Thursday, September 1, 2016

නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ...





නුබෙ නම කවියක්ය මා දෙතොලඟ ගැයුනූ
නුබෙ ඇස කවියක්ය මගෙ ඇස ළඟ රැඳුනූ
නුබෙ හිත කවියක්ය මං තාලම වැයූනූ
නුඹ මගෙ කවියක්ය වරදින් පද බිඳුනූ

හීන හතම නුඹමය නුබෙ සුවඳමය 
පාට උලනකොට හීනේ අහවරය 
පේන නොකිව්වෙමි සකිසඳ සත්තමය 
බාර උනත් අහස, පොළොව හුඟ දුරය 

රූප අඹා නුඹ ගෙතු දිග කථාවෙන්
දීග නොයා හැර ආවට සමාවෙන් 
මුල මැද එකට උන්නත් අපි හිනාවෙන් 
අවසන ගෙවන්නේ කොහොමද මං තනියෙන්

තාලම වෙවී හැම කවියක උන්නු සකී
විළිබර හඬින් ඒ වෙණපද ගැයූ සකී 
හිත් ලං වුනත්, ලං ලං වී ඉන්න සකී 
නුඹටද මටද කල පිං මදි වුනේ සකී 

නිරුවත් පෙමින් නෙත් දෙපියන් උනාලූ
තවමත් හීනයෙන් නුඹ අත වනාලූ
අමතක කරන්නෙමි මතකය කියාලූ 
මතකය දිගේ නෑවිත් ඉඳපන් යාලූ


WW
(1999)

26 comments:

  1. රූප අඹා ඔහු ගෙතු දිගු කථාවත්
    දීග නොයා හැර ආවට සමාවත්
    මුල මැද එකට උන්නාවූ සිනාවත්
    හරියයි නැවත හමුවූවොත් වතාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් රසවත් පද පෙළට...
      ............................................

      ඔහු දැන් ලියා ඇත අලුතින් කථාවක්
      අතිනත වෙලී ඇය දුටුවා වතාවක්
      ආපහු යනු කොහොම අතීතය ඉනාවක්
      අග මුල යා නොවුන තවත් පෙම් කථාවක්

      Delete
  2. මෝසම් සුළඟ නුඹෙ පුසුඹයි ගෙනෙන්නේ
    වැහිබිඳු සෙමින් මගෙ දොකොපුල සිඹින්නේ
    නුඹෙ අතැඟිලිද කෙහෙරැලි පිරිමදින්නේ
    හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේ

    ReplyDelete
    Replies
    1. //හිරිගඩු කිමද මගෙ සියොලඟ පෙලන්නේ//

      වයසට බං වයසට

      Delete
    2. ඉයන්,

      ගුල්මගාය හැදීගෙන එනකොටත් හිරිගඩු පිපෙන්ට ගන්නව...:)

      Delete
    3. ඉයන්...පොකුරුගේ සිතිවිල්ල (සෑහෙන පරණ) ඇබ්සෝර්බ් වෙච්ච ගමන් හිතිච්ච දේ ලිය උනේ...ඕවට වෑස බලනොපායි..."

      Delete
    4. චෙෆාකි මහත්තයෝ කවිය නම් හරිම රහයි...කිව්වත් වගේ කවි හිතුවිලි වලට නම් වයසක් නැහැ තමයි...මං මේක ලියලත් දැන් අවුරුදු දාහතක් විතර ගෙවිලා...ඒත් අදටත් ඒක දැක්කම එදා වගේම හිතට දැනෙනවා...බොහොම ස්තුතියි...

      Delete
  3. ආවත් හැර දමා මුල මැද දුටු පෙමක
    නාවත් නුඹ නමින් කදුලක් මා නෙතක
    කීවත් වෙන්වෙමුය ඉඩ නෑ තුන් හිතක
    මාවත් පරදවා හිත නුඹ ළග මැණික.....
    පොකුරුගේ කවි සිත්තම ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමි...

      ඒ වගේම ස්තුතියි හරිම ලස්සන කවි පද පෙළක් එකතු කලාට....

      Delete
  4. කට්ටියම කවි ලියලා නිසා මොකුත් ලියන්නත් මොකක්ද වගේ. ඒක නිසා ඕං මං මොකුත් කියන්නෑ

    ReplyDelete
    Replies
    1. සඳාටත් තිවුනේ කවියක් ලියන්න... වැඩ ගොඩක් අතරේ ගොඩ වැදුන එකම මදැයි කවිය බලල යන්න...බොහොම ස්තුතියි සඳා...

      Delete
  5. නෙලනු සඟවනු එපා මලින් මලේ
    කොතන සැඟවිනිද නොනිදා මා හදේ
    මතකයන් මා හදේ රැව්පිලි රැව් නැඟේ
    හිරු නැඟෙන මුත් නුඹ දැස නොපෙනේ

    නොයදිමි මා නැවතීමක්
    නොපතමි මා පැවතීමක්
    රිසි සේ නුඹට මා විඳිමක්
    මේ අසාර දිවියේ ලද දිනක්
    මිස නැ මා ලබන්නේ පලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා සොඳුරු පද පෙළක් එකතු කලාට...

      Delete
  6. පද එකින් එක ලියලා..
    සිත කුරුටු ගා මැකුවා..
    ඔබ ලියු කවි කියවා..
    මම අසරණව උන්නා.. :/

    ReplyDelete
    Replies
    1. මම සස්වාමිකයි ස්වාමිනේ..

      Delete
    2. කවියක් කරපු හදියක්...

      බොහොම ස්තුතියි කමි :)...

      Delete
  7. කොතැනක කෙලෙස වරදක් සිදු වි ද නොදැනී
    එක් වන මගේ කවි පොතට ම ගිනි වැදුණී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වර්ෂා...

      .............................................
      අප ආ මාවතේ විසකුරු කටු තිබුනී
      දැන දැන රිදෙන බව නටු අග මල් පිපුනී
      සීරුම් නොතබාම ගියමුත් සකි සඳුනී
      ඉල්වැහි වැස්සුවා තනිවම කණ කෙකනී

      Delete
  8. නින්දක් නොදුටු පුර සඳ ඇති නැති රැයවල්
    හීන පිරුණු ගත සිත දවනා රැයවල්
    ගැස්සී අවදි වන ඇස් රිදවන රැයවල්
    නුඹ ලඟ නොමැති මට නැත සුවපිරි රැයවල්

    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරිම අපූරුයි ගස් ලබ්බ් මලේ...ලස්සන පද පෙළ..බොහොමත්ම ස්තුතියි...

      .......................................................

      තුන්තිස් පැයේ මා මතකෙන් මිදීයන්
      රැයේ කළුවරෙන් මින්දද එබීයන්
      කන්දේ දේවතාවුන් ඇහැ ගැටීයන්
      හද්දා මඟුල් දා මා සිහි නොවියන්

      Delete
  9. හරිම ලස්සනයි අක්කේ කවි ටික... ඔයාගෙ හිතට දැනෙනවා වගේම කියවන හිතකටත් දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි නංගි...

      Delete
  10. මට රස විඳින්න මිසක කවි ලියන්න නං බෑ. ඔබේ මේ සඳැස් කවි පෙළ මා බෙහෙවින් රස විඳි බව කිව යුතුමයි. තවත් පොඩි කතාවක් කියන්න තියෙනවා ඔබ මීට කළින් ලියු කතාව මා කියවූවා. ඒ කතාවෙන් මගේ හිතට දැනුනු තිගැස්ම වචනයෙන් කියාගන්න බෑ. ඒ නිසාම මා මොකුත් නොලියා හිටියත් කතාව කීප වතාවක්ම කියෙව්වා. ජය!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හැලපතුමෝ කවි පෙළ අගය කලාට...

      එතැන කමෙන්ටුවක් නොදැම්මාට ඔබේ මේ අදහස බොහොම වටිනවා...ඇත්තෙන්ම ඒ කතාව ඇසීමෙන් ඇතිවුන කම්පනයම තමයි ඒ සටහන ලිවීමට මා පෙළඹ වුයේත්...නැවතත් බොහොම ස්තුතියි...

      Delete