|
An Image showing the text "The End" |
හදවතෙහි ඇත්තේ විග්‍රහ කල නොහැකි බරකි...ඔහු නික්ම යාමට සැරසෙන බව මා කල් තියාම දැන හුනිමි... එහෙත් මරණ මංචකයේ සිටි ඔහුගේ සුව දුක් බැලීමට මා නොගියෙමි...සියලු වැදගත් ශරීර අවයවන් ඔහුව ප්‍රතික්ෂේප කරන විට, ඔහුටද ජීවත් වීමේ ආශාවක් නොතිබෙන්නට ඇත...ඒ නැතත්, ඔහුට කිසිදාක ජීවිත ආසාවක් තිබුන බවක්, ඔහුගේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් මට හැඟී නැත...
"නංගි, ඔයාට එයාව මතකේ තියන විදියටම හිතේ තියා ගන්න...දැන් ඉන්න විදියට දැක්කොත් හිතට අමාරු වෙයි"
මම ඒ අවවාදයට හිස නමා එකඟ වීමි...අඩි දහයක් දුරින් ඇති ජාතික රෝහලේ දැඩි සත්කාරයේ සිටි ඔහුව නොබලා ආපසු හැරී ආවෙමි...එහෙත් අද ඒ ගැන මා පසු තැවෙමි...ඔහු ගැන මතකයන් පීරමින් අවුරුදු දහ තුනක් ආපස්සට මම ඇවිද යමි...
ඒ දෙදහස් තුන වර්ෂයේ මැද භාගයයි...මා කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන විද්‍යාගාරයේ ඒ මේ අත ඇවිද ගිය කාලයයි...එකල මට ඔහු බොහෝ අද්භූත පුද්ගලයෙකු විය...
ඔහුට තිබුනේ බුරුසු රැවුලකි...ඉතා සිහින් මුදු සහිත කැරළි කොණ්ඩයකි...
"අඩුවෙන් කතා කරන්න...වැඩියෙන් අහන් ඉන්න...ඉහලම සේවකයාගේ ඉඳන් කම්කරුවා වෙනකල්ම එක වගේම මිනිස්සුන්ට ගරු කරන්න...පර්යේෂණ කරද්දී ඒක බොහොම වැදගත්...කෙනෙක්ගේ දෙයක් තව කෙනෙක් එක්ක කියන්නෙපා කවදාවත්ම"
තුන්කාලයටම වටිනා මේ උපදේශය මා එදවස ඉහලින්ම පිළිපැදීමි...විවිධාකාර වූ අමනුෂ්‍ය ගති පැවතුම් ඇති මිනිස් වර්ගයා සමඟ, දේශ දේශාන්තර වල ඔළුව බේරාගෙන ජීවත් වීමට මට අදටද මහෝපකාරී වෙන්නේ මේ ක්‍රමයයි...
මා ඔහුටද අනුගමනය කලේ ඒ පිළිවෙතමය...
අඩුවෙන් කතා කරන ඔහු, අසික්කිත වූද, එහෙත් පියකරු වූද ඒ සිනහව සමඟ බොහෝ විට දොඩමළු වන්නේ කට කැඩුණු කතාවකට පමණය...එසේ නැතහොත් වාමාංශික දේශපාලන කතිකාවකටය...අති බහුශ්‍රුත සාකච්ඡාවක් අවසානයේ, ඔහු සියල්ලෝම ඉච්චා භංගත්වයට පත් වන වචන කිහිපයක් මුමුණා මහ හඬින් සිනා වෙයි...
එකල විසි හතර වියැති මට, ඔහුව පෙනුනේ කිසි දෙයක් මායිම් නොකරන පුද්ගලයෙකු ලෙසය...හැඟීම් විරහිත මිනිසෙකු ලෙසය...එහෙයින්ම, එහි ගත කල පළමු වසර පුරාම මට ඔහු ප්‍රිය ජනක පුද්ගලයෙක් නොවුනි යැයි කිවහොත් වඩා නිවැරදිය...
එහෙත්, එහිදී ආචාර්ය උපාධියකට සම කල නොහැකි ජීවිත හැදෑරීමකට මට ඉඩ හසර ලැබිණි...මා වැඩිහිටියෙකු වූයේ, එකල මැදි විය ආසන්නයේ සිටි, විවිධාකාර ගති පැවතුම් ඇති, ඔවුහු ඇසුරේ කීම වඩාත් නිවැරදිය...කල් ගත වෙත්ම, ඔහු ඇතුළු සියල්ලන්ම වෙන් වෙන්ව කියවීමට මම හුරු වූයෙමි...
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල හයරාකියේ අඩුවක් නැත...රටේ සංස්කෘතික රාමුව නිමවී ඇත්තේ ඇස් බැල්මෙන් පවා ලිංගික උත්තේජනය ලබන මිනිසුන් සමූහයකිනි...එවන් වටපිටාවක, තරුණ යුවතියක්, වැඩිහිටි පිරිමි කාර්ය මණ්ඩලයක් සමඟ, රැයක් දවාලක් නොසලකා විද්‍යාත්මක පර්යේෂණ කිරීම යනු අතුරේ යෑමකි...මා අනුමාන කරන අන්දමට එවන් ගැටළු දියුණු රටවල පවා ඇත්තේය...
පසුගිය දිනක විශ්ව විද්‍යාල අචාර්ය වරයෙකු විසින්ම රචනා කර තිබූ ගීතයේ හරය එයට හොඳම නිදසුනකි...නොකී කතා බ්ලොගයේ ඒ ගැන අපූරු සටහනක්ද තබා තිබිණ...
පර්යේෂණ ආරම්භ කල පසු නිබන්ධනය ලියා අවසාන කිරීම හැර අනිකුත් විකල්පයක් නැත්තේමය...තාරුණ්‍යයේ අගනාම කාලය විද්‍යාගාරයකට සිර කර තබන්නේ, ජීවිතයේ ඉදිරි සැලසුම් සියල්ලේම පදනම එය මත තැබූවන්ය...නේක වර්ගයේ අඩම්, තේට්ටම්, හිත් රිදවීම්, මානසික පීඩා සියල්ල විඳ දරාගෙන මහා පරිමාණ කට්ටක් කා, ඒ සෙනසුරු ඒරාෂ්ටකය ගෙවා දැමිය යුතු බව, එහි වග තුග දන්නෝ, දනිති...
එහෙත් අපෙන් නික්ම ගිය ඔහු ඇතුලු, ඒ සියල්ලෝම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්වරු වූහ...එය මෙහි ලියා තබන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල, තවමත් එවැනි මහත්වරුන් සහ වන්දනීය වූ ආචාර්ය වරුන් සිටින බව ඔබ සැමගේම දැනගැනීම පිණිසය...
අනේක වූ පෘතග්ජන සිතුවිලි ඇත්තෙකු වූවද, ස්ත්‍රියකට ගරු කරන සම්ප්‍රදාය දන්නා මහත්මයකු වූ හෙයින් කල් ගත වත්ම මම ඔහුටද එලෙසින්ම ගරු කරන්නට පුරුදු වුනෙමි...මා අප්‍රිය යැයි සිතන ඔහුගේ සිතිවිලි පසෙක ලා, ඔහුගේ ඇති ගුණ කියවන්නට මම හුරු වීමි...
එහි ගත කල වසර හත පුරාවටම, මගේ පර්යේෂණ සඳහා දායක වීමට, කිසිදාක ඔහු අදිමදි කල වගක් මට සිහියට නගා ගත නොහැක...මදුරුවාගේ සිට වානරයා තෙක්ම සත්වයින් සමඟ හරඹ කල එම පර්යේෂණ වලදී, ඔහුගෙන් මම බොහෝ සියුම් දෑ උගත්තෙමි...
දුෂ්කර වූ පර්යේෂණ කටයුත්තක කොටසක් සඳහා කොළඹින් පිට යමුදැයි ඇසූ විට ඔහු මට බැහැයි කීවේ නැත...මම අදද ඒ වෙනුවෙන් ඔහුට ගෞරව කරමි...එතෙක් කලක් අප වෙනුවෙන් ඒ රාජකාරිය කල උදව් කරුවන්, එදා නොමැති වූ හේතුව මට අද පැහැදිලිව මතකයේ නොමැත...එහෙත් මා එදා හිතින් බොහෝ අසරණ වූ බවක් පමණක් මට මතක ඇත...
මා ආචාර්ය උපාධිය ලබා ගත්තද, ඔහුට ඒ වෙනුවට ලැබුනේ දීමනාවක් පමණි...එවන් දුෂ්කර කාර්යයන් ඔහුගේ රාජකාරි ලයිස්තුවේ නොතිබුන බවද මා හොඳින්ම දනිමි...එහෙත් ඔහු ඇතුළු කිසිදු සගයෙකු මා හට ආඩපාලි නොකීහ...කිසිදු අල්ලසක් නොඉල්ලූහ...කොරහේත් කිඹුල්ලු දකිනා, ගෞරවනීය රජයේ සේවකයින් වූ ඒ තාක්ෂණික නිලධාරි මහත්වරුන් සහ අනෙකුත් සේවකයින් සියලු දෙනාම මට එදා වචනයකින් හෝ හිත නොරිදවීම සම්බන්ධයෙන් අදටද මා ඔවුනට ණය ගැතිය...
ඒ අවසන් පර්යේෂණයේ ඉතාම තීරණාත්මක දවසක් විය...එදා මගේ සීයාගේ මෘත දේහය නිවසේ තැන්පත් කර තිබුණි...මා කතා කරගැනීමට පවා නොහැකිව අසනීප වී තිබුණි...ඒ සියල්ලම අතරේ මා විද්‍යාගාරයේ සිටිය යුතු විය...එදා රාත්‍රිය වෙන තෙක්ම ඔහු, ඔහුගේ රාජකාරිය කළේය...අසනීපයෙන් සිටි මා කලේ, ඔහු දුන් දත්ත සටහන් කර ගැනීම පමණි...එදා අනෙකුත් සගයෝද මගේ සහායට සිටි බව කිව යුතුමය...
මගේ ස්තුතිය වෙනදා මෙන්ම ඔහු නිහඬ සිනාවකින් මග හැරියේය...ඒ අප එකට කල අවසන් පර්යේෂණයයි...
පර්යේෂණ වලට ලැබුන සම්මාන සහතික වල පිටපත් ඔහුට ලබා දෙන විට ඔහු සමච්චලයෙන් සිනාසුනේය...ඔහුගේ හැටි එහෙමය...සම්මාන ගැන හෝ පර්යේෂණ ගැන ඔහුට වගක් නොවීය...සම හරක් ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ පර්යේෂණ වල ඇති පුස්ස, එකල මටත් වඩා හොඳින් දැන සිටි ඔහු, එසේ සිතීම අරුමයක් නොවේය...
ඔහු මැදි වයස පසු කරමින් සිටියදී, උන් හිටි ගමන් මධ්‍යම කඳුකරයෙන් බිරිඳක කැන්දාන ආවේය...ඇය සමාජය හා ගැටී නැති කුටුම්බ්ගත ස්ත්‍රියකි...නාගරික සමාජය තුල ඇගේ ක්‍රියාකාරිත්වය බොහෝ සීමා සහිත විය...වසර ගණනාවක් අවෑමෙන් වුව, එය අදද එසේම බව ඔහුගේ සගයෝ පවසති...
ඔහුගේ හුරතල් පුතු ඉපදුන දා අප සියල්ලෝම දරුවා බලන්නට ගියා මට මතකය...එහෙත් අප මිත්‍රයාගේ මුහුණේ නිරන්තරයෙන් ඇඳෙන සමච්චල් හිනාවට වඩා යමක් මට එදාද පෙනුනේ නැත...
මා නිබන්ධනය ලියන කාලයේදී ඔහු රෝගී වීම ඇරඹිණි...එක් වකුගඩුවක් අක්‍රියව තිබියදීද, ඔහුගේ සමච්චල් සිනහවේ කිසිදු අඩුවක් නොතිබිණි...හිතේ අමාරුව තිබුනේ රෝහලේ සිටි ඔහුට නොව, ලෙඩා බලන්නට ගිය අපටය...
කාලාන්තරයක් තිස්සේ වියළි කලාපයේ සේවය කොට එහිදී හටගත් මුත්‍රා ගල් වලට, ඔහු ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කර ඇත්තේ හිතු මනාපේටය...නියම කාලසටහනකින් තොරව ප්‍රතිජීවක පාවිච්චි කරන විට විෂබීජ ඒවාට එදිරි වෙයි...ඒ නැතහොත් ප්‍රතිරෝධී වීම ඇරඹේ...අප මිත්‍රයාගේ වකුගඩුව ආසාදනය වී තිබුනේ සියලුම ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය දක්වමිනි...එහෙයින් අවසානයේ ඒ වකුගඩුව ඉවත් කිරීමට තීරණය විය...
මා උපාධිය නිම කර, ලංකාව හැර ආවේ ඒ කතන්දරයේ මැද භාගයේදීය...
එහෙත් කිසිවක් මායිම් නොකරන ඔහු, අක්‍රිය වූ වකුගඩුව ඉවත් කර නොතිබිණි...
ඔහුව මට අවසන් වතාවට හමුවූයේ දෙදහස් පහළොව වර්ෂයේ මැද මා නිවාඩුවට ලංකාවට ගිය වතාවේදීය...කේක් කැබැල්ලක් කමින් ඔහු මට කිවූ කට කැඩිච්ච වචන දෙක තුන මට අද මතක නැත...එහෙත් එහි තිබුනේ සමච්චලය පමණක්ම බව මට ඉඳුරාම කිව හැක...
මෙදා පාර වට මේසයේ කේක් කන්නට ඔහු සිටියේ නැත...ඔහු අප අංශයෙන් වෙනත් අංශයකට මාරු වී ගොස්, එතැනින් නොනැවතී අවසන් ගමනට සැරසෙන බව පමණක් මට අසන්නට ලැබුනි...
"කොම්ප්ලිකෙෂන්ෂ් ගොඩයි...බ්‍රේන් ක්ලොට් එකක්...හිමොග්ලොබින් වැඩියි...හාර්ට් එකේ ඉජෙක්ෂන් ෆැක්ටර් එක 30% වගේ..."
අප කිසිදා නොදැන සිටි තරම් ඔහු සිගරට් පානය කල බවක්ද, අඩුවක් නොමැතිව මත්පැනින් සප්පායම් වූ බවක්ද ඔහුගේ සගයෙක් මට කියා සිටියේය...
"මට ඌව තේරුම් ගන්න බෑ...ඉස්සර සයිට් එකේ ඉන්න කාලේ අහල පහල ගෙවල් වල ළමයින්ට උන්නු හිටි ගමන් ටොෆි, චොකලට් ගිහින් දෙනවා"
එසේ කල ඔහුගේ දරු පැටව් දෙදෙනාගේ අනාගතය ගැන, ඔහුට නොහිතුනේ ඇයි?
"අපිට පුළුවන් දෙයක් කරමු...දැන් එයාට සිහි කල්පනාව මදි...හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කගෙන ගියා...අයි ඩී එක කරෙන් ගලවල දෙන්න වගේ හදනවා...සාක්කුවට අතදාල මොනවද ගන්න වගේ හදනවා, මාව දැක්කම..."
ඒ මා පසුගිය නත්තලේ, ලංකාවෙන් පිටව ඒමට පෙර ඔහුගේ තත්වයයි...එදා මට වේදනාවක් දැනුනේ ඔහු පිළිබඳව නොව, වගකීමකින් තොරව ඔහු මෙලොව අතරමං කර යන්නට තතනන දරු දෙදෙනා ගැනයි...
එකෙක් දෙන්නෙක් හැරුනකොට බොහෝ දෙනෙකුට ඔහු ගැන දුකක් නොතිබිණ...ජීවිතය ගැන වගකීමකින් ක්‍රියා නොකරන බහුතරයක් මිනිසුන් ගැන කිසිවෙක් දුක් වෙන්නේ නැත...
දෙදහස් දහසය අවුරුද්දේ, අවසාන දවසේ ඔහු නික්ම ගොස් තිබිණි...
අවුරුදු පනස් හතකින් ඔහු ජීවිතය විඳ අවසන් කළේය...අවුරුදු දහයක් වන් තම වැඩිමහල් පුතණුවන්ට ජීවිතය විඳවන්නට ඉතිරි කර ගියේය...හයක් හතරක් නොදන්නා පොඩි පුතණුවන්ට හුස්මක් ගන්නටවත් ඉතිරි නොකරම ඔහු යන්නට ගියේය...විශ්‍රාම වැටුප් නොමැතිව, අරමුදල් සියල්ලම ණය වලට හිලව් කර ඔහු බොහෝ සැනසිල්ලේ යන්නට ගියේය...
අවසානයට පහල වන චිත්තක්ෂණ කෝටියක් මැද ඔහුට සුපුරුදු සමච්චල් සිනහව ඔහුට කිසිසේත්ම අමතක නොවන්නට ඇත...
උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට බිහි කල යුතු නැත...අප යැපෙන්නන් බිහි කල පසු, අප කන බොන දෑ ගැන පවා වගකීමක් අපට ඇත...ඒ සඳහා මෙය කියවන ඔබ එකඟ වෙනවාදැයි නොදනිමි...එහෙත් හයක් හතරක් නොදන්නා දරු පැටවුන්ගේ භාරකාරීත්වය, වාසනාවට හෝ කාලයට පවරා අපට හිතුමතේ කා බී විනෝදෙන් සිටිය නොහැක...එසේ කල හැක්කේ ඔබ ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්නම් පමණි...
.........................................................................................................................................
මගේ ආදරණීය මිත්‍රයා...
මගේ වෘත්තිමය ගමන්මග තුල, ඔබ ඉටු කල රාජකාරිය, ඔබට බොහෝ සුළු වෙන්නට ඇත...විටක ඔබට මා පිස්සෙකු ලෙස පෙනෙන්නටද ඇත...
එහෙත් ඔබේ ශ්‍රම දායකත්වය නිසා මා අද සුවසේ වෙසෙමි...එදා විද්‍යාගාරයේ මෙලෝ හසරක් නොදැන, එහෙ මෙහේ ගිය කෙසඟ යුවතියට ජීවිතය ජය ගැනීමට, ඔබ දුන් දායකත්වය මිල කල නොහැක...එතැනින් පිටවූ මා වැනි බොහෝ දෙනෙකුට ඔබ එසේ කරන්නට ඇත...
ඔබ සතුව එදා තිබුණ විශේෂ ප්‍රාගුන්‍ය ගැන ඔබට හැඟීමක් නොතිබෙන්නට ඇත...කිසිවෙක් ඔබේ සේවය ඇගයීමට ලක් කලේද නැත...එහෙත් විදේශයකදී, ඒ විශේෂ ප්‍රාගුන්‍ය පැය දෙක තුනකදී ඩොලර් පන්සියකට අලවි වන බව ඔබ දැනගත්තා නම්, ඔබට තමන් ගැන යන්තමින් හෝ අගයක් දැනෙනු ඇත...
නැවත අප හමු නොවෙනු ඇත...එහෙත් ඔබ සුවිශේෂ මිනිසෙකු ලෙස මා හදවතේ රැඳෙනු ඇත...
ඔබට සුබ ගමන්...එහෙත්, ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...
........................................................................................................................................