Saturday, March 18, 2017

අයි වොන්න හග් යූ...




A  couple hugging each other 



ඇතුල් වීමේ දොරටුව වසන්නට ආසන්නය...

සමාවෙන්න...මා හිඳින්නේ ගුවන් තොටුපොළකය...හොඳින් උණුසුම් වූ හදවතක් ඇති මිනිසෙකුට එකවර හඬන්නටත්, හිනැහෙන්නටත් හැකි තැනක් ඇත්නම් ඒ මෙතැනය...



මා යා යුතු තැනද, කල යුතු දෑද, දෛවය විසින් කල් තබාම තීරණය කොට තිබිණ...එහෙත් මට කිසිදු අරමුණක් නැත...



මගේ ජීවිතයද නිශ්චිත ධාවන පථයකට ඇතුළු වූ ගුවන් යානයක් වැනිය...සියලු දත්ත බහා ඇති මොළය හදවත සමඟ ඇති සබඳතා සියල්ලම නවතා දමා, ස්වයංක්‍රිය ධාවනයක යෙදෙයි...



එය වෙනස් වන්නට නම්, ඇගේ දෑසෙහි ඇති සෞන්දර්යය, මගේ හදවත මත පින්තාරු කල යුතුය...





එහෙත් මා හදවත සන්තකව තුබූ සියලු වර්ණද, පින්සල් ද, කඩදාසි කොළද, දැන් අයිති ඇයටය...ඇය ඒවා සොරා ගත්තාද, නැතහොත් මා ඒවා රැගෙන යන ලෙස ඇයට පෙරැත්ත කළාදැයි, මට නිශ්චිතවම කිව නොහැක...


මම දෑස් පියා ගන්නෙමි...



ගුවන් යානා අසුනට උඩින් ඇති වා කවුළුව වසන්නැයි ඈ මගෙන් ඉල්ලා සිටින්නීය...ඉන් පසු, ඈ මගේ වම් උරතලය මත ඇගේ සීතල කම්මුලක් රඳවන්නීය...මගේ වමත ගෙන, ඇගේ දකුණතේ ඇඟිලි කරු තුල රඳවා ගන්නීය...ඒ අතැඟිලි බොහෝ සීතලය...එදා සේමය...ඇයට කථා කරන්නට වුවමනා නැත...එහෙත් ඇය මා දෙස හොරැහින් බලන බව මම දනිමි...ඇයට හාදුවක් වුවමනා වී ඇත...


ඔබට සිහිනයක් කෙතරම් චමත්කාරජනකදැයි අනුමාන කරන්නට හැකිදැයි මා නොදනිමි...විශ්වීය තරු සියල්ලම පෑයූ අහසද, නොනැවතී කඩා හැලෙන නයගරාවද, ශ්‍රී පාදයේ ඉර සේවයද, සිය මවගේ තනයේ එල්ලී සිටින පොඩිත්තෙකුගේ අහංකාර බැල්මද, ඒ අමන්දානන්දයේ කුඩාම ඒකකයට සම කල හැකි බව පමණක් කියමි...

සිහින එසේය...එය මනෝවිද්‍යාවේදී ඔබ කෙසේ වර්කගීරණය කලද, සිහින යනු ලොව ඇති මිල අධිකම මත් පැන් වර්ගය බව දන්නේ, එයට ඇබ්බැහි වූවන් පමණි...

ඇය මට හමු වන්නේ එක්තරා අඳුරු කොරිඩෝරයකදීය...එක සෙවනැල්ලක අවෑමෙන්, එදා මට නොපෙනී ගිය ඇගේ දෑස නැවත මා දකින්නේ, ඒ කොරිඩෝරයෙන් අවසන් වන හුරුබුහුටි කාර්යාල කාමරය තුලය...

ඇයට තිබුනේ අඳුරු වීදියක දැල්වෙන, එකම පහන් කණුවක් වන් වූ දෑසකි...විටෙක ඒ තුල මල් සොයා යන සමනලුන්ද, සිහිනයෙන් අවදි වූ නිදි කුමාරියන්ද බහුල විය...තව බොහෝ විටෙක තොරතෝංචියක් නැතිව කියවන කුඩා දැරියක්, ඒ දෑස් තුල ඉබා ගාතේ යනු මම අනන්ත දැක ඇත්තෙමි...

"අකාශ් පොඩි ඇක්සිඩන්ට් එකක් කරගෙනනේ...තියෙන හදිස්සිය...කොච්චර කිව්වත් අහන්නේ නැහැ"

අපි මුණ ගැසී දෙදිනකට පමණ පසු හදිසියේම මා සොයා පැමිණි ඈ දුක්මුසුව කීවාය...

ආකාශ් කවුදැයි මා ඇගෙන් ඇසුවේ නැත...මට අසන්නට අයිතියක් තිබුනේද නැත...එහෙත් එදා මෙදා තුර නොවෙනස්ව දැනෙන, නිධන් ගත හදවතේ දැවිල්ල ඇරඹුනේ එදාය...

එතැන් පටන් අප දිවා ආහාරය ගත්තේද, බොහෝ විට කාලය ගත කලේද එකටය...

ඈ ඇහැකි සෑම විටකම මගේ සුසුමක් වැදෙන දුරින් හිඳින්නට යත්න දරුවාය...වරෙක සෙමින් පැමිණ, ඈ මගේ උරතලය මත ඒ සීතල අතැඟිලි තැබුවාය...

ඇයගේ සෙවනැල්ල ප්‍රමාද වන දාකට, මගේ හදවත බොහෝ සේ හිස් බව මට දැනුන වාර අනන්තය...

ඈ නොපැමිණි සෑම දවසකම, මා විසින් සොයා ගත් අඳුරු මුල්ලකට වී, දිනපොතක පිටු පුරා මම ඇය ගැන ලියා තැබුවෙමි...

"අපි දෙන්න ආදරේ කරනවා...ඒක මං දන්නවා...ඒත් එයා මට තවම ඒක කියල නැහැනේ..."

ඇය එසේ කියූ සෑම වතාවකම මම ඇයව අස්වැසුවෙමි...නිසි කලට ඔහුගේ ප්‍රේමය ඇයට පවසනු ඇති බව කීවෙමි...

"අයි වොන්න හග් යූ"

එදා ඇය එසේ කියූ විට මම දෙපාරක් නොසිතාම ඇයව තදින් වැළඳගතිමි...ඒ ඉතා කෙටි වූද, දැඩි වූද, චුම්බ්නයේ ගැබ්ව තුබුනේ අප්‍රකාශිත ප්‍රේමයක ගැඹුරය...වේදනාවය...කඳුළුය...එහෙත් ඒ කිසිවක් ඇගේ නොව මගේය... 

මම ඇය කල කී දෑ කිසිවක් විශ්ලේෂණය නොකරමි...ප්‍රේමය ඇත්තේ සොය සොයා ලතැවීමට නොව, රිසි සේ බෙදා දීමට බව මම අදහමි...

ඔහු නිසි කලට පැමිණ ඇයව නිද්‍රාවෙන් අවදි වන හාදුව දුන් කල, ඇය මා අපේක්ෂා කල ලෙසටම අවදි වූවාය...මම එතැන් සිට සිසිර තාරක නින්දට වැටුනෙමි...

මගේම සොහොන් ගැබ තුල පණ පිටින් මිහිදන් කල විටෙක දැනෙන අප්‍රමාණ වූ වේදනාවක් මට එදා දැනින...

අද මගේ හදවත ප්‍රේතයින් පවා අත්හැර දැමූ සොහොනකි...තවෙකෙකුට ඇලී, ගැලී විඳින්නට තරම් සෞන්දර්යයක් එහි නැත...සොහොනක් මතින් සත් මහල් ප්‍රාසාදයක් ඉදි කල පසු, බොහෝ පෘතග්ජන සිත් ඇත්තෝ එහි පොළොව කැණ පතුල හාරන්නේ නැත...

ප්‍රේමය මනෝ ව්‍යාධියක් බව නොකියන්න...

එහෙත් ඉඳහිටක දරා ගත නොහැකි තනිකමක් දැනුන විටක, ඇය, ඔහු ගැන හෝ කියවමින්, මා ලඟින් සිටියා නම් යෙහෙකැයි සිතෙන වාර අප්‍රමාණය...


එවන් මොහොතක ප්‍රේමය නම් විඳවීම පමණක්ම වෙයි...මම එය පරිත්‍යාගය යැයි සිතා සැනසෙමි...

......................................................................................................................

රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන

මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට දිනපොතක්
...............................................................................

ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ

ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට

රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්
.......................................................................................................................

සියලු රසික ජනතාවගෙන් සමාව අයදිනවා කවිය නැවත පල කල එක ගැන...කමී ඔබේ අදහසට ස්තුතියි...ඔබ කියූ වචනය වෙනස් කලා...

WW

Thursday, March 16, 2017

ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්...



රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන

මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට ඩයරියක්

...............................................................................
ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ

ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට

රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්


WW


Sunday, March 5, 2017

සියායාවේ තුන් දවසක්...

අයි විශ් දැට් වී ඕල් කැන් ගෝ දෙයා...දෙන් යූ විල් අන්ඩස්ටෑන්ඩ් ද ඉම්පොර්ටන්ස් ඔෆ්  මේකින් ඇන් ඉෆෙක්ටිව් මලේරියා  වැක්සින්...(අපි සියලු දෙනාටම එහි යා හැකි නම්...එවිට ඔබට වැටහේවි සාර්ථක මැලේරියා එන්නතක ඇති වටිනාකම)

ටොම් ගේ හඬ තිරසාරය...එහෙත් බොහෝ හැඟුම්බරය...ඔහු මට හමුවූ අතිශය මානව දයාවෙන් පිරි සුළුතරයක් මිනිසුන්ගෙන් කෙනෙකි...වෛද්‍ය නිලධාරියෙක්, විද්‍යාඥයෙක් සහ විශ්‍රාමික උසස් හමුදා නිලධාරියෙක් වශයෙන් වසර ගණනාවක පළපුරුද්ද ඇති, ඔහුගේ එකම අරමුණ මානව සංහතියට යහපතක් කිරීම බව මම ඉඳුරාම දනිමි...

එහෙයින්, අප ආයතනයේ යොවුන් පර්යේෂණ සහායකයින්ට, මෙවන් කතා වලින් උකහා ගත යුතු බොහෝ දෑ ඇත...ඇමෙරිකාවේ වාසය කරන ඔවුහු ගෙවන්නේ අතිශය සුඛෝපභෝගී ජීවිත වෙති...සෞඛ්‍ය හෝ ආහාර පාන හෝ නිවාස ගැන ගැඹුරින් සිතා බලන්නට තරම් ගැටළු ඔවුනට නැත...

දෝස් චිල්රන්...දේ හෑව් ඕල් කයින්ඩ්ස් ඔෆ් හෙල්ත් ප්‍රොබ්ලම්ස්...මැලේරියා ඉස් ද ටොප්...(ඒ පොඩි දරුවෝ...ඔවුන්ට නේක විධ සෞඛ්‍ය ගැටළු තියනවා...මැලේරියාව තමයි ඉහලින්ම තියෙන්නේ)...

එසේ කියනා ඔහු, ඩිජිටල් තිරය මත ඒ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු වට්ටෝරුව දිග හරියි...මැලේරියාව, ආහාර ජීර්ණ පද්ධතිය ඇසුරු කොට ගෙන ඇති විවිධ පණු රෝග, නිව්මෝනියා තත්වයන්, රුමැටික උණ මුල් කරගෙන හට ගන්නා හෘද කපාට රෝග, ක්ෂය රෝගය, ඒඩ්ස්...මා ඉදිරියේ තුබූ තිරය බොඳවී යාමට ආසන්නය...

මම ඔවුන් සියැසින් දුටුවෙමි...ඒ මින් දෙසතියකට පමණ පෙරය...

ඔවුන් සිටියේ දුහුවිලි සහිත රෝහල් සිමෙන්තියේ පෙරලෙමිනි...සමහරු මව් ඇකයේ උණුසුමට ගුලි වී සිටියහ...එහි මාස පහේ සිට මාස එකොළහ තෙක් කුඩා දරුවෝ වූහ...ඔවුන්ගේ සම කළු පැහැතිය...කළු කිව්වාට දැලි අඟුරුය...

ඔවුන්ගේ කැරලි කොණ්ඩය, තනි මුදු ස්ථරයක් වන තෙක් කපා තිබිණ...එහෙයින්, පිරිමි හෝ ගැහැණු බව සෙවීම උගහටය....අපේ දරුවෝ මෙන්, ඔවුහු කෑ ගසා නොහැඬුහ...දණ ගාන වයසේ සිටි දරුවෝ, සෙල්ලම් බඩු යැයි කිව හැකි ප්ලාස්ටික් කැබලි අත ගාමින් සිනාසුනහ...

ඔවුන්ගේ මවුවරුද බොහෝ කෙසඟය...කට්ට කළුය...කොණ්ඩයද පොඩි වුන්ගේ හැඩයමය...කිසිම හැඩක් නැති ගවුම් කඩමාල්ලක් ඇඟ දවටා සිටි හෙයින්, උන් ගැහැණුන් වග හඳුනා ගත හැකි විය...

කළුවන් නොවූ සම සහිත සියල්ලෝම, ඇමෙරිකානුවෝ බව ඔවුන් සිතන වග පෙනිණ...ඔවුන්ගෙන් සමහරෙක් මා සමඟ ඉතා පියකරු ලෙස සිනාසුනහ...

මා ඒ දුටුවේ, අපගේ දෙවැනි සායනික පරීක්ෂණ මට්ටමේ පවතින මැලේරියා එන්නත ලබා ගැනීමට පැමිණි දරු පැටවුන්ය...

මේ ඔබ කියවන්නේ බටහිර කෙන්යාවේ, සියායා ප්‍රාන්තයේ ඇති රෝහලක විස්තරයයි...ටොම්ට අනුව එය කෙන්යාවේ හතරවැනි මට්ටමේ රෝහලක් හෙවත් දිස්ත්‍රික්ක රෝහලකි...එය කෙන්යා වෛද්‍ය පර්යේෂණ ආයතනය හා අනුබද්ධව පවතින හෙයින්, මෙවන් සායනික පර්යේෂණ සඳහා පහසුකම් ඇත...නමුත් එහි පෙනුම ලංකාවෙහි අතිශය දුෂ්කර පලාතක ඇති රජයේ රෝහලකට සමානය...

මින් වසර දහයකට පෙර මා දුටු කෙන්යාවේ නයිරෝබි නගරයට වඩා සියායාව බොහෝ සෙයින් වෙනස්ය...වියළි කාර්තුවේ අවසානයට ලංව ඇති සියායාවේ හාත්පස තුබුනේ වියළි, දූලි පැහැයකි...

ආසන්නතම නගරය වන කිසුමු  වල සිට සියායාවට, ගොඩබිම් මාර්ගයේ කිලෝ මීටර හැත්තෑ පහක් පමණ දුර ගෙවා යා යුතුය...ඒ මාර්ගයේ යම් තැනක ඔබට සමකයේ මනෝම රේඛාව පසු කල හැකිය...


Equator Sign (from internet)

එවෙලේ අසීරුවෙන් දෑස හැර හුන් මම, එය දුර තියාම දැක ගතිමි...සමකයෙහි රේඛාව ගිනියම්ව තිබිණ...එහෙයින්, ජීවයක් සහිත සියල්ලෝ අඟුරු පැහැයෙන් යුක්ත වූහ...

එය ඉතා වෙහෙසකර ගමනක් විය...සේවා ස්ථානයේ රාජකාරී අහවර කර වොෂින්ටනයෙන් පිට වූයේ සඳුදාවක හවසකය...ඒ අතර නෙදර්ලන්තයේ පැය හතරක්ද අඟහරුවාදා රාත්‍රියෙහි  නයිරෝබියේ පැය හයක් පමණද, ගුවන් හුවමාරු සඳහා වැයවී තිබිණ...විනාඩි තිස් පහක් පමණ කෙටි ගමනක් සහිත වූ ගුවන් යානය නයිරෝබි සිට කිසුමු බලා පිටත් වූයේ බදාදා අළුයමය...රටවල් අතර කාල වේලා සියල්ලම ගණනය කල විට මා බොහෝ වේලාවක් සිට ඇත්තේ අවදියෙනි...ඒ වන විට පැය හතරකට වඩා මා නිදාගෙන තිබුනේ නැත...

එහෙත්...මා සිටියේ ඉතා උද්‍යෝගයෙනි...වසර ගණනාවක් පරීක්ෂණාගාර තුල පර්යේෂණ සිදු කල මා හට, මනුෂ්‍ය සංහතියෙහි යහ පැවැත්ම සඳහා සෘජුව දායක වීමට අවස්ථාව ලැබීම ඊට හේතුවයි...ඒ මගේ ප්‍රථම සායනික පර්යේෂණ අත්දැකීමයි...

මගේ ගමන් සගයෝ මග දෙපස නැරඹීම සඳහා මට ඉදිරි පස අසුන ලබා දී ඇත්තේ හේතුවක් ඇතුවය...මා අසීරුවෙන් දෑස් හැර සිටීමට උත්සාහ ගත්තේ එහෙයිනි...

කිසුමු ගුවන් තොටුපොළ  විශාල නිවසක් බඳුය...පිටවීම සහ ඇතුල් වීම ඉතා පහසුය...උදෑසනක ගුවන් යානය ගොඩ බස්සවන විට පෙනෙන දර්ශනය ඉතා මනරම්ය...එක් පසෙකින් කඳු වළල්ලකි...අනික් පසින් වික්ටෝරියා වැවය...එහෙත් එහි විශාල ප්‍රදේශයක් වසා ජලජ ශාක පැතිරීමෙන්, එය කළු පැහැ ගැන්වී තිබිණ...


මග දිගට පානීය ජලය සොයා යන ගැහැණුන් සහ මිනිසුන් වූහ...සමහරකගේ හිස් මතද, තවෙකෙකුගේ පාපැදියක හැඩලයකද ප්ලාස්ටික් බුජම් රැඳවී තිබිණ...


ජලය සොයා යන කෙන්යානුවන් (රුව අන්තර්ජාලයෙනි)

ඔවුන්ගේ නිවාස බොහොමයක් පිදුරු සෙවිලි කර, මැටියෙන් සරසා තිබිණ...උළු වහල සහිත සිමෙන්ති බිත්ති තිබුනේ රෝහල් සහ පාසැල් වලට පමණය...විය සිදුරක් අතරින් උළු හෙවිලි කල ගෙයක් දැක ගත හැකි විය...


පිදුරු සෙවිල්ලූ ගෙවල් (රුව අන්තර්ජාලයෙනි)

සියායාවේ දුක්ඛිත ජීවිත ගත කරන ගම් වැසියන් හැරෙන්නට, එහි රැකියාවන් වල නිරත සියල්ලෝම පාහේ ජීවත් වන්නේ කිසුමු නගරයේ බව මට පසුව දැනගන්නට ලැබිණ...එහෙයින් අපත් ඇතුළුව, ඒ සියලු දෙනාම, දිනපතාම පැය එක හමාරක්, උදේ සවස ගමන් කාලය සඳහා වෙන් කල යුතු විය...

මේ ප්‍රාන්ත වල මිනිසුන් ප්‍රවාහනය කරන ප්‍රධාන මාධ්‍ය මිනි වෑන් හෙවත් මටාටුය (Matatu)...ඒවා ධාවනය වන්නේ සුළගේ වේගයෙනි...එහි මිනිසුන් අට්ටි ගසා ඇත...මේ මටාටුවන් නිරන්තරයෙන්ම, මග දෙපස සිටි පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට ලක් වීම සුලබ විය...
මටාටු -Matatu (රුව අන්තර්ජාලයෙනි)

මා එහි සිටියේ දවස් තුනකි...ඒ තුන් දවසේම දවල් ආහාරය වූයේ චපාති සමඟ කළු බෝංචි ඇට හොද්දකි...ඒ මා මස් නොකන නිසාය...

නැතහොත් ඔබට හරක් මස් හොද්දක් සමග උගලි රස විඳිය හැක...උගලි යනු බඩ ඉරිඟු පිටි වලින් සෑදු සුදු පැහැති ඝනකම් ආහාරයකි...එය රසකින් තොරය...ඔවුන් එය කෑමට ගන්නේ මස් වර්ගයක් සමගය...


උගලි-ugali (රුව අන්තර්ජාලයෙනි)
උළු වහලක් ඇති නිවසක් නැති ගම්මානයක, ආපන ශාලා ද එසේමය...බොහෝ දුෂ්කරය...එහෙත් අතිශයින් සුන්දරය...එක් ආපන ශාලාවක, කුඩා ලී මේසයක් වටා, ලී බංකු තබා තුබුණු අතර, එහි පොළොව, මහ පොළොව පමණය...

රෝහල් ආපනශාලාව  හිමි කෙන්යානුවා බොහෝ ප්‍රිය මනාප මිනිසෙකි...සැබවින්ම කෙන්යානුවන් සියල්ලෝම සුහදශීලි මිනිසුන්ය...

අප දවල් ආහාරයට යන විටම ඔහු ආහාර බෙදා පිළිගන්වන්නට උත්සුක වෙයි...අත් පිස්නා කඩදාසි කිහිපයක් ඔහු ළඟ ඇත...පිගානෙහි කොනකින් ඒවා තබන ඔහු, ගෑරුප්පුවක් දෙන්නටදැයි අසයි...ඒ සෑම වතාවකම මට ශෝකයක් දැනුනා කිවහොත් නිවැරදිය...ඒ මා උපන් රටේද මෙවන් පළාත් අදටද ඇති බැවිනි...

අමෙරිකාවෙන් පිටත් වීමට පෙර මා යෙලෝ ෆිවර් එන්නතද, මැලේරියාවට ලබා දෙන බෙහෙත් පෙතිද ලබා ගත යුතු විය...එපමණක් නොව මා කෙන්යාවට ඇතුළු වීමට පෙර සිටම මැලේරියාවට බෙහෙත් ලබා ගැනීම ඇරඹිය යුතු විය...සායනික උපදෙස් අනුව බෝතල් කල ජලය බීමටත්, නොපිසූ ආහාර මග හැරීමටත් උපදෙස් ලැබිණ...

ජල නල පහසුකම් නොතිබූ රෝහල් ආපන ශාලාවේ අත සේදීමට  ජලය තබා තිබුනේ බුජමකය...කවුරු කෙසේ උපදෙස් දුන්නද, ඒ ශුෂ්ක කාලයේ බෝතල් කල ජලය වල පවා විශේෂ පිරිසිදුකමක් තිබිය නොහැක...කිසුමු වල තරු පන්තියේ හෝටලයේ පවා ජල කරාම වල ජලය අපුල ගන්ධයකින් යුක්ත විය...

ඒ ජීවිත බොහෝ දුෂ්කරය...

මේ රෝහලේ සේලයින් නැහැ...කෙන්යාවේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් මාස තුනක් තිස්සේ, අපේ සායනයේ වෛද්‍යවරු හැකි අයුරින් රෝහල් ගත වෙලා ඉන්න කුඩා දරුවන් බලනවා...

ටොම් දිගටම සිය කතාව කරගෙන යයි...

එක දැරියක් උන්නා...ඇයට ගිනි ඇවිලිලා...ඇය දෙමාපියන්ගෙන් ඈතට දුවගෙන ගිහින්...ඇයව  බේරා ගන්න විට, ඇයගේ ශරීරයෙන් බොහෝ ප්‍රමාණයක් පිළිස්සී අවසන්...

ඔබ දන්නවාද...ඇය රෝහලේ ඇඳක වැතිරිලා ඉන්න හැටි මා දැක්කා...කිසිම බෙහෙතක් නැතිව...

..................................................................................................................................................

මා කඳුළු නවත්වා ගැනීමට ආසයක් දැරුවේ නැත...ටොම් ගේ දෑස් රතුවී තිබිණ...සමහරු සිය දෑස් බිමට නැඹුරු කරගෙන සිටිය අතර සමහරුන්ගේ ඉරියව් නොවෙනස්ව සහ සාමකාමීව තිබිණ...

..........................................................................................................................................................


ඉතිරිය ලියන්නට සිතුනොත් පසුව ලියමි...

WW