Sunday, September 25, 2016

ඉතින් මගේ ආදරණීය "සු"...


 රූස්ස ගසක් පාමුල කල්පනා කරමින් වාඩිගෙන සිටින යුවතියක් (සේයාරුව අන්තර්ජාලයෙනි)


ආදරණීය  "සු"

"මං මැරෙන්න කලින් මං ගැනත් ලියන්න"...

"සු" එදා එහෙමයි අපේ සංවාදේ පටන් ගත්තේ...

"මොකටද මැරෙන්නේ...ඒ පාර මක් වුනාටද"

මං යැව්වේ කෙටි පණිවිඩයක්...

"හේතුවක් දන්නේ නැහැ...ජීවිතේ නතර වෙලා...ඉස්සරහට කරන දෙයක් හිතා ගන්න බැහැ"

ඇයි හත් දෙය්යනේ ඊයේ පෙරේදා අළුත් ගෙදරකට ගොඩ වැදුනේ...ඒකෙ සිවිලිමේ වත් දෝෂයක්ද...මේ ගෑණි මේ මරු කියවන්නේ...මට හිතුනේ එහෙම...

"තමන්ට මනුස්සයෙක් විදියට ඇති නැති දේවල් කොලේක ලියල බලන්න...එතකොට දැනේවි "සු" කොයි තරම් වාසනාවන්තද කියල"

මං උන්නේ මහපාරේ...ඒ වෙලාවේ හැටියට මං උත්සාහ කලේ කෙටියෙන් ඇයගේ හිත හදන්න...

"ඕව හොඳයි කතන්දර පොත් වලට"

"සු" ඒ කතාවට නම් ඇත්තටම මට කේන්තියක් ආවා හිතට...

"නැහැ මේ මගේ අත්දැකීමෙන් කියන්නේ"

මං එහෙම ලිව්වේ හිතට ආව කේන්තිය පාලනය කරගෙන...

"ඔයා දන්නේ නැහැ දරුවෙක් ඉන්නකොට ජීවිතේ වෙනස්"

ඔව් මං අම්මෙක් නෙවේනේ "සු"...ඒක ඇත්ත...ඒත් මට හිතන්න හදවතක් තියනවා...අහන්න දකින්න ඇස් කන් තියනවා...කරුණු කාරණා විශ්ලේෂණය කරලා බලන්න බුද්ධියක් තියනවා...

මං එදා එහෙම කිව්වේ නැත්තේ, මට වුවමනා නොවුන නිසා ඒ කථාව දිග්ගස්සන්න...

ඒත් ඔයාට මතක ඇති මං දුන්න උත්තරේ...

"නැහැ එහෙම වෙන්නේ නැහැ...අර ෂෙලී ඉන්නේ දරු දෙන්නෙක් එක්ක ජීවිතේ ගැට ගහගෙන"

ඒ කියපු දේ ගැඹුරක්, ඔයාට එවෙලේ දැනුනා කියල මං හිතන්නේ නැහැ...

"දරුවෙක් ඉන්නකොට ජීවිතේ සංකීර්ණයි...උත්තර හොයන්න අමාරුයි..එයාගේ ජීවිතේට බලපෑමක් නොවෙන්න තීරණ ගන්න ඕනේ...එතනම අම්මගේ ජීවිතේ අවුල්..."

ඒ උත්තරේ තියෙන්නේ කිසිම ආත්ම ශක්තියක් නැති ගෑණියෙක්ගේ හිතිවිල්ලක් "සු"...මොකද මං ජීවිතේ දැකපු එකම අම්ම ඔයා නෙවේ දරුවෙක් ඉන්න...

ඒත් මං එහෙම කිව්වේ නැහැ...

"ඔය හැමදේම තීරණය වෙන්නේ අපි හිතන විදිය අනුව"

මං කිව්වේ එහෙම...

මේ සේරෝම කෙටි පණිවුඩ...ඒ නිසා ඊට වඩා පැහැදිලි කිරීමක් කරන්න වුනේ නැහැ මට...

"ඔයාට නොතේරෙන ගොඩක් දේවල් තියනව සමහර පවුල් ඇතුලේ"

ඒ තමයි එදා ඔයාගෙන් ආව අවසාන කෙටි පණිවුඩේ...

"අවුල් තියෙන්නේ පවුල් වල නෙවේ "සු" මේ අපේම හිත් ඇතුලේ"

මට කියන්න ඕනේ වුනේ එහෙම...ඒත් ඔය පණිවුඩ හුවමාරුව අස්සේ මං ගෙදර එද්දී රෑ වෙලා...ඒ සංවාදය මගෙන් පිළිතුරක් නැතුව අවසන් වුනේ එහෙමයි...

ඒත් "සු" මං බොහොම ගැඹුරින් හිතුවා ඔයා කියපු දේවල්...

මං ඔයාට වඩා අවුරුදු හයක් විතර වැඩියෙන් මේ ලෝකේ දැකල තියනවා...

මේ ජීවිතේදී ඇහැට නොදැකපු උදවිය පවා එයාලගේ ජීවිත ගැන මට පුද්ගලික විස්තර කියල තියනවා...ඔයත් ඇතුළුව...

ඒ හන්ද මට නොතේරන අවුල් ගැන, ඔයාට තීරණය කරන්න අයිතියක් නැහැ...

ඔයා කිව්වේ මට ඔයාගේ ජීවිතේ ගැන ලියන්න කියල...ඊට කලින් මං දන්නා ගැහැණු කිහිප දෙනෙකුගේ ජීවිත ගැන බොහොම කෙටියෙන් මෙතන ලියනවා...අතිශයෝක්තියක් නැතුවම...

මං මගේ හිත ඇතුලේ වන්දනා කරන ගැහැණිය මගේ අම්මා...

අම්මා බැංකු නිලධාරිනියක් වෙන්න හැකියාව තියෙද්දී එය ඉවත හල ගැහැණියක්...ඒ ඇයගේ දරුවන් වෙනුවෙන්...

අද වෙද්දී ඒ කැප කිරීමේ ප්‍රථිපල ඇයට ලැබිලා තිබෙන වග ඔයා හොඳින්ම දන්නවා...

මගේ අප්පච්චී තමයි සම්පුර්ණයෙන්ම ගෙදර මුදල් පාලනය කලේ...අම්මාගේ අතේ රුපියලක්වත් තිබුනේ නැහැ ගෙදරින් පිටත යන හැම වතාවකම...ඒ වෙලාවට ඇයට අප්පච්චිගේ සරණ පතන්නට වුනා...ඒත් අම්මා, අප්පච්චිගේ ගතිගුණ තේරුම් ගත් ගැහැණියක්...ඇය ඒ අනුව ජීවිතේ හැඩ ගසාගත් ගැහැණියක්... 

ඇයගේ මුහුණේ තිබෙන්නේ කිසිදාක වෙනස් නොවෙන සුන්දරම හිනාවක්...එය අදටත් කිසිම වෙනසක් නැහැ...

අම්මාගේ නැන්දම්මා හෙවත් මගේ ආච්චී ඇයට කල කෙණෙහිලිකම් බොහොමයි...ඒ ඔයාට වගේ මුදූ හතකින් එහා ඉඳන් නෙවෙයි..අපේම ගේ ඇතුලේ ඉඳන්...

අපේ අම්මාගේ ඉවසීම සහ සමාව දීම බොහොම ඉහලයි...ඒ හන්දම මටයි මල්ලිටයි තවත් ගැහැණියකට කුඩම්මා කීමේ අවාසනාව උරුම වුනේ නැහැ...

ඒ වගේම "සු" ඒ කාලේ මගේ අම්මාට වයස විසිහතරකට වඩා වැඩි නැහැ...බොහොම ලාබල, ජීවිතේ ගැන අත්දැකීම් නොතිබුන කෙනෙක්...

"සු" ඔයා ඉන්නේ බොහොම ඉදිරියෙන්...ඔයා බොහොම පරිණත ගැහැණියක්...

අප්පච්චි අසනීප වුනා...මිය ගියා..ඒත් මගේ අම්මා බොහොම උපේක්ෂාවෙන් හැමදේම විඳගත්තා...

අද වෙනකල් අම්මා කණගාටුවෙන් ඉන්නවා මං දැකලා නැහැ...

මං මගේ අම්මා ගැන මෙහෙම කියද්දී, මං දන්නවා ඔයාටත් තියනවා මේ වගේම කථාවක්...

ඒ අම්මාත්, මගේ අම්මා වගේමයි...ඇය තමන්ගේ ස්වාමියාගේ මෘත දේහයවත් දකින්නට නොලැබුන කෙනෙක්...ඔයයි, අම්මයි, මල්ලියි...අපේ අම්මයි, මමයි, මල්ලියි...ඔතැන තියෙන්නේ පවුල් දෙකක්, එකම කථාවක්...අපි හැමෝම ජීවිතේ එක්ක හැප්පුන මිනිස්සු...

හැබැයි ඔයා පටලවා ගත්තා එක තැනකදී...ඒ බොහොම ලාබාල වයසකදී තමන්ගේ සහකරුවා තෝරාගැනීම...නමුත් වරද එතැන නෙවේ...තමන්ගේ අනෙක් අරමුණ අමතක කරපු එක...

ඔයාගේ තාත්තගේ හීන තඹ දොයිතුවකට මායිම් නොකරපු එක...එයාට වෛද්‍යවරයෙක් වෙන්න බැරි උනේ දුප්පත්කමට...එයා ඒ හන්ද සල්ලි හොයන්න රටිනුත් පිට වුනා...ඒ ඔයාට එතැනට යන්න...

ඒත් ඔයාට ඕනේ වුනේ බිරිඳක් වෙන්න...අම්මෙක් වෙන්න...දැන් ඒ ඔයාම කියනවා, අම්මෙක් වුනාම හීන ඉවරයි කියල...

දැන් මං අම්මෙක් නෙවේනේ...මං විද්‍යාඥවරියක්...එතකොට ඔයා අම්මෙක් නොවුන නම්...මං වගේ මැලේරියාවට එන්නතක් හොය හොයා ලෝකේ පුරා ගියා නම්...දවසේ පැය පහළොවකට වඩා විද්‍යාගාරයකට වෙලා මීයෝ මනුස්සයෝ කරන්න වෙහෙසුනා නම්, ඔයා  සතුටින් ඉඳීවිද... 


එතකොට ෂෙලී...එයා දරු දෙන්නෙකුගේ අම්මෙක් වුන විද්‍යාඥවරියක්...එයාගේ මහත්තයා දේවන්, දැන් සහකාර මහාචාර්ය වරයෙක්...

මේ ලඟදි දවසක දේවන්ට ලැබුනා උසස් වීමක්...ඔහු දැන් තමන්ගේම විද්‍යාගාරයක් පාලනය කරන්නෙක්...තමන්ගේ පරීක්ෂණ වලට මුදල් ප්‍රතිපාදන ලැබීම තරුණ විද්‍යාඥයෙකුගේ විශාල ජයග්‍රහණයක්...ඒවාට යෝජනාවලි සකස් කරන එක පණ යන වැඩක්...බොහොම තරඟකාරීයි...දේවන් ඒ වැඩ කටයුතු වලට වෙන් කලේ තමන්ගේ පුද්ගලික කාලය...ඒ අතරේ ෂෙලී දරුවන්ට කාලය වෙන් කලේ, තමන්ගේ සංකීර්ණ රැකියාවත් කරන අතරතුර...

ඇනා, ෂෙලීගේ ලොකු දෝණි, හරිම දක්ෂ දරුවෙක්...තවම පළවෙනි පන්තියේ වුනාට, ඇයට පුළුවන් තුනේ පන්තියේ වැඩ කරන්න...

ඒ ඇයි කියල ඔයා දන්නවද...

ෂෙලී ඇනාගෙ පාසැල් වැඩ සොයා බලනවා, හවසට ගෙදර ඇවිත්...බොහොම වෙහෙසයි...ඔයා දෝණිට උදව් කරනවා වගේම...

ඒත් අම්මෙක්...

දරුවන්ට ස්වාමියාට කෑම, බීම දෙන්න ඕනේ...රෙදි හෝදන්න, ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ...

ඒ මදිවට එහා ගෙදර දෙමාපියෝ අත ඇරපු දරු පැටියා..ටාලියාත් හැමදාම හවහට එහේ...

ඒ විතරක්ද, කොයි තරම් වැඩ තිබ්බත් ගිම්හාන කාලෙට, දේවන්ගේ ක්‍රිකට් ගැහිල්ල...

ගෙදර සැමියයි, බිරිඳයි අතර, දරුවන්ගේ වගකීම්, ගෙදර දොර වගකීම් බෙදෙන්නේ සමමිතිකව නෙවේ...එහෙම වෙනවා නම් වෙන්නේ කලාතුරකින්...

විවාහයක් කියන්නේ වෙනස් අදහස්, රුචි අරුචි කම් තියන දෙන්නෙක් ඒවා සමපාත කරගෙන, පෙරලෙන්න නොදී පැදගෙන යන බෝට්ටුවක් වගේ...

"සු" ඔයාට විතරක් නෙවෙයි...අනෙක් ගැහැණුන්ටත් සමහර වෙලාවට සැමියාගෙන් වුවමනා සහයෝගයක් ලැබෙන්නේ නැහැ...

ඒ වගේම තමයි සමහර බිරින්දෑවරුත්, තමන්ගේ සැමියාට අවශ්‍ය සහයෝගය දෙන්නේ නැහැ...එහෙම තමයි වෙනස් පුද්ගලයින් දෙදෙනෙක් එක්ව ජීවිතය ගත කරද්දී...

ඔයා හිතන්නේ ෂෙලී, දේවන් නිරන්තර ප්‍රේමයෙන් බැඳිලා කියලද...

අපොයි නැහැ...

සමහර දාට දෙන්න එක්ක රණ්ඩු වෙනවා, පිඟන් හෝදන්න, රෙදි හෝදන්න, දරුවෝ බලාගන්න බැරිව...ඒ බත ඉදෙනකල් විතරයි...

ෂෙලී තමන්ගේ රැකියාවේ අරමුණු ටිකක් පසුවට තියලා, පහුගිය අවුරුදු කීපයේම දේවන්ට ඉඩ දුන්නා...මොකද දෙන්න එක්ක රැකියාවේ ඉහලට යන්න ගියොත්, දරුවන්ට වෙන දේ දන්නා නිසා...

ඔයා කරන්නෙත් ඒකමයි...හැබැයි ඔයා අන්තවාදීයි...

ඇනා හවස පාසැලෙන් පස්සේ ගෙදර නෙවෙයි එන්නේ...පාසලේම තියන දිවා සුරැකුමට තමයි යන්නේ...ෂෙලී තමන්ගේ රැකියාව වෙනස් කලෙත් නැහැ...දරුවන්ව මග හැරියේත් නැහැ...

ඒත් ඔයා රැකියාව වෙනස් කලා...දරුවාව දිවා සුරැකුමේ තියන්න බැහැ කිව්වා...දරුවා එක්කම ඉන්න ඕනේ කිව්වා...

ඒ සේරෝම ඔයාගේ තීරණ...ඉතින් ඇයි මේ දුක් වෙන්නේ...

පරිත්‍යාගයක් කලායින් පස්සේ පසුතැවෙනවා නම් එතැන පරිත්‍යාගයක් නැහැ...

ඔයාටත් පුළුවන් දරුවව දිවා සුරැකුමකට ඇතුල් කරලා, ඔයාගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්න...එහෙමත් නැතිනම් උසස් රැකියාවකට යන්න...

දරුවා කොහේ කොතැන උන්නත් දෙමාපියෝ බුද්ධිමත් නම්, ඒ දරුවා නරක මාර්ගයේ යන්නේ නැහැ...

අනිත් අතට ඇස් මානයෙන් පිටතට නොයවා හැදෙන දරුවා, අතිශය යහපත් දරුවෙක් වෙනවා කියන්න වගකීම් සහතිකයකුත් අපට නැහැ...

"මං මගේ දරුවටත් හොඳට උගන්නගෙන, මගේ හීන වලට යනවා...මට කාගේවත් උදව් ඕනේ නැහැ"

"සු" මගෙත් එක්ක එහෙම කිව්වේ මාරයාටත් හිනා වෙච්ච කෙල්ලෙක්...එයාගේ හිතේ හය්යට මාරයත් පැරදුනා...

අපි දෙන්නගේ ඒ සංවාදේ, අවසන් වාක්‍යක් විදියට ඒක ඇහෙද්දී, මට ඒ කෙල්ල ගැන ලොකු ආඩම්බරයක් දැනුනා...

එයාගේ මහත්තයත්, ඔයාගේ එක්කෙනා වගේම තමයි...තමන්ගේ රැකියාව කරගෙන, යාළු මිත්‍රයෝ එක්ක බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්...

මේ කෙල්ලගේ හීන ගැන, එයාගේ මහත්තයට ඒ හැටි ලොකු කැක්කුමක් නැහැ...

ඒ වුනාට "සු" එයා ඔයා වගේ මැරෙන්න ඕනේ කියල නම් හීනෙන්වත් කියන්නේ නැහැ...

ඒ වචන ඇතුලේ තියන ශක්තිය, මේ ලෝකේ ඉන්න බලගතුම යන්ත්‍රය ගෙනාවත්, ඩෝසර් කරලා දාන්න බැරි වෙයි...ඒ තරම් හය්යයි...මාරයාව බිය වද්දන්න පුළුවන් හය්යක් තියන කෙල්ලෙක්ගෙ හීන බිඳින්න මේ ලෝකේ වෙන කාටවත් බැහැ...

"සු" ඔයා වෙලාවකට තමන් ගැනම අනුකම්පාවෙන් කතා කරන්නේ...එහෙම කරන්නේ කොන්ද පණ නැති දුර්වල මිනිස්සු...

නැති දේවල් ගැන දුක් වෙනවා මදිවට ජීවිතේ විහින් අපායක් කරගන්නවා...සමහර වෙලාවට පිහිට වෙන්න එන තුන්වෙනි පාර්ශවයන් හන්ද අමාරුවෙත් වැටෙනවා...ඒ වගේම අවසානයේ මානසික රෝගීන් වෙනවා...

ආත්ම ශක්තියක් තියන තමන්ගේ අරමුණු වලට යන මිනිස්සු කරන්නේ ඒක නෙවෙයි...තමන් ළඟ තියන ශක්තිය, තමන්ගේ හැකියාවන් මොනවද කියල ස්වයං විශ්ලේෂණයක් කරනවා...එහෙම කරලා හීන් සීරුවේ එයාල තමන්ගේ අරමුණු හොයාගෙන යනවා...

එහෙම හැකියාවක් තියන, කිසිම දාක පසු නොබහින එඩිතර ගැහැණියක් ඔයා ඇතුලෙත් ඉන්නවා "සු"...

එයාට හුස්ම දෙන්න...තමන්ට අනුකම්පා කරන දුර්වල මනුස්සයාගේ ඔක්සිජන් සැපයුම කපා හරින්න...

"සු" ඔයා දන්නවද, මට ඉන්නවා එයාගේ නමටම හරියන වේගයකින් ජීවිතේ සියල්ලම සමබර කරගෙන ජීවත් වෙන තවත් යෙහෙළියක්...

"මචං මට ඔය පීඑච්ඩි හරියන්නේ නැහැ...උඹ ඒක කරපන්...මට ටීචර් කෙනෙක් වුනාම ඇති...ඉන් පස්සේ කසාදයක් බැඳලා මිනිහයි දරුවොයි එක්ක සතුටින් ඉන්න පුළුවන් නේ බං..."

මෙහෙම කිව්වේ එයා...ඔයා වගේම ආදරේට මචං කියල කතා බහ කරගන්න අනික් කෙල්ල...

අපි එදා උන්නේ ඕයූ එකේ කැන්ටිම කිට්ටුව බෙන්ච් එකක...කාලේ මරණ ඉන්ජිනිරියන් කාන්ඩේ නුරුස්සන නිසා, මං එතනින් එහාට තියන බෙන්ච් එකක වාඩි වුනා නම් ඒ කලාතුරකින්...

ඒ 2002 අවුරුද්ද...නැචුරල් සයන්ස් ෆැකල්ටිය...ඒ කිව්වේ විවෘත විශ්ව විද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීටය...පළමු පන්තියේ සාමාර්ථ සහිත උපාධිධාරීන් හය දෙනයි...අපි දෙන්නත් ඒකට ඇතුලත්...ඒ ඔස්සේ තමයි මං කලින් සඳහන් කරපු සංවාදේ මතු වුනේ...

කිව්වත් වගේම උපාධිය අරන් මහ කාලයක් යන්න කලින් එයා විවාහ වුනා...

මගේ යෙහෙළිය බොහොම අධිවේගී, දක්ෂ මොළයක් තියන කෙනෙක්...

ඒත් ඔයා වගේ නෙවේ...

එයා තමන්ට වුවමනා දේවල් කලින්ම පැහැදිලිව තීරණය කළා...එයාටත් ඕනේ හැටියේ තිබුනා ඉහලම උපාධිය දක්වා යන්න...

එහෙම කළා නම් එයා තමන්ගේ වපසරිය තුල හිණිපෙත්ත කරා යන බවට කිසිම සැකයක් නැහැ...

"සු"...ඒත් එයා තෝරා ගත්තේ ගුරු වෘත්තීය...බොහොම උත්තම රැකියාවක්...අන්තර්ජාතික පාසැලක...ජීවිතේ සමබර කරගන්න පහසුයි...

හොඳම දේ මොකක්ද දන්නවද, එයා ක්‍රිස්තියානි ආගම අදහන්නියක්...ඒකෙන් බෙදා හරින්නේ කරුණාව, සතුට...එයා බුද්ධ දේශනාවේ එන අත් හැරීමක් ගැන ගැඹුරෙන් අහල, කියවල තිබුනේ නැහැ...

ඒත් එයා අත් හැරියා...තමන්ගේ හීන සරල කරගත්තා...ලද දෙයින් සතුටු වුනා...

උදේ හවස බුදු බණ අහන ඔයාට තවම ඒක බැරි වුනා "සු"...

ඒත් මගේ යෙහෙළිය, තමන්ගේ වෘත්තියට අදාළ පශ්චාත් උපාධිය කළා...තමන්ගේ සැමියයි දරුවොයි අරන් විදේශගත වුනා...කොලු පැටව් දෙන්නයි...

"මුන් දෙන්න එක්ක ලේසි නෑ මචං ජීවිතේ...ඒ හන්ද මං පාර්ට් ටයිම් විද්‍යාගාරයක වැඩ කරනවා...කොල්ලෝ දෙන්නගේ වැඩ ගැන බලන්නත් ඕනෙනේ"

මීට කාලෙකට කලින් බුකි සංවාදෙකදී එයා එහෙම කිව්වා...

"මං දැන් මෙහෙ ක්ලාස් කරනවා මචං"

ඊයේ පෙරේදා දවසක එයා එහෙම කියද්දී මට පපුව පිරෙන්න තරම් සතුටක් දැනුනා...

"සු" මිනිස්සු තමන්ට ලැබෙන සීමිත සම්පත් වලින් උපරිම වාසියක් ගන්නේ එහෙමයි...

"ලැබ් එකේ වැඩ කරලා, ක්ලාස් කරන ගමන්, කොල්ලෝ දෙන්නගේ වැඩත් කරන කොට මහන්සියි තමයි මචං...ඒත් මේක තමයි ජීවිතේ...මේ කොල්ලව ඉස්කෝලෙන් ගන්න යන ගමන්...මං එහෙනම් තියන්නම් මචං..."

එහෙම කිව්වේ පීඑච්ඩි එක පැත්තකින් තියලා ජීවිතේ දිනාගෙන යන අම්මෙක්...

විසාකාවෙන් මට මුණ ගැහුන අතිශයින්ම ආදරණිය මගේ යෙහෙළිය ගැන මට ලොකු ආඩම්බරයක් දැනුනා "සු"...

ලෝකේ කොතැන උන්නත් එයා ජීවිතේ බොහොම සුන්දර කරගන්න බව විතරක් මං හොඳටම දන්නවා...මොකද එයා කිසිම දවසක දුක කියන දේ ගැන දුක් නොවෙන ගැහැණියක්...

ඔයාට ඉඳහිටක වැරදෙන්නේ එතැනයි "සු"...මං ඒකයි එදා කිව්වේ ඔය හැමදේම තීරණය වෙන්නේ අපි හිතන විදිය අනුව කියලා...

දුක හිමකිරමක් කියල හිතාගෙන රස විඳිනවද, එහෙම නැත්නම් තිත්ත කසාය වඩියක් වගේ ගුඩුස් ගාල ගිලිනවද කියල තීරණය කරන්නේ අපේ හිත...



දැන්  "සු" ට ලැබුනානේ තමන්ගේම කියල නිවහනක්...හිතේ හැටියටම...ඒ වුනත් දැන් එකේ තිබුන නැවුම් ගතිය අවසානයි...දැන් ඔයාට ආයිමත් ජීවත් වෙන්න නිමිත්තක් නෑ නේද...

මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි...

"සු" අපි හැමෝම ජීවිතේ තදින් අල්ලාගෙන, බදාගෙන ඉන්නේ...එක දෙයක් ලැබෙනකොට, අපේ හිතට අල්ලා ගන්නවා, නැති දේවල් කෝටියක්...

ඒකයි මං කිව්වේ තමන්ට ඇති නැති දේවල් ගලපලා බලන්න කියල...

හෙට අනිද්දා එන්නේ ශීත කාලය...මේ මේරිලන්තේ හෝම්ලස් මිනිස්සු කොයි තරම් ඉන්නවද...

එයාලට තියන ප්‍රශ්න එකක්වත් ඔයාට තියනවද "සු"...

ඔයා උණුසුම් ලොම් කබායක් ගනීවි...

ඒ මිනිස්සු හීතලෙන්ම උණුහුම හොයාවි...

උපන් රටෙන් පිටවෙලා ආපු ඔයාට, ලෝක බලවතාගේ ඉඩමක අයිතිකාරයෙක් වෙන්න ලැබුන එකම මදිද "සු"...

ඔයා කියයි ඒවායේ ණය ගෙවන්නත් ඕනේ නේද කියල...එහෙම තමයි "සු"...දෙයක් ලබා ගන්න සැලසුමක් තියෙන්න ඕනේ...වෙහෙසෙන්න ඕනේ...

ඔය අලුත් නිවහන ඇතුලේ පවුලකුත් තියනවා නේද...ලස්සන කෙලි පොඩ්ඩක්...නිරෝගී සැමියෙක්...වේල් තුනටම කැමති දෙයක් කන්න සල්ලි...ඇඳුම් පැළඳුම්...යාන වාහන...

දැන් මොනවද නැත්තේ...

මොනවා තිබුනත් හිතේ සතුටක් නැහැ...කාගේද වැරැද්ද "සු"....

වරද තියෙන්නේ ඔයාගෙම හිතේ "සු"...

මේ ලියුම ඔයාගේ අම්මට පෙන්නන්න...මං කියන්නෙත් එයා කියන කතාවම නේද...

සර්වසම්පුර්ණ ගැහැණු මිනිස්සු මේ ලෝකේ නෑ "සු"...

සුජීවගේ කතා වල වගේ හැම මිනිහම, ගෑණි එනකල් කන්න බලන් ඉන්නෙත් නැහැ...

තේ එකෙන් ටිකක් බීල, ගෑණිගේ පංගුව ඉතිරි කරන්නෙත් නෑ...

උදේ වැඩට යන්න කලින් නළලට හාදුවක් දෙන්නෙත් නෑ...

ගෑණිගේ රැකියාවේ ඉහලට යන්න කියල, තමන් උයා පිහාගෙන දරුවෝ බලාගෙන ඉන්නෙත් නෑ...

හැබැයි මේ හැමදේම කරන ගැහැණු සහ මිනිස්සු දෙගොල්ලොම නැත්තෙත් නෑ...

ඔය ඔක්කොම කරන්න දෙන්න එක තැනක ඇත්තෙත් නැහැ...එක්කෝ සැමියා රැකියාවට වෙන් වෙලා ගිහින්...එහෙම නැත්නම් බිරිඳ...දෙන්නා මුණ ගැහෙන්නේ සතියකට, මාසෙකට, අවුරුදු ගණනකට වතාවක් වෙන්නත් පුළුවන්...ඒ මිනිස්සු කොයි තරම් දුකක් හිත් වල දරාගෙන ඇතිද "සු"...

තමන්ගේ දරුපවුල වෙනුවෙන් හැමෝම පරිත්‍යාග කරලා තියෙන්නේ තමන්ගේම සතුට...

ඔයා දන්නවද ඔය සේරෝම දේවල් මතක් වෙන්න ගන්නේ, හිතන්න වෙන කිසිම දෙයක් නැති වුනාම...තමන්ගේ මූලික අවශ්‍යතා සියල්ලම සම්පුර්ණ වුනායින් පස්සේ තමයි මිනිස්සුන්ට ඔහොම හිතෙන්නේ...

අපි හිතමු ඔයාගේ මහත්තයට දරුණු අසනීපයක් හැදුන කියල...ඔයාට කාලයක් තියේවිද තමන් ගැන හිත හිත දුක් වෙන්න...

නෑ...

ඔයාට වෙනවා දරුවයි, මහත්තයයි දෙන්නවත් බලාගෙන... රැකියාවත් කරගෙන...බෙහෙත් හේත් වියදමුත් හොයාගෙන...දරුවාගේ අධ්‍යාපන කටයුතු වලටත් වෙලාව හොයාගෙන...අරන් තියන ණය සේරෝමත් ගෙවාගෙන...උයන, පිහන, රෙදි සෝදන, ගෙදර දොර වැඩ කටයතු සේරෝමත් කරගෙන...ජීවිතේ එක්ක සටන් කරන්න...

මගේ අම්මා එහෙම කරපු ගැහැණියක්...

ඒ වුනාට අද වෙනකල් ඇය ජීවිතේට දෙස් තියලා නැහැ...

"සු" ඔයා කොයි තරම් වාසනාවන්තයිද කියල, ඔයාවත් දන්නවා ඇති කියල මං හිතන්නේ නෑ...

මේ ගිය අවුරුද්දේ මං ලංකාවට ගිය වතාවේ අහපු කතාවක්...

"ඕ එයා ඔයාගේ යෙහෙළියක්ද...එයාට කරදර ගොඩක් වුනානේ...මාස්ටර් උපාධිය සම්පුර්ණ කරන්න අවුරුදු පහක් ගත වුනා...අවසානයේ මට ඉල්ලීමක් කරන්න විශ්ව විද්‍යාලයෙන්...කල් ගත වීමට කරුණු දක්වලා"

මෙහෙම කිව්වේ මගේ මහාචාර්යවරිය...ඒ වගේම ඒ ආයතනයේ අධ්‍යක්ෂකවරිය...

"මාව අසනීප වුනා...පුතා හන්ද ගොඩක් වැඩ එක දිගට කරන්න බැරි වුනා...අන්තිමට මායි, පුතයි එකට පාඩම් කලේ"

එහෙම කිව්වේ ඒ සිදුවීමට මුහුණ දුන්න මගේ යෙහෙළිය...අම්මෙක් වෙලා දරුවන් වෙනුවෙන් තමන්ගේ අරමුණු වල වේගය අඩපණ කල මගේ යෙහෙළිය...එහෙත් ඇයට තිබුනේ කණගාටුවක් නෙවෙයි...

සියල්ල සාර්ථකව, සමබරව ඉටු කරගන්න යහපත් අරමුණක්...

තව කතා නම් ඕනෑ තරම් තියනවා "සු"...

තමන්ගේ දරු පැටවුන්ගේ අනාගතය වෙනුවෙන්, වෛද්‍ය වෘත්තීය අත් හැරපු අම්මලත් මේ ලෝකේ ඉන්නවා "සු"...

ඒ වගේම රැකියාව ඉහලින්ම සාර්ථක කරගෙන, සියලු සම්පත් සහිතව අම්මා කෙනෙක් නොවීමේ දුක් වාවා ගැනීම...ඒ දුකත් මං අහල තියනව "සු"...

කොහොම කලත් බුද්ධ දේශනාවට අනුව අපේ පංචස්කන්ධයෙන් විදින හැමදේම දුකක්...

මට නොතේරෙන අවුල් කියල ඔයා කිව්වට මං මේ විඳින්නෙත් දුකක්...

ඉතින් "සු"....... 

අම්මෙක් වුනත් දුකක්...අම්මෙක් නොවුනත් දුකක්...

අම්මෙක් නොවුනාට මමත් දරු පවුලකටම අම්මෙක් "සු"..................

ඉතින් මගේ ආදරණීය "සු"...

ජීවිතේ හැම තත්පරයක්ම වෙනස් වෙනවා...ඒ හින්ද ඒ තත්පර වලට වද නොදී ඒවා විඳින්න...

මං නවතින්නම්...

තෙරුවන් සරණයි...

ප.ලි.

හිත රිදුනට කරන්න දෙයක් නෑ...ඇත්ත කොහොමත් තිත්තයි "සු"...

ජීවිතයක් තිබුන පලියට, ඒක ජීවිත කථාවක් වෙන්නේ නැහැ "සු"...ඒකත් හොඳට මතක තියාගන්න...

ඔයා ඒක කථාවක් කරන්න...

මං එදාට ජීවත් වෙලා හිටියොත්, පොරොන්දු වෙනවා, මං ඒ කතාව ලියන්නම්... 



..........................................................................................................................................

25 comments:

  1. ලියන්න ඕන හැමදේම ලියල. ඇය තරහ නොගොහින් තමන්ගේ පාවහන් වලින් ඉවත්ව හිතල බැලුවොත් ඇයට ගොඩ යන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් මට ලියන්න අමතක වුන වචන ටික මතක් කරලා දුන්නට...හැමෝගෙම සපත්තුවකට තියනවා කතාවක්...හැබැයි ඒ සපත්තුව හිතන් ඉන්නවා නම් එයා තමයි වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ කියල, ඔබ කියන්නා වගේ එතනින් එපිටට ගිහින් හොයල බැලුවොත් ඇත්ත වැටහේවි...

      Delete
  2. This article is written for me akka. Iam a mother who is doing a job as a staff grade officer with a huge responsibility and having a husband who never helps me in any way. He is my university boy friend and he never knows how to show his love to me. (But I know he loves me). I have two kids. I wake up at 4.30am and sleep almost at 12.00 pm. I am the cook, launderer, cleaner, servant, teacher of the kids, The person who examines my husband's student's pass papers(I even prepare pass papers because i too have a degree of mathematics as my husband). Also now iam reading for my masters degree, which i started this year.(I had to wait till my son comes to the age of three at least). Most of my friends in visaka and my batch mates, SLAS batch mates have passed me in the way of development. I am still walking slowly. Economically iam not rich. i do not have my own car or my own house. I also some times think that i am unfortunate with this tired life. But there were times i felt that iam doing something for others. Thanks akka for showing me that i should be proud about me because iam sacrificing me for my people's future. thanks for every word of you . I got a kind of relief

    ReplyDelete
    Replies
    1. This made me so emotional nanga. I didn't know that little girl who was sitting next to me at the study table had this much of strength. I am so proud of you.

      If you are devoting your time, love, life or anything else for your loved ones, don't regret it...Everything happens for a reason...Sometimes, you can change it...Sometimes, you may just have to adapt...Or else you just have to quit...Three simple options...We always have to learn how to compromise...You are doing your best with a good intention...Hard work always pays off, in some or the other way...

      Strong people never complain...or never empathize themselves...Be thankful to your life...We won't even realize how blessed our lives are compared to so many other people in this world...

      Hats off to you...

      Delete
    2. Thanks for your kind words. what you do is giving an opportunity to your readers to have a dialogue with their own soul. I read other replys too. As you said iam fortunate to have that half of the egg, or sometimes more than it. and as you said may not this life an examination which examines the ability of patience of mine? Any way , you also should be proud of you because you are also doing a counselling job for all your readers. good luck and again thanks.

      Delete
  3. "අවුල් තියෙන්නේ පවුල් වල නෙවේ "සු" මේ අපේම හිත් ඇතුලේ" මටත් හිතන්න යමක් දුන්නට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල් මල්ලි...අනිවාර්යෙන්ම...දිව්‍ය ලෝකයයි, අපායයි දෙකම තියෙන්නේ අපේ හිතිවිලි වල...

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි නංගෝ...

      Delete
  5. ගැහැණු බොහෝ දෙනෙක් පිඟානට ලැබුණු බිත්තර බාගෙ දිහා බලපු උපෙක්ෂාවෙන්ම ලෝකය දිහා බලනවා කියලා මට හිතෙනවා. ඔව්, බිත්තර බාගෙ. අඩුම ගාණේ අපට බිත්තරෙන් බාගයක් ලැබුණනෙ...ඔය ටිකවත් නොලැබෙන අය කොයිතරම්ද...අපට උගන්නනවා,කාපන් ඔය බිත්තර බාගෙ, උඹ තමයි ඒ කැප කිරීම කරන්න ඕනෙ. මැරෙනකම්ම අපි ඔය බිත්තර බාගෙ කනව. ඔව්, මැරෙනකම්ම. ඒක කකා අපි ඒ බිත්තර බාගෙ සාධාරණීකරණය කරනවා.අපි ඔය බිත්තර බාගෙ නොකෑවොත් සමාජ සංස්ථාවක් බිඳවැටෙන නිසා අපි මාටර්ස් ලා වෙනවා.අපේ පිඟානෙ තියන ලොකු මස් කෑලි, මාළු කෑලි, සොසේජස් පෙන්න පෙන්න අපිම ඔය බිත්තර බාගෙ වහනවා. ගැහැණු කියන්නෙ බිත්තර බාගයක් කාලා ජීවත් වෙන මාටර්සා කාණ්ඩයක්. මුලු බිත්තරයක්ම කන එකාට ඒ ප්‍රශ්නෙ නෑ.උන්ට තියෙනවා වෙනත් ප්‍රශ්න, මම නෑ කියන්නෙ නෑ. බිත්තර බාගයක් කන එකේ කොතැන හරි ගැටළුවක් තියෙනවා. අඩුම ගාණේ අපි ඒක අවබෝධයෙන් කමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හොබෝ අපූරු අදහසක් මතු කලාට...

      ඔය බිත්තර බාගේ කාල සැනසෙන්න බැරිව අවුල් වුන ජීවිත කොයි තරම් නම් ඇතිද හොබෝ...ඔබ කියන්නා වගේ, ඒක නැති අයත් කොයි තරම් ඉන්නවද...

      ඔතැන තියන ගැටලුව ලද දෙයින් සතුටු නොවීම කියලයි මට හිතෙන්නේ...එහෙමයි කියල මම කියන්නේ නැහැ වහලියක් වෙන්න ඕනේ කියල...ඕනේ දෙයක් වෙනකල් බලන් ඉන්න ඕනේ කියල...නමුත් අර කියන්නා වගේ කන ටික නියම අවබෝධයෙන් කෑව නම් මේ තරම් ප්‍රශ්න නැහැ...

      බිත්තරයක්ම කන්න තියන ඈයෝන්ට තියෙන්නේ චිකන්, බිරියානි වගේ දේවල් කන්න නැති සෝකය...ඔය හැම එකම කන්නේ ජිවත් වෙන්න කියල කවුරුත් හිතන්නේ නැහැනේ ...

      Delete
  6. බොහොම ලස්සන ලියමනක්. සමහර වෙලාවට මම මගේ බිරිඳට උදව් කරනවා මදි කියල හිතෙනවා. කොහෙද මේ බ්ලොග් කියන්නේ ලෝකයේ වැදගත්ම මුදල් නොලබා කරන පාර්ට් ටයිම් රැකියාවක් නොව. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්...ඔබට එහෙම දෙයක් හිතුන එක ගැන සතුටුයි...උදව්වක් කරන්න බැරි උනත්, තමන්ගේ බිරිඳගේ කාර්ය භාර්ය ගැන හිත ඇතුලේ අගැයීමක් තියන එක තමයි වඩාත් වැදගත්...

      ඒක නම් ඇත්ත ඒ රැකියාවට ඇබ්බැහි වුනාම ආයිමත් ගැලවෙනවා බොරු... :)

      Delete
  7. පාඩම් කීපයක්ම මේ වටිනා පෝස්ටුවේ තියෙනවා පොකුරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී...

      Delete
  8. හරිම අපූරු, ලස්සන ලියමනක්!
    මේ ලෝකෙ ලස්සන වෙන්න ගැහැණු පිරිමි දෙගොල්ලොම ඕනේ. සමානාත්මතාවය, නිසි තැන , සමතැන මේ ඔක්කොම බොරු බයිලා. අපේ ජිවිත අපිට ඕනේ විදියට වෙනස් කරගන්න හෝ නොගන්න එක තියෙන්නේ අපේ අතේ. මම දැකල තියෙනවා කාන්තාවන් බොහොම දෙනා විවාහයේදී වරද්දා ගන්නවා. නැත්තම් අපි අපිට විවාහයේදී වැරදුනා කියන්න බොහොම කැමතියි. ඒක බොහොම දුක්මුසු, රොමෑන්තික වැලපීමක්.
    අපි අලුත් පරම්පරාවක උනාට අපේ අම්මලා තාත්තලා ඊට කලින් පරම්පරාවේ. මේ නොගැලපීම හින්ද අපි තීරණ, ස්වාධීන මත හිතුවක්කාර කම් විදියට හංවඩු ගැහෙනවා බොහොම වෙලාවට. ඇයි අපි බය හිතුවක්කාර වෙන්න. හිතුවක්කාර නොවී වැරදුනාම ඒ වැරැද්ද කාගේ හරි පිටට දාන්න පුළුවන් නිසාද?
    මමත් සුජීවගේ පොත් ගොඩක් කියවල තියෙනවා. ඒත් ඒවා ජීවිතේට සමපාත කරගන්න ගියා නං මං තුන් හතර දෙනෙක් එක්ක යාළුවෙලා, දහවෙනියට ආපු මනමාලයව බැඳගන්න බොහොම ඉඩකඩක් තිබ්බා. ඒත් මොලේ කියන දේ කලඳකට වැඩියෙනුත්, හිතුවක්කාර කමත් හින්දම මට ජිවත් වෙන්න පුළුවන් කෙනෙක්ව පලවෙනි වතාවෙම යාලු කරගෙන එයාවම බැන්ද. ජිවිතේ කියන්නේ රෝස මල් මිටියාවතක් නෙවෙයි. නමුත් අපි මේ මොහොතේ ජිවත් වෙන්නේ එක පාරයි.
    සුජීවගේ කතා ජිවිතයට ආදේශ කරගන්න ගිය මගේ වෙද්‍ය මිතුරියක් තමන්ගේ ජිවිතේ අපායක් කරගෙන, සැමියා හා දරුවාගේ ජිවිතත් අපායවල් බවට පත් කරමින් ඉන්නවා. සමහර ගැහැණු තමුන්ට නොලැබෙන දේ මත්තෙම මැරෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට බොහොම ආදරෙන් පිලිගන්නවා...

      හරිම වටිනා අදහස් පෙළක් එකතු කලාට බොහොමත්ම ස්තුතියි...

      //අපිට විවාහයේදී වැරදුනා කියන්න බොහොම කැමතියි. ඒක බොහොම දුක්මුසු, රොමෑන්තික වැලපීමක්//
      අනිවාර්යෙන්...සමහරු මේ වැළපීම මානසික රෝගයක් කරගන්නවා...තමන් නොදැනුවත්වම තව කෙනෙකුගේ අනුකම්පාව ලබා ගන්න...

      //සමහර ගැහැණු තමුන්ට නොලැබෙන දේ මත්තෙම මැරෙන්නේ ඇයි?//

      මේ දේට ගැහැණු පිරිමි බේදයක් නැහැයි කියලයි මට නම් හිතෙන්නේ...බොහොමයක් මිනිස්සු වැඩිපුරම කරන්නේ තමන්ට නොලැබෙන දේ ගැන හිතල විඳවන එක...

      විවාහය රෝමාන්තික නවකතාවක් කරගන්න අවශ්‍ය වෙන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා සම්පුර්ණ වුනාම...බැල්මක, වචනෙක පවා අඩු පාඩු හොයන්නේ, හොඳට බඩ කට පිරිලා දූවිලි පොදක් නොවැදී පාරේ තොටේ යන්න, වායුසමීකරණය කරපු සුවපහසු කාමරයක නිදාගන්න ලැබෙන කොට...වේලක් හැර වේලක් කන මිනිස්සුන්ට තියෙන්නේ ඊට වඩා ගොඩක් වෙනස් ප්‍රශ්න...මේ හැමදේම වෙන්නේ මිනිස්සු ලද දෙයින් සෑහීමකට පත් නොවුනම...

      හිතුවක්කාර වෙනවට වඩා බොහොම ලෙහෙසියි පසු බහින එක...මිනිස්සු කැමති පහසු දේ කරන්න...හිතුවක්කාර වෙන්න, වගකීම් ගන්න, තනි තීරණ ගන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ...දිගු කාලීන සැලසුමක් හිතේ තියන මිනිහෙක් තමයි නුවණක්කාර විදියට හිතුවක්කාර වෙන්නේ, තව කෙනෙකුගේ ජීවිතේට බලපෑමක් නොවෙන්න...එහෙම දෙයක් කරද්දී තමන්ගේ කාලය, ශ්‍රමය, බුද්ධිය මේ හැමදේම සම්පුරණයෙන්ම කැප කරන්න වෙනවා...ඕක එහෙම කිව්වට කරද්දී ලේසි නැහැ...කොයි තරම් හිතේ හය්යක් තිබුනත් සමහරු මගදී අතාරිනවා...එහෙමත් නැත්නම් ඒ වගේ දේවල් ඈත තියා දැකල හෙමින් සැරේ පසු බහිනවා...ඕනෙම කට්ටක් කන්න පුළුවන් කියල රැඩිකල් කතා කිව්වට, ඒ කියන ඈයෝ දන්නවා, ඒ දේ කරන්න ලේසි නැහැ කියල...ඊට වඩා හොඳයි දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ඉන්නෙක...එහෙම ඉන්න ගමන්, අනේ අපොයි මට වෙච්චි දේ කියල තමන් ගැනම හූල්ලන එක...

      Delete
  9. හුහ් අර අහවල් දේකටද ඉතින් ඔව්ව අපිට කියන්නෙ?.... විහිලුවක් හොඳේ....නියමයි...:)

    ඉතිං ඉතිං…. මේක දැන් සූට යැව්වද?

    "Most people have never learned that one of the main aims in LIFE is to ENJOY it"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී :)

      "අවසන් ලියුමයි ඔබට ලියන්නේ" වගේ කතන්දරයක් වේවි කියල පොඩි සැකයක් තියන නිසා තවම නම් යැවුවේ නැහැ...හැබැයි දකින්නත් ඇති...

      Totally agreed Ravi...But you know, enjoying the life is an Art...and for that you just need your mind to let go of things and be relaxed...

      Delete
  10. මේ කතාව කියවන අම්මලා තමන්ගේ පුතාව අනිත් අයගේ හැඟිම් ගැන හිතන කලයුතු දේ නිවැරදිව වටහා ගන්න හැකි විදිහට සහ ගෙදර වැඩ වලට සහභාගි කරගෙන හදනවා නම් ලොකු දෙයක්...

    මේ කතාව කියවන සැමියන් හැකි පමනින් තම ලෙයින් උපන් දරුව සහ ඒ දරුවගේ මවට ආදරයත් ගරු කිරිමත් දැනෙන්න දෙනවා නම් ලොකු දෙයක්..

    මේ කතාව කියවන කුමන හෝ ගැහැනියක් විවාහයකට සහ දරු උපතකට කලින් තමනගේ "තනි" දරා ගැනිමේ හැකියාව ගැන හිතනවා නම් ලොකු දෙයක්...

    අපි ජීවත් වෙන්න ඕන එකට මිසක් වෙන වෙනම නෙමේ. නැගිටින්න ඕන තනි තනිව නෙමේ එකට.

    මගේ විවාහය දවසේ ස්තුති කතා අතර සැමියගේ ලොකු තාත්තා කිව්ව මෙන්න මේ දේ අද වගේ මට මතකයි..

    පුතේ දුවේ ඔයලා දෙන්නා අද මේ නැග්ගේ බයිසිකලේකට කියලා හිතන්න .. එක්කෙනෙක් වේගෙන් පැද්දොත් අනිත් කෙනාට එයාව අල්ලන්න පදින්න ගිහින් හති වැටෙනවා.. එක්කෙනෙක් හිමින් ගියොත් අනිත් කෙනාට ගමන යන එක එපා වේවී. දෙන්නම එකට යන්න.. ඉස්සරහ වෙන්නත් එපා.. පස්සෙන් යන්නත් එපා.. එක්කෙනෙකුට යන්න බැරි දෙන්නම නතර වෙලා යන්න..කවදාවත් තනි තනියෙන් ගොඩක් දුර යන්න එපා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා...

      ඔයා හරිම අපූරුවට මගේ කතාවෙන් දුන්න පණිවුඩ සියල්ලම ගොනු කරලා තියනවා...

      //පුතේ දුවේ ඔයලා දෙන්නා අද මේ නැග්ගේ බයිසිකලේකට කියලා හිතන්න..... //

      බොහොම ගැඹුරු තේරුමක් ඇති, කිසිදාක අමතක නොවෙන ආකාරයේ උපදෙසක්...විවාහ ජිවිතයම ඒ තාත්තා වචන කිහිපයකට ගොනු කරලා තියෙනවා...බොහොම ස්තුතියි නිම්නා ඒ දේ මෙතැනට එකතු කලාට...මේ සටහන කියවන හැමෝටම බොහොම ලස්සන උපදෙසක්...

      Delete
    2. ස්තුතියි පොකුරු.. මේ ලොකේ කොහේත් ඉන්නේ පිරිමි , ගෑනු.. ඒ දෙගොල්ලම හරිත් නැ වැරදිත් නැ, තමන්ගේ සහකරුට හෝ සහකාරියට ඇඟිල්ල දිඟු කරන්න කලින් තමන්ගෙන් විය යුතු දේ අනිත් පාර්ශවයට අවශ්‍ය ලෙස ඉටු වෙනවාද බැලීම වටිනවා.. කොහෙවත් 100% ගැලපෙන දෙදෙනෙක් හොයන්න බැ, දෙදෙනෙක් එක වහලක් යට ගලපගන්න දෙන්නාගෙන්ම ලොකුම ලොකු කැපවීමක් ඕන. සමහර අය ඒ ගැලපීම කරගන්න ඕන වෙන තමන්ගේ "Comfort zone" එකින් එළියට නොයා කියනවා අනිත් පාර්ශවයේ අඩුපාඩු.. කිසිම සබඳතාවයක එක පාර්ශවයක් විතරක් වැරදි නැ, එහෙම එක් අයෙක් වැරදි නම් (හෝ අඩුපාඩු තිබේ) එතන දෙදෙනෙක් අතර සබඳතාවයක් තිබිලා නැ

      Delete
  11. ඔයැයිට තිබ්බේ මනෝ වෛද්‍යවරියක් වෙන්න.. :) ඔක්කොම rat race පැත්තක තියලා නෝනගේ සපත්තු දෙකට පොඩ්ඩක් බැහැලා බලන්න හිතුවා.. අපේ උන්දා ඒ පැත්තෙන් බ්‍රිගේඩියර් කෙනෙක් වගේ.. මම නැතුව මුලු brigade එකක්ම ලස්සනට පාලනය කරගෙන සතුටින් ඉන්නව.. at least මම එහෙම හිතාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ගෑණිගෙ සපත්තු දෙකටත් කෙලින්නයි මූ හදන්නෙ

      Delete
    2. බොහොම ස්තුතියි කමි...මෙහෙ ආවට පස්සේ බොහොම අන්තගාමි පෞරෂයක් තියන කෙනෙක් සමඟ අවුරුදු පහක් රාජකාරී කරන්න වුනා...මගේත්, සමාජේ මුණ ගැහෙන අනිත් අයගෙත් හිතුවිලි ගැඹුරින් අධ්‍යනය කරන්න පුරුදු වෙන්න ඒකත් එක්තරා හේතුවක්...ඇත්තටම මේ රිසර්ච් වලට වඩා එහෙම වෙන්න තිබුන නම් හොඳයි තමයි :)...

      කමිට බිරිඳ ගැන බොහොම සතුටු වෙන්න පුළුවන්...ඒ නිසා ඉතින් කමිට තමන්ගේ රාජකාරිය හරියට කරගන්න පුලුවනිනේ...

      Delete