Sunday, March 25, 2018

ප්‍රේමයෙන් බැඳීම යනු...(Falling in love is)...



හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
බොහෝ ඝණ අන්ධකාර වූ මීදුමක
අතිශය දීප්තිමත් ආලෝකයට කෑදරකමින්
සෑම අවිනිශ්චිත වූ මොහොතක් පාසාම
අරමුණකින් තොරව ඇවිද යාමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ජනාකීර්ණ මං මාවත් වල
බොහෝ ජනී ජනයා වටකොට සිටිද්දී පවා
මෘදු කෙඳිරුමක් සහිත අවතාරයක්
ඔබ අසල ගැවසීමය...ඔබව ලුහු බැඳීමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
මහා කුණාටුවකට හසුවී කරකැවීම
මිලිතත්පර වලින් හඟිමින්
මයික්‍රොතත්පර වලින් ආවර්ජනය කිරීමය...


හිතවත,
ප්‍රේමයෙන් බැඳීම යනු,
ඉතා ආලෝකමත් විචිත්‍ර දවාලක පවා
සිහින බැලීමට ඇබ්බැහි වීමය...
නිසැකවම,
ඔබට ඒ සඳහා පෙනීම අවැසි නැත...

හිතවත,
මා විශ්වාස කරන්න...

ප්‍රේමය පූර්ණ ලෙස අන්ධය...

එහෙයින්,
ප්‍රේමයෙන් බැඳීමට,
පෙනීමක් හෝ දසුනක් අවැසි නැත...



Falling in love is,
Wandering in thick mist
Craving for the dazzling light
In every moment of uncertainty...

Falling in Love is,
Haunted and stalked
By a shadow mingled with a soft voice
In busy streets...among the crowds...

Falling in Love is,
Rolling in a cyclone
Feeling in milliseconds
& rewinding in microseconds...

Falling in love is,
An addiction to dreaming
In brighter daylight
& obviously
No sight is needed...

Trust me,

Love is totally blind
& no sight is needed....



Written by


*Wathsala Wijayalath*
(WW)

Sunday, March 18, 2018

අරිෂ්ට සහ අයිස්ක්‍රීම් 2- ස්ට්‍රේට් ටෝක් නොහොත් කෙලින් කථාව


Image courtesy : https://image.flaticon.com/icons/svg/268/268125.svg


අරිෂ්ට සහ අයිස් ක්‍රීම් 1


හියර් ඉස් ද ස්ට්‍රේට් ටෝක්..


කෙලින් කතාව නොහොත් ස්ට්‍රේට් ටෝක්, මා ඉගන ගත්තේ මගේ අප්පච්චීගෙනි...

ඔහු දේශපාලනික සත්වයකු වූවද, ඔහුගේ කිසිදාක රහසිගත හෝ පුද්ගලික න්‍යාය පත්‍ර නොතිබුනේය... එහෙයින් ඕනෑම ලොක්කෙකු ඉදිරියේ, ඔහුගේ අදහස් බොහෝ පැහැදිලිව, සෘජුව කියා පෑමට කිසිවිටක පසුබට නොවූවේය...සමහර විටක ඒ අදහස් බොහෝ තිත්ත වුයේ, ඒවා මත කිසිදු මිහිරි රසයක් තවරා නොතිබුන   හෙයිනි....

අපේ ආසියාතික ජනසමාජය තුල මේ ස්ට්‍රේට් ටෝක් යනු උදහසට ලක් වීමට කාරණාවකි...

යම් අදහසක් ප්‍රකාශ කිරීමේදී, එය බොහෝ ව්‍යංගයෙන්, කණ වටේ අත දමා පැවසීමට මිනිසුන්ව හුරු කරන්නේ ළදරු අවධියේ සිටමය...ඒ කාගේවත් හිත නොරිදෙනු පිණිසය, යන්නෙන් සාධාරණිකරණය කර ගැනීමට අප සියල්ලෝම හුරු වී සිටිමු...

එහෙත් බොහෝ ව්‍යංගාර්ථ වලින් සාකච්චා කර ලබනු සියලු දෑ එක කණකින් ඇතුල්වන වේගයෙන්ම, නියුරෝන වල ඇති කිසිම වේග සීමාවක් නොතකා, අනෙක් කණෙන් පිටව යන බවත් අප සියලු දෙනා පිළිගත යුතු කරුණකි....ඒවායේ හිතට ඇනෙන්නට, හිත පහුරු ගා දමන්නට, සියුම් ඊතල වැනි වචන නැත...

එහෙත් මිනිස් ගති ලක්ෂණ සහ සමාජයීය ගැටළු විවරණය කිරීමේදී, ඉතා සෘජු සහ පැහැදිලි වචන භාවිතයක් අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරමි....ඒ අදහස් ප්‍රකාශ කරන්නාත්, එය අසා සිටින්නාත් යන දෙපාර්ශයවම, ඉතා විවෘත මනසකින් යුක්ත වීමද මේ ස්ට්‍රේට් ටෝක් වල අත්‍යවශ්‍ය අංගයකි...මා ඔබට ඉතා සෘජුව සහ තිත්ත ලෙස යම් දෙයක් අවධාරණය කරන විට, හැඟීම්බර නොවී එය විශ්ලේෂණය කිරීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය...

මේ හුරුව ඇරඹිය යුත්තේ, මිනිසා ළදරු අවධියේ පටන්මය...අප කුඩා කාලයේදී අපට උගන්වන්නේ වැඩිහිටියන් සමග එකට එක නොකීමටයි...කෙන්යාවේ පාසල් වල ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට ළමයින්ට අයිතියක් නැත...පොදු ශ්‍රී ලාංකීය පවුල් ඒකකය තුල, දෙමාපියන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ වැඩිහිටියන්ගේ ගැටළු සාකච්චා කිරීමට දරුවන්ට අවසර නැත...මවට චාටු  බස් කියා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමද, එසේ නැතහොත් මව හරහා පියාට තමාගේ ඉල්ලීම ඉදිරිපත් කිරීමද ලංකාවේ, ඉතා උසස් සංස්කෘතියේ ඇති පොදු ලක්ෂණයකි...එය වැඩිහිටියන්ට ගෞරව කිරීම ලෙස අපි අර්ථකතනය කරමු...

එහෙත් සෘජුව තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නැති මේ දරුවෝ දෙමාපියන්ට රහසින් තමාගේ වපසරිය තුල සියලු නාඩගම් රඟ දක්වති...නිවස තුල  ඉතා යටහත් පහත්ව ගෞරවය යයි සිතාගෙන මුනිවත රකින මේ දරුවෝ, නිවසෙන් සහ පාසලින් පිට, කිසිදු සීමාවක් නොතකන්නෝ වෙති...සියලු වැඩිහිටියන්ගේ ගෞරවය කුඩා කැබලි කිරීමට පසු බට නොවෙති...

අයිස්ක්‍රීම් සහ චොකලට් තවරා අවවාද ලබන දරුවාට ජිවිතයේ තිත්ත වූ යථාර්තය ගැන අවබෝධයක් නැත...ඔහුගේ හැඟීම් සමඟ ගනු සහ දෙනු කිරීමට කිසිවෙකු නොමැත...ඇත්තේ, අවවාද සහ දඩුවම් පමණි...අද යොවුන් වියේ සිටින බොහෝ දරුවන්, ඉතා කුඩා හේතුවකට පවා සිය දිවි නසා ගැනීමට හේතුව, බුද්ධිමත් ලෙස ස්ට්‍රේට් ටෝක් ගණුදෙනුවක් සිදු කර නොමැති කමය...

තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට දරුවන්ට කුඩා කල සිටම ඉඩක් තිබිය යුතුය...ඔවුන් විශ්වාස කරන වැඩිහිටියෙකුට ඒවා ඉවසීමෙන් සහ බුද්ධියෙන් අසා සිටීමට හැකි විය යුතුය...ඉන් පසුව හැඟීම් වලට වහල් නොවූ බුද්ධිමය සාකච්චාවකින් සහ විවෘත මනසකින් එකිනෙකාගේ අදහස් වල අඩුපාඩු අවබෝධ කරගැනීමට දෙපාර්ශවයටම හැකි විය යුතුය...

මගේ කෙලි පැටව් දෙන්නා (දෙන්නෙක් උනත්, උන් එකෙක්වත් මගේ නෙවේය, ඒත් මගේ වගේය) විටෙක තරඟයට හඩා වැටෙමින් ජංගම දුරකථන තිරයට උන්ගේ නඩු ඉදිරිපත් කරන වාර අනන්තය...පොඩි කෙලි පැටියා තවම බහ තෝරන වයසේ හෙයින්, උන්ගේ ආච්චීගේ පරිවර්තන සහාය පවා ලබා ගැනීමට මට සිදුවේ...එහෙත් මා කොතැන සිටියත් මම ඒ නඩුව පිළිවෙලට අසමි...එහිදී අඩන්නට ඇති වූ හේතුවත්, ඒ හේතුවට ඇති වුන හේතුවත්, උන්ගේ හිතට ඒ මොහොතේ දැනෙනා සිතිවිලිත් මම උන් දෙන්නාගෙන් අසා දැනගනිමි...ඒ සිතිවිලි විචාරා බලන විට ඒ තුල ඇත්තේ කේන්තිය පාලනය කර නොගැනීම, අනිකා කෙරේ සංවේදි නොවීම, බෙදා ගැනීමේ නොහැකියාව, නැතහොත් තම වරද පිළිගැනීමට ඇති අකමැත්ත යනාදී වැඩිහිටි සිත් වල මෝරන අයහපත් චරිත ලක්ෂණ වල අක්මුල්ය...එවන් විටක මම ඔවුන් දෙදෙනාට බොහෝ සරලව එවන් සිතිවිලි අයහපත් බව පැහැදිලි කරදෙමි...ඒ සාකච්චාව අතර තුර සියලු හැඩුම් නැවතෙන අතර, ඔවුන්ගේ අදහස් සෘජුව ප්‍රකාශ කරන්නට මම ඔවුන්ට අවස්ථාවක් දෙන්නෙමි....


මෙවන් අභ්‍යාසයකින් තොරව වැඩිහිටියෙක් වන දරුවා, ඉන් පසු කිසි විටක සෘජුව කථා කිරීමට හෝ එවන් සෘජු අදහසක්  පිළි ගැනීමට මැලි වේ...ලොක්කන්ට ගොට්ට අල්ලන සොක්කෝද, ගෝඩ් ෆාදර් ලා වැනි පොඩ්ඩන්ව අල්ලේ නටවන ලොක්කෝද බිහිවන්නේ එලෙසය...

මැටි මෝල් මොළ පිරුණු, ස්ත්‍රී දූෂකයින්, සොර දෙටුවන්, ජාවාරම් කරුවන් තමන්ගේ අදහස් මත අයිස්ක්‍රීම් තවරන්නේත්, ඒ මතු පිට තට්ටුව රස කර ගිල, ඔවුන් පාර්ලිමේන්තුවට යවන චන්දදායකින් බිහි වෙන්නේත් මේ ක්‍රමයටමය...කිසිවෙකු ඇත්ත ඇති සැටියෙන් කීමටත්, ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමටත් මැලි වන ආකල්ප වලින් පිරුණු සමාජ ක්‍රමයක් තුල අපි පීඩිතයා සහ අසාධාරණය ගැන මහා ලොකු කථා කියන්නෝ වෙමු...එහෙත් මේ පීඩනය ඇරඹෙන්නේ අප කුඩා අවධියේ පටන්ම බව අපි කිසිවිටක නොසිතමු...


සෘජුව කථා කිරීම යනු කිසිවෙකුගේ හිත් රිදවීමක් නොවන බව අවධාරණයෙන් කිව යුතුමය...නමුත් අප සෘජුව අදහස් එල්ල කරන පාර්ශවය, එය විචාරා බැලීමට අකමැති, හැඟීම් වලින් තීරණ ගන්නා අයෙකු නම්, ඒ සෘජු අදහස් වලින් ඔවුනගේ සිත් රිදවීම වැලැක්විය නොහැකිය... එහෙයින් ලාංකික ජන සමාජය තුල බොහෝ විට ස්ට්‍රේට් ටෝක් වලින් පලක් වන්නේ නැත...

මා ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරන සමයේ, ඉතා අවශ්‍ය මොහොතක හැර අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින්නියක් වූයෙමි...ලංකාවේ විශ්ව විද්‍යාල සංස්කෘතිය තුල ආචාර්‍ය, මහාචාර්ය වරු දෙවි වරුන් ගනයේ ලා සැලකිය යුතුයැයි ව්‍යංගයෙන් සම්මත වූ නීතියක් ඇත...එහෙයින්, මිනිසත් කමට හැර කිසිම හජ්ජියාර් කෙනෙකුට හිස නොනමන මා බොහෝ විට නිහඩව සිටියේ, මාගේ ස්ට්‍රේට් ටෝක් වලින් දෙවියන් උදහස් කර පලක් නොවන නිසාවෙනි...එහෙත් මාගේ  ගුරුවරුන් වූ ආචාර්ය වරුන් සියලු දෙනා බොහෝ උතුම් මිනිසුන් වගත්, ඔවුන් සමග මා නිතර සෘජුව අදහස් ප්‍රකාශ කල වගත්, ඔවුන්  මගේ පරිකල්පන හැකියාවට බොහෝ සේ ඉඩ කඩ ලබා දුන් බවත් ගෞරවයෙන් ලියා තැබිය යුතුය...

එකල යොවුන් වියේදී හරි හැටි දමනය කල නොතුබු මගේ කේන්තිය නිසාවෙන් විටක මේ සෘජු අදහස්, ආවේගශීලි හැඟීම් සමඟ මුසු කිරීමේ දුර්වලතාවය මට තිබුන වගත් මා පිළිගත යුතුය...

මා ඇමෙරිකාවට සංක්‍රමනයත් සමඟ ජීවිතය ඉතා වෙනස් විය...සමහරවිටක හිස දෙපසට සොලවා "නැතැයි" කීමට හුරුවී සිටි මට ඇමෙරිකානුවන් ඉදිරියේ පැහැදිලි ලෙස "නැහැ" හෝ "බැහැ" යයි කීමට අතිශය නිදහසක් ලැබිණි...අවුරුදු තිහකටත් වඩා කාලයක් මා තුල සඟවා ගෙන සිටි, අප්පචිගෙන් උරුම වූ පෞරෂය මතු කරගැනීමට මේ භූමිය මට මහා නිදහසක් විය..ඒ නිසා මා මේ බහුතරයක් මිනිසුන්ට ආදරය කරමි...

පසු කාලීනව ඉතා දරදඬු විද්‍යාඥවරියක සමඟ ගත කල අවුරුදු පහක කාලය තුල, ඉතා ඉහල ඉවසීමක් සහ ආත්ම විශ්වාසයක් සහිතව මගේ අදහස් ප්‍රකාශ කිරීමට මම උගත්තෙමි...අදහසක් ප්‍රකාශ කිරීමේදී, එය අනිකාගේ පරිකල්පනය තුලට එබ්බ වීමට නම්, ඒ ප්‍රකාශය කිරීමේ ඇති සියුම් චලන හෝ ඉරියව් වලින් පිළිබිඹු වන විශ්වාසනීය හැඟීම් ඉතා වැදගත් බව ඇය සමඟ මා කල සාකච්චා, තර්ක විතර්ක වලදී මට වැටහිණි...අවසානයේදී, ඇයට යමක් ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇත්තේ ඒ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති සියුම් හැසිරවීම් හරහා බව මට අවබෝධ වී තිබිණි...

එමෙන්ම මා ඇසුරු කරන ජීවත් වන පරිසරය තුල නොනැසී පැවතීමට නම් සෘජුව අදහස් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය කරුණකි...ඒ බොහෝ ඇමෙරිකානුවන් සමඟ ස්ට්‍රේට් ටෝක් ගනුදෙනුව ඉතා පහසුය...ඉතා සංවේදී කාරණා පිළිබඳව පවා පරස්පර විරෝධී අදහස් මතුකරමින්, ඒවා විවේචනය කරමින් කරගෙන යන බුද්ධිමය සංවාද, මට ඉතාමත් ආස්වාදජනකය...මොළයට පෝෂණය ලැබෙන්නේ ඉතා අමිහිරි දෑ පවා මිහිරි ලෙස විශ්ලේෂණය කරනා සාකච්චා වලදීය...එයින් කිසිදු පාර්ශවයක් සිත් රිදවා නොගන්නා අතර, අප කිසිදා නොසිතූ මානයන් ගැන පවා සිතා බලන්නට ලැබෙන බව මම අත්දැකීමෙන් දනිමි...

ඔබේ දරුවාට අයිස් ක්‍රීම් සහ චොකලට් තට්ටු පිටින් තවරා අදහස් ප්‍රකාශ කරමින්, ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමට අකමැති, තවත් ඔබ වන් වැඩිහිටියෙකු බිහි කරනවාද යන්න ඔබ තීරණය කලයුතු කරුණකි...

එවන් සියල්ලෝම වැඩිහියන් වී තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කරගත නොහැකිව, පවතිනා සමාජ ක්‍රමයට දෙස් දෙවොල් තියන්නෝ බවට පත් වෙති...

තමන්ගේ ලිංගික හැඟීම් පිළිබඳව තම සහකරුවා සමඟ ප්‍රකාශ කරගනු බැරිව සමාජ ජාලා තුල අසහනය වපුරන්නෝ වෙති...

තමන්ගේ ප්‍රධානියා සමඟ තම රැකියාවේ අඩු පාඩු, උසස් වීම් හෝ වැටුප් වර්ධක පිළිබඳව සෘජුව කතා කර නොහැකිව රැකියාවට වෛර කරන්නෝ වෙති...සේවකයින් දෙස විවෘත මනසකින් බලන්නට උගෙන නැති, අයිස්ක්‍රීම් තට්ටුව පමණක් රස විඳින්නට උගත් ලොක්කෝද, තිත්ත ඇත්ත අසා පිළිගත නොහැකි මාන්නයෙන් වැජඹෙති...


ප්‍රේම සම්බන්ධයක් අතට අසු වූ පසු යොවුන් දරුවෙකු, සියදිවි නසා ගන්නා මානසික තත්වයක් ඇති කිරීමට මෙවන් ගුරුවරුද දෙමාපියන්ද නිශ්චිතවම වග කිව යුත්තෝ  වෙති...

ස්ට්‍රේට් ටෝක් ඇති ජීවිත ඉතා පහසුය...මමත්වය අඩු මෙවන් ජීවිත තුල ඔබ කියනා ස්ට්‍රෙස් බොහෝ සේ අවමය...

කෙසේ වෙතත් ස්ට්‍රේට් ටෝක් නිරන්තරයෙන්ම කල නොහැකිය...එවන් පොලිටිකල් අවස්ථාවලදී, ව්‍යාජ එකඟතාවයකට වඩා මුනිවත රැකීම නුවණට හුරු බවද ලියා තැබිය යුතුමය...

.......................................................................................................................

වරදවා වටහා නොගන්න....මේ ස්ට්‍රේට් ටෝක්, කූඹියෝ නාටකය පුරාම දිග හැරුනාක්‌ වැනි "ගේම් කාරයින්" සමඟ ගණුදෙනු කිරීමේදී කිසිසේත්ම අදාළ නොවේ...එවන් "ගේම් කාරයින්" මේ සමාජයේ ඕනෑ තරම්ය...කාර් කාරයින්, බයිසිකල් කාරයින්, පොලිස් කාරයින්, කුඩු කාරයින්, දියවන්නාවේ නයි කාරයින් වාගේම කවි කාරයින් හා බ්ලොග් කාරයින් අතරත් එවැනි ගේම් කාරයින් ඇත්තේය...උන්ට ඒ ඒ ඇජෙන්ඩා ක්‍රියාත්මක කල යුතු අතර, ස්ට්‍රේට් ටෝක් කලහොත් ඔබ සියතින් ගෙල සිදගත්තා වන්නේය... 


w.w. 
**Wathsala Wijayalath**
18 March 2018


Sunday, March 11, 2018

ප්‍රේමයක නැත හිමි අහිමි කම්....

https://www.threadless.com/product/1811/let_go


සයුර මත්තේ හැපී වැලපී  
ගඟක් සිය දිවි නසාගත් හැටි  
බලාගත් අත බලාගෙන සඳ 
මතක බණ පද අහනවා ඇති... 

අදත් මහ රෑ නිදිවරාගෙන 
හූල්ලන උලමියේ  දැන් ඇති
ප්‍රේමයට දොස් කියා පල නැති 
හිතට හිමිකම් ඔප්පුවක් නැති...

මල්සරා විස පෙවූ හීයක 
පැසව පැසවා ආ රසෝඝය
ඇසෙන් බට දේවතා එළියක 
පැටලි පැටලී ආ විරාගය...

හී උගුල්ලා පලා ගිය දා 
කලත් හිත කඩවරට යාගය 
මාත්‍රා වස් නොමැති කවියක 
ලියා තැබුවෙමි මම වියෝගය...

රනින් කල රන් දමක මුදුවක 
මැණික ඇති නම් වී පරිස්සම් 
සින්නකරගනු බැරිව නොතැවෙමි 
ඉඳහිටක දැනුනත් කෙනිත්තුම්...

අයිතියක් ඉල්ලමින් නාඬමි 
බින්න ගිය ප්‍රේමයක වත්කම් 
නොදුටුවා සේ මගැර යමු අපි  
අපේ හිත් වල කැළැලි හිස් තැන්...

...............................................................

ww 
03MAR 2018