Monday, September 12, 2016

මට ගහක් වෙන්න ඕනේ...

මුහුණ වසාගෙන තනිවම හඬන කුඩා ළදැරියක් (සේයාරුව අන්තර්ජාලයෙනි)


එදා ආවේ ටොර්නෙඩෝවක්...ඒ කුණාටුව විසිත්ත කාමරයේ සෝපාවක් උඩට තල්ලු කරගෙන ආවේ අම්මා...

තාත්තාට තුරුළු වෙන එක වරදක්...මට එහෙම කිව්වෙත් අම්මා...

ටාලියාට ලං වෙන්න එපා...තාත්තට එහෙම කිව්වෙත් අම්මා...

පුංචි සුළං ඉත්තකින් පටන් ගත්තු ඒ කුණාටුවේ, තාත්ත කරකැවුනේ හරිම වේගයෙන්...අම්මා හිතුමතේ විසි කරපු වචන ගිහින් සැරින් සැරේ වැදුනේ තාත්තගේ පපුවට...ඒවා මතු වුනේ එයාගේ කළු ඉංගිරියාවෙන්...

ඒ මගේ දරුවා...එයාව..එයාව හුරතල් කරන්න මට බැරිද...

තාත්ත ඇහුවේ ඒ සේරෝම රිදුම් දරාගෙන...

ඔයා එයාට ලං වෙනවා වැඩියි...මට ඔයාව දරුවාගෙන් වෙන් කරන්න වෙනවා...මං උසාවි නියෝගයක් ගන්න පිළියෙළ කරලා ඉවරයි...

අම්මා කෑ ගැහුවේ ආවේශයෙන්...

එයා මාව විනාශ කළා...දැන් මං ළමා අපයෝජකයෙක්ගේ ගණයට වැටිලා හමාරයි...ඒ මගේ දරුවා දෙවියනේ...මිනිස්සු මං ගැන මොනවා හිතාවිද...

තාත්ත එහෙම කිව්වේ අපේ අසල්වැසිය, මිස්ටර් දේවන් එක්ක...

මිස්ටර් දේවන් ගේ නෝනා, මිස් ෂෙලී...

ටාලියා එනවා නිතරෝම අපේ දිහාවේ...පහුගිය හෝලි දවසේ, ඇනයි, එයාගේ පොඩි නංගි සිම්රන්, ටාලියා, දේවන් හෝලි වල පාට තැවරුව මුහුණු වල...ටාලියාට දැන් අවුරුදු නවයක් පිරෙන්න කිට්ටුයි...ඒ නිසා මං තමයි ඇනාවයි, ටාලියාවයි සේදුවේ...ඇඳුමක් නැතුව නාන කාමරයෙන් එන්න හදනකොට බොහොම අමාරුවෙනුයි නවතා ගත්තේ...දේවන්ගේ ළඟ දැවටෙනවත් වැඩියි...

මිස් ෂෙලී එහෙමයි, අපේ අම්මගේ කතන්දරේට වැවෙන්න අවශ්‍ය පරිසර උෂ්ණත්වය හදල දුන්නේ...එයාගේ පරීක්ෂණාගාරය ඇතුලේ... 

ඒත් ටාලියා නරක දරුවෙක් නෙවේ...එයා තනිවුන දරුවෙක්...මිස් ෂෙලී එහෙමත් කිව්වා, එයාගේ විද්‍යාගාර සහායකයා එක්ක...

මගේ අම්මා...එයාට ඉන්නවා ඔටිසම් යම් තරමකින් තියන අවුරුදු දහතුනක පුතෙක්...ඒ මගේ ලොකු අය්යා...විලී...

විලීට උදේ ආහාරය දෙන්න ඕනේ හරියටම උදේ පහට...ඒ වගේම තමයි දවස පුරාම...එයාගේ හැම තත්පරයම කාල සටහනක්...එක තත්පරයක් එහා මෙහා වුනොත් එයා ගේ දෙවනත් කරනවා...

ඉතින්...ඉතින්...මං දන්නවා...මගේ අම්ම මුතු හදන මුතු බෙල්ලියක්...මට දැනෙනවා එයාගේ වේදනාව...වෙහෙස...

ඒ මදිවට මගේ අක්ක...සැලී..එයත් හරිම අමුතුයි...

අම්මගේ දවස ඒ දෙන්න බෙදා ගත්තයින් පස්සේ මට ඉතිරි වෙන්නේ පුළුන් පුරවපු බෝනික්ක විතරයි... 

එයා ළඟ කොහෙන්ද අම්ම ළඟ වගේ උණුහුමක්...අම්මට ඒ දේවල් හිතන්න වෙලාවක් නැහැ...

මගේ තාත්ත...එයාට දැන් වයස අවුරුදු හැටකට කිට්ටුයි...එයාට මාව දුවෙකුට වඩා මිණිබිරියක් වගේ...මං හිතන්නේ නෑ එයාටත් මං වෙනුවෙන් කැප වෙන්න තරම් වුවමනාවක් ඇතියි කියල...

ඒත් එයා මාව තුරුළු කරන් ඉන්නවා...පුළුන් බෝනික්කාගේ වගේ නෙවේ...තාත්තගේ හුස්ම වැටෙන සද්දේ මට ඇහෙනවා...ඒ සද්දේ අහගෙන මං ඔහේ තාත්ත ලඟට වෙලා ඉන්නවා...

අම්ම දන්නේ නැහැනේ ඒක...

එදා ආව ටොර්නෙඩෝව නැවතුනේ උසාවියෙන්...

ඒත් අම්ම මාව නම් එක්ක ගියේ නැහැ...මං තාම ඉන්නේ තාත්ත එක්ක...

අම්ම දැන් ඉන්නේ අක්කයි, අය්යයි එක්ක...

තාත්ත උදෙන්ම යන්න ඕනේ එයාගේ රැකියාවට...ඉතින් එයා මාව මිස් ලින්ඩාගේ ගෙදරට ඇරලනවා උදෙන්ම...ඒ අපේ අනෙක් අසල්වැසියා...

මිස් ලින්ඩා උදව් කරනවා මට පාසැල් යන්න සූදානම් වෙන්න...එයාම තමයි මාව පාසැල් එක්ක යන්නෙත්...

ඉන් පස්සේ තාත්ත හවසට මාව පාසැලෙන් ගෙනැත් මිස් ලින්ඩාගේ ගෙදරට ඇරලවනවා...

ඉන් පස්සේ මගේ නවාතැන මිස් ෂෙලීගේ ගෙදර...

හවසට මිස් ෂෙලී ගෙදර එනකල් බලාගෙන මං ඉන්නේ...එයා හරිම කරුණාවන්තයි...ඒ වුනාට වෙලාවකට මාව කරදරයක් වගේ...

මං කොහොම හරි බලන්නේ ගොඩාක් රෑ වෙනකල් මිස් ෂෙලී ගේ ගෙදර ඉන්න...එයාල එක්ක මං පාසැලෙන් දෙන වැඩ කරනවා...

ඇනා මට ගොඩක් ආදරෙයි...එයයි සිම්රනුයි මට පෙන්නේ සුරංගනාවියෝ වගේ...මිස්ටර් දේවනුයි, මිස් ෂෙලීයි, ඒ දෙන්නට හරිම ආදරෙයි...

ඒ හැමෝම එකතු වෙලා හිනා වෙවී කතා කරද්දී, මමත් කොහොම හරි එයාල මැද්දට යනවා...එයාල ගන්න ෆොටෝ හැම එකකම වගේ මාත් හිනාවීගෙන ඉන්නවා දැක්කම මට හරිම ආසයි...

මිස් ෂෙලීගේ රාත්‍රී ආහාර වේල කන්න තමයි මං කැමතිම...අපේ ගෙදර තාත්ත දැනුත් කෑම හදන්නේ අම්ම ඉස්සර හදපු කාල සටහනට...පාස්ටා, සැන්ඩ්විච්...ඒවා කාලම මට එපා වෙලා...

මිස් ෂෙලී කෑම හදනකොට මං ගිහින් ඒවායේ සුවඳ බලනවා...හැමෝම එක්ක එකතු වෙලා කෑම කාල, මිස් ෂෙලී මට ගෙදර යන්න කියද්දී මට හරිම දුකයි...

මට ඇත්තටම ඉරිසියයි ඇනා ගැන...එයා කොයි තරම් වාසනාවන්තයිද...

මගේ පොත් රාක්කය අස්සෙන් රෑට හොල්මන් මතු වෙනවා...මං කරන්නේ පොරෝනේ අස්සට ගුලි වෙලා, තදින් ඇස් පියාගන්නෙක...ඒ ඊළඟ දවසේ මිස් ලින්ඩව දකින බලාපොරොත්තුවෙන්...

තාත්ත මිස් ෂෙලීගෙන් ඇහුවලු සතියේ දවස් දෙකක් මාව පාසැලෙන් ගෙදර එක්ක එන්න පුලුවනිද කියල...

තාත්තටත් දැන් මාව කරදරයක් වෙලා වගේ...

මං ඉස්සර ආසාවෙන් උන්නේ සමනළයෙක් වෙන්න...දැන් මට ඕනේ ගහක් වෙන්න...

තැනින් තැන ඇවිදලා මට දැන් හරිම මහන්සියි...

.....................................................................................................................................................

ටාලියා යනු ඇමෙරිකානු මධ්‍යම පාන්තික පවුලක බාලම දියණියයි. මගේ යෙහෙළියට අනුව ටාලියා යනු ආදරය, රැකවරණය සොයා කවුරුන් හෝ ළඟ දැවටෙන නව අවුරුදු දැරිවියකි. උන් හිටි ගමන් ටාලියාගේ මව ඇයගේ පියාට ගොනු කල චෝදනාව අවසන් වුයේ උසාවියෙනි. ටාලියාගේ පියා ඇයව අපහරණය කිරීමේ චෝදනාව සඳහා පිළිගත හැකි සාක්කි නොමැත. 

ඇයගේ මව දුර්වලතා සහිත වැඩිමහල් දරුවන් දෙදෙනක් සමඟ ගත කල පීඩාකාරී ජීවිතය හේතුවෙන්, ටාලියාව ඇයගේ අවධානයෙන් ගිලිහුනා විය හැක. ටාලියාගේ මව සහ පියා බොහෝ ප්‍රමාද වී දරුවන් ලැබූවහුය. එහෙයින් තරුණ මව්පිය යුවලකට සාපේක්ෂව කායික වෙහෙසත්, දරුවන්ගේ මනස අවබෝධ කරගැනීමේ ගැටලුත් ඔවුන්ට තුබුණා විය හැකිය.

අවසානයේ ටාලියා තනිවී ඇත. ළමා අපහරණය වෙනුවෙන් තම සැමියාට චෝදනා කල ටාලියාගේ මව, මේ දියණියව ඔහුගේ භාරයේ තැබුවේ මන්දැයි මට නොවැටහේ.

අද ඇය රැකවරණයක් සොයා ගෙන් ගෙට යන්නීය. අසල්වැසියන්ගේ නිවාස වල ඇති වෙනස් සමාජ පසුබිම් වල දවස ගෙවන්නාවූ මේ දියණියගේ මනසෙහි ඇති පටලැවිල්ල බොහෝ සෙයින් සංකීර්ණ විය හැක. නීත්‍යානුකුල අයිතියකින් තොරව ඇයව රැක බලා ගන්නා අසල්වැසියන් මත පැටවී ඇත්තේ ඉතා අවධානම් සහිත වගකීමකි. එහෙත් ඔවුනට නොමිනිසුන් විය නොහැක. 

ටාලියා ඇයගේ ජීවිතයේ කැබලි අහුලා එක්කාසු කොට ගත යුතුය. ඇය ඒවා එක්කාසු කර තනන ජීවිත රාමුව ඇගේ අනාගතය තීරණය කරනු ඇත.

.......................................................................................................................................................

අප වැඩිහිටි වූ පසුව තවදුරත් ඒ ජීවිතය අපට අයිති නැත. එය අයිති අපේ දරු පැටවුන්ටය. 

දරුවන්ට වීදිය හෝ සිර ගෙදර උරුම කර දෙන්නට මං පාදන්නේ වැඩිහිටියන් වන අපම මිසක අන් කිසිවෙකු නොවේ.


   

25 comments:

  1. "අප වැඩිහිටි වූ පසුව තවදුරත් ඒ ජීවිතය අපට අයිති නැත. එය අයිති අපේ දරු පැටවුන්ටය"
    එහෙම/මෙහෙම හිතන එක හරිද මන්දා....ලමයි වැඩිහිටියො උනාට පස්සේ වත් අපේ ජීවිත අපිට ආයෙත් ලැබෙනවා නම් හොඳයි නේද..?

    ReplyDelete
    Replies
    1. මං දන්නවා මේ කමෙන්ටුව කොතැනින් හරි එන වග...එතැන ඇත්තටම මං අදහස් කලේ නොකා නොබී දරුවෝ වෙනුවෙන් මැරෙනකල් වෙහෙසෙන්න ඕනේ කියන දේ නෙවේ...අපේ හැම ක්‍රියාවකම ප්‍රතික්‍රියාව අඩු වැඩි වශයෙන් දරුවන්ට බලපානවා කියනඑක...

      ඔබ හිතු විදියට හිතුවොත් ඒ කතාවට සම්පුර්ණයෙන්ම එකඟයි...හැබැයි අපිට අපේ ජීවිත ලැබෙන්නේ අපි ළමයිව වැඩිහිටියෝ කරන විදිය අනුවත් නේද...සමහර දෙමාපියෝ වයසට ගිහිනුත් දරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා කොයි තරම් දුක් විඳිනවද...

      Delete
  2. /////මුහුණ වසාගෙන තනිවම හඬන කුඩා ළදැරියක් ////

    යෝජනාව ක්‍රියාත්මක කළාට ස්තුතී අක්කේ...
    මටත් හිතා ගන්න බැරි උනේ චෝදනාව ලබපු කෙනා ලඟ ඇයි දැරිය නතර කලේ කියන එකයි.. එයාට ස්තිර නවාතැනක් නැති වීම තුළ ගොඩක් ප්‍රශ්නවලට ඉදිරියේ මුහුණ දෙන්න වෙන්න පුලුවන් නේද...

    මේ ලියවිල්ල හරිම අපූරුයි.. මං ඔයා ලියන විදිහට හරි කැමතී..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි...

      එයාගේ අම්මගේ බලාපොරොත්තුවක් තියනවලු මේ දරුවාව එයාගේ ලඟට ගන්න...අර නිම්න කියල තියනවා වගේ ඒ අම්මගේ මනසත් බොහොම ව්‍යාකුල හැඩයි...ඒත් මටත් තේරුම් ගන්න බැරි එකම දෙය ඇයි ඒ අම්ම, තාත්ත ලඟින් දරුවා තියල ගියේ කියල තමයි...සමහර විට ඇතුලාන්තයේ ඇති ගැටලුව වෙනස් ඇති...

      Delete
  3. වැදගත් ලිපියක්. දරුවන්ගේ අනාගතය හොද හෝ නරක හෝ වීම 100%ක්ම දෙමව්පියන්ගේ බලපෑමෙන් කියළා කියන්න බෑ.

    වයසට ගියත් නිදහසක් නැතුව දරුවන්ගේ ගැටලු එක්ක හැප්පෙන උදවියත්, තරුණ කාලේ දෙමාපිය පිහිටක් නැතිව ජීවිතය ජයගත් උදවියත් අප අතරේ ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී...

      ඔව් මා ඔබත් එක්ක එකඟයි...දෙමාපියන්ගේ මග පෙන්වීමකින් තොරව ජීවිතය ජයගත් දරුවෝ ඉන්නවා...හැබැයි ඒ ජිවිත හගිස්සලා බැලුවොත් දැනේවි, ඒ අය තමන් ඇසුරු කරන කවරාකාරයක හෝ වැඩිහිටියෙක් ආදර්ශයට අරගෙන ඒ ගමන ගිය බව...

      දරුවන්ගේ ගැටළු එක්ක හැප්පෙන සමහර දෙමාපියෝ එතනට පත්වෙන්නේ තමන්ගේම වරදින්...සමහර වෙලාවට දෙමාපියෝ නොහිතන කුඩා ගති ලක්ෂණයක් අවසානෙදි දරුවෙක් නොමග යන්න හෝ එහෙමත් නැත්නම් දරුවන්ගේ සේවකයින් බවට පත් වෙනවා...ඔතන තියෙන්නේ සම්පුරණයෙන්ම මනෝ විද්‍යාත්මක දෙයක්...අද බොහෝ තරුණ දෙමාපියන්ට තමන් ගැනත්, තමන් දරුවෝ එක්ක ගනුදෙනු කරන විදිය ගැනත්, දරුවෝ ගැනත්, දේවල් සියුම් ලෙස විශ්ලේෂණය කරන්න වෙලාවක් නැහැ...ඒදේ බොහොම එළඹී සිහියෙන් කරන්න ඕනේ දෙයක් විශේෂයෙන් කුඩා දරුවොත් එක්ක..ඒ අයගේ හුරතල් වැඩ කියල අපි නොසලකා හරින සමහර දේවල් අනාගතයේ හොඳ හෝ නරකක ප්‍රධාන ලකුණක් වෙන්න පුළුවනි...

      Delete
  4. පොකුරු, මුලින්ම කියන්න ඕන ඔබ මේ ලිපිය ලියලා තියන විදිහ හරිම නිර්මාණශිලියි.. වගේම එහි සංවේදි බවට හානියක් වෙලා නැ ඔබේ අතින්..

    විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ පොකුරු මනස හරිම ව්‍යාකූලයි.. විශේෂයෙන් ඔටිසම් දරුවෙක්ගේ අම්මා කෙනෙක්.. බොහෝ විට මේ පියා එන්නේ නැතුව ඇති ඒ දරුවා වෙනුවෙන් කල යුතු ප්‍රතිකාර වලට..එය හරිම සුලබ දුක්ඛදායක තත්වයක්.එහෙම පීඩනයට පත් වෙන අම්මා කෙනෙකුට සමහර වෙලාවට පෙන්නේ හරිම දේ නෙමේ.. ඇය ඉන්නෙත් උදව් ඕන තැනකනේ..

    විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින පවුල් පොකුරු ලොව පුරා මුණ දෙන ගැටලුවක් පවුල තව දුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය ශාරිරික හා මානසික ශක්තිය එදිනෙදා සිඳියාම..එය වලක්වන්න හරිම අපහසුයි.. කිසිම විදිහකින් ඒ ශක්තිය නැවත අවශ්‍ය පරිදි පිරවීමක් දකින්න ලැබෙනවා හරිම අඩුයි.. හැබැයි ඒ සඳහා උදව් කරන ආයතන සහ රජයේ වැඩපිළිවෙල් වල් ගොඩක් දුරට දියුණු රටවල් වල දක්නට ලැබෙනවා.. යොමු වීම දැනුවත් වීම හරි වැදගත් පවුලේ හැමෝම සහ අසල්වැසි හැමෝම...

    මොනවා උනත් මේ නවාතැනක් හොයාගෙන යන දෝණි ගැන මීට වඩා අවධානය යොමු කරවන්න පුලුවන් සමාජ ආයතනයක්වත් හොයා ගන්න පුලුවන් නම් ඇයගේ ඉදිරි ජීවිතය යහපත් වේවි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා...

      ඔබේ මේ විග්‍රහය බොහොම වටිනවා...ඒ වගේම මා ඒ දේ එක්ක සම්පුරණයෙන්ම එකඟයි...ඒ අම්මාට ජිවිතේ බොහොම වෙහෙසක් ඇති අනිවාර්යෙන්...මම හිතන්නේ මේ දෙමාපිය යුවල කවුන්සිලින් ගියා...නමුත් මේ වෙන් වීමේ තීරණය ඒ අම්මගේ තනි තීරණයක් බවයි දැනගන්න ලැබුනේ...ඒ දෙන්නගේ අනෙක් දියණියත් ටිකක් අමුතු ගති ලක්ෂණ ඇති විශේෂ අවධානය ලැබිය යුතු දරුවෙක්...ඒ නිසා ඔබ කියන්නා වාගේ ඒ අම්මාට හරි වරදක් පැහැදිලිව දකින්න තරම් මානසික නිරවුල් කමක් නැති කම තමයි මේ ප්‍රශ්නය මෙතනට ගේන්න ඇත්තේ...

      සමාජ ආයතනයකට යොමු කරන්නත් ඒ දෙමාපියෝ එකඟතාවයකට ආ යුතුයි නේ...මේ සමහර ආයතන වලත් දරුවන් ගැන නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ...

      Delete
    2. පොකුරු මට හිතෙනවා මේ ලොකේ හැම රටක්ම යන විදිහත් එක්ක කුමන හෝ දෙපලක් දරුවන් හදන්න හිතනවා නම් එය බොහෝ පරිස්සමින් ගන්න ඕන තීරණයක්..

      දැන් දැන් විශේෂිත අවශ්‍යතා තියන දවෘවන් ගණන වැඩි වෙනවා.. ඒත් එක්ක දෙමාපියන්ට දැනෙන පීඩනය වැඩි වෙනවා.. ඒ නිසා අන්තිමේ මුලු පවුලම සි සී කඩ විසිරෙනවා.. එක දරුවෙක් ශාරීරිකව වත් මානසිකවත් සම්පුර්ණ කර හදන්න හිතනවා නම් ඉන් පසු තමන්ට හැකියාව ඇති නැති බව හොඳින් සොයා බලා තවත් දරුවන් ගැන හිතනවා නම් ගැටලු අඩු වෙවි කොයි රටෙත්..

      දරුවන්ගෙ මානසික වර්ධනය ගැන දැනුවත් දෙමාපියන් ලංකාව ඇතුලු බොහෝ රටවල හරි අඩුයි..දරුවන් හදන්නේ කසාඳයකින් පසු පුරුද්දක් ලෙස කියලා මට හිතිලා තියනවා බොහෝ අය..නිසි දැනුවත් වීම් නැ..

      Delete
    3. මේ වටිනා අදහස් වලට බොහොම ස්තුතියි නිම්නා....

      බහුතරයක් දෙමාපියෝ ඒ තරම් ගැඹුරට ජීවිතේ දිහාවේ බලන්න තරම් මහන්සි වෙන්නේ නැහැ...ඒකට හේතුව හැමෝටම තියන්නේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ උවමනාව, තමන්ගේ රැකියාවේ ඉහලට යන ආශාව, යාන වාහන ගේ දොර ගැන හීන, දරුවා දොස්තරවරයෙකු හෝ ඉංජිනේරුවකු කරවන හීන...ඔය හීන අතරේ තමන්ගේ දරුවා මනා පෞරෂයක් සහ යහපත් මානසිකත්වයක් ඇති, බුද්ධිමත් දරුවෙකු කිරීමට හීන මවන්නේ ඉතාමත් සුළු පිරිසයි...දරුවාගේ මුළු අනාගතයම රඳා පවතින්නේ ඒ මත කියල හිතන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ අවාසනාවට...

      //දරුවන් හදන්නේ කසාඳයකින් පසු පුරුද්දක් ලෙස කියලා මට හිතිලා තියනවා බොහෝ අය.//

      ඇත්තෙන්ම එකඟයි...

      Delete
  5. ලස්සන වගේම ඉතාමත් වටිනා කතාවක් පොකුර,අද තංකාවෙ විතරක් නොව් මුලූ ලෝකයේම මෙවැනි සිද්ධීන් සුලභයි නමුත් ‍හැගෙන්නෙ.....

    ජය වේවා......

    හැකිනම් කියන්න....සීත ඟගුලෙදි ඇඳ පේවීලා යැයි තුන් සරණේ කවියක් ඇද්ද කියා...
    තෑන්ක්ස් nuwan77777@gmail.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැව් ඉස්මත්ත...

      ඔව් මේ දේවල් ලෝකේ හැමතැනටම පොදුයි...

      "සීත ඟගුලෙදි ඇඳ පේවීලා"...මං ඇත්තටම ඒ ගැන නම් දන්නේ නැහැ...තුන් සරණේ කවියක් ගැන නේද අහල තියෙන්නේ...පොතක් සොයා ගත්ත නම් දැන ගන්න තිබුනා... :)

      Delete
  6. මිනිස්සු යන්ත්‍ර බවට පත්උනාම දරුවන්ට වෙන දේ. ඉතින් මේ දරුවො ලොකු උනාම???????

    ReplyDelete
    Replies
    1. නිසි මග පෙන්වීමක් කොතනින් හරි ලැබුනොත් නියම මාර්ගයේ යාවි..එහෙම නැතොත් තමන්ට සහ සමාජය යන දෙපැත්තටම අවැඩක් වේවි...වැඩිහිටියෝ කාර්යබහුල වෙද්දී ඉබේටම වෙන දේවල් මේ...දුක් විඳින්නේ අසරණ දරු පැටව්...

      බොහොම ස්තුතියි මල් මල්ලි...

      Delete
  7. දැන් මට ඕනේ ගහක් වෙන්න..

    ඇත්තමයි.. ඇහැට කඳුළු ආවා..

    ReplyDelete
  8. දුක හිතෙන කතාවක්. මම මේ යුරෝපේ තියන විධිහට ටිකක් කැමතියි. මගේ බිරිඳගේ දෙමප්ව්පියෝ දරුවන් හැදෙනකන් ඔවුන් සමග ඉඳල අවු 18-19 වුනාට පස්සේ නිදහස දෙනවා කැමති විධිහට ජිවත් වෙන්න. හැබැයි කවදාවත් ගෙදරින් යන් කියල නැහැ. කැමති කාලයක් ඉන්න පුළුවන්. අම්මයි තාත්තයි දරුවන් ගෙන් හුඟක් ස්වාධින විධිහට ජිවත් වෙනවා. නිවාඩු යෑම ආදී දේවල් ගත්තම. දෙන්නම අවසන් කාලෙත් දරුවෙකු ළඟ ඉන්න කැමති නැහැ කියල දැනටම කියල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ක්‍රමය හොඳයි...දරුවාගේ බුද්ධි වර්ධනය වෙන කාලේදී ඔවුන්ට හොඳ නරක කියා දීල, නිසි වයසේදී ඔවුන්ට අවශ්‍ය නිදහස දෙන එක...ඒ වගේම වැඩිහිටි වුන පසුත්, අවශ්‍ය නම් දෙමාපියන්ගේ උපදෙසක් ගැනීමේ නිදහස තිබීම...මිනිස්සු බොහොම වෙලාවට අන්ත්වාදියි...එක්කෝ දරුවන්ව අනවශ්‍ය ලෙස සීමාවන් දාගෙන, වැඩිහිටියන්ගේ මොළෙන් දරුවන්ව ක්‍රියා කරන තැනට පත් කරනවා..එහෙමත් නැත්නම් කිසිම දෙයක් සොයා නොබලා දරුවන්ට ඉබා ගාතේ යන්න හරිනවා..දරුවෙකුට ජිවිතාවබෝධය ලබා දීම කියන දේ තියෙන්නේ ඔය අන්ත දෙකේම නෙවේ, මා හිතන විදියට...

      Delete
  9. ඔය විධිහට බිරිඳ තරහට බොරු කියල චෝදනා කරපු නඩු දෙක තුනක් මෙහෙත් ගියා . අන්තිමේදී ළමයි තනිවම බලන්න වෙච්ච නිසා ඒ තරහට තමා ඒ වගේ චෝදනා එල්ල කරල් තියෙන්නේ. බිරිඳ වරදක් කලත් නීතියෙන් දඬුවම් කලේ නැහැ. නඩුකාරවරයා අවස්ථා තුනේදීම සානුකම්පිතව කියල නිදහස් කලා නඩු ගාස්තු වලාට් යටත්ව.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට මෙතන වෙන්න ඇත්තෙත් ඊට සමාන දෙයක් වෙන්නැති...මොකද මේ මවට දරු තුන්දෙනෙක් අතර බෙදා දෙන්නට කාලය සොයා ගන්න බැරි වෙන්න ඇති...

      බොහොම ස්තුතියි අජිත් ඔබේ වටිනා අදහස් එකතු කලාට...

      Delete
  10. ඔයිට ආසන්න අත්දැකීම් ළමයි විදිහට විඳින්න ලැබුනු දන්න කියන දෙතුන් දෙනෙක් මතක් උනා.පිරිමි ළමයි කෙලින්ම ඩ්‍රග්ස් වලට ගියා.ඒ ගෑණු ළමයි අඩු වයසින්ම විවිධ සම්බන්ධතා ගොඩනඟාගන්න උත්සාහ කලා.ඔවුන් ඉල්ලුවේ ආදරය,අවධානය.නමුත් ඔවුන්ට සිදුවුනේ අතින් අතට යන්න.නොගැලපෙන විවාහ වලට එලඹුනා.දරුවන් ලැබුවා.නමුත් දැන් ඒ දරුවන් ඊටත් අන්ත තත්වෙකට මුහුණ දෙනවා.මේ විශම චක්‍රය බිඳින්නත් හරිම අමාරුයි.ඒ හෙම්බත් උන හිත් උපදෙස් පිලිගන්න,දේවල් කිරා මැනලා තීරණ ගන්න මට්ටමින් ගොඩක් එහාට යනවා බලාගෙන ඉදිද්දි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගස් ඔබේ අත්දැකීම් එකතු කලාට...

      //ඒ හෙම්බත් උන හිත් උපදෙස් පිලිගන්න,දේවල් කිරා මැනලා තීරණ ගන්න මට්ටමින් ගොඩක් එහාට යනවා බලාගෙන ඉදිද්දි.//

      අනිවාර්යෙන්ම...ඒ වගේ හිත් වලට දෙයක් අවබෝධ කරවනවා කියන්නේ බොහොම අසීරු දෙයක්...ඒ අයට දෙයක් ගැඹුරින් වටහා ගන්න තරම් සන්සුන් වුනු මනසක් නැහැ...

      Delete
  11. ලස්සන නිමැවුමක්

    ReplyDelete
  12. වැඩිහිටි අයත් ළමයින් වාගෙම සිතනාවා නම් අපේ පුංචි රටේ මානුෂික අය සෑම තත්පරයම බිහිවේ.අමානුෂික සිත් ඇති රකුසාව පලවා හරින්න ඔබත් භිය නැති මානුෂික සිතක් වන්න...

    ReplyDelete