Wednesday, September 7, 2016

ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට නඩු කියන්නට හිතෙනවා...

පියානෝවක් මත විසිරුන රතුරෝස මල් පෙති සහ රතුරෝස මල් කිනිත්තක්
(සේයාරුව අන්තර්ජාලයෙනි)


ඔබ වයන සත්සර ස්වර මතින් 
දුක සුසර වී මට දැනෙනවා 
ඔබ ගයන තනුවේ අමතකව ගිය 
පුරුදු කවියක් ඇහෙනවා... 
ඔබෙ හීන් ඇහිපිය ගැහෙනවා 
ඇය හාදු ගොන්නක් එවනවා 
ඒ ගීයෙ අයිතිය ඉල්ලලා මට
නඩු කියන්නට හිතෙනවා... 

ප්‍රේමයට සහසක් අරුත් ඇති 
මාවතක් ලොව කොහේ හරි ඇති 
ඔබත් එක්කල එහේ යන හැටි 
අලුත් කවියක ලියනවා... 
ගී අහන්නට කවුරුත්ම නැති 
ඔබට රිසි තනුවක් දැමිය හැකි 
ඒ පාරෙ මං කවි ඉහිනවා 
ඔබ නොඑන වග මං දන්නවා...

පදරුත් කිසිත් ගලපාගන්ට බැරි 
මා ලියූ එක නොපල කවියකි 
තවම තනිකඩ මගෙ කවිය එහි 
තනුව කොහෙදැයි සොයනවා...
"එකම එක ස්වරයකදු දන්නැති 
කවියෙකුට ගීයක් අයිති නැති" 
ඔබ කුරිරු ස්වරයෙන් කියනවා 
ඒ නොපල කව ඉකි ගහනවා...

මං කඳුළු හිර කර ගන්නවා...

By

WW
July 22, 2016

21 comments:

  1. ගිය හකුරට නාඩන්නේ ! සුපර්මාකට් එකකින් අළුත් හකුරු ගන්නේ !
    - ඩිංගි මහත්තයා

    ReplyDelete
    Replies
    1. සේරි වාණිජ ලෝකේ හැමදේම විකිනෙද්දී ඩිංගි මහත්තයට එහෙම හිතෙන එකේ වරදක් නෑ...නමුත් සුපර්මාර්කට් වල අලුතින් ලේබල් දාල අලෙවි කරන්නෙත් පිටකොටුවේ තියන සීනි කලවම් කරපු හකුරුම තමයි...

      ඩිංගි මහත්තයටයි, හූමිටි තියපු ඩ්‍රැකීටයි බොහොම ස්තුතියි...

      Delete
  2. කදුල වසා මුව සිනහව දග කෙරුවත්
    මිදුල පුරා සත්සර නද ඉගි මැරුවත්
    වදුල අතර දුක් ගී කවි ඵල දැරුවත්
    කදුල නතර නෑ නුඹ අමතක කෙරුවත්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී සුන්දර පද පෙළට...

      Delete
  3. වෙනද වගේමයි.. ලස්සනයි... පොතක් ලියන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි...මුලින්ම සමාවෙන්න ඕනේ...උඩ පින්තුරේ යටින් විස්තරය ලියන්න බැරි උනාට...හදිසියේ පෝස්ට් කලේ...දැන් එකතු කළා...

      පොතක් කරන්නත් හිතාගෙන ඉන්නවා...කම්මැලි කමත් තියනවා...තව හොඳ නිර්මාණ ඕනේ කියලත් හිතනවා...ඉතින් කවද හරි පොතක් ලියවෙයි...

      Delete
  4. // ඔබ වයන සත්සර ස්වර මතින්
    දුක සුසර වී මට දැනෙනවා
    ඔබ ගයන තනුවේ අමතකව ගිය
    පුරුදු කවියක් ඇහෙනවා..//

    පොකුරු , මට සමහර ගායක ගායිකාවන්ගේ කටහඬවල් වල දැනෙන්නේ හරියට එයාලා ඒ ගීයේ කියවෙන හැඟිම ඇත්තටම විඳලා ගායනා කරනවා වගේ. රාමේන් ගර්ල් කියල ඉංග්‍රිසි ෆිල්ම් එකේ කියවෙනවා රාමේන් හදන එක එක කෙනාගේ හදවතේ ඇති රසය තමයි රාමෙන් එකින් එන්නේ කියලා .. එකේ ගුරුතුමා හදන රාමේන් සුප් බීලා වෙහෙස වෙලා එන මිනිස්සු හිනා වෙනවා.. ගෝලයා හදන සුප් බීලා අඬනවා.. කොහොම හරි අන්තිමේ දෙගොල්ල්නම සතුටෙන් තමයි සුප් බීලා යන්නේ.

    ReplyDelete
    Replies
    1. නිම්නා ඔබ මේ නිර්මාණයේ අරුත හරියටම විඳලා තියන වගක් පේනවා මට ඔබේ මේ උදාහරණය දිහාවේ බැලුවම...ඇත්තටම ගායකයා ඒ ගීතය විඳින තරමට තමයි ඒක අහන කෙනාටත් දැනෙන්නේ...ඒ වගේම තමයි නිර්මාණයක් වුනත්...ඒකෙ ජීවත් වෙලා ඒක ලියද්දී තමයි කියවන කෙනාට දැනෙන්නේ...

      ඔය පළමු පද පෙළ ලියද්දි ඇත්තටම මගේ හිතේ මැවුනේ වේදිකාවක ගීතයක් ගයන ගායකයෙක්ව...ඒක ඔස්සේ මැවූන රචනාවක් තමයි මේ ලියවුනේ...

      Delete


  5. සුපුරුදු පරිදි, මනරම් ය පොකුරු වැහි..!

    ReplyDelete
  6. ලස්සන කවි -පෙඅලක්. මම මුලදී හිතුවේ සින්දුවක් කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් ඇගයීමට...පද පෙළ ගලාගෙන යන ආකාරය නිසා ඔබට එහෙම දැනෙන්න ඇති...

      Delete
  7. 'නඩු කියන්නට හිතෙනවා' කියන වචන ටික, ඊට වඩා සාහිත්‍යමය යෙදුමකින් ඉදිරිපත් කලානම්, හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක තුමනි අදහසට...මේ නිර්මාණය නිමා කළායින් පසුව මා වඩාම කැමති පද පෙළ තමයි ඔය වචන ටික...එතැන තියන අව්‍යාජ බව නිසා ඒක හිතට දැනෙනවා කියල මට හිතුන...නමුත් නිර්මාණයේ ගීතවත් බවක් තියන නිසා ඔබතුමා කියන විදියට ඒ වචන වෙනුවට වෙනත් යෙදුමක් ආවොත් වඩාත් ගැලපේවි...කල්පනා කරලා වෙනසක් කරන්නම්...

      Delete
  8. මාත් මෙහෙ.. කඳුළු හිරකර ගන්නවා... :'(

    ReplyDelete
    Replies
    1. ඔව් කඳුළු හලලා පලක් නැහැ කමි...

      Delete
  9. ලස්සන අදහස් ගොන්නක් වැහැලා

    ReplyDelete
  10. අදහස් පෙළ සුන්දරය. ඔබ මේ පදපෙළ රසවිඳිමින් ලියා ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේතුමනි...ඇත්තෙන්ම, මේ මගේ හිතේ චිත්ත රූප මවාගෙන ලියූ පදපෙළක්...බොහෝ විට මා ලියන දේවල් නැවත නැවත කියවමින්, එහි රසක් තිබෙනවාදැයි සොයමින් ලියන එක මගේ පුරුද්දක්...එය මගේ හිතට නොදැනෙන මට්ටමේ නිර්මාණයක් නම්, එය බොහෝ වෙලාවට අසාර්ථකයි...

      Delete