වෙනදා හිස් දෑතින්ම එන ඔහු අත, අද තිබුනේ සුදු පැහැ ලිලී මල් පොකුරක්...ඇය වඩාත්ම ප්‍රිය කලේ සුදු පැහැයට...එහෙයින් අද ඇයට, ඔහුගේ දෙඇස්, පැහැදිළිව කියවන්නට හිතුනේ ඉබේටම...ගණකම් අහිබැමට යටින් නිමැවුන සිහින් දිගැටි ඔහුගේ දෙඇසේ ඒ මොහොතේ ඇඳුනේ විස්මයක්...ඒ ඇය ඔහු දෙස බැලූ පළමු වතාව...
ඒ තමයි ඔහුගේ "අහා" මොහොත...
පසුගිය තෙමස පුරාම සවස් කාලය තුල, එකදු ශනිදාවක් නෑර, ඔහුගේ අතුරුදන් වීම, ඔහුගේ මිතුරන්ටත් විශ්මය දැනවූ කරුණක්...
කවුරුන් හෝ ඒ ගැන විමසූ විට, පුස්තකාලය, හෝ උද්‍යානය පාවා දී, ඔහු කලේ ඔවුනගෙන් ගැලවීම...ඔහු රාත්‍රී සාද වල සහ සමාජ ශාලා වල නිත්‍ය සාමාජිකයෙක්...එවැන්නෙක් හදිසියේම පොත් ගුල්ලෙකු හෝ පරිසරවේදියෙකු වීම පිළිබඳව ඔහුගේ මිතුරන්ට මතුකලේ විස්මයක්...
සෑම සවසකම ඔහු සිටියේ, නැගෙනහිර නදිය අසබඩ...විටක ඈතින් යන මගී නෞකාවක් දෙසත්, තවත් විටක පිටු බොහොමයක් ඇති පොතක ගිලී ඉන්නා ඇය දෙසත්, ඉවසිල්ලෙන් බලා හිඳිමින්...ඇයගේ කෙහෙරැළි අතරින්, ඒ මුහුණේ ඉරියව් වින්දනය කිරීම ලේසි පාසු කටයුත්තක් නෙවෙයි...දුරදක්නයක් නොමැතිව...
ඇය අසල දණබිම ඔබා, සීරුවට ඇගේ කෙහෙරැළි මෑත් කර, ඇයව ලංව විඳින්නට ඇති කැමැත්ත ඔහු විටක පාලනය කරගත්තේ බොහොම අසීරුවෙන්...
මැන්හැට්න් වල ඇති කලබලයෙන් මිදෙන්නට ඇති ඉස්තරම් තැනක් තමයි, නැගෙනහිර නදිය දිගට වැටී ඇති මං තීරුව...ඔහු මින් තෙමසකට පෙර එතැනට පැමිණීම අහම්බයක්...
රඛිතා සහ ඔහු ගොඩ නැගූ අතීතය සමතලා කරන්නට, කොටු රූල් පොතක් වැනි මැන්හැට්න් මාවත් වල කොතෙක් ඇවිද්දත්, ඉඩක් නොලැබීම ගැන ඔහු පසුවුනේ තදබල වේදනාවකින්...ඒ වේදනාව විසින් මෙහෙයවූ අසරණකමින් සහ රතු වයින් වල මතෙන්, ඔහුව එදා මෙහෙයවූයේ, නැගෙනහිර නදිය දෙසට...
ඇය එදා සිටියේත්, අද සේම සුදු පැහැ කෙටි ගවොමකින් සැරසීගෙන....ඔහුට වුවමනා වුනා ඉන්පසු එළඹි ශනිදාවේත් ඇයව දැකගන්න...එය සතිය දෙක ඉක්මවා, තෙමස් විය පසුකල වුමනාවක් වන තුරුම, ඔහුගේ හදවත විසින් ඇටමිදුළු පුරා අණ නිකුත් කර තිබුනා...
ඒ සෑම දිනකම ඇය සැරසී උන්නේ සුදු පැහැය හෝ එය යන්තමින් හෝ තැවරුණු ගවොමකින්...
ඔහු හැඩකාරයෙක්...ඇයට හිතුනේ එහෙමයි...දිගු හීන් ඇස්...ඒ තරම් ප්‍රේමයක්...නිව්යෝක් නගරයට කොහෙන්ද ඒ තරම් ප්‍රේමයක්...ඇය තනිවම සිතමින් වාඩිවූයේ සුපුරුදු බංකුවේ කොනකින්...
ඒ සුදු ලිලී මල්...කා වෙනුවෙන් වෙන්න පුළුවන්ද...
"උඹ මොකට කරදර වෙනවද ඒ ගැන ඉලියේනා, මතකයිද උඹේ වගකීම...ඒක අමතක කලොත් සාතන් ඒවි උඹව හොයාගෙන"
බොහොම ස්ථිරසාර හඬකින් එහෙම කියුවේ ඇගේ හදවත...
ඉලියේනාට දැනුනේ දෙවියන් වහන්සේ තමන්ව පරීක්ෂාවට ලක් කරන වගක්...ගෙවුනු වසර දහය මුළුල්ලේම ඇය ප්‍රේමය සිර කල හදවත් කුටීරය, එක් තත්පරයකට අගුළු හැර බලන්නට ඇත්නම්...ඒ ඇයට මින්පෙර නොදැනුන හිතුවක්කාර සිතිවිල්ලක්...
"ඔහු දෙවියන් විසින් එවූ මායා කරුවෙක්...උඹට පෙනෙන්නේ නැතිද ඒ දෙනෙත් වල ඇති මායාව...පොත කියවාපන් ඉලියේනා...නැත්නම් වහාම ඔතැනින් පලයන්"
එවර ඇයගේ හදවත අණකලේ කටෝර හඬකින්...
"සමාවෙන්න, මට ඔබත් එක්ක කථා කරන්න අවසරද"
අසරණ ඉලියේනා...ඒ තිගැස්මට දුර්වල වී ඉරිතැළුනේ ඇගේ හදවත් කුටීරයේ ප්‍රේමය සිර කල අගුල...
"ඔව්...ඔබට වුවමනා නම් මා හා මේ බංකුව බෙදා ගැනීමට හැකියි"
ඇය වචන පිට කලේ බොහොම සීරුවෙන්...අර ඉරි තැළුනු අගුළ පිරියම් කිරීමට උත්සාහ දරන ගමන්...
"හදවත පැවසූ දේ නිවැරදියි...මේ නම් මායා කරුවෙක්..."
එදා මෙදා තුර කාලය තුල කොතෙකුන් පිරිමි මිතුරන් ඇසුරු කර ඇතත්, ඇගේ ප්‍රේමයේ අගුල බිඳීමට ලක් වුන ප්‍රථම වතාව අද...
"මම කීත්, ඔබ"
ඔහු පැවසූයේ, සුහද පිලිසඳරකට මුල පුරන බව හඟවමින්...
"මම ඉලියේනා"
ඇය පැවසූවේ, ඔහු අත වූ මල් පොකුරට ලෝබ කමින්...
"ඔබ ලිලී මල් වලට කැමැතියිද, සුදු පැහැයට නම් බොහොම කැමතියි වගේ, මේ ඔබට"
කීත්ට වුවමනා වූයේ ඒ මොහොතේම ඔහුගේ ප්‍රේමය පැවසීමට...
ප්‍රේමයක් ඇති වන්නට යන්නේ තත්පරයයි...එය සදාකාලික වීම හෝ ඒ තත්පරයටම සීමා වීම, යන්න රඳා පවතින්නේ, එම ප්‍රේමයේ ස්වභාවය මත...
ඔහු තෙමසක් තිස්සේ ඉවසා හිඳින මේ ප්‍රේමය ගැන ඔහුට ඇත්තේ තදබල ආත්ම විශ්වාසයක්...රඛිතාට ඔහුගෙන් සිදුවූ පීඩාව විසින් හදවතේ ඇති කල කලකිරීම මකන්නට, කීත්ට කිසිදු වුවමනාවක් තිබුනේ නැහැ...රැකියාවෙන් පසු සමාජ ශාලාවක හෝ සාදයක කාලය ගෙවා දැමීමට ඇබ්බැහි වූයේ ඒ හේතුවෙන්...
"ස්තුතියි...ඔව් මගේ ප්‍රියතම පැහැය සුදු"
එය දන්නේ කෙසේදැයි අසන්නට ඇයට වුමනාවක් තිබුනේ නැහැ...මේ කඩවසම් තරුණයා තමාව බොහෝ කලක් තිස්සේ නිරීක්ෂණය කර ඇති වග ඒ තත්පරයේදී ඇයට වැටහී තිබුනා...
ලිලී මල් පොකුරෙහි ඇති වූ සියුම් සෙලවීමෙන්, ඔහුට දැනුනේ ඇයගේ අතැඟිලි වෙව්ලන බව...ඇයගේ ඇසිපිය ගැහුනේ ඉතා වේගයෙන්...ඔහුට වුවමනා වූයේ ඒ ගැහෙන ඇසිපිය යටින් හාදුවක් තවරා, ඒවාට ඉස්පාසුවක් දෙන්න...
ඇය ඒ වන විටත් සිටියේ ප්‍රේමයේ අගුල පිරියම් කරන්නට මගක් සොයමින්...ප්‍රේමය සිටියේ කොහෝ හෝ ඇති ඉඩකින් පැන යන්නට මගක් සොයමින්...
"ශනිදාව ඔබට නිදහස් දිනයක් වගෙයි, ඒකනේ හැම ශනිදාවකම නොවැරදීම මෙතැනට එන්නේ"
ඔහුගේ ඒ ප්‍රශ්නයට, ඇය පිළිතුරු දුන්නේ ඉතා දිගු කථාවක් සඟවා ගත් සිනාවකින්...
"මා ඉන්නේ බෙකීගේ ජිම්නාස්ටික් පුහුණුව අවසන් වන තුරු...ඇය මේ දිනවල පස්වන පන්තියේ දරුවන් සඳහා පවත්වන, අන්තර්ප්‍රාන්ත තරඟාවලියට පුහුණු වෙනවා"
"ඔහෝ, මේ ඔබගේ අමතර රැකියාව, කුඩා දරුවන් බලා ගැනීම"
කීත් පැවසුවේ විශ්මය සඟවාගෙන...ඇය දෙස පුළුල් බැල්මක් හෙලමින්...
"නැහැ, බෙකී මගේ දුව"
ඉලියේනාට, එයට වඩා යමක් මේ නාඳුනන අමුත්තාට පැවසීමට වුමනාවක් තිබුනේ නැහැ...
කීත්ට දැනුනේ හැකිළුන බැලුමකට දැනෙන්නා වූ ශෝකීජනක හැඟීමක්...
තෙමසක් පුරා උස් මහත් කල ප්‍රේමය, ඇයගේ සස්වාමික බව කෙලෙස වටහා ගනීවිද...
ඉලියේනා එවර ඔහුගේ දෑසට එබී බලන්නට දෙපාරක් සිතුවේ නැහැ...ඔහු තිගැස්සුනේ එහි තිබුන දීප්තිමත් එළියට...
ඒ එළිය, රඛිතා අරා වුන් සියලුම සෛල විනිවිදින වගක් පමණයි ඒ මොහොතේ කීත්ට දැනුනේ...
ඇයගේ ප්‍රකාශයෙන්, ඔහුගේ හදවතේ ඇතිවූ කැළඹීම වටහාගන්නට ඉලියේනාට ඒ හැටිම අපහසුවක් වූයේ නැහැ...
"ඔබේ සැමියා...ඔහු කාර්යබහුල පුද්ගලයෙක් වෙන්නැති..."
කීත් ඇසුවේ ඉතා අපහසුවෙන් හදවත එකලස් කරගෙන...
"බෙකී ඉපදෙන්නට දින කිහිපයකට පෙර ඔහු රිය අනතුරකින් මිය ගියා"
ඒ ඉලියේනාගෙන් හැමෝටම ලැබෙන පොදු පිළිතුර...
"ඔහෝ...මට හරිම කණගාටුයි, සමාවෙන්න ඔබේ හිත රිදුනා නම්"
ඔහුට පෙනුනේ හාත්පස වසාගෙන පැතිරී යමින් තිබුන අඳුර මැදින් දැල්වුන විදුලි පහන් කණුවක රිදී එළියක්...
මීට මොහොතකට පෙර මිදෙන්නට ආසන්න වූ ඔහුගේ රුධිර නාල, යලිත් පිම්බීමෙන් ඇති වූ රුධිරය කාන්දු වූයේ ඔහුගේ දෙකම්මුල් වලට...
ඇගේ මුහුණෙන් ශෝකයක ලකුණක් සොයාගන්නට, කොතෙකුත් උත්සාහ කලත් ඔහුට හැකිවූයේ නැහැ...
ඉලියේනා සිටියේ ගැඹුරු කල්පනාවක...
"ඔහුගේ මුහුණ රත් පැහැයට හැරුණා...සමහර විට ඔහුගේ සියළුම බලාපොරොත්තු බිඳෙන්න ඇති...ආත්මාර්ථකාමී මිනිස්සු..."
"නිව්යෝක් නගරයේ කොහෙද ප්‍රේමය...සියල්ලට ඇත්තේ කලින් තීරණය කල මිලක්...ගැඹුරු ආත්මීය සංවාද වලට ඇහුන්කන් දෙන්න තරම් නැගෙනහිර නදියට කාලයක් නැහැ...මේ පරෙවියන්ට වෙලාවකුත් නැහැ..."
ඇය නොනැවතීම හිතුවා...
"බෙකීගේ පුහුණුව නිමා වෙන්නට ආසන්නයි...ඉතින්, ලිලී මල් වලට නැවතත් ස්තුතියි...ඔබව හමුවීම සතුටක්...ඔබට සුබ සැන්දෑවක්"
ඉලියේනා බංකුවෙන් නැගී සිටියේ එසේ කියාගෙන...ඔහුගේ දිගැටි දෙනෙතට නැවත වරක් එබිකම් කිරීමේ කැමැත්ත සඟවාගෙන...
"සුබ සැන්දෑවක්...අපි නැවත හමුවෙමු"
කීත් මුවින් පිට කලේ සැබෑවටම ඔහුගේ සිතේවූ ප්‍රාර්ථනාව...
එදා, ඉඳන් සෑම ශනිදාවකම ඒ බංකුව වෙන්වූයේ ඔවුන් දෙදෙනා වෙනුවෙන්...
බොහෝ විට කීත් පැමිණෙන්නේ, චොකොලට් දැමූ උණු කෝපි ඇසුරුම් දෙකක් රැගෙන...එහෙමත් නැතිනම් කිරි සමඟ ක්‍රීම් දැමූ කෝපි...
ඔහු ඇගේ ප්‍රියතම කෝපි වර්ග සොයා ගත්තේ කෙසේදැයි, ඉලියේනා කිසිදිනෙක කීත් ගෙන් ඇසුවේ නැහැ...
ජීවිතයට අහම්බෙන් පැමිණෙන මිනිසුන්, එකිනෙකාගේ ආත්මයන් අවබෝධ කොට ගන්නේ, වසර ගණන් එකට සිටි හිත මිතුරන්ට වඩා වේගයෙන්...
දෙදෙනාගේම අතීතය හැරුණු කොට, ජීවිතය ගැන බොහෝ දෑ ඔවුන් හුවමාරු කරගත්තේ පදනම් විරහිතව...
එහෙත් ඔහුගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි...ඉලියේනා තවමත් උත්සාහ කරන්නේ ප්‍රේමයේ අගුල බිඳී යන්නට නොදී රැකගැනීමට...
එය සමහර විටක, සිදුරු වලින් කාන්දු වී ඇගේ දෙනෙතට ගලන බව, කීත්ට රහසක් වූයේ නැහැ...
එදා, ඔහු එන විට ඇය පෙරලාගෙන උන්නේ ඉපැරණි ඇල්බමයක්...
"ඕ..ඉලියේනා කාගේ පින්තූරද එහි තිබෙන්නේ"
"මේ බෙකී ළදරු අවධියේ සිටම මා රැස් කල පින්තූර...ඇය එය රැගෙන ආවේ ඇගේ මිතුරියන්ට පෙන්වන්න...එය අමතක වී දමා ගොහින්"
ඇගේ දෙතොලෙහි රැදුන මන්දස්මිතයෙන් ඔහුට දැනුනේ ඇයගේ හිත පිරුණ මාතෘ ප්‍රේමය...
"මේ තියෙන්නේ, ඇය උපන් දා ගත් පින්තූරයක්"
ඉලියේනා, ඔහුට පෙන්වූයේ හුරුබුහුටි බිලිඳියක්...ඇයගේ නිකටේ වම් පැත්තේ පහලින් තිබුනේ තද කළු පැහැති උපන් ලපයක්...
"කෝ බලමු"...කුඩා දරුවෙක් දකින සෑම වතාවකම ඇතිවෙන වේදනාව දරාගෙන කීත් එබුනේ ඇගේ ඇල්බමයට...
"මගෙ දෙවියනේ...මේක නම් වෙන්න බෑ...මට ඇත්ත කියන්න ඉලියේනා"
කීත් කෑ ගැසුවේ සිහි එළවා ගත නොහැකිව...
කොතැන හෝ යමක් පටලැවී ඇති බැව් වටහා ගත් ඉලියේනා, ඔහුගේ අතින් ඇල්බමය උදුරා ගන්නට මොහොතක් වත් පමා වූයේ නැහැ...
ඔහු තදින් හුස්ම ගන්නා අයුරුත්, කඳුළු පාලනය කරගන්නට අසීරු උත්සාහයක යෙදෙන අයුරුත් ඉලියේනා බලා සිටියේ කිසිවක් වටහා ගත නොහැකි ලෙසින්...
"අනේ දෙවියනේ..."...ඊළඟ මොහොතේදී ඇයට කෑ ගැසුනේ යමක් අවබෝධ වූ ලෙසින්...
"ඉලියේනා ඇත්ත කියන්න...බෙකී ඔබේ දරුවෙක් නෙවේ නේද...ඇත්ත කියන්න මගෙ ඉලියේනා..."
ඇගේ ශ්වේත වර්ණ දෙකොපුල් පීච් පැහැයට හැරුනේත්, ඇගේ ඇසින් චෙරි ගෙඩි තරම් විශාල කඳුළු කැට කඩා හැලුනේත් එක වරම...
"මා දැනන් හිටියා...ඔබේ යටි අරමුණක් තිබූ බව...ඔබ මා පසු පසින් පැමිණියේ කුමක් හෝ බලාපොරොත්තුවෙන් බව...මා හිතුවේ එය ප්‍රේමය නැති නම් කාමය බව...දැන් තමයි වැටහුනේ ඔබේ බලාපොරොත්තුව රහස් පරීක්ෂක කටයුත්තක් බව..."
ඉලියේනා කෑ ගැසුවේ උමතුවෙන්...කීත්ට පෙනුනේ මුළු නැගෙනහිර නදියම ඔවුන් දෙදෙනාට උකුසු ඇස් යොමු කරන විලාසයක්...
"සන්සුන් වෙන්න ඉලී...මගෙ වස්තුව...මා ඔබට ආදරෙයි...මට සමාවෙන්න...ඒ දේ පවසන්න සුදුසු රොමෑන්තික වේලාව මෙය නොවෙයි...ඒත් පිළිගන්න වෙනත් කිසිදු යටි අරමුණක් මගේ සිතේ තිබුනේ නැහැ...සන්සුන් වෙන්න"
"කෝ...දැන් ගන්න ගැඹුරු හුස්මක්"
යක්දෙස්සියක සේ ආවේශයෙන් වුන් ඉලියේනා කෙමෙන් සන්සුන් වූයේ ඔහුගේ මේ වදන් ඇසීමෙන්...ඇය ගැහෙමින්, ඔහුගේ උරහිසේ හිස හොවාගත්තේ අන්ත අසරණ කමින්...
"අම්ම කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද...අවුරුදු දහයක් තිස්සේ උස් මහත් කල ඇය මගේ ප්‍රාණය හා සමානයි...ඔබ වුවමනා නම් මගෙ ප්‍රාණය ගෙන යන්න, ඇයව නම් ඉල්ලන්නට එපා..."
ඇය පැවසුවේ ඉකි ගසමින්...
"කෝ ඉතින් ඔය කඳුළු පිහදාගන්න වස්තුව...මට බෙකී වුවමනා නැහැ...ඒත් මට ඕනේ ඒ ඇත්ත දැනගන්න"
කීත් පැවසුවේ, ඔහුගේ හදවත තුලින් පැන නගින ගැඹුරු රිදුම් සියල්ලම ඉවසා ගනිමින්...
"එදා ඉරිදාවක්...මගෙ විසිවැනි උපන්දිනයට පසුවදා...මා පල්ලියට ගියේ ගම්මානයේ හැමෝටම පෙරාතුව..."
"ඉතින්"...කීත් උන්නේ බොහොම නොඉවසිල්ලෙන්...
"පල්ලියේ අල්තාරය ළඟ තබා තිබූ කුඩා කූඩයේ තිබූ දෙයින් මා විස්මයට පත් වුනා"
"අනේ මගෙ දෙවියනේ...ඒ උන්නේ රෝස පැහැ බිලිඳියක්...ඉපදිලා දිනක් ගෙවී ගොස් තිබෙන්නට නැතිව ඇති..."
කීත්ගේ සුසුම් වල සැර එවෙලේ නම් ඉලියේනාට හොඳින්ම දැනුනා... කතාන්දරයේ ඇති ශෝක රසය නිසාම, ඔහුට ඉබේටම සුසුමක් පිට වෙන්ට ඇති...එවෙලේ ඇයට හිතුනේ එහෙම...
කීත්ට දැනුනේ සිරුර පුරාම සියුම් ඉඳිකටු තුඩු අනින තරමෙ වේදනාවක්...
"මගේ දෙමාපියෝ මිය ගියේ මා කුඩා කාලයේ...ඒ වෙද්දී මා උන්නේ, මාමගේ ගොවි පොළක...මට ඇය දුටු වහාම දැනුනේ දෙවියන් වහන්සේ විසින් මට බාර දුන් වගකීමක් බව..."
"සියල්ලෝම මට එදිරි වෙද්දී...පියතුමා පමණයි මට ආශීර්වාද කලේ...එදා රාත්‍රියේම මා බෙකීවත් රැගෙන ගමෙන් පිට වෙලා නිව්යෝක් ආපු ගමන තමයි මේ"
කීත්ගේ හීන් දිගැටි ඇස් වලට එකතු වුනු දියාරුව, ඉලියේනාට වැටහුනේ ඔහුගේ අනුකම්පාව ලෙසට...
"එදා ඉඳන් මා බොහෝ කුඩා රැකියා කළා බෙකීව රැක බලා ගන්න...වැසිකිළි පිරිසිදු කිරීමේ පටන් ආපන ශාලා සේවය තෙක්ම මා නොයෙකුත් රැකියා කළා...මෙහිදී මුණ ගැසුන මගේ මිතුරියක් මාර්ගයෙන් මට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකියාවක් ලැබුනා...ඇයගේ උදව්වෙන් මා අවශ්‍ය පාටමාලා සම්පුර්ණ කරගෙන තමයි, අද මගේ තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කලේ..."
කීත් ඔහුගේ පසුම්බියෙන් ගත් ඉපැරණි පින්තූරයක්, ඉලියේනාගේ දෝතෙහි තැබුවේ කිසිවක් නොපවසාම...
"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ...බෙකී...මේ ඉන්නේ බෙකී...මට මෙය අදහගන්න බෑ...කොහොමද මෙය ඔබට ලැබුනේ"
ඉලියේනාට දැනුනේ ඇයව වංකගිරියක අත්හැර දැමුවාක් වැනි හැඟීමක්...
කීත් උන්නේ දණහිස් වලට බර දුන් දෑත් මත හිස රුවාගෙන...ඔහුගේ හිස සම්පුර්ණයෙන්ම බිමට නැඹුරු වී තිබූ හෙයින් ඇයට ඔහුගේ මුහුණේ ඉරියව් කියවාගන්නට හැකියාවක් තිබුනේ නැහැ...එහෙත් ඇය දුටුවා, එතන හරි හතරැස් කොන්ක්‍රීට් රටා මැවූ පොළවෙහි, රවුම් හැඩති තෙත් ලකුණු ඉහී තිබුන අයුරු...
"මට දැන් සියල්ලම පැහැදිලියි... ඔබේ ගැටළු සියල්ලම ලිහා දෙන්නම් ඉලී...මට සමාවක් එපා..."
කීත් පැවසුවේ බිඳුන හඬකින්...
"ඔබ බෙකී කියන්නේ, මට දාව රඛිතාට උපන් දියණියට...අවුරුදු විසිදෙකේදී දරුවෙක් බාර ගන්න මානසිකත්වයක් මට තිබුනේ නැහැ...ඒ අතින් ඔබට වඩා මා බොහොම පහත් මිනිහෙක්..."
ඉලියේනාගේ, දෙඇස් වටකුරු වී, දෙබැම ඉස්සුනේ ඉබේටම...
"අනේ ඔබ මගේ බෙකීව මගෙන් ඉල්ලන්නද හදන්නේ"
ඔහුගේ කථාව නිමා වෙනතුරු සිටීමට තරම් ඉස්පාසුවක් ඉලියේනාට තිබෙන්නට නම් ඇය හදවතක් නොමැති ගැහැණියක් විය යුතුයි...
"අහන් ඉන්න මගෙ ඉලියේනා...රඛිතා පොහොසත් ඉන්දියන් පවුලක උන් එකම දියණිය...අප පාසැල් පෙම්වතුන්...ඇගේ දරු ගැබ දැනගත් වහාම මා ඇගෙන් ගබ්සාවක් කරන ලෙස ඉල්ලා සිටියා...ඒ තමයි මා ඇයව දුටු අවසාන දවස...ඉන් මාස කිහිපයකට පසු මට මේ පින්තූරය තැපෑලෙන් ලැබුන එකක්"
ඉලියේනාට පිටවුනේ සැනසුම් සුසුමක්...ඒ වගේම ඇයට ඇති වූයේ, එසේ ආත්මාර්ථකාමී වීම ගැන කණගාටුවක්...
කවදා කොහෝ සිට බෙකී සොයා ඇයගේ දෙමාපියන් පැමිණියත්, ඉලියේනා ඉතා සාධාරණව මේ ගැටළුව දෙස බැලිය යුතු බව ඇයට වැටහුනේ නිරායාසයෙන්ම...
"ඒ හුරුබුහුටි බිලිඳියව දුටු මොහොතේම මට වාවාගන්න බැරි උනා...එදා ඉඳන් කාලයක් තිස්සේම මා රඛිතාත්, දියණියත් ගැන තොරතුරක් සොයා ගන්නට නොගත් වෙහෙසක් නැහැ...මා ඔබව මුල් වතාවට දුටුවේත්, ඒ වගේ ඔවුන් සිහිවී අතොරක් නැතිව මැන්හැට්න් පුරා සැරිසැරූ දිනෙක..."
"කීත්...දැන් ඔබට වුවමනා කුමක්ද...ජීවිතේ වැරදුන තැන් හදාගන්න කෙනෙකුට ඕනෑම මොහොතකදී පුළුවනි"
ඉලියේනා ඇසුවේ ඉතාම පැහැදිළිව...ඔහුගේ දෑසට එබීගෙන...ප්‍රේමයේ අගුල කුඩා කැබලි කර නැගෙනහිර නදියේ පා කර හරින ගමන්...
ඔහු ඇය ළඟ දණින් වැටීගෙන, ඇයගේ කැරළිකාර කෙහෙරැළි මෑත් කලේ ඇගෙන් අවසරයක් නොමැතිවම...
"ඔබ උතුම් යුවතියක්...ඔබ මාව විවාහ කරගැනීමට කැමතිද"
ඔහු ඇගේ සුරත ඔහුගේ ලයට ලං කොට ගෙන ඇසුවේ දෙපාරක් නොහිතාම...
"නිව්යෝක් වල ප්‍රේමයක්...මේ තරම්ම ප්‍රේමයක්...මේ උස් ගොඩනැගිලි අතරේ...මේ සයිරන් නලා මැද්දේ...අපට පුළුවන් වෙයිද එම්පයර් ගොඩනැගිල්ලට වඩා උස ප්‍රේමයක් ගොඩ නගන්න කීත්.."
....................................................................................................................................................
"මට හිතන්න කල් ඕනේ...අපි යමු කීත්..."
.......................................................................................................................................................
.......................................................................................................................................................
ඔහුගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි.....
.........................................................................................................................................................
සඳ මැණික ඔබ මගේ නෙතු ගඟුල මැද වැටී
රිදි රිදී ඉහිරවයි කළඹවා ඇස් ගැටී
නළලතේ අගිස්සේ නුඹේ සුවඳේ ගැටී
කේශ නාලිකා පවා කිතියෙන්ද ඒ හැටී...
සංසාරෙ අරන් ආ සුවඳ පස්සෙන් වැටී
ඇස් පියා ගනිමි මම හුස්ම උස්සා ගමී
ලෙය පුරා ඇවිදිනා ඒ සුවඳ සුහදිනී
විඳින්නට ඉඩ දියන් හුස්ම අත නාරිමී....
....................................................................................................................................................
ඇය ඔහුට කෙතරම් ප්‍රේම කලත්, ඇයට අවැසි වුනා තව වතාවක් ඒ ගැන හිතන්න...ජීවිතේ එක් වරක් වරදක් කල මිනිසෙක්, නැවත ඒ වරදම කරන්න ඇති ඉඩ කඩ මනින්නට කෝදුවක් සොයා ගන්නට, මේ නිව්යෝක් වලින්ම බැරි වෙන එකක් නෑ...ඇය නිහඩවම එහෙම හිතුවා....
අම්මා කෙනෙක් වෙන්න, දරු කැක්කුම දැනෙන්න, තමන්ගේ කුසින්ද දරුවෙක් බිහි කරන්න ඕනෙමද...ඇයට ආයිමත් වතාවක් එහෙමත් හිතුනා...
....................................................................................................................................................
ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~
//අම්මා කෙනෙක් වෙන්න, දරු කැක්කුම දැනෙන්න, තමන්ගේ කුසින්ද දරුවෙක් බිහි කරන්න ඕනෙමද//
ReplyDeleteකොහෙත්ම නෑ.
ඔයා බොහොම සංවේදී කතාවක් අපූරුවට ගලපලා.
බොහොම ස්තුතියි සඳා...
Deleteඇත්ත, මේ ලෝකේ හැමෝම එහෙම හිතනවා නම් කොයි තරම් සුන්දර වෙයිද...
කිරි අම්මාවරු දනට වඩිනවා
Deleteකිරි සුවඳයි මුලු ගම්මානේ..
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා...
නෙත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවේ දුක් විඳලා..
එනමුත් කුසයේ හොවමින් බිහිකර
ඇඟලේ කිරිකර නැත පොවලා..
කිරි අම්මාවරු..
නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා..
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා..
ගැලපෙනම ගීතය පත්තර මල්ලි...මොන තරම් අර්ථපුර්ණ ගීයක්ද...මේක මෙතනට ගැලපුවට බොහොම ස්තුතියි...
Deleteහරීම ලස්සන කතාවක්.... ඒ වගේම සංවේදී.... වචන කීපයකින් ඔයා ගොඩාක් දේ කියලා පොකුරු වැහි....
ReplyDeleteබොහොම ස්තුතියි නිර්මාණි මේ ඇගයීමට... :)
Deleteසංවේදී සටහනක් පොකුරු. ඊට වඩා යමක් නොකියා ලඟදී දුටු මේ ක්ලිප් එකේ ලින්ක් එක තබා යන්නම්.
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන් ඔබට...
Deleteඒ ක්ලිප් එක බලලා මට ඇහැට කඳුළක් ආවා...ඒ වගේම මේ සටහන ඔස්සේ ඔබ කල කියවීම ගැන හිතට දැනුනේ සතුටක්...
සඳ මැණික ඔබ මගේ නෙතු ගඟුල මැද වැටී
ReplyDeleteරිදි රිදී ඉහිරවයි කළඹවා ඇස් ගැටී
නළලතේ අගිස්සේ නුඹේ සුවඳේ ගැටී
කේශ නාලිකා පවා කිතියෙන්ද ඒ හැටී...
සංසාරෙ අරන් ආ සුවඳ පස්සෙන් වැටී
ඇස් පියා ගනිමි මම හුස්ම උස්සා ගමී
ලෙය පුරා ඇවිදිනා ඒ සුවඳ සුහදිනී
විඳින්නට ඉඩ දියන් හුස්ම අත නාරිමී....///
තව ටිකක් මේකට එක් කරල හොඳයි කියල හිතෙන කෙනෙක්ට දෙන්න. විශිෂ්ට ගීයක් වෙන්න පුළුවන්(සමාවෙන්න මම දන්නෑ දැනටමත් මෙය එහෙම එකක්ද කියල නමුත් එතරම් අපූරුයි) කතාව කොයි තරං සංවේදී වුණත් විශිෂ්ට වුණත් කවිය තමා මට දැනුනෙ...
අපූරුයි පොකුරු.. ජයවේවා
බොහොම ස්තුතියි මහේෂ්...මේ ඇගයීම් මට බොහොම වටිනවා...
Deleteමම ඇත්තටම මේ කවිය ගීතයක් කරන එක ගැන හිතලවත් තිබුනේ නැහැ...හිතට එන ඒවා ලියනවා...එයින් ලැබෙන සතුට නිසා ගොඩක් වෙලාවට එයින් එහාට හිතන්නේ නැහැ...මම හොයල බලන්නම් මේක ගීතයක් කරන්න පුලුවනිද කියල...බොහොම ස්තුතියි මේ වගේ අදහසක් මතු කලාට...
සොඳුරු සංවේදී කතාන්දරයක්... කලාත්මක ලියැවිල්ලක්... හරිම අගෙයි. :)
ReplyDeleteබොහොමත්ම ස්තුතියි සිත්තමී කතාන්දරය වින්දනය කලාට...ඒ වගේම අගය කිරීමටත්...
DeleteVery sensitive story.
ReplyDeleteThank you Lalith...
Deleteඅපූරු නිර්මාණයක්, පොකුරු.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී...හැමදාමත් වගේ බ්ලොගයට ගොඩ වෙලා මේ කරන ඇගයීමට...
Deleteහරිම ලස්සනයි පොකුරු. මුල ඉඳල අගටම ලස්සන ගලායාමක් . ඒ වගේම හදවතට දැනෙන්න ගොතල තියන අර අවසාන කවිය ඉස්තරම් :) :)
ReplyDeleteබොහොම ස්තුතියි හංසි අගය කිරීමට...කවිය ඇත්තෙන්ම මාසෙකට විතර කලින් ලියූ එකක්...මේ සටහන ලියල ඉවර කරලා කවියක් ගැන හිතද්දී තමයි මේ කවිය මෙතැනට ගැලපෙනවා කියල හිතුනේ...
Deleteකවියටත්, කතාවටත් හිත ගියා. බොහොම අගෙයි.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි කසුන්...
Deleteසංවේදී පොකුරු වැස්සකට තෙමුනෙමි. :)
ReplyDeleteබොහොම ස්තුතියි රන්දිල් :)
Deleteඅක්කී, ඔබ ලියන්නේ මගේ හිතේ හැම අස්සක් මුල්ලකම පුරා ඇවිදලා අඩු තරමේ කමෙන්ට් එකක් වත් ඉතුරු නොකර. ඔබේ නිර්මාණයකට පස්සේ මම ගොළුවෙනවා වගේ මට දැනෙන්නේ...
ReplyDelete"ජීවිතයට අහම්බෙන් පැමිණෙන මිනිසුන්, එකිනෙකාගේ ආත්මයන් අවබෝධ කොට ගන්නේ, වසර ගණන් එකට සිටි හිත මිතුරන්ට වඩා වේගයෙන්..."
මේකත් මට කියන්න ඕනේ උනු මට කලින් අක්කි කියපු කතාවක්.....
බොහොම ස්තුතියි නංගෝ මේ විදියට මා ලියන දේ විඳිනවට...
Deleteඒක ඇත්ත නේද...සැලසුම් සකස් කරලා මුණ ගැහෙන අයට වඩා අහම්බෙන් එන අය සමහර වෙලාවට ජීවිතේට කිට්ටු වෙනවා...ඔයාගේ කෝණයෙන් ඒ කතාව අහන්න මං කැමතියි...
:) ඇත්තටම ඔව්. ලියන්න ඕනේ උනත් ඒ ගැන කෙනෙක් මට වාරණ පනවලා තියෙනවා ලිව්වොත් මං ගැන හහ් බලාගමු අරකද මේකද කියලා. ඉතිං බයට ලියන්නෑ. මොකද ලංකාවටම ඇවිත් මගෙත් කන විද්දොත් අර පරීක්ෂණාගාර වල ඉන්න මී පැටවුන්ගේ වගේ. එකයි , ලියාගන්න බැරි කමක් එහෙම නෙවෙයි :) :)
Deleteඅහ්හ්...එහෙමත් ප්‍රශ්නයක්ද...එයා කවුරු උනත් එයාට නඩු දාන්න වටිනවා...සාපරාධී මානව හිමිකම් කඩ කිරීමක්...ඔබාමා මාමා යන්න කලින් ඕනේ නම් කථා කරලා ඔයාගේ ප්‍රශ්නෙට සාධාරණ විසඳුමක් අරන් දෙන්න බලන්නම්...
Deleteහැබැයි බය වෙන එකත් සාධාරණයි :D
අහම්බයක චමත්කාරය හිතේ හැටියට විඳගත්තා පොකුරු
ReplyDeleteබොහොම ස්තුතියි රන්දුලා මේ පැත්තට ගොඩ වුනාට...ඒ වගේම ඇගයීමටත්...
Deleteසුන්දර ලියමනක් පොකුරු වැහි. ඔයාට හරි අපූරු තෑග්ගක් තියෙනව සහෝදරී. හිතේ අහුමුලු වල රිංගල රිදෙන වැදෙන තැන් හොයාගෙන ඒව ලියන්න හරි දස්සයි ඔයා. සුබ පැතුම් හදවතින්ම
ReplyDeleteබොහොම ස්තුතියි නගේ...මේ වගේ සුන්දර අදහසක් තියල යන එක ඉදිරි නිර්මාණ වලට බොහොම දිරියක්...
Deleteදැක්කම වින්කින්
ReplyDeleteනැතුවම තින්කින්
පෙම් සයුරේ අපි
යටටම සින්කින්
වෙන් ලව් මේකින්
නෝ මෝ ජෝකින්
"විල් යූ මැරි මී?"
"යූ බණ ටෝකින්?"
(චන්ද්‍ර අනගිරත්න ලියූ කවියකි)
ඒක රහම රහ කවියක්...බොහොම ස්තුතියි රසික මේ පැත්තට ගොඩ උනාට...
Delete