Sunday, July 12, 2026

ආදරෙයි බට්ටි...

බට්ටි ඉස්සර හරිම කැහැටුයි. කිරිකැටියා කාලේ ජීවත් උනේ ගමේ පන්සලේ. අපේ චූටි සුදු දෝණිගේ ලොකු හදවත උණු වෙලා එකතු උනු පුංචි දිය පාර දිගේ අමාරුවෙන් පීනාගෙන බට්ටි එයාගෙ ගෙදර ආවෙ. සුදු දෝණිගෙ අප්පච්චිත් බට්ටිට ගෙදරට පීනගෙන එන්න පොඩි උදව්වක් කළා. සුදු දෝණිගේ සුදු නැන්ද කියල තියෙන්නෙ ඒ ගෙදර පූසොන්ට වැඩි ආයුෂ නෑ කියල. ඒ නිසා සුදු දෝණි කලින්ම ආරක්ෂිත ක්‍රියා මාර්ග අරගෙන ඉදිරි ආරක්ෂක වළල්ල සකස් කළා. බට්ටිව එයාගේ ඇස් මානෙන් පිටට නොයවා ඉන්න සියළු වැඩ කටයුතු සම්පාදනය කළා. බට්ටිට නිදා ගන්න සහ ජීවත් වෙන්න හුරුබුහුටි ගේ පොඩ්ඩක් හදල දුන්නා. පුදුමෙකට වගේ බට්ටි ඒ සියළුම දේවල් වලට අවනත වෙලා, ගෙයි හතර මායිමෙන් පිටට නොයා ඉන්න තරමට කීකරුව හැදුනා. අපි කොයි කවුරුත් කීකරුව ඉන්නේ ඉතින් බහ තෝරන කල් විතරනේ. බට්ටි කියලත් ලොකු වෙනසක් නෑ. දැන් බට්ටි බහ තෝරලා ඉවරයි.


බට්ටි ටිකක් අත පය හතර පණ ගහල ආවට පස්සේ, නිතර ගැවසෙන තැනක් තමා සුදු දෝණිගේ ගෙදර පිළිකන්නේ තියන ලස්සන ගෙවත්ත. ඒ ඉඩකඩේ තියන කොහේ හරි පඳුරකට මුවා වෙලා පියාඹන්නයි, ගස් උඩ යන්නයි ඉගන ගන්න එක තමයි බට්ටිගේ දවල් දවසේ රාජකාරිය. ඉඳ හිටක බට්ටිගේ තටු දෙක ක්‍රියාත්මක වෙන දාකට, වැඩිය ඇඟේ පතේ හය්යක් නැති ලේන් බබෙක් කටේ ගුලි කරන් ගේ ඇතුලේ එහෙ මෙහෙ දුවන එක තමයි බට්ටිගේ ප්‍රියතම සතුට. ඒ වෙලාවට සුදු දෝණිගේ ආච්චියි, අම්මයි, බට්ටිගේ පස්සේ දුවන්නේ රොනාල්ඩෝ බෝලෙ පස්සේ දුවනවා වගේ, ගේ ඇතුලේ තියන වංගු වලින් හැරි, හැරි බට්ටිව අල්ල ගන්න... දොස්තර හොඳ හිත (අලුත් පරම්පරාව දන්නෙ ඩොක්ටර් ඩූ ලිට්ල් කියල) වගේ හිටියට සුදු දෝණි නෙවේ බට්ටිට වචනයක් කියන්නේ.... ඒ වගේ ලේන් බබ්බු, බට්ටිගේ කටින් බේරගෙන උන්ට කිරි පොවලා, තෙල් ගාල බලාගන්න එක තමයි එහෙම දවස් වලට සුදු දෝණිගේ රාජකාරිය. ඒ කාලෙට සුදු දෝණිගේ අම්ම තමයි සුදු දෝණිගේ සහයක සාත්තු සේවිකාව. ඒ අතරේ ගෙදර තියෙන උම්බලකඩ කුඩු කරලා පස් හය වේලක් බට්ටිට කන්න දෙන්නත් සුදු දෝණි අමතක කරන්නේ නෑ. උම්බලකඩ තමයි බට්ටිගේ කුඩා අහාරය නොහොත් අපි ඉංග්‍රීසියෙන් කියන "ස්නැක්" එක.  ඒක ලැබෙන්නේ, අර පදමට තම්බල දෙන කහ කුඩු, ගම්මිරිස් කුඩු ඉහල ප්‍රධාන ආහාර වේල් වලට දෙන සාලයන්ට අමතරව. ඒ විස්තරේ මට කිව්වේ, සුදු දෝණිගේ අක්කා, සුදු මැණිකේ. බට්ටි ඒ සාලයත් එක්ක පොඩි වෙලාවක් ක්‍රීඩාවේ යෙදිලා ගෑරුප්පුවෙන් ඇනල, පිහියෙන් කපලා බොහොම සීරුවට කනවා කියලා තමයි සුදු මැණිකේ මට කිව්වේ... 


ඔය සාලයත් එක්ක තමයි බට්ටිගේ නැවුම් ප්‍රේමය ගැන ඉතා දීර්ඝ, සවිස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක පැහැදිළි කිරීමක් මට මෑතකදි ලැබෙන්නේ. කළින් කසු කුසුවක් තිබුනට දැන්, ආයිමත් කතන්දරේ අළුතින් ලියවෙනවා වගේ දැනිච්ච නිසා, මමත් ඉතිං මෙදා පාර හරියටම විස්තර ටික මතකයේ ගබඩා කරගත්ත. නැත්නම් සුදු මැණිකේ පස්සේ නෝක්කාඩු කියනවා....මට හිතෙන විදියට බට්ටි දවල්ට හැංගි මුත්තන් කරද්දී තමයි වැට මායිමෙන් එහා, පුළුන් ගෙඩියක් වගේ ඉන්න කිටියව දකින්න ලැබෙන්න ඇත්තේ... බට්ටි ආයිත් දෙපාරක් හිතුවේ නෑ. කෙළින්ම නැවතුනේ වැට පැනල, කිටියගේ ගෙදර.  නවනිංගිරාවයි........ එහෙ ආච්චි විගහට මෙහෙ ආච්චිට විස්තරේ කිව්වා...... සුදු දෝණිගේ ආච්චියි, අම්මයි දෙන්නම, හරි සුකුමාල, විලි සංගෙ ඇතුව හැදිච්ච උදවිය. ඒ හන්ද වැඩේ දුර දිග යන්න කලින්, ඇමෙරිකාවේ අම්මල තමන්ගේ දියණිවරුන්ට කරනවා වගේ, සුදු දෝණිගේ අම්ම, බට්ටිව අරන් ගිහින් අවශ්‍ය උපත් පාලන කටයුතු ටික සිද්ධ කළා. ඒ හන්ද යන්තම් හතර වරිගේ නම්බුව නම් බේරුනා... සුදු මැණිකේ කියන්නේ බට්ටිගේ, පන්සලේ උන්නු සහෝදර, සහෝදරියෝ දැන් මී මුණුපොරොත් දැකල ඇති කියල...

තරුණ වියේ ඉන්න දරුවන්ට වගේ, මොනවා පාලනය කළත් අපිට බට්ටිගෙයි කිටියගෙයි හිත් නම් පාලනය කරන්න බැරි වෙලා කියල තේරෙන්නේ දැන්. කිටියයි බට්ටියි මුලින්ම මුණ ගැහිලා, ඔය කියන සිද්ධි වෙලා දැන් අවුරුද්දකට වැඩියි මගෙ හිතේ. කිටියා දැන් බයක්, හැකක් නැතුව සුදු දෝණිගේ ගෙදරට යනවා, එනවා. සුදු දෝණිගේ ආච්චි කියන්නේ කිටියවයි, බට්ටිවයි ඈතට වෙන් කරලා අඳුරන්න අමාරුයි කියල. දෙන්නගෙම ලා දුඹුරු පාට පුල්ලි තියනවා, කිරි සුදු පාටයි. ඒ උපන් සුද මිසක, බ්ලීච් වර්ග ගාල නෙවේ. ආච්චි නම කියල කතා කළාම අදාළ කෙනා නම් ලඟට එනවලු. ආච්චි කියන්නේ කිටිය පුළුන් ගෙඩියක් වගේ කියල. හරි ලස්සනයිලු. ආච්චි කොහොමත් ලස්සනට පෙරේතයි. සීයව පෙනුනේ ගාමිණි ෆොන්සේකා වගේ කියල තමයි අදටත් කියන්නේ, මක් කරන්නද සීයා, ආච්චිව දාල ගිහින් දැන් අවුරුදු විසි පහකටත් කිට්ටුයි. ඒ උනාට ආච්චිගේ ආදරේ කිසිම අඩුවක් නෑ. කවුද දන්නේ කිටියයි, බට්ටිත් එහෙමද කියල. සුදු මැණිකේ කියන්නේ දෙන්න එක්ක සෙල්ලම් කරනවා කියල. වැඩිහිටියෝ, බට්ටිගේ සියලුම මානව අයිතිවාසිකම්, කල් තියාම අහෝසි කරලා නිසා, උන් දෙන්න සෙල්ලම් කරනවා ඇර ඉතින් මක් කරන්නද...


බට්ටිට අම්ම කෙනෙක් වෙන්න නොදුන්න එක සංසාරෙට කරගන්න පිනක්ද, පවක්ද කියල මට තවම පැහැදිළි මදි. තිරිසන් අපාය කියන්නේ ඒකයි. ඒ කෙසේ වෙතත්, කිටිය නම් ඉතිං සත්‍ය ප්‍රේමවන්තයෙක් කියල අපි කවුරුත් හිතන්නේ නෑ. සුදු මැණිකේ කියන්නේ කිටියා එන්නේ අම්මා දෙන සාලය නිසා කියල. මොකද ඒ සාලයව සකස් කරන්නේ තරු පහේ හෝටලයක තියන, සුදු දෝණි විසින් කරුණු පිරික්සල, සකස් කරන වට්ටෝරුවකට. ඒකට කිටියත් කෑදරයි කියල ඔප්පු කරන්න සුදු මැණිකේ සාක්කි හොයාගෙන. අම්ම කිටියට සාලය දුන්නම එක කටට ගුඩුස් ගාල ගිලිනවලු. බට්ටිට වගේ හැඳි ගෑරුප්පු ඕනේ නැහැලු. සෙල්ලක්කාර කොලු ගැටවුන්ගෙයි, හැදිච්ච ගෑණු ළමයින්ගෙයි වෙනස. නොගැලපීම කල් තියා දැන ගන්න නම්, සුදු මැණිකේ වගේ කෑම කන විදිය හරියට නිරීක්ෂණය කරලා, ඒක මොළෙන් විශ්ලේශණය කරලා බැලුවත් ඇති. බට්ටිට ඉතිං ඔව්වයේ ගානක් නෑ කියල තමයි සුදු මැණිකේ කියන්නෙ. මොකද බට්ටිට කිටිය එක්ක දීර්ඝකාළීන ලෙස කැප වූ  සහසම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න ඒ හැටි කල්පනාවක් නැති නිසා. බට්ටිට ඕනේ තමන්ගේ වරිගේ කෙනෙක් එක්ක හිතවත්කමින් ඇසුරු කරන්න විතරයි. ඒ උනාට ගෑණු ළමයින්ටයි, පිරිමි ළමයින්ටයි ළඟ යාළු කම් තියා ගන්න නම් ලොකු අවබෝධයක් ඕනේ. කිටිය එන්නේ ඔව්ව ගැන හිතාගන නෙවේ කියල අපි කොයි කවුරුත් දන්නවනේ...

ඉතිං අපි බලාන ඉමු...කිටියගෙයි, බට්ටිගෙයි කතාවෙ අවසානය කොහොම විසඳෙයිද කියල. මගෙ හිත කියන්නෙ නම් කිටියා කොයි වෙලාවේ හරි ආච්චිගේ සුමුදු කොසු ප්‍රහාරයකට ලක් වෙයි කියල, තැන නොතැන නොබලා, මුත්‍රා පහ කරලා. අපි බලාන ඉමු...

කොහොම වෙතත් අපි ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ බට්ටිටයි, කිටියටයි දීර්ඝායුෂ ලැබෙන්න කියල. මේ ආත්මෙදිම එයාලගෙ සසර ගනුදෙනු ගෙවා ගන්න ලැබෙන්න කියල...

කාලෙකට පස්සේ සුදු මැණිකෙලා, සුදු දෝණිල බලන්න ගියාම බට්ටි පුරු පුරු ගගා මගේ උකුලේ ඉන්නවට මමත් ගොඩක් ආසයි. සත්තු ළඟ තියෙන්නේ මේ ලෝකේ කා ළඟවත් නැති, කොන්දේසි විරහිත, අතිශය සුපිරිසිදු, අවංක වූ ප්‍රේමයක්... 

ආදරෙයි බට්ටි...ආදරෙයි කිටියෝ....ආදරෙයි මගෙ කෙළි පැටවුනේ...

උඹල දෙන්නගේ ලස්සන හිත් හැමදාම ඔය විදියටම මනුස්සකම් වලින්, සහකම්පනයෙන්, ආදරයෙන් පුරවල තියාගනිල්ලා...

මේ ලෝකේ ලස්සන වෙන්නේ, මේ මල් වගේ දරු පැටව් වගේම, සසරේ කල පව් පිං මහිමය අනුව මේ ලෝකේ සැරිසරන අහිංසක සත්තු නිසා...


Image credit: Images were generated using Google Gemini with prompts written by ww (Pokuruwahi)