේ ඉරියව් කියවාගන්නට හැකියාවක් තිබුනේ නැහැ...එහෙත් ඇය දුටුවා, එතන හරි හතරැස් කොන්ක්‍රීට් රටා මැවූ පොළවෙහි, රවුම් හැඩති තෙත් ලකුණු ඉහී තිබුන අයුරු...

"මට දැන් සියල්ලම පැහැදිලියි... ඔබේ ගැටළු සියල්ලම ලිහා දෙන්නම් ඉලී...මට සමාවක් එපා..."

කීත් පැවසුවේ බිඳුන හඬකින්...

"ඔබ බෙකී කියන්නේ, මට දාව රඛිතාට උපන් දියණියට...අවුරුදු විසිදෙකේදී දරුවෙක් බාර ගන්න මානසිකත්වයක් මට තිබුනේ නැහැ...ඒ අතින් ඔබට වඩා මා බොහොම පහත් මිනිහෙක්..."

ඉලියේනාගේ, දෙඇස් වටකුරු වී, දෙබැම ඉස්සුනේ ඉබේටම...

"අනේ ඔබ මගේ බෙකීව මගෙන් ඉල්ලන්නද හදන්නේ"

ඔහුගේ කථාව නිමා වෙනතුරු සිටීමට තරම් ඉස්පාසුවක් ඉලියේනාට තිබෙන්නට නම් ඇය හදවතක් නොමැති ගැහැණියක් විය යුතුයි...

"අහන් ඉන්න මගෙ ඉලියේනා...රඛිතා පොහොසත් ඉන්දියන් පවුලක උන් එකම දියණිය...අප පාසැල් පෙම්වතුන්...ඇගේ දරු ගැබ දැනගත් වහාම මා ඇගෙන් ගබ්සාවක් කරන ලෙස ඉල්ලා සිටියා...ඒ තමයි මා ඇයව දුටු අවසාන දවස...ඉන් මාස කිහිපයකට පසු මට මේ පින්තූරය තැපෑලෙන් ලැබුන එකක්"

ඉලියේනාට  පිටවුනේ සැනසුම් සුසුමක්...ඒ වගේම ඇයට ඇති වූයේ, එසේ ආත්මාර්ථකාමී වීම ගැන කණගාටුවක්...

කවදා කොහෝ සිට බෙකී සොයා ඇයගේ දෙමාපියන් පැමිණියත්, ඉලියේනා ඉතා සාධාරණව මේ ගැටළුව දෙස බැලිය යුතු බව ඇයට වැටහුනේ නිරායාසයෙන්ම...

"ඒ හුරුබුහුටි බිලිඳියව දුටු මොහොතේම මට වාවාගන්න බැරි උනා...එදා ඉඳන් කාලයක් තිස්සේම මා රඛිතාත්, දියණියත් ගැන තොරතුරක් සොයා ගන්නට නොගත් වෙහෙසක් නැහැ...මා ඔබව මුල් වතාවට දුටුවේත්, ඒ වගේ ඔවුන් සිහිවී අතොරක් නැතිව මැන්හැට්න් පුරා සැරිසැරූ දිනෙක..."

"කීත්...දැන් ඔබට වුවමනා කුමක්ද...ජීවිතේ වැරදුන තැන් හදාගන්න කෙනෙකුට ඕනෑම මොහොතකදී පුළුවනි"

ඉලියේනා ඇසුවේ ඉතාම පැහැදිළිව...ඔහුගේ දෑසට එබීගෙන...ප්‍රේමයේ අගුල කුඩා කැබලි කර නැගෙනහිර නදියේ පා කර හරින ගමන්...

ඔහු ඇය ළඟ දණින් වැටීගෙන, ඇයගේ කැරළිකාර කෙහෙරැළි මෑත් කලේ ඇගෙන් අවසරයක් නොමැතිවම...

"ඔබ උතුම් යුවතියක්...ඔබ මාව විවාහ කරගැනීමට කැමතිද"

ඔහු ඇගේ සුරත ඔහුගේ ලයට ලං කොට ගෙන ඇසුවේ දෙපාරක් නොහිතාම...

"නිව්යෝක් වල ප්‍රේමයක්...මේ තරම්ම ප්‍රේමයක්...මේ උස් ගොඩනැගිලි අතරේ...මේ සයිරන් නලා මැද්දේ...අපට පුළුවන් වෙයිද එම්පයර් ගොඩනැගිල්ලට වඩා උස ප්‍රේමයක් ගොඩ නගන්න කීත්.."

....................................................................................................................................................

"මට හිතන්න කල් ඕනේ...අපි යමු කීත්..." 

.......................................................................................................................................................

ඔහුගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි.....

.........................................................................................................................................................


සඳ මැණික ඔබ මගේ නෙතු ගඟුල මැද වැටී
රිදි රිදී ඉහිරවයි කළඹවා ඇස් ගැටී 
නළලතේ අගිස්සේ නුඹේ සුවඳේ ගැටී 
කේශ නාලිකා පවා කිතියෙන්ද ඒ හැටී...

සංසාරෙ අරන් ආ සුවඳ පස්සෙන් වැටී
ඇස් පියා ගනිමි මම හුස්ම උස්සා ගමී
ලෙය පුරා ඇවිදිනා ඒ සුවඳ සුහදිනී
විඳින්නට ඉඩ දියන් හුස්ම අත නාරිමී....

....................................................................................................................................................

ඇය ඔහුට කෙතරම් ප්‍රේම කලත්, ඇයට අවැසි වුනා තව වතාවක් ඒ ගැන හිතන්න...ජීවිතේ එක් වරක් වරදක් කල මිනිසෙක්, නැවත ඒ වරදම කරන්න ඇති ඉඩ කඩ මනින්නට කෝදුවක් සොයා ගන්නට, මේ නිව්යෝක් වලින්ම බැරි වෙන එකක් නෑ...ඇය නිහඩවම එහෙම හිතුවා....

අම්මා කෙනෙක් වෙන්න, දරු කැක්කුම දැනෙන්න, තමන්ගේ කුසින්ද දරුවෙක් බිහි කරන්න ඕනෙමද...ඇයට ආයිමත් වතාවක් එහෙමත් හිතුනා...

....................................................................................................................................................
ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~

Monday, July 18, 2016

වැඩිම උනොත් මැරෙයි....





විශ්වය කර තබා හිඳින ඇට්ලස්ට, ඒක පුරුදු බරක්...ඒ බර සංතුලනය කරගෙන අත, පය, මොළය මෙහෙයවීම ඇට්ලස්ට දැන් පුරුද්දට ගිහින් ...මුලදී තාවකාලික පදනමට ඒ බර කරට ගත්තට, මැරෙනකල්ම ඒ බර බිම තියන්න බැරි වෙයි කියල තමයි, දැන් දැන් ඇට්ලස්ට හිතෙන්නෙ...

අපි කවුරුත් සැප කියල හිතාගෙන උපන් දා ඉඳලම විඳින්නේ දුක...ඔය බුදුන් දේශනා කල යථාර්තය ඇට්ලස්ට වැටහුනේ මීට අවුරුදු හයකට උඩදී...

ඒ දූපත වෙනුවට, ඇමෙරිකාවේ උතුරු පැත්තෙන් ආයිමත් විශ්වයට කර තිව්ව දා ඉඳන්...මහාද්වීප මාරු උනයි කියල, උහුලගෙන උන්න බරෙහි කිසිම වෙනසක් ඇට්ලස්ට දැනුනේ නෑ...

දූපතේ පී.එච්.ඩි එක කරන කාලේ ඇට්ලස්ගේ සීනියර්, ඇට්ලස්ට කිව්වේ මෙහෙම කථාවක්...

"සහෝදරී උඹේ හඳහන බලවගනින්, ඔය පී.එච්.ඩි කරන්න හිතෙන්නේ සෙනසුරු ඒරාෂ්ටකේ ගෙවන කාලෙට"

පුදුම හිතුනද, ලෝකෙම කර උඩ තියන් ඉන්න ඇට්ලස්, ගැහැණියක් වෙච්ච් කොට...පුරුෂාධිපත්‍ය ඉහට ගහපු ග්‍රීකයෝ, ඇට්ලස් කියන්නේ, පිරිමියෙක් කිව්වට, මං කියනවා ඇට්ලස් ගැහැණියක් වෙන්නත් පුළුවන් කියල...ඔහෙලා කැමති දෙයක් හිතාගන්න...මිත්‍යාවන් සත්‍ය කරන මිනිස්සු හැබෑ ජීවිතේ ඉන්න පුළුවන්...

දැන් උදවියගේ භාෂාවෙන් කියනවා නම්, ඔය ඒරාෂ්ටක කතන්දරේ "එකෙන්ම ඇත්ත"...ආයිමත් හඳහන් බලන්න දෙයක් නෑ...

එහෙම කිව්වට කවුරුත් අධෛර්යමත් වෙන්න ඕනෙ නෑ...

අවුරුදු මිලියන ගණනකට කලින් මැරුණ තරු වලින් එන එළියෙන් ජීවිතේට නැකත් හදන්න බෑ...

හොඳට පාර බලාගෙන ගල්, මුල් අයින් කරගෙන, කටු අකුල් සුද්ධ කරගෙන යද්දී,  බොහොම අහඹු තැන් වලින්, ඔය කියන ජීවිතේ අහුල ගන්න පුළුවන්...

"ජීවිතේ රෝස මල් යහනාවක් නොවේ" කියල, ඇට්ලස්ගේ සමරු පොතේ කවුදෝ ලිව්වේ, පහ වසරෙදි...

ඒකෙ ඇත්ත, නැත්ත හරියටම දැනගත්තේ, ඇට්ලස්ගේ අප්පච්චි රෝගාතුර උනාට පස්සේ...රෝස මල් කොහොම වෙතත්, නියඟලා මලක්වත් පිපුනේ නැති කාලයක් ඒක...

නියඟලා වගේ හැඩකාර මලක, විෂ අලේ කාල මැරෙන්නේ හැබෑම මෝඩයෝ...ඔය අලේ සංයුතිය හරියට අධ්‍යයනය කලා නම්, ගෑණුන්ට විෂයි, හැඩයි දෙක එකට ලැබෙන හැටි හිතල, හිත හදාගන්නෙක බොහොම සරල දෙයක්...

ඒ කොහොම වෙතත්, ඇට්ලස් පසුකාලීනව හිතුවේ, "ඇට්ලස්, පී.එච්.ඩි" නොහොත් "ආචාර්ය ඇට්ලස්" වූ පසු එළඹෙන්නේ, සියලුම සැප සම්පත් වලින් අනූන වූ සිකුරුගේ මහ දශාව බව...


ඒ කාලේ ඇට්ලස් ඇසූ, දුටු  සමහර ආචාර්ය වරුන්ගේ හැසිරීමත් එහෙම හිතන්නට පෙළඹවූවා කීවොත් නිවැරදියි...ඔවුන් හැසිරුනේ සක්විති රජවරුන්ටත් නොමැති බල පරාක්‍රමයන් පෙන්වමින්...

බොහොමයක් ඈයොන්ට එහෙම උනත්, ඇට්ලස්ට අමතක වුනා එක දෙයක්...ඇට්ලස්ගේ අප්පච්චිගෙන් පස්සේ, දඬුවමක් විදියට නොවුනත්, කර්මානුකූලව, විශ්වය නොහොත් දිව්‍ය තලය කර උඩින් තියාගෙන උන්නේ ඇට්ලස් බව...

ඇට්ලස්ට, "ආචාර්ය ඇට්ලස්" වෙන්න පාර කිව්වේ, පුංචි දූපතේ වැලි දූලි වල, පය ගහල ජීවත් වුනු ගුරු දෙවිවරු දෙන්නෙක්...හරියටම කිව්වොතින් දෙවියෙක්  සහ දිව්‍යාංගනාවක්...

මානව අයිතිවාසිකම් ඉහලින්ම ඇති ඇමෙරිකාවේවත් නොමැති හිතීමේ නිදහසක්, ඇට්ලස්ට ලැබුනේ ඔවුන් දෙදෙනාගෙන්...ඇට්ලස්ට අදටත් ඔවුන් දෙදෙනා මව්පියන් හා සමානයි...

පහුගිය අවුරුදු දහතුන පුරාවටම, ඇට්ලස් වැඩිපුරම ජීවත් වූයේ විද්‍යාගාරය තුල...

"අපොයි මහ නර්ඩ් කෙනෙක්"

එහෙම නේද හිතුවේ...

තව ලොකු කතාත් කියෝනවා ඒ මදිවට...එහෙමත් හිතුනද?...

එහෙම නෙවේ...ඇට්ලස් කරපු, කියපු දේවල් නොලිය මේ කථාවේ රහක් නෑ...මිනිහෙක්ගේ වටපිටාව ගැන, අතීතය ගැන දැනීමක් නැතුව, කථාවක් තේරුම් ගන්න වෙන්නේ බාගෙට...

එහෙම උනාම ඇට්ලස්ගේ සපත්තුව ඇතුලට ඔහෙලට බැහැල බලන්න බෑ...

ඇට්ලස් බොහොම ගැඹුරෙන් ප්‍රේම කරන කෙනෙක්..ඉංග්‍රීසියෙන් කියනවා නම් "ෆුලි කමිටඩ්"...

හැබැයි ප්‍රේමවන්තයෝ දෙන්නයි...කලබල වෙන්න කාරි නෑ...ඒ ගැටවුන්ට ගැටළුවක් නැතිනම් ඔහෙලා ඒක ගැටළුවක් කරගන්නෙපා...

එකෙක් "කවියෙක්"...අනික් කොලුවා, මීයෝ, වඳුරෝ, සෛල, වීදුරු බට පිරුණ "විද්‍යාගාරයක්"...ඔය දෙන්නගෙන් තොර ජීවිතයක් ඇට්ලස්ට නෑ...ඔතනින් කවිය තමයි ඇට්ලස්ගේ දිගු කාලීන පෙම්වතා...හරියටම ගණන් බැලුවොත්, දැන් අවුරුදු විසි හයකට වැඩියි මේ බැඳීමට...

ඇට්ලස්ගේ අප්පච්චි, එයාව ඉස්කෝලෙ බෝඩිමේ හිර කලාට පස්සේ තමයි ඒක සිද්ධ උනේ...රෑට ඇට්ලස්ගේ ඩෝමෙට්‍රියට, බම්බලපිටියේ සම්පත් බැංකු ගොඩනැගිල්ලේ උඩින්ම, ඔය පහල පින්තුරේ වගේ SET කියන අකුරු තුන පෙනෙනවා...

ඒක මැදියම් රැයේ, ඝන අන්ධකාරේ නිවි, නිවී පත්තුවෙන හැටි බලාගෙන ඉන්න ඇට්ලස්ට දැනෙන්නේ කියාගන්න බැරි තරමෙ සාංකාවක්...

එහා ඇඳේ උන්න පුංචි කෙල්ල හීනෙන් කියවද්දී, ඇට්ලස් කලේ "සෙට්" අකුරු දිහාවේ බලාගෙන හූල්ලපු එක...

එතන කේන්තිය, දුක, සාංකාව, ඔය සේරෝම හැඟීම් තිබුනා...මේ කාලේ වෙද්දී ඇට්ලස්ට අවුරුදු දොළහක් විතර ඇති...



අම්ම, අප්පච්චි, ඇට්ලස්ගේ හුරතල් මල්ලි, කවුරුත් නැති හුදකලාව අන්තිමේ නැවතුනේ කොළයක් උඩ අකුරු වෙලා...

ඩොමිට්‍රියේ හිටපු උසම ගැහැණු ළමයා ලියපු අමුතු තාලේ නිසඳැස් දැකල තමයි, ඇට්ලස් මෙහෙම අකුරු කුරුටු ගාන්න ඇහැකි කියල දැනගත්තෙත්...

පහුගිය නිවාඩුවට ඇට්ලස් දූපතට ගිය වෙලාවේ, මල්ලිගේ ලොකු කෙලී සෙල්ලම් කරන්න හිතාගෙන අතට ගත්තෙ, ඇට්ලස් කළා උළෙලෙන් පළවෙනිය වෙලා ගත්ත සම්මානේ...කොයි තරම් ඒකිට ආදරේ උනත්, ඇට්ලස් ඒ වෙලාවේ කෙල්ලට තරවටු කලේ, ඒකිව සිවිලිමේ වැදෙන තරමට...

මං අහන්නෙ දහය, එකොළහ වසරේ අක්කල එක්ක තරඟ කරලා, පළවෙනිය වුනු, නවය වසරේ උන්න ඇට්ලස් ගතපු සම්මාන, වයසටත් ගියත් වටින්නේ නැතිද...

ඇට්ලස් පසුකාලීනව විද්‍යාගාරය එක්ක ප්‍රේමයෙන් වෙළුනට, කවදාවත් තමුන්ගේ ඉපැරණි පෙම්වතාව අමතක කලේ නෑ...සමහර වෙලාවට අසම්මතය බොහොම රහයි...

ඒ උනත් පහුගිය බදාදා, ඇට්ලස්ට විද්‍යාගාර පෙම්වතාගෙන් ලැබුනේ මින් පෙර නොවිඳි වේදනාවක්..වෙහෙසක්...

එය දවස මුළුල්ලේම විහිදුන පරීක්ෂණ මාලාවක්...අඩුම තරමින්, හතර දෙනෙක් අතරවත් බෙදී යා යුතුව තිබුනත්, ඇට්ලස්ගේ සහයට උන්නේ දෙන්නයි...ඒ ෂෙලී සහ ශෂී..

එයිනුත් පරීක්ෂණයේ, මොළය මෙහෙයවීමේ කොටස තිබුනේ ඇට්ලස්ගේ භාරයේ...හේතුව එය ඇට්ලස් මෙහෙයවන ව්‍යාපෘතියක් වීම...

ඊට අමතරව අනිත් දෙදෙනාට කල නොහැකි, "මදුරුවන් තැලීම" කල යුතුව තිබුනෙත් ඇට්ලස් විසින්...ඒ අනික් සියලුම වැඩ වලට අමතරව...

මේ සියල්ලම නිසාවෙන්, ඇට්ලස් සතියකට පෙර සිටම ෂෙලී සහ ශෂී මේ ගැන දැනුවත් කර උන්නේ ඔවුන්ගේ සහයෝගය අපේක්ෂාවෙන්...

ඇට්ලස්ගේ මහාචාර්යවරිය, පරීක්ෂණය පිළියෙළ කර ඇති අන්දම තක්සේරුවක් ඇට්ලස්ගෙන් ලබාගෙන නික්ම ගියේ හිතේ කුකුසකින් තොරව...

අඟහරුවාදා සවස, පසු දිනට අවැසි සියලු දෑ පිළියෙළ කල ඇට්ලස්, උදෑසන අට වන පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ශෂීගෙන්...

ෂෙලීගේ කාරයේ වායුසමීකරණ පද්ධතියේ ගැටළුවක් බැවින්, එය තිබුනේ කාර් රෝහලක..මේ පරීක්ෂණයට කාර් වලින් ඇති අපලය ඇරඹුණේ එතැනින්...

ෂෙලීට වෙනදා මෙන් කල් තියා එන්නට හැකියාවක් තිබුනේ නෑ...ඇය කියා ගියේ සැමියා සහ දරුවන් සමඟ ප්‍රමාද වී එන බව...

"දැන් ශෂී ආවම, අක්මාවෙන් සෛල ගන්න රාජාකාරිය ශෂීට දෙනවා, මං ප්ලිහාවේ සෛල ටික ගන්නවා...එතකොට ෂෙලී ආවම, එයා ඒකෙන් උවමනා සෛල වෙන් කරයි...ඒ අතරේ මං "මදුරුවෝ තලනවා"...ඒක ඉවර වෙලා සෛල ටික රෝපිත දීසි වලට දමන රාජකාරිය මංම කරනවා...ඒ අතරේ ශෂී ලවා සෛල ටික පාට කරවන්න උදව් ගන්නවා...ඒ කාලේ බැලුවොත් රෑ නවය වෙද්දීවත් ගෙදර යතහැකි"

ඔහොම සැලසුම් කලේ, බදාදා උදේ හතයි තිහ වෙද්දී විද්‍යාගාරයට ආපු ඇට්ලස්...

මීයෝ ටික විද්‍යාගාරයට ගෙනැත් රුධිර සාම්පල් ගන්න ගමන්, ඇට්ලස් ඔරලෝසුව දිහාවේ බැලුවේ, ශෂීගේ ප්‍රමාදයට හිත යටින් තැවෙමින්...

ඒ අස්සේ, එක මීයෙක්ගේ රුධිරය නොනැවතී ගලනවා...ටිකෙන් ටික ඇට්ලස්ගේ "ටයිමින්" වෙනස් වීගෙන යන බව විතරයි ඇට්ලස්ට දැනුනේ...

ඔන්න එතකොට ශෂී ආවේ ඇස් දෙක, බෝල ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන...ඇට්ලස් එතකොටම දැනගත්තා, අද ගෙදර යන්න වෙන්නේ යක්කු ඇහැරෙන යාමයට බව...

ඉන්දියන් වුනත්, අප්‍රිකානු-ඇමෙරිකානු පෙනුමක් ඇති ශෂීගේ ඇස් බෝල ගෙඩි වගේ වෙන්නේ, බරපතල පැටලවුමක් උනාම...

එහෙම උනාම ශෂී ඉන්නේ අහසෙත් නෙවේ...පොළොවෙත් නෙවෙයි...එහෙම කෙනෙක් එක්ක තීරණාත්මක, දිගු පරීක්ෂණයක් කරන අසීරු කම ඇට්ලස් දන්නේ අත්දැකීමෙන්...

මීයාගේ ගලා යන රුධිරය නවත්වන්නට, රුධිර නාලය තද කරගෙනම ඇට්ලස් බැලුවේ ශෂීගෙන් වචනයක් බලාපොරොත්තුවෙන්...

"සම්තින් ඉස් ලීකින් ෆ්‍රොම් මයි කාර් (මගෙ කාරයෙන් යමක් කාන්දු වෙනවා)"...

ඒ වෙලාවේ ඇට්ලස්ට තිබුන දැවෙන ගැටළුව, එක මීයෙකුගේ රුධිරය "ලීක්" වීම...එය කාරයක් වෙන්නට ගියේ තත්පර ගානයි... 

"වට් ඉස් ලීකිං..ඉස් ඉට් ඔයිල්...(මොනාද ඔයිල්ද...)" ඇට්ලස් ඇහුවේ ශෂීගෙන්...

"ඉට් ලුකස් ලයික් ඔයිල්"..."වට් ශුඩ් අයි ඩු නව්"...(ඔයිල් වගේ, දැන් මං මොකක්ද කරන්න ඕනෙ)...

ශෂී ඇහුවේ ඉහවහා ගිය, පාලනය කල නොහැකි, කලබලයක් සඟවා ගෙන...

ඉවසීමේ පරිමාව කොතෙක්ද, ඒ තරමට මස්තිෂ්කය දිග හැර ඉවසීම පුරවා, මනුස්සකම ගැන හිතා පිළිතුරක් දීම හැර, වෙන කල හැකි එවෙලේ ඇට්ලස්ට තිබුනේ නෑ...

ඒ ඇරුනම, ඇට්ලස් වාහන වෙදකම් දන්න කෙනෙකුත් නෙවේ...

"ටේක් ද කාර් ටු ද ඩිලර් (කාර් එක ඩිලර් ලඟට ගෙනියන්න)"...

වෙලාවේ හැටියට දෙන්න තිබුන හොඳම පිළිතුර තමා ඒ...

වෙනදාමෙන් ෂෙලී සමඟ, සැලසුම් සහගතව පරීක්ෂණය කරගන යාමට, ෂෙලී නොමැති අඩුව දැනෙන්න ඇට්ලස්ට වැඩි වෙලාවක් ගත උනේ නෑ...

ෂෙලී කියන්නේ, වසර පහක ඇට්ලස් ගේ විද්‍යාගාර සගයා..."ෆුලි කමිටඩ්" නොමැති උනත්, ඇය ඇට්ලස් සමඟ කටයුතු කරන්නේ ඇට්ලස් ලබා දෙන රටාවට...

එතැන ඇත්තේ කෙතරම් හොඳ සංයෝජනයක්ද කියල ඇට්ලස්ට එදා හිතුනේ පළමු වතාවට...මේ වගේ වැඩක් කරද්දී, අනොන්‍ය අවබෝධය හෙවත් මියුචුවල් අන්ඩස්ටෑන්ඩින් බොහොම වැදගත්...   

කල්පනාවෙන් මිදිලා, වටපිට බලපු ඇට්ලස්ට පෙනුනේ, දුරකථන සංවාදයක යෙදිමින් කලබලයෙන් එහා මෙහා යන, ශෂී...

ඇට්ලස් ශෂී ගෙන් උදව් ගැනීමේ අදහස අත්හැරියේ ඒ වෙලාවේදී...

"ලෙට් මී නෝ, වෙන් යූ ආ රෙඩි ටු ස්ටාට් (ඔයා පටන් ගන්න ලෑස්ති නම්, මට කියන්න)"...කලබලෙන්ම ඇවිත් ශෂී කියනවා...

"ඇයි දෙය්යනේ මේ කෙල්ලගේ ඇස් පෙනීම දුර්වලද..." හතයි තිහේ ඉඳන් වැඩ පටන් ගත්තු ඇට්ලස්ට තවත් මොනවා අලුතින් පටන් ගන්නද...

"හොඳ වෙලාවට ශෂී පී.එච්.ඩි එකක් කරන්න නොහිතන්නේ"...ඇට්ලස්ට එහෙමත් හිතුනා...

වගකීමක් නැති, තමන් කරන දේ බරපතලක් නොවැටහෙන කෙනෙක්, පී.එච්.ඩි නෙවේ, කිසිම රාජකාරියක් බාර දෙන්න සුදුසු නෑ කියනෙකයි ඇට්ලස්ගේ අදහස...

"හායි, අයෑම් හිය (හායි, මං මෙහේ)"...

ඇට්ලස්ගේ හිතට සහනයක් දැනුනේ ඒ කට හඬට...

"හේයි...අයෑම් බිහයින්ඩ් ද ෂෙඩියුල්...ශී ඉස් ඉන් අ බෑඩ් මූඩ්...හ කාර් ඉස් ලීකිං (ඒ, මං කාල සටහනෙන් පිට පැනල ඉන්නේ...ඇයට ගැටළුවක්...ඇගේ කාරයේ කාන්දුවක්ලු)" 

ඇට්ලස් ෂෙලී ට සංක්ෂිප්ත වාර්තාවක් ලබා දුන්නා...

ශෂී ගැන හොඳින් දන්නා ෂෙලීට ඒ ටික ඇති, 

"ඉට් ඉස් ගොඉන් ටු බී අ නයිට්මෙයා (අද දවස නරක හීනයක් වෙන්නයි යන්නේ)" 

කියල ඉංග්‍රීසියෙන් හිතා ගන්න... 

"ශෂීඊඊ.....ඉට් ඉස් රෙඩි...යූ කැන් ස්ටාර්ට් ද ලිවර්ස්...අයි'ල් හෙල්ප් යූ (ශෂී...ඒක ලෑස්තියි...ඔයාට අක්මාව පටන් ගන්න ඇහැකි...මමත් උදව් කරන්නම්)" 

සියල්ල පටන් ගැන්මට පෙර, ඇට්ලස් කලේ ශෂීව කැඳවා, පියවරෙන් පියවර විස්තර කිරීම...

ශෂී මින් පෙර දෙතුන් වතාවක් කර ඇති ඕනෑම දෙයක් උනත්, කරන්නට යද්දී, අන්දමන්ද වී හිඳින්නට හැකි, සුවිශේෂ හැකියාවක් ඇත්තියක්...




ඇය නිතර කරන කාර්යන් හැර, මෙවැනි පරීක්ෂණ වලදී, ඇයව පියවරෙන් පියවර අධීක්ෂණය කල යුතුයි...

ඇට්ලස් ඒ වෙද්දී උන්නේ "ඕනේ දෙයක් වෙද්දෙන් හෙවත් "වට්එවර්" මානසිකත්වයෙන්...

ඒ මොක උනත්, මැරෙන්න මොහොතක් තියා හෝ, තමන් කරන වැඩේ ඉහලින්ම කරන්න අන්තිම උත්සාහය දරන එක, ඇට්ලස්ගෙ ජන්ම පුරුද්ද...

ඒත් ඕනෙම දෙයක් බාරගන්න, කල් තියාම හිත හදාගන්න ඕනේ නිසා, ඇට්ලස් මුලින්ම කරන්නේ "වට්එවර් මූඩ්" එකට මස්තිෂ්කය සුසුර කරගන්නෙක...

එහෙම නැත්නම් කාලසටහනෙන් පිට යන අපිළිවෙල, ඇට්ලස්ගේ මොළයේ සියලුම නියුරෝන එකට පටලවනවා...එතකොට එන කේන්තිය සහ පීඩනය නවතින්නේ කොහෙන්ද කියල ඇට්ලස් දන්නේ අත්දැකීමෙන්...




දැන් ඇට්ලස් "වට්එවර් මූඩ්" එකේ ඉඳන් අක්මා සෛල පිරිපහදු කරන්නයි සූදානම...අක්මා හතරක් නිම කරන්න ගත වන කාලය පැය හතරකට ආසන්නයි...ඕක ශෂී එක්ක දෙකට බෙදාගෙන, ඊට වඩා අඩු කාලෙකින් නිමා කිරීම තමයි මූලික සැලසුම උනේ...

ඇට්ලස් එක් අක්මාවකින්, සෛල වෙන් කරගෙන, ඊළඟ එකට මාරු වෙන ගමන්, එහා පැත්තේ උන් ශෂීගේ තත්වය හොයා බැලුවා...


"අයෑම් ස්ටිල් ඉන් ද ෆස්ට් වන් (තාම මං පළවෙනි එක)"...

ඒ තමයි ලැබුන උත්තරේ...

ඇට්ලස් දෙවැනි එකත් නිමා කලේ ඒ අතරේ...

"හව් ආ යූ ඩුයිං ශෂී (ශෂී කොහොමද ඔයාට)"...

සාමාන්‍යෙන් පරීක්ෂණයක් අතරෙදි, අනික් කෙනාගෙන් මෙහෙම අහනෙක හැමෝගෙම පුරුද්ද...

"අයෑම් සොරි...අයෑම් බීන් ස්ලෝ ටුඩේ...ස්ටිල් ද ෆස්ට් වන් (මට සමාවෙන්න...අද මං ටිකක් හෙමින් වැඩ කරන්නේ...තාම පළවෙනි එක)...

බොහොම පහල, බොහෝ කලකින් ආහරයක් නොගත්, පාණ්ඩු ස්වරයක් ඇට්ලස්ට ඇහුනෙ එහා පැත්තෙන්... 

සමාව ඉල්ලන කෙනකුට කඩා පනින පුරුද්දක් ඇට්ලස්ට නෑ...

නැත්නම් ශෂී කිරි සප්පයෙක් වගේ එහෙම කියද්දි, ඇට්ලස්ට හිතුනේ ශෂීට තරු ටිකක් ගෙනැල්ල හැඩ පෙන්නන...

"ඕකේ...ලෙට් මී ඩු ද තර්ඩ් වන් (හරි, කෝ දෙන්න මට තුන්වැනි එක)" 

ඇට්ලස් කිව්වේ, එදා විද්‍යාගාරයේ "නයිට් අවුට්" එකක් යන්න හිත හදාගෙන...

ඒ වෙද්දී ෂෙලී, ප්ලිහාවේ සෛල වෙන් කරන කාර්ය නිමා කරන්න ආසන්න වෙලා තිබුනේ...

එදා දවසේ කාලයේ ගමන් කලේ සොනික් ජෙට් යානයකින්...

ඇට්ලස්, ශෂී එක්ක අක්මා පිරිපහදුව කරන අතර, ෂෙලී ලබා දුන් ප්ලිහා සෛල වලින් කොටසක්, දැමුවේ රෝපිත දීසි වලට...ඉන් පසු ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක් සහිත ඉන්කියුබේටරයට...සෛල තුල ජීවය පවත්වා ගැනීමට නම්, එය හැකි ඉක්මනින් කිරීම ඉතා වැදගත්... 

ඉන් පස්සේ ඒ සෛල සමඟ කරන අනිකුත් පරීක්ෂණ, සවස් යාමය තෙක් කල් තබන්නට හැකි බව ඇට්ලස් අත්දැකීමෙන් දන්නවා...

ඒ අතරේ, කලින් ඇණවුම් කරපු එක් දියරයක් විද්‍යාගාරයට නියමිත වේලාවට ලැබී තිබුනේ නෑ...සමහර දේවල් ඇමෙරිකාවේ උනත් වෙලාවට සිද්ධ වෙන්නේ නෑ...පරීක්ෂණ අතරේ ඒවාට වද වීමට සිදු වීම, ඇට්ලස්ගේ බරට තවත් බරක් එකතු වීමක්...

වෙනදා කල් තියාම පරික්ෂණයට අවශ්‍ය, විද්‍යාගාරයේ නොමැති දෑ, ගෙවීමේ පදනම මත හෝ එකතු කර තබා ගන්නා ඇට්ලස්ට, මෙවර මේ දියරය මග හැරී තිබුනා...

ප්ලිහා සෛල වලින් තවත් කොටසක් කුඩා නල වලට දැමූ ඇට්ලස්, ඊලඟට කල්පනා කලේ ෂෙලී, අර දියරය සොයා කොහේ යන්නට ඇත්දැයි කියා...

"අයි ගොට් ඔන්ලි දිස් වන් (මට මේක විතරයි හොයා ගන්න ලැබුනේ)"...

හති දමාගෙන පැමිණි ෂෙලී කීවේ ඇය අත තිබූ කුඩා වීදුරු බෝතලයක් පෙන්වමින්...

"දිස් ඉස් හියුමන් ෂෙලී..වී නීඩ් මවුස් (මේක මිනිස් එකක්, අපට ඕනේ මීයොන්ට අදාළ එක ෂෙලී)"...

"මෑන්..ශී වෝස් හෝල්ඩින් දිස්...ආස්කිං සෝ මෙනි ක්ව්ෂ්චන්ස්..අයි කුඩ් නොට් චෙක් ද ලේබල්...ශී ඩිඩ් නොට් ලෙට් මී ගෝ...අයි සෝ ඉට්...අයි ඩිඩ් නොට් වෝන්ට් ටු ගෝ බැක් ටු රිටර්න් ඉට්..ශී විල් කැච් මී" 

(ඇය මේක අතේ තියාගෙන, මගෙන් ඉවරයක් නැති ප්‍රශ්න ගොන්නක් ඇහුවා...මට ලේබලය පෙනුනේ නෑ...ඇය මට එන්න දුන්නෙම නෑ...මං ඉන් පස්සේ, ලේබලය දැක්කට ආපහු ගියේ නෑ...ඇය ආයිමත් මාව කතාවට අල්ල ගන්නවා...)

ෂෙලී කිව්වේ සියල්ල මදකට අමතක කොට, මහ හඬින් සිනා වෙමින්...ඇට්ලස් උන්නේ කිසිසේත්ම ඒ හිනාවට උඩගෙඩි දෙන මට්ටමක නෙවේ...

ඇට්ලස්, "ඇය" යනුවෙන් හඳුන්වූ අයව හොඳින්ම දන්නා නිසා සිද්ධ වී ඇති සංතෑසිය වටහාගන්නට, අමාරුවෙන් හිතන්නට දෙයක් තිබුනේ නෑ...

"වට් ඩු වී ඩු ෂෙලී..අයි නීඩ් ඉට් ෆෝ ස්ටේනින්...කැන් යූ ගෝ චෙක් ඉන් ද අද ලැබ්ස්  (අපි මොකෝ කරන්නේ ෂෙලී...මට මේක නැතිව බෑ සෛල පාට කරන්න...ඔයාට පුළුවන්ද අනික් ලැබ් වල බලන්න"

"වෙයාර් ශුඩ් අයි ගෝ (මං කොහෙද යන්නේ)..." ඒ අඇහුවේ ෂෙලී...

ඇට්ලස්ට දැනුනේ අන්ත අසරණ කමක්...හැමදාමත් වගේ ඇට්ලස්ට අතපසුවීමක් උනොත්, ඒක නිවැරදි කරන්න පුදුමාකාර වෙහෙසක් දරන්න වෙන්නේ...

මොළේ වෙහෙසන්න කම්මැලි ඈයොත් එක්ක පර්යේෂණ කරනවට වඩා හොඳයි................................(ඇට්ලස්ට හිතුන දේ මෙතැන නොලියා ඉන්නෙක)...

ඒ අස්සේ ඉතිරි ප්ලිහා සෛල ගොන්න තවම අයිස් මත...එය ෂෙලී ඉදිරි පියවර සඳහා සකස් කල යුතුයි...

අක්මා සෛල වල ඊළඟ පියවරට තව පුංචි කාල වේලාවක් තිබුනා...ඒ ඉඩේ ඇට්ලස් තවත් දෙයක් කල යුතුව තිබුනා...

ආයිමත් ෂෙලී අතුරුදන්...

"අයි කුඩ් නොට් ෆයින්ඩ් ඉට්...(මට ඒක හොයා ගන්න බෑ).." 

ෂෙලී කොහේදෝ ඉඳන් ආයිමත් ආවේ එහෙම කියාගෙන...

ඇට්ලස් තීරණය කලේ කොහෙන් හරි ඒක සොයාගෙන එන්න...

කාලෙක ඉඳන් විශ්වය කර තියන් ඉන්න ඇට්ලස් කිසිමදාක පහු බහින කෙනෙක් නෙවේ...ඒ වගේම, ඇට්ලස් ඒ දියරය හොයාගත්තා බොහොම ආසන්න විද්‍යාගාරයකින්...

"ෂෙලී මෙච්චර විකාරයක් කලේ මොකද මේක හොයා ගන්න" ඇට්ලස් එහෙම හිතුවා විතරයි...කිව්වේ නෑ...

ඇට්ලස් සමහර වෙලාවට, ඊළඟට පළමුව කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව විද්‍යාගාරයේ එහා මෙහා ඇවිද්දා...

අනික් දෙදෙනා දිවා ආහාරය පිණිස ගියත් ඇට්ලස්ට ඒ සඳහා කාලයක් තිබුනේ නෑ...

අක්මා සෛලත් පෙර ලෙසම සකස් කර අවසන් වන විට තිබුනේ "මදුරුවන් තැලීමේ" රාජකාරිය...

"ඩු යූ වෝන්ට් මී ෆෝ ද හෝල් ඩේ... (ඔයාට මාව දවසෙම ඕනෙද)..."

මොළය, ඇස, කණ එකවර සහයෝගයෙන් ක්‍රියා නොකරන විලාසෙන් ශෂී ඇහුවේ ඇට්ලස්ගෙන්... 

"යා, අයි වුඩ් නීඩ් යූ...වයි ? (ඔව් මට ඔයාව ඕනේ වෙයි...ඇයි)"

ඇට්ලස් ශෂීට එහෙම කිව්වේ, හිතට ආ සියලු වර්ගයේ හැඟීම් යටපත් කරගෙන...

"නෝඕඕ...අයි හෑව් ටු ඩ්‍රොප් මයි කාර් ඇට් ද ඩිලර් බිෆෝ ත්‍රී...(නෑඈ...මට කාර් එක ඩිලර් ලඟට ගිහින් දාන්න ඕනේ තුනට කලින්) "

එතකොටයි ආයිමත් ඇට්ලස්ට කාර් වලින් ඇති අපලය සිහියට ආවේ...

දැන් ඉතින් මක් කරන්නද...වට්එවර් මූඩ් එකේ ඉඳන් එහෙම හිතපු ඇට්ලස් ශෂීව නිදහස් කළා...

ඊළඟට තිබුනේ මදුරුවෝ ගෙන්න යන්න...එක මැලේරියා මදුරුවෙක් හෝ අත්වැරදීමකින් මුදා හැරුනොත්, මුළු ගොඩනැගිල්ලම හදිසි අවස්ථාවකට පත් වෙන්න යන්නේ තත්පරයයි...ඒ නිසා උන් උන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේ...ඒක බාරව උන්න මිස් මාග්‍රට්, ඇට්ලස්ට ලොකු සහයෝගයක් දෙන කෙනෙක්...

අවාසනාවක මහත...ඇයට ඇට්ලස්ව එදා අමතක වෙලා කලින් යන්න ගිහින්...ඒ වෙද්දී හවස දෙකයි...

"කැන් යූ හෙල්ප් මී (මට උදව් කරන්න පුළුවන් ද)"...ඇට්ලස් බොහොම අසරණව එහෙම ඇහුවේ එතැන ඉන්න අනික් යුවතියගෙන්...ඒ වෙද්දී ඇට්ලස්ගේ ග්ලුකෝස් මට්ටම බොහෝ පහලට වැටී තිබුනු වෙහෙසත් දරාගෙන...

හැමෝගෙම නොඅඩු සහයෝගෙන්, මදූරුවන්ගේ කතාන්දරය අවසාන වෙද්දී පැයකට ආසන්න කාලයක් ගතවුනා කිව්වොත් නිවැරදියි...

අන්ක්ෂවීයට එබීගෙන, මදුරුවන්ගේ ඛේට ග්‍රන්ථි වලින් මැලේරියා පරපෝෂිතයින් වෙන් කරන්න, ඇට්ලස්ට තව පැය එක හමාරක් ගත උනා කිව්වොත් නිවැරදියි...එයින් පසු ඇතිවන බෙල්ලෙන් ඇතිවී දෙඅත් පුරා යන වේදනාව ඇට්ලස්ට බොහොම හුරු දෙයක්... 


hscweb3.hsc.usf.edu

සියල්ල කොහොමින් හරි සිද්ධ වෙද්දී, ඇට්ලස්ට ආවේ දුරකථන ඇමතුමක්...

ඒ ෂෙලීගෙන්...

ඇට්ලස් ඒ වෙද්දී මැලේරියා පරපෝෂිතයින්ව ෂෙලීට ලබා දීලා තිබුනේ ඊළඟ පියවරට...

එය කල යුතුව තිබුනේ, විශේෂ වූ කාමරයක...

"අයි කැනොට් ෆයින් ද කී ටු ද රූම්...සම්බොඩි හෑස් ටේකන් ඉට්...අයි කැනොට් ෆයින්ඩ් දැට් පර්සන් (මට කාමරේට යතුර හොයා ගන්න නෑ...කී එක කෙනෙක් ගෙනිහින්...එයාව හොයා ගන්න නෑ)"...

ඇට්ලස්ට කුමන ශක්තියක් තිබුනත්, දිවැස් නැත...

"ප්ලීස් ෆයින්ඩ් හිම් ෂෙලී..(අනේ ඔහුව හොයාගන්න ෂෙලී)"...

ඒ හැර වෙන කියන්නට යමක් ඇට්ලස් ට නොතිබුනේ, ඇට්ලස් ඒ වෙද්දී සෛල සමඟ ඊළඟ පියවරට ඇතුල් වූ තිබූ හෙයින්...

"රෝමය ගිනි ගනිද්දී, නීරෝ වීණාව වැයුවලු"

ඇට්ලස් කලෙත් ඒක...

එයා කොහෙන් හරි ඕක හොයාගනිවී...ඇට්ලස් ෂෙලී ගැන එහෙම හිතුවා...

"අයි වොල්ක්ඩ් මයිල්ස්... (මං සැතපුම් ගාණක් ඇවිද්දා)"...ටික වේලාවකින් එහෙම කියාගෙන ආවේ ෂෙලී...

"ඩිඩ් යූ ෆයින්ඩ් ද කී..(යතුර ලැබුනද)"...ඇට්ලස් ඇත්තටම හිතුවේ ෂෙලී ආවේ තමන්ගේ වැඩේ ඉවර කරගෙන කියල...

"නෝ, අයි කැනොට් ෆයින්ඩ් දිස් පර්සන්..(නෑ, මට මේ මනුස්සයව හොයා ගන්න නෑ)"

එවෙලේ නම් ඇට්ලස් තමන්ගේ අමනාපේ පිට කලේ නොහිතම...

වගකීමක් බාරගත්තයින් පස්සේ නෑ, බෑ කියන ඈයොත් එක්ක වැඩ කරනවා කියන්නේ බොහොම අසීරු වැඩක්...

"යූ මේ හැව් ටු ගෝ ටු ඊච් රූම් ඇන්ඩ් ෆයින්ඩ් හිම්...වී ඩෝන්ට් හැව් අ චොයිස් හිය...හී ශුඩ් හැව් රිට්න් හිස් ඉන්ෆොමේෂන්, විත් හිස් රූම් නම්බර්...(ඔයාට හැම කාමරයක් ගානේම ගිහින් හරි එයාව හොයාගන්න වෙනවා...අපිට වෙන විකල්පයක් නෑ...එයාගේ තොරතුරැ සටහන් කරලා ඇති, කාමර අංකයත් එක්ක...)"

ඇට්ලස් එහෙම කියාගෙන, ආපහු සෛල දිහාවට හැරුනා...

ආයිමත් දුරකථනය නාද වෙනවා...

"හේයි..වට්ස් අප්...ඩු යූ වෝන්ට් මී ටු කම් බැක් (හේ..මොකද වෙන්නේ...මං ආපහු එන්නද)"

ඒ ශෂී...හරීම සැහැල්ලුවෙන්...ඒ වෙද්දී වේලාව හවස පහයි...

ඇට්ලස් ඒ වෙද්දී උන්නේ සුහද පිළිසදරක යෙදෙන තත්වෙක නෙවේ...

"යා සිටුවේෂන් ඉස් සෝ බෑඩ් හිය...ෂෙලී ඉස් රනින් අරවුන්ඩ් ටු ෆයින්ඩ් අ කී...අයෑම් ස්ටක් විත් සෙල්ස් ඇන්ඩ් අයි හැව් ටු ඩු ද ස්ටේනින් ටූ...ඉෆ් යූ කැන් කම් බැක්, ඉට් වුඩ් බී ග්‍රේට්.."

(ඔව්, තත්වේ නම් නරකයි...ෂෙලී හැමතැනම දුවනවා යතුරක් හොයා ගන්න නැතිව...මං සෛල එක්ක හිරවෙලා...අනිත් අතින් සෛල පාට කරන්නත් ඕනේ...ඔයාට එන්න පුළුවනි නම් ලොකු දෙයක්)

ඇට්ලස්, මින්පෙර කිසිදාක නොඉල්ලූ උදව්වක් ශෂීගෙන් ඉල්ලා සිටියේ, තනිවම එය කරගැනීමට කිසිම හැකියාවක් නොමැතිකමටමයි...

සවස හය පමණ වෙද්දී ෂෙලී ඇයට හැකි පමණ නිමා කොට පිටව ගියේ, සැමියා පැමිණි හෙයින්...

ඒ වෙද්දී ශෂී උන්නේ සෛල පාට කිරීමේ අවසාන පියවර නිම කරමින්...

ඇට්ලස් උන්නේ සෛල දියාරු කර, ගණන් කිරීම සඳහා සූදානම් කරමින්...ඒ පරීක්ෂණයේ අවසන් අදියර සඳහා...

දෙවැනි වතාවටත් සෛල දියාරු කලත්, එය ගණන් කල හැකි මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ගණනය කිරීම සඳහා අවශ්‍ය මස්තිෂ්ක කොටස්, ඇට්ලස්ගේ මොළය විසින් අඩපණ කර දමමින් තිබුනා...

එක සෛලය තුන, හතර වී පෙනෙන්නේ එවිට...

ප්‍රමාදය වැඩි වන තරමට, පරීක්ෂණය පැය හතරකින් ආපස්සට යන්නට නියමිතව තිබුනේ, එය නිමා කිරීමට නම්, එහි අවසන් අදියරේ සිට පැය හතරක් බලා සිටිය යුතු නිසා...

ඇට්ලස්ට ඕනේ උනේ, කඳුළු තද කරගන්න...අධික වෙහෙස, කුසගින්න, පීඩනය, බෙල්ලේ සිට අත් දෙක පුරා විහිදෙන කැක්කුම, මෙකී, නොකී සියල්ලම නිසා, ඇට්ලස්ට දැනුනේ කවදාවත් නොදැනුන අන්ත අසරණ කමක්...




ඇට්ලස්ට අන්වීක්ෂය මතට හිස ගැසුනේ ඉබේටම...

"ෂල් අයි ෆීඩ් යූ සම්තින් (මං ඔයාට මොනවා හරි කවන්නද)"...

දැන් ඔහෙලට දැනෙනවා ඇති ඇට්ලස්, ෂශීගේ තිබෙන කුඩා දුර්වලකම් නොසලකා හරින හේතුව...ඇයට තියෙන්නේ බොහොම කරුණාවන්ත හිතක්...වයසෙන් අඩු අත්දැකීම් අඩු කම හන්ද, වැඩිදුර නොහිත වැඩ කලත්, ඒවා කාලෙත් එක්ක වෙනස් වෙනවා...

ශෂී කවදත් ඔහොමයි...ඇට්ලස් කුසගින්නේ එකදිගට විවේකයක් ගත නොහැකි වැඩක පැටලුන විට, කොහෙන් හෝ සොයාගත් චොකලට් පෙත්තක් ඇට්ලස්ගේ මුවට තබා යන එක ශෂීගේ පුරුද්දක්...

"නෝ ශෂී..අයෑම් ගොයින් ටු ටේක් අ බ්‍රේක්...මයි බ්‍රේන් ඉස් ශටින් ඩවුන්..ඉට් ඉස් ඕකේ...අයි විල් ස්ටේ අන්ටිල් මිඩ් නයිට් (කමක් නෑ ශෂී...මං පොඩි විවේකයක් ගන්නවා...ඒකට කමක් නෑ...මං මැදියම් රෑ වෙනකල් ඉන්නම්)"...

ඇට්ලස් නැගිට්ටේ තමාටම මුමුණාගෙන...

එහෙම විවේකයක් ගත්ත ඇට්ලස් රාත්‍රී හතයි තිහ වෙද්දී, සෛල අවසන් අදියරයට සකස් කළා...එහි තේරුම, ඇට්ලස් රාත්‍රී එකොළහයි තිහ වෙද්දී, පරීක්ෂණයේ අවසානයට ලඟා වන බව...

ඒ අතරේ ඇට්ලස් කලේ, පාට කරපු සෛල පරිගණකය ආශ්‍රිත කරගත් පද්ධතිය හරහා කියවා ගැනීම...

කාරය ආපසු ලබා ගැනීමට ශෂීව ඩිලර් වෙත හැරලීම වෙනත් සගයෙකුට පැවරීමට ඇට්ලස් අමතක කලේ නෑ...

ඔහෙලා දන්නවද එච්චර හරියක් කරපු කාර් එකට වෙලා තිබුන දේ...

පොඩි වතුර කාන්දුවක්...වායුසමීකරණ පද්ධතියෙන්...





හොඳටෝම විද්‍යාගාර පෙම්වතා එක්ක හිත බිඳුන ඇට්ලස්..."ඇයි මටම මෙහෙම වෙන්නේ" කියල හිත හිත, බලාගෙන උන්නේ පරිගණකයේ තිරය දිහාවේ...එකින් එක බොහොම කල්පනාවෙන් කුඩා නල මාරු කරන ගමන්...





උදේ ඉඳන් කරපු දේ පලක් තියනවද කියල ඇට්ලස් එක තිතක් ගානේ පෙනෙන සෛල දිහාවේ බලාන උන්නේ නොඉවසිල්ලෙන්...

ඒ අතරේ අහම්බෙන් වගේ අහස දිහා කවුළුවෙන් බැලුව ඇට්ලස්ට පෙනුනේ අකණිටාව...ඒ කිව්වේ අකණිටා බ්‍රහ්ම ලෝකේ...




අකණිටාවේ ලා පැහැ රාත්‍රී විදුළු බුබුළු එළි පෙනුනේ වලාකුළු වල දුහුල් තිර අස්සෙන්...එතකොට තමයි ඇට්ලස්ට වේලාව ගැන හැඟීමක් ආවේ...ඒ එක්කම ඒ දසුන හිතට ලොකු සැනසීමක් ගෙනාව...

මේ දවස් වල උතුරු ඇමෙරිකාවට ඉර බහින්න අඩුම තරමෙ රාත්‍රී නවයවත් වෙනවා...ඒ හන්ද අවට පරිසරය දිහා බලල වේලාව ගැන අදහසක් ගන්න අමාරුයි...

ඔහොම ඇට්ලස් ඉද්දී, ආයිමත් දුරකථනය නාද උනා..

"හේයි, අයි හැව් ටු කම් බැක්...අයි ෆොගොට් ටු රික්වෙස්ට් ද කේජ් කාඩ්ස් (මට ආපහු එන්න වෙනවා..මට කූඩු වලට කාඩ් ඉල්ලන්න අමතක වුනා)"

ඒ ෂෙලී...

අලුත් ඉපදුන මීයන්ට සඳහා ඇවසි කාඩ් පත් ඇණවුම් කල යුත්තේ බදාදාට...ඒ ෂෙලීගේ වගකීම...එය කලින් වතාවක අමතක වීමෙන් වුනේ මහා කලබගෑනියක්...එදත් අද වගේම ෂෙලී, ඇට්ලස්ට උදව් කල දවසක්...ඒ ගැන හොඳින් දන්නා ඇට්ලස්, එය අනුමත කලේ කිසිත් නොකියාම...

"ඕකේ, අයිම් ගොන් ටු බී හිය අන්ටිල් මිඩ් නයිට් ...(හා මං ඉන්නවා මෙහෙ මැදියම් රැය වෙනකල්)"

කඩා තෙත බරිත වූ කොණ්ඩය පිස නොදාම ආ ෂෙලී දුටු විට, ඇට්ලස්ට අනුකම්පාවකුත් දැනුනා...

"අයි ජස්ට් කෙම් අවුට් ඔෆ් ෂවර්...අයි ටෝල්ඩ් හිම්, අයෑම් ගොයින් ටු ද ලැබ්... (මං නාගෙන එහෙම්ම ආවා...මං එයාට කිව්වා ලැබ් එකට යනවා කියලා)...

රාත්‍රී නවයට ඇය එහි ආවේ ඇට්ලස් ඉන්නා බව හොඳින්ම දන්නා නිසා...

විද්‍යාගාර වල හිරවූ සමහර පී.එච්.ඩි ජීවිත වල, කිසි කෙනෙකුන් නොදකින යථාර්තය...ඇට්ලස්ට හිතුනේ එහෙම...

ඒ වෙද්දී ඇට්ලස් තීරණය කරලා තිබුනේ, පාට කල සෛල කියවීම හමාර කර ලැබෙන විරාමයේ, රෑ කෑමට නිවසට ගිහින් එන්න...ඇට්ලස් ජීවත් වන්නේ, විද්‍යාගාර පරිශ්‍රයේ පේන මානයේ නිසා එය පහසුවෙන් කල හැක්කක්...

"අයෑම් ගොයින් ටු ගෝ හෝම්, හෑව් ලන්ච් ඇන්ඩ් කම් බැක් ඇට් 11.30 (මං ගෙදර යන්නයි හදන්නේ...දවල්ට කාල 11.30 වෙද්දී එනවා...)"

"ලන්ච්...වට්...නෝ, නෝ ඩිනර් (දවල් කෑම...මොකක්...නෑ නෑ රෑ කෑම)"

ඒක දෙබසක් වෙන්න කලින් ඇට්ලස් දිගටම කියාගෙන ගිහින් හය්යෙන් හිනා උනා...

දවල් කෑමක් නැතිව උන් ඇට්ලස්ගේ මොළය තවම තිබෙන්නේ පැය කීපයක් පසු පසින්...මෙවන් දවස් කොතෙකුත් පසු කර තිබුනත්, එදා දවසේ ඇතිවූ සියලුම පැටලවිලි සමඟ ඇට්ලස්ට දැනුනේ විග්‍රහ කල නොහැකි වෙහෙසක්...


එතකොට වේලාව රාත්‍රී දහය පහුවෙලා...ෂෙලී, ඇට්ලස්ව ඇයගේ කාරය ලඟට ඇරලවන්න පොරොන්දු උනේ ෂෙලීගේ කාරය, විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට "අනවසර" තැනක ගාල් කර තිබූ නිසා...

ෂෙලී එක්ක කාරයට ඇවිදගෙන යන ඇට්ලස්ට පෙනුනේ අඩ හඳ...ඒ එක්කම ඇට්ලස් හෙව්වේ අව් කණ්නාඩි යුගල...




එවෙලේ නම් ඇට්ලස් තහවුරු කරගත්තා, මොළයේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම අඩපණ වෙලා කියල...

ඇට්ලස්ගේ ආරක්ෂාව තහවුරු කරගත් ෂෙලී, සුබ රාත්‍රියක් කියමින් නික්ම ගියා...

සුබ වෙන්න රාත්‍රියක් ඉතිරි වෙලා තියෙන්නපැයි...ඇට්ලස්ට හිතුනේ එහෙම...

නිවසට ගිය ඇට්ලස් කලේ බත් කටවල් එක දිගට ගිල දැමීම...

ආයිමත් දුරකථන ඇමතුමක්...

ඒ ඇට්ලස්ගේ ආදරණීය අම්මාගෙන්...

ඇට්ලස් ඇමෙරිකාවට එනකල්ම, උදේට බස් එකේ නගින්න කලින් අම්ම කලේ බත් කවනෙක...

බඩ පිරුනයින් පස්සේ, ඔහෙලට වගේම යෝධයින්ටත් නිදිමත එනවා...උන් නිදාගන්නේ, බර කරේ තියාගෙන...ඒක පුරුදු ඇට්ලස් ඇස් යන්තමට ඇරගෙන ගිහින්, ඉතිරි පරීක්ෂණ කටයුත්ත නිමා කරලා ආවේ නිදාගන්න බලාගෙන...

උදේ ඉඳන් රේස් දුවපු මොළේ අඩපණ උනාට, නිදාගන්න බෑ කිය කිය උමුතුවෙන් හැසිරුණ හන්ද, ඇට්ලස්ට නින්ද ගියේ කොයි වේලාවේද කියන්න හරියට මතකයක් නෑ...

ඉන් පස්සේ එළඹුණ, බ්‍රහස්පතින්දා, සිකුරාදා දෙකම එක සීරුවට ආයිමත් ඇට්ලස්ට වැඩ කරන්න උනේ, ඒ පරීක්ෂණයේ කොටස් දවස් පහක් පුරා ක්‍රියාත්මක වෙන නිසා...

සිකුරාදා හවස් වෙද්දී ඇට්ලස්ට පිහිට උනේ මොන්ස්ටර්...දිවා අහාරයට පිරියක් තිබුනේ නෑ වෙහෙස වැඩි කමට...

ලෝකේ තියන විසම මොන්ස්ටර්ස්ලාගෙන් එකෙක් එන්නත් කරගත්තු ඇට්ලස්, සිකුරාදාත් මොළය මැරෙන්නට නොදී රැකගත්තේ බොහොම අසීරුවෙන්...




මොළේ එක තැනකට ගේන්න බැරිම උනාම ඇට්ලස් කරන්නේ විද්‍යාගාරයේ රේඩියෝව මහා සද්දෙට දා ගන්නෙක...ඉන් පස්සේ ඇට්ලස් කරන්නේ වාදනය වන ඕනෙම ගීතයක් තනුව ගැන නොහිතාම කියා දැමීම...




තමන්ගේ නිදහස ඉහලින්ම අගයන ඇට්ලස්ට, කියාපු රට තමයි ඇමෙරිකාව...හෙළුවෙන් ගියත් වැඩි තැකීමක් නොකරන උතුරු ඇමෙරිකානු වාසීන් එක්ක ජීවත් වීම බොහොම පහසුයි...

කොහොමෙන් හරි, සිකුරාදාව නිමා කරන්න රාත්‍රී අට උනු ඇට්ලස්ගේ, මොළයේ ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් උනේ, සෙනසුරාදත්, ඉරිදාත්, පැය බැගින් විද්‍යාගාරයට ගොස් පැමිණි පසු සිද්ධ වුන බොහොම කණගාටුදායක සිදුවීමකින්...

ඇට්ලස්ගේ මොළය සම්පුර්ණයෙන්ම පාහේ අඩපණ වීම හේතුවෙන්, දඩුවම ලැබුවේ, ඇට්ලස් බොහෝ සේ ආදරය කරන කකුල් හතරේ රෙඩ් ප්‍රින්සස්...

"චර බරාස්"....

රෙඩ් ප්‍රින්සස්ගේ දකුණු කකුලේ, දණ පොල්කටුව කැබලි වලට කැඩුන ශබ්දයටයි ඇට්ලස්ට පියවි සිහිය ආවේ...

ඒ වෙද්දී සියල්ල සිද්ධ වී අවසන්...

ඇට්ලස්ට කඳුළු බේරෙද්දී, කිසිදා හීරිමක්වත් නොදුටු රෙඩ් ප්‍රින්සස්ගේ වළලුකර දක්වා සිරීම් තුවාලද, වළලුකර ආසන්නයෙන් පාදය ඇතුලට එබී යන සේද තුවාල ලබා තිබුනා...

ඇට්ලස්ගේ විද්‍යාගාර පෙම්වතාගෙන් අවසානයේ බැට කෑවේ රෙඩ් ප්‍රින්සස්...

"අක්කි ඔයාට වෙහෙසයි"...

නංගිලා නැති ඇට්ලස් ගැන හොයා බලන, ඇට්ලස්ගේ නගා එහෙම කිව්වේ ඊට දවසකට කලින්...

"වැඩිම උනොත් මැරෙයි"...ඇට්ලස් එවෙලේ කිව්වේ විහිළුවට...

"අනේ අක්කි මෝඩ කථා කියන්නෙපා" ඇය කිව්වේ ආදරේට...

එහෙම නංගිලා ලැබෙන්නේ වාසනාවට...ඇට්ලස්ට හිතුනේ එහෙම...

රෙඩ් ප්‍රින්සස්ට වුන ඇබැද්දියෙන් පස්සේ ඇට්ලස්ට හිතුනේ මෙහෙම...

"මැරුණ නම් මීට වඩා හොඳයි"...

හැමදාම දකින ගරාජයේ කණුවකින් තුවාල ලැබුවේ රෙඩ් ප්‍රින්සස්ගේ වරදකට නොව, ඇට්ලස්ට තිබුන විද්‍යාගාර උමතුවේ ප්‍රථිපලයක් ලෙසට...

ඒත් ඇට්ලස්ට මේ "සයන්ටිෆික් කියුරියෝසිටි" කියන එක නැති උන දාට, ආයිත් ඇට්ලස් විද්‍යාගාරයේ පැත්ත පාලත බලන එකක් නෑ... 

එහෙම එකක් ඇට්ලස්ට තියනව කිව්වේ, හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි ඇට්ලස්ගේ මහාචාර්යවරිය...

වෙලාවකට ඇට්ලස්ට හිතෙනවා, දිව්‍යලෝකෙට ගිහින් ඉන්න...ආයිමත් නොඑන්නම...

දිව්‍යලෝකේ යන්න ටිකට් එක වැඩිම උනොත් ඩොලර් නවසීයක් වෙයි...ඩලස් වලින් මැද පෙරදිග, එතැනින් දිව්‍ය ලෝකෙට බොහොම ලඟයි...

ඒ උනාට කවදාවත් නොඑන්න එහෙ යන එක ඇට්ලස්ට හීනයක්...

ඇයි හත් දෙය්යනේ, ඔය සේරම ලෝක වල බර තියෙන්නේ ඇට්ලස්ගේ කරේනේ...ඒක බිම තියන්න ඕනේ, ඇට්ලස් එහෙ යන්න නම්..එතකොට දිව්‍ය ලෝක මහා පොළවට වැටිලා, කුඩු පට්ටම් වෙනවා...ඇට්ලස්ට බෑ ඒක කරන්න හිත හදාගන්න...

එහෙ තියන, ටාට නැත්නම් ලේලන්ඩ් බස් එකක මුල්ලක හොඳට නිදාගෙන පැය දෙකක් තිස්සේ ගමන් ගිය කාලේ මෙහෙම මොළේ අමාරුවක් ඇට්ලස්ට දැනුනේ නෑ...එදත් ඒ "සයන්ටිෆික් කියුරියෝසිටි" එක එහෙමම තිබුනා...

ඇට්ලස් හිතන් උන්නේ "ස්ට්‍රෙස්" කියන්නේ මහා බොරුවක් කියල...

දැන් ඇට්ලස්ට "ස්ට්‍රෙස්" නැති ජීවිතයක් හිතා ගන්න අමාරුයි...

"වැඩිම උනොත් මැරෙයි"...................................................................

ඇට්ලස් එහෙම හිතුවට, සඳුදා කෝකටත් කියලා නිවාඩුවක් දැම්මා...මොකද රෙඩ් ප්‍රින්සස්ගේ කකුල වෙනුවට ඊළඟට තුවාල වෙන්නේ ඇට්ලස්ගේ කකුල වෙන්න පුළුවන් නිසා...

.............................................................................................................................................................