Thursday, November 2, 2017

Fantasy vs Reality....යථාර්තයෙන් ඔබ්බට...


A couple in heaven-Image from the internet

Are you okay?

සියල්ල සිදුවී අවසානයේ ඇයට කෙටි පණිවුඩයක් ලැබින.

ඇය හුන්නේ ඉතා කලබල වූ නගරය මැද බොහෝ ඉවසිලිවන්ත වූ නිල් අහස දෙස බලාගෙනය. එහෙත් සිත තුල වූයේ අධිවේගී මාවතකි. එහි තැනක කැබලි වී ගිය කාරය තුල, ඇය අසීරුවෙන් අවසන් සුසුම් පොද පිට කරමින් උන්නාය. ඇයගේ ස්නායු හරහා සිදු වූ සියලු රසායනික ප්‍රතික්‍රියා නැවතී තිබිණි. මහා දවාලේ, හිරිගඩු පිපෙන සීතලක, ඉර වගක් නොමැතිව සිටින කල, ඒ කෙටි පණිවුඩය අසනි වැස්සක්  සේ දැනෙන  ෆැන්ටසියෙන් ඇය ඒ මොහොත වෙද්දී මිදී තිබිණ. ඇය කළු කුහරයක සැඟවූ ප්‍රේමය, මන්දාකිණියක, ඔහුගේ සඳ එළිය වැටෙන මානයේ නැවතත් තැබිය යුතු නැත.

අහස බොහෝ සේ විසල් බවත්, ඒ සාම හිස් බවත් ඇයට හැගිණි. තව නොබෝ දිනකින් උදාවෙන දින සියල්ලම ඒ තරමටම හිස් වනු ඇත.

ඇයට බොහෝ වෙහෙසකර බවක් දැනිණ. 

විසි අවුරුද්දකට වඩා දින පිරවූ එකම අරමුණ වුයේ සිය ආදරණීයයන්ගේ සතුට නොවේදැයි, ඇය තමාගෙන්ම ප්‍රශ්න කලාය. ඒ ගමන තුල, තමාගේ හැඟීම් කවරාකාරදැයි යම් තරමකින් හෝ තෝරා, බේරා ගැනීම‍ට ඇය නොනැවතුණු බව දන්නී ඇයම පමණකි. පිටත සිට බලන්නෙකුට ඇය, අපරාජිත, අරමුණු සපුරා ගත් ගැහැණියකි. එවන් ලොවක, තමා සතු සියලු ශක්තිය, අන් අය කෙරෙහි කැප කල බොහෝ වෙහෙසකර යුවතියකගේ, සැඟවුණු ප්‍රාර්ථනා තිබීම, මරණ දඬුවම ලැබිය හැකි වරදක් බව අද ඔප්පු වී හමාරය.

"Poor Sad Woman...She is ruining happiness of everyone else...looking for her own happiness..."

ඒ වචන ඇයගේ මොළයේද, හදවතේද සියුම් ම නහර විනිවිදිමින් තිබිණි. එයින් ඇති වූ කුඩා සිදුරු වලින් පිටවූ වේදනාව ඇයගේ හදවත අකර්මන්‍ය කිරීමට තරම් ප්‍රබලව නැගිණි.  

ඔහු ඇය දිනා ගැනීමේ තරඟය තුල, ඉතා අවදානම් අන්ත කරා යාම අරඹා බොහෝ කාලයක් ගත වුවද, ඔහුට අවැසි කුමක්දැයි ඔහුවත් නොදැන හුන්නා වෙන්නට පුළුවන. එසේත් නොමැති නම් ඔහු හුදෙක් සෙල්ලක්කාරයෙකු වන්නටද පුළුවන.

එහෙත්, ඔහු අසලදී ඇයට ආදරණීයම වූ ප්‍රේමයද, රැකවරණයද දැනෙනා තරමටම, ඔහු කුමක් හෝ එක්තරා අන්තයක් ප්‍රගුණ කල අයෙකු වග පමණක් ඇය නිහඬවම තීරණය කලාය. ජීවිතයේ ප්‍රථම වතාවට, ප්‍රේමයට අකුරු මදිවෙද්දී, බොහෝ විට ඔහු ගේ දෑ ස මත්තේ කාලය නැවතී තිබිණි.  

ඔහු දෑස් වලින් උණ්ඩ විසි කල අතර, ඇය ඒවායින් වෙඩි තබා ගත්තාය.

අප අරඹන සියලු වැකි අවසන් වන්නේ නැවතීමේ තිතකිනි. ඒ තිත ඉක්මනින් තැබීමට ඇය ආත්මාර්ථකාමී යැයි කියූ ඒ වචන පෙළ බොහෝ ඉවහල් වූ බව කිසිවෙකු දන්නේ නැත. 

ඇයද ඔහු තරමටම උමතු, හිතුවක්කාරියක වග, ඇයගේ සමු ගැනීමේ අවසන් කෙටි පණිවුඩය ලැබෙන තුරු ඔහු සිතන්නට නොමැත. 

තම හිතෛෂියන් වෙනුවෙන් වෙන් කල ගමනේ, මදකට නැවතී ඔහුට අසීමිත ලෙස ප්‍රේම කිරීමේ දඬුවම තීරණය කිරීම ඇය සතු අයිතියකි. 

ඇය හිමාලයාවේ උසම තැන් වෙත ජීවිතයේ සුක්කානම ගෙන ගියේ, ඇය වටා හුන් සියල්ලෝම සතුටින් තබන්නටය. බැඳීමට කිසිවක් නොතිබූ කල, ඇය ඒ ගමන සඳහා මෙහෙයවූ සුක්කානමට බොහෝ සේ බැඳී තිබිණි. අන් සියල්ලෝම ඇයගේ ආදරයෙන් සතුටු වෙද්දී, ඇය අජීවී, හැඟීම් දැනීම් නොමැති කාල සටහන් ලුහු බැඳ සැනසුනාය. රැයක්, දවාලක් වෙනසක් නැති ජීවිත කාල සටහනේ නිද්‍රාවෙන් ඇය අවදි වූයේ, ඔහු එන දාට අහසේ ඇඳුන විදුලි සැර වල තිගැස්මෙනි. 

ඒ කාල සටහන් සියල්ලම මතකයක් කර ඇය යන්නට යන බව ඇසීමෙන් පුදුම වූවා යැයි කියූ ඔහුගේ ස්නායු දත්ත කොයි යම් දැයි සිතන්නට ඇයට නිනව්වක් අද නැත.

Are you okay, please let me know that you are?

ඇය මළානික දුරකථන තිරයට හිස් බැල්මක් හෙලා, රියදුරු අසුන තුල ගුලි වූවාය. 

හිස ගසා හඬා වැලපෙන්නට අවැසි උරහිසේ අයිතිකරු, ඔබ හොඳින්දැයි, ඇයගෙන් අසයි.

Kill me...

එසේ නොකියා ඇය දුරකථනය ක්‍රියා විරහිත කලාය.

බොහෝ දුර සිට බැලූ කල ඉතා උස්ව නැගී ඇති කඳු මුදුන් සියල්ලම, අසීරුවෙන් නැග ගත්‍ කල, ඇත්තේ හාත්පස හිස් බවකි, තැනිතලාවකි, හුදකලාවකි. ඔබ නොදන්නා, නොදුටු කිසිවක්, ඒ මහා උස කඳු මුදුන් වල නැත. එහෙයින්  තැනිතලාවේ සුවෙන් ජීවත් වනු විනා අසීරුවෙන් කඳු මුඳුන් තරණය කිරීම, අනවරත වෙහෙසකි.

Do you love me ?

ඔහුගේ දෑස මත, අළු පැහැයෙන් දිලිසුන කුඩා මැණික් පලිඟු තුල ඇය එයට පිළිතුර කෙටූ වග, ඔහු නොදකිනු ඇත. 

ඒ අප කිසිවෙක් තමන්ගේ දෙඇස් වල ලියැවී ඇති දෑ මන්දැයි විශ්ලේෂණය නොකරන බැවිනි....



..........................................................................................................

ඇයගේ උකුල මත අළු වන් ඇස් ඇති, කුඩා සින්ඩරෙල්ලාවක නිදා වැටෙන්නීය. ඔහුගේ කැරලි හිස කෙස් ඇයගේ උරහිස මතය...

ඔහුගේ පය පාමුල කුඩා කෝච්චියක් සමඟ හරඹ කරන කොලු පැටියාද, ඔහු සේම හිතුවක්කාරයෙකි.

අවසාන තිත් තැබීම ඒ තරම් පහසු නම්, බොහෝ දෙනා ඒ තිත තමා ලඟම තබා ගනු ඇත.

ඇය එදා නික්ම ගොස් ජීවිතය සොයා ගියේ නැත. ඇයට උවමනා වූයේ සියලු රැහැන් බිඳ ලා තනි වන්නටය.  එසේ ගිය ගමනක ඔහුගේ දෑස කොළ එළියක් වී දැල්වෙද්දී, ඇයට රතු එළියේ නවතින්නට අමතක විය. ඇයගේ සියලු ඉන්ද්‍රියන් අවසඟ වෙද්දී, ඔහු සියලු ලේ නහර වල කිමිදී දැනෙන වේදනාව කොයි තරම් සියුම් දැයි ඇයට දැනුණි.

දින ගණන් ගෙවී යද්දී, ඇයට හුරු පුරුදු අකුණු සැරය ඇයගේ ඇඳ ඉහපත ඇඳෙනු ඇය බලා සිටියේ මලානික දෑසිනි. ඔහු ඇයගේ හදවත පුරා තැනින් ඇති කල සුව නොවූ පැලුම් වලට, ප්‍රේමය බහාලූයේ ඉතා මට සිලිටි ලෙසය.

විල් යූ මැරි මී....ඩූ යූ ලව් මී....

ඇය තබන්නට සිතු අවසාන තිතට, නොනවතින තිත් එක්‌ කල හිතුවක්කාරයාගේ හිස ඇයගේ උරතලය මත කඩා වැටී තිබුණි. 

ඇය ඔහු අවදිවන තුරු නොසෙල්වී දෑස පියා ඉන්නට තීරණය කලාය...

...................................................................................................................................................................


මේ කතන්දර දෙක තුලට ෆැන්ටසිය හෝ රියැලිටිය ආරෝපණය කිරීම ඔබ සතු වග කීමකි. වටිනාම දෙය වන්නේ සෑම ෆැන්ටසියක්ම, රියැලිටියක් කිරීමට උත්සාහ නොදැරීමයි. ඒ මන්ද යත්, රියැලිටියේ ඇත්තේ, ෆැන්ටසියට වඩා බොහෝ වෙනස් මනෝ භාවයන් බැවිණි.

............................................................................................................


මට ආදරේදැයි ආයෙමත් නාසන්න 
ඕනෙමද හේතුවක් ප්‍රේමයක් උපදින්න
අහඹු ඇස් බැල්මකට, ඕනෙ නෑ උප්පැන්න
අයිතියක් කුමකටද හෙවනැල්ලෙ හැප්පෙන්න...


උල්පතක් හිර කරන් දුක් විඳින කන්දකට
අකුණු සැර එව එවා සමච්චල් නොකරන්න
දරා ගන්නට බැරිව නාය ගියොතින් ඔන්න
මේ තරම් ආදරේ තිබුනිදැයි නාසන්න...


පුර හඳක් සැරසෙද්දි පෝරුවට ගොඩ වෙන්න
මියැදිච්ච තරුවකට නාඩන්න නොකියන්න
කළු කුහර තියෙන්නෙම හිතුනාම තනිවෙන්න
සඳ එළිය නොවැටෙන්න, ආයිමත් නොබලන්න....


.................................................................................
මට ආදරේදැයි ඉතින්, ආයෙමත් නාසන්න
................................................................................


WW!!!




4 comments:

  1. මෙන්න ආයෙත් ඇවිත්... සතුටුයි...මේ ඉතින් හිතට වෙඩි තියන අකුරු...කලින් කවිය කියවල තිබ්බත් ආයෙ අලුතින්ම කියෙව්වා වගේ හිත ගැස්සුනා

    ReplyDelete
  2. පුර හඳක් සැරසෙද්දි පෝරුවට ගොඩ වෙන්න
    මියැදිච්ච තරුවකට නාඩන්න නොකියන්න
    කළු කුහර තියෙන්නෙම හිතුනාම තනිවෙන්න
    සඳ එළිය නොවැටෙන්න, ආයිමත් නොබලන්න


    හිත ගැස්සි ගැස්සි කියවපු කතාවක්
    අපුරුම කවියක්

    ReplyDelete
  3. අපූරු කවිය...:)

    ReplyDelete