Image courtesy- internet |
වුද්ධිකාරෝ කියා වඳිනකොට ආ සුවඳ
එදා රෑ හිස පලා, ගලාගෙන ගිය අපුල
ඇනි ඇනී නයිටියේ, තාත්තගෙ කොට රැවුල
ඉදිමිලා උප්පැන්නෙ, ඉහිරුනා ලේ පාට....
අම්මා නිහඬවම බුදු වෙන්න පැතුවාද
දොර පියන් හැර තියා ජූජක බමුණාට
කඳුලක් වැලලුවට කනේරු ගහක් යට
අන්නාසි ගැට පුතේ අමතක වුනා මට...
සිංහයා මැරුණාට, සීවලී නැති දුකට
සිංහබා දැන් අයිති ඉතිහාස කතාවට
තාත්තා බුදු වෙයන්, පුරුද්දට කිව්වාට
බුදු වෙන්න බෑ පුතේ...පිරිමි උනු පලියටම...
-ww
පසු සටහන:
පසුගිය දවසක ජාන පරීක්ෂණයකින් ඔප්පු වෙනවා, තමන්ගෙ තරුණ දියණියගේ දරුවා, එම දියණියගේම පියාගේ වග. ඒ වගේම ඒ දියණිය දීර්ඝ කාලීන ලෙස පියාගෙන් අපයෝජනය වෙද්දී, මවත් මේ සියල්ල සඟවා ජීවත් වී ඇති වග. මේක ලංකාවේ දකුණු පළාතෙන් වාර්තා වුන සිද්ධියක්. මේ තිරිසන් කම සම්භාව්‍ය වචන හරහා ඉදිරිපත් කරන්න මට සෑහෙන්න අසීරු වුනා. ඒ දියණියගේ හැඟීම් වලට මේ වචන වලින් කවදාවත් සාධාරණයක් වෙන්නත් නෑ කියල මං දන්නවා. ඒ වුනත් අපි ඇස් දෙකේ තියාගෙන හදන දරු පැටව්, අඩිය තියල යන සමාජයේ මේ වගේ මිනිස්සුත් ඉන්න වගට ඔවුන්ව දැනුවත් කරන එක දෙමාපියන් වශයෙන් ඔබේ වගකීමක්.