Saturday, July 2, 2016

"මනුස්ස මීයෝ" - The humanized mice - 1


www.pinterest.com

"දුවපියා.......................ව්"..."හැංගියා......................ව්...."

"ශ්ස්ස්ස්ස්ස්ස්ස්...සද්ද කරන්නේ නැතිව ඉඳපල්ලා...නැත්නම් අල්ලාගෙන ගිහින් අනිවී අර කටුවෙන්..."

ඒ කලබලයෙන් පසුව මට දකින්න පුළුවන් එක් එක් කූඩු තුල ගුලි උන, රතු පාට ඇස් බෝල දෙකේ සිට දහය දක්වා ප්‍රමාණයක්...මොකද එක් කුඩුවක දමන්නට අනුමත කර ඇත්තේ උපරිම මීයන් පහක් හෝ හයක් පමණයි... 


සමහරක් ඇස් වල කුතුහලය...නැතිනම් මරණ බය...

ඒ වෙලාවට මං කරන්නේ සියලු දේ මදකට අමතක කරලා ඒ ඇස් දිහා බලන් ඉන්න එක...ඒ ඇස් දැකීමෙන් පසු දැනෙන්නේ සියුම් පිහි තුඩකින් හිත කොනහන්නාක් බඳු වූ හැඟීමක්...ඊයේ, අද සහ හෙට...හැමදාමත් එය එසේමයි...

ඔය අස්සේ වගේ වගක් නැතිව ගුලි වෙලා නිදාගෙන ඉන්න කම්මැලියොත්  නැත්තේම නැහැ...කිරි දරුවෝ වගේ...අවදි කරවන්න හිතට දුකයි...

සමහරු චණ්ඩි...කල්පනාව පැනපු ගමන්ම අර හීන් උල් දිග දත් දෙකෙන් විකන්න...


(image credit-www.theodora.com)

(image credit-www.theodora.com)
"මට කොහොමත් යන්න වෙන්නේ මීයන්ගේ අපායට"...





මටම කියාගන්නා මා ඊළඟට බලන්නේ උන්ගේ කුඩා කණ දෙස...අප උන්ව හඳුනා ගැනීමේ සලකුණ තබන්නේ එතැන...

කුඩා රවුම් සිදුරු ඇති කල හැකි පන්චරයකින්, අප උන්ගේ වම් සහ දකුණු කන් වල ඇති කරන්නේ කුඩා සිදුරක්.

සාමාන්‍යයෙන් එය,

1. කන් සිදුරු නැති 
2. වම් හෝ දකුණු කණ තනි සිදුර 
3. වම් හෝ දකුණු කණ සිදුරු දෙක බැගින් 

ලෙසට අංකනය කල හැකියි..ඒ වගේම උන්ට තිබෙනවා අංකයකුත්...

"උඹලත් හරියට මරණයට නියම කල සිර කරුවන් වගේ"...

මට එහෙම හිතුනට උන් ජීවිතය කැප කරන්නේ අප සැමට දීර්ඝායුෂ ලබා දෙන්න කරන පර්යේෂණ වලට...

බටහිර වෛද්‍ය ඉතිහාසයේ සිටම, සිදු කල සොයා ගැනීම් හරහා අප අද ලබන වෛද්‍ය ප්‍රතිකර්ම සහ බෙහෙත් වර්ග තුල මේ සතුන් විඳින සියලුම වේදනාවන් සැඟවී ඇති බව නොසැඟවිය හැකි සත්‍යයක්...

සියලුම පර්යේෂණ වලට ලක් කරන සතුන්, මිනිසුන් ලෙස සලකා, උන්ට වේදනාව අවම වන ලෙස පර්යේෂණ කටයුතු වල නියැලීමටත්, උන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් අප අනිවාර්යෙන්ම බැඳී සිටිනවා...

මට මේ තනිවම කියවීමේ ලෙඩේ හැදිලා දැන් ටිකක් කල්...

මං හිතාගෙන ඉන්නේ මං "දොස්තර හොඳ හිත" කියල...

මීයෝ හිතාගෙන ඉන්නෙත් එහෙමයි...ඒකනේ උන්ව මුණ ගැහෙන්න එන හැම වතාවකම, මේ විදියේ සාකච්චාවන් ඇති වෙන්නේ...

"මට අද හරි අමාරුයි"...සමහරෙක් මා දිහාවේ බලල හිමින් මුමුණනවා...ඒ වගේ වෙලාවට මා කරන්නේ ටික වෙලාවක් ඔවුන්ගේ හිස පිරිමැදීම...


"ක්‍රීඊඊඊඊඊඊස්ස්ස්...අය්යෝ ඉන්න බෑඈඈඈඈඈ..."

(image credit-www.theodora.com)

"දඟලන්නෙපා...තව ටිකයි...මේ ලේ ඩිංග ගන්නකකල් ඉවසන්න...වැඩිය රිද්දන්නේ නැහැ..." 

මා ඇසෙන නෑසෙන හඬින් එසේ  කියන්නේ උන්ගේ කුඩා වල්ගයේ ඇති රුධිර වාහිනියකට සිරින්ජයේ නීඩලය ඇතුලත් කරන ගමන්...එය තමයි පර්යේෂණාගාර මීයන්ගෙන් රුධිරය ලබා ගැනීමට අනුමත කල එක් ක්‍රමයක්...

ඒ රුධිර වාහිනී මතු කරගැනීම සඳහා උන්ව උෂ්ණාධික ලාම්පුවක් භාවිතයෙන් උණුසුම් කර ගත යුතුයි...

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාගෙන් රුධිරය ලබා ගන්නා සෑම අවස්ථාවකම, මනුස්ස මීයන් මගේ මතකයට නැගෙන්නේ නිතැතින්...

එව්වා දිට්ට ධම්මවේදනීය කර්ම...

මේ සියලුම පර්යේෂණ ක්‍රම වේදයන් සහ මීයන්ගේ යහ පැවැත්ම සඳහා අප කල යුතු සියලුම දෑ සඳහා විශේෂිත වූ කමිටුවකින් (Institutional Animal Care and Use Committee) අනුමැතිය ගැනීම අනිවාර්යයි...ඒ සඳහා මේ කාර්යයන් සඳහා අනුයුක්ත කරන සියලුම විද්‍යාඥයන් සහ සහායකයින් අදාළ පුහුණුව ලබා ගත යුතුයි...ඒ සියලුම දෑ නියමිත කාල සීමාවකට වරක් නැවත අලුත් කිරීමත් අනිවාර්යෙන් කල යුත්තක්... 

මා මේ කතන්දරය කියන්නේ බොහොම විශේෂිත මීයන් කොටසක් පිළිබඳව...ඒ පර්යේෂණ ලෝකය තුල නව පෙරළියක් ඇති කල "මනුස්ස මීයන්"...උන් ඇති කරන පර්යේෂණාගාර ලොවටම ඇත්තේ අතලොස්සයි...

මේ මනුස්ස මීයන් නිපදවීම පිළිබඳව මූලික පර්යේෂණ ක්‍රියාත්මක වූයේ අසූව දශකයේදී...

මෙහි මූලික අරමුණ වූයේ මිනිස් සෛල සහිත, මිනිස් ප්‍රතිශක්තිරණ පද්ධතියක් මීයන් තුල නිපදවීම...නිවසක ගඩොල් වගේ තමයි, මේ සෛල...ජීවියෙකු නිර්මාණය වී ඇති කුඩාම ඒකකය... 

ප්‍රතිශක්තිරණ පද්ධතියේ ප්‍රධානම කාර්ය, අප සිරුරට පිටතින් ඇතුල් වන රෝග කාරක විෂබීජ සමඟ සටන් කිරීම...එය ඉතා සංකීර්ණ පද්ධතියක්... විවිධ කොටස් නිරත වන්නේ විවිධාකාර කාර්යන් වල...

විෂබීජ වල හැඩහුරුකම එක් වරක් දුටු පමණින් හොඳින් මතක තබා ගැනීමට සමහර සෛලයන්ට ඇත්තේ විශේෂිත වූ හැකියාවක්...එක් එක් විෂබීජයන්හි සියුම් වෙනස් කම් හඳුනා ගත හැකි වන පරිදි විශාල පරාසයක විවිධත්වයක් සහිත මෙවන් සෛල අප ශරීරය තුල නිපදවන්නේ මිලියන ගණනින්...

ප්‍රතිශක්තිරණ පද්ධතිය සහ එහි ක්‍රියාකාරිත්වය වෙනත් ලිපි පෙළකින් පැහැදිලි කල යුත්තක්...  

මීයන් තුල ක්‍රියාකාරී මිනිස් ප්‍රතිශක්තිරණ පද්ධතියක් ඇති කිරීමේ මූලික පියවර වශයෙන්, උන්ට ආවේණික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම අඩපණ කල යුතුයි...එසේ නැතහොත් සිදු වන්නේ පිටතින් ඇතුල් කරන මිනිස් සෛල, විෂබීජ ලෙස හඳුනා ගෙන විනාශ කර දැමීම...

සෛලයක ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ එහි ජාන සකැස්ම මත...එය අප ඩිඔක්සිරයිබෝනියුක්ලික් ඇසිඩ් (DNA) අණු යනුවෙන් හඳුන්වන කුඩා ඒකක වලින් සමන්විතයි...


ද්වි හෙලික්සාකාර DNA අණුවක් සැකසී ඇති අයුරු 
(By brian0918™ - Own work, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=404735)

මේ සෑම DNA අණුවක්ම එකිනෙකට වෙනස් නියෝක්ලියෝටයිඩ යන කුඩා ඒකක හතරකින් සමන්විතයි...ඒවා හඳුන්වන්නේ ඇඩිනින්, තයමින්, ගුවැනින් සහ සයිටොසින් ලෙස...

DNA අණුව පබළු වලින් සම්බන්ධ කල පබළු පොටවල් දෙකක් වගෙයි...

මේ අණුවක ඇත්තේ වර්ණ හතරක පබළු වර්ග හතරක් පමණයි...එක් පබළු පොටක, එක් එක් සෛලයේ ක්‍රියාකාරිත්වයට ගැලපෙන පරිදි වර්ණ මාරු වෙමින්, මිලියන ගණනින් මේ පබළු නූලකට අමුණන ලෙසට, නියුක්ලියෝටයිඩ සකස් වීමයි සිද්ධ වෙන්නේ...

ද්වි හේලික්සීය DNA අණුව නිපදවීමේදී, එම නූලට, තවත් නූලක්, පබළු හරහා පෑහීමක් වෙනවා...ඒ පැහීම නියතයක්...කිසිම අයතා සබඳතාවක් නැහැ...ඇඩිනින් පෑහෙන්නේ තයමින් සමඟ පමණයි...ගුවැනින් එක්කාසු වන්නේ  සයිටොසින් සමඟ පමණයි...


සෛල ක්‍රියාකාරීත්වයට අවැසි අණ නිකුත් කිරීමේදී, මේ අණු නූල් දෙපොට දෙපැත්තට වීමක් වෙනවා...ඉන්පසු නියුක්ලියෝටයිඩ අමුණා ඇති පිළිවෙල අනුව, තිදෙනා බැගින් වෙන්වී ඒ අණ ක්‍රියාත්මක කරන ප්‍රෝටීන අණු නිපදවනවා...

මේ ක්‍රියාවලිය පදනම් කරගෙන තමයි, පසු කලෙක මිනිස් මීයන් බවට පත් වන සාමාන්‍ය මීයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අණ දෙන ජාන සැකැස්ම අඩපණ කරන්නේ...

මෙහිදී සිදු වෙන්නේ, ඉහත කී විශේෂිත ක්‍රියාවලි සඳහා අණ දෙන DNA අණු පර්යේෂණාගාරය තුලදී වෙනස් කම් වලට බඳුන් කිරීම... එය ක්‍රියාකාරී අත් පා කොටසක් වෙන් කර, කිසිම ක්‍රියාකාරිත්වයක් නොමැති කෘතීම අත් පා කොටසක් පැළඳවීම වැන්නක්...

මීට අමතරව, අවැසි DNA අණු  ඉවත් කිරීම, විකෘති කිරීම, අලුතෙන් කොටසක් ඇතුලත් කිරීම වැනි මේ ඕනෑම දෙයක් මේ ක්‍රියාවලිය හරහා සිදු කල හැකියි...

ඉන් පසු මෙම DNA අණු, ජීවී ස්ටෙම් සෛල (stem cells) තුල බහා, එම සෛල ප්ලාස්ටික් දීසියක රෝපණය කර පසුව, මීයන්ගේ කළල තුලට එන්නත් කරනවා...

ස්ටෙම් සෛල වලින් තමයි, කළලය යන්නෙන් අදහස් කරන, ජීවියෙක් බිහි කරන, මූලික සෛල ගුලිය නිර්මාණය වී තිබෙන්නේ...ජීවියෙකුගේ සියලුම අවයව සහ පද්ධතීන්හි අඩංගු සෛල වල නිර්මාතෘ තමයි මේ ස්ටෙම් සෛල...

ස්ටෙම් සෛල වලට අසීමාන්තිකව නැවත නැවතත් බෙදී එකම වර්ගයේ විශාල සෛල සංඛ්‍යාවක් බිහි කල හැකියි...එමෙන්ම, එක් එක් ස්ටෙම් සෛල වලට පැවරී ඇත්තේ, ඒවාට සුවිශේෂී වූ කාර්යභාර්යයන්...

මේ  කළල සෛල ගුලිය, මී අම්මෙකුගේ කුසක තැන්පත් කර සෑදෙන මී පැටවුන්ගෙන්, නැවත පරම්පරා කිහිපයක් බිහි කල පසු, අපට ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම අඩපණ කල මීයන් නිපදවා ගන්නට පුළුවන්...

මේ මීයන් රඳවා තබන්නේ විශේෂිත වූ පර්යේෂණාගාර තත්ව යටතේ විෂබීජ වලින් ආරක්ෂා වන පරිදි...උන්ට විෂබීජ සමඟ සටන් කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ...උන්ගේ ආහාර, ජලය, වාතය, කූඩු සියල්ලම සම්පුර්ණයෙන්ම විෂබීජ වලින් තොරයි...වෙනෙකක් තියා එහි ඇතුල් වන සෑම අයෙකුම විෂබීජ අවම කිරීම සඳහා ඉතා විශේෂිත වූ ක්‍රියාපටිපාටියක් අනුගමනය කල යුතුයි...

උන්ව මනුස්සයන් කරන මෙහෙයුම ඇත්තේ දෙවනුවයි...

ඒ ටික ඊළඟ කොටසින් ලියා තබන්නම්, ඔබේ ප්‍රතිචාර මත...විද්‍යාත්මක පැහැදිලි කිරීමෙහි සරල භාවය පිළිබඳව අදහසක් තබා ගියොත් එය ඉදිරි ලිපි වලට බොහෝ වටිනවා...


www.imagesbuddy.com

WW

29 comments:

  1. මටනම් විද්‍යාත්මක පැහැදිලි කිරීමේ සරල බව උපරිමයි. ඒත් ඔයාට නිසි පිළිතුරක් ලැබෙන්න ඕනි මීට දුරස් ක්ෂේත්‍රයක හෝ මේ ගැන කිසිවක් නොදන්න කෙනෙකුගෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳා...අදහස් ගොඩක් වටිනවා...ඒක ඇත්ත, තමන් දන්නා දේ උනාම ලේසියෙන් වැටහෙනවා... බලමු අනිත් අයට කොයි වගේ අදහසක්ද තියෙන්නේ කියල...

      Delete
  2. අපි වෙනුවෙන් මීයෝ...
    උසස්පෙල පන්තිය මතක් වුනා. ලිපිය පැහැදිලියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී..ඔව් අපි වෙනුවෙන් මීයෝ බොහොම වෙහෙසෙනවා...අදහස ගොඩක් වටිනවා...

      Delete
  3. ඉතාම සරලව ලස්සනට ලියා තියෙනවා. උසස් පෙල කාලෙ මේ නම් මතක තිබුණා. කිසිම සම්බන්ධයක් නැති වෘත්තීය මාර්ගයක යන්න මා වෙනුවෙන් දිවිදුන් කැරපොත්තන් සහ ගෙම්බන් ට දැනටමත් මනුස්ස ආත්මයක් ලැබී නැත්නම් ඉක්මණින්ම ලැබේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් අදහසක් ලියා තියන්න වෙලාවක් වෙන් කලාට. මේ වගේ ලිපියක් ප්‍රයෝජනවත්ද, පැහැදිලිද යන්න දැනගන්න ඒ අදහස් බොහෝ වටිනවා...ගෙම්බෝ කැරපොත්තෝ නම් මනුස්ස ආත්මයන් ලබාගෙන ඇති...උන්ව කපන අපිට තමයි යන්න තැනක් හොයා ගන්න වෙන්නේ...:)

      Delete
  4. ///උන්ගේ කුඩා වල්ගයේ ඇති රුධිර වාහිනියකට සිරින්ජයේ නීඩලය ඇතුලත් කරන ගමන්...එය තමයි පර්යේෂණාගාර මීයන්ගෙන් රුධිරය ලබා ගැනීමට අනුමත කල එක් ක්‍රමයක්...////
    අනිත් ක්‍රම ගැනත් ටිකක් කියන්න පුලුවන්ද පොකුරු...

    මීයො, කැරපොත්තො, චින්පංසියෝ වගේ සත්තු අරන් අතීතයේ කරල තියන පරීක්ෂන මතක් උනා.. පාශ්චර් බල්ලන් යොදා ගෙන කරපු පරීක්ෂණය...

    ReplyDelete
    Replies
    1. මීයන්ගේ මුහුණේ ඇති රුධිර වාහිනියකින් රුධිරය ලබා ගන්න ක්‍රමයක් තියනවා...ඇස හරහා ගන්න ක්‍රමයකුත් තියනව නිර්මාණි..එය නම් ඒ තරම් භාවිතයේ නැහැ...ඊට අමතරව වල්ගයේ කුඩා කැපුමක් ඇති කර ඒ මගිනුත් රුධිරය ලබා ගන්න පුළුවන්...ඒ ගැන විස්තරයක් ඊළඟ සටහනට එකතු කරන්නම් මම...

      මේ සත්තු කාලාන්තරක් තිස්සේම පරීක්ෂණ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු නිසා තමයි අපට මේ නවතම සොයා ගැනීම කරගැනීමේ හැකියාව ලැබිල තියෙන්නේ...මම ලංකාවේ වසර හතක් පමණ රිලවුන් යොදාගෙන කරන පරීක්ෂණ කළා මගේ ආචාර්ය උපාධි නිබන්ධනයට...

      Delete
    2. රුධිරය ගන්න විදිහ සතා අනුව වෙනස් වෙනවාද පොකුරු... එහෙම නැත්නම් පරීක්ෂණය අනුව වෙනස් වෙන්න පුලුවන්ද??

      ඒක ඇත්ත මිනිසාගේ දියුනුවට, සාර්ථකත්කවයට ඒක කොයිතරම් වැදගත් වෙලා තියනවාද...

      Delete
    3. ඔව් නිර්මාණි සතා සහ පරීක්ෂණයේ අරමුණු යන දෙකම අනුව වෙනස් වෙනවා...උදාහරණයක් විදියට වැඩිපුර රුධිර ප්‍රමාණයක් මියන්ගෙන් ලබා ගන්න ඕනේ නම් වලිගයේ කැපුම හෝ මුහුණ ආශ්‍රිතව ගැනීම පහසුයි, සතාට අවම වේදනාවකින් ඉක්මනින් කල හැකියි...හැබැයි හොඳ පුහුණුවක් අවශ්‍යයි...ඊළඟට රුධිරය එකතු කරද්දී අපට අවශ්‍ය රුධිර සංඝටක පදනම් කරගෙන එම පරීක්ෂණ නලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා රුධිරය කැටි නොගැසෙන්න...සමහර අවස්ථා වන් වලදී රුධිර ප්‍රතිකැටි කාරක අවශ්‍ය නැහැ...

      රිලවුන්ගේ රුධිරය එකතු කරද්දී කන් පෙත්තෙන් බිංදු කිහිපයක් ගන්න පුළුවන් ඉතා කුඩා පරිමාවලින්...එහෙම නැත්නම් උන්ව සිහි නැති කරලා ඌර්විය ශිරාව (femoral vein) හරහා රුධිරය ලබා ගන්නවා...රිලවෙකුගෙන් එක් වරකට මිලි ලීටර 5ක් පමණ ලබා ගන්න පුළුවන්...

      Delete
    4. ඇත්තටම මිලි ලීටර 5ක් කියන්නේ හානියක් නොවෙන ලෙසට අනුමත කළ ප්‍රමාණයක්..එය එක් එක් පරීක්ෂණාගාර අනුව වෙනස් වෙන්නට පුළුවන්...

      Delete
    5. පැහැදිලි කිරීමට ස්තුතී පොකුරු... මේ වගේ මාතෘකා ගැන දැනගන්න ගොඩක් කැමතී...

      පුලුවන් නම් සතා අනුව රුධිරය ගැනීම වෙනස් වෙන විදිහ ගැනත් පොස්ටුවක් ලියන්න...
      ස්තුතී...

      Delete
    6. බොහොම ස්තුතියි නිර්මාණි...ඊළඟ පෝස්ට් එකට එකතු කරන්නම් විස්තරයක්...

      Delete
  5. LD 50 ටෙස්ට් එක වෙනුවෙන් වස කන මීයෙක් වගේ හැගීමක් ආවා පෝස්ට් එක කියෝනකොට... හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. අපට එහෙම හිතෙනවා නම් මියෝන්ට කොහොම හිතෙනවා ඇතිද කමී...ඒකනේ උන්ගේ රතු පාට ඇස් දිහා බැලුවම හිතට ලොකු වේදනාවක් දැනෙන්නේ...

      Delete
  6. අක්කි මේක නම් කියන්න බැරි තරම් වටින පොස්ට් එකක්. please continue akki

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ...මේ දිරිය ගොඩක් වටිනවා...අවුරුදු 18 කින් විතර සිංහලෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කලේ...මේ ගැන ලියන්න පටන් ගන්න අදහසක් තිබුනත් කල් දැම්මේ සමහර විද්‍යාත්මක වචන වලට යොදන සිංහල වචන අමතක නිසා..නමුත් දැන් රූප සටහන් තියන නිසා එය බොහොම පහසුයි කියල ලිපිය ලියාගන යද්දී දැනුන...

      Delete
  7. හරිම වටින සටහනක්.. විද්‍යාත්මක පැහැදිලි කිරීමත් හරිම සරලයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ අගය කිරීමට...එය තමයි මටත් දැනගන්න උවමනා උනේ...බොහොම ස්තුතියි :)

      Delete
  8. මක්කිව්වා? මේ මීයන්ව මිනිස්සු කරනවා? මළ කෙළියක් වෙන්නේ, මුන් ඊට පස්සේ, මීමන/මාමින/මීනමාවන/මාමීවන/ නෑ නැ මී මානව හිමිකම් ඉල්ලන්ඩ පටන් ගත්තම.

    ReplyDelete
    Replies
    1. මීයෝ දැනටම ඔය කිව්ව ඒවා ඉල්ලනවා විචාරක තුමනි...උන් ඉල්ලන්නේ උන්ව බාගෙට මිනිස්සු නොකර සම්පුර්ණයෙන්ම මිනිස්සු කරන්න කියලයි...ඊළඟ පෝස්ට් එකේ උන්ව මිනිස්සු කරන හැටි ලියන්නම්කො...බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලයෙන් බිඳක් මනුස්ස මීයෝ ගැන කියවන්න වෙන් කලාට...

      Delete
  9. හොඳට පැහැදිළි කරලා තියෙනවා.මෙවැනි ලිපි දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ, ඔබතුමාට. මෙහෙම අදහසක් බොහොම වටිනවා. විද්‍යාත්මක සහ පර්යේෂණ ලිපියක් බ්ලොගයක් තුලට ඇතුලත් කිරීම කොයි තරම් දුරට කියවන්නාට වැදගත්ද යන්න ගැන වටහා ගන්න.

      Delete
  10. බොහොම වැදගත් ලිපියක්. නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට...කාලය කැප කරලා ලිපිය කියවීම සහ අගය කිරීම වෙනුවෙන්...

      Delete
  11. Some of the testing for cosmetics is hard to stomach and unnecessary.
    Also, due to personal bias, I would prefer if dogs and apes are never used for any medical testing. Can't only mice be used for the vast majority of tests?

    ReplyDelete
    Replies
    1. Thank you Pra for taking your time to read the article and for your comment.

      In general, use of animals in research are highly regulated by ethics. There is mandatory 3R's rule - Replacement, Reduction, Refinement, when using animals. Whenever possible we should avoid use of animals in research and look for alternatives (Replacement). If not, we should minimize the number of animals we use (Reduction). When we use the animals in research we should always follow the procedures to minimize the pain and treat the animals humanely (Refinement).

      So, we always have to justify for selecting the specific species of animals, number, procedures, etc. There will be thousands of questions from the research committee, which is really tough.

      Due to all these factors, use of monkeys are minimal in research now. Also, the cost of maintenance is really high for monkeys.

      I personally don't know on the specific regulations of using dogs, but I believe the rules are pretty much the same.

      Currently mice are being used in most pre-clinical research studies due to all these ethical factors, cost-effectiveness and easy manipulation.

      But if you consider about a drug or a vaccine, testing in mice is at the pre-clinical level. If the scientists want more promising data, they may test it in monkeys, before the drug/vaccine goes into the clinical trials. But that does not essentially mean the drug/vaccine is going to be successful in humans.

      Eventually, "mice lies-Monkeys exaggerates"- That is the saying in infectious diseases research. That is the main reason for developing humanized mice, which I'll go into more details in my next post :)

      Delete