Sunday, May 22, 2016

ගාර්දියෙස් සහ රතු කුරුල්ලා...



මා වාඩිවී උන්නේ උද්‍යාන බංකුවේ මෙහා කෙළවරට වෙන්න...ගාර්දියෙස්ගේ ජර්නලයට එබීගෙන...එහි තිබූ අඳුරු පැහැති තීන්තෙහි, ගිලී ගිය යට ගියාවට අලුත් පැහැයක් තවරමින්...ගාර්දියෙස් උන්නේ එහා කෙළවරේ...සැරින් සැරේ පිටඋන ඔහුගේ සුසුම් ගිහින් වැදුනේ ඊට ටිකක් එහායින් පණුවෝ අහුලන රතු කොන්ඩ කුරුල්ලාගේ පිහාටු වල...ඌ ගාර්දියෙස් දිහා බැලුවේ අනුකම්පා විරහිත බැල්මක්...

"ආත්මාර්ථකාමියා...උඹ ආදරේ කලේ උඹට විතරයි..." ඒ බැල්මේ තිබුනේ ඒ වගේ අදහසක්...

ජර්නලය දිගේ අවුරුදු තිහක් ආපස්සට යන ගාර්දියෙස් බොහෝ විට හැරී යන්නේ අතුරු මාවත් වලින්...ඒ හැම වතාවකම, ශීත සිසිරය විසින් පහර දුන් කැළැල් ඇති ඔහුගේ කම්මුල් වල ගැහෙන්නේ ඉබේටම...ඔහු තවමත් ආදරේ ඒ අතුරු මාවත් වලට...මට හිතෙන්නෙ එහෙම...ඒ හන්දමයි මග පැහැදිළිව තිබූ ජීවිතයේ මහ පාර ඔහුට එදා මග හැරුනෙ...

කාට කොතැන මග හැරුනත්, අප දිහා ඉවසීමෙන් බලා ඉන්න, අප ගත කරන ජීවිතය කියන්නේ බොහොම වගකීමක් ඇති අපූරු දෙයක්...මිනිසුන්ගේ කැමැත්ත කවරක් වුවත්, ඔවුන් කල කී දෑ අනුව, ඔවුන්ට නිසි තැන ලබා දීම, ජීවිතය විසින් අනිවාර්යෙන් සිදු කරන්නක්...ඒ අනුව ජීවිතය විසින්, නැවතත් වසර තිහකට පසු ගාර්දියෙස්ව රැගෙන ආවේ  "මහ පාරට"...   

ඔහුව මට හමු උනේ "මහ පාරෙදි"...

ඒ පසුගිය නත්තලේ දවසක...කඩදාසි පිඟානක් මත අයිසිං තැවරූ කේක් කැබැල්ලක්, මෆිනයක් සහ බිස්කට් කිහිපයක්, ඉදිරි පස මගී අසුනෙහි වාඩිවී උන්නේ ඉතා අපහසුවෙන්...උන් ආසන පටි පැළඳ නොහිටි නිසාවෙන් කිනම් මොහොතක අතුරු ආන්තරාවක් වේදෝයි සිතමින්, මා රිය පැදවූවේ බොහෝ සැකයෙන්...

ඒ කලබල සැන්දෑවේ, ගාර්දියෙස් උන්නේ මාර්ග බෙදනය මැද...ඔහුගේ බොත්තම් කැඩුන හිම කබාය පිම්බී තිබුනේ සිසිරයේ ශීතල සුළඟට...ඒ වගක් නොතකමින්, ඔහු මාර්ග තදබදයේ ඉසිඹුවක් ගන්නා උණුසුම් වූ වාහන තුලට එබුනේ, උණුසුම් හදවත් ඇත්තවුන් සොයමින්...

"හෝම්ලස් මනුස්සයෙක්" මට හිතුනේ ඉබේටම...

මේ රටේ "හෝම්ලස්" වෙන්න, එසේත් නොමැති නම් නිවහනක් අහිමි වන්නට තිබෙන ඉඩකඩ බොහෝයි....

හදිසි රැකියා අහිමි වීම්, රෝගී තත්වයන්, මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හෝ මිනිසුන්ගේ වගකීම් රහිත ක්‍රියාවලියන්... මිනිසෙකුගේ ආර්ථික පරිහාණියට හේතු කාරක වන මේ ඕනෑම හේතුවක් ඔබව "හෝම්ලස්" කරවන්නේ ඔබටත් නොදැනීම...

එයට හේතුව, බොහෝ විට මෙහි ඔබට ජීවත් වන්නට සිදු වන්නේ කුලී නිවසක හෝ දිගු කාලීන ණයක් දරා සිටින බිත්ති ඇති නිවසක වීම...නිවාස කුලී හෝ ණය ගෙවා ගැනීමේ නොහැකියාවෙන් නිවාස අහිමි වූවන් සේම යම් කිසි හේතුවකින් නිවාස වලින් පිටමං කර දැමූවන්ට, ලිපිනයක් නොමැතිව රැකියාවක් සොයා ගැනීම බොහෝ අසීරුයි...

කිසිවෙකුගේ හව්හරණක් නොමැති වූවොත් ඔවුනට උරුම වන්නේ "මහ පාර" පමණයි...

ජීවිතය යනු සෑම තත්පරයකම වෙනස් වන්නක් බව මා හොඳින් අත්දැක ඇති හෙයින්, මා පවා කෙදිනක හෝ "හෝම්ලස්" විය හැකි වග ඔවුන් දකින වාරයක් පාසා මට සිහියට නැගෙන කරුණක්...එහෙයින්, මගේ රිය කවුළුව එවන් මිනිසුන් වෙනුවෙන් විවර වන්නේ නිතැතින්... 

"හෝම්ලස්" වූවන්ට අනන්‍ය ලකුණක් වූ, ඔවුන් සන්තක දූලි බැඳුන බඩු පොදිය, ගාර්දියෙස්ගේ වපසරිය සළකුණු කර තිබුනේ ඔහු  උන් මාර්ග බෙදනයේ මදක් ඈතින්... 

හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන රිය සක කැරකෙන වේගයට අනුව, මාර්ග බෙදනයේ ඉදිරියට හා පසු පසට ගිය ගාර්දියෙස්ට විරාමයක් ලැබුනේ ඉඳහිටක...ඒ සෑම වෙලාවකම ඔහුගේ වියළි දෙතොල් වලට නැගුනේ ප්‍රීතිමත් හිනාවක්...

"මේක ගන්න"

මා පැවසුවේ කවුළුව හරින ගමන්...

ඔහුට තිබුනේ බොහෝ ඉවසිලිවන්ත, දිලිසෙන දිගු ඇස් දෙකක්...පුදුමයකට වාගේ එහි කිසිම වෙහෙසක් තිබුනේත් නැහැ...බොහොම ආදරණීයයි...

මටත් පිස්සු..."හෝම්ලස්" මිනිහෙකුගේ ඇස් කියවනවට වඩා වැඩක් නැතුවයැ...

"උඹ අදටත් තනිකඩ වෙලා ඉන්නේ අතරමං වෙලා හිටි මිනිස්සුන්ගේ ඇස් කියවන්න ගිහින්...ඕක දීල ආපු ගමන පලයන්" 

මගේ හිත මට කිව්වේ මාව තදින් කොනිති ගහන ගමන්...ඇත්ත...පසු කලෙක මට පිළිගන්ට සිදු උනා, එදා ඒ සැන්දෑ අඳුරේ මට ඔහුගේ ඇස් හරියාකාරව කියවා ගැනීමට නොහැකි වූ වග...

"බොහොම ස්තුතියි...සුබ නත්තලක්...සුබ රාත්‍රියක්...දෙවි පිහිටයි..." 

ඒ ගාර්දියෙස් ගේ හඬ...

"ඔබටත් එසේම වේවා...දෙවි පිහිටයි"...

මම සැරසුනේ කොළ පාට එළිය පසු කරන්ට...ඊළඟ වංගුවේදී මට බැලුනේ මගේ ගමන් සගයන් දිහාවේ...මෆිනය එවෙලේ නම් මට හිනා උනේ ඔච්චමට කියල මට සහතිකයි...මගේ අසිහියට...

හදවතට දැනුනේ දරුණු විස්සෝපයක්...

"අපරාදේ උඹලව මට අර මනුස්සයට දෙන්න තිබුනනේ...නැත්නම් උඹලට යන්න වෙන්නේ බැල්කනියට එන පුංචි කුරුල්ලන්ගේ අමාශයට...ගල් ගිල්ල වගේ නොඉඳ, මට ඩිංගක් ඒක මතක් කළා නම් මක් වෙනවද..."

එසේ සිතමින් මා කාරය අතුරු මාවතකට ගෙන ගියේ නැවතත් ගාර්දියෙස් සොයා ගෙන යන අදහසින්...ගාර්දියෙස් එතැනම හිඳීවා යන හිතිවිල්ල පෙරදැරි කොටගෙන එක තත්පරයකදී සිතිවිලි සියගණනක් ඉපදී මිය ගියා කිව්වොත් හරියටම නිවැරදියි...

ඔහු සිටියේ පෙර කී තැනම...ඉදිරියට පසු පසට ඇවිදිමින්...

"සුබ නත්තලක්"

මා සුබ පැතුවේ, ටිෂූ කැබැල්ලකින් පිළිවෙලකට වැසූ, කුඩා පිඟාන ඔහු අතේ තබන ගමන්...

ඔහු පෙර සේම, මට ස්තූති කලේ  බොහොම කරුණාවෙන්...

සමහර මිනිසුන්ව අපට මුණ ගැහෙන්නේ ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරගන්ට...මින් පෙර කිසිදාක නොඇසූ කතාවන්හි  සජීවී කොටස් කරුවකු වන්ට ඉඩක් දෙමින්...

ගාර්දියෙස් නැවත "මහ පාරේදීම" මට මුණ ගැසෙන්නේ එලෙසින්ම කිව්වොත් නිවැරදියි...

ඒ වසන්තය පටන් ගන්න ඔන්න මෙන්න ඉරිදාවක...රෝස පැහැ චෙරි මල් වියන් යටින් ඇවිදගෙන යන්නට ඇති කෑදර කමට, කාටවත් අයිති නැති  මගී මං තීරුවක ඇවිදගෙන ගිය මහ දවාලක...

වසන්තයට අයිති විය යුතුව තිබුනත්, සිසිරයෙන් තවමත් බැට කන, චෙරි මල් හිනා උනේ බොහොම අසීරුවෙන්...මට හිතුනේ එහෙමයි...සිසිර ශීතල හීන්වට දෙන වේදනාව උහුලාගන්ට අමාරු ඇති...ඒ ශීතල විසින්මයි හිම කබායෙන් මිදීමෙන් ඇතිවන සැහැල්ලු හැඟීමත් මට අහිමි කලේ...මට දැනුනේ කේන්තියක්...මම කැමරාව මෑනුවේ චෙරි මල් වල වේදනාව කාචයට හසු කරගන්ට...

ඩිජිටල් කැමරා තිරය තුල, ඔහු උන්නේ බර කල්පනාවක...ඒ නිසැකයෙන්ම ඔහු තමයි...ඒ "හෝම්ලස්" මිනිසා...මගී මං තීරුවේ මුල්ලක ඇණ තියාගෙන...

පාළු ඉරිදාවන්, කලබල නැති කඩමණ්ඩියක හිඳ, ගාර්දියෙස් වැනි මිනිසුන්ට අතීතාවර්ජනය කල හැකි දිනයන්...

"මට ඔබත් එක්ක කථා කරන්න අවසරද"

මම ඇසුවේ දෙවරක් නොසිතාම...

ඔහු කලේ හිස සලා සිනාසීම පමණයි...

"ඔබේ නම"...

කෙටි ස්වයං හැඳින්වීමකින් පසු මා මුල පිරුවේ, අප දෙදෙනා උද්‍යාන බංකුව තෙක් රැගෙන ආ දිගු කථාවට...

"මං ගාර්දියෙස්" ඔහු කථා කලේ පුදුමය සඟවාගෙන...

ඔහුට පුදුම හිතුනා නම් ඒකෙ ඒ හැටි පුදුමයකුත් නැහැ...මා කවදත් කරන්නේ පරීක්ෂණ වලින් නිගමන වලට එළඹීම...ඒත් ඔහුට මාව පෙනෙන්න ඇත්තේ ජීවිතය පටලවාගත් ගැහැණියක් විදියට...කාලය කා දමන්නට සහායකයෙක් සොයන්නියක් ලෙසට...

"හඳුනා ගන්ට ලැබීම සතුටක්"...මා පැවසුවේ හිතින් ප්‍රශ්න පත්‍රයක් සකස් කරන ගමන්...

ගාර්දියෙස් සහ මම, උද්‍යාන බංකුවක් බෙදා ගත් මිතුරන් වූයේ ඒ ප්‍රශ්න පත්‍රය නිම කිරීමට මට ලැබුන කාලයේ ප්‍රථිපලයක් ලෙසට...

"ආදරෙයි මගෙ සුදු අම්මේ...03/27/1990"...

මා මිමිණුවේ ගාර්දියෙස්ගේ එක්තරා දින සටහනක්...

මේ වතාවේ නම් රතු කොණ්ඩ කුරුල්ලා ඉගිලුනේ මටත් රවාගෙන...

"බොරුවට සුසුම් හෙලන්න එපා මිනිහෝ" උගේ තටු ගැසුවේ එහෙම කියමින්...

"අම්මා මතක් වී ලියූවක්ද"...

මා ඇසුවේ කුතුහලයෙන්...

"නැහැ...මගේ බිරිඳ ජිසෙල්ලා වෙනුවෙන් ලියූවක්...ඇය ඒ වනවිට උන්නේ මා ගැන බොහෝ කලකිරීමෙන්...මට බොහෝ සේ ප්‍රේම කල ඇය, පසු කලෙක මගෙන් ඈත් වූයේ මගේම වරදින්..." 

මට දැනුනේ බොහෝ කණගාටුවක්...ඒ කා වෙනුවෙන්දැයි යන්න මට හරි හැටි වැටහීමක් තිබුනේ නැහැ...

"එහෙනම් ඔබත් බොහෝ සේ ඇයට ප්‍රේම කරන්ට ඇති"...මට කියවුනේ ඉබේටම...

මෙලොව ඕනෑම මිනිසෙක්, කිසිවෙකුට නොදෙවෙනි ලෙස ආදරය කරනවා නම්, ඒ තමන් හැදූ වැඩු මවට...ඒ හා සමාන ආදරයක් තමන්ගේ බිරිඳ වෙනුවෙන්...

ඒ සිතිවිළි සියල්ලම විසිරෙන්න ගත උනේ එක මොහොතයි...

"නැහැ..එය මා කෙරෙහි ඇයව නම්මවාගන්නට යෙදූ කෙටි උපායක්...මා දැන සිටියා ඇය මගේ ජර්නලය රහසින් කියවන වග...මට ඇයට ඒත්තු ගන්නන්ට උවමනා උනේ වචනයෙන් නොපැවසුවත් මා ඇයට බොහෝ සේ ප්‍රේම කරන බව"

ගාර්දියෙස් කියාගෙන ගියේ හැඟීම් විරහිතව...

"අපොයි...තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් අම්මාවත් පාවා දුන් පව්කාරයා"...

මට ඕනේ උනේ ඔහුගේ අර දිලිසෙන දිග ඇස් දිහාවේ හොඳින් බලන්න...දෙපාරක් නොහිතම මං කලේ ඒක...

මං පළමුව දුටු දිලිසීමට යටින් එහි තිබුනේ කහට පෑදුන වියළි කටෝර පෙනුමක්...එහි මිනිසත් බවක ලකුණක්වත් නොතිබූ බව මට විශ්වාසයි...

එහෙත් ගාර්දියෙස් පවසන ලෙසට ඔහු වැඩිපුරම සන්තෝෂ උනේ මිනිසුන්ට සේවය කිරීමෙන්...

"ජිසෙල්ලා හැමදාම අවදි උනේ, මට නින්ද යන පාන්දර ජාමෙට...ඇය තමයි අපේ පුංචි ගොවිපළේ සියළු වැඩපළ කළේ...කිරි දෙවීම, දෙනුන් ගාල් කිරීම, තණකොළ අට්ටි ගැසීම, එකී නොකී සියළුම දෑ...රාත්‍රියට ඈ කළේ  කුඩා දරුවන් වෙනුවෙන් අලංකාර ඇඳුම් මැසීම..."

ගාර්දියෙස් කියාගෙන ගියේ අතරින් පතර පිටඋන සුසුමක් එක්ක...

"එතකොට උඹ මක් කළාද මිනිහෝ" මං එහෙම ඇහුවේ නැහැ...ඒත් මට එහෙම හිතුන වග මගේ මුහුණෙන් පෙනෙන්නට ඇති...

"මං කළේ අපේ කුඩා ගම පුරා ඇවිදිමින් මිනිසුන්ගේ කැඩුන ඉලෙක්ට්‍රොනික බඩු, ලී බඩු ඔවැනි දෑ නොමිලේ අලුත් වැඩියා කිරීම...උදව්වක් අවැසි ඕනෑම කෙනෙකුට උදව්වක් කිරීම...කොටින්ම කියනවා නම් සමාජ සත්කාර...හැබැයි ගෙදර දිවා ආහාරය සැකසුනේ මා අතින්..."

ඔහු පැවසූවේ  දෙඇස් නටවමින්...ඔහු කළ සමාජ සත්කාර මතක් වූ හෙයින්දෝ එයින් සතුටින් ඉපිලෙමින්...ඒ තමයි අර මා පෙර කියූ අතුරු මාවත්...

"ඒ වගේම මා හොඳ පින්තාරු කරුවෙක්...මගේ සමහරක් හිතවතුන් වෙනුවෙන් නිම කල පින්තාරු බොහොමයක් ඇති...මා ඔවුන් වෙනුවෙන් පින්තාරු නිම කල සමහර පාන්දරක, ජිසෙල්ලා කලේ වෙහෙස නොබලා එළදෙනුන්ගෙන් කිරි දෙවීම...ඒ දේවල් මතක් වෙද්දී දැන් නම් දැනෙන්නේ කණගාටුවක්..."


එය ඇත්තෙන්ම අනෙකාට පිහිට වීමේ ඇති කැමැත්ත නොහොත් පරාර්ථයද...එහෙමත් නැති නම් අසීමාන්තික ලෙස තමාගේ ආත්මය පිනවීමද...

නිවසක වගකීම් රැසක් දරන ස්වාමියෙකු සහ පියෙකු වනවාට වඩා මේ පරාර්ථය සැනසිලිදායකද...දරු පවුලක අනාගතය සුරක්ෂිත කිරීම පසෙක ලා කරන සමාජ සත්කාරයෙහි ඇති සැනසීම කුමක්ද...

මා නොනවත්වාම හිතුවේ මා ඉදිරියේ සිටින මේ අපූරු මිනිසා දෙස බලමින්... 

"දරු පැටව් හිටියද"...මා ඇසුවේ දෙබැම හකුළුවමින්...

"ඔව් මගෙ පුංචි සුරංගනාවී...මායා...ඇයව දිනපතා පාසැලට හැරලුවේ මමයි"...

ඒ වංගියේ නම් ඔහුගේ මුහුණ මතින් වැහි වලාකුළක් පාවුන ගානයි...

"එයා දැන් කොහෙද"...

මා ඇසුවේ ඔහුගේ මේ ක්‍රියා කලාපයෙන් ඇයට සිදු වූ බලපෑම දැන ගැනීමේ කුතුහලයෙන්...

"ඒක දිග කථාවක්"...

ගාර්දියෙස්ගේ කහට බැඳුන ඇස් වල, ඒ වතාවේ නම් තිබුනේ බොර පැහැයක්...

"කාලය ගත වෙද්දී, වැඩි වයසක් නොතිබුනත්, ජිසෙල්ලා දිරාපත් උනේ බොහොම වේගයෙන්...නිතර හැදුන හිසේරදයට ඇය ගිලින පෙති වලින්, නිදන කාමරයට අඩුවක් තිබුනේ නැහැ...මට ඒ ගැන වැඩි තැකීමක් නොතිබුනත්, මායා ඒ ගැන උන්නේ බොහොම විමසිල්ලෙන්...ඒ වගේම මා එක්ක අමනාපයෙන්...ගොවිපොළේ වැඩ කෙරුනේ ඒකෙ උන්න ගොලුබෙල්ලන්ගේ ගමනටත් වඩා අඩු වේගයකින්...වැඩිපුර තිබුනේ පාඩු පමණයි...

ඔහු කියාගෙන ගියේ ඇසෙන නෑසෙන ගානට...මා උන්නේ ඔහුගේ මුහුණෙන් පසු තැවීමක ලකුණක් හොයන අසීරු උත්සාහයක යෙදෙමින්...

"එදා බොහෝ රෑ බෝ උන දවසක්...හිතවතෙකුගේ වහලක ලී පිරියම් කර අවසානයේ මධුවිතකිනුත් සප්පායම් වෙලයි මා උන්නේ...මා නිවසට ඇතුළු උන විගසම, මායා කලේ වියරුවෙන් කෑ ගැසීම..."

ඔහු එසේ කියද්දී, ආයිමත් රතු කොණ්ඩ කුරුල්ලා ඇවිත් වැහුවේ ගාර්දියෙස් ළඟම තිබුන මල් පඳුරේ කෙළවරක...ඌ කලින්ම මේ කථාවේ අවසානය දැන උන්නත්, ගාර්දියෙස්ගේ හඬින්ම ඒ දේ අහගන්න උවමනා වෙන්න ඇති...

"අම්මාට මොළේ පිළිකාවක්... ඒ ගෑණිගෙන් තවත් උඹට ගන්ට දෙයක් ඉතිරි වී නැහැ...උඹ මෙහෙන් තොලොංචි වෙලා පලයන්...මං මේ සියලු දේ විකුණාපු ගමන් ඇයව එක්කාගෙන යනවා නගරයට..." 

දිවා රෑ වෙහෙස නොබලා පවුල වෙනුවෙන් කැප වූ බිරිඳකගේ අවසානය එය විය යුතුද...දියණියක් ලෙස මායා සියල්ලම ඉවසීමෙන් බලා ඉන්නට ඇති...ඇයගේ වියරුව සාධාරණයි...මට හිතුනෙ එහෙම...

"ඒ කිව්වත් වගේම මායා, මගේ පුංචි සුරංගනාවී, ඔව් ඇය තමයි...ඇය මගේ බිරිඳ, ජිසෙල්ලාව නගරයට රැගෙන ගියේ, ඇයගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගන්න..."

ගාර්දියෙස් පැවසූ ලෙසට, මායා අවුරුදු දහසයේදී සමාජ ශාලාවක රඟන්නියක් වූවේ, ඇයගේ මව සුවපත් කරගැනීමේ අරමුණින්...ඇය ඒ සඳහා තව කුමන දේ කළාදැයි ගාර්දියෙස්ට අදහසක් නැහැ...ඔහු උපකාර කල කිසිවෙක් ඔහුට ප්‍රති උපකාර නොකළ හෙයින් අවසානයේ සිදු වූයේ උන් හිටි තැන් අහිමි වීම...

"අම්මාගේ මරණයේ වැඩ අවසන්...නුඹ ආයිමත් මා මුණ නොගැසුනාට කමක් නැහැ"

ඒ මායාගෙන්, ගාර්දියෙස්ට ලැබුන අවසන් පණිවුඩය...

"ගොවිපොළේ වැඩට මූලික වී වගකීමෙන් ක්‍රියා කළා නම් අද මා කර්මාන්ත ශාලාවක හිමි කරුවෙක්...මායා වෛද්‍යවරියක් නිසැකයෙන්ම...ඇය උන්නේ ඒ සඳහා හුඟක් කැමැත්තෙන්..."

"ජිසෙල්ලා...ඇය තව දිගු කාලයක් ජීවත් වේවි...එහෙම අදටත් හැකි පමණින් මට අනෙක් මිනිසුන් වෙනුවෙනුත් යහපතක් කරන්නට ඉඩ තිබුනා..."  

ගාර්දියෙස් කියාගෙන ගියේ නැවතිල්ලක් නැතුවම...එය බොහෝ දුරට පාපොච්චාරණයක් විය හැකියි...

"ආදරෙයි මගෙ සුදු අම්මේ"...

කිසිම වගකීමක් නැති වචන හතරක්...මිනිසුන්ගේ හැඟීම් තමන්ගේ ආත්මාර්ථය උදෙසා පාවිච්චි කල තවත් එක් මිනිසෙක්...

එතැනින් එහාට මට ඔහුගේ ජර්නලය කියවීමේ උවමනාවක් තිබුනේ නැහැ...මා දැන සිටියා මේ මා ඔහුව මුණ ගැසෙන අවසන් වතාව වග...ඔක්කෝටම වඩා දරාගන්න අමාරු උනේ රතු කොණ්ඩ කුරුල්ලාගේ අවඥා සහගත හිනාව...ඒත් මගේ කාලය අපතේ ගියේ නැහැ...ඌත්  නොදන්න දේ තමයි, මා නිගමන වලට එළඹෙන්නේ, පරීක්ෂණ සහ නිරීක්ෂණ වලින් බව...


..........................................................................................................................................................


මිනිසුන් පරාර්ථකාමී උතුම් හදවත් ඇත්තවුන් විය යුතුයි...නමුත් ඒ පරාර්ථය ඇරඹිය යුත්තේ තමන් තුලින්...දෙවෙනුව තමන්ගේ ආදරණීයයන් තුලින්...සමාජයේ මූලිකම ඒකකය වන පවුල වෙනුවෙන් නිසි පරිත්‍යාගයක් කල නොහැකි මිනිසාගේ පරාර්ථය පුස්සක්ම පමණයි...ආත්මාර්ථකාමී අරමුණු සපුරා ගැනීම පිණිස පරාර්ථකාමී වන මිනිසුන්ට, ජීවිතය විසින් ලබා දෙන දඬුවම් බොහෝ විට දරුණුයි...එය ඔවුනගේ ලබැඳියන්ට බලපාන්නේත් අතිශය දරුණු ලෙසින්...අපේ අරමුණ ලෝකයට යහපතක් කිරීම නම්, එහි මූලික පියවර විය යුත්තේ අප ජීවිත තුල ශක්තිමක් අඩිතාලමක් සකස් කොට ගැනීමයි...ඒ ක්‍රියාවලිය තුල ඔබත්, ඔබේ ආදරණීයයනුත්, ඔබෙන් උපකාරයක් අවැසි සියල්ලනුත් ඉබේම සුරක්ෂිත වේවි...අගතිගාමී වීමෙන් අවසානයේ ඉතිරි වන්නේ දුකත් තනිකමත් පමණයි... 
   
............................................................................................................................

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.




10 comments:

  1. මේක පරිවර්තනයක් වගේ, කියවද්දී ගොඩක් පරිණත ගතියක් පෙනුණා. ඔබ පත්තර වලට ලියනවද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලලිත් ඇගයීමට...නැහැ පත්තර වලට නම් කවදාවත් ලියල නැහැ...අනිත් එක නිසඳැස්/කවි හැරුනම සිංහලෙන් මේ තරම් දිගට ලියන්නෙත් පාසැල් කාලෙන් පස්සේ වෙන්න ඕන...නමුත් ඉංග්‍රීසියෙන් නම් පර්යේෂණ ලිපි ලියවෙනවා කාලයක් තිස්සේම...එතැනදී ලැබෙන පුහුණුව වෙන්න ඕනේ ඔබට දැනෙන්නේ මේ...මොකද බොහෝ විට සංක්ෂිප්තව පැහැදිළිව ලිවීමට හැකියාව ලැබෙනවා...පරිවර්තන ආරක් දැනෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ...

      Delete
  2. මටත් දැනුනේ පරිවර්තනයක් කියවනව වගේ.. පරියේශන ලිපි ලියන බොහෝ දෙනෙක්ගේ මේ හැකියාව මම දැකලා තියනවා..අපිට හිතන්නත් බැරි පැති වලින් කතාව ගෙනියනවා අනවශ්‍ය වැල්වටාරම් නැතුව...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට...

      Delete
  3. පහුවෙලා හෙමිහිට කියවන්න ආවෙ ලස්සන ලියමනක් පොකුරු. අර රතු කොන්ද කුරුල්ලා කතාවට ආපු එකෙන් වෙනස් රසයක් මැවුන.කතාව අවසානයේ පොකුරු දැම්ම සටහනට මම කැමතියි. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසි...ඒ රතු කුරුල්ලෝ මෙහෙ ගොඩක් ඉන්නවා...උන් හරිම ආඩම්බර පාටයි ඇත්තම කිව්වොත්...ඒ වගේම ලස්සනයි...මං උන්ට කියන නම දන්නේ නැහැ :)

      Delete
  4. හරිම අපූරුයි නංගී ....ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොගයට ගොඩ උනාට අක්කි...ඒ වගේම සුබ පැතුමටත් ස්තුතියි...

      Delete
  5. නියමයි.

    අවසන් ජේදය වටිනවා ගොඩක්. නමුත් එය කියවන්නා තුල ඇතිවිය යුත්තක් මිස රචකයා විසින් කිව යුත්තක් කියා මට හිතෙන්නේ නැහැ. කියවන්නා එතනට ඔසවා තබන්න ඔබේ නිර්මාණය ප්‍රමාණවත් නිසා ඒ ජේදය පොඩ්ඩක් පොඩියට දාන්න. හි හි හි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහසට...වටිනා දෙයක් නම් අයින් කරනවාට වඩා තිබෙන්නට හරින එක හොඳයි කියන එකයි මගේ අදහස... :)

      Delete