Showing posts with label මගේ කතාව. Show all posts
Showing posts with label මගේ කතාව. Show all posts

Tuesday, December 26, 2023

රිසර්ච් and ලයිෆ් (ජීවිතය ලියා තබමි 5)

වසර අවසාන මෙහෙයුම් වාර්ථාවෙහි සාරාංශය...

එය වසර අවසාන නිවාඩුවට පෙර, මා විසින් මට පවරා ගෙන තුබූ අවසන් කාර්යය...මා සිතා සිටියේ එය වරුවකින් නිමා කරන්නට...

දැනට ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති (research projects) හතරක්...නිමා කල එක් ව්‍යාපෘතියක්...ඒවායේ ලිඛිත ප්‍රගති වාර්ථා සකස් කිරීම් සහ වාචික ඉදිරිපත් කිරීම් (presentations)...2024/2025 අරමුදල් ලබා ගැනීම සඳහා සකස් කරන ලද තරඟකාරී පර්යේෂණ ව්‍යාපෘති යෝජනාවලි (research proposals) හයක්...නිමා කරන ලද පර්යේෂණයක දත්ත ඇතුලත් පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශනයක් සහ දැනට සකස් වෙමින් පවතින එවන් පත්‍රිකා දෙකක්...පේටන්ට් බලපත්‍රයකට අවශ්‍ය දත්ත...ඩොලර් මිලියන ගණනාවක්  වටිනා පර්යේෂණ ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාතු...එකී මෙකී නොකී කළ කී දෑ, අනිකුත් රාජකාරී මැද සාරාංශ ගත කොට හමාර වන විට දවසක් ගත වී හමාරයි...

මේ දෙවන ජෛව ආරක්ෂණ මට්ටමේ (Bio safety level 2) පර්යේෂණාගරයක් පරිපාලනය කරමින්, එහි සියලු පර්යේෂණ වැඩ කටයුතු මෙහෙයවන, පර්යේෂණාගරයේ ඇති අන්තරායකර ජීවී ද්‍රව්‍ය (biohazardous waste) බහලාන ඇසුරුම දක්වාම වග කිවයුතු විද්‍යාඥයෙකුගේ වගකීම් සම්භාරයෙන් කොටසක්...කෙතරම් සහායකයින් සිටියද, රැකියාව කෙරෙහි ආශාවෙන්, ඉතා නිවැරදිව සහ මනා කළමනාකාරිත්වයෙන් යුතුව, වගකීමෙන්, විශ්වාසදායක ප්‍රථිපල ලබා දෙන පර්යේෂණ සහයකයෙක් හමු වන්නේ ඉතා කලාතුරකින්...එවැනි තත්වයක ප්‍රධාන විශ්ලේෂක (Principal Investigator) සහ අධ්‍යක්ෂක වරයා ලෙස වගකීම් දරන විද්‍යාඥයෙකුගේ මොළයේ සියලු ස්නායු, අංශක තුන්සිය හැටක පරාසයක් ආවරණය කරන, රේඩාර් පද්ධතියක් සේ හසුරුවා ගැනීම ඉතා වැදගත්... 

මා මේ සඳහන් කරන්නේ ලාභ නොලබන (non-profit), ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂණ (medical research) ආයතනයක් යටතේ පවතින,  පර්යේෂණාගරයක් පරිපාලනය කිරීමේදී දරන්නට වන වගකීම් වලින් කොටසක්...විද්‍යාගාර අධ්‍යක්ෂක වරයෙකුගේ ප්‍රධානම අභියෝගය වන්නේ ඵලදායිතාවයෙන් යුක්ත, නව්‍ය පර්යේෂණ ව්‍යාපෘති නිර්මාණය කිරීම සහ නව ව්‍යාපෘති සඳහා අරමුදල් සොයාගැනීම... මේ පර්යේෂණ සඳහා සම්බන්ධ වන බොහොමයක් විද්‍යාඥයන්ගේත්, ඔවුන්ගේ සහායකයින්ගේත්, සම්පුර්ණ පඩිපතෙහි බරත් (full burdened salary), පර්යේෂණයට අදාළ සෘජු පිරිවැයත්, ඒ මත ගොඩ නැගෙන ආයතනීය වක්‍ර පිරිවැයත් (direct and indirect costs), මේ අරමුදල් වල අයවැයට ඇතුලත්...එහෙයින් පර්යේෂණාගරයක් පරිපාලනය කරන්නාවූ ප්‍රධානියෙකුගේ හිස මත ඇත්තේ ඉතා විශාල බරක්...එම පර්යේෂණාගාරයේ සහ එම විද්‍යාඥයාගේ වෘත්තීය ගමන් මග තීරණය වන්නේ, ඔහු හෝ ඇයගේ දැනුම සහ බුද්ධිය මත ගොඩ නගන්නාවූ පර්යේෂණ යෝජනාවලියන් විසින්...අධි පීඩන කලාපයක, මැරතන් කාල සටහනක් දුවන්නා වූ ඔවුන් තම ආත්මයෙන්ම  මේ පර්යේෂණ වලට ඇබ්බැහි වූවන්...තර්කානුකූල බුද්ධිය, දැනුම සහ රාමුවෙන් එපිට සිතීමේ හැකියාව මෙහිදී අතිශය වැදගත්...එමෙන්ම, හිරු එළිය විනිවිදන ගැඹුරු විලක් වන් නිරවුල් මනසක්ද එවැන්නෙකුට අත්‍යාවශ්‍යමයි...

ඔව්, මා දැන් මේ මැරතන් තරඟයට ඇබ්බැහි වී, ඉතාම කුඩා පර්යේෂණ ප්‍රථිපලයකින් පවා කිව නොහැකි තරමේ ආත්ම තෘප්තියක් ලබන්නියක වී හමාරයි...මෙයින් වසර විස්සකට පමණ පෙරාතුව, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයෙන් පටන් ගෙන නිව්යෝක් විශ්ව විද්‍යාලය හරහා ලෝකයේ ප්‍රධාන, ඇමෙරිකානු පර්යේෂණ බලඇණියක් දක්වා මා  ආ මේ ගමන...පැය දහසයකට වඩා නොකඩවා පර්යේෂණාගරයේ ගත කල දින ගණන්...කරන්නා වූ කුමන හෝ දෙයක, ඉතා ක්ෂුද්‍රමය හෝ නොවැදගත් යැයි සිතෙන කොටසක් පවා පරිපූර්ණ ලෙස නිමා කිරීමට ගත් උත්සාහයන්...ඉතා උසස් ගණයේ මාර්ගෝපදේශකයින්...කුමන අන්දමකින් හෝ සෑහීමකට පත් නොවූ විද්‍යාඥයින්...මේ සියල්ලම අද දිනයේ "මා" යන පුද්ගලයා සහ වෘත්තිකයා නිර්මාණය කිරීමට බොහෝ සේ ඉවහල්  වූ සාධක...

ඕනෑම මිනිසෙකුගේ අදහසක ඇති හරය පමණක් විශ්ලේෂණය කර එහි ඇති චිත්තාවේගයන් එසේත් නැතිනම් ඉමොශන්ස් (emotions) පෙරා වෙන් කරන්නට ඇති හැකියාව පසු ගිය අවුරුදු කිහිපය තුල මා හුරු කල දෙයක්...එමෙන්ම  ඉමොශන්ස් වලින් තොරව පැහැදිළිව තමන්ගේ අදහස අනිකාට ප්‍රකාශ කිරීමද මා මේ කාලය තුල ප්‍රගුණ කරමින් පවතින දෙයක්...මේ අදහස මෙතන ලියා තබන්නට හේතු වූයේ තමන් කරනා දෙය පිළිබඳව අනිකාගේ ප්‍රශංසා හෝ අදහස් බලාපොරොත්තු වීම පිලිබඳ ඉයන් ලියා තුබූ අපූරු ලිපිය නිසාවෙන්...

මගේ අදහස නම්, තමා වෙහෙස වී, කාලය, ශ්‍රමය සහ දැනුම කැප කරමින් කරන්නාවූ රාජකාරියකට හෝ කරන්නා වූ නිර්මාණයකට හෝ නඩත්තු කරන්නා වූ සම්බන්ධයකට දිය යුතු අගය පිලිබඳ හොඳම මිම්ම ඇත්තේ තමන් එයින් ලබන ආත්ම තෘප්තිය තුල... මිනිසුන් බොහෝ සේ ප්‍රතිචාර මත යැපෙන්නේ තමන් විසින් අතිශය ලෙස වින්දනය නොකරන්නාවූ  සහ තමන් ඉතා ආත්ම විශ්වාසයෙන් නොකරන්නාවූ දෑ සඳහා බවයි මගේ නම් අදහස...අනිත් අතට, නොයෙකුත් සැඟවුණු න්‍යාය පත්‍ර ඇතුව ප්‍රතිචාර ලබා දෙන මිනිසුන් සිටිනා ලෝකයක, මේ සියලු අදහස් පෙරා උරා ගැනීමත්, ඒවායින් වල්මත් නොවී එළඹි සිහියෙන් සිටීමත්, තමාගේ අරමුණු කරා යාමට ඉතා වැදගත්...එමෙන්ම, අප සියල්ලෝම පෘතග්ජනයන් වූ ලෝකයක, යම් කෙනෙකුගේ සිත සුවපත් වෙන ප්‍රශංසාත්මක අදහසක් හෝ ප්‍රතිචාරයක් ලබා දීම අපට නොමිලයේම කරන්නට හැකි දෙයක් හෙයින්, එය කිරීමට කිසිවෙක් මැලි විය යුතුත් නැහැ....සමහර විටක අප තබා යන්නා වූ ඉතා ක්ෂුද්‍ර වූත්, අතිශය සුන්දර වූත් එවන් මතකයක් හෝ සටහනක් එය ලබන්නාගේ ජීවිතයම වෙනස් කල හැකි දෙයක් වෙන්නට පුළුවන්...

ඇය මට තබා ගියේ එවන් මතකයක්...ඉතා කුඩා දැරියකව විසාකාවේ හොස්ටල් කොරිඩෝව තුල සාංකාවෙන් ඇවිද යන විටක එක් පසකට පිරූ කැරළි සහිත කෙටි කොණ්ඩයක් තිබුණ ඇය මා  සමඟ සිනාසුනේ බොහොම යන්තමට...ඇය ටිකක් නපුරු ඇති...කුඩා මට හිතුනේ එහෙම...ඒ සිනහවේ ඇය සඟවා උන් අතිශය ආදරනීය සහෝදරත්වය මා දැන ගන්නේ ඉන් වසර තිහකට ආසන්න කාලයකට පසුව මා මුහුණු පොතේ එකල ලියූ නිර්මාණ වලට ඇයගෙන් ලැබුන ප්‍රතිචාර වලින්...මින් වසර පහකට පමණ පෙර මා හදිසියේම මගේ මුහුණ පොතද බ්ලොගයද සියලුම සමාජ මාධ්‍යද අක්‍රිය කරන්නේ මිනිසුන්ගේ කලබලයෙන් මිදෙන්නට හිතාගෙන...ඒ මිනිසුන් අතර මට බොහෝ කරුණාවෙන් ආදරය කල මගේ පාසල් මිතුරියන් සහ වැඩිමහල් සහෝදරියනුත් මා ඉතා ආත්මාර්ථකාමී ලෙස අමතක කර දැමූ බව කිව්වොත් නිවැරදියි...ඉන් පසුව ඇය මට සිදු වූයේ කුමක්දැයි සොයා තිබුනත් මා ඇයට ප්‍රතිචාරයක් දැක්වීමට තරම් වෙහෙසක් දැක්වූයේ නැහැ...ඔව්, ජීවිතය බොහෝ කෙටියි...අප ආදරය කරන, අපට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් මොහොතක් කැප කිරීමට ඇති නොහැකියාව, රාජකාරී කලබලය මත පැටවූ මට, සදාකාලික  වූත්, විග්‍රහ කල නොහැකි වූත්, කවියකට පෙරලිය නොහැකි වූත්, වේදනාවක් ඉතිරි කමින් ඇය හදිසියේම යන්න ගිහින්...ඇය නමින් කල්හාරි ලියනගේ...වෘත්තියෙන් විනිසුරු වරියක්...ඇගේ සමකාලීනයන් අතර බොහෝ සේ ආදරණීය චරිතයක්...මිනිස්සුන්ට තියෙන්නේ පණ ගැහෙන හිත්...ඔබ යන්න ගියේ මට එහෙම කියාගෙන...කල්හාරි අක්කේ ඔබට සුබ ගමන්...  


..............................................................................................................

මේ ලිපිය මා විසින් මට ලබාදුන් ප්‍රශංසාවක්...කොවිඩ් වසංගතය සමඟ එළඹුන බොහෝ වෙහෙසකර වසර තුනක අවසානයේ, සියලු වසංගත රෝග පර්යේෂණ උඩු යටිකුරු වුනු කාලවකවානුවක, මේ සටහන ලියන්නට ජීවතුන් අතර සිටීම වෙනුවෙන් සිතට නැගුන ප්‍රීතිය වෙනුවෙන් ලියවුනක්...

ඔබ සැමට සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන, ඔබේ මනාපය නිවැරදිව භාවිතා කරන්නට හැකි වන, නිදුක් නිරෝගී, සුබ 2024 කට මගෙන් සුබ පැතුම් !!!  


Friday, November 24, 2023

මිනිස්සු සහ ටර්නින්ග් පොයින්ට්ස් (ජීවිතය ලියා තබමි - 4)

ශිෂ්‍යත්ව ප්‍රථිපල නම් ආව. 

පාස් උනේ නැති පොඩි එව්වෝ දුකෙන්. උන්ගෙ අම්මලා ඊටත් වඩා දුකෙන්.

සමහර පුංචි උන්ට, උන්ගෙ තවම හරි හැටියකට පටන් නොගත්ත ජීවිත ඉවරයිදෝ කියලත් හිතෙනවා ඇති. 

එත් පුතේ, ශිෂ්‍යත්වය හෝ වෙනත් කුමන හෝ විභාගයක් ඉහලින්ම පාස් උනත් නැතත්, උඹලගේ ජීවිතේ ඔය ගෙවන හැම මොහොතක්ම, පාස් වෙන්න හෝ ෆේල් වෙන්න උඹලට ලැබෙන අවස්ථාවක්. 

ඒක උඹලගේ වැඩිහියන්ටත් සමහර වෙලාවට අමතක වෙච්චි කාරණාවක්.

මගේ අම්ම, අප්පච්චිටත් එහෙම උනා. 

කොළඹ නැවතිලා ඒ ලෙවල් කරල ගමේ ආපු මං අහසින් පොළොවට වැටුන. මං කොළඹ උන්න අවුරුදු දෙක තුන ඇතුලෙ මං මගෙ අරමුණු වලින් හුඟක් පිට පැනල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා කියල මට තහවුරු වුනේ, අම්මයි, අප්පච්චියි, මල්ලියි ගෙදර ඉඳන් ජීවත් වෙන්න කරන හරඹේ දැකල.

බොහොමයක් වැඩිහිටියන්ට ජීවිතේ එක්ක හක්කලං කරද්දී අමතක වෙනවා, දරුවොන්ට හරි පාරෙ යන්න නම් කන්න බොන්න දීල,වියදමට සල්ලි හොයල දීල විතරක්ම මදි කියල. 

ඔව්, ගෙදර මුදුන් ලීය වගේ ඉන්න අප්පච්චි කෙනෙක් අවුරුදු ගාණක් තිස්සෙ අසනීපෙන් ඉන්නකොට එහෙම වෙනවා. සමහර වෙලාවට දරුවන්ගෙ ජීවිත නූල් බෝල වගෙ පැටලෙනවා. ඒ උනාට ඉතිං වැඩිහිටියෝ උනත්, අම්ම, අප්පච්චි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් ජීවිතේ පැටලෙනවා. 

අපි හිතුවට දරුවන්ට අවුරුදු දාසය දාහත උනාම උන් හරි ලොකු මිනිස්සු කියල. නෑ...ඒක එහෙම වෙන්නෙ නෑ. උන්ට මොළේට කථා නොකර උන්ගෙ බඩටයි, වස්තරේටයි කොයි තරම් සැප දුන්නත් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි දරුවො කියන්නෙ කෙවිටක් අරන් හරක් වාගේ හසුරවන්ට පුළුවන් ඈයොත් නෙවේ. ලංකාවෙන් නම වෙනියට ශිෂ්‍යත්වෙ පාස් උනාට, මටත් අවුරුදු දාහතේදී  ජීවිතේ හසුරවගන්න තරම් ඥාණයක් පහල වෙලා තිබුනේ නෑ. 

දරුවෝ ඉන්න දෙමව්පියෝ නිතරම මතක තියා ගන්න ඕනේ කාරණේ තමයි "ආරෝග්‍යා පරමා ලාභා" කියන දේ...සමහර දේවල් තියනවා තම තමන්ගේ කර්මය අනුව සිද්ධ වෙන අපිට පාලනය කරන්න අමාරු දේවල්. මගේ අප්පච්චි අසනීප වෙන්නෙ එහෙමයි කියල මං හිතන්නෙ. මටයි මල්ලිටයි ලැබිල තිබුනෙ බුදු කෙනෙක් වගේ අප්පච්චි කෙනෙක්. තමන්ගේ බිරිඳ, දරුවෝ එක්ක හදාගත්ත තමන්ගෙ කුටුම්භයෙ රජෙක් වෙලා උන්නු මිනිහෙක්. සුරාවෙන් සූදුවෙන් තොර මිනිහෙක්. එහෙම මිනිස්සුත් ලෙඩ වෙනවා. 

ඒ කාලේ වාගේ නෙවේ. අද කාලේ අපිට නිතරම කැවෙන්නේ වස විස. මේක බලන අම්මල, අප්පච්චිලට මං  කියන්නේ ඉස්සර වෙලාම තමන්ට ආදරේ කරන්න. පුළුවන් හැම මොහොතකම, තමන්ගේ මනස, සහ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කරන්න. තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. තමන්ට ආදරේ නොකරන මිනිස්සු කායිකව සහ මානසිකව පිරිහෙනවා. එහෙම කෙනෙකුට අමාරුයි තමන්ගෙ දරුවට හොඳ මාර්ගෝපදේශකයෙක් වෙන්න. 

ඉතිං, ආපහු මගෙ කතන්දරේට. 

කෙටියෙන්ම කියනව නම් හිතුමනාපෙට ඒ ලෙවල් කරලා මං ගෙදර ආව. එතකොට තමයි දැක්කෙ, ගෙදර ඈයෝ ජීවත් වෙන්න කරන හරඹේ.  අපි ගත කලේ හුඟක් අමාරු කාලයක් කියල මං දැනන් උන්නට, ගමේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මට හරියටම ඒකෙ දිග පළල තේරුනේ. 

දැන් ඉතින් මක් කරන්නද? මෙඩිසින් යනවා තියා හිතන්නවත් බෑ මට එන්න තියන ඒ ලෙවල් රිසල්ට්ස් වලින්... 

එතකොට අප්පච්චි මං වෙනුවෙන් ගොඩ ගහපු හීන... 

ඒවට මොකද වෙන්නේ... 

ඒ ගැන හිතද්දී මට එදා ඒ අවුරුදු දහ නවයෙදි දැනුන පශ්චාත්තාපය ගැන මේ වගේ ලියමනකින් විග්‍රහ කරන්න මට කවදාවත් බැරි වෙයි. 

ඒ පශ්චාත්තාපයේ පරිමාව තමයි මේ තරම් දුර ගමනක් එන්න මට ශක්තියක් උනේ.

හදවතට එකඟව ඇත්ත කියනවා නම්, මගේ ජීවිතේ ලබපු සියළුම ජයග්‍රහණ සියල්ලම මං අරන් දුන්නෙ මගෙ අප්පච්චිට. එයා තමයි මගෙ සීමාව අහසෙ ලකුණු කළේ. 

මට අහස අල්ලන්න ලොකු උවමනාවක් හිත ඇතුලෙ නොතිබුනත්, මේ ලෝකෙ මට සීමා මායිම් නැහැයි කියල මුලින්ම මගෙ හිතට කාවැද්දුවේ මගෙ අප්පච්චි....ඒක එහෙම උනාට මගෙ අප්පච්චි මං  පොළොවෙන් පළවෙනි අඩිය ගන්නවා බලන්නවත් ජීවතුන් අතර උන්නෙ නෑ. 

ඒත් මං අදටත් ඒ ගමන යනවා. 

මොකද අප්පච්චිට පස්සෙ, මට දෙවැනි අප්පච්චි වෙච්ච, ඒ උනාට මං උගෙ අම්මයි, අප්පච්චියි දෙන්නම කියල හිතන් ඉන්න මල්ලි කෙනෙක් මට ඉන්නවා. දේවතාවියක් වගේ අම්ම කෙනෙක් ඉන්නවා. තව මගෙ වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, උන් දෙන්නගේ ලස්සන ඇස් තියන අම්මයි තුන් දෙන්නත් ඉන්නවා. ඒ හැමෝගෙම ආදරෙන් මං වැටි වැටි නැගිට නැගිට අහස අල්ලන්න යනවා.

මේ කථාව මං ලියන්න ගත්තේ ජීවිතේ සමහර තැන් වල ෆේල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මගෙ ජීවිතේ සමහර  ප්‍රධාන හැරවුම් ලක්ෂ පිටිපස්සේ උන්නු, මගේ ජීවිතය ගැන මොහොතක් නැවතිලා අවර්ජනා කරන්න මාව පොළඹවපු, මට මුණ ගැහුණු  මිනිස්සු ගැන ලියන්න. ඒක පොඩ්ඩක් ඉමෝෂනල් උනා, ඒකට සමා වෙන්න. ෆේල් වෙන්න ඔන්න මෙන්න ඉන්න උන්ට මේකෙ තියන සමහර දේවල් වැදගත් වෙයි කියල මං හිතනවා. 

"ජයතුංග සර්" කියන්නෙ ඒ කියන කුලකයට අයිති මනුස්සයෙක්. ඒ මගේ පළමු රැකියාවේ මගෙ ප්‍රධානියා. ඉස්කෝලෙන් පිටදී මට හමු   වුනු පළමු ගුරුවරයා. මට ඒ වෙද්දී අවුරුදු දහනවයයි. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් නෑ මට මතක හැටියට, ඒ ලෙවල් කරලා මාස තුනක් වගේ ඇති ඔය කියන කාලේ. අහස අල්ලන්න යන්න කලින් ගෙදරට කන්න බොන්න, අප්පච්චිට බෙහෙත් ගන්න උදව්වක් වෙන්න හිතාගෙන මං  හා හා පුරා ගියපු රස්සාව. පඩිය රුපියල් 1500 සහ 2500 අතර. මට හරියටම මතක නෑ දැන්. ඒක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. තනතුර "කම්පියුටර් ඔපරේටර්".

මං හැන්දෑවේ හතරට විතර තමයි ගමේ ඉඳන් කොළඹ ඔය කියන තැනට ඉන්ටර්විව් ආවේ. ඒ වෙද්දී මට කොළඹ හොඳට හුරු උනාට (ඒ හුරු උනේ අවුරුදු දා හතේදී විතර පිටකොටුවෙ බෝ ගහ කියල හිතන්, ඒ කාලේ ට්‍රාන්ස් ඒශියා එකට මෙහා පැත්තෙන් තිබුන මොකක්ද ගහක් බලන් බැහැල ලැබුන අත්දැකීම් වලින්) කොළඹ සහ ගම අතර රෑ ගමන් මං ගිහින් තිබුනෙම නෑ. ඒ හන්ද ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳන් මගෙ ඔළුවේ තිබුනේ පිටකොටුවෙන් අවසාන බස් එක ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ. ඔහොම හිත හිත මං ඉන්ටර්විව් ගියා. 

ජයතුංග සර් හරි ප්‍රතාවත්, ඒ වගේම හරිම කරුණාවන්ත, උත්තුංග දේහදාරී මනුස්සයෙක්. නමට පිටිපස්සෙන් අකුරු ගොඩාක් තිබුනා. ඒ අකුරු වලට හරියන දැනුම වගේම, හොඳ බුද්ධියකුත් ඔහුට තිබුනා. අපි කොළඹ ඉස්කෝලේ ගියාට හරි හමන් විදියට කම්පියුටර් එකක් අත ගාල තිබුනේ නෑ.  මේ 1998 මුල කාර්තුව. 

ඔය ඉන්ටවිව් එකේ අහපු වැදගත්ම ප්‍රශ්නේ තමයි මං "ඩේටා එන්ට්‍රි" දන්නවද කියන. මං දැනන් උන්නු ඩේට එන්ට්‍රි එකක් නෑ . ඒ තියා මං හරියකට කම්පියුටර් කී බෝඩ් එකක් වත් දැකල තිබුනේ නෑ. එත් මං ක්ෂණයකින් තීරණය කළා මං  "ෆේක් ඉට් ටිල් මේක් ඉට්" තියරි එක මෙතනදී ඇප්ලයි කරනවා කියල. මං බොරු කිව්වේ නෑ. මං පොලිටිකල් උත්තරයක් දුන්න. "මාව පුහුණු කලොත් මට පුළුවන් කරන්න". ජයතුංග සර් අපේ ඉස්කෝලේ දරුවෝ ගැන දන්න, ඒ අයත් එක්ක වැඩ කරලා පුරුද්දක් තිබුන කෙනෙක්. ඒ නිසා ඔහුට මං ගැන විශ්වාසයක් තියෙන්න ඇති. ඒ නිසා මාව ඔහුගේ යටතේ සේවයට බඳවා ගත්තා. පස්සෙ තමයි සර්ට තේරුනේ මේ ලෝකේ ඉන්න බොහොම හිතුවක්කාර, නාහෙට නාහන ගෑණු දරිවියෙක් සේවයට අරගෙන, මේක මහ විසාල කරදරක් උනා කියල. 

සර් ඇරෙන්න එතන උන්නු සේරම තමන්ගේ නමට පිටිපස්සේ ලියවුන අකුරු වල සැර අපි වගේ පොඩි එව්ව්වොන්ට පෙන්නුව මිනිස්සු. මට කුඩා මොළේට වැටහුන විදියට සර්ගෙ ටැලන්ට් එක සහ ස්කිල්ස් එතන උන්න අනික් නෝනලා, මහත්තුරුන්ට ජීර්ණය කරගන්න බැරි උනා. මට උන්ව ජීරණය කරගන්න බැරි උනා. මම පිදිය යුත්තන්ට පමණක් පුදන කෙනෙක්. කිසිම කෙනෙක් ළඟ ඔහේ දණ ගහන්න මං දන්නෙ නෑ. මට ඒක කරන්නත් බෑ. රෙස්පෙක්ට් එක කියන්නෙ  තමන්ගේ තියන මොනයම් ගුණයක් නිසා හෝ අනුන්ගෙන් ලැබෙන්න ඕනේ දෙයක් කියල මං පුංචිම කාලේ ඉඳන් විශ්වාස කල දෙයක්. ඉස්කෝලෙන් ආපු ගැම්මත් ටිකක් හරි නොතිබුනා නෙවේ. ඒ හින්ද ජයතුංග සර් ඇරෙන්න මං එතන උන්නු කිසි කෙනෙක්ට හිත යටින් රෙස්පෙක්ට් කලේ නෑ. බොහොම තරුණ අවධිය නිසා මගෙ වචන වලට ෆිල්ටර්ස් තිබුනෙත් නෑ. ඉතිං ජයතුංග සර්  ඒ සම්බන්ධයෙන් බොහොම කරුණාවෙන් මට අවවාද දීල තියනව. මං සර්ට ස්තුති වන්ත වෙනවා මගෙ කොන්ද නොකැඩූ එක ගැන. අදටත් මං අතිශය රාජකාරී ලෙස, නොපෙරපු අදහස් ප්‍රකාශ කරන එහෙමත් නැත්නම් කෙලින් කතා කරන මනුස්සයෙක් විදියට තමයි මෙහෙ මිනිස්සු  මාව දන්නෙ. 

ජයතුංග සර්  මට හිතේ හැටියට කම්පියුටර් එක ඉගන ගන්න ඉඩ ඇරිය. මට ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී ලිපි ලියන විදිය ඉගැන්නුවා. ඒ ගැන හදාරන්න පොත් පිංචක් දුන්නා වගේ මතකයකුත් තියනවා. මට මාස දෙක තුනක් යනකොට එක්සෙල්, වර්ඩ්  වගේම ඩොස් ඔපරේටින්ග් සිස්ටම් එක ගැනත් සෑහෙන අවබෝධයක් ලැබුන. සර් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න අපිව බොහොම උනන්දු කෙරෙව්වා. සර්ගෙ ඉංග්‍රීසි ලිවීම සහ කථාව තිබුනේ එක්ස්ෂෙප්ශනල් ලෙවල් එකේ. සර් දිහා බලාගෙන මං බොහොමයක් දේවල් ඉගන ගත්තා. ඒ වගේම එතන අනික් උන්දලා දිහා බලල තීරණය කළා මේ වගේ මිනිස්සු යටතේ පාලනය වෙන රස්සාවක් මං කවදාකවත් කරන්නේ නෑ කියල. ලොකු කාමරයක් ඇතුලේ පේලියට පුටු තියාගෙන බොහොම පොඩි පඩියකට වැඩ කරපු මිනිස්සු දිහා බලාගෙන ලෝඩ් ල වගේ උන් ඉස්සරහ ඉඳගෙන තමන්ගෙ ශරීර වලින් දහසක් රැස් විහෙදනවා කියල හිතාගෙන උන්නු වගක් තමයි උන්දලාගේ පේන්න තිබුනෙ. 

මට මං කවුද කියල තේරුම් ගන්න  ඒ මිනිස්සු සේරම උදව් උනා. මගෙ යටිහිත දැනන් උන්න මගෙ ලඟත් ඒ වෙද්දි හරි විදියට පාවිච්චි නොකරපු එක්ස්ෂෙප්ශනල් හැකියාවක් තියනවා තියනවා. මං දැන් දන්නවා මේ හැකියාව හැමෝටම තියනවා. අවාසනාවට බොහොම ටික දෙනයි තමන්ට එහෙම හැකියාවක් තියන බව දන්නේ. 

ඔය ටික තේරුම් ගත්තට පස්සෙ මං තීරණය කළා ඉහළට ඉගන ගන්න. ඒ උනාට ගෙදර තිබුන කරදර එක්ක සහ අපේ ලංකාවේ ඒ ලෙවල් වලින් හැලෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මං දැනන් උන්නෙ නැහැ යන්න ඕනෙ හරිම පාර. 

ඔය අතරේ මං අසනීප උනා අලුත් රැකියාවට ඇවිත් මාස දෙක තුනකින් වගේ. ඒ නිසා මට ටික දොහක් ගෙදර නවතින්න උනා. ඒ ඉන්න අතරෙ, මං අරමුණක් නැතිව පත්තර වල පාඨමාලාවන් හෙව්වා. එහෙම හොයද්දි තමයි විවෘත විශ්ව විද්‍යාලය එහෙමත් නැත්නම් ඕපන් යුනිවර්සිටි එහෙමත් නැත්නම් ඒ කාලේ නම් "ඕපන්" එකේ ස්වභාවික විද්‍යාවේදී (නැචුරල් සයන්සස්) අංශයේ මූලික උපාධියට අයදුම් පත් කැඳවල තිබුනේ. ඒ කාලේ ඕපන් ඒකෙ උපාධියට ගියේ රුපියල් 36000ක් වගේ ගානක්. මට ඒ යන වියදම හොයාගන්න පැහැදිළි ක්‍රමවේදයක් නොතිබුනාට මං ඕපන් එකේ උපාධිය කරන්න ක්ෂණයකින් තීරණය කළා. අවසානයේ අප්පච්චි මං වෙනුවෙන් ඉතිරි කරලා තිබුන මුදලිනුත් (සෑහෙන ප්‍රමාණයක් මට අවුරුදු දහඅට පිරුන ගමන් ගෙදර අවශ්‍යතා වෙනුවෙන් ගන්න උනා) ඉතිරි වෙලා තිබුන කුඩා මුදල යොදවල මං උපාධිය සඳහා රෙජිස්ටර් උනා, ඒ 1998 අවසාන කාර්තුවේ. ඒ වෙනකොට ජයතුංග සර්ට වගේම මටත් ඒ රස්සාව ඇති වෙලයි තිබුනේ. මට මතක විදියට 1999 මුල කාර්තුවේ ජයතුංග සර් ඒ ආයතනයේ සේවයෙන් ඉවත් උනා.  ඉන් මාස දෙකකට වගේ පස්සෙ මමත් මගෙ පළමු සහ අවසාන "ඔෆිස් රැකියාවට" තිත තිබ්බා. 

මට ඒ ලෙවල් රිසල්ට්ස් තිබුනෙ, ඒ (සූලොජි), සී (කෙමිස්ට්‍රි), සී (බොට්නි), එස් (ෆිසික්ස්). එහෙම රිසල්ට්ස් වලින් ඕපන් එකේ මං මුලින්ම සම්පුර්ණ කරපු සබ්ජෙක්ට් එක උනු බොට්නි වලට "ඒ" එකක් ආවා. ඒ ආපු "ඒ" එක තමයි මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ. ඉන් පස්සෙ මට "ඒ" එකකට අඩුවෙන් යමක් ආව නම් ඒ උනේ මම සබ්ජෙක්ට්ස් ගොඩක් එකට කරන්න ගිහින් අමාරුවේ වැටුන වතාවක විතරයි. මට එක කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකකට බැච් ටොප් තෑග්ග පවා ලැබුනා. මිනිස්සු නොවුනට, මේ "ඒ" ගොඩවල් ටිකත් මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ. මං ඒවට අදටත් හරි ආදරෙයි. 

මට විෂය ලකුණු මට්ටම්  හරහා ලැබුන මහපොළ ශිෂ්‍යත්වයෙන්, මට  පුළුවන් උනා උපාධියට ගිය වියදෙමින් ඉතා විශාල ප්‍රතිශතයක් පියවා ගන්න. මේ හැමදේම කලේ මගේ අප්පච්චි දෙතුන් වතාවක් රෝහල් ගත වීම්, නිතර අසනීප වීම, මැද්දේ. ඒ ගැන මං කලින් ලිපියකත් ලියල ඇති. මං  ඒ අතරේ හතේ අටේ පුංචි උන්ට මැත්ස් ටියුෂන් ක්ලාසුත් කළා. 

ජීවිතේ බර කරගහගෙන යනකොට මිනිස්සුන්ට  තමන්ගේ වයස, සතුට, නිදහස, ආදරේ මේ සේරම අමතක වෙනවා. මටයි මල්ලිටයි දෙන්නටත් ඒක එහෙමම උනා.  ඒ ඔක්කොම දරා ගන්න ඕපන් එකේ මට උන්නා මාව බොහොම ආදරෙන් බලාගත්තු මට වඩා වැඩිමහල් සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ආදරේ මට දැනුන හැටි මට මෙතන විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒක එයාල දන්නෙ නැතුවත් ඇති. 

ඒ ලෙවල් ෆේල් කියන්නෙ ජීවිතේ ෆේල් වෙන එක නෙවෙයි. ලංකාවේ සම්ප්‍රදායික විශ්ව විද්‍යාලයකට යන්නම ඕනේ නෑ ජීවිතේ පාස් වෙන්න. තමන් රැකියාව කරන්න යන විෂය පථය නිවැරදි විදියකට හැදෑරීම සහ ඒ ගැන පුළුල් අවබෝධයක් තිබීම තමයි මං හිතන විදියට නම් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි අපේ හැකියාවන්, ආසාවන් සහ අවශ්‍යතාවයන් හරියට තේරුම් ගත්ත නම් නිවැරදි ගමනාන්තයට ලඟා වෙන්න පහසුයි. 

මිනිස්සුන්ගේ හුඟාක් මිත්‍යා මත තියනවා. ඒව මේ පුංචි උන්ගේ ඔලුවට වැටුනම උන් ඉතින් සදහටම නන්නන්තාර වෙලා තමයි නවතින්නේ. සුදු කොලර් රස්සාවල් විතරක් නෙවේ රස්සාවල්. ඊයෙ පෙරේදා ගෙදර වතුර බටයක් කැඩිලා ප්ලම්බර් චාජස් ඩොලර් 800කට වඩා වැඩි උනා. අමුතු ඇටේ නම් ඉතින් ඒ හැමෝම බාස් ල. තමන්ගේ හැකියාව වටහ ගන්නවත්, ඒක යහපත් රැකියාවක් කරගන්නවත් අධ්‍යාපන ක්‍රමවේදයක් අමුතු ඇටේ නෑ. 

එළඹෙන හැම තත්පරේකටම අපි වග කියන්න ඕනේ. ජීවිතේ කියන්නෙ එක පාරටම ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙවේ. තතප්රෙන් තත්පරේ, දවසින් දවස ගොඩ නගා ගන්න දෙයක්. සාර්ථක වෙන්න නම් අපි ඒ හැම තත්පරේම අපි කරන මොනම හෝ දෙයක් වේවා අති විශිෂ්ට විදියට කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ගමන සාර්ථකයි. ඒ වගේම අපිට කුඩා පරිමාණ අරමුණු හරහා තමයි මහා පරිමාණ අරමුණු වලට ලඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඕපන් එකේදි මගෙ අරමුණක් තිබුනෙ නෑ අද මං මේ ඉන්න තැනට එන්න. මට ඕනෙ උනෙ පළමු පන්තියේ සාමාර්ථයක්. මං විශ්වාස කළා ඒ හරහා මට ඊළඟට යන්න තියන පාර හොයා ගන්න ලැබෙයි කියනඑක. ඉතිං, මට ඕනේ වෙච්ච ඒ ෆස්ට් ක්ලාස් ඩිග්රි එක ගත්තා. ඒ ලෙවල් වලින් "කැම්පස්" යන්න බැරි උන මං ෆස්ට් ක්ලාස් ඩිග්රි එකක් එක්ක ඕපන් එකෙන් පිට උනා.

ඒ උනාට අප්පේ ඕපන් එක කියන්නේ විශ්ව විද්‍යාලයක්ද? දැන් ඉතින් ඔය සහතිකේ පිළිගන්නවද? ඕකෙන් මොනවද කරන්න පුළුවන් රස්සාවල්....... 

දැන් නම් ඉතිං කවුරුත් එව්වා අහන්නෙ නෑ.ඒ කාලෙ නම් කණක් ඇහිලා ඉන්න තිබුනෙ නෑ. 

කොටින්ම අප්පච්චිගේ මිනිය ගෙදර තියෙද්දී මගෙ අන්තිම සෙමෙස්ටර් එකේ අවසානම සබ්ජෙක්ට් ගියා කියලත් කයි කතන්දර කියපු එව්වො තමා අදටත් ඔය අමුතු ඇටේ ඉන්නෙ. 

එදා ඒ ගමන ගිය හන්ද තමයි මට ඊට මාස කිහිපයකට පස්සෙ කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධිය හදාරන්න අවස්ථාව හම්බවෙන්නේ. ඒ අවස්ථාව මට අරන් එන්නෙ කිසිම හිතේ කහටක් නැතිව, කිසිම හිඩ්න් ඇජෙන්ඩා එකක් නැතුව, නංගියේ මට පී.එච්. ඩී හරියන්නෙ නෑ, උඹ කරනවා නම් චාන්ස් එකක් තියනවා කියල කියාපු ඕපන් එකේදි මට මුණ ගැහුන,  මගේ ආදරණීය සහෝදරයා, ප්‍රසාද් අය්යා. 

ඒ අතින් මං හුඟක් වාසනාවන්තයි. මට ජීවිතේ බොහොම ආදරණීය, මට ආදරේ කරපු මනුස්සකම් වලින් පිරුණ "මනුස්සයෝ"  බොහොම සුළුතරයක් මුණ ගැහුණා. ඒ මිනිස්සු මගෙ ජීවිතේ පුරා ඇඳපු හැරවුම් ලක්ෂ වලින් මං මගෙ ඉවට හැරුනා.

ඔය ෆස්ට් ක්ලාස් එකේ තව කතන්දරයක් තියනවා. පී.එච්.ඩී කරන්න අවස්ථාව ලැබෙන්න කලින්, ෆස්ට් ක්ලාස් තිබුන මගෙ යාලුවෙක් මාවත් ඇදගෙන ගියා බොට්නි (මට මතක විදියට)  ඩිපාර්ට්මන්ට් එකේ තිබුන ඩිමොන්ස්ට්‍රේටර් වරුන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකකට. මාව ඉන්ටර්විව් කරපු ලෙක්චරර් නෝනා ගත් කටටම කිව්වෙ නැතයි ඔයාට මෙව්ව හරියන්නේ නෑ වගෙ කථාවක්. ඒ කියන්නෙ මට සුදුසුකම් මදිලු. ඒකට මට පොඩ්ඩක්වත් හිත රිදුනෙ නැති උනාට, ඒ සිද්ධියත් මගෙ හිතේ බොහොම තදින් සනිටුහන් වුනු සිදුවීමක්. ඒ විදියෙ දේවල් නම් ඉතිං කැම්පස් වල බොහොම සාමාන්‍යයි. ඒවායින් අඩියක් පස්සට ගන්න මිනිස්සුන්ට ජීවිතේ ගමනක් නෑ.

............................................................................................................සමහර හැරවුම් ලක්ෂ හරිම අභියෝගාත්මකයි. තමන් ගැන විශ්වාසයක් නැති මිනිහෙක්ට ඒවායෙන් හැරෙන්න හරි අමාරුයි.............................................................................................

ඉතිරි ටර්නින් පොයින්ට්ස් ගැන පස්සෙ ලියන්නම්....

Have Faith in Yourself!!!  

Every opportunity comes with its own risks...

You can't succeed if you don't have the courage to take the risks and if you are not willing step out of your comfort zone....


ජීවිතය ලියා තබමි....1

ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල

එයා...(ජීවිතය ලියා තබමි-3)



Thursday, August 30, 2018

එයා...(ජීවිතය ලියා තබමි-3)

රුව අන්තර්ජාලයෙනි 


අවුරුදු දාසයක් තිස්සෙම මට එයාව හීනෙන් පේනවා...ඔව් මාස දෙක තුනකට වතාවක්...එයාව මං නිතර දැක්ක විදියට, සමහර දාට හරිම ලස්සනට...

අපි වෙන් වෙච්චි අලුත, මට නින්දක් නිදා ගන්න ලැබුනෙම නෑ...හැමදාම වගේ එයාව හීනෙන් පෙනුනා...එයා ඇවිත් මොනවදෝ මට කියල යනවා...මහා ආගාධයක් ඇතුලේ හුඟාක් වෙලා හුස්ම හිර කරගෙන ඉඳල එළියට ආවම දැනෙන හැඟීම කොයි වගේද...ඒ හීනෙන් පස්සේ එළඹෙන උදේට මට දැනෙන හැඟීමත් ඒ වගෙයි...ඒක මහ තෝන්තු වෙච්චි හිතුවිල්ලක්...පුදුමාකාර වෙහෙසක්...හොඳට වැඩුණු ගහක් උගුල්ලලා අලුතින් හිටවල වගේ...

මුලදී වගේ නෙවේ, කාලයක් ගත වෙද්දී මට එයාව හීනෙන් පේන්නේ,  මොනවම හරි දෙයක් ගැන ඉඟියක් දෙන්න...ඒක මගෙ හිතලුවක් නෙවේ...ඒක ඇත්තටම එහෙමයි...ගොඩක් වෙලාවට ජීවිතේ ගැටළුවක් ගැන ඉඟියක්...

අපි දෙන්න එකට උන්න කාලේ, ජීවිතේ ගැන මහා දාර්ශනික සාකච්චා කරන තරමට අපි ලං වෙලා උන්නෙ නෑ...මං එයාට ඉස්සර ගොඩක් බයයි...ගොඩක් දේවල් මං කලේ එයාගේ නීති වලට බයට...එයාගේ තිබුන හිතුවක්කාර මුරණ්ඩු ගතිම තමයි මටත් තිබුනේ...එයාට  හිතුනොත්, ඒ දේ අනිවාර්යෙන් කරනවා...එයාට තිබුන පුදුමාකාර ආත්ම විශ්වාසයක්...ඒ වගේම කරන වැඩ හරි පිළිවෙලයි...එයා ඒ වගේම හරිම අවංකයි, නිර්භීතයි...කිසිම මිනිහෙක් ඉස්සරහ එයාගේ ඔලුව නැවෙන්නේ නෑ, මනුස්සකමට ඇරුනම...

අවාසනාව කියන්නේ මං එයා ගැන මේ විදියට විශ්ලේෂණය කරන්න ගත්තේ එයා මාව දාල ගිහිනුත් හුඟාක් කාලයක් ගියාට පස්සේ...මං ඇතුලේ අද වෙද්දී පැල වෙලා තියෙන්නේ, එයා වපුරාපු දේවල්...කොටින්ම කියනවා නම් මං එයාම තමයි...ඒක මට දැන් දවස ගානෙම දැනෙනවා...ඒ ගතිගුණ දැන් මටම වදයක් වෙලා...හැමතිස්සෙම එයාගේ ඒ ගතිගුණ ප්‍රගුණ කරන්න අමාරුයි...ඒ හින්ද පහුගිය දවස් ටිකේ මටත් සිද්ධ වුනා, මගෙ වටේ වෙන දේවල් දිහා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න...ඒ අස්සෙ, ඊයේ මගෙ හිත මට තර්ජනය කළා, මොළේට දැනුම් දෙනවය කියල තවත් කට පියාන ඉන්න එපාය කියල...ඔහොම මහා පීඩනයක් ඔලුවේ තියාගෙන මං ඊයේ රෑ නිදාගත්තෙ...ඉන් පස්සේ මුළු රෑ තිස්සෙම මට එයාව හීනෙන් පෙනුන...ඒක විකාර සිද්ධි දාමයක්...ඒ හීනෙන් පස්සේ මං ඇහැරුනේ බූවල්ලෙක් උගේ දඩු වලින් මගෙ මොළේ වෙලාගෙන ඉන්නවා වගේ හැඟීමක් එක්ක...ඒ එක්කම මට දැනුන, මං අර නිදාගනිද්දී කල්පනා  කරපු ගැටළුව එක්ක ගණුදෙනු කරද්දී බොහොම ඉවසිලිවන්ත වෙන්න වෙන්න ඕනෑ වගේ හැඟීමක්...එයා අර හීනෙන් ඇවිත් මට කිව්වෙ එහෙම දෙයක් කියල හිතුන...

හිතන්න, දැන් අවුරුදු දාසයක් තිස්සේ, මං මාසෙකට දෙකකට වතාවක් එයා මං ළඟ උන්න කියල හිතන් රැවටිලා හීනෙන් ඇහැරෙනවා...ඒ වේදනාව...සමහර විට වතුරේ ගිලිලා හුස්ම හිරවෙලා මැරෙද්දි දැනේනේ එහෙම වේදනාවක් වෙන්නැති...ඒක මට මෙහෙම විස්තර කරන්න බෑ...

එයා මාව දාල යද්දි මං ඇඩුවේ නෑ...මට හුඟාක් වැඩ තිබුන කරන්න එයා මාව දාල ගියාට පස්සෙ...මට මගෙ ජීවිතේ ගැන, එයා ගැන අවලෝකනය කරන්න වෙලාවක් තිබුනෙ නෑ...ඒ වුනාට, හැම මිනිහෙකුටම එනවා මට වගේ කාලයක්...ජීවිතේ ආපස්සට යන්න...එයා තමයි මගෙ ජීවිතේ, මගෙ හදවතේ ඇති වුන අතිශය ගැඹුරුම ප්‍රේමය...ඒ වුනාට මේ  ජීවිතේ රේස් දිවිල්ල හින්ද, එයා ළඟින් තුරුළු වෙලා ඉඳන් එයාට මට ආදරේ කරන්නවත්, මට එයාට ආදරේ කියන්නවත් ඉඩක් ලැබුනේ නෑ...ඒ ලංකාවේ හැටි... 

එක අවුරුදු දවසක එයා ඇඩුව...ඒ තමයි මං එයාගේ ඇස් වල කඳුළු දැක්ක එකම එක දවස...එතකොට එයා අසනීප වෙලා බොහොම කාලයක්...එයා ඒ වෙද්දී බොහොම දුප්පත් මනුස්සයෙක්...එයා දස මහා යෝධයෙක් වගේ ඉස්සරම මං දැක්කේ...ඒ වුනාට අන්තිමට එයා පුංචි දරුවෙක් වගේ වුනා...එයා මුලින්ම අසනීප වෙච්චි දවසේ, මට මතකයි "චුටි මැණිකේ" කියල  මට කෑ ගැහුවා...අනිත් ඈයෝ "චූටි" කියද්දී, එයා විතරයි මට චූටී මැණිකේ කිව්වේ, එයා මාව දාලා ගියාට පස්සේ එහෙම කියන්නේ කවුරුත් මට උන්නේ නෑ...

එයා මාසයක් තිස්සේ හොස්පිට්ල් ඉද්දී, මං හැමදාම ගියා එයාව බලන්න...ඒ කාලේ මං කැම්පස්...දෙතුන් වතාවක්ම එයා අසනීප වුනේ, කැම්පස් එකේ එක්සෑම් අතරෙදි...ඉතින් මං ඒවට හුරු වෙලා තිබ්බෙ, හොස්පිට්ල් සහ කැම්පස් අතර ගමනට...දවල්ට ගිහින් එයාට බත් කන්න දීල කැම්පස් ඇවිත් එක්සෑම් ලියන්න...එක්සෑම් එකක් ලියල  යන හැම වතාවකම, එයා මගෙන් ඇහුවේ එක දෙයයි...හොදට ලකුණු තියෙයි නේද කියල...එයාගේ ඒ ආඩම්බර කාර හිනාවට මං හරි ආදරෙයි...

ඒත්, එක දවසක් රෑ එයාට ගොඩක් අමාරු වුනා...එයා හුඟාක් හය්යෙන් හුස්ම ගත්ත, හුඟක් අමාරුවෙන්...මං හිතුවේ එදත් වෙනද වගේ කියල...මොකද ඔහොම අමාරු වෙලා එයාට අඩු වෙනවා...එදායින් දවසකට පස්සේ මගේ කැම්පස් එකේ අවසන් වසරේ, අවසන් වාරයේ, අවසන් විභාගය...මං පාඩම් කරන්නේ අන්තිම දවස් දෙක තුනේ...ඒ නිසා එදත් මං පාන්දර වෙනකල් පාඩම් කළා...මං පාන්දර එයා ලඟට යද්දී එයා මහන්සියෙන් හුස්ම ගන්නවා, මං එයාට තේ එකක් හදල දීල, එයාට නින්ද යනකල් පිරිත් කිව්වා...එයාට නින්ද ගියේ නෑ...එයා ඇඳ උඩ වාඩි වෙලා බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ගමන්, පිරිත් අහගෙන උන්නා...එදා එයා කතා කලේ ගොඩක් අඩුවෙන්...එයාට අමාරුයි කියල කොයිම වෙලාවකවත් කිව්වේ නෑ...විභාගේ සිහියෙන් හිටපු මට එයා ගැන ඒ තරම් දැනුනෙත් නෑ...ඒ මගේ හැටි...අනිත් එක එයාගේ අසනීපෙට මං හුරු වෙලා උන්නේ...

පහුවදාට එළි වුනා...එයාට අඩුවක් තිබ්බේ නෑ...ඒ දේට මං හුරු වෙලා හිටපු තරමට, මට දැනුනේ නෑ එයා ඉන්නේ හුඟක් අමාරුවෙන් කියල...ඒත් දවල් වෙද්දී එයාට හුස්ම ගන්න බැරි තරම් අමාරු වුනා...එයාගේ බඩ ඉදිමිලා තිබුනෙ...එයාව අපි එක්කරගෙන ගියේ ලඟම තිබුන නර්සින්ග් හෝම් එකට..ත්‍රී වීලර් එකක...එයා මැද වාඩි, මගෙ උරේට වාරු වෙලා...එයා එකම එක දෙයයි මගදී ඇහුවේ..."අපි මේ කොහෙටද යන්නේ"....අන්න එතකොටයි මං මගේ හීනෙන් ඇහැරුනේ...එයා ආයිමත් එක වචනයක්වත් කතා කලේ නෑ...ඒ තමයි එයාගේ අන්තිම වචන ටික...නර්සින්ග් හෝම් එකෙන් එයාට බෙහෙතක් දුන්නා...එයා වෙනද වගේම ඒවා උගුරට දෙකට ගිල්ලා...ඒත් එයාව එතනින් බාර ගත්තේ නෑ...ඒ කාලේ ඒ නර්සින්ග් හෝම් එකේ ඉඳන් හොස්පිටල් එකට යන්න පොඩි පාරක් තිබුනේ...ත්‍රී වීලර් එක හුඟාක් ගැස්සුනා...මං එයාව හය්යෙන් අල්ලගෙන උන්නේ...එක පාරටම එයාගේ ඔලුව මගේ උරහිසට කඩාගෙන වැටුන...මිනිහෙක් මැරෙන හැටි ඊට කලින් මං දැකල තිබ්බෙ නෑ...ඒ හින්දම මං පුදුම තරම් වෙර දාල එයාව හෙල්ලුවා...කෑ ගැහුවා...එයා ඇස් ලොකු කරලා මගේ දිහාවේ බැලුව...ඒ බැල්ම...ඒ බැල්ම මට කවරදාකවත් අමතක වෙන්නේ නෑ...ඉන් පස්සෙ එයාගෙ ඔලුව ආයිමත් මගෙ උරහිසට කඩාගෙන වැටුන...

එයා ආයිමත් හොස්පිටල් එකේදී අපි හැමෝම දිහා ඇස් ඇරල බැලුව....ඉන් පස්සේ ඉතිරි උනේ අපි තුන්දෙනයි. මගේ අම්මයි, මමයි, එයයි...එතන හිටපු අනිත් අය ගියා...අපි දෙන්න ඩිංගක් අහක බලාගත්තු ටිකට එයා අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙ නැවතුනා...මං මේ ජීවිතේ කිසිම දවසක ඒ තරම් මෝඩ හිතිවිල්ලක් හිතල නෑ...මං හිතුව එයාට සනීපයි කියල...අම්මටත් මං ඒක කිව්වා...අපි දෙන්නම එයාට ලං වෙලා බැලුව...එයාගේ මූනෙ තිබුනෙ පුදුමාකාර සැහැල්ලුවක්...ඒ සැහැල්ලුව එයාගේ මූනෙ මං කවදාවත් දැකල තිබ්බේ නෑ...

එයා ඒ මහ වැස්සේ යන්නම ගියා...ඒ ධාරනිපාත වැස්සේ අපිට අතරමං වෙන්න ඇරලා එයා යන්න ගියා...එයා එයාගේ අමාරුව මට කිව්වේ නෑ...එයා තීරණය කරන්නැති, අනිත් එක්සෑම් වලදී වගේ ආයිමත් මට කරදර නොකර ඉන්න...එයා හුඟක් මහන්සි වුනා, එයාගේ හුස්ම ටික රැක ගන්න...ඒත් එයා පැරදුනා...ඇත්තටම අපි සේරෝම පැරදුනා...මං අදටත් ජීවිතේ පැරදිලා...ලෝකයක් දිනුවත්, ඒව බලන්න එයා මං ළඟ නෑ...මාව ලෝකෙම දිනවන කෙනෙක් කරන්න, වුවමනාව තිබ්බෙ එයාට...ඒ නිසා මං ඒක කළා..එයත්, මගෙ අම්මත් වෙනුවෙන් මං ඒක කළා...

මං විභාගෙට ගියා පහුවදා එයාට වැඳලා...ගෙදර එද්දී විභාගේ කොහොමද කියල අහන්න එයාට පුළුවන් කමක් තිබ්බේ නෑ...එයා උන්නෙ බොහොම සුවබර දිගම දිග නින්දක...රසායන විද්‍යාව පේපර් එක ලිව්වේ කොහොමද කියල මට මතක නෑ...හැබැයි මං අඩුවේ නෑ...කලින් දා රැයක් තෝන්තු වෙලා මං ඇස් අරං උන්නෙත් අමාරුවෙන්...කවුරු හරි මට උත්තර මතක් කරලා දෙනවා වගේ දැනුන...ඒ නිසා මං ලිව්වා...මට ආදරේ කරපු සුළුතරයක් දෙනා එදා මං ලඟින් උන්නා, ඒ ඇර වෙන කිසිම කෙනෙක් විශ්වාස කලේ නෑ, මට ඒ විභාගෙන් පාස් වෙයි කියල...මං දන්නවා හුඟ දෙනෙක් හිතුවේ මං අමන කෙල්ලෙක් කියල...හිතක් පපුවක් නැති...නෑ, මං එහෙම නෙවේ, මං කියන්නේ, එයා උස් මහත් කරපු  බොහොම ශක්තිමක් ගහක්...ඒ හින්ද මං වැටුනෙ නෑ, මට ඒ විභාගෙට "ඒ " සාමාර්ථයක් තිබ්බා...මං දිනපු එක විභාගයක් ඇර, වෙන කිසිම දිනුමක් බලන්න ඉන් පස්සේ එයා මං ළඟ උන්නේ නෑ...මට මතකයි එදා රෑ දෙගොඩහරි ජාමෙ, කවුරුත් නැති වෙලාවක, මං එයා ලඟට වෙලා ගොඩාක් වෙලා ඔහේ වාඩි වෙලා හිටියා...හැබැයි මං ඇඩුවේ නෑ...මට අඩන්න තරම් නිදහසක් තිබුනෙත් නෑ...

එයාගේ සීතල අත් දෙක අල්ලලා මං හිතෙන් පොරොන්දුවක් වුනා...ඒ එයා ආදරේ කරපු හැමෝටම මැරෙනකල් එක සීරුවට ආදරේ කරන්න...එයාලව ආදරෙන් බලා ගන්න...මං ඒක අදටත් රකිනවා...

මං දැනන් උන්නේ නැති මගෙ අනාගතේ එයා හැමදාමත් දැක්කා...ඒ හින්ද වෙන්නැති අදත් මගේ ලඟට ඇවිල්ල එයා මට ජීවිතේ ගැන ඉඟි දීල යන්නේ...එයා එක්ක කතා කරන්න දේවල්, ඇවිදින්න තියන තැන් නම් නිමක් නෑ...දවස ගානේ ඒවා වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නෙත් නෑ...ජීවිතේ එහෙම තමයි, මිනිස්සුන්ට වැඩිපුර මතක් වෙන්නෙ තමන් ළඟ නැති දේවල්...

ඒ ආදරේ ගැඹුර දැනෙන්න ටිකක් වයසින් මෝරන්න ඕනේ...එයා තමයි මගෙ ජීවිතේ මෙතුවක් කාලෙකට ඇතිවුන ගැඹුරුම ආදරේ...එයා තමයි මගේ ආදරණීය තාත්තා...මාසෙකට දෙකකට වතාවක් හීනෙන් ඇවිත්, මං හොඳින් ඉන්නවද කියල මගෙන් අහල යන මගෙ තාත්තා...

--ww--
අගෝස්තු 30, 2018

Saturday, August 6, 2016

ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල




ජීවිතය ලියා තබමි-1


"අනේ...ඒ..ඒ..ඒ....චූටි පුතේ...ඒ...ඒ..."

අම්මා දිව ආවේ යටි ගිරියෙන් කෑ මොර දෙමින්...

අඩි දෙකක් පමණ උස, වයස අවුරුදු තුනක් හෝ හතරක් වූ මල්ලීගේ කණ දෙපසින් භූමිතෙල් ගලාගෙන ගියේ, වතුර මලකින් ගලා යන සිහින් ජල පහරක් මෙන්....

"චටාස්...පටාස්...චටාස්.."....

එතෙක් අන්දමන්ද වී උන් මා පියවි ලෝකයට පැමිණිනෙන්නේ ඉවක් බවක් නැතිව අප්පච්චී විසින් දෙනු ලැබූ හනසු පහර වලින් කලවයට දැනුන වේදනාවෙන්...

වෙනදා නම් මෙවන් තක්කඩි ක්‍රියාවක් කරන මා සතුව බී ප්ලෑනක් තිබුනත්, ඒ වන විට අප්පච්චි මගේ ගැලවීමේ මාර්ග සියල්ල අහුරා තිබුනා...

වදනක්වත් නොදොඩාම, හුන් තැනම ගුලිවෙමින්, දෙකකුල් සඟවා ගැනීමේ අසාර්ථක ප්‍රයත්නයක යෙදී හුන් මාව, අම්මාගේ සිහියට නැගෙන්නට ඇත්තේ එවිට...

"අනේ...ඒ...කෙල්ලට ගහන්න එපා...ආ...ඔහොමත් ගහනවද පොඩි උන්ට..."


අම්මාට පොඩි එකෙකු සේ පෙනුනද, වරදක් දුටු වහාම සියළුම බැඳීම් අමතක කරන අප්පච්චීට මාව පෙනෙන්නට ඇත්තේ, වෙසමුණි ලෙසින්...

භූමිතෙල් පහර කෑ මගේ පොඩි කොලු පැටියා සිටියේ කිසිවක් නොවූ විලසින්...එදා සේම අදත්, අකාශයම පෙරලී ඔහුගේ දෙපතුල ළඟ වැටුනද කිසිවක් නොවූවා සේ සිටින්නට ඔහුට ඇත්තේ අපූරු හැකියාවක්...

මා කේන්ති ගැන්වීම ඔහුගේ එකම විනෝදාංශයක් වූ නිසාවෙන්, අප දෙදෙනාම සිටියේ, සිදු වූ කලබගෑනියේ බරපතලකම ගැන කිසිදු වැටහීමක් නොමැතිව...

මේ සිද්ධිය, සෑම සැන්දෑවකම, මට පැවරුණු රාජකාරියේ කොටසක් වූ භූමිතෙල් ලාම්පුව, වී මෝලේ සිට රැගෙන ඒමේ අතුරු ප්‍රතිපලයක්...එකල පස් විය ඉක්මවූ, මගේ කුකුල් කේන්තිය ඇවිලූ එහි නිමිත්ත ගැන මට අද අමතකය...

අප්පච්චිගේ, සහල් ව්‍යාපාරයේ ප්‍රධාන කොටස වූ, වී මෝල, වී කමත සහ වී ටැංකි වල අද ශේෂ වී ඇති නටබුන් පුරා ලියැවී ඇත්තේ මගේත්, මල්ලීගේත් සුන්දර ළමා විය...

අප්පච්චීත්, අම්මාත් අප දෙදෙනාව මෙලොවට බිහි කලේ, දෙදෙනා අතම සඳුන් ගැටය බැගින් තබා නොවේදැයි මට සිතෙන්නේ, ඒ අතීතයේ නටබුන් වැසුණු වල් පැලෑටි උගුල්ලන විට...

ජීවිතයේ එක් නිමේෂයකදී ඒ සඳුන් ගැට, දෛවය විසින් අප දෙදෙනාගෙන් උදුරා ගත්තා නොවේදැයි සිතෙන විට, මට දුක දැනෙන්නේ මා පිළිබඳව නොව, එදා මෙන්ම අදත්, සියල්ල එකසේ ඉවසා දරා ගන්නා මගේ "පොඩි එකා" සිහිවය...

එකල මාසයකට වතාවක් පමණ "උඩහ" හෙවත් මැල්සිරිපුර, මැදිරිගිරිය, පොළොන්නරුව ආදී නගර වල ඇති වී ගබඩා වලින්, වී මිලදී ගන්නා අප්පච්චී, ඒවා ගෙනැවිත් ගබඩා කරන්නේ, මේ වී මෝල තුල...පළ දෙකට සකස් කර උළු හෙවිල්ලූ, කුඩා ගෙයක ප්‍රමාණයේ වපසරියක් මේ වී මෝල තුල තිබුනා කිව්වොත් නිවැරදියි...

එහි එක් පැත්තක් වී ගබඩා කිරීමට වෙන් කල අතර අනික් පස වෙන් කෙරුනේ, සහල් පිරිපහදුව සඳහා ඇති ස්ටීල් හලරය සහ එය ක්‍රියා කරවන එන්ජිම සඳහා...


http://www.appropedia.org/File:Rice_husker_construction_manual_ISFIAI_image_2.jpg

ස්ටීල් හලරයේ සහ එන්ජිමේ සැකැස්ම මේ පින්තුරයේ තියන සැකැස්මට සමානයි...එහෙත් එන්ජිම සහ හලරය සම්බන්ධ කරන කැන්වස් බෙල්ටය මීට වඩා දිගින් බොහොම වැඩියි...

එන්ජිම ක්‍රියා කල පසුව, මේ බෙල්ටය එක සීරුවට කරකැවෙන අයුරු කුඩා මගේ සිතට ගෙනාවේ ඉතා විශාල ආශ්වාදයක්...කොයි මොහොතක හෝ එයට ඇඟිල්ලක් තබා බැලීමේ නොතිත් ආශාවක් මගේ මුරණ්ඩු හිතේ කොනක තිබුනත්, මගේ ඇඟිලි වලට කිසිදාක අකරතැබ්බයක් සිදු නොවූයේ, එය අපට තහනම් කලාපයක් වූ බැවින්...  

එකල අප්පච්චී සරම කැහැපට කවා දෙදණටත් ඉහළින් නවා හැඳ, හලරයට වී ඇතුල් කිරීම බලා හිඳීම, මා බොහෝ ප්‍රිය කල දෙයක්... පිරුණු දේහයක් සහිත, ඔහුගේ රවුම් මුහුණ පුරා මතුවන දහඩිය බිඳු බාහුවෙන් පිස දමමින්, ඔහු එය කලේ කිසිදු අලස කමකින් තොරව...එදෙස බලා හිඳින කුඩා මගේ හිතට විටක දැනුනේ ඔහු පිළිබඳව දුකක්...

පියෙකුගේ දහඩිය බිඳුවකින් කල හැකි දෑ බොහෝයි...ඒවායින් කුඩා දැරියකගේ සිතක ඇඳෙන සිතුවම් අමරණීයයි...මරියානා අගාධය තුල පවා ජීවත් වන්නට ඔක්සිජන් සපයන්නේ එවැනි සිතුවම් වලින්...ලෝකාන්තයෙන් පැන පණ නසා ගන්නට නොව, බලංගොඩ දක්වාම පාලම් තනන්නට සවිය දෙන්නේ එවැනි කුඩා දහඩිය බිඳුවකින්...

අප්පච්චී සහල් ව්‍යාපාරය ඇරඹුවේ, මා ඉපදී නොබෝ කලකින්...ඒ හැත්තෑව දශකයේ අග භාගයේදී...ඒ මගේ අම්මාගේ ඇවිටිල්ලක ප්‍රථිපලයක් ලෙසින්...අප ගමට විදුලි බලය ලැබුනේ එයින් වසර දහයක් අවෑමෙන්...අප දෙදෙනාටම භූමිතෙල් ලාම්පුව, සෙල්ලම් භාණ්ඩයක් වීමට එයත් හේතුවක් වෙන්න ඇති... 

මගේ අප්පච්චිගේ පියා මිය යන්නේ, ඔහුට වයස දාහතරක තරම් කුඩා වයසකදී...ඒ හෘදයාබාධයකින්...එයින් පසු නිවසේ සියලු බර උසුලන්නට ඉතා දිරිමත් සහ බුද්ධිමත් ගැහැණියක වූ මගේ ආච්චීට එකතු වන්නේ මගේ අප්පච්චී...

කුඩා කල ඔහුට තිබුන ඇසක දුර්වලතාවයක් නිසි වයසේදී හඳුනා නොගැනීම හේතුවෙන්, ඔහු ගණිතය විෂයට දැක්වුවේ දුර්වලතාවයක්...කළු ලෑල්ලේ සටහන් වන දෑ ඔහුට නොපෙනන වග ඔහු වටහා ගන්නා විට, ඔහු බොහෝ පසු බැස හමාරයි...

එහෙත් මගේ අප්පච්චී සිංහල සාහිත්‍යට බොහෝ රුසියෙක් සහ සමතෙක්...ඔහුට තරුණ වයසේදී, ඉතා දරුණු ලෙසට "චිත්‍රපටි උණ" වැළඳී තිබූ බව ඉතා ප්‍රසිද්ධ රහසක්...චිත්‍රපටි වලට සම්බන්ධ කම් ඇති අයවලුන් සමඟ ඇති කර ගත් දැන හැඳුනුම් කම් අනුව, ලංකාව පුරා කරක් ගසා ඇත්තෙක්...මගේ නැන්දා සහ ආච්චී නිවසේ තනිකර, ඔහු මිතුරන් සමඟ රෑ පුරා චිත්‍රපටි නැරඹු බව, ආච්චී අම්මා සමඟ එකල කියා ඇත්තේ අමනාපයෙන්...එහෙත්, සුරාව, සූදුව හෝ ගැහැණිය යන තුන් පැත්තෙන්ම කිසිදු වරදක් නොකළ මගේ අප්පච්චී, විනෝදයට කල එකම දෙය එපමණයි... 

ඔහු මිය යාමෙන් පසුව, ඔහුගේ ලියකියවිලි ඇවිස්සූ මට හමුවුන කුඩා ඇක්සයිස් පොත පුරා ලියැවුන චිත්‍රපට තිර පිටපත...ඒ ඔහුගේ කිසිදාක අපට නොකියූ සිහිනයක් වන්නට ඇති...

මා කුඩා කල පටන්ම පැරණි හින්දි සහ සිංහල චිත්‍රපට ගීත, කළු සුදු රූපවාහිනියෙන් නැරඹුවේද, රේඩියෝවෙන් ඇසුවේද මගේ අප්පච්චීට පින් සිදු වන්නටය...

එදා බැටරියෙන් ක්‍රියා කරවූ කළු සුදු රූපවාහිනිය, අපේ ආලින්දයේ තැබූ තැන, "බැටරි ඇසිඩ්" ඉහිරීමෙන් ඇතිවූ සුදු පැල්ලම් පසු කලෙක ගැටළුවක් වූයේ මා කෝටිපති ඥාතිවරයෙකුට... 

ඒ මගේ අප්පච්චීගේ දේහය සහිත දෙන තබන්නට, ආලින්දය සකස් කරද්දී...රතු සිමෙන්තියේ තිබුන ඒ ඇසිඩ් පැල්ලම් ගැන, මගේ ඥාතියා කථා කලේ බොහෝ අපුලෙන්...ඒ වෙද්දී නිවසේ එදිනෙදා වියදම් දරා ගැනීමට හෝ නොහැකි අඩියක සිටියද, ඒ පැල්ලම් වලින් මතු කලේ ජීවිතයේ එක්තරා සොඳුරු කාලයක මතක සටහන්...

මගේ මතකය නිවැරදි නම්, අප්පච්චී එකල සුභාෂිණි හේමමාලා මහත්මිය විසින් සති අන්තයේ මෙහෙයවූ සිංහල චිත්‍රපට ගීතද, රන්ජිත් එදිරිසිංහ මහතා විසින් මෙහෙයවූ හින්දි ගී වැඩසටහන්ද නැරඹීම නොවරදවා කල දෙයක්...

මා නේවාසිකව සිටි කාලයේ හැර, උසස් පෙළ සඳහා නිවසින් පිටව යන තුරුම, කුමන වැඩක් ඇතත්, සති අන්තයට අප්පච්චී හා එක්ව ඒ ගී නැරඹීම ඉතාම ආශා කල දෙයක්...ඉතා සුරූපී පැරණි නිළියන් වූ නර්ගීස්, මධුබාලා, එකී නොකී සුන්දරියන් ගැන, ඔහු මටද හඳුන්වා දුන්නේ බොහොම ප්‍රේමණීය සිනාවක් මුවේ රඳවාගෙන...(ශාරුක් ඛාන්ට මා උමතු වූයේද එහි දරුණු අතුරු ප්‍රථිපලයක් ලෙස)...

උදේ පාන්දර හතරට අවදි වන ඔහු, මිටි කල සහල් ගෝනි, කුලී ක්‍රමයට ලබා ගත් ලෑන්මාස්ටරයට පටවා, ඒ පසුපසින් ඔහුගේ හොන්ඩා CD125 වර්ගයේ මෝටර් බයිසිකලයෙන් යන්නේ සහල් විකුණන මධ්‍යස්ථානයට...මෙය බස්නාහිර පළාතේ ඉතා ප්‍රසිද්ධ සහල් වෙළඳ පළක්...ඔහුගේ උදේ ආහාරය, බනිසයක් සහ ප්ලේන්ටියක්...

කිසිදාක අසාධාරණ ලෙස ගල් වැලි එකතු කල සහල් වෙළඳාම නොකළ ඔහු, භීෂණ කාලයේ පවා, බොහෝ සාධාරණ මුදලට සහල් විකුණූ බව මගේ අම්මා විටක පවසන්නේ අභිමානයෙන්...

"බාප්පේ, ඔයාට ඊට වඩා ලොකු ගාණකට ඒ හාල් ටික දෙන්න තිබුනනේ" 

ඒ භීෂණ සමයේ විශ්ව විද්‍යාල වැසූ සමයක, සිටි අප නිවසේ නැවතී සිටි මගේ අය්යා කෙනෙකු, අප්පච්චී සමඟ සහල් වෙළඳාමේ ගිය දිනක නැගූ ප්‍රශ්ණයක්...

"පුතේ එහෙම කරලා මම ආයිමත් මෙතැන හාල් විකුනන්නේ කොහොමද"

ඒ එයට මගේ අප්පච්චී ලබා දී තිබුන පිළිතුර...

නංගී සහ අම්මා සමඟ නිවසේ තනිවූ අප්පච්චී, සාමන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත්තේ, බුලත් සිටවන අතරතුර...උරුමයෙන් ලැබුන අක්කර හතරක පමණ පොල් ආදායමෙන් සහ බුලත් වල ආදායමෙන් ඔහු අද අප සිටිනා නිවස ඉදි කර, තම නැගණියගේ විවාහය ඉතා උසස් අයුරින් සිදු කිරීමට සැලසුම් සකස් කල පොත් පත්ද මට හමුවුයේ ඔහුගේ පැරණි ලියවිලි අතරින්...

ඒවායේ පිළිවෙලින් නිවස ඉදි කිරීමට ගෙනා අමුද්‍රව්‍ය සහ අනිකුත් සියලුම වියදම් බොහෝ සවිස්තරාත්මකව සටහන්ව තිබුනා...වසර 1968 දී ඉදිකල අප නිවසේ, ප්‍රධාන නිදන කාමරය, සිමෙන්ති දැමීමට පෙර සම්පුර්ණයෙන්ම, දෙපයින් පාගා මඩ කර, රැයක් පුරාවට සකස් කර තිබුනේ ඔහු විසින්...එයින් වසර හතරකට පසු ඔහු ආර්ථික වශයෙන් යම් තරමක් පටලැවී සිටි බව වැටහෙන්නේ, මගේ නැන්දණියගේ දීගය සඳහා ඔහු යම් තරමක ණය ප්‍රමාණයක් නැවතත් රැගෙන ඇති බව ඒ පොතේම සටහන් වී ඇති බැවින්...ඔහුගේ ජීවිතය ගැන හිතන්නට ඔහු බොහෝ ප්‍රමාද වන්නට ඇත්තේ, එහෙයින්...

හින්දි නිළියන්ගේ රූපය ගැන උමතු වී සිටි මගේ අප්පච්චීගෙන් ප්‍රතික්ෂේපිත වූ මනාළියන් ගණන දහසයක්...මගේ පොඩි මස්සිනාගේ "පණු ගායට", "පණු කුඩු" ගේන්නට ගිය අප්පච්චීට එකල බෝනික්කියක් මෙන් වූ මගේ අම්මාව ඇස ගැටෙන්නේ ඒ අතරතුරෙක...මගේ වෙදැදුරු සීයාට, තම බිරිඳගේ වියෝවෙන් පසු, එකල විසි දෙවැනි වියෙහි වූ හුරුබුහුටි යෞවනියක් රැක බලා ගැනීම හිසරදයක් වෙන්නට ඇති...එහෙයින්, සියලු දුසිරිතෙන් තොරවූ සත් ගුණවත් මගේ අප්පච්චීව පෙනෙන්නට ඇත්තේ දෙවියෙකු ලෙසින්...

ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් වන්නට, ඉඩ හසර තිබූ ඒ යෞවනිය එයින් වසරක් අවෑමෙන් මගේ "චූටි අම්මා" වෙන්නේ ඒ ලෙසින්...තමාට වඩා වසර දහයකින් ලාබාල මගේ අම්මාව, මගේ අප්පච්චී එකල රැක බලා ගත්තේත්, අපව රකිනා තරම් වූ සෙනෙහසකින්...පසු කාලීනව ජීවිතේ නේක බර ඉසිලූ මගේ අම්මාට, එවන් ඉරණමක් අත් වේයැයි, අප්පච්චී එකල සිහිනයෙන්වත් හිතන්නට නැතුව ඇති... 

"මට ජනේලෙන් එබිලා බැලුවම පෙනුනේ තට්ටේ...ඒ උනාට ඔයාලගේ අප්පච්චී ඒ කාලේ ගාමිණි ෆොන්සේකා වගේ"

අපේ අම්මා, ඉඳහිටක එසේ පවසන්නේ, කිසිදාක එකදු දශමයකින් හෝ නොවුනස් වූ ඉතා උතුම් වූ ප්‍රේමයක් පෙරදැරි කරගෙන බව මා හොඳින්ම දන්නා කරුණක්...

මගේ අප්පච්චී අසනීප වන විට මගේ අම්මා පසු කරමින් සිටියේ අද මගේ වයසයි...අවුරුදු තිස්අටක් වැනි තරුණ අවධියක හිඳ, රෝගී වූ තම සැමියාටත්, අප දෙදෙනාටත්, පතිනි මවක් වූ මගේ අම්මා ගැන මසිත ඇත්තා වූ හැඟීම මෙතැන නොලිවීම ඇයට කරන අවමානයක්...සිය දරු පවුල් අත් හැර අයථා සම්බන්ධතා පවත්වන මව්වරු සිටින සමාජයක ඇය ඇත්තෙන්ම පතිනි මවක්... 

මගේ අම්මා දීග ආවේ කිසිදු දායාදයක් නොමැතිව...ඇයට තිබුනේ උතුම් ගති ගුණ සහ බුද්ධිය පමණයි...මා කෙතරම් ආච්චීට ආදරය කලද, දායාද නොමැති කම හිත දරා ගෙන, ඇය මගේ අම්මා සමඟ දබර කල කලකිරීම කිසිදා පහව යන්නේ නැහැ...

ඒවායේ මතක ලියන්නට අර සුරංග මල්ලිගේ ආච්චිට මෙන්ම වෙනම පෝස්ටුවක් අවැසිය... එහෙත් ජීවිතයේ අනූඅට වැනි විය පසු කරන්නට පින් ඇති ඇයගේ අතීත වැරදි වලට අම්මා සමාව දී ඇත...

රවුම් "අ" යන්න සහ තරාතිරම අමතක කොට තමාගේ අරමුණට ලඟා වීමේ පාඩම් මා උගත්තේ ආච්චීගෙන්...මගේ අප්පච්චී තරම් වත් කලක් ජීවත් වීමට නොලැබෙන බව නිතරම කියන මගේ සිතට, මගේ දීර්ඝායුෂ ලැබූ ආච්චීගේ ගුණ මිස, අගුණ ලියා ලැබෙන සැනසීමක් ලැබෙන්නේ නැහැ...

අම්මා කැන්දාගෙන ආ පසු ඔවුන් ජීවත් වී ඇත්තේ, අප නිවස අසල පිහිටි අප්පච්චිගේ සිල්ලර කඩයේ ආදායමෙන්...එයින් යැපෙමින් ජීවිතය දිනන්නට නොහැකි වග දැනුන අම්මාගේ ඉල්ලීම මතයි, අප්පච්චී පසු කලෙක "......, මුදලාලි" ලෙසින් ප්‍රසිද්ධ වන්නේ..

අද අපේ ගෙවත්තේ ඇත්තේ බුසල් හැත්තෑවක ධාරිතාවක් උසුලන වී ටැංකි දෙකක නටබුන්...අප්පච්චී එකල වී පොඟවන්නට දමා, රාත්‍රී නවයට පමණ විදුලි පන්දම දල්වාගෙන යන්නේ, ඒ ජලය හිස් කරන්නට...පසුදින උදෑසන තම්බා ගැනීම සඳහා පෙර සූදානමක් ලෙසින්...ඒ යන ගමන විටක අනතුරු දායක වූයේ, ඉඩම තමන්ගේ කරගෙන රැඳී උන් සුදු නාගයා ඉඳහිටක පාර අවහිර කරන හෙයින්...

විදුලි බලය නොතිබූ වසර දහය පුරාම, අප්පච්චී සහ සේවකයින් වී ටැංකි සඳහා ජලය පිරවූවේ ළිදෙන්...මට මතක ඇති කාලයේදී, අප්පච්චී ලිඳ අසල කුඩා ප්‍රමාණයේ සිමෙන්ති ටැංකියක් උස් වන්නට සාදා, එය සහ වී ටැංකි සම්බන්ධ කරමින් ජල නල පද්ධතියක් සකස් කළා...ලිඳෙන් ගෙන කුඩා සිමෙන්ති ටැංකියට පුරවන ජලය නල ඔස්සේ, විශාල ටැංකි වලට ලබා දීමට...

පොඟවන වී, ඉන් පසු තම්බා ගන්නේ "ගොවියා ක්‍රමයට"...අද එය අසා දැනගන්නට අප්පච්චී නොමැති හෙයින්, මා විකිපිඩියාගෙන් අසා දැනගත් කරුණු මත එසේ කියන්නේ අනුමානයෙන්...

මේ පහත රූපයේ ඇත්තේ, වී පොඟවන ටැංකි දෙකත්, ඉන් පසු හුමාලයෙන් තම්බා ගන්නා සිදුරු සහිත දැල් කොටුව, සහ යටින් ජලය පුරවා ඇති සැකැස්ම...




මෙහිදී වී තම්බාගන්නේ හුමාලයෙන්...සිදුරු සහිත තහඩු වලින් නිර්මාණය කල හතරැස් කොටුවකට වී පුරවා, ඊට යටින් කොටසකට ජලය පුරවා, ඒ ජලය රත් කිරීම තමයි මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ...ඉන්ධන වශයෙන් යොදා ගන්නේ දහය්යා...මේ දහය්යා ලැබෙන්නේ කලින් වතාවලදී, පිරිපහදු කරන වී වලින්...

රූපයේ දහය්යා බ්ලොවරයක් තිබුනත්, අප නිවසේ එය කලේ "සුදු මාමා", "කරුණාරත්න මාමා", ආදී අප්පච්චීගේ සේවකයින්ගෙන් කෙනෙකු විසින්...තමාගේ යටතේ වැඩ කල ඕනෑම සේවකයෙකුට, අය්යේ හෝ මල්ලියේ කියා ඇමතූ මගේ අප්පච්චී, අපටත් හුරු කල තිබුනේ "මාමා" යනුවෙන් ඔවුන් ඇමතීමට...

තමාගේ අභිමානය සහ නායකත්වය එලෙසම පවත්වා ගනිමින්, මිනිසත්කම පතුරුවන්නට හැකි වූ අප්පච්චීගේ ඒ ගුණය මා සැමදා අගය කරන්නක්...

කොයි යම් හෝ මාමා කෙනෙකු "දහය්යා ගැසීම" බලා සිටීමට, පිජාමාව පිටින්ම මා වී කමතට යන්නේ උදේ පාන්දරින්ම...එක් දහය්යා ගැසීමකින්, මතු වන ගිනි දැල් ජාලාව මා දෙනෙත් තුල මවන්නේ කතන්දරයක්...අප්පච්චී බොහෝ වාරයක් රෙදි කැබලි ඔතා වී තම්බන ටැංකියට ගසා ඇති ලී ඇබය කොයි මොහොතේ ගලවම්දැයි, අන්දමන්ද වී සිතීමත්, ඒ අතරේම සිදු වුන දෙයක්...

අද වන විට සිදුවූ කිසිවක් මතකයේ නැතත්, එක් උදෑසනක, ඒ ඇබය ගැලවීම ක්‍රියාවට නංවාලන්නට මා තීරණය කර ඇත්තේ, පෙර අකුසලයකට...අහල සිටි මා කොහේදැයි සොයා ඇස යැවූ සුදු මාමා, ඇබයේ උසට ආසන්න උසක් සහිත වූ මා, එය අල්ලා ගෙන සිටිනු දැක ඇත්තේ මගේ පෙර පිනකට...ඔහු එක් නිමේෂයකින් පැන, එක් අතකින් මා ඔසවා ගෙන ඇත්තේ, දහය්යා ගැසූ "හැන්ද" අනිත් අතින් අත හරින්නට වෙලාවක් නොගෙනම...

"සුදු මාමා" ද මීට වසරකට පමණ පෙර ජීවිතයෙන් සමුගෙන ගියත්, ඔහු එදා එතන නොසිටියේ නම්, මේ කතාව ලියන්නට මා ජීවත් නොවෙනු ඇති...එසේත් නොමැති නම්, බොහෝ පැසෙන ජලයෙන් පිළිස්සුම් තුවාල ලබා, විරූපී වූ සිරුරක් සහිතව විඳවන්නට වෙනවා නොඅනුමානයි...


"ආච්චියේ...ඒ.ඒ... උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්"

මා මර හඬ තැලුවේ හඬමින්...

අප්පච්චී, ආච්චී, අම්මා, උන් සේවකයින් සියල්ලන්ම, කෙටි දුර දිවීමේ තරඟයකට සහභාගී වෙන්නන් මෙන්, "වී පෝරු" ද රැගෙන, කමතේ ඇති වී සියල්ල "අකුලා", මෝලට ගැනීමේ මහා මෙහෙයුමක...

එකල ජලයට සහ වැස්සට මර බියක් දැක්වූ කුඩා දැරියක වූ මා, ආච්චී කියා දුන් අන්දරේ කතාවේ දෙබස් කියමින් මේ හඬා වැටෙන්නේ, දන් ගෙඩියක පැහැය ගත් අහස දෙස බලාගෙන...

මගේ කෑ ගැසීමට කේන්ති ගොස් හුන් අප්පච්චීගෙන්, මා හට හනසු පහරක් ලැබෙන්නට කලින්, අම්මා පැමිණ මගේ මුව තද කරගෙන මාව ගෙතුලට රැගෙන ගිය වගක් මට යාන්තමින් මතකයි...

සහල් ව්‍යාපාරිකයින්ගේ පරම සතුරා වන වැස්ස, වී තොගයකින් ලබා ගන්නා සම්පුර්ණ ලාභයම අවහිර කරන්න සමත්...එක් වැහි රැල්ලකට හෝ තම්බා වේලා ගත් වී නිරාවරණය වුවහොත්, එයින් වෙන් කරන සහල් පුස් බැඳීම සහ අව පැහැ ගැන්වීම වලකන්නට එකළ ක්‍රමයක් තිබුනේ නැහැ...

එහෙයින් එදා එසේ කෑ ගැසුවද, පසු කාලීනව මමත්, මල්ලීත් දෙදෙනාම වැඩි වයසක් නැතත් මේ "වී ඇකිලීමේ" ක්‍රියාවට සහභාගී වූයේ, එයින් ලැබෙන පාඩුව ගැන යම් අවබෝධයක් ඇතිව...

...................................................................................................................................................

මගේත්, මල්ලිගේත් බාල කාලයේ, පාසැල් කාලයෙන් පසු බොහෝ වෙලාවක් ගත කලේ මේ වී කමතේ...ඒ මතක තවත් පොස්ටුවකට ගෙන යන්නට වීම ගැන ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා...

මේ ලියන සටහනේ ඔබට වටිනා දෙයක් නැතුව ඇති...එහෙත් මේ ජීවිතය පසු කාලීනව බොහෝ වෙනස් වෙනවා...යම් කෙනෙකුට උගත හැකි පාඩම් එහි ඇතුලත්...මා මෙය වැඩිමනත්ම ලියා තබන්නේ, අපේ ඉදිරි පරම්පරාව නොහොත් මගේ මල්ලීගේ දරු දෙදෙනා වෙනුවෙන්...අප්පච්චී ජීවතුන් අතර නැති කමින්, ඔහු ජීවිතයෙන් උගත් පාඩම් ගැන මගේ මල්ලීට කියා දෙන්නට කෙනෙක් නැති කම, මට දැනෙන ලොකු අඩුවක්...මගේ ජීවිත ප්‍රස්ථාරයේ වක්‍රයන් දිහා හැරී බලන හැම වතාවකම මට වැටහෙන දේ තමයි, එක තත්පරයක් ඇතුලත ජීවිතේ බොහෝ දෑ වෙනස් වන වග...ඒ නිසා, හෙට දින මා අවදි නොවුවහොත්, මා ජීවිතය කියවූ හැටි ලියා තැබීම කාට හෝ වැදගත් වේවි...

-----------------------------------------------------------------------------------------------------------------------------------

බැටරි ඇසිඩ් පැල්ලම් මකා ටයිල් ඇතුරූ බිමෙහි අද දුව පනින පොඩිත්තියන් දෙදෙනා දැන ගත යුතු එක් කරුණක් ඇත...ඒ ටයිල් වලට කලින් එතැන තිබුනේ, උන්ගේ සීයා ඇතිරූ රතු සිමෙන්ති බවය...

මා මේ ලියන්නෙ ඒ කතාවය...

--------------------------------------------------------------------------------------------------------------------------------

 කණ කෙකිණි විලාපෙන් තිගැස්සී 
තුන් පිරිත් හඬ මැකුණු අළුයමක
නොකියාම නුඹ ගිහින් රහසින්ම 
සැඟවුන තරු පොකුර කොයිබදැයි 
විඩාබර දෑසින් සොයන්නෙමි 
මොහොතකට දකින්නට අප්පච්චි...

දිවා රෑ නුඹේ දා බිඳු ඉසී මල් පිපී 
කිරි වැදුන මල් ගොයම දැක දැකම 
යන්න ගිය දා ඉඳන් නොකියාම 
ඉර හඳ නොපායන කන්නයක  
අස්වනු නෙලූ හැටි කියන්නෙමි 
හීනයකින්වත් එන්න අප්පච්චි...

සැඩ සුළං සැරයෙන් සිත් බිඳී 
නෙතු කෙවෙනි අග කඳුළු නොදැකම 
දුක බෙදා ගන්න බැරි කමට 
මාල ගිරවා ගියා අතහැර මාල හත 
දුක දුරා ගත් හැටි කියන්නෙමි 
ආයිමත් එයිනම් අප්පච්චි...




Monday, June 6, 2016

ජීවිතය ලියා තබමි....1



කුඩා ටීපෝවක්...අවිවේකී පරිගණකයක්...තේ කෝප්පයක්...

ඒ වසර පහක වෙහෙසකර පර්යේෂණයන්හි නිගමනයන්  පිටු තුන්සියයක නිබන්ධනයකට කැටි කරන්නට මට සිටි සහායකයින්...

තේ කෝප්පය වෙනුවට, කලෙක මගේ අප්‍රියතම පානය වූ කෝපි කෝප්පය මගේ මේසය මතට ආවේ කෙදිනදැයි යන්න හරියටම මතක නැහැ...එය බොහෝ විට පසු කාලීනව පර්යෙෂණාගාර තුලින් ඇති කල මානසික ආතතියෙන් මිදීමට ගනු ලැබූ කෙටි ප්‍රතිකර්මයකට ඇබ්බැහි වීමක් විය හැකි යයි මට සිතේ...

කිසියම් හෝ දෙයක ගැඹුරෙන් නිරත වන මගේ අවධානයෙන්, අවට තිබෙන සියලුම දෑ ගිලිහී යන්නේ නිතැතින්ම...මිනිස් කණට ඇසෙන ප්‍රමාණයේ, ඉතා විශාල ශබ්ද වල ඩෙසිබල් අගය එවන් අවස්ථා වලදී මගේ ස්වර පරාසයෙන් ගිලිහීම අනිවාර්යයි...කුඩා කල හිඳම පැවතෙන ඒ පුරුද්ද, හොඳින්ම දරා ගත් කෙනෙක් ඇත්නම්, ඒ මගේ ආදරණීය අම්මා...ඇය තරම් මගේ පුද්ගලික අවකාශයේ පරිමාව සහ එය අවැසි කාල වේලාවන් පිළිබඳව දන්නා කිසිවෙකු තවමත් මට මුණ ගැසී නැහැ...මා තුල සිටින විද්‍යාඥයා, කවියා, නිර්මාණකරුවා, සහ එකිනෙකට පරස්පර වූ හැඟීම් ගොන්නක් ඇති කුඩා ප්‍රාණියාගේ පේටන්ට් අයිතිය සම්පුර්ණයෙන්ම ඈ සතුයි...මිනිසෙකුගේ පෞර්ෂ වර්ධනයට අක්මුල් වැදගත් වන වග මා පෙර තැනක ලියා තැබුවේ මෙන්න මේ නිසයි...

අද මා වෙනුවට ඒ අඩුව පුරවන්නේ මගේ සහෝදරයාගේ වැඩිමහල් දියණිය...සිව්වස් සපිරි මගේ පුංචි සුරංගනාවිය...ඇය මගේ ප්‍රතිබිම්බය කිව්වොත් මා නිවැරදියි...මා සතු, ඈ සතු, විටක අතිශය ස්වාධීන වූ හැසිරීම් සමඟ ගණුදෙනු කිරීම කෙතරම් සූක්‍ෂම ලෙස කලයුතුද යන්න මේ පුංචි කෙල්ල සමඟ කරන දුරකථන සංවාද වලදී මට නිතර වැටහෙන කරුණක්...ඒ හැම වතාවකදීම මගේ අම්මා ගැන මට දැනෙන්නෙ අප්‍රමාණ ගෞරවයක්...  

"සුදු නැන්දි, මේ මගේ පොත් මේසය, එය මට අස් කරගන්න පුළුවන්, ඔයා එය අල්ලන්න එපා"...

මට මේ දරුණු චෝදනාව ඇයගෙන් එල්ල වූයේ පසුගිය නිවාඩුවේ...මා මේ චෝදනාව කී වතාවක් මගේ අම්මාට එල්ල කල ඇත්දැයි මට නිච්චියක් නැහැ...පුංචි දරුවන් යනු වැඩිහිටියන්ට තමන්ව දකින්නට ඇති කණ්ණාඩියක්...නිබන්ධන දහසකින් දකින්නට බැරි ජීවිතය විටක මගේ පුංචි කෙල්ල මට කියා දෙන්නේ තත්පර වලින්... 

"මෙය ඔබේ නිබන්ධනය...එය ලිවිය යුත්තේ ඔබට අවැසි ආකාරයට...අවසන් පරීක්ෂණයේදී පිළිතුරු දිය යුත්තේ ඔබ"...

ඒ මගේ මහාචාර්යවරිය...එදවස නිබන්ධනය ලිවීම ඇරඹීමට පෙර මට දුන් විශිෂ්ටම උපදේශය...

මාර්ගෝපදේශ සහිත ස්වාධීනත්වය බොහෝ විට සාර්ථකත්වයට ඉණිමගක්...

ඒ කෙසේ වෙතත් ආර්ථික අපහසුතා බොහොමයක් ඇති කුඩා දූපතක සාර්ථක පර්යේෂණ කිරීම ඉතා අසීරු කර්තව්‍යක්...බොහෝ විට එයට හරස් වෙන්නේ මුල්‍ය ප්‍රතිපාදන... ඒ හේතුවෙන් අඩු මුදලක් වැයකොට තත්වයෙන් උසස් නවමු සොයා ගැනීමක් සඳහා මා කලේ හැකි තරම් පැරණි පර්යේෂණ ලිපි කියවීම...

මගේ පර්යේෂණ වපසරිය තුල ලෝක ප්‍රසිද්ධ වූ මහාචාර්ය ජෙරී සහ ආචාර්ය ස්ටීව් ගේ පර්යේෂණ...නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය...ඇමෙරිකානු නාවුක හමුදා පර්යේෂණ ආයතනය සහ යේල් විශ්ව විද්‍යාලය...මෙයින් එක් තැනක් ගැන හෝ සඳහන් වූ පර්යේෂණ ලිපියක් මා අත නොරැඳුනා නම් ඒ කලාතුරකින්...

ඒ සියල්ලම ජීවිතයේ කිසිදාක පය තබන්නට "සිහින" නොබැලූ තැන්...ජීවිතයේ කිසිදාක හමු වේවි යැයි නොසිතූ මහා විද්‍යාඥයන්...

එහෙත්...

ටීපෝවක් මතින් දෙපය තබාගෙන...යුවතියකට කිසිසේත්ම නොගැලපෙන ඉරියව්වකින් පරිගණක තිරයට එබීගෙන උන් හිතුවක්කාර හිතකට ඔවුන් කල බලපෑම නම් බොහොමයි... 

මා සිහින දකින්නියක් නොවේ...කලාතුරකින් ආදරය හිතෙන සිහින වලට හිතේ පැලවෙන්නට ඉඩ හරින්නියක්...

සන්තකයටම ඇත්තේ එකම රුපියල නම් එය වඩාත්ම පලදායී ලෙස ආයෝජනය කරන්නියක්...

කෙටියෙන්ම කියතොත්, අනාගතය ගැන කිසි විටක ලත නොවී, අද දිනය සාර්ථකව නිමා කිරීමට වෙර දරන්නියක්... 

අදින් වසර දහඅටකට පෙරද මා කරමින් උන්නේ එයමයි...

"කොළඹ රස්සාවකට යනව ඇති"

"මදැයි සල්ලි වියදම් කරලා කොළඹ ඉස්කෝලේ යැව්වා"

ඒ ගම්මානය තුල ඇසුන කසුකුසුව...

"ඇත්තටම බාහිර උපාධියට රස්සාවල් තියනවද"

ඒ පළාතේ සියල්ල දත්තා වූ පුරවැසියෙක්...

"ගාමන්ට් එකට දාල දෙන්නම් කිව්වා පොඩි අය්යා, ඔයාට යන්න බැරිද...එතනින් උපාධිය කරන්නත් ඉඩක් ලැබෙනවා කිව්වා..."

සියලුම කරදර උහුලා හිඳ, අවසානයේ ඒ ප්‍රශ්නය ඇසුවේ මගේ ආදරණීය අප්පච්චි...

අසූඅට/අසූනවය භීෂණ අවධියේ දහසේ නෝට්ටු මිටි රැගෙන මැල්සිරිපුර වී ගබඩා සොයා ගිය, පසු කලෙක රුපියල් හතළිහක් සොයා ගන්නට නිවස පීරූ මගේ අප්පච්චි...කර්මය විසින් හදවත් රෝගියෙකු කල, අප සමඟ ගත කල අවසන් අලුත් අවුරුද්ද වෙනුවෙන්, අලුත් ඇඳුම් මිලදී ගැනීමට නොහැකිව හැමට රහසින් කඳුළු සැලූ මගේ අප්පච්චි...

ජීවිතය මිනිසුන්ට ලබා දෙන දඬුවම් විටක ඉවසා දරා ගැනීමට බොහෝ අසීරුයි...අප්පච්චි ඒ දඬුවමෙන් හෙම්බත් වී උන් තරමට ඔහුට පැහැදිලිව හිතන්නට තරම් මානසිකත්වයක් එදා නොතිබෙන්නට ඇති...

ඒත් අද සේම එදාද මට තිබුනේ, අප්පච්චිගෙන්ම උරුම වූවයි මා විශ්වාස කරන, කිසිදාක පසුනොබසින හිතක්...

ඒ හේතුවෙන්ම, අප්පච්චි මා විද්‍යාඥයෙකු වේ යැයි සිහිනයක්වත් නොමැතිව අදින් වසර දාහතරකට පෙර අප හැර ගියද....මා අද මේ සටහන තබන්නේ ආචාර්ය ස්ටීව්ගේ ආරාධනාවෙන්, ඔහුට අයත් පර්යේෂණායතනය තුල ආරාධිත දේශනයක් පැවැත්වීමෙන් පසු ලැබුන විවේකයෙන්...ඔව් ඔහු තමයි, මා පෙර සඳහන් කල පර්යේෂණ ලිපි තුල උන් මහා විද්‍යාඥයා...

ජීවිතය එසේය...සිහින වලට පැල වෙන්නට ඉඩ හැරිය යුතුය...

මා මේ සටහන පටන් ගත්තේ, මගේ ඒ කතන්දරය ලිවීමේ අදහසකින් නොවේය...

එහෙත් ජීවිතයේ බොහෝ අරමුණු ඉතා කුඩා සිදුවීමකින් පවා අතහැර දමන අපේම මිනිසුන් සිටින ලෝකයක, මගේ ජීවිත කතාවේ කොහේ හෝ තැනක්, කාට හෝ ශක්තියක් වෙතැයි මහිත කියූ නිසාවෙන් එය බිඳෙන් බිඳ ලියා තබමි...

අප්පච්චි ලඟ වැටී කියන්නට අවැසි යයි මට සිතෙන සියලුම දෑ ඔබෙන් අවසරයක් ඇතත් නැතත් මා මෙහි ලියා තබමි...ඒ මෙවැනි දුෂ්කර ගමනක සුන්දර ගමනාන්තයන් පිලිබඳ පවසන්නට ඔහු සිටියා නම් කියා සිතීමෙන් මා හෙම්බත් වී ඇති බැවිනි...

මේ කතන්දරය කීමට පෙර මා ඔබට එක් පොරොන්දුවක් දෙමි...මා ඔබට ඒත්තු ගන්වන වග, ජීවිතය යනු ඕනෑම තත්පරයක ඕනෑම තැනකින් පටන් ගත හැක්කක් වග...ජීවිතයට එක් තත්පරයක පංගුවකින් රෝස මල් යහනාවක් කාන්තාරයක් කල හැකි වග...බුදුන් වහන්සේගේ දේශනාව අනුව.."ආරෝග්‍යා පරමා ලාභා" නිරෝගී කම උතුම්ම සම්පත වග...හිතේ ඇති මහත් වූ ශක්තියෙන් සහ නොපසුබට උත්සාහයෙන් කර්මය වෙනස් කල හැකි වග...ගෙවෙන සෑම තත්පරයකදීම ජීවිතය විසින් අපට යමක් උගන්වන වග... 

..........................................................................................................................................................

"ඒ සියල්ලටමත් වැඩියෙන්, පොකුරු වැහි නිර්මාණය වුයේ, 
මහ පොළොවේ ඇති,
 දහදිය, කඳුළු, අළු, දූලි සියල්ලම එක්කාසු වී වග"

..........................................................................................................................................................


ඒ එක්දහස් නවසිය අසූහතර වර්ෂය...මා හෝඩියට ඇතුලත් වූ අලුත...යම් කිසි හේතුවකින් අප්පච්චී නිවසේ නොසිටි දිනයක්...එවන් දිනයක මා පාසැලට රැගෙන ගියේ, මට වැලිපිල්ලේ රවුම් අකුරු ලියන්නට කියාදුන් මගේ හැඩකාර ආච්චි අම්මා...

අද අනූඅට වියට එළඹී ඇති ඇය, අද සේම එදාත් බොහෝ කඩිසර කාන්තාවක්...ඇය නිවසින් පිට යන ඕනෑම වතාවක සැරසුනේ ඔසරියෙන්...ඒ සුන්දර දසුන මට ඕනෑම විටක මතකයට නගා ගත හැක්කක්...

"අපි දිගටම පයින් යමුද"...ඒ ජීවිතය විසින් මාගේ කුඩා හිතට ඇති ශක්තිය උරගා බැලූ පළමු වතාව...

බොහෝ වේලාවක් ප්‍රධාන පාරේ බලා හිඳි ආච්චි අම්මාට, එදින බස් රථ වර්ජනයක් බව කවුරුන් හෝ පවසන්නට ඇති...ඇය කිසිදාක පසුනොබසින ගැහැණියක්...කුඩා මාද එය උරුමය කොටගෙන ඇත්දැයි සැකහැර දැනගැනීමට ඇය එසේ ඇසුවේ බොහොම රහසින් වග නම් මට සහතිකයි...

"හා"...කිලෝ මීටර හෝ සැතපුම් පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති මා (අදටද එය එකසේම වලංගුය...) ඇගේ යෝජනාව ස්ථිර කලේ එලෙසින්...මගේ එකම උවමනාව වූයේ කෙසේ හෝ පාසැල් යාම...

"අම්මාට කියන්න එපා"...ඒ ආච්චි අම්මා මගෙන් ගත් පොරොන්දුව... 

"හා"...මා කලේ හිස වැනීම...

එයින් වසර දහසයක් පමණ ඉක්ම යනතුරුත්,  ආච්චි අම්මා විසින්ම ඒ පොරොන්දුව කඩන තෙක්ම, අම්මා හෝ අප්පච්චී ඒ ගැන කිසිවක් දැන නොසිටි වග පමණක් ඔබට කියන්නට කැමතියි...

එදා මා සැතපුම් හයක් පමණ ආච්චි අම්මා සමඟ ඇවිද ගියේ, කිසිදු කෙඳිරියක් නොනගාම...මට ආච්චි අම්මා විසින් ලබා දුන් අභියෝගය ජය ගැනීමත්, කෙසේ හෝ පාසැලට යාමට හැකි වීමත් යන කාරණා දෙකම හේතුවෙන්, මට කිසිම වෙහෙසක් දැනුනේ නැහැ...

එදා සේම, අදද මා ජීවිතය මනින්නේ තත්පර, සැතපුම් හෝ වර්ෂ වලින් නොව, ආත්ම විශ්වාසයෙන් සහ අරමුණු වලින් පමණි...

" මා මලක් සේ නුඹ නොහැදුවේ පෙති සැලී පරවෙන නිසාමයි...
දුක දිනා හිනැහෙන හැටි ලොවේ නුඹ දැන උගත් පාඩම තමයි"

මගේ ආච්චි අම්මාටත් එදා එහෙම හිතෙන්නට ඇති...


---------------------------------------------------------------------------------------------------------------------------------

සියලු දෑ අනිත්‍ය ලෝකයෙහි, හෙට දිනද අනියතය...
ඒ දකින්නට මා අවදි වුවහොත්, ජීවිතය ගැන නැවත ලියමි...

---------------------------------------------------------------------------------------------------------------------------------

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.