Sunday, November 12, 2017

මයි ෆ්‍රෙන්ඩ්...


A Driver Behind The Wheel-Image From The Internet


මට මතක විදියට නම් ඔහු රුසියානු සම්භවයක් ඇත්තෙක්...

නීමෝ කාටුන් චිත්‍රපටයේ ඩෝරි, ඇය වගේම මගෙත් කෙටි කාලීන මතකය අඩුයි ...

ඒ මිත්‍රශීලි රියදුරා මට ඔහුගේ උපන් රටේ නම පැවසුවත් මට දැන් එය අමතකයි...

"සුබ උදෑසනක්...ඔබ ස්පාඤ්ඤ ජාතිකයෙක්ද" ...මා කැබ් රථයට ගොඩ වුන ගමන්ම ඔහු ඇහුවේ එහෙම...

"ඔබටත් සුබ උදෑසනක්...නැහැ...මා ශ්‍රී ලාංකිකයෙක්..." මේ මිනිහටත් ඕනේ නැති දෙයක් නෑ...මා ඔහුට පිළිතුරු එක් කලේ නුරුස්නා හැඟීමෙන්...

එදා මගේ සාමාන්‍ය දින චරියාවෙන් බැහැර දවසක්...කාර්ය බහුල පැය වල අධිවේගී මාවතේ බැල්ටිමෝර්  වෙත රිය පැදවීම අතිශය වෙහෙසකර බැවින්, කැබ් රථ ඉතා සුදුසු විකල්පයක්...

ඒත් දැන්....මේ නාඳුනන රියදුරා අර අදින්නේ නම් ඉතා දිග කථාවකට...විනාඩි හතළිස්පහක්...මා ඔහුට කතා කරන්නට අනුබල දිය යුතුද ?..මා රහසේම  විමසුවේ මගේ හිතෙන්...

හ්ම්...ජීවිතේ අලුත් දෙයක් අහන්න ලැබේවි, ඒ හින්ද කතා කරපන්, ඒ මට සිතෙන් ලැබුන අණ...

ඔව් නාඳුනන රියදුරෙක්, අවධානයෙන් ඉඳින්...හිත තවත් හේතු කිව්වා...

ඊළඟට ඒ මිනිසාට මගේ සුපුරුදු සිනහව දුන්නේ අඩුවක් නැතුව...කොහොමත් අඩක් හිනාවෙන, ව්‍යාජ සිනහව මට පුරුදු දෙයක් නෙවේ...

ඇත්තටම ඔහු කථාව පටන් ගත් තැන මට ඒ හැටි මතකයක් නැති උනත්, ඔහු නොනැවතී ආමන්ත්‍රණය කලේ ජිවිතයේ යථාර්තයට...

ඒ නිසා මාත් ඉබේටම ඔහුගේ කතන්දරයේ කොටස් කරුවෙක් වුනා කිව්වොත් නිවැරදියි...

මයි ෆ්‍රෙන්ඩ්...මගේ මිතුරිය...

ඔහු මාව ඇමතුවේ එහෙමයි...

අපි මේ රටට ආවේ දෙදහස් දෙක වර්ෂයේ...මගේ දරුවෝ දෙන්නයි, මගේ බිරිඳයි...

ඒ එද්දී මට ඉංග්‍රීසි භාෂාව බිඳක්වත් බැහැ....

ඇත්තෙන්ම ඔහුගේ ඉංග්‍රීසි භාෂාව අදත් තිබුනේ බොහොම සාමාන්‍ය මට්ටමක...ඒ නිසාමද කොහේදෝ මා ඔහුගේ වාක්‍ය ඌණ පුරණය කරන හැම මොහොතකම ඔහු මට ස්තුති කළා...නමුත් මේ රට තුල ඉංග්‍රීසි භාෂාව නොදැනීම කිසිවෙකුට ගැටළුවක් නොවෙයි...එය ගැටළුවක් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලින් එන සුදු රුධිරාණු අධික කළු සුද්දන්නට බව මා අත්‍ දැකීමෙන් දන්නා දෙයක්...

"දිස් ඉස් පොළොස්" වැනි යමක් මෙහි වෙළද සැලකදී ඇසුනහොත් ඔබ කිසි සේත්ම පුදුම නොවිය යුතු කරුණක්...ඒ තමන්ගේ ඉන්ගිරිසියේ  දිග පළල පෙන්වන හෙළයෙක් විය හැකියි...

සමාවෙන්න, අපි යලිත් අපේ මිත්‍රයාගේ කතාවට සවන් දෙමු...

"ජීවිතය පහසු වුනේ නැහැ, මගේ මිතුරිය"

"භාෂාව නොහැකි වුවත් මා රැකියාවල් ගණනාවක් කළා, මගේ පළමු වැටුප පැයට ඩොලර් හයයි"



"මේ රටේදී නිතරම ඔබට තෝරාගන්න අවස්ථා ලැබෙනවා, ඔබට දියුණු වෙන්නත් පුළුවන්, නැතිනම් විනාශ වෙන්නත් පුළුවන්"


"මගේ මිතුරිය, මිනිසුන් හරි පුදුමයි, ඔවුන් ජීවත් වෙන්නේ පඩි පත මත්තේමයි, ඉතුරුම් නැහැ, සුළු රැකියාවක් සොයා ගත ගමන් ඔවුන් කරන්නේ අලුත්ම වාහනයක් හෝ ගෙයක් මිලදී ගන්නෙක, ඉන් පසුව ජීවිතේම දුකින්..."

ඔහු පවසන මේ සියලු කරුණු සත්‍ය බව මා කියන්නේ වගකීමෙන්... 

ඉතාම මෑතකදී ග්‍රීන් කාඩ් ලොතරැයි හරහා සංක්‍රමණය වූ ලංකික පවුලක්, නිවාස කුලිය හෝ ගෙවා ගැනීමට හැකියාවක් නොමැති වුවත්, නවතම රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගත්තා යැයි උදම් ඇනූ බව මට පැවසුවේ මගේ මිතුරියක්...

මෙවන් දේශයක ජීවිතයට සවිමත් අත්තිවාරමක් ගොඩ නගා ගැනීම, අතිශය නුවණක්කාර ලෙස කල යුතු බුද්ධිමය මෙහෙයුමක්...සෑම පඩි පතකින්ම සියයට තිහක පමණ බදු ගෙවා, කොටසක් නිවාස කුලී හෝ නිවාස ණයද, සෞඛ්‍ය, නිවාස, වාහන එකී නොකී සියලු රක්ෂණ ආවරණද, ඒ ආවරණ වලින් ආවරණය නොවන ඒ සියලුම සේවා සඳහා අය වන වියදම්ද, සියලුම පාරිභෝගික හා වෙළද සේවා වලට බදුද, දරුවාගේ දිවා සුරැකුමට හෝ පාසලෙන් පසු රඳවා ගැනීමට වැය වන මුදල්ද, ඔවුන්ගේ සියලු උසස් අධ්‍යාපන වියදම්ද..............මේ එයින් සුළු විස්තරයක්...

සියල්ල නොමිලේ ලැබෙන දේශයක ජීවත් වන ඔබට, ජීවිතය උගන්නට නම් මෙය පාසැලක්...ඔබේ වැඩිහිටි දෙමාපියන් දරුවන් රැක බලා ගනිද්දී, රජයෙන් ඔබේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේ...අපේ දරුවෝ තාවකාලික රැකියා යන සංකල්පයක් ගැන වද විය යුතුත් නැහැ...ඔවුන් වද වෙන්නේ නොමිලේ ලැබෙන දේ, තවත් වැඩියෙන් ලබා ගන්නා හැටියක් ගැන...

"මගේ මිතුරිය, මට වුවමනා වුනා ඇමෙරිකානු දරුවෙක් හදන්න.. මට මෙහෙදී ඉපදුනා පුතෙක්...ඔහු දැන්  පළමු උපාධිය හදාරන වයසේ...ඔහුට පහසුවක් ලෙසයි මා මේ අමතර රැකියාව කරන්නේ, ඔහුගේ අධ්‍යාපනයට උදව්වක් වෙන්න..."

මගේ රියදුරු මිතුරාගේද බුද්ධිය පරයා, පිතෘ ප්‍රේමය අන්ධව නැගී ගොස් බව මට හැඟුනේ ඒ මොහොතේදී...එහෙත් මා කලේ ඔහුට දොඩමලු වන්නට ඉඩ දීම...

"මට නිවාස දෙකක් තිබෙනවා...මගේ වැඩිමහළු පුතාට අවුරුදු තිහක් පමණ...ඔහුගේ විවාහයට පෙර මා ඩොලර් තිස්දහසක මූලික අගයක් ගෙවා, ඉතිරිය නිවාස ණයක් ලෙස ඔහුට නිවසක් මිලදී ගත්තා..."

"මගේ මිතුරිය, ඔහු මගේ හිත රිද්දාපු තරම...එය අදටත් මගේ පපුවට පිහියෙන් අනින්නා වාගෙයි...නිවාසය මිලදී ගත්‍ පසු මා ඔහුට කිව්වා ණය ගෙවාගෙන යන ලෙස...ඔබ දන්නවාද මගේ මිතුරිය ඔහු මට පැවැසූ දේ..." 

"තාත්තා, ඔබ ඔය කළා වාගේම රැකියා කිහිපයක් කරමින් මා වෙනුවෙන් ඔය ණය මුදල ගෙවා දමන්න...මා ඔබෙන් නිවාසයක් ඉල්ලුවේත් නැහැ..." 

"ඒ තමයි ඔහු මට පැවසූ දෙය...මා නිවාසය මිලදී ගත්තේ මගේ නමින්...ඔහු ගෙව්වේ වාරික දෙක තුනයි...මටත් නොදන්වා ඔහු එක් වාරිකයක් ගෙවීම පැහැර හැරියා...අවසානයේ එය බලපෑවේ මගේ ණය අගයට..."

මේ රටේදී,  ණය අගය හෙවත් ක්‍රෙඩිට් ස්කෝර් ඉතා ඉහල අගයක පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්...දීර්ඝ කාලීන, විශ්වාසදායී ණය පත් හිමියෙකු වීම එහි මූලික කරුණක්...එලෙසම, තමන් ලබා ගන්නා සියලුම ණය සහ බිල්පත් ගණුදෙනු නිසි කලට පියවීමත් අනිවාර්යයි....වාහන සහ නිවාස මිලදී ගැනීමේදීත්, කුලී පදනමට නිවාස ලබා ගැනීමේදීත්, ඔබගේ මුල් මුදල සහ පොළිය තීරණය කරන්නේ මෙම අගය මගින්...

ජීවිතය කෙතරම් සුක්ෂම ලෙස හැසිරවිය යුතුද යන්න ඇත්තෙන්ම මා උගත්තේ අමෙරිකාවේදී...


"මගේ මිතුරිය...මේ අලුත් පරම්පරාවේ දරුවන්...ඔවුන්ට විනයක් නැහැ...වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ...ඒ වගේම ඔවුන්ට මානුෂීය හැඟීම් නැහැ...සියල්ලම මුදල් පමණයි..."

"ඔවුන් විවාහ වන්නේ රැකියාව, තත්වය සහ මුදල් පදනම් කරගෙන...ඔබේ ගුණවත් කම, සෙනෙහස, සුන්දරත්වය...මේ කිසිවක් ඔවුනට වැදගත් නැහැ..."

"ඔබ දන්නවාද...මගේ වැඩිමහල් පුතා දැන් විවාහකයි... විවාහයට කලින්, ඔහුගේ මනාලියත්, ඇයගේ දෙමාපියනුත් අපගේ නිවසට ආවා...ඔබ පුදුම වෙයි, ඔවුන් මගෙන් ඇසුවේ, මා ඔවුන්ගේ විවාහයට වෙන් කරන මුදලේ ප්‍රමාණය ගැන...මා එවෙලේම එතැනින් ඉවත් වුනා...මගේ බිරිඳ ඔවුන්ට මුදල් දුන්නා...මා අදටත් දන්නේ නැහැ ඒ කොපමණක්ද කියා...ඒ වෙද්දී ඔහුට මා නිවාසය මිලදී ගෙන හමාරයි...ඔවුන් දෙදෙනාම ඉතා හොඳ රැකියාවන් කරන උදවිය..."

"ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තු වන සාදය පසු ගිය සතියේ මහා ඉහලින් සැමරුවා...ඉතා විශාල පෙට්ටියකින් නිල් පැහැ බැලුම් මතු වුනා....ඒ තමයි ඔවුන්ගේ පුදුම කරවීම...සියල්ලන්ම ප්‍රීති ඝෝෂා කලා...මා දන්නවා, මගේ බිරිඳ, ඔවුන්ට මුදල් දෙන්නට ඇති..."

ඔහුගේ කටහඩේ තිබුනේ වෙහෙසට පත් වූ මිනිසෙකුගේ, කලකිරීමක්...

"එහෙත් ඔබලා දැන් ඉතුරුම් වැඩි කල යුතුයි නේද...නැතහොත්, ඔබ දෙදෙනාටම වෙන්නේ පිහිටක් නොමැතිව අසරණ වන්නට "

මා ඒ අදහස මතු කලේ, හිත පත්ලේ මේ දිරිය මිනිසා වෙවුවෙන් උපන් සානුකම්පිත හැඟීමෙන්....

"ස්තුතියි මගේ මිතුරිය...ඔබ එය තේරුම් ගත්තාට..."

"මිනිසුන් නම් කියන්නේ මා වාසනාවන්ත බව...ඔබ දන්නවාද, මා අදත් අවදි වූයේ උදෑසන හතරට...මා රාත්‍රී වනතෙක් නොනවත්වා වැඩ කරනවා...මා කලිනුත් කිව්වා වාගේ තීරණය අප සතුයි..."

ඔහු තවත් එක් දිරිය මිනිසෙක්...ආදරණීය සැමියෙක්...වගකීම් ඉටු කල පියෙක්...ඔහුගේ දරුවන්, තව දුරටත් ඔහුගේ පිහිට පැතිය යුතුද....

මේ කියවන ඔබත් එවන් දරුවෙක්ද...නිදහසේ සිතා බලන්න...ඔබගේ හිතිවිලි කිසිවෙකුට නොපෙනෙන වග මා ඔබට සහතික වෙන්නම්....

.........................................................................................................................................................

මේ කතාන්දරයේ වැනි දරුවන් ඔබත් උස් මහත් කර ඇත්නම්, මම එහි වරද පටවන්නේ දෙමාපියන් වූ ඔබටය...ආදරය, සෙනෙහස ලබා දීම යනු දරුවන්ගේ සේවකයන් වීම නොවන වග මාගේ මතයයි...දෙමාපියන් වන ඔබගේ ජීවිතයේ සෑම තත්පරයක්ම වෙහෙසකර බව දරුවන්ට ඒත්තු ගැන්වීමේ කලාව ඔබ ප්‍රගුණ කල යුතු දෙයකි...එහිදී, ඔබ සමග දුක, සතුට සියල්ල විඳ දරා ගැනීමට දරුවන් උගත යුතුය...ස්වාධීන මිනිසෙකු ලෙස හිස ඔසවාගෙන් දෙපයින් ගමන් කිරීම, දෙමාපියන්ගේ මුදලින් ලැබූ සුඛෝපභෝගී වාහනයක් පැදවීමට වඩා අභිමානයක් බව සිතීමට තරම් ඒ දරුවාට ආත්ම විශ්වාසයක් ඇති විය යුතුය...

ලෝකයට බරක් වන, මානුෂිය හැඟීම් නොමැති දරුවන් බිහි කරන්නේ ඔබේ සැලසුමකින් තොරවූ ආදරයම මිස අන් යමක් නොවන්නේය...දරුවාගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමේදී ඔබට සීමාවන් තිබිය යුතුය...

ඇමෙරිකාවේ උසස් පවුල් වල දරුවන් තාවකාලික රැකියා නොකරන බව සිතන ශ්‍රී ලාංකික පියෙක් සිය දියණියව රැකියාවට නොයැවීමට තීරණය කල බව මම පසු ගිය දිනෙක ඇසුවෙමි...ඔහු රැකියාවන් කිහිපයක් කරන මගේ රියදුරු මිත්‍රයා වැන්නෙකි...ඔහුගේ තරුණ දියණිය, සුළු රැකියා ඉතා පහත් කොට සලකමින්, තමාගේ පියාගේ ණය පතින් උසස් අධ්‍යාපනයට වියදම් කරයි...ඔවුන්ගේ ජීවිත කොහේ නවතීදැයි මම නොදනිමි...එහෙත් බොහෝ තරුණ ඇමෙරිකානු දරුවන් දෙමාපියන් මත යැපීම යනු කුමක්දැයි නොදන්නා බව පමණක් මම පැහැදිලිව දනිමි...

දාරක ප්‍රේමය යනු දරුවන්ගේ සේවකයන් වීමද නැතහොත් ඔවුන්ගේ ආදරණීය සහ වඩාත් විශ්වාසදායී මාර්ගපදේශකයා වීමද යන්න තීරණය කිරීම ඔබ සතුය... 




WW



16 comments:

  1. කෙටියෙන් පිළිතුරු සැපයිය නොහැකි කාරණයකි. සුසුමක් පමණක් පිටවිය. දරුවන් සේම දෙමවුපියන්ද එකිනෙකාට වගකිව යුතුය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ලිඛිතා...එකඟයි ඔබ සමග..

      Delete
  2. තිත් පේලීයට උඩින් තියෙන දේ කිය්වද්දි මට කමෙන්ට් කරන්න හිතුණු දේට සමාන දේවල් ඔබ විසින්ම පසුවදනෙ ලියලා.

    //මගේ මිතුරිය, මිනිසුන් හරි පුදුමයි, ඔවුන් ජීවත් වෙන්නේ පඩි පත මත්තේමයි, ඉතුරුම් නැහැ, සුළු රැකියාවක් සොයා ගත ගමන් ඔවුන් කරන්නේ අලුත්ම වාහනයක් හෝ ගෙයක් මිලදී ගන්නෙක, ඉන් පසුව ජීවිතේම දුකින්...// ඇත්තටම රියදුරත් මේ ගොඩේ, ඊට වැරදි වෙන්නෙ ඔහුන්ම මිස වෙන කවරෙක්ද

    ReplyDelete
    Replies
    1. ඔව් බහුතරය මිනිස්සු ඔය රැල්ලේ තමයි ඔරුව පදින්නේ...ස්තුතියි රස්ති..

      Delete
  3. හරිම සෝචනීයයි.... දෙපැත්තෙම වැරදි තියෙනවා දෙගොල්ලොම වගකිවයුතුයි

    ReplyDelete
    Replies
    1. ඔව් නගා...මේක ගොඩක් ගැඹුරෙන් හිතන්න ඕනේ දෙයක්...ගොඩක් ස්තුතියි...

      Delete
  4. මොනවා කියන්නද කියලා කියලා කල්පනා කළේ එහි සාධනීය ලෙස දක්වන්න කිසිම අදහසක් නෑ හැමදේම යාන්ත්‍රීකරණය වෙනකොට යනකොට ඔහොම වෙනව

    ReplyDelete
    Replies
    1. යාන්ත්‍රිකරණය විතරක්ම නෙවේ මහේෂ්, සමහර වෙලාවට අසීමාන්තික බැඳීම් නිසා, ආදරය නිසා, මිනිස්සු විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කරන්නේ නැහැ...

      Delete
  5. හ්ම්ම්ම්... දිගු සුසුමක් ඉතුරු කල කතාවක්.. ස්තුතියි!

    ReplyDelete
  6. දුක හිතුනා... දරුවන් සිතන්නට ඕනා තමන්ට ත් ඔය දේම විය හැකි බව...

    ReplyDelete
    Replies
    1. දරුවෝ දෙමාපියන්ගේ සපත්තුවට බහිනකොට බොහොම ප්‍රමාදයි...බොහොම ස්තුතියි අරු...

      Delete