Sunday, April 23, 2017

සුරංගනාවී...........

A girl walking away...

සමහර මිනිසුන්ට අතීතස්මරණයට දෑස පියා ගත යුතුය...

තවත් අයෙකුට නිදහසේ මධු බිඳක් තොල ගෑ යුතුය...

එහෙත් මගේ වර්තමානයද, අතීතයම පමණි...එහෙයින් මම එළඹි සිහියෙන් අතීතයේ ජීවත් වෙමි...

බොහෝ කලෙකින් මවිසින් කිසිවෙකුට ප්‍රේම කල බවක් මතකයට නගා ගත නොහැක...පෙම්වතියක් වීමත්, සැබෑ ලෙස ප්‍රේම කිරීමත් දෙයාකාරය...

සැබෑ ලෙස ප්‍රේම කිරීමේදී කෙනෙකුගේ පංචස්කන්ධයේ සමින් වැසුන ආවරණය ඉවත් කල යුතුමය...එහි උරුමක්කාර ආත්මය සමඟ ඉතා විශ්වාසදායී ලෙස ගණුදෙනු කල යුතුය...

ආගන්තුකයෙකුගේ රුධිර පීඩනය පිළිබඳව සැබෑ අවබෝධයක් ලැබීමට තරම් ප්‍රඥාව ප්‍රගුණ කල යුතුය...

එකිනෙකාගේ නියුරෝන වල සංවේදීතාවයද, ඔවුහු අතුනු බහන් වල දරා හිඳිනා අනේක අපද්‍රව්‍යයොද,  වැනි එකී නොකී බොහෝ දෑ පිලිබඳ නිසි අධ්‍යනයක් නොමැති කිසිවෙකුට සැබෑ ලෙස ප්‍රේම කල නොහැක...

එවන් අවබෝධයක් නොමැතිව ගලා යන සබඳතා සියල්ලම රඳා පවතින්නේ පංචස්කන්ධයේ මතුපිට පෘෂ්ටයේ සුමටභාවය භාවාතිශය ලෙස රස විඳීමේ හැකියාව මතය...

ටෙක්සාස් ප්‍රාන්තයෙහි පනස් පස් වියැති කාන්තාවක් පෙම්වතියක් වීම, දෝෂාභියෝගයකට ලක් වීමට කාරණාවක් නොවන වග මම තරයේ කියමි...

ආකර්ෂණය, කරුණාව, රැකවරණය, රාගය මේ කුමක් හෝ මුල් කර එකිනෙකා කෙරෙහි ආශක්ත වන්නෝ තමන් පෙම්වතුන් බව කියති...

එහෙයින් මමද  පසුගිය වසර කිහිපය තුල, කිහිප වරක්ම පෙම්වතියක් වීමි...සැබෑ ප්‍රේමය යළිදු කිසිදිනෙක හමු නොවන බව දැන දැනම පෙම්වතියක් වීමි...

එහෙත් ප්‍රේමය සැබෑවක් විය යුතු බව මා උගත්තේ ඔහුගෙනි...

එදා විසි නව වියැති ඔහු, පින්තාරු කලේ හතළිස් පස් විය ඉක්මවමින් සිටි මගේ ජීවිතයයි...ඔහු පියානෝවෙන් මගේ ජීවිත ගීතයේ කිසිදාක නොවැයුනු රසාලිප්ත ස්වර වැයුවේය...මගේ පංචස්කන්ධයෙහි ඇතුල් ගර්භය ඔහුගේ මනසින් විනිවිදින ලද්දේය...

එහි පෙළඹවීමෙන් මා කවුරුන්දැයි, මම සොයා ගතිමි...

ඔහුගේ ඇතුලාන්තය ප්‍රේමයේ සෞම්‍ය සඳ කිරණ වලින් පිරී තිබිණි...මම හෙමින් සීරුවේ ඔහුගේ ආත්මයද, සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද විවර කර බැලීමි...එවිට ඒ සියුම් රශ්මි ධාරාවන් හාත්පස පැතිර ගියේය...

තෙත් වූ පස් පිඩැල්ලකින් එළියට ඇදෙන්නට තතනන ගැඩවිලෙකු පවා එය අත් වින්ද බව මම දනිමි...

ඉතින්...මා ඒ කිරණ ඉසියුම්ව විඳීම වරදක් යයි නොකියන්න...

ඔහු සතුව ඒ නගරයේ බොහොමයක් ඉපැරණි පල්ලි වල අගුළු විවර කල හැකි යතුරු තිබිණ...ඒවායේ ඇති සිත්තම් වල අපූර්වත්වය විඳින්නට ඔහු මට හුරු කළේය...ඒ ගිය බොහොමයක් ගමන් වලදී, ඔහු සමඟ ස්වර්ගයේ ද්වාරයෙන් ඇතුළු වන්නට මගේ හිත බල කල වාර අනන්තය...

"ඔයාට දරුවෝ හදන්න ඕනෙද"....

එවන් දිනෙක මම අසා සිටියෙමි...

"ඔව් මං බොහොම ආසයි පුංචි කෙලි පැංචියෙකුට"...

පිපෙනා සියලු මල් පරවන බවද, වර්තමානයේ සෑම දවසක්ම අතීතය වන බවද එදා ඒ මොහොතේදී මට වැටහින...

ඒ වෙද්දී මගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාම විශ්ව විද්‍යාල පිවිසුම් ආසන්නයේ සිටියවුන් වූහ...

ඔබ කෙසේ සිතුවද ප්‍රේමය අපරාධයක් නොවිය යුතුය...ඔහුගේ ප්‍රේමයේ සඳ කිරණින්, පරඬලකට නැවුම් ජීවයක් නොලැබෙනා බව සහතිකය...එහි අයිතිය සුවිශේෂ වූ කඩුපුලකටය... 

එහෙත් හිතවත...එයින් පසුව, අපි පුරා වසර හතරක් පුරා එකිනෙකාගේ රශ්මියෙන් මිදෙනු නොහැකිව දැවුනෝ වෙමු...වෙන් වීමේ ගිවිසුම් බොහෝ විට එක සඳ පළුවකට පමණක් සීමා විය...

ඔහු දරුවන් එපා යැයි කීවේය...මම ඔහුට දරුවන් දෙන්නෙමියි පොරොන්දු වුනෙමි...අඳුරු කාමරයක, මගේ ලැම මත ඔහු කඳුළු සලකුණු තබද්දී, මම මගේ කඳුළු මගේම ලේ නහර තුලට වත් කලෙමි...

ඔහුට ගැහැණු යහළුවන් අඳුන්වා දෙමින් ඔවුන් සමඟ මිත්‍ර වීමට බල කෙළෙමි...එහෙත් ඒ සෑම විටකම ඔහු බලා සිටියේ මගේ දෑස දෙසම පමණි...

ජීවිතය තිත්ත වෙද්දී, මට මගේ සිහිය වදයක් විය...

එවන් දවසක, ඇය මා පසු කර ගියේය...රතු කෙස් ඇති ඇයගේ දෙපා යුග්ම වල බෝනික්කියගේ දෙපා වල හැඩය විය...මම එසැණින්ම ඇයව නවතාලුයෙමි...අපි මිතුරියන් වීමු...

මාසයක ඇවෑමෙන්, මම ඇයට මගේ මිත්‍රයාව හමු වෙන ලෙස ආරාධනා කලෙමි...

ප්‍රේමයට සාධාරණයක් කල නොහැකි නම්, එය නිර්ලෝහී පරිත්‍යාගයක් විය යුතුය...ආත්මාර්ථයෙන් ලැබෙන සැනසීමට, වඩා පරාර්ථයෙන් ලැබෙන වේදනාව සැනසීමක් බව මම විශ්වාස කරමි...

ඔවුන් දෙදෙනාගේ දෑස් හමු වූ මොහොතෙහි විසිර ගිය කුඩා පුලිඟු වලින් මගේ සියොලඟම දැවුන බව ඇත්තකි...

එහෙත් ප්‍රේමය සැබෑ නම්, එය එහි පාර්ශවකරුවන්ට කිසිවිටෙක  මාර්ග බාධකයක් නොවිය යුතුය...

එදා ඒ මොහොතේ මම ඒ බාධකය ඉවත් කලෙමි...කල් තියා සැලසුම් කල පරිදි මගේ යෙහෙළිය දුන් ඇමතුමින් ඔවුන් දෙදෙනා තනිකර දමා මම එදා පිටව ආවෙමි...

"යන්න එපා"

ඔහු අසීරුවෙන් කී කල, මට ඔහුට හාදුවක් දෙන්නට වුවමනා විය...ඔහු වැලඳ, යළිඳු ඒ සුමුදු සඳ රැස් විඳීමට හිත කෑ ගසා කියද්දී, මම පිටව ආවෙමි...

ඉන් පසු, මගේ දුරකථන තිරය මත බොහෝ විට වියළී ගිය කඳුළු පැල්ලම් විය...ඊටත් පසුව දුරකථනය බොහෝ සේ නිසොල්මන් විය...

එය කෙබඳු හැඟීමක්දැයි විග්‍රහ කරන්නට වැය කරන්නාවූ ඔබේ කාලය අපතේ යන වග පමණක් සිහි තබා ගන්න...

ඉර, සඳ, තරු...මේ සියල්ලම ඇත්තේ බලා සැනසෙන්නට පමණි...ඒවා අයිති මන්දාකිණි වලින් ගලවා, ඔබේ දෙපා මුලට ගන්නා සෑම උත්සාහයකම අවසාන ප්‍රථිපලය, ලෝක විනාශය පමණි...

ජීවිතය, අතීතය වී ගලා ගියේය...මම අත්මිටකින් ගත හැකි වූ ප්‍රේමය, එක සුසුමකින් අන් සන්තක වන්නට ඉඩ හැර බලා හුනිමි...

මම ඔහුට ඉන් වසර හතරකට පමණ පසු ඇමතුමක් දුනිමි...ඔහුගේ පින්තාරු එකතුවක් නැරඹීමට එන්නැයි එදා ඔහු මට ආරාධනා කළේය...

මගේ සුසුම් වල තිගැස්මක් තිබුනේ නැත....ඔහුගෙන් නික්ම ආ දා පටන් ඒවාට එකතු වූ මළකඩ රස පමණක්, පෙරසේම තිබුනේය...

කඩුපුල ඔහු ලඟින්ම පිපී තිබිණ...මගේ සුසුම් වලට වඩා, ඒ සුවඳ බොහෝ නැවුම් වග මට දුර තියාම දැනිණ...

රැලි වැටෙන්නට තතනන මගේ සීතල කම්මුලට, ඇයගේ පිරුණු රෝස පැහැති කම්මුල් වලින්, උණුසුම් හාදුවක් ලැබිණ...

මම ඔහුගේ දෑස මග හැරියෙමි...එහෙයින්, ඔහුට එදා මෙන් මගේ දෑස දෙස ඕනෑකමින් බලන්නට වුවමනාවක් තිබුනා දැයි මම නොදනිමි...

ප්‍රේමයද විටෙක පිළිලයකි...එවන් කලෙට එය සියලුම පෝෂක වලින් ඈත් කල තැබිය යුතුමය...

"ඔයාද ඒ සුරංගනාවී"....

"තාත්ත කිව්වා, මගේ අම්මිව එයාට ගෙනත් දුන්නේ ඔයා කියල"....

..........................................................................................................................................

ප්‍රේමය නම් එසේ විය යුතුමය...එක් හදවතක් දැඩි ශීතලෙන් හිස්ව ගියද, තවත් හදවත් සිය දහසක් උණුසුම්ව පිරී යා යුතුමය...  

............................................................................................................................................ 


පසු සටහන : එය වොෂින්ටනයේ එක් වැසිබර සැන්දෑවකි...දහසය වන වීදියේ ඉබි ගමනින් ඇදෙන රථවාහන පෝලිමක ගාල් වී සිටීම දැඩි සේ වෙහෙසකර වූ අතර, මා එහි වාඩුව ගත්තේ මෝටර් රථයේ ගුවන් විදුලි යන්ත්‍රය මෙහෙයවන බොත්තමට නොනැවතී තට්ටු කරමිනි...

ඇය දිගු සුසුමක් හෙලුවාය...එකිනෙකා පරයා නැගුන එක් ගුවන් විදුලි නාලිකාවකින් පිටවූ ඒ සුසුම මගේ දෙකන් පෙති අතර වදිද්දී, ඉස්පාසුවේ එය විඳින්නට මට වුවමනා විය...

එතැන් සිට ඔබ  කියවූ මේ කතාව ඇයගේ සජීවී හැඟුම්බර හඬින් මම අසා සිටියෙමි....වරෙක, කතාව අතරතුර ඇය තදින් හුස්ම ගන්නා හඬද, ඉකිය සිර කර ගැනීමට දරන මහත් ආයසයද, හදවත කලම්බන සුළු විය....ඇය ඔහුගේ වර්තමාන බිරිය ඔහුට මුණ ගැස්වූ තැන්හිදීද, ඔවුන්ගෙන් පිටව තම දුරකථන අංකය පවා වෙනස් කොට ඔහුගෙන් පලා ආ හැටිය කියද්දීද, ඇගේ කට හඬ බොහෝ සෙයින් බිඳී ගිය වග මට දැනින...

මේ නිර්මාණයේ අඩංගු සියලු සංසිද්ධීන් සියල්ලම සත්‍ය වන අතර, එයට වෙනස් අරුතක් දීම සඳහා මා සමහර තැන්වලදී අටුවා ටීකා එක් කල බව මම පිළිගනිමි...

ඇය තම ලාබාල පෙම්වතාට, පෙම්වතියක් සොයා වෙහෙසුනාය....මාර්ගයේ තමා පසු කර ගිය රූබර යුවතිය, ඔහුට ගැලපෙන බැව් ඇසුරු සැණකින් සිතූ ඇය, එසනින් ඇය හා මිත්‍ර වූවාය....ඔවුන් දෙදෙනා සුක්ෂමව මුණ ගස්වා, ඔවුනගෙන් පලා ආවාය....

සිනමා පටයක තිර රචනයක් නොවූ ඒ කථාවේ තුබූ,අධි සන්වෙදිභාවය මගේ කතාවෙන් හිතාමතාම ඉවත් කලෙමි...

ඔබ මේ පිටුව වසා දැමිය යුත්තේ තවත් සංවේදී කඳුලක් සමඟ නොව, මිනිසුන් ආත්මාර්ථයෙන් ඔබ්බට ගොස් කරනා කැප කිරීම් වල ගැඹුරු වූ වටිනාකම සිත්හි දරාගෙනය...

එය තවත් එක් රාගයෙන් උමතු වූ ගැහැණියකගේ කථාවක් නොව, තම ප්‍රේමය හා අනෙකුත් බැඳීම් වෙනුවෙන් අරගල කරන්නාවූ සියල්ලන්ටම පරමාදර්ශයකි...අප බැඳීම් වෙනුවෙන් අරගල කළ යුතු නැත...ඒ සියලුම බැඳිම් වලට වලට නියම වටිනාකමක් දිය හැක්කේ උසස් මනසක් ඇත්තවුන්ට පමණි...



----WW---

33 comments:

  1. ආදරයේ ඇති පරාර්ථකාමි හැගීම මට කියවන වචනයක් වචනයක් ගානෙ දැනුනා... හරිම රහයි ජයවෙවා...!!!

    ReplyDelete
  2. පොකුරු. නිර්මාණය හිතට දැණෙන රහ පිරි එකක්. නිර්මාණය පුරාවටම ඇති පද ගැළපුම කතාවට හොඳ ජීවයක් එක්කර තිබෙනවා.
    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. සුපිරි නිර්මාණයක් .
    ("මහා ප්‍රාචීරයේ තුල අසූචි ගබඩා වී ඇති ප්‍රමාණයද"මේක නිකං ගැලපෙන්නෑ වගේ නේද?)

    ReplyDelete
    Replies
    1. බක්කරේ බොහොම ස්තුතියි මුලින්ම මේ පැත්තට ගොඩ වුනාට...ඒ වගේම අදහසටත්...මහා ප්‍රචිරය නෙවේ මහා අන්ත්‍රය වෙන්න ඕනේ, පරිවර්තන දෝෂයක්...අදහසට ස්තුතියි...පොඩි වෙනසක් කළා, ඒ වචන අයින් කරලා...

      Delete
  4. ඇස් තෙත් කල කතාවක් පොකුරු අක්කේ... හැබැයි මටත් හිතෙනවා බක්කරේ කියපු ටිකම.ඒ ටික මේ කතාවට නොගැලපෙන ගතියක් වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගි...එතන පොඩි වෙනසක් කළා...

      Delete
  5. න්යමයි ලියවිල්ල .

    ජය වේවා ..!!!

    ReplyDelete
  6. සෑහෙන වැදුණු කතාවක්.
    ඊයෙ පවර් පාන්ඩි බලපු නිසාද දන්නෑ..
    පවර් පාණ්ඩි කියන්නෙ මොකක්ද??
    Power pandi
    විකිපීඩියාවෙන් හොයාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උඩුවා මල්ලි...

      පවර් පාන්ඩි බලන්න හිතුනා...වෙලාවක් ලැබුනම බලන්නම්...ඔත්තුවට ස්තුතියි...

      Delete
  7. ආදරය යනු කැපකිරීම පමණක්මය.
    ස්තූතියි පොකුරු මේ ලියවිල්ලට. හිත ටිකක් ගස්සපු පෝස්ට් එකක්.

    ReplyDelete
  8. ආදරයක් මතින් ගොඩ නැගුනු ආදරයක්. මෙය යම් ආකාරයකට මටත් අදාල වූ දෙයක්. ලස්සන ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල් මල්ලි...

      Delete
  9. කෙනෙක්ගේ පුද්ගලික අත්දැකීමක් ඔබ පොදු අත්දැකීමක් බවට පත්කර ඇති ආකාරය අපූරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ තුමෝ...

      Delete
  10. මං කුමක් කියන්නද......හිතාගන්න බැහැ වත්සලා

    ReplyDelete
  11. පසු වදන ටිකක් අමාරුවෙන් කියෙව්වකෙුරු කුඩා නිසා.

    කතාවනම් හරි ම අපුරුයි

    ReplyDelete
  12. පොකුරුගෙ මන් කියවපු මතක හිටින කතාවක්
    //ටෙක්සාස් ප්‍රාන්තයෙහි පනස් පස් වියැති කාන්තාවක් පෙම්වතියක් වීම, දෝෂාභියෝගයකට ලක් වීමට කාරණාවක් නොවන වග මම තරයේ කියමි...//

    අපේ සංස්කෘතියේ මන් වෛර කරන්නෙ මෙන්න මේ වගේ තැන් වලට

    ReplyDelete
    Replies
    1. වෛරකරන්න එපා... මං තරයේ කියනවා ආසියානු සදාචාරය කුටුම්භයකට ශක්තිමත් අත්තිවාරමක් බව...
      මොකද යුරෝපා සංස්කෘතිය තුල විවාහයෙන් පිට ආදරයක් ඇති වුවද ඔවුන් ඒ පසුපස හඹා යන්නේ පවනක් ලෙසිනි.. දරුවන් හෝ තම සහකරු/සහකාරිය ගැන ඔවුන් තැකීමක් නොකර සිය හැඟීම් පිලිබඳ පමණක්ම ඔවුන් සැලකිලිමත් වේ ... ළමුන්ට ළමා වයසේදීම සිය මව් සෙනෙහස, පිය සෙනෙහස අහිමිය.. නමුත් ආසියානු සංස්කෘතිය තුල ඇති බැමි මඟින් බොහෝ දුරට එය සීමා කර ඇත... එනිසා, ආසියානු සමාජයේ බොහෝ දරුවෝ , දෙමව්පිය සෙනෙහස මධ්‍යයේ සිය ජිවිතය ගත කරති.

      Delete
    2. @ අරු - ඔබ ඔය කියන්නේ ඔබ සැබෑ ලෙසම ඔබේම ඇස් වලින් "යුරෝපා සංස්කෘතිය/ආසියානු සංස්කෘතිය" ගැන අහපු දැකපු අත්දැකිම් ද... නැත්නම් ඔබගේ උපකල්පන ද...

      Delete
    3. රස්ති, ඇත්ත අපේ සස්කෘතියේ නමට විතරක් පවතින සදාචාරය, ඇත්තටම කිසිම කමටකට නැහැ....එකේ ප්‍රතිපලය තමයි සියදිවි හානි කරගැනීම, අනියම් සබඳතා, දරුවන්ට ස්වාධීනව හිතන්න පුරුදු නොකිරීම වගේ තව බොහෝ දේවල්...

      අරූ...ඒ ආසිතිකයෝ හිතන විදිය මිසක මෙහෙ දරුවන්ට මවු පිය සෙනෙහස අහිමි වෙන්නේ නැහැ...එතන තියෙන්නේ දරුවන්ට ස්වාධීන වෙන්න කියල දෙන එක...අපේ රටවල වෙන්නේ දෙමාපියෝ වයසට ගියත් දරුවන්ගේ දරුවොත් බලන්න වෙන එක...එතනදී හුඟක් දරුවෝ හිතන්නේ දෙමාපියෝ තමන්ගේ මෙහෙකාරයෝ කියල...මේක වෙනමම සාකච්චා කරන්න ඕනේ කරුණක්....

      Delete
    4. පොකුරු මට මේ කොමෙන්ටුවට රිප්ලයි එක දාන්න මග ඇරිලා, සමා වෙන්න.. මං කියන්නේ මේ ගැන, ලංකාවේ පවුල් සංස්ථාව දරුවන් ලොකු වන තුරුත් බොහෝ දුරට නොනැසි පවතිනවා. නමුත් යුරෝපා සංස්කෘතිය තුල බොහෝ විට තනි මව, තනි පියා හෝ කිසිම දෙමව්පියෙක් නැති දරුවන් සිටිනවා. මොකද, එක්කො විවාහ නොවුනු දෙමව්පියන් වෙනවා ඒ දරුවන්ගේ දෙමව්පියන්, නැති නම්, දික්කසාද වුන දෙමව්පියන්, හෝ සෙපරේට් වුන දෙමව්පිය, ඉතින් දරුවන් තනිවම හැදෙනවා, ලංකාවේ සමාජයේ එහෙම නැහැ. ඔබ කිව්වා වගේ අපි මේ ගැන බොහෝ කතා කල යුතුයි තමයි. මොකද ලංකාවේ ඉතාම අමාරුයි තනිව ගැහැණු ළමයෙක්ට ජීවත් වෙන්න. පාට් ටයිම් රැකියාවක් වුනත් කරන්න බැහැ. අනික රජයෙන් ආධර දෙන්නේ නැහැ . නමුත් ඇමරිකාවේ, යුරෝපයේ එහෙම නැහැ. තනිව වුනත් ගැහැණු ළමයෙක්ට ජීවත් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක එහෙට අදාලයි. මෙහෙට අදාල නැහැ. අනිවාර්යයෙන් අපේ මව් පියන් අපිට රැකියාවක් තිබෙන තුරු අපිව බලා කිය ගැනීම කල යුතුයි.මං අත්දැකපු දේවල් බොහොම අඩුයි. මං පණ්ඩිතයා වගේ කියෙව්වට, මං කියවපු දේවල් වලින් තමයි මම අත්දැකලා වගේ ඒවල ජීවත් වෙලා, ඒක දිගේ හිතලා ලියන්නේ, හෝ අත්දැකීමක් කරගන්නේ

      Delete
  13. මේ කතාව හුඟක් දේවල් ජීවිතයට කියා දෙනවා.. හොඳ නිර්මාණයක්.. සුභ පැතුම් පොකුරු වැහි...

    ReplyDelete
  14. වචනයෙන් විස්තර කල නොහැකි හැඟීමක් හිතට දැනුණා . මේ කතාව වෙනුවෙන් බොහොම ස්තුතියි .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩ උනාට සහ අගය කිරීමට...

      Delete