ඇය සදහටම වෙන්ව ගොස් අවසානය; ඇය කෙරෙහි මා තුළ වූ සැබෑ හැඟීම් ප්‍රකාශ කිරීමට දැන් මා බොහෝ ප්‍රමාද වැඩි බව මට හැඟේ. එකල ඇයට තිබුණේ රැලි ගැසුණු කෙටි කොණ්ඩයකි, කරුණාවන්ත සුන්දර සිනහවකි, එමෙන්ම අධිෂ්ඨානය කැටි වූ මුරණ්ඩු පෙනුමකින් යුත් මුහුණකි. මා ඇය දුටු ප්‍රථම මොහොතේ පටන් අතිශය භක්තියකින් යුක්ත වූ ප්‍රේමයකින් ඇයට බැඳුනා වූ අයෙක් වූයෙමි. ඇය මා ඇසුරු කළ කුඩා කල්ලිය තුළ ඉන්නා වූ වඩාත්ම ගෞරවාදරයට පත් වූ මිනිසුන්ගෙන් කෙනෙක් වූවාය. එමෙන්ම ඇය මා මෙතෙක් මුණගැසුණු බුද්ධිමත්, අතිශය ස්වාධීන මෙන්ම නිර්භීත විද්‍යාඥයන් අතළොස්සෙන් කෙනෙක් වූවාය.
විශ්වාස කරන්න, මම බොහෝ තැන්වල සැරිසරා ඇත්තෙමි; ලෝක මට්ටමේ ප්‍රවීණයන් සහ සමකාලීනයන් බොහෝමයක් මට හමුවී ඇත. එහෙත්, ඔවුන් බොහෝ දෙනා ඇය වැනි නොවූහ. සමහරු බොරුවෙන් ඉදිරියට ගියහ; සමහරු උඩින් මත්තෙන් අතගා ගැඹුරු කතා ගොතන්නෝ වූහ. තවත් සමහරුන්ට තිබුණේ පවුල් පසුබිම හෝ බලවත් සබඳකම් පමණි. ඔවුන් අහසේ දිදුලන තරු වැන්න; නමුත් ඔබ ඔවුන් වෙත සමීප වන විට පෙනී යන්නේ, ඔවුන් බොහෝ කලකට පෙර මියගිය හෝ මියයමින් පවතින බවයි.
එහෙත් ඇය... ඇය ඒ සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස් වූවාය. 'නොහැකියාව' යන්න ඇගේ ශබ්දකෝෂයේ කොතැනකවත් නොවීය. ඇයගේ දැක්ම තුල ඉතා අඩු පහසුකම් යටතේ වුවද කල නොහැක්කක් නොමැති විය. එය මාගේ පර්යේෂණ ජීවිතයේ ආදර්ශ වැකිය කරගන්නා තරමට ඇය එය මගේ තරුණ මනසට කාවැද්දුවාය. උඩින් මත්තෙන් අතගා වැඩ කරන කිසිවෙකු ඇයව නොරිස්සූහ. එවැන්නෝ ඇය ඉක්මනින් කෝප වන, අනුකම්පාවක් නැති, 'උමතු' විද්‍යාඥවරියක කියා ප්‍රසිද්ධ මත වැපිරූහ. ඒ කිසිවෙකුටවත්, නව්‍යකරණයෙන් පිරි සාර්ථක පර්යේෂණයක් බිහි කිරීමට අවශ්‍ය වන බුද්ධිය, කැපවීම හෝ කරන අසීමිත පරිත්‍යාගයන් ගැන එකල කිසිදු වැටහීමක් නොතිබූ බව මට විශ්වාසය.
තරුණ මා එකල මූලික උපාධිය නිම කළා පමණි. එය මාගේ ආචාර්ය උපාධියේ පිවිසුම සඳහා තුබූ සම්මුඛ පරීක්ෂණ දිනයයි; දීර්ඝ ගමනක් වෙනුවෙන් සන්නද්ධ වෙමින් සිටි මොහොතකි. ඇය ඇසූ ඒ ප්‍රථම පැනය මා හට අද මෙන් මතකයට නැඟේ: 'ඔබට වඳුරන් සමඟ වැඩ කළ හැකි වෙයිද?'... කරුණු පැහැදිලි කර ගැනීම උදෙසා ඇයට එය විමසන්නට සිදු වුවද, ඇගේ මුහුණ කියවීමට මා සමත් වුණෙමි. ඇය ඒ වන විටත් පිළිතුර දැන සිටියාය. තමා ඉදිරියේ හිඳගෙන සිටින ඒ කෘෂ වූ, හිතුවක්කාර පෙනුමක් ඇති දැරිය යම් දිනක දිගු ගමනක් යන බව ඇය දැන සිටියාය. එම දැරිය අසීමිත ලෙස මුරණ්ඩු තැනැත්තියක් බවත්, ඇගේ බාහිර පෙනුම හුදෙක් මායාවක් පමණක් බවත් ඇය අවබෝධ කරගෙන සිටියාය. ඇය මා කෙරෙහි අසීමිත විශ්වාසය තැබුවාය. පර්යේෂණ සහායකයෙකු සඳහා වන රුපියල් හයදහසක සොච්චම් වැටුප පමණක් ලබා දිය හැකි බව ඇය එදා මට කරුණාවෙන් පැවසුවාය. පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්ව තිබුණේ සීමිත කාලයකට බවත් පසුව මට ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි විය හැකි බවත් ඇය තිරසාර ලෙස ප්‍රකාශ කළාය. ඇය මගේ ආචාර්ය උපාධි පර්යේෂණ මාලාවේ සම-උපදේශකවරිය විය. ඇය අසල හිඳ සිටි ඉතා විනීත පෙනුමැති මහත්මයා මාගේ ප්‍රධාන උපදේශකවරයා විය. ඇය ප්‍රතිශක්ති විද්‍යාඥවරියක වූ අතර ඔහු අණුක ජීව විද්‍යාඥයෙකි. ඔහුගේ කතාව මා මතු දිනක පවසමි; මන්ද මා ඔහුට සැලකුවේ උපදේශකයෙකුට වඩා පියෙකු හෝ වැඩිමහල් සහෝදරයෙකු ලෙස බැවිනි. ආචාර්ය උපාධියක් යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබුණද , ඇය සතුව අසාමාන්‍ය ජවයක් හා මනා පෞර්ෂයක් ඇති බව මට එකලද වැටහුණි.
ඇතැම් විට ඇය මා අභියෝග නමැති වෘකයන් මැදට විසි කළාය. එවැනි විටෙක හදිසියේම ඇගේ ඒ කුඩා, පිළිවෙළකට සැකසූ, සුවපහසු කාර්යාලය වෙත ඇය මා කැඳවන්නීය. පර්යේෂණ ලිපියක් අතට ගන්නා ඇය, නව්‍ය තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ මා හට අභියෝග කරන්නීය. ස්වාධීනත්වය සහ නිරවුල් මගපෙන්වීම මා හට ඇගෙන් ලැබුණු මහඟු දායාදයයි. අන් සැවොම බියපත් වූ තැන, මම ඒ අභියෝගයන්ට මුහුණ දුන්නේ ඉතා කැමැත්තෙනි. ඇගේ කාර්යාලයේ හිඳ ඇය සමඟ එම ලිපි පිරික්සීමට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. ඇගේ බබළන දෑසින් සහ ඒ දීප්තිමත් සිනහවෙන් මා කෙරෙහි වූ උද්යෝගය සහ විශ්වාසය මට පෙනුණි. විද්‍යාව කෙරෙහි මා තුළ වූ පිපාසය සංසිඳුවන්නට ඇය කිසිදා අපොහොසත් නොවූවාය.
ජීවිතය එකල ඇයට කෙතරම් දුෂ්කර වන්නට ඇත්දැයි දැන් මා හට වැටහේ; ඇගේ තද කළු පැහැති කේශ කලාපය ඇසිපිය හෙළන නිමේෂයකින් අළු පැහැ ගැන්වෙනු මම දුටුවෙමි. ඇය එදා සිටින්නට ඇත්තේ අද මා පසුවන වයසේමය. මා එකල පර්යේෂණ ක්ෂේත්‍රයට සහ ආචාර්ය උපාධියට හුරුවන්නට උත්සාහ කරන බිළිඳෙකු වූයෙමි. ඇගේ පෞද්ගලික ජීවිතයේ කුමන කැළඹීම් තිබුණද, ඇය කිසිවිටෙකත් මා අත්හැරියේ නැත, කිසිවිටෙකත් මැසිවිලි නැඟුවේ ද නැත. මා කිසිදිනක තනි කළේ නැත. මා කොළඹ වෛද්‍ය පීටයේ පර්යේෂණ සහායෙකු ලෙස බැඳී ආචාර්ය උපාධි පර්යේෂණ වල ගෙවුනු මුල් වසර දෙක ඇතුළත ඇය වෙනත් පීඨයක තනතුරක් භාර ගත්තාය. ඒ පසුපස වූ කතාව හදවතට බර වුවද, එ කතාව මෙතැනට අවැසි නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ යටතේ එකල ගොඩ නැගුනු නවතම අධ්‍යාපනික ආයතනය වූ IBMBB විසින් ජ්‍යෙෂ්ඨ තනතුරක් ඇයට පිරිනැමිණි. ඉන්පසු ඇයව හමුවී මාගේ ප්‍රගතිය සාකච්ඡා කිරීමට එහි යාම මාගේ දින චරියාවේ කොටසක් විය.
කාලය ගෙවී ගියේය. මම මාගේ ඉලක්කය අසලටම පැමිණ සිටි අතර, ඇය වඩාත් සතුටින් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගමන් කරමින් සිටියාය. අතීතයේ වූ බොහෝ දේ ඉතිහාසයට එක්ව තිබුණි. සැවොම ජීවිතයේ ස්ථාවර වෙමින් ඉදිරියට ගමන් කළහ. මා මාගේ නිබන්ධනය ලියමින් සිටි කාලයේ එක් දිනක ඇය ඇගේ නිවසට මට ආරාධනා කළාය. එහිදී ඇය මට 'නියුටෙලා' (Nutella) තැවරූ පාන් පෙත්තක් පිළිගැන්වූවාය. ඇය ඊට බෙහෙවින් ප්‍රිය කරන බව පැවසුවාය. ඇත්තෙන්ම එය ඉතා රසවත් විය; එය මගේ ප්‍රථම Nutella අත්දැකීමයි. අදටත් මම වෙළඳසැලකදී Nutella දකින සෑම විටම ඉබේටම වාගේ ඇයව සිහියට නැගේ.. ඇය තුළ සැඟව සිටි ඒ කුඩා දැරිය අවධි කරවන සුන්දර සිනහව මට මැවී පෙනේ.
එදින ඇය මට කිසිදා නොදිරන අවවාදයක් දුන්නාය:
"ඔබගේ නිබන්ධන පරීක්ෂක වරුන්ගේ ප්‍රශ්න සඳහා සාර්ථකව පිළිතුරු සපයා ඔබගේ ආචාර්ය උපාධි පරීක්ෂණය සමත් විය යුත්තේ ඔබයි. මේ නිබන්ධය ඔබේ මිසක මාගේ නිබන්ධය නොවේ. එය ඔබේ බුද්ධිය හසුරුවා එයට හැඟෙන පරිදි ලියන්න."
සරලවම කිවහොත්... නිර්භීත වන්න, ස්වාධීන වන්න... ඔබගේ කාර්යය පිළිබඳ මනා අවබෝධයකින් පසුවන්න...
මා වරින් වර ඇයට ලිපි ලිවුවද, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පසු මට ඇයව මුණගැසීමට අවස්ථාව ලැබුණේ දෙවතාවක් පමණි. ජීවිතය වඩාත් කැලඹිලි සහිත සහ කාර්යබහුල විය... එසේය, අනෙක් සෑම දෙනාටම මෙන්ම මා සතුව ද තිබුණේ ඒ පොදු නිදහසට කරුණමය. මුල් වසරවලදී මා ශ්‍රී ලංකාවට ගියේ වසර දෙකකට පමණ වතාවකි. නමුත් ජීවිතය යම් ස්ථාවරත්වයකට පැමිණ, මා ඇයව දැකීමට සූදානම් වූ මොහොතේම, ඒ 'කෝවිඩ් වසංගතය' ලොව වෙළාගත්තේය. නැවතත් අවුරුදු දෙකක් පමණ ලංකා ගමන ප්‍රමාද වූ අතර, ඒ පැමිණීමත් හදසි අනපේක්ෂිත කෙටි ගමනක් වූයේ, මගේ සහෝදරයා සහ ලොකු දියණියගේ හදිසි අනතුර නිසාවෙනි. කෙසේ වුවද, මා ඇයව හමුවීමට එන බව දන්වා විද්‍යුත් ලිපි යැවූ ඒ අවස්ථා දෙකේදීම ඇය ප්‍රථමයෙන් ලබා දුන් පිළිතුර වූයේ මෙයයි:
'හොඳයි... ඔබ කෙසේ හෝ මෙහි පැමිණෙන බැවින්, අප වෙනුවෙන් සම්මන්ත්‍රණයක් (Seminar) පවත්වන්නේ නැත්තේ ඇයි?'
ඒ මාගේ දෙවැනි මවයි. ශ්‍රේෂ්ඨයන් අතර ශ්‍රේෂ්ඨතමයා... විශිෂ්ටතම ගුරුවරිය... මා හට බැබළෙන්නට අවස්ථාවක් උදා කර දෙමින් ඇය සැමවිටම කළාක් මෙන් මා ඔසවා තැබුවාය. පළමු වතාවට මා ඒ සම්මන්ත්‍රණය පවත්වන විට මා තවමත් පශ්චාත්-ආචාර්ය උපාධි (Post-doctoral fellow) පර්යේෂකයෙකු වූවෙමි. මා කරන පර්යේෂණ කටයුතු පිළිබඳව ඇයට තිබුණේ අපිරිමිත ආඩම්බරයකි. ඇය එකල ශ්‍රී ලංකාවේ සිටි සියලුම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්ට සහ ඔවුන්ගේ සිසුන්ට ඒ සඳහා ඇරයුම් කළාය. ඔවුන් සමඟ විද්‍යාව පිළිබඳ සාකච්ඡා කිරීමට ලැබීම මාගේ මනස අමන්දානන්දයට පත් කළ අවස්ථාවක් විය.
ඇය නිරන්තරයෙන් මා හට පැවසුවේ, 'මම මගේ සිසුන්ට උගන්වන විට ඔබේ පර්යේෂණ ප්‍රකාශන උදාහරණ ලෙස පාවිච්චි කරනවා' කියාය. ගුරුවරයෙකුගෙන් හෝ උපදේශකයෙකුගෙන් මීට වඩා කිනම් ඇගයීමක් කෙනෙකු බලාපොරොත්තු විය හැකිද? මාගේ උපදේශකවරුන් දෙපළම එවැනි ඇගයීම් කිරීමට කිසිවිටෙකත් පැකිළුණේ නැත. මා ඇය මාගේ දෙවැනි මවක් වැනි යැයි පැවසුවේ එබැවිනි. මන්ද, මාගේ ප්‍රගතිය පිළිබඳව ඇයව දැනුවත් කරන සෑම විටම මට හැඟුණේ තම මව ආඩම්බරයට පත් කළ දරුවෙකු ලෙසයි.
පළමු වතාවේ මා එම දේශනය සඳහා පැමිණි දවසේ ඇයට තිබුනේ අපමණ සතුටකි. මට තිබුනේ මගේ මව දැකීම හා සමාන උද්දාමයක් හා ප්‍රීතියකි. ඒ දවසේ මා ඇඳ සිටි සුදු පැහැති බ්ලවුසය ඇය සකස් කර දුන් ආකාරය මට අද මෙන් මතකය. ඇය මාගේ ඇඳුමේ අඩුපාඩු සකසමින් එය වඩාත් පිළිවෙළට කිරීමට උත්සාහ කළාය. ඒ මොහොතේ මා ඉදිරියේ සිටියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරෝමා හඳුන්නෙත්ති නොව, මා හට කිසිදා අහිමි කරගන්නට හෝ අත්හැරීමට ප්‍රාර්ථනා නොකළ අතිශය ආදරණිය මාතෘත්වයෙන් පිරි ගැහැණියකි.
මා ඇයව අවසන් වරට හමුවූයේ 2024 දෙසැම්බර් මාසයේදී ඇය දැක බලාගැනීමට සහ ඇයගේ ආරාධනයෙන් සිදු කෙරුනු IBMBB ආයතනයේ පැවති මාගේ දෙවැනි දේශනය සඳහා සහභාගී වූ දිනයේය. ඇය වයස්ගත වීමේ ලකුණු පෙන්වමින් සිටියද, පෙරටත් වඩා ප්‍රඥාවන්ත, වඩාත් ශාන්ත තැනැත්තියක බවට පත්ව සිටියාය. මාගේ මනස තවමත් වසර දහයකට හෝ දොළහකට පෙර අතීතයක සිරවී ඇති බව මට වැටහුනේ එදාය. මා පිළිගැනීමට සූදානම් නොවූවද, ඇය ජීවිතයේ යථාර්ථය හෙවත් වයස්ගත වීම නමැති පරීක්ෂාවට මුහුණ දෙමින් සිටියාය. අපි එදා බොහෝ දේ කතා කළෙමු. අප සැවොම කවදා හෝ කළ යුතු වන්නාක් මෙන්, ඇයද සියලු බැඳීම් අත්හැරීමට පටන්ගෙන ඇති බවට සලකුණු පෙනෙන්නට තිබුණි. ගුරුවරයෙකු විසින් ගෝලයෙකු හට දිය හැකි උතුම්ම ත්‍යාගය ඇය එදින මට පිරිනැමුවාය; ඒ ඇගේ මෑණියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මුද්‍රණය කළ, දේශනාවන් ඇතුළත් බෝධි පූජා පොතකි. සිරිතක් ලෙස මම එදිනද සම්මන්ත්‍රණය පැවැත්වූවෙමි. ඇය ඉතා ඕනෑකමින් ඊට සවන් දුන්නාය. අවසානයේ අපි විද්‍යාව පිළිබඳ සාකච්ඡා කළෙමු. ඒ අතර ඇය මොහොතකට නිහඬ වූවාය; අනතුරුව මාගේ අනෙක් උපදේශක මහාචාර්ය සිසිර පතිරණ මහතා දෙසට හැරී, ඔවුන්ගේ සිසුන්ට ඉගැන්වීම සඳහා මා යොදාගත යුතු බව යෝජනා කළාය. ඇය එය පැවසුවේ ඇගේ ඒ සුන්දර සිනහව සමඟින්, අතිශය මෘදු සහ ශාන්ත හඬකිනි. ඇය පිළිබඳ මා සතු අවසන් මතකය එයයි.
මාගේ කුඩා ලේලියන් දෙදෙනාට මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරිය පෙන්වීමට මට උවමනා වූ අතර, ඔවුන් එදා ඇයව මුණගැසීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි. මහා පොළොවේ පය ගසා සිටි මහාචාර්වරියක වූ දාරක ස්නේහයෙන් පිරි ගැහැණියකගේ සහ ඔවුන් සිතා සිටින්නා වූ "මහාචාර්ය" වරු අතර වෙනස මට ඔවුනට පෙන්වීමට වුවමනා විය. කිසිවෙකුට වෛර නොකළ, අනෙකාගේ අවමාන ඉදිරියේ නොසැලී ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් කල ඇය වැන්නියකගෙන් උගත හැකිව තුබුණු දේ බොහෝය. ඉතා හිස්, බොහෝ මාන්නයෙන් හිස් උදුම්මාගත් විශ්ව විද්‍යාල ඇදුරන් අතරේ ඇය පිරුණු කළයක සේ නොසෙල්වී දරුවන් වෙනුවෙන්, නව සොයා ගැනීම් වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කළාය.
මේ වසරේ මුලදී ඇය මෙලොව හැර යාමට මාස දෙකකට පමණ පෙර, මා ඇයට විද්‍යුත් ලිපියක් යැව්වේ මාගේ නවතම පර්යේෂණ ප්‍රකාශනයක් ඇය සමඟ බෙදාගෙන ඇයව ආඩම්බරයට පත් කිරීමටයි. ඇය සතුටින් ඊට පිළිතුරු දුන් අතර ඇය කාර්යබහුල බවක් ද හැඟුණි. එහෙත්, අවාසනාවකට මෙන් මා ඒ පණිවිඩයට පිළිතුරක් යැව්වේ නැත. ඇය විශ්‍රාම ගන්නා බවට වූ පණිවිඩයක් මාගේ අනෙක් උපදේශකවරයාගෙන් මට ලැබුණි. ඉන්පසු මා කාර්යබහුල විය, අවධානය ගිලිහී ගියේය; 'ඩිට්වා' කුණාටුව පැමිණි ඒ දිනවල මා ලංකාවේ සිටියද මම ඇයව බලන්නට ගියේ නැත. අනතුරුව මට අසන්නට ලැබුණේ ඇගේ අභාවයයි. එය ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ සහ ප්‍රතාපවත් විද්‍යාඥවරියකගේ අහිමි වීමකි. අප සැමට දීප්තිමත් අනාගතයක් ලබා දුන් ඇය සමඟ කටයුතු කිරීමට ලැබීම අප සැමගේම භාග්‍යයකි. ඇය උතුම් වූ අමා මහ නිවන් සුව අත්කර ගන්නා බවට මා තුළ කිසිදු සැකයක් නැත.
ඇගේ අහිමි වීම මට තවම මා පිළිගැනීමට සූදානම් නැත. ඇය සිය ජීවිතය විඳීමට කාලය ඉතිරි කරගෙන විශ්‍රාම ගත්තා පමණක් යැයි මට සිතේ. ලඟදී දිනක ප්‍රකාශයට පත් කිරීමට නියමිත මාගේ නවමු පර්යේෂණ පත්‍රිකාව බෙදා ගන්නට ඇය නොමැති බව මට මතක් වෙන්නේ ඉඳ හිටකය. කෙතෙක් මනසිකාර කලද සමහර බැඳීම් බොහෝ ගැඹුරුය. ඇයට මා උතුම් ලෙස සැලකූ බව ඇය දැන සිටියා වන්නට පුළුවන. නමුත් හරි හැටි මා විසින් ප්‍රකාශනය කලාදැයි නොදන්නෙමි. ලංකාවේ මිනිසුන්ට තමන් ආදරය කරන ගරු කරන මිනිසුන් හට ආදරය ප්‍රකාශ කරන්නට කුඩා කල සිටම හරි හැටි කියා දෙන්නේ නැත. මගේ මල්ලිගේ කුඩා දරුවන් දෙදෙනාට මා කුඩා කල සිටම "අයි ලව් යූ" කියන හෙයින් දැන් ඔවුන් ඕනෑම ප්‍රසිද්ද තැනක දුරකථන සංවාදය නිම කරන විට එසේ කියන්නට පැකිලෙන්නේ නැත. නමුත් "මා ඔබට ආදරෙයි" යනු ලංකාවේ ජීවත් වෙන කුඩා වුන්ගේ පන්ති වුවද තහනම් විය වචන පෙළක් බව මම දනිමි. අවාසනාවට එය එසේය.
No comments:
Post a Comment