Monday, July 18, 2016

වැඩිම උනොත් මැරෙයි....





විශ්වය කර තබා හිඳින ඇට්ලස්ට, ඒක පුරුදු බරක්...ඒ බර සංතුලනය කරගෙන අත, පය, මොළය මෙහෙයවීම ඇට්ලස්ට දැන් පුරුද්දට ගිහින් ...මුලදී තාවකාලික පදනමට ඒ බර කරට ගත්තට, මැරෙනකල්ම ඒ බර බිම තියන්න බැරි වෙයි කියල තමයි, දැන් දැන් ඇට්ලස්ට හිතෙන්නෙ...

අපි කවුරුත් සැප කියල හිතාගෙන උපන් දා ඉඳලම විඳින්නේ දුක...ඔය බුදුන් දේශනා කල යථාර්තය ඇට්ලස්ට වැටහුනේ මීට අවුරුදු හයකට උඩදී...

ඒ දූපත වෙනුවට, ඇමෙරිකාවේ උතුරු පැත්තෙන් ආයිමත් විශ්වයට කර තිව්ව දා ඉඳන්...මහාද්වීප මාරු උනයි කියල, උහුලගෙන උන්න බරෙහි කිසිම වෙනසක් ඇට්ලස්ට දැනුනේ නෑ...

දූපතේ පී.එච්.ඩි එක කරන කාලේ ඇට්ලස්ගේ සීනියර්, ඇට්ලස්ට කිව්වේ මෙහෙම කථාවක්...

"සහෝදරී උඹේ හඳහන බලවගනින්, ඔය පී.එච්.ඩි කරන්න හිතෙන්නේ සෙනසුරු ඒරාෂ්ටකේ ගෙවන කාලෙට"

පුදුම හිතුනද, ලෝකෙම කර උඩ තියන් ඉන්න ඇට්ලස්, ගැහැණියක් වෙච්ච් කොට...පුරුෂාධිපත්‍ය ඉහට ගහපු ග්‍රීකයෝ, ඇට්ලස් කියන්නේ, පිරිමියෙක් කිව්වට, මං කියනවා ඇට්ලස් ගැහැණියක් වෙන්නත් පුළුවන් කියල...ඔහෙලා කැමති දෙයක් හිතාගන්න...මිත්‍යාවන් සත්‍ය කරන මිනිස්සු හැබෑ ජීවිතේ ඉන්න පුළුවන්...

දැන් උදවියගේ භාෂාවෙන් කියනවා නම්, ඔය ඒරාෂ්ටක කතන්දරේ "එකෙන්ම ඇත්ත"...ආයිමත් හඳහන් බලන්න දෙයක් නෑ...

එහෙම කිව්වට කවුරුත් අධෛර්යමත් වෙන්න ඕනෙ නෑ...

අවුරුදු මිලියන ගණනකට කලින් මැරුණ තරු වලින් එන එළියෙන් ජීවිතේට නැකත් හදන්න බෑ...

හොඳට පාර බලාගෙන ගල්, මුල් අයින් කරගෙන, කටු අකුල් සුද්ධ කරගෙන යද්දී,  බොහොම අහඹු තැන් වලින්, ඔය කියන ජීවිතේ අහුල ගන්න පුළුවන්...

"ජීවිතේ රෝස මල් යහනාවක් නොවේ" කියල, ඇට්ලස්ගේ සමරු පොතේ කවුදෝ ලිව්වේ, පහ වසරෙදි...

ඒකෙ ඇත්ත, නැත්ත හරියටම දැනගත්තේ, ඇට්ලස්ගේ අප්පච්චි රෝගාතුර උනාට පස්සේ...රෝස මල් කොහොම වෙතත්, නියඟලා මලක්වත් පිපුනේ නැති කාලයක් ඒක...

නියඟලා වගේ හැඩකාර මලක, විෂ අලේ කාල මැරෙන්නේ හැබෑම මෝඩයෝ...ඔය අලේ සංයුතිය හරියට අධ්‍යයනය කලා නම්, ගෑණුන්ට විෂයි, හැඩයි දෙක එකට ලැබෙන හැටි හිතල, හිත හදාගන්නෙක බොහොම සරල දෙයක්...

ඒ කොහොම වෙතත්, ඇට්ලස් පසුකාලීනව හිතුවේ, "ඇට්ලස්, පී.එච්.ඩි" නොහොත් "ආචාර්ය ඇට්ලස්" වූ පසු එළඹෙන්නේ, සියලුම සැප සම්පත් වලින් අනූන වූ සිකුරුගේ මහ දශාව බව...


ඒ කාලේ ඇට්ලස් ඇසූ, දුටු  සමහර ආචාර්ය වරුන්ගේ හැසිරීමත් එහෙම හිතන්නට පෙළඹවූවා කීවොත් නිවැරදියි...ඔවුන් හැසිරුනේ සක්විති රජවරුන්ටත් නොමැති බල පරාක්‍රමයන් පෙන්වමින්...

බොහොමයක් ඈයොන්ට එහෙම උනත්, ඇට්ලස්ට අමතක වුනා එක දෙයක්...ඇට්ලස්ගේ අප්පච්චිගෙන් පස්සේ, දඬුවමක් විදියට නොවුනත්, කර්මානුකූලව, විශ්වය නොහොත් දිව්‍ය තලය කර උඩින් තියාගෙන උන්නේ ඇට්ලස් බව...

ඇට්ලස්ට, "ආචාර්ය ඇට්ලස්" වෙන්න පාර කිව්වේ, පුංචි දූපතේ වැලි දූලි වල, පය ගහල ජීවත් වුනු ගුරු දෙවිවරු දෙන්නෙක්...හරියටම කිව්වොතින් දෙවියෙක්  සහ දිව්‍යාංගනාවක්...

මානව අයිතිවාසිකම් ඉහලින්ම ඇති ඇමෙරිකාවේවත් නොමැති හිතීමේ නිදහසක්, ඇට්ලස්ට ලැබුනේ ඔවුන් දෙදෙනාගෙන්...ඇට්ලස්ට අදටත් ඔවුන් දෙදෙනා මව්පියන් හා සමානයි...

පහුගිය අවුරුදු දහතුන පුරාවටම, ඇට්ලස් වැඩිපුරම ජීවත් වූයේ විද්‍යාගාරය තුල...

"අපොයි මහ නර්ඩ් කෙනෙක්"

එහෙම නේද හිතුවේ...

තව ලොකු කතාත් කියෝනවා ඒ මදිවට...එහෙමත් හිතුනද?...

එහෙම නෙවේ...ඇට්ලස් කරපු, කියපු දේවල් නොලිය මේ කථාවේ රහක් නෑ...මිනිහෙක්ගේ වටපිටාව ගැන, අතීතය ගැන දැනීමක් නැතුව, කථාවක් තේරුම් ගන්න වෙන්නේ බාගෙට...

එහෙම උනාම ඇට්ලස්ගේ සපත්තුව ඇතුලට ඔහෙලට බැහැල බලන්න බෑ...

ඇට්ලස් බොහොම ගැඹුරෙන් ප්‍රේම කරන කෙනෙක්..ඉංග්‍රීසියෙන් කියනවා නම් "ෆුලි කමිටඩ්"...

හැබැයි ප්‍රේමවන්තයෝ දෙන්නයි...කලබල වෙන්න කාරි නෑ...ඒ ගැටවුන්ට ගැටළුවක් නැතිනම් ඔහෙලා ඒක ගැටළුවක් කරගන්නෙපා...

එකෙක් "කවියෙක්"...අනික් කොලුවා, මීයෝ, වඳුරෝ, සෛල, වීදුරු බට පිරුණ "විද්‍යාගාරයක්"...ඔය දෙන්නගෙන් තොර ජීවිතයක් ඇට්ලස්ට නෑ...ඔතනින් කවිය තමයි ඇට්ලස්ගේ දිගු කාලීන පෙම්වතා...හරියටම ගණන් බැලුවොත්, දැන් අවුරුදු විසි හයකට වැඩියි මේ බැඳීමට...

ඇට්ලස්ගේ අප්පච්චි, එයාව ඉස්කෝලෙ බෝඩිමේ හිර කලාට පස්සේ තමයි ඒක සිද්ධ උනේ...රෑට ඇට්ලස්ගේ ඩෝමෙට්‍රියට, බම්බලපිටියේ සම්පත් බැංකු ගොඩනැගිල්ලේ උඩින්ම, ඔය පහල පින්තුරේ වගේ SET කියන අකුරු තුන පෙනෙනවා...

ඒක මැදියම් රැයේ, ඝන අන්ධකාරේ නිවි, නිවී පත්තුවෙන හැටි බලාගෙන ඉන්න ඇට්ලස්ට දැනෙන්නේ කියාගන්න බැරි තරමෙ සාංකාවක්...

එහා ඇඳේ උන්න පුංචි කෙල්ල හීනෙන් කියවද්දී, ඇට්ලස් කලේ "සෙට්" අකුරු දිහාවේ බලාගෙන හූල්ලපු එක...

එතන කේන්තිය, දුක, සාංකාව, ඔය සේරෝම හැඟීම් තිබුනා...මේ කාලේ වෙද්දී ඇට්ලස්ට අවුරුදු දොළහක් විතර ඇති...



අම්ම, අප්පච්චි, ඇට්ලස්ගේ හුරතල් මල්ලි, කවුරුත් නැති හුදකලාව අන්තිමේ නැවතුනේ කොළයක් උඩ අකුරු වෙලා...

ඩොමිට්‍රියේ හිටපු උසම ගැහැණු ළමයා ලියපු අමුතු තාලේ නිසඳැස් දැකල තමයි, ඇට්ලස් මෙහෙම අකුරු කුරුටු ගාන්න ඇහැකි කියල දැනගත්තෙත්...

පහුගිය නිවාඩුවට ඇට්ලස් දූපතට ගිය වෙලාවේ, මල්ලිගේ ලොකු කෙලී සෙල්ලම් කරන්න හිතාගෙන අතට ගත්තෙ, ඇට්ලස් කළා උළෙලෙන් පළවෙනිය වෙලා ගත්ත සම්මානේ...කොයි තරම් ඒකිට ආදරේ උනත්, ඇට්ලස් ඒ වෙලාවේ කෙල්ලට තරවටු කලේ, ඒකිව සිවිලිමේ වැදෙන තරමට...

මං අහන්නෙ දහය, එකොළහ වසරේ අක්කල එක්ක තරඟ කරලා, පළවෙනිය වුනු, නවය වසරේ උන්න ඇට්ලස් ගතපු සම්මාන, වයසටත් ගියත් වටින්නේ නැතිද...

ඇට්ලස් පසුකාලීනව විද්‍යාගාරය එක්ක ප්‍රේමයෙන් වෙළුනට, කවදාවත් තමුන්ගේ ඉපැරණි පෙම්වතාව අමතක කලේ නෑ...සමහර වෙලාවට අසම්මතය බොහොම රහයි...

ඒ උනත් පහුගිය බදාදා, ඇට්ලස්ට විද්‍යාගාර පෙම්වතාගෙන් ලැබුනේ මින් පෙර නොවිඳි වේදනාවක්..වෙහෙසක්...

එය දවස මුළුල්ලේම විහිදුන පරීක්ෂණ මාලාවක්...අඩුම තරමින්, හතර දෙනෙක් අතරවත් බෙදී යා යුතුව තිබුනත්, ඇට්ලස්ගේ සහයට උන්නේ දෙන්නයි...ඒ ෂෙලී සහ ශෂී..

එයිනුත් පරීක්ෂණයේ, මොළය මෙහෙයවීමේ කොටස තිබුනේ ඇට්ලස්ගේ භාරයේ...හේතුව එය ඇට්ලස් මෙහෙයවන ව්‍යාපෘතියක් වීම...

ඊට අමතරව අනිත් දෙදෙනාට කල නොහැකි, "මදුරුවන් තැලීම" කල යුතුව තිබුනෙත් ඇට්ලස් විසින්...ඒ අනික් සියලුම වැඩ වලට අමතරව...

මේ සියල්ලම නිසාවෙන්, ඇට්ලස් සතියකට පෙර සිටම ෂෙලී සහ ශෂී මේ ගැන දැනුවත් කර උන්නේ ඔවුන්ගේ සහයෝගය අපේක්ෂාවෙන්...

ඇට්ලස්ගේ මහාචාර්යවරිය, පරීක්ෂණය පිළියෙළ කර ඇති අන්දම තක්සේරුවක් ඇට්ලස්ගෙන් ලබාගෙන නික්ම ගියේ හිතේ කුකුසකින් තොරව...

අඟහරුවාදා සවස, පසු දිනට අවැසි සියලු දෑ පිළියෙළ කල ඇට්ලස්, උදෑසන අට වන පැමිණෙන ලෙස ඉල්ලා සිටියේ ශෂීගෙන්...

ෂෙලීගේ කාරයේ වායුසමීකරණ පද්ධතියේ ගැටළුවක් බැවින්, එය තිබුනේ කාර් රෝහලක..මේ පරීක්ෂණයට කාර් වලින් ඇති අපලය ඇරඹුණේ එතැනින්...

ෂෙලීට වෙනදා මෙන් කල් තියා එන්නට හැකියාවක් තිබුනේ නෑ...ඇය කියා ගියේ සැමියා සහ දරුවන් සමඟ ප්‍රමාද වී එන බව...

"දැන් ශෂී ආවම, අක්මාවෙන් සෛල ගන්න රාජාකාරිය ශෂීට දෙනවා, මං ප්ලිහාවේ සෛල ටික ගන්නවා...එතකොට ෂෙලී ආවම, එයා ඒකෙන් උවමනා සෛල වෙන් කරයි...ඒ අතරේ මං "මදුරුවෝ තලනවා"...ඒක ඉවර වෙලා සෛල ටික රෝපිත දීසි වලට දමන රාජකාරිය මංම කරනවා...ඒ අතරේ ශෂී ලවා සෛල ටික පාට කරවන්න උදව් ගන්නවා...ඒ කාලේ බැලුවොත් රෑ නවය වෙද්දීවත් ගෙදර යතහැකි"

ඔහොම සැලසුම් කලේ, බදාදා උදේ හතයි තිහ වෙද්දී විද්‍යාගාරයට ආපු ඇට්ලස්...

මීයෝ ටික විද්‍යාගාරයට ගෙනැත් රුධිර සාම්පල් ගන්න ගමන්, ඇට්ලස් ඔරලෝසුව දිහාවේ බැලුවේ, ශෂීගේ ප්‍රමාදයට හිත යටින් තැවෙමින්...

ඒ අස්සේ, එක මීයෙක්ගේ රුධිරය නොනැවතී ගලනවා...ටිකෙන් ටික ඇට්ලස්ගේ "ටයිමින්" වෙනස් වීගෙන යන බව විතරයි ඇට්ලස්ට දැනුනේ...

ඔන්න එතකොට ශෂී ආවේ ඇස් දෙක, බෝල ගෙඩි දෙකක් වගේ ලොකු කරගෙන...ඇට්ලස් එතකොටම දැනගත්තා, අද ගෙදර යන්න වෙන්නේ යක්කු ඇහැරෙන යාමයට බව...

ඉන්දියන් වුනත්, අප්‍රිකානු-ඇමෙරිකානු පෙනුමක් ඇති ශෂීගේ ඇස් බෝල ගෙඩි වගේ වෙන්නේ, බරපතල පැටලවුමක් උනාම...

එහෙම උනාම ශෂී ඉන්නේ අහසෙත් නෙවේ...පොළොවෙත් නෙවෙයි...එහෙම කෙනෙක් එක්ක තීරණාත්මක, දිගු පරීක්ෂණයක් කරන අසීරු කම ඇට්ලස් දන්නේ අත්දැකීමෙන්...

මීයාගේ ගලා යන රුධිරය නවත්වන්නට, රුධිර නාලය තද කරගෙනම ඇට්ලස් බැලුවේ ශෂීගෙන් වචනයක් බලාපොරොත්තුවෙන්...

"සම්තින් ඉස් ලීකින් ෆ්‍රොම් මයි කාර් (මගෙ කාරයෙන් යමක් කාන්දු වෙනවා)"...

ඒ වෙලාවේ ඇට්ලස්ට තිබුන දැවෙන ගැටළුව, එක මීයෙකුගේ රුධිරය "ලීක්" වීම...එය කාරයක් වෙන්නට ගියේ තත්පර ගානයි... 

"වට් ඉස් ලීකිං..ඉස් ඉට් ඔයිල්...(මොනාද ඔයිල්ද...)" ඇට්ලස් ඇහුවේ ශෂීගෙන්...

"ඉට් ලුකස් ලයික් ඔයිල්"..."වට් ශුඩ් අයි ඩු නව්"...(ඔයිල් වගේ, දැන් මං මොකක්ද කරන්න ඕනෙ)...

ශෂී ඇහුවේ ඉහවහා ගිය, පාලනය කල නොහැකි, කලබලයක් සඟවා ගෙන...

ඉවසීමේ පරිමාව කොතෙක්ද, ඒ තරමට මස්තිෂ්කය දිග හැර ඉවසීම පුරවා, මනුස්සකම ගැන හිතා පිළිතුරක් දීම හැර, වෙන කල හැකි එවෙලේ ඇට්ලස්ට තිබුනේ නෑ...

ඒ ඇරුනම, ඇට්ලස් වාහන වෙදකම් දන්න කෙනෙකුත් නෙවේ...

"ටේක් ද කාර් ටු ද ඩිලර් (කාර් එක ඩිලර් ලඟට ගෙනියන්න)"...

වෙලාවේ හැටියට දෙන්න තිබුන හොඳම පිළිතුර තමා ඒ...

වෙනදාමෙන් ෂෙලී සමඟ, සැලසුම් සහගතව පරීක්ෂණය කරගන යාමට, ෂෙලී නොමැති අඩුව දැනෙන්න ඇට්ලස්ට වැඩි වෙලාවක් ගත උනේ නෑ...

ෂෙලී කියන්නේ, වසර පහක ඇට්ලස් ගේ විද්‍යාගාර සගයා..."ෆුලි කමිටඩ්" නොමැති උනත්, ඇය ඇට්ලස් සමඟ කටයුතු කරන්නේ ඇට්ලස් ලබා දෙන රටාවට...

එතැන ඇත්තේ කෙතරම් හොඳ සංයෝජනයක්ද කියල ඇට්ලස්ට එදා හිතුනේ පළමු වතාවට...මේ වගේ වැඩක් කරද්දී, අනොන්‍ය අවබෝධය හෙවත් මියුචුවල් අන්ඩස්ටෑන්ඩින් බොහොම වැදගත්...   

කල්පනාවෙන් මිදිලා, වටපිට බලපු ඇට්ලස්ට පෙනුනේ, දුරකථන සංවාදයක යෙදිමින් කලබලයෙන් එහා මෙහා යන, ශෂී...

ඇට්ලස් ශෂී ගෙන් උදව් ගැනීමේ අදහස අත්හැරියේ ඒ වෙලාවේදී...

"ලෙට් මී නෝ, වෙන් යූ ආ රෙඩි ටු ස්ටාට් (ඔයා පටන් ගන්න ලෑස්ති නම්, මට කියන්න)"...කලබලෙන්ම ඇවිත් ශෂී කියනවා...

"ඇයි දෙය්යනේ මේ කෙල්ලගේ ඇස් පෙනීම දුර්වලද..." හතයි තිහේ ඉඳන් වැඩ පටන් ගත්තු ඇට්ලස්ට තවත් මොනවා අලුතින් පටන් ගන්නද...

"හොඳ වෙලාවට ශෂී පී.එච්.ඩි එකක් කරන්න නොහිතන්නේ"...ඇට්ලස්ට එහෙමත් හිතුනා...

වගකීමක් නැති, තමන් කරන දේ බරපතලක් නොවැටහෙන කෙනෙක්, පී.එච්.ඩි නෙවේ, කිසිම රාජකාරියක් බාර දෙන්න සුදුසු නෑ කියනෙකයි ඇට්ලස්ගේ අදහස...

"හායි, අයෑම් හිය (හායි, මං මෙහේ)"...

ඇට්ලස්ගේ හිතට සහනයක් දැනුනේ ඒ කට හඬට...

"හේයි...අයෑම් බිහයින්ඩ් ද ෂෙඩියුල්...ශී ඉස් ඉන් අ බෑඩ් මූඩ්...හ කාර් ඉස් ලීකිං (ඒ, මං කාල සටහනෙන් පිට පැනල ඉන්නේ...ඇයට ගැටළුවක්...ඇගේ කාරයේ කාන්දුවක්ලු)" 

ඇට්ලස් ෂෙලී ට සංක්ෂිප්ත වාර්තාවක් ලබා දුන්නා...

ශෂී ගැන හොඳින් දන්නා ෂෙලීට ඒ ටික ඇති, 

"ඉට් ඉස් ගොඉන් ටු බී අ නයිට්මෙයා (අද දවස නරක හීනයක් වෙන්නයි යන්නේ)" 

කියල ඉංග්‍රීසියෙන් හිතා ගන්න... 

"ශෂීඊඊ.....ඉට් ඉස් රෙඩි...යූ කැන් ස්ටාර්ට් ද ලිවර්ස්...අයි'ල් හෙල්ප් යූ (ශෂී...ඒක ලෑස්තියි...ඔයාට අක්මාව පටන් ගන්න ඇහැකි...මමත් උදව් කරන්නම්)" 

සියල්ල පටන් ගැන්මට පෙර, ඇට්ලස් කලේ ශෂීව කැඳවා, පියවරෙන් පියවර විස්තර කිරීම...

ශෂී මින් පෙර දෙතුන් වතාවක් කර ඇති ඕනෑම දෙයක් උනත්, කරන්නට යද්දී, අන්දමන්ද වී හිඳින්නට හැකි, සුවිශේෂ හැකියාවක් ඇත්තියක්...




ඇය නිතර කරන කාර්යන් හැර, මෙවැනි පරීක්ෂණ වලදී, ඇයව පියවරෙන් පියවර අධීක්ෂණය කල යුතුයි...

ඇට්ලස් ඒ වෙද්දී උන්නේ "ඕනේ දෙයක් වෙද්දෙන් හෙවත් "වට්එවර්" මානසිකත්වයෙන්...

ඒ මොක උනත්, මැරෙන්න මොහොතක් තියා හෝ, තමන් කරන වැඩේ ඉහලින්ම කරන්න අන්තිම උත්සාහය දරන එක, ඇට්ලස්ගෙ ජන්ම පුරුද්ද...

ඒත් ඕනෙම දෙයක් බාරගන්න, කල් තියාම හිත හදාගන්න ඕනේ නිසා, ඇට්ලස් මුලින්ම කරන්නේ "වට්එවර් මූඩ්" එකට මස්තිෂ්කය සුසුර කරගන්නෙක...

එහෙම නැත්නම් කාලසටහනෙන් පිට යන අපිළිවෙල, ඇට්ලස්ගේ මොළයේ සියලුම නියුරෝන එකට පටලවනවා...එතකොට එන කේන්තිය සහ පීඩනය නවතින්නේ කොහෙන්ද කියල ඇට්ලස් දන්නේ අත්දැකීමෙන්...




දැන් ඇට්ලස් "වට්එවර් මූඩ්" එකේ ඉඳන් අක්මා සෛල පිරිපහදු කරන්නයි සූදානම...අක්මා හතරක් නිම කරන්න ගත වන කාලය පැය හතරකට ආසන්නයි...ඕක ශෂී එක්ක දෙකට බෙදාගෙන, ඊට වඩා අඩු කාලෙකින් නිමා කිරීම තමයි මූලික සැලසුම උනේ...

ඇට්ලස් එක් අක්මාවකින්, සෛල වෙන් කරගෙන, ඊළඟ එකට මාරු වෙන ගමන්, එහා පැත්තේ උන් ශෂීගේ තත්වය හොයා බැලුවා...


"අයෑම් ස්ටිල් ඉන් ද ෆස්ට් වන් (තාම මං පළවෙනි එක)"...

ඒ තමයි ලැබුන උත්තරේ...

ඇට්ලස් දෙවැනි එකත් නිමා කලේ ඒ අතරේ...

"හව් ආ යූ ඩුයිං ශෂී (ශෂී කොහොමද ඔයාට)"...

සාමාන්‍යෙන් පරීක්ෂණයක් අතරෙදි, අනික් කෙනාගෙන් මෙහෙම අහනෙක හැමෝගෙම පුරුද්ද...

"අයෑම් සොරි...අයෑම් බීන් ස්ලෝ ටුඩේ...ස්ටිල් ද ෆස්ට් වන් (මට සමාවෙන්න...අද මං ටිකක් හෙමින් වැඩ කරන්නේ...තාම පළවෙනි එක)...

බොහොම පහල, බොහෝ කලකින් ආහරයක් නොගත්, පාණ්ඩු ස්වරයක් ඇට්ලස්ට ඇහුනෙ එහා පැත්තෙන්... 

සමාව ඉල්ලන කෙනකුට කඩා පනින පුරුද්දක් ඇට්ලස්ට නෑ...

නැත්නම් ශෂී කිරි සප්පයෙක් වගේ එහෙම කියද්දි, ඇට්ලස්ට හිතුනේ ශෂීට තරු ටිකක් ගෙනැල්ල හැඩ පෙන්නන...

"ඕකේ...ලෙට් මී ඩු ද තර්ඩ් වන් (හරි, කෝ දෙන්න මට තුන්වැනි එක)" 

ඇට්ලස් කිව්වේ, එදා විද්‍යාගාරයේ "නයිට් අවුට්" එකක් යන්න හිත හදාගෙන...

ඒ වෙද්දී ෂෙලී, ප්ලිහාවේ සෛල වෙන් කරන කාර්ය නිමා කරන්න ආසන්න වෙලා තිබුනේ...

එදා දවසේ කාලයේ ගමන් කලේ සොනික් ජෙට් යානයකින්...

ඇට්ලස්, ශෂී එක්ක අක්මා පිරිපහදුව කරන අතර, ෂෙලී ලබා දුන් ප්ලිහා සෛල වලින් කොටසක්, දැමුවේ රෝපිත දීසි වලට...ඉන් පසු ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක් සහිත ඉන්කියුබේටරයට...සෛල තුල ජීවය පවත්වා ගැනීමට නම්, එය හැකි ඉක්මනින් කිරීම ඉතා වැදගත්... 

ඉන් පස්සේ ඒ සෛල සමඟ කරන අනිකුත් පරීක්ෂණ, සවස් යාමය තෙක් කල් තබන්නට හැකි බව ඇට්ලස් අත්දැකීමෙන් දන්නවා...

ඒ අතරේ, කලින් ඇණවුම් කරපු එක් දියරයක් විද්‍යාගාරයට නියමිත වේලාවට ලැබී තිබුනේ නෑ...සමහර දේවල් ඇමෙරිකාවේ උනත් වෙලාවට සිද්ධ වෙන්නේ නෑ...පරීක්ෂණ අතරේ ඒවාට වද වීමට සිදු වීම, ඇට්ලස්ගේ බරට තවත් බරක් එකතු වීමක්...

වෙනදා කල් තියාම පරික්ෂණයට අවශ්‍ය, විද්‍යාගාරයේ නොමැති දෑ, ගෙවීමේ පදනම මත හෝ එකතු කර තබා ගන්නා ඇට්ලස්ට, මෙවර මේ දියරය මග හැරී තිබුනා...

ප්ලිහා සෛල වලින් තවත් කොටසක් කුඩා නල වලට දැමූ ඇට්ලස්, ඊලඟට කල්පනා කලේ ෂෙලී, අර දියරය සොයා කොහේ යන්නට ඇත්දැයි කියා...

"අයි ගොට් ඔන්ලි දිස් වන් (මට මේක විතරයි හොයා ගන්න ලැබුනේ)"...

හති දමාගෙන පැමිණි ෂෙලී කීවේ ඇය අත තිබූ කුඩා වීදුරු බෝතලයක් පෙන්වමින්...

"දිස් ඉස් හියුමන් ෂෙලී..වී නීඩ් මවුස් (මේක මිනිස් එකක්, අපට ඕනේ මීයොන්ට අදාළ එක ෂෙලී)"...

"මෑන්..ශී වෝස් හෝල්ඩින් දිස්...ආස්කිං සෝ මෙනි ක්ව්ෂ්චන්ස්..අයි කුඩ් නොට් චෙක් ද ලේබල්...ශී ඩිඩ් නොට් ලෙට් මී ගෝ...අයි සෝ ඉට්...අයි ඩිඩ් නොට් වෝන්ට් ටු ගෝ බැක් ටු රිටර්න් ඉට්..ශී විල් කැච් මී" 

(ඇය මේක අතේ තියාගෙන, මගෙන් ඉවරයක් නැති ප්‍රශ්න ගොන්නක් ඇහුවා...මට ලේබලය පෙනුනේ නෑ...ඇය මට එන්න දුන්නෙම නෑ...මං ඉන් පස්සේ, ලේබලය දැක්කට ආපහු ගියේ නෑ...ඇය ආයිමත් මාව කතාවට අල්ල ගන්නවා...)

ෂෙලී කිව්වේ සියල්ල මදකට අමතක කොට, මහ හඬින් සිනා වෙමින්...ඇට්ලස් උන්නේ කිසිසේත්ම ඒ හිනාවට උඩගෙඩි දෙන මට්ටමක නෙවේ...

ඇට්ලස්, "ඇය" යනුවෙන් හඳුන්වූ අයව හොඳින්ම දන්නා නිසා සිද්ධ වී ඇති සංතෑසිය වටහාගන්නට, අමාරුවෙන් හිතන්නට දෙයක් තිබුනේ නෑ...

"වට් ඩු වී ඩු ෂෙලී..අයි නීඩ් ඉට් ෆෝ ස්ටේනින්...කැන් යූ ගෝ චෙක් ඉන් ද අද ලැබ්ස්  (අපි මොකෝ කරන්නේ ෂෙලී...මට මේක නැතිව බෑ සෛල පාට කරන්න...ඔයාට පුළුවන්ද අනික් ලැබ් වල බලන්න"

"වෙයාර් ශුඩ් අයි ගෝ (මං කොහෙද යන්නේ)..." ඒ අඇහුවේ ෂෙලී...

ඇට්ලස්ට දැනුනේ අන්ත අසරණ කමක්...හැමදාමත් වගේ ඇට්ලස්ට අතපසුවීමක් උනොත්, ඒක නිවැරදි කරන්න පුදුමාකාර වෙහෙසක් දරන්න වෙන්නේ...

මොළේ වෙහෙසන්න කම්මැලි ඈයොත් එක්ක පර්යේෂණ කරනවට වඩා හොඳයි................................(ඇට්ලස්ට හිතුන දේ මෙතැන නොලියා ඉන්නෙක)...

ඒ අස්සේ ඉතිරි ප්ලිහා සෛල ගොන්න තවම අයිස් මත...එය ෂෙලී ඉදිරි පියවර සඳහා සකස් කල යුතුයි...

අක්මා සෛල වල ඊළඟ පියවරට තව පුංචි කාල වේලාවක් තිබුනා...ඒ ඉඩේ ඇට්ලස් තවත් දෙයක් කල යුතුව තිබුනා...

ආයිමත් ෂෙලී අතුරුදන්...

"අයි කුඩ් නොට් ෆයින්ඩ් ඉට්...(මට ඒක හොයා ගන්න බෑ).." 

ෂෙලී කොහේදෝ ඉඳන් ආයිමත් ආවේ එහෙම කියාගෙන...

ඇට්ලස් තීරණය කලේ කොහෙන් හරි ඒක සොයාගෙන එන්න...

කාලෙක ඉඳන් විශ්වය කර තියන් ඉන්න ඇට්ලස් කිසිමදාක පහු බහින කෙනෙක් නෙවේ...ඒ වගේම, ඇට්ලස් ඒ දියරය හොයාගත්තා බොහොම ආසන්න විද්‍යාගාරයකින්...

"ෂෙලී මෙච්චර විකාරයක් කලේ මොකද මේක හොයා ගන්න" ඇට්ලස් එහෙම හිතුවා විතරයි...කිව්වේ නෑ...

ඇට්ලස් සමහර වෙලාවට, ඊළඟට පළමුව කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිව විද්‍යාගාරයේ එහා මෙහා ඇවිද්දා...

අනික් දෙදෙනා දිවා ආහාරය පිණිස ගියත් ඇට්ලස්ට ඒ සඳහා කාලයක් තිබුනේ නෑ...

අක්මා සෛලත් පෙර ලෙසම සකස් කර අවසන් වන විට තිබුනේ "මදුරුවන් තැලීමේ" රාජකාරිය...

"ඩු යූ වෝන්ට් මී ෆෝ ද හෝල් ඩේ... (ඔයාට මාව දවසෙම ඕනෙද)..."

මොළය, ඇස, කණ එකවර සහයෝගයෙන් ක්‍රියා නොකරන විලාසෙන් ශෂී ඇහුවේ ඇට්ලස්ගෙන්... 

"යා, අයි වුඩ් නීඩ් යූ...වයි ? (ඔව් මට ඔයාව ඕනේ වෙයි...ඇයි)"

ඇට්ලස් ශෂීට එහෙම කිව්වේ, හිතට ආ සියලු වර්ගයේ හැඟීම් යටපත් කරගෙන...

"නෝඕඕ...අයි හෑව් ටු ඩ්‍රොප් මයි කාර් ඇට් ද ඩිලර් බිෆෝ ත්‍රී...(නෑඈ...මට කාර් එක ඩිලර් ලඟට ගිහින් දාන්න ඕනේ තුනට කලින්) "

එතකොටයි ආයිමත් ඇට්ලස්ට කාර් වලින් ඇති අපලය සිහියට ආවේ...

දැන් ඉතින් මක් කරන්නද...වට්එවර් මූඩ් එකේ ඉඳන් එහෙම හිතපු ඇට්ලස් ශෂීව නිදහස් කළා...

ඊළඟට තිබුනේ මදුරුවෝ ගෙන්න යන්න...එක මැලේරියා මදුරුවෙක් හෝ අත්වැරදීමකින් මුදා හැරුනොත්, මුළු ගොඩනැගිල්ලම හදිසි අවස්ථාවකට පත් වෙන්න යන්නේ තත්පරයයි...ඒ නිසා උන් උන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේ...ඒක බාරව උන්න මිස් මාග්‍රට්, ඇට්ලස්ට ලොකු සහයෝගයක් දෙන කෙනෙක්...

අවාසනාවක මහත...ඇයට ඇට්ලස්ව එදා අමතක වෙලා කලින් යන්න ගිහින්...ඒ වෙද්දී හවස දෙකයි...

"කැන් යූ හෙල්ප් මී (මට උදව් කරන්න පුළුවන් ද)"...ඇට්ලස් බොහොම අසරණව එහෙම ඇහුවේ එතැන ඉන්න අනික් යුවතියගෙන්...ඒ වෙද්දී ඇට්ලස්ගේ ග්ලුකෝස් මට්ටම බොහෝ පහලට වැටී තිබුනු වෙහෙසත් දරාගෙන...

හැමෝගෙම නොඅඩු සහයෝගෙන්, මදූරුවන්ගේ කතාන්දරය අවසාන වෙද්දී පැයකට ආසන්න කාලයක් ගතවුනා කිව්වොත් නිවැරදියි...

අන්ක්ෂවීයට එබීගෙන, මදුරුවන්ගේ ඛේට ග්‍රන්ථි වලින් මැලේරියා පරපෝෂිතයින් වෙන් කරන්න, ඇට්ලස්ට තව පැය එක හමාරක් ගත උනා කිව්වොත් නිවැරදියි...එයින් පසු ඇතිවන බෙල්ලෙන් ඇතිවී දෙඅත් පුරා යන වේදනාව ඇට්ලස්ට බොහොම හුරු දෙයක්... 


hscweb3.hsc.usf.edu

සියල්ල කොහොමින් හරි සිද්ධ වෙද්දී, ඇට්ලස්ට ආවේ දුරකථන ඇමතුමක්...

ඒ ෂෙලීගෙන්...

ඇට්ලස් ඒ වෙද්දී මැලේරියා පරපෝෂිතයින්ව ෂෙලීට ලබා දීලා තිබුනේ ඊළඟ පියවරට...

එය කල යුතුව තිබුනේ, විශේෂ වූ කාමරයක...

"අයි කැනොට් ෆයින් ද කී ටු ද රූම්...සම්බොඩි හෑස් ටේකන් ඉට්...අයි කැනොට් ෆයින්ඩ් දැට් පර්සන් (මට කාමරේට යතුර හොයා ගන්න නෑ...කී එක කෙනෙක් ගෙනිහින්...එයාව හොයා ගන්න නෑ)"...

ඇට්ලස්ට කුමන ශක්තියක් තිබුනත්, දිවැස් නැත...

"ප්ලීස් ෆයින්ඩ් හිම් ෂෙලී..(අනේ ඔහුව හොයාගන්න ෂෙලී)"...

ඒ හැර වෙන කියන්නට යමක් ඇට්ලස් ට නොතිබුනේ, ඇට්ලස් ඒ වෙද්දී සෛල සමඟ ඊළඟ පියවරට ඇතුල් වූ තිබූ හෙයින්...

"රෝමය ගිනි ගනිද්දී, නීරෝ වීණාව වැයුවලු"

ඇට්ලස් කලෙත් ඒක...

එයා කොහෙන් හරි ඕක හොයාගනිවී...ඇට්ලස් ෂෙලී ගැන එහෙම හිතුවා...

"අයි වොල්ක්ඩ් මයිල්ස්... (මං සැතපුම් ගාණක් ඇවිද්දා)"...ටික වේලාවකින් එහෙම කියාගෙන ආවේ ෂෙලී...

"ඩිඩ් යූ ෆයින්ඩ් ද කී..(යතුර ලැබුනද)"...ඇට්ලස් ඇත්තටම හිතුවේ ෂෙලී ආවේ තමන්ගේ වැඩේ ඉවර කරගෙන කියල...

"නෝ, අයි කැනොට් ෆයින්ඩ් දිස් පර්සන්..(නෑ, මට මේ මනුස්සයව හොයා ගන්න නෑ)"

එවෙලේ නම් ඇට්ලස් තමන්ගේ අමනාපේ පිට කලේ නොහිතම...

වගකීමක් බාරගත්තයින් පස්සේ නෑ, බෑ කියන ඈයොත් එක්ක වැඩ කරනවා කියන්නේ බොහොම අසීරු වැඩක්...

"යූ මේ හැව් ටු ගෝ ටු ඊච් රූම් ඇන්ඩ් ෆයින්ඩ් හිම්...වී ඩෝන්ට් හැව් අ චොයිස් හිය...හී ශුඩ් හැව් රිට්න් හිස් ඉන්ෆොමේෂන්, විත් හිස් රූම් නම්බර්...(ඔයාට හැම කාමරයක් ගානේම ගිහින් හරි එයාව හොයාගන්න වෙනවා...අපිට වෙන විකල්පයක් නෑ...එයාගේ තොරතුරැ සටහන් කරලා ඇති, කාමර අංකයත් එක්ක...)"

ඇට්ලස් එහෙම කියාගෙන, ආපහු සෛල දිහාවට හැරුනා...

ආයිමත් දුරකථනය නාද වෙනවා...

"හේයි..වට්ස් අප්...ඩු යූ වෝන්ට් මී ටු කම් බැක් (හේ..මොකද වෙන්නේ...මං ආපහු එන්නද)"

ඒ ශෂී...හරීම සැහැල්ලුවෙන්...ඒ වෙද්දී වේලාව හවස පහයි...

ඇට්ලස් ඒ වෙද්දී උන්නේ සුහද පිළිසදරක යෙදෙන තත්වෙක නෙවේ...

"යා සිටුවේෂන් ඉස් සෝ බෑඩ් හිය...ෂෙලී ඉස් රනින් අරවුන්ඩ් ටු ෆයින්ඩ් අ කී...අයෑම් ස්ටක් විත් සෙල්ස් ඇන්ඩ් අයි හැව් ටු ඩු ද ස්ටේනින් ටූ...ඉෆ් යූ කැන් කම් බැක්, ඉට් වුඩ් බී ග්‍රේට්.."

(ඔව්, තත්වේ නම් නරකයි...ෂෙලී හැමතැනම දුවනවා යතුරක් හොයා ගන්න නැතිව...මං සෛල එක්ක හිරවෙලා...අනිත් අතින් සෛල පාට කරන්නත් ඕනේ...ඔයාට එන්න පුළුවනි නම් ලොකු දෙයක්)

ඇට්ලස්, මින්පෙර කිසිදාක නොඉල්ලූ උදව්වක් ශෂීගෙන් ඉල්ලා සිටියේ, තනිවම එය කරගැනීමට කිසිම හැකියාවක් නොමැතිකමටමයි...

සවස හය පමණ වෙද්දී ෂෙලී ඇයට හැකි පමණ නිමා කොට පිටව ගියේ, සැමියා පැමිණි හෙයින්...

ඒ වෙද්දී ශෂී උන්නේ සෛල පාට කිරීමේ අවසාන පියවර නිම කරමින්...

ඇට්ලස් උන්නේ සෛල දියාරු කර, ගණන් කිරීම සඳහා සූදානම් කරමින්...ඒ පරීක්ෂණයේ අවසන් අදියර සඳහා...

දෙවැනි වතාවටත් සෛල දියාරු කලත්, එය ගණන් කල හැකි මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය ගණනය කිරීම සඳහා අවශ්‍ය මස්තිෂ්ක කොටස්, ඇට්ලස්ගේ මොළය විසින් අඩපණ කර දමමින් තිබුනා...

එක සෛලය තුන, හතර වී පෙනෙන්නේ එවිට...

ප්‍රමාදය වැඩි වන තරමට, පරීක්ෂණය පැය හතරකින් ආපස්සට යන්නට නියමිතව තිබුනේ, එය නිමා කිරීමට නම්, එහි අවසන් අදියරේ සිට පැය හතරක් බලා සිටිය යුතු නිසා...

ඇට්ලස්ට ඕනේ උනේ, කඳුළු තද කරගන්න...අධික වෙහෙස, කුසගින්න, පීඩනය, බෙල්ලේ සිට අත් දෙක පුරා විහිදෙන කැක්කුම, මෙකී, නොකී සියල්ලම නිසා, ඇට්ලස්ට දැනුනේ කවදාවත් නොදැනුන අන්ත අසරණ කමක්...




ඇට්ලස්ට අන්වීක්ෂය මතට හිස ගැසුනේ ඉබේටම...

"ෂල් අයි ෆීඩ් යූ සම්තින් (මං ඔයාට මොනවා හරි කවන්නද)"...

දැන් ඔහෙලට දැනෙනවා ඇති ඇට්ලස්, ෂශීගේ තිබෙන කුඩා දුර්වලකම් නොසලකා හරින හේතුව...ඇයට තියෙන්නේ බොහොම කරුණාවන්ත හිතක්...වයසෙන් අඩු අත්දැකීම් අඩු කම හන්ද, වැඩිදුර නොහිත වැඩ කලත්, ඒවා කාලෙත් එක්ක වෙනස් වෙනවා...

ශෂී කවදත් ඔහොමයි...ඇට්ලස් කුසගින්නේ එකදිගට විවේකයක් ගත නොහැකි වැඩක පැටලුන විට, කොහෙන් හෝ සොයාගත් චොකලට් පෙත්තක් ඇට්ලස්ගේ මුවට තබා යන එක ශෂීගේ පුරුද්දක්...

"නෝ ශෂී..අයෑම් ගොයින් ටු ටේක් අ බ්‍රේක්...මයි බ්‍රේන් ඉස් ශටින් ඩවුන්..ඉට් ඉස් ඕකේ...අයි විල් ස්ටේ අන්ටිල් මිඩ් නයිට් (කමක් නෑ ශෂී...මං පොඩි විවේකයක් ගන්නවා...ඒකට කමක් නෑ...මං මැදියම් රෑ වෙනකල් ඉන්නම්)"...

ඇට්ලස් නැගිට්ටේ තමාටම මුමුණාගෙන...

එහෙම විවේකයක් ගත්ත ඇට්ලස් රාත්‍රී හතයි තිහ වෙද්දී, සෛල අවසන් අදියරයට සකස් කළා...එහි තේරුම, ඇට්ලස් රාත්‍රී එකොළහයි තිහ වෙද්දී, පරීක්ෂණයේ අවසානයට ලඟා වන බව...

ඒ අතරේ ඇට්ලස් කලේ, පාට කරපු සෛල පරිගණකය ආශ්‍රිත කරගත් පද්ධතිය හරහා කියවා ගැනීම...

කාරය ආපසු ලබා ගැනීමට ශෂීව ඩිලර් වෙත හැරලීම වෙනත් සගයෙකුට පැවරීමට ඇට්ලස් අමතක කලේ නෑ...

ඔහෙලා දන්නවද එච්චර හරියක් කරපු කාර් එකට වෙලා තිබුන දේ...

පොඩි වතුර කාන්දුවක්...වායුසමීකරණ පද්ධතියෙන්...





හොඳටෝම විද්‍යාගාර පෙම්වතා එක්ක හිත බිඳුන ඇට්ලස්..."ඇයි මටම මෙහෙම වෙන්නේ" කියල හිත හිත, බලාගෙන උන්නේ පරිගණකයේ තිරය දිහාවේ...එකින් එක බොහොම කල්පනාවෙන් කුඩා නල මාරු කරන ගමන්...





උදේ ඉඳන් කරපු දේ පලක් තියනවද කියල ඇට්ලස් එක තිතක් ගානේ පෙනෙන සෛල දිහාවේ බලාන උන්නේ නොඉවසිල්ලෙන්...

ඒ අතරේ අහම්බෙන් වගේ අහස දිහා කවුළුවෙන් බැලුව ඇට්ලස්ට පෙනුනේ අකණිටාව...ඒ කිව්වේ අකණිටා බ්‍රහ්ම ලෝකේ...




අකණිටාවේ ලා පැහැ රාත්‍රී විදුළු බුබුළු එළි පෙනුනේ වලාකුළු වල දුහුල් තිර අස්සෙන්...එතකොට තමයි ඇට්ලස්ට වේලාව ගැන හැඟීමක් ආවේ...ඒ එක්කම ඒ දසුන හිතට ලොකු සැනසීමක් ගෙනාව...

මේ දවස් වල උතුරු ඇමෙරිකාවට ඉර බහින්න අඩුම තරමෙ රාත්‍රී නවයවත් වෙනවා...ඒ හන්ද අවට පරිසරය දිහා බලල වේලාව ගැන අදහසක් ගන්න අමාරුයි...

ඔහොම ඇට්ලස් ඉද්දී, ආයිමත් දුරකථනය නාද උනා..

"හේයි, අයි හැව් ටු කම් බැක්...අයි ෆොගොට් ටු රික්වෙස්ට් ද කේජ් කාඩ්ස් (මට ආපහු එන්න වෙනවා..මට කූඩු වලට කාඩ් ඉල්ලන්න අමතක වුනා)"

ඒ ෂෙලී...

අලුත් ඉපදුන මීයන්ට සඳහා ඇවසි කාඩ් පත් ඇණවුම් කල යුත්තේ බදාදාට...ඒ ෂෙලීගේ වගකීම...එය කලින් වතාවක අමතක වීමෙන් වුනේ මහා කලබගෑනියක්...එදත් අද වගේම ෂෙලී, ඇට්ලස්ට උදව් කල දවසක්...ඒ ගැන හොඳින් දන්නා ඇට්ලස්, එය අනුමත කලේ කිසිත් නොකියාම...

"ඕකේ, අයිම් ගොන් ටු බී හිය අන්ටිල් මිඩ් නයිට් ...(හා මං ඉන්නවා මෙහෙ මැදියම් රැය වෙනකල්)"

කඩා තෙත බරිත වූ කොණ්ඩය පිස නොදාම ආ ෂෙලී දුටු විට, ඇට්ලස්ට අනුකම්පාවකුත් දැනුනා...

"අයි ජස්ට් කෙම් අවුට් ඔෆ් ෂවර්...අයි ටෝල්ඩ් හිම්, අයෑම් ගොයින් ටු ද ලැබ්... (මං නාගෙන එහෙම්ම ආවා...මං එයාට කිව්වා ලැබ් එකට යනවා කියලා)...

රාත්‍රී නවයට ඇය එහි ආවේ ඇට්ලස් ඉන්නා බව හොඳින්ම දන්නා නිසා...

විද්‍යාගාර වල හිරවූ සමහර පී.එච්.ඩි ජීවිත වල, කිසි කෙනෙකුන් නොදකින යථාර්තය...ඇට්ලස්ට හිතුනේ එහෙම...

ඒ වෙද්දී ඇට්ලස් තීරණය කරලා තිබුනේ, පාට කල සෛල කියවීම හමාර කර ලැබෙන විරාමයේ, රෑ කෑමට නිවසට ගිහින් එන්න...ඇට්ලස් ජීවත් වන්නේ, විද්‍යාගාර පරිශ්‍රයේ පේන මානයේ නිසා එය පහසුවෙන් කල හැක්කක්...

"අයෑම් ගොයින් ටු ගෝ හෝම්, හෑව් ලන්ච් ඇන්ඩ් කම් බැක් ඇට් 11.30 (මං ගෙදර යන්නයි හදන්නේ...දවල්ට කාල 11.30 වෙද්දී එනවා...)"

"ලන්ච්...වට්...නෝ, නෝ ඩිනර් (දවල් කෑම...මොකක්...නෑ නෑ රෑ කෑම)"

ඒක දෙබසක් වෙන්න කලින් ඇට්ලස් දිගටම කියාගෙන ගිහින් හය්යෙන් හිනා උනා...

දවල් කෑමක් නැතිව උන් ඇට්ලස්ගේ මොළය තවම තිබෙන්නේ පැය කීපයක් පසු පසින්...මෙවන් දවස් කොතෙකුත් පසු කර තිබුනත්, එදා දවසේ ඇතිවූ සියලුම පැටලවිලි සමඟ ඇට්ලස්ට දැනුනේ විග්‍රහ කල නොහැකි වෙහෙසක්...


එතකොට වේලාව රාත්‍රී දහය පහුවෙලා...ෂෙලී, ඇට්ලස්ව ඇයගේ කාරය ලඟට ඇරලවන්න පොරොන්දු උනේ ෂෙලීගේ කාරය, විද්‍යාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට "අනවසර" තැනක ගාල් කර තිබූ නිසා...

ෂෙලී එක්ක කාරයට ඇවිදගෙන යන ඇට්ලස්ට පෙනුනේ අඩ හඳ...ඒ එක්කම ඇට්ලස් හෙව්වේ අව් කණ්නාඩි යුගල...




එවෙලේ නම් ඇට්ලස් තහවුරු කරගත්තා, මොළයේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම අඩපණ වෙලා කියල...

ඇට්ලස්ගේ ආරක්ෂාව තහවුරු කරගත් ෂෙලී, සුබ රාත්‍රියක් කියමින් නික්ම ගියා...

සුබ වෙන්න රාත්‍රියක් ඉතිරි වෙලා තියෙන්නපැයි...ඇට්ලස්ට හිතුනේ එහෙම...

නිවසට ගිය ඇට්ලස් කලේ බත් කටවල් එක දිගට ගිල දැමීම...

ආයිමත් දුරකථන ඇමතුමක්...

ඒ ඇට්ලස්ගේ ආදරණීය අම්මාගෙන්...

ඇට්ලස් ඇමෙරිකාවට එනකල්ම, උදේට බස් එකේ නගින්න කලින් අම්ම කලේ බත් කවනෙක...

බඩ පිරුනයින් පස්සේ, ඔහෙලට වගේම යෝධයින්ටත් නිදිමත එනවා...උන් නිදාගන්නේ, බර කරේ තියාගෙන...ඒක පුරුදු ඇට්ලස් ඇස් යන්තමට ඇරගෙන ගිහින්, ඉතිරි පරීක්ෂණ කටයුත්ත නිමා කරලා ආවේ නිදාගන්න බලාගෙන...

උදේ ඉඳන් රේස් දුවපු මොළේ අඩපණ උනාට, නිදාගන්න බෑ කිය කිය උමුතුවෙන් හැසිරුණ හන්ද, ඇට්ලස්ට නින්ද ගියේ කොයි වේලාවේද කියන්න හරියට මතකයක් නෑ...

ඉන් පස්සේ එළඹුණ, බ්‍රහස්පතින්දා, සිකුරාදා දෙකම එක සීරුවට ආයිමත් ඇට්ලස්ට වැඩ කරන්න උනේ, ඒ පරීක්ෂණයේ කොටස් දවස් පහක් පුරා ක්‍රියාත්මක වෙන නිසා...

සිකුරාදා හවස් වෙද්දී ඇට්ලස්ට පිහිට උනේ මොන්ස්ටර්...දිවා අහාරයට පිරියක් තිබුනේ නෑ වෙහෙස වැඩි කමට...

ලෝකේ තියන විසම මොන්ස්ටර්ස්ලාගෙන් එකෙක් එන්නත් කරගත්තු ඇට්ලස්, සිකුරාදාත් මොළය මැරෙන්නට නොදී රැකගත්තේ බොහොම අසීරුවෙන්...




මොළේ එක තැනකට ගේන්න බැරිම උනාම ඇට්ලස් කරන්නේ විද්‍යාගාරයේ රේඩියෝව මහා සද්දෙට දා ගන්නෙක...ඉන් පස්සේ ඇට්ලස් කරන්නේ වාදනය වන ඕනෙම ගීතයක් තනුව ගැන නොහිතාම කියා දැමීම...




තමන්ගේ නිදහස ඉහලින්ම අගයන ඇට්ලස්ට, කියාපු රට තමයි ඇමෙරිකාව...හෙළුවෙන් ගියත් වැඩි තැකීමක් නොකරන උතුරු ඇමෙරිකානු වාසීන් එක්ක ජීවත් වීම බොහොම පහසුයි...

කොහොමෙන් හරි, සිකුරාදාව නිමා කරන්න රාත්‍රී අට උනු ඇට්ලස්ගේ, මොළයේ ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් උනේ, සෙනසුරාදත්, ඉරිදාත්, පැය බැගින් විද්‍යාගාරයට ගොස් පැමිණි පසු සිද්ධ වුන බොහොම කණගාටුදායක සිදුවීමකින්...

ඇට්ලස්ගේ මොළය සම්පුර්ණයෙන්ම පාහේ අඩපණ වීම හේතුවෙන්, දඩුවම ලැබුවේ, ඇට්ලස් බොහෝ සේ ආදරය කරන කකුල් හතරේ රෙඩ් ප්‍රින්සස්...

"චර බරාස්"....

රෙඩ් ප්‍රින්සස්ගේ දකුණු කකුලේ, දණ පොල්කටුව කැබලි වලට කැඩුන ශබ්දයටයි ඇට්ලස්ට පියවි සිහිය ආවේ...

ඒ වෙද්දී සියල්ල සිද්ධ වී අවසන්...

ඇට්ලස්ට කඳුළු බේරෙද්දී, කිසිදා හීරිමක්වත් නොදුටු රෙඩ් ප්‍රින්සස්ගේ වළලුකර දක්වා සිරීම් තුවාලද, වළලුකර ආසන්නයෙන් පාදය ඇතුලට එබී යන සේද තුවාල ලබා තිබුනා...

ඇට්ලස්ගේ විද්‍යාගාර පෙම්වතාගෙන් අවසානයේ බැට කෑවේ රෙඩ් ප්‍රින්සස්...

"අක්කි ඔයාට වෙහෙසයි"...

නංගිලා නැති ඇට්ලස් ගැන හොයා බලන, ඇට්ලස්ගේ නගා එහෙම කිව්වේ ඊට දවසකට කලින්...

"වැඩිම උනොත් මැරෙයි"...ඇට්ලස් එවෙලේ කිව්වේ විහිළුවට...

"අනේ අක්කි මෝඩ කථා කියන්නෙපා" ඇය කිව්වේ ආදරේට...

එහෙම නංගිලා ලැබෙන්නේ වාසනාවට...ඇට්ලස්ට හිතුනේ එහෙම...

රෙඩ් ප්‍රින්සස්ට වුන ඇබැද්දියෙන් පස්සේ ඇට්ලස්ට හිතුනේ මෙහෙම...

"මැරුණ නම් මීට වඩා හොඳයි"...

හැමදාම දකින ගරාජයේ කණුවකින් තුවාල ලැබුවේ රෙඩ් ප්‍රින්සස්ගේ වරදකට නොව, ඇට්ලස්ට තිබුන විද්‍යාගාර උමතුවේ ප්‍රථිපලයක් ලෙසට...

ඒත් ඇට්ලස්ට මේ "සයන්ටිෆික් කියුරියෝසිටි" කියන එක නැති උන දාට, ආයිත් ඇට්ලස් විද්‍යාගාරයේ පැත්ත පාලත බලන එකක් නෑ... 

එහෙම එකක් ඇට්ලස්ට තියනව කිව්වේ, හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි ඇට්ලස්ගේ මහාචාර්යවරිය...

වෙලාවකට ඇට්ලස්ට හිතෙනවා, දිව්‍යලෝකෙට ගිහින් ඉන්න...ආයිමත් නොඑන්නම...

දිව්‍යලෝකේ යන්න ටිකට් එක වැඩිම උනොත් ඩොලර් නවසීයක් වෙයි...ඩලස් වලින් මැද පෙරදිග, එතැනින් දිව්‍ය ලෝකෙට බොහොම ලඟයි...

ඒ උනාට කවදාවත් නොඑන්න එහෙ යන එක ඇට්ලස්ට හීනයක්...

ඇයි හත් දෙය්යනේ, ඔය සේරම ලෝක වල බර තියෙන්නේ ඇට්ලස්ගේ කරේනේ...ඒක බිම තියන්න ඕනේ, ඇට්ලස් එහෙ යන්න නම්..එතකොට දිව්‍ය ලෝක මහා පොළවට වැටිලා, කුඩු පට්ටම් වෙනවා...ඇට්ලස්ට බෑ ඒක කරන්න හිත හදාගන්න...

එහෙ තියන, ටාට නැත්නම් ලේලන්ඩ් බස් එකක මුල්ලක හොඳට නිදාගෙන පැය දෙකක් තිස්සේ ගමන් ගිය කාලේ මෙහෙම මොළේ අමාරුවක් ඇට්ලස්ට දැනුනේ නෑ...එදත් ඒ "සයන්ටිෆික් කියුරියෝසිටි" එක එහෙමම තිබුනා...

ඇට්ලස් හිතන් උන්නේ "ස්ට්‍රෙස්" කියන්නේ මහා බොරුවක් කියල...

දැන් ඇට්ලස්ට "ස්ට්‍රෙස්" නැති ජීවිතයක් හිතා ගන්න අමාරුයි...

"වැඩිම උනොත් මැරෙයි"...................................................................

ඇට්ලස් එහෙම හිතුවට, සඳුදා කෝකටත් කියලා නිවාඩුවක් දැම්මා...මොකද රෙඩ් ප්‍රින්සස්ගේ කකුල වෙනුවට ඊළඟට තුවාල වෙන්නේ ඇට්ලස්ගේ කකුල වෙන්න පුළුවන් නිසා...

.............................................................................................................................................................


Tuesday, July 12, 2016

සුදු ඇත්තු....



පඬුරු තිබ්බා මදිද මන්දා 
කියා මං අද හූල්ලනකොට 
සුදු ඇත්තු හරි ගණන් ඇති දැන් 
එයා කිව්වේ හිනාවීගෙන 
ඇස් වලට මගෙ අඩ තියාගෙන...

ඉඳහිටක සුදු ඇතෙක් ආවත් 
ලඟට නෑවිත් හැරී යනකොට 
නෙළුම දොරකොඩ වැටී තිබුනා 
මං දිව්වෙ පස්සෙන් අඬාගෙන 
එයා පෙති ඇහිලුවා නාඬම...

ඇනුම්පද එක දෙක අසාගෙන 
හිඳිමි මං නෙළුමක් පතාගෙන 
නෙළුම් මල් පොදි අත දරාගෙන 
පතිනි මව්වරු යති රවාගෙන
එයා බැලුවේ එදා වාගේම...


Saturday, July 9, 2016

මීයන් මිනිසුන් කිරීම -The Humanized Mice -2


"මේ මගේ තැන, ඩිංගක් එහාට වෙනවා"

"මට බැහැ, ඔහෙට ඕනේ නම් යනවා"

"ඌ...................යියා............රිදෙනවෝ....."

දෙන්න රණ්ඩුව නවත්වන පාටක් ඇත්තෙම නැහැ...

"මිනිස්සු වගේම කා කොටා ගන්නවද ඒ ගමන"

මා ඇසුවේ ටිකක් උස් හඬින්...

මේ වගේ අවස්ථාවන් වලදී කල යුත්තේ එවැනි කලබලකාරයින්ගෙන් එකිනෙකා වෙන් කිරීම...


මෙහිදී සිදූ වන්නේ එක් චණ්ඩියෙකු විසින් කූඩුවක් තුල සිටින දුර්වලයන් සොයා නිරන්තරයෙන් පහර දීම...මිනිසුන්ගේ හැසිරීම් වලින් වැඩි වෙනසක් නැහැ...

චණ්ඩියා විසින් දුර්වලයන්ගේ සම ඉවත්ව යන සේ සපා කන අතර, එය බොහෝ විට කොඳු ඇට පෙළ ආශ්‍රිත සම පෙදෙසේ හෝ මුහුණ ආශ්‍රිත සම පෙදෙසේ දැක ගැනීමට පුළුවන්...

කණ්ඩායමක් අතරින් වැදගත් චණ්ඩින් හඳුනා ගැනීම ඉතා පහසුයි...සමේ පච්චා වලින් තොරයි...සෞඛ්‍ය සම්පන්න පෙනුමක් සහිතයි...බොහෝ විට බටහිර ක්‍රියාදාම චිත්‍රපටයක සටන් නළුවෙකුට සමානයි...

සියලුම පීඩිතයින් දුර තියා හඳුනා ගන්න හැකි වන ආකාරයින් තැනින් තැන ගැලවී ගිය සමක් සහිතයි...

web.standford.edu


අවසානයේ චණ්ඩියාට ලැබෙන්නේ දරුණු මිනී මැරුමකට සිර ගත වැන්නෙකුට උරුම වන ආකාරයේ අයිසොලේෂන් කිරීමක්...ඌව වෙනත් කූඩුවක තනි කර, අනෙක් මීයන් කෙරෙහි නැවත ටික දිනක් යන තුරු සැලකිලිමත් වීම අනිවාර්ය කරුණක්...එසේ කරන්නේ එම කූඩුව තුල තවත් චණ්ඩින් ඇත්දැයි දැනගැනීමට...

මෙය හඳුවන්වන්නේ "Barbering" තත්වයක් ලෙස...

නමුත් මනුස්ස මීයන් ඇති කරන කොළණියක, මේ හා සමාන ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගී තත්වයක් දැක ගැනීමට ඇති ඉඩ කඩ බොහෝයි...

එය ඔවුන්ට මිනිස් ස්ටෙම් සෛල ලබා දීමේ ක්‍රියාවලියෙන් පසුව ඇති වෙන්නක්...

මා කලින් ලිපියේ සඳහන් කල පරිදි ස්ටෙම් සෛල යනු ජීවියෙකුගේ නිර්මාතෘ සෛල...ගැහැණු ඩිම්බයක් සහ පිරිමි ශුක්‍රාණුවක් එකතු වී බිහි වන අලුත් ජීවියාගේ සෛල ගුලිය නොහොත්, කළලය නිර්මාණය වී ඇත්තේ මෙම "Pluripotent" ස්ටෙම් සෛල වලින්...ප්ලුරිපොටෙන්ට් යන්නෙන් අදහස් වන්නේ මෙම සෛල වලට ඇති බහුකාර්ය හැකියාව...

අනියතව බෙදී නව සෛල බිහි කිරීමත්, විවිධ අවයව සහ පද්ධති සකස් කරන විශේෂිත වූ සෛල බවට පත් වීමත්, මෙම සෛල වල ඇති ප්‍රධාන ලක්ෂණ...


en.wikipedia.org


මේ විශේෂ ලක්ෂණය ප්‍රයෝජනයට ගන්නා එක් අවස්ථාවක් තමයි සමහර රුධිර හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත පිළිකා හෝ වෙනත් රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට ස්ටෙම් සෛල යොදා ගැනීම...

ඇට මිදුළු බද්ධය එයට ඇති හොඳම උදාහරණයක්...

ඇට මිදුළු යනු ස්ටෙම් සෛල සංචිතයක්...

සාමාන්‍ය මිනිසෙකුගේ ඇට මිදුළු වල නිරන්තරයෙන්ම නිපදවෙන ස්ටෙම් සෛල වලින් දිගු කාලයක් පුරා ශරීරයට අවශ්‍ය රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිරය කැටි ගැසීමට උදව් වෙන රුධිර පට්ටිකා යන සෛල වර්ග නිපදවා බෙදා හරිනවා...
www.conversantbio.com

සරලවම කියතොත් ඇට මිදුළු බද්ධයේදී සිදු කෙරෙන්නේ රුධිරයේ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටස් නිපදවන මෙම ස්ටෙම් සෛල (හිමැටොපොයටික් ස්ටෙම් සෛල) රෝගියාට ලබා දීම...

එම සෛල ඇට මිදුළු වල තැන්පත් වී අලුත් සෛල නිපදවීමටත්, ඒවා රුධිර පද්ධතියට මුදා හැරීමත් සාර්ථක ඇට මිදුළු බද්ධයකින් පසුව සිදු වෙනවා...

නමුත් මෙම ක්‍රියාවලිය ඉතා අවදානම් සහ සංකීර්ණ ක්‍රියාවලියක්...

එයට හේතුව, ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ඕනෑම ජීවියෙකුගේ සිරුර තුල තමන්ට අයිති නැති දෑ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් වී තිබීම...

රතු රුධිරාණු වල හැර, ශරීරයේ ඇති අනෙකුත් සෑම සෛලයකම පාහේ තමන්ගේ කම තහවුරු කරන කුඩා ප්‍රෝටීන පුවරු ප්‍රදර්ශනයට තබා තිබෙනවා...මිනිසුන්ගේ නම් එම පුවරු කාණ්ඩය හඳුන්වන්නේ හඳුන්වන්නේ "හියුමන් ලියෝකොසයිට ඇන්ටිජන් " (HLA) පද්ධතිය ලෙසින්...එය එක් එක් පුද්ගලයාට හෝ එක් එක් ජීවියාට ආවේණිකයි...

තමන්ගේ නොවෙන HLA පුවරුවක් සහිත සෛලයක් සිරුරට ඇතුල් වූ සැණකින්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය හඳුනා ගෙන විනාශ කරනු ලබනවා (Graft rejection)...

www.nobelprize.org


එහෙයින් ඇට මිදුළු බද්ධය වැනි, ස්ටෙම් සෛල බද්ධ (stem cell transplantation) කිරීමේ ක්‍රියාවලියකදී මෙම HLA පද්ධතිය ගැලපීම අනිවාර්ය කරුණක්...

එමෙන්ම ස්ටෙම් සෛල ලබා දීමට පෙර රෝගියා හට, කිමොතෙරපි ලබා දීම  හෝ විකිරණ වලට නිරාවරණය කිරීම සිදු කෙරෙනවා...කිමොතෙරපි මගින් සෛල වලට විෂ සහිත බෙහෙත් වර්ග ලබා දී ශරීරයේ ඇති රෝගී හා නිරෝගී සෛල යන දෙවර්ගයම විනාශ කිරීම සිදු කරනවා...විකිරණ වලින් සිදු වන්නේද එයමයි...

අලුතින් ශරීරයට ලබා දෙන ස්ටෙම් සෛල සඳහා ඇට මිදුළු වල ඉඩ කඩ ලබා ගැනීමක් මෙමගින් සිදු වන බව බහුතරයක් පිළිගන්නා කරුණක්...

මනුස්ස මීයන් බිහි කිරීම සඳහා වූ එක් ප්‍රචලිත ක්‍රමයක් ලෙස මා ඉහත විස්තර කල හිමැටොපොයටික් ස්ටෙම් සෛල බද්ධය සඳහන් කරන්න පුළුවනි... 
www.cincinnatichildrens.org


මා කලින් ලිපියෙහි සඳහන් කල පරිදි, මනුස්ස මීයන් බවට පත් කරන මීයන්ගේ උන්ට ආවේණික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම නිෂ්ක්‍රීය කර තිබෙන්නේ, මේ මිනිස් ස්ටෙම් සෛල ප්‍රතික්ෂේප කිරීම වලකාලන්න...

ඊට අමතරව, සමහර මනුස්ස මීයන්ගේ සිරුරේ සෛල තුල මිනිස් HLA පද්ධතියේ අඩංගු සමහර කොටස් නිපදවනවා...එය කර ඇත්තෙත් අර කලින් ලිපියෙහි සඳහන් කල පරිදි, එම HLA කොටස් නිපදවීමට අණ දෙන DNA අණු, මීයන්ගේ කළල තුල බහාලීමෙන්...තමන්ට අයිති නොවෙන ජාන සහිත උන් ඇතුලත් වන්නේ "ට්‍රාන්ස්ජෙනික්" මීයන් කාණ්ඩයට.. 

මීයන්ට ලබා දීමට අවශ්‍ය හිමැටොපොයටික් ස්ටෙම් සෛල පර්යේෂණාගාරය තුල  පිරිපහදු කරගනු ලබන්නේ පෙකණි වැලෙන් ලබා ගන්නා රුධිරයෙන්...

එම රුධිරය HLA කොටස් අනුව වර්ග කර මුදවා (frozen) අලෙවි කරන රුධිර බැංකු වලින් මිලදී ගත හැකියි...

මිනිස් HLA කොටස් සහිත ට්‍රාන්ස්ජෙනික මීයන්ට, ගැලපෙන ස්ටෙම් සෛල ලබා ගැනීමේදී, මිනිසුන්ට මෙන්ම HLA පද්ධතිය ගැලපීම අනිවාර්යයි...

සමහර පර්යේෂණාගාර තුලදී මීයන්, මරණීය නොවෙන විකිරණ ප්‍රමාණයකට නිරාවරණය කරනු ලබන්නේ ස්ටෙම් සෛල ලබා දීමට දිනකට පෙර...

ඊළඟ දිනයේදී, මිදුන රුධිරය, දිය කර යතා තත්වයට පත් කර (Thaw), එයින් ස්ටෙම් සෛල පිරිපහදු කර, මීයන්ගේ රුධිර නාල වලට එන්නත් කිරීම සිදු කරනවා...

යම් හෙයකින් එම මිනිස් ස්ටෙම් සෛල වලට, මිනිස් සුදු රුධිරාණු වල සංඝටක මිශ්‍ර වුවහොත්, ඒවා සීඝ්‍රයෙන් වර්ධනය වීමෙන්, මීයන්ගේ ඇට මිදුළු තුලින් නිපදවෙන අලුත් මිනිස් සෛල ප්‍රතික්ෂේප කිරීමේ සටන අරඹනවා...එහිදී කෙටි කලක් ඇතුලත මීයන් මිය යාම සිදු විය හැකියි...

එහෙයින් ස්ටෙම් සෛල පිරිපහදුව සාර්ථකද යන්න, අනිවාර්යෙන් සොයා බලන කරුණක්...මේ එක් එක් සෛල හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්නේ ලේසර් කිරණ පදනම් කරගත් ක්‍රම වේදයක් (flow cytometry)

මෙසේ ස්ටෙම් සෛල එන්නත් කරන මීයන් තුල මාස දෙකේ සිට හතරක් ඇතුලත සම්පුර්ණයෙන්ම ක්‍රියාකාරී ප්‍රතිශක්තිකරණයක් නිපදවා ගත හැකියි...

ස්ටෙම් සෛල ලබා දෙන, මනුස්ස මීයන් තුල නිපදවන මිනිස් සුදු රුධිරාණු සෛල විසින්, කල් ගත වන විට තමන්ගේම ශරීරයේ සෛල විනාශ කිරීමට පෙළඹෙනවා...එය බොහොම කලාතුරකින් ඇති වන තත්වයක්...අනවශ්‍ය ප්‍රමාණයෙන් T ලිම්පොසයිට නමැති සුදු රුධිරාණු වර්ගය නිපදවීම මෙයට හේතුවක්...

මෙම තත්වය වැඩිපුරම බලපාන්නේ සමේ සෛල වලට...එහිදී ඉහත සඳහන් කල චණ්ඩින්ගේ මෙන්, සමෙහි කොටස් විනාශ වීම දකින්න පුළුවන්...එවිට චණ්ඩි සහ රෝගීන් වෙන් කරගැනීම සඳහා සෛල පරික්ෂාවකට ලක් කරනවා...

මේ වන විට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත මනුස්ස මීයන් නිපදවීම සාර්ථකව සිදු කරන පර්යේෂණාගාර කිහිපයක් දැනට ඇමෙරිකාව තුල තිබෙනවා...

මේ මනුස්ස මීයන් දැනට මැලේරියා, ඩෙංගු, ඒඩ්ස් වැනි වසංගත රෝග පර්යේෂණ කටයුතු සඳහා ඉතා සාර්ථක ලෙස භාවිතා කෙරෙනවා...ඊට අමතරව පිළිකා පර්යේෂණ සඳහාත් උන් යොදා ගනු ලබනවා...

මනුස්ස මීයන්ගේ මනුස්සකම මනින ක්‍රම සහ උන් වසංගත රෝග පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා අයුරු ගැන ඉදිරි ලිපි වලින් සාකච්ඡා කරන්නම්...

ඔබට හිතෙන දෙයක් ලියා තබන්න...මෙය අදාළ නොමැති ඉතාම බෝරින් ගණයේ ලිපියක් නම් එයත් ලියා තබන්න...අමනාප නොවෙමි...:)


WW 

Thursday, July 7, 2016

එහෙම දවස් සහ නිදන ගිනි කඳු...




ඉලංදාරියා දොරකඩින් මතු වෙද්දිම, මගෙ හිතේ පිපුරුනේ ගිනි කන්දක්...සිසිර තාරක නින්දට වැටිලා උන්නු ගිනි කන්දක්...

ඒ එක්කම උඹ ආවා අතීතයෙ ඉඳන්...

"මට ටාශිව මැරි කරන්න වෙනවා...ටාශිගෙ අම්ම ඊයේ නැති උනා...එයාට දැන් වෙන කවුරුත් නෑ..." කොහේදෝ ඉඳන් හදිසියෙම ඇවිදින් කැන්ටිමේ පෝලිමේ ඉඳන් උඹ කිව්වේ දරා ගන්න බැරි තරමෙ අසරණ කමකින්, මා දිහාවේ බලාගෙන...

එතන නොකියූ කථා දාහක් තිබුනා කියල මට දැනුනේ නිකමට වෙන්නැති...

...අදටත් ඒක මතක් උනාම මං හිත හදාගන්නේ එහෙම හිතලා...

සමහර වෙලාවල් තියනවා අතීතයම තත්පරයකට කොටු කරන්න පුළුවන්...මේකත් එහෙම වෙලාවක්...

කොහොමද බං අවුරුදු ගාණකට පස්සෙත් හරියට පපුවෙ හරි මැද බලලා පපුව හෑරුවේ උඹ...

මං මටම මුමුණ ගත්තා...  

ඔළුවට දැනුනේ මහා බරක්...

මං වටපිට බැලුවේ ළඟම තිබුන පුටුවකට වාරු වෙන්න...ඒත් එහෙම බැහැ..

"හව් ආ යූ"...මං ඇහුවේ ණයට ගත්ත හිනාවක් පොඩි එකාට දෙන ගමන්...පොඩි එකා කිව්වේ අලුත් ඉලංදාරියට...

කොල්ල ඔළුව හොලවන ගමන් කතා කලේ උඹේ ආරෙට...

"ඉට් ෆීල්ස් ලයික් අයෑම් ඇට් හෝම්..." දවසක උඹ එහෙම කිව්වේ තත්පරේකට සෝපාව උඩ ඉඳගන්න ගමන්...මං හිටියේ තුන්වෙනි තට්ටුවෙන් පපුව බිමට වැටෙයි කියල බයේ, තදින් හුස්මක් අල්ලාගෙන...

ගෙදර වගේ දැනෙන්නේ තමන්ගේ මිනිස්සු ඉන්න තැන්වල...එවෙලේ මට හිතුනේ එහෙම...

ඒ වෙද්දී අනුන්ගේ වෙන්න ඔන්න මෙන්න හිටපු උඹව, මට කවදත් දැනුනේ මගෙ වගේ...ඒත් උඹට...මං උඹේ කවුද....

වචන සීයක් උඹ කියවද්දී අනූනවයක උන්නේ ටාශි...උඹ බොහොමයක් වෙලාවට එයා ගැන කිව්වේ එයා හැබෑ නොවෙන හීනයක් ගානට දාල...මං උඹ ඒ කියවන ඒවා අහන් හිටියේ සංසාරේ එහෙම දේවල් අහන් ඉන්න මං කරපු පව ගෙවා ගන්න ගමන්...

"මට ඔයාව බලන්න ඕනේ"

ටාශිගේ උපන්දිනේ දවසේ උඹ ආවේ මාව හොයාගෙන...

මං ඒ ඇයි කියල ඇහුවේ නෑ...ඒ ගෙවී ගිය සෑම මොහොතකම තාවකාලික බව මං හොඳින් දැනන් උන්නා...

එක දවසක උඹ කාර් එක කොහේදෝ දාල, මාත් එක්ක ඇවිදගෙන ගියේ බස් එකේ යන්න...මට කිව්වේ කාර් එක කැඩිලා කියල...ඒත් උඹේ හොඳම යාළුවා මගදි හම්බඋනාම, උඹට කියන්න උත්තරයක් තිබුනේ නෑ...

උඹ එදා ඔහේ කථාවක් නැතුව, බස් එකේ හිටගෙන යන ඩිංග දුර ඇවිදින් බැහැල ගියේ කථාවක් නැතුවම...

ඔව් එහෙම දවස් තිබුනා, උඹයි මමයි විතරක්ම දන්න...

මං දවසක් උඹේ උපන්දිනේට තෑග්ගක් හොයන්න, කකුල් රිදෙනකල් නුගේගොඩ පුරා නොගියපු තැනක් නැතුව ඇති...ඒත් උඹේ ටාශි ඉද්දි මං කවුද උඹට තෑගි දෙන්න...උඹ ළඟටම ගෙනාව ඒ තෑග්ග, අන්තිමේ මං උතුම් තෑග්ගක් කරලා, පුංචි ආදරවන්තියෙකුට දුන්නා...

උඹට කියන්න බැරි, මට හිතුන දාහක් දේවල්, මං කලේ ලියන එක...

ඒ කොහොම උනත්, මිනිස්සු ලියන්නෙ, කියන්නේ නැති දේවල් බොහොමයි...උඹ ගැන මගෙ හිතේ තියන තරමක් තිබුනේ එහෙම දේවල්...

උඹේ වෙඩින් එකට ඇවිත් උඹේ අලුත් ජීවිතේට සුබ පතන්න බැරි තරම් කහටක් මගෙ හිතේ තිබුනේ නෑ...

උඹලා මධු සමයට යන්න සමුදෙන වෙලාවේ, මං වෙනදා වගේම හිනාවේගන උඹ ලඟට ඇවිදින්, උඹව තදින් වැළඳගත්තේ, ඕන එකෙක් ඕන දෙයක් හිතුව දෙන් කියලා...ඒ මං උඹව දකින අන්තිම දවස හන්ද...


"උඹ මට එක තත්පරේකට හරි ආදරේ කලාද..."

මට එහෙම හිතෙන එකේ වැරද්දක් තියනවද...

ඒක දන්නෙත් උඹයි, මායි විතරයි...




උඹ මට ආදරෙයි කිව්වේ නෑ...මං කවදාවත්ඇහුවෙත් නෑ...



සමහර දේවල් ගැන කථා කරලා පලක් නෑ...

ඒත්, උඹ දන්නේ නැතුව ඇති, කථා නොකරන දේවල් වලින් තමයි හිතේ නිදන ගිනි කඳු හැදෙන්නේ...යටින්
පැහෙන ලාවා එක්ක...

දැන් ඩිංගකට කලින් පිපුරුනේ එහෙම ගිනි කන්දක්...ටික දවසක් ලාවා ගලලා ආයිමත් නිදා ගනීවී...ඒ තමයි ස්වභාවධර්මය... 
..............................................................................................................................................


හිතුවාද හීනයක බොඳ වෙලා යයි කියා 
නුඹේ ඇස් ලේසියට...අමතක වෙයි කියා
දුන්න දා තුරුළු කර...හාදු නළලේ තියා 
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...

කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා 
කවියක් ලියන්නට නිමිත්තක් දුන් නිසා 
නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...

නිදි කුමාරිය නුඹේ පණටත් වැඩි කියා 
නුඹ කියද්දී මට දැවෙන සුසුමක් හෙලා 
දරාගෙන මං උන්නෙ...ඇය නින්දෙ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...

ඇය අවදි වී ඇවිත් නුඹ අරගෙන ගියා 
මං ඇවිත් නුඹලාට සුබ පතලා ගියා 
අදටත් ඉන්නකොට ඉඳහිටක ඇස් පියා 
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ
කොහෙද උන්නේ කියා...






Saturday, July 2, 2016

"මනුස්ස මීයෝ" - The humanized mice - 1


www.pinterest.com

"දුවපියා.......................ව්"..."හැංගියා......................ව්...."

"ශ්ස්ස්ස්ස්ස්ස්ස්...සද්ද කරන්නේ නැතිව ඉඳපල්ලා...නැත්නම් අල්ලාගෙන ගිහින් අනිවී අර කටුවෙන්..."

ඒ කලබලයෙන් පසුව මට දකින්න පුළුවන් එක් එක් කූඩු තුල ගුලි උන, රතු පාට ඇස් බෝල දෙකේ සිට දහය දක්වා ප්‍රමාණයක්...මොකද එක් කුඩුවක දමන්නට අනුමත කර ඇත්තේ උපරිම මීයන් පහක් හෝ හයක් පමණයි... 


සමහරක් ඇස් වල කුතුහලය...නැතිනම් මරණ බය...

ඒ වෙලාවට මං කරන්නේ සියලු දේ මදකට අමතක කරලා ඒ ඇස් දිහා බලන් ඉන්න එක...ඒ ඇස් දැකීමෙන් පසු දැනෙන්නේ සියුම් පිහි තුඩකින් හිත කොනහන්නාක් බඳු වූ හැඟීමක්...ඊයේ, අද සහ හෙට...හැමදාමත් එය එසේමයි...

ඔය අස්සේ වගේ වගක් නැතිව ගුලි වෙලා නිදාගෙන ඉන්න කම්මැලියොත්  නැත්තේම නැහැ...කිරි දරුවෝ වගේ...අවදි කරවන්න හිතට දුකයි...

සමහරු චණ්ඩි...කල්පනාව පැනපු ගමන්ම අර හීන් උල් දිග දත් දෙකෙන් විකන්න...


(image credit-www.theodora.com)

(image credit-www.theodora.com)
"මට කොහොමත් යන්න වෙන්නේ මීයන්ගේ අපායට"...





මටම කියාගන්නා මා ඊළඟට බලන්නේ උන්ගේ කුඩා කණ දෙස...අප උන්ව හඳුනා ගැනීමේ සලකුණ තබන්නේ එතැන...

කුඩා රවුම් සිදුරු ඇති කල හැකි පන්චරයකින්, අප උන්ගේ වම් සහ දකුණු කන් වල ඇති කරන්නේ කුඩා සිදුරක්.

සාමාන්‍යයෙන් එය,

1. කන් සිදුරු නැති 
2. වම් හෝ දකුණු කණ තනි සිදුර 
3. වම් හෝ දකුණු කණ සිදුරු දෙක බැගින් 

ලෙසට අංකනය කල හැකියි..ඒ වගේම උන්ට තිබෙනවා අංකයකුත්...

"උඹලත් හරියට මරණයට නියම කල සිර කරුවන් වගේ"...

මට එහෙම හිතුනට උන් ජීවිතය කැප කරන්නේ අප සැමට දීර්ඝායුෂ ලබා දෙන්න කරන පර්යේෂණ වලට...

බටහිර වෛද්‍ය ඉතිහාසයේ සිටම, සිදු කල සොයා ගැනීම් හරහා අප අද ලබන වෛද්‍ය ප්‍රතිකර්ම සහ බෙහෙත් වර්ග තුල මේ සතුන් විඳින සියලුම වේදනාවන් සැඟවී ඇති බව නොසැඟවිය හැකි සත්‍යයක්...

සියලුම පර්යේෂණ වලට ලක් කරන සතුන්, මිනිසුන් ලෙස සලකා, උන්ට වේදනාව අවම වන ලෙස පර්යේෂණ කටයුතු වල නියැලීමටත්, උන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත් අප අනිවාර්යෙන්ම බැඳී සිටිනවා...

මට මේ තනිවම කියවීමේ ලෙඩේ හැදිලා දැන් ටිකක් කල්...

මං හිතාගෙන ඉන්නේ මං "දොස්තර හොඳ හිත" කියල...

මීයෝ හිතාගෙන ඉන්නෙත් එහෙමයි...ඒකනේ උන්ව මුණ ගැහෙන්න එන හැම වතාවකම, මේ විදියේ සාකච්චාවන් ඇති වෙන්නේ...

"මට අද හරි අමාරුයි"...සමහරෙක් මා දිහාවේ බලල හිමින් මුමුණනවා...ඒ වගේ වෙලාවට මා කරන්නේ ටික වෙලාවක් ඔවුන්ගේ හිස පිරිමැදීම...


"ක්‍රීඊඊඊඊඊඊස්ස්ස්...අය්යෝ ඉන්න බෑඈඈඈඈඈ..."

(image credit-www.theodora.com)

"දඟලන්නෙපා...තව ටිකයි...මේ ලේ ඩිංග ගන්නකකල් ඉවසන්න...වැඩිය රිද්දන්නේ නැහැ..." 

මා ඇසෙන නෑසෙන හඬින් එසේ  කියන්නේ උන්ගේ කුඩා වල්ගයේ ඇති රුධිර වාහිනියකට සිරින්ජයේ නීඩලය ඇතුලත් කරන ගමන්...එය තමයි පර්යේෂණාගාර මීයන්ගෙන් රුධිරය ලබා ගැනීමට අනුමත කල එක් ක්‍රමයක්...

ඒ රුධිර වාහිනී මතු කරගැනීම සඳහා උන්ව උෂ්ණාධික ලාම්පුවක් භාවිතයෙන් උණුසුම් කර ගත යුතුයි...

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාගෙන් රුධිරය ලබා ගන්නා සෑම අවස්ථාවකම, මනුස්ස මීයන් මගේ මතකයට නැගෙන්නේ නිතැතින්...

එව්වා දිට්ට ධම්මවේදනීය කර්ම...

මේ සියලුම පර්යේෂණ ක්‍රම වේදයන් සහ මීයන්ගේ යහ පැවැත්ම සඳහා අප කල යුතු සියලුම දෑ සඳහා විශේෂිත වූ කමිටුවකින් (Institutional Animal Care and Use Committee) අනුමැතිය ගැනීම අනිවාර්යයි...ඒ සඳහා මේ කාර්යයන් සඳහා අනුයුක්ත කරන සියලුම විද්‍යාඥයන් සහ සහායකයින් අදාළ පුහුණුව ලබා ගත යුතුයි...ඒ සියලුම දෑ නියමිත කාල සීමාවකට වරක් නැවත අලුත් කිරීමත් අනිවාර්යෙන් කල යුත්තක්... 

මා මේ කතන්දරය කියන්නේ බොහොම විශේෂිත මීයන් කොටසක් පිළිබඳව...ඒ පර්යේෂණ ලෝකය තුල නව පෙරළියක් ඇති කල "මනුස්ස මීයන්"...උන් ඇති කරන පර්යේෂණාගාර ලොවටම ඇත්තේ අතලොස්සයි...

මේ මනුස්ස මීයන් නිපදවීම පිළිබඳව මූලික පර්යේෂණ ක්‍රියාත්මක වූයේ අසූව දශකයේදී...

මෙහි මූලික අරමුණ වූයේ මිනිස් සෛල සහිත, මිනිස් ප්‍රතිශක්තිරණ පද්ධතියක් මීයන් තුල නිපදවීම...නිවසක ගඩොල් වගේ තමයි, මේ සෛල...ජීවියෙකු නිර්මාණය වී ඇති කුඩාම ඒකකය... 

ප්‍රතිශක්තිරණ පද්ධතියේ ප්‍රධානම කාර්ය, අප සිරුරට පිටතින් ඇතුල් වන රෝග කාරක විෂබීජ සමඟ සටන් කිරීම...එය ඉතා සංකීර්ණ පද්ධතියක්... විවිධ කොටස් නිරත වන්නේ විවිධාකාර කාර්යන් වල...

විෂබීජ වල හැඩහුරුකම එක් වරක් දුටු පමණින් හොඳින් මතක තබා ගැනීමට සමහර සෛලයන්ට ඇත්තේ විශේෂිත වූ හැකියාවක්...එක් එක් විෂබීජයන්හි සියුම් වෙනස් කම් හඳුනා ගත හැකි වන පරිදි විශාල පරාසයක විවිධත්වයක් සහිත මෙවන් සෛල අප ශරීරය තුල නිපදවන්නේ මිලියන ගණනින්...

ප්‍රතිශක්තිරණ පද්ධතිය සහ එහි ක්‍රියාකාරිත්වය වෙනත් ලිපි පෙළකින් පැහැදිලි කල යුත්තක්...  

මීයන් තුල ක්‍රියාකාරී මිනිස් ප්‍රතිශක්තිරණ පද්ධතියක් ඇති කිරීමේ මූලික පියවර වශයෙන්, උන්ට ආවේණික ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම අඩපණ කල යුතුයි...එසේ නැතහොත් සිදු වන්නේ පිටතින් ඇතුල් කරන මිනිස් සෛල, විෂබීජ ලෙස හඳුනා ගෙන විනාශ කර දැමීම...

සෛලයක ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ එහි ජාන සකැස්ම මත...එය අප ඩිඔක්සිරයිබෝනියුක්ලික් ඇසිඩ් (DNA) අණු යනුවෙන් හඳුන්වන කුඩා ඒකක වලින් සමන්විතයි...


ද්වි හෙලික්සාකාර DNA අණුවක් සැකසී ඇති අයුරු 
(By brian0918™ - Own work, Public Domain, https://commons.wikimedia.org/w/index.php?curid=404735)

මේ සෑම DNA අණුවක්ම එකිනෙකට වෙනස් නියෝක්ලියෝටයිඩ යන කුඩා ඒකක හතරකින් සමන්විතයි...ඒවා හඳුන්වන්නේ ඇඩිනින්, තයමින්, ගුවැනින් සහ සයිටොසින් ලෙස...

DNA අණුව පබළු වලින් සම්බන්ධ කල පබළු පොටවල් දෙකක් වගෙයි...

මේ අණුවක ඇත්තේ වර්ණ හතරක පබළු වර්ග හතරක් පමණයි...එක් පබළු පොටක, එක් එක් සෛලයේ ක්‍රියාකාරිත්වයට ගැලපෙන පරිදි වර්ණ මාරු වෙමින්, මිලියන ගණනින් මේ පබළු නූලකට අමුණන ලෙසට, නියුක්ලියෝටයිඩ සකස් වීමයි සිද්ධ වෙන්නේ...

ද්වි හේලික්සීය DNA අණුව නිපදවීමේදී, එම නූලට, තවත් නූලක්, පබළු හරහා පෑහීමක් වෙනවා...ඒ පැහීම නියතයක්...කිසිම අයතා සබඳතාවක් නැහැ...ඇඩිනින් පෑහෙන්නේ තයමින් සමඟ පමණයි...ගුවැනින් එක්කාසු වන්නේ  සයිටොසින් සමඟ පමණයි...


සෛල ක්‍රියාකාරීත්වයට අවැසි අණ නිකුත් කිරීමේදී, මේ අණු නූල් දෙපොට දෙපැත්තට වීමක් වෙනවා...ඉන්පසු නියුක්ලියෝටයිඩ අමුණා ඇති පිළිවෙල අනුව, තිදෙනා බැගින් වෙන්වී ඒ අණ ක්‍රියාත්මක කරන ප්‍රෝටීන අණු නිපදවනවා...

මේ ක්‍රියාවලිය පදනම් කරගෙන තමයි, පසු කලෙක මිනිස් මීයන් බවට පත් වන සාමාන්‍ය මීයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අණ දෙන ජාන සැකැස්ම අඩපණ කරන්නේ...

මෙහිදී සිදු වෙන්නේ, ඉහත කී විශේෂිත ක්‍රියාවලි සඳහා අණ දෙන DNA අණු පර්යේෂණාගාරය තුලදී වෙනස් කම් වලට බඳුන් කිරීම... එය ක්‍රියාකාරී අත් පා කොටසක් වෙන් කර, කිසිම ක්‍රියාකාරිත්වයක් නොමැති කෘතීම අත් පා කොටසක් පැළඳවීම වැන්නක්...

මීට අමතරව, අවැසි DNA අණු  ඉවත් කිරීම, විකෘති කිරීම, අලුතෙන් කොටසක් ඇතුලත් කිරීම වැනි මේ ඕනෑම දෙයක් මේ ක්‍රියාවලිය හරහා සිදු කල හැකියි...

ඉන් පසු මෙම DNA අණු, ජීවී ස්ටෙම් සෛල (stem cells) තුල බහා, එම සෛල ප්ලාස්ටික් දීසියක රෝපණය කර පසුව, මීයන්ගේ කළල තුලට එන්නත් කරනවා...

ස්ටෙම් සෛල වලින් තමයි, කළලය යන්නෙන් අදහස් කරන, ජීවියෙක් බිහි කරන, මූලික සෛල ගුලිය නිර්මාණය වී තිබෙන්නේ...ජීවියෙකුගේ සියලුම අවයව සහ පද්ධතීන්හි අඩංගු සෛල වල නිර්මාතෘ තමයි මේ ස්ටෙම් සෛල...

ස්ටෙම් සෛල වලට අසීමාන්තිකව නැවත නැවතත් බෙදී එකම වර්ගයේ විශාල සෛල සංඛ්‍යාවක් බිහි කල හැකියි...එමෙන්ම, එක් එක් ස්ටෙම් සෛල වලට පැවරී ඇත්තේ, ඒවාට සුවිශේෂී වූ කාර්යභාර්යයන්...

මේ  කළල සෛල ගුලිය, මී අම්මෙකුගේ කුසක තැන්පත් කර සෑදෙන මී පැටවුන්ගෙන්, නැවත පරම්පරා කිහිපයක් බිහි කල පසු, අපට ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පුර්ණයෙන්ම අඩපණ කල මීයන් නිපදවා ගන්නට පුළුවන්...

මේ මීයන් රඳවා තබන්නේ විශේෂිත වූ පර්යේෂණාගාර තත්ව යටතේ විෂබීජ වලින් ආරක්ෂා වන පරිදි...උන්ට විෂබීජ සමඟ සටන් කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ...උන්ගේ ආහාර, ජලය, වාතය, කූඩු සියල්ලම සම්පුර්ණයෙන්ම විෂබීජ වලින් තොරයි...වෙනෙකක් තියා එහි ඇතුල් වන සෑම අයෙකුම විෂබීජ අවම කිරීම සඳහා ඉතා විශේෂිත වූ ක්‍රියාපටිපාටියක් අනුගමනය කල යුතුයි...

උන්ව මනුස්සයන් කරන මෙහෙයුම ඇත්තේ දෙවනුවයි...

ඒ ටික ඊළඟ කොටසින් ලියා තබන්නම්, ඔබේ ප්‍රතිචාර මත...විද්‍යාත්මක පැහැදිලි කිරීමෙහි සරල භාවය පිළිබඳව අදහසක් තබා ගියොත් එය ඉදිරි ලිපි වලට බොහෝ වටිනවා...


www.imagesbuddy.com

WW

Tuesday, June 28, 2016

අප්පච්චි මං මෙහේ...


උඹව උස්සගෙන බං හංදියක් ගානෙ මං
කාර් පෙන්නන්නම් ඇස් ඇරලා බලපන් 
පෙරහැරේ යන්ට මං, ගෙනා තම්මැට්ටම් 
වලට තඩි බාපන්...බැන්නෙ බොරුවටනේ මං...

උල් කර කොට කරන උඹේ පැන්සල් වගේ 
ජීවිතේ ගෙවෙන වග දැනන් උන්නත් මං
අම්මයි මමයි මැද බලි කුරුටු රූපේ
උඹව ඒ මැද්දේ...අඳින්නේ කවුද දැන්...

එදා උඹ පෙරහැරේ කර තියං යනකොට 
මළ බෙරේ සද්දෙට උඹව ඇහැරෙනකල්
කනත්තට එනකල්ම බලන් උන්නා මං 
පොඩි සද්දෙටත් උඹ...ඇහැරෙනවානේ බං...

අදත් මං හැන්දෑවේ උඹේ තනි නොතනියට 
කන්දර කියමින් සොහොනෙ ඉන්නකොට බං 
"අප්පච්චි මං මෙහේ"රත්තරනේ උඹේ හඬ 
කොහේදෝ ඈතකින් හුරතලෙන් ඇහුන බං...


......................................................................................................................................................



Tuesday, June 21, 2016

උන්මාද නොවූ චිත්‍රාගෙන්...






ගාමිණී ඉතින් මට...
ඉන්ට දීපන් මගේ පාඩුවේ
චිත්‍රාවක් නොවෙමි ප්‍රේමයේ
එක්ටැම් ගෙයි මගේ කවුළුවේ
තිර වලින් විනිවිදිමි ජීවිතේ...


බඩ ඉරිඟු පොතු ලිහා කිරි ඇට ගැලෙව්වෙමි
හිස් තැන් නොතියාම හෝඩිය ඇලෙව්වෙමි
අප්පච්චිගේ පපුවෙ ඔක්සිජන් පිරෙව්වෙමි
අවාරේ සිරිපතුල වඳින්නට මම ගියෙමි...

වසන්තය පිරුනාට මලින් ආඩම්බරෙන්
ගහක දුක ඇසිය යුතු සිසිරයේ හීතලෙන්
බලා උන්නාට අද සීමැදුරු කවුළුවෙන්
ගාමිණී...වසන්තය ඇවිත් යනවා ඉතින්...

චිත්ත රාජලා ඇවිත් හිත මුර කලේ නැත
ප්‍රේමය වල දැමූ සොහොන් බිම් කඩකි හිත
ගාමිණී හසුන් පත...කුණු කූඩයක ඇත
රිදෙන තැන් ජීවිතේ...අපි හැමෝටම ඇත...

හඬන රන් කැටියෙකුට කිරි බිඳුවක් වෙන්ට
හුස්ම යදිනා උන්ට අලුත් හුස්මක් දෙන්ට
ප්‍රේමයට හැකි වෙයිද ගැඹුරු අරුතක් දෙන්ට
ගාමිණී දැන් ඉතින්...පියවි සිහියට එන්ට...

මං උන්මාද නොවූ චිත්‍රා....



--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...

ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...

තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.

Thursday, June 16, 2016

මල්සරා අපි සොඳුරු පපුවක් හොයමු...



ප්‍රේමය ඇත්තේම අඳුරු අහුමුළු වලය 
නුරාව වෑහෙනා ඉඳිමුණ තොල් වලය 
හංදියේ දිළිසෙනා රතු රෝස මල් වලය 
මල්සරා...ඒ ප්‍රේමයේ එදා වේලය...
ඉස්සර වගේ නොව ප්‍රේමයද අවතැන්ය...

මල්සරා ඉසුරුමුණි පෙම්වතුන් ළඟ 
තවම ඇති ඉපැරණිම නොඉඳුල්ම ප්‍රේමය 
නිකමට එහෙ ගිහින් බලන් හැඩහුරුකම 
ආවොතින් ලේසි වෙයි මල් දුන්න මානන්න...
සොඳුරු හිත් ඇත්තේම හුදකලා තැන් වල...

මල්සරා පිරියම් කරමු අපි මල් දුන්න 
මානන්න හැකි එවිට සොඳුරු පපුවක මැදට 
නාඳුනන කඳුලක් පවා පතුලට බහින 
අනෝරා වැස්ස යට හිනාවී ගී ගයන... 
මල්සරා විදිමු අපි එහෙම පපුවක මැදට...

පොකුරු වැහි....

-----------------------------------------------------------------------------------------------------------------------

Monday, June 6, 2016

ජීවිතය ලියා තබමි....1



කුඩා ටීපෝවක්...අවිවේකී පරිගණකයක්...තේ කෝප්පයක්...

ඒ වසර පහක වෙහෙසකර පර්යේෂණයන්හි නිගමනයන්  පිටු තුන්සියයක නිබන්ධනයකට කැටි කරන්නට මට සිටි සහායකයින්...

තේ කෝප්පය වෙනුවට, කලෙක මගේ අප්‍රියතම පානය වූ කෝපි කෝප්පය මගේ මේසය මතට ආවේ කෙදිනදැයි යන්න හරියටම මතක නැහැ...එය බොහෝ විට පසු කාලීනව පර්යෙෂණාගාර තුලින් ඇති කල මානසික ආතතියෙන් මිදීමට ගනු ලැබූ කෙටි ප්‍රතිකර්මයකට ඇබ්බැහි වීමක් විය හැකි යයි මට සිතේ...

කිසියම් හෝ දෙයක ගැඹුරෙන් නිරත වන මගේ අවධානයෙන්, අවට තිබෙන සියලුම දෑ ගිලිහී යන්නේ නිතැතින්ම...මිනිස් කණට ඇසෙන ප්‍රමාණයේ, ඉතා විශාල ශබ්ද වල ඩෙසිබල් අගය එවන් අවස්ථා වලදී මගේ ස්වර පරාසයෙන් ගිලිහීම අනිවාර්යයි...කුඩා කල හිඳම පැවතෙන ඒ පුරුද්ද, හොඳින්ම දරා ගත් කෙනෙක් ඇත්නම්, ඒ මගේ ආදරණීය අම්මා...ඇය තරම් මගේ පුද්ගලික අවකාශයේ පරිමාව සහ එය අවැසි කාල වේලාවන් පිළිබඳව දන්නා කිසිවෙකු තවමත් මට මුණ ගැසී නැහැ...මා තුල සිටින විද්‍යාඥයා, කවියා, නිර්මාණකරුවා, සහ එකිනෙකට පරස්පර වූ හැඟීම් ගොන්නක් ඇති කුඩා ප්‍රාණියාගේ පේටන්ට් අයිතිය සම්පුර්ණයෙන්ම ඈ සතුයි...මිනිසෙකුගේ පෞර්ෂ වර්ධනයට අක්මුල් වැදගත් වන වග මා පෙර තැනක ලියා තැබුවේ මෙන්න මේ නිසයි...

අද මා වෙනුවට ඒ අඩුව පුරවන්නේ මගේ සහෝදරයාගේ වැඩිමහල් දියණිය...සිව්වස් සපිරි මගේ පුංචි සුරංගනාවිය...ඇය මගේ ප්‍රතිබිම්බය කිව්වොත් මා නිවැරදියි...මා සතු, ඈ සතු, විටක අතිශය ස්වාධීන වූ හැසිරීම් සමඟ ගණුදෙනු කිරීම කෙතරම් සූක්‍ෂම ලෙස කලයුතුද යන්න මේ පුංචි කෙල්ල සමඟ කරන දුරකථන සංවාද වලදී මට නිතර වැටහෙන කරුණක්...ඒ හැම වතාවකදීම මගේ අම්මා ගැන මට දැනෙන්නෙ අප්‍රමාණ ගෞරවයක්...  

"සුදු නැන්දි, මේ මගේ පොත් මේසය, එය මට අස් කරගන්න පුළුවන්, ඔයා එය අල්ලන්න එපා"...

මට මේ දරුණු චෝදනාව ඇයගෙන් එල්ල වූයේ පසුගිය නිවාඩුවේ...මා මේ චෝදනාව කී වතාවක් මගේ අම්මාට එල්ල කල ඇත්දැයි මට නිච්චියක් නැහැ...පුංචි දරුවන් යනු වැඩිහිටියන්ට තමන්ව දකින්නට ඇති කණ්ණාඩියක්...නිබන්ධන දහසකින් දකින්නට බැරි ජීවිතය විටක මගේ පුංචි කෙල්ල මට කියා දෙන්නේ තත්පර වලින්... 

"මෙය ඔබේ නිබන්ධනය...එය ලිවිය යුත්තේ ඔබට අවැසි ආකාරයට...අවසන් පරීක්ෂණයේදී පිළිතුරු දිය යුත්තේ ඔබ"...

ඒ මගේ මහාචාර්යවරිය...එදවස නිබන්ධනය ලිවීම ඇරඹීමට පෙර මට දුන් විශිෂ්ටම උපදේශය...

මාර්ගෝපදේශ සහිත ස්වාධීනත්වය බොහෝ විට සාර්ථකත්වයට ඉණිමගක්...

ඒ කෙසේ වෙතත් ආර්ථික අපහසුතා බොහොමයක් ඇති කුඩා දූපතක සාර්ථක පර්යේෂණ කිරීම ඉතා අසීරු කර්තව්‍යක්...බොහෝ විට එයට හරස් වෙන්නේ මුල්‍ය ප්‍රතිපාදන... ඒ හේතුවෙන් අඩු මුදලක් වැයකොට තත්වයෙන් උසස් නවමු සොයා ගැනීමක් සඳහා මා කලේ හැකි තරම් පැරණි පර්යේෂණ ලිපි කියවීම...

මගේ පර්යේෂණ වපසරිය තුල ලෝක ප්‍රසිද්ධ වූ මහාචාර්ය ජෙරී සහ ආචාර්ය ස්ටීව් ගේ පර්යේෂණ...නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය...ඇමෙරිකානු නාවුක හමුදා පර්යේෂණ ආයතනය සහ යේල් විශ්ව විද්‍යාලය...මෙයින් එක් තැනක් ගැන හෝ සඳහන් වූ පර්යේෂණ ලිපියක් මා අත නොරැඳුනා නම් ඒ කලාතුරකින්...

ඒ සියල්ලම ජීවිතයේ කිසිදාක පය තබන්නට "සිහින" නොබැලූ තැන්...ජීවිතයේ කිසිදාක හමු වේවි යැයි නොසිතූ මහා විද්‍යාඥයන්...

එහෙත්...

ටීපෝවක් මතින් දෙපය තබාගෙන...යුවතියකට කිසිසේත්ම නොගැලපෙන ඉරියව්වකින් පරිගණක තිරයට එබීගෙන උන් හිතුවක්කාර හිතකට ඔවුන් කල බලපෑම නම් බොහොමයි... 

මා සිහින දකින්නියක් නොවේ...කලාතුරකින් ආදරය හිතෙන සිහින වලට හිතේ පැලවෙන්නට ඉඩ හරින්නියක්...

සන්තකයටම ඇත්තේ එකම රුපියල නම් එය වඩාත්ම පලදායී ලෙස ආයෝජනය කරන්නියක්...

කෙටියෙන්ම කියතොත්, අනාගතය ගැන කිසි විටක ලත නොවී, අද දිනය සාර්ථකව නිමා කිරීමට වෙර දරන්නියක්... 

අදින් වසර දහඅටකට පෙරද මා කරමින් උන්නේ එයමයි...

"කොළඹ රස්සාවකට යනව ඇති"

"මදැයි සල්ලි වියදම් කරලා කොළඹ ඉස්කෝලේ යැව්වා"

ඒ ගම්මානය තුල ඇසුන කසුකුසුව...

"ඇත්තටම බාහිර උපාධියට රස්සාවල් තියනවද"

ඒ පළාතේ සියල්ල දත්තා වූ පුරවැසියෙක්...

"ගාමන්ට් එකට දාල දෙන්නම් කිව්වා පොඩි අය්යා, ඔයාට යන්න බැරිද...එතනින් උපාධිය කරන්නත් ඉඩක් ලැබෙනවා කිව්වා..."

සියලුම කරදර උහුලා හිඳ, අවසානයේ ඒ ප්‍රශ්නය ඇසුවේ මගේ ආදරණීය අප්පච්චි...

අසූඅට/අසූනවය භීෂණ අවධියේ දහසේ නෝට්ටු මිටි රැගෙන මැල්සිරිපුර වී ගබඩා සොයා ගිය, පසු කලෙක රුපියල් හතළිහක් සොයා ගන්නට නිවස පීරූ මගේ අප්පච්චි...කර්මය විසින් හදවත් රෝගියෙකු කල, අප සමඟ ගත කල අවසන් අලුත් අවුරුද්ද වෙනුවෙන්, අලුත් ඇඳුම් මිලදී ගැනීමට නොහැකිව හැමට රහසින් කඳුළු සැලූ මගේ අප්පච්චි...

ජීවිතය මිනිසුන්ට ලබා දෙන දඬුවම් විටක ඉවසා දරා ගැනීමට බොහෝ අසීරුයි...අප්පච්චි ඒ දඬුවමෙන් හෙම්බත් වී උන් තරමට ඔහුට පැහැදිලිව හිතන්නට තරම් මානසිකත්වයක් එදා නොතිබෙන්නට ඇති...

ඒත් අද සේම එදාද මට තිබුනේ, අප්පච්චිගෙන්ම උරුම වූවයි මා විශ්වාස කරන, කිසිදාක පසුනොබසින හිතක්...

ඒ හේතුවෙන්ම, අප්පච්චි මා විද්‍යාඥයෙකු වේ යැයි සිහිනයක්වත් නොමැතිව අදින් වසර දාහතරකට පෙර අප හැර ගියද....මා අද මේ සටහන තබන්නේ ආචාර්ය ස්ටීව්ගේ ආරාධනාවෙන්, ඔහුට අයත් පර්යේෂණායතනය තුල ආරාධිත දේශනයක් පැවැත්වීමෙන් පසු ලැබුන විවේකයෙන්...ඔව් ඔහු තමයි, මා පෙර සඳහන් කල පර්යේෂණ ලිපි තුල උන් මහා විද්‍යාඥයා...

ජීවිතය එසේය...සිහින වලට පැල වෙන්නට ඉඩ හැරිය යුතුය...

මා මේ සටහන පටන් ගත්තේ, මගේ ඒ කතන්දරය ලිවීමේ අදහසකින් නොවේය...

එහෙත් ජීවිතයේ බොහෝ අරමුණු ඉතා කුඩා සිදුවීමකින් පවා අතහැර දමන අපේම මිනිසුන් සිටින ලෝකයක, මගේ ජීවිත කතාවේ කොහේ හෝ තැනක්, කාට හෝ ශක්තියක් වෙතැයි මහිත කියූ නිසාවෙන් එය බිඳෙන් බිඳ ලියා තබමි...

අප්පච්චි ලඟ වැටී කියන්නට අවැසි යයි මට සිතෙන සියලුම දෑ ඔබෙන් අවසරයක් ඇතත් නැතත් මා මෙහි ලියා තබමි...ඒ මෙවැනි දුෂ්කර ගමනක සුන්දර ගමනාන්තයන් පිලිබඳ පවසන්නට ඔහු සිටියා නම් කියා සිතීමෙන් මා හෙම්බත් වී ඇති බැවිනි...

මේ කතන්දරය කීමට පෙර මා ඔබට එක් පොරොන්දුවක් දෙමි...මා ඔබට ඒත්තු ගන්වන වග, ජීවිතය යනු ඕනෑම තත්පරයක ඕනෑම තැනකින් පටන් ගත හැක්කක් වග...ජීවිතයට එක් තත්පරයක පංගුවකින් රෝස මල් යහනාවක් කාන්තාරයක් කල හැකි වග...බුදුන් වහන්සේගේ දේශනාව අනුව.."ආරෝග්‍යා පරමා ලාභා" නිරෝගී කම උතුම්ම සම්පත වග...හිතේ ඇති මහත් වූ ශක්තියෙන් සහ නොපසුබට උත්සාහයෙන් කර්මය වෙනස් කල හැකි වග...ගෙවෙන සෑම තත්පරයකදීම ජීවිතය විසින් අපට යමක් උගන්වන වග... 

..........................................................................................................................................................

"ඒ සියල්ලටමත් වැඩියෙන්, පොකුරු වැහි නිර්මාණය වුයේ, 
මහ පොළොවේ ඇති,
 දහදිය, කඳුළු, අළු, දූලි සියල්ලම එක්කාසු වී වග"

..........................................................................................................................................................


ඒ එක්දහස් නවසිය අසූහතර වර්ෂය...මා හෝඩියට ඇතුලත් වූ අලුත...යම් කිසි හේතුවකින් අප්පච්චී නිවසේ නොසිටි දිනයක්...එවන් දිනයක මා පාසැලට රැගෙන ගියේ, මට වැලිපිල්ලේ රවුම් අකුරු ලියන්නට කියාදුන් මගේ හැඩකාර ආච්චි අම්මා...

අද අනූඅට වියට එළඹී ඇති ඇය, අද සේම එදාත් බොහෝ කඩිසර කාන්තාවක්...ඇය නිවසින් පිට යන ඕනෑම වතාවක සැරසුනේ ඔසරියෙන්...ඒ සුන්දර දසුන මට ඕනෑම විටක මතකයට නගා ගත හැක්කක්...

"අපි දිගටම පයින් යමුද"...ඒ ජීවිතය විසින් මාගේ කුඩා හිතට ඇති ශක්තිය උරගා බැලූ පළමු වතාව...

බොහෝ වේලාවක් ප්‍රධාන පාරේ බලා හිඳි ආච්චි අම්මාට, එදින බස් රථ වර්ජනයක් බව කවුරුන් හෝ පවසන්නට ඇති...ඇය කිසිදාක පසුනොබසින ගැහැණියක්...කුඩා මාද එය උරුමය කොටගෙන ඇත්දැයි සැකහැර දැනගැනීමට ඇය එසේ ඇසුවේ බොහොම රහසින් වග නම් මට සහතිකයි...

"හා"...කිලෝ මීටර හෝ සැතපුම් පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති මා (අදටද එය එකසේම වලංගුය...) ඇගේ යෝජනාව ස්ථිර කලේ එලෙසින්...මගේ එකම උවමනාව වූයේ කෙසේ හෝ පාසැල් යාම...

"අම්මාට කියන්න එපා"...ඒ ආච්චි අම්මා මගෙන් ගත් පොරොන්දුව... 

"හා"...මා කලේ හිස වැනීම...

එයින් වසර දහසයක් පමණ ඉක්ම යනතුරුත්,  ආච්චි අම්මා විසින්ම ඒ පොරොන්දුව කඩන තෙක්ම, අම්මා හෝ අප්පච්චී ඒ ගැන කිසිවක් දැන නොසිටි වග පමණක් ඔබට කියන්නට කැමතියි...

එදා මා සැතපුම් හයක් පමණ ආච්චි අම්මා සමඟ ඇවිද ගියේ, කිසිදු කෙඳිරියක් නොනගාම...මට ආච්චි අම්මා විසින් ලබා දුන් අභියෝගය ජය ගැනීමත්, කෙසේ හෝ පාසැලට යාමට හැකි වීමත් යන කාරණා දෙකම හේතුවෙන්, මට කිසිම වෙහෙසක් දැනුනේ නැහැ...

එදා සේම, අදද මා ජීවිතය මනින්නේ තත්පර, සැතපුම් හෝ වර්ෂ වලින් නොව, ආත්ම විශ්වාසයෙන් සහ අරමුණු වලින් පමණි...

" මා මලක් සේ නුඹ නොහැදුවේ පෙති සැලී පරවෙන නිසාමයි...
දුක දිනා හිනැහෙන හැටි ලොවේ නුඹ දැන උගත් පාඩම තමයි"

මගේ ආච්චි අම්මාටත් එදා එහෙම හිතෙන්නට ඇති...


---------------------------------------------------------------------------------------------------------------------------------

සියලු දෑ අනිත්‍ය ලෝකයෙහි, හෙට දිනද අනියතය...
ඒ දකින්නට මා අවදි වුවහොත්, ජීවිතය ගැන නැවත ලියමි...

---------------------------------------------------------------------------------------------------------------------------------

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.