Saturday, September 3, 2016

සිංහයා මැරෙන විට හුරේ දැමීම සහ අපේ දරු පැටව්




මේ සටහන ලියන්නට පාදක වූයේ වැසි දැරියගේ සිංහබාහු නැරඹීමි යන සටහනට ඇයගේ බ්ලොගයේ මා ලියාගෙන ගිය අදහස...ඇයගේ සටහනට පාදක වී තිබුනේ, පසුගිය දිනෙක සිංහබාහු නාටකය නැරඹීමේදී ලැබුන අත්දැකීමක්...ඇගේ ඒ සටහන කියවා බලන්න...එය මේ සටහන සඳහා පිවිසුමක් වේවි...

ඇය ඒ සටහනින් මතු කලේ අද සමාජයේ සමහර දරුවන් කලාව කෙරෙහි දක්වන සංවේදී භාවයේ මදකම...ඔවුන්ගේ සිතුවිලි බොහොම කලබලයි...ඔවුන්ට සියල්ලම බොත්තමක් එබීමේ පමාවෙන් දැක බලා ගත හැකි වීම එයට හේතුවක්...ඔවුන්ට සියලුම දේ දකින්නට තිරයක් අවශ්‍යයයි...

තමන්ගේ දෙඇස ඉදිරිපිට දිගහැරෙන සජීවී රූප රාමුවක් දෙස බලා හිඳ, මිනිස් හැඟීම්, ගැඹුරු හුස්මක් සමඟ හදවතට පුරවා ගැනීමට තරම්, මිනිසත් කමක්  හෝ ඉවසීමක් ඔවුනට නැහැ...

පහුගිය කාලයේ දවසක මගේ ඉන්දියානු මිතුරියක් ඇයගේ හිතවතුන් පිරිසක් සමඟ සවාරියක් ගොහින් ඇවිත් කියූ දෙයක් මට සිහිවුනා...එතැන උන් තරුණ යුවතියක්, එතරම් අපූරු පරිසරයක හිඳගෙන, නිතර ඇහැ යොමා හිඳ ඇත්තේ දුරකථන තිරයට...ඒ ගැන ඇසුවිට ඇය පවසා ඇත්තේ, ඇය එහි පැමිණීමට පෙර අන්තර්ජාලය ඔස්සේ එම පරිසරයේ දර්ශන නැරඹු වග...

මේ සංසිද්ධියේ හරය, කලාව පිලිබඳ ඇති සංවේදී කමේ අඩුවක් පමණක්ම නෙවෙයි...මේ දරුවන් මුළු මහත් මිනිස් සමාජයට සහ ස්වභාවධර්මයට දක්වන සංවේදීකමේ අඩුවක්...

වැසි දැරිය කියන්නා වාගේ මේ ඛේදවාචකයට වග කිය යුත්තේ දෙමාපියන්...

ස්වභාවධර්මය සහ කලාව හද පත්ලෙන්ම රස විඳින්නට අවශ්‍ය සංවේදී කම මතු වෙන්නට, තමන් හැදී වැඩෙන පරිසරය බොහෝ සේ  ඉවහල් වන බව මා විශ්වාස කරන දෙයක්...

මා වයස අවුරුදු දෙක පමණ කල පටන්, මාගේ සෙල්ලම් බඩු වූයේ අපේ අම්මාගේ සාහිත්‍ය පොත පත...

ඒ අතරේ තිබුනේ සැළලිහිණි සංදේශය, කාලිදාසගේ සාකුන්තල්‍යය වැනි පොත්..වයස අවුරුදු පහ වන විට මට හොඳින් පොත් කියෙවීමේ හැකියාව තිබුනා...මා වැඩියෙන්ම ආශා කලේ ඒවායේ තිබුන "ගැටපද විවරණය" කොටසට...

පාසැලේ, දෙවැනි හෝ තුන්වැනි පන්ති වලදී, සමාන පද සහ විරුද්ධ පද ලිවීමේදී, මා ඒවා සොයා ගත්තේ සංදේශ කාව්‍ය වල ගැටපද විවරණයන්ගෙන්...විටකදී ඒ වචන දුටු මගේ ගුරුවරු මවිත වූයේ කුඩා මා, ඒ වචන හරඹය කරන අයුරු නොදැන...

එමෙන්ම මාගේ අප්පච්චි සිංහල, හින්දි සිනමා පට සහ ගීත වලින් උන්මාද වූවෙක් කිවොත් නිවැරදියි...ඔහු කලේ කුඩා කල පටන්ම අපටත් ඒවා රස විඳින්නට ඉඩ දීම... අප්පච්චීගේ පොත් පෙට්ටිය පිරී තිබුනේත් සාහිත්‍ය පොත් ගොන්නකින්...

කුඩා කල සිටම මගේ රස වින්දනයේ අංකුර වැඩුනේ, අම්මාගේ සහ අප්පච්චිගෙන් ලද අභාෂයෙන් බව මා විශ්වාස කරන්නක්...

නමුත් මගේ ජීවිත කාලය තුලදීම, අතරමැද කාලයක මා බොහෝ සේ කෘතීම වූයේ මටත් නොදැනීම... ඒ මා කිසිවක් නොලියූ, කිසිවක් රස නොවිඳි කාලයක්....බොහෝ දුෂ්කර කාලයක්...වැඩිහිටියෙක් ලෙසින් නිවසේ බර උසුලාගෙන, අධ්‍යාපන කටයුතු සිදු කල කාලයක්...

නමුත් මගේ අම්මා බොහොම සංවේදී චරිතයක් හෙයින්, මා තුල වූ මිනිස් හැඟීම් මිය ගියේ නැහැ...

කප්පරක් දුක් මැද, අනෙකාගේ හැඟීම් වෙනුවෙන් අප සංවේදී විය යුතුයි යන හුරුව, මට ලැබුනේ අම්මාගෙන්...

මේ දුෂ්කරම කාලයේ පවා, ඇය නිතරම රේඩියෝවේ ඇහෙන ගීතයක් රස වින්දා...අරපිරිමැස්මෙන් ගෙදර උයාගන්නා කෑම පංගුවෙන් කොටසක්, ලේණුන්, කුරුල්ලන් වැනි සතුන් වෙනුවෙන් වෙන් කලා...ඕනෑම උදයක හෝ සවසක, ගෙදරට ගොඩවෙන කෙනෙකු වෙනුවෙන් තේ කෝප්පයක් පිළිගැන්වීමට හෝ බත් කටක් බෙදා දීමට, ඇය කිසිදිනෙක දෙවරක් කල්පනා කලේ නැහැ...

කොතෙක් කරදර ඇතත්, කෙනෙකුගේ දුක් කම්කටොළු වෙනුවෙන් තත්පරයක් නැවතී සංවේදී වෙන්නට තරම්, මගේ අම්මාට තිබුනේ මනා ඉස්පාසුවක්...දරුවෙකුගේ මිනිසත්කම සහ නේක විධ හැඟීම් වල තක්සලාව ඇත්තේ එතැනයි...ඒ මව පියා ඇතුළු, තමා අදහන වැඩිහිටියන්ගේ හදවත් තුලයි..

අද මගේ මල්ලිගේ කුඩා දියණියන් දෙදෙනාත්, ආච්චීගේ අඩි පාරේම යන හැටි බලාගන්නට පුළුවනි...

උදෑසන නැගිට කෑම සොයා එන "අප්පුලා" පිළිබඳව සොයා බැලීම පොඩි දෝණිගේ (හෙවත් මගේ සුදු දෝණිගේ) ප්‍රියතම විනෝදාංශයක්...ඇය නිතරම හිඳින්නේ ඇයගේ "භාෂාවෙන්" ගීතයක් මුමුණමින්...

ලොකු දෝණි (හෙවත් මගේ සුදු මැණික) ඇයගේ ගෙවී ගිය පස්වන උපන්දිනය සඳහා මගෙන් ඉල්ලා සිටියේ කියවීමට පොත්...

දරුවන් ලෝකය සොයා ඇවිද යන්නේ දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ හදවත් තුල ඇති මං මාවත් වල...දෙමාපියන් තමන්ගේ හදවත් වලට ඇතුළු වෙන දොරටු අවහිර කළහොත්, දරුවන් වෙනත් මාවත් හරහා ජීවිතය සොයා යාමට පෙළඹෙන්නේ ඉබේටම...

වර්තමාන ලෝකයේ ඇත්තේ තරඟයක්...දෙමාපියන් සහ දරුවන් ඒ තුල කෘතිම රොබෝ වරු වීම හිතාමතා සිදු වූවක් නෙවෙයි ..

ඔවුන්ට නිවාඩු පාඩුවේ අහන, දකින දෙයක් රස විඳින්නට හෝ සංවේදී වන්නට කාලයක් නැහැ...දෙමාපියන් සහ දරුවන් අතර බුද්ධිමය සංවාද ගොඩනැගෙන්නේ නැහැ...දෙමාපියන් රැකියා නිසා කාර්ය බහුලයි...ඔවුන්ගේ අරමුණ දරුවන් වෙනුවෙන් මුදල් ඉපැයීම පමණයි...අනිත් අතට දරුවෝ තරඟකාරී අධ්‍යාපනයේ බිලි බවට පත් වෙලා...ඔවුන්ගේ අරමුණ කුමක්ද කියා ඒ දරුවන් පවා දන්නේ නැහැ... 

දරුවන් හුදකලා කර, දෙමාපියන් විසින්ම දරුවන්ට ඇති කල පුරුදු තමයි මේ, වීඩියෝ ක්‍රීඩා, මුහුණු පොත, අන්තර්ජාලයට ඇබ්බැහිවීම විදියට මතු වෙන්නේ...එතනදි මං චෝදනා කරන්නේ දෙමාපියන්ට මිසක දරුවන්ට නෙවේ...

මා දැක තිබෙනවා, උපන්දින තෑගි සඳහා ළදරු වයසේදීම පරිගණක සහ අනිකුත් ඉලෙක්ට්‍රොනික උපාංග දරුවන්ට දෙන දෙමාපියන්...හොද්දක්, බතක් ලිපේ තියාගන්නට, රෙදි සෝදා ගන්නට, දරුවන්ට හරයක් නොමැති කාටූන් බලන්නට ඉඩ හරින හෝ දුරකථනය හෝ ටැබ්ලටය දරුවන් අතට දෙන මව්පියවරුන්...

මේ හුදකලා වීම අවසන් වන්නේ බරපතල ඇබ්බැහි වීමකින්...

සියලු මිනිස් හැඟීම් ඩිජිටල්කරණය වීමෙන්...

නවීන තාක්ෂණය කුඩා දරුවන්ට හඳුන්වා දීම පාලනයකින් තොරව සිදු කලොත්, මේ ඩිජිටල්කරණය ඇරඹෙන්නේ, ළදරු වයසේදීමයි...

එවන් දරුවන් වැඩිවිය පැමිණීමේදී සිදු වෙන්නේ, ඇස ගැටෙන සියලු දේ පිළිබඳව, ඔහුගේ බුද්ධියේ පරිමාවට අනුව යම් යම් නිර්ණායක ගොඩ නගා ගැනීම...ඒවායේ නිවැරදිභාවය විවේචනය කරන්නෙත් ඔවුන්ගේම සමකාලීන තරුණ පරම්පරාව...එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා බිහිවී ඇති කී බෝර්ඩ් වීරයන් නැතහොත් සමාජ අයිකනයන්...

එතැනදී ඔවුන් සමාජය ග්‍රහණය කරගන්නා ආකාරය ගැන, නිසි වයසේදී වැඩිහිටියන්ගෙන් නිසි උපදෙසක් ලැබෙන්නේ නැහැ...පවුල යන කුඩාම සමාජ ඒකකය ඇතුලේ, ඒ දේවල් ගැන සාකච්චා කෙරෙන්නේ නැහැ...

එසේ සමාජගත වන දරුවන්, වැඩිහිටියන්ගේ අත්දැකීම් සහ පරිණත සිතිවිලි හඳුන්වන්නේ යල් පැන ගිය අදහස් ලෙසට...

එහි වරද දරුවන්ට පැටවීම හරසුන් දෙයක්...බහුතරයක් දෙමාපියන්ගේ අදහස වන්නේ "අපි මහන්සි වෙලා උන්ට කන්න අඳින්න දෙනවා, උගන්නනවා, සියලු සැප සම්පත් දෙනවා, ඒ තමයි අපේ වගකීම"..

නමුත් ඒ සියලුම දේවල් වල පල ප්‍රයෝජනය ලබා ගන්නට, විකෘති නොවුන, පැහැදිලි මනසක් ඇති, යහපත් සිතුම් පැතුම් ඇති සජීවී ප්‍රාණියෙක් සිටිය යුතුය යන්න ඔවුන් අමතක කරන දෙයක්...

අධ්‍යාත්මික ගුණ වගාවක් රහිතව වැඩෙන දරුවෙක් නිසරු බීජයක් වගෙයි...

එකම වහලක් යට, එකිනෙකා කරන දේවල් නොදන්නා තත්වයකට අද සමාජය කෘතීම වෙලා...තම දෙමාපිය හදවත් තුල ඇති පීඩනය පිළිබඳව වැටහීමක් නොමැති දරුවන්, සිංහබාහු නාටකයේ, සිංහයාගේ වේදනාවට සංවේදී නොවීම පුදුමයක් නොවෙයි...

දෙමාපියන්ගේ හිත් වල ඇති මාවත් වල ඇවිදගෙන යන්නට දරුවන්ට කාලයක් නැහැ...එසේත් නැතිනම්, ඒ මාවත් වල දොරටු විවර කර, දරුවන්ට රිසි සේ ජීවිතය අධ්‍යනය කරන්නට ඉඩ සලසන්නට,  මාපියන්ට කාලයක් නැහැ...

සමහර මව්පියවරුන් ඒ මාවත් විවෘත කලාට පලක් වෙන්නේ නැහැ...ඒ මාවත් කැලි කසල සහ වල ගොඩැලි වලින් පිරිලා නම්...එහෙමත් නැත්නම් අධිවේගී මාවත් නම්...ඒවායේ ඇවිදගෙන යන දරුවෝ යන්නෙත් ඒ කසල ගොඩවල් තුරුල් කරගෙන...වල ගොඩැලි වල වැටීගෙන...නැත්නම් හති දමාගෙන...

දෙමාපියන්ගේ හදවත් මං තීරු බෙදා ඇති, පැහැදිලි සංඥා අරමුණු ඇති මාවත් වීමයි වඩා වැදගත්...ඒ වගේම ඒවායේ තියෙන්නට ඕනේ, දරුවන්ට අවදානමකින් තොරව ගමන් කිරීම සඳහා වේග සීමාවන්...

දෙමාපියන්ගේ බැඳීමත් ඒ වගේම වැදගත්...දෙමාපියන්ගේ ඇති වන රණ්ඩු සරුවල්, දරුවන්ගේ ජීවිත ගමනට බාධා කරන වල ගොඩැලි වන්නේ ඉබේටම...

ඉරිසියාව, ක්‍රෝධය, මානය යනාදී මේ සියල්ලම දෙමාපියන්ගේ හිත් වල තිබෙන්නට පුළුවන් කැලි කසල...ඒ මාවත් වල ඇවිදින දරුවෝ සමාජගත වන්නේ මේ සියල්ලම ඇතුව...

.........................................................................................................................................................

අවසානයේ ඔබ නොදැනම, සිංහයා මරා දමන විට හුරේ තබන දරුවෙක්, ඔබ නිවස තුල හැදී වැඩි අවසන්... 

ඔබ ගොඩ නැගිය යුත්තේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් නොවේ...ඇට, ලේ මස් නහර වලින් හැදුන මිනිසුන්ට, ඔවුන්ගේ හැඟීම් වලට සහ ගහ කොළට, සංවේදී වන දරුවෙක්...

...........................................................................................................................................................

ඔබේ අනේක විධ දුක් දොම්නස්, යහපත් සිතිවිලි, සංවේදනා, පරිණත අත්දැකීම් ඇති හදවතේ මාවත් පුරා ඔබේ දරු පැටවුන් රැගෙන සැරි සරන්න...

නැතහොත්, දවසක සිංහයා වෙනුවෙන් කඳුලක් නොසලන ඔබේ දරුවා, ඔබ වෙනුවෙන් සුසුමක් හෝ නොසලාවි...

............................................................................................................................................................

වැසි දැරිය...මේ සටහන ලියන්නට මා පෙළඹවූ, ඔබේ වටිනා අදහස් වලට මම බොහෝ සෙයින් ස්තුති වන්ත වෙමි....



20 comments:

  1. පොකුරු , තාක්ෂනයෙනුත් කලාව ලඟා කර දෙන්න පුලුවන් දෙමාපියන් දැනුවත් නම්, වෙලාව වෙන් කර ගන්නවා නම්.. ඕනකම තියනවා නම්. මම හිත්න්නේ තාක්ෂණ උපකරණ ලබා දිම්මේ හෝ තාක්ෂනෙයේ නෙමෙ වරද තියෙන්නෙ, අද දෙමාපිය වැඩිහිටි ජීවිත අතිශය තරඟකාරි කලබලකාරි,, හරියට ලෝක විනාසේ ඊලඟ තප්පරයේ වගේ.. සහ බෝහෝ දෙමාපිය වැඩිහිටියන් අපේක්ෂාභංගත්වෙයෙන් පෙළීම..ජීවිතය ජීවත්විමට රේස් යන්න සිදුවීම ( විහින් රේස් එකක් කරගැනීම ) මේ හැමදේටම වඩා හේතු වෙලා කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා ඔබේ වටිනා අදහස් වලට...

      මෙතන ඇත්තේ තාක්ෂණය පිලිබඳ ගැටළුවක් නොවෙයි ඔබ කියන්නා වාගේම...දෙමාපියන් තමන්ගේ දරුවන්ව මෙහෙයවන ආකාරය පිළිබඳව...මේ සටහන ලියපු මමත්, සටහනේ ලියා ඇති මල්ලිගේ වැඩිමහල් දියණියට ටැබ්ලට් එක හරහා අධ්‍යාපනික වෙබ් අඩවියකට පිවිසෙන්න උගන්වපු කෙනෙක්...නමුත්, ඒ සියල්ලම සිද්ධ වෙන්නේ දරුවාගේ සංවේදීතාවයට හානියක් නොවෙන විදියට...ඒ දරුවන්ට තාක්ෂණය හඳුන්වල දෙන්නේ දෙමාපියන්ගේ ගැලවීමට නෙවෙයි...අධ්‍යාපනික උපකරණයක් විදියට...කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට ජීවිතේ සමබර කරන විදිය හුරු කරවන්න ඕනේ...

      //විහින් රේස් එකක් කර ගැනීම// මේ තමයි නිවැරදිම අර්ථකථනය...

      Delete
    2. ස්තුතියි පොකුරු ඔබේ අදහස් දැකිවීමට...ඔබත් එක්ක එකඟයි.. ලෝකයත් සමඟ යමින් සමබර වෙන්න පුරුදු පුහුණු කල යුතුයි කොයි කාලෙක කොහේ හැදෙන දරුවෙක් උනත්..

      මට කියන්න අමතක උනා පොකුරු ඇයි මම තාක්ෂනේට විතරක් වැරද්ද දාන්නේ නැත්තේ කියල.. මගේ පුතා ඇහින්වත් දැකල නැති සංගීත භාණ්ඩ රැසක හඬ අඳුරන්නේ එයාගේ ටැබ්ලෙට් එකේ තියන අපි දාල දුන්නු ඇප්ස් නිසා. ඒ වගේම මුලින්ම කිබෝඩ් එකෙ ස්වර හත එයා ඉගෙන ගත්තෙත් ඒ වගෙ එක ඇප් එකකින්,.. ඊට අමතරව සැහෙන දේවල් තියනවා එයාලගේ සංවේදි බව වැඩි කරන්නත් එක තැනක හිත තියාගෙන සංවරව රසවිඳිම හඳුන්වලා දෙන්නත් බෙදාගන්නත් අනිත් එක්ක පුලුවන් ඇප්ස්...

      Delete
    3. ඇත්ත නිම්නා...මේ දේවල් මමත් අත් විඳලා තියනවා...මම මල්ලිගේ ලොකු දෝනිව ලඟින් තියාගෙන යූ බටේ තියන සත්තුන්ගේ වීඩියෝ පෙන්නුවේ එයාට අවුරුද්දක් වගේ කාලේදී...ඒ හැමදේම අපි කරන්නේ අරමුණක් ඇතිව..දරුවාගේ බුද්ධි වර්ධනය සහ සංවේදී බව වැඩි කරන්න...නමුත් සමහර දෙමාපියෝ ඒ දේවල් කරන්නේ එක්කෝ දරුවාව අධ්‍යාපනික තරඟයේ කොටසක් කරන්න...එහෙම නැත්නම් තමාගේ නිදහස වෙනුවෙන් දරුවාව කාර්යබහුල කරවන්න...එතැනදී වෙන හානිය ගැන සමහර වැඩිහිටියන්ට වැටහීමක් නැහැ...

      Delete
  2. ඉතාම වටින කාලීන ලිපියක්... දෙමව්පියන්ව, ගුරුවරුන්ව, වැඩිහිටියන්ව හැකි තරම් මේ ගැන සංවේදී කරවන්න ඕන.. නැත්නම් අපට ඉතිරි වෙන්නෙ හරිම අසංවේදී, අමානුෂික සමාජයක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරුරසී...ඇත්තෙන්ම ඔව්...

      අපි වැඩිහිටියෝ විදියට බුද්ධිමත්ව කටයුතු නොකලොත් දරු පැටව් රොබෝ වරු වෙනවා...

      Delete
  3. පළමුවෙන් ම මා ලියූ ලිපියෙන් ඔබට දැනුණු දේ මනරම් ව ලියා තැබීම ගැන ඔබට ස්තූතියි..

    සමහර මව්පියන් හිතන්නේ තාක්ෂණයෙන් තොරව දරුවන්ට ජීවත් විය නොහැකි වගයි.ඒත් අපේ ගෙදර කවදාවත් රූපවාහිනියක් තිබුණේ නෑ.ඉතින් අනිත් ළමයි මහගෙදර බලන වෙලාවේ මං පොත් කියෙව්වා.ගුරුවරු පුදුම වුණා මං අනිත් ළමයින්ට වඩා වෙනස් නිසා.ඒ වෙනස මං උපතින් ගෙන ආ එකක් නොවෙයි.පොතපතට-සොබාදහමට මා සංවේදී කිරීම තුළින් මගේ මව්පියන් විසින් නිර්මාණය කරන ලද වෙනසක්..

    ඒ නිසා, මං ඉතා බරපතළ ලෙස විශ්වාස කරනවා දරුවෙක් හොඳ නොහොඳ වීම පිළිබඳ අති විශාල වගකීමක් මව්පියන් සතු වන බව.මව්පියන් නිවැරදි නම්, පාසල ඇතුළු අවට සමාජය කොතෙක් කැළිකසළින් පිරී තිබුණත් දරුවාට අපිරිසිදු නොවී නිවැරදි මග ගමන් කරන්නට ශක්තිය ලැබෙනවා..

    නැවතත් ස්තුතියි පොකුරු වැහි.. මට කියන්නට වුවමනා දේ ඔබ මා ලීවාට වඩා බෙහෙවින් අපූරුවට සටහන් කළාට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ෂා...

      අනිවාර්යෙන්ම...ඔබේ අදහස් වලට එකඟයි...දරුවන්ගේ අරටුව පෝෂණය කරන්නේ දෙමව්පියෝ...ඔවුන්ව සංවේදී මිනිසුන් කිරීමේ ක්‍රියාවලියට බොහෝ දායක්වයක් ලැබෙන්නේ දෙමාපියන්ගෙන්...හොඳ හෝ නරක වේවා ස්ථාවර පදනමකින් සමාජගත වන දරුවෙක්ව පසු කාලීනව වෙනස් කරන්න බොහොම අමාරුයි...

      Delete
  4. පොඩ්ඩක් වෙනස් අදහසක් පළකරන්න අවසර පොකුරු. මගේ දරුවන් දෙදෙනා වැඩුනේ ඉලෙක්ට්‍රොනික දශකයේ. ඉතා කුඩා කල සිට මොබයිල් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික දේවල් තමයි ඔවුන්ගේ අතේ තිබුණේ. එයින් වුන් හැඟීම් නැති දරුවන් වුණේ නැහැ.

    එදා සහ අදත් පොතක් කියන්නේ එකට තබා බැඳි කඩදාසි කිහිපයක් පමණයි. පත්තරයක් යනු එකට තබා ඇති කඩදාසි කොළ කිහිපයක්. වැදගත් වන්නේ එහි අන්තර්ගතය. උදාහරණයට Play Boy සඟරාව සහ National Geographic සඟරාව වගේ. අන්තර්ගතයයි වෙනස්. බොහෝ කලක සිට ලැප්ටොප් එක හරහා Kindle භාවිතා කරන නිසා මගේ දුව කියවා ඇති පොත් ප්‍රමාණය මම ඇගේ වයසේදී කියවූ ප්‍රමාණයට වඩා කිහිප ගුණයක්. විදේශ රටක සිටියත් මගේ දෙමව්පියන්ගේ අවශ්‍යතා ගැන මාව මෙහෙයවන්නේ ඇය.

    Youtube සහ Wikipedia වැනි ඕනෑම දෙයක් ගැන ඕනෑම වෙලාවක, ඕනෑම ගැඹුරකට ඉගෙනගත හැකි විශ්ව කෝශයක් හෝ විශ්ව විද්‍යාලයක් තවත් නැහැ කියල මම ඔවුන්ට ඒත්තු ගැන්නුවා.

    දැනුම සහ තොරතුරු ලබා ගත් මාධ්‍ය විශාල වෙනසකට භාජනය වූ කාලයක හැකියාව අනුව ඔවුන් ඉලෙක්ට්‍රොනික ආම්පන්න වලට හඳුන්වා නොදීම මව්පියන්ට අද කල හැකි විශාල පාපයක්.

    එක උදාහරණයකින් ඔබ කියන සංවේදී බව ලබා දෙන්නේ කොහොමද කියල කියන්නම්. මගේ මවගේ නිවසේ අළුත්වැඩියාවකට පැමිණි කෙනෙකු එදින රෑ කොට්ටයක් නැතිව ගරාජයේ නිදනු දුටු මගේ පුතා කාමරයක තිබූ කොට්ටයක් ඔහුට ගිහින් දී තිබුණා. එය සමාජයේ පහසුකම් අඩු අය විඳින දුක් ගැන ඔහු කුඩා කාලයේ ඔහු සමඟ නිතර කථා කිරීමේ ප්‍රතිඵලයක්. ඔහුගේ වැඩ ගැන අති කම්මැලියෙකු වන ඔහු බල්ලෙකුගේ, කරදරයට පත් මිතුරෙකුගේ, අහම්බෙන් හමුවෙන උදව් අවශ්‍ය කෙනෙකුගේ දේවල් ගැන වෙහෙසීමට කිසිම කම්මැලි කමක් නැහැ.

    එමනිසා මගේ අදහස නම් කුඩා කාලයේ සිටම ඔවුන්ව දැනුම, සාහිත්‍ය සහ සමාජය ගැන සංවේදී කිරීම ඔවුන් පාවිච්චි කරන උපකරණ ගැන වෙහෙසවීමට වඩා වැදගත් යන්නයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් ඔබේ වටිනා අදහස් එකතු කලාට...

      ඇත්තෙන්ම මේ ලිපියේ අරමුණ වුනේ තාක්ෂණය විවේචනය කිරීම නෙවේ...සංවේදී දරුවෙකු බිහි කිරීමේදී දෙමාපියන්ගේ වගකීම ගැන කතා කිරීම...එතැනදී බහුතරයක් දෙමාපියෝ වැරදි විදියට පාවිච්චි කරන දෙයක් තමයි නවීන තාක්ෂනය...

      අද කාලේ තාක්ෂණයෙන් තොරව දරුවෙක් උස් මහත් විය යුතුයි කියන දේ නොවේ මා කියන්නේ...වැඩිහිටියන්ගේ අනුදැනුම යටතේ ඔවුන් ඒ සඳහා හුරු කල යුතුයි...හරියටම ඔබ කළා වාගේම...නිම්නාගේ අදහසේ මා සඳහන් කළා වාගේම මමත් එය කරනවා...නමුත් දරුවන්ගෙන් ගැලවීමට නෙවේ...ඔවුන්ගේ යහපත උදෙසා...

      ඔබ බොහොම නිසි ලෙස දරුවන්ව හසුරවපු නිසා, ඔවුන් තාක්ෂනය අවභාවිතා කරන්නේ නැහැ...ඇබ්බැහි වීමක් නැහැ...නමුත් සමහර දරුවෝ ඉන්නවා මිනිස් හැඟීම් වලට සහ පරිසරයට කිසිම සංවේදී කමක් නොදක්වන...එතැනදී බොහෝ විට වරද ඇත්තේ දෙමාපියන් අත...

      ඔබ බොහොම අපුරුවට මගේ උදාහරණය පැහැදිලි කරනව ඔබේ අදහස තුල...ඔබේ හිතේ තිබුන සියලුම පැහැදිලි මාවත් දරුවන් වෙනුවෙන් විවර කර ඔවුන් සමඟ නිදහසේ ඔබේ අදහස් බෙදා ගත් බව...එය තමයි මා අදහස් කලේ...මේ තරඟකාරී ජීවිතය තුල තමන්ගේ දරුවන් වෙනුවෙන් කාලයක් මිඩංගු කරලා, මේ ලෝකය ගැන, මිනිස්සු ගැන, ඔවුන්ගේ හැඟීම් ගැන, දරුවෝ එක්ක අදහස් හුවමාරු කරගත යුතු බව...අහන දකින දේවල් ගැන, ඒවා විඳින ආකාරය ගැන බුද්ධිමය සංවාදයක් ගොඩ නැගිය යුතු බව...

      මෙතැන ඇත්තේ තාක්ෂණික උපකරණ වල ගැටළුවක් නෙවේ...නමුත් මා අනන්තවත් දැක තිබෙනවා, දෙමාපියෝ තමන්ගේ ගැලවීමට මේ දේවල් දරුවන්ගේ අතට දීල ඔවුන්ව හුදකලා කරන දේ...අන්න එතනයි ගැටළුව තියෙන්නේ...එතැනදී දරුවා කොයි විදියට ඒ දේ ග්‍රහණය කරගන්නවද කියන්න දෙමාපියෝ දන්නේ නැහැ...දෙමාපියෝ තමන්ගේ ලෝක වල හුදකලා වෙනවා...දරුවෝ ඔවුන්ගේ ලෝක තුල හුදකලා වෙනවා...එතැනදී ඔවුන් මේ කිසිම තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නේ ඇබ්බැහි වීමක් ලෙස මිසක් ජීවිතය හැදෑරීමක් කරන්න නෙවේ කියන දේ තමයි මං අදහස් කලේ...

      Delete
  5. තව දෙයක් එකතු කරන්න හිතුනා පොකුරු.. මේ මාතෘකාව මට ගොඩක් සමීප නිසා දැනට මම ඉගෙන ගන්න දේ එක්ක.

    ඇත්තෙන්ම වඩාත් වැදගත් වෙන්නේ කුමන හෝ ක්‍රමයක් භාවිතා කොට දෙමාපියන් ඇතුලු අවට හැම කෙනෙක් සමඟම සංවේදිව දරුවෙක් හැදීම.. මම දැකල තියනවා ගෙදර පුස්තකාලයක්,කලාගාරයක්,රුසියන් සාහිත්‍ය වැහි වැහලා ගෙදර, හැබැයි දරුවන්ගේ හිතේ මනුස්සකම ,තෙතමනය , සංවේදිකම නැ...ආදරය , සෙනෙහස පණ නැති දේවල් වලින් ලං කලාට දැනෙන විදිහට නෙමේ මිනිස් මොළේ හැදිලා තියෙන්නේ.. අධ්‍යාපනේ හිණිපෙත්තේ මේ වගේ හැදුනු සමහර දරුවන්, ඒත් ඇති වැඩේ මොකක්ද...

    ReplyDelete
    Replies
    1. බොහොම වටිනා කරුණක් ඔයා මතු කලේ මෙතැන...රාත්තල් ගණන් බරට පොත් කියෙව්වට, පොත් ලිව්වට හෝ කවි ලිව්වට මිනිස්සු කිසි කෙනෙක් සංවේදී කියල අපට නිර්ණය කරන්න බැහැ...අර මං කිව්වා වගේ හිත් වල තියෙන්නේ කසල ගොඩවල් නම්...ඒ කසල ගොඩවල් උඩ තමයි ඒ අයගේ දැරුවොත් උස් මහත් වෙන්නේ...ඒක ඇත්තටම බොහොම සංකීර්න කාරණයක්...

      එතැනදී වැදගත් වෙන්නේ තමන් ඇහින් දකින කණට ඇහෙන දේවල් ගැන දරුවොත් එක්ක කතා බහ කරන එක...ඒ දේවල් වල තියන යටි අරුත් ගැන දරුවාගේ අවධානය යොමු කරවන එක...නමුත් ඒ හැමදේම අවසානයේ පදනම් වෙන්නේ දෙමාපියන්ගේ හිතිවිලි අනුව...එහෙමත් නැත්නම් දරුවා වැඩිපුරම ගැටෙන වැඩිහිටියන්ගේ හිතිවිලි අනුව...ඒ දේ තමයි මං මේ පොස්ටුවෙන් කියන්න උත්සාහ කලෙත්...

      බොහොම ස්තුතියි නිම්නා මේ වටිනා අදහස් එකතු කලාට...

      Delete
  6. පොඩි කාලෙ සිටම හුරු වුනාම තාමත් ලමයි පොත් කියවනවා. අපේ කාලෙ වගේ පොත් විතරක් නොවෙන නිසා කාලය බෙදී යනවා. ඒත් පොත් කියවන්න ආසයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහසට...ඔව් ඇත්තෙන්ම ඒ හුරුව තමයි වටින්නේ...නමුත් කියවන කෙනා ඒ දේවල් ග්‍රහණය කරගන්නේ විඳින්නේ කොහොමද කියන දේත් වැදගත්...

      Delete
  7. දරුවකු හැදෙන්නට ඇරීම සහ හදන්නට යාම කියන දෙකම, ඉතා පරෙස්සමෙන් කල යුතුයි. නිකම්ම හැදෙන්න ඇරියත්, බලහත්කාරයෙන් හදන්න උත්සාහ කලත්, වෙන්නේ අවැඩක්. පළමුව සොයාබැලිය යුත්තේ, දරුවා ආදර්ශයට ගන්නේ කාවද, කෙබඳු අදහස්ද, කියන එකයි. ඒවා අපේ මිනුම් දඬු වලට ගෝචර නොවන්නේ නම්, කලයුත්තේ, වෙනත් සුදුසු පරමාදර්ශයන් වෙත ඔහුගේ අවධානය ලක්කිරීම විනා, බලහත්කාරයෙන් ඇදගෙන යාම නොවෙයි.

    වර්තමාන ජීවන රටාව තුළ දෙමව්පිය අතින් සිදුවන භයානකම වරද තමයි, දරුවන් සමග දිනපතා කතා නොකිරීම. ඔවුන්ගේ මානසික තත්වය හොඳටම පැහැදිලි වනතුරු, දිනපතා ඔවුන් සමග යම් වෙලාවක් කතාකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබත් සමඟ සම්පුර්නයෙන්ම එකඟයි විචාරක තුමනි...වටිනා අදහස් ගොන්නක් එකතු කලාට බොහොම ස්තුතියි...

      Delete
  8. මගේ දූලා දෙන්නත් දුරකථනය බලනවා ගෙදර ඉන්න කොට. ඒත් දෙන්නම පොතුත් කියවනවා. කොහේ හරි ඇවිදින්න යනකොට මොබයිල් පාවිච්චියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. //කොහේ හරි ඇවිදින්න යනකොට මොබයිල් පාවිච්චියක් නැහැ.//

      අහන්නත් සතුටුයි...තරුණ දියණියන් ඇස් ඇරලා සජීවීව දෙයක් විඳින්න හුරු වෙලා තිබෙන එක ගැන...

      Delete