Sunday, January 28, 2018

අරිෂ්ට සහ අයිස් ක්‍රීම් 1



http://www.zocalopublicsquare.org/wp-content/uploads/2010/05/mist.jpg



සටහනක් නිර්මාණාත්මකව ලිවිය යුතුද නැද්ද ? කියන්න තියන දෙයක් පොල්ලෙන් ගහන්නැහෙ කියල දානවා මිසක, ඒවට ෆැශන් ඩිසයින් කරන්න මොකට කාලේ නාස්ති කරනවද...මෙහෙම තමයි දැන් කාලයක් තිස්සේ මට හිතෙන්නේ...

මොකද මං මොනවා ලිව්වත් මේවා කියෝන ඈයෝ හිතාගන්නේ එයාල කැමති දේවල්...ඒ තමයි මනුස්ස මොළේ  වැඩ කරන විදිය...  

නිතර මොළේ රැදෙන්නේ තමන් අහන්න කැමති හිතන්න කැමති  දේවල් විතරයි...මං තිත්ත කසාය වට්ටෝරුවක් එක්ක, අරිෂ්ටයක් හදල ඒක බොන්න කිව්වට, ඔහෙලා කැමති කොයි තරම් අසනීපෙන් උන්නත් හිම කිරමක් කාල, මුදූ වෙරළට යන්න...රෑට ගෙදර ආවම සහලෝල උණ හැදෙනව කියල පැහැදිලිවම හිත දන්නවා උනත්, ඇත්ත පිළිගන්න අපේ මොළේ හරිම අකමැතියි...

මේක පොදු මිනිස් මොළේ තියෙන ලක්ෂණයක්...තිත්ත ඇත්ත පිළිගන්න අකමැති කම...අපේ හිතට වේදනාවක් දෙන, හුගක් කරදර දෙන ගැටළු ලිහා ගන්න කාලය වෙන් කරන්න අපි හරි අකමැතියි...ඒවාට මහන්සි වෙන්න ඕනේ...මොළේ වෙහෙසන්න, කල්පනා කරන්න ඕනේ...ඒ මුළු ක්‍රියාවලියම බොහොම වෙහෙසකර දෙයක්...ඊට වඩා කොයි තරම් ලේසිද ඔන්නොහෙ රස්සාවට ගිහින් ඇවිත්, තියන දෙයක් කාල, නාට්ටියක් බලලා නිදාගන්නෙක...හෙට බැරිය ප්‍රශ්න ගැන හිතන්න...අපි අන්න එහෙම හිතලයි ප්‍රශ්න, නීරස දේවල් හරි ලේසියන් මගාරින්නේ...

අපි විසින් අපේ මොළය ආවරණය කරලා, ඇත්ත තත්වේ හීන් සීරුවේ අපේ හිතෙන්ම වසං කරගෙන...අසනීපයක් තියනව කියල දැනුනට, රෝහලකට යන්න බයයි...හදිස්සියේ බොහොම බරපතල රෝගයක් හැදිලා නම්....ඒ හින්ද පෙනඩෝල් එකක් බීල මෙහෙම ඉන්නෙක හොදයි...ඔන්නොහොමයි අපි ඇත්තෙන් පැනල ගිහින්, තාවකාලිකව හිත හදාගන්නේ...ඒ වගේ තාවකාලික පැලැස්තර වලට හේතු ඒත්තු ගන්නන්න අපේ හිත හරිම දක්ෂයි...

මේ සේරෝම දේවල් පර්යේෂණ වලින් ඔප්පු කරපු දේවල්...අපි එදිනෙදා හැසිරෙන විදිය බොහොම පරිස්සමට ලං වෙලා විශ්ලේෂණය කරලා බැලුවොත් අපි නිතර මේ දේවල් කරනවා...

අපි අපේ සුවපහසු සීමාවෙන් එළියට එන්න හරිම අකමැතියි...මොන කරදර තිබුනත් ඒවාට චෝදනා කරන එක ලේසියි, ඒවයින් ගැලවෙන විදිය හිතනවට වැඩිය...ඒ වගේම තමන් අනුගත වෙච්ච චර්යාවෙන් මිදිලා, අලුත් අභියෝග බාරගන්නෙක...මිනිස්සු හරිම කැමතියි තමන් පුරුදු වුනු ජීවන රටාවේ පවතින්න...බඩට නොකෑවත් තමන්ගේ දරු පවුල එක්ක වැටිලා ඉන්න...ඉතිං මං අහන්නේ උන් දුක් වින්දාවේ, ඔක්කොම එකට ඉන්න එකයි වටින්නේ...එහෙමද වෙන්න ඕනේ...පිටින් බලන් ඉන්න කෙනෙකුට, අන්ත දුගී ලෙස ගෙවන ජීවිත වගේ පෙනුනට, ඒ, ඒවා ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සාමාන්‍ය රටාව...

මිනිස්සු ජීවිතේ බොහොම වෙලාවට අසාර්ථක වෙන්නේ තමන්ගේ ඉස්සරහා තියන මේ  ඇත්ත දිහා ඇස් ඇරලා නොබලන නිසා...තමන්ගේ රැකියාව තුල තමන්ට දියුණුවක් හෝ පැවැත්මක් නැත්නම්, එතන වෙන කොයියම් පහසුකමක් තිබුනත්, එතැනින් හිත ගලවා නොගත්තොත් ඒ පුද්ගලයා නොදැනුවත්ම අසාර්ථක වී හමාරයි...


අපිට ඇහෙන අවලාද, චෝදනා පිටිපස්සේ ඉන්න තරමක් ඉන්නේ ඒ වගේ කෙටි කාලීන සැපයට ලොල් වෙච්චි මිනිස්සු...අභියෝග වලට මුහුණ දෙන්න බය වුනු මිනිස්සු...දෛනික ක්‍රියාවලියකට ඇබ්බැහි වෙච්චි මිනිස්සු...තමන්ගේ කම්ෆට් සෝන් එකෙන් එළියට නාපු මිනිස්සු...එක මොහොතකට නැවතිලා, හිතට ඩිංගක් වද දීල තමන් ගැන හරි හැටි, තමන්ගෙන්ම හගිස්සල බලපු නැති මිනිස්සු...
ඔය පැරදිච්ච, වැරදිච්ච, නන්නත්තාර වෙච්චි මිනිස්සු බොහොමයක්, බොහොම වෙහෙස වෙලා වැඩ කරපු අය...හැබැයි අර මොළේ දුන්න සිග්නල් එක හරියට විශ්ලේෂණය නොකරපු, ඒ ගැන කල්පනා කරන්න බය වුනු අය...ඇත්ත පැත්තකින් තියාපු අය...ඒ සමහරු බොහොම උගත්තු...හැබයි බුද්ධිමත්තු නම් නෙවෙයි...

හොදම වැඩේ කියන්නේ, ජීවිතේ ඇත්ත හෙවත් යථාර්තය හැමදාමත් අපේ ඉස්සරහට එනවා...ඒ නිසා කොයි තරම් පැනල ගියත්, කවදා හරි පසු තැවෙන්න වෙනවා...හැබැයි ඉතින් අර කියන්නා වගේ අපි "පට්ට" මෝඩ විදියට ඇත්ත තත්වය නොසලකා හැරියොත්, කවදාවත් තමන්ගේ හැකියාවේ පරිමාව හෝ තමාගේ හිතේ ශක්තිය ගැන, අංශු මාත්‍රයක හෝ හැගීමක් නැතිව, තවත් එක සාමාන්‍ය මිනිහෙක් ලෙස හෙට දවසේ අවලාද නගමින්ම මිය යනවා නියතයි...ඔය අවලාද නගන ඈයෝ දිහා හොදට කිට්ටු කරලා බැලුවොත්, ඒ මිනිස්සු තමන්ගේ ජීවිතේ සිස්ටම් එක වෙනස් කරන්න කිසිම උත්සාහයක් නොගත් අය වගත් වැටහේවි...


පසු සටහන:

මා  කුමනාකාරයක හරුපයක් ලියා තැබුවත් ඔබ වටහා ගන්නේ ඔබට වුවමනා දෙය සහ ඔබ කැමති දේ පමණයි...මිනිසුන් තමන් ගැන වටහා ගැනීම පසෙක ලා අනුන් ගැන නිර්ණය කිරීමේ ඇති මනා හැකියාව නිසා නිතර නොමග යන්නෝද වෙති...