කුඩා පිරිමි දරුවෙකුගේ සහ ගැහැණු දරුවෙක් අත් පටලා හිඳින පින්තුරයක් |
"එයා ඒ කමිසේ අඳින්නේ නැතුව පරිස්සම් කරනවා"...
අම්මා එහෙම කිව්වේ සුදු මැණිකේගේ ලපටි කට හඬ ටිකෙන් ටික දුරස් වෙනවා ඇහෙද්දී...
"ඒ ඇයි"...
මං ඇහුවේ ඒ තරම් හැඟීමකින් නෙවේ...එයා දැන් දරු දෙන්නෙකුගේ තාත්ත කෙනෙක්...ඔහොමත් බොළඳ වෙනවද...
මං හොද්දට තව ලුණු ටිකක් කලවම් කලේ හිතට නැගුන අමනාපෙත් එක්ක...
"ඔයා ආවම අඳින්න...විනෝද චාරිකා යද්දී..."
අම්මාගේ ඒ වචන ටික ඇහෙද්දී මට හිතුනේ අර වැඩි වුන ලුණු ටික හොද්දෙන් ආයිමත් ගන්න පුළුවනි නම් කියල...
එයා පහුගිය අවුරුදු දහනවයෙන් වැඩිපුරම ඇන්දේ මං අරගෙන දුන්න කලිසම්, කමිස...ඉස්සර මං කමිසයක් අරගෙන ආවම එයා ඒක මට ඇඳලා පෙන්වනකල් මං යනවා එයා පස්සෙන්...එවෙලෙට එයා කෑ ගහන්නේ මුහුණ පුළුටු කරන්...
"දැන් බැහැ අනේ...මේ දාඩියත් දාල...ලස්සනයි...ඉතින් ලස්සනයි.."
එයා කියන්නේ කිසිම ගානකට නොගෙන...එයා දන්නවද මං කොයි තරම් ඇවිදලද කියල එයාට හැඩ ටී ෂර්ට් තෝරන්නේ...
එවෙලෙට තමයි හිතෙන්නේ අර පොඩි කාලේ වගේම භූමිතෙල් හලන්න ඔළුවටම...
"ඕනේ එකක් කරගන්නවා...ආයිමත් ගේන්නේ නැහැ"...
මං කෑ ගහන්නේ ගේ දෙවනත් වෙන්න...මං අත්දැකීමෙන් දන්නවා මගේ සද්දෙට එයාගෙන් ප්‍රතිචාරයක් ගන්න පුළුවනි කියල...
එයා එවෙලෙට නැගිටලා යන්නේ සෝපාව පුරා විසිරිලා තියන ඔක්කොම ඇඳුම් එකතු කරගෙන...ඒවා එකින් එක ඇඳගෙන එයා එන්නේ මොඩල් කෙනෙක් වගේ...ඉතින් අම්මයි මමයි කරන්නේ එයාගේ හැඩ බලනෙක...
එයා ලස්සනයි...ඒ හිනාවට තමයි මං වැඩිපුරම ආදරේ...මොන වරදක් කලත් මට එයාට දඬුවමක් දෙන්න හිත හදා ගන්න බැරි ඒ හිනාව හන්ද...
මට සමහර අවුරුදු වල සල්ලි තිබුනේ එයාටයි අම්මටයි ඇඳුම් ගන්න විතරමයි...ඒ දෙන්නට තෝරලා ඉතිරි වෙන මුදලකින් මොකක් හරි ඇඳුමක් ගන්නෙක මගේ පුරුද්ද...
මං එයාට නිතරම ගෙනත් දුන්නේ මං ආසම කරන ක්‍රීම් පාට කමිස...එහෙමත් නැත්නම් ටී ෂර්ට්...මං හිතන්නේ කාලයත් එක්ක එයා හුරු වුනා ඒ පාට වලට...මං එයාට ඇඳුම් ගන්නේ පාට ගලපලා...එයා අප්පච්චි වගේම යන්තමින් හිනා වුනාම මං දන්නවා එයා ඒවාට ආසයි කියල...
"මං කිව්වා එයාට ඔයා මේ පාරත් එයාට ඇඳුම් ගොඩක් එවලා කියල"...
අම්ම එහෙම කියද්දියි හොද්දට මොකද වුනේ කියල බලන්න මට කල්පනා වුනේ...
"ඔව් අම්මේ එයාට ලෝබ කම් කරන්නෙපා කියන්න...මං එයාට ඇඳුම් එව්වා අවුරුද්දටම ඇති වෙන්න"...
මං එහෙම කිව්වට මට හිතුනා තව ඇඳුම් ටිකක් ගන්න...යනකොට අරන් යන්න...එයාට මොනවා දුන්නත් මට හිතට මදි...අම්ම නම් කියන්නේ මං එයාගේ පූරුවේ ණය කාරයෙක් කියල...
එයාව ඇහැට නොදැකපු මගේ ඉන්දියානු මිතුරිය කියන්නේ ඔයා තමයි එයාව හුරතල් කරන්නේ කියල...
එයා ගැන හොඳට දන්න අපේ යාලුවෙක් කියන්නේ, එයාට මං ගැන කිසිම හැඟීමක් නැහැයි කියල...එයා වගකීමක් නැති මිනිහෙක් කියල...
ඒත් මං ඇර එයා ගැන වෙන කවුරු දන්නවද...එයාට මට තරම් හිතේ හය්යක් නැහැ...එයා තමන්ගේ හැඟීම් කාත් එක්කවත් බෙදා ගන්න කෙනෙක් නෙවෙයිනේ...
"එයා මේ අලුත් අවුරුද්දට කේක් එකක්වත් ගෙනාවේ නැහැ පුතේ..."
අම්ම එහෙම කිව්වේ මං ගෙදර නොහිටිය පළමුවෙනි අලුත් අවුරුද්දේ...
මගේ උපන් දිනය යෙදෙන්නේ බොහොමයක් අවුරුදු වල පරණ අවුරුද්ද දාට...ඉතින් අප්පච්චි ඉන්න කාලේ ඉඳන් එදාට කේක් එකක් ගෙනත් බොහොම සරල උපන්දිනයක් සැමරීම නොවරදා කල දෙයක්...මට මතකයි අප්පච්චි නැති උනායින් පස්සේ අවුරුද්දේ අපි ගෙදර කිරිබතක් නොහැදුවත්, එයා කේක් එක ගෙනාවා...
එයා තමන්ගේ හැඟීම් පිට කරන්නේ එහෙමයි...ඒවායේ දිග පළල තේරෙන්නේ මටම විතරයි...මං හිතන්නේ දැන් එයා ගැන දන්නා අයගේ ගණයට සුදු මැණිකෙත් එකතු වෙලාද කොහෙද...
එයා මං විවෘතෙට යන කාලේ මං එනකල් හන්දියේ බලන් උන්නා රෑ නවය විතර වෙනකල්...හරිම දුෂ්කර කාලයක්...අප්පච්චි අසනීපෙන්...එයා තමයි ගෙදර ආර්ථිකය වෙනුවෙන් බර කරට ගත්තේ...
"මං අද කමිස දෙකක් ගත්තා"
ඒ කාලේ එක දවසක එයා ගෙදර ඇවිත් පෙන්නුවේ එයාටත් වඩා ලොකුවට පෙනුන කොටු වැටුන කමිස දෙකක්...
"කොහෙන්ද මේ"
එයාගෙන් මං ඇහුවේ පුදුමෙන්...
"විහාරමහා දේවී එක ළඟ සේල් එකකින්, රුපියල් අනූවයි...;ලස්සනයි නේද..."
මට අදත් ඒ කමිස දෙක හොඳට මතකයි... ඒකයි මට එයාට කොයි තරම් දේවල් අරන් දුන්නත් මදි වගේ දැනෙන්නේ...එයා එයාගේ හොඳම කාලේ කැප කලේ මං වෙනුවෙන්...
උදේ හවස මං අම්ම එක්ක කතා කලත්, එයත් එක්ක කතා කරන්නේ හරිම අඩුවෙන්...
පරිගණකය හරහා මං දකින්නේ එයාගේ මුහුණෙන් බාගයයි බොහෝ වෙලාවට...ඒ දෝණිගෙයි, සුදු මැණිකෙයි උසට හරියන්න කැමරාව සකස් කරන හන්ද...
මං දන්නවා මේ දුර බොහොම දුරක්...අපි දෙන්න වෙන් වෙලා ඉන්නේ මුහුදු හතකින්...
ඒක දැනගෙන තමයි මං මුල්ම වතාවේ ලංකාවෙන් එද්දී එයාගේ ඇස් වල කඳුළු පිරිලා තිබුනේ...මං ගුවන් යානයේ ඉඳන් කතා කරද්දී එයා කතා කලේ හඬමින්...
අප්පච්චි නැති වුන දාවත් ඒ ඇස් වල මං කඳුළු දැක්කේ නැහැ...
දැන් එයා බලන් ඉන්නේ මං නිවාඩුවට එනකල්...අර පොඩි වුන් දෙන්නට වඩා ආසාව තියෙන්නේ එයාට කියල මං දන්නවා...මං එයාගේ අම්මා...මං එයාගේ තාත්තා...එයා වැඩිපුරම සතුටින් ඉන්නේ ඒ දවස් ටිකට...
"ඔයාල දෙන්නගේ ඒ කාලේ ගත්ත පින්තූරයක් ඔයා තියල තිබුනේ, මං දැක්කා ඒකෙ දූවිලි පිහිදාල අරන් තියනවා..."
අම්මා කියපු ඒ පින්තුරේ එයයි මමයි ඉන්නේ අත් පටලාගෙන...ඒ පේරාදෙණිය උද්‍යානයේදී ගත්ත පින්තූරයක්...මතක හැටියට අපි අප්පච්චි එක්ක ගිය අන්තිම විනෝද චාරිකාව...එතැන ඉන්නෙත් අර වගේම ලස්සන හිනාවත් එක්ක...
එයා අවුරුදු දහයක් විතර කාලේ මිහින්තලේ ගිහින් අපි දෙන්න ගත්ත පින්තුරේ නම් එයා ඉන්නේ මරණෙට ගෙනියන්න ඉන්න ගවයෙක් වගේ...
මොන තරම් ධර්මය ගැන හැදෑරුවත්, මට තනියෙන් වයසට යන්න බැහැ...අපි දෙන්න ආවේ එක මව් කුසකින්...ඒ හන්ද අපි මැරෙන්න ඕනෙත් එක ළඟක...
ඒක තමයි මට තවම ඉෂ්ට කරගන්න බැරි වුන එකම හීනේ...
සුදු මැණිකේට අද මතක් කරන්න ඕනේ, අප්පච්චිගේ කොලෙස්ටරෝල් පෙති ටික දෙන්න කියල...
ඔව් එයා මගේ මල්ලි...
මං මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ කාටද කියල ඇහුවොත් මට දෙන්න තියෙන්නේ හරිම සරල පිළිතුරක්...
මගේ මල්ලිට...
..............................................................................................................................................................
ඉතාමත් හැඟීම් බර ලියවිල්ලක් පොකුරු. පොඩි කාලෙ පින්තූර ඇත්ත එකක් දැම්මනන් මොකද? ඔබේ සොහොයුරාට සෙතක්ම වේවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන් ඔබේ ප්‍රාර්ථනාවට...
Deleteපොඩි කාලේ පින්තුර ඔක්කොම ලංකාවේ තියෙන්නේ...අනිත් එක පුද්ගලික පින්තුර බ්ලොග් එකේ නොදා ඉන්න තමයි හිතාන ඉන්නේ...
//////.අනිත් එක පුද්ගලික පින්තුර බ්ලොග් එකේ නොදා ඉන්න තමයි හිතාන ඉන්නේ...////////
Deleteගොඩාක් දුරට නිවැරදි තීරනයක් කියලා මට හිතෙනවා.
හිතට දැනෙන්න අපූරුවට ලියලා පොකුරු.
ReplyDeleteජයවේවා!!!
බොහොමත්ම ස්තුතියි දුමී...
Deleteඔබට ජය !!!
Very touchy prose Wathsala. Tears came rolling down . May the blessings of the noble triple gem be with you all always <3
ReplyDeleteThank you so much Hasara for stopping by....It means a lot...
Deleteඉතාම හැඟීම් දනවන සුළු සටහනක් නෝනා...ඉතාම..ඉතාම…
ReplyDeleteසොයුරු සෙනෙහස වනාහී අනන්තය තෙක්, සසර ඉම තෙක් පැතිරෙන අවිච්ඡින්න බන්ධනයකි.
සමාවන්න...පොඩි ගැටළුවක්...
/ එයා එවෙලෙට නැගිටලා යන්නේ සෝපානය පුරා විසිරිලා තියන ඔක්කොම ඇඳුම් එකතු කරගෙන.../
මෙතන මම හිතන්නෙ සෝපානය කියල ඔබ අදහස් කරන්නෙ ඇඳුම් රාක්කයක් (Clothes rack / Clothes stand) වෙන්න ඕන. ඒත් සෝපානය කියන්නෙ ලිෆ්ට් එකට.
රවී බොහොමත්ම ස්තුතියි...
Deleteඒ වගේම ඔබට බොහොමත්ම ස්තුතියි වැරැද්ද පෙන්නුවට...එතන සෝපාව තමයි නිවැරදි වචනය...සිංහල පැටලිලා...සෝපාව හිතේ තියන් සෝපානය ලියවිලා තියෙන්නේ..නිවැරදි කලා...
සුන්දරයි!
ReplyDeleteබොහොමත්ම ස්තුතියි මලී...
Deleteලස්සනට ලියනා තියෙනවා...
ReplyDeleteබොහොම ස්තුතියි මිතිල (නම ලිව්වා වැරදි නම් නිවැරදි කරන්න)...පොකුරු වැස්සට සාදරයෙන් පිලිගන්නවා...
Deleteලියනා නෙමේ ලියලා....
ReplyDeleteනිවැරදි කලාට ස්තුතියි :)
Deleteමගේ අම්මයි එයාගේ අයියයි අතර තියෙන්නේත් මහ අමුතුම බැඳිමක්.අනිත් සහෝදරයන් දෙන්නට වඩා ඒ දෙන්නා හරිම කිට්ටුයි. අයියා කෙනෙක් අතින් වෙන්න තියන ඔක්කොම යුතුකම් කරලා අම්මාව කසාද බන්දලා හැම දෙයක්ම කරලා තියෙන්නෙත් ඔහුමයි.අද ඔහුගේ පවුලේ ප්‍රශ්න නිසා ඔහු තරමක් තනිවෙලා ඉන්න ස්වභාවයක් ගත්තත් ඔහුට හැකි හැමවෙලාවෙම ඔහු නංගිව බලන්න එනවා.අපේ අම්මත් බත් ටිකක් කන්න ගියත් ඔහුව මතක්කරනවා.මේ කතාව කියවද්දී මට මතක්වුනේ ඒ දෙන්නව. තමන්ගේ හිතේ තියන පෞද්ගලික හැඟීම් අකුරුකරන්න ගියහම ඒවා මාරම ලස්සනට අකුරුවෙනවා. කතා දෙකක් නෑ. මේක මාරයි අක්කේ...
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලියේ...ඒ වගේ බැඳීමක දිග පළල දන්නේ ඒවා අත් විඳින අයම තමයි...
Deleteමගේ ජිවිතේ කොයි තරම් දේවල් ලැබුනත්, මට එයා මගේ ඇහැට පේන මානෙක නැති එක ලොකු දුකක්...මිනිස්සු තමන්ගේ අයට ඕනෙවට වඩා බැඳුනම, ඔයාගේ අම්මට වගේම කන බත් කටක් ගානේ, එයාලව මතක් වෙන එක වලක්වන්න අමාරුයි...
ලස්සන කතාවක් සහෝදරයෝ ඔහොම තමා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ඔබට...හැම කෙනෙක්මත් එහෙම නැහැ මහත්මයා...එකම ඉඩම ගෙවල් හදල ඒවායේ වැට මායිම් ගහගෙන, අලුත් අවුරුද්දකටවත් අනෙකාගේ ගෙට ගොඩ නොවෙන සහෝදරයින්ගේ පවුල් මං දැකලා තියනවා...ඒ සම්බන්ධයෙන් මං මගේ නෑනාට හෙවත් මගේ නංගිට බොහොම ගරු කරනවා, ඇය අපේ සහෝදරකමේ දිග පළල හොඳින් වටහා ගෙන ඉන්න නිසා...
Deleteමමත් මගේ පවුලෙන් ඈත්වෙලා හිටිය කාලයක් තිබුණා. පස්සේ කාලෙක මමත් පවුලක් වෙලා දරුවො ලැබුනාම තමයි තේරුනේ පවුලක, සහෝදරයින්ගේ වටිනාකම.
ReplyDeleteඒ හැමදේම සාපේක්ෂයි අපි එකිනෙකාට ආදරේ කරන විදියට...අපි සමහර දෙනෙක් කොන්දේසි විරහිතව අනෙකාට ආදරය, කරුණාව දක්වනවා...තවත් කොටසක් ඔබ කියන්නා වාගේ නොයෙකුත් හේතු මත තමන්ගේ ජිවිතේ එක් එක් කාල වලදී මේ දේවල් වටහා ගන්නවා...සහෝදරයෝ, පවුලක් ගැන වැඩිපුර දැනෙන්නේ අත්දැකීම් වැඩි වෙද්දී කියලයි මට හිතෙන්නේ...කොහොම උනත් මල් මල්ලි ඒ දේවල් තේරුම් ගත්තු එක බොහොම වටිනවා...
Deleteලස්සන සටහනක් පොකුරු.. හැම කෙනෙක්ටම මේ වගේ එක මව් කුස ඉපදුනත් ඒ ආදරය හැමදාම එක වගේ විඳින්න ලැබෙන්නෙ නැ. ලොකු වෙනකොට තමන්ගෙම ලෝක හැදෙනකොට වෙනස් වෙනවා..
ReplyDeleteඑහෙම නැති තැන් වල ඉන්න ඔයා වගේ අය විඳින්නේ නියම ආදරය...
මට ඉන්නෙත් මල්ලියෙක් තමා..නොවෙනස්..මම වෙනස් වෙලාද අහන්න ඕන එයාගෙන් හි හී.
බොහොම ස්තුතියි නිම්නා...
Deleteඔව් මම ඔයාගේ කතාවට එකඟයි...බොහෝ දෙනෙක් තමන්ගේ ලෝක හදා ගත්තම, සහෝදර මව් පිය බැඳීම් වෙනස් වෙනවා...මම හිතන්නේ ඊට වඩා ගොඩක් වෙනස් විදියට...
ඔයා හිතන පතන විදිය දිහාවේ බැලුවම නම් ඔයා දන්නවා ජිවිතේ සමබර කරගන්න...ඒ නිසා එයාගෙන්ම අහල බලන්න...වෙනසක් නැහැයි කියාවි :)
මගේ ඇස් තෙමුනා කිව්වොත් බොරුවක් නෙමේ. සහෝදර- සහෝදරියන් අතර තියෙන බැඳීම හැර වෙන සතුටක් කොහෙන්ද....පවුලක වැඩිමහල් කෙනා හැටියට මම එය ඉතා රස විඳ තිබෙනවා හා තවමත් විඳිනවා. ඒක සදාතනිකයි.
ReplyDeleteබොහොම ස්තුතියි අරුණ මහත්මයා...ඇත්තෙන්ම එය විඳින කෙනා දන්නවා එයින් ජිවිතේ ගලාගෙන යන්න මොන තරම් දායකත්වයක් ලැබෙනවද කියල...
Deleteසත්තකින්ම...
Deleteපොකුරු නෝනේ....මට මහත්මයා නොකිය අනිත් ඕන ක්‍රමේකෙට අමතන්න. මට ඒ වචනේ බර වැඩියි. :D
මේ බ්ලොග් කරුමාන්තේ තියන අසීරුම වැඩක් තමයි වැඩිහිටියන්ට සුදුසු විදියට කතා කරන එක...තිහේ දශකයේ අවසාන අඩියේ ඉද්දී ඕක ලොකු ගැටළුවක් වෙන්නැති...අනේ මන්ද මහත්තයෝ මක් කියන්නද කියල...අනිත් අතට නෝනේ කියල අහගනිද්දී තමයි යථාර්තය වැටහෙන්නේ :D...ඒ අතින් මෙහෙ හැමෝටම නම කියල කතා කරනෙක සාධාරණයි කියල හිතෙනවා...
Deleteමේ ලඟදි මට මෙහෙ රිටයඩ් නේවි කැප්ටන් කෙනෙක් ඔය කතාවම කිව්වා...එයා මම කලින් නේවි එකේ වැඩ කරද්දී මගේ ඩිපාර්ට්මන්ට් හෙඩ්...එහෙදි දිගටම එයාට කතා කලේ කැප්ටන් කියල...මිලටරි සෙටින් එකක් නිසා ඒක ගානක් වුනේ නැහැ...එයා එහෙන් අයින් වෙලා දැන් වැඩ කරන තැනටම තමයි මමත් මේ බොහොම ලඟදි එකතු වුනේ...එතනත් අර පුරුද්දට කතා කරලා එයා මට කිව්වා කැප්ටන් නොකිය ඕනේ දෙයක් කියල :D...
මගෙ ඇස්වලටත් කදුලු ආවා මේක කියෙවුවම. මට මගේ මල්ලි මතක් උනා.. එයා ගැනත් ලියන්න මට පුලුවන් නේද කියලා මතක් උනා පොකුරු...
ReplyDeleteබොහොම ස්තුතියි නංගි...අනිවාර්යෙන්ම, ලියන්න...ඒවා මතක් කරද්දී දැනෙන හැඟීම් වචන වලට පෙරලෙන්නේ බොහොම සංවේදී විදියට...
Deleteඉතාම සංවේදී සටහනක් පොකුරු වැහි. ලස්සනට ලියල තියෙනවා,ඔබත් එක්ක සම්පුර්ණයෙන්ම එකඟයි.
ReplyDeleteබොහොම ස්තුතියි හැලපේතුමෝ ඇගයීමට...
Deleteමෙන්න මේ වීඩියො ක්ලිප් එක බලන්න. ඔබ කැමති වෙයි.
ReplyDeleteමටත් අයියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් කියලා හිතුනා.... ස්තුතී මේ video එක share කලාට
Deleteබොහොම ස්තුතියි ලින්ක් එකට...ඇහැට කඳුළු ආවා බැලුවම...මට ඔය විදියට එයාලව පුදුම කරවන්න හරිම අමාරුයි...උදේ හවස කෝල් කරනවනේ...ෆ්ලයිට් එක පැය 22ක් විතර...ඒ අතරේ කෝල් කරන විදියක් හොයන් ඕනේ යන්න :)
Deleteඇයි දෙයියනේ මට අක්කියෙක් නැත්තේ කියල හිතුනේ හිතේ තියෙන අහිංසකම තැනට....හිතාගන්න...!
ReplyDeleteඒකට පෙර පිං තියෙන්න ඕනේ...ඔය හිතේ තියන අහිංසකම තැනින් ප්‍රාර්ථනාවක් කරන්න ලබන ආත්මේ ඒ වගේ අක්කියෙක් ලැබෙන්න කියල...
Deleteහරිම සංවේදී සටහනක්. මමයි මගේ පොඩි අක්කයි හරි ළඟින් හිටිය. එයා අදත් දුක් වෙනවා මම ලංකාවේ නැති එක ගැන. එයට හිටිය හොඳම යාළුව මම කියල කියන්නේ. අපි දෙන්නගේ 50% ලව් ගැන දෙන්නම විහිළු කරගනන් වෙලාවල් තිබ්බ ඒ කාලේ.
ReplyDeleteපොඩි අක්කා වරක් මට ලියල එවල තිබුන. මම හිතන්නේ නන්දා මාලිනීගේ සිංදුවකින්.
"සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන් "
දුකසැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්.
පෙම්කවි ගොතනා කිවිවරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන් "
මේකට නම් මගේ ඇහේ කඳුළු පිරුන.
ස්තූතියි පොකුරු.
බොහොම ස්තුතියි අජිත්...ඔබේ පොඩි අක්කාට දැනෙන හැඟීම් ගැන මට හිතා ගන්න පුළුවනි...සමහර වෙලාවට මොන තරම් දේවල් තිබුනත්, මොන තරම් ආදරයක් ලැබුනත් වැඩක් නැහැ, තමන් ආදරේ කරන සහෝදර සහෝදරියෝ ළඟපාත නැතිනම්...
Deleteඔබේ මේ හෘදයාංගම බව මාව අඩවන්නේ අද ඊයෙක නෙවෙයි අක්කි..... ඒ එන ගමන් මාවත් බලන්න එනවා කිව්වා ඔන්න දැන්ම මතක් කළා.
ReplyDeleteබොහොම ස්තුතියි නංගෝ...අනිවාර්යෙන්ම එනවා නන්ස්ටොප් කියවන්න... :)
Deleteඅම්මෝ මට අක්කල 3 ඉන්නව. ඔයාගේ මල්ලි වගේම අක්කල 3 දෙනා වෙනුවෙන්ම ඉදල තියනවා. අදටත් මන් ඉන්නේ එක අක්කකෙන්ක්ගේ ගෙදර හස්බන් රට නිසා තාමත් මන් මුර කරනවා. අනිත් අක්ක කෙනක් වෙන රටක පදිංචි වෙලා ඉන්නේ. සති දෙකකට කලින් ඇවිත් ගියා. මට මේක දැකල ඇඩුන
ReplyDeleteඔයා බොහොම වාසනාවන්තයෙක්...ඒ වගේම ආදරණිය සහෝදරයෙක්...සහෝදර, සහෝදරියන්ගේ ආදරය ලබන්නත් පිං කරලා තියෙන්නේ ඕනේ...
Deleteබොහොම ස්තුතියි බ්ලොග් එකට ගොඩ වැදුනට සහ අදහස් බෙදා ගත්තට මල්ලි...