ඇතුල් වීමේ දොරටුව වසන්නට ආසන්නය...
සමාවෙන්න...මා හිඳින්නේ ගුවන් තොටුපොළකය...හොඳින් උණුසුම් වූ හදවතක් ඇති මිනිසෙකුට එකවර හඬන්නටත්, හිනැහෙන්නටත් හැකි තැනක් ඇත්නම් ඒ මෙතැනය...
මා යා යුතු තැනද, කල යුතු දෑද, දෛවය විසින් කල් තබාම තීරණය කොට තිබිණ...එහෙත් මට කිසිදු අරමුණක් නැත...
මගේ ජීවිතයද නිශ්චිත ධාවන පථයකට ඇතුළු වූ ගුවන් යානයක් වැනිය...සියලු දත්ත බහා ඇති මොළය හදවත සමඟ ඇති සබඳතා සියල්ලම නවතා දමා, ස්වයංක්‍රිය ධාවනයක යෙදෙයි...
එය වෙනස් වන්නට නම්, ඇගේ දෑසෙහි ඇති සෞන්දර්යය, මගේ හදවත මත පින්තාරු කල යුතුය...
එහෙත් මා හදවත සන්තකව තුබූ සියලු වර්ණද, පින්සල් ද, කඩදාසි කොළද, දැන් අයිති ඇයටය...ඇය ඒවා සොරා ගත්තාද, නැතහොත් මා ඒවා රැගෙන යන ලෙස ඇයට පෙරැත්ත කළාදැයි, මට නිශ්චිතවම කිව නොහැක...
මම දෑස් පියා ගන්නෙමි...
ගුවන් යානා අසුනට උඩින් ඇති වා කවුළුව වසන්නැයි ඈ මගෙන් ඉල්ලා සිටින්නීය...ඉන් පසු, ඈ මගේ වම් උරතලය මත ඇගේ සීතල කම්මුලක් රඳවන්නීය...මගේ වමත ගෙන, ඇගේ දකුණතේ ඇඟිලි කරු තුල රඳවා ගන්නීය...ඒ අතැඟිලි බොහෝ සීතලය...එදා සේමය...ඇයට කථා කරන්නට වුවමනා නැත...එහෙත් ඇය මා දෙස හොරැහින් බලන බව මම දනිමි...ඇයට හාදුවක් වුවමනා වී ඇත...
ඔබට සිහිනයක් කෙතරම් චමත්කාරජනකදැයි අනුමාන කරන්නට හැකිදැයි මා නොදනිමි...විශ්වීය තරු සියල්ලම පෑයූ අහසද, නොනැවතී කඩා හැලෙන නයගරාවද, ශ්‍රී පාදයේ ඉර සේවයද, සිය මවගේ තනයේ එල්ලී සිටින පොඩිත්තෙකුගේ අහංකාර බැල්මද, ඒ අමන්දානන්දයේ කුඩාම ඒකකයට සම කල හැකි බව පමණක් කියමි...
සිහින එසේය...එය මනෝවිද්‍යාවේදී ඔබ කෙසේ වර්කගීරණය කලද, සිහින යනු ලොව ඇති මිල අධිකම මත් පැන් වර්ගය බව දන්නේ, එයට ඇබ්බැහි වූවන් පමණි...
ඇය මට හමු වන්නේ එක්තරා අඳුරු කොරිඩෝරයකදීය...එක සෙවනැල්ලක අවෑමෙන්, එදා මට නොපෙනී ගිය ඇගේ දෑස නැවත මා දකින්නේ, ඒ කොරිඩෝරයෙන් අවසන් වන හුරුබුහුටි කාර්යාල කාමරය තුලය...
ඇයට තිබුනේ අඳුරු වීදියක දැල්වෙන, එකම පහන් කණුවක් වන් වූ දෑසකි...විටෙක ඒ තුල මල් සොයා යන සමනලුන්ද, සිහිනයෙන් අවදි වූ නිදි කුමාරියන්ද බහුල විය...තව බොහෝ විටෙක තොරතෝංචියක් නැතිව කියවන කුඩා දැරියක්, ඒ දෑස් තුල ඉබා ගාතේ යනු මම අනන්ත දැක ඇත්තෙමි...
"අකාශ් පොඩි ඇක්සිඩන්ට් එකක් කරගෙනනේ...තියෙන හදිස්සිය...කොච්චර කිව්වත් අහන්නේ නැහැ"
අපි මුණ ගැසී දෙදිනකට පමණ පසු හදිසියේම මා සොයා පැමිණි ඈ දුක්මුසුව කීවාය...
ආකාශ් කවුදැයි මා ඇගෙන් ඇසුවේ නැත...මට අසන්නට අයිතියක් තිබුනේද නැත...එහෙත් එදා මෙදා තුර නොවෙනස්ව දැනෙන, නිධන් ගත හදවතේ දැවිල්ල ඇරඹුනේ එදාය...
එතැන් පටන් අප දිවා ආහාරය ගත්තේද, බොහෝ විට කාලය ගත කලේද එකටය...
ඈ ඇහැකි සෑම විටකම මගේ සුසුමක් වැදෙන දුරින් හිඳින්නට යත්න දරුවාය...වරෙක සෙමින් පැමිණ, ඈ මගේ උරතලය මත ඒ සීතල අතැඟිලි තැබුවාය...
ඇයගේ සෙවනැල්ල ප්‍රමාද වන දාකට, මගේ හදවත බොහෝ සේ හිස් බව මට දැනුන වාර අනන්තය...
ඈ නොපැමිණි සෑම දවසකම, මා විසින් සොයා ගත් අඳුරු මුල්ලකට වී, දිනපොතක පිටු පුරා මම ඇය ගැන ලියා තැබුවෙමි...
"අපි දෙන්න ආදරේ කරනවා...ඒක මං දන්නවා...ඒත් එයා මට තවම ඒක කියල නැහැනේ..."
ඇය එසේ කියූ සෑම වතාවකම මම ඇයව අස්වැසුවෙමි...නිසි කලට ඔහුගේ ප්‍රේමය ඇයට පවසනු ඇති බව කීවෙමි...
"අයි වොන්න හග් යූ"
එදා ඇය එසේ කියූ විට මම දෙපාරක් නොසිතාම ඇයව තදින් වැළඳගතිමි...ඒ ඉතා කෙටි වූද, දැඩි වූද, චුම්බ්නයේ ගැබ්ව තුබුනේ අප්‍රකාශිත ප්‍රේමයක ගැඹුරය...වේදනාවය...කඳුළුය...එහෙත් ඒ කිසිවක් ඇගේ නොව මගේය...
මම ඇය කල කී දෑ කිසිවක් විශ්ලේෂණය නොකරමි...ප්‍රේමය ඇත්තේ සොය සොයා ලතැවීමට නොව, රිසි සේ බෙදා දීමට බව මම අදහමි...
ඔහු නිසි කලට පැමිණ ඇයව නිද්‍රාවෙන් අවදි වන හාදුව දුන් කල, ඇය මා අපේක්ෂා කල ලෙසටම අවදි වූවාය...මම එතැන් සිට සිසිර තාරක නින්දට වැටුනෙමි...
මගේම සොහොන් ගැබ තුල පණ පිටින් මිහිදන් කල විටෙක දැනෙන අප්‍රමාණ වූ වේදනාවක් මට එදා දැනින...
අද මගේ හදවත ප්‍රේතයින් පවා අත්හැර දැමූ සොහොනකි...තවෙකෙකුට ඇලී, ගැලී විඳින්නට තරම් සෞන්දර්යයක් එහි නැත...සොහොනක් මතින් සත් මහල් ප්‍රාසාදයක් ඉදි කල පසු, බොහෝ පෘතග්ජන සිත් ඇත්තෝ එහි පොළොව කැණ පතුල හාරන්නේ නැත...
ප්‍රේමය මනෝ ව්‍යාධියක් බව නොකියන්න...
එහෙත් ඉඳහිටක දරා ගත නොහැකි තනිකමක් දැනුන විටක, ඇය, ඔහු ගැන හෝ කියවමින්, මා ලඟින් සිටියා නම් යෙහෙකැයි සිතෙන වාර අප්‍රමාණය...
එවන් මොහොතක ප්‍රේමය නම් විඳවීම පමණක්ම වෙයි...මම එය පරිත්‍යාගය යැයි සිතා සැනසෙමි...
......................................................................................................................
රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන
මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට දිනපොතක්
...............................................................................
ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ
ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට
රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ
ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට
රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්
.......................................................................................................................
සියලු රසික ජනතාවගෙන් සමාව අයදිනවා කවිය නැවත පල කල එක ගැන...කමී ඔබේ අදහසට ස්තුතියි...ඔබ කියූ වචනය වෙනස් කලා...
WW
සියලු රසික ජනතාවගෙන් සමාව අයදිනවා කවිය නැවත පල කල එක ගැන...කමී ඔබේ අදහසට ස්තුතියි...ඔබ කියූ වචනය වෙනස් කලා...
WW
තව කී පාරක් දැම්මත් ඉතින් මේ වචන පලවෙනි පාරට කියවද්දි දැනුණු හැගුණු තිගැස්මෙන්ම කියවන්න පුලුවන් අක්කෝ. අන්න ඒකයි ඔයාගේ සිතුවිළි මට මේ තරම් දැනෙන්නේ.කවිය තරමටම කතාවත් වැදුනා හිතට ඩෝං ගාලා
ReplyDeleteබොහොම ස්තුතියි නගෝ...මේ අගය කිරීම මට බොහොම වටිනවා....
Deleteලස්සනයි පොකුරු. මේ තරම් සංවේදීව ලියන ඔබේ හැකියාවට මගේ සුභ පැතුම්. ඔය කවිය කී වතාවක් කියෙව්වත් රසය වැඩිවෙනවා මිස රසයේ අඩු වීමක්නම් නොවන බව කිව යුතුමය.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දුමි ඔබේ නිහතමානි ඇගයීමට...සහ නිර්මාණය රස වින්දාට...
Deleteජය වේවා !!!
යසට ලියලා තියෙනවා පොකුරු...
ReplyDeleteබොහොම ස්තුතියි මිතිල....
Deleteනැවත නැවත කියවන්නට පොලඹවන සුලු කතාවක්...ඒ අපූර්වත්වය තුල ගිලෙන්න මාත් ආසයි...ඇත්තෙන්ම ලස්සනයි පොකුරු
ReplyDeleteබොහොම ස්තුතියි විසිරි, නිර්මාණයක් කරලා, එය තව කෙනෙක් රස විඳිද්දී ලොකු සතුටක් දැනෙනවා..
DeleteI also wanted to tell u to change the word 'diary',but somehow missed telling u that....anyway this is a shocking reality that u hv penned.love this to its very core nanga....asking permission to share it on my timeline
ReplyDeleteThank you so much Akki,your thoughts means a lot...yes please go ahead n share...
Deleteප්‍රේමය ඇත්තේ සොය සොයා ලතැවීමට නොව, රිසි සේ බෙදා දීමට බව මම අදහමි...
ReplyDeleteමරු
බොහොම ස්තුතියි සුමුදු...
DeleteQuote කරලා වාක්‍යයක් ගැන කියන්න හිතුවා...එහෙමට එකක් තෝරා ගන්න බෑ..හැම වැකියක්ම අත් හරින්න බැරි මට්ටමේ සංවේදීයි සහ ගැඹුරු යි.. excellent
ReplyDeleteගොඩක් ස්තුතියි කොච්චි මේ ඇගයීමට...
Deleteකියවගෙන යන්න හිතෙන විදිහට වචන පපෙළ ගස්වලා. ඒකයි අපුරුවත්වය රසය.
ReplyDeleteබොහොම ස්තුතියි යාත්‍රා...
Deleteඔහ්..
ReplyDelete