Saturday, December 31, 2016

ජීවිතය කලබල විය යුතුය....Happy New Year...2017

මල් පොකුරක් දරා සිටින ළදැරියක්‌ 

ජීවිතය කලබල විය යුතුය 
මිනිත්තු පහක පොරොත්තු කාල සීමාව තුල පවා නිමා කිරීමට 
තව රාජකාරියක් තිබිය යුතුමය ....
එසේ නොවුන විට කල්ප ගානක අතීතය යන්තමින්ද,
මෑත අතීතයේදී සිදුවූ දෑ තත්පරයෙන් අශුවෙන් පංගුව තෙක්මද,
මෙනෙහි කිරීමට හැකි අතීතස්මරණ ඥානය පහල වේ....
එවිට හදවතේ කපාට බිත්ති ඝනකම් වී 
"හෝල් ඉන් ද හාර්ට්'' තත්වය තෙක්ම වර්ධනය විය හැක....
ජීවිතය එසේය...හදවතේ හිලක් ඇති වන එකත් එක අතකට හොඳය...
එවිට කිසිම බරක් උහුලාගෙන සිටිය යුතු නැත....
එවන් කල්පාන්තර මතක ස්මරණ අතරින් 
"නැන්නා බබා ?"
සිඟිති පා ගැටෙන හඬත්, මුදු මොලොක් හුරතල් හඬත් 
විටක ඇසී නෑසී යයි....
මා දෑස් හැරියොත් ඈ කෑ ගසා දිව විත් මගේ ලැමඳ මත ගුලි  වෙන්නීය....
ඉන් පසුව ඇත්තේ දිගු නිහඬතාවයකි....
දෑ අවුරුදු දැරියකට තරම් නොවෙන නිහඬතාවයකි....
ඈ දෑස් පියාගෙන මට තුරුළු වී හිඳින්නීය...
''රත්තෙ පතා'"   
ඈ මුමුන්නීය....
''ඔව් මැණික....ඔයා මගේ රත්තරන් පුතා''
මම කියමි..
ඇගේ සිඟිති අතැඟිලි මගේ දෙකොපුල් පුරා යන්නේ ඉතා සෙමිනි....
ඒ අත්ලාන්තික් සාගරයෙන් එහා පැත්තේය...
එය බොහෝ දුරකි...
ස්මරණයට පවා වෙහෙසකර දුරකි...
ඒ දුරින් දුරස් කර තබන දෑ බොහෝය...
තුන්තිස් පැයේම ළඟ රැදෙන්නට බල කරන දෑ බොහෝය...
මේ අත්ලාන්තික් සාගරය මගෙන් ඈත් කල දෑ බොහෝය...
ජීවිතය කලබල විය යුත්තේ එබැවිනි... 
එවිට එළඹී සිහියෙන් සිටිය යුතුමය...
අද මේ මොහොතේ ජීවත් විය යුතුමය...
අතීතස්මරණය භාවනාවකි..
හදවතේ බොහෝ සීතල තැන් උණුසුම් කර 
හදවතක් ඇති බව සියුම් ස්නායු හරහා දෑසට මතක් කර දෙන්නකි...
ඊයේ දවාලේ මට අද  31 බව මතක තිබුණි...
එහෙත්, 
මේ ගෙවී යන්නේ 31 වෙනිදා රාත්‍රිය වග 
නැවත මතක් වූයේ දැන් ටිකකට කලියෙනි....
ප්‍රේමය සහ කැස්ස සැඟවීමට බැරි බව සමහරු කියති...
එහෙත් මේ එළඹෙන වසරේවත් ප්‍රේමය කෙසේ වෙතත් 
කැස්ස නම් කෙසේ හෝ සඟවා ගත යුතුය...
සති හයකට පමණ කලින් උණෙන්, සෙම්ප්‍රතිශ්‍යාවෙන් පටන් ගත් කැස්ස,
හිම මිදෙන හීතලේ පපුව පුරවාලන්නේ, 
හදවතේ ඇති බර නොදන්නා නිසා වෙන්නට පුළුවන...
ඊයේ දවාලේ මේ සිසිරයේ පළමු හිම වැස්ස දුටිමි...
වැස්සක් කිව්වාට ඒ වැටුනේ මල් තුහින පමණකි...
මට නම් ඒ හොඳටෝම මදිය...
සීතලෙන් මිදී යන්නට හිම කුණාටුවක් අවැසිය...
පෙනහළු පිරවූ කැස්ස සමඟ සෘණ අගයක් ගන්නා හීතලේ යන විට දැනෙන අමන්දානන්දය 
ඔබ දන්නවාදැයි නොදනිමි...
බෙහෙත් කෙසේ වෙතත් කෝපි වලින්ම දවස ගත වෙන්නේ 
ඒ නිසාවෙන් වෙන්නට පුළුවන...

මේ සියලු වැල් වටාරම් ලිව්වේ ඔබ සියලු දෙනාට සුබ නව වසරක් පතන්නටය...
අතීතස්මරණය අස්සේ එක් වරම මතක් වූයේ  මේ වන විට 
 ලංකාවාසී ඔබ සැමට 2017 එළඹී ඇති වගය...

ඉඳින් ලංකාවාසී, ලෝකවාසි බ්ලොග් සොයුරු සොයුරියන් හැමදෙනාටත්, බ්ලොග් කියවන, නමක් ඇති, නමක් නැති කමෙන්ටු දමන ඔබ සියලු දෙනාටත්, සියලු ලෝ වැසියන්ටත් සාමය, සතුට, සෞභාග්‍ය පිරි ආදරණීය නව වසරක් වේවා...

ජීවිතය කලබල විය යුතුය...එමෙන්ම ඔබේ ආදරණීයයන් සමඟ නිරන්තරයෙන් රැඳිය යුතුය...
ආදරය බෙදා ගත යුතුය...
මන්ද, හෙට උදෑසන හිරු එළිය දැකීම 
බොහෝ අවිනිශ්චිත බැවිනි....




18 comments:

  1. අක්කටත් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  2. පොකුරු අක්කටත් 2017 සුභ ම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කසුන් මල්ලි..

      Delete
  3. වැස්ස පොකුරු වී එනවිට සතුට දැනේවා
    ගස්ස ගස්ස කෝපි එකක් බොන්න ලැබේවා
    කැස්ස සමග හිම පිණි මත යන්න ලැබේවා
    දස්ස වෙවී බ්ලොග් එකෙ නිති ඉන්න ලැබේවා.....

    පොකුරු වැහි කොයි රටේද ඉන්නෙ.
    සුභ 2017 ක් ඔයාටත්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවිය නම් හරිම ලස්සනයි දුමි...

      යූඑස්ඒ ඉන්නේ...

      ජය වේවා...සුබ 2017 ක්

      Delete
  4. එළඹුන 2017 නිදුක් නිරෝගී සුව ලැබෙන ආදරණීය නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හැලප තුමනි...ඔබටත් එසේම වේවා...

      Delete
  5. ////එමෙන්ම ඔබේ ආදරණීයයන් සමඟ නිරන්තරයෙන් රැඳිය යුතුය...
    ආදරය බෙදා ගත යුතුය...////////
    +++++++++++++++
    ජයෙන් ජයම වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා අරුණ...අර රහට ලියන බ්ලොග් එක මැදදී නවත්තනවා එහෙම නෙවේ ඔන්න....

      Delete
  6. සුබ ම නව වසරක් පොකුරු අක්කේ.. නිදුක් නිරෝගි සුව ලැබෙන වාසනාවත් වසරක් වේවා.. වැල් වටාරමේ උන්නු පුංචි දැරිවි මංදෝ කියා මට හිතුණා.මට අවුරුදු තුනක් විතර වයස කාලෙදි අපේ අම්මා අසනීප වෙලා රෝහල්ගත කරලා.ආපහු ඈ ගෙදර ආවාම මං කෑ ගහගෙන ගිහින් අම්මාව බදාගත්තලු.මට මතක නැති එ් අතීතේ ආයේ මැවිලා පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගි...ඔයාටත් එසේම වේවා...

      ඔයා ලියන කියන දේවල් දිහා බලද්දී එයත් ලොකු වෙද්දී ඔයා වගේ වෙයි තමයි...වෙලාවකට හරිම නිහඬයි...එත් ආදරේ හිතේ පුරවාගෙන ඉන්නේ...හැබැයි කේන්ති ගියා නම් හරිම චන්ඩියා :)

      Delete
  7. 2017 කැස්ස කෙසේ වෙතත් සෙනෙහස ලඟාවේවා...සුබ නවවසරක් පතන්නෙමි..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චෙෆාකි...සෙනෙහස වැඩි කමට කැස්ස දෙගොඩතලා යනවා... :)

      Delete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා. කලිනුත් මේ වගේ අසනීපයක් හදාගත්තා වගේ මතකයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් ගැන බ්ලොගයේ ලිව්වා කියල මතකයක් නැහැ...
      බොහොම ස්තුතියි මල් මල්ලි...


      Delete
  9. ලෙඩ අඩුවෙන...ප්‍රේමය වඩිවෙන සුභ නව වසරක් වෙව්වා

    ReplyDelete