Saturday, August 27, 2016

විජේ අය්යාගේ දීගය...


"එදා උදේ ගෙදරින් ගිය ගෑණි...වැඩට යනව කියල...කවුද හිතුවෙ..."

ඔහු දිගු සුසුමක් හෙලයි...

මට පෙනෙන්නේ රියදුරු අසුනේ සිටිනා ඔහුගේ මුහුණේ අඩක් පමණි...මා සියලු නිගමනයන් වලට එළඹිය යුත්තේ එදෙස බලාගෙනය...මුහුණේ අනික් අඩෙහි සටහන් වන ඉරියව් කිසිවක් මට නොපෙනෙන බැවින්, මගේ නිගමන පක්ෂපාතී විය හැකි බව මගේ සිත මට තරයේම කියා සිටියි...

එහෙත් මා ඒ කථාව අසා සිටිමි...

"දවස් දෙක තුනකින් ඩිවෝස් පේපර්ස් එව්වනේ"...

ඔහුගේ හඬ හැඟුම්බරය...

"මං විජේව එදා හරියටම දැක්කේ එයාර්පොර්ට් එකේදී...ඒත් මං කොහොමද, මාව මෙහෙට ගෙන්න ගත්ත මනුස්සයට එහෙම දෙයක් කරන්නේ..."

ඒ ඔහු ගැන, ඇය මා ඉදිරිපිටදීම මින් වසර තුනකට පමණ පෙර කියූ කථාවකි...

විජේ අය්යාගේ හැඟුම්බර හඬට, ප්‍රියානි අක්කා ඒ කියූ කථාව අද වන විට සහසුද්දෙන්ම ගැලපී ඇති බව මට වැටහෙන්නේ දැන්ය...එහෙයින් ඔහුගේ මුහුණේ අඩකින් පමණක් මට පෙනෙන මේ කතාන්දරයේ වැඩි වාසිය ඇත්තේ විජේ අය්යාටය...

"ප්‍රියානි දැන් දෙමළ කෙනෙක්වලු බැඳලා තියෙන්නේ...එයත් කලින් බැඳලා උන්න කෙනෙක්ලු...ෆේස් බුක් එකෙන්ලු හම්බවෙලා තියෙන්නේ..."

විජේ අය්යා කියාගෙන යයි...

ඒ අතරතුර ඔහුගේ අවධානයද ගිලිහී යයි...

"ෂාහ්, අපි මෙතැනින් හැරෙන්න ඕනේ...එහෙනම් ඉස්සරහට ගිහින් හරවමු..."

ඒ අතපසු වීම මට මහා පුදුමයක් නොවේය...අතුරු මාවත් පමණක් නොව, ප්‍රධාන පාර පවා විජේ අය්යාට පටලැවී හමාරය... 

"මට පිස්සු නොහැදුන ටික විතරයි...මගේ හිත හදාගන්න උදව් වුනේ වික්ටර් පියතුමා...ඒ නිසයි මං බුද්ධාගම අත් හැරලා, ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් කැප වුනේ...එයාට මං හුඟක් ආදරේ කලා....එයත් එහෙමයි..."

හුස්මක් නොගෙන ප්‍රියානි අක්කා කියාගෙන ගිය අයුරු මගේ මතකයට නැගේ....

මා ඇතුලාන්තයෙන් බොහෝ සේ විස්මයට පත් වී, කිසිවක් නොවුනා සේ සිටි, දවස් අතළොස්සකින් එක් දවසක් ඇත්නම්, ඒ එදා මා අවසාන වතාවට ප්‍රියානි අක්කාව හමුවූ දිනයයි...

ඒ මුලින් මා සඳහන් කල ලෙස, මින් වසර තුනකට පමණ පෙර, ඔවුන්ගේ නිවසේ පැවති විජේ අය්යාගේ උපන් දින සාදයේදීය...

"මේ ගෑණි තමන්ගේ මිනිහව අඩි දහයක් දුරින් තියාගෙන කියන කථාවක්ද මේ...ඒ මදිවට ආගමත් වෙනස් කරලා..."

"නෑ...ආගම වෙනස් කරන්න, ඕනේ කෙනෙකුට අයිතියක් තියනවා...ඒත් අවුරුදු දහයක් තිස්සේ දීග කාපු ගෑණියෙක්, තමන්ගේ පරණ ප්‍රේමවන්තයා  ගැන එහෙම කියන එක හරිද..."

"ඒත්...............ඔව්...සමහර විට මැරෙන තුරාවට අමතක කරන්න බැරි දේවලුත් මිනිස්සුන්ට තියෙන්න පුළුවන්නේ...හැමදේම දෙපැත්තක් තියනවනේ....ඒත්..ඒත්...ප්‍රියානි අක්කා විජේ අය්යට ආදරයක් ඇත්තෙම නැද්ද..."

මේ සියලුම තර්ක, හිතින් ගොඩ නගමින්, ඒ කතාන්දරය අසා සිටි පිරිසේ සිටි වයසින් බාලයා මා විය...අනික් සියල්ලෝම මැදිවිය ඉක්මවූ ගැහැණු විය...ඒ සියල්ලෝම ඉදිරියේ, ප්‍රියානි අක්කා තමන්ගේ පැරණි පෙම් පුරාවත දිග හැරියේ, විජේ අය්යා යට තට්ටුවේ තම උපන් දිනය සමරමින් හිඳිනා වග මොහොතකට අමතක කරමින්ය...

ඉන් වසර තුනකට පසු, ඒ කතාවේ ඉතිරි අඩ අසන්නට අද මට අවස්ථාවක් උදා වී ඇත...

"ඔය ප්‍රියානිගේ, පුංචි අම්මගේ දුවලා දෙන්නා, ඒ දවස් වල වැඩ ඉවර වෙලා එන්න රෑ එකොළහ විතර වෙනවා, ඉතින් පුංචි මට කෝල් එකක් දීල කියනවා, ගිහින් එයාලව එක්ක එන්න කියල...මං ඉතින් ගිහින් එක්කන් එනවා..."

විජේ අය්යා සීරුවට කියාගෙන යයි...

"ඉතින්, ඔයාව ඒ දෙන්නට පට බැඳලා ප්‍රියානි අක්කා දොස් කිව්වද..."

මට එසේ ඇසුනේ, ඔහුගේ පසුබිම් කථාව එවැනි සිතිවිල්ලකට ඉඩ හසර සැලසූ බැවිනි...

"එහෙම කරලා නිකම් උන්න නම් මදැයි..."

"එක දවසක්, මගේ ෆෝන් එක කුඩු කළා ප්‍රියානි අක්කා...එයාට කේන්ති ගියාම එහෙම තමයි...බඩු පොළොවේ ගහනවා...හැඳි දෙකට නවනවා..."

"මං කා එක්කවත් ඕව කියල නෑ...එහෙම කිව්වයි කියල වැඩක් නැහැනේ..."

මේ විජේ අය්යා මා ඉදිරියේ තබන්නේ, අප කිසිවෙක් නොදැන හුන් ඔවුන් දෙදෙනාගේ ජීවිත කථාවයි...

"දැන් ගෙදරට මොකද කරගත්තේ අය්යේ..."

මා විමසුවේ, නුදුරු දිනයකදීම ණය ගෙවා ගත නොහැකිව ඇමෙරිකානු බැංකුවකට සින්න වීමට යන ඔහුගේ නිවස පිළිබඳවයි...

"මං ඉල්ලීමක් කරලා තියෙන්නේ...කාල සීමාව දික් කරලා දෙන්න කියල...තාම බැංකුවෙන් මොකුත් කිව්වේ නැහැ..."

"මේ ඊයේ පෙරේද දවසක රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් එවලා බැංකුවෙන්...ඕක අත්සන් කරලා ගන්න මං රස්සාවකට නොයා ගෙදර ඉන්නද ඉතින්..."

"බැංකුවෙන් බලන්නෙම මං මෙහේ පදිංචි නැහැයි කියල ඔප්පු කරන්න...එහෙම වුනාම ගේ බැංකුවට ගන්න පුළුවන්නේ...මං පහුවදා තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම ගත්තා..."

මා දන්නා පරිදි ඔහුට බැංකුවෙන් සහනයක් ලැබිය යුතුය...නමුත් බරපතල කරුණ නම්, මේ මෙවැනි දෙයක් සිදුවන දෙවැනි වතාව වීමයි...ප්‍රියානි අක්කාගෙන් වෙන් වූ අලුත, එක් වතාවක් ගෙය සින්න වීමට ගොස්, ලංකාවේ මිතුරන් එකතු වී මුදල් සොයා කිසියම් උදව්වක් කල බවක් මා කලින් අසා ඇත..මා අද වනතුරුම සිතා උන්නේ, විජේ අය්යා ඒ ලැබුන කිසිදු අවස්ථාවකින් නැවත නැගී සිටීම සඳහා කිසිදු උත්සාහයක් නොකළ බවයි...

"ඔයාට පුළුවන් නේද ගේ කුලියට දෙන්න..එතකොට, ඒ එන මුදලින් පුළුවන්නේ, ඔයාගේ ණය වාරිකයට මුදලක් එකතු කරගන්න..."

මා පැවසුවේ,  ඒ පිළිබඳව ඇති ඔහුගේ අදහස දැනගැනීමටය...

"ගෑස් බිල ඩොලර් දෙදාහක් විතර දැන්...ඒක ගෙවාගන්න විදියක් නැහැනේ...නැත්නම් එක මනුස්සයෙක් ගෙදර එක කාමරයක නවතින්නත් ආවා...එයා බිල ටිකෙන් ටික ගෙවලා, කුලියෙන් අඩු කරන්නම් කිව්වා..."

"ඒත් බිල ගෙවන්න ගියාම, ඒකෙ ගෙවන මුදල තිබුනේ සීරෝ කියල...අන්තිමේ, හුඟක් කල් ගියා ඒ ප්‍රශ්නය විසඳගන්න..."

"අර මනුස්සය, මාස දෙක තුනක් ඉඳලා සීතල වතුරෙන් නාන්න බැහැයි, ගෑස් නැතුව අමාරුයි කියල ගියා...දැනුත් එයා එන්න කැමැතියි...ඒත් දැන් එයාගේ අතෙත් මුදල් මදිලු සමර් එක නිසා නිවාඩුවට වියදම් කරලා..."

මිනිසුන්ට ප්‍රශ්න එන්නේ එකපිටය...ජීවිතය විටෙක එක කොනක් ලිහාගෙන එනවිට අනික් කොනෙන් පැටලවෙන හරස් පද ප්‍රහේළිකාවකි....

"අපි දෙන්න වෙන් වෙන්න කිට්ටුව, වෙනම ජීවිතේ ගත කරන කාලේ, ගෑස් බිල ඩොලර් දාහක් තිබුනා...මං ප්‍රියානිගෙන් සල්ලි ටිකක් ඉල්ලුවා ඒක ගෙවාගන්න..."

ඒ ඉල්ලීමට ප්‍රියානි අක්කා ලබා දී තිබූ පිළිතුර, මනුස්සකමට නොවටිනා තරම්ය...

"විජේ, ඔයා දන්නවනේ මං දැන් බඳින්න කෙනෙක් හොයාගෙන තියෙන්නේ කියල...එයා මගේ එකවුන්ට් ඔක්කොම බලනවා...ඉතින් මට මට ඔයාට සල්ලි දෙන්න විදියක් නැහැ..."

විජේ අය්යා, ඇයට සීමා මායිම් පනවා නොතිබුනේය...

"මං කවදාවත් එයාගේ එකවුන්ට් බැලුවේ නැහැ නංගි...එයා කීයක් හම්බ කලාද කියලවත් මං දන්නේ නැහැ..."

ගැහැණියක් තුල දේවතාවියක් මෙන්ම යක්ෂණියක්ද ජීවත් විය හැකි බව මා දැන වුන් කරුණකි...ප්‍රියානි අක්කා ඒ චරිත දෙකටම සමසේ පණ පොවා ඇති බවත්, අවසානයේ දේවතාවිය පැරදී ඇති බවත්, මා පසක් කරගත්තේ දැන්ය...

"පුංචි අම්ම මාව මෙහේ ගේන්න විජේව පාවිච්චි කළා..."

පුංචි අම්මයි, මමයි, දෙන්නම ඒක දැනන් උන්නා...ඒත් මං කොහොමද ඒ අහිංසක මනුස්සයගේ මූණ බලාගෙන එහෙම කරන්නේ..."

"ඒ නිසයි මං එයාපෝර්ට් එකේදිම තීරණය කලේ, විජේ අය්ය එක්ක මුළු ජීවිතේම ගෙවනවා කියල..."

එදා ප්‍රියානි අක්කා අපට කීවේ එහෙම කථාවකි...  

"මං දරුවෙකුට හරි ආසයි...අපි උත්සාහ කළා ඒත් දරුවෙක් හදන්න නම් බැරි උනා.."

අම්මා කෙනෙකු වීමට නොපතන ගැහැණියක් ඇත්නම් ඒ කලාතුරකිනි....ප්‍රියානි අක්කා අම්මා කෙනෙකු වූවානම්, ඇය විජේ අය්යාගෙන් වෙන් නොවේයැයි යන්නට සහතිකයක්ද නොමැත...

"එයා වෙන කෙනෙක්ව කසාඳ බැන්දා...ඉන් පස්සේ දවසක මට ඒ දෙන්නවම මුහුදු වෙරළේදී හමු වුනා...එදා එයා  මට එයාගේ නෝනා ඉස්සරහම කිව්වා, මෙයා තමයි මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ගෑණි කියල..."

ඇයගේ පැරණි පෙම්වතා ගැන කියද්දී, ප්‍රියානි අක්කාගේ දෑස් දිලිසුන හැටි මට තවම මතකය...

ඇය කිසිදිනෙක විජේ අය්යාට ප්‍රේම කළාදැයි මා නොදනිමි...

විජේ අය්යා කුඩා සිරුරකින් හෙබි මිනිසෙකි...ප්‍රියානි අක්කා මනා පිරිපුන් දේහයකින් යුක්ත උස මහත ගැහැණියකි...

ඇය ඔහු කෙරේ හුදු අනුකම්පාවක්ම මිසක, යම් තරමක ආකර්ෂණයක් හෝ තිබුණාදැයි සැක සහිතය...

දීගය යනු අනුකම්පාවෙන් වින්දනය කල හැකි දෙයක් නොවන වග, ඇය නොදැන සිටියා වෙන්නට පුළුවන...

"මං මේ තරම් අමාරුවේ වැටෙන්නේ නෑ, එයා ඩිවෝස් වුනයින් පස්සේ ලංකාවට ගිහින් එන්න නොගිය නම්...ගෙයි ණය වාරිකේ පටලැවුනේ ඒ නිසා..."

විජේ අය්යා නැවතත් ඔහුගේ හඬ අවදි කළේය...

"ප්‍රියානි වැඩ කරන තැන ගෙදර අයත් එක්ක ඒ කාලේ ගොඩක් ඇවිදින්න ගියා...එහෙම ගියාම, ඒ මිනිස්සු එයාට මුදල් දෙනවා...ඒවා දෙන්නේ චෙක් වලින් නෙවේ..."

"එක අවුරුද්දක අපි දෙන්නම ටැක්ස් ෆයිල් කළා එකට...එතකොට දෙන්නගෙම ආදායම වාර්තා කරන්න ඕනෙනේ...එයාට මුදල් වලින් විතරක් ලැබුන ඒවා අපි වාර්තා කලේ නැහැ...ඒත් එයාගේ එම්ප්ලෝයර් ඒවා වාර්තා කරලා අදායම් බදු දෙපාර්තමේන්තුවට..."

"පස්සේ අපි දෙන්න ඩිවෝස් වුනයින් පස්සේ, ඒවා මගෙන් අය කරගෙන...මං ලංකාවට නිවාඩුවට යද්දී, ටැක්ස් රිෆන්ඩ් එක හරවල ගියේ බැංකු ණය වාරිකය ගෙවෙන විදියට...නමුත් මගේ ටැක්ස් රිෆන්ඩ් එක සම්පූර්නයෙන්ම ආපසු නොලැබුන නිසා, ණය මුදල වැඩි වුනා..."

ආදායම් බදු දෙපාර්තමෙන්තුවද කර ඇත්තේ හිඟන්නාගේ බත් පත උදුරා ගැනීමට සෙනසුරා එවීමය...වසර පහකට පමණ කලින් කල වැරැද්ද ඔවුන්ට හසුවී ඇත්තේ, විජේ අය්යාගේම නරක වේලාවටය...

එය කැකිල්ලේ තීන්දුවකි...දෙදෙනා විසින් කල වරදට ඔවුන් අය කරගෙන ඇත්තේ විජේ අය්යාගෙන් පමණය... 

"මං ප්‍රියානිට සේරම ෆොටෝ කොපි කරලා යැව්වා නංගියේ...වැඳ වැටුනා...මට කීයක් හරි දෙන්න කියල ඒ වෙනුවෙන්...මං ඒ තරම් අසරණ වෙලා උන්නේ...එයා කිව්වේ මටත් සේරම ලියුම් ආවා, ඒත් මට කරන්න දෙයක් නෑ කියල විතරයි..."

මා හෙලූ ගැඹුරු හුස්මෙන් පසු හෝ ඒ කතාවෙන් ඇතිවූ කම්පනය දරා ගැනීමට මට නොහැක...ප්‍රියානි අක්කා පසු කාලීනව ක්‍රියා කල ඇත්තේ අප කිසි කෙනෙකුට තේරුම් ගත නොහැකි අන්දමින්ය...

"ප්‍රියානිගේ නංගිගේ දුවල දෙන්න මට කියන්නේ ලොකු තාත්ත කියල...ප්‍රියානි මගෙන් ඩිවෝස් වෙලා ලංකාවට ගිය පළමු වතාවේ, එයාගේ ෆේස් බුක් පෙම්වතාට තෑගී ගොඩක් අරන් ගිහින් තියනවා..."

"ගියාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ, ඒ කොල්ල මෙයාට වඩා බාලයි කියල.."

"ඉන් පස්සේ ප්‍රියානි එයාව, නංගිගේ දුවෙකුට ප්‍රපෝස් කරලා...ඒ ළමය ඇත්ත කතන්දරේ දැනගෙන, අනේ ලොකු තාත්තේ, ලොකු අම්ම මට මෙහෙම කලේ කොහොමද කිය කියා ඇඬුවා..."

මට දැනෙන්නේ මහා පිළිකුලකි...ප්‍රියානි අක්කා තමන්ට නොලැබුන සතුටක් සොයා ගොස් සිහි විකල්ලෙන් කටයුතු කර ඇති බව මට සිතේ...

"ප්‍රියානිගේ අම්මගේ කකුලේ අමාරුවක් තිබුනා...එයාලගේ ලංකාවේ ගෙදරට ගිය වෙලේ, ඒ නිසා උඩ තට්ටුවේත් කුස්සිය හදන්න මං කරපු යෝජනාව නැවතුනේ, අන්තිමට ඒ ගෙයි තට්ටු හතරක් වෙලා..."

"ප්‍රියානි ඒ ලඟින් තව ඉඩමක් ගත්තා...කඩයක් ගත්ත...ඒ පැත්තේ නෑ ඒ වගේ ගෙයක්..."

විජේ අය්යාගේ මුහුණේ කිසිදු කණගාටුවක සේයාවක් නැත...ඔහු අතිශයින්ම හිත හොඳ මිනිසෙකු බැවින්, ඒ කල දේ ගැන නන් දොඩවන්නේ නැත...

"දැන් විජේ අය්ය කරන රැකියාවට අමතරව, ස්ථිර රැකියාවක් හොයාගන්න බලන්න..."

මා එසේ කීවේ, විජේ අය්යාගේ  අතීතය ගැන අසා සිටීමෙන්, ඔහුට ඇති ප්‍රශ්න කිසිවකට විසඳුමක් නොලැබෙන බැවිනි...

"ඔව් මං ළඟදීම සිටිසන් එක්සෑම් එක කරනවා, ඉන් පස්සේ මට ගවර්මන්ට් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවනි..."

ඔහු ඒ සඳහා අවැසි මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා ඇසුවේ නැත..එහෙත් මා දන්නා දා පටන්ම අන් අය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කල මේ මිනිසා තමන් ගැන සිතීම ගැන මට දැනුනේ සන්තෝෂයකි...

"ප්‍රියානි කොහේ හරි සන්තෝෂෙන් ඉන්නවා නම් මට ඒ ඇති...දැන් ඔය හැමදාම අලුත් මහත්තයට උයල දෙනවා කියන්නේ...මං සතියක් තිස්සේ එකම දේ කෑවනේ සමහර වෙලාවට...එකම කෑම කන්න බැරිව කුණු කුඩෙටත් දැම්මා..."


ගෑණු කියන්නේ කාටවත් තේරුම් ගන්න බැරි ජාතියක්...මට සිතුනේ එහෙමය...

"මට දුක අවුරුදු දහයක්ම ප්‍රියානි මගේ ජීවිතේ නාස්ති කල එක ගැන...එයාට මුලින්ම මට ඒ ගැන කියල අයින් වෙන්න තිබුනා..."

...................................................................................................................................................


"කාටවත් කර්මයෙන් ගැලවෙන්න බෑ විජේ අය්යේ...."

......................................................................................................................................................

මා මගේ ගමනාන්තයට ආ පසු ඔහුගේ නියමිත මුදල් ගෙවා විජේ අය්යාගේ  ටැක්සියෙන් බැස ගතිමි....

ගමනාන්තය දන්නා කෙනෙකු සොයා ගෙන, ගමනාන්තය කොහේදැයි නොදන්නා විජේ අය්යාගේ ටැක්සිය කලබල මාවතේ නොපෙනී ගියේය....

.......................................................................................................................................................

ඇත්ත තිත්ත වූවත්, අනුකම්පාව වෙනුවෙන් තිත්ත වහන්නට උත්සාහ දැරූ විට සිදු වන්නේ, ප්‍රියානි අක්කාට සහ විජේ අය්යාට සිදු වූ දෙය විය හැක...

අනුකම්පාව නම් ප්‍රේමය යැයිද, ප්‍රේමය නම් ලිංගික ආකර්ෂණය යැයිද, කැපවීම නම් දීගය යැයිද වරදවා වටහා ගන්නා ප්‍රියානි අක්කලා මේ සමාජයේ බහුලය...

එලෙසින්ම, තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම සඳහා අනෙකා පාවිච්චි කරවිත් මෙවන් රටවල "දීගකනවා මෙන්" සිටින අයද බොහෝය...ඒ දීග කොතරම් කල් පවතීදැයි මා නොදන්නෙමි....

අවැසි නම් දීගය  ගණුදෙනුවක් කරගැනීම අනොන්‍ය කැමැත්ත මත සිදු විය යුතු දෙයකි...එය දියුණු රටවලට සංක්‍රමණය වන්නට භාවිතා කරන නිත්‍යානුකුල නොවන ප්‍රචලිත ක්‍රමයකි...

ප්‍රියානි අක්කාටත් මා එදා අසා සිටියාට අමතරව ඇයගේ පාර්ශවයෙන් කථාවක් තිබිය හැකිය... 

එහෙත් විජේ අය්යා මෙන් මිනිසුන් අසරණ කර, ඔවුනගේ අහිංසක ජීවිත කණපිට පෙරලා දැමීම කෙතරම් සාධාරණදැයි සිතීම ඔබට බාර කරමි...

.......................................................................................................................................






25 comments:

  1. මේක සථ්‍ය සිදුවීමක්ද පොකුරු. කොහොම හරි අපූරුවට ලියලා තියෙනවා. ජීවිතයට පාඩම් කීපයක්ම මේක ඇතුළේ තියෙනවා. ආදරය, විවාහය, මුදල් මේ අතර ජීවිතය ගලායාම විජේ අයියා කොහොම විදින්න ඇතිද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී...මේ සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුන කථාවක්...විජේ අය්ය හැමදේම තනියෙන් දරාගත් කෙනෙක්...අද වෙද්දී එයා ඉන්නේ උන් හිටි තැන් අහිමි වෙන තත්වෙක...

      Delete
    2. මගේත් යාලුවෙක් හිටියා. මිනිහා බදින්න හිටිය ගෑණු ළමයට අත දිග ඇරලා වියදම් කලා. පන්ති යවලා ඉගැන්නුවා. කසාදෙට ඕනකරන මුදු මාල අරන් දුන්නා. පුද්ගලික පාසාලක රස්සාවකටත් දැම්මා. දන්නවද පොකුරු. කසාදෙට මාස දෙකයි ඒ ගෑණු ළමයා මේ කොල්ලා එයාට ගැලපෙන්නේ නෑ කියළා ගිහින්. අන්තිමේට මගේ යාලුවා කරපු හෝටලෙත් නතරකරලා රට ගියා.

      ජයවේවා!!!

      Delete
    3. මෙහෙම කතාවන් බොහෝ සේ අහන්න දකින්න තියනවා දුමී...මිනිස්සු තව කෙනෙකුගේ ජිවිතයට සම්පුර්නයෙන්ම ඇතුල් වෙන්න කලින්, තමන්ව හදාරන්න ඕනේ...එතකොට ඔය ගැලපීම් නොගැලපීම් අඳුනා ගන්න ලේසියි...අනිත් අතට සමහරු නම් හිතා මතාම බොහොම ආත්මාර්ථකාමී විදියට හැසිරෙනවා...එතනදී තමන්ගේ අරමුණු වලට යන්න හිතාමතාම අනිකාව පාවිච්චි කරනවා...

      Delete
  2. විජේ අහිංසක පොල් බුරුවෙක්.
    වැහි කෝඩේ එනකොට වතුරේ සුවඳ නොදැනෙන එකා මකලා හදන්නද
    පදං වෙච්චි එකෙක් නං දන්නවා අහස බලලා හැන්දෑවට වැහි කියන්නත්.
    බෝ කියන්නා වාගේ ජීවිතේ බොහොම සාදාරණයි .
    අන්තිමට පමණක් නොවෙයි ජීවත් වන මොහොතක් පාසා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරිබිරිස් මේ පැත්තට ගොඩ වැදිලා අදහස් එකතු කලාට...

      මා ඔබත් එක්ක එකඟයි...මිනිහෙකුට ඉවක් තියෙන්න ඕනේ ජිවත් වෙද්දී, තමන් ඉදිරියේ සිදු වෙන්නේ මොකක්ද කියල වටහා ගන්න...

      නමුත් විජේ කියන්නේ මෝඩයෙක් නෙවේ...ඒ මනුස්සයට මේ දේවල් නොතේරුනා නෙවෙයි...ඒත් ඒ මනුස්සයගේ හිත හොඳ වැඩියි...කිසිම කෙනෙකුට නැහැයි බැහැයි නොකිය උදව් කරන මනුස්සයෙක්...අවශ්‍ය වෙලාවේදී කෙලින් තීරණයක් නොගත්ත එක ඒ මනුස්සයගේ හිත හොඳ වැඩි කමින් ඇති වුන අනිටු ප්‍රථිපලයක්...ලංකාවේ ඉපදුන මනුස්සයෙක් විදියට, මේ රටේ තමන්ගේ නෝනාව ගෙදරින් එළවන්න හිත හදාගන්න බැරි වෙන්න ඇති විජේට...

      අනිත් එක පොඩ්ඩක් එහා මෙහා වුන ගමන් මෙහේ පොලිසියට කථා කරලා චෝදනාවක් ගොනු කරන්න පුළුවන්...එහෙම වුනාම ගැටළු ගොඩයි...ගෑනු කෙනා විජේට විරුද්ධව තමන්ට හිරිහැර කරනවා කියලා පැමිණිලි කළා නම් අවසානයේ නඩත්තු ගෙවන්න පවා සිද්ධ වෙනවා දික්කසාදයෙන් පස්සේ...හැමෝම දැනගෙන උන්නේ ඒ දෙන්නා බොහොම හොඳින් ජිවත් වෙනවා කියල විතරයි...ඒ මනුස්සයට සමාජයට මුහුණ දීමේ ගැටළුව පවා තියෙන්න ඇති...

      Delete
    2. ඕන කෙනෙකුට නැහැයි බැහැයි නොකිය උදව් කරනවා කියන්නේ බුවාගේ අඩුවක් වහ ගන්න කරන දෙයක්. බොහෝ විට බුවාත් නොදැන.ඔය හොඳ කමින් කපටියෝ හොඳට ප්‍රයෝජනය ගන්නවාද ඇත.
      මියගිය ප්‍රියානි ගැන කතා කරන්න දෙයක් නැත.
      අතේ දුරින් තියාගෙන අනුකම්පා කරන්න.
      හැකියාවක් තියේ නං ඇගේ ජීවිත "සෝ එක" බලා ගෙන ඉන්න.

      Delete
    3. බොහොම ස්තුතියි ඔබට...

      මිනිසුන්ගේ ඇතුලාන්තයේ ඇති දේවල් ගැන අපට හරියටම කියන්න බැහැ...ඒක මිනිස්සු කාටත් පොදු දෙයක්...

      මිය ගීය ප්‍රියානි යන්නෙන් ඔබ අදහස් කරන්නේ ඇයගේ එක් කතාවක නිමාව කියන එක කියල මා හිතනවා...

      මං මිනිස්සුන්ට අනුකම්පා කරන කෙනෙක් නෙවේ...ඕනෙම දෙයක් දිහාවේ විමර්ශනශිලිව බලන්න උත්සාහ කරන කෙනෙක්...මිනිස්සු හැමෝම විඳින්නේ තමන්ගේම ක්‍රියා වල ප්‍රථිපල...ඒ නිසා අනුකම්පා කිරීමෙන් පලක් වෙන්නේ නැහැ...මෙය කියවන එකම කෙනෙක් හෝ, තමන්ගේ ජිවිත වල තීරණ ගනිද්දී එයින් අනික් කෙනාට වෙන බලපෑම යම් තරමකින් හෝ හිතන්නට මේ සටහන උපකාරී වේවි කියල හිතුන නිසයි මෙය ලියා තැබුවේ...

      ඇත්තෙන්ම අතේ දුරින් තියා ගන්න කියල නම් විශේෂ දෙයක් නැහැ...මෙහේ හැමෝම ජිවත් වෙන්නේ බොහෝ වෙලාවට තමන්ගේ පාඩුවේ...රැකියා සමඟ හැමෝම බොහෝ කාර්ය බහුලයි...මේ කථාව අහන්නට ලැබීමත් අහම්බයක්...

      ඇත්තෙන්ම ප්‍රියානිට අයහපතක් වනු දැකීම මගේ අරමුණ නෙවේ...මා බෞද්ධයෙක් විදියට කර්මය විශ්වාස කරනවා...ඉතින් ඇය කරපු සියලු දෑ වල ප්‍රථිපල අත් විඳීවි...

      මේ කාර්ය බහුල ජිවිත අතරේ මේ කථා සියල්ලම කලකදී මැකී යාවි...මෙහේ ජිවිතේ බොහොම කලබලයි සිරිබිරිස්...මිනිස්සු බොහොම ඉක්මනින් ඊළඟ ඉලක්කය කරා යනවා...අපිට අපේ ජිවිතේ "සෝ" එක දිහාවේ බලන්නවත් වෙලාවක් නැහැ සමහර වෙලාවට :)...

      Delete
  3. ඊයෙ පෙරේද මූණුපොතේ ලස්සන වෙඩින් ෆොටෝස් ටිකක් දැක්කා.නැඟී එන සෝප් ඔපෙරා නිලියෙක්.මනමාලි මගෙත් යාළුවෙක් බවට පත් උනේ ඇය මගේ මිතුරකුගෙ පෙම්වතී බවට පත්වෙලා අවුරුදු අටක් විතර හිටපු නිසා.එයාලගෙ වෙඩින් එකට හොටෙල් පවා බුක් කරල ඉවර වෙලා තියනකොට ගෑණු ළමයා බූට් එක තියල මාස දෙකක් යන්න කලින් වෙනකෙනෙක් බැඳපු ෆොටෝස් තමා අර මම දැක්කෙ.අපේ එකාට ගෑණුළමය ගැන කතා කෙරවෙනකොට තාම කඳුළු ගලනවා.. මෙව්ව හිතාගන්න බැරි දේවල්.. තේරුම් ගන්න පුළුවන් තවත් ගෑණු කෙනෙකුටම තමා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කෙනාට කඳුළු නොගලයිද ඉතින්, මේක කියවපු මටත් ලොකු කණගාටුවක් දැනුන කොට...

      මේවගේ දේවල් ඇහෙද්දී දැනෙන්නේ ලොකු කලකිරීමක්...එහෙම වුනාම මට හිතෙනවා මෙහේ කෙනෙක් විවාහය සඳහා තෝරා ගනිද්දී බහුතරයක් අනුගමනය කරන සංකල්පය හොඳයි කියල...ඔවුන් මුලින්ම එකට මුණ ගැහෙන්න යන්න පටන් ගන්නවා...ඉන් පස්සේ කාලයක් යද්දී එකට ජිවත් වෙනවා...එතනදී හරියටම දෙදෙනා ගැලපෙනවද කියල දැනගෙන තමයි පිරිමියා විසින් ගැහැණියට ප්‍රපෝස් කරනවා හෙවත් විවාහ යෝජනාව කරන්නේ...එතනදිත් ඕනේ නම් පුළුවනි ප්‍රතික්ෂේප කරන්න...ඉන් පස්සේ තමයි විවාහ වෙන්නේ...එහෙම කරලත් කොයි තරම් වෙන් වෙනවද පසු කාලීනව...

      මං කියන්න උත්සාහ කරන්නේ පොරොන්දුවක් දෙන්න කලින් සිය වතාවකට වඩා හිතන්න ඕනේ...ඒ නොගැලපීම හොයාගන්නේ මංගල්ලෙට දින නියම කරලා සියල්ලෝම අපහසු තාවයට පත් කරල නම්, ඒක මහ අමනුස්ස ක්‍රියාවක්...

      අහඹු දේවල් වෙන්න පුළුවන්...සමහර විට එක් පාර්ශවයක් විසින් කරපු වංචාවක් අවසන් මොහොතේදී එළි වෙන්න පුළුවන්...ඒ වගේ දේවල් වලදී අපට කාටවත් චෝදනා කරන්න බැහැ විවාහය අවලංගු කලයි කියල...

      අනිත් එක තමන්ගේ හිතේ නොගැලපීමක් ඇත්නම් ඒ දෙදෙනා කවදාවත් විවාහ විය යුතුත් නැහැ පොරොන්දු කඩ කරන්න බැරී කමට...

      හොඳම දේ තමයි ප්‍රතිපත්ති ගරුක වෙන එක...දෙන්නෙක් කතා බහ කරලා එකිනෙකාව තේරුම් ගන්න කාලයක් ගන්න එක, විවාහ පොරොන්දු දෙන්න කලින්...අද කාලේ එහෙම දේවල් නැහැ...සියළුම හැඟීම් අර මැගී නුඩ්ල්ස් වගේ තමයි...හරිම ඉන්ස්ටන්ට්...මිනිස්සුන්ගේ බුද්ධිය සහ හැඟීම් කියන දේ එක් තැනකට දාල කිරල මැනලා බලන්න කාලයක් ගන්නේ නැහැ...

      Delete
  4. මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුල වු සමනලියක ගෙනි
    පාර අසා තිබුනේ ...

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන් හිටි තැන් මතකය අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඈයටද පාරක් ඈති නෑති ගානය

    අප හමු වුයේ මන් දැයි නොදනිමි
    පාර ඈසූයේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි...

    ReplyDelete
    Replies
    1. අපූරුවට ගැලපෙන ගීතයක් අලවා තැබුවාට බොහොම ස්තුතියි පත්තර මල්ලි...

      Delete
  5. මේක සමස්ත ගැහැණියගේත්, සමස්ත පිරිමියාගේත් කථාන්දරය නෙමේ. ඒත් අවංක පිරිමියෙකුට වංක ගැහැණියක් ලැබීමත්, අවංක ගැහැණියකට වංක පිරිමියෙක් ලැබීමත් අනවරතයෙන් මේ සමාජය ඇතුළෙ සිද්ධ වෙන දෙයක්. කථාන්දරවල නම් ගම් වෙනස් වෙන්න පුළුවන්. ජෙන්ඩර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒත් කැරකෙන්නෙ එක ම කථාව. ඒ වගේම ඒ අතරෙ ඉතාම යහපත් විදියට ජීවත් වෙන කපල්ස් ඉන්නවා. බුද්ධ දේශනාවෙ කියනවනෙ යුවළ වර්ග හතරක් ගැන.

    දේවෝ දේවියා - දෙවියෙක් සහ දෙවඟනක් බඳු යුවළක් එක් ව වාසය කිරීම
    දේවෝ ඡවාය - දෙවියෙක් සහ මළ ස්ත්‍රියක් බඳු යුවළක්
    ඡවෝ දේවියා - මළ පුරුෂයෙක් සහ දෙවඟනක් බඳු යුවළක්
    ඡවෝ ඡවාය - මළ පුරුෂයෙක් සහ මළ ස්ත්‍රියක් බඳු යුවළක්

    ReplyDelete
    Replies
    1. බොහොම හරි වර්ෂා...කැරකෙන්නේ එකම කථාව...ඒ යහපත් ජිවිත ගත කරන අය ගොඩක් වෙලාවට එකිනෙකාට විවෘතයි...එහෙම නැත්නම් එක්කෙනෙක් බොහොම නිහඬව සියල්ල ඉවසා ගන්නවා...විවාහය කියන්නේ අර අතුරේ යනවා වගේ වැඩක්...තමන් වෙනුවෙන් නැතිව,අපි වෙනුවෙන් එකට එකතු වෙලා ජිවිතේ ගත කරනවා නම් එතැන අනිවාර්යෙන් යහපත් විවාහ ජිවිතයක් තියේවි...

      මම, මගේ කියන සංකල්පය නිසා තමයි මේ ලෝකේ ඇතිවන සියලු දුක් දොම්නස් ඇති වෙන්නේ...

      බොහොම ස්තුතියි බුද්ධ දේශනාවෙන් වටිනා කොටසක් එකතු කලාටත්...

      Delete
  6. Replies
    1. Yes, Lalith...Till we hold on to "my self"...

      Thank you...

      Delete
  7. ප්‍රියානිට විජේඅයිය ගැන මීට වඩා මානුශීයව හිතන්න තිබුනා... එයාගේ කතාව ගොඩනගාගෙන ඇත්තේ එයා සාදාරණීකරනය කර ගෙන වෙන්න පුලුවන්..
    කතාව අවසානයට මටත් සුසුමක් පිට උනා අක්කේ... අවුරුදු 10 ක් එකට හිටපු මනුස්සයාට මෙහෙම කරන්න පුලුවන්ද? ආදරයක් නැතත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද....
    ඔයා ලස්සනට ලියලා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණි නංගි...

      ඔව්...ඇත්තෙන්ම...ප්‍රියානිට තිබුනා මුල් දවස් වලම කතාබහ කරලා තීරණයක් ගන්න, අවුරුදු දහයක්ම තව කෙනෙකුගේ ජීවිතය නාස්ති නොකර...ඇය කොයි තරම් හිත හදාගෙන උන්නත් පසුකාලීනව ඇය ඇසුරු කල අයගෙන් බලපෑම් උනා වෙන්නත් පුළුවන්...බොහොම ලස්සනට ගත කරන පවුල් ජිවිත පවා තුන් වෙනි පාර්ශවයකගෙන් විනාශ වෙන හැටි අපට දකින්න තියන දෙයක්නේ...

      ඒ කොහොම උනත්, ඔයා කියන්නා වගේ මනුස්සකම කියන දේ ඩිංගක් හරි කෙනෙක් ළඟ තියෙන්න ඕනේ...

      Delete
  8. පව් යකෝ ඒ ගෑනිව බාබකිව් දාන්ඩ එපැය

    ReplyDelete
    Replies
    1. ඒ කථාව කියද්දී, ඒ මනුස්සයගේ මුනේ තිබුන හැඟීම් මට මෙතන විග්‍රහ කරන්න බැහැ...ඒක අටම් මලය දැක්ක නම් එවෙලේම ප්‍රියානිව හොයල බාබිකිව් කරනවා...

      ඔක්කොමත් හරි ඒ මනුස්සය කියපු එකම දේ...එහෙම කලාට කමක් නෑ, ඇයි අවුරුදු දහයක් උන්නේ කියපු දේ තමයි වැඩියෙන්ම කණගාටුවට කාරණාව...

      Delete
  9. කිසිම සත්ත්ව වර්ගයක නැති විවාහය කියන එක හොයා ගත්ත එකා මොකාද දන්නෙ නැහැ නේද? විවාහයක් නැත්නම් පවුල් ප්‍රශ්ණ කියන ඒවා නැහැ. කෙනෙකුට අනෙකාව තියා ගැනීමට අවශ්‍ය නම් අනෙකාගේ සිතිවිලි ගැන පරිස්සම් වෙනවා. කොල කෑලක් නිසා මොනතරම් මිනිස්සු දුක් විඳිනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතල බලද්දී ඉයන් කියන දේ ඇත්ත...මිනිසුන් සහ තිරිසනුන් අතරේ වෙනසක් කරන්න ඔය කොලේ අත්සන් කරන සංකල්පය බිහි උනා වෙන්න පුළුවනි...නමුත් එහෙමයි කියලයි සමහර මිනිසුන්ගේ සිතිවිලි වලට සීමා දාන්න හැකියාවක් ලැබිල නැහැ...

      බොහොම ස්තුතියි ඉයන් අදහසට...

      Delete
  10. පොකුරු ඔයාගේ කොමෙන්ටු වල තිබුන මෙන්න මේ අදහස ක්‍රියාත්මක වෙනවා නම් ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා..

    //මිනිස්සු තව කෙනෙකුගේ ජිවිතයට සම්පුර්නයෙන්ම ඇතුල් වෙන්න කලින්, තමන්ව හදාරන්න ඕනේ..//


    විවාහය විතරක් නෙමෙ මම දකින්නේ ගොඩක් මිනිස් සබඳතා වෙන්නේ නොලැබෙන දේවල් ලබා ගන්න කරන උත්සහයක්, ඒ උත්සහය අනූව ප්‍රතිඵට නොලැබෙන කොට තව තැන්කින් ලබාගන්න උත්සහ කරනවා.. මේ චක්‍රය නවතින්න නම් ඔබ කිව්වා වගේ තමන් තමන් ව හදාරන්න ඕන. මම ලියන "හැසිරීම් සහ ඔබ කවුද ලිපි" පෙළේ අරමුණත් එය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිම්නා...

      ඇත්තෙන්ම තමන් තමන්ව හදාරන්නේ නැති කම තමයි මේ ප්‍රශ්න වලට මුලිකම ගැටලුව...ඔව්, සමාජයේ කොතනක වුනත් තමන් කවුද, තමන්ට වුවමනා මොනවද කියල නොදැන හැසිරෙන්න ගියාම විවිධ ප්‍රශ්න ඇති වෙනවා...

      මුලින් කියවගෙන ආවත් මට ඔයාගේ මේ ලිපි මග හැරුනා මං හිතන්නේ...නැවත ගිහින් කියවන්න ඕනේ...

      Delete
    2. කමක් නැ පොකුරු, ඒ ලිපි පෙලෙ අවසාන ලිපිය ලියලා ඉවරයි, ටික දිනකින් හැමෝටම කියවන්න පුලුවන්, ඒ ලිපියේ ඒ ලිපි පෙළට අදාල හැම ලිපියකටම මම ලින්ක් දාල තියෙන්නේ, එතකොට එක ලිපියෙන් හැම ලිපියට යන්න පුලුවන්.

      Delete