Sunday, April 9, 2017

ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...



ඉර කෙන්ද උණු වෙවී වැටෙද්දී ගල උඩට
පෙම්බරී බර ගත්තෙ මං මගේ තනි අතට
කළුගලක් බිම හැපී මෙලෙක වූවත් දුකට
දුකක් දැනුනේ නෑලු මුදු රෝස මල් වලට...

දකින්නට හිතුවාම නොපෙනිච්ච හීනයක්
ඇස් වසා ගල බිඳිමි සිවුරු ලා ගීතයක්
මල් වලට නොහොබිනා දුප්පත්ම හාදුවක්
ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...

කුළු ගෙඩිය තිස්සේම වදිද්දී කළු ගලේ
මේ දැනුත් රිදෙනවා කළු කුහර හදවතේ
මල්සරා උඹ මගෙන් උදුරාන ගිය වෙලේ
බෝරයක් පිපුරුනා ඇතාගල මහගලේ...

අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තයි
එක අතක වාරුවෙන් ගල බින්ද සත්තයි
කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තයි
මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...


WW

23 comments:

  1. අපූරු අදහසක් අක්කේ... පද පෙලත් ලස්සනයි...

    ReplyDelete
  2. අපොයි මෙහෙම රිදෙන කවි ලියන්න එපා අප්පා

    ReplyDelete
    Replies
    1. එව්වා ලියනෙක පුරුද්දට ගිහින්...

      Delete
  3. මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි...
    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුමුදු...

      Delete
  4. දැනෙන ලස්සන නිර්මාණයක් පොකුරු.

    ජයවේවා!!!

    ReplyDelete
  5. මේක හොඳ ගී සංකල්පනාවක්...!!
    දිවුල්ගනේගේ හරි එදිරිසිංහගේ හරි හඬින් ගැයුනානං අගෙයි...!!

    ReplyDelete
    Replies
    1. බලමු ඉතින්...එහෙම කිව්වට ඕවා කවදාවත් සින්දු වෙන එකක් නැහැ...ඔක්කොම පුරා වස්තු ගොඩට එකතු වෙනවා මිසක...

      බොහොම ස්තුතියි චෙෆාකි මහත්තයෝ...

      Delete
  6. අත් දෙකක් තිබුනෙ නෑ ඉඹින්නට ඇත්තමයි
    එක අතක වාරුවෙන් ගල බින්ද සත්තමයි
    කළු ගලින් කිරි ගරුඬ අඹනු බෑ ඇත්තමයි
    මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තමයි...

    හරිම හරි අපූරුයි පොකුරු මේ ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රවී අගය කිරීමට....

      Delete
  7. ලස්සනයි... අහපු දැකපු යමක් හේතුවෙන්න ඇති කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර...

      තනි අතින් කළු ගල් කඩන කෙනෙකුගේ වීඩියෝ එකක් නැරඹුවා මේ ලඟදි...ඒ නිමිත්තෙන් පරිකල්පනය කරපු දෙයක්...

      Delete
  8. Replies
    1. බොහොම ස්තුතියි යාත්‍රා ...

      Delete
  9. "ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්"

    "මැණිකෙ මට ටජ් මහල වැරදුනා සත්තයි"

    හරිම ලස්සනයි මේ කවි පෙල. ජය ඔබට පොකුරු වැහි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු...

      ජය වේවා...

      Delete
  10. ටජ් මහල වැරදුනු අය බොහොමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත...මිනිස්සුන්ට ටජ් මහල් හදන්න ලැබෙන්නේ කලාතුරකින්

      Delete
  11. බොහොම අපූරුයි පොකුරු....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විසිරි...

      Delete