Sunday, October 30, 2016

ඔබේ කවි හදවතේ ඇවිද යමි...

ඔබේ කවි හදවතේ බිත්තියේ 
කේශ නාලිකාවක ඇවිද යමි
හදවතට කිට්ටුවෙන් ලියා ඇති 
කවි මගේ යැයි මම හිතා ගමි...

ඇතැම් කවියක දුක පිරී ඇති 
යුවතියක ඉකි ගසන හැටි දුටිමි 
ගැඹුරට ලප කැළැල් එමට ඇති 
සැත්කමින් කපා හල තැන් දුටිමි...

සියුම් රිදුමකින් හිත පාරවන 
ප්‍රේමයයි සිතූ තැන පිරිමදිමි 
අගුල් නොදමන ඔබේ හදවතට 
අහම්බෙන් ගොඩ වැදුන තැන සොයමි...

තවම ඔබ බයිපාස් නොකර ඇති 
මගේ ප්‍රියතම කවිය වැලඳ ගමි
ඔබේ ඇස නොගැටී සීරුවෙන් 
වෙනදා වාගේම පිටව යමි...

WW
ඔක්තෝබර් 29, 2016

කිසිම දෙයක් නොලියා ඉන්නවට වඩා මුහුණු පොතට ලීයූ පද පේළියක් මෙතනත් අලවලා තියන එක හොඳයි කියල හිතුනා...

Saturday, October 22, 2016

මා එනතෙක් බලා ඉන්නා ඔහු...

කුඩා පිරිමි දරුවෙකුගේ සහ ගැහැණු දරුවෙක් අත් පටලා හිඳින පින්තුරයක් 



"එයා ඒ කමිසේ අඳින්නේ නැතුව පරිස්සම් කරනවා"...

අම්මා එහෙම කිව්වේ සුදු මැණිකේගේ ලපටි කට හඬ ටිකෙන් ටික දුරස් වෙනවා ඇහෙද්දී...

"ඒ ඇයි"...

මං ඇහුවේ ඒ තරම් හැඟීමකින් නෙවේ...එයා දැන් දරු දෙන්නෙකුගේ තාත්ත කෙනෙක්...ඔහොමත් බොළඳ වෙනවද...

මං හොද්දට තව ලුණු ටිකක් කලවම් කලේ හිතට නැගුන අමනාපෙත් එක්ක...

"ඔයා ආවම අඳින්න...විනෝද චාරිකා යද්දී..."

අම්මාගේ ඒ වචන ටික ඇහෙද්දී මට හිතුනේ අර වැඩි වුන ලුණු ටික හොද්දෙන් ආයිමත් ගන්න පුළුවනි නම් කියල...

එයා පහුගිය අවුරුදු දහනවයෙන් වැඩිපුරම ඇන්දේ මං අරගෙන දුන්න කලිසම්, කමිස...ඉස්සර මං කමිසයක් අරගෙන ආවම එයා ඒක මට ඇඳලා පෙන්වනකල් මං යනවා එයා පස්සෙන්...එවෙලෙට එයා කෑ ගහන්නේ මුහුණ පුළුටු කරන්...

"දැන් බැහැ අනේ...මේ දාඩියත් දාල...ලස්සනයි...ඉතින් ලස්සනයි.." 

එයා කියන්නේ කිසිම ගානකට නොගෙන...එයා දන්නවද මං කොයි තරම් ඇවිදලද කියල එයාට හැඩ ටී ෂර්ට් තෝරන්නේ...

එවෙලෙට තමයි හිතෙන්නේ අර පොඩි කාලේ වගේම භූමිතෙල් හලන්න ඔළුවටම...

"ඕනේ එකක් කරගන්නවා...ආයිමත් ගේන්නේ නැහැ"...

මං කෑ ගහන්නේ ගේ දෙවනත් වෙන්න...මං අත්දැකීමෙන් දන්නවා මගේ සද්දෙට එයාගෙන් ප්‍රතිචාරයක් ගන්න පුළුවනි කියල...

එයා එවෙලෙට නැගිටලා යන්නේ සෝපාව පුරා විසිරිලා තියන ඔක්කොම ඇඳුම් එකතු කරගෙන...ඒවා එකින් එක ඇඳගෙන එයා එන්නේ මොඩල් කෙනෙක් වගේ...ඉතින් අම්මයි මමයි කරන්නේ එයාගේ හැඩ බලනෙක...

එයා ලස්සනයි...ඒ හිනාවට තමයි මං වැඩිපුරම ආදරේ...මොන වරදක් කලත් මට එයාට දඬුවමක් දෙන්න හිත හදා ගන්න බැරි ඒ හිනාව හන්ද...

මට සමහර අවුරුදු වල සල්ලි තිබුනේ එයාටයි අම්මටයි ඇඳුම් ගන්න විතරමයි...ඒ දෙන්නට තෝරලා ඉතිරි වෙන මුදලකින් මොකක් හරි ඇඳුමක් ගන්නෙක මගේ පුරුද්ද...

මං එයාට නිතරම ගෙනත් දුන්නේ මං ආසම කරන ක්‍රීම් පාට කමිස...එහෙමත් නැත්නම් ටී ෂර්ට්...මං හිතන්නේ කාලයත් එක්ක එයා හුරු වුනා ඒ පාට වලට...මං එයාට ඇඳුම් ගන්නේ පාට ගලපලා...එයා අප්පච්චි වගේම යන්තමින් හිනා වුනාම මං දන්නවා එයා ඒවාට ආසයි කියල...

"මං කිව්වා එයාට ඔයා මේ පාරත් එයාට ඇඳුම් ගොඩක් එවලා කියල"...

අම්ම එහෙම කියද්දියි හොද්දට මොකද වුනේ කියල බලන්න මට කල්පනා වුනේ...

"ඔව් අම්මේ එයාට ලෝබ කම් කරන්නෙපා කියන්න...මං එයාට ඇඳුම් එව්වා අවුරුද්දටම ඇති වෙන්න"...

මං එහෙම කිව්වට මට හිතුනා තව ඇඳුම් ටිකක් ගන්න...යනකොට අරන් යන්න...එයාට මොනවා දුන්නත් මට හිතට මදි...අම්ම නම් කියන්නේ මං එයාගේ පූරුවේ ණය කාරයෙක් කියල...


එයාව ඇහැට නොදැකපු මගේ ඉන්දියානු මිතුරිය කියන්නේ ඔයා තමයි එයාව හුරතල් කරන්නේ කියල...

එයා ගැන හොඳට දන්න අපේ යාලුවෙක් කියන්නේ, එයාට මං ගැන කිසිම හැඟීමක් නැහැයි කියල...එයා වගකීමක් නැති මිනිහෙක් කියල...

ඒත් මං ඇර එයා ගැන වෙන කවුරු දන්නවද...එයාට මට තරම් හිතේ හය්යක් නැහැ...එයා තමන්ගේ හැඟීම් කාත් එක්කවත් බෙදා ගන්න කෙනෙක් නෙවෙයිනේ...

"එයා මේ අලුත් අවුරුද්දට කේක් එකක්වත් ගෙනාවේ නැහැ පුතේ..."

අම්ම එහෙම කිව්වේ මං ගෙදර නොහිටිය පළමුවෙනි අලුත් අවුරුද්දේ...

මගේ උපන් දිනය යෙදෙන්නේ බොහොමයක් අවුරුදු වල පරණ අවුරුද්ද දාට...ඉතින් අප්පච්චි ඉන්න කාලේ ඉඳන් එදාට කේක් එකක් ගෙනත් බොහොම සරල උපන්දිනයක් සැමරීම නොවරදා කල දෙයක්...මට මතකයි අප්පච්චි නැති උනායින් පස්සේ අවුරුද්දේ අපි ගෙදර කිරිබතක් නොහැදුවත්, එයා කේක් එක ගෙනාවා...

එයා තමන්ගේ හැඟීම් පිට කරන්නේ එහෙමයි...ඒවායේ දිග පළල තේරෙන්නේ මටම විතරයි...මං හිතන්නේ දැන් එයා ගැන දන්නා අයගේ ගණයට සුදු මැණිකෙත් එකතු වෙලාද කොහෙද...

එයා මං විවෘතෙට යන කාලේ මං එනකල් හන්දියේ බලන් උන්නා රෑ නවය විතර වෙනකල්...හරිම දුෂ්කර කාලයක්...අප්පච්චි අසනීපෙන්...එයා තමයි ගෙදර ආර්ථිකය වෙනුවෙන් බර කරට ගත්තේ...

"මං අද කමිස දෙකක් ගත්තා"

ඒ කාලේ එක දවසක එයා ගෙදර ඇවිත් පෙන්නුවේ එයාටත් වඩා ලොකුවට පෙනුන කොටු වැටුන කමිස දෙකක්... 

"කොහෙන්ද මේ"

එයාගෙන් මං ඇහුවේ පුදුමෙන්...

"විහාරමහා දේවී එක ළඟ සේල් එකකින්, රුපියල් අනූවයි...;ලස්සනයි නේද..."

මට අදත් ඒ කමිස දෙක හොඳට මතකයි... ඒකයි මට එයාට කොයි තරම් දේවල් අරන් දුන්නත් මදි වගේ දැනෙන්නේ...එයා එයාගේ හොඳම කාලේ කැප කලේ මං වෙනුවෙන්...

උදේ හවස මං අම්ම එක්ක කතා කලත්, එයත් එක්ක කතා කරන්නේ හරිම අඩුවෙන්...

පරිගණකය හරහා මං දකින්නේ එයාගේ මුහුණෙන් බාගයයි බොහෝ වෙලාවට...ඒ දෝණිගෙයි, සුදු මැණිකෙයි උසට හරියන්න කැමරාව සකස් කරන හන්ද...

මං දන්නවා මේ දුර බොහොම දුරක්...අපි දෙන්න වෙන් වෙලා ඉන්නේ මුහුදු හතකින්...

ඒක දැනගෙන තමයි මං මුල්ම වතාවේ ලංකාවෙන් එද්දී එයාගේ ඇස් වල කඳුළු පිරිලා තිබුනේ...මං ගුවන් යානයේ ඉඳන් කතා කරද්දී එයා කතා කලේ හඬමින්...

අප්පච්චි නැති වුන දාවත් ඒ ඇස් වල මං කඳුළු දැක්කේ නැහැ...

දැන් එයා බලන් ඉන්නේ මං නිවාඩුවට එනකල්...අර පොඩි වුන් දෙන්නට වඩා ආසාව තියෙන්නේ එයාට කියල මං දන්නවා...මං එයාගේ අම්මා...මං එයාගේ තාත්තා...එයා වැඩිපුරම සතුටින් ඉන්නේ ඒ දවස් ටිකට...

"ඔයාල දෙන්නගේ ඒ කාලේ ගත්ත පින්තූරයක් ඔයා තියල තිබුනේ, මං දැක්කා ඒකෙ දූවිලි පිහිදාල අරන් තියනවා..."

අම්මා කියපු ඒ පින්තුරේ එයයි මමයි ඉන්නේ අත් පටලාගෙන...ඒ පේරාදෙණිය උද්‍යානයේදී ගත්ත පින්තූරයක්...මතක හැටියට අපි අප්පච්චි එක්ක ගිය අන්තිම විනෝද චාරිකාව...එතැන ඉන්නෙත් අර වගේම ලස්සන හිනාවත් එක්ක...

එයා අවුරුදු දහයක් විතර කාලේ මිහින්තලේ ගිහින් අපි දෙන්න ගත්ත පින්තුරේ නම් එයා ඉන්නේ මරණෙට ගෙනියන්න ඉන්න ගවයෙක් වගේ...

මොන තරම් ධර්මය ගැන හැදෑරුවත්, මට තනියෙන් වයසට යන්න බැහැ...අපි දෙන්න ආවේ එක මව් කුසකින්...ඒ හන්ද අපි මැරෙන්න ඕනෙත් එක ළඟක...

ඒක තමයි මට තවම ඉෂ්ට කරගන්න බැරි වුන එකම හීනේ...

සුදු මැණිකේට අද මතක් කරන්න ඕනේ, අප්පච්චිගේ කොලෙස්ටරෝල් පෙති ටික දෙන්න කියල...

ඔව් එයා මගේ මල්ලි...

මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ කාටද කියල ඇහුවොත් මට දෙන්න තියෙන්නේ හරිම සරල පිළිතුරක්...

මගේ මල්ලිට...

..............................................................................................................................................................






Thursday, October 20, 2016

මතක බණ ඉවරයි නිර්මලා...

සඳ එළියේ ගංගාවක් මත ගල් තලාවක
වාඩි වී හිඳින සුරංගනාවියක් 



























මතක බණ ඉවරයි නිර්මලා
අද රැයත් නුඹ හිතේ මුල්ලෙම
පහන් කරපන් ගුලි වෙලා
මුණ ගැසී අපි කතා නොකරපු
ඇස් වලින් වරු ගණන් විඳවපු
හැම කතාවම අද කියන්නම්
අහන් ඉඳපන් ලං වෙලා...

එදත් මං උන්නේ මග බලා
වළාකුළු මොර තියා හඬමින්
කියද්දිත් නපුරක් කියා
මත් බඹර තුඩු විස වැදී
මහ නුගේ ළඟ පෙති ලිහී නුඹ
තැලී පොඩිවී ගඟේ ගිය වග
නොදැනුනේ ඇයි නිර්මලා...

මගෙ මලයි නුඹ නිර්මලා
සිද්ධ පත්තිනි මෑණියන්ටත්
නොපෙනීම නුඹ පරවුනා
හැමදාම ඇස් වල ලියාගෙන
පරිස්සම් කල කවි අහන්නට
ආයෙ නාවත් මගෙ පිච්ච මල
පැහැය අඩු නැහැ නිර්මලා

ආදරෙයි මං නිර්මලා
පුංචි ඇස් දෙක නටවලා මට
කතා කරපන් ලං වෙලා
කවමදාවත් මෙලොව නොදැකපු
මගෙයි නුඹගෙයි පැටව් එක්කල
නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
එන්න හිතෙනවා නිර්මලා...
බලන් ඉඳපන් නිර්මලා...... 


WW (2014)


  

Monday, October 3, 2016

ඉඳුල් මල් දරාගෙන...ඇය මග බලාගෙන...

බස් නැවතුමක හිඳින තරුණියක් 




ඉර හිතේ ගින්දරෙන් මද්දහනෙ ඇවිලෙන 
විළිබියක් නැති සඳ එතූ සළුපිළි ලිහන 
අහසින් සෙනේ නැති ඒ කතරේ කොනක
ඇය ලතා මඩුල්ලකි පල ඇති කෙම් බිමක...

ඒ දුරු කතර මැද කෙම් බිම් සොයා යන 
අතරමං වූ දන පිපාසෙන් ඇවිදින
හෙම්බත් දනන් එන මල් මුවරද සිඹින 
සෙවනේ ගිමන් ලන තුරුලේම සැතපෙන...

විළිකුන් සුරත් පැහැ පල වලට ලොබ බඳින
පිණි කඳුළෙන් වැහුන ලපලු නම් නොදකින
ඇය මුවකින් නොබැන විසුල අතු පතරින
සිසිලෙන් සෙමෙර ලන එන දනා සනසන...

ඉඳහිටක ඉපැදෙන පැටි පැල නසාලන 
කම්පා වන සුසුම් සුළඟටද නෑසෙන 
කලාතුරකින් වහින වැස්සකට ඇය තෙමෙන 
අකල් වැහි නොරැදෙන...මතක විතරක් රැඳෙන...

කාලයක් දුටු හීන මුල් යට දිරා යන 
මහළු කොළ රොඩු වසා දූවිලි උලාගෙන 
ඉඳුල් මල් දරාගෙන ඇය මග බලාගෙන 
නොඉඳුල් පිං වතුන් යති ඇස් වසාගෙන....

WW

....................................................................................................................................................

ජිවිතේ අලුත් පිටුවක් පෙරලුව නිසා බ්ලොග් ලියන්නත්, බ්ලොග් කියවන්නත් වෙලාව හොයා ගන්න අමාරුයි මේ දවස් වල...පිටුව අලුත් කිව්වට පරණ පොතට, අළුතින් පිටු එක්කාසු කළා...අද තමයි පළමු දවස...ඒ කිව්වේ රැකියාව අලුත් කළා...කලින්ට වඩා ටිකක් විතර වගකීම් වැඩියි...ඒ වුනත් මැලේරියාවට එන්නතක් හොයන සිහිනයට ලඟයි...

අලුත් කතන්දරයක් ලියනකල්, පැරණි පද පෙළක් හොයල බ්ලොග් එක පිරෙව්වා...