Monday, February 20, 2017

සොඳුරු හිතුවක්කාරයා 1

Mr Walter White, a fictional character from Breaking Bad TV series


ඇය රෝහලේ කොරිඩෝරය දෙස බලා සිටියේ අරමුණක් නොමැති දෑසිනි...

පෙරදා රාත්‍රිය ඇයගේ ජීවිතයට එක්කාසු කලේ අලුත්ම අත්දැකීමකි...ජීවිතේ පළමු වතාවට රෝහලක රැය පහන් කලා මදිවාට, ඇයට නිදාගන්නට සිදු වූයේ සීතල සිමෙන්ති පොළොව මතය...

විවිධාකාර හෘද රෝග වලින් පෙළුණු, නා නා ප්‍රකාර ගැහැණුන්ගේ ජීවිත වල තුබූ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් අසා හුන් ඇය, තමාට විඳවන්නට කිසිත් සිදුවී නැතැයි පසක් කරගත්තාය...

එහෙයින් සිමෙන්ති පොළොව මත, අලුත් මිතුරියන් විසින් ලබා දුන් රළු ඇතිරිල්ලක් එලා, ඒ මත ඇය රැය ගෙවා දැමුවාය...

ඔහු ඉකුත් දා රැයේ ආපසු නිවස කරා ගිය බව ඇයගේ දුරකතන තිරය මත, කෙටි පණිවුඩයක සටහන් වී තිබිණි...

ඇය තවමත් හැඳ සිටින්නේ, පෙරදා ඔහු තකහනියක් මිලදී ගෙනදුන් තරමක් විශාල මල් වැටුන බ්ලවුසයත්, ත්‍රී ක්වාටර් කලිසමත්ය...

රෝහල් ගත වීම සඳහා සූදානම්ව පැමිණියද, ඇය ගෙනැවිත් තුබූ බ්ලවුසය, ඇයට සවි කල යුතු කුඩා හතරැස් යන්ත්‍රය සමඟ පෑහුණේ නැත...ඇය කලේ ඔහු දෙස අසරණව බලා හිඳීම පමණි...එසැණින් පිටව ගිය ඔහු ආවේ, ඔහුගේ ආදරණීයම වූ ඒ සිනහවත් සමගය...ඔහු අත රැඳුනු ෂොපින් මල්ලෙන්, නෙක වර්ණ සපිරුණ, මල් වැටුන බ්ලවුසය ඇය අතට පත් විණි...

ඇයට මන්දස්මිතයක් නැගුනේ ඉබේටමය...මතක ඇති කලෙක පටන් ඉතා ලා පැහැති වර්ණ පමණක් ප්‍රිය වූ ඇය, වෛවර්ණ ඇඳුමක් ඇඟලු පළමු වතාව එය විය...ඒ ඔහුගේ පළමු තෑග්ගද විය...

අවර්ණ පැහැ වූ ඇගේ ජීවිතයට, ඔහු වර්ණ අතුරන්නට ගත්තේ එතැන් පටන්ය...

ඔහු පාන්දරින්ම රෝහල් කොරිඩෝරයෙන් මතු වූයේ, ඇයව විස්මයට පත් කරවිමිනි...පෙරදා හැඳ සිටි පොඩි වූ කමිසය...විඩාබර දෑස...

"ඔයා ගෙදර ගියේ කීයටද"

"මං ගෙදර ගියේ නැහැ"

"එහෙනම්..."

"මං උන්නේ මරදානේ ස්ටේෂන් එකේ...බංකුවක් උඩ...මට ගෙදර යන්න හිතුනේ නැහැ..."

ඇය ඉන් එහාට කිසිවක්ම ඇසුවේ නැත...

ඒ හිතුවක්කාර, ආදරණීය, මිනිසාට ඇය වෙනුවෙන් කල නොහැක්කක් නොමැති බව ඇය එදා පසක් කොට ගත්තාය...

ගත වුන කාලය තිස්සේම, ඔහු නැවත නැවතත් එය, ඇය ඉදිරියේ ඔප්පු කොට පෙන්වීය...

ඇයට මවද, පියාද, ඉසිවරයාද, විවේචකයාද, මග පෙන්වන්නාද ඔහුම විය...

ඇය විටෙක ඔහු ගැන මෙසේ ලියූවාය....


ප්‍රේමයට කොයි තරම්
කවි ලියා ඇති තරම්
උඹ ඒ කවි අස්සෙ
උන්නේම නැති තරම්
උපමාවක් නැතුව
හිතේ හංගාන උන්
මේ කවිය උඹ නමින්
අමුවෙන්ම ලියමි මං

අත් වැටක් නැති කන්ද
නොවැටීම නගින හැටි
උඹ කියා දුන්නේම
නැගිටිමින් වැටි වැටි
ඇස රුදා දෙනකල්ම
මං කොතැන, සෙවූ හැටි
අම්මෙකුට, අප්පෙකුට
කැක්කුමට දෙවැනි නැති..

මහා පිලොසොෆි වලින්
කතා ලිය ලියා මං
සෝදුපත් බැලුවෙ නම්
උඹ උගත් ජීවිතෙන්
ඉලක්කම් වලින් නම්
හතළිහක්‌ උඹට දැන්
හාදු නම් රත්තරන්
පෙර වගෙයි ඉස්තරන්...

අපි දෙන්න ජීවිතේ
පාට එක් කල හැටිය
ඇහුවොතින් කියා දෙයි
උඹේ සුදු කෙස් කැටිය
රත්තරනෙ එක වාගෙ
නොවෙනස්ව ඇති සැටිය
එක දේකි ඇත්තේම
ඒ උඹේ ඇස් වැටිය...

උඹට විතරයි ඇහැකි
මගේ හිත කියවන්ට
ඉතින් ඉර හඳට මට
බෑ උඹව සසඳන්ට
බුදු බණෙහි තිබුනාට

බැඳුම් අතහැර යන්ට
රත්තරනෙ තනියෙන්ම
බෑ නිවනට යන්ට....

එවන් කවක් දෙස බලන ඔහුගේ ඇසිපිය වේගයෙන් සැලෙන හැටි, ඇය ඇස් කොනකින් බලා සිටින්නීය...

ඊලඟට මතු වන්නේ, ලොව හිඳින හිතුවක්කාරම පිරිමියාගේ, අවිහිංසකම සිනහවයි...හෙට දවසේ ඇයට අවැසි ජීවිතය දෙන, ඇය පමණක්ම දකින සිනහවයි....
---------------------------------------------------------------------------------------------------------------------

මෙවන් ප්‍රේම කථා අටෝ රාසියක්, මේ මිහි තලය නිහඩවම සඟවා ගෙන හිඳී...ඒවායේ රස ඇත්තේ, ඒවා සඟවා තබන තරමටමය...

..........................................................................................................................................................


වත්සලා විජයලත්
පෙබරවාරි 20, 2017

20 comments:

  1. එකම එක වචනයයි...... ආදරණීයයි...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ශානි...

      Delete
  2. Replies
    1. තෑන්ක් යූ කොච්චියෝ...

      Delete
  3. හිත පැහැර ගත් ලියමනක් සමඟ කවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාත්‍රා...

      Delete
  4. "මෙවන් ප්‍රේම කථා අටෝ රාසියක්, මේ මිහි තලය නිහඩවම සඟවා ගෙන හිඳී...ඒවායේ රස ඇත්තේ, ඒවා සඟවා තබන තරමටමය..."
    ඇත්තටම ඇත්ත අක්කී

    ReplyDelete
    Replies
    1. ඔව් යමක් සැඟවී තිබෙන තරමට අගය වැඩියි නගා...

      Delete
  5. දැනෙන නිරමාණයක් පොකුරු. ඒ සෙනෙහස, ඒ බැඳීම ඒ, ලෙංගතුකම කවියෙන් අපූරුවට ඉස්මතුවුණා.

    ගත වුනත් දින ගණන් දුක සතුට පැතිරිලා
    හිත තවම ආදරෙන් ඔය හිතට පෙම් කලා
    නෙත පෙනෙන මානයෙන් යන්න බැහැ වෙන්වෙලා
    ඇත අපේ සෙනෙහසෙන් ජීවිතය හැඩවෙලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි දුමී...ඔයාගේ කවියත් අගෙයි...

      ජය වේවා !!!

      Delete
  6. කාලය නොගිණිය හැකි පමණ දුරාතීතයක මේ මිහිමත පිරිමින් සහ ගැහැණුන් යනුවෙන් දෙකොටසක් නොවූහ.සෑම මිනිසකුම අර්ධයක් පිරිමි සහ අර්ධයක් ගැහැණු වූහ.ඔවුහු ඉතා ප්‍රීතියෙන් කල් ගතකල අතර බොහෝසේ ශක්තිසම්පන්න සහ නුවණැති ද වූහ. එසේ හෙයින් මතු යම් දිනෙක මිනිසුන් දෙවියන් ද පරදවතැයි බියපත්වූ දෙවිවරු එකතුව කතිකා කොට මිනිසුන්ගේ පිරිමි අර්ධය සහ ස්ත්‍රී අර්ධය වෙන් කළෝය.

    එතැන් පටන් පිරිමි අර්ධය තමන්ගෙන් වෙන් කෙරුණු ස්ත්‍රී අර්ධයද ස්ත්‍රී අර්ධය තමන්ගෙන් වෙන්කෙරුණු පිරිමි අර්ධයද සොයමින් මිහිමත හුදකලාව සැරිසරන්නෝය.මින් ඉතා සුළුතරයකට කලකට ඉහත තමන්ගෙන් වෙන්කෙරුණු ඉතිරි අර්ධය හමුවන්නාහ. ඔවුහු සැබවින්ම භාග්‍යවන්තයෝ වන්නාහ.

    -ග්‍රීක දර්ශනයෙහි "Soulmate" යන වදනට දී ඇති අර්ථ නිරූපණය ඇසුරිනි.

    PS - Amazing writing Pokuru....Congratulations...:)

    ReplyDelete
    Replies
    1. මේ ලස්සන කතාන්දරය මෙතන ලියා තැබුවාට බොහොම ස්තුතියි රවී...

      ඒ වගේම ඔබ වගේ වියත් ලියන්නෙකුගෙන් ලැබුන මේ ඇගයීම මට හුඟක් වටිනවා...

      Delete
  7. ජීවිතේම එකට ගැබ් වෙන සුන්දර සිතුවිලි....ලස්සනයි පොකුරු වැහි...එක හුස්මට කියෙව්වා මම

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි විසිරි...ඇගයීම දිරියක්...

      Delete
  8. හිතුවක්කාරයෝ කොහොමත් ආදරණීයයි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මල් මල්ලි...

      Delete
  9. ආදරණීය බව සැඟවෙන්නෙම ඔය හිතුවක්කාරකම ඇතුලෙමයි....

    ReplyDelete
    Replies
    1. එකඟයි...ඒ නිසා හිතුවක්කාරයෙකු වීම වඩා හොඳයි...

      Delete
  10. අපුරුයි මෙය. ආදරණීය පෙලගැස්මක්

    ReplyDelete