Saturday, June 30, 2018

ෆිල්-ටී ගේ ෆිල්ති වීඩියෝව සහ ලාංකීය ලිංගික අසහනය


අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි. සම්පුර්ණ අයිතිය හිමිකරු සතුය


අහම්බෙන් කියැවූ බ්ලොග් ලිපි දෙකක් නිසාවෙන් එය ඔස්සේ වැඩි යමක් ලියා තබන්නට සිතුනි. මගේ මලයාගේ කෙළි පැටවුන්ගේ වයසේ පටන් තාරුණ්‍යට එළඹෙන සියලුම අනාගත පරම්පරාවට එහි වැදගත්කමක් තිබෙන්නට පුළුවන. තවද, එවන් වයස් වල දරුවන් සිටින අපේ පරම්පරාවේ දෙමාපියන්ටද, අනාගතයේ දෙමාපියන් වන්නට සිටින තරුණ පරම්පරාවටද මේ සටහනෙන් යම් ප්‍රයෝජනයක් වනු ඇත.

ඉහත සඳහන් කල පරිදි, මේ ලිපියට ප්‍රස්තුතය වූයේ එරන්දිගේ සහ රස්තියාදුකාරයාගේ බ්ලොගයන් වල පල වූ ලිපි දෙකකි. එරන්දි නගාගේ ලිපිය තුල නෙගටිව් මාකටින් පිළිබඳව සටහන්ව තිබුනත්, එහි ප්‍රස්තුතය පැහැදිලිව අවබෝධ වූයේ රස්තිගේ සටහන කියවීමෙන් පසුවය. ඒ මා හට මේ දිනවල සමාජ ජාලා සමඟ ගනුදෙණු කිරීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බැවිනි.

මේ සියලුම කතන්දර වලට හේතු වූයේ රැප් කලාව මුල් කරගෙන නිපදවූ සංගීතමය වීඩියෝවකි. පැහැදිලි ලෙසම එරන්දිගේ සටහනෙහි ඇති සියලු කරුණු මා එකඟ වන නමුත්, රස්තිගේ සටහනේ ඇති එක් කරුණක් හැර අනික් කිසිදු කරුණක් සමඟ මා කිසි සේත්ම එකඟ නොවෙමි. 

රැප් සංගීතය හෝ ෆිල්-ටී (Fill-T) පිළිබඳව මා දන්නා මෙලෝ හසරක් නැත. නමුත් අසා දැනගත් පරිදි සහ කණට වැටහුනු පරිදි එම මියුසික් වීඩියෝ පටයෙන් දක්වා ඇති ඔහුගේ සංගීත පෙළහර පිළිබඳව මා හට කිසිදු විවාදයක් නොමැත. ඒ සංගීත ශෛලය ලාංකික රැප් ප්‍රිය කරන්නන්  හට රසවත් වනු ඇත. එහෙයින් රස්ති පවසන ලෙසින් ඔහු දක්ෂ රැප් සංගීතවේදියකු විය යුතුය. එහෙත්, කුමන ශෛලයක හෝ වේවා ගීතයක් යනු සංගීතය පමණක් නොවන බව ඔබ මා සියලු දෙනා එකඟ වන කරුණකි. 

මානවයා හෙවත් මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහු තුල පවතින ස්වයං විනය නිසාවෙන්ය. තමන් කවර සංස්කෘතියක, කවර ආගමක් අදහන්නෙකු හෝ නිරාගමියෙකු වූවද ඒ මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහුගේ ස්වයං විනයෙහි මට්ටම අනුවය. අද ඉපදුන ගැහැණු දරුවන් රමණයට සුදුසු යැයි සිතන, හොදින් වැඩුන පුරුෂයෙකුට ඇත්තේ තිරිසන් භාවයෙන් පවා ඔබ්බට ගිය, පාලනයෙන් තොර මනසකි. උසස් හැදියාවක් ඇතැයි විශ්වාස කරන, ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහෝ දෙනා තම ජීවිත වල විවිධාකාර පැතිකඩයන් වලදී තම ස්වයං විනයෙන් මිදී, තිරිසන් භාවය අභිබවා යන්නෝ වෙති. ලිංගිකත්වය යනු නිරන්තරයෙන්ම එහි පළමු පෙළ ගන්නා අංගයකි.  ෆිල්-ටී ගේ මේ වීඩියෝවෙන් නැවතත් පසක් කර දෙන්නේ ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය සහ ලිංගික අසහනයයි. 

අප කුඩා කාලයේදී පණ ඇති සහ පණ නැති වශයෙන්, සතුන් සහ ගස් කොළන් වර්ගීකරණය කරන්නට උගත්තෙමු. එසේ උගත්තාවූ පණ ඇති කොටසට අයත් සියලුම සත්වයින් තම වර්ගයා බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතු කරුණකි. මානව ලිංගික ලක්ෂණ යටතේ අප සියලු දෙනාගේම ශරීර තුල ප්‍රජනන පද්ධතියක්ද, එයට අනුයුක්ත වූ ලිංගික අවයවද පිහිටා ඇති බවද ඔබ ඉගන ගන්නට ඇත. එයට අමතරව ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව, ඔබ සියල්ලෝම මව් කිරි බී ඇති හෙයින් කුඩා කල සිටම දැන සිටින්නට ඇත. එහෙත් ෆිල්-ටී ලාටත් ඒවායෙන් ඔද වැඩෙන යුවතියන්ටත් එය හුදෙක් ලිංගික ආකර්ශණය සඳහා අලවි කල හැකි භාණ්ඩයකි. 

මිනිසාට ලිංගික ආශාවන් ඇති වන්නේ මිනිස් ශරීරයේ ඇති විවිධාකාර හෝමෝන  වල බලපෑම අනුවය. එහෙත්, මිනිසා තම ලිංගික කාර්යය අතිශය පුද්ගලිකව කිරීමට පෙළඹෙන්නේ මානව ලක්ෂණ දියුණු වීමත් සමඟ, ඔහු තමාගේ මනස පාලනය කරගැනීමට එසේත් නොමැති නම් ස්වයං විනයක් ඇති කරගැනීමට උගන්නා නිසාය.

ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. මා එසේ කියන්නේ මේ තාක් මට හමුවූ ලොව විවිධ ජාතීන් වල මිනිසුන්ට ලිංගිකත්වය යනු ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් නිසාවෙනි. ඇමෙරිකානුවන් තම සහකරුවා සමඟ එකතු වීම අදහස් කරන්නේ "මේකින් ලව්" වචනය භාවිතා කරමිනි. වසර දොළහකට පමණ පෙර මා ඉතා තරුණ අවධියේ කෙන්යාවේ නයිරෝබි නගරයේ වැසිකිළියකට ගිය විට "කොන්ඩම් භාවිතා කරන්නැයි" නිවේදනයක්ද සමඟ එහි උපත් පාලන කොපු තබා තිබුණි. ලෝකයේ බොහෝ රටවල ලිංගික අවශ්‍යතා සහ ලිංගිකත්වය තේමාවන් මූලික කරගත් රතු දිස්ත්‍රික්ක ඇත. තමාගේ කැමැත්ත පරිදි මිනිසුන්ට ඒ කලාපයන්ට ඇතුල් විය හැක. එම රටෙහි හෝ ජනපදයෙහි නීති රීති වලට එකඟව මිනිසුන්ට එහි යාමේ තහනමක් නැත. සියල්ලමට මුල් වන්නේ සිතය. සියල්ලෙන්ම මා අදහස් කරන්නේ ලෝකයේ බහුතරයක් මිනිසුන් අනිකාගේ ලිංගික නිදහසට ගරු කරන බවත් එය ජුගුප්සාජනක අමුතු පන්නයේ දෙයක් ලෙස නොසලකන බවත්ය. 

බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය. ඇමෙරිකාවේ බහුතරයක් දෙමාපියන්, තමා කුඩා දරුවන් ලිංගික අපයෝජන වලින් ගලවාගැනීම පිණිස, කුඩා කල සිටම හැඩ ගස්වති. ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ හෝ ගැහැණු දරුවන්ගේ පියයුරු, තමන්ගේ පෞද්ගලික ප්‍රදේශ බවත් (ප්‍රයිවෙට් පාර්ට්ස්), තමන් හැර පිටස්තර කිසිවෙක්ට ඒවා ඇල්වීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන්ට වටහා දෙති. මේ දරුවන් යොවුන් වියට පා තබන විට දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් විවෘත සාකච්චා හරහා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට නිසි පියවර ගනිති. එමෙන්ම පොදු මානව පෙළඹීම අනුව වැඩිවිය පත්වන දරුවන් තම සමකාලීනයන් හරහා සහ අත්දැකීම් හරහා ඔවුන්ගේ ලිංගික දැනුම වර්ධනය කරගනිති. එහෙයින් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය පිලිබඳ කුකුසක් ඔවුන් තුල ඇත්තේ නැත. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බව, යම්තම වැඩිවිය එළඹෙන ඔවුන් වටහාගන හමාරය. එහෙයින් තම දෙමාපියන් තමා ඉදිරියේ කරන්නා වූ සිප වැළඳගැනීම් ඔවුන්ගේ පවුලේ ස්ථායී භාවයේ සංකේතයක් ලෙසට ඔවුහු අවබෝධ කරගනිති. 

මිනිසුන්ට තමාට රිසි පරිදි ලිංගික කාර්යයේ යෙදිය හැකිය. ලාංකිකයින් වන අපට අපේ ජීවිත කාලයේ කොතනකදී හෝ මේ පිළබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. එහෙයින් හැට විය ඉක්මවූ විවාහක ගැහැණියක් පවා තරුණ පිරිමියෙකුගේ දෙපිට කැපෙන වචනයකින් "හිකිස්" ගා හිනා ගැස්විය හැක. ලාංකීය මිනිසාට ලිංගිකත්වය යනු ඒ සා අමුතු අත්දැකීමකි. ෆිල්-ටී පුන පුනා අපට හඟවන්නේ ඒ කරුණය. ඔහු ලාංකීය සංගීතයේ ලකුණක් වන්නේද එබැවිනි. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ, "මුව මුක්තාලතා" ගීතයේත්, කේමදාස මාස්ටර්ගේ "හෙමින් සැරේ පියා විදා" ගීතයේත්, අමරදේව මාස්ටර්ගේ "කුමරියක පා සලඹ සැලුනා" ගීතයේත්, වික්ටර් රත්නායකයන්ගේ බොහෝ ගීතවලත් රාගය සහ ලිංගිකත්වය, අතිශය සුන්දර ලෙස වර්ණනා කර තිබුනි. එහෙත් ඒ කිසිදු ගීයක ලිංගික අසහනයේ හෝ ජුගුප්සාවේ ලකුණක් හෝ නොතිබිණි. එහෙයින් ඔවුන්ට ෆිල්-ටී හට සමවන්නට නොහැකි බව මම කණගාටුවෙන් කියමි. 

ලිංගිකත්වය අරුම පුදුම දෙයක් වන ලාංකික ජන සමාජයට, මා කියූ ස්වයං විනයක් නැත. මුහුණු පොතේ ඇති ගැහැණියකගේ පින්තූරයක් දුටු පමණින් සමහරක් තරුණ පිරිස් වලට ඇත්තේ ලිංගික කුතුහලයක් සහ අසහනයක් පමණි. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිංගික ජීවිතය පිළිබඳව කල් තබා නිගමන වලට එළඹෙයි. එතැන් පටන් ඔවුහු පිඹුරුපත් සකසන්නේ ඇයව තමාගේ ලිංගික අසහනයේ ගොදුරක් කරගැනීමටය. සමහරවිටක, පින්තූරද වුවමනා නැත. ගැහැණියක ලියන්නාවූ දෙයක් පවා ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත්ය. ඒ සියල්ලෝම ලිංගිකත්වය යනු අසාමාන්‍ය දෙයක් සේ දකින ඇත්තන්ය. තරුණියක කොට සායක් හෝ කලිසමක් හැඳ, උඩුකය යම් තරමින් නිරාවණය සේ හැඳීම ලාංකික තරුණයින්ට මාස ගණනාවක් ලිංගිකව උද්දාමයට පත්විය හැකි කාරණාවකි. 

එහෙත් සියල්ලෝටම ලිංගික අවයව ඇති බවත්, ඔවුන් සියල්ලෝම රිසි පරිදි ලිංගික කාර්යක නිරතවන බවත් ඇමරිකාවේ හෝ යුරෝපයේ තරුණ, තරුණියන්ට අමුත්තක් නොවේය. උන් තමාට රිසි තරුණයෙකු හෝ තරුණියක සමඟ රැයක් ගෙවා දමති. ඔවුන් එම ලිංගික කාර්යයෙන් සෑහීමකට පත් නොවුවහොත් ඒ සම්බන්ධය ඒ රැයට, හෝ පැයට පමණක් සීමා වේ. අනියම් සම්බන්ධතා ඔවුහු හෙලා දකිති. සොඳුරු පවුල් ජීවිත ගත කරනවුන්ට ඔවුහු ගරු කරති. තමා අතින් නොතේරුම් කමට සිදු වන යම් වැරදි ඇත්නම් ඔවුහු ඒ ගැන පසු තැවෙති. ඔබ සිතා ඉන්නාක් මෙන් දියුණු රටවල බහුරතරයක් තරුණ පිරිස් වගකීමකින් තොරව ලිංගිකව හැසිරෙන්නවුන් නොවේ. ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස,  ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ.  ඔවුන් වැඩි විය පත් වූ දා පටන්, යම් මුදලක් ඉපයීමේ වගකීම දෙමාපියන් ඔවුන් වෙත පවරන හෙයින් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව උගන්නා අතරම රැකියාවක නිරත වීමයි. ඔවුන්ට ලාංකික දරුවන්ට මෙන් නිදහස් අධ්‍යාපනය නොමැති හෙයින් ඔවුහු ජීවත් වන්නේ, විශාල ණය බරක වගකීමක් දරාගෙනය. මේ බහුතරයක් තරුණ දරුවන් හට ජීවිතය, ලෝකය සහ සමාජය පිළබඳව ඔබව විශ්මයට පත් කරවන පුළුල් දැක්මක් ඇත. ඔවුන් තමාගේ වගකීම් බෙදා ගනිමින්, විවාහයට පෙර බොහෝ කාලයක් තමාගේ සහකරුවන් සමඟ එකට ජීවත් වෙති. එහිදී ඔවුන් තමන්ගේ ලිංගික චර්යාවන් සහ පෞර්ෂ ලක්ෂණ අනිකා සමඟ ගැලපේද යන්න හදාරති.  එය හුදෙක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට එහා ගිය විවාහය ගැන සිදු කරන්නාවූ පර්යේෂණයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එහෙත් දෙමාපියන් විසින් පෝෂණය කරනාවූ, රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය හදාරන්නාවූ, බොහෝ ලාංකීය තරුණ පිරිස් වලට ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ලිංගික අසහනය හෝ දේශපාලනයයි. ඔවුන් වැඩිහිටියන් වී සමාජගත වූ විට ෆිල්-ටී ලාත්, සමාජ ජාලා වල ගොදුරු සොයන්නවුනුත් බිහි වීම වැළැක්විය නොහැක. ෆිල්-ටී ලා මේ උඩ ගෙඩි දෙන්නේ එම ලිංගික අසහනයටම බව මම තරයේ කියමි.  

මම මෙසේ කියමි. ෆිල්-ටී ගේ රැපෙහිත්, පියුමි හංසමාලි ගේ පියයුරු වලත් ඇත්තේ සංස්කෘතික ගැටළුවක් නොවේය. ලිංගික කුකුසෙන්, ජුගුප්සාවෙන් සහ පිපාසාවෙන් පෙලෙන  සියලුම ලාංකීය මිනිසුන්ට මේ රැපත්, ගැහැණියකගේ පියයුරු සහ කලවාත්, හෝ සම්පූර්ණ හෙළුවත් ඉතාමත් අමන්දානන්දයට පත් විය හැකි කාරණාය. උන් සියල්ලෝම නොදන්නා කාරණය වන්නේ, උන්ගේ බිරියනට, ස්වාමි පුරුෂයනට, පෙම්වතියනට, පෙම්වතුනට, නැගණියට, මලන්ඩියට හෝ උන්ගේ නෑ සනුහරේටමද ඇත්තේ, ගැහැණුන්ට සහ පිරිමින්ට අනන්‍ය වූ ලිංගික අවයව, පියයුරු සහ ප්‍රජනන පද්ධතියන් බවය. උන් නොදන්නේ, සමස්ථ මානව සංහතියම තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ ලිංගික කාර්යයේ නිරත වන බවය. එයින් තෘප්තිමත් නොවන කල පිටස්තර පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීමට මාන බලන බවය. මේ කිසිවකින් සෑහීමට පත් නොවන්නවුන් තමන්ගේම දරුවන් හෝ සහෝදරයන් හෝ ලිංගේන්ද්රියක් ඇති ඕනෙම සත්වයෙකු සමඟ රමණයේ යෙදීමට සිතන බවය. ෆිල්-ටී ලා  සිදු කරන්නේ ස්වයං විනයෙන් තොර, අසහනකාරී මිනිසුන් උද්දාමයට පත් කිරීමය. ලිංගිකත්වය ඉතා පහත් ලෙස අලවි කර තමනුත්, තමා වටා ඉන්නා අනිකුත් සියල්ලෝමත් ජනප්‍රිය තරු කරවීමය. තමන්ගේ මතය කෙසේ හෝ ජනගත කිරීමය.

දෙමාපියනි, ඔබේ තරුණ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔබ සතු වගකීමකි. එලෙසින්ම මනා ලිංගික සෞඛයකින් යුතු, ලිංගික කුකුසකින් තොර ලිංගිකත්වයට ගරු කරන තරුණ දරුවෙකු සමාජයට බිහි කිරීම ඔබ සතු යුතු කමකි.  ලිංගිකත්වය උලුප්පන වීඩියෝවකින් උද්දාමයට පත් නොවන්නටත්, කලවා පෙනෙන සේ ඇඳුමක් අදින්නාව වූ ගැහැණු දරුවා හෝ ගැහැණියකගේ පියයුරු ලිංගික භාන්ඩයක් කර නොගන්නටත් තරම් විවෘත මනසක් ගොඩ නැංවීමට තරම් ඔබ බුද්ධිමත් වන්න. ලිංගිකත්වය යනු බොහෝ සුන්දර දෙයක් මිසක් ජුගුප්සාජනක දෙයක් නොවන බව ඔබේ දරුවාට වටහා දෙන්න. 


මිනිසුන්ගේ රස වින්දනය එකිනෙකාට වෙනස්ය. එය මම පිළිගනිමි. එහෙත් ෆිල්-ටී ලා, ඉරාජ් ලා උලුප්පන්නේ මිනිසුන්ගේ ලිංගික අහසහනයයි. පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය.  ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.  

අනාගත යෞවනයට විමර්ශනශීලි බුද්ධියක් ගොඩ නගාලීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් වන ඔබ අතය. ඔවුන්ගේ මොළ හාරා, ඔවුන් අසන්නා වූ, දකින්නා වූ  සියලු දෑ පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, විවෘතව සාකච්ඡා කිරීමටත්, ඔබ ඔවුනට අනුබල දිය යුතුය. ඔබට ෆිල්-ටී ලා, ඉරාජ් ලා, අජිත් මුතුකුමාරණ ලා හෝ කේමදාසලා හෝ ඔවුන්ගේ අනුගාමිකයන් බිහි වීම වැළක්විය නොහැක. එහෙත්, ඔවුනගේ හොඳ සහ නරක විචාරශීලි බුද්ධියකින් විනිශ්චය කල හැකි අනාගත පරම්පරාවක් ගොඩ නැගීම ඔබට ඉතා පහසුවෙන් කල හැකිය. 

මේ නවීන සමාජයේ ගෝත්‍රික අදහස් මේවා යැයි කියා සිතන්නාවූ ඔබට මම යමක් කියමි. ගල් යුගයේ මිනිසුන්, වැද්දන් සහ සීගිරි ලලනාවන් පවා විලි වසාගත්තේ යන්තමිනි. සංදේශ කාව්‍ය පුරා ස්ත්‍රී වර්ණනාවන් එමටය. මේ යුගයන් වල ජීවත් වූ මිනිසුන් අදට වඩා ලිංගිකත්වය ගැන අවබෝධයක් සහිතව, එයට ගරු කරමින්, ස්වයං විනයකින් ජීවත් වූ බවට මම විශ්වාස කරමි.  ලිංගික අවයව හැමෝටම පිහිටා ඇති බවත්, ලිංගිකත්වය යනු මානව සංහතියේ අවශ්‍යතාවයක් බව ඔවුන් දැන සිටින්නට ඇත. එසේ නොමැති වූවා නම් ඔවුහු අද මෙන් සම්පූර්ණයෙන්  විලි වසා ගන්නට පෙළඹෙනු ඇත. ඒ දියුණු වූ මානව ලක්ෂණ හරහා, මිනිසාගේ චින්තනය පිරිහීම කිනම් අභාග්‍යක්ද???

දියුණු රටවල ආයතන තුල වචනයෙන් හෝ හැසිරීමෙන් තමාට සිදු වන ලිංගික අපහසුතා වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගත හැකිය. ඒ වෙනුවෙන් බොහෝ ආයතන වලින් අනිවාර්ය වාර්ෂික පුහුණු නිර්දේශ කරනු ලබන්නේය. "උන් නටන්නේ හෙළුවෙන් යැයි" බටහිර සමාජය දෙස බොහෝ අවතක්සේරුවකින් බලන ඔබ, එහි ජීවත් වන ගැහැණු හා මිනිසුන් මෙවන් ස්වයං විනයකට යටත් බව නොදන්නවා වෙන්නට පුළුවන.  තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා පවා ඔවුන්ගේ කැමැත්තකින් තොරව ස්පර්ශ කිරීම පවා මෙම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.  මිනිසුන් යනු පොදු මිනිස් ගති ලක්ෂණ ඇත්තවුන් හෙයින්, ලෝකයේ කොතැනත් හොඳ හෝ නරක දෙවර්ගයේම මිනිසුන් ඇත්තේය. එහෙයින් රටවල් වශයෙන් මිනිසුන් වෙනස් කුලක වලට බෙදිය නොහැක. ඔබ නොදන්නා මහා වෙනස ඇත්තේ එම මිනිසුන් තුල, රටක නීති පද්ධතිය හරහා, කුඩා කල සිටම ගොඩ නැගෙන ස්වයං විනය තුලය.

............................................................................................................
ඔබ සමාජගත කරන්නාවූ අදහසක් ගානේම, ඔබ ඔබේ ඉදිරි පරම්පරාවේ එක් අයෙකුගේ හෝ අනාගතය තීරණය කිරීමට දායක වන්නේය.  

............................................................................................................
ඔවුන්ගේ එකිනෙකට වෙනස් අදහස් හරහා මෙවන් සටහනකට මග පෑදූ "මං එරන්දි" බ්ලොගයටත්, "රස්තියාදුකාරයා" බ්ලොගයටත් මාගේ ස්තුතිය පුද කරමි.



WW