දුරකථන සංවාද දෙකක්...එකම ආලින්දයක...ලෝකෙ එක කෙළවරක ඉඳන්, පුංචි දූපතක කොන් දෙකකට...
එක සංවාදයක් මැද්දෑවෙන් දැනුනේ මූසල ආරංචියක ලකුණක්...
ඇය තමන්ගේ හඬ ටිකකට බාල කරලා, ඔහුගේ සංවාදෙට කන් දුන්නා...ඔහුගේ විශ්මය දැනුන හඬත් එක්ක, එය ටිකෙන් එක දුර්වල වෙලා යනකොට ඇයට දැනුනා, එයත් තවත් එවැනිම ඇමතුමක් වග...
අවේලාවේ දුරකථනයේ නාදය, හීයක වේගෙන් මුදූ හතකින් එගොඩ වෙනකොට දැනෙන්නේ ආමාශයට හයිඩ්රොක්ලෝරික් අම්ලය එකතු වෙනවා වගේ හැඟීමක්...සීතලත් නෑ, සැරත් නෑ...හැබැයි පිච්චෙනවා...පපුව ගිහින් හත් අට වතාවක් සීලිමේ වැදිලා බිමට වැටෙනවා තත්පර ගාණක් ඇතුලත...ඒ අවුල් සහගත හැඟීම් වල දිග පළල හොඳටම දන්නේ, අනන්ත වූ අහසෙන් සහ ලුණු රහ මුදූ වතුරෙන් තමන්ගේ ආදරණීයයන්ගෙන් දුරස් වෙලා ඉන්න මිනිස්සුම විතරයි...
දැන් ටිකකට කලින් කිව්ව ඇමතුම අවේලාවේ නාවත්, ඒකෙන් ඇති කලෙත් ඒ වගෙම පෙරළියක්...
සංවාදය නිමා කරල ඔහු ඇවිත් නිහඬවම ඇය ලඟින් වැතිරුනා...සමාවෙන්න..වැතිරුනා නෙවේ සෝපාවට ඇද වැටුනා...ඇය අතර මැදින් ඇගේ සංවාදය නවත්තල, හෙමින් සීරුවේ ඔහුගේ හිස අරගෙන තමන්ගේ පපුවෙන් තියා ගත්තා...
"කවුද"
ඇය ඇහුවා...
"සුනෙත් අය්යා"
ඇයව ආපහු වතාවක් සීලිමේ වැදිලා සෝපාව උඩටම වැටෙනව වගේ දැනුනා...
"මොකක්"
ඇය හඬ පාලනයකින් තොරවම කියල දාන ගමන් ඔහුගේ ඇස් දිහා බැලුවා...
ඒ ඇස් දෙක ඇතුලේ කඳුළු සුනාමියක්...ඒ රළ ගෙඩි ඇවිත් ඔළුව ඇතුලේ මහ සද්දෙට වදින විත්තිය ඈ දැන ගත්තේ ඔහු ඔළුව අත් දෙකින්ම තෙරපාගෙන ඒ පීඩනය දරා ගන්න උත්සාහ කරන බව ඇයට දැනුන නිසා...
ඇය දන්නවා සුනෙත් කියන්නේ ඔහුට සහෝදරයෙකුටත් එහා ගිය කෙනෙක් වග...ඊයේ පෙරේද දවසකත් ඔවුන් දෙන්නගේ දුරකථන සංවාදේ අහගෙන හිටපු ඇයටත් තවම මේ කතාව අදහගන්න බැරි තරම්...
මේ කතාව කිව්වේ, මොන කතාවද ?
ඇයටයි ඔහුටයි ඒ කතාව කියාගන්න වචන ඕනේ නැහැ...සංසාරේ පුරා එකට අඬපු, එකට හිනාඋනු, ජීවිතේ බෙදා ගත්තු ඒ දෙන්නට, සන්නිවේදනයට හුඟක් වෙලාවට වචන ඕනෙ උනේ නැහැ...එක ඇස් බැල්මකින් වේදනාව, සතුට, මේ හැමදේම ගලපගන්න තරම් ගැඹුරු බැඳීමක් තියන බව දෙන්නම දැනන් උන්නා...
දැන් දෙන්නාම නිහඬයි...ඇය වේදනාව ඉවසගෙන කිසිත් නොවුනා සේ ඔහුගේ හිස පිරිමදිනවා...ඒ ශක්තිය තමයි ඔහුව හැමදාමත් ජීවත් කලේ....
එක පාරටම ඔහු වේදනාත්මක හඬ අවදි කලා...
"සුනෙත් අය්ය මැරිලා නැතුව ඇති"
ඇය විසල් දෙනෙතින් ඔහු දෙස බැලුවා...ඔහුගේ හදවතේ අන්තිම අණුවත් තදබල ලෙසම කම්පනයට පත් වෙලා වග ඇයට දැනුනා...
ඇය ඉක්මනින් වචන ගලපා ගත්තා...
"ඔව් මැරිලා නැතුව ඇති, ඔයා එයාගේ මොබයිල් එකට කෝල් එකක් දීල බලන්න"
ඇය විසල් දෙනෙතින් ඔහු දෙස බැලුවා...ඔහුගේ හදවතේ අන්තිම අණුවත් තදබල ලෙසම කම්පනයට පත් වෙලා වග ඇයට දැනුනා...
ඇය ඉක්මනින් වචන ගලපා ගත්තා...
"ඔව් මැරිලා නැතුව ඇති, ඔයා එයාගේ මොබයිල් එකට කෝල් එකක් දීල බලන්න"
ඇය අට පහ නොදත් ගෑණියෙක් වගේ බොහොම අවධාරණයෙන් ඔහුට මෝඩ උත්තරයක් දුන්නා...ඒ උත්තරේ තිබුනේ ඔහුගේ හිතේ කැක්කුමට වේදනා නාශක පෙත්තක් දෙන පරමාර්ථය විතරමයි...නමුත් එය යථාර්තය නොවෙන වග ඇය හොඳටම දැනන් උන්නා...
ඇත්තටම සුනෙත් අය්යට කරදරයක් නැතුව ඇති, ඇය ඇගේ හිතටත් බොරුවක් කිව්වා...
මැරුණ මිනිහෙක් ජීවත් වෙනවා කියල හිතුවත් හිතට දැනෙන සහනය කොයි තරම් ද? ඒ එක්කම ඇයට හිතුනා...මිනිහෙක් මැරුණම ලඟට දුවගෙන ගිහිල්ලා, ඒ මිනිහ තව පාරක් හුස්ම ගනීදෝ කියල බලන් ඉන්න නැති, අඟහරු ලෝකෙට හරි ගෙනිහින් ඒ මිනිහව ජීවත් කරන්න ළඟ පාතක ඉන්න බැරි, මූදු හතකින් එහා ගෙවන මේ ජිවිතේ කොයි තරම් කාලකන්ණි කමක්ද කියල ආයිමත් ඇය හිතුවා...
ඊළඟ තත්පර කීපය ඇතුලත ඇයගේ ඒ හැඟීම් ඔහු වචන වලට පෙරළුවා...
"මගෙ මෙන්න මෙතන රිදෙනවා"...ඔහුගේ රෝම පිරුන පපුව පෙන්නලා ඔහු කිව්වා...
අපි ආදරය කරන මිනිස්සුන්ගේ මරණය පිළිගන්න කොයි තරම් නම් අකමැතිද? ඇයට හිතුනා...ඔහුගේ පුංචි ලෝකේ, සුනෙත් අය්ය ලොකු මිනිහෙක්...ඔහුගෙ ගැඹුරු පිරිමි හිත තමන්ගේ මිනිස්සුන්ට කොයි තරම් ආදරේ කරනවද කියල ඇය දන්නවා...කොයි තරම් ජීවිතේ අනිත්‍ය ගැන කතා කරත්, පෙරේදා රෑත් කතා කරපු මනුස්සයගේ පංචස්කන්දේ විතරක් රෝහලක මිනී කාමරේක තනි වෙලා කියල හිත හදාගන්න බැරි තරම් අපි ජීවිතේට ඇලිලා...මොනවද ඉතින් අපි අත හැරලා තියෙන්නේ...ඇය දිගටම හිතුවා...
ඔහු නැවතත් ඇමතුමක් ගත්තා..එකක් නෙවේ දෙක තුනක්...
අන්තිමේදී, ඔහුගේ ප්‍රාණ හා සමාන මිතුරා, සහෝදරයා, තව දුරටත් ජීවතුන් අතර නැහැ කියල ඔහු තහවුරු කරගත්තා...
"මං සුනෙත් අය්යට කිව්වා, ඔය හැටි බොන්නෙපා කියලා" ආයිමත් පොඩි ළමයෙක් වගේ ඔහු කියවන්න ගත්තා...
"දැන් හිත හදා ගන්න, අපි හැමෝම මැරෙනවා, ඒක අපි දෙන්නම දන්නවා" ඇය ආයිමත් වතාවක් තිත්ත ඇත්ත ඔහුට පැහැදිලි කළා...
"මරණය කියන්නෙම ජීවිතය...දැන් කතා කරන කෙනා ඊළඟ තත්පරේදී අපි අතර නැති වෙන්න පුළුවන්...රැයක් එළි වෙනකොට අපි මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා අපිට අහිමි වෙන්න පුළුවන්...ඒ නිසයි හැම සංවාදයක්ම ආදරණීය ලෙස අවසන් කල යුත්තේ...හැම සමු ගැනීමක්ම සදා කාලික සමු ගැනීමක් ලෙසට සැලකිය යුත්තේ...ආදරය, කරුණාව, දයාව අරපරිස්සමට තබා ගත යුතු දේවල් නෙවේ...සෑම මොහොතකම විඳිය යුතු දේවල්...ඊළඟ මොහොතේදී අපි මිය යා හැකි බව සිහි තබා ගෙන අපේ ආදරණීයයන් සමඟ බෙදා ගත යුතු දේවල්..."
ඇය ඔහුට කියාගෙන ගියා...ඔහු හිතිවිලි සමුදායක් හිර කරගෙන නින්දට ගියා...
ඇය සුපුරුදු විදියටම රෑ මැදියමේ අවදි උනා...ඔහු තද නින්දක...වෙනද විදියටම පුළුන් පොරෝනේ අස්සෙන් හීන් සීරුවේ අත යවපු ඈ ඔහුගේ නින්ද නොකැඩෙන්න මහා සටනක් කරලා, ඔහුගේ පපුවට අත තියල හුස්ම වැටෙනවද බැලුවා...
ඇත්ත...කවුරු කොහොම කිව්වත් ඒ තරම් ලේසියට බැඳීමක් අත හරින්න පුළුවන්ද...?
ඇය ලොකු හුස්මක් පිට කරලා ආයිමත් වතාවක් පොරෝනය යට ගුලි උනා...
ජීවිතේ ඉඳිකඩින් මං නික්ම යන දාට
එදා වාගෙම එන්ට ඇරලවන්නට මාව
සීතලක් දැනුනොතින් වියළි අතැඟිලි ගාව
ඉතිරි නොකරම දුන්නු උණුහුම නුඹ ගාව
මං නැතත් තියා යමි සුවඳ නුබෙ හිත ගාව...
මං නැතත් තියා යමි සුවඳ නුබෙ හිත ගාව...
...........................................................................................................
ඈ ජිවිතේ අනිත්‍ය ගැන හොඳටම දැනගෙන ඉන්න, ඒත් ඔහු නැතුව මොහොතක්වත් ජීවත් වෙන්න බැරි බොළඳ ගැහැණියක්...ඔහු බොහෝ සේ හිත දැඩි පිරිමියෙක් වුවත් දෙපාරක් නොහිත ඈ ලඟදි අඬන මිනිහෙක්...මොකද ඒ දෙන්නම දන්නවා හැඟීම් හිර කරගෙන ඉන්නවට වඩා, ඒවා පිට කරලා දැම්මොතින් ඊළඟ තත්පරේදී සැනසිල්ලේ මැරෙන්න පුළුවන් කියල...
ඔබට හිතන්න අයිතිය තියනවා...ඔබේ දුක, වේදනාව, සතුට, ආදරය ඔබත් එක්කම මැරෙන්න අරිනවද, එහෙම නැත්නම් ඔබ මෙලොව වඩාත්ම ආදරය කරන්න මිනිස්සු එක්ක ඒ හැඟීම් බෙදාගන්නවද කියල...හිතන්න වැඩිය කල් ගන්නෙපා...මොකද ඊළඟ තත්පරේ බොහොම අවිනිශ්චිතයි...
.......................................................................................................
ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~
ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~
Left loads of things to think again and again.. thanks pokuru wehi. Sorry no sinhala.. :(
ReplyDeleteThank you so much for visiting the blog and for your input...Yep, it would be worthy to stop for a bit and think...
Deleteහ්ම්ම්... මොනව කියන්නද කියලා හිතාගන්න බැහැ.. එච්ච්රටම හිත සසල කළා...
ReplyDeleteබොහොම ස්තුතියි සිතූ...තත්පරයක් නැවතිල්ලේ ජිවිතේ ගැන හිතුව නම් ඒ හොඳටම ඇති...
Deleteපිස්සු වගේ...
ReplyDeleteනික්මීම් දුකයි ඇත්තටම නික්මෙන වුන්ට වඩා ජීවත් වෙන්නවුන්ට
ඒ දුක ලියල නිම කරන්නබෑ පොකුරු
ඇත්තෙන්ම මහේෂ්...ඒ වේදනාවේ දිග පළල දන්නේ ඒ දුක විඳපු මිනිස්සු විතරයි...බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...
Deleteතරහ වෙලා, කතා නොකර ඉන්න හැමොටම කෝල් කරන්න හිතුනා.
ReplyDeleteහිතට වැදුනා මාර විදිහට. ස්තූතියි පොකුරු...
තරහ හිතේ තියාගෙන ජිවත් වෙන එකේ තේරුමක් නැහැ...විවුර්තව කතා බහ කරලා ඕනෙම නෝක්කාඩුවක් පටලැවිල්ලක් ලිහා ගන්න පුළුවන් හේමමාලි...එහෙම උනාම හිත නිදහස්...හැබැයි ඉතින් එහෙම කියල තමන්ට අවැඩක් වෙන මිනිසුන්ව දිගින් දිගටම ඇසුරු කල යුතු නැහැ...බොහොම ස්තුතියි අදහසක් තැබුවාට...
Deleteඇයි හේමමාලිගේ පඩිය වැඩිවුනාද? පෝස්ට් කාර්ඩ් එකක් දැම්මහම ඇති.
Deleteසංවේදියි...
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ වැදිලා අදහසක් තැබුවාට...
Deleteදුක්බර කතාවක්..මේ වචන ගැලපිල්ල මරුය
ReplyDelete"ඒ ඇස් දෙක ඇතුලේ කඳුළු සුනාමියක්...ඒ රළ ගෙඩි ඇවිත් ඔළුව ඇතුලේ මහ සද්දෙට වදින විත්තිය"
බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...ඒ වගේම ස්තුතියි ඇගයීමට...
Delete. හිතට වදින්න ලියලා....
ReplyDeleteබොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ වැදුනට...ඒ වගේම අදහසටත් බොහොමත්ම ස්තුතියි..
Deleteඅපූරුයි.....කොහොම උනත් මටනම් හිතෙන්නෙම ජීවිතයට වඩා මරණය හරි ලස්සනයි කියලමයි.
ReplyDeleteබොහොම ස්තුතියි...වඩා සුන්දර ජීවිතයද මරණයද කියන දේ තීරණය කරන්නේ අපි ජීවිතය දිහා බලන විදිය අනුව කියලයි මම නම් හිතන්නේ...කෙනෙකුට එයා හිතන විදිය අනුව ඕනේ නම් මැරී මැරී ජිවත් වෙන්නත් පුළුවන්නේ...එහෙම බැලුවම ජීවිතයයි මරණයි කියන දෙකම වේදනාවක්...
Deleteලස්සන කතාවක්
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteපොකුරු වැහි හිත සසළ කරමින් ඇද වැටුණි!
ReplyDeleteබොහොම ස්තුතියි අමා මේ පැත්තට ගොඩ වැදුනට.
Delete