Friday, November 10, 2023

වලස් පුංචා සහ ඉඳිකටු පැංචා

වලස් පුංචයි, ඉඳිකටු පැංචයි ඉන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කොනක තියන බොහොම සුන්දර ගමක. වලස් පුංච හතේ පන්තියේ. ඉඳිකටු පැංච තාම හතරේ පන්තියේ. උන් දෙන්නටයි, උන්ගේ පරම්පරාවේ උන්ටයි සිද්ධ වෙච්ච අලකලංචියෙ තරමට උන්ගේ මහ එවුන් මාස හතරකින් ඉගන ගත්තුවා උන්ට දැන් දවස් දෙකෙන් ඉගන ගන්න වෙලා. දෙසැම්බර් වලට ඔන්න මෙන්න උනාට උන්ට තවම තුන්වෙනි වාරේ පටන් ගත්ත විතරයි. අනේ ඉතින් උන්ගේ මහ එවුන් එදා වේල හොයාගන්න සටන් කරද්දි වලස් පුංචල වචනෙන් කියාගන්න බැරි තරම් ජීවිතේ එක්ක පොර බදනවා කියල සුද්දට හිතුනේ උන් දෙන්න මාරුවෙන් මාරුවට කියන ඒවා අහන් ඉඳල. සුද්ද කිව්වේ උන්ගේ නැන්දා.

(ඔහොම කියවගෙන යං). 

පිටරට්ටුන්ගේ කටෙන් බේරගත්තු අමුතු ඇටේ, අපේ එවුන් අවුරුදු හැත්තෑ පහක් තිස්සේ කටේ දාගෙන සූප්පු කරලා හප කරපු තරමට, ඒක දැන් වවුල්ලු අත ඇරලා දාපු කොට්ටම්බා ඇටේ වගේ.  ඒකෙ ඉඳන් උස් මහත් වෙන්න වෙච්චි වලස් පුංචලට, ඉඳිකටු පැංචලට අලි මදිවට හරක් කියල වසංගතේකුත් ආව. ඉඳිකටු පැංච දෙවෙනි පන්තියට ගියා විතරයි ඉස්කෝල වැහුව කොවිඩ් වලින් බේරෙන්න. පොඩි උන් අකුරු ලියන්න, ගණන් හදන්න ඉගන ගන්න පටන් ගත්ත විතරයි. මේ ළගදි දවසක ඉඳිකටු පැංචලට හතර වසරෙ දෙවෙනි වාර විභාගෙ තිබ්බ. ඉඳිකටු පැංචගෙ හොඳම යාළුවට ගණන් වලට ලකුණු දහනවයයිලු, පැංච බොහොම විස්සෝපෙන් සුද්දට කිව්ව්. එහෙම කොහොම එච්චර ලකුණු අඩුවෙන් ගන්නෙ?  ඇයි එයාට බැරි එච්චර ලේසි ගානක් හරියට හදා ගන්න? පැංචගෙන් සුද්දට ප්‍රශ්නයක්. දැන් ඉතින් දීපන්කො උත්තර. සුද්දට කල්පනා උනේ ඒ පන්තියේ  ගණිත ටීචර්ට මේක නොතෙරුනේ කොහොමද කියල. ඉඳිකටු පැංච කියන විදියට සමහර ළමයින්ට හරියට අකුරු ලියාගන්නත් බෑ, ඒ උනාට ටීචර්ලට ගාණකුත් නෑ. ශිෂ්‍යත්වයට මුහුණ දෙන්න ඔන්න මෙන්න ඉන්න (කොයි අවුරුද්දේද කියන්න දැම්ම කල් වැඩියි, කොළ ටිකයි ටීචර්ලා ටිකයි හොයාගෙන, අර විභව්‍යතාමාන දාල අපබ්‍රංශ වචන වලින් ගණන් ප්‍රශ්න ටික එහෙම හදාගෙන ලෑස්ති වෙන්න ටිකක් කල් යයි) ඉඳිකටු පැංචලගෙ වයසෙ ඉන්න මේ පැටවු ටික අකුරුත් බැරි මෝඩයෝ කරපුවාම ඇටේ සූප්‍පු කරන වැඩේ පරම්පරාගත උරුමෙන් කරගෙන යන්න ඇහැකි වෙයි කියල තමයි ලොකු උන්නැහේල හිතන් ඉන්නව ඇත්තෙ. 

සුද්දට හිතෙන විදියට වලස් පුංචගෙ ජීවිත කථාව ඉඳිකටු පැංචට වඩා බොහොම ඛේදනීයයි.  කොවිඩ් වසංගතේ එද්දි වලස් පුංච හතරේ පංතියේ. ඉස්කෝල වැහුව. සුද්දට මතක විදියට මේ වකවානුවේදීම වෙන්න ඕන ටීචර්ලා ටිකත් පාරට බැස්ස. වලස් පුංචට තේරෙන භාෂාවෙන්, ඔය ටීචර්ලව උසි ගන්නපු මහ මොළ කාරයට  අම්ම මෝ නැතුව බැනපු කාලයක් තිබුන (ඒ යකාගේ නම මතක නෑ, මහ උන්ට එව්වා පේන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වගේ පෙනුනට,  ඉගන ගන්න ඉස්කෝලේ යන්න ආස, වලස් පුංචට පෙනුනේ  එහෙමයි). අන්තිමේදී වලස් පුංචා හරියකට ඉස්කෝලෙට පය තිබ්බෙ හත වසරෙදි. කථාව කියවන් යන්න. වලස් පුංචට කරන උපහාරයක් විදියට මං ඒ විස්තරේ ඔහෙලට කියන්නම්.

ඔන්ලයින් ඉගන ගෙන ශිෂ්‍යත්වයට ගියපු වලස් පුංචලාට හෙන ගැහුව වගේ ප්‍රශ්න පත්තරයක් හදල තිබුන උන්ව පරිපාලන සේවෙට තෝරගන්න හිතාගෙනද කොහෙද. වලස් පුංච දන්නා වැඩ සේරම දාල උත්තර ලිව්වට ප්‍රශ්න තුනකට ලියාගන්න වෙලාවත් මදි වෙලා තිබ්බ. මේ 2021 තියන්න හිටපු 2022 මුල භාගේ තියපු ශිෂ්‍යත්ව විභාගෙ. ප්‍රශ්න පත්තරේ දැකපු සුද්දට වලස් පුංච ගැන සහ නොසැලී උත්තර ලියපු අනිත් දරු පැටවු ගැන අප්‍රමාණ ගෞරවයක් දැනුන. ඒ අවසාන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ටික කියවගෙන යන්න තරම් උන්ට තිබුන විල් පවර් නොහොත් අප්‍රතිහත ධෛර්ය ගැන හිතල. සුද්දත් අතෑරියේ නෑ, පැය දෙක තුනක් ගත කරලා, අතරමැද පොඩි විවේක දෙක තුනකුත් අරන් වලස් පුංචා විනාඩි 45 න් හැදුව ප්‍රශ්න පත්තරේ හරි උත්තර එක්ක හදල ඉවර කළා. සුද්ද ඔහොම උන්නට ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික්ක පළවෙනියා, ඒ හින්ද ඔහෙලා හිතන්න එපා සුද්ද මෝඩය හින්ද එච්චර වෙලා ගියා කියල. එහෙම ගණිත ගැටළු වලට කියන්නේ විභව්‍යතාමාන කියලලු. සුද්ද ඒ වචෙනෙ තේරුම දන්නේ නෑ. ඒකෙ තේරුම දන්නා එකෙක් වැඩේට බැහැල 2023 ශිෂ්‍යත්ව විභාගෙටත් අර විදියෙම අපබ්‍රංශ ගැටළු ඔබල තිබුන. සුද්දට අම්ම වීඩියෝ කෝල් එකක් අරන් ප්‍රශ්න ටික කියෙව්වා. අම්ම කිව්වේ වලස් පුංචගෙයි, ඉඳිකටු පැංචගෙයි ඉතාමත් සීදේවි ආච්චි අම්මා. දෙන්නත් එක්ක එකතු වෙලා ප්‍රශ්න ටික තේරුම් ගන්න සෑහෙන සටනක් දෙන්න උනා. මොකද විභව්‍යතාමාන ගොය්ය ඉතාමත් ගැටළු සහගත සිංහලෙන් තමයි ඒ ප්‍රශ්න හදල තියෙන්නේ. අන්තිමේ දෙන්නටම මෙහෙම ඇහුන, දැන් ඉතින් අපි ඉඳිකටු පැංචට මොකද කරන්නේ? එයාටත් ගණ දෙය්යන්ගේ පිහිට තමයි සුද්දට හිතුන.

නොදන්නා අයට දැනගන්නයි ලියන්නේ, පහ වසරෙන් එහාට පන්ති නැති ඉස්කෝල අමුතු ඇටේ තියනවා. ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි යන්න ලැබුනේ එහෙම ඉස්කෝලෙකට. ඒවාට අල්ලපුම ටවුමේ තියන ලොකු (උසස් පෙළ දක්වා තියන) ඉස්කෝල වල ළමයින්ව ටීචර්ලට මේච්චල් නෑ. ටීචර්ලට ඊට එහා අසූ හාරදාහක් ආර්ථික ප්‍රශ්ණ. ඒ ටවුමෙන් එහාට ලෝකයක් තියනවා කියල දෙන්න තරම් ඉස්පාසුවක්වත්, දැනමුතුකමක්වත් උන්ගේ මහා එවුන්ටත් නෑ. උන්ගෙන් තමයි අර මත් වෙන බීමයි, මත් ටොෆියයි ඇබ්බැහිය පටන් ගන්නෙ. ටීචර්ලටයි, මහ එවුන්ටයි අත් ඇරිච්ච පොඩි උන් තමයි මේ ජාවාරම් කාරයින්ගේ ටාගට් එක. ඉඳල හිටලා දහිරිය වන්ත සංසාරේ පින් තියන දරු පැටියෙක් ඒ ටවුමෙන් එහාට ගිහින් ජීවිතේ හොයාගන්නවා.  ආන් ඒකයි සුද්දගේ ගම් පළාතේ එවුන්ට ශිෂ්‍යත්ව විභාගේ වැදගත්. 

ආයිමත් යං වලස් පුංචගේ කතන්දරේ ඉතිරි ටිකට. වලස් පුංචගේ ඇතා අප්පුච්චයි, (සුද්දගේ හා පුංචා) සුද්දයි දෙන්නම ඔය කියන මහ විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ලොකු ඉස්කෝල වලට ගිය ළමයි. ඒ උනාට ඒ කාලේ වගේ දරු පැටියෙක්ව ඇහ මානෙන් ඈතට යවල ගෙදර එනකල් බලන් ඉන්න තත්වයක් මහ එවුන්ට දැන් නෑ. ඉපදිලා මාස දෙකක් ගිය දරු පැටිය පවා රේප් කරන ලෝකයක් මේක. වලස් පුංච ශිෂ්‍යත්ව විභාගේ හොඳින් සමත් උනා. හැබැයි කොළඹ ඉස්කෝල වලට යන්න ලකුණු මදි.  ගෙදර උදවිය පෙරලුන පිට හොදයි කියල වලස් පුංචව ඇතුල් කළා ඒ පළාතේ තිබුන විනය අතින් හොඳයි කියාපු, ශිෂ්‍යත්වය සමත් පැටවූ පමණක් ඇතුලත් කරගන්නා පාසලකට. වලස් පුංචට ශිෂ්‍යත්ව ප්‍රථිපල එන කාලේ වෙද්දී හරි නම් වලස් පුංච ඉන්න ඕනෙ හයේ පන්තියේ දෙවන වාරේ. කොවිඩ් වලින් සහ ඩොලර් වලින් බැට කමින් ඉඳපු අමුතු ඇටේ සියලුම දේවල් සිද්ධ උනේ ප්‍රමාද වෙලා.  වලස් පුංච ශිෂ්‍යත්ව ප්‍රථිපල ඇවිත් ඉස්කෝලෙකට තේරෙද්දී මැති ඇමතිලා බේරේ වැවේ. මිනිස්සු තෙල් පෝලිමේ. වලස් පුංචා දැන් හය මාසෙකට වඩා ගෙදර. අන්තිමේ අලුත් ඉස්කෝලෙ ඔන්ලයින් ක්‍රමේට උගන්වන්න පටන් ගත්ත. අර අපබ්‍රංශ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේට ලියපු වලස් පුංචා දැන් ඕනේ දේකට ඔට්ටුයි. අලුත් ඉස්කෝලෙ හය වසරේ ටීචර්ල ටිකත් බොහොම ආදරෙන් දරුවන්ට උගන්වනවා.  අන්තිමේ පැට්‍රොල් ඩීසල් ටිකයි, ඩොලර් ටිකකුයි ණයට ඉල්ලගත්තු රටේ අප්පච්චිගේ ගෝලයෝ රොත්ත අමුතු ඇටේ ක්ෂණයකින් සුඛිත මුදිත කල හන්ද වලස් පුංචට අලුත් ඉස්කෝලේ හැබැහින් දැකගන්න වාසනාව ලැබුන. මේ 2022 ජුලි මාසේ අන්තිම. වලස් පුංච සන්තෝසෙන් උඩ පැන පැන දවස් දෙක තුනක් අලුත් ඉස්කෝලෙට ගියා විතරයි. 

යන්තම් වැස්ස තිබුන සෙනසුරාදාවක උදේ පාන්දරින්ම වලස් පුංචා ඇතා අප්පුච්චගේ මෝටර් සයිකලේට නැංගේ කෙදිරි ගගා, රෝද හතරෙන් පන්තියට යං කියල. ඒක  එහෙ මෙහෙ කරන්න තියන කම්මැලි කමට වගේම විනාඩි දහයේ දුරක් නිසා වෙන්න ඕනෙ ඇතා අප්පුච්ච, වලස් පුංචව මෝටර් සයිකලේම තියාගෙන පිටත් වෙලා යන්න ලැබුනෙ වංගු දෙකක් විතරයි. පුංචි වලස් පුංචට සිද්ධ වෙච්ච දේ හොඳටම මතකයි. වලස් පුංචෝ හය්යෙන් මාව අල්ලගන්න, අපිව හැප්පෙන්නයි යන්නෙ, ඇතා අප්පුච්ච කෑ ගැහුවා. වලස් පුංච ඇතා අප්පුච්චගේ බඩ මැදින් තදින් අල්ල ගනිද්දි, තමන්ට ඉස්සරහින් පාර පුරා එන ගමන් තමන් දිහාවටම එන වෑන් තඩියව පෙනුන. ඇතා අප්පුච්ච මෝටර් සයිකලේ හොඳටෝම වේගේ අඩු කරලා පාරේ තිබුන අගලට ගනිද්දිම වෑන් තඩිය තමන්ගෙ සේරම සවි ශක්තිය දාල වලස් පුංචගේ දකුණු කකුලෙන් හිතේ වාඩුව ගත්ත. ඇතා අප්පුච්චගේ ඇඟ උඩ මෝටර් බයිසිකලේ. වලස් පුංචා වීසි වෙලා පාර මැද වැටිලා. 

වලස් පුංචට ඇහුන ඇතා අප්පුච්චා මාරාවේශෙන් විලාප දෙනවා, උඹ මොකද යකෝ මගේ වලස් පුංචට කලේ කියාගෙන. ඇතා අප්පුච්චා එහෙම මහා සද්දෙට කෑ ගගහ අඬනවා වලස් පුංචා මීට කලින් දැකල අහල තිබුනේ නෑ. සුද්ද දැකල තිබුනෙත් නෑ. මීට අවුරුදු ගාණකට කලින් හා පුංචාගේ දණහිස් පොල්කට්ට අතුරුදහන් වෙච්ච මාරක රිය අනතුර වෙච්ච දා හවසවත් ඒකා ඇඩුවේ නෑ. සුද්ද හා පුංචගේ දණහිස් පොල්කට්ට කුඩු වෙච්ච කකුලයි ලේ උරපු කොට්ටෙයි තමන්ගෙ උකුල උඩ තියාගෙන කොළඹට යනකල් සිහියෙන් ඉන්න දුන්න මහ සටන තාම සුද්දට අමතක නෑ. අවුරුදු විසිඑකේදී හා පුංචගේ ඇතා අප්පුච්චාගේ මිනියට කර තියන් යද්දිවත් හා පුංච ඇඩුවේ නෑ.

වටේ පිටේ උන්න කරුණාවන්ත, සුද්දගේ පවුලම දන්නා අඳුනන ගමේ මිනිස්සු එකතු වෙලා වැටිලා තිබුන මෝටර් බයිසිකලේ ඇතා අප්පුච්ච්ගේ ඇඟ උඩින් අයින් කළා. වලස් පුංචගේ විළුඹ තුවාල වෙලා ලේ ගලනවා. වෙන පිටින් පේන්න තුවාලයක් නෑ. වෑන් තඩිය පාර පුරා ගෙනාපු තරුණ කොලු ගැටය උගෙ ගාමන්ට් හයර් එක ගියා (ඒ ගැන කවුරුත් මෙතන ප්‍රශ්න අහන්න එපා, මේ දැනට නඩුවකට පැටලුන සිද්ධියක්). ඇතා අප්පුච්ච වලස් පුංචගේ සීදේවී ආච්චිගේ ඔලුවට ජීවිතේ දෙවැනි වතාවටත් හෙන ගෙඩියකින් දමල ගැහුවා. "අම්මේ එකෙක් අපිව හප්පගෙන ගියා". සීදේවී ආච්චිගේ පණ, වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, හා පුංචයි. 

වලස් පුංචගෙ ලස්සන ඇස් තියන අම්මා ඇඳිවත පිටින්ම වංගු දෙක දිව්වා. ඇතා අප්පුච්ච රෝද හතරෙන් වලස් පුංචවයි, ලස්සන ඇස් තියන අම්මවයි අරන් ටවුන් එකේ ඉස්පිරිතාලෙට ගියා. එහෙම කලාට ඇතා අප්පුච්චටත් හොඳවයින් පාරවල් තුන හතරක් වෑන් තඩිය දීලයි තිබ්බෙ. ඒ උනාට දරු දුක ළඟ මිනිස්සු නිකම්ම ඇත්තු වෙනවා. ඇතා අප්පුච්ච ආයිමත් ගෙදර ආවෙ තනියෙන්, වලස් පුංචව කොළඹට ගෙනියන්න (මොකද හා පුංචා සහ සුද්දා අමුතු ඇටේ ඉන්න විකලාංග දොස්තරල ගැන දන්නා එක්ස්පර්ට්ස්ල, කලින් වතාවේ දොස්තර පින්ටෝ මහත්තයගේ වාට්ටුවේ මාස දෙකක් විතර තැපල ඇවිත්, ඒ මනුස්සයට පිං සිද්ධ වෙන්න හා පුංචගේ ගාත් හතරම තාම හොඳටම වැඩ, ඒ තමා දොස්තර දෙවිවරු). 

සුද්ද වලස් පුංචට කථා කළා ඒ අල්ල පනල්ලේ. යකෝ රෝස මලක් වගේ උන්නට, වලස් පුංචත් සුද්ද වගේම තමා, ඇස් බෝල ගෙඩි දෙකත් ලොකු කරගෙන, කඳුළුත් කාගෙන වලස් පුංච කොළඹ යනවා. අනේ ඉතින් සුද්ද හිතුවේ දණහිස පැනපු එකයි විලුඹ තුවාල වෙච්ච එකයි විතරයි කියල වෑන්  තඩිය වලස් පුංචට කරපු හානිය. හැබැයි වලස් පුංචා කටින් කටට කිව්වේ කකුලේ උඩ කොටසට මොකුත් දැනෙන්නේ නෑ කියලයි.  පින්ටෝ මහත්තයගේ එක්ස් රේ ටික ඊට වැඩිය බොහොම දරුණු කතන්දරයක් කිව්වා. තයි බෝන් එක (ඒ කිව්වේ දණ හිසයි කලවයි සම්බන්ධ කරන අස්ථිය) හරියටම දෙකට මැදින් කැඩිලා. දැන් වලස් පුංචා ඉන්නේ කකුලට යකඩ ප්ලේට් එකක් දාල. සැත්කමෙන් පස්සේ වලස් පුංචාට ලේ දෙන්න උනා, ඒත් පුංචා පුංචි නිසා වැඩිහිටි ලේ එයාගේ ඇඟට ඇතුල් වෙන හැම වතාවේම එයා මරහඬ තැලුවා වේදනාවට. අන්තිමට නර්ස් නැන්දලා ලේ දෙන එක නැවැත්තුව. වලස් පැංචා නෙවිල් ෆර්නාන්දු රෝහලේ නැවතිලා හිටපු කාලේ එයාට සත්කාර කරපු පින්ටෝ දොස්තර මාම ඇතුළු සියලුම දොස්තර මාමලටත්, නර්ස් නැන්දලටත් සුද්ද මේ වෙලාවෙ තමන්ගේ හද පතුලෙන්ම නැගෙන ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. 

කතන්දරේ තව ඉවර නෑ. දැන් අර හැම තිස්සෙම උඩ පැනපු වලස් පුංචට ඇවිදින්න බෑ. ඉස්කෝලේ යන්න බෑ. ක්ලිනික් එක්ක යන්න ඕනේ. පිසියොතෙරපි කරන්න ඕනේ. සැත්කමින් සති හයකින් පස්සේ දෙකට කැඩුන අස්ථිය හා වෙලා, මාංශ පේශි වල ශක්තිය නැවත ලබාගෙන කකුල් දෙකෙන් ඇවිදින්න උත්සාහ කරන එක තමයි වලස් පුංචට ලැබුන ගෝල් එක. ගෙදර උදවියට වලස් පුංච දැන් මේච්චලුත් නෑ. ඒක එකම යුද්ධයක්. බලාගෙන ඉන්න බැරි තරම් වේදනාවක්. ඇතා අප්පුච්ච හොඳටෝම මානසිකව වැටිලා ඉන්නේ එයා හින්ද මේ දේ උනා කියල. මේ විදියෙ අනතුරකින් යථා තත්වයට පත්වෙන්න මොන තරම්  මහන්සි ගන්න ඕනෙද කියල එයා අත්දැකීමෙන් දන්නවා.

සුද්දට මුදූ හතකින් එහා ඉඳගෙන මේ විස්තරේ තවත් අහගෙන  ඉන්නත් බෑ. යකා බැඳ ගත්ත වගේ කරන රස්සාව එක පාරට දමල ගහල යන්නත් බෑ. හැබැයි සුද්දට පුළුවන් වලස් පුංචව ආන් බාන් කරගන්න. සුද්ද කියන්නේ වලස් පුංචලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ලේ වල බරයි යාළු කමයි වගේම, උන් දෙන්න හිතන් ඉන්නේ සුද්දත් උන් වගේම පොඩි එකෙක් කියල. ඒ හන්ද සුද්ද යනවා වලස් පුංචා දිහාවේ, එතකොට සැත්කම කරලා සති දෙකයි. කොවිඩ් නිසා වුන එකම යහපත තමයි ටෙලි වර්ක් නොහොත් වර්ක් ෆ්‍රොම් හෝම්. සුද්ද දැන් කරන්න යන්නේ වලස් පුංචව බලා ගන්න ගමන්, ලෝකේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ රස්සාව කරන්න සති තුනකට. ඒ ඇති වලස් පුංචව ඇවිද්ද ගන්න. 

වලස් පුංචට ඉස්කෝලේ යාළුවො නෝට්ස් එව්වා. වලස් පුංච මර හඬ දිදී අර කැඩිලා තියන, දණහිස ඇද වෙලා තිබුන කකුලට සුද්ද එක්ක පිසියෝතෙරපි කළා. ඒවා කියල දුන්නෙ නෙවිල් ෆර්නැන්ඩු රෝහලේ පිසියෝතෙරපි මාම. ඒ එක්කම වලස් පුංචට ඉස්කෝලේ පළවෙනි වාර විභාගේ පටන් ගන්නවා කියල දැනුම් දුන්න. වලස් පුංචට ඉස්කෝලෙට යන්න බැරිව තදින්ම මානසික පීඩනයට පත් වෙලා තිබුනේ. වලස් පුංච ගෙදර උදවිය එක්ක කථා  කරලා වාර විභාගෙට යන්න තීරණය කළා. හැමදාමත් පාස්ට් පේපර්ස් වලින් විභාග ලියපු සුද්ද වලස් පුංච එක්ක පාස්ට් පේපර්ස් කරන ගමන් විෂය කරැණු කියල දුන්න. ගෙදර උදවිය සේරෝම උන්නේ බොහොම වැඩ අධික කාල සටහනක. වලස් පුංච නින්දට යනකල්ම නොනවත්වා කතා කළා. බොහොම අසාමාන්‍ය ලෙස එක දිගට කතා කරගෙන ගියා. එකකට එකක් සම්බන්ධ නැති දේවල් කියෙව්වා. පාඩම් වැඩ මතක තියාගන්න කලින්ට වඩා අමාරුයි කියලත් කන් කෙඳිරි ගෑව. එයාට වෙනම රෝද පුටුවක් සහ ඇවිදින ආධාරකයක් ගෙනත් ඇවිදින්න පුරුදු කළා. ඉඳිකටු පැංචා මේ සේරම බලාගෙන සද්ද නැතුව ගෙදර එහාට මෙහාට ගියා. වලස් පැංචා ගෙන් නිදහස් උනාම සුද්දට ඉඳිකටු පැංචාගේ ඉස්කෝලේ වැඩ ගැනත් බලන්න උනා. මේ කලබලේ අස්සේ පුංචි ඉඳිකටු පැංචව හැමෝටම මග අරුන කියල සුද්දට හිතුන. 

වලස් පුංච, ඇතා අප්පුච්චගෙයි, ලස්සන ඇස් තියන අම්මගෙයි, රෝද පුටුවෙයි පිහිටෙන් විභාගෙට ඉස්කෝලේ ගියා. ඒ හය වසරේ ටීචර්ලා ටික බොහොම ආදරෙන් වලස් පුංචට විභාගෙට වාඩි වෙන්න වෙනම තැනක් පිළියෙළ කරලා දුන්න. ඒ වගේම වලස් පුංචට චූ දාන්නත් ගුරු කාමරේ කොනක ලෑස්ති කරලා දුන්න. ඒ ගොඩක් දුර යන්න වලස් පුංචට බැරි නිසා. කැඩිච්ච කකුලත් පැත්තකින් උස්සගෙන, නිතර හැදෙන ඉසරදෙත් ඉවසගෙන වලස් පුංච අප්‍රතිහත ධෛර්යෙන් විභාගේ කරලා ඉතා හොඳින් ලකුණුත් අරන් පෙන්නුවා. ඒ ඉස්කෝලේ හය වසරේ ටීචර්ලට ගොඩක් ස්තුතියි. 

සුද්ද ආපහු එන්න දවස් දෙක තුනකට කලින් වලස් පුංච දෙපයින් හිට ගත්ත. ඒත් ඇවිදිනකොට පේන ඇදෙයි, දණහිස් පොල්කටුව පැත්තට ඇදිල තිබුන එකයි දකින කොට ඇතා අප්පච්චිට දරා ගන්න බැරි උනා. සුද්ද එන දවසේ රෑ වලස් පුංච අඬ අඬ කිව්වා එයා ඔහේ තේරුමක් නැතුව කතා කරපු හේතුව. වලස් පුංචට බයයි. ඇක්සිඩන්ට් එක මතක් වෙනවා. සුද්ද වලස්  පුංචට කිව්වා සිංදුවක් අහන්න, පොතක් කියවන්න කියල. ඒ පුංචි හිතෙයි ගතෙයි තිබුන වේදනාව තමන්ගේ කරගන්න ගෙදර උදවිය සේරෝටම උවමනාව තිබුනට, වලස් පුංචට ඒ හැමදේටම තනියෙන්ම මුහුණ දෙන්න උනා. ඒක තමයි සංසාරේ හැටි. 

තව කථාව ඉවර නෑ. වලස් පුංචා ආයිමත් ඇතා අප්පුච්චගේ  කර පිටින් ඉස්කෝලේ ගියා. ඒ උනාට තාම දණහිස ඇදයි. දණහිස ගැන පස්සෙ බලමු කියල පින්ටෝ මහත්තය සුද්දට කිව්වේ වලස් පුංචාගේ අනතුර වෙච්ච දවසෙමයි.  මාස කිහිපයක් ගත උනාට පස්සෙ ඇතා අප්පුච්ච නැවත පින්ටෝ මහත්තයා එක්ක මේ ගැන කතා කළා. දන්නා කියන සියලුම කෝණ වලින් ගත්තු එක්ස් රේ පින්තූර ටික දැක්කම ගෙදර උදවියට නැවතත් දෙවියන් සිහිවුනා. වලස් පුංචගේ දණහිස් පොල්කට්ට උඩින් කොටස් තුනකට වෙන් වෙන විදියට පැල්මක් ගිහින් තිබුන. කලින් එක්ස් රේ පින්තූර වල නොතිබුන. ඒකට හේතුව අනතුර එක්ක ඒ විදියෙ කෝණයකින් දණහිසේ එක්ස් රේ ගන්න අමාරුයි කියල තමයි සුද්දට වැටහුනේ. හේතුව මොක උනත්, මේ සැත්කම් දෙකම එක වර කරන්න බැරි දෙයක්. දැන් ඉතින් වලස් පුංචට තවත් සැත්කමක්. කලින් වතාවට වැඩිය යථා තත්වයට පත් වීමේ කතන්දරේ අමාරුයි. සති හයක් කකුල හොලවන්න තහනම්. ඉන් පස්සේ දණහිස නවන සටන. සුද්ද ආයිමත් මුදූ හතක් මෙහා ඉඳන් ලොකු හුස්මක් ගත්ත. 

කවුරු කොතැනක මේ අනතුර සිද්ධ කලත්, ඒ අනතුර කර කෙනා ඔහුගේ කර්මය සකස් කරගත්තා වගේම, වලස් පුංචා ඇතුලේ පවුලේ හැමෝම පෙර ආත්මෙක යම් කෙනෙකුන්ට කල හිරිහැර වල කර්ම විඳිමින් ඉන්නවා. වලස් පුංචට නිවාඩු කාලයක් බලල නැවතත් දෙවැනි සැත්කමක් කළා. වලස් පුංච ඒ වෙද්දී ඉංග්‍රීසි මාධ්‍යට මාරු වෙලා තිබුන හන්ද, හත වසරේ පළවෙනි වාර විභාගෙටත් සුද්ද මුදූ හතක් මෙහා ඉඳන්  වලස් පුංචට පාඩම් කියල දුන්න. එතකොට තමයි සුද්ද දැනගත්තේ, අමුතු ඇටේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් උගන්වන සමහර විෂයන් වල සහ ඒ ප්‍රශ්න පත්තර වල තියන්නේ ඉතාම පැටලිලි සහගත, සුද්ද මේ තාක් පාවිච්චි නොකළ ඉංග්‍රීසි කියල. මේ ලිපිය වගකිවයුතු කෙනෙකුගේ ඇහැ ගැටුනොත්  කරුණාකරලා මේ පොත් සරල පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියන්න උත්සාහ කරන්න කියල සුද්ද යෝජනා කරනවා. ඒ වගේම ඉංග්‍රීසි  හරියට නොදැන පරංගිය කෝට්ටේ ගියා වගේ ප්‍රශ්ණ වාර විභාග ප්‍රශ්ණ පත්තර වල ඉදිරිපත් කරන්නෙපා. කවුරුන් හෝ මේ භාෂා මාධ්‍ය නිවැරදිව දන්නා කෙනෙකු ලවා මේ ප්‍රශ්න පත්තර සකස් කරවාගන්න. එහෙම නැති උනොත් මේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් ඉගන දරුවන්ට නිවැරදි ඉංග්‍රීසි වෙනමම උගන්වන්න වෙයි. 

දැන් වලස් පුංච ඉස්කෝලේ යනවා. වලස්  පුංචාගේ කකුලේ තාම යකඩ තහඩුවක් තියනවා. ඒක අයින් කරන්න නැවතත් සැත්කමක් කළ යුතුයි, ඉක්මනින්ම. වලස් පුංචගෙ පංතියේ බාගෙකට වඩා දරුවන්ට ලකුණු 40ට අඩුයි ගොඩක් විෂයන් වලට. දරුවෝ ටීචර්ලා කියන දෙයක් සත පහකට ගණන් ගන්නෙ නෑ කියල තමයි වලස් පුංචා කියන්නේ. දරුවෝ නෝට්ස් ලියන්නේ නෑ. ටීචර්ලා ඒ වගක් දන්නෙත් නෑ. හැමෝටම ප්‍රශ්න. වලස්  පුංචලගේ, ඉඳිකටු පැංචාලගේ අනාගතේට මහ එවුන් හෙමින් හෙමින් වල කපල ඉවරයි. දරු පැටව් බොහොම නොසන්සුන්. උන්ගේ ප්‍රශ්න වලට දෙමාපියෝ ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකට මහ උන්ට වෙලාවකුත් නෑ.

සුද්දට ආඩම්බරයි වලස්  පුංචයි, ඉඳිකටු පැංචයි ගැන. ඒ වගෙම දුකයි. ආඩම්බර උන් මෝඩයෝ නොවෙන හන්ද. දුක සුද්දලාගේ පරම්පරාව (උඹේ, අපේ භාෂාවෙන් කිව්වොත්) පට්ට ෆේල් හන්ද. ජගත් මනුවර්ණ මලය එක යූ ටියුබ් වැඩසටහනක කියනවා මේ තරම් මිනිස්සු මරන්න පුළුවන්ද කියල. මට මතක විදියට ඔහු එතනදි සඳහන් කරන්නෙ එදා මෙදා තුර සියලුම සිවිල් අරගල වලින් සහ යුද්ධෙන් කාලාන්තරයක් තිස්සේ මැරුණු අමුතු ඇටේ මිනිස්සු ගැන. එහෙම මිනිස්සු මරනවා සහ මැරෙනවා බලන් උන්නු, බස් එකට නැගල වාඩි වෙන්න කලින් බෝම්බ තියනවද කියල බලපු, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රාජපක්ෂ, රනිල් එකී මෙකී නොකී සියලුම පාලකයින්ගේ, දේශපාලුවන්ගේ සහ අන්තර්ජාතික න්‍යාය පත්‍ර වල හිර වෙච්ච, ඒවා දැන දැනත් තාමත් ඒවා විවේචනය කරන්නට පමණක් වෙහෙසෙන අපි උඹල ඔක්කොම ෆේල් තමයි.  එහෙම හිතෙන්නේ ඉඳිකටු පැංචල, වලස් පුංචල වයස අවුරුදු අටක් නමයක් වෙද්දිම ජිවිතේ හති වැටිලා ඉන්න හැටි දැක්කම.  ෂාරුක් ඛාන් ගෙ අලුත් චිත්‍රපටියක් ආව මේ ලඟදි "ජවාන්". බැලූ බැල්මට සාමාන්‍ය කතන්දරයක්, ටිකක් මනි හයිස්ට් කතන්දරේට සමාන රොබින් හුඩ් තීම් එකේ අපි හැමෝම ෆැන්ටසයිස් කරන ලෝකයක් හදන්න හදන වීරයන්ගෙ කතන්දරයක්.  හැබැයි ඒකෙ ලස්සන පණිවිඩයක් දෙනවා. මිනිස්සුන්ට කියනවා තමන්ට තියන වටිනාම අයිතිය, තමන්ගේ ඡන්දය නිවැරදි විදියට පාවිච්චි කරන්න කියල. මිනිස්සු තමන්ගේ සල්ලි වියදම් කරන්න කලින් මිලදී ගන්න හැමදේ ගැනම ඉතා ගැඹුරු ලෙස ප්‍රශ්න කරනවා. හැබැයි මිනිස්සු තමන්ගෙ ජීවිත වල වටිනාම තීරණ ගන්න රටේ පාලකයින් තෝරා ගනිද්දී දෙපාරක් නොහිත තමන්ගෙ මනාප කතිරය ගහල එනවා.  ගහපු කතිර වල ප්‍රථිපල  අපේ උවමනාවට මේ ලෝකෙට ආපු ඉඳිකටු පැංචල, වලස් පුංචල විඳවනවා. 

අවුරුදු පහකට පස්සෙ පොකුරු වැස්සට ලිපියක් ලියන්න තේමාවක් දුන්නට සුද්දගේ ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි මගේ උත්තමාචාරය.

මේ ලිපිය බෙදා ගත්තාට මගේ අමනාපයක් නොමැත. 

22 comments:

  1. අජිත් ඩී - ලන්ඩන්November 10, 2023 at 5:59 PM

    කම්මැලි ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒක හරි. මං කොහොමත් ලියන්නෙ ටිකක් කම්මැලි පහේ ඒවා තමයි.

      Delete
  2. අවුරුදු ගාණකට පස්සේ දකින්නත් ආසයි. ඉඩ ලැබෙන විදිහට නිතර ලියන්න එන්න WW

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. උත්සාහ කරනවා ඉඩක් ලැබෙන විදියට ලියන්න.

      Delete
  3. අම්මො ඔයාව දැක්ක කල්...

    ReplyDelete
    Replies
    1. වෙලාවක් ලැබුනම ඔයාගේ කවි කියවනවා මම. ස්තුතියි සඳවතී.

      Delete
  4. Replies
    1. කාලෙකට පස්සෙත් මේ පැත්තෙ ගොඩ වැදුනට ස්තුතියි ප්‍රා.

      Delete
  5. ගොඩක් කාලෙකට පස්සෙ පොකුරු වැහි දැක්කෙ. හරිම සතුටුයි. මගේ අලුත් බ්ලොග් එක පැත්තෙ නිදහස් වෙලාවක ඇවිත් යන්න. මම කවි දුමී.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී. අවුරුදු පහකින් වගේ ලිව්වෙ. බොහොම ස්තුතියි. දුමීගෙ අලුත් බ්ලොගය දැක්කේ නැහැ. අනිවාර්යෙන් එන්නම්. ජය වේවා !

      Delete
  6. යටිපෙල තේරුම් ගන්න ඔනේ නේද? - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව්. යටිපෙළ තමයි තේරුම් ගැනීම තමයි වැදගත්. ස්තුතියි මය්යා.

      Delete
  7. දුක හිතෙන ඇත්ත කතාවක්. ලංකාවේ වාහන පැදවීම ගැන කොපම කීවත් ලීවත් වැඩක් නැහැ. නීති තද අකරන්නේ නැතිව හදන්න බැරි දෙයක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලෝකෙ කොහෙත් මිනිස්සු විනය ගරුක වෙන්නේ වැරැද්ද අනුව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. ලංකාවේ පාරට බහින්න කලින් අන්තිම කැමති පත්‍රය ලියල යන්න ඕනේ. ඒක නගරයද ගමද කියල වෙනසක් නෑ. මිනිස්සු පාරෙ යන්නේ සිහියෙන් නෙවේ.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. බොහෝ කාලෙකින් ලියලා! අගනා ලිපියක් ! පුළුවන්නම් සෙනසුරාදා රෑ දහයට පෝස්ට් එකක් දාන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නිතර ලියන්න නොහැකි උනත්, ඉඩ ලැබෙන වෙලාවට ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

      Delete
  10. ඔබට මතකනම් ඔබ අන්තිමට ලියලා තියෙන්නේ වසර 5 කින් එපිට.
    ඔබගේ බ්ලොග් අඩවිය මෙතෙක් අපගේ සින්ඩියේ ලැයිස්තු ගත කොට තිබුනේ "පුරා වස්තු" යටතේ.
    මේ පෝස්ටුවත් සමග අප ඔබගේ බ්ලොග් අඩවිය; යාවත් කාලීන ; නිර්මාණ සඳහා වෙන්ව ඇති "කැඩපත් පවුර" කොලමට ඔබව එක් කොට ඇත.
    බොහෝ කලකින් ලියන ලද බ්ලොග් අඩවි ඉක්මණින් කියවන්නන්ගේ ග්‍රහණයට ලක්වනු පිණිස එය "පුනරුප්පත්ති - කලෙකින් ලියැවුනු ලියමන්" කොලමටද එක් කොට ඇත.
    අපගේ සින්ඩිය අවකාශයේ වැඩිම බ්ලොග් සංඛ්‍යාවක් එක් කොට ගොඩ නංවා ඇති සින්ඩියයි.
    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් බෙහෙවින්ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සින්ඩියක් නියම විදියට බ්ලොග් එකට එකතු කරන විදිය මතක නෑ දැන්. දැනට මතක විදියට එකතු කළා. වෙලාවක් ලැබුනම හරි ක්‍රමවේදයෙන් එකතු කරන්නම්.

      Delete
  11. හ්ම්. රැල්ල ගහන්නෙ ඉස්සරහට කියන්නැහෙ... දැන් වෙන විනාසවල ඵලය මතු පරපුරට.
    ඉදිරියටවත් ජහමනය කල්පනාවෙන් වැඩකරත්වා කියලවත් ප්‍රාර්ථනා කරමු 💔!

    ReplyDelete
    Replies
    1. ජහමනය විශ්වාස කරන්න බොහොම අමාරුයි...අවසාන මොහොතේ වෙනස් වන හිත් තියන ජහමනය තමා අමුතු ඇටේ ඉන්නේ...

      Delete