Showing posts with label කෙටි කථා. Show all posts
Showing posts with label කෙටි කථා. Show all posts

Thursday, November 2, 2017

Fantasy vs Reality....යථාර්තයෙන් ඔබ්බට...


A couple in heaven-Image from the internet

Are you okay?

සියල්ල සිදුවී අවසානයේ ඇයට කෙටි පණිවුඩයක් ලැබින.

ඇය හුන්නේ ඉතා කලබල වූ නගරය මැද බොහෝ ඉවසිලිවන්ත වූ නිල් අහස දෙස බලාගෙනය. එහෙත් සිත තුල වූයේ අධිවේගී මාවතකි. එහි තැනක කැබලි වී ගිය කාරය තුල, ඇය අසීරුවෙන් අවසන් සුසුම් පොද පිට කරමින් උන්නාය. ඇයගේ ස්නායු හරහා සිදු වූ සියලු රසායනික ප්‍රතික්‍රියා නැවතී තිබිණි. මහා දවාලේ, හිරිගඩු පිපෙන සීතලක, ඉර වගක් නොමැතිව සිටින කල, ඒ කෙටි පණිවුඩය අසනි වැස්සක්  සේ දැනෙන  ෆැන්ටසියෙන් ඇය ඒ මොහොත වෙද්දී මිදී තිබිණ. ඇය කළු කුහරයක සැඟවූ ප්‍රේමය, මන්දාකිණියක, ඔහුගේ සඳ එළිය වැටෙන මානයේ නැවතත් තැබිය යුතු නැත.

අහස බොහෝ සේ විසල් බවත්, ඒ සාම හිස් බවත් ඇයට හැගිණි. තව නොබෝ දිනකින් උදාවෙන දින සියල්ලම ඒ තරමටම හිස් වනු ඇත.

ඇයට බොහෝ වෙහෙසකර බවක් දැනිණ. 

විසි අවුරුද්දකට වඩා දින පිරවූ එකම අරමුණ වුයේ සිය ආදරණීයයන්ගේ සතුට නොවේදැයි, ඇය තමාගෙන්ම ප්‍රශ්න කලාය. ඒ ගමන තුල, තමාගේ හැඟීම් කවරාකාරදැයි යම් තරමකින් හෝ තෝරා, බේරා ගැනීම‍ට ඇය නොනැවතුණු බව දන්නී ඇයම පමණකි. පිටත සිට බලන්නෙකුට ඇය, අපරාජිත, අරමුණු සපුරා ගත් ගැහැණියකි. එවන් ලොවක, තමා සතු සියලු ශක්තිය, අන් අය කෙරෙහි කැප කල බොහෝ වෙහෙසකර යුවතියකගේ, සැඟවුණු ප්‍රාර්ථනා තිබීම, මරණ දඬුවම ලැබිය හැකි වරදක් බව අද ඔප්පු වී හමාරය.

"Poor Sad Woman...She is ruining happiness of everyone else...looking for her own happiness..."

ඒ වචන ඇයගේ මොළයේද, හදවතේද සියුම් ම නහර විනිවිදිමින් තිබිණි. එයින් ඇති වූ කුඩා සිදුරු වලින් පිටවූ වේදනාව ඇයගේ හදවත අකර්මන්‍ය කිරීමට තරම් ප්‍රබලව නැගිණි.  

ඔහු ඇය දිනා ගැනීමේ තරඟය තුල, ඉතා අවදානම් අන්ත කරා යාම අරඹා බොහෝ කාලයක් ගත වුවද, ඔහුට අවැසි කුමක්දැයි ඔහුවත් නොදැන හුන්නා වෙන්නට පුළුවන. එසේත් නොමැති නම් ඔහු හුදෙක් සෙල්ලක්කාරයෙකු වන්නටද පුළුවන.

එහෙත්, ඔහු අසලදී ඇයට ආදරණීයම වූ ප්‍රේමයද, රැකවරණයද දැනෙනා තරමටම, ඔහු කුමක් හෝ එක්තරා අන්තයක් ප්‍රගුණ කල අයෙකු වග පමණක් ඇය නිහඬවම තීරණය කලාය. ජීවිතයේ ප්‍රථම වතාවට, ප්‍රේමයට අකුරු මදිවෙද්දී, බොහෝ විට ඔහු ගේ දෑ ස මත්තේ කාලය නැවතී තිබිණි.  

ඔහු දෑස් වලින් උණ්ඩ විසි කල අතර, ඇය ඒවායින් වෙඩි තබා ගත්තාය.

අප අරඹන සියලු වැකි අවසන් වන්නේ නැවතීමේ තිතකිනි. ඒ තිත ඉක්මනින් තැබීමට ඇය ආත්මාර්ථකාමී යැයි කියූ ඒ වචන පෙළ බොහෝ ඉවහල් වූ බව කිසිවෙකු දන්නේ නැත. 

ඇයද ඔහු තරමටම උමතු, හිතුවක්කාරියක වග, ඇයගේ සමු ගැනීමේ අවසන් කෙටි පණිවුඩය ලැබෙන තුරු ඔහු සිතන්නට නොමැත. 

තම හිතෛෂියන් වෙනුවෙන් වෙන් කල ගමනේ, මදකට නැවතී ඔහුට අසීමිත ලෙස ප්‍රේම කිරීමේ දඬුවම තීරණය කිරීම ඇය සතු අයිතියකි. 

ඇය හිමාලයාවේ උසම තැන් වෙත ජීවිතයේ සුක්කානම ගෙන ගියේ, ඇය වටා හුන් සියල්ලෝම සතුටින් තබන්නටය. බැඳීමට කිසිවක් නොතිබූ කල, ඇය ඒ ගමන සඳහා මෙහෙයවූ සුක්කානමට බොහෝ සේ බැඳී තිබිණි. අන් සියල්ලෝම ඇයගේ ආදරයෙන් සතුටු වෙද්දී, ඇය අජීවී, හැඟීම් දැනීම් නොමැති කාල සටහන් ලුහු බැඳ සැනසුනාය. රැයක්, දවාලක් වෙනසක් නැති ජීවිත කාල සටහනේ නිද්‍රාවෙන් ඇය අවදි වූයේ, ඔහු එන දාට අහසේ ඇඳුන විදුලි සැර වල තිගැස්මෙනි. 

ඒ කාල සටහන් සියල්ලම මතකයක් කර ඇය යන්නට යන බව ඇසීමෙන් පුදුම වූවා යැයි කියූ ඔහුගේ ස්නායු දත්ත කොයි යම් දැයි සිතන්නට ඇයට නිනව්වක් අද නැත.

Are you okay, please let me know that you are?

ඇය මළානික දුරකථන තිරයට හිස් බැල්මක් හෙලා, රියදුරු අසුන තුල ගුලි වූවාය. 

හිස ගසා හඬා වැලපෙන්නට අවැසි උරහිසේ අයිතිකරු, ඔබ හොඳින්දැයි, ඇයගෙන් අසයි.

Kill me...

එසේ නොකියා ඇය දුරකථනය ක්‍රියා විරහිත කලාය.

බොහෝ දුර සිට බැලූ කල ඉතා උස්ව නැගී ඇති කඳු මුදුන් සියල්ලම, අසීරුවෙන් නැග ගත්‍ කල, ඇත්තේ හාත්පස හිස් බවකි, තැනිතලාවකි, හුදකලාවකි. ඔබ නොදන්නා, නොදුටු කිසිවක්, ඒ මහා උස කඳු මුදුන් වල නැත. එහෙයින්  තැනිතලාවේ සුවෙන් ජීවත් වනු විනා අසීරුවෙන් කඳු මුඳුන් තරණය කිරීම, අනවරත වෙහෙසකි.

Do you love me ?

ඔහුගේ දෑස මත, අළු පැහැයෙන් දිලිසුන කුඩා මැණික් පලිඟු තුල ඇය එයට පිළිතුර කෙටූ වග, ඔහු නොදකිනු ඇත. 

ඒ අප කිසිවෙක් තමන්ගේ දෙඇස් වල ලියැවී ඇති දෑ මන්දැයි විශ්ලේෂණය නොකරන බැවිනි....



..........................................................................................................

ඇයගේ උකුල මත අළු වන් ඇස් ඇති, කුඩා සින්ඩරෙල්ලාවක නිදා වැටෙන්නීය. ඔහුගේ කැරලි හිස කෙස් ඇයගේ උරහිස මතය...

ඔහුගේ පය පාමුල කුඩා කෝච්චියක් සමඟ හරඹ කරන කොලු පැටියාද, ඔහු සේම හිතුවක්කාරයෙකි.

අවසාන තිත් තැබීම ඒ තරම් පහසු නම්, බොහෝ දෙනා ඒ තිත තමා ලඟම තබා ගනු ඇත.

ඇය එදා නික්ම ගොස් ජීවිතය සොයා ගියේ නැත. ඇයට උවමනා වූයේ සියලු රැහැන් බිඳ ලා තනි වන්නටය.  එසේ ගිය ගමනක ඔහුගේ දෑස කොළ එළියක් වී දැල්වෙද්දී, ඇයට රතු එළියේ නවතින්නට අමතක විය. ඇයගේ සියලු ඉන්ද්‍රියන් අවසඟ වෙද්දී, ඔහු සියලු ලේ නහර වල කිමිදී දැනෙන වේදනාව කොයි තරම් සියුම් දැයි ඇයට දැනුණි.

දින ගණන් ගෙවී යද්දී, ඇයට හුරු පුරුදු අකුණු සැරය ඇයගේ ඇඳ ඉහපත ඇඳෙනු ඇය බලා සිටියේ මලානික දෑසිනි. ඔහු ඇයගේ හදවත පුරා තැනින් ඇති කල සුව නොවූ පැලුම් වලට, ප්‍රේමය බහාලූයේ ඉතා මට සිලිටි ලෙසය.

විල් යූ මැරි මී....ඩූ යූ ලව් මී....

ඇය තබන්නට සිතු අවසාන තිතට, නොනවතින තිත් එක්‌ කල හිතුවක්කාරයාගේ හිස ඇයගේ උරතලය මත කඩා වැටී තිබුණි. 

ඇය ඔහු අවදිවන තුරු නොසෙල්වී දෑස පියා ඉන්නට තීරණය කලාය...

...................................................................................................................................................................


මේ කතන්දර දෙක තුලට ෆැන්ටසිය හෝ රියැලිටිය ආරෝපණය කිරීම ඔබ සතු වග කීමකි. වටිනාම දෙය වන්නේ සෑම ෆැන්ටසියක්ම, රියැලිටියක් කිරීමට උත්සාහ නොදැරීමයි. ඒ මන්ද යත්, රියැලිටියේ ඇත්තේ, ෆැන්ටසියට වඩා බොහෝ වෙනස් මනෝ භාවයන් බැවිණි.

............................................................................................................


මට ආදරේදැයි ආයෙමත් නාසන්න 
ඕනෙමද හේතුවක් ප්‍රේමයක් උපදින්න
අහඹු ඇස් බැල්මකට, ඕනෙ නෑ උප්පැන්න
අයිතියක් කුමකටද හෙවනැල්ලෙ හැප්පෙන්න...


උල්පතක් හිර කරන් දුක් විඳින කන්දකට
අකුණු සැර එව එවා සමච්චල් නොකරන්න
දරා ගන්නට බැරිව නාය ගියොතින් ඔන්න
මේ තරම් ආදරේ තිබුනිදැයි නාසන්න...


පුර හඳක් සැරසෙද්දි පෝරුවට ගොඩ වෙන්න
මියැදිච්ච තරුවකට නාඩන්න නොකියන්න
කළු කුහර තියෙන්නෙම හිතුනාම තනිවෙන්න
සඳ එළිය නොවැටෙන්න, ආයිමත් නොබලන්න....


.................................................................................
මට ආදරේදැයි ඉතින්, ආයෙමත් නාසන්න
................................................................................


WW!!!




Saturday, March 18, 2017

අයි වොන්න හග් යූ...




A  couple hugging each other 



ඇතුල් වීමේ දොරටුව වසන්නට ආසන්නය...

සමාවෙන්න...මා හිඳින්නේ ගුවන් තොටුපොළකය...හොඳින් උණුසුම් වූ හදවතක් ඇති මිනිසෙකුට එකවර හඬන්නටත්, හිනැහෙන්නටත් හැකි තැනක් ඇත්නම් ඒ මෙතැනය...



මා යා යුතු තැනද, කල යුතු දෑද, දෛවය විසින් කල් තබාම තීරණය කොට තිබිණ...එහෙත් මට කිසිදු අරමුණක් නැත...



මගේ ජීවිතයද නිශ්චිත ධාවන පථයකට ඇතුළු වූ ගුවන් යානයක් වැනිය...සියලු දත්ත බහා ඇති මොළය හදවත සමඟ ඇති සබඳතා සියල්ලම නවතා දමා, ස්වයංක්‍රිය ධාවනයක යෙදෙයි...



එය වෙනස් වන්නට නම්, ඇගේ දෑසෙහි ඇති සෞන්දර්යය, මගේ හදවත මත පින්තාරු කල යුතුය...





එහෙත් මා හදවත සන්තකව තුබූ සියලු වර්ණද, පින්සල් ද, කඩදාසි කොළද, දැන් අයිති ඇයටය...ඇය ඒවා සොරා ගත්තාද, නැතහොත් මා ඒවා රැගෙන යන ලෙස ඇයට පෙරැත්ත කළාදැයි, මට නිශ්චිතවම කිව නොහැක...


මම දෑස් පියා ගන්නෙමි...



ගුවන් යානා අසුනට උඩින් ඇති වා කවුළුව වසන්නැයි ඈ මගෙන් ඉල්ලා සිටින්නීය...ඉන් පසු, ඈ මගේ වම් උරතලය මත ඇගේ සීතල කම්මුලක් රඳවන්නීය...මගේ වමත ගෙන, ඇගේ දකුණතේ ඇඟිලි කරු තුල රඳවා ගන්නීය...ඒ අතැඟිලි බොහෝ සීතලය...එදා සේමය...ඇයට කථා කරන්නට වුවමනා නැත...එහෙත් ඇය මා දෙස හොරැහින් බලන බව මම දනිමි...ඇයට හාදුවක් වුවමනා වී ඇත...


ඔබට සිහිනයක් කෙතරම් චමත්කාරජනකදැයි අනුමාන කරන්නට හැකිදැයි මා නොදනිමි...විශ්වීය තරු සියල්ලම පෑයූ අහසද, නොනැවතී කඩා හැලෙන නයගරාවද, ශ්‍රී පාදයේ ඉර සේවයද, සිය මවගේ තනයේ එල්ලී සිටින පොඩිත්තෙකුගේ අහංකාර බැල්මද, ඒ අමන්දානන්දයේ කුඩාම ඒකකයට සම කල හැකි බව පමණක් කියමි...

සිහින එසේය...එය මනෝවිද්‍යාවේදී ඔබ කෙසේ වර්කගීරණය කලද, සිහින යනු ලොව ඇති මිල අධිකම මත් පැන් වර්ගය බව දන්නේ, එයට ඇබ්බැහි වූවන් පමණි...

ඇය මට හමු වන්නේ එක්තරා අඳුරු කොරිඩෝරයකදීය...එක සෙවනැල්ලක අවෑමෙන්, එදා මට නොපෙනී ගිය ඇගේ දෑස නැවත මා දකින්නේ, ඒ කොරිඩෝරයෙන් අවසන් වන හුරුබුහුටි කාර්යාල කාමරය තුලය...

ඇයට තිබුනේ අඳුරු වීදියක දැල්වෙන, එකම පහන් කණුවක් වන් වූ දෑසකි...විටෙක ඒ තුල මල් සොයා යන සමනලුන්ද, සිහිනයෙන් අවදි වූ නිදි කුමාරියන්ද බහුල විය...තව බොහෝ විටෙක තොරතෝංචියක් නැතිව කියවන කුඩා දැරියක්, ඒ දෑස් තුල ඉබා ගාතේ යනු මම අනන්ත දැක ඇත්තෙමි...

"අකාශ් පොඩි ඇක්සිඩන්ට් එකක් කරගෙනනේ...තියෙන හදිස්සිය...කොච්චර කිව්වත් අහන්නේ නැහැ"

අපි මුණ ගැසී දෙදිනකට පමණ පසු හදිසියේම මා සොයා පැමිණි ඈ දුක්මුසුව කීවාය...

ආකාශ් කවුදැයි මා ඇගෙන් ඇසුවේ නැත...මට අසන්නට අයිතියක් තිබුනේද නැත...එහෙත් එදා මෙදා තුර නොවෙනස්ව දැනෙන, නිධන් ගත හදවතේ දැවිල්ල ඇරඹුනේ එදාය...

එතැන් පටන් අප දිවා ආහාරය ගත්තේද, බොහෝ විට කාලය ගත කලේද එකටය...

ඈ ඇහැකි සෑම විටකම මගේ සුසුමක් වැදෙන දුරින් හිඳින්නට යත්න දරුවාය...වරෙක සෙමින් පැමිණ, ඈ මගේ උරතලය මත ඒ සීතල අතැඟිලි තැබුවාය...

ඇයගේ සෙවනැල්ල ප්‍රමාද වන දාකට, මගේ හදවත බොහෝ සේ හිස් බව මට දැනුන වාර අනන්තය...

ඈ නොපැමිණි සෑම දවසකම, මා විසින් සොයා ගත් අඳුරු මුල්ලකට වී, දිනපොතක පිටු පුරා මම ඇය ගැන ලියා තැබුවෙමි...

"අපි දෙන්න ආදරේ කරනවා...ඒක මං දන්නවා...ඒත් එයා මට තවම ඒක කියල නැහැනේ..."

ඇය එසේ කියූ සෑම වතාවකම මම ඇයව අස්වැසුවෙමි...නිසි කලට ඔහුගේ ප්‍රේමය ඇයට පවසනු ඇති බව කීවෙමි...

"අයි වොන්න හග් යූ"

එදා ඇය එසේ කියූ විට මම දෙපාරක් නොසිතාම ඇයව තදින් වැළඳගතිමි...ඒ ඉතා කෙටි වූද, දැඩි වූද, චුම්බ්නයේ ගැබ්ව තුබුනේ අප්‍රකාශිත ප්‍රේමයක ගැඹුරය...වේදනාවය...කඳුළුය...එහෙත් ඒ කිසිවක් ඇගේ නොව මගේය... 

මම ඇය කල කී දෑ කිසිවක් විශ්ලේෂණය නොකරමි...ප්‍රේමය ඇත්තේ සොය සොයා ලතැවීමට නොව, රිසි සේ බෙදා දීමට බව මම අදහමි...

ඔහු නිසි කලට පැමිණ ඇයව නිද්‍රාවෙන් අවදි වන හාදුව දුන් කල, ඇය මා අපේක්ෂා කල ලෙසටම අවදි වූවාය...මම එතැන් සිට සිසිර තාරක නින්දට වැටුනෙමි...

මගේම සොහොන් ගැබ තුල පණ පිටින් මිහිදන් කල විටෙක දැනෙන අප්‍රමාණ වූ වේදනාවක් මට එදා දැනින...

අද මගේ හදවත ප්‍රේතයින් පවා අත්හැර දැමූ සොහොනකි...තවෙකෙකුට ඇලී, ගැලී විඳින්නට තරම් සෞන්දර්යයක් එහි නැත...සොහොනක් මතින් සත් මහල් ප්‍රාසාදයක් ඉදි කල පසු, බොහෝ පෘතග්ජන සිත් ඇත්තෝ එහි පොළොව කැණ පතුල හාරන්නේ නැත...

ප්‍රේමය මනෝ ව්‍යාධියක් බව නොකියන්න...

එහෙත් ඉඳහිටක දරා ගත නොහැකි තනිකමක් දැනුන විටක, ඇය, ඔහු ගැන හෝ කියවමින්, මා ලඟින් සිටියා නම් යෙහෙකැයි සිතෙන වාර අප්‍රමාණය...


එවන් මොහොතක ප්‍රේමය නම් විඳවීම පමණක්ම වෙයි...මම එය පරිත්‍යාගය යැයි සිතා සැනසෙමි...

......................................................................................................................

රෑහියෙකු ළඟ ඇණ තියාගෙන
නෑසියෙකු නැති රැය ගෙවාලන
අමාවක අද වෙඩි තියාගෙන
සඳ වැටුණි හදවත පලාගෙන

මෙච්චරක් කාලයක් ඒ තරම් කලුවරක්
ඇති අමාවක හදක්, හංගාන උන් සඳක්
සුසුමකින් නොඅගවා ප්‍රේමයක් ඇති වගක්
කවි ලියා තිබුනාලු, පිරෙන්නට දිනපොතක්
...............................................................................

ප්‍රේමයේ ඉඟි මැරුම් නොපෙනෙනා කලුවරක
සඳ පරිස්සම් කලෙමි හදවතේ හරි මැදක
අමාවක හා සඳක් නොපෑහෙන ලෝකයක
සඳ නිදහස් කරමි, කලුවරින් මම සබඳ

ග්‍රීෂ්මෙට හැකිලිච්ච වියළි තණපතක් යට
කුඹියෙක් නැවතුනත් මොහොතකට හෙවනකට
ආයිමත් ඈ මෙහේ නේන වග දැනෙන කොට
විඳවීම මිසක මට අරුත් නැත ප්‍රේමයට

රෑහියෝ මං නැතත් නුඹේ ගී උස් හඬින්
ගයාපන් තනි වෙච්ච නිශාචර හිත් ලඟින්
ඈ හිනැහෙන්නෙ, මං හඬන්නෙත් එක හදින්
ඒ හිතට වෙඩි තිබ්බෙ, ඈ ඇගේ ඇස් දෙකෙන්
.......................................................................................................................

සියලු රසික ජනතාවගෙන් සමාව අයදිනවා කවිය නැවත පල කල එක ගැන...කමී ඔබේ අදහසට ස්තුතියි...ඔබ කියූ වචනය වෙනස් කලා...

WW

Monday, February 20, 2017

සොඳුරු හිතුවක්කාරයා 1

Mr Walter White, a fictional character from Breaking Bad TV series


ඇය රෝහලේ කොරිඩෝරය දෙස බලා සිටියේ අරමුණක් නොමැති දෑසිනි...

පෙරදා රාත්‍රිය ඇයගේ ජීවිතයට එක්කාසු කලේ අලුත්ම අත්දැකීමකි...ජීවිතේ පළමු වතාවට රෝහලක රැය පහන් කලා මදිවාට, ඇයට නිදාගන්නට සිදු වූයේ සීතල සිමෙන්ති පොළොව මතය...

විවිධාකාර හෘද රෝග වලින් පෙළුණු, නා නා ප්‍රකාර ගැහැණුන්ගේ ජීවිත වල තුබූ අනේක වූ දුක්ඛ දෝමනස්සයන් අසා හුන් ඇය, තමාට විඳවන්නට කිසිත් සිදුවී නැතැයි පසක් කරගත්තාය...

එහෙයින් සිමෙන්ති පොළොව මත, අලුත් මිතුරියන් විසින් ලබා දුන් රළු ඇතිරිල්ලක් එලා, ඒ මත ඇය රැය ගෙවා දැමුවාය...

ඔහු ඉකුත් දා රැයේ ආපසු නිවස කරා ගිය බව ඇයගේ දුරකතන තිරය මත, කෙටි පණිවුඩයක සටහන් වී තිබිණි...

ඇය තවමත් හැඳ සිටින්නේ, පෙරදා ඔහු තකහනියක් මිලදී ගෙනදුන් තරමක් විශාල මල් වැටුන බ්ලවුසයත්, ත්‍රී ක්වාටර් කලිසමත්ය...

රෝහල් ගත වීම සඳහා සූදානම්ව පැමිණියද, ඇය ගෙනැවිත් තුබූ බ්ලවුසය, ඇයට සවි කල යුතු කුඩා හතරැස් යන්ත්‍රය සමඟ පෑහුණේ නැත...ඇය කලේ ඔහු දෙස අසරණව බලා හිඳීම පමණි...එසැණින් පිටව ගිය ඔහු ආවේ, ඔහුගේ ආදරණීයම වූ ඒ සිනහවත් සමගය...ඔහු අත රැඳුනු ෂොපින් මල්ලෙන්, නෙක වර්ණ සපිරුණ, මල් වැටුන බ්ලවුසය ඇය අතට පත් විණි...

ඇයට මන්දස්මිතයක් නැගුනේ ඉබේටමය...මතක ඇති කලෙක පටන් ඉතා ලා පැහැති වර්ණ පමණක් ප්‍රිය වූ ඇය, වෛවර්ණ ඇඳුමක් ඇඟලු පළමු වතාව එය විය...ඒ ඔහුගේ පළමු තෑග්ගද විය...

අවර්ණ පැහැ වූ ඇගේ ජීවිතයට, ඔහු වර්ණ අතුරන්නට ගත්තේ එතැන් පටන්ය...

ඔහු පාන්දරින්ම රෝහල් කොරිඩෝරයෙන් මතු වූයේ, ඇයව විස්මයට පත් කරවිමිනි...පෙරදා හැඳ සිටි පොඩි වූ කමිසය...විඩාබර දෑස...

"ඔයා ගෙදර ගියේ කීයටද"

"මං ගෙදර ගියේ නැහැ"

"එහෙනම්..."

"මං උන්නේ මරදානේ ස්ටේෂන් එකේ...බංකුවක් උඩ...මට ගෙදර යන්න හිතුනේ නැහැ..."

ඇය ඉන් එහාට කිසිවක්ම ඇසුවේ නැත...

ඒ හිතුවක්කාර, ආදරණීය, මිනිසාට ඇය වෙනුවෙන් කල නොහැක්කක් නොමැති බව ඇය එදා පසක් කොට ගත්තාය...

ගත වුන කාලය තිස්සේම, ඔහු නැවත නැවතත් එය, ඇය ඉදිරියේ ඔප්පු කොට පෙන්වීය...

ඇයට මවද, පියාද, ඉසිවරයාද, විවේචකයාද, මග පෙන්වන්නාද ඔහුම විය...

ඇය විටෙක ඔහු ගැන මෙසේ ලියූවාය....


ප්‍රේමයට කොයි තරම්
කවි ලියා ඇති තරම්
උඹ ඒ කවි අස්සෙ
උන්නේම නැති තරම්
උපමාවක් නැතුව
හිතේ හංගාන උන්
මේ කවිය උඹ නමින්
අමුවෙන්ම ලියමි මං

අත් වැටක් නැති කන්ද
නොවැටීම නගින හැටි
උඹ කියා දුන්නේම
නැගිටිමින් වැටි වැටි
ඇස රුදා දෙනකල්ම
මං කොතැන, සෙවූ හැටි
අම්මෙකුට, අප්පෙකුට
කැක්කුමට දෙවැනි නැති..

මහා පිලොසොෆි වලින්
කතා ලිය ලියා මං
සෝදුපත් බැලුවෙ නම්
උඹ උගත් ජීවිතෙන්
ඉලක්කම් වලින් නම්
හතළිහක්‌ උඹට දැන්
හාදු නම් රත්තරන්
පෙර වගෙයි ඉස්තරන්...

අපි දෙන්න ජීවිතේ
පාට එක් කල හැටිය
ඇහුවොතින් කියා දෙයි
උඹේ සුදු කෙස් කැටිය
රත්තරනෙ එක වාගෙ
නොවෙනස්ව ඇති සැටිය
එක දේකි ඇත්තේම
ඒ උඹේ ඇස් වැටිය...

උඹට විතරයි ඇහැකි
මගේ හිත කියවන්ට
ඉතින් ඉර හඳට මට
බෑ උඹව සසඳන්ට
බුදු බණෙහි තිබුනාට

බැඳුම් අතහැර යන්ට
රත්තරනෙ තනියෙන්ම
බෑ නිවනට යන්ට....

එවන් කවක් දෙස බලන ඔහුගේ ඇසිපිය වේගයෙන් සැලෙන හැටි, ඇය ඇස් කොනකින් බලා සිටින්නීය...

ඊලඟට මතු වන්නේ, ලොව හිඳින හිතුවක්කාරම පිරිමියාගේ, අවිහිංසකම සිනහවයි...හෙට දවසේ ඇයට අවැසි ජීවිතය දෙන, ඇය පමණක්ම දකින සිනහවයි....
---------------------------------------------------------------------------------------------------------------------

මෙවන් ප්‍රේම කථා අටෝ රාසියක්, මේ මිහි තලය නිහඩවම සඟවා ගෙන හිඳී...ඒවායේ රස ඇත්තේ, ඒවා සඟවා තබන තරමටමය...

..........................................................................................................................................................


WW
පෙබරවාරි 20, 2017

Tuesday, February 14, 2017

ඇය එහි මෙසේද ලියා තිබිණ...

                                    දම්වැලකින් ගැට ගැසූ දෙඅත්

මම ඇයව මඩ ගොහොරුවක එබීමි...

ඇයට හුස්ම ගන්නට හැකි වන සේ කුඩා සිදුරු කිහිපයක් පමණක් ඉතිරි කලෙමි...

එහෙත් ඇය සිය ජීවිත සටන අත් නොහලාය...

ගිනි කාෂ්ටක අව්වත් , දෙගොඩ තලා යන වතුරත්, තඹයකට නොතකා, මා වෙනුවෙන්ම ප්‍රේමයේ බිජුවට වපුලාය....

මම විටක හරකුන්ට තරවටු කරමින් කෙවිටින් පහර දුන්නෙමි...

එවිට ඔවුන් මඩෙහි සිර කර හුන් ඇය හට, කුර වලින් වලින් අනිමින් ඇයගේ හදවතෙහි විශාල ආවාටයන් මතු කල හැටි මා බලා උන්නේ හැඟීමකින් තොරවය.... 

ඉතා අන්ධකාර, සීතල රාත්‍රීන් වල, ඇය ඉතා තදින් හුස්ම අල්ලාගෙන, හැකි තරම් පහත් ස්වරයෙන් ඉකි බිඳින්නීය...

හැඬුම්, ඉකි බිඳුම් ඇයගේ දින චරියාවේ කොටසක් වූයේ, ඇය මේ මඩ ගොහොරුව තුල ජීවත් වන්නට හුරු වූ දා පටන් බව මම දනිමි...

එහෙත්, බොහෝ කලකට පෙර මා මුණ ගැසුන අලුත, උන් හිටි ගමන් ළදැරියක සේ මහ හඬින් හිනැහුන , ඇයගේ ඒ සිනහව ඉල්ලමින් අදත් මම වෙහෙසෙමි...

එවිට ඇය ආයාසයෙන් සිනාසෙන්නීය...එහෙත් ඒ මුහුණේ ඇත්තේ දිය සිඳී ගිය ළිං පතුලක ඇති, බොහෝ නිසල අඳුරු සෙය්යාවක් පමණය...

ඉවසා ගැනීමට නොහැකි තැනකදී මම ඇයට වැරෙන් පහරක් ගසමි....මා තව තවත් ප්‍රේමය වුවමනා යැයි ඇයට තර්ජනය කරමි....

එකල මා සිතාරය වයද්දී, ඇය කොළ පුරා කුරුටු ගී ලීවාය...මා ඒ පද වලට තනු යොදා, නැළවිලි ස්වරයෙන් ඒ ගී ඇය වෙනුවෙන්ම ගැයුවෙමි...

ඇයට වුවමනා වූයේ පුතෙකි....මා වැනි පුතෙකි....ඇය විටෙක ඒ නූපන් පුතුට නොයෙකුත් නම් මුමුණමින් මා පසු පස දැවටුනාය....

ජීවිත කාලය පුරාම ඇයගේ ප්‍රේමය මටම පමණක් විඳිනු රිසියෙන් මම උපායක් කල්පනා කලෙමි ....

ඇය මා මේ මඩ ගොහොරුවේ සිර කලේ, ඇය කෙරේ තිබූ උහුලාගත නොහැකි අප්‍රමාණ ප්‍රේමය නිසාම වග පමණක් බව දන්නේ මා පමණෙකි...

ඇය දැන් බොහෝ රෝගී වී වැහැරී ගොසිනි...එකල මෙන් ඈ අතින් සුපසන් පෙම් කවි නොලියවෙයි...

මම නැවත, නැවතත් ඒ ඉපැරණි ප්‍රේමය සොයා ඇයව හැකි තාක් වෙහෙසවමි....එහෙත් ඇය කිසි දිනෙක ප්‍රේමය ඉල්ලා මා ඉදිරියේ හඬා වැලපී නැත...

මම ඇයව සියල්ලන්ගෙන්ම වෙන් කලෙමි...ඒ ඇයගේ ප්‍රේමය මට අහිමි වේ යයි ඇතිවූ අහේතුක බියෙනි...

එහෙත් වී ඇත්තේ අනෙකකි...

ඇයට ඇයවද, මට මාවද අහිමි වී ඇත...

ඇය ආයාසයෙන් සුසුම් හෙලන බව, මඩ අතරින් පිටවන බුබුළු තුලින් මම දකිමි...

ඇය ජීවත් වන්නට නිමිත්තක් සොයනවා විය යුතුය...

තැලී ඉදිමී, ඉහඳ තැබු හදවත, යන්තමින් හෝ තවාගන්නට එක සුසුමක් හෝ ඉතිරිව ඇත්දැයි සිතනවා විය යුතුය...

රාත්‍රීන් කිහිපයක්ම එක දිගට නිදි වැරූ ඇයට, කුසගින්නේම නින්ද ගොස් ඇත....

තදින් මිට මොලවා සිටි, පොඩි වූ කොල කැබලි වල ඇය කවි කුරුටු ගා තිබුණි....

එහි මෙසේද ලියා තිබිණ,

එදා මම ඔබට මුළු හදවතින්ම ප්‍රේම කලෙමි...එහෙත් අද මගේ හදවත තිබු තැන ඇත්තේ ඉතා විශාල හිස් කුහරයකි...ශිරා සහ ධමනි පමණක් එහි අපහසුවෙන් එල්ලී, සියලු රිදුම් ඉවසාගෙන හිඳියි....
ඔබට ප්‍රේම කරන්නට හදවතක් නැතුවාටත් වඩා මට ඇති වේදනාව නම් , මා සතුව තිබූ එකම සම්පත වූ කවි කමද මට අහිමි වීමය....

ඔබ දැන ගත යුතු දෙයක් ඇත...

ගංගාවක් ඉතා උස් තැනක සිට ඉතා පුළුල්ව ඇදහැලෙන්නට කිනම් වූ නිදහසක් වුවමනාද, ප්‍රේමයටත් එවන්ම නිදහසක් වුවමනාය....

.........................................................................................................

හඳ දිහා මං බැලුව...හඳත්‍ ඇස් වහගත්ත 
තරු දිහා මං බැලුව...තරුත්‍ වැට බැඳ ගත්ත 
ඉර දිහා මං බැලුව...ඉරත් අද ගිනි ගත්ත 
ආයෙමත් නාරින්න...මමත් ඇස් වහ ගත්ත

..........................................................................................................

මහද මිහිදන් කෙරූ ඔබෙ සුසානය වසා 
රතු සෛල කැටියක් ඝණකමට මිදී ඇත 
මිනී මලකට පවා දැන් එතන තෙතක් නැත 
ගන්ධබ්බ ඔබ ඉතින් එහි පැමිණ පලක් නැත...

එම්බාම් දියර ඉස රකින මල හදවතක 
ප්‍රේමය ඉවත් කල යුතුමය සුපෙම්වත 
නිරන්තර රිදුම් දෙන ඔබ නිදන සොහොන් කොත 
උණුහුම් කරනු බැරි හීතලෙන් මිදී ඇත...

....................................................................................................

WW






Sunday, July 24, 2016

විල් යූ මැරී මී....




වෙනදා හිස් දෑතින්ම එන ඔහු අත, අද තිබුනේ සුදු පැහැ ලිලී මල් පොකුරක්...ඇය වඩාත්ම ප්‍රිය කලේ සුදු පැහැයට...එහෙයින් අද ඇයට, ඔහුගේ දෙඇස්, පැහැදිළිව කියවන්නට හිතුනේ ඉබේටම...ගණකම් අහිබැමට යටින් නිමැවුන සිහින් දිගැටි ඔහුගේ දෙඇසේ ඒ මොහොතේ ඇඳුනේ විස්මයක්...ඒ ඇය ඔහු දෙස බැලූ පළමු වතාව...

ඒ තමයි ඔහුගේ "අහා" මොහොත... 

පසුගිය තෙමස පුරාම සවස් කාලය තුල, එකදු ශනිදාවක් නෑර, ඔහුගේ අතුරුදන් වීම, ඔහුගේ මිතුරන්ටත් විශ්මය දැනවූ කරුණක්...

කවුරුන් හෝ ඒ ගැන විමසූ විට, පුස්තකාලය, හෝ උද්‍යානය පාවා දී, ඔහු කලේ ඔවුනගෙන් ගැලවීම...ඔහු රාත්‍රී සාද වල සහ සමාජ ශාලා වල නිත්‍ය සාමාජිකයෙක්...එවැන්නෙක් හදිසියේම පොත් ගුල්ලෙකු හෝ පරිසරවේදියෙකු වීම පිළිබඳව ඔහුගේ මිතුරන්ට මතුකලේ විස්මයක්...

සෑම සවසකම ඔහු සිටියේ, නැගෙනහිර නදිය අසබඩ...විටක ඈතින් යන මගී නෞකාවක් දෙසත්, තවත් විටක පිටු බොහොමයක් ඇති පොතක ගිලී ඉන්නා ඇය දෙසත්, ඉවසිල්ලෙන් බලා හිඳිමින්...ඇයගේ කෙහෙරැළි අතරින්, ඒ මුහුණේ ඉරියව් වින්දනය කිරීම ලේසි පාසු කටයුත්තක් නෙවෙයි...දුරදක්නයක් නොමැතිව...

ඇය අසල දණබිම ඔබා, සීරුවට ඇගේ කෙහෙරැළි මෑත් කර, ඇයව ලංව විඳින්නට ඇති කැමැත්ත ඔහු විටක පාලනය කරගත්තේ බොහොම අසීරුවෙන්...

මැන්හැට්න් වල ඇති කලබලයෙන් මිදෙන්නට ඇති ඉස්තරම් තැනක් තමයි, නැගෙනහිර නදිය දිගට වැටී ඇති මං තීරුව...ඔහු මින් තෙමසකට පෙර එතැනට පැමිණීම අහම්බයක්...

රඛිතා සහ ඔහු ගොඩ නැගූ අතීතය සමතලා කරන්නට, කොටු රූල් පොතක් වැනි මැන්හැට්න් මාවත් වල කොතෙක් ඇවිද්දත්, ඉඩක් නොලැබීම ගැන ඔහු පසුවුනේ තදබල වේදනාවකින්...ඒ වේදනාව විසින් මෙහෙයවූ අසරණකමින් සහ රතු වයින් වල මතෙන්, ඔහුව එදා මෙහෙයවූයේ, නැගෙනහිර නදිය දෙසට...

ඇය එදා සිටියේත්, අද සේම සුදු පැහැ කෙටි ගවොමකින් සැරසීගෙන....ඔහුට වුවමනා වුනා ඉන්පසු එළඹි ශනිදාවේත් ඇයව දැකගන්න...එය සතිය දෙක ඉක්මවා, තෙමස් විය පසුකල වුමනාවක් වන තුරුම, ඔහුගේ හදවත විසින් ඇටමිදුළු පුරා අණ නිකුත් කර තිබුනා...

ඒ සෑම දිනකම ඇය සැරසී උන්නේ සුදු පැහැය හෝ එය යන්තමින් හෝ තැවරුණු ගවොමකින්...

ඔහු හැඩකාරයෙක්...ඇයට හිතුනේ එහෙමයි...දිගු හීන් ඇස්...ඒ තරම් ප්‍රේමයක්...නිව්යෝක් නගරයට කොහෙන්ද ඒ තරම් ප්‍රේමයක්...ඇය තනිවම සිතමින් වාඩිවූයේ සුපුරුදු බංකුවේ කොනකින්...

ඒ සුදු ලිලී මල්...කා වෙනුවෙන් වෙන්න පුළුවන්ද...

"උඹ මොකට කරදර වෙනවද ඒ ගැන ඉලියේනා, මතකයිද උඹේ වගකීම...ඒක අමතක කලොත් සාතන් ඒවි උඹව හොයාගෙන"

බොහොම ස්ථිරසාර හඬකින් එහෙම කියුවේ ඇගේ හදවත...

ඉලියේනාට දැනුනේ දෙවියන් වහන්සේ තමන්ව පරීක්ෂාවට ලක් කරන වගක්...ගෙවුනු වසර දහය මුළුල්ලේම ඇය ප්‍රේමය සිර කල හදවත් කුටීරය, එක් තත්පරයකට අගුළු හැර බලන්නට ඇත්නම්...ඒ ඇයට මින්පෙර නොදැනුන හිතුවක්කාර සිතිවිල්ලක්...

"ඔහු දෙවියන් විසින් එවූ මායා කරුවෙක්...උඹට පෙනෙන්නේ නැතිද ඒ දෙනෙත් වල ඇති මායාව...පොත කියවාපන් ඉලියේනා...නැත්නම් වහාම ඔතැනින් පලයන්" 

එවර ඇයගේ හදවත අණකලේ කටෝර හඬකින්...

"සමාවෙන්න, මට ඔබත් එක්ක කථා කරන්න අවසරද"

අසරණ ඉලියේනා...ඒ තිගැස්මට දුර්වල වී ඉරිතැළුනේ ඇගේ හදවත් කුටීරයේ ප්‍රේමය සිර කල අගුල...

"ඔව්...ඔබට වුවමනා නම් මා හා මේ බංකුව බෙදා ගැනීමට හැකියි"

ඇය වචන පිට කලේ බොහොම සීරුවෙන්...අර ඉරි තැළුනු අගුළ පිරියම් කිරීමට උත්සාහ දරන ගමන්...

"හදවත පැවසූ දේ නිවැරදියි...මේ නම් මායා කරුවෙක්..."

එදා මෙදා තුර කාලය තුල කොතෙකුන් පිරිමි මිතුරන් ඇසුරු කර ඇතත්, ඇගේ ප්‍රේමයේ අගුල බිඳීමට ලක් වුන ප්‍රථම වතාව අද...

"මම කීත්, ඔබ"

ඔහු පැවසූයේ, සුහද පිලිසඳරකට මුල පුරන බව හඟවමින්...

"මම ඉලියේනා"

ඇය පැවසූවේ, ඔහු අත වූ මල් පොකුරට ලෝබ කමින්...

"ඔබ ලිලී මල් වලට කැමැතියිද, සුදු පැහැයට නම් බොහොම කැමතියි වගේ, මේ ඔබට"

කීත්ට වුවමනා වූයේ ඒ මොහොතේම ඔහුගේ ප්‍රේමය පැවසීමට...

ප්‍රේමයක් ඇති වන්නට යන්නේ තත්පරයයි...එය සදාකාලික වීම හෝ ඒ තත්පරයටම සීමා වීම, යන්න රඳා පවතින්නේ, එම ප්‍රේමයේ ස්වභාවය මත...

ඔහු තෙමසක් තිස්සේ ඉවසා හිඳින මේ ප්‍රේමය ගැන ඔහුට ඇත්තේ තදබල ආත්ම විශ්වාසයක්...රඛිතාට ඔහුගෙන් සිදුවූ පීඩාව විසින් හදවතේ ඇති කල කලකිරීම මකන්නට, කීත්ට කිසිදු වුවමනාවක් තිබුනේ නැහැ...රැකියාවෙන් පසු සමාජ ශාලාවක හෝ සාදයක කාලය ගෙවා දැමීමට ඇබ්බැහි වූයේ ඒ හේතුවෙන්... 

"ස්තුතියි...ඔව් මගේ ප්‍රියතම පැහැය සුදු"

එය දන්නේ කෙසේදැයි අසන්නට ඇයට වුමනාවක් තිබුනේ නැහැ...මේ කඩවසම් තරුණයා තමාව බොහෝ කලක් තිස්සේ නිරීක්ෂණය කර ඇති වග ඒ තත්පරයේදී ඇයට වැටහී තිබුනා...

ලිලී මල් පොකුරෙහි ඇති වූ සියුම් සෙලවීමෙන්, ඔහුට දැනුනේ ඇයගේ අතැඟිලි වෙව්ලන  බව...ඇයගේ ඇසිපිය ගැහුනේ ඉතා වේගයෙන්...ඔහුට වුවමනා වූයේ ඒ ගැහෙන ඇසිපිය යටින් හාදුවක් තවරා, ඒවාට ඉස්පාසුවක් දෙන්න...

ඇය ඒ වන විටත් සිටියේ ප්‍රේමයේ අගුල පිරියම් කරන්නට මගක් සොයමින්...ප්‍රේමය සිටියේ කොහෝ හෝ ඇති ඉඩකින් පැන යන්නට මගක් සොයමින්...

"ශනිදාව ඔබට නිදහස් දිනයක් වගෙයි, ඒකනේ හැම ශනිදාවකම නොවැරදීම මෙතැනට එන්නේ"

ඔහුගේ ඒ ප්‍රශ්නයට, ඇය පිළිතුරු දුන්නේ ඉතා දිගු කථාවක් සඟවා ගත් සිනාවකින්...

"මා ඉන්නේ බෙකීගේ ජිම්නාස්ටික් පුහුණුව අවසන් වන තුරු...ඇය මේ දිනවල පස්වන පන්තියේ දරුවන් සඳහා පවත්වන, අන්තර්ප්‍රාන්ත තරඟාවලියට පුහුණු වෙනවා"

"ඔහෝ, මේ ඔබගේ අමතර රැකියාව, කුඩා දරුවන් බලා ගැනීම"

කීත් පැවසුවේ විශ්මය සඟවාගෙන...ඇය දෙස පුළුල් බැල්මක් හෙලමින්...

"නැහැ, බෙකී මගේ දුව"

ඉලියේනාට, එයට වඩා යමක් මේ නාඳුනන අමුත්තාට පැවසීමට වුමනාවක් තිබුනේ නැහැ...

කීත්ට දැනුනේ හැකිළුන බැලුමකට දැනෙන්නා වූ ශෝකීජනක හැඟීමක්...

තෙමසක් පුරා උස් මහත් කල ප්‍රේමය, ඇයගේ  සස්වාමික බව කෙලෙස වටහා ගනීවිද...

ඉලියේනා එවර ඔහුගේ දෑසට එබී බලන්නට දෙපාරක් සිතුවේ නැහැ...ඔහු තිගැස්සුනේ එහි තිබුන දීප්තිමත් එළියට...

ඒ එළිය, රඛිතා අරා වුන් සියලුම සෛල විනිවිදින වගක් පමණයි ඒ මොහොතේ කීත්ට දැනුනේ... 

ඇයගේ ප්‍රකාශයෙන්, ඔහුගේ හදවතේ ඇතිවූ කැළඹීම වටහාගන්නට ඉලියේනාට ඒ හැටිම අපහසුවක් වූයේ නැහැ...

"ඔබේ සැමියා...ඔහු කාර්යබහුල පුද්ගලයෙක් වෙන්නැති..." 

කීත් ඇසුවේ ඉතා අපහසුවෙන් හදවත එකලස් කරගෙන...

"බෙකී ඉපදෙන්නට දින කිහිපයකට පෙර ඔහු රිය අනතුරකින් මිය ගියා"

ඒ ඉලියේනාගෙන් හැමෝටම ලැබෙන පොදු පිළිතුර...

"ඔහෝ...මට හරිම කණගාටුයි, සමාවෙන්න ඔබේ හිත රිදුනා නම්"

ඔහුට පෙනුනේ හාත්පස වසාගෙන පැතිරී යමින් තිබුන අඳුර මැදින් දැල්වුන විදුලි පහන් කණුවක රිදී එළියක්...

මීට මොහොතකට පෙර මිදෙන්නට ආසන්න වූ ඔහුගේ රුධිර නාල, යලිත් පිම්බීමෙන් ඇති වූ රුධිරය කාන්දු වූයේ ඔහුගේ දෙකම්මුල් වලට...

ඇගේ මුහුණෙන් ශෝකයක ලකුණක් සොයාගන්නට, කොතෙකුත් උත්සාහ කලත් ඔහුට හැකිවූයේ නැහැ...

ඉලියේනා සිටියේ ගැඹුරු කල්පනාවක...

"ඔහුගේ මුහුණ රත් පැහැයට හැරුණා...සමහර විට ඔහුගේ සියළුම බලාපොරොත්තු බිඳෙන්න ඇති...ආත්මාර්ථකාමී මිනිස්සු..."

"නිව්යෝක් නගරයේ කොහෙද ප්‍රේමය...සියල්ලට ඇත්තේ කලින් තීරණය කල මිලක්...ගැඹුරු ආත්මීය සංවාද වලට ඇහුන්කන් දෙන්න තරම් නැගෙනහිර නදියට කාලයක් නැහැ...මේ පරෙවියන්ට වෙලාවකුත් නැහැ..."

ඇය නොනැවතීම හිතුවා...

"බෙකීගේ පුහුණුව නිමා වෙන්නට ආසන්නයි...ඉතින්, ලිලී මල් වලට නැවතත් ස්තුතියි...ඔබව හමුවීම සතුටක්...ඔබට සුබ සැන්දෑවක්"

ඉලියේනා බංකුවෙන් නැගී සිටියේ එසේ කියාගෙන...ඔහුගේ දිගැටි දෙනෙතට නැවත වරක් එබිකම් කිරීමේ කැමැත්ත සඟවාගෙන...

"සුබ සැන්දෑවක්...අපි නැවත හමුවෙමු"

කීත් මුවින් පිට කලේ සැබෑවටම ඔහුගේ සිතේවූ ප්‍රාර්ථනාව...

එදා, ඉඳන් සෑම ශනිදාවකම ඒ බංකුව වෙන්වූයේ ඔවුන් දෙදෙනා වෙනුවෙන්...

බොහෝ විට කීත් පැමිණෙන්නේ, චොකොලට් දැමූ උණු කෝපි ඇසුරුම් දෙකක් රැගෙන...එහෙමත් නැතිනම් කිරි සමඟ ක්‍රීම් දැමූ කෝපි...

ඔහු ඇගේ ප්‍රියතම කෝපි වර්ග සොයා ගත්තේ කෙසේදැයි, ඉලියේනා කිසිදිනෙක කීත් ගෙන් ඇසුවේ නැහැ...

ජීවිතයට අහම්බෙන් පැමිණෙන මිනිසුන්, එකිනෙකාගේ ආත්මයන් අවබෝධ කොට ගන්නේ, වසර ගණන් එකට සිටි හිත මිතුරන්ට වඩා වේගයෙන්...

දෙදෙනාගේම අතීතය හැරුණු කොට, ජීවිතය ගැන බොහෝ දෑ ඔවුන් හුවමාරු කරගත්තේ පදනම් විරහිතව...

එහෙත් ඔහුගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි...ඉලියේනා තවමත් උත්සාහ කරන්නේ ප්‍රේමයේ අගුල බිඳී යන්නට නොදී රැකගැනීමට...

එය සමහර විටක, සිදුරු වලින් කාන්දු වී ඇගේ දෙනෙතට ගලන බව, කීත්ට රහසක් වූයේ නැහැ...

එදා, ඔහු එන විට ඇය පෙරලාගෙන උන්නේ ඉපැරණි ඇල්බමයක්...

"ඕ..ඉලියේනා කාගේ පින්තූරද එහි තිබෙන්නේ"

"මේ බෙකී ළදරු අවධියේ සිටම මා රැස් කල පින්තූර...ඇය එය රැගෙන ආවේ ඇගේ මිතුරියන්ට පෙන්වන්න...එය අමතක වී දමා ගොහින්"

ඇගේ දෙතොලෙහි රැදුන මන්දස්මිතයෙන් ඔහුට දැනුනේ ඇයගේ හිත පිරුණ මාතෘ ප්‍රේමය...

"මේ තියෙන්නේ, ඇය උපන් දා ගත් පින්තූරයක්"

ඉලියේනා, ඔහුට පෙන්වූයේ හුරුබුහුටි බිලිඳියක්...ඇයගේ නිකටේ වම් පැත්තේ පහලින් තිබුනේ තද කළු පැහැති උපන් ලපයක්...

"කෝ බලමු"...කුඩා දරුවෙක් දකින සෑම වතාවකම ඇතිවෙන වේදනාව දරාගෙන කීත් එබුනේ ඇගේ ඇල්බමයට...

"මගෙ දෙවියනේ...මේක නම් වෙන්න බෑ...මට ඇත්ත කියන්න ඉලියේනා"

කීත් කෑ ගැසුවේ සිහි එළවා ගත නොහැකිව...

කොතැන හෝ යමක් පටලැවී ඇති බැව් වටහා ගත් ඉලියේනා, ඔහුගේ අතින් ඇල්බමය උදුරා ගන්නට මොහොතක් වත් පමා වූයේ නැහැ...

ඔහු තදින් හුස්ම ගන්නා අයුරුත්, කඳුළු පාලනය කරගන්නට අසීරු උත්සාහයක යෙදෙන අයුරුත් ඉලියේනා බලා සිටියේ කිසිවක් වටහා ගත නොහැකි ලෙසින්...

"අනේ දෙවියනේ..."...ඊළඟ මොහොතේදී ඇයට කෑ ගැසුනේ යමක් අවබෝධ වූ ලෙසින්...

"ඉලියේනා ඇත්ත කියන්න...බෙකී ඔබේ දරුවෙක් නෙවේ නේද...ඇත්ත කියන්න මගෙ ඉලියේනා..."

ඇගේ ශ්වේත වර්ණ දෙකොපුල් පීච් පැහැයට හැරුනේත්, ඇගේ ඇසින් චෙරි ගෙඩි තරම් විශාල කඳුළු කැට කඩා හැලුනේත් එක වරම...

"මා දැනන් හිටියා...ඔබේ යටි අරමුණක් තිබූ බව...ඔබ මා පසු පසින් පැමිණියේ කුමක් හෝ බලාපොරොත්තුවෙන් බව...මා හිතුවේ එය ප්‍රේමය නැති නම් කාමය බව...දැන් තමයි වැටහුනේ ඔබේ බලාපොරොත්තුව රහස් පරීක්ෂක කටයුත්තක් බව..."

ඉලියේනා කෑ ගැසුවේ උමතුවෙන්...කීත්ට පෙනුනේ මුළු නැගෙනහිර නදියම ඔවුන් දෙදෙනාට උකුසු ඇස් යොමු කරන විලාසයක්...

"සන්සුන් වෙන්න ඉලී...මගෙ වස්තුව...මා ඔබට ආදරෙයි...මට සමාවෙන්න...ඒ දේ පවසන්න සුදුසු රොමෑන්තික වේලාව මෙය නොවෙයි...ඒත් පිළිගන්න වෙනත් කිසිදු යටි අරමුණක් මගේ සිතේ තිබුනේ නැහැ...සන්සුන් වෙන්න"

"කෝ...දැන් ගන්න ගැඹුරු හුස්මක්"

යක්දෙස්සියක සේ ආවේශයෙන් වුන් ඉලියේනා කෙමෙන් සන්සුන් වූයේ ඔහුගේ මේ වදන් ඇසීමෙන්...ඇය ගැහෙමින්, ඔහුගේ උරහිසේ හිස හොවාගත්තේ අන්ත අසරණ කමින්...

"අම්ම කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද...අවුරුදු දහයක් තිස්සේ උස් මහත් කල ඇය මගේ ප්‍රාණය හා සමානයි...ඔබ වුවමනා නම් මගෙ ප්‍රාණය ගෙන යන්න, ඇයව නම් ඉල්ලන්නට එපා..."

ඇය පැවසුවේ ඉකි ගසමින්...

"කෝ ඉතින් ඔය කඳුළු පිහදාගන්න වස්තුව...මට බෙකී වුවමනා නැහැ...ඒත් මට ඕනේ ඒ ඇත්ත දැනගන්න"

කීත් පැවසුවේ, ඔහුගේ හදවත තුලින් පැන නගින ගැඹුරු රිදුම් සියල්ලම ඉවසා ගනිමින්...

"එදා ඉරිදාවක්...මගෙ විසිවැනි උපන්දිනයට පසුවදා...මා පල්ලියට ගියේ ගම්මානයේ හැමෝටම පෙරාතුව..."

"ඉතින්"...කීත් උන්නේ බොහොම නොඉවසිල්ලෙන්...

"පල්ලියේ අල්තාරය ළඟ තබා තිබූ කුඩා කූඩයේ තිබූ දෙයින් මා විස්මයට පත් වුනා"

"අනේ මගෙ දෙවියනේ...ඒ උන්නේ රෝස පැහැ බිලිඳියක්...ඉපදිලා දිනක් ගෙවී ගොස් තිබෙන්නට නැතිව ඇති..."

කීත්ගේ සුසුම් වල සැර එවෙලේ නම් ඉලියේනාට හොඳින්ම දැනුනා... කතාන්දරයේ ඇති ශෝක රසය නිසාම, ඔහුට ඉබේටම සුසුමක් පිට වෙන්ට ඇති...එවෙලේ ඇයට හිතුනේ එහෙම...

කීත්ට දැනුනේ සිරුර පුරාම සියුම් ඉඳිකටු තුඩු අනින තරමෙ වේදනාවක්...

"මගේ දෙමාපියෝ මිය ගියේ මා කුඩා කාලයේ...ඒ වෙද්දී මා උන්නේ, මාමගේ ගොවි පොළක...මට ඇය දුටු වහාම දැනුනේ දෙවියන් වහන්සේ විසින් මට බාර දුන් වගකීමක් බව..."

"සියල්ලෝම මට එදිරි වෙද්දී...පියතුමා පමණයි මට ආශීර්වාද කලේ...එදා රාත්‍රියේම මා බෙකීවත් රැගෙන ගමෙන් පිට වෙලා නිව්යෝක් ආපු ගමන තමයි මේ"

කීත්ගේ හීන් දිගැටි ඇස් වලට එකතු වුනු දියාරුව, ඉලියේනාට වැටහුනේ ඔහුගේ අනුකම්පාව ලෙසට...

"එදා ඉඳන් මා බොහෝ කුඩා රැකියා කළා බෙකීව රැක බලා ගන්න...වැසිකිළි පිරිසිදු කිරීමේ පටන් ආපන ශාලා සේවය තෙක්ම මා නොයෙකුත් රැකියා කළා...මෙහිදී මුණ ගැසුන මගේ මිතුරියක් මාර්ගයෙන් මට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකියාවක් ලැබුනා...ඇයගේ උදව්වෙන් මා අවශ්‍ය පාටමාලා සම්පුර්ණ කරගෙන තමයි, අද මගේ තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කලේ..."

කීත් ඔහුගේ පසුම්බියෙන් ගත් ඉපැරණි පින්තූරයක්, ඉලියේනාගේ දෝතෙහි තැබුවේ කිසිවක් නොපවසාම...

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ...බෙකී...මේ ඉන්නේ බෙකී...මට මෙය අදහගන්න බෑ...කොහොමද මෙය ඔබට ලැබුනේ"

ඉලියේනාට දැනුනේ ඇයව වංකගිරියක අත්හැර දැමුවාක් වැනි හැඟීමක්...

කීත් උන්නේ දණහිස් වලට බර දුන් දෑත් මත හිස රුවාගෙන...ඔහුගේ හිස සම්පුර්ණයෙන්ම බිමට නැඹුරු වී තිබූ හෙයින් ඇයට ඔහුගේ මුහුණේ ඉරියව් කියවාගන්නට හැකියාවක් තිබුනේ නැහැ...එහෙත් ඇය දුටුවා, එතන හරි හතරැස් කොන්ක්‍රීට් රටා මැවූ පොළවෙහි, රවුම් හැඩති තෙත් ලකුණු ඉහී තිබුන අයුරු...

"මට දැන් සියල්ලම පැහැදිලියි... ඔබේ ගැටළු සියල්ලම ලිහා දෙන්නම් ඉලී...මට සමාවක් එපා..."

කීත් පැවසුවේ බිඳුන හඬකින්...

"ඔබ බෙකී කියන්නේ, මට දාව රඛිතාට උපන් දියණියට...අවුරුදු විසිදෙකේදී දරුවෙක් බාර ගන්න මානසිකත්වයක් මට තිබුනේ නැහැ...ඒ අතින් ඔබට වඩා මා බොහොම පහත් මිනිහෙක්..."

ඉලියේනාගේ, දෙඇස් වටකුරු වී, දෙබැම ඉස්සුනේ ඉබේටම...

"අනේ ඔබ මගේ බෙකීව මගෙන් ඉල්ලන්නද හදන්නේ"

ඔහුගේ කථාව නිමා වෙනතුරු සිටීමට තරම් ඉස්පාසුවක් ඉලියේනාට තිබෙන්නට නම් ඇය හදවතක් නොමැති ගැහැණියක් විය යුතුයි...

"අහන් ඉන්න මගෙ ඉලියේනා...රඛිතා පොහොසත් ඉන්දියන් පවුලක උන් එකම දියණිය...අප පාසැල් පෙම්වතුන්...ඇගේ දරු ගැබ දැනගත් වහාම මා ඇගෙන් ගබ්සාවක් කරන ලෙස ඉල්ලා සිටියා...ඒ තමයි මා ඇයව දුටු අවසාන දවස...ඉන් මාස කිහිපයකට පසු මට මේ පින්තූරය තැපෑලෙන් ලැබුන එකක්"

ඉලියේනාට  පිටවුනේ සැනසුම් සුසුමක්...ඒ වගේම ඇයට ඇති වූයේ, එසේ ආත්මාර්ථකාමී වීම ගැන කණගාටුවක්...

කවදා කොහෝ සිට බෙකී සොයා ඇයගේ දෙමාපියන් පැමිණියත්, ඉලියේනා ඉතා සාධාරණව මේ ගැටළුව දෙස බැලිය යුතු බව ඇයට වැටහුනේ නිරායාසයෙන්ම...

"ඒ හුරුබුහුටි බිලිඳියව දුටු මොහොතේම මට වාවාගන්න බැරි උනා...එදා ඉඳන් කාලයක් තිස්සේම මා රඛිතාත්, දියණියත් ගැන තොරතුරක් සොයා ගන්නට නොගත් වෙහෙසක් නැහැ...මා ඔබව මුල් වතාවට දුටුවේත්, ඒ වගේ ඔවුන් සිහිවී අතොරක් නැතිව මැන්හැට්න් පුරා සැරිසැරූ දිනෙක..."

"කීත්...දැන් ඔබට වුවමනා කුමක්ද...ජීවිතේ වැරදුන තැන් හදාගන්න කෙනෙකුට ඕනෑම මොහොතකදී පුළුවනි"

ඉලියේනා ඇසුවේ ඉතාම පැහැදිළිව...ඔහුගේ දෑසට එබීගෙන...ප්‍රේමයේ අගුල කුඩා කැබලි කර නැගෙනහිර නදියේ පා කර හරින ගමන්...

ඔහු ඇය ළඟ දණින් වැටීගෙන, ඇයගේ කැරළිකාර කෙහෙරැළි මෑත් කලේ ඇගෙන් අවසරයක් නොමැතිවම...

"ඔබ උතුම් යුවතියක්...ඔබ මාව විවාහ කරගැනීමට කැමතිද"

ඔහු ඇගේ සුරත ඔහුගේ ලයට ලං කොට ගෙන ඇසුවේ දෙපාරක් නොහිතාම...

"නිව්යෝක් වල ප්‍රේමයක්...මේ තරම්ම ප්‍රේමයක්...මේ උස් ගොඩනැගිලි අතරේ...මේ සයිරන් නලා මැද්දේ...අපට පුළුවන් වෙයිද එම්පයර් ගොඩනැගිල්ලට වඩා උස ප්‍රේමයක් ගොඩ නගන්න කීත්.."

....................................................................................................................................................

"මට හිතන්න කල් ඕනේ...අපි යමු කීත්..." 

.......................................................................................................................................................

ඔහුගේ ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි.....

.........................................................................................................................................................


සඳ මැණික ඔබ මගේ නෙතු ගඟුල මැද වැටී
රිදි රිදී ඉහිරවයි කළඹවා ඇස් ගැටී 
නළලතේ අගිස්සේ නුඹේ සුවඳේ ගැටී 
කේශ නාලිකා පවා කිතියෙන්ද ඒ හැටී...

සංසාරෙ අරන් ආ සුවඳ පස්සෙන් වැටී
ඇස් පියා ගනිමි මම හුස්ම උස්සා ගමී
ලෙය පුරා ඇවිදිනා ඒ සුවඳ සුහදිනී
විඳින්නට ඉඩ දියන් හුස්ම අත නාරිමී....

....................................................................................................................................................

ඇය ඔහුට කෙතරම් ප්‍රේම කලත්, ඇයට අවැසි වුනා තව වතාවක් ඒ ගැන හිතන්න...ජීවිතේ එක් වරක් වරදක් කල මිනිසෙක්, නැවත ඒ වරදම කරන්න ඇති ඉඩ කඩ මනින්නට කෝදුවක් සොයා ගන්නට, මේ නිව්යෝක් වලින්ම බැරි වෙන එකක් නෑ...ඇය නිහඩවම එහෙම හිතුවා....

අම්මා කෙනෙක් වෙන්න, දරු කැක්කුම දැනෙන්න, තමන්ගේ කුසින්ද දරුවෙක් බිහි කරන්න ඕනෙමද...ඇයට ආයිමත් වතාවක් එහෙමත් හිතුනා...

....................................................................................................................................................
ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...
~එයයි පොකුරු වැහි වල අරුමය~

Thursday, July 7, 2016

එහෙම දවස් සහ නිදන ගිනි කඳු...




ඉලංදාරියා දොරකඩින් මතු වෙද්දිම, මගෙ හිතේ පිපුරුනේ ගිනි කන්දක්...සිසිර තාරක නින්දට වැටිලා උන්නු ගිනි කන්දක්...

ඒ එක්කම උඹ ආවා අතීතයෙ ඉඳන්...

"මට ටාශිව මැරි කරන්න වෙනවා...ටාශිගෙ අම්ම ඊයේ නැති උනා...එයාට දැන් වෙන කවුරුත් නෑ..." කොහේදෝ ඉඳන් හදිසියෙම ඇවිදින් කැන්ටිමේ පෝලිමේ ඉඳන් උඹ කිව්වේ දරා ගන්න බැරි තරමෙ අසරණ කමකින්, මා දිහාවේ බලාගෙන...

එතන නොකියූ කථා දාහක් තිබුනා කියල මට දැනුනේ නිකමට වෙන්නැති...

...අදටත් ඒක මතක් උනාම මං හිත හදාගන්නේ එහෙම හිතලා...

සමහර වෙලාවල් තියනවා අතීතයම තත්පරයකට කොටු කරන්න පුළුවන්...මේකත් එහෙම වෙලාවක්...

කොහොමද බං අවුරුදු ගාණකට පස්සෙත් හරියට පපුවෙ හරි මැද බලලා පපුව හෑරුවේ උඹ...

මං මටම මුමුණ ගත්තා...  

ඔළුවට දැනුනේ මහා බරක්...

මං වටපිට බැලුවේ ළඟම තිබුන පුටුවකට වාරු වෙන්න...ඒත් එහෙම බැහැ..

"හව් ආ යූ"...මං ඇහුවේ ණයට ගත්ත හිනාවක් පොඩි එකාට දෙන ගමන්...පොඩි එකා කිව්වේ අලුත් ඉලංදාරියට...

කොල්ල ඔළුව හොලවන ගමන් කතා කලේ උඹේ ආරෙට...

"ඉට් ෆීල්ස් ලයික් අයෑම් ඇට් හෝම්..." දවසක උඹ එහෙම කිව්වේ තත්පරේකට සෝපාව උඩ ඉඳගන්න ගමන්...මං හිටියේ තුන්වෙනි තට්ටුවෙන් පපුව බිමට වැටෙයි කියල බයේ, තදින් හුස්මක් අල්ලාගෙන...

ගෙදර වගේ දැනෙන්නේ තමන්ගේ මිනිස්සු ඉන්න තැන්වල...එවෙලේ මට හිතුනේ එහෙම...

ඒ වෙද්දී අනුන්ගේ වෙන්න ඔන්න මෙන්න හිටපු උඹව, මට කවදත් දැනුනේ මගෙ වගේ...ඒත් උඹට...මං උඹේ කවුද....

වචන සීයක් උඹ කියවද්දී අනූනවයක උන්නේ ටාශි...උඹ බොහොමයක් වෙලාවට එයා ගැන කිව්වේ එයා හැබෑ නොවෙන හීනයක් ගානට දාල...මං උඹ ඒ කියවන ඒවා අහන් හිටියේ සංසාරේ එහෙම දේවල් අහන් ඉන්න මං කරපු පව ගෙවා ගන්න ගමන්...

"මට ඔයාව බලන්න ඕනේ"

ටාශිගේ උපන්දිනේ දවසේ උඹ ආවේ මාව හොයාගෙන...

මං ඒ ඇයි කියල ඇහුවේ නෑ...ඒ ගෙවී ගිය සෑම මොහොතකම තාවකාලික බව මං හොඳින් දැනන් උන්නා...

එක දවසක උඹ කාර් එක කොහේදෝ දාල, මාත් එක්ක ඇවිදගෙන ගියේ බස් එකේ යන්න...මට කිව්වේ කාර් එක කැඩිලා කියල...ඒත් උඹේ හොඳම යාළුවා මගදි හම්බඋනාම, උඹට කියන්න උත්තරයක් තිබුනේ නෑ...

උඹ එදා ඔහේ කථාවක් නැතුව, බස් එකේ හිටගෙන යන ඩිංග දුර ඇවිදින් බැහැල ගියේ කථාවක් නැතුවම...

ඔව් එහෙම දවස් තිබුනා, උඹයි මමයි විතරක්ම දන්න...

මං දවසක් උඹේ උපන්දිනේට තෑග්ගක් හොයන්න, කකුල් රිදෙනකල් නුගේගොඩ පුරා නොගියපු තැනක් නැතුව ඇති...ඒත් උඹේ ටාශි ඉද්දි මං කවුද උඹට තෑගි දෙන්න...උඹ ළඟටම ගෙනාව ඒ තෑග්ග, අන්තිමේ මං උතුම් තෑග්ගක් කරලා, පුංචි ආදරවන්තියෙකුට දුන්නා...

උඹට කියන්න බැරි, මට හිතුන දාහක් දේවල්, මං කලේ ලියන එක...

ඒ කොහොම උනත්, මිනිස්සු ලියන්නෙ, කියන්නේ නැති දේවල් බොහොමයි...උඹ ගැන මගෙ හිතේ තියන තරමක් තිබුනේ එහෙම දේවල්...

උඹේ වෙඩින් එකට ඇවිත් උඹේ අලුත් ජීවිතේට සුබ පතන්න බැරි තරම් කහටක් මගෙ හිතේ තිබුනේ නෑ...

උඹලා මධු සමයට යන්න සමුදෙන වෙලාවේ, මං වෙනදා වගේම හිනාවේගන උඹ ලඟට ඇවිදින්, උඹව තදින් වැළඳගත්තේ, ඕන එකෙක් ඕන දෙයක් හිතුව දෙන් කියලා...ඒ මං උඹව දකින අන්තිම දවස හන්ද...


"උඹ මට එක තත්පරේකට හරි ආදරේ කලාද..."

මට එහෙම හිතෙන එකේ වැරද්දක් තියනවද...

ඒක දන්නෙත් උඹයි, මායි විතරයි...




උඹ මට ආදරෙයි කිව්වේ නෑ...මං කවදාවත්ඇහුවෙත් නෑ...



සමහර දේවල් ගැන කථා කරලා පලක් නෑ...

ඒත්, උඹ දන්නේ නැතුව ඇති, කථා නොකරන දේවල් වලින් තමයි හිතේ නිදන ගිනි කඳු හැදෙන්නේ...යටින්
පැහෙන ලාවා එක්ක...

දැන් ඩිංගකට කලින් පිපුරුනේ එහෙම ගිනි කන්දක්...ටික දවසක් ලාවා ගලලා ආයිමත් නිදා ගනීවී...ඒ තමයි ස්වභාවධර්මය... 
..............................................................................................................................................


හිතුවාද හීනයක බොඳ වෙලා යයි කියා 
නුඹේ ඇස් ලේසියට...අමතක වෙයි කියා
දුන්න දා තුරුළු කර...හාදු නළලේ තියා 
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...

කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා 
කවියක් ලියන්නට නිමිත්තක් දුන් නිසා 
නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...

නිදි කුමාරිය නුඹේ පණටත් වැඩි කියා 
නුඹ කියද්දී මට දැවෙන සුසුමක් හෙලා 
දරාගෙන මං උන්නෙ...ඇය නින්දෙ උන් නිසා...
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
කොහේ හරි ඇති කියා...

ඇය අවදි වී ඇවිත් නුඹ අරගෙන ගියා 
මං ඇවිත් නුඹලාට සුබ පතලා ගියා 
අදටත් ඉන්නකොට ඉඳහිටක ඇස් පියා 
මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ
කොහෙද උන්නේ කියා...






Sunday, May 22, 2016

ගාර්දියෙස් සහ රතු කුරුල්ලා...



මා වාඩිවී උන්නේ උද්‍යාන බංකුවේ මෙහා කෙළවරට වෙන්න...ගාර්දියෙස්ගේ ජර්නලයට එබීගෙන...එහි තිබූ අඳුරු පැහැති තීන්තෙහි, ගිලී ගිය යට ගියාවට අලුත් පැහැයක් තවරමින්...ගාර්දියෙස් උන්නේ එහා කෙළවරේ...සැරින් සැරේ පිටඋන ඔහුගේ සුසුම් ගිහින් වැදුනේ ඊට ටිකක් එහායින් පණුවෝ අහුලන රතු කොන්ඩ කුරුල්ලාගේ පිහාටු වල...ඌ ගාර්දියෙස් දිහා බැලුවේ අනුකම්පා විරහිත බැල්මක්...

"ආත්මාර්ථකාමියා...උඹ ආදරේ කලේ උඹට විතරයි..." ඒ බැල්මේ තිබුනේ ඒ වගේ අදහසක්...

ජර්නලය දිගේ අවුරුදු තිහක් ආපස්සට යන ගාර්දියෙස් බොහෝ විට හැරී යන්නේ අතුරු මාවත් වලින්...ඒ හැම වතාවකම, ශීත සිසිරය විසින් පහර දුන් කැළැල් ඇති ඔහුගේ කම්මුල් වල ගැහෙන්නේ ඉබේටම...ඔහු තවමත් ආදරේ ඒ අතුරු මාවත් වලට...මට හිතෙන්නෙ එහෙම...ඒ හන්දමයි මග පැහැදිළිව තිබූ ජීවිතයේ මහ පාර ඔහුට එදා මග හැරුනෙ...

කාට කොතැන මග හැරුනත්, අප දිහා ඉවසීමෙන් බලා ඉන්න, අප ගත කරන ජීවිතය කියන්නේ බොහොම වගකීමක් ඇති අපූරු දෙයක්...මිනිසුන්ගේ කැමැත්ත කවරක් වුවත්, ඔවුන් කල කී දෑ අනුව, ඔවුන්ට නිසි තැන ලබා දීම, ජීවිතය විසින් අනිවාර්යෙන් සිදු කරන්නක්...ඒ අනුව ජීවිතය විසින්, නැවතත් වසර තිහකට පසු ගාර්දියෙස්ව රැගෙන ආවේ  "මහ පාරට"...   

ඔහුව මට හමු උනේ "මහ පාරෙදි"...

ඒ පසුගිය නත්තලේ දවසක...කඩදාසි පිඟානක් මත අයිසිං තැවරූ කේක් කැබැල්ලක්, මෆිනයක් සහ බිස්කට් කිහිපයක්, ඉදිරි පස මගී අසුනෙහි වාඩිවී උන්නේ ඉතා අපහසුවෙන්...උන් ආසන පටි පැළඳ නොහිටි නිසාවෙන් කිනම් මොහොතක අතුරු ආන්තරාවක් වේදෝයි සිතමින්, මා රිය පැදවූවේ බොහෝ සැකයෙන්...

ඒ කලබල සැන්දෑවේ, ගාර්දියෙස් උන්නේ මාර්ග බෙදනය මැද...ඔහුගේ බොත්තම් කැඩුන හිම කබාය පිම්බී තිබුනේ සිසිරයේ ශීතල සුළඟට...ඒ වගක් නොතකමින්, ඔහු මාර්ග තදබදයේ ඉසිඹුවක් ගන්නා උණුසුම් වූ වාහන තුලට එබුනේ, උණුසුම් හදවත් ඇත්තවුන් සොයමින්...

"හෝම්ලස් මනුස්සයෙක්" මට හිතුනේ ඉබේටම...

මේ රටේ "හෝම්ලස්" වෙන්න, එසේත් නොමැති නම් නිවහනක් අහිමි වන්නට තිබෙන ඉඩකඩ බොහෝයි....

හදිසි රැකියා අහිමි වීම්, රෝගී තත්වයන්, මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හෝ මිනිසුන්ගේ වගකීම් රහිත ක්‍රියාවලියන්... මිනිසෙකුගේ ආර්ථික පරිහාණියට හේතු කාරක වන මේ ඕනෑම හේතුවක් ඔබව "හෝම්ලස්" කරවන්නේ ඔබටත් නොදැනීම...

එයට හේතුව, බොහෝ විට මෙහි ඔබට ජීවත් වන්නට සිදු වන්නේ කුලී නිවසක හෝ දිගු කාලීන ණයක් දරා සිටින බිත්ති ඇති නිවසක වීම...නිවාස කුලී හෝ ණය ගෙවා ගැනීමේ නොහැකියාවෙන් නිවාස අහිමි වූවන් සේම යම් කිසි හේතුවකින් නිවාස වලින් පිටමං කර දැමූවන්ට, ලිපිනයක් නොමැතිව රැකියාවක් සොයා ගැනීම බොහෝ අසීරුයි...

කිසිවෙකුගේ හව්හරණක් නොමැති වූවොත් ඔවුනට උරුම වන්නේ "මහ පාර" පමණයි...

ජීවිතය යනු සෑම තත්පරයකම වෙනස් වන්නක් බව මා හොඳින් අත්දැක ඇති හෙයින්, මා පවා කෙදිනක හෝ "හෝම්ලස්" විය හැකි වග ඔවුන් දකින වාරයක් පාසා මට සිහියට නැගෙන කරුණක්...එහෙයින්, මගේ රිය කවුළුව එවන් මිනිසුන් වෙනුවෙන් විවර වන්නේ නිතැතින්... 

"හෝම්ලස්" වූවන්ට අනන්‍ය ලකුණක් වූ, ඔවුන් සන්තක දූලි බැඳුන බඩු පොදිය, ගාර්දියෙස්ගේ වපසරිය සළකුණු කර තිබුනේ ඔහු  උන් මාර්ග බෙදනයේ මදක් ඈතින්... 

හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන රිය සක කැරකෙන වේගයට අනුව, මාර්ග බෙදනයේ ඉදිරියට හා පසු පසට ගිය ගාර්දියෙස්ට විරාමයක් ලැබුනේ ඉඳහිටක...ඒ සෑම වෙලාවකම ඔහුගේ වියළි දෙතොල් වලට නැගුනේ ප්‍රීතිමත් හිනාවක්...

"මේක ගන්න"

මා පැවසුවේ කවුළුව හරින ගමන්...

ඔහුට තිබුනේ බොහෝ ඉවසිලිවන්ත, දිලිසෙන දිගු ඇස් දෙකක්...පුදුමයකට වාගේ එහි කිසිම වෙහෙසක් තිබුනේත් නැහැ...බොහොම ආදරණීයයි...

මටත් පිස්සු..."හෝම්ලස්" මිනිහෙකුගේ ඇස් කියවනවට වඩා වැඩක් නැතුවයැ...

"උඹ අදටත් තනිකඩ වෙලා ඉන්නේ අතරමං වෙලා හිටි මිනිස්සුන්ගේ ඇස් කියවන්න ගිහින්...ඕක දීල ආපු ගමන පලයන්" 

මගේ හිත මට කිව්වේ මාව තදින් කොනිති ගහන ගමන්...ඇත්ත...පසු කලෙක මට පිළිගන්ට සිදු උනා, එදා ඒ සැන්දෑ අඳුරේ මට ඔහුගේ ඇස් හරියාකාරව කියවා ගැනීමට නොහැකි වූ වග...

"බොහොම ස්තුතියි...සුබ නත්තලක්...සුබ රාත්‍රියක්...දෙවි පිහිටයි..." 

ඒ ගාර්දියෙස් ගේ හඬ...

"ඔබටත් එසේම වේවා...දෙවි පිහිටයි"...

මම සැරසුනේ කොළ පාට එළිය පසු කරන්ට...ඊළඟ වංගුවේදී මට බැලුනේ මගේ ගමන් සගයන් දිහාවේ...මෆිනය එවෙලේ නම් මට හිනා උනේ ඔච්චමට කියල මට සහතිකයි...මගේ අසිහියට...

හදවතට දැනුනේ දරුණු විස්සෝපයක්...

"අපරාදේ උඹලව මට අර මනුස්සයට දෙන්න තිබුනනේ...නැත්නම් උඹලට යන්න වෙන්නේ බැල්කනියට එන පුංචි කුරුල්ලන්ගේ අමාශයට...ගල් ගිල්ල වගේ නොඉඳ, මට ඩිංගක් ඒක මතක් කළා නම් මක් වෙනවද..."

එසේ සිතමින් මා කාරය අතුරු මාවතකට ගෙන ගියේ නැවතත් ගාර්දියෙස් සොයා ගෙන යන අදහසින්...ගාර්දියෙස් එතැනම හිඳීවා යන හිතිවිල්ල පෙරදැරි කොටගෙන එක තත්පරයකදී සිතිවිලි සියගණනක් ඉපදී මිය ගියා කිව්වොත් හරියටම නිවැරදියි...

ඔහු සිටියේ පෙර කී තැනම...ඉදිරියට පසු පසට ඇවිදිමින්...

"සුබ නත්තලක්"

මා සුබ පැතුවේ, ටිෂූ කැබැල්ලකින් පිළිවෙලකට වැසූ, කුඩා පිඟාන ඔහු අතේ තබන ගමන්...

ඔහු පෙර සේම, මට ස්තූති කලේ  බොහොම කරුණාවෙන්...

සමහර මිනිසුන්ව අපට මුණ ගැහෙන්නේ ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරගන්ට...මින් පෙර කිසිදාක නොඇසූ කතාවන්හි  සජීවී කොටස් කරුවකු වන්ට ඉඩක් දෙමින්...

ගාර්දියෙස් නැවත "මහ පාරේදීම" මට මුණ ගැසෙන්නේ එලෙසින්ම කිව්වොත් නිවැරදියි...

ඒ වසන්තය පටන් ගන්න ඔන්න මෙන්න ඉරිදාවක...රෝස පැහැ චෙරි මල් වියන් යටින් ඇවිදගෙන යන්නට ඇති කෑදර කමට, කාටවත් අයිති නැති  මගී මං තීරුවක ඇවිදගෙන ගිය මහ දවාලක...

වසන්තයට අයිති විය යුතුව තිබුනත්, සිසිරයෙන් තවමත් බැට කන, චෙරි මල් හිනා උනේ බොහොම අසීරුවෙන්...මට හිතුනේ එහෙමයි...සිසිර ශීතල හීන්වට දෙන වේදනාව උහුලාගන්ට අමාරු ඇති...ඒ ශීතල විසින්මයි හිම කබායෙන් මිදීමෙන් ඇතිවන සැහැල්ලු හැඟීමත් මට අහිමි කලේ...මට දැනුනේ කේන්තියක්...මම කැමරාව මෑනුවේ චෙරි මල් වල වේදනාව කාචයට හසු කරගන්ට...

ඩිජිටල් කැමරා තිරය තුල, ඔහු උන්නේ බර කල්පනාවක...ඒ නිසැකයෙන්ම ඔහු තමයි...ඒ "හෝම්ලස්" මිනිසා...මගී මං තීරුවේ මුල්ලක ඇණ තියාගෙන...

පාළු ඉරිදාවන්, කලබල නැති කඩමණ්ඩියක හිඳ, ගාර්දියෙස් වැනි මිනිසුන්ට අතීතාවර්ජනය කල හැකි දිනයන්...

"මට ඔබත් එක්ක කථා කරන්න අවසරද"

මම ඇසුවේ දෙවරක් නොසිතාම...

ඔහු කලේ හිස සලා සිනාසීම පමණයි...

"ඔබේ නම"...

කෙටි ස්වයං හැඳින්වීමකින් පසු මා මුල පිරුවේ, අප දෙදෙනා උද්‍යාන බංකුව තෙක් රැගෙන ආ දිගු කථාවට...

"මං ගාර්දියෙස්" ඔහු කථා කලේ පුදුමය සඟවාගෙන...

ඔහුට පුදුම හිතුනා නම් ඒකෙ ඒ හැටි පුදුමයකුත් නැහැ...මා කවදත් කරන්නේ පරීක්ෂණ වලින් නිගමන වලට එළඹීම...ඒත් ඔහුට මාව පෙනෙන්න ඇත්තේ ජීවිතය පටලවාගත් ගැහැණියක් විදියට...කාලය කා දමන්නට සහායකයෙක් සොයන්නියක් ලෙසට...

"හඳුනා ගන්ට ලැබීම සතුටක්"...මා පැවසුවේ හිතින් ප්‍රශ්න පත්‍රයක් සකස් කරන ගමන්...

ගාර්දියෙස් සහ මම, උද්‍යාන බංකුවක් බෙදා ගත් මිතුරන් වූයේ ඒ ප්‍රශ්න පත්‍රය නිම කිරීමට මට ලැබුන කාලයේ ප්‍රථිපලයක් ලෙසට...

"ආදරෙයි මගෙ සුදු අම්මේ...03/27/1990"...

මා මිමිණුවේ ගාර්දියෙස්ගේ එක්තරා දින සටහනක්...

මේ වතාවේ නම් රතු කොණ්ඩ කුරුල්ලා ඉගිලුනේ මටත් රවාගෙන...

"බොරුවට සුසුම් හෙලන්න එපා මිනිහෝ" උගේ තටු ගැසුවේ එහෙම කියමින්...

"අම්මා මතක් වී ලියූවක්ද"...

මා ඇසුවේ කුතුහලයෙන්...

"නැහැ...මගේ බිරිඳ ජිසෙල්ලා වෙනුවෙන් ලියූවක්...ඇය ඒ වනවිට උන්නේ මා ගැන බොහෝ කලකිරීමෙන්...මට බොහෝ සේ ප්‍රේම කල ඇය, පසු කලෙක මගෙන් ඈත් වූයේ මගේම වරදින්..." 

මට දැනුනේ බොහෝ කණගාටුවක්...ඒ කා වෙනුවෙන්දැයි යන්න මට හරි හැටි වැටහීමක් තිබුනේ නැහැ...

"එහෙනම් ඔබත් බොහෝ සේ ඇයට ප්‍රේම කරන්ට ඇති"...මට කියවුනේ ඉබේටම...

මෙලොව ඕනෑම මිනිසෙක්, කිසිවෙකුට නොදෙවෙනි ලෙස ආදරය කරනවා නම්, ඒ තමන් හැදූ වැඩු මවට...ඒ හා සමාන ආදරයක් තමන්ගේ බිරිඳ වෙනුවෙන්...

ඒ සිතිවිළි සියල්ලම විසිරෙන්න ගත උනේ එක මොහොතයි...

"නැහැ..එය මා කෙරෙහි ඇයව නම්මවාගන්නට යෙදූ කෙටි උපායක්...මා දැන සිටියා ඇය මගේ ජර්නලය රහසින් කියවන වග...මට ඇයට ඒත්තු ගන්නන්ට උවමනා උනේ වචනයෙන් නොපැවසුවත් මා ඇයට බොහෝ සේ ප්‍රේම කරන බව"

ගාර්දියෙස් කියාගෙන ගියේ හැඟීම් විරහිතව...

"අපොයි...තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් අම්මාවත් පාවා දුන් පව්කාරයා"...

මට ඕනේ උනේ ඔහුගේ අර දිලිසෙන දිග ඇස් දිහාවේ හොඳින් බලන්න...දෙපාරක් නොහිතම මං කලේ ඒක...

මං පළමුව දුටු දිලිසීමට යටින් එහි තිබුනේ කහට පෑදුන වියළි කටෝර පෙනුමක්...එහි මිනිසත් බවක ලකුණක්වත් නොතිබූ බව මට විශ්වාසයි...

එහෙත් ගාර්දියෙස් පවසන ලෙසට ඔහු වැඩිපුරම සන්තෝෂ උනේ මිනිසුන්ට සේවය කිරීමෙන්...

"ජිසෙල්ලා හැමදාම අවදි උනේ, මට නින්ද යන පාන්දර ජාමෙට...ඇය තමයි අපේ පුංචි ගොවිපළේ සියළු වැඩපළ කළේ...කිරි දෙවීම, දෙනුන් ගාල් කිරීම, තණකොළ අට්ටි ගැසීම, එකී නොකී සියළුම දෑ...රාත්‍රියට ඈ කළේ  කුඩා දරුවන් වෙනුවෙන් අලංකාර ඇඳුම් මැසීම..."

ගාර්දියෙස් කියාගෙන ගියේ අතරින් පතර පිටඋන සුසුමක් එක්ක...

"එතකොට උඹ මක් කළාද මිනිහෝ" මං එහෙම ඇහුවේ නැහැ...ඒත් මට එහෙම හිතුන වග මගේ මුහුණෙන් පෙනෙන්නට ඇති...

"මං කළේ අපේ කුඩා ගම පුරා ඇවිදිමින් මිනිසුන්ගේ කැඩුන ඉලෙක්ට්‍රොනික බඩු, ලී බඩු ඔවැනි දෑ නොමිලේ අලුත් වැඩියා කිරීම...උදව්වක් අවැසි ඕනෑම කෙනෙකුට උදව්වක් කිරීම...කොටින්ම කියනවා නම් සමාජ සත්කාර...හැබැයි ගෙදර දිවා ආහාරය සැකසුනේ මා අතින්..."

ඔහු පැවසූවේ  දෙඇස් නටවමින්...ඔහු කළ සමාජ සත්කාර මතක් වූ හෙයින්දෝ එයින් සතුටින් ඉපිලෙමින්...ඒ තමයි අර මා පෙර කියූ අතුරු මාවත්...

"ඒ වගේම මා හොඳ පින්තාරු කරුවෙක්...මගේ සමහරක් හිතවතුන් වෙනුවෙන් නිම කල පින්තාරු බොහොමයක් ඇති...මා ඔවුන් වෙනුවෙන් පින්තාරු නිම කල සමහර පාන්දරක, ජිසෙල්ලා කලේ වෙහෙස නොබලා එළදෙනුන්ගෙන් කිරි දෙවීම...ඒ දේවල් මතක් වෙද්දී දැන් නම් දැනෙන්නේ කණගාටුවක්..."


එය ඇත්තෙන්ම අනෙකාට පිහිට වීමේ ඇති කැමැත්ත නොහොත් පරාර්ථයද...එහෙමත් නැති නම් අසීමාන්තික ලෙස තමාගේ ආත්මය පිනවීමද...

නිවසක වගකීම් රැසක් දරන ස්වාමියෙකු සහ පියෙකු වනවාට වඩා මේ පරාර්ථය සැනසිලිදායකද...දරු පවුලක අනාගතය සුරක්ෂිත කිරීම පසෙක ලා කරන සමාජ සත්කාරයෙහි ඇති සැනසීම කුමක්ද...

මා නොනවත්වාම හිතුවේ මා ඉදිරියේ සිටින මේ අපූරු මිනිසා දෙස බලමින්... 

"දරු පැටව් හිටියද"...මා ඇසුවේ දෙබැම හකුළුවමින්...

"ඔව් මගෙ පුංචි සුරංගනාවී...මායා...ඇයව දිනපතා පාසැලට හැරලුවේ මමයි"...

ඒ වංගියේ නම් ඔහුගේ මුහුණ මතින් වැහි වලාකුළක් පාවුන ගානයි...

"එයා දැන් කොහෙද"...

මා ඇසුවේ ඔහුගේ මේ ක්‍රියා කලාපයෙන් ඇයට සිදු වූ බලපෑම දැන ගැනීමේ කුතුහලයෙන්...

"ඒක දිග කථාවක්"...

ගාර්දියෙස්ගේ කහට බැඳුන ඇස් වල, ඒ වතාවේ නම් තිබුනේ බොර පැහැයක්...

"කාලය ගත වෙද්දී, වැඩි වයසක් නොතිබුනත්, ජිසෙල්ලා දිරාපත් උනේ බොහොම වේගයෙන්...නිතර හැදුන හිසේරදයට ඇය ගිලින පෙති වලින්, නිදන කාමරයට අඩුවක් තිබුනේ නැහැ...මට ඒ ගැන වැඩි තැකීමක් නොතිබුනත්, මායා ඒ ගැන උන්නේ බොහොම විමසිල්ලෙන්...ඒ වගේම මා එක්ක අමනාපයෙන්...ගොවිපොළේ වැඩ කෙරුනේ ඒකෙ උන්න ගොලුබෙල්ලන්ගේ ගමනටත් වඩා අඩු වේගයකින්...වැඩිපුර තිබුනේ පාඩු පමණයි...

ඔහු කියාගෙන ගියේ ඇසෙන නෑසෙන ගානට...මා උන්නේ ඔහුගේ මුහුණෙන් පසු තැවීමක ලකුණක් හොයන අසීරු උත්සාහයක යෙදෙමින්...

"එදා බොහෝ රෑ බෝ උන දවසක්...හිතවතෙකුගේ වහලක ලී පිරියම් කර අවසානයේ මධුවිතකිනුත් සප්පායම් වෙලයි මා උන්නේ...මා නිවසට ඇතුළු උන විගසම, මායා කලේ වියරුවෙන් කෑ ගැසීම..."

ඔහු එසේ කියද්දී, ආයිමත් රතු කොණ්ඩ කුරුල්ලා ඇවිත් වැහුවේ ගාර්දියෙස් ළඟම තිබුන මල් පඳුරේ කෙළවරක...ඌ කලින්ම මේ කථාවේ අවසානය දැන උන්නත්, ගාර්දියෙස්ගේ හඬින්ම ඒ දේ අහගන්න උවමනා වෙන්න ඇති...

"අම්මාට මොළේ පිළිකාවක්... ඒ ගෑණිගෙන් තවත් උඹට ගන්ට දෙයක් ඉතිරි වී නැහැ...උඹ මෙහෙන් තොලොංචි වෙලා පලයන්...මං මේ සියලු දේ විකුණාපු ගමන් ඇයව එක්කාගෙන යනවා නගරයට..." 

දිවා රෑ වෙහෙස නොබලා පවුල වෙනුවෙන් කැප වූ බිරිඳකගේ අවසානය එය විය යුතුද...දියණියක් ලෙස මායා සියල්ලම ඉවසීමෙන් බලා ඉන්නට ඇති...ඇයගේ වියරුව සාධාරණයි...මට හිතුනෙ එහෙම...

"ඒ කිව්වත් වගේම මායා, මගේ පුංචි සුරංගනාවී, ඔව් ඇය තමයි...ඇය මගේ බිරිඳ, ජිසෙල්ලාව නගරයට රැගෙන ගියේ, ඇයගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගන්න..."

ගාර්දියෙස් පැවසූ ලෙසට, මායා අවුරුදු දහසයේදී සමාජ ශාලාවක රඟන්නියක් වූවේ, ඇයගේ මව සුවපත් කරගැනීමේ අරමුණින්...ඇය ඒ සඳහා තව කුමන දේ කළාදැයි ගාර්දියෙස්ට අදහසක් නැහැ...ඔහු උපකාර කල කිසිවෙක් ඔහුට ප්‍රති උපකාර නොකළ හෙයින් අවසානයේ සිදු වූයේ උන් හිටි තැන් අහිමි වීම...

"අම්මාගේ මරණයේ වැඩ අවසන්...නුඹ ආයිමත් මා මුණ නොගැසුනාට කමක් නැහැ"

ඒ මායාගෙන්, ගාර්දියෙස්ට ලැබුන අවසන් පණිවුඩය...

"ගොවිපොළේ වැඩට මූලික වී වගකීමෙන් ක්‍රියා කළා නම් අද මා කර්මාන්ත ශාලාවක හිමි කරුවෙක්...මායා වෛද්‍යවරියක් නිසැකයෙන්ම...ඇය උන්නේ ඒ සඳහා හුඟක් කැමැත්තෙන්..."

"ජිසෙල්ලා...ඇය තව දිගු කාලයක් ජීවත් වේවි...එහෙම අදටත් හැකි පමණින් මට අනෙක් මිනිසුන් වෙනුවෙනුත් යහපතක් කරන්නට ඉඩ තිබුනා..."  

ගාර්දියෙස් කියාගෙන ගියේ නැවතිල්ලක් නැතුවම...එය බොහෝ දුරට පාපොච්චාරණයක් විය හැකියි...

"ආදරෙයි මගෙ සුදු අම්මේ"...

කිසිම වගකීමක් නැති වචන හතරක්...මිනිසුන්ගේ හැඟීම් තමන්ගේ ආත්මාර්ථය උදෙසා පාවිච්චි කල තවත් එක් මිනිසෙක්...

එතැනින් එහාට මට ඔහුගේ ජර්නලය කියවීමේ උවමනාවක් තිබුනේ නැහැ...මා දැන සිටියා මේ මා ඔහුව මුණ ගැසෙන අවසන් වතාව වග...ඔක්කෝටම වඩා දරාගන්න අමාරු උනේ රතු කොණ්ඩ කුරුල්ලාගේ අවඥා සහගත හිනාව...ඒත් මගේ කාලය අපතේ ගියේ නැහැ...ඌත්  නොදන්න දේ තමයි, මා නිගමන වලට එළඹෙන්නේ, පරීක්ෂණ සහ නිරීක්ෂණ වලින් බව...


..........................................................................................................................................................


මිනිසුන් පරාර්ථකාමී උතුම් හදවත් ඇත්තවුන් විය යුතුයි...නමුත් ඒ පරාර්ථය ඇරඹිය යුත්තේ තමන් තුලින්...දෙවෙනුව තමන්ගේ ආදරණීයයන් තුලින්...සමාජයේ මූලිකම ඒකකය වන පවුල වෙනුවෙන් නිසි පරිත්‍යාගයක් කල නොහැකි මිනිසාගේ පරාර්ථය පුස්සක්ම පමණයි...ආත්මාර්ථකාමී අරමුණු සපුරා ගැනීම පිණිස පරාර්ථකාමී වන මිනිසුන්ට, ජීවිතය විසින් ලබා දෙන දඬුවම් බොහෝ විට දරුණුයි...එය ඔවුනගේ ලබැඳියන්ට බලපාන්නේත් අතිශය දරුණු ලෙසින්...අපේ අරමුණ ලෝකයට යහපතක් කිරීම නම්, එහි මූලික පියවර විය යුත්තේ අප ජීවිත තුල ශක්තිමක් අඩිතාලමක් සකස් කොට ගැනීමයි...ඒ ක්‍රියාවලිය තුල ඔබත්, ඔබේ ආදරණීයයනුත්, ඔබෙන් උපකාරයක් අවැසි සියල්ලනුත් ඉබේම සුරක්ෂිත වේවි...අගතිගාමී වීමෙන් අවසානයේ ඉතිරි වන්නේ දුකත් තනිකමත් පමණයි... 
   
............................................................................................................................

ඔබ ආවේ පොකුරු වැස්සක් යටින්...
ඉතින් තෙමෙන්න කැමති උදවියට තෙමෙන්න පුළුවනි...
තෙමෙන්න අකමැති උදවියට නොතෙමී වැස්ස විඳින්න පුළුවනි...

~එයයි පොකුරු වැහි වල අරුමය~.