Monday, June 6, 2016

ජීවිතය ලියා තබමි....1



කුඩා ටීපෝවක්...අවිවේකී පරිගණකයක්...තේ කෝප්පයක්...

ඒ වසර පහක වෙහෙසකර පර්යේෂණයන්හි නිගමනයන්  පිටු තුන්සියයක නිබන්ධනයකට කැටි කරන්නට මට සිටි සහායකයින්...

තේ කෝප්පය වෙනුවට, කලෙක මගේ අප්‍රියතම පානය වූ කෝපි කෝප්පය මගේ මේසය මතට ආවේ කෙදිනදැයි යන්න හරියටම මතක නැහැ...එය බොහෝ විට පසු කාලීනව පර්යෙෂණාගාර තුලින් ඇති කල මානසික ආතතියෙන් මිදීමට ගනු ලැබූ කෙටි ප්‍රතිකර්මයකට ඇබ්බැහි වීමක් විය හැකි යයි මට සිතේ...

කිසියම් හෝ දෙයක ගැඹුරෙන් නිරත වන මගේ අවධානයෙන්, අවට තිබෙන සියලුම දෑ ගිලිහී යන්නේ නිතැතින්ම...මිනිස් කණට ඇසෙන ප්‍රමාණයේ, ඉතා විශාල ශබ්ද වල ඩෙසිබල් අගය එවන් අවස්ථා වලදී මගේ ස්වර පරාසයෙන් ගිලිහීම අනිවාර්යයි...කුඩා කල හිඳම පැවතෙන ඒ පුරුද්ද, හොඳින්ම දරා ගත් කෙනෙක් ඇත්නම්, ඒ මගේ ආදරණීය අම්මා...ඇය තරම් මගේ පුද්ගලික අවකාශයේ පරිමාව සහ එය අවැසි කාල වේලාවන් පිළිබඳව දන්නා කිසිවෙකු තවමත් මට මුණ ගැසී නැහැ...මා තුල සිටින විද්‍යාඥයා, කවියා, නිර්මාණකරුවා, සහ එකිනෙකට පරස්පර වූ හැඟීම් ගොන්නක් ඇති කුඩා ප්‍රාණියාගේ පේටන්ට් අයිතිය සම්පුර්ණයෙන්ම ඈ සතුයි...මිනිසෙකුගේ පෞර්ෂ වර්ධනයට අක්මුල් වැදගත් වන වග මා පෙර තැනක ලියා තැබුවේ මෙන්න මේ නිසයි...

අද මා වෙනුවට ඒ අඩුව පුරවන්නේ මගේ සහෝදරයාගේ වැඩිමහල් දියණිය...සිව්වස් සපිරි මගේ පුංචි සුරංගනාවිය...ඇය මගේ ප්‍රතිබිම්බය කිව්වොත් මා නිවැරදියි...මා සතු, ඈ සතු, විටක අතිශය ස්වාධීන වූ හැසිරීම් සමඟ ගණුදෙනු කිරීම කෙතරම් සූක්‍ෂම ලෙස කලයුතුද යන්න මේ පුංචි කෙල්ල සමඟ කරන දුරකථන සංවාද වලදී මට නිතර වැටහෙන කරුණක්...ඒ හැම වතාවකදීම මගේ අම්මා ගැන මට දැනෙන්නෙ අප්‍රමාණ ගෞරවයක්...  

"සුදු නැන්දි, මේ මගේ පොත් මේසය, එය මට අස් කරගන්න පුළුවන්, ඔයා එය අල්ලන්න එපා"...

මට මේ දරුණු චෝදනාව ඇයගෙන් එල්ල වූයේ පසුගිය නිවාඩුවේ...මා මේ චෝදනාව කී වතාවක් මගේ අම්මාට එල්ල කල ඇත්දැයි මට නිච්චියක් නැහැ...පුංචි දරුවන් යනු වැඩිහිටියන්ට තමන්ව දකින්නට ඇති කණ්ණාඩියක්...නිබන්ධන දහසකින් දකින්නට බැරි ජීවිතය විටක මගේ පුංචි කෙල්ල මට කියා දෙන්නේ තත්පර වලින්... 

"මෙය ඔබේ නිබන්ධනය...එය ලිවිය යුත්තේ ඔබට අවැසි ආකාරයට...අවසන් පරීක්ෂණයේදී පිළිතුරු දිය යුත්තේ ඔබ"...

ඒ මගේ මහාචාර්යවරිය...එදවස නිබන්ධනය ලිවීම ඇරඹීමට පෙර මට දුන් විශිෂ්ටම උපදේශය...

මාර්ගෝපදේශ සහිත ස්වාධීනත්වය බොහෝ විට සාර්ථකත්වයට ඉණිමගක්...

ඒ කෙසේ වෙතත් ආර්ථික අපහසුතා බොහොමයක් ඇති කුඩා දූපතක සාර්ථක පර්යේෂණ කිරීම ඉතා අසීරු කර්තව්‍යක්...බොහෝ විට එයට හරස් වෙන්නේ මුල්‍ය ප්‍රතිපාදන... ඒ හේතුවෙන් අඩු මුදලක් වැයකොට තත්වයෙන් උසස් නවමු සොයා ගැනීමක් සඳහා මා කලේ හැකි තරම් පැරණි පර්යේෂණ ලිපි කියවීම...

මගේ පර්යේෂණ වපසරිය තුල ලෝක ප්‍රසිද්ධ වූ මහාචාර්ය ජෙරී සහ ආචාර්ය ස්ටීව් ගේ පර්යේෂණ...නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය...ඇමෙරිකානු නාවුක හමුදා පර්යේෂණ ආයතනය සහ යේල් විශ්ව විද්‍යාලය...මෙයින් එක් තැනක් ගැන හෝ සඳහන් වූ පර්යේෂණ ලිපියක් මා අත නොරැඳුනා නම් ඒ කලාතුරකින්...

ඒ සියල්ලම ජීවිතයේ කිසිදාක පය තබන්නට "සිහින" නොබැලූ තැන්...ජීවිතයේ කිසිදාක හමු වේවි යැයි නොසිතූ මහා විද්‍යාඥයන්...

එහෙත්...

ටීපෝවක් මතින් දෙපය තබාගෙන...යුවතියකට කිසිසේත්ම නොගැලපෙන ඉරියව්වකින් පරිගණක තිරයට එබීගෙන උන් හිතුවක්කාර හිතකට ඔවුන් කල බලපෑම නම් බොහොමයි... 

මා සිහින දකින්නියක් නොවේ...කලාතුරකින් ආදරය හිතෙන සිහින වලට හිතේ පැලවෙන්නට ඉඩ හරින්නියක්...

සන්තකයටම ඇත්තේ එකම රුපියල නම් එය වඩාත්ම පලදායී ලෙස ආයෝජනය කරන්නියක්...

කෙටියෙන්ම කියතොත්, අනාගතය ගැන කිසි විටක ලත නොවී, අද දිනය සාර්ථකව නිමා කිරීමට වෙර දරන්නියක්... 

අදින් වසර දහඅටකට පෙරද මා කරමින් උන්නේ එයමයි...

"කොළඹ රස්සාවකට යනව ඇති"

"මදැයි සල්ලි වියදම් කරලා කොළඹ ඉස්කෝලේ යැව්වා"

ඒ ගම්මානය තුල ඇසුන කසුකුසුව...

"ඇත්තටම බාහිර උපාධියට රස්සාවල් තියනවද"

ඒ පළාතේ සියල්ල දත්තා වූ පුරවැසියෙක්...

"ගාමන්ට් එකට දාල දෙන්නම් කිව්වා පොඩි අය්යා, ඔයාට යන්න බැරිද...එතනින් උපාධිය කරන්නත් ඉඩක් ලැබෙනවා කිව්වා..."

සියලුම කරදර උහුලා හිඳ, අවසානයේ ඒ ප්‍රශ්නය ඇසුවේ මගේ ආදරණීය අප්පච්චි...

අසූඅට/අසූනවය භීෂණ අවධියේ දහසේ නෝට්ටු මිටි රැගෙන මැල්සිරිපුර වී ගබඩා සොයා ගිය, පසු කලෙක රුපියල් හතළිහක් සොයා ගන්නට නිවස පීරූ මගේ අප්පච්චි...කර්මය විසින් හදවත් රෝගියෙකු කල, අප සමඟ ගත කල අවසන් අලුත් අවුරුද්ද වෙනුවෙන්, අලුත් ඇඳුම් මිලදී ගැනීමට නොහැකිව හැමට රහසින් කඳුළු සැලූ මගේ අප්පච්චි...

ජීවිතය මිනිසුන්ට ලබා දෙන දඬුවම් විටක ඉවසා දරා ගැනීමට බොහෝ අසීරුයි...අප්පච්චි ඒ දඬුවමෙන් හෙම්බත් වී උන් තරමට ඔහුට පැහැදිලිව හිතන්නට තරම් මානසිකත්වයක් එදා නොතිබෙන්නට ඇති...

ඒත් අද සේම එදාද මට තිබුනේ, අප්පච්චිගෙන්ම උරුම වූවයි මා විශ්වාස කරන, කිසිදාක පසුනොබසින හිතක්...

ඒ හේතුවෙන්ම, අප්පච්චි මා විද්‍යාඥයෙකු වේ යැයි සිහිනයක්වත් නොමැතිව අදින් වසර දාහතරකට පෙර අප හැර ගියද....මා අද මේ සටහන තබන්නේ ආචාර්ය ස්ටීව්ගේ ආරාධනාවෙන්, ඔහුට අයත් පර්යේෂණායතනය තුල ආරාධිත දේශනයක් පැවැත්වීමෙන් පසු ලැබුන විවේකයෙන්...ඔව් ඔහු තමයි, මා පෙර සඳහන් කල පර්යේෂණ ලිපි තුල උන් මහා විද්‍යාඥයා...

ජීවිතය එසේය...සිහින වලට පැල වෙන්නට ඉඩ හැරිය යුතුය...

මා මේ සටහන පටන් ගත්තේ, මගේ ඒ කතන්දරය ලිවීමේ අදහසකින් නොවේය...

එහෙත් ජීවිතයේ බොහෝ අරමුණු ඉතා කුඩා සිදුවීමකින් පවා අතහැර දමන අපේම මිනිසුන් සිටින ලෝකයක, මගේ ජීවිත කතාවේ කොහේ හෝ තැනක්, කාට හෝ ශක්තියක් වෙතැයි මහිත කියූ නිසාවෙන් එය බිඳෙන් බිඳ ලියා තබමි...

අප්පච්චි ලඟ වැටී කියන්නට අවැසි යයි මට සිතෙන සියලුම දෑ ඔබෙන් අවසරයක් ඇතත් නැතත් මා මෙහි ලියා තබමි...ඒ මෙවැනි දුෂ්කර ගමනක සුන්දර ගමනාන්තයන් පිලිබඳ පවසන්නට ඔහු සිටියා නම් කියා සිතීමෙන් මා හෙම්බත් වී ඇති බැවිනි...

මේ කතන්දරය කීමට පෙර මා ඔබට එක් පොරොන්දුවක් දෙමි...මා ඔබට ඒත්තු ගන්වන වග, ජීවිතය යනු ඕනෑම තත්පරයක ඕනෑම තැනකින් පටන් ගත හැක්කක් වග...ජීවිතයට එක් තත්පරයක පංගුවකින් රෝස මල් යහනාවක් කාන්තාරයක් කල හැකි වග...බුදුන් වහන්සේගේ දේශනාව අනුව.."ආරෝග්‍යා පරමා ලාභා" නිරෝගී කම උතුම්ම සම්පත වග...හිතේ ඇති මහත් වූ ශක්තියෙන් සහ නොපසුබට උත්සාහයෙන් කර්මය වෙනස් කල හැකි වග...ගෙවෙන සෑම තත්පරයකදීම ජීවිතය විසින් අපට යමක් උගන්වන වග... 

..........................................................................................................................................................

"ඒ සියල්ලටමත් වැඩියෙන්, පොකුරු වැහි නිර්මාණය වුයේ, 
මහ පොළොවේ ඇති,
 දහදිය, කඳුළු, අළු, දූලි සියල්ලම එක්කාසු වී වග"

..........................................................................................................................................................


ඒ එක්දහස් නවසිය අසූහතර වර්ෂය...මා හෝඩියට ඇතුලත් වූ අලුත...යම් කිසි හේතුවකින් අප්පච්චී නිවසේ නොසිටි දිනයක්...එවන් දිනයක මා පාසැලට රැගෙන ගියේ, මට වැලිපිල්ලේ රවුම් අකුරු ලියන්නට කියාදුන් මගේ හැඩකාර ආච්චි අම්මා...

අද අනූඅට වියට එළඹී ඇති ඇය, අද සේම එදාත් බොහෝ කඩිසර කාන්තාවක්...ඇය නිවසින් පිට යන ඕනෑම වතාවක සැරසුනේ ඔසරියෙන්...ඒ සුන්දර දසුන මට ඕනෑම විටක මතකයට නගා ගත හැක්කක්...

"අපි දිගටම පයින් යමුද"...ඒ ජීවිතය විසින් මාගේ කුඩා හිතට ඇති ශක්තිය උරගා බැලූ පළමු වතාව...

බොහෝ වේලාවක් ප්‍රධාන පාරේ බලා හිඳි ආච්චි අම්මාට, එදින බස් රථ වර්ජනයක් බව කවුරුන් හෝ පවසන්නට ඇති...ඇය කිසිදාක පසුනොබසින ගැහැණියක්...කුඩා මාද එය උරුමය කොටගෙන ඇත්දැයි සැකහැර දැනගැනීමට ඇය එසේ ඇසුවේ බොහොම රහසින් වග නම් මට සහතිකයි...

"හා"...කිලෝ මීටර හෝ සැතපුම් පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති මා (අදටද එය එකසේම වලංගුය...) ඇගේ යෝජනාව ස්ථිර කලේ එලෙසින්...මගේ එකම උවමනාව වූයේ කෙසේ හෝ පාසැල් යාම...

"අම්මාට කියන්න එපා"...ඒ ආච්චි අම්මා මගෙන් ගත් පොරොන්දුව... 

"හා"...මා කලේ හිස වැනීම...

එයින් වසර දහසයක් පමණ ඉක්ම යනතුරුත්,  ආච්චි අම්මා විසින්ම ඒ පොරොන්දුව කඩන තෙක්ම, අම්මා හෝ අප්පච්චී ඒ ගැන කිසිවක් දැන නොසිටි වග පමණක් ඔබට කියන්නට කැමතියි...

එදා මා සැතපුම් හයක් පමණ ආච්චි අම්මා සමඟ ඇවිද ගියේ, කිසිදු කෙඳිරියක් නොනගාම...මට ආච්චි අම්මා විසින් ලබා දුන් අභියෝගය ජය ගැනීමත්, කෙසේ හෝ පාසැලට යාමට හැකි වීමත් යන කාරණා දෙකම හේතුවෙන්, මට කිසිම වෙහෙසක් දැනුනේ නැහැ...

එදා සේම, අදද මා ජීවිතය මනින්නේ තත්පර, සැතපුම් හෝ වර්ෂ වලින් නොව, ආත්ම විශ්වාසයෙන් සහ අරමුණු වලින් පමණි...

" මා මලක් සේ නුඹ නොහැදුවේ පෙති සැලී පරවෙන නිසාමයි...
දුක දිනා හිනැහෙන හැටි ලොවේ නුඹ දැන උගත් පාඩම තමයි"

මගේ ආච්චි අම්මාටත් එදා එහෙම හිතෙන්නට ඇති...


---------------------------------------------------------------------------------------------------------------------------------

සියලු දෑ අනිත්‍ය ලෝකයෙහි, හෙට දිනද අනියතය...
ඒ දකින්නට මා අවදි වුවහොත්, ජීවිතය ගැන නැවත ලියමි...

---------------------------------------------------------------------------------------------------------------------------------

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.

16 comments:

  1. ඉතිරි ටික කියවන්න නොඉවසිල්ලෙන්

    ReplyDelete
    Replies
    1. :) ඉඩ ලැබෙන වෙලාවට ලියනවා සඳා...බොහොම ස්තුතියි ...

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි කුරුටු...

      Delete
  3. Here big salute to u. Eaiting eagerly to read the rest. 😃

    ReplyDelete
  4. ජීවිතය යනු ඕනෑම තත්පරයක ඕනෑම තැනකින් පටන් ගත හැක්කක් වග...ජීවිතයට එක් තත්පරයක පංගුවකින් රෝස මල් යහනාවක් කාන්තාරයක් කල හැකි වග...///

    එකෙන්ම පිළිගන්නව.. අත්දැකීම් ඇත.
    පොකුරු මැල්සිරිපුරද...

    ඉතුරු ටිකත් දමන්ටකෝ

    ReplyDelete
    Replies
    1. නැහැ මහේෂ්...මැල්සිරිපුර කිට්ටුවකවත් නෙවේ...මගේ අප්පච්චි ඒ කාලේ සහල් ව්‍යාපාරිකයෙක්...එයාල ලොරි වලින් යනවා මැල්සිරිපුර, හිඟුරක්ගොඩ ඒ වගේම සමහර වෙලාවට පොළොන්නරුව පැති වල තොග විදියට වී ගේන්න...ඉදිරියට ලියද්දි ඒ ගැන ටිකක් විස්තර ලියන්නම්...

      බොහොම ස්තුතියි මහේෂ් දෙන දිරියට...ඉඩ තිබෙන විදියට ලියන්නම්...

      Delete
  5. ආච්චිඅම්මලගෙන් අපේ ජීවිතවලට ලැබිච්චදේවල් ගොඩයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...අපි හැමදෙනෙකුටම වගේ ආච්චිලා සීයලත් එක්ක බැඳුන විවිධාකාර අත්දැකීම් තියනවා...එහෙම නැතිනම් දරුවෙකුට ඒ ළමා කාලයේ ඇති වටිනාකමකුත් නැහැ...හැබැයි ඉතින් ඒවා සුන්දර අත්දැකීම් වෙන තරමට තමයි හොඳ...

      Delete
  6. හිතේ අහුමුළු වල හැංගිලා තියෙන මතක සටහන් මේ විදිහට සුන්දරව පෙළගස්වා ලියන්නට හැකි වීම සැබැවින්ම දස්කමක්. අපූරු සටහනක් යාළු. ඉතිරියත් කියවන්නට නොඉවසිල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔබට මගේ මතක වලට වටිනාකමක් එක් කලාට...ඉතිරි ටික ඉඩක් ලැබෙන විදියට ලියනවා...

      Delete
  7. Brilliant ---That's in one word....:)

    ReplyDelete
    Replies
    1. Thank you so much Ravi..and Thanks for stopping by... :)

      Delete
  8. ඒ වැහි පොදේ එදත් මුහුණු පොතේදී තෙමුණෙමි...අද ඉතා
    කැමැත්තෙන් බ්ලොගයේද නැහැවී යමි

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඔබේ මේ අගය කිරීම් මට බොහෝ සේ වටනේය...පොකුරු වැස්සේ තෙමුනාට බොහෝ තුති :)

      Delete