"එදා උදේ ගෙදරින් ගිය ගෑණි...වැඩට යනව කියල...කවුද හිතුවෙ..."
ඔහු දිගු සුසුමක් හෙලයි...
මට පෙනෙන්නේ රියදුරු අසුනේ සිටිනා ඔහුගේ මුහුණේ අඩක් පමණි...මා සියලු නිගමනයන් වලට එළඹිය යුත්තේ එදෙස බලාගෙනය...මුහුණේ අනික් අඩෙහි සටහන් වන ඉරියව් කිසිවක් මට නොපෙනෙන බැවින්, මගේ නිගමන පක්ෂපාතී විය හැකි බව මගේ සිත මට තරයේම කියා සිටියි...
එහෙත් මා ඒ කථාව අසා සිටිමි...
"දවස් දෙක තුනකින් ඩිවෝස් පේපර්ස් එව්වනේ"...
ඔහුගේ හඬ හැඟුම්බරය...
"මං විජේව එදා හරියටම දැක්කේ එයාර්පොර්ට් එකේදී...ඒත් මං කොහොමද, මාව මෙහෙට ගෙන්න ගත්ත මනුස්සයට එහෙම දෙයක් කරන්නේ..."
ඒ ඔහු ගැන, ඇය මා ඉදිරිපිටදීම මින් වසර තුනකට පමණ පෙර කියූ කථාවකි...
විජේ අය්යාගේ හැඟුම්බර හඬට, ප්‍රියානි අක්කා ඒ කියූ කථාව අද වන විට සහසුද්දෙන්ම ගැලපී ඇති බව මට වැටහෙන්නේ දැන්ය...එහෙයින් ඔහුගේ මුහුණේ අඩකින් පමණක් මට පෙනෙන මේ කතාන්දරයේ වැඩි වාසිය ඇත්තේ විජේ අය්යාටය...
"ප්‍රියානි දැන් දෙමළ කෙනෙක්වලු බැඳලා තියෙන්නේ...එයත් කලින් බැඳලා උන්න කෙනෙක්ලු...ෆේස් බුක් එකෙන්ලු හම්බවෙලා තියෙන්නේ..."
විජේ අය්යා කියාගෙන යයි...
ඒ අතරතුර ඔහුගේ අවධානයද ගිලිහී යයි...
"ෂාහ්, අපි මෙතැනින් හැරෙන්න ඕනේ...එහෙනම් ඉස්සරහට ගිහින් හරවමු..."
ඒ අතපසු වීම මට මහා පුදුමයක් නොවේය...අතුරු මාවත් පමණක් නොව, ප්‍රධාන පාර පවා විජේ අය්යාට පටලැවී හමාරය...
"මට පිස්සු නොහැදුන ටික විතරයි...මගේ හිත හදාගන්න උදව් වුනේ වික්ටර් පියතුමා...ඒ නිසයි මං බුද්ධාගම අත් හැරලා, ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් කැප වුනේ...එයාට මං හුඟක් ආදරේ කලා....එයත් එහෙමයි..."
හුස්මක් නොගෙන ප්‍රියානි අක්කා කියාගෙන ගිය අයුරු මගේ මතකයට නැගේ....
මා ඇතුලාන්තයෙන් බොහෝ සේ විස්මයට පත් වී, කිසිවක් නොවුනා සේ සිටි, දවස් අතළොස්සකින් එක් දවසක් ඇත්නම්, ඒ එදා මා අවසාන වතාවට ප්‍රියානි අක්කාව හමුවූ දිනයයි...
ඒ මුලින් මා සඳහන් කල ලෙස, මින් වසර තුනකට පමණ පෙර, ඔවුන්ගේ නිවසේ පැවති විජේ අය්යාගේ උපන් දින සාදයේදීය...
"මේ ගෑණි තමන්ගේ මිනිහව අඩි දහයක් දුරින් තියාගෙන කියන කථාවක්ද මේ...ඒ මදිවට ආගමත් වෙනස් කරලා..."
"නෑ...ආගම වෙනස් කරන්න, ඕනේ කෙනෙකුට අයිතියක් තියනවා...ඒත් අවුරුදු දහයක් තිස්සේ දීග කාපු ගෑණියෙක්, තමන්ගේ පරණ ප්‍රේමවන්තයා ගැන එහෙම කියන එක හරිද..."
"ඒත්...............ඔව්...සමහර විට මැරෙන තුරාවට අමතක කරන්න බැරි දේවලුත් මිනිස්සුන්ට තියෙන්න පුළුවන්නේ...හැමදේම දෙපැත්තක් තියනවනේ....ඒත්..ඒත්...ප්‍රියානි අක්කා විජේ අය්යට ආදරයක් ඇත්තෙම නැද්ද..."
මේ සියලුම තර්ක, හිතින් ගොඩ නගමින්, ඒ කතාන්දරය අසා සිටි පිරිසේ සිටි වයසින් බාලයා මා විය...අනික් සියල්ලෝම මැදිවිය ඉක්මවූ ගැහැණු විය...ඒ සියල්ලෝම ඉදිරියේ, ප්‍රියානි අක්කා තමන්ගේ පැරණි පෙම් පුරාවත දිග හැරියේ, විජේ අය්යා යට තට්ටුවේ තම උපන් දිනය සමරමින් හිඳිනා වග මොහොතකට අමතක කරමින්ය...
ඉන් වසර තුනකට පසු, ඒ කතාවේ ඉතිරි අඩ අසන්නට අද මට අවස්ථාවක් උදා වී ඇත...
"ඔය ප්‍රියානිගේ, පුංචි අම්මගේ දුවලා දෙන්නා, ඒ දවස් වල වැඩ ඉවර වෙලා එන්න රෑ එකොළහ විතර වෙනවා, ඉතින් පුංචි මට කෝල් එකක් දීල කියනවා, ගිහින් එයාලව එක්ක එන්න කියල...මං ඉතින් ගිහින් එක්කන් එනවා..."
විජේ අය්යා සීරුවට කියාගෙන යයි...
"ඉතින්, ඔයාව ඒ දෙන්නට පට බැඳලා ප්‍රියානි අක්කා දොස් කිව්වද..."
මට එසේ ඇසුනේ, ඔහුගේ පසුබිම් කථාව එවැනි සිතිවිල්ලකට ඉඩ හසර සැලසූ බැවිනි...
"එහෙම කරලා නිකම් උන්න නම් මදැයි..."
"එක දවසක්, මගේ ෆෝන් එක කුඩු කළා ප්‍රියානි අක්කා...එයාට කේන්ති ගියාම එහෙම තමයි...බඩු පොළොවේ ගහනවා...හැඳි දෙකට නවනවා..."
"මං කා එක්කවත් ඕව කියල නෑ...එහෙම කිව්වයි කියල වැඩක් නැහැනේ..."
මේ විජේ අය්යා මා ඉදිරියේ තබන්නේ, අප කිසිවෙක් නොදැන හුන් ඔවුන් දෙදෙනාගේ ජීවිත කථාවයි...
"දැන් ගෙදරට මොකද කරගත්තේ අය්යේ..."
මා විමසුවේ, නුදුරු දිනයකදීම ණය ගෙවා ගත නොහැකිව ඇමෙරිකානු බැංකුවකට සින්න වීමට යන ඔහුගේ නිවස පිළිබඳවයි...
"මං ඉල්ලීමක් කරලා තියෙන්නේ...කාල සීමාව දික් කරලා දෙන්න කියල...තාම බැංකුවෙන් මොකුත් කිව්වේ නැහැ..."
"මේ ඊයේ පෙරේද දවසක රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් එවලා බැංකුවෙන්...ඕක අත්සන් කරලා ගන්න මං රස්සාවකට නොයා ගෙදර ඉන්නද ඉතින්..."
"බැංකුවෙන් බලන්නෙම මං මෙහේ පදිංචි නැහැයි කියල ඔප්පු කරන්න...එහෙම වුනාම ගේ බැංකුවට ගන්න පුළුවන්නේ...මං පහුවදා තැපැල් කන්තෝරුවට ගිහින් ලියුම ගත්තා..."
මා දන්නා පරිදි ඔහුට බැංකුවෙන් සහනයක් ලැබිය යුතුය...නමුත් බරපතල කරුණ නම්, මේ මෙවැනි දෙයක් සිදුවන දෙවැනි වතාව වීමයි...ප්‍රියානි අක්කාගෙන් වෙන් වූ අලුත, එක් වතාවක් ගෙය සින්න වීමට ගොස්, ලංකාවේ මිතුරන් එකතු වී මුදල් සොයා කිසියම් උදව්වක් කල බවක් මා කලින් අසා ඇත..මා අද වනතුරුම සිතා උන්නේ, විජේ අය්යා ඒ ලැබුන කිසිදු අවස්ථාවකින් නැවත නැගී සිටීම සඳහා කිසිදු උත්සාහයක් නොකළ බවයි...
"ඔයාට පුළුවන් නේද ගේ කුලියට දෙන්න..එතකොට, ඒ එන මුදලින් පුළුවන්නේ, ඔයාගේ ණය වාරිකයට මුදලක් එකතු කරගන්න..."
මා පැවසුවේ, ඒ පිළිබඳව ඇති ඔහුගේ අදහස දැනගැනීමටය...
"ගෑස් බිල ඩොලර් දෙදාහක් විතර දැන්...ඒක ගෙවාගන්න විදියක් නැහැනේ...නැත්නම් එක මනුස්සයෙක් ගෙදර එක කාමරයක නවතින්නත් ආවා...එයා බිල ටිකෙන් ටික ගෙවලා, කුලියෙන් අඩු කරන්නම් කිව්වා..."
"ඒත් බිල ගෙවන්න ගියාම, ඒකෙ ගෙවන මුදල තිබුනේ සීරෝ කියල...අන්තිමේ, හුඟක් කල් ගියා ඒ ප්‍රශ්නය විසඳගන්න..."
"අර මනුස්සය, මාස දෙක තුනක් ඉඳලා සීතල වතුරෙන් නාන්න බැහැයි, ගෑස් නැතුව අමාරුයි කියල ගියා...දැනුත් එයා එන්න කැමැතියි...ඒත් දැන් එයාගේ අතෙත් මුදල් මදිලු සමර් එක නිසා නිවාඩුවට වියදම් කරලා..."
මිනිසුන්ට ප්‍රශ්න එන්නේ එකපිටය...ජීවිතය විටෙක එක කොනක් ලිහාගෙන එනවිට අනික් කොනෙන් පැටලවෙන හරස් පද ප්‍රහේළිකාවකි....
"අපි දෙන්න වෙන් වෙන්න කිට්ටුව, වෙනම ජීවිතේ ගත කරන කාලේ, ගෑස් බිල ඩොලර් දාහක් තිබුනා...මං ප්‍රියානිගෙන් සල්ලි ටිකක් ඉල්ලුවා ඒක ගෙවාගන්න..."
ඒ ඉල්ලීමට ප්‍රියානි අක්කා ලබා දී තිබූ පිළිතුර, මනුස්සකමට නොවටිනා තරම්ය...
"විජේ, ඔයා දන්නවනේ මං දැන් බඳින්න කෙනෙක් හොයාගෙන තියෙන්නේ කියල...එයා මගේ එකවුන්ට් ඔක්කොම බලනවා...ඉතින් මට මට ඔයාට සල්ලි දෙන්න විදියක් නැහැ..."
විජේ අය්යා, ඇයට සීමා මායිම් පනවා නොතිබුනේය...
"මං කවදාවත් එයාගේ එකවුන්ට් බැලුවේ නැහැ නංගි...එයා කීයක් හම්බ කලාද කියලවත් මං දන්නේ නැහැ..."
ගැහැණියක් තුල දේවතාවියක් මෙන්ම යක්ෂණියක්ද ජීවත් විය හැකි බව මා දැන වුන් කරුණකි...ප්‍රියානි අක්කා ඒ චරිත දෙකටම සමසේ පණ පොවා ඇති බවත්, අවසානයේ දේවතාවිය පැරදී ඇති බවත්, මා පසක් කරගත්තේ දැන්ය...
"පුංචි අම්ම මාව මෙහේ ගේන්න විජේව පාවිච්චි කළා..."
පුංචි අම්මයි, මමයි, දෙන්නම ඒක දැනන් උන්නා...ඒත් මං කොහොමද ඒ අහිංසක මනුස්සයගේ මූණ බලාගෙන එහෙම කරන්නේ..."
"ඒ නිසයි මං එයාපෝර්ට් එකේදිම තීරණය කලේ, විජේ අය්ය එක්ක මුළු ජීවිතේම ගෙවනවා කියල..."
එදා ප්‍රියානි අක්කා අපට කීවේ එහෙම කථාවකි...
"මං දරුවෙකුට හරි ආසයි...අපි උත්සාහ කළා ඒත් දරුවෙක් හදන්න නම් බැරි උනා.."
අම්මා කෙනෙකු වීමට නොපතන ගැහැණියක් ඇත්නම් ඒ කලාතුරකිනි....ප්‍රියානි අක්කා අම්මා කෙනෙකු වූවානම්, ඇය විජේ අය්යාගෙන් වෙන් නොවේයැයි යන්නට සහතිකයක්ද නොමැත...
"එයා වෙන කෙනෙක්ව කසාඳ බැන්දා...ඉන් පස්සේ දවසක මට ඒ දෙන්නවම මුහුදු වෙරළේදී හමු වුනා...එදා එයා මට එයාගේ නෝනා ඉස්සරහම කිව්වා, මෙයා තමයි මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන ගෑණි කියල..."
ඇයගේ පැරණි පෙම්වතා ගැන කියද්දී, ප්‍රියානි අක්කාගේ දෑස් දිලිසුන හැටි මට තවම මතකය...
ඇය කිසිදිනෙක විජේ අය්යාට ප්‍රේම කළාදැයි මා නොදනිමි...
විජේ අය්යා කුඩා සිරුරකින් හෙබි මිනිසෙකි...ප්‍රියානි අක්කා මනා පිරිපුන් දේහයකින් යුක්ත උස මහත ගැහැණියකි...
ඇය ඔහු කෙරේ හුදු අනුකම්පාවක්ම මිසක, යම් තරමක ආකර්ෂණයක් හෝ තිබුණාදැයි සැක සහිතය...
දීගය යනු අනුකම්පාවෙන් වින්දනය කල හැකි දෙයක් නොවන වග, ඇය නොදැන සිටියා වෙන්නට පුළුවන...
"මං මේ තරම් අමාරුවේ වැටෙන්නේ නෑ, එයා ඩිවෝස් වුනයින් පස්සේ ලංකාවට ගිහින් එන්න නොගිය නම්...ගෙයි ණය වාරිකේ පටලැවුනේ ඒ නිසා..."
විජේ අය්යා නැවතත් ඔහුගේ හඬ අවදි කළේය...
"ප්‍රියානි වැඩ කරන තැන ගෙදර අයත් එක්ක ඒ කාලේ ගොඩක් ඇවිදින්න ගියා...එහෙම ගියාම, ඒ මිනිස්සු එයාට මුදල් දෙනවා...ඒවා දෙන්නේ චෙක් වලින් නෙවේ..."
"එක අවුරුද්දක අපි දෙන්නම ටැක්ස් ෆයිල් කළා එකට...එතකොට දෙන්නගෙම ආදායම වාර්තා කරන්න ඕනෙනේ...එයාට මුදල් වලින් විතරක් ලැබුන ඒවා අපි වාර්තා කලේ නැහැ...ඒත් එයාගේ එම්ප්ලෝයර් ඒවා වාර්තා කරලා අදායම් බදු දෙපාර්තමේන්තුවට..."
"පස්සේ අපි දෙන්න ඩිවෝස් වුනයින් පස්සේ, ඒවා මගෙන් අය කරගෙන...මං ලංකාවට නිවාඩුවට යද්දී, ටැක්ස් රිෆන්ඩ් එක හරවල ගියේ බැංකු ණය වාරිකය ගෙවෙන විදියට...නමුත් මගේ ටැක්ස් රිෆන්ඩ් එක සම්පූර්නයෙන්ම ආපසු නොලැබුන නිසා, ණය මුදල වැඩි වුනා..."
ආදායම් බදු දෙපාර්තමෙන්තුවද කර ඇත්තේ හිඟන්නාගේ බත් පත උදුරා ගැනීමට සෙනසුරා එවීමය...වසර පහකට පමණ කලින් කල වැරැද්ද ඔවුන්ට හසුවී ඇත්තේ, විජේ අය්යාගේම නරක වේලාවටය...
එය කැකිල්ලේ තීන්දුවකි...දෙදෙනා විසින් කල වරදට ඔවුන් අය කරගෙන ඇත්තේ විජේ අය්යාගෙන් පමණය...
"මං ප්‍රියානිට සේරම ෆොටෝ කොපි කරලා යැව්වා නංගියේ...වැඳ වැටුනා...මට කීයක් හරි දෙන්න කියල ඒ වෙනුවෙන්...මං ඒ තරම් අසරණ වෙලා උන්නේ...එයා කිව්වේ මටත් සේරම ලියුම් ආවා, ඒත් මට කරන්න දෙයක් නෑ කියල විතරයි..."
මා හෙලූ ගැඹුරු හුස්මෙන් පසු හෝ ඒ කතාවෙන් ඇතිවූ කම්පනය දරා ගැනීමට මට නොහැක...ප්‍රියානි අක්කා පසු කාලීනව ක්‍රියා කල ඇත්තේ අප කිසි කෙනෙකුට තේරුම් ගත නොහැකි අන්දමින්ය...
"ප්‍රියානිගේ නංගිගේ දුවල දෙන්න මට කියන්නේ ලොකු තාත්ත කියල...ප්‍රියානි මගෙන් ඩිවෝස් වෙලා ලංකාවට ගිය පළමු වතාවේ, එයාගේ ෆේස් බුක් පෙම්වතාට තෑගී ගොඩක් අරන් ගිහින් තියනවා..."
"ගියාට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ, ඒ කොල්ල මෙයාට වඩා බාලයි කියල.."
"ඉන් පස්සේ ප්‍රියානි එයාව, නංගිගේ දුවෙකුට ප්‍රපෝස් කරලා...ඒ ළමය ඇත්ත කතන්දරේ දැනගෙන, අනේ ලොකු තාත්තේ, ලොකු අම්ම මට මෙහෙම කලේ කොහොමද කිය කියා ඇඬුවා..."
මට දැනෙන්නේ මහා පිළිකුලකි...ප්‍රියානි අක්කා තමන්ට නොලැබුන සතුටක් සොයා ගොස් සිහි විකල්ලෙන් කටයුතු කර ඇති බව මට සිතේ...
"ප්‍රියානිගේ අම්මගේ කකුලේ අමාරුවක් තිබුනා...එයාලගේ ලංකාවේ ගෙදරට ගිය වෙලේ, ඒ නිසා උඩ තට්ටුවේත් කුස්සිය හදන්න මං කරපු යෝජනාව නැවතුනේ, අන්තිමට ඒ ගෙයි තට්ටු හතරක් වෙලා..."
"ප්‍රියානි ඒ ලඟින් තව ඉඩමක් ගත්තා...කඩයක් ගත්ත...ඒ පැත්තේ නෑ ඒ වගේ ගෙයක්..."
විජේ අය්යාගේ මුහුණේ කිසිදු කණගාටුවක සේයාවක් නැත...ඔහු අතිශයින්ම හිත හොඳ මිනිසෙකු බැවින්, ඒ කල දේ ගැන නන් දොඩවන්නේ නැත...
"දැන් විජේ අය්ය කරන රැකියාවට අමතරව, ස්ථිර රැකියාවක් හොයාගන්න බලන්න..."
මා එසේ කීවේ, විජේ අය්යාගේ අතීතය ගැන අසා සිටීමෙන්, ඔහුට ඇති ප්‍රශ්න කිසිවකට විසඳුමක් නොලැබෙන බැවිනි...
"ඔව් මං ළඟදීම සිටිසන් එක්සෑම් එක කරනවා, ඉන් පස්සේ මට ගවර්මන්ට් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවනි..."
ඔහු ඒ සඳහා අවැසි මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා ඇසුවේ නැත..එහෙත් මා දන්නා දා පටන්ම අන් අය වෙනුවෙන් තමන්ගේ කාලය කැප කල මේ මිනිසා තමන් ගැන සිතීම ගැන මට දැනුනේ සන්තෝෂයකි...
"ප්‍රියානි කොහේ හරි සන්තෝෂෙන් ඉන්නවා නම් මට ඒ ඇති...දැන් ඔය හැමදාම අලුත් මහත්තයට උයල දෙනවා කියන්නේ...මං සතියක් තිස්සේ එකම දේ කෑවනේ සමහර වෙලාවට...එකම කෑම කන්න බැරිව කුණු කුඩෙටත් දැම්මා..."
ගෑණු කියන්නේ කාටවත් තේරුම් ගන්න බැරි ජාතියක්...මට සිතුනේ එහෙමය...
"මට දුක අවුරුදු දහයක්ම ප්‍රියානි මගේ ජීවිතේ නාස්ති කල එක ගැන...එයාට මුලින්ම මට ඒ ගැන කියල අයින් වෙන්න තිබුනා..."
...................................................................................................................................................
"කාටවත් කර්මයෙන් ගැලවෙන්න බෑ විජේ අය්යේ...."
......................................................................................................................................................
මා මගේ ගමනාන්තයට ආ පසු ඔහුගේ නියමිත මුදල් ගෙවා විජේ අය්යාගේ ටැක්සියෙන් බැස ගතිමි....
ගමනාන්තය දන්නා කෙනෙකු සොයා ගෙන, ගමනාන්තය කොහේදැයි නොදන්නා විජේ අය්යාගේ ටැක්සිය කලබල මාවතේ නොපෙනී ගියේය....
.......................................................................................................................................................
මා මගේ ගමනාන්තයට ආ පසු ඔහුගේ නියමිත මුදල් ගෙවා විජේ අය්යාගේ ටැක්සියෙන් බැස ගතිමි....
ගමනාන්තය දන්නා කෙනෙකු සොයා ගෙන, ගමනාන්තය කොහේදැයි නොදන්නා විජේ අය්යාගේ ටැක්සිය කලබල මාවතේ නොපෙනී ගියේය....
.......................................................................................................................................................
ඇත්ත තිත්ත වූවත්, අනුකම්පාව වෙනුවෙන් තිත්ත වහන්නට උත්සාහ දැරූ විට සිදු වන්නේ, ප්‍රියානි අක්කාට සහ විජේ අය්යාට සිදු වූ දෙය විය හැක...
අනුකම්පාව නම් ප්‍රේමය යැයිද, ප්‍රේමය නම් ලිංගික ආකර්ෂණය යැයිද, කැපවීම නම් දීගය යැයිද වරදවා වටහා ගන්නා ප්‍රියානි අක්කලා මේ සමාජයේ බහුලය...
එලෙසින්ම, තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම සඳහා අනෙකා පාවිච්චි කරවිත් මෙවන් රටවල "දීගකනවා මෙන්" සිටින අයද බොහෝය...ඒ දීග කොතරම් කල් පවතීදැයි මා නොදන්නෙමි....
අවැසි නම් දීගය ගණුදෙනුවක් කරගැනීම අනොන්‍ය කැමැත්ත මත සිදු විය යුතු දෙයකි...එය දියුණු රටවලට සංක්‍රමණය වන්නට භාවිතා කරන නිත්‍යානුකුල නොවන ප්‍රචලිත ක්‍රමයකි...
ප්‍රියානි අක්කාටත් මා එදා අසා සිටියාට අමතරව ඇයගේ පාර්ශවයෙන් කථාවක් තිබිය හැකිය...
එහෙත් විජේ අය්යා මෙන් මිනිසුන් අසරණ කර, ඔවුනගේ අහිංසක ජීවිත කණපිට පෙරලා දැමීම කෙතරම් සාධාරණදැයි සිතීම ඔබට බාර කරමි...
.......................................................................................................................................