Sunday, March 5, 2017

සියායාවේ තුන් දවසක්...

අයි විශ් දැට් වී ඕල් කැන් ගෝ දෙයා...දෙන් යූ විල් අන්ඩස්ටෑන්ඩ් ද ඉම්පොර්ටන්ස් ඔෆ්  මේකින් ඇන් ඉෆෙක්ටිව් මලේරියා  වැක්සින්...(අපි සියලු දෙනාටම එහි යා හැකි නම්...එවිට ඔබට වැටහේවි සාර්ථක මැලේරියා එන්නතක ඇති වටිනාකම)

ටොම් ගේ හඬ තිරසාරය...එහෙත් බොහෝ හැඟුම්බරය...ඔහු මට හමුවූ අතිශය මානව දයාවෙන් පිරි සුළුතරයක් මිනිසුන්ගෙන් කෙනෙකි...වෛද්‍ය නිලධාරියෙක්, විද්‍යාඥයෙක් සහ විශ්‍රාමික උසස් හමුදා නිලධාරියෙක් වශයෙන් වසර ගණනාවක පළපුරුද්ද ඇති, ඔහුගේ එකම අරමුණ මානව සංහතියට යහපතක් කිරීම බව මම ඉඳුරාම දනිමි...

එහෙයින්, අප ආයතනයේ යොවුන් පර්යේෂණ සහායකයින්ට, මෙවන් කතා වලින් උකහා ගත යුතු බොහෝ දෑ ඇත...ඇමෙරිකාවේ වාසය කරන ඔවුහු ගෙවන්නේ අතිශය සුඛෝපභෝගී ජීවිත වෙති...සෞඛ්‍ය හෝ ආහාර පාන හෝ නිවාස ගැන ගැඹුරින් සිතා බලන්නට තරම් ගැටළු ඔවුනට නැත...

දෝස් චිල්රන්...දේ හෑව් ඕල් කයින්ඩ්ස් ඔෆ් හෙල්ත් ප්‍රොබ්ලම්ස්...මැලේරියා ඉස් ද ටොප්...(ඒ පොඩි දරුවෝ...ඔවුන්ට නේක විධ සෞඛ්‍ය ගැටළු තියනවා...මැලේරියාව තමයි ඉහලින්ම තියෙන්නේ)...

එසේ කියනා ඔහු, ඩිජිටල් තිරය මත ඒ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු වට්ටෝරුව දිග හරියි...මැලේරියාව, ආහාර ජීර්ණ පද්ධතිය ඇසුරු කොට ගෙන ඇති විවිධ පණු රෝග, නිව්මෝනියා තත්වයන්, රුමැටික උණ මුල් කරගෙන හට ගන්නා හෘද කපාට රෝග, ක්ෂය රෝගය, ඒඩ්ස්...මා ඉදිරියේ තුබූ තිරය බොඳවී යාමට ආසන්නය...

මම ඔවුන් සියැසින් දුටුවෙමි...ඒ මින් දෙසතියකට පමණ පෙරය...

ඔවුන් සිටියේ දුහුවිලි සහිත රෝහල් සිමෙන්තියේ පෙරලෙමිනි...සමහරු මව් ඇකයේ උණුසුමට ගුලි වී සිටියහ...එහි මාස පහේ සිට මාස එකොළහ තෙක් කුඩා දරුවෝ වූහ...ඔවුන්ගේ සම කළු පැහැතිය...කළු කිව්වාට දැලි අඟුරුය...

ඔවුන්ගේ කැරලි කොණ්ඩය, තනි මුදු ස්ථරයක් වන තෙක් කපා තිබිණ...එහෙයින්, පිරිමි හෝ ගැහැණු බව සෙවීම උගහටය....අපේ දරුවෝ මෙන්, ඔවුහු කෑ ගසා නොහැඬුහ...දණ ගාන වයසේ සිටි දරුවෝ, සෙල්ලම් බඩු යැයි කිව හැකි ප්ලාස්ටික් කැබලි අත ගාමින් සිනාසුනහ...

ඔවුන්ගේ මවුවරුද බොහෝ කෙසඟය...කට්ට කළුය...කොණ්ඩයද පොඩි වුන්ගේ හැඩයමය...කිසිම හැඩක් නැති ගවුම් කඩමාල්ලක් ඇඟ දවටා සිටි හෙයින්, උන් ගැහැණුන් වග හඳුනා ගත හැකි විය...

කළුවන් නොවූ සම සහිත සියල්ලෝම, ඇමෙරිකානුවෝ බව ඔවුන් සිතන වග පෙනිණ...ඔවුන්ගෙන් සමහරෙක් මා සමඟ ඉතා පියකරු ලෙස සිනාසුනහ...

මා ඒ දුටුවේ, අපගේ දෙවැනි සායනික පරීක්ෂණ මට්ටමේ පවතින මැලේරියා එන්නත ලබා ගැනීමට පැමිණි දරු පැටවුන්ය...

මේ ඔබ කියවන්නේ බටහිර කෙන්යාවේ, සියායා ප්‍රාන්තයේ ඇති රෝහලක විස්තරයයි...ටොම්ට අනුව එය කෙන්යාවේ හතරවැනි මට්ටමේ රෝහලක් හෙවත් දිස්ත්‍රික්ක රෝහලකි...එය කෙන්යා වෛද්‍ය පර්යේෂණ ආයතනය හා අනුබද්ධව පවතින හෙයින්, මෙවන් සායනික පර්යේෂණ සඳහා පහසුකම් ඇත...නමුත් එහි පෙනුම ලංකාවෙහි අතිශය දුෂ්කර පලාතක ඇති රජයේ රෝහලකට සමානය...

මින් වසර දහයකට පෙර මා දුටු කෙන්යාවේ නයිරෝබි නගරයට වඩා සියායාව බොහෝ සෙයින් වෙනස්ය...වියළි කාර්තුවේ අවසානයට ලංව ඇති සියායාවේ හාත්පස තුබුනේ වියළි, දූලි පැහැයකි...

ආසන්නතම නගරය වන කිසුමු  වල සිට සියායාවට, ගොඩබිම් මාර්ගයේ කිලෝ මීටර හැත්තෑ පහක් පමණ දුර ගෙවා යා යුතුය...ඒ මාර්ගයේ යම් තැනක ඔබට සමකයේ මනෝම රේඛාව පසු කල හැකිය...


Equator Sign (from internet)

එවෙලේ අසීරුවෙන් දෑස හැර හුන් මම, එය දුර තියාම දැක ගතිමි...සමකයෙහි රේඛාව ගිනියම්ව තිබිණ...එහෙයින්, ජීවයක් සහිත සියල්ලෝ අඟුරු පැහැයෙන් යුක්ත වූහ...

එය ඉතා වෙහෙසකර ගමනක් විය...සේවා ස්ථානයේ රාජකාරී අහවර කර වොෂින්ටනයෙන් පිට වූයේ සඳුදාවක හවසකය...ඒ අතර නෙදර්ලන්තයේ පැය හතරක්ද අඟහරුවාදා රාත්‍රියෙහි  නයිරෝබියේ පැය හයක් පමණද, ගුවන් හුවමාරු සඳහා වැයවී තිබිණ...විනාඩි තිස් පහක් පමණ කෙටි ගමනක් සහිත වූ ගුවන් යානය නයිරෝබි සිට කිසුමු බලා පිටත් වූයේ බදාදා අළුයමය...රටවල් අතර කාල වේලා සියල්ලම ගණනය කල විට මා බොහෝ වේලාවක් සිට ඇත්තේ අවදියෙනි...ඒ වන විට පැය හතරකට වඩා මා නිදාගෙන තිබුනේ නැත...

එහෙත්...මා සිටියේ ඉතා උද්‍යෝගයෙනි...වසර ගණනාවක් පරීක්ෂණාගාර තුල පර්යේෂණ සිදු කල මා හට, මනුෂ්‍ය සංහතියෙහි යහ පැවැත්ම සඳහා සෘජුව දායක වීමට අවස්ථාව ලැබීම ඊට හේතුවයි...ඒ මගේ ප්‍රථම සායනික පර්යේෂණ අත්දැකීමයි...

මගේ ගමන් සගයෝ මග දෙපස නැරඹීම සඳහා මට ඉදිරි පස අසුන ලබා දී ඇත්තේ හේතුවක් ඇතුවය...මා අසීරුවෙන් දෑස් හැර සිටීමට උත්සාහ ගත්තේ එහෙයිනි...

කිසුමු ගුවන් තොටුපොළ  විශාල නිවසක් බඳුය...පිටවීම සහ ඇතුල් වීම ඉතා පහසුය...උදෑසනක ගුවන් යානය ගොඩ බස්සවන විට පෙනෙන දර්ශනය ඉතා මනරම්ය...එක් පසෙකින් කඳු වළල්ලකි...අනික් පසින් වික්ටෝරියා වැවය...එහෙත් එහි විශාල ප්‍රදේශයක් වසා ජලජ ශාක පැතිරීමෙන්, එය කළු පැහැ ගැන්වී තිබිණ...


මග දිගට පානීය ජලය සොයා යන ගැහැණුන් සහ මිනිසුන් වූහ...සමහරකගේ හිස් මතද, තවෙකෙකුගේ පාපැදියක හැඩලයකද ප්ලාස්ටික් බුජම් රැඳවී තිබිණ...


ජලය සොයා යන කෙන්යානුවන් (රුව අන්තර්ජාලයෙනි)

ඔවුන්ගේ නිවාස බොහොමයක් පිදුරු සෙවිලි කර, මැටියෙන් සරසා තිබිණ...උළු වහල සහිත සිමෙන්ති බිත්ති තිබුනේ රෝහල් සහ පාසැල් වලට පමණය...විය සිදුරක් අතරින් උළු හෙවිලි කල ගෙයක් දැක ගත හැකි විය...


පිදුරු සෙවිල්ලූ ගෙවල් (රුව අන්තර්ජාලයෙනි)

සියායාවේ දුක්ඛිත ජීවිත ගත කරන ගම් වැසියන් හැරෙන්නට, එහි රැකියාවන් වල නිරත සියල්ලෝම පාහේ ජීවත් වන්නේ කිසුමු නගරයේ බව මට පසුව දැනගන්නට ලැබිණ...එහෙයින් අපත් ඇතුළුව, ඒ සියලු දෙනාම, දිනපතාම පැය එක හමාරක්, උදේ සවස ගමන් කාලය සඳහා වෙන් කල යුතු විය...

මේ ප්‍රාන්ත වල මිනිසුන් ප්‍රවාහනය කරන ප්‍රධාන මාධ්‍ය මිනි වෑන් හෙවත් මටාටුය (Matatu)...ඒවා ධාවනය වන්නේ සුළගේ වේගයෙනි...එහි මිනිසුන් අට්ටි ගසා ඇත...මේ මටාටුවන් නිරන්තරයෙන්ම, මග දෙපස සිටි පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට ලක් වීම සුලබ විය...
මටාටු -Matatu (රුව අන්තර්ජාලයෙනි)

මා එහි සිටියේ දවස් තුනකි...ඒ තුන් දවසේම දවල් ආහාරය වූයේ චපාති සමඟ කළු බෝංචි ඇට හොද්දකි...ඒ මා මස් නොකන නිසාය...

නැතහොත් ඔබට හරක් මස් හොද්දක් සමග උගලි රස විඳිය හැක...උගලි යනු බඩ ඉරිඟු පිටි වලින් සෑදු සුදු පැහැති ඝනකම් ආහාරයකි...එය රසකින් තොරය...ඔවුන් එය කෑමට ගන්නේ මස් වර්ගයක් සමගය...


උගලි-ugali (රුව අන්තර්ජාලයෙනි)
උළු වහලක් ඇති නිවසක් නැති ගම්මානයක, ආපන ශාලා ද එසේමය...බොහෝ දුෂ්කරය...එහෙත් අතිශයින් සුන්දරය...එක් ආපන ශාලාවක, කුඩා ලී මේසයක් වටා, ලී බංකු තබා තුබුණු අතර, එහි පොළොව, මහ පොළොව පමණය...

රෝහල් ආපනශාලාව  හිමි කෙන්යානුවා බොහෝ ප්‍රිය මනාප මිනිසෙකි...සැබවින්ම කෙන්යානුවන් සියල්ලෝම සුහදශීලි මිනිසුන්ය...

අප දවල් ආහාරයට යන විටම ඔහු ආහාර බෙදා පිළිගන්වන්නට උත්සුක වෙයි...අත් පිස්නා කඩදාසි කිහිපයක් ඔහු ළඟ ඇත...පිගානෙහි කොනකින් ඒවා තබන ඔහු, ගෑරුප්පුවක් දෙන්නටදැයි අසයි...ඒ සෑම වතාවකම මට ශෝකයක් දැනුනා කිවහොත් නිවැරදිය...ඒ මා උපන් රටේද මෙවන් පළාත් අදටද ඇති බැවිනි...

අමෙරිකාවෙන් පිටත් වීමට පෙර මා යෙලෝ ෆිවර් එන්නතද, මැලේරියාවට ලබා දෙන බෙහෙත් පෙතිද ලබා ගත යුතු විය...එපමණක් නොව මා කෙන්යාවට ඇතුළු වීමට පෙර සිටම මැලේරියාවට බෙහෙත් ලබා ගැනීම ඇරඹිය යුතු විය...සායනික උපදෙස් අනුව බෝතල් කල ජලය බීමටත්, නොපිසූ ආහාර මග හැරීමටත් උපදෙස් ලැබිණ...

ජල නල පහසුකම් නොතිබූ රෝහල් ආපන ශාලාවේ අත සේදීමට  ජලය තබා තිබුනේ බුජමකය...කවුරු කෙසේ උපදෙස් දුන්නද, ඒ ශුෂ්ක කාලයේ බෝතල් කල ජලය වල පවා විශේෂ පිරිසිදුකමක් තිබිය නොහැක...කිසුමු වල තරු පන්තියේ හෝටලයේ පවා ජල කරාම වල ජලය අපුල ගන්ධයකින් යුක්ත විය...

ඒ ජීවිත බොහෝ දුෂ්කරය...

මේ රෝහලේ සේලයින් නැහැ...කෙන්යාවේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් මාස තුනක් තිස්සේ, අපේ සායනයේ වෛද්‍යවරු හැකි අයුරින් රෝහල් ගත වෙලා ඉන්න කුඩා දරුවන් බලනවා...

ටොම් දිගටම සිය කතාව කරගෙන යයි...

එක දැරියක් උන්නා...ඇයට ගිනි ඇවිලිලා...ඇය දෙමාපියන්ගෙන් ඈතට දුවගෙන ගිහින්...ඇයව  බේරා ගන්න විට, ඇයගේ ශරීරයෙන් බොහෝ ප්‍රමාණයක් පිළිස්සී අවසන්...

ඔබ දන්නවාද...ඇය රෝහලේ ඇඳක වැතිරිලා ඉන්න හැටි මා දැක්කා...කිසිම බෙහෙතක් නැතිව...

..................................................................................................................................................

මා කඳුළු නවත්වා ගැනීමට ආසයක් දැරුවේ නැත...ටොම් ගේ දෑස් රතුවී තිබිණ...සමහරු සිය දෑස් බිමට නැඹුරු කරගෙන සිටිය අතර සමහරුන්ගේ ඉරියව් නොවෙනස්ව සහ සාමකාමීව තිබිණ...

..........................................................................................................................................................


ඉතිරිය ලියන්නට සිතුනොත් පසුව ලියමි...

WW



26 comments:

  1. පොකුරු.. මේ මීට මාස ගණනකට කලින් ලැබුණු අලුත් රැකියා පත්වීමේ තොරතුරක්ද ? විස්තරය හොඳින් ලියලා තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී...ඇත්තටම මේක අලුත් රැකියාවේ එක පුංචි කොටසක්...හදිසියේ ලිව්වේ...ඒ නිසා හිතේ හැටියට ලියා ගන්න බැරි උනා...

      ගොඩක් ස්තුතියි...

      ජය වේවා...

      Delete
  2. ඔබගේ සේවය විශිෂ්ඨයි අක්කෙ... සංවේදී සටහනක්... පුලුවන් නම් ඊ ලඟකොටසත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. මේක කණ්ඩායම් වැඩක් නංගෝ...මට පුළුවන් උපරිම දෙයක් කරන්න බලනවා ඉතින්...ඊළඟ සතියේ ලියන්නම්...

      බොහොම ස්තුතියි...

      Delete
  3. /ඉතිරිය ලියන්නට සිතුනොත් පසුව ලියමි.../

    අනේ එහෙම කරන්න එපා නෝනෙ..එක්කො මේකත් නොලිය හිටියනම් ඒක එකක්...

    ReplyDelete
    Replies
    1. ටිකක් කම්මැලි වෙයිදෝ කියල හිතුන කියවන අයට...වෙලාව මදි උනා ඔක්කොම මේකේ ලියන්න

      ඉතිරි ටිකත් කියවලම අදහසක් කියන්නකෝ එහෙනම්...

      Delete
  4. ගෑරුප්පුවක් දෙන්නටදැයි අසයි...ඒ සෑම වතාවකම මට ශෝකයක් දැනුනා කිවහොත් නිවැරදිය...ඒ මා උපන් රටේද මෙවන් පළාත් අදටද ඇති බැවිනි...

    ReplyDelete
    Replies
    1. :) මේ පැත්තට ගොඩ වැදුනට බොහොම ස්තුතියි...

      Delete
  5. ලංකාව හොදයි වගේ සෑහෙන......
    ඉතිරිත් ලියන්න පොකුරු.....

    ReplyDelete
    Replies
    1. ලංකාව දිව්‍ය ලෝකයක්...ලබන සතියේ ලියන්නම්

      Delete
  6. පොකුරුගේ මේ අත්දැකීම් තුලින් අසරණ ජීවිතවලට වඩාත් අගනා සේවයක් කිරීමට ධෛර්යය සහ ශක්තිය ලැබෙයි. නිවැරදි දැක්මක් ඔබ සතුයැයි මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අරූ...

      ලෝකේ තියන හොඳම රිසර්ච් ගෘප් වල ඉඳල තේරුම් ගත්තේ එක දෙයි...අතලොස්සක් හැර අනික් සියලු දෙනා වැඩ කරන්නේ තමන් වෙනුවෙන්...මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕනේ කමක් තියන තැනක් හොයාගෙන ආවේ ඒකයි...ඒ ගැන විස්තරයක් මේකේ ඉතිරි කොටසේ ලියන්නම්...

      Delete
  7. අනේ ඇඟම හිරි වැටුනා කියවලා ඉවර වෙනකොට.ඒ වගේ අසරණ වූ මිනිසුන්ට පිහිට වෙන්න ඔයාට තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ.දෙවෙනි කොටස මීටත් වැඩිය සංවේදී ඇති කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සඳවතියේ...

      මේ වෙලාවේ නම් ඒ ආශීර්වාදය හුඟක් වටිනවා...ඔය සේරම ගමන් ගියේ සයිනස් තත්වයෙන් හුඟක්ම කරදර විඳින ගමන්...තවම අඩුවක් නැහැ :)

      ඊළඟ කොටස ටිකක් වෙලාව අරන් ලියන්න ඕනේ...මේක ලිව්වේ හදිසියේ...

      Delete
  8. හරිම ආඩම්බරයි..මට නං හීනෙකින්වත් හිතන්න බෑ පොකුරු ලබන මේ වගේ අතිසංවේදී අත්දැකීම් හරහා යන්න....!
    මේ වගේ අත්දැකීම්වලින් පොකුරුගේ හිත කඩාවැටීම් වලට හසු නොවේවා යයි ප්‍රාර්ථනා කරන්න විතරයි මටනං පුලුවන් ඉතිං...!
    සමහර විට ලියන එක හොඳවෙයි හිතේ තියාන ඉන්නවට වඩා මේ වගේ දේවල්...ඒ මට හිතෙන හැටි දරුවෝ...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...


      මේ දේවල් දිහා යථාර්තවාදීව බලන්න මට පුළුවනි, ජීවිතේ අත් විඳලා තියන සමහර දේවල් එක්ක...මිනිස්සු ජිවත් වෙන්න සෑහෙන සටන් කරනවා...

      අනිත් එක චෙෆාකි මහත්තයෝ, ඔය මිනිස්සු සේරම සටන් වදින්නේ කර්මය එක්ක...තමන් පෙර ආත්ම වල කරපු දේවල් වල ප්‍රතිපල...අපිට පුළුවන් දෙයක් කරන්නයි තියෙන්නේ ඒ අයගේ ජීවිත වෙනුවෙන්...

      Delete
  9. පොකුරු ...නවත්වන්න එපා ලියන්න...ඔය තරම්ම අපේ රට අවාසනාවන්ත නැති උනත්...මිනිස්සු විදියට අපි දකින්න ඕන ජීවිතේ ඔන්න ඔය තත්වය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විසිරි...

      ඇත්තටම මේ සටහනේ අරමුණත් එකයි...වැඩිපුර ආලවට්ටම් නොදා හදිසියෙන් ලිව්වෙත්, එක මනුස්සයෙක් හරි මේක කියවල තමන් ජිවත් වන මට්ටම ගැන සතුටු වෙයි කියල හිතල...

      Delete
  10. හරිම සංවේදි අත්දැකීමක් ..
    එ් සංවේදි බවින්ම ලියලා තියෙනවා. ඇස්වලට කඳුළු එකතු කරා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාත්‍රා...

      ඒ මිනිස්සුගේ ජිවිත බොහොම රළුයි...

      Delete
  11. දොස්තර ස්ට්‍රයික් එහෙත් තියෙනවද? එහෙත් සයිටම් ප්‍රශ්ණයක්ද

    ReplyDelete
    Replies
    1. සයිටම් නෙවෙයි :D...300% වැඩි පඩි ඉල්ලනවා කියල කොහේ හරි දැක්කා මම...ඒ වගේම එයාල හොස්පිටල් වල තියන අඩු පාඩුකම් සපුරාල දෙන්න කියලත් රජයෙන් ඉල්ලීම් කරනවලු...

      Delete
  12. කියෙව්වා.
    කියන්න දෙයක් නෑ.
    අපිට සැප වැඩියි.

    ReplyDelete