Tuesday, June 21, 2016

උන්මාද නොවූ චිත්‍රාගෙන්...






ගාමිණී ඉතින් මට...
ඉන්ට දීපන් මගේ පාඩුවේ
චිත්‍රාවක් නොවෙමි ප්‍රේමයේ
එක්ටැම් ගෙයි මගේ කවුළුවේ
තිර වලින් විනිවිදිමි ජීවිතේ...


බඩ ඉරිඟු පොතු ලිහා කිරි ඇට ගැලෙව්වෙමි
හිස් තැන් නොතියාම හෝඩිය ඇලෙව්වෙමි
අප්පච්චිගේ පපුවෙ ඔක්සිජන් පිරෙව්වෙමි
අවාරේ සිරිපතුල වඳින්නට මම ගියෙමි...

වසන්තය පිරුනාට මලින් ආඩම්බරෙන්
ගහක දුක ඇසිය යුතු සිසිරයේ හීතලෙන්
බලා උන්නාට අද සීමැදුරු කවුළුවෙන්
ගාමිණී...වසන්තය ඇවිත් යනවා ඉතින්...

චිත්ත රාජලා ඇවිත් හිත මුර කලේ නැත
ප්‍රේමය වල දැමූ සොහොන් බිම් කඩකි හිත
ගාමිණී හසුන් පත...කුණු කූඩයක ඇත
රිදෙන තැන් ජීවිතේ...අපි හැමෝටම ඇත...

හඬන රන් කැටියෙකුට කිරි බිඳුවක් වෙන්ට
හුස්ම යදිනා උන්ට අලුත් හුස්මක් දෙන්ට
ප්‍රේමයට හැකි වෙයිද ගැඹුරු අරුතක් දෙන්ට
ගාමිණී දැන් ඉතින්...පියවි සිහියට එන්ට...

මං උන්මාද නොවූ චිත්‍රා....



--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...

ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...

තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.

10 comments:

  1. වසන්තය පිරුනාට මලින් ආඩම්බරෙන්
    ගහක දුක ඇසිය යුතු සිසිරයේ හීතලෙන්

    ++++++++++++++

    ReplyDelete
    Replies
    1. නිර්මාණය රස වින්දා නම්, එය තමයි මගේ සතුට...බොහොම ස්තුතියි ඉයන්...

      හැම මිනිහෙකුගේම වර්තමානය පිටුපසින් ඒ බර දරන අතීතයක් තියනවා...

      Delete
  2. වෙනදා වගේම සුන්දර අරුත්බර පබැඳුමක්.

    //රිදෙන තැන් ජීවිතේ...අපි හැමෝටම ඇත// අනේද කියන්නෙ. රිදෙනවෝ රිදෙනවො කියලා කෑ නොගැහැව්වට රිදුන තැන් හැමෝගෙම ජීවිත වල තියෙනවා.
    මම කැමතිම ඔයාගෙ මේ හිතම අතගාන සරල යෙදුම්, සරල වචන වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳා ඇගයුමට...

      මම ලියද්දි මට දැනෙන්න ඕනේ...එහෙම මට දැනෙන්නේ සරල වචනෙන්, ගැඹුරු අදහසක් දෙනකොට...ඒ පුංචි කාලේ ඉඳන් හුරු උන විදිය...

      ඒ දේ තව කෙනෙක් විඳිනවා දකිද්දී බොහොමත්ම සතුටුයි...

      Delete
  3. Replies
    1. ගොඩක් ස්තුතියි වැසි දැරිය... :)

      Delete
  4. පොකුරු මං ආවා .දෙවියනේ ඔබව උරහිස මත තබාගෙන වටයක් කැරකෙන්න හිතුණා සත්තයි .කොහොමද නුඹ මේ තරම් අපූරුවට හැඟීම් කවි කරන්නෙ ? මා දුටු සුන්දරම නිර්මාණ අතරින් එකක්!

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි මෙතු... මට ලැබුන රහම අදහස් වලින් එකක්, ඔබේ කමෙන්ටුව මෙතු...බොහොම ස්තුතියි මේ අගය කිරීමට...

      හැමදේම ගැන ටිකක් ගැඹුරින් හිතන නිසා, ඉබේටම එහෙම ලියවෙනවා ඇති... :)

      Delete
  5. අගෙයි කවි පෙල.
    ' බඩඉරිගු පොතු ' කවියේ 'වදින්නට' කියන පදය 'වදිනට' වුනානම් හොදයි කියලත් හිතෙනවා. ඒ නැතත් රහ දැනෙන කවි පෙලක්.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී..මම හිතන්නේ ඒ දෙකේ ලොකු වෙනසක් නැහැ වගේ..අදහසට බොහොමත්ම ස්තුතියි...

      Delete