Saturday, May 7, 2016

මාගරීටා, ටිකිලා සහ සපත්තුව...



අද, අවුරුදු පහකින් පසු එළැඹුන බොහොම විරල සිකුරාදාවක්...

මේ සවස් යාමයේ තිබෙන පිටස්තර පෙනුම නම් ඒ තරම් සුන්දර නැහැ ...දැන් ටික දවසක ඉඳල අහස ඉන්නේ පුදුම තරම් මුහුණ අඳුරු කරගෙන...අදත් එහෙමම තමයි...කෘතීම ආලේපන කිසිම දෙයක් තවරා නොතිබුන සැන්දෑ අහසේ, තදින්ම මතු වෙලා පෙනුනේ කළු පාට වලාකුළු වල ලප කැළැලි...ඉරත් තව ටික කලකට නෝක්කාඩුව අමතක කරන හැඩක් නැහැ...

ඒත් අපි තිදෙනාටම නැති ආලේපන අහසට මොකටද...ආලේපන ගල්වන්නේ ලබා උපන් පෙනුම පිළිගන්න අකමැති මිනිස්සු...තමන්, තමන්ගෙ සැබෑ ස්වරූපයට ආදරේ නොකර තව කෙනෙකුට කොහොම ආදරේ කරන්නද? මට හිතෙන්නෙ එහෙමයි...

ආලේපන කොහොම වෙතත් අපට දිවා ආහාරය පවා මග හැරෙන දින අනන්තයි, අප්‍රමාණයි...එක දිගට වෙහෙස දරාගෙන කරන මේ පර්යේෂණ වලින් ලෝක වාසීන්ට යහපතක් සැලසීම තමයි සියල්ලන්ගේම ප්‍රධාන අරමුණ...ඒත් ඔහු හැමදාමත් කියන්නේ අපට ලෝක ස්වභාවයට එරෙහි වීමට කිසි සේත්ම හැකියාවක් නැති වග...එය තමයි කටුක උනත් සත්‍ය...හෙට දිනයේ බිහිවන කුඩාම ජීවියාගේ හදවත පවා බොහෝ දරුණුයි...මිනිසුන් සිය ගණනක් එක රැයකින් මිහිපිටින් තුරන් කරන්න තරම් ඔවුන් බලවත්... 

ඒ කතාව වෙනත් දිනයක කියන පොරොන්දුව මත, අපි යන්න ආපු ගමන යමු...

ඒත් ගමන යන අතරමැද වෙහෙස වැඩි කමටම ඔහේ බලාගෙන ඉන්න මට ආයිමත් පෙන්නේ අහස...වසන්ත කාලයේ වැස්සත් මාස පටලවාගෙන...අපේම වරදින් තමයි...දේශගුණික විපර්යාස ගැන සම්මේලන පවත්වන තැනට ලෝකය පත් වෙන්න කලින්, අප හැමෝටම හිතන්නට දෙයක් තිබුනා...ඒ තමයි අපේම අනියම් දායකත්වයෙන් සිදු කරන පරිසර විනාශයේ අතුරු ප්‍රතිපල අපේ ජීවිත කාලය තුලදීම අත් විඳින්නට විය හැකි වග... 

අහස ඇවිත් මාත් එක්කම, අපේ ගමනාන්තයට...මි-රැන්චෝ මෙක්සිකානු අවන්හල...කාලගුණය මක් උනත් ඒ ගැන මොකට හිතන්නද? ඒ අවන්හලට අපූරු දුඹුරු පැහැ ලී වහලක් තිබුන කොට...

අද දවසේ හැටියට වහලක් නැතිව, මහ වැස්සේ උනත් ෂෙලීට ඕනේ උනේ ඇගේ හිතේ තිබුන පීඩනය පිට කරගන්න...ඊළඟ සතියේ ඇරඹෙන්නට නියමිතව තිබුන නෙදර්ලන්ත සම්මේලනයට තෝරා ගැනුන දේශන දෙකකට සුදානම් වෙන්න සිදුවීමේ පීඩනය...ඇය ඒ ගැන නොකීවට, මට එය හොඳාකාරවම දැනුනා...එහි අඩංගුවුන කරුණු බොහොමකයට මා වග කිව් බැවින්, ඒ බරින් හරි අඩක් ඇය දරාගත්තේ මා වෙනුවෙන්...ඉතින් ඇයට සහයෝගයක් දෙන එක මගෙත් යුතුකම...ඇත්තම කියනවා නම් මටත් උවමනා උනේ වෙහෙස මුදා හරින්න හරිබරි ගැහුන, ගැහැණු වට මේසයක්...

අද සවස පළමුව වෙන් කෙරුනේ අදට දෙදිනකට කලින් යෙදුන ෂෙලී ගේ උපන්දිනය සැමරුම වෙනුවෙන් වුවත්, ආසන්නම නිමිත්ත වූයේ දේශන දෙකම නිසි ලෙස අමුණාගෙන, ඒ බරින් ඔලුව නිදහස් කරගත් සතුට...

ෂෙලී සහ මා කරන ඕනෑම කාර්යක අතුරු ප්‍රතිපල, හොඳ, නරක, සියලුම කෙඳිරිලි, හේතු සොයා නොබලාම අසා ඉන්නට සිදු උනේ, තවත් පුංචි කෙල්ලෙකුට...සශී නොබෝ දිනකින්ම සුන්දර මනාලියක් වෙන්න පෙරුම් පුරන්නියක්...අප දෙදෙනාටම වඩා බොහෝ ලාබාල ඇයව අපට දැනුනේ බාල සහෝදරියක් ගානට...ඇය අලුත් පරම්පරාවේ මුල් පුරුකක්...පවුලේ එකම දරුවා උන ඇය, අද තමන්ගේ මව් රටෙන් සහ දෙමාපියන්ගෙන් වෙන් වෙලා මෙහි ගෙවන්නේ අතිශය ස්වාධීන ජීවිතයක්...

වැඩිහිටියෝ විදියට අප දෙදෙනාට, ඇය ගන්නා නොමේරූ තීරණ වලදී නොදැක්කා සේ හිඳින්නට බැරි වූ වාර එමටයි...තනිකඩව වෙනත් රටක ගෙවන මෙවන් තරුණ ජීවිත වලට ඇත්තේ ඔවුන්ටම ආවේණික වූ දැක්මක්...එය බොහෝ විට අත්දැකීමෙන් පාඩම් ඉගන ගන්නා සංකල්පය මත පදනම් වූවක්...ඒ ක්‍රියාවලිය තුලදී ඔවුන්ගේ අතීතය තුල සැඟවී යන අඳුරු අත්දැකීම් ඕනෑ තරම්...කෙසේ වෙතත් කාලයේ අවෑමෙන් ඔවුන් ලබන පන්නරය අති මහත්... 

"අයි වෝන්ට් ටු ගෙට් ඩ්‍රන්ක් (මට මත්වෙන්න බොන්න ඕනෑ)"...ඒ ෂෙලීගේ ඉල්ලීම...

ඔබ හිතන්නේ මා කුමක් කල යුතුද? තරයේම මගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීම...එහෙමත් නැත්නම් නිහඬවම අනුමැතිය පල කිරීම...දෙකෙන් කොයිකද?...

"ගෑණියෙකුට ගැළපෙන වැඩක්ද ඔය" ...

දැඩි හඬකින් එසේ කියා සිටින්නේ, තිරය පිටුපස හිඳ ගැහැණියකගේ නිරුවත විඳින පිපාසාවෙන් පෙලෙන, අපේ සදාචාරවත් සමාජ අයිකනය...

හැබැයි මගේ අදහස ඊට බොහෝ වෙනස්...

අනිකාගේ අදහස් වලට ගරු කිරීම, මා මෙරට ගෙවන ජීවිතයෙහි අනිවාර්ය අංගයක්...මෙතැනදී මට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ...අපි වෙනස් රටවල, වෙනස් සංස්කෘතීන් වල මිනිස්සු...ඒ වගේ සම්මිශ්‍රණයකදී ආයාසයකින් තොරවම, මගේ ප්‍රතිපත්ති රැකගෙන මත් නොවී ඉන්නටත්, ඇයට මත් වෙන්නට ඉඩ හැර, ඒ සමාගමයේ රැඳෙන්නටත් මට කිසිවෙකුගෙන් බාධාවක් නැහැ...

මගේ මතය අනුව, අවස්ථානුකූල හැසිරීම තීරණය වෙන්නේ, අපේ පෞර්ෂ අරටුව පෝෂණය කරන අක්මුල් විහිදිලා තිබෙන පස් වල ස්වභාවය අනුව..ඒවා ප්‍රමාණයෙන් වැඩෙද්දී වැටුන පොහොර වල අඩංගු වෙලා තිබුන රසායනික සංයුතිය අනුව...සමස්තයක් වශයෙන් අප නිර්මාණය වෙලා තිබෙන සංඝටක වල ස්වභාවය අනුව...

සමහර සංඝටක බොහොම ගණකම්, ඕනෑම පාරිසරික තත්වයකට ඔරොත්තු දිය හැකියි...සමහර ඒවා හරිම සියුමැලියි, ඒවා පරිසරයට බොහොම සංවේදියි...වෙනස් වීමේ සම්භාවිතාව බොහොම වැඩියි...තම අක්මුල් සහ අරටු වල තරම අවබෝධ කරගැනීමට නම්, ස්වයං විග්‍රහයක් කල යුතුයි...මෙවන් තීරණ ගැනීමේදී එය ඉතා පහසුවක්...

මා ජීවිතය සැදී ඇති සංඝටකයන් කවරාකාර වූවත්, ඒවා සියල්ලම සමීකරණයකට එක්කාසු කල විටක, ඔහුගේ සිතිවිලි වලට සමාන නොවුනොත්, ඒ සමීකරණය විසඳන්න පයිතගරස්ට පවා හැකියාවක් නැහැ...කලබල වීමට හේතුවක් නැහැ...එය ඔහුටත් එලෙසෙම අදාලයි...

නිවාඩු කාල වේලාවන්හිදී, එවන් සමාජයයීය සමීකරණ වඩාත් ගැඹුරු දාර්ශනික ලෙස  සාකච්ඡා කිරීම අප දෙදෙනා එකසේ ප්‍රිය කරන්නක්...මම ඔහුට මේ තරමටම ආදරේ කරන්නත් ඒක එක හේතුවක්...ජීවිතය ගැන ඔහුගේ අත්දැකීම් වලින් ඔහුට ලැබුන දැක්ම...

ජීවිතය, සමාජය, එකී නොකී බොහෝ දේ ගැන, හරිම විවෘතව, ඒ වගේම සංවේදීව, ඔහුටම ආවේණික බුද්ධියකින් විග්‍රහ කරන්න ඔහුට තියන හැකියාව අති විශාලයි...ඒ වගේම නොනවත්වා පැය ගණනක් උනත් මේ සංවාද කරගෙන යන්ට මට තිබෙන හැකියාවත් ඊට දෙවැනි නැහැ...

මොනවා ලියාගෙන ආවත් ඔහු ගැන නොලිය බැහැ...සමාවෙන්න...

ඔහු දැන් ටිකකට කලියෙන් මාව අවන්හල වෙතට හැරලවා ආපසු හැරුනෙ, මගේ ආරක්ෂාව සහතික කරගෙන...මේ වගේ අවස්ථාවකදී ඉතාම කුඩා අංශුවකින් නිකුත් වන අවදානම පවා ඔහුගෙ ඇස්තමේන්තුවට ඇතුලත්...එයට හේතුව වටපිටාව ගැන මගේ තිබෙන අවදානය ගැන ඔහුට අත්දැකීමෙන් තිබෙන අවබෝධය...අප දෙදෙනා සියලුම පරීක්ෂණ වාර්තා සලකල බලල පොදු තීරණයකට ආවත්, මට වඩා වැදගත් වෙන්නේ, ඔහුගේ ඇස් වලින් නිකුත් කරන අතිශය ආදරණීය  වූ ඒ වගකීම් සහතිකය...

දැන් ඇවිත් තිබෙන්නේ ෂෙලීගෙ වාරය...හතරැස් මේසයේ කොනක, මෙනු පතට එබීගෙන, ඇය වඩාත් හොඳම කොක්ටේල් එක තෝරා ගැනීමේ ඉතා අසීරු කර්තව්‍යක...මම ඒ වෙද්දීත් ජින්ජර් ඇල් එක තෝරා ගෙන හමාරයි...

සුන්දර මෙක්සිකානු යුවතියක් අපිට අවශ්‍ය දෑ ලබා දෙන්න සූදානමින්...ඇයට ඕනේ උනා ෂෙලීගේ හැඳුනුම්පත බලන්න...වයස තහවුරු කරන්න...කොක්ටේල් එක ලබා දෙන්නට කලින්...ගැහැණියකට ලාබාල වයසක් ආරූඩ කරන සෑම විටක මතුවෙන ප්‍රීතිමත් සිනහව ෂෙලී මුහුණේ මතුවුනේ ක්ෂණයකින්...අවුරුදු පහළොවක් අඩුවෙන් මැනීම...දරු පැටව් දෙදෙනෙකුගේ මවක් වීම...මං අහන්නේ ඊටත් වඩා සතුටක් කොහෙන්ද...

මාගරීටා...නම වගේම පාටත් සුන්දරයි...ලා දල්ලක පැහැය...

"දිස් ඉස් සෝ ග්‍රේට් (මේක නියමයි)"...ඇය ඇසක් ඉඟි කලේ,  අලුත් හිනාවක් විසුරුවමින්...

දැන් හරි...තව නොබෝ වෙලාවකින් ෂෙලී වෙනුවට, මාගරීටා කථා කරාවි...මා සැරසෙන්නේ ඇයගේ කථාවට සවන් දෙන්න...

ඇත්තටම වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්...කථාව වෙනුවට ඇය කරන්නේ තේරුමකට නැති දේ කියමින් මහ හඬින් හිනා වීම...ඒ හිනාව බෝ වෙන එකක්...අප දෙදෙනාටත් ඒ හිනාව බෝ උනේ ඉබේටම...සශී හොරැහින් මගේ දිහාවේ බැලුවේ එහෙම හොඳ නැද්ද කියන්නාක් වගේ...පොඩි එකී තාමත් ඉන්නේ රාජකාරී මට්ටමේ...මා සීරුවෙන් වටාපිටාව නිරීක්ෂණය කලේ, අපේ හැසිරීමෙන් අනිකුත් අමුත්තන්ට කරදරයක් වේවිදෝයි සැකහැර ගන්ට...

හැමෝම පාඩුවේ භුක්ති විඳින්නේ තමන්ගේ සතුට...ඒකට මොටද කාගෙන්වත් අවසරයක්...ඇස් ගෙඩි එළියට දාගෙන අනේ අනිච්චේ කියල කියන්න කවුරුත් අහල පහලක නැහැ...මං මේ රටට කැමතිම හේතුවත් ඒකයි... 

"හෙට ගමනට ලෑස්තිද" මං ෂෙලීගෙන් ඇහුවේ ඇගේ නෙදර්ලන්ත ගමන ගැන...

ඔබ පුදුම උනාද...හෙට ඇති ගුවන් ගමන ගැන කිසිදු තැකීමක් නොකොට ඇය අවන්හලක සැහැල්ලුවෙන් පසුවීම ගැන...පුදුමයක් නැහැ...ඇය අවසාන මොහොතේ ඇඳුම් ටිකක් අහුරගෙන ලෝකේ එහා කොනට උනත් යන්න හැකියාවක් තියන ගැහැණියක්...විනාඩි කිහිපයක් ඇතුලත සියලුම අතවශ්‍ය දෑ සපයා ගැනීමත්, එහි එක් සුවිශේෂ අංගයක්...තමන්ගෙ නිවසෙන් හෝ රටෙන් දුරස් වෙන ඕනෙම කෙනෙකුට මේ හැකියාව පළපුරුද්දෙන් ලැබෙන දෙයක්...සීමිත පහසුකම් වලින් ජීවත් වීමට ලැබෙන අනගි හැකියාව...

"වොට්"..."නෝ"..."මයි ක්ලෝත්ස් ආ ස්ටිල් ඉන් ද ඩ්‍රයර්, සින්ස් මොර්නින්ග් (උදේ දාපු ගමන මගෙ ඇඳුම් ටික තවම රෙදි වේලන යන්ත්‍රයේ)"...මේ ඇයගේම වචන වලින් ලැබුන උත්තරය...

මෙහෙමත් ගෑණු...මෙහෙමත් අම්මලා...මා නෙවෙයි...ඔබ එහෙම හිතුව නේද?

තව දෙයක්...ෂෙලී ගෙ අවුරුදු දෙකක් සහ අවුරුදු හයක් වයස පුංචි කෙළි පැටව් දෙන්නා මේ වෙලාවේ බලා ගන්නේ එයාගේ මහත්තයා...

"මිනිස්සු ඉන්නේ ළමයි බලන්නද...ගෑණු ඉන්නේ ඒවට...අපිට පුලුවන්ද ගෑනිගේ වහල් කම් කරන්න..." 

මේ මම නිතර අහල දැකල තියන පොදු වචන...

කලබල වෙන්නෙපා...මම දන්නවා මිනිස්සු හරිම රුසියෝ කිසි දෙයක් හොයා නොබලා තමන් අහන දකින දේ ගැන, අනික් මිනිස්සු ගැන, පූර්ව නිගමන වලට එළඹෙන්න...

ඒත් ඔබ අහල තියනවද මෙහෙම කථාවක්...

"ඩු නොට් ජජ් අ මෑන්, අන්ටිල් යූ වෝක් අ මයිල් ඉන් හිස් ෂූස් " 

"යම් කෙනෙකු ගැන නිගමන වලට එළඹීමට පෙර ඔබ ඔහුගේ සපත්තුව තුල  සැතපුමක් ඇවිදින්න.."

ඒ කියමන කොයි තරම් ගැඹුරුයිද...අපූරුයිද...මට එක තත්පරයකටවත් ෂෙලී නොවී, ඇය ගත කරන ජීවිතය, ඇය එදිනෙදා මුහුණ දේ ගැන හිතන්නටවත් අයිතියක් තියනවද?...අපිට පුළුවන්ද පිටස්තරයෙක් විදියට අනිකාගේ සපත්තුව මොන තරම් දුක් කම් කටොළු උහුලාගත්තාදැයි අනුමාන කරන්න...එහි මොන තරම් ආදරය, ගෞරවය, කැප කිරීම් පිරී ඇත්දැයි දැනගන්න...එය දැනගැනීමට නම් ඔබ ඒ සපත්තුව පැළඳිය යුතුමයි..ඔබ අනෙකා ගත කරන ලෙස සෑම තත්පරයක්ම ගෙවා දැමිය යුතුමයි...ඒ හැර, ඔබට කිසිම අයිතියක් නැහැ, අනිකා දුටු පමණින් හෝ යමක් ඇසු පමණින්, පූර්ව නිගමන වලට එළඹෙන්න...

සමහර විට ඔබ ෂෙලී උනා නම්...ඔව් මේ ආරාධනාව ඔබට...මොහොතකට ෂෙලී වෙලා බලන්න...

ඒත්...නැහැ..ඔබ කවදාවත් කැමති වෙන්නේ නැහැ, දෙමාපියන් දෙදෙනාම ජීවතුන් අතර ඉදිද්දී, කුඩා කලදීම ඔවුන්ගෙන් වෙන් වී, දුරු රටක ජීවත් වෙන්න...තමන්ගේ උඩගු නැන්දනියගේ කෙනෙහිලි විඳින්න...කෙනෙක් පාවිච්චි කර ඉවත දමන බඩු භාණ්ඩ සහ රෙදිපිළි අලෙවි කරන වෙළඳසැල් වලින් ඇඳුම් ලාබෙට මිලදී ගන්න බල කරන, ඇයගේ අණසකට නතුව ජීවත් වෙන්න...අට මසක දරු ගැබක් කුසේ දරාගෙන පැයක පමණ කාලයක් තුල තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය විනිසුරු මඩුල්ලට වාචිකව ඉදිරිපත් කරන්න...වැඩිහිටියෙකුගේ කිසිම සහයෝගයකින් තොරව අතිශය වගකීම් සහගත රැකියාවක් කරන ගමන්, පුංචි කෙලි පැටව් දෙන්නෙකුගේ වැඩ රාජකාරී කරන්න...විනාඩියක් ප්‍රමාද උනොත්, ඩොලර් අය කරන දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැල්මේ කාරය පදවන්න...තව එකී මෙකී බොහෝ දෑ සිදු කරන්න...

සමහර විටක මේ බොහෝ දෑ ඔබත් කරනවා ඇති...ඒත් සපත්තුව කොහෙත්ම එක වගේ නොවන වග මොහොතකටවත් අමතක කිරීම යුතු නැහැ...

ඔබ එදිනෙදා අහන, දකින බහුතරයකගේ සපත්තු තුල මේ වගේ කතන්දර බොහොමයි...ඒ සපත්තුව තමන්ගේ කරගන්න ඔබ කොහෙත්ම කැමති නොවෙන්න පුළුවනි...එහෙනම් ඔබට අනෙකාගේ සපත්තුව පිළිබඳ තීරණ ගැනීමට සාධාරණ වූ අයිතියක් තිබේද?...

ෂෙලී ගේ රෙදි ටික පිළිවෙලට අසුරන්න ඇයට වෙලාවක් නොලැබුනාට, ඇනා, ඒ කිව්වේ, ඇයගේ වැඩිමහල් දියණියගේ පාඩම් වැඩ නම් ෂෙලී අතින් කොහෙත්ම අතපසු නොවෙන වග මම නිසැකවම දන්නා කරුණක්...ඇනාගේ උපන් දිනය අනුව ඇයට පාසලේ ප්‍රථම ශ්‍රේණියට ඇතුලත් වීමට නියමිතව තිබුනේ ඇයට වසර හත සපිරෙන්න ආසන්න වූවායින් පසුව...නමුත් ෂෙලීගේ සුවිශේෂ වූ කැපවීම හේතුවෙන්, මුල් ගුරුතුමාට සිදුඋනා, නියමිත වයස පිරීමට කලින්ම ඇනාව ප්‍රථම ශේණියට ඇතුලත් කරගැනීමට...ෂෙලී ඒ සඳහා සූදානම් උනේ පුංචි ඇනාට වයස හතරක් වැනි කුඩා කල පටන්...සියලුම සතියේ දිනවල ෂෙලීගේ වෙහෙස නොබලාම, ඇය ඇනාට ලිවීම, කියවීම, ගණිතය, හුරු කළා පමණක් නෙවෙයි, ඒවා පිළිවෙලින්, වැඩ පොතක සටහන් කරවන්නත් ඇය අමතක කළේ නැහැ...

එක් උදෑසනක ඇය මා සොයා පැමිණියේ රටක් දිනූ තරම් සතුටකින්...

"දේ හෑඩ් ටු ටේක් ඇනා ටු ද ෆර්ස්ට් ග්‍රේඩ් (ඔවුන්ට ඇනාව පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමට සිදු උනා)"

ඇනාගේ වැඩපොත පාසැලේ මුල් ගුරුතුමාට පෙන්වූ ෂෙලී, තමන්ගේ දරුවාගේ දක්ෂතාවය ඔප්පූ කර ඇත්තේ බොහොම තර්කානුකූලව...පොඩි එකීගේ ගණිත දැනුම සහ කියවීමේ හැකියාව දුටු ගුරුවරු ඇයව ගැලපෙන්නේ තුන් වන ශ්‍රේණියට කියූ බව ෂෙලී මට කියද්දී ඇයගේ ඇස් දිලිසුනේ පුදුමාකාර ආඩම්බරයකින්...ඇත්තෙන්ම ඇය එය විඳිය යුතුයි...

ආච්චිලාගේ, සීයලාගේ හුරතලේට හැදෙන, කියන දේ නාහන සමහර දරු පැටවුන්ට  වඩා, දෙමාපියන් වැඩ අහවර කර එනතුරු, පාසලෙන් පසුව එහිම රැකවරණයක පසුවන ඇනාගේ විනය හුඟක් ඉහලයි...මේ රටවල පාසැල් නිවාඩු දිනක් යනු රැකියාවල නියුතු දෙමාපියන් සිටින ඕනෑම කුඩා දරුවෙකුට දිවාකල ගෙවා දමන්නට සෙවනක් සොයා ගත යුතු දිනක්...ඇය අවතැන් වන එවන් දිනයකදී, ඇනාගේ දිවා සුරැකුම් සේවය සැපයෙන්නේ අප සියලු දෙනා අතින්...අතපසු වීමකදී සමාව ඉල්ලන්නත්, යම් දෙයක් එපා කියූ විට එක් වරම එය නවතාලන්නටත් මේ පුංචි දැරිය දෙපාරක් හිතන්නේ නැහැ...

මේ සියල්ලෙහි ගෞරවය, ඇඳුම් වේලෙන්නට දමා ඇවිත් මාගරීටා තොල ගාන මගේ මිතුරියටත්, ඇය ආපසු එනතුරු ඉවසීමෙන් දරු දෙදෙනා බලා ගන්නා ඇයගේ සැමියාටත් හිමි විය යුතු නැතිද?...

"අයි ඕල්සෝ වෝන්ට් දෙම් ටු සින්ග් අ බර්ත් ඩේ සෝන්ග් ටු මී...ඇන්ඩ් අයි වෝන්ට් ටු වෙයා දැට් බිග් හැට් (මටත් ඔවුන් ලවා උපන් සුබ පැතුමක් ගයා ගැනීමට උවමනායි...මට අර ලොකු තොප්පිය පළඳා ගන්නත් උවමනායි)"...

ෂෙලී මහ හඬින් හිනාවෙවී කියාගෙන යද්දී, මගේ නෙත ගැටුනේ තවත් අමුත්තෙකුට උපන් දින සුබ පැතුමක් එක් කරන අවන්හල් සේවකයින් පිරිසක් සහ විශාල නිල් පැහැති කැටයම් රටා මැවූ විශාල මෙක්සිකන් තොප්පියක්...

"ගුඩ්"...මට කියවුනේ ඉබේටම...

"ඇන්ඩ් අයි වෝන්ට් යූ ටු බී එම්බැරස්ඩ් ටූ (මට උඹව අපහසුතාවයට පත් කරවන්නත් ඕනෑ)"...

ඒ ඇයගේ ඊළඟ ඉලක්කය...

ඇයට අවශ්‍ය දැනට සති දෙකකට කලින් යෙදුන මගෙ උපන්දිනයත් ඔවුන්ට දැනුම් දී, මටත් ලොකු තොප්පියක් පලඳවන්න...එවැනි හරසුන් ක්‍රියාවන්ට මගේ වැඩි කැමැත්තක් නැති වග, ඇය අත්දැකීමෙන්ම දැනුවත්...ඒත් මම වවුලාගේ මඟුලට සහභාගි වී හමාරයි...

තවත් මොන එම්බැරස්ද යෝදියේ...උඹේ මේ කියවිල්ලයි, හිනාවයි මදැයි ඒ වැඩේට...මම එහෙම හිතුවේ අහිතකින් නෙවේ...ඇය වෙනුවෙන් මේ කාලය වෙන් කිරීම ගැන හිතට දැනුන සතුටකුත් එක්ක...

අපේ සුරූපී යොවුන් සහායිකාව ෂෙලීගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම්...ඇය නැවතත් ෂෙලී ගෙ හැඳුනුම්පතෙන් උපන්දිනය තහවුරු කල පසු, ෂෙලී මහ හඬින් කියා සිටින්නේ මා වෙනුවෙනුත් එවැන්නක් අවශ්‍ය වග...මෙවැනි අවස්ථාවක මා කරන්නේ සිනාසීම පමණයි...දැනුත් මා සිටින්නේ එලෙසෙම සිනාසෙමින්...

නමුත් සිදු වෙමින් පවතින්නේ අප තිදෙනාම අපේක්ෂා නොකළ දෙයක්...

අවන්හලේ කලමණාකරු යයි මා කලින්ම අනුමාන කල පුද්ගලයා...ඔහු දැන් අපේ මේසය අසල...ඔහු බොහෝ වෙලාවක ඉඳන් ෂෙලීගෙ කෙළිලොල් මත්බව දෙස විමසිල්ලෙන් බලා උන්  වග ෂෙලී නොදුටුවේ, මාගරීටා විසින් ඇගේ තීක්ෂණ බුද්ධිය සෙමින් අවහිර කල බැවින්...පොඩි කෙල්ල එය නොදුටුවේ, ඇය ඔහුට පිටුපා සිටි බැවින්... 

"හැපි බර්ත්ඩේ"..."ඩු යූ වෝන්ට් ටිකිලා (Tequila)...(උඹට ටිකිලා ඕනෙද)" ඔහු අසන්නේ මනමාල හිනාවකින්...

මොකක්...මේ මිනිහට පිස්සු හැදීගෙන එනවද? මේ ගෑණි ගෙදර යන්නත් ඕනේ තනිවම කාරය පදවාගෙන...ඒ මදිවට හෙට ගමනක් යන්නත් තියාගෙන...දැනටම සිහිය මදි වගේ...මම නොනවත්වාම හිතුවා...

"ඕ යේ...යා යා...අයි  විල් හෑව්... (ආ ඇත්තෙන්ම, හා..හා..එහෙනම් මම ගන්නම්)"...ෂෙලී පවසන්නේ මහ හඬින් සිනා වෙමින්...

ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු...

"ඉස් හී සීරියස් (ඔහු ඇත්තටමද ඒ කිව්වේ)"..."අයි ඩෝන්ට් වෝන්ට් ටිකිලා මෑන් (මට ටිකිලා ඕනේ නැහැ)"...

"ඉෆ් අයි ගෙට් මෝ, අයි විල් ෆොගෙට් යූ ගයිස් ටූ (මම තවත් ගත්තොත්, මට උඹලවත් අමතක වෙයි)" 

ඇය දොඩවන්නේ වෙන්න යන දේ හිතාගන්නට බැරිව..

මොනවටද දෙවියනේ එහෙනම් ටිකිලා ඉල්ලුවේ අර මිනිහගෙන්...

"ඕ මයි ගෝඩ් සශී, වී ෂුඩ් ගෝ නව් (මගේ දෙවියනේ සශී, අපි දැන් යා යුතුයි)...

හිනාව පාලනය නොකරම, මම සශීට එහෙම කිව්වත්, ෂෙලී ඇයගේ සීමාව ඉක්මවා යාවිදෝ යන හැඟීමත් මගෙ හිතේ නොතිබුනාම නෙවෙයි...

කුඩා ටිකිලා බඳුනක් එක්ක දොඩම් පළුවක් ගෙනාපු කලමණාකාර තැන, දැන් ෂෙලී ට ඒක බොන ක්‍රමය පැහැදිලි කරන්නේ පියවරෙන් පියවර ...

එය ඔහු කරන්නේ මොන අරමුණකින්ද යන්න ගැන පැහැදිලි අදහසක් ලබා ගන්න කාලය වැය කරනවාට වඩා, මා  කලේ මින් පෙර නොඇසූ ටිකිලා පාඩම රස විඳීම...

"ඉස්සර වෙලාම ඕක බොන්න"...

ෂෙලී ටිකිලා වීදුරුව එක මොහොතකින් උගුරටම හලා ගන්නා අයුරු මා බලා ඉන්නේ කිසිම දෙයක් හිතා ගන්නට බැරුව...මා හිතන්නේ ඔබත් මොකුත් නොහිතන තරමට වඩා හොඳයි...

"දැන් ඔය දොඩම් පළුව කන්න"

ඇය ඒක කන්නේ අතිශය මත් භාවයකින් කියලයි මට හිතුනෙ...ටිකක් සරාගී වැඩියි වගේ...

"ඕ..සෝ ගුඩ්...තෑන්ක් යූ..." 

ඔව් ඉතින් ස්තුති නොකර පුළුවනිද...මේ වගේ වෙලාවක...

මාගරීටා දක්ෂ උනා ටිකිලාව තමන් ළඟටම ගෙන්නා ගන්න...මාගරීටා කලේ අවන්හල දෙවනත් වෙන්න හිනා උන එක...ටිකිලා මොනවා කරයිද...මා ඉන්නේ අතිශය කුහුලකින්...

සශී..."යූ හැව් ටු සෙට් ද බවුන්ඩරි, වෙන් යූ ගෙට් මැරීඩ් (සශි, උඹ විවාහ උනාට පස්සේ උඹේ සීමාව සලකුණු කල යුතුයි"..."යූ හැව් ටු හැව් යුව ඕන් පර්සනල් ස්පේස් (උඹට උඹේ පෞද්ගලික අවකාශයක් තිබිය යුතුයි)..." 

අපොයි ඒ හිනාවෙ තියෙන නැහැදිච්ච් පෙනුම...

ටිකිලා, මාගරීටාට වඩා වියරු හැඩයි...අර අලුත් විවාපත් වෙන්න ඉන්න පොඩි එකීට, ටිකිලා ගෙන් නොමිලේ උපදෙස්...බිරිඳ සහ සැමියා අතර මැද තිබෙන සීමාව ලකුණු කරන හැටිය ගැන...

මම ඉන්නේ මේ කථාව ඇසෙන නෑසෙන ගානට..

එක පාරටම මගේ අතට තට්ටු කල ඇය...

"නොට් ලයික් දිස් (මේ වගේ නෙවේ).." "නෝ ෆො දැට් පාටි..නෝ ෆො දිස් පාටි(අර පාටිය බැහැ...මේ පාටිය බැහැ)"...

ඔහුගෙයි, මගෙයි පොදු තීරණ වලට අනුව, මම සාද වලට නොයෑම ගැන ටිකිලා මතු කල ෂෙලී ගෙ පූර්ව නිගමන...ඇය හිතන්නේ ඒවා ඔහුගේ නීති බව...නමුත් සාදයන් යනු මගේ වින්දන පරාසයේ කොටසක් නොවන වග, මා කොපමණ ඇයට කියා ඇතත්, ඇයගේ පූර්ව නිගමන වලට එපිටින් යාමේ හැකියාවක් මට නැහැ...මගේ සපත්තුව මේ කලබල නගර වල විඳින්නේ, ඔහු සමඟ මා ගෙවන තත්පර වල සතුට පමණයි...එහෙත් මගේ සපත්තුව අදටත්, මා ඉපැදුන ඒ කුඩා ගම්මානයේ ගහ කොළ දිහා වරු ගණන් බලා හිඳිමින්, මා විඳි සතුට සොයා යන්නට මට බල කරන වාර අනන්තයි... 

මීට සති කිහිපයකට උඩදී, "හී ඉස් අ ගුඩ් මෑන්, යූ හැඩ් අ ගුඩ් චොයිස් (ඔහු හොඳ මිනිහෙක්...උඹේ තේරීම හොඳ එකක්)" කියූ ඇයම, ටිකිලා විසින් මෙහෙය වූයේ, ඇයගේ යටි සිත කරාද යන්න මා ප්‍රශ්න කලේ නැහැ...

ඒ කෙසේ වෙතත්, මා අන් අය ගැන පූර්ව නිගමන එළඹෙන්නේ නැතුවා සේම, අන් අය මා ගැන එළඹෙන නිගමන ගැනද කිසිසේත්ම තකන්නේ නැහැ...

ඒ නිසා මා නැවතත් ඇගේ ප්‍රීතිමත් හිනාව එක්ක...

අපි දෙදෙනා වෙනුවෙන් අයිස් ක්‍රීම් බඳුනක ගැසූ ඉටි පන්දමක් දෙකක් ...සහ ලොකු තොප්පි දෙකක්...

අවන්හල් සේවකයින් විසින් මේ ගයන්නේ අප දෙදෙනා වෙනුවෙන්... ෂෙලී නොනවත්වාම කරන්නේ කුඩා දරුවෙකු සේ අත් පොළසන් දෙමින් කෑ ගැසීම...

සශී ඒ අතරේ  කලේ මේ සියල්ලම තමන්ගේ කැමරාවට හසු කර ගැනීම...ඒ අතරේ මම ඇයට ඉඟියෙන් පැවසුවේ දැන් අප නික්ම යා යුතු බව...


"සැල් වී ලීව් විත් අවුට් පේයිං (අපි බිල නොගෙවා යමුද)"....

තවත් හිත හිතා ඉන්න උවමනාද?...ටිකිලා විසින් ඇගේ මතකය මකා දමා පෙරළි කරන්නට පෙර කළ යුත්තේ හැකි ඉක්මනින් පිටව යාමයි...


............................................................................................................


"නෝ මෝ ටිකිලා..නෝ මෝ මාගරීටා...ඕකේ...හැව් අ සේෆ් ජර්නි"...පසුවදා මම කල්‍යාණ මිත්‍රයෙක් සේ ඇයට කෙටි පණිවුඩයක් යැවුවා...ඇය ගුවන් තොටුපල පර්යන්තයෙහි ඉන්නා අතර තුර...

දෙයක් කියන්න ඕනේ ඒ දේ අහන්න සූදානම් වෙලාවක...මම වෙලාව බලල ඇයට ඒ පණිවුඩය දුන්නා...

ගැහැණු පිරිමි බේදයකින් තොරව මත් වතුර භාවිතය, මම කිසි සේත්ම අනුමත නොකළත්, ඇය කියන්නා වාගේ හැමෝටම තමන්ගේ කියා හැඟීම් තියනවා...තමන්ගේ දුක දන්නා තමන්ටම අනන්‍ය වූ කුණු දූලි වැකුණ, කප්පරක් මතක එකතු උන සපත්තු තියනවා...ඒවා කිසිවක් ගැන හසරක් නොදැන, මිනිස්සු ගැන පූර්ව නිගමන වලට එළඹෙන එක කොයි තරම් සාධාරණද? මිනිස්සු කැමති ලේසියෙන් හිතන දෙයින් පූර්ව නිගමන වලට ඇවිත්, එතැනින් පසු ඒ ගැන හිතීම නවත්තල දාන්න...මා නම් කියන්නේ අනුන්ගේ සපත්තු ගැන නොසොයා තමන්ගේ සපත්තුව ගැන ස්වයං විශ්ලේෂණයක යෙදෙන්න කාලයක් ගන්න එක තමයි වඩා වටින්නේ...එතකොට ඉබේම අනෙකාගේ සපත්තුව ගැනත් පොදු අවබෝධයක් ඔබට ලැබේවි...

............................................................................................................

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~.

26 comments:

  1. අටමාගෙන් තමා පාර අහගත්තේ..... බ්ලොගය අගෙයි. සින්ඩියටත් දා ගත්තා... අයෙම හමුවෙමු..........

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු...මමත් ඉඩ ඇති හැම වෙලාවකම ඒ පැත්තට එනවා...

      Delete
  2. an interesting reading. waiting to read more.

    ReplyDelete
  3. Its time to come out of the box...everyone should be treated as independent individuals without trying to stuck in others believes , boxes , culture or whatever.. good luck & write more.. :) :)

    ReplyDelete
    Replies
    1. Thank you. Yep, we should try to understand the reality.

      Delete
  4. ඔබ ලියන විලාසයෙහි බොහොම පැහැදිලි, නිරවුල් ගතියක් තිබෙනවා. දෙදෙනෙක් අතර සංවාද සහ හැඟීම් බොහොම හොඳින් පැහැදිලි කරනවා.

    කියවන්නා සිතන්නට ඉඩ ඇතැයි කියා හිතෙන දේ ගැන වැඩි අවධානයක් අනවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. එකක් බ්ලොග් අවකාශයේ කියවන්නන් පොදුවෙ ගත් විට සාම්ප්‍රදායක සිතුවිලි වල කොටු වූ අය නෙමෙයි. අනෙක, එවැනි සඳහන් කිරීම් කතාවේ ගලා යාමට පොඩි බාධාවක් වගෙයි කියලත් හිතුණා....

    ඒත්.. අවසානයේ... ඔබගේ බ්ලොගය, ඔබගේ ලිවීම්... මේක මගේ අදහස විතරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

      ලියවී තිබෙන අදහස්, අපේ පොදු ජන සමාජයේ මිනිසුන්ගේ තිබෙන හිතිවිලි වල ප්‍රති නිර්මාණයක්. එතැනදී බ්ලොග් කියවන්නන් සාම්ප්‍රදායිකයිද නැද්ද යන්න වග ගැන මා ඇත්තෙන්ම අවධානය යොමු කලේ නැහැ. ඒ වගේම කියවීමත් එකිනෙකාට සාපේක්ෂයි. මා ලිවේ යථාර්තය. පොදුවේ ගත්තොත්, මිනිස්සු බොහෝ විට අඩුවෙන් හිතා වැඩියෙන් රස විඳින්නට පෙළඹිලා. ඒ අපි මේ අතිශය තරඟකාරී සමාජයේ කොටස් කරුවන් වීමේ ප්‍රතිපල. එතැනදී හිතනවා බොහොම අඩුයි. ඒ නිසා තමයි හිතිවිලි වලට මූලික තැනක් දුන්නේ. අනිත් එක ඒක මගේ නිර්මාණකරණයේ අනන්‍ය ලක්ෂණයක් වෙන්නැති. මිනිස්සුන්ගේ හිතිවිලි වලට මුල් තැන දීම.

      දෙවනුව, මගේ අරමුණ වුනේ රසවත් කතන්දරයක් ලිවිමම නෙවේ. වෙනස් රටක, බහු ජාතික, බහු සංස්කෘතික ජන සමාජයක, මා දකින ජීවිතය ලිවිම. එතැනදී සමහර කරුණු අඩංගු නොකර බැරි උනා. ඉදිරියේදී එය රසයට බාධාවක් නොවෙන අයුරින් සිදු කිරීමට උත්සාහ ගන්නම්...

      නැවතත් බොහොම ස්තුතියි, ඔබගේ අදහස් දැක්වීම..එය ඉතා වටිනවා.

      Delete
  5. කතාව නං රස වින්දා නමුත් ඔබ ඊට අනවශ්‍ය තුනපහ එක් කර තිබෙනව එය තමා ගැටළුව
    ඒක නිකං හොදම පිච්චර් එකක් බල බල ඉද්දි මැදිං ඇඩ්දානව වගේ...
    නමුත් ඔබ කියන්න ආ දේ ඒ විදියටම ග්‍රහණය වුනා එහි වගක් ැතිවම
    අගෙයි ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.

      ඇත්තෙන්ම මේ ලිවීමේ ප්‍රධාන අරමුණ තමයි මා කියන්න ආපු දේ කියවන්නා ග්‍රහණය කරගැනීම.

      මේක ජිවිතයේ යථාර්තය ගැන කියවීමක්. ඇත්ත ජිවිතේ එකම තත්පරයක්වත් මටසිලුටුවට ගලාගෙන නොයන වග මා අත්දැකීමෙන් දන්නවා. අප ජිවිත් වෙන්නේ යථාර්ථයේ නම්, ජිවිතේ මැදින් පනින ඇඩ් වල කරදරේ විඳින්නම වෙනවා.

      ඊළඟ වතාවේ ඇඩ් ටිකක් කෙටි කරන්නම්. :) නැවතත් ස්තුතියි ඔබේ වටිනා අදහස් වලට.

      Delete
  6. ඔබේ රචනා ශෛලිය ඉතාමත් ම අපූරුයි.. පෑන අතහරින්නට එපා..!

    ..කිසිදු මතවාදයකදී ගැහැණු පිරිමි භේදයක් තිබිය යුතු නැහැ.යමක් පිරිමියෙකු කරන විට එය නිවැරදි වෙන්නත්,ගැහැණියක කරන විට එය වැරදි වෙන්නත් කිසිසේත් ම ඉඩක් නැහැ.සියල්ලෝ ම මිනිස්සු.. එතැනදී මම ඔබ සමඟ වුවමනාවටත් වඩා එකඟයි..

    නමුත් මත්ද්‍රව්‍ය භාවිතය ගැන කලා නිර්මාණයක දී වත් යොදාගැනීම කම් අනුමත කරන්නට අපහසුයි.ඊට අපි විරුද්ධ නම් එය නිර්මාණයකින් හෝ ඔප් නැංවීම සිදු නොකළ යුතු බවයි මගෙ පුද්ගලික විශ්වාසය.ස්ත්‍රියක වේවා,පුරුෂයෙකු වේවා අධික මත් පැන් පානය නිසා තමන්ටම කරගන්නෙ විශාල ශාරීරික,මානසික හානියක්.අන්න එතනදී අපිට මතවාදී වත් එවන් දෙයට එරෙහි වෙන්නට සිදු වෙනවා..

    සමස්තයක් ලෙස.. පොකුරු වැහි බොහොම අපූරුයි.. සීතලයි.. තව තවත් සීත වැසි වසින තෙක් අපි බලා ඉන්නවා.

    ඔබේ නමත් එක්ක සේකරයන්ගෙ කවිපදයකුත් මතක් වෙනවා.

    පළමු ව අහස් ගිගුරුම සේ ඇසෙනු මැන
    දෙවනු ව විදුලියක් සේ ඇස ගැසෙනු මැන
    තෙවනු ව නැවුම් සුවඳින් හද පුරවමින
    ඔබ මට පොකුරු වැස්සක් සේ වසිනු මැන..!

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා අදහස් වලටත්, සේකරයන්ගේ සුන්දර කවියටත් බොහොම ස්තුතියි.

      මත්ද්‍රව්‍ය භාවිතය ගැන කතා කරනවා නම්, මමත් කිසි සේත්ම මත්ද්‍රව්‍ය භාවිතයට එකඟ නැහැ. නමුත් මෙහි අඩංගු කරුණු පෝස්ට් එක රසවත් කරන්න සිතා යොදා ගත් දේ නෙවේ. සත්‍ය වශයෙන් මේ රටවල සිදු වන සිද්ධීන් ප්‍රස්තුත කොට ගෙන මගේ හිතිවිලි ගොනු කළා පමණයි. වයස 21 පිරුණු ඕනෑම කෙනෙකුට මධ්‍යසාර භාවිතය නීතිගත ඇති කොට ඇති රටක මේ සිද්ධීන් සුලබයි. සමාජ තත්වය කුමක් වුවත් ගැහැණු පිරිමි බේදයකින් තොරව මධ්‍යසාර භාවිතය සාමන්‍ය දෙයක්. බහු ජාතීන් ජිවත් වන වෙනස් සංස්කෘතීන් මත පදනම් වන මිනිසුන් අතර ජිවත් වෙද්දී ඒ දේවල් උපේක්ෂාවෙන් බලා අවබෝධ කර ගැනීම තමයි කල යුතු හොඳම දේ. මොකද කිසිම කෙනෙක් තව කෙනෙක්ට ඒ සඳහා බල කිරීමක් කරන්නේ නැහැ. මේ තමයි සමාජ යථාර්තය. මේ තමයි ලෝක ස්වභාවය. අපට මේ ලෝකේ සියල්ලන්ව නිවැරදි කරන්න බැහැ. සවන් දෙන්නට සූදානම් මිනිසුන් තෝරා බේරා ගෙන, ඒ මිනිසුන්ට අවවාදයක් කිරීම පමණයි අපට කල හැක්කේ.

      Delete
  7. ලියඉල්ල අගෙයි! ඒත් ටිකක් එඩිට් කළා නම් හොඳයි වගේ කියලත් හිතුණා.. අදහසක් විතරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිතූ. මේ ලියන්නේ ජිවිතේ සැබෑ ජිවිතයේ එක්තරා පැතිකඩක්. ඒ යථාර්තය එඩිට් කල යුතුද?

      Delete
  8. හැක් හැම දේටම සුදුසු වෙලාවක් තියෙනවා, ඔබ ඒ සුදුසුම වෙලාව පාවිච්චි කරලා, අගෙයි, අපුරු ලිවීමක්. එත් ඔබේ මතයම පමණක් නොව ඇගේ දිහාත් තවත් පුළුල්ව බැලුවනම් ඔබට යමක් වැටහෙන්න තිබුන. ජය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඇත්තෙන්ම මේ ලියවුනේ ඇගෙයි මගෙයි පොදු මතය කිව්වොතින් වඩා නිවැරදියි.

      Delete
  9. රාමුවෙන් පිටට ඇවිත් හිතන්න කාලේ හරි.

    ඉතාමත් පැහැදිලි නිරවුල් ලියවිල්ලක්. අගෙයි. ironically කොළඹට මහා වරුසාවක් වැටෙන වෙලාවක ලැබුණු විවේකයකින් පොකුරු වැහි කියෙව්වේ.. ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. රාමුවෙන් පිටට ඇවිත් පරිස්සමට හිතන්න ඕනේ. ලැබුණු විවේකයේදී මේ පැත්තට ඇවිත් අදහසක් තැබුවාට බොහොම ස්තුතියි.

      Delete
  10. "කව්ද ඩො මගේ කමෙන්ට් මැකුවේ,,මේක අරිම අන්පෙයර් ලෝකයක්"

    ReplyDelete
  11. වෙනස් විදිහෙ අදහස් තියන ලියවිල්ලක් මම කැමතියි මෙහෙම හිතනවට. අර පොකුරු අන්තිමට ලීව වාක්‍ය කොටස ගොඩක් හිත ගත්ත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හංසි. විවිධාකාර ජිවිත ගෙවන මිනිස්සු අතරේ ජිවත් වෙද්දී ජීවිතය ගැන දකින විදිය වෙනස් වෙනවා. අනිත් එක සමහර දේවල් අපේ ඇස් ඉස්සරහම තිබුනත් අපි ඒ ගැන හිතන්නේ හරිම අඩුවෙන්.

      Delete
  12. පොකුරු මාර ලියවිල්ලක් මේක <3

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අමා ඇගයීමට.

      Delete
  13. එක හුස්මට කියවෙන , අනගී ඔබේ ලියැවිල්ල....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුද්ධිකා :)

      Delete