Saturday, August 6, 2016

ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල




ජීවිතය ලියා තබමි-1


"අනේ...ඒ..ඒ..ඒ....චූටි පුතේ...ඒ...ඒ..."

අම්මා දිව ආවේ යටි ගිරියෙන් කෑ මොර දෙමින්...

අඩි දෙකක් පමණ උස, වයස අවුරුදු තුනක් හෝ හතරක් වූ මල්ලීගේ කණ දෙපසින් භූමිතෙල් ගලාගෙන ගියේ, වතුර මලකින් ගලා යන සිහින් ජල පහරක් මෙන්....

"චටාස්...පටාස්...චටාස්.."....

එතෙක් අන්දමන්ද වී උන් මා පියවි ලෝකයට පැමිණිනෙන්නේ ඉවක් බවක් නැතිව අප්පච්චී විසින් දෙනු ලැබූ හනසු පහර වලින් කලවයට දැනුන වේදනාවෙන්...

වෙනදා නම් මෙවන් තක්කඩි ක්‍රියාවක් කරන මා සතුව බී ප්ලෑනක් තිබුනත්, ඒ වන විට අප්පච්චි මගේ ගැලවීමේ මාර්ග සියල්ල අහුරා තිබුනා...

වදනක්වත් නොදොඩාම, හුන් තැනම ගුලිවෙමින්, දෙකකුල් සඟවා ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදී හුන් මාව, අම්මාගේ සිහියට නැගෙන්නට ඇත්තේ එවිට...

"අනේ...ඒ...කෙල්ලට ගහන්න එපා...ආ...ඔහොමත් ගහනවද පොඩි උන්ට..."


අම්මාට පොඩි එකෙකු සේ පෙනුනද, වරදක් දුටු වහාම සියළුම බැඳීම් අමතක කරන අප්පච්චීට මාව පෙනෙන්නට ඇත්තේ, වෙසමුණි ලෙසින්...

භූමිතෙල් පහර කෑ මගේ පොඩි කොලු පැටියා සිටියේ කිසිවක් නොවූ විලසින්...එදා සේම අදත්, අකාශයම පෙරලී ඔහුගේ දෙපතුල ළඟ වැටුනද කිසිවක් නොවූවා සේ සිටින්නට ඔහුට ඇත්තේ අපූරු හැකියාවක්...

මා කේන්ති ගැන්වීම ඔහුගේ එකම විනෝදාංශයක් වූ නිසාවෙන්, අප දෙදෙනාම සිටියේ, සිදු වූ කලබගෑනියේ බරපතලකම ගැන කිසිදු වැටහීමක් නොමැතිව...

මේ සිද්ධිය, සෑම සැන්දෑවකම, මට පැවරුණු රාජකාරියේ කොටසක් වූ භූමිතෙල් ලාම්පුව, වී මෝලේ සිට රැගෙන ඒමේ අතුරු ප්‍රතිපලයක්...එකල පස් විය ඉක්මවූ, මගේ කුකුල් කේන්තිය ඇවිලූ එහි නිමිත්ත ගැන මට අද අමතකය...

අප්පච්චිගේ, සහල් ව්‍යාපාරයේ ප්‍රධාන කොටස වූ, වී මෝල, වී කමත සහ වී ටැංකි වල අද ශේෂ වී ඇති නටබුන් පුරා ලියැවී ඇත්තේ මගේත්, මල්ලීගේත් සුන්දර ළමා විය...

අප්පච්චීත්, අම්මාත් අප දෙදෙනාව මෙලොවට බිහි කලේ, දෙදෙනා අතම සඳුන් ගැටය බැගින් තබා නොවේදැයි මට සිතෙන්නේ, ඒ අතීතයේ නටබුන් වැසුණු වල් පැලෑටි උගුල්ලන විට...

ජීවිතයේ එක් නිමේෂයකදී ඒ සඳුන් ගැට, දෛවය විසින් අප දෙදෙනාගෙන් උදුරා ගත්තා නොවේදැයි සිතෙන විට, මට දුක දැනෙන්නේ මා පිළිබඳව නොව, එදා මෙන්ම අදත්, සියල්ල එකසේ ඉවසා දරා ගන්නා මගේ "පොඩි එකා" සිහිවය...

එකල මාසයකට වතාවක් පමණ "උඩහ" හෙවත් මැල්සිරිපුර, මැදිරිගිරිය, පොළොන්නරුව ආදී නගර වල ඇති වී ගබඩා වලින්, වී මිලදී ගන්නා අප්පච්චී, ඒවා ගෙනැවිත් ගබඩා කරන්නේ, මේ වී මෝල තුල...පළ දෙකට සකස් කර උළු හෙවිල්ලූ, කුඩා ගෙයක ප්‍රමාණයේ වපසරියක් මේ වී මෝල තුල තිබුනා කිව්වොත් නිවැරදියි...

එහි එක් පැත්තක් වී ගබඩා කිරීමට වෙන් කල අතර අනික් පස වෙන් කෙරුනේ, සහල් පිරිපහදුව සඳහා ඇති ස්ටීල් හලරය සහ එය ක්‍රියා කරවන එන්ජිම සඳහා...

http://www.appropedia.org/File:Rice_husker_construction_manual_ISFIAI_image_2.jpg

ස්ටීල් හලරයේ සහ එන්ජිමේ සැකැස්ම මේ පින්තුරයේ තියන සැකැස්මට සමානයි...එහෙත් එන්ජිම සහ හලරය සම්බන්ධ කරන කැන්වස් බෙල්ටය මීට වඩා දිගින් බොහොම වැඩියි...

එන්ජිම ක්‍රියා කල පසුව, මේ බෙල්ටය එක සීරුවට කරකැවෙන අයුරු කුඩා මගේ සිතට ගෙනාවේ ඉතා විශාල ආශ්වාදයක්...කොයි මොහොතක හෝ එයට ඇඟිල්ලක් තබා බැලීමේ නොතිත් ආශාවක් මගේ මුරණ්ඩු හිතේ කොනක තිබුනත්, මගේ ඇඟිලි වලට කිසිදාක අකරතැබ්බයක් සිදු නොවූයේ, එය අපට තහනම් කලාපයක් වූ බැවින්...  

එකල අප්පච්චී සරම කැහැපට කවා දෙදණටත් ඉහළින් නවා හැඳ, හලරයට වී ඇතුල් කිරීම බලා හිඳීම, මා බොහෝ ප්‍රිය කල දෙයක්... පිරුණු දේහයක් සහිත, ඔහුගේ රවුම් මුහුණ පුරා මතුවන දහඩිය බිඳු බාහුවෙන් පිස දමමින්, ඔහු එය කලේ කිසිදු අලස කමකින් තොරව...එදෙස බලා හිඳින කුඩා මගේ හිතට විටක දැනුනේ ඔහු පිළිබඳව දුකක්...

පියෙකුගේ දහඩිය බිඳුවකින් කල හැකි දෑ බොහෝයි...ඒවායින් කුඩා දැරියකගේ සිතක ඇඳෙන සිතුවම් අමරණීයයි...මරියානා අගාධය තුල පවා ජීවත් වන්නට ඔක්සිජන් සපයන්නේ එවැනි සිතුවම් වලින්...ලෝකාන්තයෙන් පැන පණ නසා ගන්නට නොව, බලංගොඩ දක්වාම පාලම් තනන්නට සවිය දෙන්නේ එවැනි කුඩා දහඩිය බිඳුවකින්...

අප්පච්චී සහල් ව්‍යාපාරය ඇරඹුවේ, මා ඉපදී නොබෝ කලකින්...ඒ හැත්තෑව දශකයේ අග භාගයේදී...ඒ මගේ අම්මාගේ ඇවිටිල්ලක ප්‍රථිපලයක් ලෙසින්...අප ගමට විදුලි බලය ලැබුනේ එයින් වසර දහයක් අවෑමෙන්...අප දෙදෙනාටම භූමිතෙල් ලාම්පුව, සෙල්ලම් භාණ්ඩයක් වීමට එයත් හේතුවක් වෙන්න ඇති... 

මගේ අප්පච්චිගේ පියා මිය යන්නේ, ඔහුට වයස දාහතරක තරම් කුඩා වයසකදී...ඒ හෘදයාබාධයකින්...එයින් පසු නිවසේ සියලු බර උසුලන්නට ඉතා දිරිමත් සහ බුද්ධිමත් ගැහැණියක වූ මගේ ආච්චීට එකතු වන්නේ මගේ අප්පච්චී...

කුඩා කල ඔහුට තිබුන ඇසක දුර්වලතාවයක් නිසි වයසේදී හඳුනා නොගැනීම හේතුවෙන්, ඔහු ගණිතය විෂයට දැක්වුවේ දුර්වලතාවයක්...කළු ලෑල්ලේ සටහන් වන දෑ ඔහුට නොපෙනන වග ඔහු වටහා ගන්නා විට, ඔහු බොහෝ පසු බැස හමාරයි...

එහෙත් මගේ අප්පච්චී සිංහල සාහිත්‍යට බොහෝ රුසියෙක් සහ සමතෙක්...ඔහුට තරුණ වයසේදී, ඉතා දරුණු ලෙසට "චිත්‍රපටි උණ" වැළඳී තිබූ බව ඉතා ප්‍රසිද්ධ රහසක්...චිත්‍රපටි වලට සම්බන්ධ කම් ඇති අයවලුන් සමඟ ඇති කර ගත් දැන හැඳුනුම් කම් අනුව, ලංකාව පුරා කරක් ගසා ඇත්තෙක්...මගේ නැන්දා සහ ආච්චී නිවසේ තනිකර, ඔහු මිතුරන් සමඟ රෑ පුරා චිත්‍රපටි නැරඹු බව, ආච්චී අම්මා සමඟ එකල කියා ඇත්තේ අමනාපයෙන්...එහෙත්, සුරාව, සූදුව හෝ ගැහැණිය යන තුන් පැත්තෙන්ම කිසිදු වරදක් නොකළ මගේ අප්පච්චී, විනෝදයට කල එකම දෙය එපමණයි... 

ඔහු මිය යාමෙන් පසුව, ඔහුගේ ලියකියවිලි ඇවිස්සූ මට හමුවුන කුඩා ඇක්සයිස් පොත පුරා ලියැවුන චිත්‍රපට තිර පිටපත...ඒ ඔහුගේ කිසිදාක අපට නොකියූ සිහිනයක් වන්නට ඇති...

මා කුඩා කල පටන්ම පැරණි හින්දි සහ සිංහල චිත්‍රපට ගීත, කළු සුදු රූපවාහිනියෙන් නැරඹුවේද, රේඩියෝවෙන් ඇසුවේද මගේ අප්පච්චීට පින් සිදු වන්නටය...

එදා බැටරියෙන් ක්‍රියා කරවූ කළු සුදු රූපවාහිනිය, අපේ ආලින්දයේ තැබූ තැන, "බැටරි ඇසිඩ්" ඉහිරීමෙන් ඇතිවූ සුදු පැල්ලම් පසු කලෙක ගැටළුවක් වූයේ මා කෝටිපති ඥාතිවරයෙකුට... 

ඒ මගේ අප්පච්චීගේ දේහය සහිත දෙන තබන්නට, ආලින්දය සකස් කරද්දී...රතු සිමෙන්තියේ තිබුන ඒ ඇසිඩ් පැල්ලම් ගැන, මගේ ඥාතියා කථා කලේ බොහෝ අපුලෙන්...ඒ වෙද්දී නිවසේ එදිනෙදා වියදම් දරා ගැනීමට හෝ නොහැකි අඩියක සිටියද, ඒ පැල්ලම් වලින් මතු කලේ ජීවිතයේ එක්තරා සොඳුරු කාලයක මතක සටහන්...

මගේ මතකය නිවැරදි නම්, අප්පච්චී එකල සුභාෂිණි හේමමාලා මහත්මිය විසින් සති අන්තයේ මෙහෙයවූ සිංහල චිත්‍රපට ගීතද, රන්ජිත් එදිරිසිංහ මහතා විසින් මෙහෙයවූ හින්දි ගී වැඩසටහන්ද නැරඹීම නොවරදවා කල දෙයක්...

මා නේවාසිකව සිටි කාලයේ හැර, උසස් පෙළ සඳහා නිවසින් පිටව යන තුරුම, කුමන වැඩක් ඇතත්, සති අන්තයට අප්පච්චී හා එක්ව ඒ ගී නැරඹීම ඉතාම ආශා කල දෙයක්...ඉතා සුරූපී පැරණි නිළියන් වූ නර්ගීස්, මධුබාලා, එකී නොකී සුන්දරියන් ගැන, ඔහු මටද හඳුන්වා දුන්නේ බොහොම ප්‍රේමණීය සිනාවක් මුවේ රඳවාගෙන...(ශාරුක් ඛාන්ට මා උමතු වූයේද එහි දරුණු අතුරු ප්‍රථිපලයක් ලෙස)...

උදේ පාන්දර හතරට අවදි වන ඔහු, මිටි කල සහල් ගෝනි, කුලී ක්‍රමයට ලබා ගත් ලෑන්මාස්ටරයට පටවා, ඒ පසුපසින් ඔහුගේ හොන්ඩා CD125 වර්ගයේ මෝටර් බයිසිකලයෙන් යන්නේ සහල් විකුණන මධ්‍යස්ථානයට...මෙය බස්නාහිර පළාතේ ඉතා ප්‍රසිද්ධ සහල් වෙළඳ පළක්...ඔහුගේ උදේ ආහාරය, බනිසයක් සහ ප්ලේන්ටියක්...

කිසිදාක අසාධාරණ ලෙස ගල් වැලි එකතු කල සහල් වෙළඳාම නොකළ ඔහු, භීෂණ කාලයේ පවා, බොහෝ සාධාරණ මුදලට සහල් විකුණූ බව මගේ අම්මා විටක පවසන්නේ අභිමානයෙන්...

"බාප්පේ, ඔයාට ඊට වඩා ලොකු ගාණකට ඒ හාල් ටික දෙන්න තිබුනනේ" 

ඒ භීෂණ සමයේ විශ්ව විද්‍යාල වැසූ සමයක, සිටි අප නිවසේ නැවතී සිටි මගේ අය්යා කෙනෙකු, අප්පච්චී සමඟ සහල් වෙළඳාමේ ගිය දිනක නැගූ ප්‍රශ්ණයක්...

"පුතේ එහෙම කරලා මම ආයිමත් මෙතැන හාල් විකුනන්නේ කොහොමද"

ඒ එයට මගේ අප්පච්චී ලබා දී තිබුන පිළිතුර...

නංගී සහ අම්මා සමඟ නිවසේ තනිවූ අප්පච්චී, සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත්තේ, බුලත් සිටවන අතරතුර...උරුමයෙන් ලැබුන අක්කර හතරක පමණ පොල් ආදායමෙන් සහ බුලත් වල ආදායමෙන් ඔහු අද අප සිටිනා නිවස ඉදි කර, තම නැගණියගේ විවාහය ඉතා උසස් අයුරින් සිදු කිරීමට සැලසුම් සකස් කල පොත් පත්ද මට හමුවුයේ ඔහුගේ පැරණි ලියවිලි අතරින්...

ඒවායේ පිළිවෙලින් නිවස ඉදි කිරීමට ගෙනා අමුද්‍රව්‍ය සහ අනිකුත් සියලුම වියදම් බොහෝ සවිස්තරාත්මකව සටහන්ව තිබුනා...වසර 1968 දී ඉදිකල අප නිවසේ, ප්‍රධාන නිදන කාමරය, සිමෙන්ති දැමීමට පෙර සම්පුර්ණයෙන්ම, දෙපයින් පාගා මඩ කර, රැයක් පුරාවට සකස් කර තිබුනේ ඔහු විසින්...එයින් වසර හතරකට පසු ඔහු ආර්ථික වශයෙන් යම් තරමක් පටලැවී සිටි බව වැටහෙන්නේ, මගේ නැන්දණියගේ දීගය සඳහා ඔහු යම් තරමක ණය ප්‍රමාණයක් නැවතත් රැගෙන ඇති බව ඒ පොතේම සටහන් වී ඇති බැවින්...ඔහුගේ ජීවිතය ගැන හිතන්නට ඔහු බොහෝ ප්‍රමාද වන්නට ඇත්තේ, එහෙයින්...

හින්දි නිළියන්ගේ රූපය ගැන උමතු වී සිටි මගේ අප්පච්චීගෙන් ප්‍රතික්ෂේපිත වූ මනාළියන් ගණන දහසයක්...මගේ පොඩි මස්සිනාගේ "පණු ගායට", "පණු කුඩු" ගේන්නට ගිය අප්පච්චීට එකල බෝනික්කියක් මෙන් වූ මගේ අම්මාව ඇස ගැටෙන්නේ ඒ අතරතුරෙක...මගේ වෙදැදුරු සීයාට, තම බිරිඳගේ වියෝවෙන් පසු, එකල විසි දෙවැනි වියෙහි වූ හුරුබුහුටි යෞවනියක් රැක බලා ගැනීම හිසරදයක් වෙන්නට ඇති...එහෙයින්, සියලු දුසිරිතෙන් තොරවූ සත් ගුණවත් මගේ අප්පච්චීව පෙනෙන්නට ඇත්තේ දෙවියෙකු ලෙසින්...

ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් වන්නට, ඉඩ හසර තිබූ ඒ යෞවනිය එයින් වසරක් අවෑමෙන් මගේ "චූටි අම්මා" වෙන්නේ ඒ ලෙසින්...තමාට වඩා වසර දහයකින් ලාබාල මගේ අම්මාව, මගේ අප්පච්චී එකල රැක බලා ගත්තේත්, අපව රකිනා තරම් වූ සෙනෙහසකින්...පසු කාලීනව ජීවිතේ නේක බර ඉසිලූ මගේ අම්මාට, එවන් ඉරණමක් අත් වේයැයි, අප්පච්චී එකල සිහිනයෙන්වත් හිතන්නට නැතුව ඇති... 

"මට ජනේලෙන් එබිලා බැලුවම පෙනුනේ තට්ටේ...ඒ උනාට ඔයාලගේ අප්පච්චී ඒ කාලේ ගාමිණි ෆොන්සේකා වගේ"

අපේ අම්මා, ඉඳහිටක එසේ පවසන්නේ, කිසිදාක එකදු දශමයකින් හෝ නොවුනස් වූ ඉතා උතුම් වූ ප්‍රේමයක් පෙරදැරි කරගෙන බව මා හොඳින්ම දන්නා කරුණක්...

මගේ අප්පච්චී අසනීප වන විට මගේ අම්මා පසු කරමින් සිටියේ අද මගේ වයසයි...අවුරුදු තිස්අටක් වැනි තරුණ අවධියක හිඳ, රෝගී වූ තම සැමියාටත්, අප දෙදෙනාටත්, පතිනි මවක් වූ මගේ අම්මා ගැන මසිත ඇත්තා වූ හැඟීම මෙතැන නොලිවීම ඇයට කරන අවමානයක්...සිය දරු පවුල් අත් හැර අයථා සම්බන්ධතා පවත්වන මව්වරු සිටින සමාජයක ඇය ඇත්තෙන්ම පතිනි මවක්... 

මගේ අම්මා දීග ආවේ කිසිදු දායාදයක් නොමැතිව...ඇයට තිබුනේ උතුම් ගති ගුණ සහ බුද්ධිය පමණයි...මා කෙතරම් ආච්චීට ආදරය කලද, දායාද නොමැති කම හිත දරා ගෙන, ඇය මගේ අම්මා සමඟ දබර කල කලකිරීම කිසිදා පහව යන්නේ නැහැ...

ඒවායේ මතක ලියන්නට අර සුරංග මල්ලිගේ ආච්චිට මෙන්ම වෙනම පෝස්ටුවක් අවැසිය... එහෙත් ජීවිතයේ අනූඅට වැනි විය පසු කරන්නට පින් ඇති ඇයගේ අතීත වැරදි වලට අම්මා සමාව දී ඇත...

රවුම් "අ" යන්න සහ තරාතිරම අමතක කොට තමාගේ අරමුණට ලඟා වීමේ පාඩම් මා උගත්තේ ආච්චීගෙන්...මගේ අප්පච්චී තරම් වත් කලක් ජීවත් වීමට නොලැබෙන බව නිතරම කියන මගේ සිතට, මගේ දීර්ඝායුෂ ලැබූ ආච්චීගේ ගුණ මිස, අගුණ ලියා ලැබෙන සැනසීමක් ලැබෙන්නේ නැහැ...

අම්මා කැන්දාගෙන ආ පසු ඔවුන් ජීවත් වී ඇත්තේ, අප නිවස අසල පිහිටි අප්පච්චිගේ සිල්ලර කඩයේ ආදායමෙන්...එයින් යැපෙමින් ජීවිතය දිනන්නට නොහැකි වග දැනුන අම්මාගේ ඉල්ලීම මතයි, අප්පච්චී පසු කලෙක "......, මුදලාලි" ලෙසින් ප්‍රසිද්ධ වන්නේ..

අද අපේ ගෙවත්තේ ඇත්තේ බුසල් හැත්තෑවක ධාරිතාවක් උසුලන වී ටැංකි දෙකක නටබුන්...අප්පච්චී එකල වී පොඟවන්නට දමා, රාත්‍රී නවයට පමණ විදුලි පන්දම දල්වාගෙන යන්නේ, ඒ ජලය හිස් කරන්නට...පසුදින උදෑසන තම්බා ගැනීම සඳහා පෙර සූදානමක් ලෙසින්...ඒ යන ගමන විටක අනතුරු දායක වූයේ, ඉඩම තමන්ගේ කරගෙන රැඳී උන් සුදු නාගයා ඉඳහිටක පාර අවහිර කරන හෙයින්...

විදුලි බලය නොතිබූ වසර දහය පුරාම, අප්පච්චී සහ සේවකයින් වී ටැංකි සඳහා ජලය පිරවූවේ ළිදෙන්...මට මතක ඇති කාලයේදී, අප්පච්චී ලිඳ අසල කුඩා ප්‍රමාණයේ සිමෙන්ති ටැංකියක් උස් වන්නට සාදා, එය සහ වී ටැංකි සම්බන්ධ කරමින් ජල නල පද්ධතියක් සකස් කළා...ලිඳෙන් ගෙන කුඩා සිමෙන්ති ටැංකියට පුරවන ජලය නල ඔස්සේ, විශාල ටැංකි වලට ලබා දීමට...

පොඟවන වී, ඉන් පසු තම්බා ගන්නේ "ගොවියා ක්‍රමයට"...අද එය අසා දැනගන්නට අප්පච්චී නොමැති හෙයින්, මා විකිපිඩියාගෙන් අසා දැනගත් කරුණු මත එසේ කියන්නේ අනුමානයෙන්...

මේ පහත රූපයේ ඇත්තේ, වී පොඟවන ටැංකි දෙකත්, ඉන් පසු හුමාලයෙන් තම්බා ගන්නා සිදුරු සහිත දැල් කොටුව, සහ යටින් ජලය පුරවා ඇති සැකැස්ම...



මෙහිදී වී තම්බාගන්නේ හුමාලයෙන්...සිදුරු සහිත තහඩු වලින් නිර්මාණය කල හතරැස් කොටුවකට වී පුරවා, ඊට යටින් කොටසකට ජලය පුරවා, ඒ ජලය රත් කිරීම තමයි මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ...ඉන්ධන වශයෙන් යොදා ගන්නේ දහය්යා...මේ දහය්යා ලැබෙන්නේ කලින් වතාවලදී, පිරිපහදු කරන වී වලින්...

රූපයේ දහය්යා බ්ලොවරයක් තිබුනත්, අප නිවසේ එය කලේ "සුදු මාමා", "කරුණාරත්න මාමා", ආදී අප්පච්චීගේ සේවකයින්ගෙන් කෙනෙකු විසින්...තමාගේ යටතේ වැඩ කල ඕනෑම සේවකයෙකුට, අය්යේ හෝ මල්ලියේ කියා ඇමතූ මගේ අප්පච්චී, අපටත් හුරු කල තිබුනේ "මාමා" යනුවෙන් ඔවුන් ඇමතීමට...

තමාගේ අභිමානය සහ නායකත්වය එලෙසම පවත්වා ගනිමින්, මිනිසත්කම පතුරුවන්නට හැකි වූ අප්පච්චීගේ ඒ ගුණය මා සැමදා අගය කරන්නක්...

කොයි යම් හෝ මාමා කෙනෙකු "දහය්යා ගැසීම" බලා සිටීමට, පිජාමාව පිටින්ම මා වී කමතට යන්නේ උදේ පාන්දරින්ම...එක් දහය්යා ගැසීමකින්, මතු වන ගිනි දැල් ජාලාව මා දෙනෙත් තුල මවන්නේ කතන්දරයක්...අප්පච්චී බොහෝ වාරයක් රෙදි කැබලි ඔතා වී තම්බන ටැංකියට ගසා ඇති ලී ඇබය කොයි මොහොතේ ගලවම්දැයි, අන්දමන්ද වී සිතීමත්, ඒ අතරේම සිදු වුන දෙයක්...

අද වන විට සිදුවූ කිසිවක් මතකයේ නැතත්, එක් උදෑසනක, ඒ ඇබය ගැලවීම ක්‍රියාවට නංවාලන්නට මා තීරණය කර ඇත්තේ, පෙර අකුසලයකට...අහල සිටි මා කොහේදැයි සොයා ඇස යැවූ සුදු මාමා, ඇබයේ උසට ආසන්න උසක් සහිත වූ මා, එය අල්ලා ගෙන සිටිනු දැක ඇත්තේ මගේ පෙර පිනකට...ඔහු එක් නිමේෂයකින් පැන, එක් අතකින් මා ඔසවා ගෙන ඇත්තේ, දහය්යා ගැසූ "හැන්ද" අනිත් අතින් අත හරින්නට වෙලාවක් නොගෙනම...

"සුදු මාමා" ද මීට වසරකට පමණ පෙර ජීවිතයෙන් සමුගෙන ගියත්, ඔහු එදා එතන නොසිටියේ නම්, මේ කතාව ලියන්නට මා ජීවත් නොවෙනු ඇති...එසේත් නොමැති නම්, බොහෝ පැසෙන ජලයෙන් පිළිස්සුම් තුවාල ලබා, විරූපී වූ සිරුරක් සහිතව විඳවන්නට වෙනවා නොඅනුමානයි...


"ආච්චියේ...ඒ.ඒ... උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්"

මා මර හඬ තැලුවේ හඬමින්...

අප්පච්චී, ආච්චී, අම්මා, උන් සේවකයින් සියල්ලන්ම, කෙටි දුර දිවීමේ තරඟයකට සහභාගී වෙන්නන් මෙන්, "වී පෝරු" ද රැගෙන, කමතේ ඇති වී සියල්ල "අකුලා", මෝලට ගැනීමේ මහා මෙහෙයුමක...

එකල ජලයට සහ වැස්සට මර බියක් දැක්වූ කුඩා දැරියක වූ මා, ආච්චී කියා දුන් අන්දරේ කතාවේ දෙබස් කියමින් මේ හඬා වැටෙන්නේ, දන් ගෙඩියක පැහැය ගත් අහස දෙස බලාගෙන...

මගේ කෑ ගැසීමට කේන්ති ගොස් හුන් අප්පච්චීගෙන්, මා හට හනසු පහරක් ලැබෙන්නට කලින්, අම්මා පැමිණ මගේ මුව තද කරගෙන මාව ගෙතුලට රැගෙන ගිය වගක් මට යාන්තමින් මතකයි...

සහල් ව්‍යාපාරිකයින්ගේ පරම සතුරා වන වැස්ස, වී තොගයකින් ලබා ගන්නා සම්පුර්ණ ලාභයම අවහිර කරන්න සමත්...එක් වැහි රැල්ලකට හෝ තම්බා වේලා ගත් වී නිරාවරණය වුවහොත්, එයින් වෙන් කරන සහල් පුස් බැඳීම සහ අව පැහැ ගැන්වීම වලකන්නට එකළ ක්‍රමයක් තිබුනේ නැහැ...

එහෙයින් එදා එසේ කෑ ගැසුවද, පසු කාලීනව මමත්, මල්ලීත් දෙදෙනාම වැඩි වයසක් නැතත් මේ "වී ඇකිලීමේ" ක්‍රියාවට සහභාගී වූයේ, එයින් ලැබෙන පාඩුව ගැන යම් අවබෝධයක් ඇතිව...

...................................................................................................................................................

මගේත්, මල්ලිගේත් බාල කාලයේ, පාසැල් කාලයෙන් පසු බොහෝ වෙලාවක් ගත කලේ මේ වී කමතේ...ඒ මතක තවත් පොස්ටුවකට ගෙන යන්නට වීම ගැන ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා...

මේ ලියන සටහනේ ඔබට වටිනා දෙයක් නැතුව ඇති...එහෙත් මේ ජීවිතය පසු කාලීනව බොහෝ වෙනස් වෙනවා...යම් කෙනෙකුට උගත හැකි පාඩම් එහි ඇතුලත්...මා මෙය වැඩිමනත්ම ලියා තබන්නේ, අපේ ඉදිරි පරම්පරාව නොහොත් මගේ මල්ලීගේ දරු දෙදෙනා වෙනුවෙන්...අප්පච්චී ජීවතුන් අතර නැති කමින්, ඔහු ජීවිතයෙන් උගත් පාඩම් ගැන මගේ මල්ලීට කියා දෙන්නට කෙනෙක් නැති කම, මට දැනෙන ලොකු අඩුවක්...මගේ ජීවිත ප්‍රස්ථාරයේ වක්‍රයන් දිහා හැරී බලන හැම වතාවකම මට වැටහෙන දේ තමයි, එක තත්පරයක් ඇතුලත ජීවිතේ බොහෝ දෑ වෙනස් වන වග...ඒ නිසා, හෙට දින මා අවදි නොවුවහොත්, මා ජීවිතය කියවූ හැටි ලියා තැබීම කාට හෝ වැදගත් වේවි...

-----------------------------------------------------------------------------------------------------------------------------------

බැටරි ඇසිඩ් පැල්ලම් මකා ටයිල් ඇතුරූ බිමෙහි අද දුව පනින පොඩිත්තියන් දෙදෙනා දැන ගත යුතු එක් කරුණක් ඇත...ඒ ටයිල් වලට කලින් එතැන තිබුනේ, උන්ගේ සීයා ඇතිරූ රතු සිමෙන්ති බවය...

මා මේ ලියන්නෙ ඒ කතාවය...

--------------------------------------------------------------------------------------------------------------------------------

 කණ කෙකිණි විලාපෙන් තිගැස්සී 
තුන් පිරිත් හඬ මැකුණු අළුයමක
නොකියාම නුඹ ගිහින් රහසින්ම 
සැඟවුන තරු පොකුර කොයිබදැයි 
විඩාබර දෑසින් සොයන්නෙමි 
මොහොතකට දකින්නට අප්පච්චි...

දිවා රෑ නුඹේ දා බිඳු ඉසී මල් පිපී 
කිරි වැදුන මල් ගොයම දැක දැකම 
යන්න ගිය දා ඉඳන් නොකියාම 
ඉර හඳ නොපායන කන්නයක  
අස්වනු නෙලූ හැටි කියන්නෙමි 
හීනයකින්වත් එන්න අප්පච්චි...

සැඩ සුළං සැරයෙන් සිත් බිඳී 
නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම 
දුක බෙදා ගන්න බැරි කමට 
මාල ගිරවා ගියා අතහැර මාල හත 
දුක දුරා ගත් හැටි කියන්නෙමි 
ආයිමත් එයිනම් අප්පච්චි...




36 comments:

  1. හරිම සංවේදී සටහනක් පොකුරු. ඔබගේ පියාගේ පරමාදර්ශී සහ ධෛර්‍යවන්ත චරිතය ලස්සනට පැහැදිලි කර තියෙනවා. ඔහුට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි ඉයන්...ඔහු අප හැර ගිහින් දැනට අවුරුදු දාහතරක් වෙනවා...මේ පෝස්ටුව ලියන්න අතීතය දිහා හැරිලා බලද්දී, ඔහු ගැන බොහොම ගැඹුරින් අධ්‍යනය කරන්න මට පුළුවන් උනා...ඒ දේ මගේ සටහනින් ඔබට දැනුන එක ගැන සතුටුයි...

      Delete
  2. ලිපිය කියවාගෙන ගියා. අතීත සුන්දර අසුන්දර අත්දැකීම් පිරි එය අපූරු සටහනක්. අවසානයේ ඇති කවි පෙල සංවේදී කවි පෙලක්. මුලු පෝස්ටුවම නැතත් ඒ කවි පෙල තදින්ම දැනුනා පොකුරු වැහි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී...ජීවිතය කියන්නේ බොහෝ වක්‍ර ඇති ප්‍රස්ථාරයක් වගේ...ඒ ජීවිතය කියවා බැලුවාට බොහොම ස්තුතියි...ඒ කවි පෙළ දැනට වසර දෙකකට පමණ කලින් ලියවුනක්....ඒ මගේම කවිය නිසා එහෙම ලියවෙන්නට ඇති...

      Delete
  3. අව්වේ මුතු ඇට වපුරා
    ඒ මුතු පනමට හරවා
    අපේ කුසේ ගිනි නිවලා
    නුඹ කුසගින්නේ
    ඉඳ හිනැහෙන්නේ
    අපෙ අප්පච්චි....

    අපා දෙපා සිව්පාවුන්
    ගෙන එන වින වලකන්නට
    සනසා නුඹ අප වටකර
    දඬුවැට වෙච්චී
    මහ කැළේට ඇස් මානා
    අපෙ අප්පච්චි....

    ජීවිතයේ බඹර හෙලේ
    පැණි හොයලා රූටද්දී
    හිත හය්යට කණවැල් පොට
    වරපොට වෙච්චී
    දිරිය පාරමිතා පුරන
    අපෙ අප්පච්චි...

    ReplyDelete
    Replies
    1. මගේ අප්පච්චි ඇතුළු, ලොව සියලුම පියවරුන්ට උපහාරයක්ව ලියවුන මේ ගීතය, මෙතන ලියා තැබුවාට බොහොම ස්තුතියි පත්තර මලේ...

      Delete
    2. ගායනය : ක්‍රීශාන්ත එරන්දක
      පදරචනය-ගයාමත් දිසානායක
      ගී තනු-සමන්ත පෙරේරා

      Delete
  4. හැමදාම වගේ හිතට තදින්ම දැනුනා පොකුරු. වැඩියෙන්ම අන්තිමට තිබ්බ පද ටික.

    ඒ වගේමයි මේ කතාව ඇතුලෙ ඔයාලගෙ පැංචියො දෙන්නට විතරක් නෙවෙයි තව ගොඩක් දෙනෙකුට ගන්න දේවල් තියේවි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳා...ඔයාගේ වචන ටික ඉදිරි ලියමන් වලට දිරියක්...සමහර දේවල් අවැසි නැතැයි කියා කපා හරින්නට හිතුවත්, එයින් කෙනෙක් දෙයක් ඉගන ගනීවි යැයි කියද්දී, නොලියා ඉන්න බැරි වෙයි...

      Delete
  5. සුදු නැන්දේ.. සීයා ගැන විතරක් නෙවෙයි අපේ අක්මුල් සියල්ල ගැන කියවෙන සංවේදීම වූ මේ කතාව කියවන්නේ හරිම උවමනාවෙන්.. යන්න අමාරු උනත් ඔයාගේ අඩි පාරේ ඉස්සරහට එන්න හිතං ඉන්න අපි වෙනුවෙනුත් අපි වගේ තව දහසකුත් එකක් අක්කල නංගිලා වෙනුවෙනුත් වෙහෙස නොබලා මේ කතාව ලියල තියන්න.. මීට දුවලා දෙන්නා.. :)

    ReplyDelete
    Replies
    1. කමි, මුල් වචන දෙක දැක්කම ඇත්තටම මම ගැස්සුනා...මොකද ඔහොම මට කථා කරන්නේ කෙලි පැටව් දෙන්න විතරමයි...එතකොටයි මතක් උනේ කලින් පෝස්ට් එකේ එහෙම කතාවක් ලියවුනා කියල...ඔයාගේ මේ කමෙන්ටුව ඇත්තටම ඒ දෙන්න කියනවා වගේ දැනුනේ....ඇත්තටම දැනුනා... :)...බොහොම ස්තුතියි, මේ විදියේ සුන්දර අදහසක් ලියා තැබුවාට...අනිවාර්යෙන්ම ලියනවා...මේ ලෝකේ ඉන්න හැම දුවෙක් පුතෙක්ම අක්කෙක් නංගියෙක් දැන ගන්න ඕනේ දේවල් ඒ කථාවේ තියනවා.

      Delete
  6. සංවේදී අතීතාවර්ජනයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලලිත්, වේලාවෙන් ඩිංගක් වෙන් කරලා ඒ අතීතයට ගොඩ වැදුනට...

      Delete
  7. මේ සටහන මා අතීතයට, මගේ කුඩාම කාලයට ගෙනයන්නට සමත් වුනා. අපේ තාත්තා ගොවියෙකු නිසා මේ දේවල් නොහුරු නැතත් අනාගත පරපුරක් උදෙසා මේ සටහන යම් ජීවිතාවබෝදයක් ලබා දෙන්නට සමත් වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන් මල්ලි...ඔව් එක දරුවෙක් හෝ වැඩිහිටියෙක් හරි තමන්ගේ පියා, තමන් වෙනුවෙන් කරන කැප කිරීම ගැන ටිකක් ගැඹුරෙන් හිතන්න පෙළඹේවි...

      Delete
  8. කතාව ඉතාම සංවේදීයි. මම බොහොම ආසාවෙන් කියැවූවා. ඔබේ මතක සටහන් පෙළ ශෝකී වුවත් හරිම රසවත් බව කිවයුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ තුමනි, ඔබේ මේ කමෙන්ටුව මට බොහොම වටිනවා...ඇත්තටම ඒ කාලේ බොහොම සුන්දරයි...එය සතුට සෝකය දෙක අතර සම්මිශ්‍රනයක්...දුකක් උනත් රහට විඳින්න පුළුවන්...

      Delete
  9. I remember my father when i see your post. This is not a sensitive writing because i can't type in sinhala. but, tears came to my eyes.On sunday i went to see my parents. I can't describe the feeling when i see them. Parent's love is enourmous and i also experiencing it as a mother of two kids. So sensitive and so nice wathsala akka. May your father attain nibbana and iam sure he should be honoured to make such a telented and a sensitive daughter who hve humanity as you to this world. Tikiri nangi

    ReplyDelete
    Replies
    1. නංගියෝ, ඔයා ඒ පුංචි කාලේ හොස්ටල් ස්ටඩි ටේබල් එකේදී වගේම, අදත් මාව අගයනවා...බොහොම ස්තුතියි බ්ලොග් එකට ගොඩ වැදුනට...දෙමාපියෝ කියන්නේ මේ ලෝකේ ඉන්න අසම සම දෙන්නෙක්...අපේ වේගවත් කාල සටහන් වලින් එයාලව මග නොහැරෙන ලෙස කටයුතු කරන එක අපේ වගකීමක්...නැත්නම් පසුකාලීනව ඉතිරි වෙන්නේ දරා ගන්න බැරි වේදනාවක් විතරයි...ආයිමත් වතාවක් බොහොමත්ම ස්තුතියි මේ ආදරණිය සටහනට...

      Delete
  10. ගෙදරම තිබූ වීමෝලේ බත් කෑම නිසා පොකුරු කුඩා කල බෝලයක් මෙන් මහත බවට පැතිරෙන කථාවේ සත්‍යයක් නොමැති බව විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා

    ReplyDelete
    Replies
    1. කවුද අප්පේ ඔය කථා පතුරුවන්නේ :D...ඉස්සර අපේ වෙද ආතා මං දිහාවේ බලාගෙන කියනවා කියන්නේ "අනේ මේ කෙල්ලගේ කෙංචි" කියලලු...බත් සහ අනිකුත් ආහාර කියන්නේ අදටත් මගේ ජීවිතේ අන්තිමට තියන දෙයක්...ඉයන් ඔහොම කිව්වම මතක් උනේ...අපේ අප්පච්චි බොහොම ආසාවෙන් බලාගෙන උන්නා මම, අර කිව්වා වගේ බෝලයක් වගේ වෙනකල්...ඒත් මම බෝලයක් වගේ උනේ නැහැ කවදාවත් :D...

      Delete
  11. බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන්...මම ගොඩ වැදුනා...ඇත්තෙන්ම රහක් ඇති පද පෙළක්....

      Delete
  12. හරි සංවේදී අතීත මතකයන්.. //බැටරි ඇසිඩ් පැල්ලම් මකා ටයිල් ඇතුරූ බිමෙහි අද දුව පනින පොඩිත්තියන් දෙදෙනා දැන ගත යුතු එක් කරුණක් ඇත...ඒ ටයිල් වලට කලින් එතැන තිබුනේ, උන්ගේ සීයා ඇතිරූ රතු සිමෙන්ති බවය...

    මා මේ ලියන්නෙ ඒ කතාවය...// මෙන්න මේක තමයි අපේ බාල පරම්පරාවට දැනෙන්න ඕනේ.. පොකුරු ලා අපි ලියන්නේ මේ ගැන තමයි....ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු...

      ඔව් ඇත්තෙන්ම...කවිඳුලා, අපි ජීවිතේ මුහුණ දුන්න අභියෝග කොතැනක හරි සටහන් වන එක වටින්නේ, අද බාල පරම්පරාවේ සමහර දරුවෝ අභියෝග කියන්නේ බොහොම සරල දේවලට නිසා...එයාල බොහොම ඉක්මනට ජීවිතේ ඉලක්ක අත් හරිනවා...

      ආයිමත් බොහොම ස්තුතියි ඒ කතා ලියා තබන්නට දිරියක් දුන්නට...

      Delete
  13. කමෙන්ට් නොකලට මම මේ පොස්ට් එක කීප සැරයක් කියෙව්වා අක්කි. මේ පරමාදර්ශී චරිත වලට මදිකමක් වෙවී හිතෙන නිසාම. එත් ආයෙත් හිත හදාගත්තා මොනාම හරි ලියන්න, මොකද මල්ලිගේ දෝණිලාට කලින් මටත් තියෙනවා ඉගෙන ගන්න මෙතනින් ගොඩක් දේවල්. (ඒක ඇතුලේ අක්කි මගේ වගේ අයිතිය ප්‍රදර්ශනය කරගනිමකුත් තියෙනවද මන්දා :) :) )
    පුළුවන නිවාඩු වෙලාවට ලියන්න අක්කි. බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මං දන්නවා හොරෙන් කියවල ගියා කියල...අර කමෙන්ටුවක කියල තිබුනේ :)...ඒකට කමක් නැහැ...හිතෙන දේ ලියන්නම ඕනේ නෑ, ගන්න දෙයක් තියනවා නම් ඒක ජීවිතේට එක්කාසු කරගත්තම ඇති...

      ඔයත් මට ඒ දෝණිලාගෙන් කෙනෙක් වගේ තමා නගෝ...ඒ හන්ද අයිතිය තියනවා, ඕක වහෙන් ඔරෝ කියන්න දෙයක් නෑ... :) :)

      Delete
  14. හෘදෂාක්ශිය කතාකරා කීවොත්?

    ReplyDelete
    Replies
    1. ඔව් මේ මගේ කතාව...මං හිතන්නේ රසික මල්ලි අදහස් කලේ එහෙම නේද ?

      Delete
  15. දුර්ලභ විදිහේ අගනා ලිපියක්. හැඟීම් සමග තාක්ෂණික විස්තර කම්බිනශන් එක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...ඔබේ මේ ඇගයීම බොහොම වටිනවා...ජීවිතේ ඒ තරමටම ඒ දේවල් වලට බැඳිලා තිබුන නිසා ආයාසයකින් තොරවම ලියන්නට හැකි උනා ඇත්තෙන්ම...

      Delete
  16. මේ ලිපියේ මං දකින සුන්දරම දේ තමා අවංක බව.. හිතටම දැනුණු ලිපියක්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැසි දැරිය...බොහෝ විට මේ නිරායාසයෙන්ම ලියවෙන දේවල්...ඔබට ඒ නිසා අව්‍යාජ බවක් දැනෙනවා ඇති...

      Delete
  17. ඇස නොගැටුනු ලිපි. ඉතාමත් අපූරු සටහනක්. හදවත නොයෙකුත් දේ ප්‍රශ්න කරන්න ගත්තා. ඒ අපේ තාත්තා ගැන හිතුවාම. වෙනස් චරිත. වෙනස් ජීවන රටා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ (මහත්තයා කොටස හැලුවා ඔන්න)...ආයිමත් බ්ලොග් එක ලියන්න පටන් ගන්න, ඒ හිතෙන දේවල් ලියන්න...මම හිතනවා ඔබේ බ්ලොගයේ ඔබේ පියා ගැන සටහන් ඇති කියල...මට පුළුවනි නම් මෙතන ලින්ක් එක දාන්න බ්ලොග් එකේ...ඔබ බොහොම රහට ලියු කෙනෙක් කියල අහල තියනවා...

      මගේ අප්පච්චි බොහොම ධෛර්යවන්ත කෙනෙක්...කවදාවත් කිසිම දෙයක් අමාරුයි කියල නොහිතුව කෙනෙක්...ඒ වගේම බොහොම දුර දිග බලල වැඩ කර කෙනෙක්...එයාගේ ගතිගුණ තමයි මට තියෙන්නේ...හැබැයි ඉතින් එයාට ජිවත් වෙන්න බැරි උනා මම බැචලර්ස් ඩිග්රි එක ඉවර කරනකල් වත්...

      Delete