Saturday, June 30, 2018

ෆිල්-ටී ගේ ෆිල්ති වීඩියෝව සහ ලාංකීය ලිංගික අසහනය


අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි. සම්පුර්ණ අයිතිය හිමිකරු සතුය


අහම්බෙන් කියැවූ බ්ලොග් ලිපි දෙකක් නිසාවෙන් එය ඔස්සේ වැඩි යමක් ලියා තබන්නට සිතුනි. මගේ මලයාගේ කෙළි පැටවුන්ගේ වයසේ පටන් තාරුණ්‍යට එළඹෙන සියලුම අනාගත පරම්පරාවට එහි වැදගත්කමක් තිබෙන්නට පුළුවන. තවද, එවන් වයස් වල දරුවන් සිටින අපේ පරම්පරාවේ දෙමාපියන්ටද, අනාගතයේ දෙමාපියන් වන්නට සිටින තරුණ පරම්පරාවටද මේ සටහනෙන් යම් ප්‍රයෝජනයක් වනු ඇත.

ඉහත සඳහන් කල පරිදි, මේ ලිපියට ප්‍රස්තුතය වූයේ එරන්දිගේ සහ රස්තියාදුකාරයාගේ බ්ලොගයන් වල පල වූ ලිපි දෙකකි. එරන්දි නගාගේ ලිපිය තුල නෙගටිව් මාකටින් පිළිබඳව සටහන්ව තිබුනත්, එහි ප්‍රස්තුතය පැහැදිලිව අවබෝධ වූයේ රස්තිගේ සටහන කියවීමෙන් පසුවය. ඒ මා හට මේ දිනවල සමාජ ජාලා සමඟ ගනුදෙණු කිරීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බැවිනි.

මේ සියලුම කතන්දර වලට හේතු වූයේ රැප් කලාව මුල් කරගෙන නිපදවූ සංගීතමය වීඩියෝවකි. පැහැදිලි ලෙසම එරන්දිගේ සටහනෙහි ඇති සියලු කරුණු මා එකඟ වන නමුත්, රස්තිගේ සටහනේ ඇති එක් කරුණක් හැර අනික් කිසිදු කරුණක් සමඟ මා කිසි සේත්ම එකඟ නොවෙමි. 

රැප් සංගීතය හෝ ෆිල්-ටී (Fill-T) පිළිබඳව මා දන්නා මෙලෝ හසරක් නැත. නමුත් අසා දැනගත් පරිදි සහ කණට වැටහුනු පරිදි එම මියුසික් වීඩියෝ පටයෙන් දක්වා ඇති ඔහුගේ සංගීත පෙළහර පිළිබඳව මා හට කිසිදු විවාදයක් නොමැත. ඒ සංගීත ශෛලය ලාංකික රැප් ප්‍රිය කරන්නන්  හට රසවත් වනු ඇත. එහෙයින් රස්ති පවසන ලෙසින් ඔහු දක්ෂ රැප් සංගීතවේදියකු විය යුතුය. එහෙත්, කුමන ශෛලයක හෝ වේවා ගීතයක් යනු සංගීතය පමණක් නොවන බව ඔබ මා සියලු දෙනා එකඟ වන කරුණකි. 

මානවයා හෙවත් මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහු තුල පවතින ස්වයං විනය නිසාවෙන්ය. තමන් කවර සංස්කෘතියක, කවර ආගමක් අදහන්නෙකු හෝ නිරාගමියෙකු වූවද ඒ මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහුගේ ස්වයං විනයෙහි මට්ටම අනුවය. අද ඉපදුන ගැහැණු දරුවන් රමණයට සුදුසු යැයි සිතන, හොදින් වැඩුන පුරුෂයෙකුට ඇත්තේ තිරිසන් භාවයෙන් පවා ඔබ්බට ගිය, පාලනයෙන් තොර මනසකි. උසස් හැදියාවක් ඇතැයි විශ්වාස කරන, ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහෝ දෙනා තම ජීවිත වල විවිධාකාර පැතිකඩයන් වලදී තම ස්වයං විනයෙන් මිදී, තිරිසන් භාවය අභිබවා යන්නෝ වෙති. ලිංගිකත්වය යනු නිරන්තරයෙන්ම එහි පළමු පෙළ ගන්නා අංගයකි.  ෆිල්-ටී ගේ මේ වීඩියෝවෙන් නැවතත් පසක් කර දෙන්නේ ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය සහ ලිංගික අසහනයයි. 

අප කුඩා කාලයේදී පණ ඇති සහ පණ නැති වශයෙන්, සතුන් සහ ගස් කොළන් වර්ගීකරණය කරන්නට උගත්තෙමු. එසේ උගත්තාවූ පණ ඇති කොටසට අයත් සියලුම සත්වයින් තම වර්ගයා බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතු කරුණකි. මානව ලිංගික ලක්ෂණ යටතේ අප සියලු දෙනාගේම ශරීර තුල ප්‍රජනන පද්ධතියක්ද, එයට අනුයුක්ත වූ ලිංගික අවයවද පිහිටා ඇති බවද ඔබ ඉගන ගන්නට ඇත. එයට අමතරව ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව, ඔබ සියල්ලෝම මව් කිරි බී ඇති හෙයින් කුඩා කල සිටම දැන සිටින්නට ඇත. එහෙත් ෆිල්-ටී ලාටත් ඒවායෙන් ඔද වැඩෙන යුවතියන්ටත් එය හුදෙක් ලිංගික ආකර්ශණය සඳහා අලවි කල හැකි භාණ්ඩයකි. 

මිනිසාට ලිංගික ආශාවන් ඇති වන්නේ මිනිස් ශරීරයේ ඇති විවිධාකාර හෝමෝන  වල බලපෑම අනුවය. එහෙත්, මිනිසා තම ලිංගික කාර්යය අතිශය පුද්ගලිකව කිරීමට පෙළඹෙන්නේ මානව ලක්ෂණ දියුණු වීමත් සමඟ, ඔහු තමාගේ මනස පාලනය කරගැනීමට එසේත් නොමැති නම් ස්වයං විනයක් ඇති කරගැනීමට උගන්නා නිසාය.

ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. මා එසේ කියන්නේ මේ තාක් මට හමුවූ ලොව විවිධ ජාතීන් වල මිනිසුන්ට ලිංගිකත්වය යනු ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් නිසාවෙනි. ඇමෙරිකානුවන් තම සහකරුවා සමඟ එකතු වීම අදහස් කරන්නේ "මේකින් ලව්" වචනය භාවිතා කරමිනි. වසර දොළහකට පමණ පෙර මා ඉතා තරුණ අවධියේ කෙන්යාවේ නයිරෝබි නගරයේ වැසිකිළියකට ගිය විට "කොන්ඩම් භාවිතා කරන්නැයි" නිවේදනයක්ද සමඟ එහි උපත් පාලන කොපු තබා තිබුණි. ලෝකයේ බොහෝ රටවල ලිංගික අවශ්‍යතා සහ ලිංගිකත්වය තේමාවන් මූලික කරගත් රතු දිස්ත්‍රික්ක ඇත. තමාගේ කැමැත්ත පරිදි මිනිසුන්ට ඒ කලාපයන්ට ඇතුල් විය හැක. එම රටෙහි හෝ ජනපදයෙහි නීති රීති වලට එකඟව මිනිසුන්ට එහි යාමේ තහනමක් නැත. සියල්ලමට මුල් වන්නේ සිතය. සියල්ලෙන්ම මා අදහස් කරන්නේ ලෝකයේ බහුතරයක් මිනිසුන් අනිකාගේ ලිංගික නිදහසට ගරු කරන බවත් එය ජුගුප්සාජනක අමුතු පන්නයේ දෙයක් ලෙස නොසලකන බවත්ය. 

බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය. ඇමෙරිකාවේ බහුතරයක් දෙමාපියන්, තමා කුඩා දරුවන් ලිංගික අපයෝජන වලින් ගලවාගැනීම පිණිස, කුඩා කල සිටම හැඩ ගස්වති. ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ හෝ ගැහැණු දරුවන්ගේ පියයුරු, තමන්ගේ පෞද්ගලික ප්‍රදේශ බවත් (ප්‍රයිවෙට් පාර්ට්ස්), තමන් හැර පිටස්තර කිසිවෙක්ට ඒවා ඇල්වීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන්ට වටහා දෙති. මේ දරුවන් යොවුන් වියට පා තබන විට දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් විවෘත සාකච්චා හරහා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට නිසි පියවර ගනිති. එමෙන්ම පොදු මානව පෙළඹීම අනුව වැඩිවිය පත්වන දරුවන් තම සමකාලීනයන් හරහා සහ අත්දැකීම් හරහා ඔවුන්ගේ ලිංගික දැනුම වර්ධනය කරගනිති. එහෙයින් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය පිලිබඳ කුකුසක් ඔවුන් තුල ඇත්තේ නැත. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බව, යම්තම වැඩිවිය එළඹෙන ඔවුන් වටහාගන හමාරය. එහෙයින් තම දෙමාපියන් තමා ඉදිරියේ කරන්නා වූ සිප වැළඳගැනීම් ඔවුන්ගේ පවුලේ ස්ථායී භාවයේ සංකේතයක් ලෙසට ඔවුහු අවබෝධ කරගනිති. 

මිනිසුන්ට තමාට රිසි පරිදි ලිංගික කාර්යයේ යෙදිය හැකිය. ලාංකිකයින් වන අපට අපේ ජීවිත කාලයේ කොතනකදී හෝ මේ පිළබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. එහෙයින් හැට විය ඉක්මවූ විවාහක ගැහැණියක් පවා තරුණ පිරිමියෙකුගේ දෙපිට කැපෙන වචනයකින් "හිකිස්" ගා හිනා ගැස්විය හැක. ලාංකීය මිනිසාට ලිංගිකත්වය යනු ඒ සා අමුතු අත්දැකීමකි. ෆිල්-ටී පුන පුනා අපට හඟවන්නේ ඒ කරුණය. ඔහු ලාංකීය සංගීතයේ ලකුණක් වන්නේද එබැවිනි. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ, "මුව මුක්තාලතා" ගීතයේත්, කේමදාස මාස්ටර්ගේ "හෙමින් සැරේ පියා විදා" ගීතයේත්, අමරදේව මාස්ටර්ගේ "කුමරියක පා සලඹ සැලුනා" ගීතයේත්, වික්ටර් රත්නායකයන්ගේ බොහෝ ගීතවලත් රාගය සහ ලිංගිකත්වය, අතිශය සුන්දර ලෙස වර්ණනා කර තිබුනි. එහෙත් ඒ කිසිදු ගීයක ලිංගික අසහනයේ හෝ ජුගුප්සාවේ ලකුණක් හෝ නොතිබිණි. එහෙයින් ඔවුන්ට ෆිල්-ටී හට සමවන්නට නොහැකි බව මම කණගාටුවෙන් කියමි. 

ලිංගිකත්වය අරුම පුදුම දෙයක් වන ලාංකික ජන සමාජයට, මා කියූ ස්වයං විනයක් නැත. මුහුණු පොතේ ඇති ගැහැණියකගේ පින්තූරයක් දුටු පමණින් සමහරක් තරුණ පිරිස් වලට ඇත්තේ ලිංගික කුතුහලයක් සහ අසහනයක් පමණි. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිංගික ජීවිතය පිළිබඳව කල් තබා නිගමන වලට එළඹෙයි. එතැන් පටන් ඔවුහු පිඹුරුපත් සකසන්නේ ඇයව තමාගේ ලිංගික අසහනයේ ගොදුරක් කරගැනීමටය. සමහරවිටක, පින්තූරද වුවමනා නැත. ගැහැණියක ලියන්නාවූ දෙයක් පවා ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත්ය. ඒ සියල්ලෝම ලිංගිකත්වය යනු අසාමාන්‍ය දෙයක් සේ දකින ඇත්තන්ය. තරුණියක කොට සායක් හෝ කලිසමක් හැඳ, උඩුකය යම් තරමින් නිරාවණය සේ හැඳීම ලාංකික තරුණයින්ට මාස ගණනාවක් ලිංගිකව උද්දාමයට පත්විය හැකි කාරණාවකි. 

එහෙත් සියල්ලෝටම ලිංගික අවයව ඇති බවත්, ඔවුන් සියල්ලෝම රිසි පරිදි ලිංගික කාර්යක නිරතවන බවත් ඇමරිකාවේ හෝ යුරෝපයේ තරුණ, තරුණියන්ට අමුත්තක් නොවේය. උන් තමාට රිසි තරුණයෙකු හෝ තරුණියක සමඟ රැයක් ගෙවා දමති. ඔවුන් එම ලිංගික කාර්යයෙන් සෑහීමකට පත් නොවුවහොත් ඒ සම්බන්ධය ඒ රැයට, හෝ පැයට පමණක් සීමා වේ. අනියම් සම්බන්ධතා ඔවුහු හෙලා දකිති. සොඳුරු පවුල් ජීවිත ගත කරනවුන්ට ඔවුහු ගරු කරති. තමා අතින් නොතේරුම් කමට සිදු වන යම් වැරදි ඇත්නම් ඔවුහු ඒ ගැන පසු තැවෙති. ඔබ සිතා ඉන්නාක් මෙන් දියුණු රටවල බහුරතරයක් තරුණ පිරිස් වගකීමකින් තොරව ලිංගිකව හැසිරෙන්නවුන් නොවේ. ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස,  ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ.  ඔවුන් වැඩි විය පත් වූ දා පටන්, යම් මුදලක් ඉපයීමේ වගකීම දෙමාපියන් ඔවුන් වෙත පවරන හෙයින් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව උගන්නා අතරම රැකියාවක නිරත වීමයි. ඔවුන්ට ලාංකික දරුවන්ට මෙන් නිදහස් අධ්‍යාපනය නොමැති හෙයින් ඔවුහු ජීවත් වන්නේ, විශාල ණය බරක වගකීමක් දරාගෙනය. මේ බහුතරයක් තරුණ දරුවන් හට ජීවිතය, ලෝකය සහ සමාජය පිළබඳව ඔබව විශ්මයට පත් කරවන පුළුල් දැක්මක් ඇත. ඔවුන් තමාගේ වගකීම් බෙදා ගනිමින්, විවාහයට පෙර බොහෝ කාලයක් තමාගේ සහකරුවන් සමඟ එකට ජීවත් වෙති. එහිදී ඔවුන් තමන්ගේ ලිංගික චර්යාවන් සහ පෞර්ෂ ලක්ෂණ අනිකා සමඟ ගැලපේද යන්න හදාරති.  එය හුදෙක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට එහා ගිය විවාහය ගැන සිදු කරන්නාවූ පර්යේෂණයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එහෙත් දෙමාපියන් විසින් පෝෂණය කරනාවූ, රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය හදාරන්නාවූ, බොහෝ ලාංකීය තරුණ පිරිස් වලට ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ලිංගික අසහනය හෝ දේශපාලනයයි. ඔවුන් වැඩිහිටියන් වී සමාජගත වූ විට ෆිල්-ටී ලාත්, සමාජ ජාලා වල ගොදුරු සොයන්නවුනුත් බිහි වීම වැළැක්විය නොහැක. ෆිල්-ටී ලා මේ උඩ ගෙඩි දෙන්නේ එම ලිංගික අසහනයටම බව මම තරයේ කියමි.  

මම මෙසේ කියමි. ෆිල්-ටී ගේ රැපෙහිත්, පියුමි හංසමාලි ගේ පියයුරු වලත් ඇත්තේ සංස්කෘතික ගැටළුවක් නොවේය. ලිංගික කුකුසෙන්, ජුගුප්සාවෙන් සහ පිපාසාවෙන් පෙලෙන  සියලුම ලාංකීය මිනිසුන්ට මේ රැපත්, ගැහැණියකගේ පියයුරු සහ කලවාත්, හෝ සම්පූර්ණ හෙළුවත් ඉතාමත් අමන්දානන්දයට පත් විය හැකි කාරණාය. උන් සියල්ලෝම නොදන්නා කාරණය වන්නේ, උන්ගේ බිරියනට, ස්වාමි පුරුෂයනට, පෙම්වතියනට, පෙම්වතුනට, නැගණියට, මලන්ඩියට හෝ උන්ගේ නෑ සනුහරේටමද ඇත්තේ, ගැහැණුන්ට සහ පිරිමින්ට අනන්‍ය වූ ලිංගික අවයව, පියයුරු සහ ප්‍රජනන පද්ධතියන් බවය. උන් නොදන්නේ, සමස්ථ මානව සංහතියම තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ ලිංගික කාර්යයේ නිරත වන බවය. එයින් තෘප්තිමත් නොවන කල පිටස්තර පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීමට මාන බලන බවය. මේ කිසිවකින් සෑහීමට පත් නොවන්නවුන් තමන්ගේම දරුවන් හෝ සහෝදරයන් හෝ ලිංගේන්ද්රියක් ඇති ඕනෙම සත්වයෙකු සමඟ රමණයේ යෙදීමට සිතන බවය. ෆිල්-ටී ලා  සිදු කරන්නේ ස්වයං විනයෙන් තොර, අසහනකාරී මිනිසුන් උද්දාමයට පත් කිරීමය. ලිංගිකත්වය ඉතා පහත් ලෙස අලවි කර තමනුත්, තමා වටා ඉන්නා අනිකුත් සියල්ලෝමත් ජනප්‍රිය තරු කරවීමය. තමන්ගේ මතය කෙසේ හෝ ජනගත කිරීමය.

දෙමාපියනි, ඔබේ තරුණ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔබ සතු වගකීමකි. එලෙසින්ම මනා ලිංගික සෞඛයකින් යුතු, ලිංගික කුකුසකින් තොර ලිංගිකත්වයට ගරු කරන තරුණ දරුවෙකු සමාජයට බිහි කිරීම ඔබ සතු යුතු කමකි.  ලිංගිකත්වය උලුප්පන වීඩියෝවකින් උද්දාමයට පත් නොවන්නටත්, කලවා පෙනෙන සේ ඇඳුමක් අදින්නාව වූ ගැහැණු දරුවා හෝ ගැහැණියකගේ පියයුරු ලිංගික භාන්ඩයක් කර නොගන්නටත් තරම් විවෘත මනසක් ගොඩ නැංවීමට තරම් ඔබ බුද්ධිමත් වන්න. ලිංගිකත්වය යනු බොහෝ සුන්දර දෙයක් මිසක් ජුගුප්සාජනක දෙයක් නොවන බව ඔබේ දරුවාට වටහා දෙන්න. 


මිනිසුන්ගේ රස වින්දනය එකිනෙකාට වෙනස්ය. එය මම පිළිගනිමි. එහෙත් ෆිල්-ටී ලා, ඉරාජ් ලා උලුප්පන්නේ මිනිසුන්ගේ ලිංගික අහසහනයයි. පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය.  ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.  

අනාගත යෞවනයට විමර්ශනශීලි බුද්ධියක් ගොඩ නගාලීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් වන ඔබ අතය. ඔවුන්ගේ මොළ හාරා, ඔවුන් අසන්නා වූ, දකින්නා වූ  සියලු දෑ පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, විවෘතව සාකච්ඡා කිරීමටත්, ඔබ ඔවුනට අනුබල දිය යුතුය. ඔබට ෆිල්-ටී ලා, ඉරාජ් ලා, අජිත් මුතුකුමාරණ ලා හෝ කේමදාසලා හෝ ඔවුන්ගේ අනුගාමිකයන් බිහි වීම වැළක්විය නොහැක. එහෙත්, ඔවුනගේ හොඳ සහ නරක විචාරශීලි බුද්ධියකින් විනිශ්චය කල හැකි අනාගත පරම්පරාවක් ගොඩ නැගීම ඔබට ඉතා පහසුවෙන් කල හැකිය. 

මේ නවීන සමාජයේ ගෝත්‍රික අදහස් මේවා යැයි කියා සිතන්නාවූ ඔබට මම යමක් කියමි. ගල් යුගයේ මිනිසුන්, වැද්දන් සහ සීගිරි ලලනාවන් පවා විලි වසාගත්තේ යන්තමිනි. සංදේශ කාව්‍ය පුරා ස්ත්‍රී වර්ණනාවන් එමටය. මේ යුගයන් වල ජීවත් වූ මිනිසුන් අදට වඩා ලිංගිකත්වය ගැන අවබෝධයක් සහිතව, එයට ගරු කරමින්, ස්වයං විනයකින් ජීවත් වූ බවට මම විශ්වාස කරමි.  ලිංගික අවයව හැමෝටම පිහිටා ඇති බවත්, ලිංගිකත්වය යනු මානව සංහතියේ අවශ්‍යතාවයක් බව ඔවුන් දැන සිටින්නට ඇත. එසේ නොමැති වූවා නම් ඔවුහු අද මෙන් සම්පූර්ණයෙන්  විලි වසා ගන්නට පෙළඹෙනු ඇත. ඒ දියුණු වූ මානව ලක්ෂණ හරහා, මිනිසාගේ චින්තනය පිරිහීම කිනම් අභාග්‍යක්ද???

දියුණු රටවල ආයතන තුල වචනයෙන් හෝ හැසිරීමෙන් තමාට සිදු වන ලිංගික අපහසුතා වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගත හැකිය. ඒ වෙනුවෙන් බොහෝ ආයතන වලින් අනිවාර්ය වාර්ෂික පුහුණු නිර්දේශ කරනු ලබන්නේය. "උන් නටන්නේ හෙළුවෙන් යැයි" බටහිර සමාජය දෙස බොහෝ අවතක්සේරුවකින් බලන ඔබ, එහි ජීවත් වන ගැහැණු හා මිනිසුන් මෙවන් ස්වයං විනයකට යටත් බව නොදන්නවා වෙන්නට පුළුවන.  තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා පවා ඔවුන්ගේ කැමැත්තකින් තොරව ස්පර්ශ කිරීම පවා මෙම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.  මිනිසුන් යනු පොදු මිනිස් ගති ලක්ෂණ ඇත්තවුන් හෙයින්, ලෝකයේ කොතැනත් හොඳ හෝ නරක දෙවර්ගයේම මිනිසුන් ඇත්තේය. එහෙයින් රටවල් වශයෙන් මිනිසුන් වෙනස් කුලක වලට බෙදිය නොහැක. ඔබ නොදන්නා මහා වෙනස ඇත්තේ එම මිනිසුන් තුල, රටක නීති පද්ධතිය හරහා, කුඩා කල සිටම ගොඩ නැගෙන ස්වයං විනය තුලය.

............................................................................................................
ඔබ සමාජගත කරන්නාවූ අදහසක් ගානේම, ඔබ ඔබේ ඉදිරි පරම්පරාවේ එක් අයෙකුගේ හෝ අනාගතය තීරණය කිරීමට දායක වන්නේය.  

............................................................................................................
ඔවුන්ගේ එකිනෙකට වෙනස් අදහස් හරහා මෙවන් සටහනකට මග පෑදූ "මං එරන්දි" බ්ලොගයටත්, "රස්තියාදුකාරයා" බ්ලොගයටත් මාගේ ස්තුතිය පුද කරමි.



WW

28 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි කවිඳු ඔබට.

      Delete
  2. මන් හිතන්නේ ඔබේ බ්ලොග් ඉතිහාසයෙම මන් එකග නොවන තැන මේක විතරක් වෙන්න ඇති. දෙන්නෙක් මතයක දෙකලවරක සිට සංවාදයක් ගොඩනැගීම නිෂ්පලයි ඒ නිසා මම මේ ලිපියට එකග නොවන බව පමණක් කියමි.....

    ReplyDelete
    Replies
    1. ඔබේ මතයට මා ගරු කරනවා රස්ති. ඒ වගේම මගේ අදහස ඔබේ බ්ලොගයේ ලියා තැබුවා.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි නංගි. ඔබලා වැනි අයගේ අදහස් සහ උපකාරය මෙවන් සමාජ ගැටළු සම්බන්ධව ඉතා වැදගත්.

      Delete
  4. Replies
    1. ඉයන් ඔබට බොහොම ස්තුතියි.

      Delete
  5. “Good marketers see consumers as complete human beings with all the dimensions real people have.” – Jonah Sachs

    ReplyDelete
    Replies
    1. True, agree, that is why the consumers should have their mind and eyes wide open to avoid scams. Thank you Pra.

      Delete
  6. මුළු සිතින් ම එකඟ වෙමි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට, බ්ලොගයට ගොඩ වැදීම වෙනුවෙන් සහ ඔබේ අදහස වෙනුවෙන්

      Delete
  7. මම ෆිල්-ටී ගේ මේ වීඩියෝ එකට කැමති නැත්තෙ මිනිස්සුන්ට මඩ ගහලා තියන නිසා සහ මේ මනුස්සයා මීට කලින් කරලා තියන නිර්මාණ වලට සාපේක්ෂව මේක චාටර් නිසා.හැබැයි කට්ටියට තදවෙලා තියන්නෙ ලිංගිකත්වය උළුප්පලා මුන් වීව්ස් ගන්න එකට.ඒ ගැන කිව්වොත් කියන්ඩ තියන්නෙ යූටියුබ් ට්‍රෙන්ඩින් (ලංකාවේ) බහුතරයක් තියන්නෙ ඕවම තමයි.
    මට මේ ලිපියේ පැහැදිලි නැති තැන් ටිකක් තියනවා
    // ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය //
    //බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය//මොකක්ද මේ කතාව

    //ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස, ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ//ෆිල්-ටී කරලා තියන්නෙත් මේකමනෙ.

    //ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. //ප්ලේබෝයි සඟරා එහෙම ලංකාවෙන් පටන් ගත්ත නිසා මේක ඇත්ත වෙන්ඩැති

    //ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව//අනිත් ක්ෂීරපායීන්ට වඩා කැපී පෙනෙන පියයුරු යුගලක් තියන්නෙ ලාලිත්‍යට නෙමෙයි ලිංගික ආකර්ෂණයට

    යූටියුබ් එකේ මේවා බලන එකාට වැඩිහිටියන්ට වෙන්වූ වෙබ් අඩවියකට යන එක ලොකු දෙයක් නෙමෙයි.ඉතින් මෙහෙම සරාගී වීඩියෝ හදන එවුන්ටත් ඒවගෙ ඉන්න එවුන්ටත් හොඳ නම් අපිට මොකද?තමන්ට මේවා බලන්ඩ උවමනා නැත්තම් නොබලා ඉන්ඩ තියන්නෙ.
    ඔබතුමිය හිතන විදිහට ලංකාවෙ ඉන්න ඔක්කොම වනචාරියෝ සහ විදේශිකයන් ඔක්කොම සාන්තුවරු ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබ මේ සන්වාදය ගොඩ නැගුවට

      1. මා මේ සටහනෙන් ඉලක්ක කලේ අපේ අනාගත තරුණ පරම්පරාව. හරිහමන් ලින්ගික අද්‍යාපනයන් නොලබන තරුණ ළමයි මේවා බලල ඇති කරගන්න කුතුහලය සහ අසහනය නිසා වෙන හානිය. තමන්ගෙ අම්ම දිහා පවා අමුතු සතෙක් වගේ බලන්නට පෙළඹීම, සහ දියුණු රටක ලබන තරුණ දරුවන් ලබන ලිංගික අධ්‍යාපනය නිසා, පොදුවේ ලිංගිකත්වය කියන්නේ ඔවුන්ට සාමාන්‍ය දෙයක් බව

      2. ලාංකීය ලිංගික තිරිසන් භාවය ගැන දැන ගන්න දවස් දෙක තුනක් ගැහැණියක් ලෙස බස් රථයක යන්න, මේ වගේ බ්ලොගයක ප්‍රේම කතාවක් හෝ මුහුණු පොතේ කවියක් ලිවීම පවා ප්‍රමාණවත්. පිරිමියෙක් සමග හොදින් සිනහ වී කතා කිරීමත් ප්‍රමාණවත්. ලංකාව තුල ස්ත්‍රියක් ලිංගික භාණ්ඩයක් බවට පත් වන්න මෙවන් සුළු දෙයක් බොහොම ප්‍රමාණවත්. එයට ඉලක්ක වන කාන්තාවට දැනෙන හැගීම ඔබට කවදා හෝ දැනී තිබෙනවාද ? ගැහැණියකගේ හිස පටන් දෙපතුල දක්වා මහමග ඉන්නා පිරිමියෙක් බලන විට එම ස්ත්‍රියට දැනෙන හැගීම ඔබට දැනී තිබෙනවාද? ඉතා වෙහෙසෙකර දවසක අවසානයේ බස් රථයක එල්ලී යන ස්ත්‍රියකව පුරුෂයින් විසින් පත් කර ලබන අපහසු තාවය ඔබ විඳ තිබෙනවාද? මේ සියල්ලම ලිංගික තිරිසන් භාවයේ ලක්ෂණ. මගේ සභ්‍ය සීමාව තුල මට කරන්න පුළුවන් සරලම පැහැදිලි කිරීම මෙයයි. මේ සියල්ලට හේතුව ලංකාව තුල මිනිසුන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් සහ ලිංගික විවෘතභාවයක් නොලැබීම. ෆිල්ටි කෑ ගසා උඩගෙඩි දෙන්නේ ඔබේ සහෝදරියට හෝ අම්මාට, ලිංගික හිසන්යක් කරන තරුණයකු විය හැකියි. මගේ සම වයස් යෙහෙළියන්ගේ තරුණ දියණියක හෙට දිනයේ ලිංගික අතවරයට පත් කරන තරුණයෙකුට විය හැකියි. අවාසනාවට කරුණ වන්නේ ඒ තරුණයින් කිසිවෙක් ප්‍රොෆෙෂනල් ලිංගික අපයෝජකයින් නොවීමයි. ඔවුන් එම තත්වයට පත් කරන්නේ ඔවුන්ගේ පවතින කුතුහලයත්, ලිංගිකත්වය පිලිබද මද දැනුමත් විය හැකියි.

      3. ප්ලේ බෝයි සගරා බිහි වෙන්නෙ ලන්කාවෙන් නොවුනට, වැඩිවිය පත් වෙන දරුවට දියුණු රටක ලින්ගික අද්‍යාපනය ලැබෙනව. ඒ නිසා ප්ලේ බෝයි බැලුවත් නැතත් ඔවුන්ට ලින්ගික්ත්වය සාමාන්‍ය දෙයක්. ඔවුන්ට බස් රථ යකදී තමන් අසල සිටින ගැහැණියක ලිංගිකව පීඩනයට පත් කරන්නේ නැහැ. ඔවුන් තමන්ගෙ ලිංගික අවශ්‍යතා විනයක් සහිතව සුදුසු තැනක ඉටු කරගන්නවා. මහපාරේ ලින්ගික හැසිරෙනවා කියල අදහස් කලේ ඔය උඩින් කියූ දේවලට සහ මට මෙතැන සභ්‍යත්වය සහිතව කියන්න බැරි දේවල් වලට. ඔබට ඒ දේවල් සාමාන්‍ය දේවල්ද කියන්න දන්නෙ නැහැ, නමුත් ඒ සියල්ල ලින්ගික හැසිරීම්. ඒකට කියන්නෙ සෙක්සුවල් හැරස්මන්ට් කියල.ඒකෙන් කියවෙන්නෙ නෑ මේ රටවල් වල මානසික අසහන තියන මිනිස්සු නැහැයි කියල. ඔවුන් ඕනා තරම් සොයා ගන්නට හැකියි. නමුත් එක වරක් ලිංගික අපයෝජයෙක් ලෙස නීතිය ඉදිරියට යන මේ රටක මිනිසෙකුට බොහෝ සමාජ වරම් අහිමි වෙනවා. එය හරකෙකුට හණ ගැසුවා හා සමානයි. අපිට මැප් එකක ඔවුන් ගැවසෙන ප්‍රදේශ බලන්න පුලුවන්. ලමා අපයෝජකයෙක් නම් ඔහු ඉන්න ඕනෙ පාසල් වලට දුරින්. ගැහැණියෙක් හෝ මිනිහෙක් තව කෙනකුගේ අතක් අල්ලා ගැනීමේදී, ඒ දෙවන පාර්ශවයට අපහසුතාවයක් දැනුනත් ඔවුනට ලිංගික අපයෝජනය යටතේ නීතිය ඉදිරියට යන්න පුළුවන්. අන්න ඒ නිසයි මා සටහනේ පැහැදිලි කල ස්වයං විනයක් දියුණු රටවල පවතින්නේ. දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල මිනිසුන්ගේ ජීවිත ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ ආකල්ප වලින්. ඒකට හේතුව ඔවුන්ට සාමන්‍ය පෘතග්ජන ලක්ෂණ නැති කම නෙවේ, ඒ නීති පද්ධතියක් හරහා ඔවුන්ට ඉබේටම ස්වයං විනයකට යටත් වීම. ඒ නිසා බහුතරයක් මිනිසුන් තමන්ගේ සිතිවිලි පාලනය කරගන්නවා, තමන්ගෙන් අනික් මිනිසාට හිරිහැරයක් නොවෙන්න වග බලා ගන්නවා. මොකද නැත්නම් නීතියට වග කියන්න වෙන නිසා.

      Delete
    2. 4. ලන්කාවෙ පිරිමියෙක් ගැහැණු ළමයෙක් පාරෙ යද්දි ඒ ළමයෙගෙ අංග පසඟ දිහා බලල උද්දාමයට පත් වෙනවා. නමුත් මේ දියුණු රටවල බහුතරයක් මිනිස්සුන්ට එහෙම වුවමනාවක් නෑ. මහ රෑට පාරෙ තනියම යන්න බයක් නැහැ. ඒ මිනිස්සුන්ට ඕනෙ හැටියට පාට්නර්ස්ලව හොයාගන්න පුලුවන්, සහ පහසුකම් තියනවා. ඒකට කියන්නෙ අසහනේ නෙවෙයි. ඔබතුමා මේක තේරුම් අරන් තියෙන්නෙ පටලගෙන. ගෑණු සීයක් එක්ක යහන් ගත වීම අසහනේ නෙවෙයි. ඒ මිනිහගෙ සල්ලාල කම, එක් ගැහැනියකගෙන් තෘප්තිමත් නොවීම. එහෙමත් නැත්නම් තමන්ට සුදුසු ගැහැණිය හෝ පිරිමියා තෝරා ගැනීමට එසේ කිරීම. අසහනේ කියන්නෙ තමන්ගෙ හිතේ තද කරගෙන ඉන්නා ලිංගික පීඩනය ගෑනියෙකුගෙ මූන දිහා බලාගෙන හෝ මුදා හැරීම. තමන්ගේම ශරීරයේ අංග වලට ගෞරවයක් නැති කම, අපහාස කරගැනීම. ඔය වීඩියෝ පටය පුරාම තියෙන්නේ ලිංගිකත්වයට අසාමාන්‍ය දෙයක් සලකා තමන්ටම කරගන්නා අපහාසයක්. හැබැයි ඒකෙන් හානිය වෙන්නේ වැඩි විය පැමිණිලා ලිංගිකත්වය ගැන පැහැදිලි අවබෝධයක් නැති දරුවන්ගේ මනසට. ඒකයි ඔවුන් ටියුෂන් ක්ලාස් වල පවා මේ දේ මාතෘකාවක් කරගෙන තියෙන්නේ. සාන්තුවරයෙක් නොවුන පලියට ඒ මිනිහ අසහනයෙන් පෙලෙන කෙනෙක් වෙන්නෙ නෑ. යමක් ලිව්වම ඒ ගැන තේරුම් අරගෙන කියවන්න. ඔව් ලංකාවේ බහුතරයක් මිනිස්සු තාමත් හැසිරෙන්නේ වැදගත් උගත් වනචාරීන් වගේ. ඔවුන් ශිෂ්ට සමාජයක ජීවත් වුනාට කොතැනකවත් මනසට ස්වයං පාලනයක් නැහැ. පාරේ ඉරි මැද ඩ්‍රයිව් කරන්න බැරි, ලයින් එකක තමන්ගේ වාරය එනතෙක් ඉන්න බැරි, අර ඉහත කියූ අසහනකාරී ලිංගික ලක්ෂණ තිබෙන, මොළේ කඳුලක් නැති දේශපාලකයින් පාර්ලිමේන්තු යවන, ෆිල්ටි ගේ වීඩියෝවට හිට්ස් බොහෝ ගණනින් ලබා දෙන ඔවුන්ගේ මනස වනචාරී තමයි. අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට, ඕක තමයි තිත්ත ඇත්ත. වනචාරීන් ඉන්න පාර්ලිමේන්තුවක් තිබෙන රටක මහජනතාවත්, ඔවුන් නොදැනුවත්ව හෝ ඉන්නේ ඒ මාන්සිකත්වයේම තමයි.


      5. ඔබට නොතේරුනාට තරුණ දරුවො ඉන්න අම්මල දන්නවා ළමයි මේවගේ දේවල් වලින් මනස දූශණය කරගන්න විදිය. ඕනෙ නම් බලපන් නැත්නම් නොබලන් කියන්න පුලුවන් වැඩිහිටියෙකුට. නමුත් ලින්ගික කුතුහලයකින් පෙලෙන් තරුණ දරුව ඕව බලල ගිහින් කරන්නෙ තමන්ගෙ අක්ක දිහත් වපරැහින් බලන එක. මම පැහැදිලිව කිව්වෙ දෙමාපියන්ට තමන්ගෙ දරුවන්ට නිසි ලින්ගික අද්‍යාපනයක් ලබා දෙන්න කියලයි. එතකොට ළමයි මේ හැමදේම තමන්ගෙ මොල වලින් පෙරල විවෘතව බලන්න ඉගන ගන්නවා. බටහිර ලින්ගිකත්වය විකුනන්නෙ තමන් කරන දේ හරියට දන්න මිනිස්සුන්ට, ලන්කාවෙ ෆිල්ටී ල ඒක විකුනන්නෙ මහපාරෙත් ගිනියම් වෙලා අසහනෙන් ඉන්න මිනිස්සුන්ටයි, ඕක අමුතු දෙයක් කියල හිතන් ඉන්න පොඩි උන්ටයි. අර දෙක වසරෙ ඉන්න පොඩි කෙල්ලොන්ට කලිසම ගලෝල පෙන්වන පොඩි උන් ඉන්න රටක් ලන්කාව. උන් දෙගොල්ලොම හිතන් ඉන්නෙ උන් අමුතු සත්තු කියල.

      7. ඔබට තවමත් අපහැදිලි නම්, මේ සටහනේ ප්‍රධාන අරමුණ වුනේ තමන්ගෙ දරුවන්ට නිසි ලින්ගික අද්‍යාපනයක් ලබා දෙන්න කියන එකයි.

      8. ඔබට නොතේරුනාට ලාලිත්‍යක් පිහිටන්නෙ ලින්ගික ආකර්ෂණයට තමයි.

      9. මේ ඔබේ අවසාන කරුණට පිලිතුර. මම ඔය ලිංගික අසහනය සහ පීඩනය දැකල තියනවා. අපිට පරම්පරා ගණනාවකට පස්සේ දරුවන්ටත් ඒ දේ වෙනවට මා කැමති නැහැ. අන්න ඒ පරම්පරාව ගැන හිතලයි මා මේ ලිපිය ලිව්වේ. මං මේ ලිපියෙන් අම්මලාගෙන් ඉල්ලුවෙ එයාලගේ තරුණ දරුවන් සමග ලිංගිකත්වය පිලිබදව විවෘතව සාකච්චා කරන්න කියලයි. එය සාමාන්‍ය දෙයක් බව අවබෝධ කරලා දෙන්න කියලයි. එතකොට අපේ ඉදිරි පරම්පරාව මීට වඩා ස්වයං විනයක් සහිතව, ලින්ගිකත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව ජීවත් වේවි. ගැහැනියක් ගෞරවාන්විත විදියට මග තොට යාවි. මිනිස්සු තමන්ගෙ ශරිර අන්ග වලට ගරු කරාවි. ෆිල්ටි ලගේ වීඩියෝ කුණු කුඩේට වැටේවි.

      10. අපි ඉන්නේ ලෝකේ උතුම් රටේ කියල ගීත වල කිව්වට පලක් නැහැ. ඒ උතුම් බව ක්‍රියාවට නගන්න ඕනේ. තමන් උපන් රටේ නරක කියනවට කවුරුත් අකමැතියි. ඒ නිසා මේ සටහන ලියපු පුද්ගලයාව ඉලක්ක නොකර, ඉමොෂනල් නොවී, තමන්ගේ බුද්ධියෙන් මේ කියන කාරණා විශ්ලේෂණය කරලා බලන්න. මා මේවා ලිව්වේ ෆිල්ටි ගැන ඇති කේන්තියෙන් නෙවේ. දෙමාපියන්ට පණිවුඩයක් දීමට පමණයි. ඔය කියන කුණුගොඩේ ඉන්නේ ලංකාව විතරක් නෙවේ ඉන්දියාව වගේ අනිකුත් ආසියාතික රටවලුත් තිබෙනවා.


      ඔබ කිව්වා වගේ බලන කෙනා කොහෙත් බලයි, ඒ නිසයි මා සදහන් කලේ ඉදිරි පරපම්පරාවට නිසි ලිංගික අද්යාපනයක් ලබා දිය යුතු බව, එවිට ඔවුන් මේවා දිහා බලන්නේ බොහොම විවෘත මනසකින්. ඔවුන් ස්වයං විනයකින් යුතුව ඒවා බැහැර කරන්නට ඉගන ගනීවි. ලිංගිකත්වය තව දුරටත් අසාමාන්‍ය දෙයක් නොවේවි. ඒ වෙනුවට ඒ දේවලට උඩගෙඩි දෙන ෆිල්ටි ලා වැන්නවුන්ට මෙවන් පහත් දේ හරහා තමන්ව මාකට් කරගන්නට බැරි වේවි.

      Delete
    3. ෆිල් ටී ගැන විතරක් නෙමෙයි මම මෙච්චර ලිව්වේ මේ ලිපියෙ තියන ලංකාව ගැන තියන විවේචනය ගැන. මගේ අත්දැකීම් අනුව පාට,භාෂාව වෙනස් වුනාට මිනිස්සු පොදුවේ එක සමානයි.කවුරු මොනවා කිව්වත් මොනවා කරත් අවුරුදු මිලියන ගානක් තිස්සේ මිනිස්සු පරිනාමය වෙලා තියන්නේ ප්‍රජනන ක්‍රියාවලිය හොඳින් කරන්න .ඉතින් විරුද්ධ ලිංගික ආකර්ෂණය ඉතාම සාමාන්‍ය දෙයක් . මුහුණ ,පියයුරු ,උකුළ,කලවා ආදියට පිරිමින් ආකර්ෂණය වෙන විදිහට තමයි මිනිස්සු හැදිලා තියන්නේ එහෙම ආකර්ෂණය වෙන්නැත්තම් ඒක විකෘති තත්වයක්.මේ ස්වභාවික දේ මාකටින් වලට එදා මෙදාතුර ලෝකය පුරාම යොදාගෙන තියනවා .එතකොට ලංකාවෙ මෙහෙම වීඩියෝ එකක් එනකොට ඒක ලෝක විනාශයේ ආරම්භය වෙන්නෙ කොහොමද?.ලංකාවේ මිනිස්සු හරි වල් ලු දෙපිට කැපෙන දෙයක් කිව්වම බකස් ගාලා හිනා යනවා ලූ !!! ඔබ තුමිය ජීවත්වෙන ඇමරිකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා බැලුවොත් ඒ බහුතරයක හාස්‍ය උපද්දවන්ඩ ලිංගිකත්වය යොදාගෙන තියන බව හොඳින් දැකගන්නට පුළුවන් (සමහර විට අපිට ඒවට හිනා ගියාට ඇමෙරිකානුවන්ට ඒවට හිනා යන්නැතුව ඇති) මේවා ගැන කතා කරනකොට එන ප්‍රධාන තර්කයක් තමයි තමන්ගේ අම්මා නැත්තම් සහෝදරියෙක්,දුවෙක් එහෙම හිටියොත් මොකද කරන්නෙ කියලා .ඒකට කියන්ඩ තියන දේ තමයි ලිංගික දර්ශනයක් දකිද්දී ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ තමන්ගේ පවුලේ අය නම් ඒක මානසික විකෘති තත්වයක්.
      ලංකාවේ ලිංගික අධ්‍යාපනය නම් අඩු මට්ටමක තියන්නේ බොරු සුචරිත වාදීන් නිසා.මට මතකයි මීට අවුරුදු හයකට හතකට කලින් පාසල් ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන වැඩ පිළිවෙලක් ආරම්භ කරන්ඩ ගියත් පළාත් මහ ඇමතිවරුන්ගේ විරෝධය නිසා ඒක නැවතුනා.ඒකට විරුද්ධ වුනු ඇමතිලා කිව්වෙත්.සදාචාරය නැතිවෙනවා වගේ වැල් බයිලා.
      ලංකාව කියන්නේ ලෝකෙන් උතුම් රට නොවන බව මම හොඳින් දන්නා අතර ඒක ලෝකයේ ජඩම රට නොවන බවත් දනිමි.ඔබලාට මහා අනර්ඝ බටහිර රටවල් මනුශ්‍යත්වයෙන් හා සමාජ අවබෝධයෙන් පරිපූර්ණ රටවල් නොවන බවද දනිමි . අවසානයට කියන්ඩ තියන්නේ නිර්මාණයක් විදිහට මට නම් ෆිල් ටී හදලා තියන්නෙ කුණු ගොඩක් .හැබැයි ලිංගික කුහකත්වයෙන් මේකට බනින එක කැත වැඩක්.
      (මෙහෙම ලිව්වේ පෞද්ගලික අමනාපයකට නෙමෙයි ලිපියේ කරුණුවලට තිබෙන විරෝධය නිසා)

      Delete
    4. ඔබට කලින් ඉතා දිගු පැහැදිලි කිරීමක් මා කලේ ඔබේ තර්ක බිදීමට නොව අන්තවාදී නොවී මෙය කියවන්නෙකුගේ වටහාගැනීම පිණිස. ඔබේ මතයට මා ගරු කරනවා වගේම ඔබට බොහොම ස්තුතියි මේ සන්වාදයට.

      අවසාන වතාවට එක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ හොදින් වටහාගෙන මේ ලිපිය කියවූවොත් මා කතා කලේ බටහිර රටවල ඇති ස්වයං විනය පිලිබදව. එයට හේතුව ඒ රටවල ඇති නීති. මේ ලිපියේ කොතැනකවත් මා බටහිර රටවල් සහ ලන්කාවේ සමාජයේ ඇති සියුම් ලක්ශන සන්සන්දනය කරමින් වර්ණනාවක් කර නැහැ. කෙලෙස් සහිත මිනිස් ලක්ශණ කොහෙත් පොදුයි. නමුත් ඔවුන් පාලනය කරන නීති සහ ඔවුන්ගේ ආකල්ප වල ඇති විවෘත භාවය වෙනස්. බටහිර රටක සමාජ අවබෝධය සහ ඔවුන්ගේ පද්ධතියේ, ආකල්ප වල වෙනස ඇත්තේ එතැනයි. ඒකෙ තේරුම ඔවුන් පර්ෆෙක්ට් මිනිසුන් කියන දේ නෙවේ. දියුණු වන රටකට වඩා වෙනස් කියන එකයි.

      මේ දේවල් පිළිබද තර්ක කිරීම බොහෝ නිශ්පල ක්‍රියාවක්.

      යමෙක් දෙයක් කියවා බලා අවබෝධ කරගැනීමට නම් ඔහුට අපක්ශපාතී තර්කානූකූල බුද්ධියක් සහ අනෙකාගේ සපත්තුවට බැස ඔහුගේ ගමනේ ස්වභාවය පිළිබද අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. එයට ඔබ ඇසූ දුටු දේවල් තිබීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබේ මේ පිළිතුරේ ඇත්තේ ඉතා ළදරු ස්වභාවයක්. අවුරුදු හතලිහක වැඩිහිටියෙක් ලෙස මා, විවේචනය කල සෑම අකුරකටම සහ මා ඉදිරිපත් කල සෑම අදහසකටම මා විසින් වග කියනු ලබනවා. එසේ නොමැතිව එය හුදෙක් ලන්කාව හෝ ෆිල්ටි හෝ ලාන්කීය ජනතාව හෝ ඔබ නියෝජනය කරන පුරුශ පක්ශය හෙලා දැකීමක් නොවන බව හොදින් වටහා ගන්න. ඔබ වැන්නවුන්ට ෆිල්ටිලා ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් තමයි සිනාසෙන්නේ. මොකද ෆිල්ටි ලාට අවශ්‍ය කුමන හෝ කුණුහරුපයක් කියා, මිනිස්සුන්ගේ පවතින මානසික දුර්වලතා ප්‍රයෝජනයට ගේන තමාගේ ජනප්‍රියතාවය ලබා ගැනීම සහ මුදල් ඉපයීම. ඔබ කරන්නේ ඉතා ආවේගශීලී ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම.

      සෑම ගැහැණියක්ම ලොව කොහේ හෝ පුද්ගලයෙකුගේ මවක්, බිරිදක්, පෙම්වතියක්, සහෝදරියක් හෝ දියණියක් වන බව පමණක් මතකයේ තබා ගන්න. ඔබ ව්‍යංගයෙන් පවසන්නේ ගැහැණියක් වී ඉපදුනහොත් ලිංගික අපයෝජනයට මුහුණ දිය යුතු බවයි. හඳ පෙන්වූ කල ඇගිල්ල දෙස බලන්නෙකු සමඟ සංවාදය නිෂ්පල ක්‍රියාවක්.

      ඔබ කියූ එක් දෙයකට එකගයි. ලන්කාවට අවශ්‍ය ලින්ගික අද්‍යාපනය නොලැබීමේ අවාසනාවට වග කිව යුත්තේ ලන්කාවේ ජනතාව තෝරා පත් කල පාලකයින්ම තමයි.

      Delete
    5. නමුත් මේ සටහනේ මා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවන් සමඟ විවෘත සාකච්චා හරහා ඒ අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දෙන ලෙස. එය ඔබට පෙනෙන්නේ කුහක කමක් ලෙස නම් එතනින් එහා මේ සංවාදය බොහෝ නිෂ්පලයි. ඇත්තෙන්ම මේ සංවාද හරහා මිනිසුන්ට දැන ගත හැකි වෙනවා තව කෙනෙක් හිතන පතන විදිය. ගැහැනියකට හෝ පිරිමියෙකුට තමන් වටා ඉන්න මිනිසුන් හඳුනා ගැනීමට එය ඉතා වැදගත්.

      Delete
  8. පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය. ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.

    එපමණකි.... ස්තූතී අක්කා ඔයාට මේ තමා කාලෙකින් මම කියවපු හිතට වදිනම කාලීන කියමන

    ReplyDelete
  9. පුස් වෙඩි පත්තු වනවා ඇත. ඒවා බලන්නට නියම වෙඩි නුදුටු අයවලුන් පමණකුදු එකතු වනවාද ඇත. ඉදිනේ පුස් වෙඩි පිලිබඳ කතා කිරීමද, ඒවා නැරඹීමටයාමද ඉතාමත් අනුවණ සේම නිශ්ඵල ක්‍රියාවකි..

    ReplyDelete
    Replies
    1. නැහැ අරූ. අපි දකින අසන හෝ කරන්නාවූ සියලු දෙයට යම් අරුතක් තිබේ. ධර්මයට අනුව සියලු දෑ පුස් වෙඩි වුවද ලෞකික සමාජය තුල ඔබ හා මම අසන දකින කරන සියලු දෑ සඳහා අර්ථයක් ඇත. එමෙන්ම ඒ සියලු දෙයින් තමා වටා සිටින සමාජයට යහපතක් හෝ අයහපතක් සිදු වනු ඇත. ඔබ හා මා මේ සමස්ත මහා සමාජ පද්ධතියේ හැඩහුරුකම, දිග පළල, නම්‍යතාවය, යනාදී සියලුම දෑ තීරණය ඒක පුද්ගල කොටස් වේ. එබැවින් අප සියලු දෙනාම මේ සමාජ පද්ධතිය තුල සිදු වන හොඳ හෝ නරක යම් ඕනෑම දෙයකට අනියම් ලෙස වගකිවයුතුය. තමාගේ බුද්ධියට අනුව යම් දෙයක හොඳ නරක විවේචනය කිරීම හෝ ඒවාට අනුබල දීම, හෙට දිනයේ අප වටා ඇති වන සාමාජයීය වෙනස් කමකට අනියම් ලෙස දායක වනු ඇත. ඔබ හෝ මා මේ සමාජයේ කොටසක් මිස තනි පුද්ගලයෙකු නොවන බැවින් අද සමාජයේ සිදු වන යහපත් හෝ අයහපත් ක්‍රියාවන් වල ප්‍රථිපල අප සියල්ලෝම භුක්ති විඳිය යුතු බව ඔබ මතක තබා ගත යුතුය.

      Delete
  10. මුන්ට පිස්සු ලමයෝ. ඔය වීඩියෝ ක්ලිප් එක ඔයාගේ බ්ලොග් එකෙන් අයින් කරොත් හොඳයි කියලා මට හිතෙනවා. වැදගත් තැනක තියන්න හොඳ එකක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ මහත්මයා. මගේ මිත්‍රයෙකුත් මට ඒ වග කිව්වා. ඒ වගේම මමත් ඒ ගැන හිතුවා, වැදගත් කමටත් වඩා, අනියම් ලෙස මේ වීඩියෝ පටයට හිට්ස් ලබා දීමට මා දායක වන වග. දත්ත මූලික කරගනිමින් පර්යේෂණ වල ප්‍රථිපල විශලේෂණය කරන පුරුද්ද නිසා තමයි ඔය වීඩියෝ එක ඔතන ඇලෙව්වේ. නමුත් මා එය ඉවත් කළා. ඔබට නැවතත් බොහෝම ස්තුතියි.

      Delete
    2. ගරු මැතිනියනි....අර මහත්මයා කෑල්ල නිසා මට මෙහෙම ලියන්න හිතුනා. මා එතරම් උගත් "මහත්මයෙක්" නොවේ. නමුත් මට යම් සමාජ ඉවක් තියෙනවා. මම හොරකමයි, බොරුවයි නැතිව ජීවිතේ සෑම අඳුරු සහ ආලෝකමත් වීදි තුල සැරිසරා තිබෙනවා. ඒ සමාජ අත්දැකීම්, මේ අද දකින සමහරක් වැඩ තුල , ලැජ්ජා ඇති කරනවා. මගේ ජීවිතය තුල මා නොකරපු සහ නොවිඳපු කිසිම නරක වැඩක් නැහැ. ඒව එහෙමයි. ඒත් මේවා නම් හරි" බබ්ල් ජනකයි". බබ්ල්වල ඉන්න එවුන් ගැන මම ලියන්න ඕන නැහැනෙ මැතිනියනි.

      Delete
    3. //මගේ ජීවිතය තුල මා නොකරපු සහ නොවිඳපු කිසිම නරක වැඩක් නැහැ.//
      මේ තමයි ඔබේ මහත්මා ගතිය. ඔබ වැන්නවුන්ගේ ජීවිත අත්දැකීම් නොලියා ඉදීම, මේ සමාජයට ඔබෙන් විය යුතු යුතුකම් ඉෂ්ට නොකිරීමක්. ඒ අත්දැකීම් ලියවිය යුත්තේ ඒ හා සමගාමීව ඔබ විසින් අත්වින්ද මිනිස් හැඟීම් ඉස්මතු කරමින්. ඒ නිසා නැවතත් ඔබේ අවුල් වූ කතාන්දරය ලියාගෙන යන්නැයි මා ඔබෙන් ඉල්ලනවා. ඔය මැතිණියනි වගේ වචන නම් අනවශ්‍යයි. තව එකක් ඔය උගත්තු බොහොමයක් "මහත්තුරු" නෙවෙන වග ඔබ මට වඩා හොඳින් දන්නවා ඇතිනේ.

      Delete
  11. වැඩියමක් නොකියමි, මගේම අත්දැකීමක් කියමි.මට ඉතා සමීප දුවක් දවසක් වයස අව්.8 දුරකථන ආමතුමක් රැගෙන කිව්වා "ආන්ටි මගේ යාලුවෙකුට කරදරයක් අර ******* තිබුණා වගේම් එයාගේ බෝයිෆ්රෙන්ඩ් එයාගේ ඇදුම්ෆො නැති ටෝස් අරගෙන ගිහින්. ආන්ටිට පලුවන් ද එයාට උදව් කරන්න"
    අක්කි සමහර කාරණා වටහාගන්න කාලය අවශ්‍යයි. එත් ඒ කලාය ත් හරිම අනතුරුදායකයි.
    ස්තුතී අක්කි.!

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන් එකඟයි නංගි. ලංකාවේ ඕනෙම වයසක ගැහැණු දරුවෙක් හෝ ගැහැණියක් සෑම නිරන්තරයෙන් ලිංගික අපයෝජනයට ලක්වීමේ ලක්වීමේ සම්භාවිතාවක් තිබෙනවා. අප නියම ලෙස සමාජ පර්යේෂණයක් කරලා දත්ත රැස් කලොත් අපිට ඒ ගැන දැන ගන්න ලැබේවි. බොහෝ ගැහැණු අය ඒ ගැන ප්‍රසිද්ධියේ කථා කරන්න පවා අකමැතියි, මොකද පුරුෂ පාර්ශවය එය සලකන්නේ බොහෝ සාමාන්‍ය දෙයක් ලෙසින් නිසා. එය ඔබට පේනවා ඇති ඔවුන්ගේ අදහස් දැක්වීම අනුව. ඒ නිසයි මේ සඳහා දෙමාපියන් දරුවන් අතර විවෘත සාකච්ඡා අවශ්‍ය වන්නේ. මොකද තමාගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වැඩියෙන්ම වග කිව යුත්තේ දෙමාපියන් මිසක, ෆිල්ටිලා හෝ කිසිම දෙයක් විශ්ලේෂණය නොකර ඒවා අනුමත කරන්නවුන් නෙවෙයි. අනිත් අතට නංගි, ඔය ඔබ සඳහන් කළා වැනි සිද්ධියකදී, ලාංකික සමාජය ඇඟිල්ල දිගු කරන්නේ ඒ දැරිවියට මිසක, මෙය සමාජ ගැටළුවක් ලෙස සලකන්නේ නැහැ. එහෙම වෙන්න නම් හේතුවක් නිසා පලයක් හට ගන්නා බවට අවබෝධ කර ගත හැකි මිනිසුන් මේ සමාජයේ සිටිය යුතුයි. කණගාටුව වන්නේ එහෙම මිනිසුන් සිටින්නේ අතලොස්සක් වීමයි.

      Delete