"මා හිතනවා මෙතැන් පටන්, මා නිසා ඔබට යම් කිසි පහසුවක් වේ යැයි කියා"
එහෙම කියන්නේ ඔලී...ඒ අලුතින්ම අපේ කණ්ඩායමට එකතු වූ තරුණ සහායකයා...
"ඔව් ඔබ හරිම දක්ෂයෙක්...මා ඔබ වැඩ කරන විදියට බොහෝ කැමතියි... මට ඔබ වගේ කෙනෙක් මින් පෙර මුණ ගැහී නැහැ..."
මා පැවසුවේ අව්‍යාජව...පැසසීම එක්තරා අයුරකින් දිරි ගැන්වීමක්...එයින් ඔහු අභිමානයකට පත් නොවන බව මට පසුගිය දින කිහිපය තුල වැටහී තිබුනා...එසේ වන්නේ තමන් තුල ඉතා උසස් ආත්ම විශ්වාසයක් ඇති විට...
"ඔබ එයට ස්තුති කල යුත්තේ මගේ පෙන්සිල්වේනියානු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තුමාට සහ මගේ මින් පෙර කල රැකියාවේ සිටි මගේ ගුරුවරයාට"
ඔහු පැවසුවේ බොහෝ සතුටින්...
"ඔවුන් තමයි පර්යේෂණ අංශය සඳහා ඇතිවූ මගේ කැපවීමට සහ මා ලද දැනුමට මූලික වූ ප්‍රධාන හේතු..."
මට දැනුනේ සියුම් සන්තෝෂයක්...ඔහුට නිසි කලදී ලැබුන නිවැරදි මග පෙන්වීම පිළිබඳව...
"ඔබ වාසනාවන්තයි...ඔබට හොඳ ගුරුවරුන් මුණ ගැහී තිබෙනවා..."
ඔහුගේ මුහුණේ මා දුටුවේ මදහසක සැඟවුන දුක්ඛිත කතාන්දරයක්...
"ඔව් ඒක ඇත්ත...ඒත් ඒ නිසාම මගේ හිස මත බොහෝ විශාල ණය බරක් පැටවුනා..."
ලංකාවේ ඇති නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙන් නොව, ඇමෙරිකාව තුල ප්‍රථම උපාධියේ පටන්ම හැදෑරිය යුත්තේ මුදලට...
"කොයි තරම් ණයද.."
මට ඇසුනේ ඉබේටම...මගේ අනුමානයේ තිබුනේ ඩොලර් විසි දහසක පමණ අගයක්...
"ඔබට දැන ගන්නම ඕනෙද"...
ඔහු අහන්නේ දෑස් වල ප්‍රශ්නාර්ථයක් රඳවාගෙන....
"ඔව්"
මා පැවසුවේ ස්ථිරසාර හඬකින්...
"ඔබට හොඳටම විශ්වාසයිද, ඔබට එය දැන ගන්න උවමනා බව"....
මේ විසිහතර වියැති තරුණයා මගෙන් නැවතත් විමසා සිටින්නේ බොහෝ බැරෑරුම්ව...ඔහුට වඩා වසර දාහතරක ජීවන අත්දැකීම් ඇතද, ඔහුගේ පිළිතුර දරා ගැනීමට මට හැකියාවක් ඇත්ද යන්න ගැන ඔහුට ඇත්තේ සැකයක්...
"ඔව්, ඇත්තෙන්ම ඔව්, මා මේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන හරි හැටි නොදන්නා නිසා...ඔව්..."
මා ඉන්නේ එය දැනගැනීමේ දැඩි ස්ථාවරයක...
"ඩොලර් හැත්තෑපන් දහසක්"....
මා ඇතුලාන්තයෙන් බොහෝ සැලීමකට ලක් වූවද, එය ඔලීට පෙන්වූයේ නැහැ...
"ගිම්හාන මාස වල නිවාඩු නොගෙන පරීක්ෂණාගාරයේ කටයුතු වලට සහභාගී වුන නිසා, මගේ වියදම ඉබේටම වැඩි වුනා...මේ ණය මුදල ඉතිරි වූයේ මට ලැබුන ශිෂ්‍යත්ව වලින් මුදලක් පිය වීමෙනුත් පසුවයි..."
මට මතක් වූයේ නිදහස් අධ්‍යාපනයෙන් පිහිටෙන් විශ්ව විද්‍යාල වලට ඇතුළු වී මහපාරේ යන පෙළපාලි අපේ දරුවන්...නවකයින් හඳුනා ගැනීමට යැයි කියාගෙන, දෙමාපියන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මුදල් පාවිච්චි කරමින් "නවක වදයෙන්" සන්තෝෂ වන අපේ දරුවන්...
මින් පෙර අප කණ්ඩායමේ හිඳි හීන්දෑරි යුවතියක වූ බෙකීට තිබුනේත් මේ හා සමානම කථාවක්...ඒ වෙද්දී ඇය සාමාන්‍ය උපාධිය නිම කර වසර හයකට වඩා ගත කර තිබූ බව මට විශ්වාසයි...
"මා තව නොබෝ දිනකින් මගේ ශිෂ්‍ය ණය අහවර කරනවා...ඉන් පස්සේ මට නිවසක් මිලදී ගන්නට ඉතිරි කරන්නට හැකි වේවි..."
ඇය දැල්වෙන දෑසින් මට දිනෙක පැවසූවේ, ඔවුන්ගේ සිහින අහුරා හිඳින මේ ණය බර කොපමණදැයි සිතා ගන්නට මට ඉඩක් තබමින්...
අවුරුදු දහසයෙන් පමණ පසු දෙමාපියන්ගෙන් සරණක් නොපතන මේ දරුවන් බොහොමයක්, තමාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කුඩා රැකියා කිරීම සාමාන්‍ය දෙයක්...
"ඔබ දන්නවාද ඇමෙරිකානු බැංකු වලට වර්තමානයේ ඇති විශාලම ගැටළුව"
සිතිවිලි අතර අතරමං වී ඉන්නා මගෙන් එසේ අසන්නේ ඔලී...
"ශිෂ්‍ය ණය සහ රෝහල් බිල්...දැනට සෙනේට් එක තුල සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ ශිෂ්‍ය ණය..."
ඔහු කියාගෙන යන්නේ ආර්ථික විශේෂඥයෙකු ලෙසින්...
"මේ රැකියාව ලැබෙන්න කලින්, මා රැකියාවන් එකසිය පණහකට පමණ අයදුම් කළා...බොහෝ රැකියාවන්හි දෙවැනි වටයේ සම්මුඛ පරීක්ෂණ සඳහා පමණයි මා සුදුසුකම් ලැබූවේ..."
"ඔබට දැන් හිතා ගන්න පුළුවන්ද මේ තරම් හොඳ ජීවදත්ත පත්‍රයක් ඇති මගේ තත්වය මෙහෙම නම් රැකියා ගැටළුව මොන තරම් දරුණුද කියා..."
ඔහු දිගටම කියාගෙන යනවා...
"මා රහසින් පතන්නේ එකම දෙයයි...ඒ රජයෙන් ශිෂ්‍ය ණය අහෝසි කිරීම...ඔබ දන්නවාද මා මසකට ඩොලර් නවසියයක් ගෙවුවොත් ඒ ණය වසර දහයකින් අවසන් කල හැකියි...එහෙත් තවමත් මා එය අරඹා නැහැ"
මට ඔහු ගැන දැනුනේ විශාල කණගාටුවක්...
"මට අවශ්‍ය එමොරි විශ්ව විද්‍යාලයේ අචාර්ය උපාධිය හදාරන්න...තව අවුරුදු දෙකකින්"
ඔලී එසේ පැවසුවේ ඔහු අප කණ්ඩායමට එකතු වූ දෙවැනි හෝ තුන්වැනි දිනයෙහි, ඔහුගේ අරමුණු පිළිබඳව මා නැගු පැණයකට පිළිතුරු දෙමින්...
"ඉතින් ඇයි දැන්ම පටන් නොගන්නේ...ඔබ දක්ෂ දරුවෙක්..ඔබ දැන්ම එය ඇරඹුවොතින්, මගේ වසයේදී ඔබට උසස් මට්ටමට ලඟා වීමට හැකියි"
මා එසේ ඇසුවේ, හුදෙක් ඔහුගේ දක්ෂතාවය පමණක්ම සැලකිල්ලට ගනිමින්...
"මගේ පෙම්වතිය දැනට මාස්ටර් උපාධිය හදාරනවා...ආචාර්ය උපාධිය හැදෑරීමේදී කරන ගෙවීම බොහෝ අවමයි...ඒ නිසා අප දෙදෙනාම ඉගන ගන්නට ගියොත් ආර්ථිකයට අමාරුයි..."
එදා ඔලී මට දුන්නේ එහෙම පිළිතුරක්...
ඔහු වොෂින්ටනයට පැමිණෙන්නේ ඔහුගේ පෙම්වතිය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට එකතු වූ බැවින්...ඔවුන් දෙදෙනා දිවි ගෙවාලන්නේ එකම කාමරයක, ජීවන වියදම බෙදාගෙන...එය මේ රටට අලුත් දෙයක් නෙවේ...
"ඉතින් බැරිද ඔබේ දෙමාපියන්ගෙන් සහයක් ගන්න..."
මට වුවමනා වූයේ ඔහුගේ ආචාර්ය උපාධිය ඉක්මන් කිරීමේ අරමුණට ඔහුව මෙහෙයවාලන්න...
"බැහැ...එයාලට ශක්තියක් නැහැ මට උදව් කරන්න..."
ඔහු එදා පැවසුවේ, මගේ නොදැනුවත්කමට හිත යටින් සිනාසෙමින් වෙන්නට ඇති...
එහෙත් එදා මා ඇසූයේ කුමන අයුරක තකතීරු ප්‍රශ්නයක්දැයි මට වැටහෙන්නේ දැන්...
"මගේ පියා බිම්මල් කපන්නෙක්...මගේ මව මැක්ඩොනල්ඩ් අවන්හලක දිවා ආහාරය සකසන්නියක්..."
ඔහු පවසන්නේ ලා රත් පැහැයට හැරෙන දෑස පාලනය කරගනිමින්...
"මා ඇමෙරිකාවට ආවේ මට වයස අවුරුදු අටේදී, මව පියා සොහොයුරන් සමඟ...මට වුවමනා මගේ දෙමාපියන්ගේ අවසාන කාලය මුදල් ගැන වද නොවී ජීවත් වීමට ඉඩ සලසන්න..."
"ඔවුන්ට අදටත් ජීවිත රක්ෂණයක් සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාවක් නෑ...වාසනාවට ඔවුන්ට ලෙඩ දුක් නෑ..."
ඔහුු කියාගෙන යන්නේ ඔබාමා, හිලරි සහ බර්නි සැන්ඩර්ස් ගැන පුළුල් දේශපාලන විග්‍රහයක් මා ඉදිරියේ තබන අතරතුර...
"ඔබේ දෙමාපියන් ඇමෙරිකානු පුරවැසියන් නේද..."
ඒ මගේ ඊළඟ තකතීරු ප්‍රශ්නය...
"නැහැ...ඔවුන්ට ඩොලර් හත්සියයක් වෙන් කරන්න නැහැ, ඒ අයදුම්පත වෙනුවෙන්..."
එවිට මා ඉදිරියේ මැවී පෙනුනේ, මීට මසකට පමණ පෙර රූපවාහිනීයෙන් නැරඹු පුරවැසි දිවුරුම් දීමේ උත්සවයක්...එහිදී අසූ වියැති ආච්චි අම්මා කෙනෙකු කඳුළු සලමින් පැවසූවේ, අවශ්‍ය මුදල් නොමැතිව ඇයට පුරවැසියෙකු වීමට මෙතුවක් කලක් බලා හිඳින්නට වූ බවයි....
"ඇමෙරිකාවේ ඇති නැති පරතරය ඉතා ඉහලයි...එය ඔබ නොදන්නා පැතිකඩක්....ඒ කොහොම මගේ පෙම්වතියගේ අනාගත රැකියාව අනුව ඇයට උසස් වේතනයක් සඳහා ඉක්මනින් ලඟා වීමේ හැකියාවක් පවතිනවා..."
ඔහු පවසන්නේ සිනහසෙමින්....
ඔහුගේ පෙම්වතිය මෙහි "වයිට් ඇමෙරිකන්" යන විශේෂණ පදයෙන් හඳුන්වන, ඇමෙරිකානු ජාතික යුවතියක්...ඇය මේ වෙද්දී මාස්ටර් උපාධිය හදාරන ගමන් අර්ධ කාලීන රැකියා දෙකක නිරත වෙනවා, ඔහුට සහයක් වෙන්න...ඇයත් ඔහු වගේම ණය බරක හිමි කාරියක්...
ඔහුට ඇය මුණ ගැසෙන්නේ, ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ පළමු දවසේ ශ්‍රවණාගාරයේදී...එය ඇසූ මා සිනාසෙමින් පැවසූවේ ඔවුන් දෙදෙනා ආත්මීය සහකරුවන් බව...
"ඔබ දන්නවාද මා මේ ලොව වෛර කරන්නේ එක් අයෙකුට පමණයි...ඒ ඇස් වල තිබූ බැල්ම...හා...මා දන්නවා ඔහුත් මට වෛර කරන බව..."
ඔලී පවසන්නේ දෙඇස් හකුලවමින්...
"ඒ කවුද"
ඒ පැනය මගෙන්...
"මගේ මාමණ්ඩි...පෙම්වතියගේ පියා..."
මට අනුමානයට වටහා ගත හැකි හේතුවක් එතැන තිබුනත්, මට වුවමනා වූයේ එය තහවුරු කරගැනීමට...
ඔහු එම පැනයට පිළිතුරු දුන්නේ, අභිනයෙන් ඔහුගේ මුහුණ වටා දෑත යවමින්...
"මගේ ජාතිය..."
මගේ අනුමානය නිවැරදියි...
"ඔබ මෙක්සිකානුවෙක් වීම...එහෙම නේද... "
මා පැවසුවේ මදහසක් රඳවාගෙන...
"ම්හු...ඔව්...ජාතිවාදියෙක්...මට හිතා ගන්න බැරි ඇය වැනි දරුවෙක් ඔවුනට දාව ඉපදුනේ කොහොමද කියල"
ඔහු පවසන්නේ මාමණ්ඩිය පිළිබඳව ඇති අපුල හැඟීමෙන්...
"ඔබ දක්ෂ දරුවෙක්...තව වසර දහයකින් ඔහු විසින් ඔබව අගයනු ලබන තත්වයකට ඔබ ලඟා වනු නියතයි..."
මා එසේ පැවසූවද, මිනිසුන් විටක තම මාන්නය අත් නොහරින බව මා හොඳින් දන්නා කරුණක්...
ගම්පෙරළියේ මාතර හාමිනේ මෙන්, ඔලීගේ මාමණ්ඩියද සිතුවහොත්, ඔලී ඇමෙරිකානු ජනපති වූවද, ඔහු මෙක්සිකානුවෙක් පමණයි...
ඔලී පැමිණි මුල් දිනවල ඔහු කලේ දිවා ආහාරය මග හැරීම... එයට හේතු අසන විට, පසුගිය වසර ගණනාව තිස්සේම එය ඔහුගේ පුරුද්දක් බව නිරතුරුවම ඔහු පවසන්නේ මදහසකින්...
අද වන විට තත්වය වෙනස්...ඔහු කරන්නේ දිවා ආහාරයට යන බව පවසා අපව මග හැරීම...
ඔහුගේ කතන්දරයට සවන් දුන් මට, දිවා ආහාරය මග හැරීමට හේතුවත් දැන් අනුමානයෙන් හිතා ගන්න පුළුවනි...
ඒ සියලු දේ එසේ වෙද්දී, ඔලීගේ සොහොයුරියගේ සහ සොහොයුරාගේ, දියණිවරුන්ට සහ පුතුන්ටත්, උපන්දින වලට නොයෙකුත් තෑගි අරන් දීම කරන්නේ මහත් සෙනෙහසින්....
ඒ ඔලීම, තමන් සහ පෙම්වතිය ජීවත් වන කුඩා අපාර්ට්මන්ට් එකට, සෝපාවක් සහ ඇඳුම් කබඩයක් නොමිලේ සොයා ගත්තේ පාවිච්චි කර ඉවත් කරන බඩු භාණ්ඩ දැන්වීම් පිරීමෙන් පසුව...
මේ හා සමානම තවත් කතන්දරයක් මා අසන්නේ, ආචාර්ය උපාධිය හදාරන මෙක්සිකානු යුවතියකගෙන්...
ඇය නිතර අඳින, බොහෝ පැරණි පෙනුමැති ටී ෂර්ටයේ මතු වී ඇති කුඩා හිල් මා දවසක් දුටුවේ අහම්බයෙන්...පර්යේෂණාගාරයට අඳින පළඳින ඇඳුම් වලට විශේෂිත සැලකිල්ලක් නොදැක්වීම, ඒ වයසට සුලබ සිදුවීමක් හෙයින් මට එහි හිතන්නට දෙයක් තිබුනේ නැහැ...
එහෙත් පසු කලක මට ඇයගෙන් අසන්නට වූයේ හද පාරවන කතන්දරයක්...
"මට ඔබ වගේ වෙන්න ඕනේ"
ඒ මේරියම්...
"ඔබට පුළුවනි මට වඩා උසස් තැනකට යන්න...අනිවාර්යෙන්ම..."
ඒ මම...
"මගේ පියා මෙක්සිකෝවේ ඉඳන් ඇමෙරිකාවට ආවේ මට අවුරුදු දෙකේදී...අප පසුව දැනගත්තා ඔහු ඇමෙරිකාවේදී නැවත විවාහ වී ඇති බව"
මා අසා සිටින්නේ ඇගේ දිගු කතාව බොහෝ කෙටියෙන්...ඇය ගූගල් සිතියම් හරහා, මෙක්සිකෝවේ ඇගේ පිය සටහන් ඇති දුෂ්කර පළාත් දෙස බලාගෙන...
"එදා ඉඳන් මගේ අම්ම, මාව හදාගත්තේ තනියම...අදටත් ඇය තනිකඩයි...මට පෙම්වතෙක් සොයා ගැනීම විටක සිහිනයක්...ඈ ඒ තරමටම පිරිමි ගැන සැකයි..."
ඒ මවගේ සැකය සාධාරණයි...මට හිතුනේ එහෙම...
"කුඩා කාලේදී මා වැසිකිළි ගියේ ඌරන් ඇති කරන ගාල් තුලට...උන් ඒ අසූචි පසුව කා දමනවා..."
ඇය ගත කල දුෂ්කර ජීවිතය ගැන අවබෝධයක් ලබා ගැනීමට මට ඒ වාක්‍ය ප්‍රමාණවත්...
"මේ තියෙන්නේ මා සහ මගේ මව නිදාගත් කාමරය"...
ඇය මට පවසන්නේ ගූගල් හරහා මට ඇගේ නිවස පෙන්වමින්...එය මට සිහිගන්වන්නේ ගඩොල් පමණක් ඉතිරි වී ඇති, තැනින් තැන තීන්ත බොඳවී ගීය ඇති, යුද්ධයෙන් අවතැන් වූ ඇෆ්ගනිස්තානයේ ඇති නිවාසයක්...ඔලී මට පෙන්වූ ඔහුගේ නිවාසයත් මේ හා සමානයි...
"ඉන් පසුව, මට වයස දහයක් පමණ වෙද්දී පියා මාව ඇමෙරිකාවට ගෙන්වා ගත්තා...මා ඉගන ගන්නා ගමන්, මගේ කුඩම්මාගේ දරුවන් හෙවත්, මගේ අලුත් නංගිලා මල්ලිලා බලා ගත්තා...ඇය මාව පාවිච්චි කළා...පියා එය දැන හුන්නේ නැහැ..."
ඇය දිරිය දියණියක්...කිසිවෙක් කෙරෙහි වෛරයක් නැත්තියක්...ඇයට හමුවන ඕනෑම අයෙකුගේ හොඳ පමණක් දැකීම, යම් තරමකින් අවාසි සහගත, ඇගේ ඇති කරුණාවන්ත පුරුද්දක්...
ඇය පසුකාලීනව ඇයගේ මවට ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන, මෙහි ගෙන්වා ගන්නවා...දැන් ඇය දිවි ගෙවන්නේ ඇයගේ මව සමඟින්...
"ඔබ දන්නවද...මට මේරියම් ගැන පුදුමත් හිතෙනවා..."
මෑත දිනකදී එසේ පවසා සිටියේ, ඔලීගේ වයසේම පසුවන, ඉන්දියාවේ සිට තම දෙමාපිය ධනයෙන් මාස්ටර් උපාධිය හැදෑරීමට ඇමෙරිකාවට ආ ශෂී...පවුලේ එකම දරුවා වූ ඇයගේ ජීවිතය මල් යහනාවක්...ඇයට මෑතක් වන තුරුම අනාගතයේ කල යුත්තේ කුමක්දැයි හරි වැටහීමක් නොතිබූ යුවතියක්...දැනටත් ඒ ගැන පැහැදිලි අවබෝධයක් ඇත්දැයි මට වැටහීමක් නැහැ...
"ඇයි...ඔබ එහෙම කියන්නේ..."
මා ඇසුවේ ප්‍රශ්නාර්ථයකින්...
"මේරියම්ගේ, පසුම්බිය හොඳටම ඉරී ගිහින්...එය දුටු මා පැවසුවේ, අලුත් පසුම්බියක් මිලදී ගත්තොත් හොඳයි නේද කියා..."
මට මතක් වූයේ, ඇයගේ ටී ෂර්ටයේ දුටු කුඩා හිල්...
"මට එයට මුදල් වෙන් කරන්න අපහසුයි...ඒ තමයි මේරියම් මට දුන් පිළිතුර...ඒත් ඔබ දන්නවද, ඇය මෙක්සිකෝවේ සිටින ඇගේ සියලුම ලේලි වරුන්ට සහ බෑණා වරුන්ට, තෑගි මිලදී ගන්නට දවස් ගණනාවක් වැය කළා නිවාඩුවට මෙක්සිකෝවට යන්නට පෙර..."
පසුම්බිය කුඩා මිනිසුන්ගේ හිත බොහෝ විශාලයි...මට හිතුනේ එහෙම...
......................................................................................................................................
ඔලී සහ මේරියම් නියෝජනය කරන්නේ මේ ඇමෙරිකානු තරුණ සමාජයේ එක් පැතිකඩකි...වසර තිහක් ගත උනද බත් එක බෙදා කවන අම්මලා උන්ට නැත...උපාධිය අවසාන වන තෙක් කුලී වැඩක් හෝ කර කැම්පස් ඉන්නා දුවට හෝ පුතාට යවන අම්මලා, තාත්තලා උන්ට නැත...උන් අරගල කරන්නේ ජීවිතය දිනන්නට මිස, රටේ දේශපාලකයින්ට පාඩම් උගන්වන්නට නොවේය...කොටින්ම කියතොත් පාසැලෙන් ඉවත් වන විටම උන්ට ජීවිතයේ සැලසුම් ඇත...හීන ඇත...ඒවා සැබෑ කරගන්නට කාලාන්තරයක් බලා සිටීම, උන්ට ගැටලුවක්ද නොවේය...උන්ට දෙමාපිය උරුමයෙන් ලැබෙන දේපළ ඉඩම් නැත...ඉහට වහලේ සිට, බෙහෙත් පෙත්ත දක්වා ඇති සියල්ලම ඩොලර් වලට අවනතය...එහෙත්, යථාර්තය නම් උන් කිසිවෙකුට හෙන නොඉල්ලා, ජීවිතය සොයා ගැනීමයි...
අපේ රටේ ජීවත් වන, ඉතාම අඩු ආදයම් ලාභී දුවා දරුවන්ටත් වඩා උන් විටක දුක් උසුලති...
එහෙත් උන්ගේ ආකල්ප බොහෝ පොහොසත්ය...අවැසි වන්නේ එපමණය...
.................................................................................................................................
දුවේ, පුතේ, නංගියේ, මල්ලියේ, ශ්‍රී ලාංකික ඔබට ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජනය ගන්නවාදැයි මදකට නැවතී සිතා බලන්න...ඔබ වැනි බොහෝ දෙනෙකුට කිසිදු බරක් නැත...බරක් ඇතොත් ඒ උසුලන්නේ ඔබේ දෙමාපියන් විසිනි...රෝහල් පහසුකම් බොහෝ විට නොමිලේය...ඔබට කවා, පොවා උගන්වා, විවාහ වන තෙක්ම ඔබව රැක බලා ගලාගන්නා ආදරණීය දෙමාපියන්ගේ කැප කිරීම් වල සහ ඔබට ලැබී ඇති නිදහස් අධ්‍යාපනයේ අස්වනු ඔබ නෙලාගෙන තිබේද...
ඔබට චෝදනා කරන්නට කිසිවක් ඉතිරිව නැත...පැලක් ලෙස හෝ ඔබට හිසට වහලක් ඇතුවා වෙන්නට පුළුවන...සම්බෝලයක් සමඟ හෝ බත් ඇටයක් ගිල දමන්නට ඔබට ඉඩක් ඇතුවා වන්නට පුළුවන...එහෙත් ඔබ තවමත් දෑස් හැර ලෝකය දෙස නොබලා, විඳින දුක් ගැනම පමණක්ම පසු තැවෙන්නෙක් නම් මේ පණිවුඩය ඔබටයි...
මේ ලියා ඇත්තේ සියලු සැප වලින් සැදී සුර පුරයක් යැයි ඔබ සිතා ඉන්නා ලෝක බලවතාගේ සමාජයේ එක් පැතිකඩකි...ඔබ තේරුම් ගත යුත්තේ එක් දෙයක් පමණි..ශ්‍රී ලාංකික ඔබ බොහෝ වාසනාවන්ත දරු දැරියන් පිරිසක් බවයි....
.................................................................................................................................
දුවේ, පුතේ, නංගියේ, මල්ලියේ, ශ්‍රී ලාංකික ඔබට ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජනය ගන්නවාදැයි මදකට නැවතී සිතා බලන්න...ඔබ වැනි බොහෝ දෙනෙකුට කිසිදු බරක් නැත...බරක් ඇතොත් ඒ උසුලන්නේ ඔබේ දෙමාපියන් විසිනි...රෝහල් පහසුකම් බොහෝ විට නොමිලේය...ඔබට කවා, පොවා උගන්වා, විවාහ වන තෙක්ම ඔබව රැක බලා ගලාගන්නා ආදරණීය දෙමාපියන්ගේ කැප කිරීම් වල සහ ඔබට ලැබී ඇති නිදහස් අධ්‍යාපනයේ අස්වනු ඔබ නෙලාගෙන තිබේද...
ඔබට චෝදනා කරන්නට කිසිවක් ඉතිරිව නැත...පැලක් ලෙස හෝ ඔබට හිසට වහලක් ඇතුවා වෙන්නට පුළුවන...සම්බෝලයක් සමඟ හෝ බත් ඇටයක් ගිල දමන්නට ඔබට ඉඩක් ඇතුවා වන්නට පුළුවන...එහෙත් ඔබ තවමත් දෑස් හැර ලෝකය දෙස නොබලා, විඳින දුක් ගැනම පමණක්ම පසු තැවෙන්නෙක් නම් මේ පණිවුඩය ඔබටයි...
මේ ලියා ඇත්තේ සියලු සැප වලින් සැදී සුර පුරයක් යැයි ඔබ සිතා ඉන්නා ලෝක බලවතාගේ සමාජයේ එක් පැතිකඩකි...ඔබ තේරුම් ගත යුත්තේ එක් දෙයක් පමණි..ශ්‍රී ලාංකික ඔබ බොහෝ වාසනාවන්ත දරු දැරියන් පිරිසක් බවයි....
//ඔලී සහ මේරියම් නියෝජනය කරන්නේ මේ ඇමෙරිකානු තරුණ සමාජයේ එක් පැතිකඩකි...වසර තිහක් ගත උනද බත් එක බෙදා කවන අම්මලා උන්ට නැත...උපාධිය අවසාන වන තෙක් කුලී වැඩක් හෝ කර කැම්පස් ඉන්නා දුවට හෝ පුතාට යවන අම්මලා, තාත්තලා උන්ට නැත...උන් අරගල කරන්නේ ජීවිතය දිනන්නට මිස, රටේ දේශපාලකයින්ට පාඩම් උගන්වන්නට නොවේය...කොටින්ම කියතොත් පාසැලෙන් ඉවත් වන විටම උන්ට ජීවිතයේ සැලසුම් ඇත...හීන ඇත...ඒවා සැබෑ කරගන්නට කාලාන්තරයක් බලා සිටීම, උන්ට ගැටලුවක්ද නොවේය...උන්ට දෙමාපිය උරුමයෙන් ලැබෙන දේපළ ඉඩම් නැත...ඉහට වහලේ සිට, බෙහෙත් පෙත්ත දක්වා ඇති සියල්ලම ඩොලර් වලට අවනතය...එහෙත්, යථාර්තය නම් උන් කිසිවෙකුට හෙන නොඉල්ලා, ජීවිතය සොයා ගැනීමයි...
ReplyDeleteඅපේ රටේ ජීවත් වන, ඉතාම අඩු ආදයම් ලාභී දුවා දරුවන්ටත් වඩා උන් විටක දුක් උසුලති...
එහෙත් උන්ගේ ආකල්ප බොහෝ පොහොසත්ය...අවැසි වන්නේ එපමණය...// +++++++++++ අපේ අයටත් මෙවැනි ආකල්ප ඇතිවෙනවානම් කොච්චර හොඳද ? අපේ කෙනෙක් වුනත් මේ රටවල් වල ඉගෙන ගන්න ආවට පස්සේ මෙහෙම මහන්සි වෙන අවසථා තියෙනවා. එත් අපේ රටේම අය සමහර විට අන්න අරයා "දුක් විඳිනවා ..ලංකාවේ කොච්චර සැපට ඉන්න තිබ්බද? " කියලා කියන අවස්තා තියෙනවා.. ඒ කියන්නේ එයාලගෙත් ඔය කියන පාඩම ඉගෙන ගෙන නැති කම තමයි පෙන්වන්නේ
බොහොම ස්තුතියි කවිඳු...
Deleteඅනිවාර්යෙන්ම, මෙතැන ඇත්තේ ආකල්පමය ගැටළුවක් එක් අතකින්...අනිත් අතින් තමාට ලැබී ඇති සම්පත් වල අගයක් නොමැති කම...
මේ දුක විදිහට අප දකින දේට කවුරුත් නිසි අර්ථ දැක්වීමක් දෙන්නේ නැහැනේ...ජිවිතේ අභියෝග ජය ගැනීම සඳහා වෙහෙස වීම දුකක් බවට සලකන මානසිකත්වයක් ඇති මිනිසෙකුට කිසිම දිනෙක ජිවිතේ තමන් ප්‍රර්ථනා කරන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ...මගේ මතය අනුව මිනිහෙකුට අවශ්‍ය අරමුණක් සහ සැලසුමක් පමණයි...ජිවිතේ පටන් ගන්න මහපාරත් ඇති එහෙම කෙනෙකුට...
බොහෝම ස්තූතියි යාලුවා..
ReplyDeleteබොහොම ස්තුතියි පත්තර මල්ලි...
Deleteපොකුරු ඇමෙරිකාවේ අධ්‍යාපන ණය ප්‍රශ්ණයට එක හේතුවක් එය මත ඇති අධික පොලී අනුපාතය. එම නිසා බොහෝ දෙනෙක් එය ඉක්මනින්ම ගෙවා දැමීමට උත්සාහ කරනවා. වෛද්‍ය වෘත්තිය තෝරාගත් අයගේ ණය බර මීටත් වඩා වැඩියි. වෙනස කියන්නේ හැම දේම නිකන් ගෙන ඊට අමතරව මහපොළ මුදල්ද අතට ගෙන පොඩ්ඩ වැරදුණාම පාරවල් හරස් කරගෙන පෙළපාලි ගොස්, එළියට ආවිට රජයේ රැකියාම ඉල්ලන අය සමඟ ඇති වෙනස.
ReplyDeleteඒකත් එක් දෙයක් අනිත් දේ රැකියා වෙළඳ පොලේ ඇති අතිශය තරඟකාරී බව නිසා මේ දරුවන්ට රැකියා සොයා ගැනීමේ ඇති අපහසුව...වෛද්‍ය වෘත්තිකයින්ට එක්තරා සහන ක්‍රමවේදයන් ලැබෙනවා ණය ගෙවීම සඳහා...ඔවුන්ට පුළුවන් දරුණු වසංගත රෝග හෝ යුද්ධය පවතින රටක යම් කාලයක් රැකියාව කරන පොරොන්දුව යටතේ, යම් කිසි සහනයක් ලබා ගැනීමට...ඒ වගේම ඔවුන්ගේ වාර්ෂික වැටුප ඉහල තලයකට යන්න වැඩි කලක් ගත වෙන්නෙත් නැහැ...
Deleteඅන්න ඒක තමයි වෙනස ඉයන්...අපේ තරුණ දරුවෝ තමන් කරන්නේ කුමක්ද කියාවත් හරි හැටි දන්නේ නැහැ...
බොහොම ස්තුතියි ඉයන් ඔබේ වටිනා අදහස එකතු කලාට...
ඕක තේරෙන්න විදෙස් රටක ළමයි ඉගෙන ගන්න කන කට්ට දකින්නම ඕනි පොකුරු.
ReplyDeleteඅපි මෙහෙ මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් හොදට කාලා ඇදලා කීයක් හරි ඉතිරිත් කරගද්දි මේ අවුරුදු 20-22 පොඩි එවුන් රෑ එක දෙක වෙනකල් රස්සා කරලා උදේට නිදිමත බේරීගෙන ලැබ් එකට එනකොට දුකත් හිතෙනවා.
ඒත් වෙනස තියෙන්නෙ ඔවුන් එය වෙහෙසක් හෝ දුක් විය යුතු දෙයක් බව නොසලකන එක.
ඒ ගොල්ලො ගැන අපිට දුකක් ඇතිවෙනවා මිස එයාලා ඒක දුකක් කියලා සලකන්නෑනෙ.
හරියටම හරි සඳා...ඔයා මගේ හිත හරියටම කියෙව්වා කිවොත් නිවැරදියි...
Deleteඔය සිතුවිල්ලම තමයි මේ ලිපිය ලියන්න පදනම් වුන මුලිකම හේතුව...අපි දියුණු වන රටකින් ඇවිත්, ඇත්තටම කියනවා නම් ඉතාම පහසුකම් ඇතිව, ඉහල වැටුපක් අරන් ජීවත් වෙනවා...එහෙම ඉඳගෙන අර දරුවාගේ ණය ගැන අහද්දී, ඔහුගේ දෙමාපියන්ගේ මුදල් ගැටළු අහද්දී, මට ජිවිතේ ඇති උන ප්‍රශ්න මොනවද කියල හිතුන...අපේ ලැබ් එකේ වර්ක් ලෝඩ් ගොඩක් වැඩියි වෙලාවකට...පොඩි එකා කන්නේ නැතුව වැඩ කරද්දී, මට දැනෙනවා එයාට වෙහෙසයි කියලා...ඒක මට ලොකු කණගාටුවක්...එයා එහෙම කරනවා ඇත්තේ සල්ලි ඉතිරි කරගන්න...
ඇත්ත 100%ක් එකඟයි...මේ දරුවෝ කිසි කෙනෙක් ඒ දේවල් ප්‍රශ්න, දුක් කරදර විදියට දකින්නේ නැහැ...ඔවුන් යථාර්තය අවබෝධ කරගෙන තමන්ගේ අරමුණු වලට යනවා...පුංචි දේටත්, අම්ම, තාත්තාගෙන් රජයෙන් ඉල්ලීම් ඉල්ලලා කෑ ගහන අපේ දරුවොත් මේ ටික හිතනව නම්, මිට වඩා පහසුවෙන් ඔවුන්ගේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්...
මට හරියටම ඔයාගෙ හිත කියවන්න පුළුවන් වුණේ ඔය සිතුවිල්ල දවස ගානේ අලුත් වෙවී මගෙ හිතටත් තදින් දැනෙන දෙයක් නිසා.
Deleteමගේ දැනුමේ හැටියට මෙහෙ ඉගෙනගන්න ඔය හැටි ණය වෙන්න දෙයක් නෑ. සම්පූර්ණයෙන් නොමිලෙ ලැබෙන්න ප්‍රාථමික අධ්‍යාපනය විතරයි. ඒ ඒක රටේ වගකීමක් විදිහට සලකන නිසා. එතනින් එහාට ගෙවන්න ඕනි වුණාට ඒක ඔය තරම් ලොකු මුදලක් නෙවෙයි.
මෙහෙ උපාධිදාරියෙක් කැම්පස් එකෙන් පිටවෙන්නෙ රස්සාවක් සහිතව. ලබන මාර්තු ග්‍රැජුවෙට් වෙන අය මේ අවුරුද්දෙ මාර්තු ඉදන් තමා සම්මුඛ පරීක්ෂණ වලට යන්නෙ. ජූනි ජූලි වෙනකොට රැකියාව හොයාගන්නවා. මාර්තු ග්‍රැජුවෙට් වෙලා අප්‍රේල් පළවෙනිදා ඉදන් වැඩ. මෙහෙ හැමදෙයක්ම පිළිවෙලක් තියෙන නිසා ඇත්තටම කෙනෙකුට තමන්ගෙ අනාගතේ සැලසුම් කරගන්න පහසුයි.
හැම අධ්‍යාපන මට්ටමකටම නිශ්චිතව නිර්දේශ කරපු අවම වැටුපක් තියෙනවා. මේක නිසා ගැලපෙනම රැකියාවත් ලැබෙනවා. ඒ නිසා ආචාර්ය උපාධියක් කරන ජපනෙක් හොයාගන්න අමාරුයි. මොකද ඒ මට්ටමට ඉහළ වැටුපක් ලැබෙන නිසා රැකියා සීමිතයි. රැකියාවක් තියෙන, ඒකට ඒ උපාධිය අවශ්‍ය කෙනෙක් මිස නිකන් ඩිග්‍රිය කරලා පස්සෙ රස්සාවක් හොයාගන්නවා කියලා ඉගෙනගන්න අය නෑ.
ඒ අතින් බැලුවහම අපි ඉන්නෙ ණය නැති තැනකය. ඒ නිසා අපිට හිතන්නට බොහොම බහුබූත තිබේ. කොහෙත් දුප්පත්කම එකයි නේද ?
ReplyDeleteඅනිවාර්යෙන් සුරංග මල්ලි...ලංකාවේ අපි බලෙන් ණය වුනොත් මිසක, උපතින් ණය වෙලා ඉපදෙන්නේ කලාතුරකින්...ඔයා කියනවා වගේ බහුබූත හිතන එක තමයි ඔය සියල්ලටම හේතුව...මොකද මහා ලොකු ගැටළු නැති උනාම මිනිස්සු ගැටළු මවාගෙන ඒවාට උත්තර හොයනවා...
Deleteඔයා මේ කියෙව්වේ බොහොම ටිකයි දුප්පත්කම ගැන...මෙහේ තියනවා "හෝම්ලස්" කියල දෙයක්...අසනීපයක් වෙලා රැකියාව අහිමි උනොත් කුලිය ගෙවා ගන්න බැරුව මිනිස්සුන්ට කුලී ගෙවල් වලින් යන්න වෙනවා...ඉන් පස්සේ හිත මිතුරෙක් ඉදිරිපත් වෙලා ලිපිනයක් නොදුන්නොත්, ඒ මනුස්සයට රැකියාවකට යන්න බැහැ පදිංචිය තහවුරු කරන්න බැරුව...ඉන් පස්සේ "හෝම්ලස්"...ගෙයක් නැහැ..මහපාරේ, එක්කෝ උද්‍යානයක...බෝඩ් තියාගෙන ඉන්නවා මුදල් ඉල්ලගෙන...සමහර වෙලාවට නම මත්ද්‍රව්‍ය හෝ අනෙකුත් වැරදි ක්‍රියාවලිනුත් මිනිස්සු මේ වගේ "හෝම්ලස්" වෙන්න පුළුවන්...එහෙම ගොඩක් වෙලාවට වෙන්නේ මෙහේ ඉපදුන ඈයොම තමයි...
මං හැමදාමත් කියනවා වගේ ලෝකේ මිනිස්සු කොතනත් ඒකයි...ඒ වගේම තමයි ඇති හැකි නැති බැරි කමුත්...
නමුත් අරමුණක් ඇති, සැලසුමක් ඇති මිනිහට ලෝකේ ඕනෙම තැනක වැටෙන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවනි...
සුපිරි කතාව මඩම්..... අපේ රටේ මිනිස්සුන්ගේ අදහස් කාලකන්නි කරලා තියෙන්නේ රැවුල වවා ගත්තු දැනටත් පරඩැල් වෙලා ඉන්නගමන් රටේ ජනතාවගේ අදහස් කාලකන්නි කරන මුසල දේසපාලුව..... (අර වේලිච්චි වට්ටක්ක ගෙඩිය)
Deleteඔබ අප රටට ආඩම්බරයක්. ඇමෙරිකාව වැනි රටක උසස් යයි සම්මත තත්වයකට පැමිණියත්, විශේෂයෙන් අපේ තරුණ පරපුර ගැන සිතා මෙවන් ආකල්ප ලංකාවේ අප සමග බෙදාහදා ගැනීම ගැන අප ඔබට ණයගැතියි. අවාසනාවකට වගේ, අපේ ලිං මැඩි මානසිකත්වයට මෙවන් අදහස් කොතරම් ගැලපේවිද කියන්නට බැහැ.
ReplyDeleteබොහොම ස්තුතියි ඇනෝ මිත්‍රයා ඔබේ ඇගයීමට සහ අදහසට...
Deleteමේ දරුවෝන්ගේ හිතේ ඇති ධෛර්ය දකිද්දී, මට අපේ ලංකාවේ ඉන්නා බහුතරයක් තරුණ දරුවෝ කොයි තරම් ආකල්ප අතින් දුර්වලද කියල දැනෙනවා...නමුත් මේ විදියට හිතන තරුණ, තරුණියන් ලංකාවේ නැත්තෙමත් නැහැ...
ඔව් ඔබ කියන්නා වගේ, මේ අදහස් කොයි තරම් දුරට ඔවුන්ට ග්‍රහණය කරගන්න හැකියාවක් ඇතිද යන්න ගැටළුවක්..එය ඔවුන්ගේ වරදක් නෙවෙයි...එය ඔවුන් උපන් දා පටන්ම සමාජය විසින් ඔවුන්ට දායාද කරන පටු ආකල්ප වල වරද...
එයින් ඔබ්බට හිතන්න පුළුවන් වන සියල්ලෝම වාගේ ලංකාව හැර යාම තමයි අනික් කණගාටුදායක කරුණ...මා මේ සටහන් නිදහසේ ලියන්නේත්, මා ඉන්නේ ඇමෙරිකාවේ නිසා...
මේ ආකල්පමය ගැටළුව වල මුදුන් මුල ඇත්තේ බොහොම ගැඹුරට මුල් ඇදලා...
superb post
ReplyDeleteThank you ඉවාන්...
Deleteවටිනා ලිපියක් පොකුරු. ඇත්තටම ආකල්පය තමයි වටින්නේ. ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට මේක වැදගත් පිලියක් වේවී.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමි...
Deleteඔව් ඇත්තෙන්ම...මේක ඇහැ ගැටෙන එකම දරුවෙක් හරි, තමන් කරන දේ ගැන නැවත හිතල බලන්නට පෙළඹේවී...
එක්තරා ආකාරයක අවදානම් සහිත සූදුවක් කියන්නත් පුළුවන්. අර පෙම්වතිය ඔහු සමග ලිංගික සබඳතා පැවැත්වුවත්, ස්ථිරවම ඔහු සමග දිගටම නොඉඳින්න ඉඩ තිබෙනවා, විවිධ හේතු නිසා. එවිට ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඔහුගේ දෙමව්පියන් දැනට නීරෝගීව සිටියත්, වයස අනුව රෝගී වීමට ඇති ඉඩකඩ වැඩියි. එහෙම වුනොත් ඔවුන් මෙන්ම මේ පුද්ගලයාද අසරණ වෙනවා. ඔහුගේ අනාගත සැලසුම් අවුල් වෙනවා.
ReplyDeleteකෙසේ වෙතත් ඔහු මේ ආකාරයට චිත්ත ධෛර්යය පවත්වාගැනීම ආදර්ශයට ගතයුතු වැදගත් ක්‍රියාවක්.
බොහොම ස්තුතියි විචාරක තුමනි ඔබේ අදහසට...
Deleteඔබ කියන්නා වගේ එහෙම දෙයක් වෙන්නටත් ඉඩ කඩ තියනවා...
හැබැයි මං දෙයක් එකතු කරන්න කැමතියි...මේ එකට ජිවත් වීමේ සංකල්පය කරන බොහෝ දරුවෝ බොහොම බුද්ධිමත්...ඔවුන්ගේ අරමුණ ලිංගික ආශ්වාදය පමණක්ම නොවේ...ඔවුන් මේ කාලය යොදා ගන්නේ එකිනෙකාගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන, තමන් දෙදෙනා එකතු වී දරුවන් සෑදීම සුදුසුද යන්න තීරණය කරගැනීම සඳහා...කොතැනදී හෝ දරුණු නොගැලපීමක්, එහෙමත් නැත්නම් වෙනත් වඩා සුදුසු යැයි සිතෙන සහකරුවෙක් හමුවුවොත්, ඔවුන් බොහෝ විට කතා බහ කර වෙන් වෙනවා...
එතනදී, ඔවුන් බොහෝ විට හිතන්නේ නොගැලපීම් හෝ කැමත්ත අඩු වීමෙන් පසු තව දුරටත් එකට ජිවත් වී පලක් නැති බව...එතනදී ඔවුන් නොසැලී යථාර්තයට මුහුණ දෙනවා...කෙනෙක් මිය ගීය පසුත් එය එසේමයි..."move on" නොහොත් ජිවිතයේ ඊළඟ අදියර හරහා සැරසීම ඔවුන් බොහොම ඉක්මනින් කරන දෙයක්...
එයට ප්‍රධාන හේතුවක් වන්නේ, රැකියාවක් නොකර, දුක් වී හඬා වැටීමට කාලය ගත කලොත් ඔවුන්ගේ, ඊළඟ මාසයේ නිවාස කුලියේ පටන් සියලුම එදිනෙදා වියදම් පියවා ගැනීම ගැටළුවක් වීමයි...එහෙම මානසිකව දුර්වල වන පුද්ගලයින් අවසානයේ පත්වන්නේ, මා ඉහත කී "හෝම්ලස්" තත්වයට...
ඔලීගේ දෙමාපියන් අසනීප වුවහොත්, ඔහු අනිවාර්යෙන්ම තවත් අර්ධ කාලීන රැකියාවකට යොමු වෙලා, ඔවුන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණය ක්‍රමයක් මිලදී ගනීවි...ඔලීගේ තැන ඉන්නා බොහෝ ඇමෙරිකානුවන් කිසි ලෙසකින්වත් පසු බසින්නන් නොවෙයි...
ඉතා ම හොඳ ලිපියක්.ලංකාවේ ඉපදීම කොච්චර වාසනාවක්ද කියන එක ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැහැ.එ වගෙම මේ නිදහස් අධ්‍යාපනයෙන් සතේක ඵලයක් ලබාගන්නෙත් නෑ.මම නිතර මට ම කියාගන්නා දෙයක් තියෙනවා, ඒ මං ඉගෙනගත්තෙ මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ දාඩිය කඳුළින් උපයාපු සල්ලිවලින් වග.නිදහස් අධ්‍යාපනය ලද කෙනෙක් සතු විශාල වගකීමක් තියෙනවා.රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඉටු කරන්න.ඒත් අවාසනවාකට ගොඩක් දෙනෙක් ඒ වග තේරුම් ගන්නෙ නැහැ.
ReplyDeleteබොහොම ස්තුතියි වර්ෂා ඔබේ අදහසට...
Deleteලංකාවේ ඉපදීමේ ගුණ අගුණ තේරුම් ගන්න නම්, ලංකාවෙන් පිටතට ගිහින් ලංකාවේ අප ගත කල ජීවිතය ගැන ගැඹුරින් හැදෑරීමක් කල යුතුයි...
අනිවාර්යෙන් අපට නොමිලේ ලබා දෙන අධ්‍යාපනයේ ගෞරවය ලංකාවේ සියලුම පුරවැසියන් සතුයි...
නමුත් වර්ෂා මෙහෙම දේකුත් තියනවා, අප ඉතා ආශාවෙන් සිටින ඔය කියන සේවය කරන්න සමහර වෙලාවට රටේ දේශපාලනය ලොකු බලපෑමක් කරනවා...විශේෂයෙන් රජයේ සේවය සම්බන්ධයෙන් බැලුවොත්...එය හොඳ හැටි වැටහෙනවා මහාචාර්ය චන්දිම ගෝමස් මහත්මයාගේ බ්ලොග් අඩවියේ (http://chandimagomes.blogspot.com/) පලවෙලා තිබෙන අවසාන ලිපිය කියවා බැලුවොත්...නමුත් පුද්ගලික ක්ෂේත්‍රයේ නම් මේ ගැටළු අවම ඇති කියල මං වීශ්වාස කරනවා...
කොහොම උනත් හැකි උපරිම අයුරින්, අපි උපන් රටට සහ අපේ ඇස් පෑදු රටවැසියන් වෙනුවෙන් සේවයක් කිරීම අපි හැමෝගෙම යුතුකමක්...
දුවේ, පුතේ, නංගියේ, මල්ලියේ, ශ්‍රී ලාංකික ඔබට ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජනය ගන්නවාදැයි මදකට නැවතී සිතා බලන්න...ඔබ වැනි බොහෝ දෙනෙකුට කිසිදු බරක් නැත...බරක් ඇතොත් ඒ උසුලන්නේ ඔබේ දෙමාපියන් විසිනි...රෝහල් පහසුකම් බොහෝ විට නොමිලේය...ඔබට කවා, පොවා උගන්වා, විවාහ වන තෙක්ම ඔබව රැක බලා ගලාගන්නා ආදරණීය දෙමාපියන්ගේ කැප කිරීම් වල සහ ඔබට ලැබී ඇති නිදහස් අධ්‍යාපනයේ අස්වනු ඔබ නෙලාගෙන තිබේද...//////// ++++++++++
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට....
Deleteනිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්
ReplyDeletehttp://transyl2014.blogspot.ca/2016/07/blog-post_18.html
මේ ඔබගේ මට මග හැරුන ලිපියක්...ඔව් බහුතරයක් දරුවන්ගේ කතන්දරය මිට සමානයි...බොහොම ස්තුතියි මේ ලිපිය ඇහැ ගැටෙන්න සැලස්වුවට...
Deleteපොකුරු වැහි මේක කියෙව්වම හිතට මහා බරක්, වෙහෙසක් දැනුනා... මේ අපි දන්න, අහල තියන ඇමරිකාවද.... ඔයා කියනවා වගේ දුප්පත්කම, නැති බරිකන්, ඇති හැකිකම් කොහෙත් එකයි...
ReplyDeleteමේ ලඟදි මං දැක්කා ලෝකේ වැඩිම ණය බරක් තියන රට ඇමරිකාව විදිහට සඳහන් කරලා තිබුනා... එහෙම බලනකොට ඒකට මේවයි හේතුව...
ඔලීගේ ප්‍රාර්ථනාව ඉශ්්ඨ වෙන්න කියලා පතනවා.. ඒ වගේම අර ගැහැණු ළමයටත් හොඳ කාලයක් උදාවෙන්න ඕනේ..
පොකුරු වැහි මේ ලිපිය එෆ්.බී එකේ ෂෙයාර් කරන්න පුලුවන්ද? මොකද මේවා කියවිය යුතු වැඩි පිරිසක් ලංකාවේ ඉන්නවා.. මේ රටේ ලැබෙන සම්පත්, වරප්‍රසාධ තව තවත් මදි හිතන, නිදහස් අධ්‍යාපනයේ වටිනාකම නො දන්න අයට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි..
ඔයාට ගොඩාක් ස්තුතී නොදන්න පැත්තක් ගැන දැනුවත් කළාට...
හිතට දැනුන ලිපියක්...
හා... ලියන්නකෝ....
Deleteඔයාම එෆ්බී දාන්නකෝ අක්කේ... එතකොට වටිනාකම වැඩී...
ඔන්න ඊයේ මං ෂෙයාර් කළා...
Deleteසමාවෙන්න නිර්මාණි නංගි, ටිකක් වැඩ අධික වුන නිසා පිළිතුර ලියන්නට කල් ගත වුනා...මං මේක FB එකේ මුල් දවසේම බෙදා ගත්තා...බොහොම ස්තුතියි ඔයාටත් එය බෙදාගත්තට...
Deleteඇත්තටම, ලෝකයේ ඕනෑම තැනක මේ දේ සිදු වෙනවා...මාධ්‍ය මගින් උලුප්පා දක්වන දෙයක් පමණයි මිනිසුන්ට දැනගන්න ලැබෙන්නේ...එකම වෙනස ඇත්තේ, මේ රටවල කිසිම කෙනෙක් රජයට චෝදනා කරමින් කාලය නාස්ති නොකරන එක පමණයි...
තමන්ට මාර්ගයක් විවර කරලා දුන්නම කවුරුන් හෝ කෙනෙක් එයින් නිසි පල නෙලා ගන්න තමන් දැන ගන්න ඕනේ...ඒ වගේම තමන්ගේ ඉදිරි ගමන ගැන නිවැරදි සැලසුමක් තියෙන්න ඕනේ...ඒවාට ඇති බාධක කල් තියාම හඳුනා ගෙන අමතර සුදුසුකම් එකතු කරගන්න ඕනේ...උගත්කමට බුද්ධිය එකතු කර නොගත්තොත් හැමදාමත් මහ පාරේ තමයි...
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් වලට සහ අගය කිරීමට...
පුලුවන්නම් මේ ලිපිය පුවත්පතක පලකරන්න. හුගක් වැදගත්.
ReplyDeleteපුවත්පත් වල පල කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් නම් මා ඇත්තෙන්ම වැඩි යමක් දන්නේ නැහැ...මා සොයා බලන්නම්...
Deleteඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි...
//නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජනය ගන්නවාදැයි මදකට නැවතී සිතා බලන්න//
ReplyDeleteමොකද නැත්තෙ අගේට ප්‍රයෝජනය ගන්නවා. දන්නෙ නැත්නම් කොලඹ වැඩ ඇරිල හවසට ගෙදර යන කෙනෙක්ගෙන් අහන්න. නිදහස් අජාපනේ ආරක්සා කර ගැනීමේ සැප
පසුගිය වතාවේ ලංකාවට ගීය වෙලාවෙත් ඒ බව නම් දැක්කා...ඒ වගේම දැනටත් අහන්න දකින්න ලැබෙනවා...
Deleteනොමිලේ ලබා දෙන බොහෝ දේ අගයක් කිසිවෙකුට දැනෙන්නේ නැහැ...ඒක මිනිස් ගතිය ප්‍රා...ඉහල අගයක් සහිතව විකුණන ඕනෑම දෙයක් තත්වය ගැන නොසලකා මිලදී ගන්නෙත් ඒ හේතුව නිසාම තමයි...
බොහොම ස්තුතියි ඔබට...
//පසුම්බිය කුඩා මිනිසුන්ගේ හිත බොහෝ විශාලයි...// මගෙත් පසුම්බිය කුඩා උනාට හිත විශාලයි..
ReplyDeleteමේක පුංචි ඇත පත්‍රිකාවක වගේ මුද්‍රණය කරලා අපේ වී.වී. සිසු සිසුවියන් අතරේ බෙදල දෙන්න හිතිලා ඉන්නේ..
ඒ බව දන්නවා කමි...ඔබ සහභාගී වන සමාජ සේවා කටයුතු වලින් ඒ බව පෙනෙනවා...
Deleteකිසිම දේශපාලනයක් නොගෑවෙන ලෙස කරන්න හැකි නම් මගේ අකමැත්තක් නැහැ කමී...
ඉතාම වැදගත් ලිපියක්. අපේ සරසවි සිසුන් අනිවාර්යයෙන් කියවිය යුතුයි කියල හිතුනා. ඒ නිසා FB එකේ share කලාට වරදක් නැහැනේ.??
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට...නැහැ කිසිම ගැටළුවක් නැහැ, ඔබට පුළුවන් FB එකේ බෙදාගන්න...
Deleteඇමෙරිකාවට ගිය හෝ ඉන්න හුඟක් අය ලියන සෝබන ලිපි වලට වඩා ඔබේ ලිපිය අව්‍යාජ එකක්. ඇමෙරිකාව වගේ රටකට නිදහස් අධ්‍යාපනය දෙන්න පුළුවන්. මිනිසුන් බදු ගෙවනවා. රට පොහොසත් . ඔවුන් එය නොකරන හේතුව මම දන්නේ නැහැ. හුඟක් වෙලාවට ඉන්දියාව වැනි රටවල් වලින් වැඩි වියදමක් නොමැතිව උගතුන් ගෙන්වා ගත හැකි නිසා කියලයි මම හිතන්නේ. එංගලන්තය නම් ඒ අදහසින් තමා මුදල් අය කරන්නේ මෙහෙ. ලංකාව වැනි රටවලින් අඩු වියදමට උගත් දොස්තරලා හෙම එන නිසා. එක නිසා තමා මම කියන්නේ ලංකාවේ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දෙන්න කියල.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ඇගයීමට අජිත්...
Deleteමා හිතන්නේ ඔබ කියන දේ නිවැරදියි...ඔවුන් උපාධි සහ අනෙකුත් පාටමාලා වෙනුවෙන් අය කරන මුදලත්, ඒ වගේම ඒ ශිෂ්‍යයින්ගෙන් අය කරන බදුත් වලින් ලැබෙන ආදායමත් අයිති වන්නේ අමෙරිකාවටනේ...ලංකාවෙත් ඒ විදියේ ප්‍රමිතියක් සහිත පාටමලා පටන් ගත්තොත් රජයට ආදායමක් ලබන්න පුළුවනි...ඒ එක්කම අලුත් රැකියා අවස්ථා බිහි කරන්නත් වෙනවා...ඒක බොහොම ක්‍රමානුකුලව කල යුතු දෙයක්...
Vatina lipiyak...
ReplyDeleteබොහොම ස්තුතියි ලලිත්...
Deleteමම නොදන්නා බොහෝ දේ ඔබේ ලිපියෙන් උගතිමි.
ReplyDeleteස්තූතියි පොකුරු නෝනේ...:)
බොහොමත්ම ස්තුතියි රවි මහත්තයෝ... :)
Deleteහරි අපූරුවට ලියලා..
ReplyDeleteගන්න බොහෝ දේ තියෙනවා
බොහොම ස්තුතියි ඔබට...ඒ වගේම බ්ලොගයට ගොඩ වැදුනටත් ස්තුතියි...
DeleteSo proud of you as a Sri Lankan.love you keep going real world hero you make my day don't stop writing You inspired me Thank you
ReplyDelete