Showing posts with label ඇත්ත කථා. Show all posts
Showing posts with label ඇත්ත කථා. Show all posts

Sunday, May 3, 2026

ශිරෝමා මංගලිකා හඳුන්නෙත්ති නම් වූ ගුත්තිල ඇදුරුතුමිය...

ඇය සදහටම වෙන්ව ගොස් අවසානය; ඇය කෙරෙහි මා තුළ වූ සැබෑ හැඟීම් ප්‍රකාශ කිරීමට දැන් මා බොහෝ ප්‍රමාද වැඩි බව මට හැඟේ. එකල ඇයට තිබුණේ රැලි ගැසුණු කෙටි කොණ්ඩයකි, කරුණාවන්ත සුන්දර සිනහවකි, එමෙන්ම අධිෂ්ඨානය කැටි වූ මුරණ්ඩු පෙනුමකින් යුත් මුහුණකි. මා ඇය දුටු ප්‍රථම මොහොතේ පටන් අතිශය භක්තියකින් යුක්ත වූ ප්‍රේමයකින් ඇයට බැඳුනා වූ අයෙක් වූයෙමි. ඇය මා ඇසුරු කළ කුඩා කල්ලිය තුළ ඉන්නා වූ වඩාත්ම ගෞරවාදරයට පත් වූ මිනිසුන්ගෙන් කෙනෙක්  වූවාය. එමෙන්ම ඇය මට මෙතෙක් මුණගැසුණු බුද්ධිමත්, අතිශය ස්වාධීන මෙන්ම, නිර්භීත වූද, විද්‍යාඥයන් අතළොස්සෙන් කෙනෙක් වූවාය.

විශ්වාස කරන්න, මම බොහෝ තැන්වල සැරිසරා ඇත්තෙමි; ලෝක මට්ටමේ ප්‍රවීණයන් සහ සමකාලීනයන් බොහෝමයක් මට හමුවී ඇත. එහෙත්, ඔවුන් බොහෝ දෙනා ඇය වැන්නෝ නොවූහ. සමහරු බොරුවෙන් ඉදිරියට ගියහ; සමහරු උඩින් මත්තෙන් අතගා, ගැඹුරු කතා ගොතන්නෝ වූහ. තවත් සමහරුන්ට තිබුණේ පවුල් පසුබිම හෝ බලවත් සබඳකම් පමණි. ඔවුන් අහසේ දිදුලන තරු වැන්න; ඔබ ඔවුන් වෙත සමීප වන විට පෙනී යන්නේ, ඔවුන් බොහෝ කලකට පෙර මියගිය හෝ මියයමින් පවතින බවයි.

එහෙත් ඇය... ඇය ඒ සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස් වූවාය. 'නොහැකියාව' යන්න ඇගේ ශබ්දකෝෂයේ කොතැනකවත් නොවීය. ඇයගේ දැක්ම තුල, ඉතා අඩු පහසුකම් යටතේ වුවද, කල නොහැක්කක් නොමැති විය. එය මාගේ පර්යේෂණ ජීවිතයේ ආදර්ශ වැකිය කරගන්නා තරමට ඇය එය මගේ තරුණ මනසට කාවැද්දුවාය.  උඩින් මත්තෙන් අතගා වැඩ කරන කිසිවෙකු ඇයව නොරිස්සූහ. එවැන්නෝ  ඇය ඉක්මනින් කෝප වන, අනුකම්පාවක් නැති, 'උමතු' විද්‍යාඥවරියක කියා ප්‍රසිද්ධ මත වැපිරූහ. ඒ කිසිවෙකුටවත්, නව්‍යකරණයෙන් පිරි සාර්ථක පර්යේෂණයක් බිහි කිරීමට අවශ්‍ය වන බුද්ධිය, කැපවීම හෝ කරන අසීමිත පරිත්‍යාගයන් ගැන එකල කිසිදු වැටහීමක් නොතිබූ බව මට විශ්වාසය.

ඒ 2003 වර්ෂයයි. ඉතා තරුණ වියෙහි හුන් මා මූලික උපාධිය නිම කර ගතව තිබුනේ මාස කිහිපයක් පමණයි.  මාගේ ආචාර්ය උපාධියේ පිවිසුම සඳහා තුබූ සම්මුඛ පරීක්ෂණයේදී ඇය එදා ඇසූ ඒ ප්‍රථම පැනය මා හට අද මෙන් මතකයට නැඟේ: 'ඔබට වඳුරන් සමඟ වැඩ කළ හැකි වෙයිද?'... මාගෙන් පිළිතුරක් අවැසි නිසා පමණක්ම ඇය එසේ  විමසුවද, එවෙලේ මට ඇගේ මුහුණ කියවා ගත හැකි විය. ඇය ඒ වන විටත් මගේ පිළිතුර දැන සිටියාය. තමා ඉදිරියේ හිඳගෙන සිටින ඒ කෙසඟ සිරුරක් හිමි, හිතුවක්කාර  පෙනුමක් ඇති තරුණිය යම් දිනක දිගු  ගමනක් යන බව ඇය එදා සිටම දැන හුන්නාය. එම තරුණිය  අසීමිත ලෙස මුරණ්ඩු තැනැත්තියක් බවත්, ඇගේ බාහිර පෙනුම හුදෙක් මායාවක් පමණක් බවත් ඇය අනෙක් සියල්ලන්ටම වඩා හොඳින් අවබෝධ කරගෙන සිටියාය. ඇය එසේ  මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවාය. පර්යේෂණ සහායකයෙකු සඳහා වන රුපියල් හයදහසක කුඩා වැටුප පමණක් ලබා දිය හැකි බව ඇය එදා මට කරුණාවෙන් පැවසුවාය. පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන්ව තිබුණේ සීමිත කාලයකට බවත් පසුව මට ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි විය හැකි බවත්  ඇය තිරසාර ලෙස  ප්‍රකාශ කළාය. ඇය මගේ ආචාර්ය උපාධි පර්යේෂණ මාලාවේ සම-උපදේශකවරිය විය. එදා ඇය අසල  සිටි ඉතා විනීත පෙනුමැති ආචාර්යවරයා මාගේ ප්‍රධාන උපදේශකවරයා විය. ඇය ප්‍රතිශක්ති විද්‍යාඥවරියක වූ අතර ඔහු අණුක ජීව විද්‍යාඥයෙකි. ඔහුගේ කතාව මා මතු දිනක පවසමි; ඒ ඔහුද ඇය මෙන්ම උපදේශකයෙකුට වඩා පියෙකු හෝ වැඩිමහල් සහෝදරයෙකු ලෙස මගේ ජීවිත කථාව තුල ඉන්නා බැවිනි. 

ආචාර්ය උපාධියක් යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබුණද , ඇය සතුව අසාමාන්‍ය ජවයක් හා මනා පෞර්ෂයක්  ඇති බව මට එකලද වැටහුණි. ඇතැම් විට ඇය මා අභියෝග නමැති වෘකයන් මැදට විසි කළාය. එවැනි විටෙක හදිසියේම  ඇගේ පිළිවෙළකට සැකසූ, ඒ කුඩා කාර්යාල කාමරය  වෙත ඇය මා කැඳවන්නීය. පර්යේෂණ ලිපියක් අතට ගන්නා ඇය, නව්‍ය තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ මා හට අභියෝග කරන්නීය.අන් සැවොම බියපත් වූ තැන, මම ඒ අභියෝගයන්ට මුහුණ දුන්නේ ඉතා කැමැත්තෙනි.  ස්වාධීනත්වය සහ නිරවුල් මගපෙන්වීම මා හට ඇගෙන් ලැබුණු මහඟු දායාදයයි. ඇගේ කාර්යාලයේ හිඳ ඇය සමඟ එම ලිපි පිරික්සීමට මම බෙහෙවින් ප්‍රිය කළෙමි. ඇගේ බබළන දෑසින් සහ ඒ දීප්තිමත් සිනහවෙන් මා කෙරෙහි වූ උද්යෝගය සහ විශ්වාසය මට පෙනුණි. විද්‍යාව කෙරෙහි මා තුළ වූ පිපාසය සංසිඳුවන්නට ඇය කිසිදා අපොහොසත් නොවූවාය. 

ජීවිතය එකල ඇයට කෙතරම් දුෂ්කර වන්නට ඇත්දැයි දැන් මා හට වැටහේ; ඇගේ තද කළු පැහැති කැරළි කෙස් අව පැහැ ගැන්වීමට ගත වූ කෙටි කාලය එය මට පසක් කළේය. ඇය එදා සිටින්නට ඇත්තේ අද මා පසුවන වයසේමය. අද වෙද්දී මානසික පීඩනය සහ අධික වෙහෙසෙහි අනිසි ප්‍රථිපල පිළිබඳව විද්‍යාත්මක අවබෝධයක් තිබුනද,  කොපමණ රාජකාරී තිබුනත් හිත සැහැල්ලුවෙන් තබා ගැනීම සහ නිසි නින්දක් ලබා ගැනීමට මට බල කරන්නේ ඇයගේ ඒ වෙනස් වීමේ කම්පිත මතකයයි. මා එකල පර්යේෂණ ක්ෂේත්‍රයට සහ ආචාර්ය උපාධියට හුරුවන්නට උත්සාහ කරන බිළිඳෙකු වූයෙමි. ඇගේ පෞද්ගලික ජීවිතයේ කුමන කැළඹීම් තිබුණද, ඇය කිසිවිටෙකත් මා අත්හැරියේ නැත, කිසිවිටෙකත් මැසිවිලි නැඟුවේ ද නැත.  මා කිසිදිනක තනි කළේ නැත. මා කොළඹ වෛද්‍ය පීඨයේ පර්යේෂණ සහායෙකු ලෙස බැඳී ආචාර්ය උපාධි පර්යේෂණ වල ගෙවුනු  මුල් වසර දෙක ඇතුළත ඇය වෙනත් පීඨයක තනතුරක් භාර ගත්තාය. ඒ පසුපස වූ කතාව හදවතට බර වුවද, එ කතාව මෙතැනට අවැසි නැත. කොළඹ විශ්ව විද්‍යාලයේ යටතේ එකල ගොඩ නැගුනු නවතම අධ්‍යාපනික ආයතනය වූ  IBMBB  විසින් ජ්‍යෙෂ්ඨ තනතුරක් ඇයට පිරිනැමිණි. ඉන්පසු ඇයව හමුවී මාගේ ප්‍රගතිය සාකච්ඡා කිරීමට එහි යාම මාගේ දින චරියාවේ කොටසක් විය.

කාලය ගෙවී ගියේය. මම මාගේ ඉලක්කය අසලටම පැමිණ සිටි අතර, ඇය වඩාත් සතුටින් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ගමන් කරමින් සිටියාය. අතීතයේ වූ බොහෝ දේ ඉතිහාසයට එක්ව තිබුණි. සැවොම ජීවිතයේ ස්ථාවර වෙමින් ඉදිරියට ගමන් කළහ. මා මාගේ නිබන්ධනය ලියමින් සිටි කාලයේ එක් දිනක ඇය ඇගේ නිවසට මට ආරාධනා කළාය. එහිදී ඇය මට 'නියුටෙලා' (Nutella) තැවරූ පාන් පෙත්තක් පිළිගැන්වූවාය. ඇය ඊට බෙහෙවින් ප්‍රිය කරන බව පැවසුවාය. ඇත්තෙන්ම එය ඉතා රසවත් විය; එය මගේ ප්‍රථම Nutella අත්දැකීමයි. අදටත් මම වෙළඳසැලකදී Nutella දකින සෑම විටම ඉබේටම වාගේ ඇයව සිහියට නැගේ. ඇය තුළ සැඟව සිටි ඒ කුඩා දැරිය අවධි කරවන  සුන්දර සිනහව මට මැවී පෙනේ.

එදින ඇය මට කිසිදා නොදිරන අවවාදයක් දුන්නාය:

"ඔබගේ නිබන්ධන පරීක්ෂක වරුන්ගේ ප්‍රශ්න සඳහා සාර්ථකව පිළිතුරු සපයා ඔබගේ ආචාර්ය උපාධි පරීක්ෂණය සමත් විය යුත්තේ ඔබයි. මේ නිබන්ධය ඔබේ මිසක මාගේ නිබන්ධය නොවේ. එය ඔබේ බුද්ධිය හසුරුවා එයට හැඟෙන පරිදි ලියන්න."

සරලවම කිවහොත්... නිර්භීත වන්න, ස්වාධීන වන්න... ඔබගේ කාර්යය පිළිබඳ මනා අවබෝධයකින් පසුවන්න...

මා වරින් වර ඇයට විද්‍යුත් ලිපි ලිවුවද, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පසු මට ඇයව මුණගැසීමට අවස්ථාව ලැබුණේ දෙවතාවක් පමණි. ජීවිතය වඩාත් කැලඹිලි සහිත සහ කාර්යබහුල විය... එසේය, අනෙක් සෑම දෙනාටම මෙන්ම මා සතුව ද තිබුණේ ඒ පොදු නිදහසට කරුණමය. මුල් වසරවලදී මා ශ්‍රී ලංකාවට  ගියේ වසර දෙකකට පමණ වතාවකි.  නමුත් ජීවිතය යම් ස්ථාවරත්වයකට පැමිණ, නැවත මා ඇයව දැකීමට සූදානම් වූ එකල 'කෝවිඩ්  වසංගතය' ලොව වෙළාගත්තේය. නැවතත් අවුරුදු දෙකක් පමණ ලංකා ගමන ප්‍රමාද වූ අතර, ඒ පැමිණීමත් හදසි අනපේක්ෂිත කෙටි ගමනක් වූයේ, මගේ සහෝදරයා සහ ලොකු දියණියගේ හදිසි අනතුර නිසාවෙනි. කෙසේ වුවද, මා ඇයව හමුවීමට එන බව දන්වා විද්‍යුත් ලිපි යැවූ ඒ අවස්ථා දෙකේදීම ඇය ප්‍රථමයෙන් ලබා දුන් පිළිතුර වූයේ මෙයයි:

'හොඳයි... ඔබ මෙහි පැමිණෙන බැවින්, අප වෙනුවෙන් සම්මන්ත්‍රණයක් (Seminar) පවත්වන්නේ නැත්තේ ඇයි?'

පළමු වතාවට  ඒ සම්මන්ත්‍රණය පවත්වන විට මම  පශ්චාත්-ආචාර්ය උපාධි (Post-doctoral fellow) පර්යේෂකයෙකු වූවෙමි. මා කරන පර්යේෂණ කටයුතු පිළිබඳව ඇයට තිබුණේ අපිරිමිත ආඩම්බරයකි. ඇය නිරන්තරයෙන් මා හට පැවසුවේ, 'මම මගේ සිසුන්ට උගන්වන විට ඔබේ පර්යේෂණ ප්‍රකාශන උදාහරණ ලෙස පාවිච්චි කරනවා' කියාය. ගුරුවරයෙකුගෙන් හෝ උපදේශකයෙකුගෙන් මීට වඩා කිනම් ඇගයීමක් කෙනෙකු බලාපොරොත්තු විය හැකිද? මාගේ උපදේශකවරුන් දෙපළම එවැනි ඇගයීම් කිරීමට කිසිවිටෙකත් පැකිළුණේ නැත. මාගේ ප්‍රගතිය පිළිබඳව ඇයව දැනුවත් කරන සෑම විටම මට හැඟුණේ තම මව ආඩම්බරයට පත් කළ දරුවෙකු ලෙසයි. පළමු වතාවේ මා එම දේශනය සඳහා පැමිණි දවසේ ඇයට තිබුනේ අපමණ සතුටකි. මට තිබුනේ මගේ මව දැකීම හා සමාන උද්දාමයක් හා ප්‍රීතියකි.  ඒ දවසේ මා ඇඳ සිටි සුදු පැහැති බ්ලවුසය ඇය සකස් කර දුන් ආකාරය මට අද මෙන් මතකය. ඇය මාගේ ඇඳුමේ අඩුපාඩු සකසමින් එය වඩාත් පිළිවෙළ කිරීමට ඇය එදා උත්සාහ කළාය. ඒ මොහොතේ මා ඉදිරියේ සිටියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරෝමා හඳුන්නෙත්ති නොව, මා හට කිසිදා අහිමි කරගන්නට හෝ අත්හැරීමට ප්‍රාර්ථනා නොකළ අතිශය ආදරණිය මාතෘත්වයෙන් පිරි ගැහැණියකි. 

මා ඇයව අවසන් වරට හමුවූයේ 2024 දෙසැම්බර් මාසයේදී ඇය දැක බලාගැනීමට සහ ඇයගේ ආරාධනයෙන් සිදු කෙරුනු IBMBB ආයතනයේ පැවති මාගේ දෙවැනි දේශනය සඳහා සහභාගී වූ දිනයේය. ඇය වයස්ගත වීමේ ලකුණු පෙන්වමින් සිටියද, පෙරටත් වඩා ප්‍රඥාවන්ත, වඩාත් ශාන්ත තැනැත්තියක බවට පත්ව සිටියාය. මාගේ මනස තවමත් වසර දහයකට හෝ දොළහකට පෙර අතීතයක සිරවී ඇති බව මට වැටහුනේ එදාය. මා පිළිගැනීමට සූදානම් නොවූවද, ඇය ජීවිතයේ යථාර්ථය හෙවත් වයස්ගත වීම නමැති පරීක්ෂාවට මුහුණ දෙමින් සිටියාය. අපි එදා බොහෝ දේ කතා කළෙමු. අප සැවොම කවදා හෝ කළ යුතු වන්නාක් මෙන්, ඇයද සියලු බැඳීම් අත්හැරීමට පටන්ගෙන ඇති බවට සලකුණු පෙනෙන්නට තිබුණි. ගුරුවරයෙකු විසින් ගෝලයෙකු හට  දිය හැකි උතුම්ම ත්‍යාගය ඇය එදින මට පිරිනැමුවාය; ඒ ඇගේ මෑණියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මුද්‍රණය කළ, දේශනාවන් ඇතුළත් බෝධි පූජා පොතකි. සිරිතක් ලෙස මම එදිනද සම්මන්ත්‍රණය පැවැත්වූවෙමි. ඇය ඉතා ඕනෑකමින් ඊට සවන් දුන්නාය. අවසානයේ අපි විද්‍යාව පිළිබඳ සාකච්ඡා කළෙමු. ඒ අතර ඇය මොහොතකට නිහඬ වූවාය; අනතුරුව මාගේ අනෙක් උපදේශක මහාචාර්ය සිසිර පතිරණ  මහතා දෙසට හැරී, ඔවුන්ගේ සිසුන්ට ඉගැන්වීම සඳහා මා යොදාගත යුතු බව යෝජනා කළාය. ඇය එය පැවසුවේ ඇගේ ඒ සුන්දර සිනහව සමඟින්, අතිශය මෘදු සහ ශාන්ත හඬකිනි. ඇය පිළිබඳ මා සතු අවසන් මතකය එයයි.

මාගේ කුඩා ලේලියන් දෙදෙනාට මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරිය පෙන්වීමට මට උවමනා වූ අතර, ඔවුන් එදා ඇයව මුණගැසීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙමි.  මහා පොළොවේ පය ගසා සිටි මහාචාර්වරියක වූ, දාරක ස්නේහයෙන් පිරි ගැහැණියකගේ සහ ඔවුන් සිතා සිටින්නා වූ "මහාචාර්ය" වරු අතර වෙනස මට ඔවුනට පෙන්වීමට වුවමනා විය. කිසිවෙකුට වෛර නොකළ, අනෙකාගේ අවමාන ඉදිරියේ නොසැලී ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් කල ඇය වැන්නියකගෙන් උගත හැකිව තුබුණු දේ බොහෝය. ඉතා හිස්, බොහෝ මාන්නයෙන් හිස් උදුම්මාගත් විශ්ව විද්‍යාල ඇදුරන් අතරේ ඇය පිරුණු කළයක සේ නොසෙල්වී දරුවන් වෙනුවෙන්, නව සොයා ගැනීම් වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයම කැප කළාය.  

මේ වසරේ මුලදී ඇය මෙලොව හැර යාමට මාස දෙකකට පමණ පෙර, මා ඇයට විද්‍යුත් ලිපියක් යැව්වේ මාගේ නවතම පර්යේෂණ ප්‍රකාශනයක් ඇය සමඟ බෙදාගෙන ඇයව ආඩම්බරයට පත් කිරීමටයි. ඇය සතුටින් ඊට පිළිතුරු දුන් අතර ඇය කාර්යබහුල බවක් ද හැඟුණි. එහෙත්, අවාසනාවකට මෙන් මා ඒ පණිවිඩයට පිළිතුරක් යැව්වේ නැත. ඇය විශ්‍රාම ගන්නා බවට වූ පණිවිඩයක් මාගේ අනෙක් උපදේශකවරයාගෙන් මට ලැබුණි. ඉන්පසු මා කාර්යබහුල විය, අවධානය ගිලිහී ගියේය; 'දිට්වා' කුණාටුව පැමිණි ඒ දිනවල මා ලංකාවේ සිටියද මම ඇයව බලන්නට ගියේ නැත.  ඇය මුණ ගැසීම සඳහා අවස්ථාවක් යොදා නොගැනීම සම්බන්ධයෙන් අද මට ඇත්තේ ඉතා විශාල පසුතැවීමකි. අනතුරුව මට අසන්නට ලැබුණේ ඇගේ අභාවයයි. එය ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ සහ ප්‍රතාපවත් විද්‍යාඥවරියකගේ අහිමි වීමකි. අප සැමට දීප්තිමත් අනාගතයක් ලබා දුන් ඇය උතුම් වූ අමා මහ නිවන් සුව අත්කර ගන්නා බවට මා තුළ කිසිදු සැකයක් නැත.

ඇගේ අහිමි වීම මට තවම මා පිළිගැනීමට සූදානම් නැත. ඇය සිය ජීවිතය විඳීමට කාලය ඉතිරි කරගෙන විශ්‍රාම ගත්තා පමණක් යැයි මට සිතේ. ලඟදී දිනක ප්‍රකාශයට පත් කිරීමට නියමිත මාගේ නවමු පර්යේෂණ පත්‍රිකාව බෙදා ගන්නට ඇය නොමැති බව මට මතක් වෙන්නේ ඉඳ හිටකය. කෙතෙක් මනසිකාර කලද සමහර බැඳීම් බොහෝ ගැඹුරුය. ඇයට මා උතුම් ලෙස සැලකූ බව ඇය දැන සිටියා වන්නට පුළුවන. නමුත් ඇයට මගේ  තිබූ ආදරය හරි හැටි මා විසින් ප්‍රකාශනය කළාදැයි මා නොදන්නෙමි. ලංකාවේ මිනිසුන්ට තමන් ආදරය කරන, ගරු කරන මිනිසුන් හට ආදරය ප්‍රකාශ කරන්නට කුඩා කල සිටම හරි හැටි කියා දෙන්නේ නැත. අවාසනාවට එය එසේය.

ඩොක්ටර් ශිරෝමා, මම ඔබව පළමුව හමු වූ දා සිටම ඔබට බොහෝ සේ ආදරය කලෙමි. ගෞරව කළෙමි ! ඔබට සුබ ගමන් !



Friday, November 24, 2023

මිනිස්සු සහ ටර්නින්ග් පොයින්ට්ස් (ජීවිතය ලියා තබමි - 4)

ශිෂ්‍යත්ව ප්‍රථිපල නම් ආව. 

පාස් උනේ නැති පොඩි එව්වෝ දුකෙන්. උන්ගෙ අම්මලා ඊටත් වඩා දුකෙන්.

සමහර පුංචි උන්ට, උන්ගෙ තවම හරි හැටියකට පටන් නොගත්ත ජීවිත ඉවරයිදෝ කියලත් හිතෙනවා ඇති. 

එත් පුතේ, ශිෂ්‍යත්වය හෝ වෙනත් කුමන හෝ විභාගයක් ඉහලින්ම පාස් උනත් නැතත්, උඹලගේ ජීවිතේ ඔය ගෙවන හැම මොහොතක්ම, පාස් වෙන්න හෝ ෆේල් වෙන්න උඹලට ලැබෙන අවස්ථාවක්. 

ඒක උඹලගේ වැඩිහියන්ටත් සමහර වෙලාවට අමතක වෙච්චි කාරණාවක්.

මගේ අම්ම, අප්පච්චිටත් එහෙම උනා. 

කොළඹ නැවතිලා ඒ ලෙවල් කරල ගමේ ආපු මං අහසින් පොළොවට වැටුන. මං කොළඹ උන්න අවුරුදු දෙක තුන ඇතුලෙ මං මගෙ අරමුණු වලින් හුඟක් පිට පැනල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා කියල මට තහවුරු වුනේ, අම්මයි, අප්පච්චියි, මල්ලියි ගෙදර ඉඳන් ජීවත් වෙන්න කරන හරඹේ දැකල.

බොහොමයක් වැඩිහිටියන්ට ජීවිතේ එක්ක හක්කලං කරද්දී අමතක වෙනවා, දරුවොන්ට හරි පාරෙ යන්න නම් කන්න බොන්න දීල,වියදමට සල්ලි හොයල දීල විතරක්ම මදි කියල. 

ඔව්, ගෙදර මුදුන් ලීය වගේ ඉන්න අප්පච්චි කෙනෙක් අවුරුදු ගාණක් තිස්සෙ අසනීපෙන් ඉන්නකොට එහෙම වෙනවා. සමහර වෙලාවට දරුවන්ගෙ ජීවිත නූල් බෝල වගෙ පැටලෙනවා. ඒ උනාට ඉතිං වැඩිහිටියෝ උනත්, අම්ම, අප්පච්චි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් ජීවිතේ පැටලෙනවා. 

අපි හිතුවට දරුවන්ට අවුරුදු දාසය දාහත උනාම උන් හරි ලොකු මිනිස්සු කියල. නෑ...ඒක එහෙම වෙන්නෙ නෑ. උන්ට මොළේට කථා නොකර උන්ගෙ බඩටයි, වස්තරේටයි කොයි තරම් සැප දුන්නත් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි දරුවො කියන්නෙ කෙවිටක් අරන් හරක් වාගේ හසුරවන්ට පුළුවන් ඈයොත් නෙවේ. ලංකාවෙන් නම වෙනියට ශිෂ්‍යත්වෙ පාස් උනාට, මටත් අවුරුදු දාහතේදී  ජීවිතේ හසුරවගන්න තරම් ඥාණයක් පහල වෙලා තිබුනේ නෑ. 

දරුවෝ ඉන්න දෙමව්පියෝ නිතරම මතක තියා ගන්න ඕනේ කාරණේ තමයි "ආරෝග්‍යා පරමා ලාභා" කියන දේ...සමහර දේවල් තියනවා තම තමන්ගේ කර්මය අනුව සිද්ධ වෙන අපිට පාලනය කරන්න අමාරු දේවල්. මගේ අප්පච්චි අසනීප වෙන්නෙ එහෙමයි කියල මං හිතන්නෙ. මටයි මල්ලිටයි ලැබිල තිබුනෙ බුදු කෙනෙක් වගේ අප්පච්චි කෙනෙක්. තමන්ගේ බිරිඳ, දරුවෝ එක්ක හදාගත්ත තමන්ගෙ කුටුම්භයෙ රජෙක් වෙලා උන්නු මිනිහෙක්. සුරාවෙන් සූදුවෙන් තොර මිනිහෙක්. එහෙම මිනිස්සුත් ලෙඩ වෙනවා. 

ඒ කාලේ වාගේ නෙවේ. අද කාලේ අපිට නිතරම කැවෙන්නේ වස විස. මේක බලන අම්මල, අප්පච්චිලට මං  කියන්නේ ඉස්සර වෙලාම තමන්ට ආදරේ කරන්න. පුළුවන් හැම මොහොතකම, තමන්ගේ මනස, සහ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කරන්න. තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. තමන්ට ආදරේ නොකරන මිනිස්සු කායිකව සහ මානසිකව පිරිහෙනවා. එහෙම කෙනෙකුට අමාරුයි තමන්ගෙ දරුවට හොඳ මාර්ගෝපදේශකයෙක් වෙන්න. 

ඉතිං, ආපහු මගෙ කතන්දරේට. 

කෙටියෙන්ම කියනව නම් හිතුමනාපෙට ඒ ලෙවල් කරලා මං ගෙදර ආව. එතකොට තමයි දැක්කෙ, ගෙදර ඈයෝ ජීවත් වෙන්න කරන හරඹේ.  අපි ගත කලේ හුඟක් අමාරු කාලයක් කියල මං දැනන් උන්නට, ගමේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මට හරියටම ඒකෙ දිග පළල තේරුනේ. 

දැන් ඉතින් මක් කරන්නද? මෙඩිසින් යනවා තියා හිතන්නවත් බෑ මට එන්න තියන ඒ ලෙවල් රිසල්ට්ස් වලින්... 

එතකොට අප්පච්චි මං වෙනුවෙන් ගොඩ ගහපු හීන... 

ඒවට මොකද වෙන්නේ... 

ඒ ගැන හිතද්දී මට එදා ඒ අවුරුදු දහ නවයෙදි දැනුන පශ්චාත්තාපය ගැන මේ වගේ ලියමනකින් විග්‍රහ කරන්න මට කවදාවත් බැරි වෙයි. 

ඒ පශ්චාත්තාපයේ පරිමාව තමයි මේ තරම් දුර ගමනක් එන්න මට ශක්තියක් උනේ.

හදවතට එකඟව ඇත්ත කියනවා නම්, මගේ ජීවිතේ ලබපු සියළුම ජයග්‍රහණ සියල්ලම මං අරන් දුන්නෙ මගෙ අප්පච්චිට. එයා තමයි මගෙ සීමාව අහසෙ ලකුණු කළේ. 

මට අහස අල්ලන්න ලොකු උවමනාවක් හිත ඇතුලෙ නොතිබුනත්, මේ ලෝකෙ මට සීමා මායිම් නැහැයි කියල මුලින්ම මගෙ හිතට කාවැද්දුවේ මගෙ අප්පච්චි....ඒක එහෙම උනාට මගෙ අප්පච්චි මං  පොළොවෙන් පළවෙනි අඩිය ගන්නවා බලන්නවත් ජීවතුන් අතර උන්නෙ නෑ. 

ඒත් මං අදටත් ඒ ගමන යනවා. 

මොකද අප්පච්චිට පස්සෙ, මට දෙවැනි අප්පච්චි වෙච්ච, ඒ උනාට මං උගෙ අම්මයි, අප්පච්චියි දෙන්නම කියල හිතන් ඉන්න මල්ලි කෙනෙක් මට ඉන්නවා. දේවතාවියක් වගේ අම්ම කෙනෙක් ඉන්නවා. තව මගෙ වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, උන් දෙන්නගේ ලස්සන ඇස් තියන අම්මයි තුන් දෙන්නත් ඉන්නවා. ඒ හැමෝගෙම ආදරෙන් මං වැටි වැටි නැගිට නැගිට අහස අල්ලන්න යනවා.

මේ කථාව මං ලියන්න ගත්තේ ජීවිතේ සමහර තැන් වල ෆේල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මගෙ ජීවිතේ සමහර  ප්‍රධාන හැරවුම් ලක්ෂ පිටිපස්සේ උන්නු, මගේ ජීවිතය ගැන මොහොතක් නැවතිලා අවර්ජනා කරන්න මාව පොළඹවපු, මට මුණ ගැහුණු  මිනිස්සු ගැන ලියන්න. ඒක පොඩ්ඩක් ඉමෝෂනල් උනා, ඒකට සමා වෙන්න. ෆේල් වෙන්න ඔන්න මෙන්න ඉන්න උන්ට මේකෙ තියන සමහර දේවල් වැදගත් වෙයි කියල මං හිතනවා. 

"ජයතුංග සර්" කියන්නෙ ඒ කියන කුලකයට අයිති මනුස්සයෙක්. ඒ මගේ පළමු රැකියාවේ මගෙ ප්‍රධානියා. ඉස්කෝලෙන් පිටදී මට හමු   වුනු පළමු ගුරුවරයා. මට ඒ වෙද්දී අවුරුදු දහනවයයි. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් නෑ මට මතක හැටියට, ඒ ලෙවල් කරලා මාස තුනක් වගේ ඇති ඔය කියන කාලේ. අහස අල්ලන්න යන්න කලින් ගෙදරට කන්න බොන්න, අප්පච්චිට බෙහෙත් ගන්න උදව්වක් වෙන්න හිතාගෙන මං  හා හා පුරා ගියපු රස්සාව. පඩිය රුපියල් 1500 සහ 2500 අතර. මට හරියටම මතක නෑ දැන්. ඒක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. තනතුර "කම්පියුටර් ඔපරේටර්".

මං හැන්දෑවේ හතරට විතර තමයි ගමේ ඉඳන් කොළඹ ඔය කියන තැනට ඉන්ටර්විව් ආවේ. ඒ වෙද්දී මට කොළඹ හොඳට හුරු උනාට (ඒ හුරු උනේ අවුරුදු දා හතේදී විතර පිටකොටුවෙ බෝ ගහ කියල හිතන්, ඒ කාලේ ට්‍රාන්ස් ඒශියා එකට මෙහා පැත්තෙන් තිබුන මොකක්ද ගහක් බලන් බැහැල ලැබුන අත්දැකීම් වලින්) කොළඹ සහ ගම අතර රෑ ගමන් මං ගිහින් තිබුනෙම නෑ. ඒ හන්ද ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳන් මගෙ ඔළුවේ තිබුනේ පිටකොටුවෙන් අවසාන බස් එක ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ. ඔහොම හිත හිත මං ඉන්ටර්විව් ගියා. 

ජයතුංග සර් හරි ප්‍රතාවත්, ඒ වගේම හරිම කරුණාවන්ත, උත්තුංග දේහදාරී මනුස්සයෙක්. නමට පිටිපස්සෙන් අකුරු ගොඩාක් තිබුනා. ඒ අකුරු වලට හරියන දැනුම වගේම, හොඳ බුද්ධියකුත් ඔහුට තිබුනා. අපි කොළඹ ඉස්කෝලේ ගියාට හරි හමන් විදියට කම්පියුටර් එකක් අත ගාල තිබුනේ නෑ.  මේ 1998 මුල කාර්තුව. 

ඔය ඉන්ටවිව් එකේ අහපු වැදගත්ම ප්‍රශ්නේ තමයි මං "ඩේටා එන්ට්‍රි" දන්නවද කියන. මං දැනන් උන්නු ඩේට එන්ට්‍රි එකක් නෑ . ඒ තියා මං හරියකට කම්පියුටර් කී බෝඩ් එකක් වත් දැකල තිබුනේ නෑ. එත් මං ක්ෂණයකින් තීරණය කළා මං  "ෆේක් ඉට් ටිල් මේක් ඉට්" තියරි එක මෙතනදී ඇප්ලයි කරනවා කියල. මං බොරු කිව්වේ නෑ. මං පොලිටිකල් උත්තරයක් දුන්න. "මාව පුහුණු කලොත් මට පුළුවන් කරන්න". ජයතුංග සර් අපේ ඉස්කෝලේ දරුවෝ ගැන දන්න, ඒ අයත් එක්ක වැඩ කරලා පුරුද්දක් තිබුන කෙනෙක්. ඒ නිසා ඔහුට මං ගැන විශ්වාසයක් තියෙන්න ඇති. ඒ නිසා මාව ඔහුගේ යටතේ සේවයට බඳවා ගත්තා. පස්සෙ තමයි සර්ට තේරුනේ මේ ලෝකේ ඉන්න බොහොම හිතුවක්කාර, නාහෙට නාහන ගෑණු දරිවියෙක් සේවයට අරගෙන, මේක මහ විසාල කරදරක් උනා කියල. 

සර් ඇරෙන්න එතන උන්නු සේරම තමන්ගේ නමට පිටිපස්සේ ලියවුන අකුරු වල සැර අපි වගේ පොඩි එව්ව්වොන්ට පෙන්නුව මිනිස්සු. මට කුඩා මොළේට වැටහුන විදියට සර්ගෙ ටැලන්ට් එක සහ ස්කිල්ස් එතන උන්න අනික් නෝනලා, මහත්තුරුන්ට ජීර්ණය කරගන්න බැරි උනා. මට උන්ව ජීරණය කරගන්න බැරි උනා. මම පිදිය යුත්තන්ට පමණක් පුදන කෙනෙක්. කිසිම කෙනෙක් ළඟ ඔහේ දණ ගහන්න මං දන්නෙ නෑ. මට ඒක කරන්නත් බෑ. රෙස්පෙක්ට් එක කියන්නෙ  තමන්ගේ තියන මොනයම් ගුණයක් නිසා හෝ අනුන්ගෙන් ලැබෙන්න ඕනේ දෙයක් කියල මං පුංචිම කාලේ ඉඳන් විශ්වාස කල දෙයක්. ඉස්කෝලෙන් ආපු ගැම්මත් ටිකක් හරි නොතිබුනා නෙවේ. ඒ හින්ද ජයතුංග සර් ඇරෙන්න මං එතන උන්නු කිසි කෙනෙක්ට හිත යටින් රෙස්පෙක්ට් කලේ නෑ. බොහොම තරුණ අවධිය නිසා මගෙ වචන වලට ෆිල්ටර්ස් තිබුනෙත් නෑ. ඉතිං ජයතුංග සර්  ඒ සම්බන්ධයෙන් බොහොම කරුණාවෙන් මට අවවාද දීල තියනව. මං සර්ට ස්තුති වන්ත වෙනවා මගෙ කොන්ද නොකැඩූ එක ගැන. අදටත් මං අතිශය රාජකාරී ලෙස, නොපෙරපු අදහස් ප්‍රකාශ කරන එහෙමත් නැත්නම් කෙලින් කතා කරන මනුස්සයෙක් විදියට තමයි මෙහෙ මිනිස්සු  මාව දන්නෙ. 

ජයතුංග සර්  මට හිතේ හැටියට කම්පියුටර් එක ඉගන ගන්න ඉඩ ඇරිය. මට ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී ලිපි ලියන විදිය ඉගැන්නුවා. ඒ ගැන හදාරන්න පොත් පිංචක් දුන්නා වගේ මතකයකුත් තියනවා. මට මාස දෙක තුනක් යනකොට එක්සෙල්, වර්ඩ්  වගේම ඩොස් ඔපරේටින්ග් සිස්ටම් එක ගැනත් සෑහෙන අවබෝධයක් ලැබුන. සර් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න අපිව බොහොම උනන්දු කෙරෙව්වා. සර්ගෙ ඉංග්‍රීසි ලිවීම සහ කථාව තිබුනේ එක්ස්ෂෙප්ශනල් ලෙවල් එකේ. සර් දිහා බලාගෙන මං බොහොමයක් දේවල් ඉගන ගත්තා. ඒ වගේම එතන අනික් උන්දලා දිහා බලල තීරණය කළා මේ වගේ මිනිස්සු යටතේ පාලනය වෙන රස්සාවක් මං කවදාකවත් කරන්නේ නෑ කියල. ලොකු කාමරයක් ඇතුලේ පේලියට පුටු තියාගෙන බොහොම පොඩි පඩියකට වැඩ කරපු මිනිස්සු දිහා බලාගෙන ලෝඩ් ල වගේ උන් ඉස්සරහ ඉඳගෙන තමන්ගෙ ශරීර වලින් දහසක් රැස් විහෙදනවා කියල හිතාගෙන උන්නු වගක් තමයි උන්දලාගේ පේන්න තිබුනෙ. 

මට මං කවුද කියල තේරුම් ගන්න  ඒ මිනිස්සු සේරම උදව් උනා. මගෙ යටිහිත දැනන් උන්න මගෙ ලඟත් ඒ වෙද්දි හරි විදියට පාවිච්චි නොකරපු එක්ස්ෂෙප්ශනල් හැකියාවක් තියනවා තියනවා. මං දැන් දන්නවා මේ හැකියාව හැමෝටම තියනවා. අවාසනාවට බොහොම ටික දෙනයි තමන්ට එහෙම හැකියාවක් තියන බව දන්නේ. 

ඔය ටික තේරුම් ගත්තට පස්සෙ මං තීරණය කළා ඉහළට ඉගන ගන්න. ඒ උනාට ගෙදර තිබුන කරදර එක්ක සහ අපේ ලංකාවේ ඒ ලෙවල් වලින් හැලෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මං දැනන් උන්නෙ නැහැ යන්න ඕනෙ හරිම පාර. 

ඔය අතරේ මං අසනීප උනා අලුත් රැකියාවට ඇවිත් මාස දෙක තුනකින් වගේ. ඒ නිසා මට ටික දොහක් ගෙදර නවතින්න උනා. ඒ ඉන්න අතරෙ, මං අරමුණක් නැතිව පත්තර වල පාඨමාලාවන් හෙව්වා. එහෙම හොයද්දි තමයි විවෘත විශ්ව විද්‍යාලය එහෙමත් නැත්නම් ඕපන් යුනිවර්සිටි එහෙමත් නැත්නම් ඒ කාලේ නම් "ඕපන්" එකේ ස්වභාවික විද්‍යාවේදී (නැචුරල් සයන්සස්) අංශයේ මූලික උපාධියට අයදුම් පත් කැඳවල තිබුනේ. ඒ කාලේ ඕපන් ඒකෙ උපාධියට ගියේ රුපියල් 36000ක් වගේ ගානක්. මට ඒ යන වියදම හොයාගන්න පැහැදිළි ක්‍රමවේදයක් නොතිබුනාට මං ඕපන් එකේ උපාධිය කරන්න ක්ෂණයකින් තීරණය කළා. අවසානයේ අප්පච්චි මං වෙනුවෙන් ඉතිරි කරලා තිබුන මුදලිනුත් (සෑහෙන ප්‍රමාණයක් මට අවුරුදු දහඅට පිරුන ගමන් ගෙදර අවශ්‍යතා වෙනුවෙන් ගන්න උනා) ඉතිරි වෙලා තිබුන කුඩා මුදල යොදවල මං උපාධිය සඳහා රෙජිස්ටර් උනා, ඒ 1998 අවසාන කාර්තුවේ. ඒ වෙනකොට ජයතුංග සර්ට වගේම මටත් ඒ රස්සාව ඇති වෙලයි තිබුනේ. මට මතක විදියට 1999 මුල කාර්තුවේ ජයතුංග සර් ඒ ආයතනයේ සේවයෙන් ඉවත් උනා.  ඉන් මාස දෙකකට වගේ පස්සෙ මමත් මගෙ පළමු සහ අවසාන "ඔෆිස් රැකියාවට" තිත තිබ්බා. 

මට ඒ ලෙවල් රිසල්ට්ස් තිබුනෙ, ඒ (සූලොජි), සී (කෙමිස්ට්‍රි), සී (බොට්නි), එස් (ෆිසික්ස්). එහෙම රිසල්ට්ස් වලින් ඕපන් එකේ මං මුලින්ම සම්පුර්ණ කරපු සබ්ජෙක්ට් එක උනු බොට්නි වලට "ඒ" එකක් ආවා. ඒ ආපු "ඒ" එක තමයි මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ. ඉන් පස්සෙ මට "ඒ" එකකට අඩුවෙන් යමක් ආව නම් ඒ උනේ මම සබ්ජෙක්ට්ස් ගොඩක් එකට කරන්න ගිහින් අමාරුවේ වැටුන වතාවක විතරයි. මට එක කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකකට බැච් ටොප් තෑග්ග පවා ලැබුනා. මිනිස්සු නොවුනට, මේ "ඒ" ගොඩවල් ටිකත් මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ. මං ඒවට අදටත් හරි ආදරෙයි. 

මට විෂය ලකුණු මට්ටම්  හරහා ලැබුන මහපොළ ශිෂ්‍යත්වයෙන්, මට  පුළුවන් උනා උපාධියට ගිය වියදෙමින් ඉතා විශාල ප්‍රතිශතයක් පියවා ගන්න. මේ හැමදේම කලේ මගේ අප්පච්චි දෙතුන් වතාවක් රෝහල් ගත වීම්, නිතර අසනීප වීම, මැද්දේ. ඒ ගැන මං කලින් ලිපියකත් ලියල ඇති. මං  ඒ අතරේ හතේ අටේ පුංචි උන්ට මැත්ස් ටියුෂන් ක්ලාසුත් කළා. 

ජීවිතේ බර කරගහගෙන යනකොට මිනිස්සුන්ට  තමන්ගේ වයස, සතුට, නිදහස, ආදරේ මේ සේරම අමතක වෙනවා. මටයි මල්ලිටයි දෙන්නටත් ඒක එහෙමම උනා.  ඒ ඔක්කොම දරා ගන්න ඕපන් එකේ මට උන්නා මාව බොහොම ආදරෙන් බලාගත්තු මට වඩා වැඩිමහල් සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ආදරේ මට දැනුන හැටි මට මෙතන විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒක එයාල දන්නෙ නැතුවත් ඇති. 

ඒ ලෙවල් ෆේල් කියන්නෙ ජීවිතේ ෆේල් වෙන එක නෙවෙයි. ලංකාවේ සම්ප්‍රදායික විශ්ව විද්‍යාලයකට යන්නම ඕනේ නෑ ජීවිතේ පාස් වෙන්න. තමන් රැකියාව කරන්න යන විෂය පථය නිවැරදි විදියකට හැදෑරීම සහ ඒ ගැන පුළුල් අවබෝධයක් තිබීම තමයි මං හිතන විදියට නම් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි අපේ හැකියාවන්, ආසාවන් සහ අවශ්‍යතාවයන් හරියට තේරුම් ගත්ත නම් නිවැරදි ගමනාන්තයට ලඟා වෙන්න පහසුයි. 

මිනිස්සුන්ගේ හුඟාක් මිත්‍යා මත තියනවා. ඒව මේ පුංචි උන්ගේ ඔලුවට වැටුනම උන් ඉතින් සදහටම නන්නන්තාර වෙලා තමයි නවතින්නේ. සුදු කොලර් රස්සාවල් විතරක් නෙවේ රස්සාවල්. ඊයෙ පෙරේදා ගෙදර වතුර බටයක් කැඩිලා ප්ලම්බර් චාජස් ඩොලර් 800කට වඩා වැඩි උනා. අමුතු ඇටේ නම් ඉතින් ඒ හැමෝම බාස් ල. තමන්ගේ හැකියාව වටහ ගන්නවත්, ඒක යහපත් රැකියාවක් කරගන්නවත් අධ්‍යාපන ක්‍රමවේදයක් අමුතු ඇටේ නෑ. 

එළඹෙන හැම තත්පරේකටම අපි වග කියන්න ඕනේ. ජීවිතේ කියන්නෙ එක පාරටම ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙවේ. තතප්රෙන් තත්පරේ, දවසින් දවස ගොඩ නගා ගන්න දෙයක්. සාර්ථක වෙන්න නම් අපි ඒ හැම තත්පරේම අපි කරන මොනම හෝ දෙයක් වේවා අති විශිෂ්ට විදියට කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ගමන සාර්ථකයි. ඒ වගේම අපිට කුඩා පරිමාණ අරමුණු හරහා තමයි මහා පරිමාණ අරමුණු වලට ලඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඕපන් එකේදි මගෙ අරමුණක් තිබුනෙ නෑ අද මං මේ ඉන්න තැනට එන්න. මට ඕනෙ උනෙ පළමු පන්තියේ සාමාර්ථයක්. මං විශ්වාස කළා ඒ හරහා මට ඊළඟට යන්න තියන පාර හොයා ගන්න ලැබෙයි කියනඑක. ඉතිං, මට ඕනේ වෙච්ච ඒ ෆස්ට් ක්ලාස් ඩිග්රි එක ගත්තා. ඒ ලෙවල් වලින් "කැම්පස්" යන්න බැරි උන මං ෆස්ට් ක්ලාස් ඩිග්රි එකක් එක්ක ඕපන් එකෙන් පිට උනා.

ඒ උනාට අප්පේ ඕපන් එක කියන්නේ විශ්ව විද්‍යාලයක්ද? දැන් ඉතින් ඔය සහතිකේ පිළිගන්නවද? ඕකෙන් මොනවද කරන්න පුළුවන් රස්සාවල්....... 

දැන් නම් ඉතිං කවුරුත් එව්වා අහන්නෙ නෑ.ඒ කාලෙ නම් කණක් ඇහිලා ඉන්න තිබුනෙ නෑ. 

කොටින්ම අප්පච්චිගේ මිනිය ගෙදර තියෙද්දී මගෙ අන්තිම සෙමෙස්ටර් එකේ අවසානම සබ්ජෙක්ට් ගියා කියලත් කයි කතන්දර කියපු එව්වො තමා අදටත් ඔය අමුතු ඇටේ ඉන්නෙ. 

එදා ඒ ගමන ගිය හන්ද තමයි මට ඊට මාස කිහිපයකට පස්සෙ කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධිය හදාරන්න අවස්ථාව හම්බවෙන්නේ. ඒ අවස්ථාව මට අරන් එන්නෙ කිසිම හිතේ කහටක් නැතිව, කිසිම හිඩ්න් ඇජෙන්ඩා එකක් නැතුව, නංගියේ මට පී.එච්. ඩී හරියන්නෙ නෑ, උඹ කරනවා නම් චාන්ස් එකක් තියනවා කියල කියාපු ඕපන් එකේදි මට මුණ ගැහුන,  මගේ ආදරණීය සහෝදරයා, ප්‍රසාද් අය්යා. 

ඒ අතින් මං හුඟක් වාසනාවන්තයි. මට ජීවිතේ බොහොම ආදරණීය, මට ආදරේ කරපු මනුස්සකම් වලින් පිරුණ "මනුස්සයෝ"  බොහොම සුළුතරයක් මුණ ගැහුණා. ඒ මිනිස්සු මගෙ ජීවිතේ පුරා ඇඳපු හැරවුම් ලක්ෂ වලින් මං මගෙ ඉවට හැරුනා.

ඔය ෆස්ට් ක්ලාස් එකේ තව කතන්දරයක් තියනවා. පී.එච්.ඩී කරන්න අවස්ථාව ලැබෙන්න කලින්, ෆස්ට් ක්ලාස් තිබුන මගෙ යාලුවෙක් මාවත් ඇදගෙන ගියා බොට්නි (මට මතක විදියට)  ඩිපාර්ට්මන්ට් එකේ තිබුන ඩිමොන්ස්ට්‍රේටර් වරුන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකකට. මාව ඉන්ටර්විව් කරපු ලෙක්චරර් නෝනා ගත් කටටම කිව්වෙ නැතයි ඔයාට මෙව්ව හරියන්නේ නෑ වගෙ කථාවක්. ඒ කියන්නෙ මට සුදුසුකම් මදිලු. ඒකට මට පොඩ්ඩක්වත් හිත රිදුනෙ නැති උනාට, ඒ සිද්ධියත් මගෙ හිතේ බොහොම තදින් සනිටුහන් වුනු සිදුවීමක්. ඒ විදියෙ දේවල් නම් ඉතිං කැම්පස් වල බොහොම සාමාන්‍යයි. ඒවායින් අඩියක් පස්සට ගන්න මිනිස්සුන්ට ජීවිතේ ගමනක් නෑ.

............................................................................................................සමහර හැරවුම් ලක්ෂ හරිම අභියෝගාත්මකයි. තමන් ගැන විශ්වාසයක් නැති මිනිහෙක්ට ඒවායෙන් හැරෙන්න හරි අමාරුයි.............................................................................................

ඉතිරි ටර්නින් පොයින්ට්ස් ගැන පස්සෙ ලියන්නම්....

Have Faith in Yourself!!!  

Every opportunity comes with its own risks...

You can't succeed if you don't have the courage to take the risks and if you are not willing step out of your comfort zone....


ජීවිතය ලියා තබමි....1

ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල

එයා...(ජීවිතය ලියා තබමි-3)



Friday, November 10, 2023

වලස් පුංචා සහ ඉඳිකටු පැංචා

වලස් පුංචයි, ඉඳිකටු පැංචයි ඉන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කොනක තියන බොහොම සුන්දර ගමක. වලස් පුංච හතේ පන්තියේ. ඉඳිකටු පැංච තාම හතරේ පන්තියේ. උන් දෙන්නටයි, උන්ගේ පරම්පරාවේ උන්ටයි සිද්ධ වෙච්ච අලකලංචියෙ තරමට උන්ගේ මහ එවුන් මාස හතරකින් ඉගන ගත්තුවා උන්ට දැන් දවස් දෙකෙන් ඉගන ගන්න වෙලා. දෙසැම්බර් වලට ඔන්න මෙන්න උනාට උන්ට තවම තුන්වෙනි වාරේ පටන් ගත්ත විතරයි. අනේ ඉතින් උන්ගේ මහ එවුන් එදා වේල හොයාගන්න සටන් කරද්දි වලස් පුංචල වචනෙන් කියාගන්න බැරි තරම් ජීවිතේ එක්ක පොර බදනවා කියල සුද්දට හිතුනේ උන් දෙන්න මාරුවෙන් මාරුවට කියන ඒවා අහන් ඉඳල. සුද්ද කිව්වේ උන්ගේ නැන්දා.

(ඔහොම කියවගෙන යං). 

පිටරට්ටුන්ගේ කටෙන් බේරගත්තු අමුතු ඇටේ, අපේ එවුන් අවුරුදු හැත්තෑ පහක් තිස්සේ කටේ දාගෙන සූප්පු කරලා හප කරපු තරමට, ඒක දැන් වවුල්ලු අත ඇරලා දාපු කොට්ටම්බා ඇටේ වගේ.  ඒකෙ ඉඳන් උස් මහත් වෙන්න වෙච්චි වලස් පුංචලට, ඉඳිකටු පැංචලට අලි මදිවට හරක් කියල වසංගතේකුත් ආව. ඉඳිකටු පැංච දෙවෙනි පන්තියට ගියා විතරයි ඉස්කෝල වැහුව කොවිඩ් වලින් බේරෙන්න. පොඩි උන් අකුරු ලියන්න, ගණන් හදන්න ඉගන ගන්න පටන් ගත්ත විතරයි. මේ ළගදි දවසක ඉඳිකටු පැංචලට හතර වසරෙ දෙවෙනි වාර විභාගෙ තිබ්බ. ඉඳිකටු පැංචගෙ හොඳම යාළුවට ගණන් වලට ලකුණු දහනවයයිලු, පැංච බොහොම විස්සෝපෙන් සුද්දට කිව්ව්. එහෙම කොහොම එච්චර ලකුණු අඩුවෙන් ගන්නෙ?  ඇයි එයාට බැරි එච්චර ලේසි ගානක් හරියට හදා ගන්න? පැංචගෙන් සුද්දට ප්‍රශ්නයක්. දැන් ඉතින් දීපන්කො උත්තර. සුද්දට කල්පනා උනේ ඒ පන්තියේ  ගණිත ටීචර්ට මේක නොතෙරුනේ කොහොමද කියල. ඉඳිකටු පැංච කියන විදියට සමහර ළමයින්ට හරියට අකුරු ලියාගන්නත් බෑ, ඒ උනාට ටීචර්ලට ගාණකුත් නෑ. ශිෂ්‍යත්වයට මුහුණ දෙන්න ඔන්න මෙන්න ඉන්න (කොයි අවුරුද්දේද කියන්න දැම්ම කල් වැඩියි, කොළ ටිකයි ටීචර්ලා ටිකයි හොයාගෙන, අර විභව්‍යතාමාන දාල අපබ්‍රංශ වචන වලින් ගණන් ප්‍රශ්න ටික එහෙම හදාගෙන ලෑස්ති වෙන්න ටිකක් කල් යයි) ඉඳිකටු පැංචලගෙ වයසෙ ඉන්න මේ පැටවු ටික අකුරුත් බැරි මෝඩයෝ කරපුවාම ඇටේ සූප්‍පු කරන වැඩේ පරම්පරාගත උරුමෙන් කරගෙන යන්න ඇහැකි වෙයි කියල තමයි ලොකු උන්නැහේල හිතන් ඉන්නව ඇත්තෙ. 

සුද්දට හිතෙන විදියට වලස් පුංචගෙ ජීවිත කථාව ඉඳිකටු පැංචට වඩා බොහොම ඛේදනීයයි.  කොවිඩ් වසංගතේ එද්දි වලස් පුංච හතරේ පංතියේ. ඉස්කෝල වැහුව. සුද්දට මතක විදියට මේ වකවානුවේදීම වෙන්න ඕන ටීචර්ලා ටිකත් පාරට බැස්ස. වලස් පුංචට තේරෙන භාෂාවෙන්, ඔය ටීචර්ලව උසි ගන්නපු මහ මොළ කාරයට  අම්ම මෝ නැතුව බැනපු කාලයක් තිබුන (ඒ යකාගේ නම මතක නෑ, මහ උන්ට එව්වා පේන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වගේ පෙනුනට,  ඉගන ගන්න ඉස්කෝලේ යන්න ආස, වලස් පුංචට පෙනුනේ  එහෙමයි). අන්තිමේදී වලස් පුංචා හරියකට ඉස්කෝලෙට පය තිබ්බෙ හත වසරෙදි. කථාව කියවන් යන්න. වලස් පුංචට කරන උපහාරයක් විදියට මං ඒ විස්තරේ ඔහෙලට කියන්නම්.

ඔන්ලයින් ඉගන ගෙන ශිෂ්‍යත්වයට ගියපු වලස් පුංචලාට හෙන ගැහුව වගේ ප්‍රශ්න පත්තරයක් හදල තිබුන උන්ව පරිපාලන සේවෙට තෝරගන්න හිතාගෙනද කොහෙද. වලස් පුංච දන්නා වැඩ සේරම දාල උත්තර ලිව්වට ප්‍රශ්න තුනකට ලියාගන්න වෙලාවත් මදි වෙලා තිබ්බ. මේ 2021 තියන්න හිටපු 2022 මුල භාගේ තියපු ශිෂ්‍යත්ව විභාගෙ. ප්‍රශ්න පත්තරේ දැකපු සුද්දට වලස් පුංච ගැන සහ නොසැලී උත්තර ලියපු අනිත් දරු පැටවු ගැන අප්‍රමාණ ගෞරවයක් දැනුන. ඒ අවසාන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ටික කියවගෙන යන්න තරම් උන්ට තිබුන විල් පවර් නොහොත් අප්‍රතිහත ධෛර්ය ගැන හිතල. සුද්දත් අතෑරියේ නෑ, පැය දෙක තුනක් ගත කරලා, අතරමැද පොඩි විවේක දෙක තුනකුත් අරන් වලස් පුංචා විනාඩි 45 න් හැදුව ප්‍රශ්න පත්තරේ හරි උත්තර එක්ක හදල ඉවර කළා. සුද්ද ඔහොම උන්නට ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික්ක පළවෙනියා, ඒ හින්ද ඔහෙලා හිතන්න එපා සුද්ද මෝඩය හින්ද එච්චර වෙලා ගියා කියල. එහෙම ගණිත ගැටළු වලට කියන්නේ විභව්‍යතාමාන කියලලු. සුද්ද ඒ වචෙනෙ තේරුම දන්නේ නෑ. ඒකෙ තේරුම දන්නා එකෙක් වැඩේට බැහැල 2023 ශිෂ්‍යත්ව විභාගෙටත් අර විදියෙම අපබ්‍රංශ ගැටළු ඔබල තිබුන. සුද්දට අම්ම වීඩියෝ කෝල් එකක් අරන් ප්‍රශ්න ටික කියෙව්වා. අම්ම කිව්වේ වලස් පුංචගෙයි, ඉඳිකටු පැංචගෙයි ඉතාමත් සීදේවි ආච්චි අම්මා. දෙන්නත් එක්ක එකතු වෙලා ප්‍රශ්න ටික තේරුම් ගන්න සෑහෙන සටනක් දෙන්න උනා. මොකද විභව්‍යතාමාන ගොය්ය ඉතාමත් ගැටළු සහගත සිංහලෙන් තමයි ඒ ප්‍රශ්න හදල තියෙන්නේ. අන්තිමේ දෙන්නටම මෙහෙම ඇහුන, දැන් ඉතින් අපි ඉඳිකටු පැංචට මොකද කරන්නේ? එයාටත් ගණ දෙය්යන්ගේ පිහිට තමයි සුද්දට හිතුන.

නොදන්නා අයට දැනගන්නයි ලියන්නේ, පහ වසරෙන් එහාට පන්ති නැති ඉස්කෝල අමුතු ඇටේ තියනවා. ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි යන්න ලැබුනේ එහෙම ඉස්කෝලෙකට. ඒවාට අල්ලපුම ටවුමේ තියන ලොකු (උසස් පෙළ දක්වා තියන) ඉස්කෝල වල ළමයින්ව ටීචර්ලට මේච්චල් නෑ. ටීචර්ලට ඊට එහා අසූ හාරදාහක් ආර්ථික ප්‍රශ්ණ. ඒ ටවුමෙන් එහාට ලෝකයක් තියනවා කියල දෙන්න තරම් ඉස්පාසුවක්වත්, දැනමුතුකමක්වත් උන්ගේ මහා එවුන්ටත් නෑ. උන්ගෙන් තමයි අර මත් වෙන බීමයි, මත් ටොෆියයි ඇබ්බැහිය පටන් ගන්නෙ. ටීචර්ලටයි, මහ එවුන්ටයි අත් ඇරිච්ච පොඩි උන් තමයි මේ ජාවාරම් කාරයින්ගේ ටාගට් එක. ඉඳල හිටලා දහිරිය වන්ත සංසාරේ පින් තියන දරු පැටියෙක් ඒ ටවුමෙන් එහාට ගිහින් ජීවිතේ හොයාගන්නවා.  ආන් ඒකයි සුද්දගේ ගම් පළාතේ එවුන්ට ශිෂ්‍යත්ව විභාගේ වැදගත්. 

ආයිමත් යං වලස් පුංචගේ කතන්දරේ ඉතිරි ටිකට. වලස් පුංචගේ ඇතා අප්පුච්චයි, (සුද්දගේ හා පුංචා) සුද්දයි දෙන්නම ඔය කියන මහ විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ලොකු ඉස්කෝල වලට ගිය ළමයි. ඒ උනාට ඒ කාලේ වගේ දරු පැටියෙක්ව ඇහ මානෙන් ඈතට යවල ගෙදර එනකල් බලන් ඉන්න තත්වයක් මහ එවුන්ට දැන් නෑ. ඉපදිලා මාස දෙකක් ගිය දරු පැටිය පවා රේප් කරන ලෝකයක් මේක. වලස් පුංච ශිෂ්‍යත්ව විභාගේ හොඳින් සමත් උනා. හැබැයි කොළඹ ඉස්කෝල වලට යන්න ලකුණු මදි.  ගෙදර උදවිය පෙරලුන පිට හොදයි කියල වලස් පුංචව ඇතුල් කළා ඒ පළාතේ තිබුන විනය අතින් හොඳයි කියාපු, ශිෂ්‍යත්වය සමත් පැටවූ පමණක් ඇතුලත් කරගන්නා පාසලකට. වලස් පුංචට ශිෂ්‍යත්ව ප්‍රථිපල එන කාලේ වෙද්දී හරි නම් වලස් පුංච ඉන්න ඕනෙ හයේ පන්තියේ දෙවන වාරේ. කොවිඩ් වලින් සහ ඩොලර් වලින් බැට කමින් ඉඳපු අමුතු ඇටේ සියලුම දේවල් සිද්ධ උනේ ප්‍රමාද වෙලා.  වලස් පුංච ශිෂ්‍යත්ව ප්‍රථිපල ඇවිත් ඉස්කෝලෙකට තේරෙද්දී මැති ඇමතිලා බේරේ වැවේ. මිනිස්සු තෙල් පෝලිමේ. වලස් පුංචා දැන් හය මාසෙකට වඩා ගෙදර. අන්තිමේ අලුත් ඉස්කෝලෙ ඔන්ලයින් ක්‍රමේට උගන්වන්න පටන් ගත්ත. අර අපබ්‍රංශ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේට ලියපු වලස් පුංචා දැන් ඕනේ දේකට ඔට්ටුයි. අලුත් ඉස්කෝලෙ හය වසරේ ටීචර්ල ටිකත් බොහොම ආදරෙන් දරුවන්ට උගන්වනවා.  අන්තිමේ පැට්‍රොල් ඩීසල් ටිකයි, ඩොලර් ටිකකුයි ණයට ඉල්ලගත්තු රටේ අප්පච්චිගේ ගෝලයෝ රොත්ත අමුතු ඇටේ ක්ෂණයකින් සුඛිත මුදිත කල හන්ද වලස් පුංචට අලුත් ඉස්කෝලේ හැබැහින් දැකගන්න වාසනාව ලැබුන. මේ 2022 ජුලි මාසේ අන්තිම. වලස් පුංච සන්තෝසෙන් උඩ පැන පැන දවස් දෙක තුනක් අලුත් ඉස්කෝලෙට ගියා විතරයි. 

යන්තම් වැස්ස තිබුන සෙනසුරාදාවක උදේ පාන්දරින්ම වලස් පුංචා ඇතා අප්පුච්චගේ මෝටර් සයිකලේට නැංගේ කෙදිරි ගගා, රෝද හතරෙන් පන්තියට යං කියල. ඒක  එහෙ මෙහෙ කරන්න තියන කම්මැලි කමට වගේම විනාඩි දහයේ දුරක් නිසා වෙන්න ඕනෙ ඇතා අප්පුච්ච, වලස් පුංචව මෝටර් සයිකලේම තියාගෙන පිටත් වෙලා යන්න ලැබුනෙ වංගු දෙකක් විතරයි. පුංචි වලස් පුංචට සිද්ධ වෙච්ච දේ හොඳටම මතකයි. වලස් පුංචෝ හය්යෙන් මාව අල්ලගන්න, අපිව හැප්පෙන්නයි යන්නෙ, ඇතා අප්පුච්ච කෑ ගැහුවා. වලස් පුංච ඇතා අප්පුච්චගේ බඩ මැදින් තදින් අල්ල ගනිද්දි, තමන්ට ඉස්සරහින් පාර පුරා එන ගමන් තමන් දිහාවටම එන වෑන් තඩියව පෙනුන. ඇතා අප්පුච්ච මෝටර් සයිකලේ හොඳටෝම වේගේ අඩු කරලා පාරේ තිබුන අගලට ගනිද්දිම වෑන් තඩිය තමන්ගෙ සේරම සවි ශක්තිය දාල වලස් පුංචගේ දකුණු කකුලෙන් හිතේ වාඩුව ගත්ත. ඇතා අප්පුච්චගේ ඇඟ උඩ මෝටර් බයිසිකලේ. වලස් පුංචා වීසි වෙලා පාර මැද වැටිලා. 

වලස් පුංචට ඇහුන ඇතා අප්පුච්චා මාරාවේශෙන් විලාප දෙනවා, උඹ මොකද යකෝ මගේ වලස් පුංචට කලේ කියාගෙන. ඇතා අප්පුච්චා එහෙම මහා සද්දෙට කෑ ගගහ අඬනවා වලස් පුංචා මීට කලින් දැකල අහල තිබුනේ නෑ. සුද්ද දැකල තිබුනෙත් නෑ. මීට අවුරුදු ගාණකට කලින් හා පුංචාගේ දණහිස් පොල්කට්ට අතුරුදහන් වෙච්ච මාරක රිය අනතුර වෙච්ච දා හවසවත් ඒකා ඇඩුවේ නෑ. සුද්ද හා පුංචගේ දණහිස් පොල්කට්ට කුඩු වෙච්ච කකුලයි ලේ උරපු කොට්ටෙයි තමන්ගෙ උකුල උඩ තියාගෙන කොළඹට යනකල් සිහියෙන් ඉන්න දුන්න මහ සටන තාම සුද්දට අමතක නෑ. අවුරුදු විසිඑකේදී හා පුංචගේ ඇතා අප්පුච්චාගේ මිනියට කර තියන් යද්දිවත් හා පුංච ඇඩුවේ නෑ.

වටේ පිටේ උන්න කරුණාවන්ත, සුද්දගේ පවුලම දන්නා අඳුනන ගමේ මිනිස්සු එකතු වෙලා වැටිලා තිබුන මෝටර් බයිසිකලේ ඇතා අප්පුච්ච්ගේ ඇඟ උඩින් අයින් කළා. වලස් පුංචගේ විළුඹ තුවාල වෙලා ලේ ගලනවා. වෙන පිටින් පේන්න තුවාලයක් නෑ. වෑන් තඩිය පාර පුරා ගෙනාපු තරුණ කොලු ගැටය උගෙ ගාමන්ට් හයර් එක ගියා (ඒ ගැන කවුරුත් මෙතන ප්‍රශ්න අහන්න එපා, මේ දැනට නඩුවකට පැටලුන සිද්ධියක්). ඇතා අප්පුච්ච වලස් පුංචගේ සීදේවී ආච්චිගේ ඔලුවට ජීවිතේ දෙවැනි වතාවටත් හෙන ගෙඩියකින් දමල ගැහුවා. "අම්මේ එකෙක් අපිව හප්පගෙන ගියා". සීදේවී ආච්චිගේ පණ, වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, හා පුංචයි. 

වලස් පුංචගෙ ලස්සන ඇස් තියන අම්මා ඇඳිවත පිටින්ම වංගු දෙක දිව්වා. ඇතා අප්පුච්ච රෝද හතරෙන් වලස් පුංචවයි, ලස්සන ඇස් තියන අම්මවයි අරන් ටවුන් එකේ ඉස්පිරිතාලෙට ගියා. එහෙම කලාට ඇතා අප්පුච්චටත් හොඳවයින් පාරවල් තුන හතරක් වෑන් තඩිය දීලයි තිබ්බෙ. ඒ උනාට දරු දුක ළඟ මිනිස්සු නිකම්ම ඇත්තු වෙනවා. ඇතා අප්පුච්ච ආයිමත් ගෙදර ආවෙ තනියෙන්, වලස් පුංචව කොළඹට ගෙනියන්න (මොකද හා පුංචා සහ සුද්දා අමුතු ඇටේ ඉන්න විකලාංග දොස්තරල ගැන දන්නා එක්ස්පර්ට්ස්ල, කලින් වතාවේ දොස්තර පින්ටෝ මහත්තයගේ වාට්ටුවේ මාස දෙකක් විතර තැපල ඇවිත්, ඒ මනුස්සයට පිං සිද්ධ වෙන්න හා පුංචගේ ගාත් හතරම තාම හොඳටම වැඩ, ඒ තමා දොස්තර දෙවිවරු). 

සුද්ද වලස් පුංචට කථා කළා ඒ අල්ල පනල්ලේ. යකෝ රෝස මලක් වගේ උන්නට, වලස් පුංචත් සුද්ද වගේම තමා, ඇස් බෝල ගෙඩි දෙකත් ලොකු කරගෙන, කඳුළුත් කාගෙන වලස් පුංච කොළඹ යනවා. අනේ ඉතින් සුද්ද හිතුවේ දණහිස පැනපු එකයි විලුඹ තුවාල වෙච්ච එකයි විතරයි කියල වෑන්  තඩිය වලස් පුංචට කරපු හානිය. හැබැයි වලස් පුංචා කටින් කටට කිව්වේ කකුලේ උඩ කොටසට මොකුත් දැනෙන්නේ නෑ කියලයි.  පින්ටෝ මහත්තයගේ එක්ස් රේ ටික ඊට වැඩිය බොහොම දරුණු කතන්දරයක් කිව්වා. තයි බෝන් එක (ඒ කිව්වේ දණ හිසයි කලවයි සම්බන්ධ කරන අස්ථිය) හරියටම දෙකට මැදින් කැඩිලා. දැන් වලස් පුංචා ඉන්නේ කකුලට යකඩ ප්ලේට් එකක් දාල. සැත්කමෙන් පස්සේ වලස් පුංචාට ලේ දෙන්න උනා, ඒත් පුංචා පුංචි නිසා වැඩිහිටි ලේ එයාගේ ඇඟට ඇතුල් වෙන හැම වතාවේම එයා මරහඬ තැලුවා වේදනාවට. අන්තිමට නර්ස් නැන්දලා ලේ දෙන එක නැවැත්තුව. වලස් පැංචා නෙවිල් ෆර්නාන්දු රෝහලේ නැවතිලා හිටපු කාලේ එයාට සත්කාර කරපු පින්ටෝ දොස්තර මාම ඇතුළු සියලුම දොස්තර මාමලටත්, නර්ස් නැන්දලටත් සුද්ද මේ වෙලාවෙ තමන්ගේ හද පතුලෙන්ම නැගෙන ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. 

කතන්දරේ තව ඉවර නෑ. දැන් අර හැම තිස්සෙම උඩ පැනපු වලස් පුංචට ඇවිදින්න බෑ. ඉස්කෝලේ යන්න බෑ. ක්ලිනික් එක්ක යන්න ඕනේ. පිසියොතෙරපි කරන්න ඕනේ. සැත්කමින් සති හයකින් පස්සේ දෙකට කැඩුන අස්ථිය හා වෙලා, මාංශ පේශි වල ශක්තිය නැවත ලබාගෙන කකුල් දෙකෙන් ඇවිදින්න උත්සාහ කරන එක තමයි වලස් පුංචට ලැබුන ගෝල් එක. ගෙදර උදවියට වලස් පුංච දැන් මේච්චලුත් නෑ. ඒක එකම යුද්ධයක්. බලාගෙන ඉන්න බැරි තරම් වේදනාවක්. ඇතා අප්පුච්ච හොඳටෝම මානසිකව වැටිලා ඉන්නේ එයා හින්ද මේ දේ උනා කියල. මේ විදියෙ අනතුරකින් යථා තත්වයට පත්වෙන්න මොන තරම්  මහන්සි ගන්න ඕනෙද කියල එයා අත්දැකීමෙන් දන්නවා.

සුද්දට මුදූ හතකින් එහා ඉඳගෙන මේ විස්තරේ තවත් අහගෙන  ඉන්නත් බෑ. යකා බැඳ ගත්ත වගේ කරන රස්සාව එක පාරට දමල ගහල යන්නත් බෑ. හැබැයි සුද්දට පුළුවන් වලස් පුංචව ආන් බාන් කරගන්න. සුද්ද කියන්නේ වලස් පුංචලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ලේ වල බරයි යාළු කමයි වගේම, උන් දෙන්න හිතන් ඉන්නේ සුද්දත් උන් වගේම පොඩි එකෙක් කියල. ඒ හන්ද සුද්ද යනවා වලස් පුංචා දිහාවේ, එතකොට සැත්කම කරලා සති දෙකයි. කොවිඩ් නිසා වුන එකම යහපත තමයි ටෙලි වර්ක් නොහොත් වර්ක් ෆ්‍රොම් හෝම්. සුද්ද දැන් කරන්න යන්නේ වලස් පුංචව බලා ගන්න ගමන්, ලෝකේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ රස්සාව කරන්න සති තුනකට. ඒ ඇති වලස් පුංචව ඇවිද්ද ගන්න. 

වලස් පුංචට ඉස්කෝලේ යාළුවො නෝට්ස් එව්වා. වලස් පුංච මර හඬ දිදී අර කැඩිලා තියන, දණහිස ඇද වෙලා තිබුන කකුලට සුද්ද එක්ක පිසියෝතෙරපි කළා. ඒවා කියල දුන්නෙ නෙවිල් ෆර්නැන්ඩු රෝහලේ පිසියෝතෙරපි මාම. ඒ එක්කම වලස් පුංචට ඉස්කෝලේ පළවෙනි වාර විභාගේ පටන් ගන්නවා කියල දැනුම් දුන්න. වලස් පුංචට ඉස්කෝලෙට යන්න බැරිව තදින්ම මානසික පීඩනයට පත් වෙලා තිබුනේ. වලස් පුංච ගෙදර උදවිය එක්ක කථා  කරලා වාර විභාගෙට යන්න තීරණය කළා. හැමදාමත් පාස්ට් පේපර්ස් වලින් විභාග ලියපු සුද්ද වලස් පුංච එක්ක පාස්ට් පේපර්ස් කරන ගමන් විෂය කරැණු කියල දුන්න. ගෙදර උදවිය සේරෝම උන්නේ බොහොම වැඩ අධික කාල සටහනක. වලස් පුංච නින්දට යනකල්ම නොනවත්වා කතා කළා. බොහොම අසාමාන්‍ය ලෙස එක දිගට කතා කරගෙන ගියා. එකකට එකක් සම්බන්ධ නැති දේවල් කියෙව්වා. පාඩම් වැඩ මතක තියාගන්න කලින්ට වඩා අමාරුයි කියලත් කන් කෙඳිරි ගෑව. එයාට වෙනම රෝද පුටුවක් සහ ඇවිදින ආධාරකයක් ගෙනත් ඇවිදින්න පුරුදු කළා. ඉඳිකටු පැංචා මේ සේරම බලාගෙන සද්ද නැතුව ගෙදර එහාට මෙහාට ගියා. වලස් පැංචා ගෙන් නිදහස් උනාම සුද්දට ඉඳිකටු පැංචාගේ ඉස්කෝලේ වැඩ ගැනත් බලන්න උනා. මේ කලබලේ අස්සේ පුංචි ඉඳිකටු පැංචව හැමෝටම මග අරුන කියල සුද්දට හිතුන. 

වලස් පුංච, ඇතා අප්පුච්චගෙයි, ලස්සන ඇස් තියන අම්මගෙයි, රෝද පුටුවෙයි පිහිටෙන් විභාගෙට ඉස්කෝලේ ගියා. ඒ හය වසරේ ටීචර්ලා ටික බොහොම ආදරෙන් වලස් පුංචට විභාගෙට වාඩි වෙන්න වෙනම තැනක් පිළියෙළ කරලා දුන්න. ඒ වගේම වලස් පුංචට චූ දාන්නත් ගුරු කාමරේ කොනක ලෑස්ති කරලා දුන්න. ඒ ගොඩක් දුර යන්න වලස් පුංචට බැරි නිසා. කැඩිච්ච කකුලත් පැත්තකින් උස්සගෙන, නිතර හැදෙන ඉසරදෙත් ඉවසගෙන වලස් පුංච අප්‍රතිහත ධෛර්යෙන් විභාගේ කරලා ඉතා හොඳින් ලකුණුත් අරන් පෙන්නුවා. ඒ ඉස්කෝලේ හය වසරේ ටීචර්ලට ගොඩක් ස්තුතියි. 

සුද්ද ආපහු එන්න දවස් දෙක තුනකට කලින් වලස් පුංච දෙපයින් හිට ගත්ත. ඒත් ඇවිදිනකොට පේන ඇදෙයි, දණහිස් පොල්කටුව පැත්තට ඇදිල තිබුන එකයි දකින කොට ඇතා අප්පච්චිට දරා ගන්න බැරි උනා. සුද්ද එන දවසේ රෑ වලස් පුංච අඬ අඬ කිව්වා එයා ඔහේ තේරුමක් නැතුව කතා කරපු හේතුව. වලස් පුංචට බයයි. ඇක්සිඩන්ට් එක මතක් වෙනවා. සුද්ද වලස්  පුංචට කිව්වා සිංදුවක් අහන්න, පොතක් කියවන්න කියල. ඒ පුංචි හිතෙයි ගතෙයි තිබුන වේදනාව තමන්ගේ කරගන්න ගෙදර උදවිය සේරෝටම උවමනාව තිබුනට, වලස් පුංචට ඒ හැමදේටම තනියෙන්ම මුහුණ දෙන්න උනා. ඒක තමයි සංසාරේ හැටි. 

තව කථාව ඉවර නෑ. වලස් පුංචා ආයිමත් ඇතා අප්පුච්චගේ  කර පිටින් ඉස්කෝලේ ගියා. ඒ උනාට තාම දණහිස ඇදයි. දණහිස ගැන පස්සෙ බලමු කියල පින්ටෝ මහත්තය සුද්දට කිව්වේ වලස් පුංචාගේ අනතුර වෙච්ච දවසෙමයි.  මාස කිහිපයක් ගත උනාට පස්සෙ ඇතා අප්පුච්ච නැවත පින්ටෝ මහත්තයා එක්ක මේ ගැන කතා කළා. දන්නා කියන සියලුම කෝණ වලින් ගත්තු එක්ස් රේ පින්තූර ටික දැක්කම ගෙදර උදවියට නැවතත් දෙවියන් සිහිවුනා. වලස් පුංචගේ දණහිස් පොල්කට්ට උඩින් කොටස් තුනකට වෙන් වෙන විදියට පැල්මක් ගිහින් තිබුන. කලින් එක්ස් රේ පින්තූර වල නොතිබුන. ඒකට හේතුව අනතුර එක්ක ඒ විදියෙ කෝණයකින් දණහිසේ එක්ස් රේ ගන්න අමාරුයි කියල තමයි සුද්දට වැටහුනේ. හේතුව මොක උනත්, මේ සැත්කම් දෙකම එක වර කරන්න බැරි දෙයක්. දැන් ඉතින් වලස් පුංචට තවත් සැත්කමක්. කලින් වතාවට වැඩිය යථා තත්වයට පත් වීමේ කතන්දරේ අමාරුයි. සති හයක් කකුල හොලවන්න තහනම්. ඉන් පස්සේ දණහිස නවන සටන. සුද්ද ආයිමත් මුදූ හතක් මෙහා ඉඳන් ලොකු හුස්මක් ගත්ත. 

කවුරු කොතැනක මේ අනතුර සිද්ධ කලත්, ඒ අනතුර කර කෙනා ඔහුගේ කර්මය සකස් කරගත්තා වගේම, වලස් පුංචා ඇතුලේ පවුලේ හැමෝම පෙර ආත්මෙක යම් කෙනෙකුන්ට කල හිරිහැර වල කර්ම විඳිමින් ඉන්නවා. වලස් පුංචට නිවාඩු කාලයක් බලල නැවතත් දෙවැනි සැත්කමක් කළා. වලස් පුංච ඒ වෙද්දී ඉංග්‍රීසි මාධ්‍යට මාරු වෙලා තිබුන හන්ද, හත වසරේ පළවෙනි වාර විභාගෙටත් සුද්ද මුදූ හතක් මෙහා ඉඳන්  වලස් පුංචට පාඩම් කියල දුන්න. එතකොට තමයි සුද්ද දැනගත්තේ, අමුතු ඇටේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් උගන්වන සමහර විෂයන් වල සහ ඒ ප්‍රශ්න පත්තර වල තියන්නේ ඉතාම පැටලිලි සහගත, සුද්ද මේ තාක් පාවිච්චි නොකළ ඉංග්‍රීසි කියල. මේ ලිපිය වගකිවයුතු කෙනෙකුගේ ඇහැ ගැටුනොත්  කරුණාකරලා මේ පොත් සරල පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියන්න උත්සාහ කරන්න කියල සුද්ද යෝජනා කරනවා. ඒ වගේම ඉංග්‍රීසි  හරියට නොදැන පරංගිය කෝට්ටේ ගියා වගේ ප්‍රශ්ණ වාර විභාග ප්‍රශ්ණ පත්තර වල ඉදිරිපත් කරන්නෙපා. කවුරුන් හෝ මේ භාෂා මාධ්‍ය නිවැරදිව දන්නා කෙනෙකු ලවා මේ ප්‍රශ්න පත්තර සකස් කරවාගන්න. එහෙම නැති උනොත් මේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් ඉගන දරුවන්ට නිවැරදි ඉංග්‍රීසි වෙනමම උගන්වන්න වෙයි. 

දැන් වලස් පුංච ඉස්කෝලේ යනවා. වලස්  පුංචාගේ කකුලේ තාම යකඩ තහඩුවක් තියනවා. ඒක අයින් කරන්න නැවතත් සැත්කමක් කළ යුතුයි, ඉක්මනින්ම. වලස් පුංචගෙ පංතියේ බාගෙකට වඩා දරුවන්ට ලකුණු 40ට අඩුයි ගොඩක් විෂයන් වලට. දරුවෝ ටීචර්ලා කියන දෙයක් සත පහකට ගණන් ගන්නෙ නෑ කියල තමයි වලස් පුංචා කියන්නේ. දරුවෝ නෝට්ස් ලියන්නේ නෑ. ටීචර්ලා ඒ වගක් දන්නෙත් නෑ. හැමෝටම ප්‍රශ්න. වලස්  පුංචලගේ, ඉඳිකටු පැංචාලගේ අනාගතේට මහ එවුන් හෙමින් හෙමින් වල කපල ඉවරයි. දරු පැටව් බොහොම නොසන්සුන්. උන්ගේ ප්‍රශ්න වලට දෙමාපියෝ ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකට මහ උන්ට වෙලාවකුත් නෑ.

සුද්දට ආඩම්බරයි වලස්  පුංචයි, ඉඳිකටු පැංචයි ගැන. ඒ වගෙම දුකයි. ආඩම්බර උන් මෝඩයෝ නොවෙන හන්ද. දුක සුද්දලාගේ පරම්පරාව (උඹේ, අපේ භාෂාවෙන් කිව්වොත්) පට්ට ෆේල් හන්ද. ජගත් මනුවර්ණ මලය එක යූ ටියුබ් වැඩසටහනක කියනවා මේ තරම් මිනිස්සු මරන්න පුළුවන්ද කියල. මට මතක විදියට ඔහු එතනදි සඳහන් කරන්නෙ එදා මෙදා තුර සියලුම සිවිල් අරගල වලින් සහ යුද්ධෙන් කාලාන්තරයක් තිස්සේ මැරුණු අමුතු ඇටේ මිනිස්සු ගැන. එහෙම මිනිස්සු මරනවා සහ මැරෙනවා බලන් උන්නු, බස් එකට නැගල වාඩි වෙන්න කලින් බෝම්බ තියනවද කියල බලපු, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රාජපක්ෂ, රනිල් එකී මෙකී නොකී සියලුම පාලකයින්ගේ, දේශපාලුවන්ගේ සහ අන්තර්ජාතික න්‍යාය පත්‍ර වල හිර වෙච්ච, ඒවා දැන දැනත් තාමත් ඒවා විවේචනය කරන්නට පමණක් වෙහෙසෙන අපි උඹල ඔක්කොම ෆේල් තමයි.  එහෙම හිතෙන්නේ ඉඳිකටු පැංචල, වලස් පුංචල වයස අවුරුදු අටක් නමයක් වෙද්දිම ජිවිතේ හති වැටිලා ඉන්න හැටි දැක්කම.  ෂාරුක් ඛාන් ගෙ අලුත් චිත්‍රපටියක් ආව මේ ලඟදි "ජවාන්". බැලූ බැල්මට සාමාන්‍ය කතන්දරයක්, ටිකක් මනි හයිස්ට් කතන්දරේට සමාන රොබින් හුඩ් තීම් එකේ අපි හැමෝම ෆැන්ටසයිස් කරන ලෝකයක් හදන්න හදන වීරයන්ගෙ කතන්දරයක්.  හැබැයි ඒකෙ ලස්සන පණිවිඩයක් දෙනවා. මිනිස්සුන්ට කියනවා තමන්ට තියන වටිනාම අයිතිය, තමන්ගේ ඡන්දය නිවැරදි විදියට පාවිච්චි කරන්න කියල. මිනිස්සු තමන්ගේ සල්ලි වියදම් කරන්න කලින් මිලදී ගන්න හැමදේ ගැනම ඉතා ගැඹුරු ලෙස ප්‍රශ්න කරනවා. හැබැයි මිනිස්සු තමන්ගෙ ජීවිත වල වටිනාම තීරණ ගන්න රටේ පාලකයින් තෝරා ගනිද්දී දෙපාරක් නොහිත තමන්ගෙ මනාප කතිරය ගහල එනවා.  ගහපු කතිර වල ප්‍රථිපල  අපේ උවමනාවට මේ ලෝකෙට ආපු ඉඳිකටු පැංචල, වලස් පුංචල විඳවනවා. 

අවුරුදු පහකට පස්සෙ පොකුරු වැස්සට ලිපියක් ලියන්න තේමාවක් දුන්නට සුද්දගේ ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි මගේ උත්තමාචාරය.

මේ ලිපිය බෙදා ගත්තාට මගේ අමනාපයක් නොමැත. 

Saturday, June 30, 2018

ෆිල්-ටී ගේ ෆිල්ති වීඩියෝව සහ ලාංකීය ලිංගික අසහනය


අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි. සම්පුර්ණ අයිතිය හිමිකරු සතුය


අහම්බෙන් කියැවූ බ්ලොග් ලිපි දෙකක් නිසාවෙන් එය ඔස්සේ වැඩි යමක් ලියා තබන්නට සිතුනි. මගේ මලයාගේ කෙළි පැටවුන්ගේ වයසේ පටන් තාරුණ්‍යට එළඹෙන සියලුම අනාගත පරම්පරාවට එහි වැදගත්කමක් තිබෙන්නට පුළුවන. තවද, එවන් වයස් වල දරුවන් සිටින අපේ පරම්පරාවේ දෙමාපියන්ටද, අනාගතයේ දෙමාපියන් වන්නට සිටින තරුණ පරම්පරාවටද මේ සටහනෙන් යම් ප්‍රයෝජනයක් වනු ඇත.

ඉහත සඳහන් කල පරිදි, මේ ලිපියට ප්‍රස්තුතය වූයේ එරන්දිගේ සහ රස්තියාදුකාරයාගේ බ්ලොගයන් වල පල වූ ලිපි දෙකකි. එරන්දි නගාගේ ලිපිය තුල නෙගටිව් මාකටින් පිළිබඳව සටහන්ව තිබුනත්, එහි ප්‍රස්තුතය පැහැදිලිව අවබෝධ වූයේ රස්තිගේ සටහන කියවීමෙන් පසුවය. ඒ මා හට මේ දිනවල සමාජ ජාලා සමඟ ගනුදෙණු කිරීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බැවිනි.

මේ සියලුම කතන්දර වලට හේතු වූයේ රැප් කලාව මුල් කරගෙන නිපදවූ සංගීතමය වීඩියෝවකි. පැහැදිලි ලෙසම එරන්දිගේ සටහනෙහි ඇති සියලු කරුණු මා එකඟ වන නමුත්, රස්තිගේ සටහනේ ඇති එක් කරුණක් හැර අනික් කිසිදු කරුණක් සමඟ මා කිසි සේත්ම එකඟ නොවෙමි. 

රැප් සංගීතය හෝ ෆිල්-ටී (Fill-T) පිළිබඳව මා දන්නා මෙලෝ හසරක් නැත. නමුත් අසා දැනගත් පරිදි සහ කණට වැටහුනු පරිදි එම මියුසික් වීඩියෝ පටයෙන් දක්වා ඇති ඔහුගේ සංගීත පෙළහර පිළිබඳව මා හට කිසිදු විවාදයක් නොමැත. ඒ සංගීත ශෛලය ලාංකික රැප් ප්‍රිය කරන්නන්  හට රසවත් වනු ඇත. එහෙයින් රස්ති පවසන ලෙසින් ඔහු දක්ෂ රැප් සංගීතවේදියකු විය යුතුය. එහෙත්, කුමන ශෛලයක හෝ වේවා ගීතයක් යනු සංගීතය පමණක් නොවන බව ඔබ මා සියලු දෙනා එකඟ වන කරුණකි. 

මානවයා හෙවත් මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහු තුල පවතින ස්වයං විනය නිසාවෙන්ය. තමන් කවර සංස්කෘතියක, කවර ආගමක් අදහන්නෙකු හෝ නිරාගමියෙකු වූවද ඒ මිනිසා තිරිසනාගෙන් වෙනස් වන්නේ ඔහුගේ ස්වයං විනයෙහි මට්ටම අනුවය. අද ඉපදුන ගැහැණු දරුවන් රමණයට සුදුසු යැයි සිතන, හොදින් වැඩුන පුරුෂයෙකුට ඇත්තේ තිරිසන් භාවයෙන් පවා ඔබ්බට ගිය, පාලනයෙන් තොර මනසකි. උසස් හැදියාවක් ඇතැයි විශ්වාස කරන, ශ්‍රී ලාංකීය ජන සමාජයේ බොහෝ දෙනා තම ජීවිත වල විවිධාකාර පැතිකඩයන් වලදී තම ස්වයං විනයෙන් මිදී, තිරිසන් භාවය අභිබවා යන්නෝ වෙති. ලිංගිකත්වය යනු නිරන්තරයෙන්ම එහි පළමු පෙළ ගන්නා අංගයකි.  ෆිල්-ටී ගේ මේ වීඩියෝවෙන් නැවතත් පසක් කර දෙන්නේ ලාංකික ජන සමාජයේ පවතින ලිංගික තිරිසන් භාවය සහ ලිංගික අසහනයයි. 

අප කුඩා කාලයේදී පණ ඇති සහ පණ නැති වශයෙන්, සතුන් සහ ගස් කොළන් වර්ගීකරණය කරන්නට උගත්තෙමු. එසේ උගත්තාවූ පණ ඇති කොටසට අයත් සියලුම සත්වයින් තම වර්ගයා බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන බව අප සියලු දෙනාම අවබෝධ කරගත යුතු කරුණකි. මානව ලිංගික ලක්ෂණ යටතේ අප සියලු දෙනාගේම ශරීර තුල ප්‍රජනන පද්ධතියක්ද, එයට අනුයුක්ත වූ ලිංගික අවයවද පිහිටා ඇති බවද ඔබ ඉගන ගන්නට ඇත. එයට අමතරව ගැහැණියකට, ඇයගේ උත්තරීතර මාතෘත්වය වෙනුවෙන් සහ ඇයගේ ලාලිත්‍ය වෙනුවෙන් උරුම වූ පියයුරු යුවලක්ද ඇති බව, ඔබ සියල්ලෝම මව් කිරි බී ඇති හෙයින් කුඩා කල සිටම දැන සිටින්නට ඇත. එහෙත් ෆිල්-ටී ලාටත් ඒවායෙන් ඔද වැඩෙන යුවතියන්ටත් එය හුදෙක් ලිංගික ආකර්ශණය සඳහා අලවි කල හැකි භාණ්ඩයකි. 

මිනිසාට ලිංගික ආශාවන් ඇති වන්නේ මිනිස් ශරීරයේ ඇති විවිධාකාර හෝමෝන  වල බලපෑම අනුවය. එහෙත්, මිනිසා තම ලිංගික කාර්යය අතිශය පුද්ගලිකව කිරීමට පෙළඹෙන්නේ මානව ලක්ෂණ දියුණු වීමත් සමඟ, ඔහු තමාගේ මනස පාලනය කරගැනීමට එසේත් නොමැති නම් ස්වයං විනයක් ඇති කරගැනීමට උගන්නා නිසාය.

ගැහැණියකගේ පියයුරු වල ප්‍රමාණය ගැන හෝ මිනිසාගේ ලිංගික අවයවන් හෝ ලිංගික ක්‍රියාවලින් පිළිබඳව ව්‍යංග අදහස් ඇති කතන්දර වලින් උද්දාමයට පත්වන ලොව පළමු පෙළේ රට ශ්‍රී ලංකාව විය යුතුය. මා එසේ කියන්නේ මේ තාක් මට හමුවූ ලොව විවිධ ජාතීන් වල මිනිසුන්ට ලිංගිකත්වය යනු ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් නිසාවෙනි. ඇමෙරිකානුවන් තම සහකරුවා සමඟ එකතු වීම අදහස් කරන්නේ "මේකින් ලව්" වචනය භාවිතා කරමිනි. වසර දොළහකට පමණ පෙර මා ඉතා තරුණ අවධියේ කෙන්යාවේ නයිරෝබි නගරයේ වැසිකිළියකට ගිය විට "කොන්ඩම් භාවිතා කරන්නැයි" නිවේදනයක්ද සමඟ එහි උපත් පාලන කොපු තබා තිබුණි. ලෝකයේ බොහෝ රටවල ලිංගික අවශ්‍යතා සහ ලිංගිකත්වය තේමාවන් මූලික කරගත් රතු දිස්ත්‍රික්ක ඇත. තමාගේ කැමැත්ත පරිදි මිනිසුන්ට ඒ කලාපයන්ට ඇතුල් විය හැක. එම රටෙහි හෝ ජනපදයෙහි නීති රීති වලට එකඟව මිනිසුන්ට එහි යාමේ තහනමක් නැත. සියල්ලමට මුල් වන්නේ සිතය. සියල්ලෙන්ම මා අදහස් කරන්නේ ලෝකයේ බහුතරයක් මිනිසුන් අනිකාගේ ලිංගික නිදහසට ගරු කරන බවත් එය ජුගුප්සාජනක අමුතු පන්නයේ දෙයක් ලෙස නොසලකන බවත්ය. 

බහුතරයක් දියුණු රටවල මිනිසුන් මහපාරේ ලිංගිකව හැසිරෙන්නේ නැත. එසේ හැසිරෙන්නේ ලිංගික අසහනයෙන් හෝ පීඩනයෙන් හෝ කුකුසෙන් පෙළෙන ශ්‍රී ලාංකීය තරුණ සහ වැඩිහිටි පිරිස්ය. ඇමෙරිකාවේ බහුතරයක් දෙමාපියන්, තමා කුඩා දරුවන් ලිංගික අපයෝජන වලින් ගලවාගැනීම පිණිස, කුඩා කල සිටම හැඩ ගස්වති. ඔවුන්ගේ ලිංගික ප්‍රදේශ හෝ ගැහැණු දරුවන්ගේ පියයුරු, තමන්ගේ පෞද්ගලික ප්‍රදේශ බවත් (ප්‍රයිවෙට් පාර්ට්ස්), තමන් හැර පිටස්තර කිසිවෙක්ට ඒවා ඇල්වීමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන්ට වටහා දෙති. මේ දරුවන් යොවුන් වියට පා තබන විට දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් විවෘත සාකච්චා හරහා ඔවුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමට නිසි පියවර ගනිති. එමෙන්ම පොදු මානව පෙළඹීම අනුව වැඩිවිය පත්වන දරුවන් තම සමකාලීනයන් හරහා සහ අත්දැකීම් හරහා ඔවුන්ගේ ලිංගික දැනුම වර්ධනය කරගනිති. එහෙයින් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය පිලිබඳ කුකුසක් ඔවුන් තුල ඇත්තේ නැත. එය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් බව, යම්තම වැඩිවිය එළඹෙන ඔවුන් වටහාගන හමාරය. එහෙයින් තම දෙමාපියන් තමා ඉදිරියේ කරන්නා වූ සිප වැළඳගැනීම් ඔවුන්ගේ පවුලේ ස්ථායී භාවයේ සංකේතයක් ලෙසට ඔවුහු අවබෝධ කරගනිති. 

මිනිසුන්ට තමාට රිසි පරිදි ලිංගික කාර්යයේ යෙදිය හැකිය. ලාංකිකයින් වන අපට අපේ ජීවිත කාලයේ කොතනකදී හෝ මේ පිළබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. එහෙයින් හැට විය ඉක්මවූ විවාහක ගැහැණියක් පවා තරුණ පිරිමියෙකුගේ දෙපිට කැපෙන වචනයකින් "හිකිස්" ගා හිනා ගැස්විය හැක. ලාංකීය මිනිසාට ලිංගිකත්වය යනු ඒ සා අමුතු අත්දැකීමකි. ෆිල්-ටී පුන පුනා අපට හඟවන්නේ ඒ කරුණය. ඔහු ලාංකීය සංගීතයේ ලකුණක් වන්නේද එබැවිනි. එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ, "මුව මුක්තාලතා" ගීතයේත්, කේමදාස මාස්ටර්ගේ "හෙමින් සැරේ පියා විදා" ගීතයේත්, අමරදේව මාස්ටර්ගේ "කුමරියක පා සලඹ සැලුනා" ගීතයේත්, වික්ටර් රත්නායකයන්ගේ බොහෝ ගීතවලත් රාගය සහ ලිංගිකත්වය, අතිශය සුන්දර ලෙස වර්ණනා කර තිබුනි. එහෙත් ඒ කිසිදු ගීයක ලිංගික අසහනයේ හෝ ජුගුප්සාවේ ලකුණක් හෝ නොතිබිණි. එහෙයින් ඔවුන්ට ෆිල්-ටී හට සමවන්නට නොහැකි බව මම කණගාටුවෙන් කියමි. 

ලිංගිකත්වය අරුම පුදුම දෙයක් වන ලාංකික ජන සමාජයට, මා කියූ ස්වයං විනයක් නැත. මුහුණු පොතේ ඇති ගැහැණියකගේ පින්තූරයක් දුටු පමණින් සමහරක් තරුණ පිරිස් වලට ඇත්තේ ලිංගික කුතුහලයක් සහ අසහනයක් පමණි. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිංගික ජීවිතය පිළිබඳව කල් තබා නිගමන වලට එළඹෙයි. එතැන් පටන් ඔවුහු පිඹුරුපත් සකසන්නේ ඇයව තමාගේ ලිංගික අසහනයේ ගොදුරක් කරගැනීමටය. සමහරවිටක, පින්තූරද වුවමනා නැත. ගැහැණියක ලියන්නාවූ දෙයක් පවා ඔවුන්ට ඒ සඳහා ප්‍රමාණවත්ය. ඒ සියල්ලෝම ලිංගිකත්වය යනු අසාමාන්‍ය දෙයක් සේ දකින ඇත්තන්ය. තරුණියක කොට සායක් හෝ කලිසමක් හැඳ, උඩුකය යම් තරමින් නිරාවණය සේ හැඳීම ලාංකික තරුණයින්ට මාස ගණනාවක් ලිංගිකව උද්දාමයට පත්විය හැකි කාරණාවකි. 

එහෙත් සියල්ලෝටම ලිංගික අවයව ඇති බවත්, ඔවුන් සියල්ලෝම රිසි පරිදි ලිංගික කාර්යක නිරතවන බවත් ඇමරිකාවේ හෝ යුරෝපයේ තරුණ, තරුණියන්ට අමුත්තක් නොවේය. උන් තමාට රිසි තරුණයෙකු හෝ තරුණියක සමඟ රැයක් ගෙවා දමති. ඔවුන් එම ලිංගික කාර්යයෙන් සෑහීමකට පත් නොවුවහොත් ඒ සම්බන්ධය ඒ රැයට, හෝ පැයට පමණක් සීමා වේ. අනියම් සම්බන්ධතා ඔවුහු හෙලා දකිති. සොඳුරු පවුල් ජීවිත ගත කරනවුන්ට ඔවුහු ගරු කරති. තමා අතින් නොතේරුම් කමට සිදු වන යම් වැරදි ඇත්නම් ඔවුහු ඒ ගැන පසු තැවෙති. ඔබ සිතා ඉන්නාක් මෙන් දියුණු රටවල බහුරතරයක් තරුණ පිරිස් වගකීමකින් තොරව ලිංගිකව හැසිරෙන්නවුන් නොවේ. ඔබ බටහිර සිනමාව තුල දකින ලිංගිකත්වය යනු හුදෙක් අලෙවි කිරිම පිණිස යොදාගන්නක් මිස,  ඇමෙරිකාවේ ජීවත් තරුණ පිරිස නියෝජයනය කිරීමක් නොවේ.  ඔවුන් වැඩි විය පත් වූ දා පටන්, යම් මුදලක් ඉපයීමේ වගකීම දෙමාපියන් ඔවුන් වෙත පවරන හෙයින් ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව උගන්නා අතරම රැකියාවක නිරත වීමයි. ඔවුන්ට ලාංකික දරුවන්ට මෙන් නිදහස් අධ්‍යාපනය නොමැති හෙයින් ඔවුහු ජීවත් වන්නේ, විශාල ණය බරක වගකීමක් දරාගෙනය. මේ බහුතරයක් තරුණ දරුවන් හට ජීවිතය, ලෝකය සහ සමාජය පිළබඳව ඔබව විශ්මයට පත් කරවන පුළුල් දැක්මක් ඇත. ඔවුන් තමාගේ වගකීම් බෙදා ගනිමින්, විවාහයට පෙර බොහෝ කාලයක් තමාගේ සහකරුවන් සමඟ එකට ජීවත් වෙති. එහිදී ඔවුන් තමන්ගේ ලිංගික චර්යාවන් සහ පෞර්ෂ ලක්ෂණ අනිකා සමඟ ගැලපේද යන්න හදාරති.  එය හුදෙක් ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට එහා ගිය විවාහය ගැන සිදු කරන්නාවූ පර්යේෂණයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එහෙත් දෙමාපියන් විසින් පෝෂණය කරනාවූ, රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය හදාරන්නාවූ, බොහෝ ලාංකීය තරුණ පිරිස් වලට ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ලිංගික අසහනය හෝ දේශපාලනයයි. ඔවුන් වැඩිහිටියන් වී සමාජගත වූ විට ෆිල්-ටී ලාත්, සමාජ ජාලා වල ගොදුරු සොයන්නවුනුත් බිහි වීම වැළැක්විය නොහැක. ෆිල්-ටී ලා මේ උඩ ගෙඩි දෙන්නේ එම ලිංගික අසහනයටම බව මම තරයේ කියමි.  

මම මෙසේ කියමි. ෆිල්-ටී ගේ රැපෙහිත්, පියුමි හංසමාලි ගේ පියයුරු වලත් ඇත්තේ සංස්කෘතික ගැටළුවක් නොවේය. ලිංගික කුකුසෙන්, ජුගුප්සාවෙන් සහ පිපාසාවෙන් පෙලෙන  සියලුම ලාංකීය මිනිසුන්ට මේ රැපත්, ගැහැණියකගේ පියයුරු සහ කලවාත්, හෝ සම්පූර්ණ හෙළුවත් ඉතාමත් අමන්දානන්දයට පත් විය හැකි කාරණාය. උන් සියල්ලෝම නොදන්නා කාරණය වන්නේ, උන්ගේ බිරියනට, ස්වාමි පුරුෂයනට, පෙම්වතියනට, පෙම්වතුනට, නැගණියට, මලන්ඩියට හෝ උන්ගේ නෑ සනුහරේටමද ඇත්තේ, ගැහැණුන්ට සහ පිරිමින්ට අනන්‍ය වූ ලිංගික අවයව, පියයුරු සහ ප්‍රජනන පද්ධතියන් බවය. උන් නොදන්නේ, සමස්ථ මානව සංහතියම තමාගේ සහකරුවා හෝ සහකාරිය සමඟ ලිංගික කාර්යයේ නිරත වන බවය. එයින් තෘප්තිමත් නොවන කල පිටස්තර පුද්ගලයින් සමඟ ලිංගිකව හැසිරීමට මාන බලන බවය. මේ කිසිවකින් සෑහීමට පත් නොවන්නවුන් තමන්ගේම දරුවන් හෝ සහෝදරයන් හෝ ලිංගේන්ද්රියක් ඇති ඕනෙම සත්වයෙකු සමඟ රමණයේ යෙදීමට සිතන බවය. ෆිල්-ටී ලා  සිදු කරන්නේ ස්වයං විනයෙන් තොර, අසහනකාරී මිනිසුන් උද්දාමයට පත් කිරීමය. ලිංගිකත්වය ඉතා පහත් ලෙස අලවි කර තමනුත්, තමා වටා ඉන්නා අනිකුත් සියල්ලෝමත් ජනප්‍රිය තරු කරවීමය. තමන්ගේ මතය කෙසේ හෝ ජනගත කිරීමය.

දෙමාපියනි, ඔබේ තරුණ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔබ සතු වගකීමකි. එලෙසින්ම මනා ලිංගික සෞඛයකින් යුතු, ලිංගික කුකුසකින් තොර ලිංගිකත්වයට ගරු කරන තරුණ දරුවෙකු සමාජයට බිහි කිරීම ඔබ සතු යුතු කමකි.  ලිංගිකත්වය උලුප්පන වීඩියෝවකින් උද්දාමයට පත් නොවන්නටත්, කලවා පෙනෙන සේ ඇඳුමක් අදින්නාව වූ ගැහැණු දරුවා හෝ ගැහැණියකගේ පියයුරු ලිංගික භාන්ඩයක් කර නොගන්නටත් තරම් විවෘත මනසක් ගොඩ නැංවීමට තරම් ඔබ බුද්ධිමත් වන්න. ලිංගිකත්වය යනු බොහෝ සුන්දර දෙයක් මිසක් ජුගුප්සාජනක දෙයක් නොවන බව ඔබේ දරුවාට වටහා දෙන්න. 


මිනිසුන්ගේ රස වින්දනය එකිනෙකාට වෙනස්ය. එය මම පිළිගනිමි. එහෙත් ෆිල්-ටී ලා, ඉරාජ් ලා උලුප්පන්නේ මිනිසුන්ගේ ලිංගික අහසහනයයි. පොත්තට කාබයිඩ් අතුරා පැහැය ගත් පමණින් පළතුරක් රස විඳින්නට නොහැකි බව අපි දනිමු. එය ස්වභාවිකව ඉඳුණු පළතුරක් වෙන්නේද නැත. කිසිම පළතුරක් නැති හෙයින් කාබයිඩ් වලින් පාට වූ පළතුරු ආහාරයට ගැනීමෙන්, ඔබ නොදැනුවත්වම විස ආහාරයට ගත්තා වන්නේය.  ෆිල්-ටී ලාත් කාබයිඩ් ගැසූ පළතුරැය. ලංකාවට ආවේණික නොවන කලාවක්, ඔවුන් දන්නා කුණුහරුප සමඟ මුසු කොට ඔබට රස බලන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. ස්වයං විනයක් රහිත, ගෝත්‍රික ලංකාවාසීහු කුණු රසට වඩා කැමැත්තෝ හෙයින් ෆිල්-ටී ලා ජනප්‍රිය තරු වෙති.  

අනාගත යෞවනයට විමර්ශනශීලි බුද්ධියක් ගොඩ නගාලීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් වන ඔබ අතය. ඔවුන්ගේ මොළ හාරා, ඔවුන් අසන්නා වූ, දකින්නා වූ  සියලු දෑ පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, විවෘතව සාකච්ඡා කිරීමටත්, ඔබ ඔවුනට අනුබල දිය යුතුය. ඔබට ෆිල්-ටී ලා, ඉරාජ් ලා, අජිත් මුතුකුමාරණ ලා හෝ කේමදාසලා හෝ ඔවුන්ගේ අනුගාමිකයන් බිහි වීම වැළක්විය නොහැක. එහෙත්, ඔවුනගේ හොඳ සහ නරක විචාරශීලි බුද්ධියකින් විනිශ්චය කල හැකි අනාගත පරම්පරාවක් ගොඩ නැගීම ඔබට ඉතා පහසුවෙන් කල හැකිය. 

මේ නවීන සමාජයේ ගෝත්‍රික අදහස් මේවා යැයි කියා සිතන්නාවූ ඔබට මම යමක් කියමි. ගල් යුගයේ මිනිසුන්, වැද්දන් සහ සීගිරි ලලනාවන් පවා විලි වසාගත්තේ යන්තමිනි. සංදේශ කාව්‍ය පුරා ස්ත්‍රී වර්ණනාවන් එමටය. මේ යුගයන් වල ජීවත් වූ මිනිසුන් අදට වඩා ලිංගිකත්වය ගැන අවබෝධයක් සහිතව, එයට ගරු කරමින්, ස්වයං විනයකින් ජීවත් වූ බවට මම විශ්වාස කරමි.  ලිංගික අවයව හැමෝටම පිහිටා ඇති බවත්, ලිංගිකත්වය යනු මානව සංහතියේ අවශ්‍යතාවයක් බව ඔවුන් දැන සිටින්නට ඇත. එසේ නොමැති වූවා නම් ඔවුහු අද මෙන් සම්පූර්ණයෙන්  විලි වසා ගන්නට පෙළඹෙනු ඇත. ඒ දියුණු වූ මානව ලක්ෂණ හරහා, මිනිසාගේ චින්තනය පිරිහීම කිනම් අභාග්‍යක්ද???

දියුණු රටවල ආයතන තුල වචනයෙන් හෝ හැසිරීමෙන් තමාට සිදු වන ලිංගික අපහසුතා වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගත හැකිය. ඒ වෙනුවෙන් බොහෝ ආයතන වලින් අනිවාර්ය වාර්ෂික පුහුණු නිර්දේශ කරනු ලබන්නේය. "උන් නටන්නේ හෙළුවෙන් යැයි" බටහිර සමාජය දෙස බොහෝ අවතක්සේරුවකින් බලන ඔබ, එහි ජීවත් වන ගැහැණු හා මිනිසුන් මෙවන් ස්වයං විනයකට යටත් බව නොදන්නවා වෙන්නට පුළුවන.  තමන්ගේ බිරිඳ හෝ ස්වාමියා පවා ඔවුන්ගේ කැමැත්තකින් තොරව ස්පර්ශ කිරීම පවා මෙම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.  මිනිසුන් යනු පොදු මිනිස් ගති ලක්ෂණ ඇත්තවුන් හෙයින්, ලෝකයේ කොතැනත් හොඳ හෝ නරක දෙවර්ගයේම මිනිසුන් ඇත්තේය. එහෙයින් රටවල් වශයෙන් මිනිසුන් වෙනස් කුලක වලට බෙදිය නොහැක. ඔබ නොදන්නා මහා වෙනස ඇත්තේ එම මිනිසුන් තුල, රටක නීති පද්ධතිය හරහා, කුඩා කල සිටම ගොඩ නැගෙන ස්වයං විනය තුලය.

............................................................................................................
ඔබ සමාජගත කරන්නාවූ අදහසක් ගානේම, ඔබ ඔබේ ඉදිරි පරම්පරාවේ එක් අයෙකුගේ හෝ අනාගතය තීරණය කිරීමට දායක වන්නේය.  

............................................................................................................
ඔවුන්ගේ එකිනෙකට වෙනස් අදහස් හරහා මෙවන් සටහනකට මග පෑදූ "මං එරන්දි" බ්ලොගයටත්, "රස්තියාදුකාරයා" බ්ලොගයටත් මාගේ ස්තුතිය පුද කරමි.



WW

Sunday, November 12, 2017

මයි ෆ්‍රෙන්ඩ්...


A Driver Behind The Wheel-Image From The Internet


මට මතක විදියට නම් ඔහු රුසියානු සම්භවයක් ඇත්තෙක්...

නීමෝ කාටුන් චිත්‍රපටයේ ඩෝරි, ඇය වගේම මගෙත් කෙටි කාලීන මතකය අඩුයි ...

ඒ මිත්‍රශීලි රියදුරා මට ඔහුගේ උපන් රටේ නම පැවසුවත් මට දැන් එය අමතකයි...

"සුබ උදෑසනක්...ඔබ ස්පාඤ්ඤ ජාතිකයෙක්ද" ...මා කැබ් රථයට ගොඩ වුන ගමන්ම ඔහු ඇහුවේ එහෙම...

"ඔබටත් සුබ උදෑසනක්...නැහැ...මා ශ්‍රී ලාංකිකයෙක්..." මේ මිනිහටත් ඕනේ නැති දෙයක් නෑ...මා ඔහුට පිළිතුරු එක් කලේ නුරුස්නා හැඟීමෙන්...

එදා මගේ සාමාන්‍ය දින චරියාවෙන් බැහැර දවසක්...කාර්ය බහුල පැය වල අධිවේගී මාවතේ බැල්ටිමෝර්  වෙත රිය පැදවීම අතිශය වෙහෙසකර බැවින්, කැබ් රථ ඉතා සුදුසු විකල්පයක්...

ඒත් දැන්....මේ නාඳුනන රියදුරා අර අදින්නේ නම් ඉතා දිග කථාවකට...විනාඩි හතළිස්පහක්...මා ඔහුට කතා කරන්නට අනුබල දිය යුතුද ?..මා රහසේම  විමසුවේ මගේ හිතෙන්...

හ්ම්...ජීවිතේ අලුත් දෙයක් අහන්න ලැබේවි, ඒ හින්ද කතා කරපන්, ඒ මට සිතෙන් ලැබුන අණ...

ඔව් නාඳුනන රියදුරෙක්, අවධානයෙන් ඉඳින්...හිත තවත් හේතු කිව්වා...

ඊළඟට ඒ මිනිසාට මගේ සුපුරුදු සිනහව දුන්නේ අඩුවක් නැතුව...කොහොමත් අඩක් හිනාවෙන, ව්‍යාජ සිනහව මට පුරුදු දෙයක් නෙවේ...

ඇත්තටම ඔහු කථාව පටන් ගත් තැන මට ඒ හැටි මතකයක් නැති උනත්, ඔහු නොනැවතී ආමන්ත්‍රණය කලේ ජිවිතයේ යථාර්තයට...

ඒ නිසා මාත් ඉබේටම ඔහුගේ කතන්දරයේ කොටස් කරුවෙක් වුනා කිව්වොත් නිවැරදියි...

මයි ෆ්‍රෙන්ඩ්...මගේ මිතුරිය...

ඔහු මාව ඇමතුවේ එහෙමයි...

අපි මේ රටට ආවේ දෙදහස් දෙක වර්ෂයේ...මගේ දරුවෝ දෙන්නයි, මගේ බිරිඳයි...

ඒ එද්දී මට ඉංග්‍රීසි භාෂාව බිඳක්වත් බැහැ....

ඇත්තෙන්ම ඔහුගේ ඉංග්‍රීසි භාෂාව අදත් තිබුනේ බොහොම සාමාන්‍ය මට්ටමක...ඒ නිසාමද කොහේදෝ මා ඔහුගේ වාක්‍ය ඌණ පුරණය කරන හැම මොහොතකම ඔහු මට ස්තුති කළා...නමුත් මේ රට තුල ඉංග්‍රීසි භාෂාව නොදැනීම කිසිවෙකුට ගැටළුවක් නොවෙයි...එය ගැටළුවක් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවලින් එන සුදු රුධිරාණු අධික කළු සුද්දන්නට බව මා අත්‍ දැකීමෙන් දන්නා දෙයක්...

"දිස් ඉස් පොළොස්" වැනි යමක් මෙහි වෙළද සැලකදී ඇසුනහොත් ඔබ කිසි සේත්ම පුදුම නොවිය යුතු කරුණක්...ඒ තමන්ගේ ඉන්ගිරිසියේ  දිග පළල පෙන්වන හෙළයෙක් විය හැකියි...

සමාවෙන්න, අපි යලිත් අපේ මිත්‍රයාගේ කතාවට සවන් දෙමු...

"ජීවිතය පහසු වුනේ නැහැ, මගේ මිතුරිය"

"භාෂාව නොහැකි වුවත් මා රැකියාවල් ගණනාවක් කළා, මගේ පළමු වැටුප පැයට ඩොලර් හයයි"



"මේ රටේදී නිතරම ඔබට තෝරාගන්න අවස්ථා ලැබෙනවා, ඔබට දියුණු වෙන්නත් පුළුවන්, නැතිනම් විනාශ වෙන්නත් පුළුවන්"


"මගේ මිතුරිය, මිනිසුන් හරි පුදුමයි, ඔවුන් ජීවත් වෙන්නේ පඩි පත මත්තේමයි, ඉතුරුම් නැහැ, සුළු රැකියාවක් සොයා ගත ගමන් ඔවුන් කරන්නේ අලුත්ම වාහනයක් හෝ ගෙයක් මිලදී ගන්නෙක, ඉන් පසුව ජීවිතේම දුකින්..."

ඔහු පවසන මේ සියලු කරුණු සත්‍ය බව මා කියන්නේ වගකීමෙන්... 

ඉතාම මෑතකදී ග්‍රීන් කාඩ් ලොතරැයි හරහා සංක්‍රමණය වූ ලංකික පවුලක්, නිවාස කුලිය හෝ ගෙවා ගැනීමට හැකියාවක් නොමැති වුවත්, නවතම රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගත්තා යැයි උදම් ඇනූ බව මට පැවසුවේ මගේ මිතුරියක්...

මෙවන් දේශයක ජීවිතයට සවිමත් අත්තිවාරමක් ගොඩ නගා ගැනීම, අතිශය නුවණක්කාර ලෙස කල යුතු බුද්ධිමය මෙහෙයුමක්...සෑම පඩි පතකින්ම සියයට තිහක පමණ බදු ගෙවා, කොටසක් නිවාස කුලී හෝ නිවාස ණයද, සෞඛ්‍ය, නිවාස, වාහන එකී නොකී සියලු රක්ෂණ ආවරණද, ඒ ආවරණ වලින් ආවරණය නොවන ඒ සියලුම සේවා සඳහා අය වන වියදම්ද, සියලුම පාරිභෝගික හා වෙළද සේවා වලට බදුද, දරුවාගේ දිවා සුරැකුමට හෝ පාසලෙන් පසු රඳවා ගැනීමට වැය වන මුදල්ද, ඔවුන්ගේ සියලු උසස් අධ්‍යාපන වියදම්ද..............මේ එයින් සුළු විස්තරයක්...

සියල්ල නොමිලේ ලැබෙන දේශයක ජීවත් වන ඔබට, ජීවිතය උගන්නට නම් මෙය පාසැලක්...ඔබේ වැඩිහිටි දෙමාපියන් දරුවන් රැක බලා ගනිද්දී, රජයෙන් ඔබේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේ...අපේ දරුවෝ තාවකාලික රැකියා යන සංකල්පයක් ගැන වද විය යුතුත් නැහැ...ඔවුන් වද වෙන්නේ නොමිලේ ලැබෙන දේ, තවත් වැඩියෙන් ලබා ගන්නා හැටියක් ගැන...

"මගේ මිතුරිය, මට වුවමනා වුනා ඇමෙරිකානු දරුවෙක් හදන්න.. මට මෙහෙදී ඉපදුනා පුතෙක්...ඔහු දැන්  පළමු උපාධිය හදාරන වයසේ...ඔහුට පහසුවක් ලෙසයි මා මේ අමතර රැකියාව කරන්නේ, ඔහුගේ අධ්‍යාපනයට උදව්වක් වෙන්න..."

මගේ රියදුරු මිතුරාගේද බුද්ධිය පරයා, පිතෘ ප්‍රේමය අන්ධව නැගී ගොස් බව මට හැඟුනේ ඒ මොහොතේදී...එහෙත් මා කලේ ඔහුට දොඩමලු වන්නට ඉඩ දීම...

"මට නිවාස දෙකක් තිබෙනවා...මගේ වැඩිමහළු පුතාට අවුරුදු තිහක් පමණ...ඔහුගේ විවාහයට පෙර මා ඩොලර් තිස්දහසක මූලික අගයක් ගෙවා, ඉතිරිය නිවාස ණයක් ලෙස ඔහුට නිවසක් මිලදී ගත්තා..."

"මගේ මිතුරිය, ඔහු මගේ හිත රිද්දාපු තරම...එය අදටත් මගේ පපුවට පිහියෙන් අනින්නා වාගෙයි...නිවාසය මිලදී ගත්‍ පසු මා ඔහුට කිව්වා ණය ගෙවාගෙන යන ලෙස...ඔබ දන්නවාද මගේ මිතුරිය ඔහු මට පැවැසූ දේ..." 

"තාත්තා, ඔබ ඔය කළා වාගේම රැකියා කිහිපයක් කරමින් මා වෙනුවෙන් ඔය ණය මුදල ගෙවා දමන්න...මා ඔබෙන් නිවාසයක් ඉල්ලුවේත් නැහැ..." 

"ඒ තමයි ඔහු මට පැවසූ දෙය...මා නිවාසය මිලදී ගත්තේ මගේ නමින්...ඔහු ගෙව්වේ වාරික දෙක තුනයි...මටත් නොදන්වා ඔහු එක් වාරිකයක් ගෙවීම පැහැර හැරියා...අවසානයේ එය බලපෑවේ මගේ ණය අගයට..."

මේ රටේදී,  ණය අගය හෙවත් ක්‍රෙඩිට් ස්කෝර් ඉතා ඉහල අගයක පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්...දීර්ඝ කාලීන, විශ්වාසදායී ණය පත් හිමියෙකු වීම එහි මූලික කරුණක්...එලෙසම, තමන් ලබා ගන්නා සියලුම ණය සහ බිල්පත් ගණුදෙනු නිසි කලට පියවීමත් අනිවාර්යයි....වාහන සහ නිවාස මිලදී ගැනීමේදීත්, කුලී පදනමට නිවාස ලබා ගැනීමේදීත්, ඔබගේ මුල් මුදල සහ පොළිය තීරණය කරන්නේ මෙම අගය මගින්...

ජීවිතය කෙතරම් සුක්ෂම ලෙස හැසිරවිය යුතුද යන්න ඇත්තෙන්ම මා උගත්තේ අමෙරිකාවේදී...


"මගේ මිතුරිය...මේ අලුත් පරම්පරාවේ දරුවන්...ඔවුන්ට විනයක් නැහැ...වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ...ඒ වගේම ඔවුන්ට මානුෂීය හැඟීම් නැහැ...සියල්ලම මුදල් පමණයි..."

"ඔවුන් විවාහ වන්නේ රැකියාව, තත්වය සහ මුදල් පදනම් කරගෙන...ඔබේ ගුණවත් කම, සෙනෙහස, සුන්දරත්වය...මේ කිසිවක් ඔවුනට වැදගත් නැහැ..."

"ඔබ දන්නවාද...මගේ වැඩිමහල් පුතා දැන් විවාහකයි... විවාහයට කලින්, ඔහුගේ මනාලියත්, ඇයගේ දෙමාපියනුත් අපගේ නිවසට ආවා...ඔබ පුදුම වෙයි, ඔවුන් මගෙන් ඇසුවේ, මා ඔවුන්ගේ විවාහයට වෙන් කරන මුදලේ ප්‍රමාණය ගැන...මා එවෙලේම එතැනින් ඉවත් වුනා...මගේ බිරිඳ ඔවුන්ට මුදල් දුන්නා...මා අදටත් දන්නේ නැහැ ඒ කොපමණක්ද කියා...ඒ වෙද්දී ඔහුට මා නිවාසය මිලදී ගෙන හමාරයි...ඔවුන් දෙදෙනාම ඉතා හොඳ රැකියාවන් කරන උදවිය..."

"ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තු වන සාදය පසු ගිය සතියේ මහා ඉහලින් සැමරුවා...ඉතා විශාල පෙට්ටියකින් නිල් පැහැ බැලුම් මතු වුනා....ඒ තමයි ඔවුන්ගේ පුදුම කරවීම...සියල්ලන්ම ප්‍රීති ඝෝෂා කලා...මා දන්නවා, මගේ බිරිඳ, ඔවුන්ට මුදල් දෙන්නට ඇති..."

ඔහුගේ කටහඩේ තිබුනේ වෙහෙසට පත් වූ මිනිසෙකුගේ, කලකිරීමක්...

"එහෙත් ඔබලා දැන් ඉතුරුම් වැඩි කල යුතුයි නේද...නැතහොත්, ඔබ දෙදෙනාටම වෙන්නේ පිහිටක් නොමැතිව අසරණ වන්නට "

මා ඒ අදහස මතු කලේ, හිත පත්ලේ මේ දිරිය මිනිසා වෙවුවෙන් උපන් සානුකම්පිත හැඟීමෙන්....

"ස්තුතියි මගේ මිතුරිය...ඔබ එය තේරුම් ගත්තාට..."

"මිනිසුන් නම් කියන්නේ මා වාසනාවන්ත බව...ඔබ දන්නවාද, මා අදත් අවදි වූයේ උදෑසන හතරට...මා රාත්‍රී වනතෙක් නොනවත්වා වැඩ කරනවා...මා කලිනුත් කිව්වා වාගේ තීරණය අප සතුයි..."

ඔහු තවත් එක් දිරිය මිනිසෙක්...ආදරණීය සැමියෙක්...වගකීම් ඉටු කල පියෙක්...ඔහුගේ දරුවන්, තව දුරටත් ඔහුගේ පිහිට පැතිය යුතුද....

මේ කියවන ඔබත් එවන් දරුවෙක්ද...නිදහසේ සිතා බලන්න...ඔබගේ හිතිවිලි කිසිවෙකුට නොපෙනෙන වග මා ඔබට සහතික වෙන්නම්....

.........................................................................................................................................................

මේ කතාන්දරයේ වැනි දරුවන් ඔබත් උස් මහත් කර ඇත්නම්, මම එහි වරද පටවන්නේ දෙමාපියන් වූ ඔබටය...ආදරය, සෙනෙහස ලබා දීම යනු දරුවන්ගේ සේවකයන් වීම නොවන වග මාගේ මතයයි...දෙමාපියන් වන ඔබගේ ජීවිතයේ සෑම තත්පරයක්ම වෙහෙසකර බව දරුවන්ට ඒත්තු ගැන්වීමේ කලාව ඔබ ප්‍රගුණ කල යුතු දෙයකි...එහිදී, ඔබ සමග දුක, සතුට සියල්ල විඳ දරා ගැනීමට දරුවන් උගත යුතුය...ස්වාධීන මිනිසෙකු ලෙස හිස ඔසවාගෙන් දෙපයින් ගමන් කිරීම, දෙමාපියන්ගේ මුදලින් ලැබූ සුඛෝපභෝගී වාහනයක් පැදවීමට වඩා අභිමානයක් බව සිතීමට තරම් ඒ දරුවාට ආත්ම විශ්වාසයක් ඇති විය යුතුය...

ලෝකයට බරක් වන, මානුෂිය හැඟීම් නොමැති දරුවන් බිහි කරන්නේ ඔබේ සැලසුමකින් තොරවූ ආදරයම මිස අන් යමක් නොවන්නේය...දරුවාගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමේදී ඔබට සීමාවන් තිබිය යුතුය...

ඇමෙරිකාවේ උසස් පවුල් වල දරුවන් තාවකාලික රැකියා නොකරන බව සිතන ශ්‍රී ලාංකික පියෙක් සිය දියණියව රැකියාවට නොයැවීමට තීරණය කල බව මම පසු ගිය දිනෙක ඇසුවෙමි...ඔහු රැකියාවන් කිහිපයක් කරන මගේ රියදුරු මිත්‍රයා වැන්නෙකි...ඔහුගේ තරුණ දියණිය, සුළු රැකියා ඉතා පහත් කොට සලකමින්, තමාගේ පියාගේ ණය පතින් උසස් අධ්‍යාපනයට වියදම් කරයි...ඔවුන්ගේ ජීවිත කොහේ නවතීදැයි මම නොදනිමි...එහෙත් බොහෝ තරුණ ඇමෙරිකානු දරුවන් දෙමාපියන් මත යැපීම යනු කුමක්දැයි නොදන්නා බව පමණක් මම පැහැදිලිව දනිමි...

දාරක ප්‍රේමය යනු දරුවන්ගේ සේවකයන් වීමද නැතහොත් ඔවුන්ගේ ආදරණීය සහ වඩාත් විශ්වාසදායී මාර්ගපදේශකයා වීමද යන්න තීරණය කිරීම ඔබ සතුය... 




WW



Sunday, April 23, 2017

සුරංගනාවී...........

A girl walking away...

සමහර මිනිසුන්ට අතීතස්මරණයට දෑස පියා ගත යුතුය...

තවත් අයෙකුට නිදහසේ මධු බිඳක් තොල ගෑ යුතුය...

එහෙත් මගේ වර්තමානයද, අතීතයම පමණි...එහෙයින් මම එළඹි සිහියෙන් අතීතයේ ජීවත් වෙමි...

බොහෝ කලෙකින් මවිසින් කිසිවෙකුට ප්‍රේම කල බවක් මතකයට නගා ගත නොහැක...පෙම්වතියක් වීමත්, සැබෑ ලෙස ප්‍රේම කිරීමත් දෙයාකාරය...

සැබෑ ලෙස ප්‍රේම කිරීමේදී කෙනෙකුගේ පංචස්කන්ධයේ සමින් වැසුන ආවරණය ඉවත් කල යුතුමය...එහි උරුමක්කාර ආත්මය සමඟ ඉතා විශ්වාසදායී ලෙස ගණුදෙනු කල යුතුය...

ආගන්තුකයෙකුගේ රුධිර පීඩනය පිළිබඳව සැබෑ අවබෝධයක් ලැබීමට තරම් ප්‍රඥාව ප්‍රගුණ කල යුතුය...

එකිනෙකාගේ නියුරෝන වල සංවේදීතාවයද, ඔවුහු අතුනු බහන් වල දරා හිඳිනා අනේක අපද්‍රව්‍යයොද,  වැනි එකී නොකී බොහෝ දෑ පිලිබඳ නිසි අධ්‍යනයක් නොමැති කිසිවෙකුට සැබෑ ලෙස ප්‍රේම කල නොහැක...

එවන් අවබෝධයක් නොමැතිව ගලා යන සබඳතා සියල්ලම රඳා පවතින්නේ පංචස්කන්ධයේ මතුපිට පෘෂ්ටයේ සුමටභාවය භාවාතිශය ලෙස රස විඳීමේ හැකියාව මතය...

ටෙක්සාස් ප්‍රාන්තයෙහි පනස් පස් වියැති කාන්තාවක් පෙම්වතියක් වීම, දෝෂාභියෝගයකට ලක් වීමට කාරණාවක් නොවන වග මම තරයේ කියමි...

ආකර්ෂණය, කරුණාව, රැකවරණය, රාගය මේ කුමක් හෝ මුල් කර එකිනෙකා කෙරෙහි ආශක්ත වන්නෝ තමන් පෙම්වතුන් බව කියති...

එහෙයින් මමද  පසුගිය වසර කිහිපය තුල, කිහිප වරක්ම පෙම්වතියක් වීමි...සැබෑ ප්‍රේමය යළිදු කිසිදිනෙක හමු නොවන බව දැන දැනම පෙම්වතියක් වීමි...

එහෙත් ප්‍රේමය සැබෑවක් විය යුතු බව මා උගත්තේ ඔහුගෙනි...

එදා විසි නව වියැති ඔහු, පින්තාරු කලේ හතළිස් පස් විය ඉක්මවමින් සිටි මගේ ජීවිතයයි...ඔහු පියානෝවෙන් මගේ ජීවිත ගීතයේ කිසිදාක නොවැයුනු රසාලිප්ත ස්වර වැයුවේය...මගේ පංචස්කන්ධයෙහි ඇතුල් ගර්භය ඔහුගේ මනසින් විනිවිදින ලද්දේය...

එහි පෙළඹවීමෙන් මා කවුරුන්දැයි, මම සොයා ගතිමි...

ඔහුගේ ඇතුලාන්තය ප්‍රේමයේ සෞම්‍ය සඳ කිරණ වලින් පිරී තිබිණි...මම හෙමින් සීරුවේ ඔහුගේ ආත්මයද, සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද විවර කර බැලීමි...එවිට ඒ සියුම් රශ්මි ධාරාවන් හාත්පස පැතිර ගියේය...

තෙත් වූ පස් පිඩැල්ලකින් එළියට ඇදෙන්නට තතනන ගැඩවිලෙකු පවා එය අත් වින්ද බව මම දනිමි...

ඉතින්...මා ඒ කිරණ ඉසියුම්ව විඳීම වරදක් යයි නොකියන්න...

ඔහු සතුව ඒ නගරයේ බොහොමයක් ඉපැරණි පල්ලි වල අගුළු විවර කල හැකි යතුරු තිබිණ...ඒවායේ ඇති සිත්තම් වල අපූර්වත්වය විඳින්නට ඔහු මට හුරු කළේය...ඒ ගිය බොහොමයක් ගමන් වලදී, ඔහු සමඟ ස්වර්ගයේ ද්වාරයෙන් ඇතුළු වන්නට මගේ හිත බල කල වාර අනන්තය...

"ඔයාට දරුවෝ හදන්න ඕනෙද"....

එවන් දිනෙක මම අසා සිටියෙමි...

"ඔව් මං බොහොම ආසයි පුංචි කෙලි පැංචියෙකුට"...

පිපෙනා සියලු මල් පරවන බවද, වර්තමානයේ සෑම දවසක්ම අතීතය වන බවද එදා ඒ මොහොතේදී මට වැටහින...

ඒ වෙද්දී මගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාම විශ්ව විද්‍යාල පිවිසුම් ආසන්නයේ සිටියවුන් වූහ...

ඔබ කෙසේ සිතුවද ප්‍රේමය අපරාධයක් නොවිය යුතුය...ඔහුගේ ප්‍රේමයේ සඳ කිරණින්, පරඬලකට නැවුම් ජීවයක් නොලැබෙනා බව සහතිකය...එහි අයිතිය සුවිශේෂ වූ කඩුපුලකටය... 

එහෙත් හිතවත...එයින් පසුව, අපි පුරා වසර හතරක් පුරා එකිනෙකාගේ රශ්මියෙන් මිදෙනු නොහැකිව දැවුනෝ වෙමු...වෙන් වීමේ ගිවිසුම් බොහෝ විට එක සඳ පළුවකට පමණක් සීමා විය...

ඔහු දරුවන් එපා යැයි කීවේය...මම ඔහුට දරුවන් දෙන්නෙමියි පොරොන්දු වුනෙමි...අඳුරු කාමරයක, මගේ ලැම මත ඔහු කඳුළු සලකුණු තබද්දී, මම මගේ කඳුළු මගේම ලේ නහර තුලට වත් කලෙමි...

ඔහුට ගැහැණු යහළුවන් අඳුන්වා දෙමින් ඔවුන් සමඟ මිත්‍ර වීමට බල කෙළෙමි...එහෙත් ඒ සෑම විටකම ඔහු බලා සිටියේ මගේ දෑස දෙසම පමණි...

ජීවිතය තිත්ත වෙද්දී, මට මගේ සිහිය වදයක් විය...

එවන් දවසක, ඇය මා පසු කර ගියේය...රතු කෙස් ඇති ඇයගේ දෙපා යුග්ම වල බෝනික්කියගේ දෙපා වල හැඩය විය...මම එසැණින්ම ඇයව නවතාලුයෙමි...අපි මිතුරියන් වීමු...

මාසයක ඇවෑමෙන්, මම ඇයට මගේ මිත්‍රයාව හමු වෙන ලෙස ආරාධනා කලෙමි...

ප්‍රේමයට සාධාරණයක් කල නොහැකි නම්, එය නිර්ලෝහී පරිත්‍යාගයක් විය යුතුය...ආත්මාර්ථයෙන් ලැබෙන සැනසීමට, වඩා පරාර්ථයෙන් ලැබෙන වේදනාව සැනසීමක් බව මම විශ්වාස කරමි...

ඔවුන් දෙදෙනාගේ දෑස් හමු වූ මොහොතෙහි විසිර ගිය කුඩා පුලිඟු වලින් මගේ සියොලඟම දැවුන බව ඇත්තකි...

එහෙත් ප්‍රේමය සැබෑ නම්, එය එහි පාර්ශවකරුවන්ට කිසිවිටෙක  මාර්ග බාධකයක් නොවිය යුතුය...

එදා ඒ මොහොතේ මම ඒ බාධකය ඉවත් කලෙමි...කල් තියා සැලසුම් කල පරිදි මගේ යෙහෙළිය දුන් ඇමතුමින් ඔවුන් දෙදෙනා තනිකර දමා මම එදා පිටව ආවෙමි...

"යන්න එපා"

ඔහු අසීරුවෙන් කී කල, මට ඔහුට හාදුවක් දෙන්නට වුවමනා විය...ඔහු වැලඳ, යළිඳු ඒ සුමුදු සඳ රැස් විඳීමට හිත කෑ ගසා කියද්දී, මම පිටව ආවෙමි...

ඉන් පසු, මගේ දුරකථන තිරය මත බොහෝ විට වියළී ගිය කඳුළු පැල්ලම් විය...ඊටත් පසුව දුරකථනය බොහෝ සේ නිසොල්මන් විය...

එය කෙබඳු හැඟීමක්දැයි විග්‍රහ කරන්නට වැය කරන්නාවූ ඔබේ කාලය අපතේ යන වග පමණක් සිහි තබා ගන්න...

ඉර, සඳ, තරු...මේ සියල්ලම ඇත්තේ බලා සැනසෙන්නට පමණි...ඒවා අයිති මන්දාකිණි වලින් ගලවා, ඔබේ දෙපා මුලට ගන්නා සෑම උත්සාහයකම අවසාන ප්‍රථිපලය, ලෝක විනාශය පමණි...

ජීවිතය, අතීතය වී ගලා ගියේය...මම අත්මිටකින් ගත හැකි වූ ප්‍රේමය, එක සුසුමකින් අන් සන්තක වන්නට ඉඩ හැර බලා හුනිමි...

මම ඔහුට ඉන් වසර හතරකට පමණ පසු ඇමතුමක් දුනිමි...ඔහුගේ පින්තාරු එකතුවක් නැරඹීමට එන්නැයි එදා ඔහු මට ආරාධනා කළේය...

මගේ සුසුම් වල තිගැස්මක් තිබුනේ නැත....ඔහුගෙන් නික්ම ආ දා පටන් ඒවාට එකතු වූ මළකඩ රස පමණක්, පෙරසේම තිබුනේය...

කඩුපුල ඔහු ලඟින්ම පිපී තිබිණ...මගේ සුසුම් වලට වඩා, ඒ සුවඳ බොහෝ නැවුම් වග මට දුර තියාම දැනිණ...

රැලි වැටෙන්නට තතනන මගේ සීතල කම්මුලට, ඇයගේ පිරුණු රෝස පැහැති කම්මුල් වලින්, උණුසුම් හාදුවක් ලැබිණ...

මම ඔහුගේ දෑස මග හැරියෙමි...එහෙයින්, ඔහුට එදා මෙන් මගේ දෑස දෙස ඕනෑකමින් බලන්නට වුවමනාවක් තිබුනා දැයි මම නොදනිමි...

ප්‍රේමයද විටෙක පිළිලයකි...එවන් කලෙට එය සියලුම පෝෂක වලින් ඈත් කල තැබිය යුතුමය...

"ඔයාද ඒ සුරංගනාවී"....

"තාත්ත කිව්වා, මගේ අම්මිව එයාට ගෙනත් දුන්නේ ඔයා කියල"....

..........................................................................................................................................

ප්‍රේමය නම් එසේ විය යුතුමය...එක් හදවතක් දැඩි ශීතලෙන් හිස්ව ගියද, තවත් හදවත් සිය දහසක් උණුසුම්ව පිරී යා යුතුමය...  

............................................................................................................................................ 


පසු සටහන : එය වොෂින්ටනයේ එක් වැසිබර සැන්දෑවකි...දහසය වන වීදියේ ඉබි ගමනින් ඇදෙන රථවාහන පෝලිමක ගාල් වී සිටීම දැඩි සේ වෙහෙසකර වූ අතර, මා එහි වාඩුව ගත්තේ මෝටර් රථයේ ගුවන් විදුලි යන්ත්‍රය මෙහෙයවන බොත්තමට නොනැවතී තට්ටු කරමිනි...

ඇය දිගු සුසුමක් හෙලුවාය...එකිනෙකා පරයා නැගුන එක් ගුවන් විදුලි නාලිකාවකින් පිටවූ ඒ සුසුම මගේ දෙකන් පෙති අතර වදිද්දී, ඉස්පාසුවේ එය විඳින්නට මට වුවමනා විය...

එතැන් සිට ඔබ  කියවූ මේ කතාව ඇයගේ සජීවී හැඟුම්බර හඬින් මම අසා සිටියෙමි....වරෙක, කතාව අතරතුර ඇය තදින් හුස්ම ගන්නා හඬද, ඉකිය සිර කර ගැනීමට දරන මහත් ආයසයද, හදවත කලම්බන සුළු විය....ඇය ඔහුගේ වර්තමාන බිරිය ඔහුට මුණ ගැස්වූ තැන්හිදීද, ඔවුන්ගෙන් පිටව තම දුරකථන අංකය පවා වෙනස් කොට ඔහුගෙන් පලා ආ හැටිය කියද්දීද, ඇගේ කට හඬ බොහෝ සෙයින් බිඳී ගිය වග මට දැනින...

මේ නිර්මාණයේ අඩංගු සියලු සංසිද්ධීන් සියල්ලම සත්‍ය වන අතර, එයට වෙනස් අරුතක් දීම සඳහා මා සමහර තැන්වලදී අටුවා ටීකා එක් කල බව මම පිළිගනිමි...

ඇය තම ලාබාල පෙම්වතාට, පෙම්වතියක් සොයා වෙහෙසුනාය....මාර්ගයේ තමා පසු කර ගිය රූබර යුවතිය, ඔහුට ගැලපෙන බැව් ඇසුරු සැණකින් සිතූ ඇය, එසනින් ඇය හා මිත්‍ර වූවාය....ඔවුන් දෙදෙනා සුක්ෂමව මුණ ගස්වා, ඔවුනගෙන් පලා ආවාය....

සිනමා පටයක තිර රචනයක් නොවූ ඒ කථාවේ තුබූ,අධි සන්වෙදිභාවය මගේ කතාවෙන් හිතාමතාම ඉවත් කලෙමි...

ඔබ මේ පිටුව වසා දැමිය යුත්තේ තවත් සංවේදී කඳුලක් සමඟ නොව, මිනිසුන් ආත්මාර්ථයෙන් ඔබ්බට ගොස් කරනා කැප කිරීම් වල ගැඹුරු වූ වටිනාකම සිත්හි දරාගෙනය...

එය තවත් එක් රාගයෙන් උමතු වූ ගැහැණියකගේ කථාවක් නොව, තම ප්‍රේමය හා අනෙකුත් බැඳීම් වෙනුවෙන් අරගල කරන්නාවූ සියල්ලන්ටම පරමාදර්ශයකි...අප බැඳීම් වෙනුවෙන් අරගල කළ යුතු නැත...ඒ සියලුම බැඳිම් වලට වලට නියම වටිනාකමක් දිය හැක්කේ උසස් මනසක් ඇත්තවුන්ට පමණි...



----WW---

Wednesday, January 18, 2017

ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...

An Image showing  the text "The End"

හදවතෙහි ඇත්තේ විග්‍රහ කල නොහැකි බරකි...ඔහු නික්ම යාමට සැරසෙන බව මා කල් තියාම දැන හුනිමි... එහෙත් මරණ මංචකයේ සිටි ඔහුගේ සුව දුක් බැලීමට මා නොගියෙමි...සියලු වැදගත් ශරීර අවයවන් ඔහුව ප්‍රතික්ෂේප කරන විට, ඔහුටද ජීවත් වීමේ ආශාවක් නොතිබෙන්නට ඇත...ඒ නැතත්, ඔහුට කිසිදාක ජීවිත ආසාවක් තිබුන බවක්, ඔහුගේ කතාවෙන් හෝ ක්‍රියාවෙන් මට හැඟී නැත...

"නංගි, ඔයාට එයාව මතකේ තියන විදියටම හිතේ තියා ගන්න...දැන් ඉන්න විදියට දැක්කොත් හිතට අමාරු වෙයි"

මම ඒ අවවාදයට හිස නමා එකඟ වීමි...අඩි දහයක් දුරින් ඇති ජාතික රෝහලේ දැඩි සත්කාරයේ සිටි ඔහුව නොබලා ආපසු හැරී ආවෙමි...එහෙත් අද ඒ ගැන මා පසු තැවෙමි...ඔහු ගැන මතකයන් පීරමින් අවුරුදු දහ තුනක් ආපස්සට මම ඇවිද යමි...

ඒ දෙදහස් තුන වර්ෂයේ මැද භාගයයි...මා කල යුත්තේ කුමක්දැයි හරි හැටි නොදැන විද්‍යාගාරයේ ඒ මේ අත ඇවිද ගිය කාලයයි...එකල මට ඔහු බොහෝ අද්භූත පුද්ගලයෙකු විය...

ඔහුට තිබුනේ බුරුසු රැවුලකි...ඉතා සිහින් මුදු සහිත කැරළි කොණ්ඩයකි...

"අඩුවෙන් කතා කරන්න...වැඩියෙන් අහන් ඉන්න...ඉහලම සේවකයාගේ ඉඳන් කම්කරුවා වෙනකල්ම එක වගේම මිනිස්සුන්ට ගරු කරන්න...පර්යේෂණ කරද්දී ඒක බොහොම වැදගත්...කෙනෙක්ගේ දෙයක් තව කෙනෙක් එක්ක කියන්නෙපා කවදාවත්ම"

තුන්කාලයටම වටිනා මේ උපදේශය මා එදවස ඉහලින්ම පිළිපැදීමි...විවිධාකාර වූ අමනුෂ්‍ය ගති පැවතුම් ඇති මිනිස් වර්ගයා සමඟ, දේශ දේශාන්තර වල ඔළුව බේරාගෙන ජීවත් වීමට මට අදටද මහෝපකාරී වෙන්නේ මේ ක්‍රමයයි...

මා ඔහුටද අනුගමනය කලේ ඒ පිළිවෙතමය...

අඩුවෙන් කතා කරන ඔහු, අසික්කිත වූද, එහෙත් පියකරු වූද ඒ සිනහව සමඟ බොහෝ විට දොඩමළු වන්නේ කට කැඩුණු කතාවකට පමණය...එසේ නැතහොත් වාමාංශික දේශපාලන කතිකාවකටය...අති බහුශ්‍රුත සාකච්ඡාවක් අවසානයේ, ඔහු සියල්ලෝම ඉච්චා භංගත්වයට පත් වන වචන කිහිපයක් මුමුණා මහ හඬින් සිනා වෙයි...

එකල විසි හතර වියැති මට, ඔහුව පෙනුනේ කිසි දෙයක් මායිම් නොකරන පුද්ගලයෙකු ලෙසය...හැඟීම් විරහිත මිනිසෙකු ලෙසය...එහෙයින්ම, එහි ගත කල පළමු වසර පුරාම මට ඔහු ප්‍රිය ජනක පුද්ගලයෙක් නොවුනි යැයි කිවහොත් වඩා නිවැරදිය...

එහෙත්, එහිදී ආචාර්ය උපාධියකට සම කල නොහැකි ජීවිත හැදෑරීමකට මට ඉඩ හසර ලැබිණි...මා වැඩිහිටියෙකු වූයේ, එකල මැදි විය ආසන්නයේ සිටි, විවිධාකාර ගති පැවතුම් ඇති, ඔවුහු ඇසුරේ කීම වඩාත් නිවැරදිය...කල් ගත වෙත්ම, ඔහු ඇතුළු සියල්ලන්ම වෙන් වෙන්ව කියවීමට මම හුරු වූයෙමි...

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල හයරාකියේ අඩුවක් නැත...රටේ සංස්කෘතික රාමුව නිමවී ඇත්තේ ඇස් බැල්මෙන් පවා ලිංගික උත්තේජනය ලබන මිනිසුන් සමූහයකිනි...එවන් වටපිටාවක, තරුණ යුවතියක්, වැඩිහිටි පිරිමි කාර්ය මණ්ඩලයක් සමඟ, රැයක් දවාලක් නොසලකා විද්‍යාත්මක පර්යේෂණ කිරීම යනු අතුරේ යෑමකි...මා අනුමාන කරන අන්දමට එවන් ගැටළු දියුණු රටවල පවා ඇත්තේය...

පසුගිය දිනක විශ්ව විද්‍යාල අචාර්ය වරයෙකු විසින්ම රචනා කර තිබූ ගීතයේ හරය එයට හොඳම නිදසුනකි...නොකී කතා බ්ලොගයේ ඒ ගැන අපූරු සටහනක්ද තබා තිබිණ...


පර්යේෂණ ආරම්භ කල පසු නිබන්ධනය ලියා අවසාන කිරීම හැර අනිකුත් විකල්පයක් නැත්තේමය...තාරුණ්‍යයේ අගනාම කාලය විද්‍යාගාරයකට සිර කර තබන්නේ, ජීවිතයේ ඉදිරි සැලසුම් සියල්ලේම පදනම එය මත තැබූවන්ය...නේක වර්ගයේ අඩම්, තේට්ටම්, හිත් රිදවීම්, මානසික පීඩා සියල්ල විඳ දරාගෙන මහා පරිමාණ කට්ටක් කා, ඒ සෙනසුරු ඒරාෂ්ටකය ගෙවා දැමිය යුතු බව, එහි වග තුග දන්නෝ, දනිති...   

එහෙත් අපෙන් නික්ම ගිය ඔහු ඇතුලු, ඒ සියල්ලෝම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්වරු වූහ...එය මෙහි ලියා තබන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල, තවමත් එවැනි මහත්වරුන් සහ වන්දනීය වූ ආචාර්ය වරුන් සිටින බව ඔබ සැමගේම දැනගැනීම පිණිසය...

අනේක වූ පෘතග්ජන සිතුවිලි ඇත්තෙකු වූවද, ස්ත්‍රියකට ගරු කරන සම්ප්‍රදාය දන්නා මහත්මයකු වූ හෙයින් කල් ගත වත්ම මම ඔහුටද එලෙසින්ම ගරු කරන්නට පුරුදු වුනෙමි...මා අප්‍රිය යැයි සිතන ඔහුගේ සිතිවිලි පසෙක ලා, ඔහුගේ ඇති ගුණ කියවන්නට මම හුරු වීමි...

එහි ගත කල වසර හත පුරාවටම, මගේ පර්යේෂණ සඳහා දායක වීමට, කිසිදාක ඔහු අදිමදි කල වගක් මට සිහියට නගා ගත නොහැක...මදුරුවාගේ සිට වානරයා තෙක්ම සත්වයින් සමඟ හරඹ කල එම පර්යේෂණ වලදී, ඔහුගෙන් මම බොහෝ සියුම් දෑ උගත්තෙමි...

දුෂ්කර වූ පර්යේෂණ කටයුත්තක කොටසක් සඳහා කොළඹින් පිට යමුදැයි ඇසූ විට ඔහු මට බැහැයි කීවේ නැත...මම අදද ඒ වෙනුවෙන් ඔහුට ගෞරව කරමි...එතෙක් කලක් අප වෙනුවෙන් ඒ රාජකාරිය කල උදව් කරුවන්, එදා නොමැති වූ හේතුව මට අද පැහැදිලිව මතකයේ නොමැත...එහෙත් මා එදා හිතින් බොහෝ අසරණ වූ බවක් පමණක් මට මතක ඇත...

මා ආචාර්ය උපාධිය ලබා ගත්තද, ඔහුට ඒ වෙනුවට ලැබුනේ දීමනාවක් පමණි...එවන් දුෂ්කර කාර්යයන් ඔහුගේ රාජකාරි ලයිස්තුවේ නොතිබුන බවද මා හොඳින්ම දනිමි...එහෙත් ඔහු ඇතුළු කිසිදු සගයෙකු මා හට ආඩපාලි නොකීහ...කිසිදු අල්ලසක් නොඉල්ලූහ...කොරහේත් කිඹුල්ලු දකිනා, ගෞරවනීය රජයේ සේවකයින් වූ ඒ තාක්ෂණික නිලධාරි මහත්වරුන් සහ අනෙකුත් සේවකයින් සියලු දෙනාම මට එදා වචනයකින් හෝ හිත නොරිදවීම සම්බන්ධයෙන් අදටද මා ඔවුනට ණය ගැතිය...


ඒ අවසන් පර්යේෂණයේ ඉතාම තීරණාත්මක දවසක් විය...එදා මගේ සීයාගේ මෘත දේහය නිවසේ තැන්පත් කර තිබුණි...මා කතා කරගැනීමට පවා නොහැකිව අසනීප වී තිබුණි...ඒ සියල්ලම අතරේ මා විද්‍යාගාරයේ සිටිය යුතු විය...එදා රාත්‍රිය වෙන තෙක්ම ඔහු, ඔහුගේ රාජකාරිය කළේය...අසනීපයෙන් සිටි මා කලේ, ඔහු දුන් දත්ත සටහන් කර ගැනීම පමණි...එදා අනෙකුත් සගයෝද මගේ සහායට සිටි බව කිව යුතුමය...

මගේ ස්තුතිය වෙනදා මෙන්ම ඔහු නිහඬ සිනාවකින් මග හැරියේය...ඒ අප එකට කල අවසන් පර්යේෂණයයි...

පර්යේෂණ වලට ලැබුන සම්මාන සහතික වල පිටපත් ඔහුට ලබා දෙන විට ඔහු සමච්චලයෙන් සිනාසුනේය...ඔහුගේ හැටි එහෙමය...සම්මාන ගැන හෝ පර්යේෂණ ගැන ඔහුට වගක් නොවීය...සම හරක් ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ පර්යේෂණ වල ඇති පුස්ස, එකල මටත් වඩා හොඳින් දැන සිටි ඔහු, එසේ සිතීම අරුමයක් නොවේය...

ඔහු මැදි වයස පසු කරමින් සිටියදී, උන් හිටි ගමන් මධ්‍යම කඳුකරයෙන් බිරිඳක කැන්දාන ආවේය...ඇය සමාජය හා ගැටී නැති කුටුම්බ්ගත ස්ත්‍රියකි...නාගරික සමාජය තුල ඇගේ ක්‍රියාකාරිත්වය බොහෝ සීමා සහිත විය...වසර ගණනාවක් අවෑමෙන් වුව, එය අදද එසේම බව ඔහුගේ සගයෝ පවසති...

ඔහුගේ හුරතල් පුතු ඉපදුන දා අප සියල්ලෝම දරුවා බලන්නට ගියා මට මතකය...එහෙත් අප මිත්‍රයාගේ මුහුණේ නිරන්තරයෙන් ඇඳෙන සමච්චල් හිනාවට වඩා යමක් මට එදාද පෙනුනේ නැත...

මා නිබන්ධනය ලියන කාලයේදී ඔහු රෝගී වීම ඇරඹිණි...එක් වකුගඩුවක් අක්‍රියව තිබියදීද, ඔහුගේ සමච්චල් සිනහවේ කිසිදු අඩුවක් නොතිබිණි...හිතේ අමාරුව තිබුනේ රෝහලේ සිටි ඔහුට නොව, ලෙඩා බලන්නට ගිය අපටය...

කාලාන්තරයක් තිස්සේ වියළි කලාපයේ සේවය කොට එහිදී හටගත් මුත්‍රා ගල් වලට, ඔහු ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කර ඇත්තේ හිතු මනාපේටය...නියම කාලසටහනකින් තොරව ප්‍රතිජීවක පාවිච්චි කරන විට විෂබීජ ඒවාට එදිරි වෙයි...ඒ නැතහොත් ප්‍රතිරෝධී වීම ඇරඹේ...අප මිත්‍රයාගේ වකුගඩුව ආසාදනය වී තිබුනේ සියලුම ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධය දක්වමිනි...එහෙයින් අවසානයේ ඒ වකුගඩුව ඉවත් කිරීමට තීරණය විය...

මා උපාධිය නිම කර, ලංකාව හැර ආවේ ඒ කතන්දරයේ මැද භාගයේදීය...

එහෙත් කිසිවක් මායිම් නොකරන ඔහු, අක්‍රිය වූ වකුගඩුව ඉවත් කර නොතිබිණි...

ඔහුව මට අවසන් වතාවට හමුවූයේ දෙදහස් පහළොව වර්ෂයේ මැද මා නිවාඩුවට ලංකාවට ගිය වතාවේදීය...කේක් කැබැල්ලක් කමින් ඔහු මට කිවූ කට කැඩිච්ච වචන දෙක තුන මට අද මතක නැත...එහෙත් එහි තිබුනේ සමච්චලය පමණක්ම බව මට ඉඳුරාම කිව හැක...

මෙදා පාර වට මේසයේ කේක් කන්නට ඔහු සිටියේ නැත...ඔහු අප අංශයෙන් වෙනත් අංශයකට මාරු වී ගොස්, එතැනින් නොනැවතී අවසන් ගමනට සැරසෙන බව පමණක් මට අසන්නට ලැබුනි...

"කොම්ප්ලිකෙෂන්ෂ් ගොඩයි...බ්‍රේන් ක්ලොට් එකක්...හිමොග්ලොබින් වැඩියි...හාර්ට් එකේ ඉජෙක්ෂන් ෆැක්ටර් එක 30% වගේ..."

අප කිසිදා නොදැන සිටි තරම් ඔහු සිගරට් පානය කල බවක්ද, අඩුවක් නොමැතිව මත්පැනින් සප්පායම් වූ බවක්ද ඔහුගේ සගයෙක් මට කියා සිටියේය...

"මට ඌව තේරුම් ගන්න බෑ...ඉස්සර සයිට් එකේ ඉන්න කාලේ අහල පහල ගෙවල් වල ළමයින්ට උන්නු හිටි ගමන් ටොෆි, චොකලට් ගිහින් දෙනවා"

එසේ කල ඔහුගේ දරු පැටව් දෙදෙනාගේ අනාගතය ගැන, ඔහුට නොහිතුනේ ඇයි?

"අපිට පුළුවන් දෙයක් කරමු...දැන් එයාට සිහි කල්පනාව මදි...හොස්පිට්ල් එකෙන් ගෙදර එක්කගෙන ගියා...අයි ඩී එක කරෙන් ගලවල දෙන්න වගේ හදනවා...සාක්කුවට අතදාල මොනවද ගන්න වගේ හදනවා, මාව දැක්කම..."

ඒ මා පසුගිය නත්තලේ, ලංකාවෙන් පිටව ඒමට පෙර ඔහුගේ තත්වයයි...එදා මට වේදනාවක් දැනුනේ ඔහු පිළිබඳව නොව, වගකීමකින් තොරව ඔහු මෙලොව අතරමං කර යන්නට තතනන දරු දෙදෙනා ගැනයි...

එකෙක් දෙන්නෙක් හැරුනකොට බොහෝ දෙනෙකුට ඔහු ගැන දුකක් නොතිබිණ...ජීවිතය ගැන වගකීමකින් ක්‍රියා නොකරන බහුතරයක් මිනිසුන් ගැන කිසිවෙක් දුක් වෙන්නේ නැත...

දෙදහස් දහසය අවුරුද්දේ, අවසාන දවසේ ඔහු නික්ම ගොස් තිබිණි...

අවුරුදු පනස් හතකින් ඔහු ජීවිතය විඳ අවසන් කළේය...අවුරුදු දහයක් වන් තම වැඩිමහල් පුතණුවන්ට ජීවිතය විඳවන්නට ඉතිරි කර ගියේය...හයක් හතරක් නොදන්නා පොඩි පුතණුවන්ට හුස්මක් ගන්නටවත් ඉතිරි නොකරම ඔහු යන්නට ගියේය...විශ්‍රාම වැටුප් නොමැතිව, අරමුදල් සියල්ලම ණය වලට හිලව් කර ඔහු බොහෝ සැනසිල්ලේ යන්නට ගියේය...

අවසානයට පහල වන චිත්තක්ෂණ කෝටියක් මැද ඔහුට සුපුරුදු සමච්චල් සිනහව ඔහුට කිසිසේත්ම අමතක නොවන්නට ඇත...

උපන්නාට ජීවත් වන්නවුන්, තවත් ජීවින් මෙලොවට බිහි කල යුතු නැත...අප යැපෙන්නන් බිහි කල පසු, අප කන බොන දෑ ගැන පවා වගකීමක් අපට ඇත...ඒ සඳහා මෙය කියවන ඔබ එකඟ වෙනවාදැයි නොදනිමි...එහෙත් හයක් හතරක් නොදන්නා දරු පැටවුන්ගේ භාරකාරීත්වය, වාසනාවට හෝ කාලයට පවරා අපට හිතුමතේ කා බී විනෝදෙන් සිටිය නොහැක...එසේ කල හැක්කේ ඔබ ඔබේ වගකීම් නිසි ලෙස ඉටු කොට ඇත්නම් පමණි...

.........................................................................................................................................

මගේ ආදරණීය මිත්‍රයා...

මගේ වෘත්තිමය ගමන්මග තුල, ඔබ ඉටු කල රාජකාරිය, ඔබට බොහෝ සුළු වෙන්නට ඇත...විටක ඔබට මා පිස්සෙකු ලෙස පෙනෙන්නටද ඇත...

එහෙත් ඔබේ ශ්‍රම දායකත්වය නිසා මා අද සුවසේ වෙසෙමි...එදා විද්‍යාගාරයේ මෙලෝ හසරක් නොදැන, එහෙ මෙහේ ගිය කෙසඟ යුවතියට ජීවිතය ජය ගැනීමට, ඔබ දුන් දායකත්වය මිල කල නොහැක...එතැනින් පිටවූ මා වැනි බොහෝ දෙනෙකුට ඔබ එසේ කරන්නට ඇත...

ඔබ සතුව එදා තිබුණ විශේෂ ප්‍රාගුන්‍ය ගැන ඔබට හැඟීමක් නොතිබෙන්නට ඇත...කිසිවෙක් ඔබේ සේවය ඇගයීමට ලක් කලේද නැත...එහෙත් විදේශයකදී, ඒ විශේෂ ප්‍රාගුන්‍ය පැය දෙක තුනකදී ඩොලර් පන්සියකට අලවි වන බව ඔබ දැනගත්තා නම්, ඔබට තමන් ගැන යන්තමින් හෝ අගයක් දැනෙනු ඇත... 

නැවත අප හමු නොවෙනු ඇත...එහෙත් ඔබ සුවිශේෂ මිනිසෙකු ලෙස මා හදවතේ රැඳෙනු ඇත...

ඔබට සුබ ගමන්...එහෙත්, ඔබ නික්ම යාමට හදිසි වූවා වැඩිය...

........................................................................................................................................