Tuesday, December 26, 2023

රිසර්ච් and ලයිෆ් (ජීවිතය ලියා තබමි 5)

වසර අවසාන මෙහෙයුම් වාර්ථාවෙහි සාරාංශය...

එය වසර අවසාන නිවාඩුවට පෙර, මා විසින් මට පවරා ගෙන තුබූ අවසන් කාර්යය...මා සිතා සිටියේ එය වරුවකින් නිමා කරන්නට...

දැනට ක්‍රියාත්මක වන පර්යේෂණ ව්‍යාපෘති (research projects) හතරක්...නිමා කල එක් ව්‍යාපෘතියක්...ඒවායේ ලිඛිත ප්‍රගති වාර්ථා සකස් කිරීම් සහ වාචික ඉදිරිපත් කිරීම් (presentations)...2024/2025 අරමුදල් ලබා ගැනීම සඳහා සකස් කරන ලද තරඟකාරී පර්යේෂණ ව්‍යාපෘති යෝජනාවලි (research proposals) හයක්...නිමා කරන ලද පර්යේෂණයක දත්ත ඇතුලත් පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශනයක් සහ දැනට සකස් වෙමින් පවතින එවන් පත්‍රිකා දෙකක්...පේටන්ට් බලපත්‍රයකට අවශ්‍ය දත්ත...ඩොලර් මිලියන ගණනාවක්  වටිනා පර්යේෂණ ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාතු...එකී මෙකී නොකී කළ කී දෑ, අනිකුත් රාජකාරී මැද සාරාංශ ගත කොට හමාර වන විට දවසක් ගත වී හමාරයි...

මේ දෙවන ජෛව ආරක්ෂණ මට්ටමේ (Bio safety level 2) පර්යේෂණාගරයක් පරිපාලනය කරමින්, එහි සියලු පර්යේෂණ වැඩ කටයුතු මෙහෙයවන, පර්යේෂණාගරයේ ඇති අන්තරායකර ජීවී ද්‍රව්‍ය (biohazardous waste) බහලාන ඇසුරුම දක්වාම වග කිවයුතු විද්‍යාඥයෙකුගේ වගකීම් සම්භාරයෙන් කොටසක්...කෙතරම් සහායකයින් සිටියද, රැකියාව කෙරෙහි ආශාවෙන්, ඉතා නිවැරදිව සහ මනා කළමනාකාරිත්වයෙන් යුතුව, වගකීමෙන්, විශ්වාසදායක ප්‍රථිපල ලබා දෙන පර්යේෂණ සහයකයෙක් හමු වන්නේ ඉතා කලාතුරකින්...එවැනි තත්වයක ප්‍රධාන විශ්ලේෂක (Principal Investigator) සහ අධ්‍යක්ෂක වරයා ලෙස වගකීම් දරන විද්‍යාඥයෙකුගේ මොළයේ සියලු ස්නායු, අංශක තුන්සිය හැටක පරාසයක් ආවරණය කරන, රේඩාර් පද්ධතියක් සේ හසුරුවා ගැනීම ඉතා වැදගත්... 

මා මේ සඳහන් කරන්නේ ලාභ නොලබන (non-profit), ඇමෙරිකානු වෛද්‍ය පර්යේෂණ (medical research) ආයතනයක් යටතේ පවතින,  පර්යේෂණාගරයක් පරිපාලනය කිරීමේදී දරන්නට වන වගකීම් වලින් කොටසක්...විද්‍යාගාර අධ්‍යක්ෂක වරයෙකුගේ ප්‍රධානම අභියෝගය වන්නේ ඵලදායිතාවයෙන් යුක්ත, නව්‍ය පර්යේෂණ ව්‍යාපෘති නිර්මාණය කිරීම සහ නව ව්‍යාපෘති සඳහා අරමුදල් සොයාගැනීම... මේ පර්යේෂණ සඳහා සම්බන්ධ වන බොහොමයක් විද්‍යාඥයන්ගේත්, ඔවුන්ගේ සහායකයින්ගේත්, සම්පුර්ණ පඩිපතෙහි බරත් (full burdened salary), පර්යේෂණයට අදාළ සෘජු පිරිවැයත්, ඒ මත ගොඩ නැගෙන ආයතනීය වක්‍ර පිරිවැයත් (direct and indirect costs), මේ අරමුදල් වල අයවැයට ඇතුලත්...එහෙයින් පර්යේෂණාගරයක් පරිපාලනය කරන්නාවූ ප්‍රධානියෙකුගේ හිස මත ඇත්තේ ඉතා විශාල බරක්...එම පර්යේෂණාගාරයේ සහ එම විද්‍යාඥයාගේ වෘත්තීය ගමන් මග තීරණය වන්නේ, ඔහු හෝ ඇයගේ දැනුම සහ බුද්ධිය මත ගොඩ නගන්නාවූ පර්යේෂණ යෝජනාවලියන් විසින්...අධි පීඩන කලාපයක, මැරතන් කාල සටහනක් දුවන්නා වූ ඔවුන් තම ආත්මයෙන්ම  මේ පර්යේෂණ වලට ඇබ්බැහි වූවන්...තර්කානුකූල බුද්ධිය, දැනුම සහ රාමුවෙන් එපිට සිතීමේ හැකියාව මෙහිදී අතිශය වැදගත්...එමෙන්ම, හිරු එළිය විනිවිදන ගැඹුරු විලක් වන් නිරවුල් මනසක්ද එවැන්නෙකුට අත්‍යාවශ්‍යමයි...

ඔව්, මා දැන් මේ මැරතන් තරඟයට ඇබ්බැහි වී, ඉතාම කුඩා පර්යේෂණ ප්‍රථිපලයකින් පවා කිව නොහැකි තරමේ ආත්ම තෘප්තියක් ලබන්නියක වී හමාරයි...මෙයින් වසර විස්සකට පමණ පෙරාතුව, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීටයෙන් පටන් ගෙන නිව්යෝක් විශ්ව විද්‍යාලය හරහා ලෝකයේ ප්‍රධාන, ඇමෙරිකානු පර්යේෂණ බලඇණියක් දක්වා මා  ආ මේ ගමන...පැය දහසයකට වඩා නොකඩවා පර්යේෂණාගරයේ ගත කල දින ගණන්...කරන්නා වූ කුමන හෝ දෙයක, ඉතා ක්ෂුද්‍රමය හෝ නොවැදගත් යැයි සිතෙන කොටසක් පවා පරිපූර්ණ ලෙස නිමා කිරීමට ගත් උත්සාහයන්...ඉතා උසස් ගණයේ මාර්ගෝපදේශකයින්...කුමන අන්දමකින් හෝ සෑහීමකට පත් නොවූ විද්‍යාඥයින්...මේ සියල්ලම අද දිනයේ "මා" යන පුද්ගලයා සහ වෘත්තිකයා නිර්මාණය කිරීමට බොහෝ සේ ඉවහල්  වූ සාධක...

ඕනෑම මිනිසෙකුගේ අදහසක ඇති හරය පමණක් විශ්ලේෂණය කර එහි ඇති චිත්තාවේගයන් එසේත් නැතිනම් ඉමොශන්ස් (emotions) පෙරා වෙන් කරන්නට ඇති හැකියාව පසු ගිය අවුරුදු කිහිපය තුල මා හුරු කල දෙයක්...එමෙන්ම  ඉමොශන්ස් වලින් තොරව පැහැදිළිව තමන්ගේ අදහස අනිකාට ප්‍රකාශ කිරීමද මා මේ කාලය තුල ප්‍රගුණ කරමින් පවතින දෙයක්...මේ අදහස මෙතන ලියා තබන්නට හේතු වූයේ තමන් කරනා දෙය පිළිබඳව අනිකාගේ ප්‍රශංසා හෝ අදහස් බලාපොරොත්තු වීම පිලිබඳ ඉයන් ලියා තුබූ අපූරු ලිපිය නිසාවෙන්...

මගේ අදහස නම්, තමා වෙහෙස වී, කාලය, ශ්‍රමය සහ දැනුම කැප කරමින් කරන්නාවූ රාජකාරියකට හෝ කරන්නා වූ නිර්මාණයකට හෝ නඩත්තු කරන්නා වූ සම්බන්ධයකට දිය යුතු අගය පිලිබඳ හොඳම මිම්ම ඇත්තේ තමන් එයින් ලබන ආත්ම තෘප්තිය තුල... මිනිසුන් බොහෝ සේ ප්‍රතිචාර මත යැපෙන්නේ තමන් විසින් අතිශය ලෙස වින්දනය නොකරන්නාවූ  සහ තමන් ඉතා ආත්ම විශ්වාසයෙන් නොකරන්නාවූ දෑ සඳහා බවයි මගේ නම් අදහස...අනිත් අතට, නොයෙකුත් සැඟවුණු න්‍යාය පත්‍ර ඇතුව ප්‍රතිචාර ලබා දෙන මිනිසුන් සිටිනා ලෝකයක, මේ සියලු අදහස් පෙරා උරා ගැනීමත්, ඒවායින් වල්මත් නොවී එළඹි සිහියෙන් සිටීමත්, තමාගේ අරමුණු කරා යාමට ඉතා වැදගත්...එමෙන්ම, අප සියල්ලෝම පෘතග්ජනයන් වූ ලෝකයක, යම් කෙනෙකුගේ සිත සුවපත් වෙන ප්‍රශංසාත්මක අදහසක් හෝ ප්‍රතිචාරයක් ලබා දීම අපට නොමිලයේම කරන්නට හැකි දෙයක් හෙයින්, එය කිරීමට කිසිවෙක් මැලි විය යුතුත් නැහැ....සමහර විටක අප තබා යන්නා වූ ඉතා ක්ෂුද්‍ර වූත්, අතිශය සුන්දර වූත් එවන් මතකයක් හෝ සටහනක් එය ලබන්නාගේ ජීවිතයම වෙනස් කල හැකි දෙයක් වෙන්නට පුළුවන්...

ඇය මට තබා ගියේ එවන් මතකයක්...ඉතා කුඩා දැරියකව විසාකාවේ හොස්ටල් කොරිඩෝව තුල සාංකාවෙන් ඇවිද යන විටක එක් පසකට පිරූ කැරළි සහිත කෙටි කොණ්ඩයක් තිබුණ ඇය මා  සමඟ සිනාසුනේ බොහොම යන්තමට...ඇය ටිකක් නපුරු ඇති...කුඩා මට හිතුනේ එහෙම...ඒ සිනහවේ ඇය සඟවා උන් අතිශය ආදරනීය සහෝදරත්වය මා දැන ගන්නේ ඉන් වසර තිහකට ආසන්න කාලයකට පසුව මා මුහුණු පොතේ එකල ලියූ නිර්මාණ වලට ඇයගෙන් ලැබුන ප්‍රතිචාර වලින්...මින් වසර පහකට පමණ පෙර මා හදිසියේම මගේ මුහුණ පොතද බ්ලොගයද සියලුම සමාජ මාධ්‍යද අක්‍රිය කරන්නේ මිනිසුන්ගේ කලබලයෙන් මිදෙන්නට හිතාගෙන...ඒ මිනිසුන් අතර මට බොහෝ කරුණාවෙන් ආදරය කල මගේ පාසල් මිතුරියන් සහ වැඩිමහල් සහෝදරියනුත් මා ඉතා ආත්මාර්ථකාමී ලෙස අමතක කර දැමූ බව කිව්වොත් නිවැරදියි...ඉන් පසුව ඇය මට සිදු වූයේ කුමක්දැයි සොයා තිබුනත් මා ඇයට ප්‍රතිචාරයක් දැක්වීමට තරම් වෙහෙසක් දැක්වූයේ නැහැ...ඔව්, ජීවිතය බොහෝ කෙටියි...අප ආදරය කරන, අපට ආදරය කරන මිනිසුන් වෙනුවෙන් මොහොතක් කැප කිරීමට ඇති නොහැකියාව, රාජකාරී කලබලය මත පැටවූ මට, සදාකාලික  වූත්, විග්‍රහ කල නොහැකි වූත්, කවියකට පෙරලිය නොහැකි වූත්, වේදනාවක් ඉතිරි කමින් ඇය හදිසියේම යන්න ගිහින්...ඇය නමින් කල්හාරි ලියනගේ...වෘත්තියෙන් විනිසුරු වරියක්...ඇගේ සමකාලීනයන් අතර බොහෝ සේ ආදරණීය චරිතයක්...මිනිස්සුන්ට තියෙන්නේ පණ ගැහෙන හිත්...ඔබ යන්න ගියේ මට එහෙම කියාගෙන...කල්හාරි අක්කේ ඔබට සුබ ගමන්...  


..............................................................................................................

මේ ලිපිය මා විසින් මට ලබාදුන් ප්‍රශංසාවක්...කොවිඩ් වසංගතය සමඟ එළඹුන බොහෝ වෙහෙසකර වසර තුනක අවසානයේ, සියලු වසංගත රෝග පර්යේෂණ උඩු යටිකුරු වුනු කාලවකවානුවක, මේ සටහන ලියන්නට ජීවතුන් අතර සිටීම වෙනුවෙන් සිතට නැගුන ප්‍රීතිය වෙනුවෙන් ලියවුනක්...

ඔබ සැමට සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන, ඔබේ මනාපය නිවැරදිව භාවිතා කරන්නට හැකි වන, නිදුක් නිරෝගී, සුබ 2024 කට මගෙන් සුබ පැතුම් !!!  


Sunday, December 3, 2023

මල් මැරුනෙ ආදරෙන් හිත පැලිල බඹරුන්ට

 “මගෙ කියා කෙනෙක් නැත” බුදු බණේ කිව්වාට 

“උඹ මගේමයි” හිතුවෙ, මං නොතේරුම් කමට 

හීනි පෙති අගිස්සෙන්, නටු වලට  ඇලුනාට 

මල් මැරුනෙ ආදරෙන් හිත පැලිල  බඹරුන්ට …


මං උඹේ ඇහ වැටුන සතර මහ ධාතුවක්  

විඥානෙන් උඹේ, අත් ඇරපු සලකුණක් 

උඹ හීන් සීරුවෙ ඇනපු රත් වෙච්ච ගිණි හුලක් 

ඇවිලෙනව පපුව මැද සංසාරෙ ගින්දරක්…. 


ඉඳහිටක මං උඹට අනා කැවු බත් පිඩක 

බත් නෙවේ තිබුනෙ බං ආදරේ මහමෙරක  

කාලෙ හරි රත්තරනෙ අභිනිෂ්ක්‍රමණයට

පිං උඹට පෙන්නාපු සසර පෙර නිමිත්තට…. 





 

Friday, November 24, 2023

මිනිස්සු සහ ටර්නින්ග් පොයින්ට්ස් (ජීවිතය ලියා තබමි - 4)

ශිෂ්‍යත්ව ප්‍රථිපල නම් ආව. 

පාස් උනේ නැති පොඩි එව්වෝ දුකෙන්. උන්ගෙ අම්මලා ඊටත් වඩා දුකෙන්.

සමහර පුංචි උන්ට, උන්ගෙ තවම හරි හැටියකට පටන් නොගත්ත ජීවිත ඉවරයිදෝ කියලත් හිතෙනවා ඇති. 

එත් පුතේ, ශිෂ්‍යත්වය හෝ වෙනත් කුමන හෝ විභාගයක් ඉහලින්ම පාස් උනත් නැතත්, උඹලගේ ජීවිතේ ඔය ගෙවන හැම මොහොතක්ම, පාස් වෙන්න හෝ ෆේල් වෙන්න උඹලට ලැබෙන අවස්ථාවක්. 

ඒක උඹලගේ වැඩිහියන්ටත් සමහර වෙලාවට අමතක වෙච්චි කාරණාවක්.

මගේ අම්ම, අප්පච්චිටත් එහෙම උනා. 

කොළඹ නැවතිලා ඒ ලෙවල් කරල ගමේ ආපු මං අහසින් පොළොවට වැටුන. මං කොළඹ උන්න අවුරුදු දෙක තුන ඇතුලෙ මං මගෙ අරමුණු වලින් හුඟක් පිට පැනල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා කියල මට තහවුරු වුනේ, අම්මයි, අප්පච්චියි, මල්ලියි ගෙදර ඉඳන් ජීවත් වෙන්න කරන හරඹේ දැකල.

බොහොමයක් වැඩිහිටියන්ට ජීවිතේ එක්ක හක්කලං කරද්දී අමතක වෙනවා, දරුවොන්ට හරි පාරෙ යන්න නම් කන්න බොන්න දීල,වියදමට සල්ලි හොයල දීල විතරක්ම මදි කියල. 

ඔව්, ගෙදර මුදුන් ලීය වගේ ඉන්න අප්පච්චි කෙනෙක් අවුරුදු ගාණක් තිස්සෙ අසනීපෙන් ඉන්නකොට එහෙම වෙනවා. සමහර වෙලාවට දරුවන්ගෙ ජීවිත නූල් බෝල වගෙ පැටලෙනවා. ඒ උනාට ඉතිං වැඩිහිටියෝ උනත්, අම්ම, අප්පච්චි කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් ජීවිතේ පැටලෙනවා. 

අපි හිතුවට දරුවන්ට අවුරුදු දාසය දාහත උනාම උන් හරි ලොකු මිනිස්සු කියල. නෑ...ඒක එහෙම වෙන්නෙ නෑ. උන්ට මොළේට කථා නොකර උන්ගෙ බඩටයි, වස්තරේටයි කොයි තරම් සැප දුන්නත් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි දරුවො කියන්නෙ කෙවිටක් අරන් හරක් වාගේ හසුරවන්ට පුළුවන් ඈයොත් නෙවේ. ලංකාවෙන් නම වෙනියට ශිෂ්‍යත්වෙ පාස් උනාට, මටත් අවුරුදු දාහතේදී  ජීවිතේ හසුරවගන්න තරම් ඥාණයක් පහල වෙලා තිබුනේ නෑ. 

දරුවෝ ඉන්න දෙමව්පියෝ නිතරම මතක තියා ගන්න ඕනේ කාරණේ තමයි "ආරෝග්‍යා පරමා ලාභා" කියන දේ...සමහර දේවල් තියනවා තම තමන්ගේ කර්මය අනුව සිද්ධ වෙන අපිට පාලනය කරන්න අමාරු දේවල්. මගේ අප්පච්චි අසනීප වෙන්නෙ එහෙමයි කියල මං හිතන්නෙ. මටයි මල්ලිටයි ලැබිල තිබුනෙ බුදු කෙනෙක් වගේ අප්පච්චි කෙනෙක්. තමන්ගේ බිරිඳ, දරුවෝ එක්ක හදාගත්ත තමන්ගෙ කුටුම්භයෙ රජෙක් වෙලා උන්නු මිනිහෙක්. සුරාවෙන් සූදුවෙන් තොර මිනිහෙක්. එහෙම මිනිස්සුත් ලෙඩ වෙනවා. 

ඒ කාලේ වාගේ නෙවේ. අද කාලේ අපිට නිතරම කැවෙන්නේ වස විස. මේක බලන අම්මල, අප්පච්චිලට මං  කියන්නේ ඉස්සර වෙලාම තමන්ට ආදරේ කරන්න. පුළුවන් හැම මොහොතකම, තමන්ගේ මනස, සහ සිරුර නිරෝගීව තියා ගන්න උත්සාහ කරන්න. තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. තමන්ට ආදරේ නොකරන මිනිස්සු කායිකව සහ මානසිකව පිරිහෙනවා. එහෙම කෙනෙකුට අමාරුයි තමන්ගෙ දරුවට හොඳ මාර්ගෝපදේශකයෙක් වෙන්න. 

ඉතිං, ආපහු මගෙ කතන්දරේට. 

කෙටියෙන්ම කියනව නම් හිතුමනාපෙට ඒ ලෙවල් කරලා මං ගෙදර ආව. එතකොට තමයි දැක්කෙ, ගෙදර ඈයෝ ජීවත් වෙන්න කරන හරඹේ.  අපි ගත කලේ හුඟක් අමාරු කාලයක් කියල මං දැනන් උන්නට, ගමේ ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මට හරියටම ඒකෙ දිග පළල තේරුනේ. 

දැන් ඉතින් මක් කරන්නද? මෙඩිසින් යනවා තියා හිතන්නවත් බෑ මට එන්න තියන ඒ ලෙවල් රිසල්ට්ස් වලින්... 

එතකොට අප්පච්චි මං වෙනුවෙන් ගොඩ ගහපු හීන... 

ඒවට මොකද වෙන්නේ... 

ඒ ගැන හිතද්දී මට එදා ඒ අවුරුදු දහ නවයෙදි දැනුන පශ්චාත්තාපය ගැන මේ වගේ ලියමනකින් විග්‍රහ කරන්න මට කවදාවත් බැරි වෙයි. 

ඒ පශ්චාත්තාපයේ පරිමාව තමයි මේ තරම් දුර ගමනක් එන්න මට ශක්තියක් උනේ.

හදවතට එකඟව ඇත්ත කියනවා නම්, මගේ ජීවිතේ ලබපු සියළුම ජයග්‍රහණ සියල්ලම මං අරන් දුන්නෙ මගෙ අප්පච්චිට. එයා තමයි මගෙ සීමාව අහසෙ ලකුණු කළේ. 

මට අහස අල්ලන්න ලොකු උවමනාවක් හිත ඇතුලෙ නොතිබුනත්, මේ ලෝකෙ මට සීමා මායිම් නැහැයි කියල මුලින්ම මගෙ හිතට කාවැද්දුවේ මගෙ අප්පච්චි....ඒක එහෙම උනාට මගෙ අප්පච්චි මං  පොළොවෙන් පළවෙනි අඩිය ගන්නවා බලන්නවත් ජීවතුන් අතර උන්නෙ නෑ. 

ඒත් මං අදටත් ඒ ගමන යනවා. 

මොකද අප්පච්චිට පස්සෙ, මට දෙවැනි අප්පච්චි වෙච්ච, ඒ උනාට මං උගෙ අම්මයි, අප්පච්චියි දෙන්නම කියල හිතන් ඉන්න මල්ලි කෙනෙක් මට ඉන්නවා. දේවතාවියක් වගේ අම්ම කෙනෙක් ඉන්නවා. තව මගෙ වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, උන් දෙන්නගේ ලස්සන ඇස් තියන අම්මයි තුන් දෙන්නත් ඉන්නවා. ඒ හැමෝගෙම ආදරෙන් මං වැටි වැටි නැගිට නැගිට අහස අල්ලන්න යනවා.

මේ කථාව මං ලියන්න ගත්තේ ජීවිතේ සමහර තැන් වල ෆේල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මගෙ ජීවිතේ සමහර  ප්‍රධාන හැරවුම් ලක්ෂ පිටිපස්සේ උන්නු, මගේ ජීවිතය ගැන මොහොතක් නැවතිලා අවර්ජනා කරන්න මාව පොළඹවපු, මට මුණ ගැහුණු  මිනිස්සු ගැන ලියන්න. ඒක පොඩ්ඩක් ඉමෝෂනල් උනා, ඒකට සමා වෙන්න. ෆේල් වෙන්න ඔන්න මෙන්න ඉන්න උන්ට මේකෙ තියන සමහර දේවල් වැදගත් වෙයි කියල මං හිතනවා. 

"ජයතුංග සර්" කියන්නෙ ඒ කියන කුලකයට අයිති මනුස්සයෙක්. ඒ මගේ පළමු රැකියාවේ මගෙ ප්‍රධානියා. ඉස්කෝලෙන් පිටදී මට හමු   වුනු පළමු ගුරුවරයා. මට ඒ වෙද්දී අවුරුදු දහනවයයි. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් නෑ මට මතක හැටියට, ඒ ලෙවල් කරලා මාස තුනක් වගේ ඇති ඔය කියන කාලේ. අහස අල්ලන්න යන්න කලින් ගෙදරට කන්න බොන්න, අප්පච්චිට බෙහෙත් ගන්න උදව්වක් වෙන්න හිතාගෙන මං  හා හා පුරා ගියපු රස්සාව. පඩිය රුපියල් 1500 සහ 2500 අතර. මට හරියටම මතක නෑ දැන්. ඒක ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. තනතුර "කම්පියුටර් ඔපරේටර්".

මං හැන්දෑවේ හතරට විතර තමයි ගමේ ඉඳන් කොළඹ ඔය කියන තැනට ඉන්ටර්විව් ආවේ. ඒ වෙද්දී මට කොළඹ හොඳට හුරු උනාට (ඒ හුරු උනේ අවුරුදු දා හතේදී විතර පිටකොටුවෙ බෝ ගහ කියල හිතන්, ඒ කාලේ ට්‍රාන්ස් ඒශියා එකට මෙහා පැත්තෙන් තිබුන මොකක්ද ගහක් බලන් බැහැල ලැබුන අත්දැකීම් වලින්) කොළඹ සහ ගම අතර රෑ ගමන් මං ගිහින් තිබුනෙම නෑ. ඒ හන්ද ගෙදරින් පිටත් වෙච්ච වෙලේ ඉඳන් මගෙ ඔළුවේ තිබුනේ පිටකොටුවෙන් අවසාන බස් එක ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ. ඔහොම හිත හිත මං ඉන්ටර්විව් ගියා. 

ජයතුංග සර් හරි ප්‍රතාවත්, ඒ වගේම හරිම කරුණාවන්ත, උත්තුංග දේහදාරී මනුස්සයෙක්. නමට පිටිපස්සෙන් අකුරු ගොඩාක් තිබුනා. ඒ අකුරු වලට හරියන දැනුම වගේම, හොඳ බුද්ධියකුත් ඔහුට තිබුනා. අපි කොළඹ ඉස්කෝලේ ගියාට හරි හමන් විදියට කම්පියුටර් එකක් අත ගාල තිබුනේ නෑ.  මේ 1998 මුල කාර්තුව. 

ඔය ඉන්ටවිව් එකේ අහපු වැදගත්ම ප්‍රශ්නේ තමයි මං "ඩේටා එන්ට්‍රි" දන්නවද කියන. මං දැනන් උන්නු ඩේට එන්ට්‍රි එකක් නෑ . ඒ තියා මං හරියකට කම්පියුටර් කී බෝඩ් එකක් වත් දැකල තිබුනේ නෑ. එත් මං ක්ෂණයකින් තීරණය කළා මං  "ෆේක් ඉට් ටිල් මේක් ඉට්" තියරි එක මෙතනදී ඇප්ලයි කරනවා කියල. මං බොරු කිව්වේ නෑ. මං පොලිටිකල් උත්තරයක් දුන්න. "මාව පුහුණු කලොත් මට පුළුවන් කරන්න". ජයතුංග සර් අපේ ඉස්කෝලේ දරුවෝ ගැන දන්න, ඒ අයත් එක්ක වැඩ කරලා පුරුද්දක් තිබුන කෙනෙක්. ඒ නිසා ඔහුට මං ගැන විශ්වාසයක් තියෙන්න ඇති. ඒ නිසා මාව ඔහුගේ යටතේ සේවයට බඳවා ගත්තා. පස්සෙ තමයි සර්ට තේරුනේ මේ ලෝකේ ඉන්න බොහොම හිතුවක්කාර, නාහෙට නාහන ගෑණු දරිවියෙක් සේවයට අරගෙන, මේක මහ විසාල කරදරක් උනා කියල. 

සර් ඇරෙන්න එතන උන්නු සේරම තමන්ගේ නමට පිටිපස්සේ ලියවුන අකුරු වල සැර අපි වගේ පොඩි එව්ව්වොන්ට පෙන්නුව මිනිස්සු. මට කුඩා මොළේට වැටහුන විදියට සර්ගෙ ටැලන්ට් එක සහ ස්කිල්ස් එතන උන්න අනික් නෝනලා, මහත්තුරුන්ට ජීර්ණය කරගන්න බැරි උනා. මට උන්ව ජීරණය කරගන්න බැරි උනා. මම පිදිය යුත්තන්ට පමණක් පුදන කෙනෙක්. කිසිම කෙනෙක් ළඟ ඔහේ දණ ගහන්න මං දන්නෙ නෑ. මට ඒක කරන්නත් බෑ. රෙස්පෙක්ට් එක කියන්නෙ  තමන්ගේ තියන මොනයම් ගුණයක් නිසා හෝ අනුන්ගෙන් ලැබෙන්න ඕනේ දෙයක් කියල මං පුංචිම කාලේ ඉඳන් විශ්වාස කල දෙයක්. ඉස්කෝලෙන් ආපු ගැම්මත් ටිකක් හරි නොතිබුනා නෙවේ. ඒ හින්ද ජයතුංග සර් ඇරෙන්න මං එතන උන්නු කිසි කෙනෙක්ට හිත යටින් රෙස්පෙක්ට් කලේ නෑ. බොහොම තරුණ අවධිය නිසා මගෙ වචන වලට ෆිල්ටර්ස් තිබුනෙත් නෑ. ඉතිං ජයතුංග සර්  ඒ සම්බන්ධයෙන් බොහොම කරුණාවෙන් මට අවවාද දීල තියනව. මං සර්ට ස්තුති වන්ත වෙනවා මගෙ කොන්ද නොකැඩූ එක ගැන. අදටත් මං අතිශය රාජකාරී ලෙස, නොපෙරපු අදහස් ප්‍රකාශ කරන එහෙමත් නැත්නම් කෙලින් කතා කරන මනුස්සයෙක් විදියට තමයි මෙහෙ මිනිස්සු  මාව දන්නෙ. 

ජයතුංග සර්  මට හිතේ හැටියට කම්පියුටර් එක ඉගන ගන්න ඉඩ ඇරිය. මට ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී ලිපි ලියන විදිය ඉගැන්නුවා. ඒ ගැන හදාරන්න පොත් පිංචක් දුන්නා වගේ මතකයකුත් තියනවා. මට මාස දෙක තුනක් යනකොට එක්සෙල්, වර්ඩ්  වගේම ඩොස් ඔපරේටින්ග් සිස්ටම් එක ගැනත් සෑහෙන අවබෝධයක් ලැබුන. සර් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න අපිව බොහොම උනන්දු කෙරෙව්වා. සර්ගෙ ඉංග්‍රීසි ලිවීම සහ කථාව තිබුනේ එක්ස්ෂෙප්ශනල් ලෙවල් එකේ. සර් දිහා බලාගෙන මං බොහොමයක් දේවල් ඉගන ගත්තා. ඒ වගේම එතන අනික් උන්දලා දිහා බලල තීරණය කළා මේ වගේ මිනිස්සු යටතේ පාලනය වෙන රස්සාවක් මං කවදාකවත් කරන්නේ නෑ කියල. ලොකු කාමරයක් ඇතුලේ පේලියට පුටු තියාගෙන බොහොම පොඩි පඩියකට වැඩ කරපු මිනිස්සු දිහා බලාගෙන ලෝඩ් ල වගේ උන් ඉස්සරහ ඉඳගෙන තමන්ගෙ ශරීර වලින් දහසක් රැස් විහෙදනවා කියල හිතාගෙන උන්නු වගක් තමයි උන්දලාගේ පේන්න තිබුනෙ. 

මට මං කවුද කියල තේරුම් ගන්න  ඒ මිනිස්සු සේරම උදව් උනා. මගෙ යටිහිත දැනන් උන්න මගෙ ලඟත් ඒ වෙද්දි හරි විදියට පාවිච්චි නොකරපු එක්ස්ෂෙප්ශනල් හැකියාවක් තියනවා තියනවා. මං දැන් දන්නවා මේ හැකියාව හැමෝටම තියනවා. අවාසනාවට බොහොම ටික දෙනයි තමන්ට එහෙම හැකියාවක් තියන බව දන්නේ. 

ඔය ටික තේරුම් ගත්තට පස්සෙ මං තීරණය කළා ඉහළට ඉගන ගන්න. ඒ උනාට ගෙදර තිබුන කරදර එක්ක සහ අපේ ලංකාවේ ඒ ලෙවල් වලින් හැලෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක මං දැනන් උන්නෙ නැහැ යන්න ඕනෙ හරිම පාර. 

ඔය අතරේ මං අසනීප උනා අලුත් රැකියාවට ඇවිත් මාස දෙක තුනකින් වගේ. ඒ නිසා මට ටික දොහක් ගෙදර නවතින්න උනා. ඒ ඉන්න අතරෙ, මං අරමුණක් නැතිව පත්තර වල පාඨමාලාවන් හෙව්වා. එහෙම හොයද්දි තමයි විවෘත විශ්ව විද්‍යාලය එහෙමත් නැත්නම් ඕපන් යුනිවර්සිටි එහෙමත් නැත්නම් ඒ කාලේ නම් "ඕපන්" එකේ ස්වභාවික විද්‍යාවේදී (නැචුරල් සයන්සස්) අංශයේ මූලික උපාධියට අයදුම් පත් කැඳවල තිබුනේ. ඒ කාලේ ඕපන් ඒකෙ උපාධියට ගියේ රුපියල් 36000ක් වගේ ගානක්. මට ඒ යන වියදම හොයාගන්න පැහැදිළි ක්‍රමවේදයක් නොතිබුනාට මං ඕපන් එකේ උපාධිය කරන්න ක්ෂණයකින් තීරණය කළා. අවසානයේ අප්පච්චි මං වෙනුවෙන් ඉතිරි කරලා තිබුන මුදලිනුත් (සෑහෙන ප්‍රමාණයක් මට අවුරුදු දහඅට පිරුන ගමන් ගෙදර අවශ්‍යතා වෙනුවෙන් ගන්න උනා) ඉතිරි වෙලා තිබුන කුඩා මුදල යොදවල මං උපාධිය සඳහා රෙජිස්ටර් උනා, ඒ 1998 අවසාන කාර්තුවේ. ඒ වෙනකොට ජයතුංග සර්ට වගේම මටත් ඒ රස්සාව ඇති වෙලයි තිබුනේ. මට මතක විදියට 1999 මුල කාර්තුවේ ජයතුංග සර් ඒ ආයතනයේ සේවයෙන් ඉවත් උනා.  ඉන් මාස දෙකකට වගේ පස්සෙ මමත් මගෙ පළමු සහ අවසාන "ඔෆිස් රැකියාවට" තිත තිබ්බා. 

මට ඒ ලෙවල් රිසල්ට්ස් තිබුනෙ, ඒ (සූලොජි), සී (කෙමිස්ට්‍රි), සී (බොට්නි), එස් (ෆිසික්ස්). එහෙම රිසල්ට්ස් වලින් ඕපන් එකේ මං මුලින්ම සම්පුර්ණ කරපු සබ්ජෙක්ට් එක උනු බොට්නි වලට "ඒ" එකක් ආවා. ඒ ආපු "ඒ" එක තමයි මගෙ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කලේ. ඉන් පස්සෙ මට "ඒ" එකකට අඩුවෙන් යමක් ආව නම් ඒ උනේ මම සබ්ජෙක්ට්ස් ගොඩක් එකට කරන්න ගිහින් අමාරුවේ වැටුන වතාවක විතරයි. මට එක කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකකට බැච් ටොප් තෑග්ග පවා ලැබුනා. මිනිස්සු නොවුනට, මේ "ඒ" ගොඩවල් ටිකත් මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ. මං ඒවට අදටත් හරි ආදරෙයි. 

මට විෂය ලකුණු මට්ටම්  හරහා ලැබුන මහපොළ ශිෂ්‍යත්වයෙන්, මට  පුළුවන් උනා උපාධියට ගිය වියදෙමින් ඉතා විශාල ප්‍රතිශතයක් පියවා ගන්න. මේ හැමදේම කලේ මගේ අප්පච්චි දෙතුන් වතාවක් රෝහල් ගත වීම්, නිතර අසනීප වීම, මැද්දේ. ඒ ගැන මං කලින් ලිපියකත් ලියල ඇති. මං  ඒ අතරේ හතේ අටේ පුංචි උන්ට මැත්ස් ටියුෂන් ක්ලාසුත් කළා. 

ජීවිතේ බර කරගහගෙන යනකොට මිනිස්සුන්ට  තමන්ගේ වයස, සතුට, නිදහස, ආදරේ මේ සේරම අමතක වෙනවා. මටයි මල්ලිටයි දෙන්නටත් ඒක එහෙමම උනා.  ඒ ඔක්කොම දරා ගන්න ඕපන් එකේ මට උන්නා මාව බොහොම ආදරෙන් බලාගත්තු මට වඩා වැඩිමහල් සහෝදර සහෝදරියෝ කිහිප දෙනෙක්. ඒ මිනිස්සුන්ගේ ආදරේ මට දැනුන හැටි මට මෙතන විස්තර කරන්න තේරෙන්නේ නෑ. ඒක එයාල දන්නෙ නැතුවත් ඇති. 

ඒ ලෙවල් ෆේල් කියන්නෙ ජීවිතේ ෆේල් වෙන එක නෙවෙයි. ලංකාවේ සම්ප්‍රදායික විශ්ව විද්‍යාලයකට යන්නම ඕනේ නෑ ජීවිතේ පාස් වෙන්න. තමන් රැකියාව කරන්න යන විෂය පථය නිවැරදි විදියකට හැදෑරීම සහ ඒ ගැන පුළුල් අවබෝධයක් තිබීම තමයි මං හිතන විදියට නම් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි අපේ හැකියාවන්, ආසාවන් සහ අවශ්‍යතාවයන් හරියට තේරුම් ගත්ත නම් නිවැරදි ගමනාන්තයට ලඟා වෙන්න පහසුයි. 

මිනිස්සුන්ගේ හුඟාක් මිත්‍යා මත තියනවා. ඒව මේ පුංචි උන්ගේ ඔලුවට වැටුනම උන් ඉතින් සදහටම නන්නන්තාර වෙලා තමයි නවතින්නේ. සුදු කොලර් රස්සාවල් විතරක් නෙවේ රස්සාවල්. ඊයෙ පෙරේදා ගෙදර වතුර බටයක් කැඩිලා ප්ලම්බර් චාජස් ඩොලර් 800කට වඩා වැඩි උනා. අමුතු ඇටේ නම් ඉතින් ඒ හැමෝම බාස් ල. තමන්ගේ හැකියාව වටහ ගන්නවත්, ඒක යහපත් රැකියාවක් කරගන්නවත් අධ්‍යාපන ක්‍රමවේදයක් අමුතු ඇටේ නෑ. 

එළඹෙන හැම තත්පරේකටම අපි වග කියන්න ඕනේ. ජීවිතේ කියන්නෙ එක පාරටම ගොඩ නගාගන්න පුළුවන් දෙයක් නෙවේ. තතප්රෙන් තත්පරේ, දවසින් දවස ගොඩ නගා ගන්න දෙයක්. සාර්ථක වෙන්න නම් අපි ඒ හැම තත්පරේම අපි කරන මොනම හෝ දෙයක් වේවා අති විශිෂ්ට විදියට කරන්න උත්සාහ කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ගමන සාර්ථකයි. ඒ වගේම අපිට කුඩා පරිමාණ අරමුණු හරහා තමයි මහා පරිමාණ අරමුණු වලට ලඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඕපන් එකේදි මගෙ අරමුණක් තිබුනෙ නෑ අද මං මේ ඉන්න තැනට එන්න. මට ඕනෙ උනෙ පළමු පන්තියේ සාමාර්ථයක්. මං විශ්වාස කළා ඒ හරහා මට ඊළඟට යන්න තියන පාර හොයා ගන්න ලැබෙයි කියනඑක. ඉතිං, මට ඕනේ වෙච්ච ඒ ෆස්ට් ක්ලාස් ඩිග්රි එක ගත්තා. ඒ ලෙවල් වලින් "කැම්පස්" යන්න බැරි උන මං ෆස්ට් ක්ලාස් ඩිග්රි එකක් එක්ක ඕපන් එකෙන් පිට උනා.

ඒ උනාට අප්පේ ඕපන් එක කියන්නේ විශ්ව විද්‍යාලයක්ද? දැන් ඉතින් ඔය සහතිකේ පිළිගන්නවද? ඕකෙන් මොනවද කරන්න පුළුවන් රස්සාවල්....... 

දැන් නම් ඉතිං කවුරුත් එව්වා අහන්නෙ නෑ.ඒ කාලෙ නම් කණක් ඇහිලා ඉන්න තිබුනෙ නෑ. 

කොටින්ම අප්පච්චිගේ මිනිය ගෙදර තියෙද්දී මගෙ අන්තිම සෙමෙස්ටර් එකේ අවසානම සබ්ජෙක්ට් ගියා කියලත් කයි කතන්දර කියපු එව්වො තමා අදටත් ඔය අමුතු ඇටේ ඉන්නෙ. 

එදා ඒ ගමන ගිය හන්ද තමයි මට ඊට මාස කිහිපයකට පස්සෙ කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධිය හදාරන්න අවස්ථාව හම්බවෙන්නේ. ඒ අවස්ථාව මට අරන් එන්නෙ කිසිම හිතේ කහටක් නැතිව, කිසිම හිඩ්න් ඇජෙන්ඩා එකක් නැතුව, නංගියේ මට පී.එච්. ඩී හරියන්නෙ නෑ, උඹ කරනවා නම් චාන්ස් එකක් තියනවා කියල කියාපු ඕපන් එකේදි මට මුණ ගැහුන,  මගේ ආදරණීය සහෝදරයා, ප්‍රසාද් අය්යා. 

ඒ අතින් මං හුඟක් වාසනාවන්තයි. මට ජීවිතේ බොහොම ආදරණීය, මට ආදරේ කරපු මනුස්සකම් වලින් පිරුණ "මනුස්සයෝ"  බොහොම සුළුතරයක් මුණ ගැහුණා. ඒ මිනිස්සු මගෙ ජීවිතේ පුරා ඇඳපු හැරවුම් ලක්ෂ වලින් මං මගෙ ඉවට හැරුනා.

ඔය ෆස්ට් ක්ලාස් එකේ තව කතන්දරයක් තියනවා. පී.එච්.ඩී කරන්න අවස්ථාව ලැබෙන්න කලින්, ෆස්ට් ක්ලාස් තිබුන මගෙ යාලුවෙක් මාවත් ඇදගෙන ගියා බොට්නි (මට මතක විදියට)  ඩිපාර්ට්මන්ට් එකේ තිබුන ඩිමොන්ස්ට්‍රේටර් වරුන් තෝරා ගැනීමේ ඉන්ටර්විව් එකකට. මාව ඉන්ටර්විව් කරපු ලෙක්චරර් නෝනා ගත් කටටම කිව්වෙ නැතයි ඔයාට මෙව්ව හරියන්නේ නෑ වගෙ කථාවක්. ඒ කියන්නෙ මට සුදුසුකම් මදිලු. ඒකට මට පොඩ්ඩක්වත් හිත රිදුනෙ නැති උනාට, ඒ සිද්ධියත් මගෙ හිතේ බොහොම තදින් සනිටුහන් වුනු සිදුවීමක්. ඒ විදියෙ දේවල් නම් ඉතිං කැම්පස් වල බොහොම සාමාන්‍යයි. ඒවායින් අඩියක් පස්සට ගන්න මිනිස්සුන්ට ජීවිතේ ගමනක් නෑ.

............................................................................................................සමහර හැරවුම් ලක්ෂ හරිම අභියෝගාත්මකයි. තමන් ගැන විශ්වාසයක් නැති මිනිහෙක්ට ඒවායෙන් හැරෙන්න හරි අමාරුයි.............................................................................................

ඉතිරි ටර්නින් පොයින්ට්ස් ගැන පස්සෙ ලියන්නම්....

Have Faith in Yourself!!!  

Every opportunity comes with its own risks...

You can't succeed if you don't have the courage to take the risks and if you are not willing step out of your comfort zone....


ජීවිතය ලියා තබමි....1

ජීවිතය ලියා තබමි-2 අප්පච්චී සහ වී මෝල

එයා...(ජීවිතය ලියා තබමි-3)



Friday, November 10, 2023

වලස් පුංචා සහ ඉඳිකටු පැංචා

වලස් පුංචයි, ඉඳිකටු පැංචයි ඉන්නෙ ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කොනක තියන බොහොම සුන්දර ගමක. වලස් පුංච හතේ පන්තියේ. ඉඳිකටු පැංච තාම හතරේ පන්තියේ. උන් දෙන්නටයි, උන්ගේ පරම්පරාවේ උන්ටයි සිද්ධ වෙච්ච අලකලංචියෙ තරමට උන්ගේ මහ එවුන් මාස හතරකින් ඉගන ගත්තුවා උන්ට දැන් දවස් දෙකෙන් ඉගන ගන්න වෙලා. දෙසැම්බර් වලට ඔන්න මෙන්න උනාට උන්ට තවම තුන්වෙනි වාරේ පටන් ගත්ත විතරයි. අනේ ඉතින් උන්ගේ මහ එවුන් එදා වේල හොයාගන්න සටන් කරද්දි වලස් පුංචල වචනෙන් කියාගන්න බැරි තරම් ජීවිතේ එක්ක පොර බදනවා කියල සුද්දට හිතුනේ උන් දෙන්න මාරුවෙන් මාරුවට කියන ඒවා අහන් ඉඳල. සුද්ද කිව්වේ උන්ගේ නැන්දා.

(ඔහොම කියවගෙන යං). 

පිටරට්ටුන්ගේ කටෙන් බේරගත්තු අමුතු ඇටේ, අපේ එවුන් අවුරුදු හැත්තෑ පහක් තිස්සේ කටේ දාගෙන සූප්පු කරලා හප කරපු තරමට, ඒක දැන් වවුල්ලු අත ඇරලා දාපු කොට්ටම්බා ඇටේ වගේ.  ඒකෙ ඉඳන් උස් මහත් වෙන්න වෙච්චි වලස් පුංචලට, ඉඳිකටු පැංචලට අලි මදිවට හරක් කියල වසංගතේකුත් ආව. ඉඳිකටු පැංච දෙවෙනි පන්තියට ගියා විතරයි ඉස්කෝල වැහුව කොවිඩ් වලින් බේරෙන්න. පොඩි උන් අකුරු ලියන්න, ගණන් හදන්න ඉගන ගන්න පටන් ගත්ත විතරයි. මේ ළගදි දවසක ඉඳිකටු පැංචලට හතර වසරෙ දෙවෙනි වාර විභාගෙ තිබ්බ. ඉඳිකටු පැංචගෙ හොඳම යාළුවට ගණන් වලට ලකුණු දහනවයයිලු, පැංච බොහොම විස්සෝපෙන් සුද්දට කිව්ව්. එහෙම කොහොම එච්චර ලකුණු අඩුවෙන් ගන්නෙ?  ඇයි එයාට බැරි එච්චර ලේසි ගානක් හරියට හදා ගන්න? පැංචගෙන් සුද්දට ප්‍රශ්නයක්. දැන් ඉතින් දීපන්කො උත්තර. සුද්දට කල්පනා උනේ ඒ පන්තියේ  ගණිත ටීචර්ට මේක නොතෙරුනේ කොහොමද කියල. ඉඳිකටු පැංච කියන විදියට සමහර ළමයින්ට හරියට අකුරු ලියාගන්නත් බෑ, ඒ උනාට ටීචර්ලට ගාණකුත් නෑ. ශිෂ්‍යත්වයට මුහුණ දෙන්න ඔන්න මෙන්න ඉන්න (කොයි අවුරුද්දේද කියන්න දැම්ම කල් වැඩියි, කොළ ටිකයි ටීචර්ලා ටිකයි හොයාගෙන, අර විභව්‍යතාමාන දාල අපබ්‍රංශ වචන වලින් ගණන් ප්‍රශ්න ටික එහෙම හදාගෙන ලෑස්ති වෙන්න ටිකක් කල් යයි) ඉඳිකටු පැංචලගෙ වයසෙ ඉන්න මේ පැටවු ටික අකුරුත් බැරි මෝඩයෝ කරපුවාම ඇටේ සූප්‍පු කරන වැඩේ පරම්පරාගත උරුමෙන් කරගෙන යන්න ඇහැකි වෙයි කියල තමයි ලොකු උන්නැහේල හිතන් ඉන්නව ඇත්තෙ. 

සුද්දට හිතෙන විදියට වලස් පුංචගෙ ජීවිත කථාව ඉඳිකටු පැංචට වඩා බොහොම ඛේදනීයයි.  කොවිඩ් වසංගතේ එද්දි වලස් පුංච හතරේ පංතියේ. ඉස්කෝල වැහුව. සුද්දට මතක විදියට මේ වකවානුවේදීම වෙන්න ඕන ටීචර්ලා ටිකත් පාරට බැස්ස. වලස් පුංචට තේරෙන භාෂාවෙන්, ඔය ටීචර්ලව උසි ගන්නපු මහ මොළ කාරයට  අම්ම මෝ නැතුව බැනපු කාලයක් තිබුන (ඒ යකාගේ නම මතක නෑ, මහ උන්ට එව්වා පේන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා වගේ පෙනුනට,  ඉගන ගන්න ඉස්කෝලේ යන්න ආස, වලස් පුංචට පෙනුනේ  එහෙමයි). අන්තිමේදී වලස් පුංචා හරියකට ඉස්කෝලෙට පය තිබ්බෙ හත වසරෙදි. කථාව කියවන් යන්න. වලස් පුංචට කරන උපහාරයක් විදියට මං ඒ විස්තරේ ඔහෙලට කියන්නම්.

ඔන්ලයින් ඉගන ගෙන ශිෂ්‍යත්වයට ගියපු වලස් පුංචලාට හෙන ගැහුව වගේ ප්‍රශ්න පත්තරයක් හදල තිබුන උන්ව පරිපාලන සේවෙට තෝරගන්න හිතාගෙනද කොහෙද. වලස් පුංච දන්නා වැඩ සේරම දාල උත්තර ලිව්වට ප්‍රශ්න තුනකට ලියාගන්න වෙලාවත් මදි වෙලා තිබ්බ. මේ 2021 තියන්න හිටපු 2022 මුල භාගේ තියපු ශිෂ්‍යත්ව විභාගෙ. ප්‍රශ්න පත්තරේ දැකපු සුද්දට වලස් පුංච ගැන සහ නොසැලී උත්තර ලියපු අනිත් දරු පැටවු ගැන අප්‍රමාණ ගෞරවයක් දැනුන. ඒ අවසාන ප්‍රශ්නය දක්වා ප්‍රශ්න ටික කියවගෙන යන්න තරම් උන්ට තිබුන විල් පවර් නොහොත් අප්‍රතිහත ධෛර්ය ගැන හිතල. සුද්දත් අතෑරියේ නෑ, පැය දෙක තුනක් ගත කරලා, අතරමැද පොඩි විවේක දෙක තුනකුත් අරන් වලස් පුංචා විනාඩි 45 න් හැදුව ප්‍රශ්න පත්තරේ හරි උත්තර එක්ක හදල ඉවර කළා. සුද්ද ඔහොම උන්නට ශිෂ්‍යත්වෙන් දිස්ත්‍රික්ක පළවෙනියා, ඒ හින්ද ඔහෙලා හිතන්න එපා සුද්ද මෝඩය හින්ද එච්චර වෙලා ගියා කියල. එහෙම ගණිත ගැටළු වලට කියන්නේ විභව්‍යතාමාන කියලලු. සුද්ද ඒ වචෙනෙ තේරුම දන්නේ නෑ. ඒකෙ තේරුම දන්නා එකෙක් වැඩේට බැහැල 2023 ශිෂ්‍යත්ව විභාගෙටත් අර විදියෙම අපබ්‍රංශ ගැටළු ඔබල තිබුන. සුද්දට අම්ම වීඩියෝ කෝල් එකක් අරන් ප්‍රශ්න ටික කියෙව්වා. අම්ම කිව්වේ වලස් පුංචගෙයි, ඉඳිකටු පැංචගෙයි ඉතාමත් සීදේවි ආච්චි අම්මා. දෙන්නත් එක්ක එකතු වෙලා ප්‍රශ්න ටික තේරුම් ගන්න සෑහෙන සටනක් දෙන්න උනා. මොකද විභව්‍යතාමාන ගොය්ය ඉතාමත් ගැටළු සහගත සිංහලෙන් තමයි ඒ ප්‍රශ්න හදල තියෙන්නේ. අන්තිමේ දෙන්නටම මෙහෙම ඇහුන, දැන් ඉතින් අපි ඉඳිකටු පැංචට මොකද කරන්නේ? එයාටත් ගණ දෙය්යන්ගේ පිහිට තමයි සුද්දට හිතුන.

නොදන්නා අයට දැනගන්නයි ලියන්නේ, පහ වසරෙන් එහාට පන්ති නැති ඉස්කෝල අමුතු ඇටේ තියනවා. ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි යන්න ලැබුනේ එහෙම ඉස්කෝලෙකට. ඒවාට අල්ලපුම ටවුමේ තියන ලොකු (උසස් පෙළ දක්වා තියන) ඉස්කෝල වල ළමයින්ව ටීචර්ලට මේච්චල් නෑ. ටීචර්ලට ඊට එහා අසූ හාරදාහක් ආර්ථික ප්‍රශ්ණ. ඒ ටවුමෙන් එහාට ලෝකයක් තියනවා කියල දෙන්න තරම් ඉස්පාසුවක්වත්, දැනමුතුකමක්වත් උන්ගේ මහා එවුන්ටත් නෑ. උන්ගෙන් තමයි අර මත් වෙන බීමයි, මත් ටොෆියයි ඇබ්බැහිය පටන් ගන්නෙ. ටීචර්ලටයි, මහ එවුන්ටයි අත් ඇරිච්ච පොඩි උන් තමයි මේ ජාවාරම් කාරයින්ගේ ටාගට් එක. ඉඳල හිටලා දහිරිය වන්ත සංසාරේ පින් තියන දරු පැටියෙක් ඒ ටවුමෙන් එහාට ගිහින් ජීවිතේ හොයාගන්නවා.  ආන් ඒකයි සුද්දගේ ගම් පළාතේ එවුන්ට ශිෂ්‍යත්ව විභාගේ වැදගත්. 

ආයිමත් යං වලස් පුංචගේ කතන්දරේ ඉතිරි ටිකට. වලස් පුංචගේ ඇතා අප්පුච්චයි, (සුද්දගේ හා පුංචා) සුද්දයි දෙන්නම ඔය කියන මහ විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ලොකු ඉස්කෝල වලට ගිය ළමයි. ඒ උනාට ඒ කාලේ වගේ දරු පැටියෙක්ව ඇහ මානෙන් ඈතට යවල ගෙදර එනකල් බලන් ඉන්න තත්වයක් මහ එවුන්ට දැන් නෑ. ඉපදිලා මාස දෙකක් ගිය දරු පැටිය පවා රේප් කරන ලෝකයක් මේක. වලස් පුංච ශිෂ්‍යත්ව විභාගේ හොඳින් සමත් උනා. හැබැයි කොළඹ ඉස්කෝල වලට යන්න ලකුණු මදි.  ගෙදර උදවිය පෙරලුන පිට හොදයි කියල වලස් පුංචව ඇතුල් කළා ඒ පළාතේ තිබුන විනය අතින් හොඳයි කියාපු, ශිෂ්‍යත්වය සමත් පැටවූ පමණක් ඇතුලත් කරගන්නා පාසලකට. වලස් පුංචට ශිෂ්‍යත්ව ප්‍රථිපල එන කාලේ වෙද්දී හරි නම් වලස් පුංච ඉන්න ඕනෙ හයේ පන්තියේ දෙවන වාරේ. කොවිඩ් වලින් සහ ඩොලර් වලින් බැට කමින් ඉඳපු අමුතු ඇටේ සියලුම දේවල් සිද්ධ උනේ ප්‍රමාද වෙලා.  වලස් පුංච ශිෂ්‍යත්ව ප්‍රථිපල ඇවිත් ඉස්කෝලෙකට තේරෙද්දී මැති ඇමතිලා බේරේ වැවේ. මිනිස්සු තෙල් පෝලිමේ. වලස් පුංචා දැන් හය මාසෙකට වඩා ගෙදර. අන්තිමේ අලුත් ඉස්කෝලෙ ඔන්ලයින් ක්‍රමේට උගන්වන්න පටන් ගත්ත. අර අපබ්‍රංශ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේට ලියපු වලස් පුංචා දැන් ඕනේ දේකට ඔට්ටුයි. අලුත් ඉස්කෝලෙ හය වසරේ ටීචර්ල ටිකත් බොහොම ආදරෙන් දරුවන්ට උගන්වනවා.  අන්තිමේ පැට්‍රොල් ඩීසල් ටිකයි, ඩොලර් ටිකකුයි ණයට ඉල්ලගත්තු රටේ අප්පච්චිගේ ගෝලයෝ රොත්ත අමුතු ඇටේ ක්ෂණයකින් සුඛිත මුදිත කල හන්ද වලස් පුංචට අලුත් ඉස්කෝලේ හැබැහින් දැකගන්න වාසනාව ලැබුන. මේ 2022 ජුලි මාසේ අන්තිම. වලස් පුංච සන්තෝසෙන් උඩ පැන පැන දවස් දෙක තුනක් අලුත් ඉස්කෝලෙට ගියා විතරයි. 

යන්තම් වැස්ස තිබුන සෙනසුරාදාවක උදේ පාන්දරින්ම වලස් පුංචා ඇතා අප්පුච්චගේ මෝටර් සයිකලේට නැංගේ කෙදිරි ගගා, රෝද හතරෙන් පන්තියට යං කියල. ඒක  එහෙ මෙහෙ කරන්න තියන කම්මැලි කමට වගේම විනාඩි දහයේ දුරක් නිසා වෙන්න ඕනෙ ඇතා අප්පුච්ච, වලස් පුංචව මෝටර් සයිකලේම තියාගෙන පිටත් වෙලා යන්න ලැබුනෙ වංගු දෙකක් විතරයි. පුංචි වලස් පුංචට සිද්ධ වෙච්ච දේ හොඳටම මතකයි. වලස් පුංචෝ හය්යෙන් මාව අල්ලගන්න, අපිව හැප්පෙන්නයි යන්නෙ, ඇතා අප්පුච්ච කෑ ගැහුවා. වලස් පුංච ඇතා අප්පුච්චගේ බඩ මැදින් තදින් අල්ල ගනිද්දි, තමන්ට ඉස්සරහින් පාර පුරා එන ගමන් තමන් දිහාවටම එන වෑන් තඩියව පෙනුන. ඇතා අප්පුච්ච මෝටර් සයිකලේ හොඳටෝම වේගේ අඩු කරලා පාරේ තිබුන අගලට ගනිද්දිම වෑන් තඩිය තමන්ගෙ සේරම සවි ශක්තිය දාල වලස් පුංචගේ දකුණු කකුලෙන් හිතේ වාඩුව ගත්ත. ඇතා අප්පුච්චගේ ඇඟ උඩ මෝටර් බයිසිකලේ. වලස් පුංචා වීසි වෙලා පාර මැද වැටිලා. 

වලස් පුංචට ඇහුන ඇතා අප්පුච්චා මාරාවේශෙන් විලාප දෙනවා, උඹ මොකද යකෝ මගේ වලස් පුංචට කලේ කියාගෙන. ඇතා අප්පුච්චා එහෙම මහා සද්දෙට කෑ ගගහ අඬනවා වලස් පුංචා මීට කලින් දැකල අහල තිබුනේ නෑ. සුද්ද දැකල තිබුනෙත් නෑ. මීට අවුරුදු ගාණකට කලින් හා පුංචාගේ දණහිස් පොල්කට්ට අතුරුදහන් වෙච්ච මාරක රිය අනතුර වෙච්ච දා හවසවත් ඒකා ඇඩුවේ නෑ. සුද්ද හා පුංචගේ දණහිස් පොල්කට්ට කුඩු වෙච්ච කකුලයි ලේ උරපු කොට්ටෙයි තමන්ගෙ උකුල උඩ තියාගෙන කොළඹට යනකල් සිහියෙන් ඉන්න දුන්න මහ සටන තාම සුද්දට අමතක නෑ. අවුරුදු විසිඑකේදී හා පුංචගේ ඇතා අප්පුච්චාගේ මිනියට කර තියන් යද්දිවත් හා පුංච ඇඩුවේ නෑ.

වටේ පිටේ උන්න කරුණාවන්ත, සුද්දගේ පවුලම දන්නා අඳුනන ගමේ මිනිස්සු එකතු වෙලා වැටිලා තිබුන මෝටර් බයිසිකලේ ඇතා අප්පුච්ච්ගේ ඇඟ උඩින් අයින් කළා. වලස් පුංචගේ විළුඹ තුවාල වෙලා ලේ ගලනවා. වෙන පිටින් පේන්න තුවාලයක් නෑ. වෑන් තඩිය පාර පුරා ගෙනාපු තරුණ කොලු ගැටය උගෙ ගාමන්ට් හයර් එක ගියා (ඒ ගැන කවුරුත් මෙතන ප්‍රශ්න අහන්න එපා, මේ දැනට නඩුවකට පැටලුන සිද්ධියක්). ඇතා අප්පුච්ච වලස් පුංචගේ සීදේවී ආච්චිගේ ඔලුවට ජීවිතේ දෙවැනි වතාවටත් හෙන ගෙඩියකින් දමල ගැහුවා. "අම්මේ එකෙක් අපිව හප්පගෙන ගියා". සීදේවී ආච්චිගේ පණ, වලස් පුංචයි, ඉඳිකටු පැංචයි, හා පුංචයි. 

වලස් පුංචගෙ ලස්සන ඇස් තියන අම්මා ඇඳිවත පිටින්ම වංගු දෙක දිව්වා. ඇතා අප්පුච්ච රෝද හතරෙන් වලස් පුංචවයි, ලස්සන ඇස් තියන අම්මවයි අරන් ටවුන් එකේ ඉස්පිරිතාලෙට ගියා. එහෙම කලාට ඇතා අප්පුච්චටත් හොඳවයින් පාරවල් තුන හතරක් වෑන් තඩිය දීලයි තිබ්බෙ. ඒ උනාට දරු දුක ළඟ මිනිස්සු නිකම්ම ඇත්තු වෙනවා. ඇතා අප්පුච්ච ආයිමත් ගෙදර ආවෙ තනියෙන්, වලස් පුංචව කොළඹට ගෙනියන්න (මොකද හා පුංචා සහ සුද්දා අමුතු ඇටේ ඉන්න විකලාංග දොස්තරල ගැන දන්නා එක්ස්පර්ට්ස්ල, කලින් වතාවේ දොස්තර පින්ටෝ මහත්තයගේ වාට්ටුවේ මාස දෙකක් විතර තැපල ඇවිත්, ඒ මනුස්සයට පිං සිද්ධ වෙන්න හා පුංචගේ ගාත් හතරම තාම හොඳටම වැඩ, ඒ තමා දොස්තර දෙවිවරු). 

සුද්ද වලස් පුංචට කථා කළා ඒ අල්ල පනල්ලේ. යකෝ රෝස මලක් වගේ උන්නට, වලස් පුංචත් සුද්ද වගේම තමා, ඇස් බෝල ගෙඩි දෙකත් ලොකු කරගෙන, කඳුළුත් කාගෙන වලස් පුංච කොළඹ යනවා. අනේ ඉතින් සුද්ද හිතුවේ දණහිස පැනපු එකයි විලුඹ තුවාල වෙච්ච එකයි විතරයි කියල වෑන්  තඩිය වලස් පුංචට කරපු හානිය. හැබැයි වලස් පුංචා කටින් කටට කිව්වේ කකුලේ උඩ කොටසට මොකුත් දැනෙන්නේ නෑ කියලයි.  පින්ටෝ මහත්තයගේ එක්ස් රේ ටික ඊට වැඩිය බොහොම දරුණු කතන්දරයක් කිව්වා. තයි බෝන් එක (ඒ කිව්වේ දණ හිසයි කලවයි සම්බන්ධ කරන අස්ථිය) හරියටම දෙකට මැදින් කැඩිලා. දැන් වලස් පුංචා ඉන්නේ කකුලට යකඩ ප්ලේට් එකක් දාල. සැත්කමෙන් පස්සේ වලස් පුංචාට ලේ දෙන්න උනා, ඒත් පුංචා පුංචි නිසා වැඩිහිටි ලේ එයාගේ ඇඟට ඇතුල් වෙන හැම වතාවේම එයා මරහඬ තැලුවා වේදනාවට. අන්තිමට නර්ස් නැන්දලා ලේ දෙන එක නැවැත්තුව. වලස් පැංචා නෙවිල් ෆර්නාන්දු රෝහලේ නැවතිලා හිටපු කාලේ එයාට සත්කාර කරපු පින්ටෝ දොස්තර මාම ඇතුළු සියලුම දොස්තර මාමලටත්, නර්ස් නැන්දලටත් සුද්ද මේ වෙලාවෙ තමන්ගේ හද පතුලෙන්ම නැගෙන ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. 

කතන්දරේ තව ඉවර නෑ. දැන් අර හැම තිස්සෙම උඩ පැනපු වලස් පුංචට ඇවිදින්න බෑ. ඉස්කෝලේ යන්න බෑ. ක්ලිනික් එක්ක යන්න ඕනේ. පිසියොතෙරපි කරන්න ඕනේ. සැත්කමින් සති හයකින් පස්සේ දෙකට කැඩුන අස්ථිය හා වෙලා, මාංශ පේශි වල ශක්තිය නැවත ලබාගෙන කකුල් දෙකෙන් ඇවිදින්න උත්සාහ කරන එක තමයි වලස් පුංචට ලැබුන ගෝල් එක. ගෙදර උදවියට වලස් පුංච දැන් මේච්චලුත් නෑ. ඒක එකම යුද්ධයක්. බලාගෙන ඉන්න බැරි තරම් වේදනාවක්. ඇතා අප්පුච්ච හොඳටෝම මානසිකව වැටිලා ඉන්නේ එයා හින්ද මේ දේ උනා කියල. මේ විදියෙ අනතුරකින් යථා තත්වයට පත්වෙන්න මොන තරම්  මහන්සි ගන්න ඕනෙද කියල එයා අත්දැකීමෙන් දන්නවා.

සුද්දට මුදූ හතකින් එහා ඉඳගෙන මේ විස්තරේ තවත් අහගෙන  ඉන්නත් බෑ. යකා බැඳ ගත්ත වගේ කරන රස්සාව එක පාරට දමල ගහල යන්නත් බෑ. හැබැයි සුද්දට පුළුවන් වලස් පුංචව ආන් බාන් කරගන්න. සුද්ද කියන්නේ වලස් පුංචලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, ලේ වල බරයි යාළු කමයි වගේම, උන් දෙන්න හිතන් ඉන්නේ සුද්දත් උන් වගේම පොඩි එකෙක් කියල. ඒ හන්ද සුද්ද යනවා වලස් පුංචා දිහාවේ, එතකොට සැත්කම කරලා සති දෙකයි. කොවිඩ් නිසා වුන එකම යහපත තමයි ටෙලි වර්ක් නොහොත් වර්ක් ෆ්‍රොම් හෝම්. සුද්ද දැන් කරන්න යන්නේ වලස් පුංචව බලා ගන්න ගමන්, ලෝකේ එහා කොනේ ඉඳන් මෙහා කොනේ රස්සාව කරන්න සති තුනකට. ඒ ඇති වලස් පුංචව ඇවිද්ද ගන්න. 

වලස් පුංචට ඉස්කෝලේ යාළුවො නෝට්ස් එව්වා. වලස් පුංච මර හඬ දිදී අර කැඩිලා තියන, දණහිස ඇද වෙලා තිබුන කකුලට සුද්ද එක්ක පිසියෝතෙරපි කළා. ඒවා කියල දුන්නෙ නෙවිල් ෆර්නැන්ඩු රෝහලේ පිසියෝතෙරපි මාම. ඒ එක්කම වලස් පුංචට ඉස්කෝලේ පළවෙනි වාර විභාගේ පටන් ගන්නවා කියල දැනුම් දුන්න. වලස් පුංචට ඉස්කෝලෙට යන්න බැරිව තදින්ම මානසික පීඩනයට පත් වෙලා තිබුනේ. වලස් පුංච ගෙදර උදවිය එක්ක කථා  කරලා වාර විභාගෙට යන්න තීරණය කළා. හැමදාමත් පාස්ට් පේපර්ස් වලින් විභාග ලියපු සුද්ද වලස් පුංච එක්ක පාස්ට් පේපර්ස් කරන ගමන් විෂය කරැණු කියල දුන්න. ගෙදර උදවිය සේරෝම උන්නේ බොහොම වැඩ අධික කාල සටහනක. වලස් පුංච නින්දට යනකල්ම නොනවත්වා කතා කළා. බොහොම අසාමාන්‍ය ලෙස එක දිගට කතා කරගෙන ගියා. එකකට එකක් සම්බන්ධ නැති දේවල් කියෙව්වා. පාඩම් වැඩ මතක තියාගන්න කලින්ට වඩා අමාරුයි කියලත් කන් කෙඳිරි ගෑව. එයාට වෙනම රෝද පුටුවක් සහ ඇවිදින ආධාරකයක් ගෙනත් ඇවිදින්න පුරුදු කළා. ඉඳිකටු පැංචා මේ සේරම බලාගෙන සද්ද නැතුව ගෙදර එහාට මෙහාට ගියා. වලස් පැංචා ගෙන් නිදහස් උනාම සුද්දට ඉඳිකටු පැංචාගේ ඉස්කෝලේ වැඩ ගැනත් බලන්න උනා. මේ කලබලේ අස්සේ පුංචි ඉඳිකටු පැංචව හැමෝටම මග අරුන කියල සුද්දට හිතුන. 

වලස් පුංච, ඇතා අප්පුච්චගෙයි, ලස්සන ඇස් තියන අම්මගෙයි, රෝද පුටුවෙයි පිහිටෙන් විභාගෙට ඉස්කෝලේ ගියා. ඒ හය වසරේ ටීචර්ලා ටික බොහොම ආදරෙන් වලස් පුංචට විභාගෙට වාඩි වෙන්න වෙනම තැනක් පිළියෙළ කරලා දුන්න. ඒ වගේම වලස් පුංචට චූ දාන්නත් ගුරු කාමරේ කොනක ලෑස්ති කරලා දුන්න. ඒ ගොඩක් දුර යන්න වලස් පුංචට බැරි නිසා. කැඩිච්ච කකුලත් පැත්තකින් උස්සගෙන, නිතර හැදෙන ඉසරදෙත් ඉවසගෙන වලස් පුංච අප්‍රතිහත ධෛර්යෙන් විභාගේ කරලා ඉතා හොඳින් ලකුණුත් අරන් පෙන්නුවා. ඒ ඉස්කෝලේ හය වසරේ ටීචර්ලට ගොඩක් ස්තුතියි. 

සුද්ද ආපහු එන්න දවස් දෙක තුනකට කලින් වලස් පුංච දෙපයින් හිට ගත්ත. ඒත් ඇවිදිනකොට පේන ඇදෙයි, දණහිස් පොල්කටුව පැත්තට ඇදිල තිබුන එකයි දකින කොට ඇතා අප්පච්චිට දරා ගන්න බැරි උනා. සුද්ද එන දවසේ රෑ වලස් පුංච අඬ අඬ කිව්වා එයා ඔහේ තේරුමක් නැතුව කතා කරපු හේතුව. වලස් පුංචට බයයි. ඇක්සිඩන්ට් එක මතක් වෙනවා. සුද්ද වලස්  පුංචට කිව්වා සිංදුවක් අහන්න, පොතක් කියවන්න කියල. ඒ පුංචි හිතෙයි ගතෙයි තිබුන වේදනාව තමන්ගේ කරගන්න ගෙදර උදවිය සේරෝටම උවමනාව තිබුනට, වලස් පුංචට ඒ හැමදේටම තනියෙන්ම මුහුණ දෙන්න උනා. ඒක තමයි සංසාරේ හැටි. 

තව කථාව ඉවර නෑ. වලස් පුංචා ආයිමත් ඇතා අප්පුච්චගේ  කර පිටින් ඉස්කෝලේ ගියා. ඒ උනාට තාම දණහිස ඇදයි. දණහිස ගැන පස්සෙ බලමු කියල පින්ටෝ මහත්තය සුද්දට කිව්වේ වලස් පුංචාගේ අනතුර වෙච්ච දවසෙමයි.  මාස කිහිපයක් ගත උනාට පස්සෙ ඇතා අප්පුච්ච නැවත පින්ටෝ මහත්තයා එක්ක මේ ගැන කතා කළා. දන්නා කියන සියලුම කෝණ වලින් ගත්තු එක්ස් රේ පින්තූර ටික දැක්කම ගෙදර උදවියට නැවතත් දෙවියන් සිහිවුනා. වලස් පුංචගේ දණහිස් පොල්කට්ට උඩින් කොටස් තුනකට වෙන් වෙන විදියට පැල්මක් ගිහින් තිබුන. කලින් එක්ස් රේ පින්තූර වල නොතිබුන. ඒකට හේතුව අනතුර එක්ක ඒ විදියෙ කෝණයකින් දණහිසේ එක්ස් රේ ගන්න අමාරුයි කියල තමයි සුද්දට වැටහුනේ. හේතුව මොක උනත්, මේ සැත්කම් දෙකම එක වර කරන්න බැරි දෙයක්. දැන් ඉතින් වලස් පුංචට තවත් සැත්කමක්. කලින් වතාවට වැඩිය යථා තත්වයට පත් වීමේ කතන්දරේ අමාරුයි. සති හයක් කකුල හොලවන්න තහනම්. ඉන් පස්සේ දණහිස නවන සටන. සුද්ද ආයිමත් මුදූ හතක් මෙහා ඉඳන් ලොකු හුස්මක් ගත්ත. 

කවුරු කොතැනක මේ අනතුර සිද්ධ කලත්, ඒ අනතුර කර කෙනා ඔහුගේ කර්මය සකස් කරගත්තා වගේම, වලස් පුංචා ඇතුලේ පවුලේ හැමෝම පෙර ආත්මෙක යම් කෙනෙකුන්ට කල හිරිහැර වල කර්ම විඳිමින් ඉන්නවා. වලස් පුංචට නිවාඩු කාලයක් බලල නැවතත් දෙවැනි සැත්කමක් කළා. වලස් පුංච ඒ වෙද්දී ඉංග්‍රීසි මාධ්‍යට මාරු වෙලා තිබුන හන්ද, හත වසරේ පළවෙනි වාර විභාගෙටත් සුද්ද මුදූ හතක් මෙහා ඉඳන්  වලස් පුංචට පාඩම් කියල දුන්න. එතකොට තමයි සුද්ද දැනගත්තේ, අමුතු ඇටේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් උගන්වන සමහර විෂයන් වල සහ ඒ ප්‍රශ්න පත්තර වල තියන්නේ ඉතාම පැටලිලි සහගත, සුද්ද මේ තාක් පාවිච්චි නොකළ ඉංග්‍රීසි කියල. මේ ලිපිය වගකිවයුතු කෙනෙකුගේ ඇහැ ගැටුනොත්  කරුණාකරලා මේ පොත් සරල පැහැදිලි ඉංග්‍රීසියෙන් ලියන්න උත්සාහ කරන්න කියල සුද්ද යෝජනා කරනවා. ඒ වගේම ඉංග්‍රීසි  හරියට නොදැන පරංගිය කෝට්ටේ ගියා වගේ ප්‍රශ්ණ වාර විභාග ප්‍රශ්ණ පත්තර වල ඉදිරිපත් කරන්නෙපා. කවුරුන් හෝ මේ භාෂා මාධ්‍ය නිවැරදිව දන්නා කෙනෙකු ලවා මේ ප්‍රශ්න පත්තර සකස් කරවාගන්න. එහෙම නැති උනොත් මේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් ඉගන දරුවන්ට නිවැරදි ඉංග්‍රීසි වෙනමම උගන්වන්න වෙයි. 

දැන් වලස් පුංච ඉස්කෝලේ යනවා. වලස්  පුංචාගේ කකුලේ තාම යකඩ තහඩුවක් තියනවා. ඒක අයින් කරන්න නැවතත් සැත්කමක් කළ යුතුයි, ඉක්මනින්ම. වලස් පුංචගෙ පංතියේ බාගෙකට වඩා දරුවන්ට ලකුණු 40ට අඩුයි ගොඩක් විෂයන් වලට. දරුවෝ ටීචර්ලා කියන දෙයක් සත පහකට ගණන් ගන්නෙ නෑ කියල තමයි වලස් පුංචා කියන්නේ. දරුවෝ නෝට්ස් ලියන්නේ නෑ. ටීචර්ලා ඒ වගක් දන්නෙත් නෑ. හැමෝටම ප්‍රශ්න. වලස්  පුංචලගේ, ඉඳිකටු පැංචාලගේ අනාගතේට මහ එවුන් හෙමින් හෙමින් වල කපල ඉවරයි. දරු පැටව් බොහොම නොසන්සුන්. උන්ගේ ප්‍රශ්න වලට දෙමාපියෝ ඇහුම්කන් දෙන්නේ නෑ. ඒකට මහ උන්ට වෙලාවකුත් නෑ.

සුද්දට ආඩම්බරයි වලස්  පුංචයි, ඉඳිකටු පැංචයි ගැන. ඒ වගෙම දුකයි. ආඩම්බර උන් මෝඩයෝ නොවෙන හන්ද. දුක සුද්දලාගේ පරම්පරාව (උඹේ, අපේ භාෂාවෙන් කිව්වොත්) පට්ට ෆේල් හන්ද. ජගත් මනුවර්ණ මලය එක යූ ටියුබ් වැඩසටහනක කියනවා මේ තරම් මිනිස්සු මරන්න පුළුවන්ද කියල. මට මතක විදියට ඔහු එතනදි සඳහන් කරන්නෙ එදා මෙදා තුර සියලුම සිවිල් අරගල වලින් සහ යුද්ධෙන් කාලාන්තරයක් තිස්සේ මැරුණු අමුතු ඇටේ මිනිස්සු ගැන. එහෙම මිනිස්සු මරනවා සහ මැරෙනවා බලන් උන්නු, බස් එකට නැගල වාඩි වෙන්න කලින් බෝම්බ තියනවද කියල බලපු, ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, රාජපක්ෂ, රනිල් එකී මෙකී නොකී සියලුම පාලකයින්ගේ, දේශපාලුවන්ගේ සහ අන්තර්ජාතික න්‍යාය පත්‍ර වල හිර වෙච්ච, ඒවා දැන දැනත් තාමත් ඒවා විවේචනය කරන්නට පමණක් වෙහෙසෙන අපි උඹල ඔක්කොම ෆේල් තමයි.  එහෙම හිතෙන්නේ ඉඳිකටු පැංචල, වලස් පුංචල වයස අවුරුදු අටක් නමයක් වෙද්දිම ජිවිතේ හති වැටිලා ඉන්න හැටි දැක්කම.  ෂාරුක් ඛාන් ගෙ අලුත් චිත්‍රපටියක් ආව මේ ලඟදි "ජවාන්". බැලූ බැල්මට සාමාන්‍ය කතන්දරයක්, ටිකක් මනි හයිස්ට් කතන්දරේට සමාන රොබින් හුඩ් තීම් එකේ අපි හැමෝම ෆැන්ටසයිස් කරන ලෝකයක් හදන්න හදන වීරයන්ගෙ කතන්දරයක්.  හැබැයි ඒකෙ ලස්සන පණිවිඩයක් දෙනවා. මිනිස්සුන්ට කියනවා තමන්ට තියන වටිනාම අයිතිය, තමන්ගේ ඡන්දය නිවැරදි විදියට පාවිච්චි කරන්න කියල. මිනිස්සු තමන්ගේ සල්ලි වියදම් කරන්න කලින් මිලදී ගන්න හැමදේ ගැනම ඉතා ගැඹුරු ලෙස ප්‍රශ්න කරනවා. හැබැයි මිනිස්සු තමන්ගෙ ජීවිත වල වටිනාම තීරණ ගන්න රටේ පාලකයින් තෝරා ගනිද්දී දෙපාරක් නොහිත තමන්ගෙ මනාප කතිරය ගහල එනවා.  ගහපු කතිර වල ප්‍රථිපල  අපේ උවමනාවට මේ ලෝකෙට ආපු ඉඳිකටු පැංචල, වලස් පුංචල විඳවනවා. 

අවුරුදු පහකට පස්සෙ පොකුරු වැස්සට ලිපියක් ලියන්න තේමාවක් දුන්නට සුද්දගේ ඉඳිකටු පැංචටයි, වලස් පුංචටයි මගේ උත්තමාචාරය.

මේ ලිපිය බෙදා ගත්තාට මගේ අමනාපයක් නොමැත.